සසර පුරා අනේක ආත්ම භාවයන්හී ජීවිතාවබෝධය පිණිස රැස් කරන ලද පිනෙන් සකස් වූ උතුම් පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැන ගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. මෙයද සම්බුදු මහිමයේ අසිරියයි. සම්බුදු නුවණින් ම මතු කරගත් අද්භූත දෙයකි. ලොව කිසිවෙක් නොදන්නා, නොවැටහුණු ඒ පසේබුදුවරුන්ගේ ලෝකය ගැන මේ අයුරින් දැන ගන්නට ලැබීම පවා අප ලද වාසනාවකි. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනක් ජීවමානව පවතින යුගයක නොව ඊට පෙරාතුවයි. නිකෙලෙස් හදමඬලක් දරා වැඩ සිටිමින් මෛත්‍රී සහගත සිතින් ලෝ වැසියන්ට පින්පුරා ගැනිමට පසේබුදුවරුන් අනුකම්පාවෙන් අනුග්‍රහ කළ සේක. මෙහි සඳහන් වනුයේ එවැනි පින්බර සිදුවීම් පෙළකි.
මේ රැස් කරනා පින එනවාමයි සැප සලසන්නට හැම තිස්සේ…
ඉතාමත් දුර ඈත අතීතයේ බරණැස නූල් කටින මිනිසුන් සිටින ගමක ප්‍රධානියා ව කෙනෙක් සිටියා. ඒ දිනවල හිමාල වනයේ පසේබුදුවරුන් වහන්සේලා දහස්නමක් වැඩසිටියා. වස් කාලෙන් පස්සේ උන්වහන්සේලා බරණැසට නුදුරු තැනක සේනාසනයක් කරවීම පිණිස බරණැස් රජතුමා ව මුණගැහෙන්න වැඩම කළා. වැඩියේ අටනමයි. නමුත් ඒ ගමන සාර්ථක වූයේ නැහැ. ඉන්පසු ඒ පසේබුදුරජාණන් වහන්සේලා වෙනත් පළාතකට වඩින්න සූදානම් වෙද්දී අර ගම් ප්‍රධානියාගේ බිරිඳට දකින්න ලැබුණා. ඇය ගිහින් සතුටු සිතින් පසේබුදුරජාණන් වහන්සේලාට වන්දනා කළා. කරුණු කාරණා විමසා ඒ පසේබුදුවරු දහස්නමට ම තම ගම් ප්‍රදේශයේ වාසය කරන්න වඩින්න කියා මෙසේ ආරාධනා කළා. “ස්වාමීනී, කොයිතරම් දෙයක් ද! අපේ ගමේත් පේෂකාර පවුල් දාහක් ඉන්නවා. එක පවුලකට පුළුවනී එකනමකට දානෙ වේලක් දෙන්න. ඒ වගේම ඔබවහන්සේලාට වැඩ ඉන්න සෙනසුන් පහසුකමුත් පිළියෙළ කරන්නම්.” පසේබුදුවරුන් ඇය සහ ගම්වැසියන් කෙරෙහි අනුකම්පාවෙන් එම ඇරයුම පිළිගත්තා. ඇය සතුටු සිතින් දිව ගොස් ගම්වැසියන් ව මෙසේ දැනුවත් කළා. “පින්වත්නී, අපි හරි වාසනාවන්තයි. පසේබුදුරජාණන් වහන්සේලා දහස්නමක් හෙට අපේ ගමට වඩිනවා. උන්වහන්සේලාට වැඩ ඉන්න එක පවුලකින් එක කුටියකුයි, එක දානෙ වේලකුයි බාර ගන්න. පින්වත්නි දෙලොව සැප සලසන පින් කර ගන්න.” ගම්වැසියන් හරි සතුටින් කුටි හැදුවා. දන් පැන් පූජා කර ගත්තා. ඒ ගම්වැසියන් සියලු දෙනාම මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නා.
ගෞතම බුදු සසුනේ දී තුනුරුවන් ගැන ඇසූ පමණින් රජ සැප අතැර ගොස් පැවිදි වී කප්පින නම් මහරහතන් වහන්සේ බවට පත් වූයේ ඒ ගම් ප්‍රධානියායි. කප්පින රජතුමාගේ පරිවාර ඇමතිවරු දහස විදිහට ඉපදුණ අනෙකුත් පවුල්වල ස්වාමිවරුන් රජතුමා සමඟින් ම ගිහිගෙය අතහැර ගොස් පැවිදි වී උතුම් අරහත්වය සාක්ෂාත් කළා. රජුගේ අග බිසව ලෙස අනෝජා නමින් ඒ ගම් ප්‍රධානියාගේ බිරිඳ ව සිටි තැනැත්තිය ඉපද සිටියා. අනෙකුත් පවුල්වල බිරින්දෑවරු ඇගේ පරිවාර ස්ත්‍රීන් ව ඉපිද සිටියා. අනෝජා බිසව ඇතුළු ඒ දහසක් ඇමතිවරුන්ගේ බිරින්දෑවෝ ද ගෞතම බුදු සසුනේ පැවිදි වී අරහත් මුනිවරියන් ලෙස පිරිනිවන් පෑවා. ඒ නිකෙලෙස් පසේබුදුරජාණන් වහන්සේලා දහස්නමට අවංක සිතින් කළ උපස්ථානයේ පුණ්‍ය විපාකයයි…
වපුරන්නේ යම්සේ ද අස්වැන්න ලැබෙන්නේ ද එලෙසින් ම ය…
ඈත අතීත කාලේ බරණැස් නුවර නිවසක සහෝදරයන් දෙදෙනෙක් සිටියා. ඔවුන් වෙහෙස මහන්සි වෙලා උක් වගාවක් කළා. දිනක් බාල සහෝදරයා උක් කෙතට ගොස් වැඩිමල් සහෝදරයාටත් එක්ක උක් දඬු දෙකක් කපා ගත්තා. ඒ කාලේ උක්දඬු මුලින් කැපුවත් උඩින් කැපුවත් උක්පැණි බේරෙනවා. ඒ නිසා පැණි බේරෙන එක වළක්වා ගන්න කැපූ කොණ ගැටගසා බැඳගෙන ආවා.
එදින හිමාලයේ ගන්ධමාදන පර්වතයේ ගල්ලෙනක නිරෝධ සමාපත්තියෙන් සතියක් වැඩසිටි පසේබුදුවරයෙක්, සමාපත්තියෙන් නැඟිට බලද්දී දිවැස් නුවණින් බාල සහෝදරයා ව දුටුවා. ඒ පසේබුදුරජාණන් වහන්සේ ඔහු ඉදිරියට අහසින් වැඩම කළා. තමන් ළඟට අහසින් වැඩි පසේබුදුන් දුටු මේ තැනැත්තා අතිශයින් පැහැදීමට පත් වුණා. “ස්වාමීනී මෙහි වැඩ ඉන්න.” කියා තමන් පොරවා සිටි උතුරු සළුව බිම ඇතිරුවා. පාත්‍රය ඉල්ලාගෙන අර උක් දඬු දෙකේ බැම්ම ලිහද්දී උක් පැණියෙන් පාත්‍රය පිරී ගියා. සැදැහැ සිතින් යුතුව පසේබුදුන්ට උක්පැණි පාත්‍රය පූජා කළා. “ස්වාමීනී, මං අද අග්‍ර රසයක් දන් දුන්නා ද ඒ පිනෙන් මට දෙව් මිනිස් සැප ලැබේවා! නුඹවහන්සේ අවබෝධ කරගත් ධර්මයත් අවබෝධ කරන්නට ලැබේවා!” කියා ප්‍රාර්ථනා කළා. පසේබුදුරජුන් ඔහුට සෙත් පැතුවා. ඔහුට පෙනෙන්නට ම ආපසු අහසින් වැඩියා. ඍද්ධි බලයෙන් පන්සියයක් පසේබුදුවරුන්ට උක් පැණි බෙදා දුන්නා. අතිශය සතුටට පත් බාල සහෝදරයා සිය වැඩිමහල් සහෝදරයාටත් සිදුවීම පවසා පින අනුමෝදන් කළා.
“සාදු ! සාදු! මල්ලියේ… මටත් හරි සතුටුයි. අනේ! මටත් උන්වහන්සේ අවබෝධ කළ ධර්මය ම අවබෝධ කරගන්න ලැබේවා!”
මේ විදිහට මල්ලී දෙව් මිනිස් සැප කෙළවර නිවන පැතුවා. අයියණ්ඩි චතුරාර්ය සත්‍යය අවබෝධය විතරක් පැතුවා. පැතුම් පරිදි ම වැඩිමහල් සහෝදරයා, මීට කල්ප 91කට පෙර සම්බුදු බව ලත් විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදිව අරහත්වය ද සාක්ෂාත් කොට පිරිනිවන් පා වදාළා. බාල සහෝදරයා සසර සැරිසරා විත් ගෞතම බුදු සසුනේ ජටිල තෙරුන් නමින් පැවිදිව අරහත්වය ලබා ගත්තා. ප්‍රතිග්‍රාහක සම්පත්තියෙන් අග්‍ර වු දක්ෂිණාර්හ පසේබුදුනට දන්පැන් පිදීමේ ආනිශංස කෙතරම් අසිරිමත් ද?
පින ම තමයි මඳකටවත් සෑහීම
නිවන තමයි අපි කාටත් සැනසීම
මේ මහා භද්‍ර කල්පයේ එක්තරා අවධියක දඹදිව මහත් දුර්භික්ෂ බයක් හට ගත්තා. බරණැස් සිටුතුමාගේ මාලිගයේ පවා ආහාරපාන හිඟවී ගොස් සේවක කාරකාදීන් සිටු මාලිගය අත් හැර ආහාරපාන සොයාගෙන දුර ඈත පළාත්වලට පිටත්ව ගියා. සිටු මාලිගයේ ඉතිරි වූයේ සිටුතුමයි, බිරිඳයි, පුතයි, ලේලියයි, පුණ්ණා නම් දාසයෙකුත් පමණයි. සිටු බිරිඳ මාලිගයේ තිබූ අවසාන සහල් නැලියෙන් බතක් පිස කොටස් පහකට බෙදා සිටුතුමාගේ කොටස තැටියෙහි ඉදිරියෙන් ම තැබුවා. ඒ මොහොතේ ගන්ධමාදන පර්වතයෙහි පසේබුදුරජාණන් වහන්සේනමක් නිරෝධ සමාපත්තියෙන් නැඟිට වදාළා. පසේබුදු කෙනෙකුට එබඳු අවස්ථාවක පුදන දානය මහත්ඵල මහානිශංස නිසා දුකට පත් වුණ අය ගැන උන්වහන්සේලා විශේෂයෙන් දිවැසින් විමසා බලනවා.
එහෙම බලද්දී ඒ පසේබුදුන්ට මේ බරණැස් සිටුපවුල පෙණුනා. “මුළු දඹදිවට ම දුර්භික්ෂ බයක් හටගෙන තිබෙනවා. බරණැස සිටු ගෙදර පස් දෙනෙකුට බත් පිස තිබෙනවා. මේ ඇත්තන්ට ශ්‍රද්ධාවත් තිබෙනවා. මොවුන්ට අනුකම්පාවෙන් අනුග්‍රහ කළ යුතුයි.” මෙසේ කල්පනා කළ පසේබුදුරජුන් ඍද්ධියෙන් මහසිටුවරයාගේ නිවස ඉදිරියට වැඩම කළා. ඉතා සතුටට පත් වූ සිටුවරයා මෙසේ කල්පනා කළා. “මං අතීතයේ දන් නොදුන් නිසයි මෙබඳු දුර්භික්ෂයකට මුහුණ දුන්නේ.
මං මේ බත කෑවොත් තව එක දවසක් ජීවත් වේවි. ආර්යයන් වහන්සේට පූජා කරගත්තොත් නොයෙක් කල්ප ගණන් පිහිට ලැබේවි.” ඉන්පසු සිටුතුමා පසේබුදුරජුන්ට වන්දනා කොට ආසනයක් පැනෙව්වා. පා දෝවනය කොට ආසනයෙහි වඩා හිඳෙව්වා. බත් තැටියෙන් අඩක් පාත්‍රයට බෙදද්දී පසේබුදුරජුන් අත වැහුවා. “අනේ ස්වාමීනී, එක් සහල් නැලිය අපි පස් දෙනෙකුට පිසපු බතක් තියෙන්නේ. මේ එක කොටසක්. මේක දෙකොටසක් කරන්න ප්‍රමාණවත් නැහැ. මට මෙලොවින් සංග්‍රහ නොකොට පරලොවින් සංග්‍රහ කරන සේක්වා! මං සියල්ල ම පූජා කරනවා.” කියා සම්පූර්ණ කොටස ම පූජා කළ සිටුතුමා මෙසේ ප්‍රාර්ථනා කළා.
“ස්වාමීනී, උපනූපන් ආත්මයෙහි මෙබඳු වූ දුර්භික්ෂයක් දක්නට නොලැබේවා! මෙතැන් පටන් සියලු දඹදිවවාසීන්ට බිත්තර වී, බත් ආදිය දෙන්නට සමර්ථ වෙම්වා! සිය අතින් වැඩකොට ජීවත් වෙන්නට නොලැබේවා! එක් දහස් දෙසිය පණහක් අටුකොටු සෝදා, වතුර නා, ඒ අටුකොටු පෙරටුව සිට උඩ බැලූ විට රත් ඇල්සහල් අහසින් වැටී සියලු අටුකොටු පිරෙත්වා! උපනූපන් තැන මැය මාගේ බිරිඳ වේවා! මොහු මාගේ පුතා වේවා! මැය මාගේ ලෙහෙලිය වේවා! මොහු මාගේ දාසයා වේවා!” එවේලෙහි සිටු බිරිඳත්, පුතාත්, ලෙහෙලියත්, පුණ්ණ දාසයාත් තම තමන්ගේ බත් කොටස පසේබුදුන්ට පූජා කොට තම තමන්ට අනුරූප වූ ප්‍රාර්ථනාවන් පැතුවා. පසේබුදුරජුනුත් සෙත් ගාථා පවසා ඔවුන්ගේ චිත්තප්‍රසාදය පිණිස ගන්ධමාදන පර්වතය තෙක් පෙනෙන්නට අධිෂ්ඨාන කළා. ඔවුන් බලා සිටිය දී ම ගන්ධමාදන පර්වතයට වැඩියා. පන්සියයක් පසේබුදුවරුන්ට ඒ දානය බෙදුවා. ඒ සියල්ල මේ උදවිය සතුටින් බලා සිටියා.
එදිනම ඔවුන්ට ඒ දානයේ විපාක ලැබුණා. හැලි වළං ඇල්හාල් බතින් පිරී ගියා. හැන්දෙන් බත් ගත් ගත් තැනින් අඩු නොවී ආය පිරුණා. අටුකොටු බලද්දී වී පිරී ඉතිරී ගිහින්. සිටු ගෙදරින් අවට හැමෝටම දිගට ම ආහාරපාන බෙදුවා. ටිකෙන් ටික දුර්භික්ෂයත් අවසන් වුණා. දඹදිවවාසීන්ට ජීවිතය රැකගන්න සිටුතුමා කළ ඒ උපකාරය හේතු වුණා. සිටුපවුලේ සියලු දෙනාම මරණින් මතු දෙව්ලොව උපන්නා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයේ ඔවුන් සියලු දෙනා යළි මිනිස්ලොව උපන්නා. ඒ භද්දිය නගරයේ මෙණ්ඩක සිටුතුමාගේ පවුලයි. භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය ඇසූ ඔවුන් සියලු දෙනා මාර්ග ඵලලාභී ආර්ය ශ්‍රාවකයින් බවට පත් වුණා. සතර අපායෙන් සදහට ම අත් මිදුනා.
පින යනු සැපයට කියන තවත් නමක්.
අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ සසර ගමනේ දී කෝණාගමන බුදුරජාණන් වහන්සේටත්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් අතර අබුද්ධෝත්පාද කාලයේ බරණැස් නුවර එක්තරා කුලගෙයක ඉපදී සිටියා. එක් දිනක් කුලපුතු විවේක සුවයෙන් වනයෙහි හැසිරෙන අතරතුර එක්තරා පෙදෙසක දී සිවුරක් ගෙත්තම් කරන පසේබුදුවරයන් වහන්සේනමක් දුටුවා. පසේබුදුවරයන් වහන්සේ ද සිවුර මසා නිම කිරීමට නුවාව (සිවුරේ වාටිය) ප්‍රමාණවත් නොවූ නිසා සිවුර හකුළා පසෙකින් තබන්නට සූදානම් වුණා. එය දුටු කුලපුතු තමාගේ උතුරු සළුව ගලවා “ස්වාමීනී, සිවුර මැසීම නතර නොකරනු මැනවි. මෙය පිළිගෙන මෙයින් නුවාව සම්පූර්ණ කොට සිවුර මසාගනු මැනැව.” කියා තම උතුරු සළුව පසේබුදුරදුන්ට පිදුවා. “උපදින භවයක් පාසා මට කිසිවකින් අඩුවක් නොවේවා!” කියා ප්‍රාර්ථනා කළා. කුලපුතුගේ බිරිඳත් පසේබුදුන් පිඬුසිඟා වැඩි දිනයක පාත්‍රය ගෙන සුවඳ කුඩු උලා මැනවින් පිරිසිදු කොට චතුමධුර පුරවා එයට උඩින් පිරිසිදු ගිතෙල් දමා උන්වහන්සේට පූජා කළා. ඉක්බිති දණින් වැටී ඇඳිලි බැඳගෙන, “ස්වාමීනී, මේ පිණ්ඩපාත දානයේ අනුහසින් උපදින භවයක් පාසා මගේ මේ ශරීරය පැහැපත් වේවා! දීප්තිමත් වේවා!” යි කියා ප්‍රාර්ථනා කළා. පසේබුදුරජුන් ද “පින්වතිය, එය එසේම වේවා!” යි කියා අනුමෝදනා කොට අහසට පැන නැඟී වැඩි සේක. කුල පුතුගේ සහ බිරිඳගේ පැතුම් ඒ අයුරින් ම ඉටු වූ අතර ගෞතම බුදු සසුනේ ශාසනභාරධාරී වූ මහා කස්සප මහරහතන් වහන්සේ සහ භද්‍රාකාපිලානි මහරහත් තෙරණිය ලෙස නිකෙලෙස් ව පිරිනිවන් පෑවේ එම යුවළයි.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අප මෙතෙක් සිත පහදවා ගත්තේ ඒ අසිරිමත් පසේබුදුවරුන් නමැති නිකෙලෙස් මුනිවරුන් කෙරෙහි සිත පහදවාගෙන දන් පැන් පුදා වන්දනාමාන කොට දෙලොව සැපයත්, ධර්මාවබෝධයත් ලද සිද්ධීන් කිහිපයක් ගැනයි. වර්තමානයේ අපට පසේබුදුවරුන් ජීවමානව දකින්නට හෝ දන්පැන් පුදන්නට අවස්ථාවක් නැහැ. නමුත් මාලඹේ බුදු පසේබුදු අරහන්තක විහාරයේ පසේබුදු මන්දිරය නම් සොඳුරු විහාර මන්දිරයක් අභිනවයෙන් ගෞතම බුදු සසුනට මේ උතුම් බක් පුන් පොහෝ දින පූජා වෙනවා. මනරම් ලෙස නිර්මාණය වූ මඤ්ජූසක රුක් සෙවණේ උතුම් පසේබුදුරජාණන් වහන්සේලා සමාපත්ති සුවයෙන් වැඩ සිටින අයුරු රමණීය ලෙස එහි සජීවකරණය වී තිබෙනවා. පින්වත් ඔබත් එම සුන්දර පසේබුදු මන්දිරය සැදැහැ සිතින් නරඹා වන්දනාමානන කොට උතුම් පුණ්‍යධර්මයන් රැස් කර ගන්න. එම උදාර පින ඔබට දෙලොව සැප සලසාවි. ඒ උතුම් මුනිවරයන් වහන්සේලා අවබෝධ කළ ශාන්ත ප්‍රණීත නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමටත් ඒ පින මහෝපකාරී වේවි.
“සබ්බේ බුද්ධා බලප්පත්තා – පච්චේකානඤ්ච යං බලං
අරහන්තානඤ්ච තේජේන – රක්ඛං බන්ධාමි සබ්බසෝ”
“උතුම් සම්බුදු බලයෙන් – පසේබුදු ගුණ බලයෙන්
රහතුන්ගේ ද තේජසින් – සියලු රැකවරණ වේවා!”
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments