ජීවිතේ කවදාම හරි දවසක නොකළ වරදකට ඔබ චෝදනා ලබලා නැති ද?

‘නොකළ දේවල් කළා’ කියලා, ‘නොකියූ දේවල් කියුවා’ කියලා චෝදනාවට ලක් නොවුණු කෙනෙක් අප අතර ඉන්නවා නම් ඒ බොහොම කලාතුරකින්. තමන්ගේ ම වහළ යටදි පවා එකිනෙකා මේ ආකාරයට අභූත චෝදනාවලට ලක් වෙනවා. එහෙම එකේ, බාහිර සමාජයේ දී එවන් චෝදනා එල්ල වීම ගැන කවර කථා ද…

ඔබට, මට වගේ ම අන් බොහෝ දෙනෙකුටත් පොදු තත්ත්වයක් තමයි මේක. ඇතැම් විට, නොකළ දෙයක් ගැන වෙන කෙනෙකුට චෝදනා කරන්නේ ඔබ හෝ මා වෙන්නත් පුළුවන්. මේ ස්වභාවය අප කාටත් අනතුරක්. යම් තොරතුරක් හරි හෝ වේවා වැරදි හෝ වේවා ඉතාමත් ම වේගයෙන් සමාජගත වන ස්වභාවයක් නූතන තාක්ෂණික භාවිතාවන් තුළ තිබෙන නිසා ම මේ අනතුර ගැන අවධානයෙන් ඉන්න එක අප කාටත් එක සේ උපකාරකයි. මොකද අන් අය සම්බන්ධයෙන් සිතන කරන කියන දෙයක් වුණත්, තමන් සිතන කරන කියන හැම දෙයක ම විපාක එන්නේ තමන් කරා ම යි…

ලාභසත්කාරයන්ට ලොබ බැඳි තීර්ථකයෝ…

අපගේ ශාස්තෘන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේ දී සැවැත්නුවර ජනගහනය කෝටි හතක්. ගිම්හානයට පළමුව එළඹෙන වසන්තයේ දී තුරුගොමුවල මල්ඵල පිරීතිරී යන්නාක් මෙන් සම්බුදු මුව මඬලින් දේශිත උත්තම සිරි සදහම් අසා දහම් ඇස උපදවාගෙන නියත ගති ඇති සත්වයන් බවට පත් වූ කෝටි පහක් වූ මගඵලලාභීන් ඒ අතර සිටියා.

ශාස්තෘන් වහන්සේ කෙරෙහි අචල පැහැදීමෙන් යුතු ඒ ජනයා ප්‍රමුඛ ව සැවැත්නුවරවාසීන් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සඟරුවනට නිති සිව්පසයෙන් ඇප උපස්ථාන කළේ ආදර ගෞරව සහිත ව ම යි. ලොවෙහි අනුත්තර වූ පින්කෙත මෙසේ බොහෝ කොට ප්‍රත්‍ය පහසුකම් ලබද්දී අන්‍ය තීර්ථකයන්ගේ ලාභයන් සිඳී ගියා. පුන්සඳ මඬලෙහි අසූචි තවරන්නට තැත් කරන්නාක් බඳු නීච උපායකින් සම්බුදුරජුන්ට ගර්හා කිරීමෙන් තමා කරා ලාභසත්කාර එළඹෙනු ඇති කියා ඔවුන් විශ්වාස කළා.

සුන්දරීගේ නොකල් සංචාර…

තීර්ථකයන් කෙරෙහි පැහැදුනු සිතින් සිටි සුන්දරී නම් අභිරූපී පරිබ්‍රාජිකාව ඔවුන් මේ උපායට නතු කරගත්තා. සරත් කාලයෙහි වලාකුළු රහිත අහසෙහි තෙදවත් ව බබළනා හිරු මඬල බඳු වූ සම්බුදුරජුන්ගේ සිරි මුව මඬලින් විහිදෙනා දම් ස්වර සවන් පුරා අසනු රිසින් ජනීජනයා දෙව්රමට එළඹ දහමින් සැනහී එයින් නික්මෙනා යම් කාලයක් වේ ද රාත්‍රිය උදා වන ඒ කාලයේ දී සුන්දරී සිත් ඇදබැඳ ගන්නා අයුරින්, ස්වකීය රූ සපුව ප්‍රකට වන අයුරින් හැඳ පැලඳ දෙව්රමට ඇතුළු වුණා…

නොකල්හී දෙව්රමට පිවිසෙන මේ අභිරූපී තුරුණු කත දකින ඇතැමුන් ඒ ගැන විමසිලිමත් වුණා. “මා එන්නේ දහම් අසන්නට නොවෙයි… ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ කුටියේ ම හිඳිමින් රාත්‍රියේ කළ යුතු උපස්ථානත් තිබෙනවා නොවැ…” ආදී වශයෙන් ඈ ඔවුනට පිළිතුරු දෙමින් තමන් සම්බුදුරජුන්ගේ කුටියේ රැය පහන් කරන බවක් ව්‍යංගයෙන් පවසා සිටියා. අලුයම හිරු නැගෙද්දී ඈ නිදිබර දෑසින්, පොඩි වී අපිළිවෙළ වී ගිය වතින් යුතුව දෙව්රමින් නික්මෙන බවත් ජනයා දුටුවා. මේ ඇසූ දුටු ඇතැමුන් එය ඇසූ දුටු පමණින් බැහැර කරන්නට ඇති බව නිසැකයි. එහෙත්… ඇතැමුන් සැකසංකා උපදවන්නට ඇති…

අභූතයෙන් නැගුණු බරපතළ චෝදනාව

දින කිහිපයක් ගත වුණාට පස්සේ තීර්ථකයන් විසින් මෙහෙයවනු ලැබූ සොරුන් විසින් සුන්දරී ඝාතනය කොට දෙව්රමෙහි වූ මල් වළට දමා සිරුර සැඟවූවා. සම්බුදුරජුන් පුදනු පිණිස ජනයා ගෙනා මල් බැහැර කළ ඒ වළෙහි සුන්දරීගේ සිරුර දින කිහිපයක් කුණු වෙන්නට හැර තීර්ථකයන් විසින් ම පසේනදී කෝසල මහරජු වෙත ගොස් තමනට අතිශය හිතවත් ව හුන් සුන්දරී පරිබ්‍රාජිකාවගේ අතුරුදන් වීම ගැනත්, සමාසන්න කාලයේ ඈ නිතර නිතර රාත්‍රිය දෙව්රමෙහි ගත කළ බවට සාක්ෂි ඇති බවත්, එනිසා ඇයගේ අතුරුදන් වීමට දෙව්රමේ සම්බන්ධයක් ඇති බවට සැක කරනා බවත් පැමිණිලි කළා. රාජ අණින් මෙහෙයවනු ලැබූ රාජ පුරුෂයන් හා එක්ව දෙව්රම් වෙහෙරෙහි කළ සෝදිස්සියේ දී අහඹු ලෙස සොයා ගත්තාක් මෙන් තීර්ථකයන් මල් වළ සාරා සුන්දරීගේ කුණු වෙමින් තිබුණු සිරුර ගොඩගත්තා…

අද වැනි වේගවත් තොරතුරු සන්නිවේදන ක්‍රමවේදයන් නොතිබුණු එදා ඒ තීර්ථකයන් ඇයගේ සිරුර ඇඳක් මත හොවා සැවැත්නුවර මහා වීදි පාසා පමණක් නොව අතුරු වීදිවලත් ගෙනයමින් “වියත් හයකුදු දුර නොබලමින් දිවා විහරණයේ යෙදෙනා ගෞතමයන්ගේ රාත්‍රි විහරණය දෙස බලව්…” යැයි මහා ඝෝෂා නගමින් සම්බුදුරජුන්ට චෝදනා කළා…

දෙදෙනෙකුගේ එක ම ඉරණම…

ඇසූ දුටු කරුණු අනුව ගළපාගෙන මේ එක් එක් කාරණාවන්ගේ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට කාට නම් බැරි ද… බෝධි මූලයේ වැඩ හිඳිමින් දස මරුන් පරදා අපගේ ශාස්තෘන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ යම් මොහොතක ද ඒ මොහොතේ සියලු කෙලෙස් සහමුලින් ම නසා අරහත්වයට පත් වූ බව නොසැලෙන ප්‍රසාදයෙන් දරාගෙන හුන් කෝටි පහක ජනයාගේ හැර අන් සිත්හි කවර කවර නම් සැකසංකා මතු වන්නට ඇති ද? වෙනෙකක් තබා, පිඬුසිඟා වඩිනා සඟරුවන් වහන්සේලාට දන්පැන් වෙනුවට නින්දා අපහාස ම නැගෙන්නට වුණා…

සැවැත්නුවර උද්ගත වූ ඒ අප්‍රසන්න වටපිටාව හමුවේ අපගේ ආනන්ද මුනිඳුන් ‘සැවැත්නුවරින් නික්ම අන් දෙසකට වැඩම කරමු’ කියා ශාස්තෘන් වහන්සේට ආරාධනා කළා. එහෙත් සම්බුදුරජුන් එය ප්‍රතික්ෂේප කොට වදාළා. චෝදනා නගන්නවුන්ට මෙසේ පිළිතුරු දෙන්නැයි ද වදාළා.

“අභූතවාදී නිරයං උපේති
– යෝ චාපි කත්වා න කරෝමීති චාහ
උභෝ’පි තේ පෙච්ච සමා භවන්ති
– නිහීනකම්මා මනුජා පරත්ථ”

“අනුන්ට අභූත චෝදනා කරන කෙනාට නිරයේ තමයි උපදින්ට වෙන්නෙ. තමන් යම් පවක් කරලා, ඒක කළේ නැතැයි කියන කෙනාත් නිරයේ ම තමයි උපදින්නේ. පහත් ක්‍රියාවලින් යුතු ඒ මිනිස්සු දෙන්න ම මැරිලා ගිය දවසක නිරයේ ඉපදීමෙන් සමාන වෙනවා.”

(ධම්මපදය – නිරය වග්ගය)

සංඝයා මේ බුද්ධ වචනයෙන් එදා චෝදනා කළවුන්ට උත්තර දුන්නා. දින කිහිපයක් ගත වෙද්දී සත්‍යය හෙළිදරව් වුණා. බීමත් වූ සොරුන් විසින් අන්‍ය තීර්ථකයන්ගේ අල්ලසින් තමන් සුන්දරී පරිබ්‍රාජිකාව මරා දෙව්රමෙහි සැඟවූ බව කියැවුණු පසුව පසේනදී කෝසල මහරජු අදාළ පිරිසට දඬුවම් පැමිණෙව්වා…

රැකීමත්, වැනසීමත් තමන් අත ම යි

සත්‍යය හෙළිදරව් වීමට පෙර පවා සම්බුදුරජුන් ගැන සැක නොකළ උදවියට නම් සිදු වුණේ යහපතක් ම යි. යම් කෙනෙක් පළමුව සැකසංකා සහිත ව හිඳ සත්‍යය දැනගත් පසුව, ‘සැක කිරීම’ නම් වූ වරදට සමාව ගත්තා නම් ඔවුන්ටත් පසුව හෝ සිදු වුණේ යහපතක් ම යි. එහෙත්… සත්‍යය හෙළිදරව් වීත් තමන් පෙර ඉපදවූ සැකසහගත සිත, ඒ අනුව කථා කළ වචන, ඒ අනුව කළ හැසිරීම් ගැන සමාව නොගත් උදවිය අද කොහේ ඇති ද… ඔවුන් නිරයේ.

ලෝකයේ පවත්නා මේ දරුණු ස්වභාවය අප තේරුම් ගත යුතුයි. කිසිවෙකු ගැන, කිසි දෙයක් ගැන විනිශ්චය කරන්නට යෑම අපට අනතුරක් වන්නට ඇති ඉඩ ම යි වැඩි. හරි ම කියා අපට ඇස්පනාපිට පෙනෙන, හැඟෙන දේවල් වුණත් හරි නොවන්නට පුළුවන් බව මේ සිදුවීමෙන් ම තේරුම් ගන්නට පුළුවන්. එනිසා, අන් අය ව මනින්න ඉක්මන් වෙන්න එපා.

ළාමක මරණයක් නොලබනු පිණිස…

මේ සසර ගමන අප යන්නේ තනිවයි. අන් අය, අන් දෙය සසර පුරුදු සමඟ අපට හමු වන ස්වභාවයක් තිබෙන මුත් සසරට වැටීම හෝ ඉන් නිදහස් වීම තිබෙන්නේ අප අත. එනිසා, අන් අය ගැන පිරිසිඳ දකින්නට නුවණක් නැති අප කළ යුත්තේ අපට නිසැක විය හැකි යම් කෙනෙක් වේ ද යම් දෙයක් වේ ද නිතින් ඒ ගැන සිත පැවැත්වීමට හුරු වීම නේ ද… ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ බව, ශ්‍රී සද්ධර්මය මැනැවින් දේශනා කරන ලද්දක් බව, ශ්‍රාවක සඟරුවන සුපටිපන්න බව ගැන ම සිත සිතා, ඒ ගැන ම කිය කියා දහවලත්, රැයත් ගෙවී යන ලෙස ජීවිතය වෙනස් කර ගත හැකි නම් අභූත චෝදනාවන් කරමින් සසර දිගු කර ගැනීමේ අනතුරින් අපි ඈත් වෙනවා…

කලණ දහම් පවසන සත්පුරුෂයන් වහන්සේ අපට සජ්ඣායනයට පහසු අයුරින් කොපමණ නම් තෙරුවන් ගුණ සමුච්චිත මනරම් අභිවන්දනා ගාථාවන් ද කවි ද දායාද කොට තිබෙනවා ද… ඉතින් භාග්‍යවතුන් වහන්සේටත්, ශ්‍රී සද්ධර්මයටත්, ශ්‍රාවක සඟරුවනටත් ස්තූති ප්‍රශංසා කරමින් අපි අපේ සිත් රැකගනිමු. සිත්හි ශ්‍රද්ධාව යනු ඍද්ධි විෂයෙහි අග පැමිණි මොග්ගල්ලාන මුනිඳුන්ටවත් රැක දිය නොහැක්කක්. එය රැක ගත යුත්තේ තම තමන් ම යි. ඒ නිසා, නොදන්නා දෙය ගැන සිත කය වචනය මෙහයවමින් කාලය නාස්ති නොකොට, තෙරුවන ගැන ම තිදොර මෙහයවමින් ගෙවනා කාලය අපි බහුල කරමු.

යම් මොහොතක බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයන් අප සිහි කරනවා ද ඒ මොහොත සිත්හි රාග, ද්වේෂ, මෝහ නොපිහිටන මොහොතක්. ඒ කියන්නේ, සුගතියෙහි සිත පිහිටි මොහොතක්. ඒ වගේ මොහොතක අප මරණයට පත් වූවත්, ඒ නම් ළාමක මරණයක් නොවෙයි…!

සටහන – උදුලා පද්මාවතී.