එදා ඒ භික්ෂුව වීදියේ වැඩම කරමින් සිටියේ සන්සුන් ගමනින්. වීදිය අසල වූ දුගී පැල්පතක සිටි ළදැරිය සිටියේ ඉකිගසමින් හඬා වැළපෙමිනුයි. ඊට මොහොතකට පෙරයි අරුමෝසම් බඩු වෙළඳාමේ පැමිණි වෙළෙන්දා ඒ පැල්පත පසු කොට ගියේ… දැරියට වුවමනා වූයේ ලස්සන මාලයක්. එහෙත්… එවැන්නකට වියපැහැදම් කරන්නට ඇගේ මිත්තණියට කාසි කොහෙන් ද! දුකට පත්ව හඬනා ළදැරිය කෙරෙහි දයා සිතැති ඒ භික්ෂුව එහි නැවතුනා. කරුණු විමසා බැලුවා. සිතෙහි අනුකම්පාව උතුරා ගියා…

වටපිට බලද්දී ඒ භික්ෂුවගේ නෙත ගැටුනේ දිරා යන ලණු කැබැල්ලක්. එය රැගෙන එන්න යැයි පැවසූ භික්ෂුව ලණු කැබැල්ල දෙකෙළවරින් ගැට ගසා හඬනා ළදැරිය අතට පත් කළා. එය කරමාලයක් කොට පලඳින්න යැයි අවවාද කළා. ඇගේ ළපටි මුව පුරා සිනා ඉහිරුවමින් කර වටා පැලඳුනේ අතිශය සොඳුරු රන් මාලයක්. ඔවුනගේ සතුටට ඉඩප්‍රස්ථා සලසා භික්ෂුව එතැනින් වැඩම කළා.

බිම්බිසාර නිරිඳුගේ රාජ පුරුෂයෝ මේ දුගී දුප්පත් ළදැරිය සන්තකයේ වූ අගනා රන් මාලය ගැන සැක ඉපැද්දුවා. මිණිපිරියත්, මිත්තණියත් දෙදෙනා ම සිරගත කරනු ලැබුවා. පසුදිනයේත් ඒ වීදියේ ම වැඩම කළ ඒ භික්ෂුවට ඒ සියලු පුවත් අසන්නට ලැබුණා. උන්වහන්සේ රාජමාලිගාවට වැඩම කළා. බිම්බිසාර නිරිඳු වහවහා ආචාරසමාචාර පවත්වා වන්දනාමානයන් කරමින් භික්ෂූන් වහන්සේ ව වඩාහිඳුවනු ලැබුවා. එකත්පසෙක හුන් රජුගෙන් ඒ භික්ෂුව රන්මාලයක් නිසා සිරගත කළ ළදැරියගේ හා මැහැල්ලගේ පුවත විමසා සිටියා. රජු ඒ ගැන පවසා අවසන් වූ පසු භික්ෂුව රජුට වදාළේ රාජමාලිගය හාත්පස බලන ලෙසයි. බිම්බිසාර නිරිඳු නෙත ගැටුනේ රන්වනින් බබළනා මාලිගයක්. ඒ ක්ෂණයෙහි ම අර රන්මාලය මේ භික්ෂුවගේ ඍද්ධියක් බව රජු තේරුම් ගත්තා. අසරණියන් දෙදෙනාට නිදහසත්, රාජ වරප්‍රසාදත් ලැබුණා. අනුන්ගේ දුකෙහි දී සිත උණු වන කරුණා ගුණ ඇති ඒ භික්ෂුව කොතරම් නම් උතුම් ද! කොතරම් නම් මහානුභාව සම්පන්න ද!

තවත් දවසක දී ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. එක්තරා භික්ෂුවක් තමා හමුවට පැමිණෙන උදවියට ‘වසල’ නමින් අමතන බවට තමයි පැමිණිල්ල. “කොහොමද වසලය? කුමක්ද වසලය?, කෙසේ ද වසලී?” ආදී වශයෙන් අන් අය ආමන්ත්‍රණය කරන මේ භික්ෂුව පැවිදි බිමට පත් වී තිබුණේ මහාසාර බ්‍රාහ්මණ කුලයකින් නික්මයි. එනිසා ම, බ්‍රාහ්මණ මාන්නය හිසේ තබාගෙන කුල ගර්වය නිසා අන් අය ව මෙසේ වසල වාදයෙන් අමතන බවට ඒ භික්ෂුවට චෝදනා එල්ල වුණා. මේ වසල වාදයෙන් කරන ඇමතීම නිසා ම බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි නොපහන් වුණා…

එහෙත්, ළදැරියක කෙරෙහි අනුකම්පාවෙන් රන්මාලයක් මවා ඍද්ධි පෑවේත් ඒ භික්ෂුව ම යි. එපමණක් නොවෙයි; ඒ භික්ෂුව වනාහී සියලු කෙලෙසුන් නසා අම නිවන් වැඩි මුනිවරයෙක්. නොපිහිටි විඤ්ඤාණයෙන් පිරිනිවන් පානා උත්තමයෙක්. ගෞතම සම්මා සම්බුදු සසුනේ දෙවිවරුන්ට ප්‍රියමනාප වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේ තමයි ඒ…!

කෙලෙස් මාත්‍රයක් හෝ සිත්හි නොමැති ඒ උත්තමයා අන් අය වසල වාදයෙන් අමතන්නේ අනුපිළිවෙළින් ආත්මභාව පන්සියයක් පුරා මහාසාර බ්‍රාහ්මණ කුලයන්ගේ ම ඉපදීම නිසා උරුම කර ගත් සසර පුරුද්ද හේතුවෙන් බව සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. සසර පුරුදුත් සමඟ සියලු කෙලෙසුන් නසා නිකෙලෙස් වන්නේ සම්බුදුරජාණන් වහන්සේලායි. ශ්‍රාවක වූ රහතන් වහන්සේලා තුළ මෙබඳු වූ සසර පුරුදු ප්‍රකට විය හැකියි. එහෙත්, ඒ කරුණින් උන්වහන්සේලාට චෝදනා කිරීම නොකළ යුත්තක්. එසේ කළහොත් චෝදනා කරන්නා තමයි විපතට පත් වන්නේ…

භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටියා වූ, සුවසේ ගුණධර්ම දියුණු කිරීමේ වාසනාවත්, හැකියාවත්, උනන්දුවත් උරුම වූ ඒ යුගයේ ජීවත් වූ සඟ පිරිසට පවා පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේගේ කෙලෙස් රහිත භාවය හඳුනාගන්නට හැකි වුණේ නැහැ. දොස් රහිත ව සිටිය දී ම උන්වහන්සේට දොස් සහිත බවට චෝදනා කෙරුණේ ඒ නිසයි. ඉතින්, භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි යුගයෙන් බොහෝ එපිටට පැමිණ අප ඉපදුණු මේ යුගයේ අපට ගුණවතුන්, සිල්වතුන් හඳුනාගැනීම පහසු වේවි ද? නැහැ. මේ නිසා ම ඇතැම්විට අප පැහැදිය යුතු තැන අපහදිනවා. උතුම් ගුණැතියන් හඳුනා නොගෙන ඔවුන් සමඟ ගැටෙනවා. ද්වේෂ සහගත වෙනවා. ක්‍රෝධ කරනවා. සසර ගමනේ අප ව මහා විපතකට ඇද දමන්නට ඒ ක්‍රෝධයට බැරි නැහැ. ඒ නිසා, ක්‍රෝධය නසන ධර්මය අප හිස් මුදුනින් දරා ගත යුතුයි.

අපගේ ශාස්තෘන් වහන්සේ මේ උතුම් ධර්ම පර්යාය වදාළේ අප කෙරෙහි අනුකම්පාවෙන් ම යි. යම් අයෙකු කෙරෙහි අප සිත්හි ද්වේෂ සහගත වෛරී හැඟීම් උපන්නේ නම් එය මුළුමනින් ම දුරු කිරීම් පහක් ඇති බව සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.

“මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩිය යුත්තේ ය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.

මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩිය යුත්තේ ය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.

මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා කෙරෙහි උපේක්ෂාව වැඩිය යුත්තේ ය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.”

(පඨම ආඝාත පටිවිනය සූත්‍රය, අං. නි. 03)

යම් අයෙකු කෙරෙහි උපදින ගැටීම මඩින්නට, ඒ කෙනා කෙරෙහි මෛත්‍රී චිත්තය හෝ කරුණා චිත්තය හෝ උපේක්ෂා චිත්තය පවත්වන්නට නම් පෙර පුහුණුවක් වුවමනයි. සතර බ්‍රහ්ම විහරණ භාවනාවන්ගේ යෙදීම සත්පුරුෂයන් වහන්සේලා වර්ණනා කරන්නේත්, එයට උත්සාහවත් කරවන්නේත් ඒ නිසයි.

“මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා පිළිබඳ නොසිතීම, නොමෙනෙහි කිරීම පිළිපැදිය යුත්තේ ය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.”

(පඨම ආඝාත පටිවිනය සූත්‍රය, අං. නි. 03)

රිදුනු තැන ආයේ ආයේ මතක් කරමින් සිතීම තමයි සිතට පුරුදු වී තිබෙන ස්වභාවය. හැබැයි සම්බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ අකුසලය වැඩී යන ඒ අරමුණෙහි සිත නොපිහිටුවා අන් අරමුණක සිත පිහිටුවන්නට වෑයම් කරන ලෙසයි. මේ දේ කරන්න වීරිය ඕන, නුවණ ඕන, සිහිය ඕන.

සිතෙහි උපන් වෛරය දුරු කළ හැකි තවත් ආකාරයක් ගැන සම්බුදුරජාණන් වහන්සේ මේ දෙසුමේ දී වදාළා. මේ ක්‍රමය හොඳට පුරුදු වුණොත් කා කෙරෙහි වුණත් මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව පතුරුවාලීම දුෂ්කර වන්නේ නැහැ. ඒ වගේ ම පාපී අකුසල විතර්කයන්ගේ එල්බ නොසිට කුසල් අරමුණක සිත රඳවා ගැනීම දුෂ්කර වන්නේත් නැහැ.

“මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා කෙරෙහි කර්මය ස්වකීය කොට ඇති බව පිහිටුවා ගත යුත්තේ ය. ‘මේ ආයුෂ්මත් තෙමේ කර්මය ස්වකීය කොට ඇත්තේ ය. කර්මය දායාද කොට ඇත්තේ ය. කර්මය උප්පත්ති ස්ථානය කොට ඇත්තේ ය. කර්මය ඤාතියා කොට ඇත්තේ ය. කර්මය පිළිසරණ කොට ඇත්තේ ය. පුණ්‍ය වේවා පාප වේවා යම් කර්මයක් කරන්නේ ද එය ඔහුගේ දායාදය වන්නේ ය’ යි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කළ යුත්තේ ය.

(පඨම ආඝාත පටිවිනය සූත්‍රය, අං. නි. 03)

මේ කවර හෝ ආකාරයකින් සිතෙහි උපදනා පාපී ද්වේෂය බැහැර කරන්නට අප පුරුදු පුහුණු වී සිටිනවා නම් ගුණවතුන්, සිල්වතුන් විෂයෙහි වරදවා පිළිපන් අය වීමේ අභාග්‍යයෙන් අපට අත්මිදෙන්නට අවස්ථාව සැලසෙනවා. එපමණක් නොවෙයි, අද වගේ ගුණධර්ම ක්‍රමයෙන් ගිලිහී යන යුගයක ඒ පිරිහීමට ම අනුගත වෙලා විපතට පත් වන උදවිය කෙරෙහි පවා අප අතින් අකුසලයක් වීමට ඇති ඉඩප්‍රස්ථා ඇහිරෙනවා. අප කිසිවක් ම නොදන්නා ජීවන අරගලයක කොටස්කරුවන් වෙමින් අන් අයට අපහසුව ඇති කරවන උදවිය කෙරෙහි පවා අපට මැදහත්ව පිළිපදින්නට හැකි වන්නේ මේ ගුණ අප තුළ උපදවා ගත්තොත්…

අන් අය ව මනින්නට එපා. එයින් අප නැසෙන්නට ඇති ඉඩකඩ වැඩියි. හැබැයි, තමතමන් මැන බලන්න. එවිටයි අපට අප තුළ ගුණයන්ගේ ඉපදීම, වැඩී යාම, පැවතීම හෝ ගුණ නැසී යාම හඳුනාගත හැක්කේ. ඒ වෙනුවෙන්, වෛරය දුරු කරන මේ පිළිවෙත ජීවිතයට පමුණුවා ගන්න.

උදුලා පද්මාවතී.