නිල් අහස පුරා අතුපතර විහිදුවා විරාජමානව නැගී සිටින මහා නීග්‍රෝධ වෘක්ෂරාජයෙක්… හරිම තේජමානයි. ගුවනට නැඟු‍ණු අතුපතර නීල වියනක් වගෙයි. සරත් කල තෙද පතුරුවන චණ්ඩ හිරු මඬල සමඟත් සිනාසෙන මේ නීල වියනෙන් හිරු රශ්මිය වළකාලමින් තම පාමුල ඇති සිසිලස රැක ගන්න වෘක්ෂරාජයා අතිශය දක්ෂ වුණා. මඟතොට යනෙන මිනිසුන් පමණක් නොව සතා සීපාවා පවා…. මේ සොඳුරු සිසිල් සෙවණේ ගිමන් නිවා ගත්තා.

දුෂ්කර කාලය ගෙවී ගියා. අවට සිසිලස පැතිරෙමින් වැසි සමය එළඹුණා. යනෙන හැමට වැස්සෙන් නොතෙමී ඉන්නත් පිහිට වුණේ මේ වෘක්ෂරාජයා ම තමයි. වෘක්ෂරාජයා මල් ඵල දරන කාලය එළඹුණා. නීලවර්ණ පත්‍ර අතරින් දිස්වෙන රක්තවර්ණ ඵලවල සොඳුරු කාන්තියෙන් වෘක්ෂරාජයා තව තවත් බැබළුණා.

ඵල රසයට ඉව වැටුණු පක්ෂි සමූහයා, නා නා විධ සත්ව සමූහයා වෘක්ෂරාජයා පිරිවරා ගත්තා. සිතු සිතූ පරිදි ඵල රස වින්දා. සමහරෙක් අධික කෑදරකමින් රණ්ඩු කර ගත්තා. ඵල බිමට හෙළු‍වා. අතු ඉති පවා කඩා දැම්මා. වසුරු හෙළු‍වා. සිසිල් සෙවණ අපවිත්‍ර කළා. කාපු පතේ ම පහරපු බොහෝ දෙන හිස් ලූ ලූ අත පලා ගියා. සිසිල් සෙවණ කෙතරම් අපවිත්‍ර කළා ද යත් සමහරු ඒ ළඟටවත් යන්න කැමති වුණේ නැහැ.

නමුත්…

හැමදාමත් ඒ සිසිල් සෙවණෙ රැඳී ඉන්න ආසා කළ පිරිසක් සිටියා. ඔවුන් ඒ සිසිල් සෙවණ පිරිසිදු කළා. ඒ සෙවණේ ගිමන් නිවා ගත්තා. වෘක්ෂරාජයාගේ නම් කිසිදු වෙනසක් නැහැ. එදත් අදත් හෙටත්… ඒ වෘක්ෂරාජයා වෘක්ෂ ධර්මයේ පිහිටා සිටින්නේමැයි…

දෑතේ ශිල්ප සඟවා නැති, සිසු කැල වෙත පුත්‍ර ප්‍රේමයෙන්, නැණ මඳ සිසු දරුවන්ගේ සියලු‍ රැවිලි ගෙරවිලි සිනහමුසු මුවින් පිළිගෙන මැදහත් සිතින් නිරතුරු වසන ගුරු උතුමන් ද එබඳු යැයි මට හැඟින.

ගුරුවරයෙක් නැති ලෝකය -දුකට මුල තමයි.

අපගේ මහා කාශ්‍යප මුනිඳාණෝ දිනක් තම සිසුවෙකුගේ මිච්ජා ආජීවයට ගරහා අවවාද කළ සේක. ඔහු වරද අතහරිනවා වෙනුවට ගුරු දෙවිඳුන් කෙරෙහි වෛර බැඳ ගත්තේ ය. තෙරිඳුගේ කුටියට ගිනි තබා සිවුරු හැරදා ඔහු ගිය ගමන නිරයෙන් අවසන් විය.

කෝකාලික… අගසව් මුනිවරුන් කෙරෙහි වෛර බැඳ නිරය පෙනි පෙනී කුටියේ වැටී සිටියේ ය. ඔහුගේ ගුරු දෙවිඳාණන් ඒ වන විට අනාගාමී ව බඹලොව ඉපිද සිටියේ ය. තම සිසු දරුවා කෙරෙහි අනුකම්පා කළ බ්‍රහ්මරාජයා ඔහු ඉදිරියේ පෙනී සිට සිහිය ඉපදවීමට උත්සාහ කළේ ය. උපතින්ම කටේ කෙටේරිය රඳවා පැමිණි කෝකාලික මානයෙන් තද වූවා මිස ගුරු උපකාරය ගණන් නොගත්තේ ය. උපේක්ෂාවට පත් ගුරු දෙවිඳාණෝ ඉවත්ව ගියහ…

එදා මෙදා තුර පහළ වූ ගුරුවරුන්ට ඉඩ ලද සැණින් රවන්නට බලා සිටින මෙවැනි ගෝලයන් දුර්ලභ නැත. මේ යුගයේ අධර්ම රාගයත්, නියත මිථ්‍යාදෘෂ්ටියත්, විෂම ලෝභයත් දැඩිව නැඟී පවතින නිසා එය තවත් බලවත්‍ ය. යුගය කුමක් වුව ද සත්පුරුෂ ගුරුවරුන්‍ට පිටුපා රවා ගොරවා ඔරවා තම පැවැත්ම පමණක් සොයා අයාලයේ පියඹා යන සිසුන්ට මඟ නොමඟ කියා දෙන, සෙනෙහසින් රැකවරණ සලසන, සුදන ගුණෙන් යුතු ගුරු උතුමන් යළි කවරදාක නම් මුණගැසේවි ද?

කාගේත් දිවිය සරු කළ ගුරු ගීතයකි…

“සුඛා සංඝස්ස සාමග්ගී -සමග්ගානං තපෝ සුඛෝ…”‍ යි වදාළෝ අප මුනිරජාණෝ ය. මහ පැරකුම් රජ දවස වන විට ඒ සංඝ සාමග්ගියේ සැපයටත්, සමඟි සඟරුවනේ තපසටත් අඳුරු සෙවණැලි වැටී තිබුණි. එහෙත් අසිරියෙකි! පන්දහසක් කල් පවත්නා බුදු සසුනේ ජීවය රකින්නට පිළිවෙතින් සාර වූ, ත්‍රිපිටක විශාරද වූ, විනයෙහි සුසික්ඛිත වූ, ථේරවාදී මහා සඟ පරපුරෙන් නැඟී ආ අසහාය ප්‍රදීපයක් සංඝ සාමග්‍රිය වන දිනය උදා වනතුරු නෙත් දල්වා නිහඬව බලා සිටි සේක. ඒ අපගේ දිඹුලාගල මහා කාශ්‍යප මහ තෙරිඳාණෝ ය.

යොදුන් 84 දහසක් සයුරෙන් යටට කිඳා බැස එපමණ ම උසක් සයුරෙන් උඩට නැඟී ඇති මහාමේරුව පෙරළී ඇති විට එය නැවත ඔසවා තැබීම කොපමණ වෙහෙසකර ද? ලක්දිව පුරා විසිරී ගිය ත්‍රෛනිකායික සංඝයා සමඟි කරවීම ද ඒ සා බැරෑරුම් වූ අතිශය වෙහෙසකර කටයුත්තක් විය. කල්පයක් සුගතියේ රඳවන ඒ මහා පින අප මහා තෙරපාණෝ රැස්කර ගත් සේක. අප මහා යතිවරයාණෝ විසිරී පැතිරී සිටි සුසිල්වත් සඟරුවන තම සමීපයට ගත් සේක. නිවන් මඟ මැනවින් හික්මවූ සේක.

අප මහා යතිවරයාණන් වහන්සේගේ කීර්තිමත් ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේනමක් වූ ශාරිපුත්‍ර සංඝරාජයාණන් වහන්සේ තම ගුරුදේවයන් ගැන සාරත්ථදීපනියේ ආරම්භයේ දී මෙසේ පැවසූ සේක.

“…පරාක්‍රමබාහු ලංකේන්ද්‍රයන් විසින් යම් තෙරනමක් ආශ්‍රය කොට නිකාය සමඟිය කරවා බුදු සසුන මනා සේ ශුද්ධ කරන ලද්දේ ද තම්බපණ්ණි දීපයෙහි ශාසනය බැබළවීමට උපකාරී වූ, ප්‍රතිපත්තියෙහි නිරත, හැමකල්හී වනවාසී වූ, ශාසනම්බරයේ සඳමඬල මෙන් ප්‍රකට වී සිටිනා, විනයේ විශාරද වූ, සංඝපීතෘ වූ සංඝනායක වූ, ඒ මහා කාශ්‍යප තෙරුන් වඳිමි. මම උන්වහන්සේගේ ඇසුරේ වාසය කිරීමෙන් ශාසනයෙහි අභිවෘද්ධියට පැමිණියෙමි.”

ලොව පවතින විල් දියෙහි කොතරම් නෙළුම් කැකුළු මෝරා නැඟී තිබෙන්නට පුළුවන. ලොව අඳුරෙන් වැසී ඇත්නම් ඒ නෙළුම් කැකුළු කෙසේ නම් පෙති දිගහරින්න ද? තුන්ලොව ගුරු දෙවිඳාණෝ සම්බුද්ධ හිරු රැසින් ඒ නෙළුම් කැකුළු විකසිත කරවාලූ සේක් ම ය. ඒ යුගය ද නිමා විය. එනමුත්, එදත් අදත් හෙටත් ඒ ධර්මතාවය එසේ ම ය. සිසුවෙක් තුළ කොතරම් හැකියා කුසලතා තිබුණ ද එය ඔප්නැංවෙන්නේ ගුරු සෙවණක දී ම පමණි. ගුරු හදවත හඳුනන සත්පුරුෂ ගුණ දරන සිසු දරුවන්ට තමා ලොව හිණිපෙත්තට ම නැඟ සිටිය ද තම ගුරු දෙවිඳාණෝ අහස උසට නැඟී ගිය මහාමේරුවකි. තමා ඒ පාමුල දුහුවිල්ලකි.

ගුරුවරු සිතයි ලොවකට අපි නොසිතාපූ….

ව්‍ය. ව. 1714 වන විට ලක්දිව ශාසනම්බරය අඳුරෙන් බර වී තිබූ යුගයකි. පිරිසිදු උපසම්පදා සඟරුවනේ සීල සුශෝභිත පා පහස ලැබෙන තුරු මිහිමඬල පුල පුලා බලා සිටි යුගයකි. ලක්දිව ගෞතම බුදු සසුනේ නව පුනර්ජීවනයකට අරුණලු‍ පාමින් වැලිවිට අසරණසරණ සරණංකර මා හිමියන් පැවිදි බිමට පත් වූයේ මෙකල ය. ඉතා දුෂ්කර ව පාළි භාෂාව ඉගෙනගෙන ත්‍රිපිටක ධර්මය හදාරා සිල්වත් ගුණවත් පිළිවෙත් සරු සාමණේර පිරිසක් බිහිකරවා පිරිසිදු උපසම්පදාව ලක්දිව ස්ථාපිත කරනු වස් ජීවිත පරිත්‍යාගයෙන් ඒ මහා යතිවරයාණන් වහන්සේ කළ අප්‍රතිහත කැපකිරීම අප වැන්නවුන් කෙසේ නම් වටහා ගන්න ද? එය ඒ අයුරින් ම දන්නේ උන්වහන්සේ ම ය.

තමන් වහන්සේ ගුරු තනතුරෙහි තබා වසන ශිෂ්‍ය පිරිසට දහම් දැනුම ද ප්‍රතිපත්ති වර්ධනය ද නිතැතින් ලබා දුන් සේක. පාපයෙන් මිදුනු, සංවරයෙහි පිහිටි ශීලාචාර සුපේෂල ශික්ෂාකාමී භික්ෂු පිරිසක් බිහි කරනු වස් සෑම විටම වග බලා ගත් සේක. ‘අනුශාසනා වට්ටෝරුව’ නමින් තම ශිෂ්‍ය පුත්‍ර වූ සියලු‍ දෙනාටම කළ අවවාදය තුළ අප්‍රමාදී බව පිණිසත්, වැරදි නොසඟවා විවෘත වී නැඟී සිටීම ගැනත්, එකිනෙකා කෙරෙහි භක්ති ප්‍රේමයෙන් සසුන් පිළිවෙත් පිරීම ගැනත් ලබා දී ඇති සොඳුරු අනුශාසනා පෙළ සිසු හදවත් සිහිල් කරමින් හමා යන සීතල මඳ පවනක් වැනි ය.

එහි තැනක මෙසේ සඳහන් වේ.

“….මව්පියන් කෙරෙහි පවා ඇතැම් දරු කෙනෙක් පමණ නොදැන කලකිරෙති. මව්පියෝ සහනය කෙරෙති. එමෙන් මම ද සියල්ලට ම මා නිසා මෙලෝ පරලෝ දෙකෙන් වැඩක් මුත් අවැඩක් නොවෙන සේ මෛත්‍රී සිතින් ක්ෂමා කෙරෙමි. මේ ඇසූ විට ඔවුනොවුන් කෙරෙහි බිඳී සිටි කෙනෙක් ඇත්නම්, සතුටු කඳුළෙන් ප්‍රීති මුඛයෙන් අප පියාණන් කී ලෙසින් මෛත්‍රී කොට හැම දෙනම ක්ෂමා කට යුත්තේ ය…”‍

(සංඝරාජ සාධු චරියාව)

සංඝරාජ අනුශාසනාව නමින් මේ මහා සංඝ පීතෘන් වහන්සේ තම ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට ලබා දී තිබූ අනුශාසනාව අති මනහර ය. උපසම්පදා සීලය දිවි දෙවෙනි කොට රකිනු වස් බුද්ධානුශාසනාවන් බොහොමයක් සිහිපත් කර දෙන මේ මහා සංඝ පීතෘන් වහන්සේ එහි අවසන මෙසේ සටහන් තබති.

“‍…පරලොවට භය නැති ප්‍රවෘජිතයන් විසින් මහේච්ඡතායෙන් අතිමානයෙන් කුසීත භාවයෙන් මිලින කළ ශාසනය මාගේ ශිෂ්‍ය පුත්‍රයත් විසින් අල්පේච්ඡතායෙන් අනභිමානයෙන් සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් බබුළු‍වා නුමුළාව කාලක්‍රියාවට නිසි ව විසුව මැනැවැයි, මේ අනුශාසනාව කළේ සංඝ පීතෘ වූ සංඝරාජ ස්වාමීන් විසිනි. නිවන් පිළිවෙත් කැමති මාගේ ශිෂ්‍ය පුත්‍රයෝ මා බලා සිටින්නාක් මෙන් මේ දෙස බැලු‍ව මැනව…”‍

සැබැවින්ම නෙතින් උරණ වූ බැලුම් හෙළු‍වත් ඒ අහිංසක ගුරු සිත් තුළ පවතින්නේ වරදින් නැඟී සිට යහපත උදා කරගන්නා සිසු දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය දකින, සිතන ස්වභාවයයි.

සත්පුරුෂ ගුරු ඇසුරකට හිස නැමූ සාංසාරික පුණ්‍ය මහිමයකින් විනා එබඳු අව්‍යාජ ගුරු සෙනෙහසක් හැම සිසුවෙක් ම කෙසේ නම් වටහා ගන්න ද?

අපගේ ආදීගුරුදේවෝත්තම අනුබුදු මිහිඳු මා හිමියන්ගෙන් ආරම්භ වූ ලක්දිව ශාසන ඉතිහාසය ආලෝකවත් කරමින් යුග යුග පුරාවට දැල්වී ආ සොඳුරු ගුරු තාරකාවෝ තවත් ගුරු තරුවකට ඉඩ සලසා දෙමින් නිවී ගියෝ ය. යළිත් ශාසන අම්බරයේ සොඳුරු වල්ගාතරුවක් දිස් විය. තවමත් සසුනඹර දිදුලමින් වැඩ වසන සේක.

සැබැවින්ම ඒ අපගේ ගුරුදෙවිඳාණන් කරුණා සාගරයකි. මෛත්‍රී මූර්තියකි. මුදිතා ප්‍රවාහයකි. ලාභ අලාභයට නොඇලෙන නොගැටෙන සුපුන් සඳකි. සිසු දරුවන්ගේ සසුන් දිවිය පැහැරගනු වස් වියරුවෙන් කඩා පනින අනන්ත වූ ශාසනික විලෝපන නැමැති සැඩ රළ පහර සුණුවිසුණු කොට විසුරුවා හරින මහා ප්‍රතාපවත් සෙල් පවුරකි. සතර අපා දුකට ඇද දමා සසරේ ගිල්වා දමන කෙලෙස් මඩ ගොහොරු සිසු හදවත් තුළ පැනනගිනු දුටු විට ඒ කෙලෙස් මඩ ගොහොරු වියළවා දමන්නට විහිදුවාලන ගුරු හිරු රශ්මියේ තෙද කල්ප අන්තයේ පෘථිවිය දවාලන සුර්ය තේජස ද අභිබවා යන්නේ දෝ’ යි හැඟී යන තරම්‍ ය. මන්ද යත්, කල්ප අන්ත හිරුට කෙලෙස් දවාලිය නොහැකි නිසා ය. ලාභ සත්කාරයේ නොඇලී තථාගත ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ම ලොවට දායාද කිරීම ම පමණක් අප ගුරු දෙවිඳාණෝ ගුරු ගෞරවය ලෙසින් තම සිසු දරුවන්ගෙන් අපේක්ෂා කෙරෙති. එනමුදු… සිසු කැලගේ ශාසනික අභිවෘද්ධිය ගැන ඒ ගුරු හදවතේ දරා සිටින සසුන් බර කෙබඳු දැයි සිසු දරුවන් වන අපට නොවැටහෙන බව පමණක් නිහතමානීව සටහන් තබමු. මන්ද යත්, එය එබඳු ම වූ ගුරුවරයෙකුට ම විෂය වන දෙයක් බැවිනි.

අවසන ගුරු සිසු සබැඳියාවේ අපගේ ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව මෙසේ සටහන් තබමු.

“මහණෙනි, උපාධ්‍යාය තෙමේ සද්ධිවිහාරිකයා කෙරෙහි, ‘මේ තෙමේ මාගේ පුතු ය’ යි සිත උපදවිය යුතු ය. සද්ධිවිහාරික තෙමේ උපාධ්‍යායා කෙරෙහි, ‘මේ තෙමේ මාගේ පියා යැ’ යි සිත ඉපදවිය යුත්තේ ය. මෙසේ ඔවුහු ගුරුන් සහිතව, පිහිට සහිතව, මනා ඇවතුම් පැවතුම් ඇතිව වසන්නෝ මේ සසුනෙහි ධර්ම විනයේ අභිවෘද්ධියට, මුල් බැස ගැනීමට විපුල බවට පැමිණෙන්නාහු ය…”‍

(මහාවග්ගපාළි 1 — මහාඛන්ධකය)

සාදු! සාදු!! එබඳු ගුණ පිරි සසුන් කෙතෙහි ගුණ නැණින් සාරව ගුරු ගෞරවයෙන් සසුන් මඟ පිළිවෙත් සපුරන්නට අප සැමට ද නිවාත ගුණ පිහිටාවා! සසුන් කෙත අස්වද්දන ගුරු උතුමෝ චිරාත් කලක් යෙහෙන් ලෝ වැඩ වඩමින් වැජඹේවා!

සම්බුද්ධ හිරු රැසින් – එළිය ගෙන සුදිලෙනා
සුපුන් සඳ වන් තෙරිඳුනේ
සිසු කැලගෙ සසුන් මඟ – අඳුර නසමින් නැඟු‍න නැණ ප්‍රදීපය තෙරිඳුනේ
නිල් අහස අරා නැගි – ඔබේ ගුණ තේජසත්
මහාමෙර සේ දැනෙන්නේ
ඔබේ පා යුග අසල – දුහුවිල්ල වී වඳිමි
දිගාසිරි නිති පතමිනේ
සසුනඹර එළිය දී – බොහෝ කල් දිලේවා
සුපින්බර ගුරු දෙවිඳුනේ….!!!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.