සොඳුරු ගගනත රන්වනින් වෙසක් සඳවත දිලෙද්දී දිව්‍යමය නෙතු සඟල පියා රන්මුවා පිළිමයක් සේ නොසෙල්වී ඍජු බ්‍රහ්මකාය දරමින්, විශ්මිත දේහ විලාශ දරමින්, පරම විරාගී ශාන්තියකින් සැනැහී ගිය මුව මඬලකින් හෙබි අසහාය වීර නරාණන් රුව දිලෙන’යුරු…. විශ්මිත ය. එමතුද නොව දිව්‍යමය වූ මානුෂීයමය වූ සියලු භව බන්ධන සීමා ඉක්මවා යමින් ඒ මනසේ සිදුවන ආශ්චර්යවත් වූ බුද්ධිමය පරිවර්තනය වර්ණනාවිෂයාතික්‍රාන්ත ය. අචින්තනීය ය.

සොඳුරු පැණවතාණෝ පෙර ගත කළ දිවි තතු මැනැවින් පසක් කොට, චුතවන උපදින සත්වග තතු ද සක්සුදක් සේ පිරිසිඳ දැන, සව්කෙලෙස් නසාලූ බව ද නුවණින් ම පසක් කොට ගෞතම බුද්ධ රාජ්‍යයේ අසහාය ධර්මරාජයාණන් බවට පත් වී වදාළ සේක.

ඒ අසහාය නරශ්‍රේෂ්ඨයාණෝ, බොහෝ ජනයාට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස ම හිතසුව පිණිස ම සැපය පිණිස ම මේ ලෝකයෙහි උපදින එක ම පුද්ගලයාණෝ වන සේක. ඒ එක ම දිනිඳාණන්ගේ පහළ වීම ලෝකයෙහි ඉතාමත් දුර්ලභ වන සේක. ඒ උත්තමයා වනාහී ආශ්චර්යවත් මනුෂ්‍යයා වශයෙන් මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින එක ම පුද්ගලයා වන සේක. ඒ තථාගතයාණෝ අද්විතීය (දෙවැන්නෙක් නොමැති) වන සේක. අසහාය (සහායකයෙක් නොමැති) වන සේක. අප්‍රතිම (කිසිවෙකු හා සැසඳිය නොහැකි) වන සේක. අප්‍රතිසම (කිසිවෙකු හා සම නොවූ) වන සේක. අප්‍රතිභාග (කිසිවෙකුගේ කොටස්කරුවෙකු නොවන) වන සේක. අප්‍රතිපුද්ගල (කිසිවෙකු හා සම කළ නොහැකි) වන සේක. අසම (සම්මා සම්බුදු නොවන කිසිවෙකු හා සම නොවූ) වන සේක. අසමසම (සම්මා සම්බුදුවරුන් සමඟ පමණක් සැසඳිය හැකි) වන සේක. දෙපා ඇති මිනිසුන්ට අග්‍ර වන සේක. ඒ මහා වීර නරාණන්ගේ පහළ වීම වනාහී මහා ප්‍රඥා ඇසක පහළ වීම ය. මහා ආලෝකයක පහළ වීම ය. මහා එළියක පහළ වීම ය.

(ඒක පුග්ගල වර්ගය, අං. නි.)

පිරිපුන් නැණ මඬුල් දරන, ලොවෙහි අති දුර්ලභ භගවතාණෝ වරෙක තමන් වහන්සේ ගැන ම මෙසේ හඳුන්වා දුන් සේක.

“ඇත්තෙන්ම පින්වත් සේල, මං රජෙක්. අති උතුම් සදහම් රජෙක්. මං පවත්වන මේ ධර්මචක්‍රය ලෝකෙ කාටවත් ආපසු හරවන්න බැරි චක්‍රයක්.

අවබෝධ කළ යුතු ඔක්කොම දේවල් මං අවබෝධ කළා. භාවනා වශයෙන් වැඩිය යුතු ඔක්කොම දේවල් මං වැඩුවා. නැති කරල දැමිය යුතු ඔක්කොම දේවල් මං නැති කළා. පින්වත් බ්‍රාහ්මණය, මම තමයි බුද්ධ කියන්නෙ.

පින්වත් බ්‍රාහ්මණය, මං ගැන තියෙන සැක සංකා නැතිකරල දාන්න. පහන් සිත් ඇතිකර ගන්න. සම්මා සම්බුදුවරයෙක් හැමතිස්සෙම දකින්ට ලැබෙනවයි කියන්නෙ අතිශයින් ම දුර්ලභ එකක්.

ලෝකයේ හැමතිස්සේම දකින්න පුළුවන් විදියට කෙනෙක් සිටීම අතිශයින් ම දුර්ලභ දෙයක්. අන්න ඒ කෙනා මමයි. පින්වත් බ්‍රාහ්මණය, මං අති උතුම් ශල්‍ය වෛද්‍යවරයෙක්. මං සම්බුදු කෙනෙක්. මං ශ්‍රේෂ්ඨත්වය ලබා ගත්තු කෙනෙක්. අසහාය කෙනෙක්. මාර සේනාව පරාජය කළ කෙනෙක්. සතුරු බලවේග නැතිකරලා දාලා කිසිම පැත්තකින් බයක් නැති කෙනෙක්.”

(ථේර ගාථා, සේල තෙරුන්ගේ ගාථා)

සැබැවින්ම ඒ අති උතුම් සදහම්රජාණෝ, ගුරු උපදේශ නැතිවම, ස්වයංභූ ඥානයෙන් යුතුවම, සිරි සම්බුදු හදවතේ පහළ වී සිරි සම්බුදු මුව මඬලින් දෙසා වදහළ, කිසිවෙකුට ආපසු කරකැවිය නොහැකි වූ ඒ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන’යුරු ද සහශ්‍රී ලෝ ධා කම්පා කරවමින් මෙසේ වදහළ සේක.

“අභිඤ්ඤායාහං භික්ඛවේ, ධම්මං දේසේමි, නෝ අනභිඤ්ඤාය. සනිදානාහං භික්ඛවේ, ධම්මං දේසේමි, නෝ අනිදානං. සප්පාටිහාරියාහං භික්ඛවේ, ධම්මං දේසේමි, නෝ අප්පාටිහාරියං.”

“පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ විශිෂ්ට වූ ඤාණයකින් අවබෝධ කරගෙනයි. විශිෂ්ට ඤාණයකින් අවබෝධ නොකරගෙන නොවෙයි. පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ හේතු සහිතවයි. හේතු රහිතව නොවෙයි. පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ ප්‍රාතිහාර්යය සහිතවයි. ප්‍රාතිහාර්ය රහිතව නොවෙයි.”

(ගෝතම චේතිය සූත්‍රය, අං. නි.)

සත්වග සෙත් සලසන අනාවරණ ප්‍රඥාවෙන් හෙබි සොඳුරු පැණවතාණෝ ලද මොහොතේ සුදුර්ලභ බව ද මහා කරුණාවෙන් ම මොනවට පෙන්වා දුන් සේක.

“මේ මහපොළොව ම එක ම ජලාශයක් වී එහි පාවෙන විය දණ්ඩක් සිව් දිගින් හමන සුළඟින් නිරතුරුව ම ඒ මේ අත ගසාගෙන යද්දී, සියක් වසරකට වරක් ඒ ජලාශයෙන් උඩට මතුවන එක් ඇසක් ඇති කැස්බෑවෙකු ඒ විය සිදුරෙන් ගෙල පිවිසවයි යන කරුණ ඉතාමත්ම දිගු කලක් ඇවෑමෙන් ඉතා දුර්ලභව සිදු විය හැක්කකි.

මහණෙනි, මිනිසත් බව ලබයි යන යමක් ඇද්ද, මෙය ද එසෙයින්ම ඉතාමත්ම දිගු කලක් ඇවෑමෙන් ලැබෙන දෙයකි. මහණෙනි, අරහත් සම්මා සම්බුදු තථාගත තෙමේ ලෝකයෙහි උපදියි යන යමක් ඇද්ද මෙය ද එසෙයින්ම ඉතාමත් ම දිගු කලෙකින් පසු ලැබෙන දෙයකි. මහණෙනි, තථාගතයන් විසින් දේශනා කරන ලද ධර්ම විනය, ලොවෙහි බබළයි යන යමක් ඇද්ද මෙය ද එසෙයින් ම ඉතාමත් දිගු කලෙකින් පසු ලැබෙන දෙයකි.

“මහණෙනි, ඔහු විසින් මේ මිනිසත් බව ලබන ලද්දේ ය. අරහත් සම්මා සම්බුදු තථාගත තෙමේත් ලෝකයෙහි උපන්නේ ය. තථාගතයන් විසින් දෙසන ලද ධර්ම විනයත් ලෝකයෙහි බබළයි.”

(දුතිය ඡිග්ගල සූත්‍රය, සං. නි. 5)

එමතුද නොව, බුදුකිස කරවන ලෝකහිතාදරයාණෝ සැණෙකින් ලද දිවිය ගෙවෙන අයුරු ද නොසඟවා වදහළෝ මැයි.

“ඉතාමත් ශක්තිමත්, මැනැවින් පුහුණුව ලත්, අතිශයින් ම දක්ෂ දුනුවායන් සතර දෙනෙකු එක් තැනක සිට සිව් දිශාවට හැරී සිටී. එතැනට එන පුරුෂයෙක් මෙසේ සිතයි. ‘මේ සිව් දෙනා සිව් දිශාවට ඊතල හතරක් විද්දොත්, ඒවා පොළොවට වැටෙන්නට නොදී මම අරගෙන එනවා.’ ඒ විදියට දුවන්න පුළුවන් අර පුරුෂයා අතිශයින් ම වේගවත් ජවයකින් යුතුයි කියා කියන්ට වටී.

පින්වත් මහණෙනි, අන්න ඒ පුරුෂයාගේ ජවසම්පන්නකමත්, හිරු සඳු දෙකේ ජවසම්පන්නකමත් යම් ආකාරයකින් යුක්ත ද ඊට වඩා බලවත් ජවසම්පන්නකමක් හිරු සඳු දෙදෙනාට පෙරටුවෙන් ම යන දෙවිවරුන්ට තියෙනවා. අර පුරුෂයාගේ ජවසම්පන්නකමත්, හිරු සඳුගේ ජවසම්පන්නකමත්, හිරුට සඳුට පෙරටුව යන දෙවිවරුන්ගේ බලසම්පන්නකමත් යම් ආකාරයකින් යුක්ත ද ඊටත් වඩා වේගවත්කමකින් උපන් සත්වයාගේ ආයුෂ ක්ෂය වෙලා යනවා.”

(ධනුග්ගහ සූත්‍රය, සං. නි. 2)

එපමණක් ද නොව, ඒ මහා කාරුණිකයාණෝ තමාගේ ම ක්‍රියාව වරදවා ගත් ලෝ සතුන්, කඩ ඇණයට හිර වී නොනවතින ගමනක යෙදෙන රිය සක සේ, කර්මයට ම සිරවී, කර්මය ස්වකීය දෙය කොට, කර්මය දායාද කොට, කර්මය ම උත්පත්ති ස්ථානය කොට, කර්මය ඤාතියා කොට, කර්මය පිළිසරණ කොට, කඨෝර දුක් පිරි සසර ගොහොරුවේ ගිලී සිටිනා අයුරු දුටු සේක. උපමාවකින් පවා පෙන්වා දිය නොහැකි තරමේ දුක් පිරි සතර අපා දුකට පත් සත්වයා දුටු සේක. සිව් මහා සමුදුරු පරයමින් කඳුළැලි සලමින්, රුධිරය හෙළමින් පැමිණි අර්ථශූන්‍ය සසර ගමනේ තතු මැනැවින් විවරණය කර දුන් සේක. මේ හැම දුක් නිමා කොට අම නිවන් සැප ලබන මග ද පෙන්වා දුන් සේක.

ශ්‍රාවකයන්ට ආදරේ ඇති, ශ්‍රාවකයන් ගැන අනුකම්පා ඇති ශාස්තෘන් වහන්සේනමක් අනුකම්පාවෙන් යමක් කළ යුතු නම්, අප තථාගතයාණෝ ඒ සියල්ල කළ සේක. එවන් වූ අනුකම්පා ඇති ශාස්තෘන් වහන්සේගේ අවවාදය නම්, “ප්‍රමාද වෙන්න එපා. දැන් ප්‍රමාද වෙලා අන්තිමේ දී පසුතැවෙන්න එපා.” යන්නයි.

සැබැවින්ම පමා වීමට කාලයක් නැත. ඉතා දිගු කලෙකින් ලද උතුම් මොහොත, ඉහළ පහළ යන හුස්මක් පාසා ගෙවෙමින් පවතී.

මරණයට කැප වූ ගවදෙනක ඔසවන තබන සෑම පියවරක් පාසා ම මරණයට ම මිස ජීවිතයට ළං නොවන සේ, කඳු මුදුනකින් වේගයෙන් කඩා හැළෙන දිය දහරක් සේ, හිරු දුටු සැණින් නැසෙන තණ අග රැඳි පිණි බිඳුවක් සේ… ජීවිතය නොනැවතී ම වේගයෙන් මරණය කරා ම යමින් තිබේ.

එනිසා, සත් වග භව රෝ දුකින් සුවපත් කරවනා මහා වෙදැදුරාණන්ගේ දහම් ඔසු පානය කරත්වා! ඇඳිවත හෝ හිස ගිනි ගත්ත ද එය ද නොසලකා අප්‍රමාදීව අවබෝධ නොකළ සිව් අරිසස් දහම් අවබෝධ කිරීමට ම වෙර වඩත්වා! කුසල් දහම් වැඩීමට ම අප්‍රමාදී වෙත්වා!

සැබැවින්ම ඒ පරම කල්‍යාණමිත්‍ර ශාස්තෘන් වහන්සේ, දෙවි මිනිසුන් සසර කතරින් එතෙර කරවන මහා ගැල්කරුවාණන් වහන්සේ අප අසරණ කොට පිරිනිවනට නොවැඩි සේක් ම ය. පිරිනිවන් යහනේ සැතපී සිටිය දී ද ගෞතම බුද්ධ රාජ්‍යය තුළ පිහිට පතන ගොයුම් ගොත් සව්වන්ගේ සරණ තහවුරු කොට වදාළ සේක.

“ආනන්දයෙනි, ඔබට මෙබඳු වූ අදහසක් ඇති වෙන්නට පුළුවනි. ‘බුද්ධ වචනය අතීතයට ගිය ශාස්තෘන් වහන්සේගේ ය. අපගේ ශාස්තෘන් වහන්සේ නැති සේක.’ යනුවෙනි. ආනන්දයෙනි, ඔබ මේ අයුරින් නොදැක්ක යුත්තේ ය. ආනන්දයෙනි, මා විසින් යම් ධර්මයකුත්, විනයකුත් දෙසන ලද්දේ ද පනවන ලද්දේ ද මාගේ ඇවෑමෙන් එය ඔබට ශාස්තෘ වන්නේ ය.”

(මහා පරිනිබ්බාන සූත්‍රය, දී. නි. 2)

සත්ජනයනී, බලනු මැන. සොඳුරු ගගනත අද ද රන්වනින් වෙසක් සඳවත දිලෙනයුරු… මොහොතක් මොහොතක් පාසා නෙතු මායිමෙන් ගිලිහෙමින් බැස යන වෙසක් සඳවත නිහඬවම සිහිකර දෙන බුදු ඔවදනට සවන් දුන මැන.

හතලිස් පස් වසක බුදු වදන් එක ම අරුතකට කැටිකොට, නොසැලෙන සිත් ඇති මුනි රජුන් පිරිනිවන් මංචකයේ දී අවසන් වරට සිරි සම්බුදු මුව මඬල විවර කළ සේක. “හන්ද’දානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ.”

“පින්වත් මහණෙනි, දැන් ඔබ අමතමි. හේතු ඵල දහමින් සකස් වූ සංස්කාරයෝ නැසෙන සුළු වෙති. අප්‍රමාදී ව දහමෙහි හැසිරෙව්.”

(මහා පරිනිබ්බාන සූත්‍රය, දී. නි. 2)

වෙසක් සඳ නැඟි දිනෙක මනුලොව දිනූ, වෙසක් සඳ රැසින් නැහැවෙමින් මරසෙන් දිනූ, වෙසක් සඳ කැල්මේ ම පිරිනිවන් දිනූ, සියලු බුදු කිස නිමා කළ – නොසැලෙන මුනිරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.