පින්වත් යොවුන් දූ දරුවනේ,

අපි හැමෝටම ලැබිලා තියෙනවා කාලයක්. ජීවිතේ ගත කිරීමට කාලයක්. ඒ කාලය මොහොතක්වත් නොනැවතී ගත වෙනවා. කාලය ගෙවී යාම නැවැත්විය හැකි ජගතෙක් අතීතේ හිටියෙත් නෑ. අනාගතේ පහළ වෙන්නෙත් නෑ. දැන් ඇත්තෙත් නෑ. කාලය අඛණ්ඩව ගෙවී යනවා.

මේ අඛණ්ඩව ගතවෙන කාලේ නාස්ති කරගත්තොත් අපරාදේ. ඒ නිසාමයි අද ලිපියේ තේමාව විදිහට “කාලේ නාස්ති කරගන්න එපා!” කියන ස්නේහනීය ආමන්ත්‍රණය යොදා ගත්තේ. වෙනදා වගේම මතක් කරනවා පොඩි කාලයක් වෙන් කරගෙන මේ ලිපියේ අවසානය තෙක්ම කියවන්න. ජීවිතේ නාස්ති වෙන කාලයට වටිනාකමක් එක් කරන්න මේ ලිපිය ඔයාලට ආශීර්වාදයක් වෙයි.

[බරණැස සිටු පවුල]

අතීතයේ බරණැස් නුවර සිටු පවුලක් හිටියා. ඔවුන්ට කෝටි අසූවක මහා බූදලයක් තිබුණා. නමුත් එක පුතයි හිටියේ. ඒ නිසා ඒ සිටු දෙමව්පියෝ මෙහෙම කල්පනා කළා. “අපේ දරුවාට අමුතුවෙන් වෙහෙසිලා ඉගෙන ගන්න දෙයක් නෑ. මේ තියෙන ධනය හොඳටෝම ඇති. ඒ නිසා අපි නැටුම් ගැයුම් විතරක් උගන්වමු.”

ඔන්න කාලයාගේ ඇවෑමෙන් දෙමව්පියන් වයසට ගියා, පුතා තරුණ වියට පත් වුණා. ඉතින් දෙමව්පියෝ ඒ පුතාට විනෝදයට ම බර කෙල්ලක් බන්දලා දුන්නා. ඇගේ දෑවැද්දට අසූ කෝටියක් දේපළ වස්තුව ලැබුණා.

දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ මේ සියලු ධනයට හිමිකම් කිව්වේ අර තරුණයා. ඔහු ‘මහාධන සිටු’ නමින් ප්‍රසිද්ධ වුණා. මොහු මුලින් ඇත්තෙන්ම හොඳින් ජීවත් වුණා. නමුත් ඔය නගරයේ බේබද්දන් කල්ලියක් හිටියා. ඔවුන් කරන්නේ බීමට ඇබ්බැහි නොවුණු ධනවතුන් උපක්‍රමශීලීව එයට පෙළඹවීමයි. ඊටපස්සේ ඒ ධනවතුන්ගේ වියදමින් හොඳට බොනවා.

සමාජය ගැන අවබෝධයක් තිබුණේ නැති මේ සිටුපුත්‍රයාවත් අර බේබද්දෝ ටික එකතුවෙලා බීමත්කමට ඇබ්බැහි කරගත්තා. ඔහුගේ විනෝදකාමී බිරිඳත් බීමත්කමට ඇබ්බැහි වුණා. දැන් ඔවුන්ගේ ගජ මිතුරෝ වුණේ මේ බේබදු කල්ලිය. අර හොඳට තිබුණ ජීවිතේ මුළුමනින්ම නාස්ති වෙන්න පටන් ගත්තා.

ඒ සිටු ජෝඩුව තමා සතු ධනය වියදම් කරමින් බොන්න පටන් ගත්තා. මධුපානෝත්සව සංවිධානය කළා. නොයෙක් වෙසඟනුන් ගෙන්වමින් නැටුම් බලනවා. නොයෙක් අශීලාචාර පුරුදු බොහෝමයකින් මුළු ජීවිතේම වෙනස් වුණා. සුළු කලයි ගියේ. මහාධන සිටුපුත්‍රයාගේ කෝටි අසූවක ධනය ගින්නට හසුවුණා වගේ නැත්තට නැති වුණා.

ඒ වෙද්දී සිටුතුමා මැදි වයසට ඇවිත්. නමුත් නුවණින් කල්පනා කළේ නෑ. තමන්ගේ ධනය අවසන් නිසා එතකොට කළේ බිරිඳගේ ධනයත් වියදම් කරන්න ගන්න එක. යළි සුළු කලක් ගතවෙද්දී බිරිඳගේ ධනය දේපළ ආදියත් නැත්තටම නැති වුණා.

ඒ වෙද්දී ඔවුන් දෙදෙනාගේම මැදි වයසත් ගෙවී ගිහින්. නමුත් නුවණින් කල්පනා කළේ නෑ. තමන්ට ජීවත් වෙනකං වැටිලා ඉන්න හරි තිබුණ සිටු මන්දිරේ උකසට තියලා ධනය වියදම් කළා.

අවසානේ එයත් අහිමි වෙද්දී ඉතුරු වුණේ හැඳිවත විතරයි. මේ වෙද්දී අර බේබදු යාළුවො කවුරුවත් නෑ. හැමෝම අහක බලාගෙන යනවා. කිසිකෙනෙක් සතයක්වත් ණයට දෙන්නෙ නෑ. කිසිකෙනෙක් ගණන් ගන්නෙත් නෑ. අන්තිමේදි අගුපිල්වල නිදාගන්න පුරුදු වුණා. තැටි කබලක් අරගෙන සිඟමනේ යන්න සිදුවුණා. මහපාරෙ ජීවත් වුණා.

[බුදු නෙතින් දුටු දේ…]

දිනක් ආනන්ද තෙරුන් වහන්සේත් සමඟ බුදුරජාණන් වහන්සේ බරණැස පිණ්ඩපාතේ වැඩම කරමින් හිටියා. ඒ වෙලාවේ අනුන්ගෙන් ඉඳුල් බත් ඉල්ලාගෙන යන මේ දෙදෙනා දුටු භාග්‍යවතුන් වහන්සේට සිනහ පහළ වුණා. සාමාන්‍යයෙන් බුදුරජුන් සිනහ පහළ කරන්නේ යම් විශේෂ කරුණක් ඇති විටදී පමණයි. ඒ නිසා ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සිනහ පහළ කිරීමට කරුණු විමසුවා.

“පින්වත් ආනන්ද, දැක්කා නේද අර දෙන්නට ගිය කලදසාව? පාපමිත්‍ර ආශ්‍රයේ විපාක තමයි. සුරාසූදුවේ විපාක තමයි. සල්ලාලකමේ විපාක තමයි.

ඔය සිටුවරයා තමන්ගේ තරුණ අවදියේ ව්‍යාපාරයක් පටන්ගත්තා නම් බරණැස් නුවර අංක එකේ සිටුවරයා වෙන්න පින තිබ්බා. ඒ වයසේම පැවිදි වුණා නම් මෙලහකට රහතන් වහන්සේනමක්. ඒ බිරිඳ පැවිදි වුණා නම් දැනටමත් අනාගාමී වෙලා. ඒ පින නැති කරගත්තා.

ඉතින් මධ්‍යම වයසේ දී ව්‍යාපාරයක් පටන්ගත්තා නම් බරණැස් නුවර දෙවෙනි සිටුවරයා වෙනවා. මධ්‍යම වයසෙදි පැවිදි වුණා නම් අනාගාමී වෙනවා. බිරිඳ පැවිදි වුණා නම් සකදාගාමී වෙනවා.

අවසාන කාලෙවත් පොඩ්ඩක් කල්පනා කරන්න තිබ්බා. එහෙමවත් ව්‍යාපාරයක් පටන් ගත්තා නම් තුන්වෙනි සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් සිටුතුමා සකදාගාමී වෙනවා. බිරිඳ සෝතාපන්න වෙනවා.

දැන් බලන්න… ඒ හැම පිනක් ම නැති වෙලා තියෙන්නේ. ලෞකික, ලෝකෝත්තර සියලු යහපත අහිමි වෙලා තියෙන්නේ. දැන් ඉන්නේ මාළු නැති වියළී ගිය මඩ වළක් දෙස බලා සිටින නාකි කොකෙක් වගේ.”

අචරිත්වා බ්‍රහ්මචරියං – අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චා’ව ඣායන්ති – ඛීණමච්ඡේව පල්ලලේ

“මොළේ නැති උදවිය තරුණ කාලෙදී බ්‍රහ්මචාරීව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනෙ මිළ මුදලක්වත් හම්බ කරගන්නෙත් නෑ. අන්තිමේදී වයසට ගිහින්, බලාගත්තු අත බලාගෙන ඉන්නෙ, මාළු නැති මඩවළක් දිහා බලාගෙන ඉන්න නාකි වෙච්ච කොක්කු වගේ.”

අචරිත්වා බ්‍රහ්මචරියං – අලද්ධා යොබ්බනේ ධනං
සෙන්ති චාපා’තිඛිත්තා’ව – පුරාණානි අනුත්ථුනං

“මොළේ නැති උදවිය තරුණ කාලෙදි බ්‍රහ්මචාරීව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනේ මිළ මුදලක්වත් හම්බ කරගන්නෙ නෑ. අන්තිමේදී ඒ අනුවණ උදවිය කලින් විඳපු සැප ගැන හිත හිතා හූල්ල හූල්ල ඉන්නෙ, දුන්නෙන් නිකුත් වෙච්ච ඊතල වැටිච්ච තැනම දිරල යනවා වගේ.”

මේ සිදුවීම සඳහන් වෙන්නේ ධම්මපද අටුවාවේ. මේ කථාව ම ඇති කාලය නාස්ති වීම තේරුම් ගන්න.

[හැකියා සහ අවස්ථා…]

අපේ ජීවිතවල හැකියා සහ අවස්ථා කියන්නේ කාලයට අයිති දේවල්. හැකියා තියෙන කාලයක් වගේම ඒ හැකියා නැති වෙන කාලයක් එනවා. හැමදාම හැකියා තියෙන්නේ නෑ. තරුණ කාලේ අපට තිබෙන හැකියා වයසට යෑමෙන් නැති වෙනවා. නීරෝගී කාලේ අපට තියෙන හැකියා ලෙඩවීමෙන් නැති වෙනවා. අතේ පයේ හයිය, කථා කිරීමේ හැකියාව මේ ඔක්කොම තාවකාලිකයි.

ඒ නිසා තමන්ට හැකියා තියෙන කාලේ ‘කාලේ නාස්ති කරගන්න නම් එපා!’ පින් කරන්න හැකියා ඇති කාලේ පින් කරගන්න. කුසල් වඩන්ට හැකියා ඇති කාලේ කුසල් වඩන්න. මව්ට කීකරුව, පියාට කීකරුව මව්පියන්ට උපස්ථාන කළ හැකි කාලේ ඒ දේවල් කරගන්න. හොඳින් සිල් රැකිය හැකි කාලේ සිල් පද රැකගන්න. ඇස් දෙක පේන කාලේ ඇස් දෙකෙන් කළ හැකි යහපත කරගන්න. දෙසවන් ඇහෙන කාලේ යහපත් දේ අහගන්න. ඔව්! හැකියාව තියෙන කාලේ ‘කාලේ නාස්ති වෙන්න දෙන්න එපා!’

අවස්ථාත් ඒ වගේමයි. ස්ථීර නෑ. සදාකාලික නෑ. නමුත් අවස්ථා ගොඩාක් දුර්ලභයි. තේරුම් ගන්න මෙහෙම. මේ මොහොතේ නිරයේ ඉපදී සිටින නිරිසතුන්ට අපිට තිබෙන අවස්ථා නෑ. මේ මොහොතේ ප්‍රේතයින් අතරේ ඉපදී සිටින අයට අපිට තිබෙන අවස්ථා නෑ. මේ මොහොතේ තිරිසනුන් අතරේ උපන් අයටත් අපිට තිබෙන අවස්ථා නෑ.

මනුස්සයෙක් විදිහට උපන්නත් මන්දබුද්ධික නම් අපිට තිබෙන අවස්ථා නෑ. බුද්ධ වචනයක් අහන්න නැති දේශයක උපන්නා නම් මේ අවස්ථා නෑ. තදබල මිසදිටු ආගමික පරිසරයක උපන් අයට මේ අවස්ථා නෑ. කල්‍යාණ මිත්‍රයෙක් කියලා පවිටෙක්ට අහුවුණ අයටත් මේ අවස්ථා නෑ.

හැකියා, අවස්ථා තියෙන කාලේ…

ඒ නිසා තේරුම්ගන්න හැකියා, අවස්ථා දෙක ම තියෙන කාලේ කියන්නේ නාස්ති නොකළ යුතු කාලයක්. මොකද ඒක කොතරම් කාලයක් තියේවි ද කියලා අපිට අනාගතේ දකින නුවණක් නෑනේ. අපට ඔබ වෙනුවෙන් කළ හැකි ආශීර්වාදය තමයි ඔබට තව බොහෝ කලක් යහපතේ ධර්මයේ හැසිරීමට, පින් කුසල් වැඩීමට හැකියාවත්, අවස්ථාවත් ලැබේවා! කියන එක.

තම කාලය නාස්ති නොකරගෙන ජීවිතය දිනූ සිරිමන්ද රහත් මුනිඳුන්ගේ අවවාදයෙන් අපි අද ලිපිය අවසන් කරනවා. මේ ගාථා ඔබේ හදවතේ තදින් තැන්පත් කරගන්න.

“මේ ලෝක සත්වයාට පහර දෙන්නෙ මරණය විසිනුයි. පිරිවරාගෙන ඉන්නෙ ජරාවෙනුයි. දඬුවම් ලබන හොරෙක් වගේ හැම තිස්සෙම අසරණ වෙලා දුක් විඳිනවා. මරණයත්, ලෙඩ දුකත්, වයසට යාමත් ජීවිතය කරා එන්නෙ මහා ගිනි කඳු වගේ. ඒකට ප්‍රතිවිරුද්ධව සටන් කරන්ට බලයක් නෑ. පලා යන්ට ජවයකුත් නෑ.

ඒ නිසා ටික ටික හෝ බහුලව හෝ දවස හිස් විදිහට ගත කරන්ට හොඳ නෑ. ගෙවී යන හැම රාත්‍රියකින් ම ජීවිතේ කෙටි වෙලා යනවා. ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට, මේ කොතැනත් අවසන් මොහොත පැමිණෙන්ට පුළුවන්.

ඒ නිසා පමා නොවීමට මේ කාලයයි!”

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.