සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමීදම් පුරා සම්බුද්ධත්වයට පත් අප භාග්‍යවතුන් වහන්සේගේ පරම නික්ලේශී හද මඬලින් පැනනැගුණු අසිරිමත් මිහිරි ශ්‍රී සද්ධර්මය සසර දුකට ඇද වැටුණු කෝටි සංඛ්‍යාත සත්වයන්ගේ දුක්ගිනි නිවාදැමුවේ ගිනිගත් කතරට ඇද හැළු‍ණු සිහිල් පොදවැස්සක් වගේ.

භාග්‍යවතුන් වහන්සේ වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මය කෙලෙස් මද මඩිනවා (මදනිම්මදනෝ). කෙලෙස් පිපාසය දුරු කරනවා (පිපාසවිනයෝ). තෘෂ්ණාව මුලින්ම නසා දමනවා (ආලයසමුග්ඝාතෝ). සසර ගමන සිඳ දමනවා (වට්ටුපච්ඡේදෝ). තණ්හාව ගෙවා දමයි (තණ්හක්ඛයෝ). විරාගය ඇති කරයි (විරාගෝ). තෘෂ්ණාව නිරුද්ධ කරයි (නිරෝධෝ). නිවීම ඇති කරයි (නිබ්බානං).

මෙබඳු පමණ කළ නොහැකි ගුණ ඇති ශ්‍රී සද්ධර්මය සත්වයාගේ ජීවිතවල ඇතිකරන යහපත පුදුම සහගතයි.

අප භාග්‍යවතුන් වහන්සේගේ තෘතිය ශ්‍රාවක වූ, ධුත ගුණයෙන් අග්‍ර වූ, පරම විරාගී වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමීපයේ එක්තරා තරුණයෙක් උතුම් පැවිදි බව ලැබුවා. බොහෝ වීරිය කොට බණභාවනා කටයුතුවල යෙදුණා. සතරවැනි ධ්‍යානය දක්වා සිත දියුණු කළා. හැබැයි මග ඵල ලබන්න උනන්දු වුණේ නෑ. ධ්‍යානවලින් තෘප්තියට පත් වුණා. තමා පිරිහෙන්නෙ නෑ කියල හිතාගෙන කටයුතු කළා.

දිනක් තම මාමාගේ නිවසට වඩින්න මේ භික්ෂුවට සිදු වුණා. එහි දී අසංවර ඇසෙන් දුටු රූපයට වසඟ වුණා. තමා දුර්ලභ ව ලොවට පහළ වන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් බව, නිකෙලෙස් මහරහතන් වහන්සේලාගේ – නිවන්මග වඩින සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඇසුරේ වසන බව අමතක වුණා. තමා හොඳින් සිත වැඩූ බව අමතක වුණා. රාග අරමුණ ම ආශ්වාදයෙන් මෙනෙහි කළා. ටික දවසකින් කසාවතට ඇති ඇල්ම නැති වුණා. ගිහි බවට පත් වුණා.

හැබැයි මේ තරුණයා හරිම කම්මැලියි. ගෙදර අය ඔහුව රැකියාවකට පිටත් කළා. පාපමිත්‍රයන්ගේ ඇසුරට වැටුණු ඔහු හොර කල්ලියකට එකතු වුණා. කාලය ගත වුණා. දිනක් ඔහු රාජ පුරුෂයන්ට අහු වුණා. මරණ දඬුවම නියම වුණා. රාජපුරුෂයන් ඔහුගේ දෑත් පිටුපසට කර බැන්දා. කකුල්වලටත් මාංචු දැම්මා. කසයෙන් තල තලා වධකභූමියට අරන් ගියා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතෙ වැඩියෙත් ඒ පාරෙන් ම යි. තම ගුරුදේවයන් වහන්සේ දුටු තරුණයාට තමන් පෙර ගත කළ සොඳුරු ජීවිතය සිතුවම්පටක් වගේ සිතේ මැවී ගියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රාජපුරුෂයන්ට කතා කළා. ඔහුගේ බන්ධන මඳකට ලිහිල් කළා. පරම විරාගී කාරුණික දෙනෙතින් ඔහු දෙස බැලු‍වා. “‍පුත්‍රය, ඔබට දැන් තියෙන්නේ පුරුදු කළ ධර්මයේ පිහිට විතරයි.” කියා කාරුණික හඬින් වදාළා.

පෙර තමන් මහත් ආදර ගෞරව දැක්වූ ගුරුදේවයන් වහන්සේගේ අවවාදය තරුණයාගේ හදවතේ තදින් බැස ගත්තා. වහා සිහිය ඉපදුණා. සතර සතිපට්ඨානය තුළ වීරියෙන් සිත පිහිටුවා ගත්තා. කසපහර වදිද්දි… වධක බෙර, නින්දා අපහාස මැද්දේ මහත් වීරියෙන් සිත එකඟ කරගන්න මහන්සි ගත්තා. ඔහුගේ උත්සාහය සාර්ථක වුණා. යන ගමනේ ම සිත සමාධිමත් කළා. හතරවෙනි ධ්‍යානය දක්වා ම සිත දියුණු කළා. ධ්‍යාන සැපය ඔහුගේ සිත කය පුරා ම පැතිරී තිබුණා. බිය තැතිගැනීම් දුරු වුණා. රාජ පුරුෂයන් ඔහු ව උල හිඳෙව්වා. තියුණු උල ඔහුගේ සිරුර පසාරු කරමින් ගමන් කළා. ආශ්චර්යයි…! ඔහු දැඟළුවේ නෑ. වේදනාවෙන් කෑ ගැහුවෙ නෑ. නිසොල්මනේ ඉන්නවා. මෙය දුටු මිනිස්සු පුදුම වුණා.

“මේක පුදුම සහගත දෙයක්. මෙතරම් වේදනාවක් විඳිද්දි දඟලන්නෙ නැතුව, කෑ ගහන්නෙ නැතුව ඉන්නෙ කොහොමද? මේ පුරුෂයාගේ මූණෙ බිය තැතිගැනීම් මාත්‍රයක් නෑනෙ. හරිම අසිරියක්…!”

මේ ආරංචිය රජතුමාටත් සැලවුණා. රජතුමා එය භාග්‍යවතුන් වහන්සේට සැලකළා. දම්සභා මණ්ඩපයේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ආලෝකය පතුරුවා මිහිරි බ්‍රහ්ම ස්වරයෙන් මේ ගාථාව දේශනා කොට වදාළා.

යෝ නිබ්බනථෝ වනාධිමුත්තමෝ – වනමුත්තෝ වනමේව ධාවති
තං පුග්ගලමේථ පස්සථ – මුත්තෝ බන්ධනමේව ධාවති
කෙලෙස් වනයෙන් නික්මී – වනයෙන් මිදී ගිය අයෙක්
වනයෙන් මිදී සිටි හේ – යළි දිව්වේය වනයට
බලව් මේ පුද්ගලයා දෙස – මිදී ගොස් බන්ධනයෙන්

බන්ධනය වෙතටම දුවයි

මෙතැන අසිරියක් සිදු වුණා. මේ ගාථාව දම්සභා මණ්ඩපයේ සිටි අයටත් ඇහෙනවා. උල මත ඉන්න තරුණයාටත් ඇහෙනවා. ඔහු සිටියේ මනා ව එකඟ කරගත් සිතින්. මහත් කරුණාවෙන් ශාස්තෘන් වහන්සේ වදාළ ගාථාව ශ්‍රවණය කළ තරුණයා උල මත සිට ම මහත් වීරියෙන් නුවණ මෙහෙයවූවා. මේ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් ම සන්දිට්ඨිකයි. ඔහු ඒ උල මත සිට ම සෝවාන් ඵලය සාක්ෂාත් කළා. එක්වර ම රාජපුරුෂයන් මුව අයා ගත්තා. ඔවුන්ගේ ආයුධ අතින් ගිලිහුණා. දෑස් නළල මත… උල මත සිටි තරුණයා උලෙන් උඩට ඉස්සුණා. ඉන් මිදී ධ්‍යාන බලයෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. වන්දනා කළා. දම්සභා මණ්ඩපයේ ම අරහත්වයට පත්ව පිරිනිවන් පෑවා.

අහෝ! මේ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් ම ආශ්චර්යයි. ඒ තරුණයා ගමන පටන් ගත් විදිහට ම වධක භූමිය වෙත ගියා නම් අද මේ මොහොතෙත් නිරයේ ගිනිදැල් අතර දුක් විඳින කෙනෙක්. නමුත් මේ සද්ධර්මය ඔහුව සතර අපායෙන් ඉහළට එසෙව්වා. මිනිස් ලොවින් ඉහළට එසෙව්වා. මිහිරි පංචකාම සැප ඇති සදෙව්ලොවෙනුත් ඉහළට එසෙව්වා. ප්‍රණීත සැප ඇති බ්‍රහ්මලෝකයත් ඉක්මවා අමා මහ නිවන කරා ම රැගෙන ගියා.

ඇත්තෙන්ම මේ අසිරිය කිසි දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට කරන්න පුළුවන්කමක් නෑ. රන්‍ රිදී මිලමුදල් වියදම් කරල කරන්න පුළුවන්කමකුත් නෑ. ඒ දේ කරන්න පුළුවන් මේ ධර්මයට විතර ම යි. මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අපේ ජීවිත තුළ සතුට සොම්නස ඇති කරනවා. චිත්තප්‍රසාදය ඇති කරනවා. ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් අපේ ජීවිතවලින් දුරින් ම දුරු කරල දානවා. සියලු කායික මානසික පරිදාහයන් සංසිඳවනවා.

ඒ නිසා ම යි භාග්‍යවතුන් වහන්සේ,

“යේ කේචි ඕසධා ලෝකේ – විජ්ජන්ති විවිධා බහූ
ධම්මෝසධසමං නත්ථි – ඒතං පිවථ භික්ඛවෝ’ ති

ලෝකයෙහි විවිධාකාරයෙන් බොහෝ වූ යම්කිසි ඖෂධ ඇද්ද, ඒවා අතර ධර්මය නම් වූ ඖෂධය සමාන අනෙකක් නැත. මහණෙනි, එය පානය කරව්.” යනුවෙන් වදාළේ.

අති දීර්ඝ වූත්, බිහිසුණු වූත් සසර ගමනක ගමන් කරන ලෝක සත්වයාගේ ජීවිත පුරා පැතිරී පවතින අනේක කෙලෙස් ව්‍යාධීන් දුරු කරන මෙබඳු ඖෂධයක් ලොව වෙන කොතැනක තිබේ ද? අප ජීවිත වෙලා ගත් සියලු දුක්තැවුල් පිස දමා ශාන්ත ප්‍රණීත නිවන කරා අප ව රැගෙන යන මිහිරි ශ්‍රී සද්ධර්මය ඔබත් මුළු හදවතින් ම සරණ යන්න. ඒ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ මුළු හදවතින් ම සරණ යන්න. ආර්ය මහා සංඝරත්නයත් මුළු හදවතින් ම සරණ යන්න. මේ උතුම් තිසරණය අපේ ජීවිතවල එක ම පිළිසරණ වේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.