පින්වත් යොවුන් දූ දරුවනේ,

‘ඔබ ඔබ ම වෙන්න’ කියන මේ ආමන්ත්‍රණයෙන් ම ඔබ අමුතු ම ජවයක් ලබන්න ඇති කියලා හිතනවා. මොකද මේක සමාජයේ ගොඩක් දෙනෙක්ගේ මූලික තේමාවක්.

‘තවත් කෙනෙක් එක්ක ඔයාව සසඳන්න Compare  කරන්න යන්න එපා! ඔයා වෙන කෙනෙක් වගේ වෙන්න ඕන නෑ. ඔයා ඔයාට වෙන්න පුළුවන් හොඳ ම කෙනා වෙන්න’ මේ වගේ අදහස් හරියට මේ සමාජේ තියෙනවා. තරුණ හිතකට මේ වගේ අදහසක් අහපු ගමන් ඒක ඇත්ත වගේ ම හිතෙනවා.

නමුත් දරුවනේ, අපි තේරුම් ගන්න ඕන ඒක හරි වගේ පේන අදහසක් වුණාට කිසිම පදනමක් නැති අදහසක්. පෞර්ෂ හීන මිනිස්සුන් ව නිර්මාණය කරන අදහසක්. ඒ නිසා ඒ වගේ අදහස් නම් ඔබේ ජීවිතේ සාරවත් දේවල් විදිහට අරගන්න එපා!

ඇත්තෙන්ම අපිට තව කෙනෙක් වගේ වෙන්න බෑ. අපිට පුළුවන්කම තියෙන්නේ අපිට වෙන්න පුළුවන් හොඳ ම කෙනා වෙන එක තමයි. නමුත් මේ සමාජේ අනිත් මිනිස්සු එක්ක තමන්ව සංසන්දනය කරන්න බැරි කෙනෙක්ට කිසිම අයුරකින් තමන්ට වෙන්න පුළුවන් හොඳ ම කෙනා වෙන්න බෑ.

අද මේ ලිපිගත ඔයාලගේ නෙත ගැටීම ඔයාලට වාසනාවක්. මොකද මේ ලිපිය අවසන් වෙද්දී ‘ඔබ ඔබ ම වෙන්න’ කියන අදහසට අරුත්බර ප්‍රාණයක් එක් කරගන්න අනිවාර්යෙන් ම ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා වෙනදා වගේම බොහොම සෙනෙහසින් සිහිපත් කරනවා “අවසානය තෙක් ම ඔබ මේ ලිපිය හා රැඳී ඉන්න. ඔබට ඔබ ම වෙන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න හැකි වේවි!”

අසවලා වගේ වෙන්න…

ලෝකය අවබෝධ කළ සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසට අනුකම්පාවෙන් වදාළ මේ අවවාද දෙස බලන්න. “මහණෙනි, මාගේ පැවිදි ශ්‍රාවක වූ භික්ෂූන් මිනුම් දණ්ඩ කරගත යුත්තේ සාරිපුත්ත මොග්ගල්ලාන භික්ෂූන්වයි. ‘මම සාරිපුත්ත තෙරුන් වගේ වෙනවා, මම මොග්ගල්ලාන තෙරුන් වගේ වෙනවා’ කියා අදහස් කරමින් පැවිදි දිවිය සාර්ථක කරගැනීමට වෑයම් කළ යුතුයි. මාගේ පැවිදි ශ්‍රාවිකා වූ භික්ෂුණීන් මිනුම් දණ්ඩ කරගත යුත්තේ ඛේමා උප්පලවණ්ණා භික්ෂුණීන්වයි. ‘මම ඛේමා තෙරණිය වගේ වෙනවා, මම උප්පලවණ්ණා තෙරණිය වගේ වෙනවා’ කියා අදහස් කරමින් තම පැවිදි දිවිය සාර්ථක කරගැනීමට වෑයම් කරගත යුතුයි.

මගේ ගිහි ශ්‍රාවක වූ උපාසකයින් මිණුම් දණ්ඩ කරගත යුත්තේ චිත්ත ගෘහපති, හත්ථක ආලවක යන උපාසකයින්වයි. ‘මම චිත්ත ගෘහපතිතුමා වගේ වෙනවා, මම හත්ථක ආලවක ගෘහපතිතුමා වගේ වෙනවා’ කියා හිතමින් උපාසක දිවිය සරු කරගැනීමට වෑයම් කළ යුතුයි. මාගේ ගිහි ශ්‍රාවිකා වූ උපාසිකාවන් මිණුම් දණ්ඩ කරගත යුත්තේ නන්දමාතා ඛුජ්ජුත්තරා යන උපාසිකාවන්වයි. ‘මම නන්ද මාතා වගේ වෙනවා, මම ඛුජ්ජුත්තරා වගේ වෙනවා’ කියා හිතමින් උපාසිකාවෝ තම ශ්‍රාවිකා ජීවිතය සරු කරගැනීම පිණිස වෑයම් කළ යුතුයි.”

අසවලා වගේ වෙනවා කියා මනුස්සයෙක්ට මිනුම් දණ්ඩක් තිබීම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ දෙයක්. යම්කිසි මනුස්සයෙක්ට මිනුම් දණ්ඩක් ලෙස සැසඳීම පිණිස කෙනෙක් නැත්නම් හරියට ඒ ජීවිතේ රුවල් සිඳුණු නැවක් වගේ. යා යුතු මානයක් නොදැන ඔහේ යන ජීවිතයක්.

Compare කරන්ට බය වෙන්න එපා..!

බුදුමුවින් වදාළ මේ වචන ඉස්මතු කරමින් පෙන්නුවේ ඔබට මේ ගැන ලොකු විශ්වාසයක් ඇති කරවන්නයි. ඉතින් ඔබව අනෙක් මිනිස්සු එක්ක සසඳන්න බය වෙන්න එපා! ඔබට වඩා යහපත් මිනිස්සු එක්කත්, ඔබට වඩා අයහපත් මිනිස්සු එක්කත් ඔබ බය නැතිව ඔබව සසඳන්න. ඒ උදෙසා අවශ්‍ය වෙන්නේ කාරණා තුනක් පමණයි.

1. අවංකකම

මේ සමාජේ මිනිස්සු එක්ක තමන්ව සසඳලා බලද්දී Compare කරද්දී ඔබට අවශ්‍ය තමන්ගේ ස්වභාවය ගැන විවෘතව තේරුම් ගැනීම පිණිස අවංකකම.

2. පෞර්ෂය

තමන්ට වඩා ගුණවත්, යහපත් මිනිස්සු දකිද්දී අවංකව තමන් ගැන බලන කෙනාට පේනවා මේ මේ දේවල් මං ළඟ තියෙන දුර්ගුණ කියලා. ඒ දොස් සහගත දේවල් දෝෂයක් ලෙස ම දකින්න නම් අවශ්‍ය වෙන්නේ පෞර්ෂයයි. පෞර්ෂය නැති කෙනාට පේන්නේ තමන්ගේ වැරදි සාධාරණීකරණය වෙලා. ඒ නිසා හොඳ පෞර්ෂයකින් තමන්ව හඳුනාගත යුතුයි.

3. අනතිමානීකම

අනෙක් මිනිස්සු ළඟ නැති ගුණවත්කම් තමන් ළඟ තියෙනවා දකිද්දී හිතට ආඩම්බරයක්, මාන්නයක් ඇති වුණොත් ඒක තමන්ට අලාභයක්. ඒ නිසා ඇති කරගත යුතු ම කරුණක් තමයි අනතිමානීකම. තමන්ගේ ගුණවත්කම්වලින් ආඩම්බර නොවී ඉදිමෙන්නේ නැතිව ඉන්ට නම් අනතිමානීකම අවශ්‍යයි.

බුද්ධිමතුන් ව හැඩකරන නවීන ක්‍රමවේදය…

ඔව්! ඒක යල් පැන නොයන නවීන ක්‍රමවේදයක්. බුද්ධිමත් මනුස්සයෙක්ගේ ජීවිතේ ම හැඩ කරන්න ඒ අපූරු ක්‍රමවේදයට පුළුවන්. මේ ක්‍රමවේදය බුදුරජාණෝ දේශනා කොට වදාළේ අතට හමු වූ ශාසන ලාභය වනසාගත් දේවදත්තගේ අවාසනාවන්ත ඉරණම මුල් කරගෙනයි. දේවදත්තට අත් වූ විනාශය වෙනත් භික්ෂුවකට නොවීම පිණිස කරුණාවෙනුයි බුදුරජුන් පියවර හතරකින් යුතු ‘බුද්ධිමතුන් හැඩකරන නවීන ක්‍රමවේදය’ පෙන්වා දී වදාළේ.

1. සාධු භික්ඛවේ භික්ඛු කාලේන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතබ්බං

“මහණෙනි, භික්ෂුවක් කලින් කලට තමන්ගේ විපත් නුවණින් විමසා බැලීම හොඳයි” කියලයි බුදුරජාණන් වහන්සේ මෙහි පළමු පියවර වදාළේ. තමන්ට ජීවිතේ වැරදුණු තැන් තමන් විසින් ම අමතක වෙන්න නොදී කලින් කලට මතක් කරගන්න ඕන. ඒක අත්දැකීමක් සහිත පාඩමක් කරගන්න ඕන. ‘මට මේ නිසා වැරදුණා, මේ තීරණ නිසා වැරදුණා, මේ පිරිස ඇසුරු කළ නිසා වැරදුණා, මේ කෙනා ඇසුර කළ නිසා වැරදුණා’ ආදී වශයෙන් තමන්ගේ ම ජීවිතේට වුණ අතීත විපත් නුවණින් සලකා බැලිය යුතුයි.

2. සාධු භික්ඛවේ භික්ඛු කාලේන කාලං පරවිපත්තිං පච්චවෙක්ඛිතබ්බං.

මේ සමාජයේ ජීවිත අසාර්ථක කරගත්ත, විනාශ කරගත්ත බොහෝ දෙනෙක් අපිට දකින්න ලැබෙනවා. ඒ අයවත් තමන්ගේ දිවි ගමනට පාඩමක් කරගන්න බුද්ධිමත් කෙනෙක් දක්ෂ වෙන්න ඕන. “මහණෙනි, භික්ෂුව කලින් කලට අනුන්ට සිදු වූ විපත් ගැනත් නුවණින් කල්පනා කර බැලීමයි හොඳ” කියලයි බුදුරජාණෝ දේශනා කොට වදාළේ. බොහෝ දෙනෙක් අනෙක් මනුස්සයන්ට වැරදුණු තැන් ගැන ඔහේ කතා වෙවී නම් ඉන්නවා. තමන්ට කවදාවත් වරදින්නේ නැති වෙයි වගේ හිතාගෙන වැරදුණු මිනිස්සුන්ව විවේචනය කර කර ඉන්නවා.

නමුත් බුද්ධිමත් කෙනෙක් කළ යුත්තේ විවේචනය වෙනුවට විමසීමට දක්ෂ වීමයි. ‘මේ මනුස්සයාට වැරදුණේ මොකක් නිසා ද? ඔහු වැරදි ඇසුරක් නිසා නේද වරද්දගෙන තියෙන්නේ?’ වැරදුණු තැන නුවණින් තේරුම් අරගෙන ඒක පාඩමක් කරගන්න ඕනි. වැරදුණ උදවිය පවා තමන්ගේ ජීවිතේ සංසන්දනාත්මක තැනක් බවට පත් කරගන්න දක්ෂ විය යුතුයි. බලන්න මේ ක්‍රමවේද මොනතරම් නම් නවීනයි ද…!

3. සාධු භික්ඛවේ භික්ඛු කාලේන කාලං අත්තසම්පත්තිං පච්චවෙක්ඛිතබ්බං.

තමන්ගේ වැරදුණු තැන් විපත් විතරක් නොවේ, තමන්ගේ ජීවිතේ යම් සම්පත්තියක්, සාර්ථකත්වයක් ලැබුණා නම් ඒ ගැනත් කලින් කලට නුවණින් බලන්න ඕන. “මහණෙනි, භික්ෂුව කලින් කලට තමන්ගේ සම්පත්තීන් ගැනත් නුවණින් විමසා බැලීම හොඳයි” කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ‘මම මේ ඇසුර නිසයි යහපත් වුණේ, අසවලාගේ ඇසුර බැහැර කිරීම නිසයි මට හරියන්න පටන් ගත්තේ, මං අසවල් මාධ්‍ය පරිහරණය නැවැත්වීම තමයි මේ යහපතට හේතුව’ ආදී වශයෙන් තමන්ගේ ම සාර්ථකත්වයනුත් නිතර හොඳින් විමසා බලන්න ඕන.

4. සාධු භික්ඛවේ භික්ඛු කාලේන කාලං පරසම්පත්තිං පච්චවෙක්ඛිතබ්බං.

ඒ වගේමයි අන් අයගේ දියුණුව, සාර්ථකත්වය, ජයග්‍රහණ ආදියත් පිරිසිදු හිතකින් විමසා බැලීමේ දක්ෂතාවක් අපි ඇති කරගත යුතුයි. බොහෝ දෙනෙක්ට වෙන්නේ තව කෙනෙක්ගේ දියුණුව බලන්න බෑ, ඇස්වල කටු අණිනවා වගේ. ඉරිසියාව ඇති වෙනවා. අකුල් හෙළනවා. අනෙක් කෙනාගේ සාර්ථකත්වය ගැන දකිමින් එක්කෝ තමන් දුක් වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ “මහණෙනි, භික්ෂුව කලින් කලට අනුන්ගේ සම්පත්ති ගැනත් නුවණින් විමසා බැලීම හොඳයි” කියලයි. නුවණින් විමසා බලන කෙනෙක්ට සාර්ථක කෙනෙක් ගැන ඉරිසියා ආදිය ඇති වෙන්නේ නෑ. ‘ඒ කෙනා තමන්ගේ සාර්ථකත්වයන්ට, ජයග්‍රහණයන්ට, දියුණුවට උදව් කරගත්තේ මොන වගේ දේවල් ද එයා ඇසුරු කළේ කොයි වගේ දේවල් ද, කොයි වගේ පිරිසක් ද, ඒ වෙනුවෙන් කරපු කැපකිරීම් මොනවා ද’ ආදී වශයෙන් ජීවිතේට පූර්වාදර්ශ කරගත හැකි ගොඩක් දේවල් නුවණින් විමසන කෙනාට පේන්න ගන්නවා.

ඔබ ඔබ ම වෙන්න…

මේ කරුණු පැහැදිලි කරගත් කෙනෙක්ට නම් ඒ වචනේ ගොඩක් සුදුසුයි. තේරුම් ගන්න මේ විදිහට. ‘සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ වෙන්න ඕනි’ කියලා උත්සහවත් වෙන භික්ෂුවකට සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේම වෙන්න බැරි වෙයි. නමුත් ඒ භික්ෂුව කිසිසේත් දේවදත්ත වගේ වෙන්නේ නෑ කියන එක නම් ස්ථිරයි.

ඉතින් ජීවිතේ සාර්ථක කරගැනීම පිණිස මේ තරම් සාර්ථක ඵලදායී ක්‍රමයක් දැනගත් ඔබ පමා වෙන්න එපා! සසඳමින් බල බලා ජීවිතේ ලස්සන කරගන්න. ඔබ ඔබට පුළුවන් උපරිමයෙන් ඔබට වෙන්න පුළුවන් හොඳ ම කෙනා වෙන්න මහන්සි වෙන්න.

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.