පින්වත් යොවුන් දූ දරුවනේ,

ලිපියේ මාතෘකාව දකිද්දීම ඔබටත් හිතෙන්න ඇති ‘මේ කාරණේ දැනගන්න එක නම් මටත් වටිනවා’ කියලා. මොකද ඔබටත් ඇති පාලනය කරගත්තොත් හොඳයි කියලා හිතන ඇබ්බැහි වීම්. ගොඩාක් අයට ඇබ්බැහි වීම්වලින් ඇතිවුණ වෙහෙස තියෙනවා. ඒ ඇබ්බැහි වීම් නවත්තගන්න, පාලනය කරගන්න තිබ්බා නම් හොඳයි කියලත් හිතෙනවා. නමුත් ඒක කරගන්නේ කොහොමද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්.

ඔබට වාසනාවක්. මේ ලිපිය ඒ ලොකු ප්‍රශ්නයට පිළිතුර. ඉතින් වෙනදා වගේම බොහොම සෙනෙහසින් ආරාධනා කරනවා “අවසානය තෙක්ම ඔබ මේ ලිපිය හා රැඳී ඉන්න. ඔබට ‘ඇබ්බැහි වීම් පාලනය කරගන්නේ කොහොමද?’ කියන ප්‍රශ්නයට පිළිතුර ලැබේවි!”

සරල පියවර දෙකක්…

ඔව්! ප්‍රශ්නෙ ලොකු ප්‍රශ්නයක් වුණාට, පිළිතුර විදිහට තියෙන්නේ සරල පියවර දෙකක්. සරල වුණාට මේ පියවර දෙකෙන් ඇබ්බැහි වීම් පාලනය කරගන්න පුළුවන් ම යි!

පළමු පියවර

‘මට ඇබ්බැහි වීම් පාලනය කරගන්න බෑ!’ කියන අදහස අතහරින්න. ‘මට බෑ!’ කියන අදහසත් තියාගෙන නම් කොහොමටවත් ඇබ්බැහි වීමක් පාලනය කරගන්න බෑ. ඒ නිසා මුලින්ම අතහළ යුතුමයි ‘මට බෑ!’ කියන අදහස.

මේ සමාජේ පවා ගොඩාක් වපුරන්නේ ඔය වැරදි අදහසමනේ. සමහර දේවලට ඇබ්බැහි වුණොත් නම් ආයේ ගොඩ එන්න බෑ වගේ අදහස් මොන තරම් නම් මේ සමාජය ගිලගෙන තියෙනවා ද? ඔබ නම් ඒ මානසික බෙලහීනත්වයට එන්න එපා! ඇබ්බැහි වුණ දේකට එච්චර වටිනාකමක් දෙන්න එපා!

ඔබ නම් ඇබ්බැහි වුණේ, ඒ ඇබ්බැහියෙන් ඔබව පාලනය කරගන්න ඔබට බැරි වෙන්නේ කොහොමද? ඔබට පුළුවන්. ඉතින් ඇබ්බැහි වීමක් පාලනය කරගැනීම සම්බන්ධයෙන් ‘මට බෑ!’ කියන අදහස අතහරින්න. ඒ තමයි පළමු පියවර.

දෙවැනි පියවර

‘සම්පූර්ණයෙන්ම මං මේ ඇබ්බැහි වීම අතහරිනවා. අදින් පස්සේ කවදාවත් කරන්නේ නෑ.’ වගේ අදහස් ඔළුවට ගන්න එපා! කාලයක් තිස්සේ තිබුණ ඇබ්බැහියක් අතහැරගන්න මහන්සි වෙන කෙනෙක් තමන් ගැන එච්චර බලවත් අදහස් හිතට ගැනීමෙන් වෙන්නේ පටන් ගැන්මෙන්ම මහා වෙහෙසක් එන එක.

ඒ නිසා යම්කිසි කාලවකවානුවකට මං මේක අතහරිනවා කියන අදහසට එන්න. ‘මං සතියක් මේ ඇබ්බැහිය අතහරිනවා. සති දෙකක් අතහරිනවා. මගේ විභාගේ කටයුතු ඉවර වෙනකම් අතහරිනවා’ වගේ යම්කිසි කාලයක් උදෙසා ඇබ්බැහිය නවත්තන බවට හිතට ගන්න. ඒ තමයි දෙවැනි පියවර.

විශ්වාස කරන්න… ඔය පියවර දෙකෙන් අපට ඇබ්බැහි වීමක් පාලනය කරගන්න පුළුවන් ම යි.

අහන්න මේ කතාව…

ඔන්න එක කැළෑවක වටු කුරුල්ලෙක් හිටියා. මෙයා හරිම නිදහසේ ඔය මොනවා හරි කාලා සැහැල්ලුවෙන් හිටියේ. නමුත් දවසක් මේ වටු කුරුල්ලා කුරුලු වැද්දෙක් අටවපු දැලකට අහු වුණා. ඒ කුරුලු වැද්දා මේ වටු කුරුල්ලාව අරගෙන ඇවිත් කූඩුවකට දැම්මා.

ඒ කූඩුවේ තවත් වැද්දට අහුවුණ ගොඩාක් වටු කුරුල්ලෝ හිටියා. වටු කුරුල්ලෝ කියන්නේ මසට ගන්න සතෙක්නේ. මේ වැද්දා කරන්නේ තමන්ගේ දැලට අහුවෙන වටු කුරුල්ලන්ව ගෙනැවිත් මේ කූඩුවේ දාලා උන්ට හොඳට කන්ට බොන්ට දෙනවා. එතකොට උන් ලොකු වෙනවානේ. හොඳට ලොකුමහත් වෙලා බර හැදෙනකොට මස් ඉල්ලාගෙන එන මිනිස්සුන්ට හොඳ ගාණකට විකුණනවා.

මේක තමයි මෙතන වෙන්නේ…

අර අලුතෙන් කූඩුවට ආපු වටු කුරුල්ලාට වැද්දාගේ වැඩේ තේරුම් ගන්න පුළුවන් වුණා. ‘මේ වැද්දා අපිව මේ කූඩුවේ දාගෙන කන්ට බොන්ට දෙන්නේ අපිට ආදරේට නෙවේ. අපිව මහත් කොරලා හිට මස් බර වැඩි කොර ගන්ටයි. ඉන්පස්සේ අපිව හොඳ ගාණකට ඉල්ලුම්කාරයන්ට මසට දෙන්ට පුළුවන්. මේක තමයි මෙතැන වෙන්නේ.’

මේ වටු කුරුල්ලාට පේනවා අනිත් වටු කුරුල්ලෝ වැද්දා කෑම දාන වෙලාවට හැසිරෙන හැටි. තමන් අහුවෙලා හිරවෙලා වැද්දෙකුට ගොදුරු වෙලා කියලා වගක්වත් උන්ට නෑ. කෑම දාපු ගමන් පොර කාගෙන ඒවා කනවා. කන්ට කන්ට තමන් මරණයට ළං වෙනවා කියලා මේ ඈයන්ට තේරෙන්නේ නෑ. අලුත් වටු කුරුල්ලාට අනුකම්පා හිතුණා අනෙක් වටු කුරුල්ලෝ ගැන. උන්ට කතා කරලා තේරුම් කළා. “මිත්‍රවරුනි, මෙතැන වෙන්නේ මේකයි! මේ වැද්දා අපිට කන්ට බොන්ට දෙන්නේ අපි ගැන ආදරේකට නෙවෙයි.

අපි මේ කූඩුවේ ලැගගෙන කාලා එකතැන ම ඉද්දී සතියෙන් හමාරෙන් මහත් වෙනවා. එතකොට අපේ මස් බර වැඩි වෙනවා. මේ වැද්දාට එතකොට අපිව හොඳ ගාණකට මසට විකුණන්ට පුළුවන්. ඒ නිසා තේරුම් ගනිල්ලා. ඔය පොර කාගෙන කන්නේ තමන්ගේ ම මළබත. මේකෙන් බේරෙන්න නම් මිත්‍රවරුනි කෑම අඩු කරාපල්ලා.”

විශ්වාසෙ නැති කරගත්තෙ නෑ…

අනුකම්පාව නිසා ඒ වටු කුරුල්ලා අනෙක් උන්ට එහෙම කිව්වට අනිත් වටු කුරුල්ලන්ට මේ කූඩුවෙන් බේරෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණේ නෑ. ‘මේ ශක්තිමත් කූඩුවෙන් දුර්වල වටු කුරුල්ලෝ වෙන අපි කොහොම නම් බේරෙන්න ද?’ උන් හිතුවේ එහෙමයි. ඒ හින්දම බේරෙන්න උත්සාහයක් ගත්තේ ම නෑ. උන් වෙනදා වගේම වැද්දා කෑම දාද්දී පොරකාගෙන කෑවා.

නමුත් අර අලුතෙන් කූඩුවට ආපු වටු කුරුල්ලා මෙතරම් ශක්තිමත් කූඩුවකට අහුවෙලත් විශ්වාසෙ නැති කරගත්තෙ නෑ. ‘බෑ’ කියලා හිතුවෙ නෑ. ඌ කල්පනා කළේ ම මේ කූඩුවෙන් පැනගන්න මට පුළුවන් කියල ම යි. ඒ නිසා ම බේරෙන්ට ගත යුතු උත්සාහය අරගත්තා.

‘මං මේ වැද්දා කන්ට දැම්මට පොර කාගෙන කන්නේ නෑ. බඩගිනි තදටම දැනුණත් මං කෑදරකමින් කන්නේ නෑ. ජීවත්වෙන්න විතරක් ටිකක් කනවා. මං මෙතැනින් පැන ගන්නකම් මම බඩගින්න ඉවසනවා’ කියලා හිතට තද අධිෂ්ඨානයක් ගත්තා.

දැන් වැද්දා කන්ට දානකොට මේ වටු කුරුල්ලා පැත්තකට වෙලා ඉන්නවා. පොර කාගෙන යන්නේ නෑ. අනෙක් වටු කුරුල්ලො පොර කද්දී ඔය පැත්තකට වීසි වෙන කෑම ටිකක් විතරක් මූ කනවා. යන්තං ජීවත් වෙන්න ගාණට කෑවා.

මේකට මක් වෙලා ද..?

සතියක් දෙකක් ගත වුණා. වැද්දාට කූඩුව දිහා බලද්දී පේනවා අල්ලගෙන එනකොට කෙට්ටුවට හිටපු අනිත් වටු කුරුල්ලෝ නම් ගෙනත් දවස් පහෙන් හයෙන් මහත් වෙනවා. ඒ වුණාට මේ එකෙක් විතරක් අසාමාන්‍ය කෙට්ටුයි නොවැ. මේකට මක් වෙලා ද?

එහෙම හිතලා වැද්දා කූඩුව ඇතුළට අත දාලා අර කෙට්ටු වුණ වටු කුරුල්ලා ව එළියට ගත්තා. ‘මූට මේ අසනීපයක්වත් ද?’ කියලා හිත හිත වැද්දා මේ වටු කුරුල්ලා ව එහෙට මෙහෙට හරව හරවා බැලුවා. වටු කුරුල්ලා හොඳ අවධානයකින් ම හිටියා යන්තමට හෝ වැද්දගෙ අත ලිහිල් වෙන මොහොතක් ලැබෙනකං.

වැද්දගෙ අත ලිහිල් වුණේ මොහොතයි. වටු කුරුල්ලා තමන්ට ගන්න පුළුවන් සියලු ජවය ගත්තා. වේගෙන් වැද්දාගෙන් ගැලවී පැන ගත්තා. මේ අසිරිමත් අධිෂ්ඨානයක් තිබුණ වටු කුරුල්ලා වෙන කවුරුත් නොවේ. ඒ සසරේ පෙරුම් පුරාගෙන ආපු අපේ බෝධිසත්වයෝ. මේ විස්තරේ තියෙන්නේ වට්ටක ජාතකයේ.

ඇබ්බැහිය කියන කූඩුව…

හිතන්න ඇබ්බැහි වීමත් කූඩුවක් කියලා. වටු කුරුල්ලා කූඩුවේ හිරවුණා වගේ ඔබත් ‘වීඩියෝවලට, ගේම්වලට, මත්ද්‍රව්‍යවලට ආදී’ ඔය මොනවා හෝ සවුත්තු දේකට ඇබ්බැහි වෙලා, හිර වෙලා. ඉතින් ඇබ්බැහිය කූඩුවක් නම් ඔය කූඩුවෙන් පැනගන්න බෑ කියන අදහසට එන්න එපා! ඒක තමයි ඇබ්බැහි වීමකින් ගැලවෙන්න බැරි වෙන්න තියෙන ප්‍රධාන ම බාධාව.

බෑ කියන අදහස ආපු ගමන් අපිව ඇබ්බැහි වීම්වලින් බේරගන්න කවුරු හරි ඕනමයි. අපි බලාගෙන ඉන්නවා තමන්ව ඇබ්බැහියෙන් ගලවා ගන්න කෙනෙක් එනකම්.

එහෙම කෙනෙක් ආවේ නැත්නම් ඉතින් දිගටම ඇබ්බැහියේ තමයි. ඒ නිසා තේරුම් ගන්න. ඔබ ඇබ්බැහි වුණ ඕනම ඇබ්බැහියක වගකිවයුත්තා ඔබ ම යි. ඒකෙන් බේරෙන්න තියෙන්නෙත් ඔබට ම යි. බෑ කියන අදහස නම් අතහරින්න ම ඕන.

උහුලගන්න බැරි බරක් ගන්න එපා!

ඕක තමයි ඊළඟ අවුල. මේ මොකක් හරි ළාමක ඇබ්බැහියක් අතහැර ගන්න බැරිව අසරණ වෙච්චි කෙනා තමන්ට ම තද අදහස් දාගන්නවා ‘මම නම් අදින් පස්සේ මේක කරන්නේ නෑ’ කියලා. ඒක හරියට දුර්වල මනුස්සයෙක් තමන්ට උස්සනවා තියා හිතන්නවත් බැරි බරක් ඔළුවට ගත්තා වගේ. වෙහෙසක් විතරයි. කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.

ඒ නිසා තේරුම් ගන්න මෙහෙම. අපි හිතමු යම්කිසි බරක් යම් දුරකට උස්සගෙන යන්න තියෙනවා. ඒක ඒ තරම් දුරකට එකපාර උස්සගෙන යන්න බැරි කෙනෙක් එතෙන්ට එනවා. එයා කල්පනා කළොත් ‘හාපෝ! මෙච්චර බරක් මේ තරම් දුරක් මං කොහොම අරගෙන යන්න ද? මේක නම් මට කරන්න බෑ’ කියලා. එයා පටන් ගද්දි ම අසාර්ථකයි.

එයා ‘මං මේක කොහොම හරි උස්සගෙන අරං යනවා’ කියලා තමන්ට අරගෙන යන්න බැරි බරක් එකදිගටම අරගෙන යන්න හැදුවොත් එයා අතරමඟ දී අනතුරකට පත් වෙනවා.

එහෙනම් මොකක්ද කළ යුත්තේ..?

එයා කල්පනා කළොත් මෙහෙම. ‘මං මේ බර අවශ්‍ය තැනට අරගෙන යනවා. මට ඒක කරන්න පුළුවන්. නමුත් මට එක දිගට ම උස්සගෙන යන්න බැරි වෙයි. මං මේ බර මගින් මගට තිය තිය අරගෙන යනවා’ කියලා. අන්න එයා ඒ කටයුත්ත සාර්ථක කරගන්නවා.

දැන් ඔබ දන්නවා

ඔව්! දැන් ඔබ දන්නවා ඇබ්බැහියක් පාලනය කරන හැටි. ඉතින් මේ සරල පියවර දෙක විශ්වාසෙන් අනුගමනය කරන්න.

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.