ඒ පරම පවිත්‍ර මනුෂ්‍ය රත්නය වැඩමකොට අතිශය කලාතුරකින් ලොව පහළ වන ආශ්චර්යවත් ශාස්තෘවරයාණන් වහන්සේගේ සර්වතෝභද්‍ර වූ සද්ධර්ම දායාදයෙන් මේ භූමිය පරම පාරිශුද්ධ පුණ්‍ය තීර්ථයක් ලෙස තුන්ලොව ප්‍රකට කොට වදාළ සේක. ඒ අන් කවරෙක් හෝ නොව සත්ථුකප්ප, ශාස්තෘකල්ප, උපබුද්ධ, අනුබුද්ධ යන නාමයන්ගෙන් මිහිරි වදනින් වර්ණිත අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේය. උන්වහන්සේ අපගේ ආදි ගුරුදේවෝත්තමයාණන් වහන්සේය.

“යේ තේ භික්ඛවේ භික්ඛූ සීලසම්පන්නා සමාධිසම්පන්නා පඤ්ඤාසම්පන්නා විමුත්තිසම්පන්නා විමුත්තිඤාණදස්සනසම්පන්නා ඕවාදකා විඤ්ඤාපකා සන්දස්සකා සමාදපකා සමුත්තේජකා සම්පහංසකා අලං සමක්ඛාතාරෝ සද්ධම්මස්ස.

පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා සීල සම්පන්නයි. සමාධි සම්පන්නයි. ප්‍රඥා සම්පන්නයි. විමුක්ති සම්පන්නයි. විමුක්ති ඤාණදර්ශනයෙනුත් යුක්තයි. දහමින් අවවාද කරනවා. සදහම් කියා දෙන්න දක්ෂයි. සදහම් පෙන්වා දෙන කෙනෙක්. සමාදන් කරවන කෙනෙක්. සදහම් ගැන උනන්දුව ඇති කරවන කෙනෙක්. එහි සතුට ඇති කර දෙන කෙනෙක්. සද්ධර්මය ඉතා හොඳින් දේශනා කිරීමටත් පුළුවනි….

ඒවරූපා ච තේ භික්ඛවේ, භික්ඛූ සත්ථාරෝතිපි වුච්චන්ති, සත්ථවාහාති’පි වුච්චන්ති, රණඤ්ජහාති’පි වුච්චන්ති, තමෝනුදාති’පි වුච්චන්ති, ආලෝකකරාති’පි වුච්චන්ති, ඕභාසකරාති’පි වුච්චන්ති, පජ්ජෝතකරාති’පි වුච්චන්ති, උක්කාධාරාති’පි වුච්චන්ති, පභංකරාති’පි වුච්චන්ති, අරියාති’පි වුච්චන්ති, චක්ඛුමන්තෝති’පි වුච්චන්ත’’ති. පින්වත් මහණෙනි, ඔය වගේ භික්ෂුවකට ‘ශාස්තෘ’ කියලා කියනවා. (සසරෙන් එතෙර කරවන නිසා) ‘සත්ථවාහ’ කියලත් කියනවා. (කෙලෙස් යුද්ධය දිනවලා දෙන නිසා) ‘රණඤ්ජහ’ කියලත් කියනවා. (අඳුර නසා දමන නිසා) ‘තමෝනුද’ කියලත් කියනවා. (ප්‍රඥාලෝකය ඇති කරන නිසා) ‘අලෝකකර’ කියලත් කියනවා. (ආලෝකයෙන් ප්‍රභාමත් කරන නිසා) ‘ඕභාසකර’ කියලත් කියනවා. (නුවණ නමැති පහන දල්වා දෙන නිසා) ‘පජ්ජෝතකර’ කියලත් කියනවා. (ප්‍රඥාව නමැති පහන් එළිය දරාගෙන සිටින නිසා) ‘උක්කාධාර’ කියලත් කියනවා. (ප්‍රඥා ප්‍රභාව ඇති කරන නිසා) ‘පභංකර’ කියලත් කියනවා. (ආර්ය සත්‍ය අවබෝධ කරවන නිසා) ‘ආර්ය’ කියලත් කියනවා. (සදහම් ඇස් ඇති නිසා) ‘චක්ඛුමන්ත’ කියලත් කියනවා.”

(ඛුද්දක නිකාය, ඉතිවුත්තක පාළි, සීලසම්පන්න සූත්‍රය)

ඒකාන්තයෙන්ම අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයෙන් බැබළී ගිය සේක. දහමින් අවවාද කිරීමෙහි, දැනුවත් කිරීමෙහි, කරුණු දැක්වීමෙහි, සමාදන් කරවීමෙහි, උත්සාහවත් කරවීමෙහි, සතුටු කරවීමෙහි, ඉතා මැනවින් දේශනා කිරීමෙහි අතිශයින්ම දක්ෂ වූ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ දැකීම පවා ලක්වැසි භික්ෂූන්ට මහා උපකාරයක් විය. උන්වහන්සේගේ මුවින් නික්මුන දහම් පද ශ්‍රවණය කිරීම, උන්වහන්සේ වෙත එළැඹීම, උන්වහන්සේව ඇසුරු කිරීම, උන්වහන්සේ ළඟ පැවිදි උපසම්පදාව ලැබීම, සිංහල භික්ෂූන්ට මහා උපකාරයක්ම විය. සැබැවින්ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ‘සත්ථාරෝ’ ශාස්තෘවරයාණෝ ය. ලක්වැසියන් සසර කතරින් එතෙර කරවූ ‘සත්ථවාහ’ නොවරදින මග පෙන්වූ උතුමාණෝ ය. කෙලෙස් යුද්ධය දිනා දුන් ‘රණඤ්ජහ’ උතුමාණෝ ය. අවිදු අඳුර නසාලූ ‘තමෝනුද’ මුනිඳාණෝ ය. ප්‍රඥාලෝකය සැදූ ‘ආලෝකකර’ හිරු මඬලාණෝ ය. රශ්මිප්‍රභාවෙන් ප්‍රභාවත් කරවූ ‘ඕභාසකර’ මුනිඳාණෝ ය. නුවණ නමැති පහන් එළිය දරා සිටි ‘උක්කාධාර’ නැණවතාණෝ ය.

ප්‍රඥා ප්‍රභාව ඇතිකරලූ ‘පභංකර’ මුනිඳාණෝ ය. සත්‍යාවබෝධ කරවූ ‘ආර්ය’ උතුමාණෝ ය. සදහම් ඇස් ඇති ‘චක්ඛුමන්ත’ මුනිඳාණෝ ය.

අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් අප ලක්දිවට සැලසුණු යහපත මෙසේ වචන ගළපා කිසිසේත් පැහැදිලි කළ නොහැක්කේ ම ය. එය වර්ණනා විෂයාතික්‍රාන්ත ය. ලක්දිව වැඩම කළ පසු නැවත සිය මව්බිමටවත් නොවැඩ අපටම සියලු සෙත සැදූ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ උපසම්පදාවෙන් හැට වසක් පිරෙන තැන අසූ වැනි වියෙහි පසුවෙද්දී එළැඹි වප් පුරඅටවක පොහෝ දිනෙක මිහින්තලා සෑගිරි වෙහෙරේදී පිරිනිවන් වැඩි සේක. සිංහල රහතන් වහන්සේලා දහම් සංවේගයෙන් මිහින්තලයට වැඩියහ. රාග අප්‍රහීණ සේඛ භික්ෂූන් භික්ෂුණීන් උවසු උවැසියන් හඬා වැළපුණෝ ය. අහෝ! ලක්දිව බැබළවූ, සියලු සෞභාග්‍ය රැගෙන වැඩි මිණිපහන නිවී ගොස් ය.

දෙවන පෑතිස් මහ රජු වියෝ වී තිබුණෙන් ඔහු මලණු උත්තිය කුමරු රාජාභිෂේකව අටවෙනි වර්ෂය එළැඹී තිබුණි. අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම අසන්නට ලැබුණු උත්තිය රජු ශෝක හුලෙන් පහර කන ලදුව සෑගිරියට පැමිණ නිසල ශ්‍රී දේහයට වන්දනා කොට උන්වහන්සේගේ ගුණ කියමින් නොයෙක් අයුරින් හඬා වැළපුණේ ය.

ඉන්පසු රන් දෙනක සුවඳ තෙල් පුරවා ශ්‍රී දේහය එහි තැන්පත් කරවා ඒ රන් දෙන රන් පියනකින් හොඳින් වසා රන් කූටාගාරයක තබවා එය වඩමවාගෙන සාදු නද පවත්වමින් ජනතාවත්, භට සේනාවත් ලවා නොයෙක් පූජාවන් පවත්වමින් අලංකාරයෙන් සැරසූ මාවත ඔස්සේ අනුරපුරයට වඩමවා රජ වීදියේ සංචාරය කරවා අනතුරුව මහා විහාරයට වඩමවා එහි පඤ්චම්බමාලකයෙහි කූටාගාරය තැන්පත් කරවා සත් දිනක් හාත්පස යොදුනක ප්‍රමාණයේ තොරණ බන්දවා, ධජපතාක ඔසවා සුවඳ මලින් පුන්කලස් සරසවා පිළිවෙළින් රාජ අණින් මුළු ලක්දිවම සරසවා අනේකවිධ පූජෝපහාරයෙන් පුද දුන්නේ ය. දෙවියෝ ද එයට එක්ව තව තවත් අලංකාරයෙන් ලක්දිව බැබළවූවෝ ය.

සත් දවසක් ගිය තැන මහාවිහාරයට නැගෙනහිර දිශාවේ බද්ධමාලකය පිහිටි තැන සුවඳ දරෙන් චිතකයක් කරවූයේ ය. ඒ රන් දෙන සහිත කුළුගෙය ථූපාරාම මහා සෑ රජු ප්‍රදක්ෂිණා කරවමින් සඳුන් දර සෑය වෙතට වඩමවාගෙන පැමිණියේ ය.

චිතකම්හි ඨපාපෙත්වා
සක්කාරං අන්තිමං අකා
චේතියඤ්චෙත්ථ කාරේසි
ගාහාපෙත්වාන ධාතුයෝ
උපඩ්ඪධාතුං ගාහෙත්වා
චේතියේ පබ්බතේපිච
සබ්බේසු ච විහාරේසු
ථූපේ කාරේසි ඛත්තියෝ

ඉතා සිත්කලු ඒ කූටාගාරය චිතකයට නංවා අවසාන ගෞරව දක්වා ආදාහන පූජාව කළේය. ආදාහන පූජාවෙන් අනතුරුව ලැබුණු අනුබුදු මිහිඳු මහරහත් ධාතූන් වහන්සේලාගෙන් අඩක් එහිම නිධන් කොට චෛත්‍යයක් කරවීය.

ඒ ධාතූන් වහන්සේලාගෙන් අඩක් වඩමවාගෙන ගොස් මිහින්තලේ සෑගිරියේ ස්ථූපයක් කොට තැන්පත් කරවීය. (එකල්හි ප්‍රකටව තිබූ) සියලු විහාරවල මිහිඳු ස්ථූපයන් කරවීය. (මහාවංශය) මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ඒ භූමිය එතැන් පටන් උන්වහන්සේට කරන ගෞරවයක් ලෙස “ඉසිභූමංගන” යන නමින් හැඳින්වීය. ඒ ඉසිභූමංගනයේ මිහිඳු සෑ රජුත්, මිහින්තලයේ සෑගිරියේ මිහිඳු සෑ රජුත් මේ ලක්දිව මහරහතන් වහන්සේනමක් විෂයෙහි තැනවූ ප්‍රථම සෑ රජාණන් වහන්සේලා ය. එකල මේ උතුම් මිහිඳු ස්ථූප රාජයාණන් වහන්සේලා ප්‍රමුඛ සියලු විහාරයන්හි තැනවූ මිහිඳු සෑයන් පුදමින් සිව්වනක් පිරිස කෘතගුණය පෙරටු කොට අපමණ පින්ඵල නෙළුෑහ. අපගේ ආදි ගුරු දෙවිඳු පිදූහ.

කාලයාගේ ඇවෑමෙන් අනිත්‍යයේ පහරකෑමට ලක්ව ව්‍යසනයන් වන විට, සැදැහැවත් රජවරු නැවත නැවත පිළිසකර කරවමින් මහා පූජා පවත්වමින් සෑ රජුන් රැක ගත්හ. මිහින්තලාවේ අද වන විට සුදෝසුදින් බබළන සෑ රජාණන් වහන්සේලා තුන්නමකි. පියගැට පෙළ නැග ගිරි මුදුනට පැමිණි විට අඹරුක් සෙවණින් විසිතුරු වූ භූමියේ විරාජමානව වැඩ සිටින්නේ සර්වඥ ධාතූන් තැන්පත් සේල චෛත්‍ය රාජයාණන් වහන්සේ ය. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේලාත්, අපගේ ශාස්තෘවර ධර්මස්වාමී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේත් ලක්දිවට වැඩ සිරිපා පහසින් සුපූජනීය කළ බිම එයයි. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේත් ධර්මදූත සඟ පිරිස කැටුව මුලින් ම වැඩි බිම එයයි. අපගේ දේවානම්පියතිස්ස මහරජු මුලින්ම කල්‍යාණමිත්‍ර සම්පත්තිය ලද බිම එයයි. අඹ පැනය, ඥාති පැනය විමසූ බිම එයයි. රජු ප්‍රධාන හතළිස් දාහක් පිරිස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ශ්‍රවණය කළ බිම එයයි. ඒ සේල චෛත්‍යය වන්දනා කොට මහා කඳුමුදුනට පිය නගින විට සුදෝසුදු පැහැයෙන් සුවිසල්ව බබළන්නේ මිහින්තලේ මහසෑ රජාණන් වහන්සේයි. ඒ සුවඳවත් දාගැබෙහි වැඩසිටින්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ රන්වන් පුළුල් නළලත දෙබැම මධ්‍යයේ පිහිටි සුදෝසුදු මෘදු පුලුන් රොදක් බඳු (උණ්ණා ච භමුකන්තරේ ජාතා හෝති ඕදාතා මෘදුතූලසන්නිභා) ඌර්ණ රෝම ධාතූන් වහන්සේ ය. රාජ පූජිත මහා අනර්ඝ අෂ්ටවංක මාණික්‍ය තුළ තැන්පත්ව පවතින උත්තම ඌර්ණ රෝම ධාතූන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේගේ සත්‍ය පාරමී ගුණයේ සංකේතයයි. සසරේ සත්‍යය පැවසූ නිසා උන්වහන්සේගේ වචනයට අනුව සිව්වනක් පිරිස, දෙව් මිනිසුන්, අසුර නාග ගාන්ධර්වාදීහු පවතින්නාහු ය.

මේ උතුම් සෑ රජු පාමුල පසෙකින් වැඩ සිටින්නේ අපගේ අනුබුදු මිහිඳු මහ සෑ රජාණෝය. උත්තිය රජුගෙන් පසුව කලින් කල ප්‍රතිසංස්කරණය වෙමින් පැමිණ නටබුන්ව ගොස් තිබී 1950 දශකයේ මුල් භාගයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එවකට පස් කන්දක් සේ දිස් වූ මිහිඳු සෑ රජුන් යළි කටුකොහොල් අරවා කැණීම් කොට සංරක්ෂණයක් සිදුකර තිබේ. ඒ උතුම් සෑ රජුන් කැණීම් කරන විට 6-8 සියවස්වලට අයත් යැයි සැලකෙන ධාතු ගර්භයක් මුණගැසී ඇත. මහාදාඨික මහානාග ආදී රජවරු සෑගිරියට අයත් චෛත්‍යයන් කලින් කල පිළිසකර කළ බව වංශකථාවල සඳහන් වේ. එම ධාතු ගර්භයේ ඇතුළත කුහරවල ඒ ඒ යුගයන්ට අයත් බුදුපිළිම ද හමුව තිබේ. සාපේක්ෂ කාල නිර්ණයක් කළ එකල පුරාවිද්‍යා කොමසාරිස් පරණවිතාන මහතාගේ පාලන වාර්තාවලට අනුව වර්ෂ 1400කට පමණ පෙර කළ ප්‍රතිසංස්කරණයකදී තැනවූ ධාතු නිධානයකි එය. එම කැණීමේ දී අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ යැයි සැලකෙන උතුම් අස්ථි ධාතූන් වහන්සේලාත්, ආදාහනය කළ සුවඳ දරසෑයේ අංගාර ධාතූන් වහන්සේලාත් සහිත වර්තමානයේ නොදර්න් බ්ලැක් පොලිෂ්ඩ් වෙයාර් (Northern Black Polished Ware – NBPW) ලෙස හඳුන්වන උතුරු ඉන්දියාවේ යම් යම් ප්‍රදේශවලින් හමුවන ක්‍රිස්තු පූර්ව ගණන්වල භාවිත කළ කාලවර්ණ විශේෂ මංජුසාවක් මුණගැසී තිබේ. ඒ උතුම් ධාතු මංජුසාවේ වැඩසිටි ධාතූන් වහන්සේලා මිහින්තලේ රජමහා විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කොට පුද පූජා පැවැත්වීමට කටයුතු සම්පාදනය වුවත් නටබුන් ගඩොල් සෑය කොට වෙහෙරක් අයුරින් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය වූවා මිස ශ්‍රද්ධා දනවන ලෙස පූජනීය ප්‍රතිනිර්මාණයක් සිදු නොවීය.

1999 සිට මහාවංශයේ සඳහන් පරිදි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිව බුදු සසුන බැබළවූ මග ශක්ති පරිදි අනුගමනය කරමින් ත්‍රිපිටක බුද්ධ වචනය යළිත් සමාජගත වන ලෙස ඉස්මතු කරමින් මහමෙව්නාව භාවනා අසපු සංචිතය පිහිටවූ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ බොහෝ කලක් තිස්සේ මේ පිළිබඳව සංවේගව වැඩ සිටියහ. 2020 වර්ෂය වන විටත් සෑ මළුවේ තණකොළ වැවී තිබී නිසි නඩත්තුවක්වත් නැතිව තිබුණු සංරක්ෂිත ගඩොල් ස්මාරකය කුමක්දැයි සාතිශය බහුතර ජනතාව නොදැන සිටියහ. ඒ අතර මාතෘභූමියට සෙත්පතා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ද උපදෙස් පරිදි මිහින්තලා පුණ්‍යභූමියෙහි විශේෂ ස්ථූප වන්දනාවක් ශ්‍රී ගෞතම විහාරයේ විහාරාධිපති පූජනීය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ සංවිධායකත්වයෙන්, මහමෙව්නාව අසපුවාසී සඟරුවනේ සහයෝගයෙන් පවත්වා ඓතිහාසික මිහින්තලා පින්බිමේ විහාරාධිපති හා භාරකාර පූජනීය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ කළ සාකච්ඡාව අතර මේ මහා පුණ්‍ය කර්මයට මූලික පසුබිම සැකසී ගියේ ය. මිහින්තලා නායක ස්වාමීන් වහන්සේගේ බලවත් කැමැත්ත හා ආරාධනයත්, පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණයත් අප ගුරු දේවොත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය චේතනාව මල්ඵල ගැන්වීමට උපස්ථම්භක විය. මිහින්තලා මහා සෑ රජුන් පාමුල අහස් ගැබ සිසාරා සුදෝසුදුවට මිහිඳු මහා සෑ රජුන් දකිනා සුභ සිහිනය ගුරුදෙවිඳු සිත මොනතරම් සොඳුරුව මැවී ගියාදැයි අපට විස්තර කිරීමට නුපුළුවන. ඒ භාරදූර කර්තව්‍යය සේරුවිල මංගල රාජ මහා විහාරාධිපති, ශ්‍රද්ධා මාධ්‍යජාලයේ අනුශාසක පූජනීය අලුදෙණියේ සුබෝධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් පවරන ලදී. මහා සෑයවල් විශාල ප්‍රමාණයක් සැකසීමේ අතිශය පුළුල් අත්දැකීම් සමුදායකින් හෙබි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මිහිඳු සෑ රජු තැනවීමේ සියලු කටයුතුවලට අවශ්‍ය වැඩපිළිවෙළ නියමිත වෙලාවට නියමිත පරිදි සාර්ථක අයුරින් ඉදිරිපත් කරමින් ඒ සඳහා අනුශාසනා කරමින් නිරතුරු විමසා බැලූහ. මිහිඳු සෑය තැනවීමට සැදැහැවතුන්ගේ මූල්‍ය දායකත්වයන් ‘උරුම සංවර්ධන අරමුදල’ වෙත එක් කිරීම සියලු පාර්ශ්වයන්ගේ අධීක්ෂණය යටතේ ඉතා විනිවිදව සිදු විය. ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව මුල්ව සිදුකෙරිණි. මිහින්තලා කඳු මුදුනට ගඩොලක් රැගෙන යාම ද ඉතා වෙහෙසකර දෙයකි. පහළ ලේක්හවුස් විශ්‍රාම ශාලාවේ නතරව සිටි නාවික හමුදාවේ නිලධාරීන් ප්‍රමුඛ පින්වත් සෙබල මුළුව 100 දෙනෙක් පමණ විය. ඔවුහු ඉතා වෙහෙස මහන්සියෙන් සෑ මළුවට අවශ්‍ය ගඩොල් උඩට රැගෙන ගියහ. එම ගඩොල් සුදුසු පරිදි සැකසුවේ සේරුවිල විල්ගම්වෙහෙර රජමහා විහාර භූමියේ දී ය. එය ද ගරුතර මහා සඟරුවනේ අධීක්ෂණය යටතේ සිදුවිය. ශ්‍රද්ධා රූපවාහිනියත්, ලක්විරු ගුවන්විදුලියත්, මහමෙව්නාව අසපු සංචිතයත් හරහා නිරන්තරයෙන් දැනුවත් කරමින් අවශ්‍ය අවස්ථාවලට ශ්‍රමදාන සඳහා සැදැහැවතුන් යොමු කරවා ගත්හ. මේ මහාර්ඝ පිනෙහි අගය දත් ස්වාමීන් වහන්සේලා පවා මිහින්තලය මුදුනට වැඩියේ ගඩොල් කැටයක් දෝතින් රැගෙන ය. ඒ අතර එක්තරා කාය බලැති ‘යෝධ හාමුදුරුවෝ’ නමින් ප්‍රකට ස්වාමීන් වහන්සේනමක් වරින්වර ජවසම්පන්න තරුණ පිරිස් සමග පැමිණ ශ්‍රමදාන කළහ. කේබල් මාර්ගයෙන් අමුද්‍රව්‍ය ඉහළට ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූයෙන් නාවික ඉංජිනේරුවරුන්ගේ මැදිහත් වීමෙන් ටිපර් රථයක් ඉහළට යා හැකි පරිදි ගල්තලාව ඔස්සේ මාර්ගය සකසා ගත්තේ ය. එවැනි මාවතක යන විට රථවලට වන හානිය ද නොසලකා පින්වත් මහත්වරුන් දෙපළක් රියදුරුවරුන් සමගම රථ දෙකක් පූජා කළහ. පසුව නාවික හමුදාවේ රියදුරු මහතුන් ද ඒ සඳහා යෙදවීය. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිදීමට ලක්දිව නන් දෙසින් ද ලක්වැසියන් සිටින විදෙස්ගත නොයෙක් රටවලින් ද ආධාර උපකාර ලැබෙන්නට විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරුන්, මහාචාර්යවරුන් අත්‍යවශ්‍ය හැම මොහොතකම සිය වගකීම ඉටු කළහ. සෑ මළුව පුළුල් කිරීමට ඔවුන් කළ කැපවීම ප්‍රශංසනීය ය. දිනෙන් දින සෑය ගොඩනැගෙමින් යන විට පැරණි ධාතු ගර්භය වසා නව ධාතු ගර්භයක් තැනවීමට පුරාවිද්‍යාඥයින්ගෙන් උපදෙස් ලැබුණි. අරහත් ධාතු දරා වැඩ සිටි පෙර රජ දවස ධාතු ගැබ සාමාන්‍ය වැලි දමා වැසීමට සිත් නොදුන්නෙන් පූජනීය සුබෝධි ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමෙන් ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වතුන් හට පින් පිණිස ඔවුන්ගේ ආධාර මුදලින් දායකත්වය ලබා මැණික් සහ වටිනා පාෂාණයන් පුරවා පිරිසිදු සුවඳ පැනින් දොවා වියළා ගත් වැලි පුරවා පුරාණ ධාතු ගර්භය වැසීය.

ඒ මත විශාල ශක්ති සම්පන්න ගල්කුට්ටි තබා සතරස් හැඩැති ශෛලමය ධාතු ගර්භයක් නිමැවීය.

මිහින්තලේ ගිරිභණ්ඩ සෑයේ ධාතු ගර්භයේ චිත්‍ර කලා ආභාසයෙන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිතුසිතුවම් සංරක්ෂණ අංශයේ සම්බන්ධීකරණයෙන් හා උපකාරයෙන් නව ධාතු ගර්භය සොඳුරු සිතුවමින් වර්ණවත් කළේ ය. දෙවිවරුන් අහසේ සිට ධාතූන් වහන්සේලා වඳින අයුරු ද මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ද අඹ පැනය විමසන අයුරු ද දේවානම්පිය තිස්ස රජු ඇතුළු පිරිසට දහම් දෙසීම ද ධර්මදූත තෙරුන් වහන්සේලා, අරිට්ඨ තෙරුන් ප්‍රමුඛ සිංහල රහතන් වහන්සේලා අටසැට ලෙනෙහි වස්වැසීම ද ථූපාරාම සෑ රජුන් ඉදිවීමද සඟමිත් තෙරණිය බෝධීන් වහන්සේ වැඩමවීම ද මහමෙව්නාව උයන පූජා කිරීමද මහා සීමාව ලකුණු කිරීම ද වත්මන් සෑ ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිනිර්මාණය ගරුතර මහා සඟරුවනේත් නාවික හමුදාවේත් මැදිහත් වීමෙන් සිදුකිරීම ද ආදී විශේෂ අවස්ථා සිතුවමට නැගීය.

මේ අතර මිහිඳු මහ සෑ රජුන්ගේ ධාතු නිධානෝත්ස්වයට පෙර පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගයේ සිට ශෛලමය ධාතු කරඬුවත්, අගනා රන් කරඬුවත් සැදැහැවතුන්ගේ පුද පෙළහර මධ්‍යයේ සොඳුරු කූටාගාර රථයක තැන්පත් කොට මිහින්තලා පුණ්‍ය භූමියට වැඩමවීය.

ඒ පූජ්‍ය වස්තූනුත්, උතුම් සර්වඥ ධාතූන් වහන්සේලාත්, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාත් දින 4ක් පුරාවට දහස් සංඛ්‍යාත සැදැහැවතුන් හට දැක බලා වන්දනා කරගැනීමේ වාසනාව උදා විය.

මිහිඳු මහා සෑයේ අභිනව ශෛලමය ධාතු ගැබ තුළ මිහිඳු මහරහතන් වහන්සේගේ මව්තුමිය මුල්ව කරවූ සාංචි මහා විහාරයේ සාංචි ස්ථූපයේ ආභාසයෙන් අඩි 7ක් පමණ උසැතිව තැනූ ශෛලමය දා කරඬුව; අශෝක කුළුණේ ඇති දිගැති නෙළුම්පෙති හැඩයෙන් යුතු යටි පෙති සහ ලක්දිව සම්ප්‍රදාය ආභාසයෙන් උඩු පෙති නිමවුණු පාදම මත පිහිටියේ ය. ගල්කරඬුව ඇතුළත මුදුන අහස්ගැබ පෑයූ තරුමල් සෙයින් රිදී මලින් සැරසීය. සැදැහැවතුන් පිදූ රන් ආභරණවලින් සුවිසල් රන් කරඬුවක් තනවා සාංචි සෑයේ අයුරින් මුදුනට ඡත්‍ර දණ්ඩ තනවා ඡත්‍ර පිහිටුවා ඒ මත වෛරෝඩියෙන් වටිනා චූඩාමාණික්‍යයක් පැලඳවීය. රන් කරඬුව ඇතුළත ධාතු ගර්භ බිත්තියේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්වැසි මහ සඟරුවනට දහම් දෙසන අයුරු සිතුවම් කරවීය. මිහිඳු සෑයේ තැන්පත් වීමට නියමිත ධාතූන් වහන්සේලා පෙරටුව ඒ උතුම් රන් කරඬුව ද රත්හඳුන් මංජුසාව හා රන් මංජුසාව ඇතුළු අනෙකුත් සියලු පූජා වස්තූන් ද මිහින්තලාවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අපගේ පින්වත් ගුරු දේවොත්තම ලොකු ස්වාමීන් වහන්සේ, පින්වත් අලුදෙනියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සඟරුවනේ දෑතින් වැඩමවූයේ විශේෂ පෙළහර පූජාවන් සමඟිනි. 108නමක් වූ ගරුතර මහා සංඝරත්නයත්, පින්වත් අනගාරිකා මෑණිවරුනුත්, දසසිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් 108දෙනා බැගිනුත් ක්ෂීරපායාස පූජා, සුවඳ දුම්, සුවඳ පැන් ආදී නොයෙක් පූජා රැගෙන අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිදුමට එම පෙරහැරට එක් වූහ.

ශෛලමය කරඬුවේ පේසා වළල්ල වටා රිදියෙන් නිමවා මැණික් එබ්බවූ සොඳුරු කංචුකයකි. හතරැස් කොටුව වටා ද එසේය. ගර්භය මුදුනේ සිට බඳ වටා විසිතුරුව වැගිරෙන මැණික් සමූහයක් සෙයින් රිදීයෙන් තැනවූ මැණික් එබ්බවූ සොඳුරු සැරසිල්ලෙන් විභූෂිත ය. එහි ඡත්‍රයේත්, කොතෙහිත් මුතු මැණික් රන් රිදී නොයෙක් සැරසිලි ය. කිලෝ හතක් බරැති රන් කරඬුව වටා ද ඉතා උචිත අයුරින් එබ්බවූ නානා වර්ණැති අගනා මැණික් සැරසිලි ය. අගනා දියමන්ති සැරසිලි ය.

රනින් රිදියෙන් මුතු මැණිකෙන් සරසන ලද ඉතා අගනා අරටුවකින් නිමවූ රත් සඳුන් මංජුසාවෙහි රන් මංජුසාවක් තුළ මැණික් අතුරා, ඒ මැණික් පොළොව මත අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඩා හිඳුවා, ඒ වටා ජාති මාණික්‍ය පුරවා, එම රත් සඳුන් මංජුසාව සුවිසල් රන් කරඬුවේ පිහිටුවා ඒ වටා ද මාණික්‍ය පුද දී එම කරඬුව ශෛලමය ධාතු කරඬුව තුළ තැන්පත් කරවීය. රන් කරඬුවේ හතරැස් කොටුව තුළ රන් මංජුසාවක සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරවීය.

හතරැස් කොටුව තුළ ශෛලමය කුටියක් තනවා එහි චිත්‍ර සිතුවම් කොට රන් කරඬුවක් තුළ සර්වඥ ධාතූන් වහන්සේලා සිව්නමක් වඩා හිඳුවා එම කරඬුව අගනා මැණික් පිරවූ දක්ෂිණාවර්ත සංඛයක් මතුපිට තැන්පත් කරවීය. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ සියලු ත්‍රිපිටක ධර්මය සුරැකීම පිණිස විශේෂ ආරක්ෂිත ක්‍රමයක් ලෙස විනිවිද පෙනෙන රෙසීන්වලින් තැනවූ කුටීර තුළ ත්‍රිපිටක ග්‍රන්ථ රත්නයන් ද මහාවංශය ථූපවංශය ධාතුවංශය යන ඉතිහාස ග්‍රන්ථයන් ද සුරක්ෂිතව තැන්පත් විය. ප්‍රධාන ධාතු ගර්භය තුළ මැණික් පිරවූ ශෛලමය පාත්‍රයක් ද සිව්කොණ ශෛලමය පහන් සුවඳ රන්තැඹිලිතෙල් යොදා දල්වා අනෙකුත් පූජා භාණ්ඩ, සුවඳ සුණු වර්ග, රන් රිදී මුතු මැණික්, රත් සඳුන්, සුදු සඳුන් පුෂ්පයන් ආදී නොයෙක් පූජා ද්‍රව්‍යයන් සහ සුවඳැති පුෂ්පයන් ද පුදා අධිෂ්ඨාන බල පිහිටුවා ධාතු ගර්භය වැසීය.

සුදෝසුදු පැහැයෙන් බබළන ශ්‍රී අනුබුදු මිහිඳු මහ සෑ බඳ වටා කංචුක පලඳා පේසාවළලු වටා උදෑසන ක්ෂීරපායාස දාන, මිහිරි අඹ බඳුන්, සිසිල් පැන්, පහන් ආලෝක තබා නොයෙක් මල් සැරසිලි පුද දී ගුවන්ගැබින් ද මල් වරුසා වස්සවමින් අනුබුදු මිහිඳු මහ සෑ රජු හට උපහාර පූජා පැවැත්විණි. මේ සියලු පින්කම් සිදුවන අතර ගරුතර මහා සඟරුවනේ මිහිරි සමචිත්ත පරියාය සූත්‍ර සජ්ඣායනය මිහින්තලා පව්ව සිසාරා පැතිර ගියේ ය.

මිහිඳු මහා සෑ මළුව ම ශෛලමය පතුරු අතුරා ශෛලමය පියගැටපෙළ තනවා ශෛලමය ඝණ්ඨාර කුළුණ තනවා සිව්දිග මලසුන් ගෙවල්, පහන් මණ්ඩපය, සෙවණ මණ්ඩපය තනවා අංගසම්පූර්ණ සෑ ප්‍රතිනිර්මාණයක් ලෙස අපගේ අනුබුදු මිහිඳු මහා සෑ රජුන් ගෞතම බුදු සසුනට යළි පිදීමට ලැබීම මොනතරම් භාග්‍යයක් ද!

කෘතගුණ පූජාව සත්පුරුෂයින්ට ම විෂය වන්නකි. එය අපට උගැන්වූවෝ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය. මේ යුගයේ ගෞතම බුදු සසුනේ සදහම් පණිවුඩය ජනී ජනයා අතර ප්‍රකට කොට වදාළ අපගේ ගුරුදෙවිඳාණෝ අප සැමට කෘතවේදී බවෙහි අගය පහදා දුන්හ. ගුරුදේවයන් වහන්සේ ශිෂ්‍යවරයන් පිරිවරා ලක්ෂ සංඛ්‍යාත උවසු උවැසියන්ගේ දායකත්වයෙන් සිදු කළ මේ උතුම් පූජෝපහාරයේ ප්‍රතිඵල තවත් සියවස් ගණනක් තිස්සේ අපගේ අනාගත පරපුර භුක්ති විඳිනු ඇත. සම්බුදු පියරජු මහ සෑ පාමුල උතුම් මිහිඳු තෙර මහ සෑ වැඩ සිටින මිහින්තලාව පෙරටත් වඩා දැන් බබළයි. අප හට රැස් වූ මේ පින් බල මහිමයෙන් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පසක් කළ යම් ශාන්ත පදයක් වේ ද ඒ උතුම් සුවයම සැලසේවා! සියලු දෙනාටම ශ්‍රී අනුබුදු මිහිඳු සෑ රජුන්ගේ පිහිට සැලසේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.