පින්වත් යොවුන් දූ දරුවනේ,
ගොඩාක් දෙනෙක් තමන්ගේ වාසනාව තේරුම් ගන්න අදක්ෂයි. සමහර විට මේ ලිපිය කියවන ඔබත් ඔබේ වාසනාව තේරුම් ගන්න අදක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අද මේ ලිපිය අවසන් වෙද්දී ඔබට ඔබේ වාසනාව තේරුම් ගන්න පුළුවන් වෙයි. වාසනාව තේරුම් ගත්තොත් එය රැකගන්න පුළුවන් වෙයි. නමුත් ඔබට ඔබේ ම වාසනාව තේරුම් ගන්න බැරි වුණොත් නම් ඉතා ම අවාසනාවන්ත විදිහට වාසනාව බිඳිලා යයි. ඔබ නම් වාසනාව බිඳ ගන්ට එපා!
‘වචනයක්වත් මඟ හැර ගන්නේ නැතිව මේ ලිපිය අවසානය තෙක් අවධානයෙන් කියවන්න’ කියලා සෙනෙහසින් ආරාධනා කරමින් ඔබේ වාසනාව තේරුම් කරන්නයි මේ සූදානම.
එක ම ලෝකෙක ඇයි මෙහෙම වෙනසක්..?
එහෙම හිතුණේ සුභ කියන තරුණයාට. ‘එක ම ලෝකෙක ඇයි මෙහෙම වෙනසක්? කවරෙක් ද මේ වෙනස මැව්වේ?’
සුභ ඒ ප්‍රශ්නෙට විසඳුම හොයාගෙන හරි ම කෙනා ළඟට යන්න වාසනාවන්ත වුණා. ඔව්! සියල්ල දන්නා, සියල්ල දක්නා, සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් සුභ මෙහෙම ඇහුවා.
“ස්වාමීනී, මේ එක ම මිනිස් ලොවේ මිනිසුන් අතරේ මේ විදිහේ උස් පහත් බවක් දකින්ට ලැබෙන්නේ ඇයි? සමහරු දීර්ඝායුෂ විඳිද්දී, සමහරු අඩු ආයුෂෙන් මැරෙන්නෙ ඇයි? සමහරු ලෙඩ රෝග ගොඩකින් පොඩි කාලේ පටන් ම විඳවද්දී, සමහරු නීරෝගී ව සුවපත් ව ඉන්නෙ මොකක් නිසා ද? සමහරු ලස්සන වෙලා උපන්නත්, සමහරු එච්චර ලස්සන නැත්තේ ඇයි? සමහරු හරිම ප්‍රසිද්ධයි, පිළිගැනීම් ගොඩයි. ඒත් සමහරු හරිම අල්පේශාක්‍යයි. කවුරුත් ගණන් ගන්නෙවත් නෑ. සමහරු උසස් ගෙවල්වල ඉපදෙනවා. සමහරු පහත් ගෙවල්වල උපදිනවා. සමහරු ධනවත්. සමහරු දුප්පත්. සමහරු නුවණක්කාරයි. සමහරු මෝඩයි. ඇයි ස්වාමීනී, එක ම මිනිස් ලොවේ මෙහෙම වෙනසක්?”
තමන් ම යි තමන්ගේ නිර්මාණකරුවා…
බුදුරජාණන් වහන්සේ සුභගේ ප්‍රශ්නෙට මෙහෙම පිළිතුරු දුන්නා. “(කම්මස්සකා මාණව සත්තා) පින්වත් තරුණය, මේ සත්වයා තමන්ගේ දේ කරගෙන ඉන්නෙ කර්මයයි. (කම්මදායාදා) කර්මය තමයි දායාදය. (කම්මයෝනි) කර්මය තමයි උප්පත්ති ස්ථානය. (කම්මබන්ධූ) කර්මය තමයි ඤාතියා. (කම්මප්පටිසරණා) කර්මය තමයි පිළිසරණ. (කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතා) කර්මය තමයි මේ උස් පහත් වූ බෙදීම කරන ලද්දේ.”
මේ කරුණ බුදුරජාණන් වහන්සේ වදාළේ චූල කම්මවිභංග දේශනාවේ දී. ඉතින් කර්මයෙන් නම් මේ උස්පහත් බව බෙදුණේ, ඔබ අද ඉන්න විදිහට නිර්මාණය වුණේ කුමක් නිසා ද! ඇත්තෙන්ම ඔබ ම අතීතේ කරපු කර්ම නිසා. ඒක තවදුරටත් තේරුම් ගන්න මෙහෙම.
අතීතේ ප්‍රාණඝාතයෙන් වැළකුණු අයයි, මේ ජීවිතේ දීර්ඝායුෂ විඳින්නේ. අතීතේ ප්‍රාණඝාත කළ අය මේ ජීවිතේ අඩු ආයුෂෙන් මැරෙනවා. සත්ව හිංසාවේ යෙදුණු අය ලෙඩ රෝග ගොඩකින් පොඩි කාලේ පටන් ම විඳවනවා. සතුන්ට ආදර දයා කරුණා දැක්වූ අය නීරෝගී ව සුවපත් ව ජීවත් වෙනවා. හොඳින් මෛත්‍රී වැඩූ අය ලස්සන වෙලා උපදිනවා. කේන්තියෙන් අමනාපෙන් කර්ම කරගත්ත අය අවලස්සනට උපදිනවා. අනුන්ට ඉරිසියා නොකර පිදිය යුත්තන් පුදපු අය මේ ජීවිතේ හරි ම ප්‍රසිද්ධයි, පිළිගැනීම් ගොඩයි. අනුන්ට ඉරිසියාකාරකම් කර කර, අනුන්ගේ ගුණ මකමින් කර්ම කරගත් අය මේ ජීවිතේ හරි ම අල්පේශාක්‍යයි. කවුරුත් ගණන් ගන්නෙවත් නෑ. පෙර සසරේ දන් දීපු අය උසස් ගෙවල්වල ඉපදෙනවා, ධනවත් ව උපදිනවා. දන් නොදී මසුරු ව හිටපු අය දුප්පත් ව උපදිනවා. පෙර සසරේ නුවණැත්තන් ආසාවෙන් ඇසුරු කරමින් නුවණ උපදන අවවාද ඇසුරු කරපු අය මේ ජීවිතේ නුවණැත්තන් වෙලා උපදිනවා. පෙර සසරේ නැණවතුන්ගේ ඇසුර සොයා නොගිය අය මේ ජීවිතේ අනුවණ වෙලා උපදිනවා. පෙර සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වී හිටපු අය මේ ජීවිතේ මන්දබුද්ධික වෙලා, එහෙම නැත්නම් උමතු වෙලා උපදිනවා. පෙර සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකළ අය මේ ජීවිතේ හොඳ සිහි කල්පනාවක් ඇති ජීවිත ලබනවා.
ඉතින් මේ විදිහට කරුණු දැනගනිද්දී තේරෙනවා නේද තමන්ගේ නිර්මාණකරුවා තමන් ම යි කියලා.
මට වැරදුණු තැන – මම හදා ගනිමි…
ඔයාල අහලා ඇති පසේනදී කෝසල රජු ගැන. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ මුළු කෝසලයේ ම පාලකයා තමයි කොසොල් රජු. ඔය රජුගේ අගමෙහෙසිය තමයි මල්ලිකා දේවි. මල්ලිකා දේවි ගොඩාක් ලස්සන කෙනෙක් නෙවෙයි. දවසක් ඇය බුදුරජාණන් වහන්සේ හමු වීමට ඇවිත් මේ විදිහේ කතාබහක් ඇති වුණා.
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම දකිනවා මේ සමාජයේ ඇතැම් ස්ත්‍රීන්, ඔවුන් හරි ම ධනවත්. නමුත් ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන් ඉතා දුප්පත්. ඇයි ස්වාමීනී එහෙම වෙනසක් වුණේ?”
“මල්ලිකාවෙනි, ගොඩාක් ධනවත් ව උපන් ස්ත්‍රීන් අතීතේ දන් දුන් අයයි. ඔය දුප්පත් ස්ත්‍රීන් අතීතෙ දන් නොදුන් මසුරු ව සිටි අයයි.”
“ස්වාමීනී, මම දකිනවා මේ සමාජෙ ඇතැම් ස්ත්‍රීන්, ඔවුන් හරි ම ලස්සනයි. එහෙත් ස්වාමීනී, ඇතැම් ස්ත්‍රීන් එහෙම ලස්සන නෑ. ඇයි ස්වාමීනී, එහෙම වෙනසක් වුණේ?”
“මල්ලිකාවෙනි, අතීත ජීවිතවල මෙත් සිත වැඩූ අය තමයි මේ ජීවිතේ ලස්සන වෙලා ඉපදී සිටින්නේ? අතීත ජීවිතවල මෙත් සිත නැති කරගෙන තරහා කේන්තිය පුරුදු කරපු අය මේ ජීවිතේ අවලස්සනයි.”
මේ අර්ථය තේරුම් ගත්තාට පස්සේ මල්ලිකා දේවි බුදුරජාණන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, එසේ නම් මට තේරෙනවා මම අතීතෙ හොඳට දන් දුන් කෙනෙක්. මම මසුරු වෙලා නෑ. ඒකනේ ස්වාමීනී, මට මේ ජීවිතේ මෙතරම් ධනවත්කමක් ලැබුණේ. ස්වාමීනී, මම ඒ අතීතෙත් දන් දුන් පුරුද්ද මම මේ ජීවිතේත් අඛණ්ඩව පුරුදු කරමි.
එහෙත් ස්වාමීනී. මට තේරෙනවා, මට අතීතෙ වැරදිලා තියෙනවා මෛත්‍රිය. මං තරහ අමනාපෙ පුරුදු කර කර ආපු එකියක්. මට වුණ ඒ වරද නිසානෙ මේ ජීවිතේ මං ලස්සන නැත්තෙ. ස්වාමීනී, ඒ මට වැරදුණු තැන, මම දැන් හදමි. මේ ජීවිතේ මම මෙත් සිතින් වාසය කරමි.”
ඔබත් ඔබව හඳුනගන්න…
ඉතින් මල්ලිකා දේවි තමාව හඳුනගත්තා වගේ ඔබත් ඔබව හඳුනගන්න. මව්කුස තුළ දී පවා මැරෙන මිනිස්සු අතරේ, අපි මේ තරම් කලක් හෝ නොමැරී ජීවත් වුණේ අපි පෙර සසරේ සතුන් නොමැරූ නිසා කියලා තේරුම් ගන්න. උපතින් ම මන්දබුද්ධික, උම්මන්තක මිනිස් ජීවිත ලබන අය අතරේ, අපි යමක් තේරුම් ගන්න පුළුවන් විදිහට උපන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයක් අතීත සසරේ නොකළ නිසා කියලා තේරුම් ගන්න. සත්පුරුෂ ඇසුරක් ලේසියෙන් හමු නොවෙන මිනිස් පියසේ අපි සත්පුරුෂ ඇසුරක් ලබන්න වාසනාවන්ත වුණෙත් අපි විසින් ම පෙර සසරේ කරන ලද යම් හෝ වටිනා යහපත් පින් කුසල් නිසා කියලා තේරුම් ගන්න. ඉතින් මේ වගේම තව තවත් පුළුවන් උපරිමයෙන් තමන්ව ම හඳුනගන්න දක්ෂ වෙන්න.
ඊළඟට තියෙන්නේ රැකගන්ටයි…
තමන් තමන්ගේ වාසනාව හඳුනගත්තොත් අපිට පුළුවන් ඒක රැකගන්න. හරියට මල්ලිකා දේවිය තමන් ව හඳුනාගෙන හොඳ දේ අඛණ්ඩ ව පුරුදු කරන්නත්, වැරදුණු තැන හදාගෙන නිවැරදි වෙන්නත් හිතට ගත්තා වගේ.
මොකද සුන්දර දෙයක් ගොඩනඟා ගන්නත්, රැකගන්නත් ගොඩාක් අමාරුයි. නමුත් ගොඩාක් කල් අරගෙන හදාගත්ත සුන්දර දෙයක් පවා බිඳෙන්ට යන්නේ මොහොතයි.
ඒ කාරණේ තේරුම්ගන්න මේ උපමාවෙන්. පස් ගොඩකින් මැටි කළයක් හදාගන්න කෙනෙක්ට උවමනා වුණොත් ඒක කරන්න යම්කිසි වෙහෙසක් දරන්න වෙනවා. ඒ කෙනා කළයක් හදන්න සුදුසු පසක් හඳුනගන්නත් දක්ෂයෙක් වෙන්න ඕන. ඒ පස සුදුසු පදමට සකස් කරගන්නත් දක්ෂයෙක් වෙන්න ඕන.
ඒ මැටි ගුලිය සකපෝරුවේ කරකවමින් ඇඟිලි හසුරුවන්න දක්ෂතාවය ඇති කරගෙන කළයක් නිර්මාණය කරගන්න දක්ෂයෙක් වෙන්නත් ඕන.
සකපෝරුව මත සකස් කරපු මැටි කළේ ඒකෙන් ගලවගන්න දක්ෂයෙක් වෙන්නත් ඕන. ඒ මැටි භාජනේ අවශ්‍ය ප්‍රමාණෙට අව්වේ වේළගන්නත් දක්ෂ වෙන්න ඕන. වේළා ගත්ත මැටි කළය සුදුසු පදමට පෝරණුවේ දාලා සකස් කරගන්නත් දක්ෂයෙක් වෙන්න ඕන. ඔය දක්ෂතා ඔක්කොම තිබුණොත් තමයි හොඳට පිළිවෙළට මැටි කළයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ.
නමුත් හිතන්න…, හොඳට ලස්සනට හදපු මැටි භාජනයක් බිඳින්න විශේෂ දක්ෂතාවයක් ඕන ද? සුළු වෑයමකින් හැඩට හදාගත්ත මැටි භාජනයක් කෑලි කෑලි වලට බිඳලා දාන්න පුළුවන්.
ඔබ අද ලැබූ වාසනාව ලස්සන මැටි කළයක් වගේ දකින්න. මනුෂ්‍ය ජීවිතේ ලැබීම, අකාලේ නොමැරී ජීවත් වෙන්න ලැබීම, ගොඩාක් ලෙඩරෝග නැති ඇඟක් ලැබීම, අංගවිකල නොවුණ සිරුරක් ලැබීම, හොඳ නරක තේරුම් ගන්න පුළුවන් මානසික හැකියාවක් ලැබීම, සත්පුරුෂ ඇසුරක් ලැබීම ආදී මේ හැමදේම ලස්සනට ලැබුණේ ඉබේ අහම්බෙට නෙවෙයි. මේ තමයි ඔබ වෙහෙසී හදාගත්ත වාසනාව. දැන් තියෙන්නේ ඒ වාසනාව හඳුනාගෙන රැකගන්නයි.
අද දීර්ඝායුෂ ලැබූ කෙනෙක් ජීවත් වෙන්නේ සත්තු මරමින් නම් එයා තමන්ගේ වාසනාව බිඳ ගන්නවා. ලෙඩරෝග අඩු කෙනෙක් දැන් සතුන්ට හිංසා කරනවා නම් එයා වාසනාව බිඳ ගන්නවා. සිහි කල්පනාව ඇති කෙනෙක් දැන් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරනවා නම් එයා වාසනාව බිඳ ගන්නවා. ලස්සන රුවක් ඇති කෙනෙක් දැන් කේන්තියෙන් ක්‍රෝධයෙන් ඉන්නවා නම් එයා වාසනාව බිඳ ගන්නවා. මේ විදිහට තේරුම් ගත්තොත් ඔබට පුළුවන් වෙයි වාසනාව බිඳ ගන්නෙ නැතිව රැකගන්න.
ඔබට ඒ උදෙසා වාසනාව ලැබේවා!
තෙරුවන් සරණයි!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments