කිසිම දොසක් නැති, ගුණ පමණක් ම ඇති මිනිසුන් ලොව කොයි කල ද විරල ය. කවරෙකු තුළ වුව ද කවර හෝ දොසක් ඇත්තේ ම ය. එබඳු ලොවක වුව ද කිසිඳු දොසක් නැති – අපමණ ගුණ පමණක් ම ඇති අති දුර්ලභ මිනිසුන් පහළ වේ. “සම්මා සම්බුදුවරු” නමින් හඳුන්වන්නේ ඔවුහු ය. සම්බුදුවරුන් තුළ සියලු දොස් දුරු වීමත්, අමා සදහම් පහළ වීමත් සිදුවන්නේ එක වර ය. සියලු දොස් දුරුවන්නේත්, අපමණ ගුණ කඳ පහළ වන්නේත් ඒ සිරි සදහම් තුළින් ම ය. එතරම් ම ඒ ‘සිරි සදහම්’ ද අසිරිමත් ය.
සිතක පවත්නා සියලු දෝෂයන්ට මුල් වන මූල තුනකි. එනම් රාගය හෙවත් ආශාවත්, ද්වේෂය හෙවත් තරහත්, මෝහය හෙවත් මුළාවත් ය. රාගය නැසූ සම්බුදුවරු රාගය නැසීම පිණිස දහම් දෙසති. ද්වේෂය නැසූ සම්බුදුවරු ද්වේෂය නැසීම පිණිස දහම් දෙසති. මෝහය නැසූ සම්බුදුවරු මෝහය නැසීම පිණිස දහම් දෙසති. ඒ මිහිරි සදහම් අසා සිතේ සියලු දොස් දුරු කරගන්නා පිරිසට ය ‘රහතන් වහන්සේලා’ යැයි පවසන්නේ. එබැවින් ඔවුහු ද අසිරිමත් ම ය.
රාගය සිතින් සදහට ම දුරුවන්නට නම් ශරීරයේ ඇති සත්‍ය ම ස්වභාවය ඇති සැටියෙන් ම දැක්ක යුතු ය. ඒ ඇත්ත නොදක්නා තුරු ම ඇත්තේ මුළාවෙන් මවා පෙන්වන මායාකාරී සුන්දරත්වයක් නිසා සිතක ඇති වන රාගය ම විනා විරාගය නොවේ. එසේ කයේ සත්‍ය ස්වභාවය දුටුවහොත් අවබෝධයක් තුළින් ම ඇතිවන කලකිරීම ඇති වේ. කලකිරීම අවබෝධයක් තුළින් සිදු නොවන තාක් ම විටෙක කලකිරුණු දෙය නැවත ඕනෑ වේ. එතැන නැත්තේ ම අවබෝධය ම යි. රාග ද්වේෂ මෝහාදී අනේක දෝෂවලින් ම පිරුණු අපගේ ජීවිත තුළට හොඳින් එබිකම් කොට බැලුවහොත් එය ඔබටම පසක් වනු ඇත. කලකිරුණු දෙයම නැවත ඕනෑ වුණු අවස්ථා ඕනෑ තරම් අපගේ ජීවිත තුළ තිබෙනු දැකිය හැකි වනු ඇත. ඒ අපගේ ස්වභාවයයි.
සම්බුදුවරුන් තුළ රාගය මෙන්ම අන් අකුසල් ද ප්රහාණය වන්නේ යළි හටගන්නා අයුරින් නම් නොවේ. උන්වහන්සේලාගේ කෙලෙසුන්ගෙන් නිදහස් වීම යළි කිසිදා වෙනස් නොවන නිසා ඒ විමුක්තියට ‘අකෝප්‍ය චිත්ත විමුක්තිය’ (අකුප්පා චේතෝවිමුත්ති) යැයි කියනු ලැබේ. සැබැවින්ම එය අසිරිමත් දෙයක් නොවේ ද? ඒ අසිරිය දැනෙන්නට නම් අපේ ස්වභාවය හා සසඳා බැලිය යුතු ය. එවිට ආකාසයේ පුන්සඳ මඬල බබළන්නා සේ සම්බුදු සිතක අසිරිය දිලිහි දිලිහී පෙනෙනු ඇත. රූපයේ ඇත්ත නොදක්නා තුරු ම තැන දෙන්නේ ම රූපයට ම ය. කොයි කලත් එය එසේමැයි. සම්බුදුවරු පහළ වන යුගයේ ද එසේම ය. ගෞතම නම් වූ අප සම්බුදුරජුන් පහළ වූ යුගයේ ඉතා අලංකාර රූ සපුවකින් කාගේත් නෙත් සිත් වසඟ කරගත් ඉතා රූමත් තරුණියක් සිටියා ය. ඈ කෙතරම් රූමත්දැයි කිවහොත් ඈට විවාහ ගිවිස ගැනීම පිණිස ඉතා ධනවත් බ්‍රාහ්මණයන්ගෙන් ද සිටුවරුන්ගෙන් ද ලැබුණු යෝජනා අපමණ ය. එනමුත් ඇයගේ පියාණන් තැන දුන්නේ ම රූපයට මිස ධනයට, බලයට හෝ කුලයට නොවේ. එනිසාම ‘තම දියණියගේ රූ සපුවට ගැළපෙන රූමත් කඩවසම් තරුණයෙකු තාම මුණ නොගැසුණේ ය’ කියා නිතර සිත්තැවුලෙන් සිටියේ ය.
දිනක් උදෑසන… පියෙකු තම රූබර දියණියට රූමත්, කඩවසම් තරුණයෙකු සොයනා අතරේ, අසිරිමත් රූ ඇති යොවුන් ශ්‍රමණයෙක් බොහෝ දුක් ඇති මේ සසර කතරින් එතෙර වීම පිණිස සසරෙහි පින් පුරන ලද අයෙකු සොයමින් සිටියේ ය. ඒ වෙන කවුරුත් නොව අප මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ ය. මහා වාසනාවකි! සම්බුදු නෙතට එදා හසු වූයේ එම පියාණන් සහ මෑණියන් දෙපළ ය. භාග්‍යවතුන් වහන්සේ එම පියාණන් ගැවසෙන පෙදෙසේ වන ලැහැබක ගසක් යට රශ්මි දහරා විහිදුවමින් වැඩ හුන්හ. කිසියම් කටයුත්තකට ඒ අසලින් ගිය පියාණන්ට පෙනුණේ සම්බුදුවරයෙකු හෝ ශ්‍රමණයෙකු නොව දෙතිස් මහා පුරිස් ලකුණින් බබළන අභිරූපී තරුණයෙකි. “මෙන්න මගේ දියණියට ගැළපෙන සුරූපී තරුණයා ළඟට ම පැමිණ සිටිනවා.” සතුටට මුහුණේ මල් පිපුණි. මේ තමාට පිහිට වීමට පැමිණ සිටින අසිරිමත් මුනිවරයා බව ඔහු නොදත්තේ ය. එනිසා ඔහු භාග්‍යවතුන් වහන්සේ අමතා, “පින්වත් ශ්‍රමණය, මට ඉතා රූමත් දියණියක් සිටිනවා. ඇයට ගැළපෙන රුවක් ඇති හොඳ ම කෙනා නුඹයි. ඉක්මනින් මං ඇයව කැඳවාගෙන එනතුරු අනේ කොහේවත් යන්න එපා! මෙතන ම ඉන්න.” කියා පවසා කඩිමුඩියේ ගෙදර ගියේ ය. මෑණියගේ ද යහපත කැමති භාග්‍යවතුන් වහන්සේ නිහඬව ම සිටියහ.
හණික තම බිරියට මෙම සතුටුදායක පුවත පවසා, දියණිය සුවඳ පැනින් නහවා, සරසවාගෙන ආපසු පැමිණෙන විට අනේ! ඒ සොඳුරු ශ්‍රමණයා එතැන නොසිටියේ ය. වටපිට පිරික්සා බලන විට ඉතා පැහැදිලි පා සටහනක් දක්නට ලැබුණි. සම්බුදුරජාණන් වහන්සේලාගේ මෙවන් අසිරිමත් කරුණක් තිබේ. එනම් පියවර සටහන් කිසිදා පොළොවෙහි සටහන් නොවීමයි. එසේ පිහිටන්නේ උන්වහන්සේලා විසින් ම කරනු ලබන අධිෂ්ඨානයකින් ම පමණි. ඉදින් අදිටන් කළහොත් කළුගල් තලාවක වුව ද සිරිපා සටහන පැහැදිලිව පිහිටයි. එදා පා සටහන පිහිටියේ ද භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානය නිසා ම ය. එසේ තබන තබන පියවර සටහන් මැකී යන්නේ කෙලෙස් සහිත කෙනෙකුට ඒවා නොපෑගීම පිණිසයි. එය අසිරිමත් ලෙස ඉබේ ම සිදුවන දෙයක් මිස භාග්‍යවතුන් වහන්සේ ඉර්ධියෙන් හෝ සිතාමතා කරනු ලබන දෙයක් නොවේ. එම පා සටහන දුටු මෑණියන් හොඳින් පිරික්සා බලා අවසන කීවේ “අපේ අදහස ඉෂ්ට වෙන්නේ නෑ. මේ පා සටහනේ හිමිකරුවා නම් කිසිදා කාමයෙහි ඇලෙන කෙනෙක් නොවේ. මේ පා සටහනට අනුව නම් මේ තැනැත්තා වීතරාගී කෙනෙක් වෙන්න ඕන.” කියා ය. ඉන්පසු ඇය කවියකින් පා සටහන් ලකුණු කීවා ය. “සරාගී කෙනෙකුගේ පාදය වකුටු ගතියකින් යුක්තයි. ද්වේෂ සහගත කෙනෙකුගේ පාද සැහැසිවයි තිබෙන්නේ. මෝහ සහගත කෙනෙකුගේ පා සටහන පැහැදිලි නෑ. නමුත් මේ පා සටහන කිසි කැඩී බිඳීමක් නැතිව ඉතා පැහැදිලිව පිහිටා තියෙනවා.” මෙවන් සුභ මොහොතක පමණට වඩා දෙඩීම ගැන ස්වාමියාගෙන් ඇනුම් බැණුම් ලැබෙන අතර වටපිට බලද්දී මෙතෙක් වේලා සොයමින් සිටි අභිරූපී යොවුන් ශ්‍රමණයා අසල ගසක් යට අසුන් ගෙන සිටිනු දකින්නට ලැබුණි.
ඉතින් මේ දෙදෙනා ඉතාමත් සතුටින් තම දියණිය භාග්‍යවතුන් වහන්සේට දක්වා “පින්වත් ශ්‍රමණය, අපගේ මේ උතුම් රූ සිරි දරන දියණිය, අපි කැමතියි ඔබට සරණ පාවා දෙන්න.” යැයි කීහ. එවිට වීතරාගී මුනිඳුන් “පින්වත් බ්‍රාහ්මණය, මං යමක් පවසන්නම්, ඔබ එය අහන්න සතුටු ද?” යි වදාළහ. “භවත් ශ්‍රමණය, පවසන්න. අපි අහන්න සතුටුයි.” කියා පිළිවදන් ලැබුණු නිසා භාග්‍යවතුන් වහන්සේ සකල රාජශ්‍රීය අතහැර අබිනික්මන් කොට සම්බුද්ධවය පිණිස වෙහෙසුණු අයුරු ද අබිනික්මන් කරනා මොහොතේ නගරද්වාරයේ සිට මාරයා විසින් සක්විති රජකමට කළ ඇරයුමත්, සත් වසරක් පුරා සෙවණැල්ල සේ පසුපසින් හඹාවිත් කිසිම දෝෂයක් සිතේ සොයාගත නොහැකි ව පැරදී කණස්සල්ලෙන් සිටින විට, මාර දූවරු පැමිණ “පියාණනි, ඔය ගැන කල්පනා කරන්ට එපා. අපි ස්ත්‍රීන් නෙව. රාගය නමැති තොණ්ඩුවෙන් ගැට ගහගෙන ඔහුව අපි ඔබගේ පාමුලට රැගෙන එන්නම්.” කියා තණ්හා, රතී, රගා නම් ඒ දියණිවරු දිව්‍යමය රන්වන් සිරුරු ඇතිව භාග්‍යවතුන් වහන්සේ අසලට පැමිණ ක්ලේෂ වසඟයට පත් කරගන්නට ගත් වෑයම අසාර්ථක වූ සැටිත් පවසා “පින්වත් බ්‍රාහ්මණය, එවන් දිව්‍යමය ශරීර ඇති ස්ත්‍රීන් කෙරෙහිවත් සරාගී හැඟීම් මාත්‍රයක්වත් මගේ හිතේ හටගත්තේ නෑ. ඉතින් එහෙම එකේ දෙතිස් කුණපයන්ගෙන් පිරුණු, බාහිරින් සිතුවම් කළ අසූචි පිරුණු කළයක් වගේ සිරුරක් ඇති ඔබගේ දියණියගේ සිරුර, දොරටුව අබියස පාපිස්නක් ලෙස තිබුණත් පාදයකින්වත්, යාන්තමින්වත් ස්පර්ශ කරන්න මම කැමති නෑ.” කියා වදාළ සේක. අහෝ! අසිරියක් මැ යි. බොහෝ මංගල යෝජනා ලැබුණු, අතිශයින් ම රූමත් තරුණියක් ව විවාහය පිණිස, ඇයගේ දෙමාපියන් විසින් ම, වනාන්තරයක හුදෙකලාවේ සිටිද්දී ම පාවා දෙන විට ය භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාළේ. ඒ වීතරාගී සිත නම් කිසිදා වෙනස් නොවන සේක් ය.
ඒ නුවණැති දෙමාපියන්ගේ සිත තම දියණියගේ සිරුර අරබයා දෙසූ බුදු වදනට නොකිපුණි. සම්බුදු බණ පද අසා එදා ඒ දෙපළ අනාගාමී ඵලයට ද පත් විය. පසු කලෙක බුදු සසුනෙහි පැවිදිව, නිකෙලෙස් වී අමා නිවන් සුවයේ හිමිකරුවන් බවට පත් වූහ. අනුවණ රූබර දියණිය බුදු වදනට ගැටී වෛර බැඳගෙන, පසු කලෙක උදේනි රජු හා විවාහ වී භාග්‍යවතුන් වහන්සේට නොයෙක් කයි කතන්දර හදා පතුරුවා බොහෝ නින්දා අපහාස කොට, සාමාවතිය ඇතුළු උපාසිකාවන් 500ක් ද මරවා, එනිසා රජුගෙන් ද මැරුම් කා බිහිසුණු නිරා දුකෙහි හිමිකාරිනියක් බවට පත් වූවා ය. ඈ වෙන කවුරුත් නොව මාගන්දියා ය. ඇය වෛර බඳින බවත්, ඇයගෙන් නින්දා අපහාස විඳීමට සිදුවන බවත් දැන දැන ම ඝෝර සසර දුකින් දෙමව්පිය දෙපළ මුදවන මහා කරුණාවෙන් ම ය එදා භාග්‍යවතුන් වහන්සේ පිහිට වූයේ. වෙනෙකෙකු නම් නින්දා අපහාස ලැබීමට බියෙන් මෙවැනි දෙයකට අත නොගසනු ඇත. අහෝ! අප සම්බුදු රජුන්ගේ මහා කරුණාවේ අසිරිය! වීතරාගී සිතක අසිරිය! ඒ වීතරාගී මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments