පින්වත් යොවුන් දූ දරුවනේ,

අද ලිපියට මාතෘකා කරගත්තේ ලස්සන කතාවක්. “ඔබ ආවේ දිව්‍යලෝකෙන් ද..?” කියලා ඇහුවේ “මේ ජීවිතේ උපදින්ට කලින් හිටියේ දිව්‍යලෝකයක ද..?” කියලයි. ඇත්තටම ඒක අපි හරියටම දන්නේ නෑනේ නේද. නමුත් අපි මේ ලිපිය කියවන මොහොතට හිතමු අපි ආවේ දිව්‍යලෝකෙන් කියලා. හොඳයි! අපි දිව්‍යලෝකෙ ඉඳලා මෙහෙට ආවා නම් අපිට දෙවියන්ගෙන් මොන වගේ අවවාද ලැබෙන්න ඇති ද. අපි අද ලිපියෙන් ඒ ගැන ඉගෙන ගනිමු.

අද මේ ලිපිය ඔයාලට ගොඩාක් උපකාර වෙයි. ඉතින් වෙනදා වගේම බොහොම සෙනෙහසින් සිහිපත් කරනවා ‘වචනයක්වත් මඟ හැර ගන්නේ නැතිව මේ ලිපිය අවසානය තෙක් අවධානයෙන් කියවන්න. ඔයාලගෙ ජීවිතේ ගොඩාක් සාර්ථක කරගත හැකි නුවණක් මේ ලිපියෙන් ලැබේවි!’

සත්ථා දේව මනුස්සානං වූ බුදුරජුන්

ඔයාල දන්නවා බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේත්, මිනිසුන්ගෙත් ශාස්තෘන් වහන්සේනෙ. උන්වහන්සේට මනුලොව මිනිසුන්ගේ ස්වභාවය ගැන වගේම දෙව්ලොව දෙවියන්ගේ ස්වභාවය ගැනත් පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒ හින්දනෙ අපි අපේ බුදුසමිඳුන්ට සත්ථා දේව මනුස්සානං කියලා ගුණ කියමින් වන්දනා කරන්නේ. ඉතින් මේ දෙව්ලොව පුවත භික්ෂූන් වහන්සේලාට කියලා දුන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ විසිනුයි.

පෙරනිමිති පහක්…

එදා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් බණ පදයක් අහන්න බලාපොරොත්තුවෙන් වාඩි වී හිටියා. ඒ වෙලාවේ භික්ෂූන් අමතා බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා.

“පින්වත් මහණෙනි, දෙවිවරුන් දෙව්ලොවින් චුත වෙන කාලයක් එනවා. එතකොට ඔවුන්ට පෙරනිමිති පහක් පහළ වෙනවා. (මාලා මිලායන්ති) මල් මාලාවන් පරවෙලා යනවා. (වත්ථානි කිලිස්සන්ති) ඇඳගෙන ඉන්න වස්ත්‍ර කිලුටු වෙනවා. (කච්ඡේහි සේදා මුච්චන්ති) කිහිලිවලින් දාඩිය ගලනවා. (කායේ දුබ්බණ්ණියං ඔක්කමති) ශරීරය දුර්වර්ණ බවට පැමිණෙනවා. (සකේ දේවෝ දේවාසනේ නාභිරමති) ඒ දෙවියාට තමන්ගේ දිව්‍ය විමානයේ සතුටින් ඉන්න බැරි වෙනවා.”

දෙවියෙක් මිය යන එකට තමයි චුත වෙනවා කියන්නේ. එහෙම මිය යාමට පෙර තමයි ඔය නිමිති පහ ප්‍රකට වෙන්නේ. සාමාන්‍යයෙන් මිනිස් ආයුෂයෙන් සතියකට කලින් තමයි දෙවි කෙනෙක්ට පෙරනිමිති පහළ වෙන්නේ. එතකොට ඒ දෙවියට තමන් මේ දෙව්ලොවින් චුත වෙනවා නේද කියලා භයක් උපදිනවා. දිව්‍ය සැප නැති වෙලා යනවා නේද කියලා දුකක් ඇති වෙනවා. දෙව් පිරිවර අහිමි වෙනවා නේද කියලා ප්‍රිය විප්‍රයෝගයෙන් විශාල ශෝකයක් ඇති වෙනවා.

දෙවියෝ හිත හදනවා…

බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට තවදුරටත් මේ කාරණේ දේශනා කළා “එතකොට පින්වත් මහණෙනි, අනිත් දෙවිවරු දැනගන්නවා ‘මේ දිව්‍ය පුත්‍රයා දෙව්ලොවින් චුත වෙන ස්වභාවයට ඇවිල්ලයි ඉන්නේ’ කියලා. දැනගෙන වදන් තුනකින් (ඒ දිව්‍ය පුත්‍රයාව) අස්වසනවා. “(ඉතෝ භෝ සුගතිං ගච්ඡ) පින්වත, මෙහෙන් චුත වෙලා සුගතියට යන්න. (සුගතිං ගන්ත්වා සුලද්ධලාභං ලභ) සුගතියට ගිහිල්ලා උතුම් ලැබීම ලබන්න. (සුලද්ධලාභං ලභිත්වා සුප්පතිට්ඨිතෝ භවාහි) උතුම් ලැබීම ලබලා ඒකෙ හොඳින් පිහිටන්න” කියලා.”

අස්වසනවා කියන්නේ ඒ චුතවෙන දෙවියාගේ හිතට පහසුවක් දැනෙන විදිහට කියන හිත හැදෙන වචනවලටනේ. බලන්න මේ දෙවියන්ගේ ලෝකෙ තොරතුරු මොනතරම් සුන්දරයි ද කියලා. අපිට මේවා දැනගන්න ලැබුණේ ලෝකය ගැනම අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ නිසයි.

බුදුරජාණන් වහන්සේ අසලම ඉඳගෙන මේ කාරණේ අහද්දි එහි හිටපු එක භික්ෂුවකට මෙහෙම ප්‍රශ්නයක් ආවා. ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

මොකක්ද දෙවියෝ කියපු සුගතිය..?

“ස්වාමීනී, දෙවිවරුන් සුගතියට පැමිණීම කියලා කියන්නෙ මොකක්ද?”

බුදුරජාණන් වහන්සේ වදාළා “(මනුස්සත්තං ඛෝ භික්ඛු දේවානං සුගතිගමනසංඛාතං) පින්වත් භික්ෂුව, මිනිසත් බව ලැබීම තමයි දෙවියන්ගේ සුගතියට පැමිණීම කියලා කියන්නේ”
ඒකෙ අදහස මේ මනුස්ස ලෝකෙ දෙවියන්ගේ ලෝකයටත් වඩා සැපවත් වූ ආරක්ෂිත තැනක් කියන එක නෙවෙයි. දෙවියන් අතරේ ජීවත් වීම පිණිස තිබුණු පුණ්‍ය බලය අවසන් වුණ ඒ දෙවියට නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය වගේ දුගතියක නොවැටී රැකෙන්ට තිබුණ අවසානම වාසනාවන්ත උපත තමයි මනුස්ස ලෝකෙ. සුගති අතරේ පහළින්ම තිබෙන ලෝකය මනුස්ස ලෝකෙ.

මොකක්ද ලැබිය යුතු ලාභය..?

“ස්වාමීනී, දෙවිවරුන්ගේ උතුම් ලැබීම කියලා කියන්නේ මොකක්ද?”

“(යං මනුස්සභූතෝ සමානෝ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ සද්ධං පටිලභති, ඉදං ඛෝ පන භික්ඛවේ දේවානං සුලද්ධලාභසංඛාතං.) ඒ මිනිසත් බවට පත්වෙලා තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්මය ගැන ශ්‍රද්ධාවට පැමිණීම තමයි උතුම් ලැබීම කියලා කියන්නේ.”

සාමාන්‍යයෙන් දරුවනේ මේ ලෝකෙ මිනිස්සු තවත් සාමාන්‍ය මනුස්සයෙක්ව වුණත් හරියට හඳුනාගන්ට දක්ෂ නෑනේ. ඇතැම් වෙලාවට කොයිතරම් නම් මිනිස්සුන්ට
රැවටෙනවා ද. ඒ අතරේ කිසියම් මනුස්සයෙක්ට බුදුරජාණන් වහන්සේ ගැන ගුණ අහලා හිත පහදවා ගන්න තරම් වාසනාවක් තිබුණොත් ඒක නම් මහා ලැබීමක්මයි. මහා වාසනාවක්මයි.

අර භික්ෂුව තුන්වෙනි ප්‍රශ්නයත් බුදුරජුන්ගෙන් විමසුවා. “ස්වාමීනී, දෙවිවරුන්ගේ ඉතා හොඳින් පිහිටීම කියලා කියන්නේ මොකක්ද?”

බුදුරජුන් මෙහෙම පිළිතුරු දේශනා කළා “(සා ඛෝ පනස්ස සද්ධා නිවිට්ඨා හෝති මූලජාතා පතිට්ඨිතා දළ්හා අසංහාරියා සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං. ඉදං ඛෝ භික්ඛවේ දේවානං සුප්පතිට්ඨිතසංඛාතන්ති) ඒ ශ්‍රද්ධාව ඔහුගේ සිත තුළ පිහිටලා මුල් බැසගෙන ස්ථාවර වෙලා තියෙනකොට ලෝකයේ කිසිම ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයා විසින් හෝ ලෝකයේ වෙන කවුරු විසින් හෝ ඔහුගේ ඒ ශ්‍රද්ධාව නැති කරලා දාන්න බැරි නම්, පින්වත් මහණෙනි, මේක තමයි දෙවියන්ගේ ‘ඉතා හොඳින් පිහිටීම’ කියලා කියන්නේ.”

මේ අසිරිමත් දෙව්ලොවේ පුවත පැහැදිලි කර ගනිද්දී එහි සිටි භික්ෂූන්ගේ සිත ප්‍රීතිමත් වුණා. ධර්ම ප්‍රබෝදය ඇති වුණා. ඒ ශාස්තෘ ගෞරවය ඇති භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ ගාථාවලින් මිහිරි අවවාදයක් කළා.

ලස්සන ගාථා

යදා දේවෝ දේවකායා චවති ආයුසංඛයා,
තයෝ සද්දා නිච්ඡරන්ති දේවානං අනුමෝදතං

“ආයුෂ ගෙවී යාමෙන් දෙවි කෙනෙක් දෙව්ලොවින් චුත වෙන්න ළං වෙනවා. එතකොට ඔහුව අස්වසන දෙවිවරුන්ගේ තුන් ආකාරයක අස්වැසිලි වචන නිකුත් වෙනවා.”

ඉතෝ භෝ සුගතිං ගච්ඡ මනුස්සානං සහව්‍යතං,
මනුස්සභූතෝ සද්ධම්මේ ලභ සද්ධං අනුත්තරං

“පින්වත් දෙවිය, ඔබ මෙහෙන් චුත වෙලා මිනිසත් බව ඇති සුගතියට යන්න. මිනිසත් බව ලබලා බුදුරජුන් වදහළ ශ්‍රී සද්ධර්මය ගැන උත්තරීතර ශ්‍රද්ධාව ලබාගන්න.”

සා තේ සද්ධා නිවිට්ඨස්ස මූලජාතා පතිට්ඨිතා,
යාවජීවං අසංහීරා සද්ධම්මේ සුප්පවේදිතේ

“ඒ ශ්‍රද්ධාවට පැමිණිලා ඒකෙ මුල් බැසලා පිහිටන්න. එතකොට බුදු සමිඳුන් විසින් මනා කොට දෙසූ ඒ සදහම් ගැන පිහිටි ශ්‍රද්ධාව ඔබේ ජීවිතේ තියෙන තාක්කල්ම එය කාටවත් උදුරාගන්න බෑ.”

කායදුච්චරිතං හිත්වා වචීදුච්චරිතානි ච,
මනෝදුච්චරිතං හිත්වා යඤ්චඤ්ඤං දෝසසඤ්හිතං

“කාය දුසිරිතත්, වචී දුසිරිතත් අත්හරින්න. මනෝ දුසිරිතත්, වෙන දොස් සහිත වූ අකුසලුත් අත්හරින්න.”

කායේන කුසලං කත්වා වාචාය කුසලං බහුං,
මනසා කුසලං කත්වා අප්පමාණං නිරූපධිං

“කයෙනුත්, වචනයෙනුත් බොහෝ කුසල් කර මනසිනුත් පිරිසිදු වූ කුසල් අප්‍රමාණව කරන්න.”

තතෝ ඕපධිකං පුඤ්ඤං කත්වා දානේන තං බහුං,
අඤ්ඤේ’පි මච්චේ සද්ධම්මේ බ්‍රහ්මචරියේ නිවේසය

“ඒ විදිහට දන් දීමෙනුත් මතුවට සැප ලබාදෙන පින් ගොඩාක් කරන්න. අනිත් මිනිසුන්වත් ධර්මයේ පිහිටුවන්න. බ්‍රහ්මචරියාවේ පිහිටුවන්න.”

ඉමාය අනුකම්පාය දේවා දේවං යදා විදූ,
චවන්තං අනුමෝදන්ති ඒහි දේව පුනප්පුනන්ති

“මේ විදිහට දෙවිවරුන් යම් වෙලාවක චුත වෙන දෙවිකෙනෙක්ව දකිනවා නම් ඔය වචන කියන්නේ අනුකම්පාවෙන්මයි. ඒ වගේම ඒ දෙවියාගේ සිතේ දුක නැති කරන අදහසින් “දෙවිය, ඔබ ආයෙ ආයෙමත් මෙහි එන්න.” කියලා සතුටු කරවනවා.”

අසරණ වෙන්න එපා!

ඔයාලත් ආවේ දිව්‍යලෝකෙන් නම් මේ අවවාද දෙවියන් විසින් ඔයාලටත් කරන්න ඇති. නමුත් අපි දැන් බලන්න ඕන දෙවියෝ කියපු විදිහේ ජීවිතයක් ද මට තියෙන්නේ කියලයි. දෙවිවරු අවසාන වචනේ විදිහට කියනවනේ “දෙවිය, ඔබ ආයෙ ආයෙමත් මෙහි එන්න.” කියලා. එහෙම කිව්වත් දෙවියන් අතරට යන්න නම් කෙනෙක් ඒ උදෙසා කළ යුතු දේවල් කරන්න ඕන. කෙනෙක් දෙවියන් අතරින් මෙහෙට ආවත් මෙහේ පව් කරමින් දුස්සීලව නම් ඉන්නේ එයාට මේ අවුරුදු අසූවක් විතර කෙටි මිනිස් ජීවිතෙන් පස්සේ යන්න වෙන්නේ දුගතියටයි.

නමුත් මෙහෙම දේකුත් තියනවා. මොන ලෝකෙක ඉඳලා මේ මනුස්ස ලෝකෙට ආවත් අද මේ ලිපිය කියවපු ඔයාලා දන්නවා දෙව්ලොවින් ආපු කෙනෙක්ට ලැබුණු වටිනා අවවාද. ඒ අවවාද හිතට අරගෙන පින් – කුසල් කරමින් සිල්වත්ව, ගුණවන්තව ජීවත් වුණොත් මනුස්ස ලෝකෙට ආවේ මොන ලෝකෙන් වුණත් මේ අවුරුදු අසූවක් විතර කෙටි මිනිස් ජීවිතෙන් පස්සේ අනිවාර්යෙන් සුගතියේ උපදින්න පුළුවන්කම ලැබෙයි.

යම් දවසක සජීව අජීව හැමදේම අතහැරලා තනියම මැරෙද්දී තමන් වෙනුවෙන් සුගති ආරක්ෂාවක් සලසාගෙන අසරණ නොවන මනුස්ස ජීවිතයක් ඇති කරගන්න මේ ලිපියේ පණිවිඩය ඔබට ආශීර්වාදයක් ම වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.