“නන්දුත්තරා……..” නින්නාද වූ මවගේ හඬින් ‘නන්දු’ පියවි ලෝකයට පිවිසියා ය. වෙසක් සඳේ සොමි කිරණින් ඇගේ පියකරු මුව මඬල ආලෝකවත් විය.

“මොකද නන්දු හඳ දිහා බලාගෙන කරන්නේ?”

“බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කළේ අද වගේ දවසක නේද අම්මා…”

“හ්..ම්.. ඒක තමයි.”

මට සිහි වුණේ අපේ ගෝතම සමිඳු, හරී… ශාන්තයි. රහතන් වහන්සේනමක් වගේ නේද අම්මා?

“ඒක නම් ඇත්ත දුවේ, උන්වහන්සෙගේ රූපේ රන් කඳක් වගේ දිලිහෙනවා!. කතා කරනකොට මූණ හඳ වගේ බැබළෙනවා.” අම්මා කීවා ය.

‘නන්දු…’ ඇගේ සඳ සදිසි වත… සිනාසෙන විට වළ ගැහෙන කොපුල්; අක්බඹරු දිගු කෙහෙරැල්; සිහින් පිරුණු සිරුර… බැබළෙන නයන යුග; ඈ පියවර තබන ලීලාව කාට නම් සම කළ හැකි ද? ඈ දුටුවන් මන පිනන රූ ඇත්තී, සැබැවින්ම නිරහංකාර අහිංසකාවියක වූවා ය.

ගෝතම සමිඳුන් ‘ගෝතම අරණට’ වැඩම කොට වසරකුත් ඉක්ම යන්නට පෙර උන්වහන්සේ පිළිබඳ කීර්ති ඝෝෂාව ගම් දනව් කරා පැතිරෙන්නට විය. පිණ්ඩපාතයෙන්ම පමණක් යැපුණු සමිඳුන් වඩින අයුරු දැක්ම ගම්මුන්ට ප්‍රිය දසුනක් විය. ගම්මුන් දිනපතා කුමක් හෝ රසවත් අහරක් පිස දෑස් දල්වා මග බලා සිටින්නේ ඒවා සමිඳුන්ට පූජා කරන්නට ය. සැමදා පළමු දන් හැන්ද බෙදන්නට තරම් නන්දු පුණ්‍යවන්තියක් වූවා ය. උන්වහන්සේගේ මුවග නිතර රැව් දුන් ‘සුවපත් වේවා’ යන්න ගම්මුන්ට හුරුපුරුදු වචනයක් විය.

ලඳු සහිත කුඩා කඳු ගැටයක් මත වූ ගෝතම අරණෙහි මතක ඇති යමක් වූයේ නම් ඒ බෝධි වෘක්ෂය හා සමිඳුගෙ මැටි කුටිය පමණි. ඒ පාමුල සිට නන්දු ගෝතම සමිඳුන් සක්මන් කරන අයුරු බලා සිත් පහන් කර ගත්තා ය. ගෝතම අරණට සයුරු රළ බිඳෙන හඬ හොඳින් ඇසිණි. මුහුදු රළ ඉකිබිඳ මුමුණන හඬින් සත්වයින්ගේ කඳුළ, සුසුම, ජරාව, මරණය ආදී සියල්ල දකිමින් ජීවිතය නම් දුක් ගීතයේ අනියතය, අනාත්මය දකිමින් ගෝතම සමිඳුන් බවුන් වඩනු දැකීම නන්දුත්තරාට මහත් ආශ්චර්යයක් විය.

“නන්දු මොකද මේ කවදාවත් නැතිව හොඳටම බඩ පුරවාගෙන, මහ දවල් නිදාගන්නේ…?” අම්මා ඇසුවා ය.

ඒ වන විටත් නන්දුගේ කුසේ බැසගත් විඤ්ඤාණය, බීජයක් ලියලා වැඩෙන්නාක් මෙන් මසින් වැඩී යන්නට පටන් ගෙන තිබිණි. ඒ බව දැනුණු නිමේෂයේ නන්දුගේ හදවත දිවිදෙනක් ඉදිරියේ අසරණ වූ මුවැත්තියක සේ සැලෙන්නට විය. මවගෙන් කෙසේ නමුත් පියාගේ ඉවෙන් ගැලවී සිටින්නට ඈ සමත් නොවූවා ය.

“නන්දු… ඇත්ත කියන්න..! මම ඔයාට කවදාවත්ම සැර කරලා තියේ ද..?” යැයි පියා සෙනෙහසින් කීවේය.

නන්දුත්තරා නිරුත්තර ය. ඈ බිම බලාගත්තා ය. මවට කිසිත් සිතාගත හැකි නොවී ය.

“ගම්මු හිනස්සන්නේ නැතුව ඇත්ත කියන්න මගේ පුතේ.” පියා බිඳුණු හඬින් යළිත් ඇසී ය. නන්දුට පියාගේ ආදරණීය වචන ඉවසා දරා ගත නොහැකි වුවත් ඈ නිරුත්තර විය.

“නන්දුත්තරා…” මහ හඬින් කෑ ගැසූ ඔහු අඩි පොළවේ හප්පා ගර්ජනා කොට කෝපයෙන් තම බිරිඳ දෙස බැලී ය. ඔහුගේ කෝපය මුසු චෝදනාත්මක බැල්මෙන් ඈ බිරාන්ත වූවා ය. දරා ගත නොහැකි ශෝකයෙන් ද කෝපයෙන් ද වෙලී ගිය සිතින් යුතු ඔහු වහා නිවසින් පිටවී ගියේ ය. මව නන්දුත්තරා දෙස හොඳ පරීක්ෂාවෙන් බැලුවා ය. ඇගේ සිරුර වෙනස් වීගෙන යන බව දැක ඇගේ හිස ගිනි ගැණින. ලේ ධාරාවෝ උණුසුම් වී ගලා ගියේය. උණ ගැනුණු කලෙක මෙන් සිරුර ගිනියම් විය. ඈ හඬා වැටෙන අසරණ දෑසින් යුතුව නන්දුත්තරා දෙස බලා මෙසේ කොඳුරන්නට විය.

“අනේ පුතේ… මොකක්ද ඔයා මේ කරගත්තු විනාසේ?” දින සති මාස කාලකන්නි ලෙස ගෙවී ගිය ද නන්දු තවමත් නිසොල්මන් ය. මේ වරද කවුරු නම් කළ දෙයක් ද? නන්දුත් මෙහි කොටස්කාරියක් ද? මේ පැනය විසඳාගන්නට දෙමාල්ලන් අසමත් විය. වරින්වර ඇගේ පියා සෙනෙහසින් ද ඇවිටිලි කරමින් ද වරෙක දැඩි වෙමින් ද නන්දුගෙන් ප්‍රශ්න කළත් ඉන් ඵලක් නොවී ය. මුදු මොළොක් වෙඬරු පිඬක් සේ උණුවන නන්දුගේ ළය ගල් කළේ කවුදැයි සිතෙන වාරයක් වාරයක් පාසා පියාගේ ලේ ධාරාවෝ උණුසුම් විය. නෙත කඳුළින් බර විය. ඔහු නන්දු දෙස නොබැලුවේ ය.

නන්දුත්තරාගේ කුස තුළ වූ බිළිඳුට පියා අහිමි වීමට වඩා තම පියා තමන්ට අහිමි වීම ඈට දරාගත නොහැකි විය. ඇගේ හදවත අරා සිටි වීරයාත්, සෙන්පතියාත් වූයේ තම පියාණන් ය. ජීවිත සයුරෙන් නැගුණු දුක් දළ රළ පෙළ ඇගේ ආධ්‍යාත්මය නැමැති වෙරළ ඉම වනසා දැමී ය. ඇය වහා දුව විත් සිය පියා පාමුල වැතිර ඔහු දෙපා බදාගෙන හඬන්නට වූවා ය. ඇගේ දෑසින් ගලා ගිය කඳුළු ගංගාවෙන් පියාගේ දෙපා තෙමෙද්දී, පිය නෙතින් ගැලූ කඳුළු බිඳු මිහිතලය මත නොවැටී ම වියළී ගියේ ය.

කලක් රහස රැක ගත් නමුත් තවදුරටත් එය ගම්මුන්ගෙන් වසන් කරන්නට හැකි නොවී ය.

එය දැනගත් වහාම ගම්මුන් විස්මයෙන් හා දුකින් යුතුව මුහුණින් මුහුණ බලා ගත්තෝ ය.

 තම දෑසවන් එකම දියණිය විසින් සිදු කළ නින්දාවෙන් පීඩා විඳිමින් නන්දුගේ පියා ගම්පියසේ ගමන් කළේ බිමටලූ දෑසින් යුතුව ය. මව දවස ගත කළේ උණු කඳුළු සලමිනි.

දුක් දරා ගත නොහැකි තැන පියා සියලු විස්තර ගෝතම සමිඳුන් හමුවේ හෙළි කළේ හදවතේ බර ලිහිල් කර ගන්නට ය. මහාමේරුව සේ නොසැලී සියල්ල අසා හුන් සමිඳුන්ගේ මුවින් පිට වූයේ මෙවදන්ය.

“මහත්තයා… මේ ලෝකෙ නින්දා නොලබන කෙනෙක් නෑ… නොලබපු කෙනෙකුත් නෑ…

නත්ථි ලෝකේ අනන්දිතෝ…”

තම පියා, පරාජිත මුහුණින් යුතුව නිවස කරා පිය නගනු නන්දු බලා සිටියේ ශෝකයෙනි. සිදුවෙන සියල්ල ගෝතම සමිඳුන්ට පෙනුනා සේ විය.

සිනිඳු තෙල් දහරාවක් වෑහෙන්නා සේ නන්දුත්තරාට වේදනා නොදී ම බිළිඳු මෙලොව එළිය දුටුවේ ය. රෝස මල් පෙති පැහැගත් බිළිඳු දුටු මොහොතේ ඈට නිම්හිම් නැති ප්‍රීතියක් උපන්නේ ය. ඊළඟ නිමේෂයේ ඈට පියා සිහි වී කඳුළු කැට කඩා හැළුණි. නමුත් ඕ ආදරයෙන් බිළිඳු තුරුලු කර ගත්තා ය. ඉඳුනිල් මාණික්‍යයක් වන් බිළිඳුගේ දෑස් දෙස ඈ ඇහිපිය නෙහෙළා බලා උන්නා ය. බිළිඳු සිරුරෙන් වහනය වන නැවුම් සුවඳට ඇගේ සිත බැඳී ගියේ ය. මව ළඟට විත් අපරිමිත සෙනෙහසකින් නන්දුගේ හිස පිරිමැද්දා ය. මේ සියල්ල ම ඈට හොරා බලා සිටි ඇගේ පියාගේ චිත්ත සන්තානය තුළ ප්‍රේමයක් ද ශෝකයක් ද උපන්නේ ය.

නන්දු තම ආධ්‍යාත්මයේ නිධන්ව තිබූ අසිරිමත් දරු නැළවිල්ලක් සිහි වී එය ගයන්නට වූවා ය.

ම්…ම්…ම්….
“දේදුන්නෙන් බසිනා
කිරි අම්මාවරුනේ
වලාකුළක යහනක් පනවන්නේ
පුතු සැතපෙන්ටයි යන්නේ
නිදන්න මගෙ පුතුනේ….

සිහින ලොවේ පුතු
කිම හිනැහෙන්නේ
කුරුලු පැටිත්තන්- ගීත ගයනවාදෝ
රන් සමනලයන් – හිමේ නටනවාදෝ
බලාගෙනයි පුතුනේ… සුවසේ…

නිදන්න මගෙ පුතුනේ…”

දරු නැළවිල්ල අවසන් වන විට බිළිඳු සුව නින්දෙහි ය. නන්දු බිළිඳු තොටිල්ල මත තැබුවා ය. ඈ බිළිඳු දෙස ඇසිපිය නොහෙලා බලාසිට අනතුරුව බිලිඳුට ගැළපෙන සිඟිති නමක් සෙවී ඒ ‘සිංදු’ යැයි නම් තැබුවා ය.

‘සිංදු’ ඉපදී තෙදිනක් ගත විය. පියා ඇගේ කාමරයට පැමිණ සිංදු දෙස ආදරයෙන් බලා උන්නේ ය. නන්දු එහි පැමිණි විගස ඔහු ඒ බව සඟවා ගත්තේ ය.

“නන්දු… මේ  නාඩගම ඉවර කරන්න කාලෙ හරි. මගේ ඉවසීම ඉවරයි. කවුද මේ දරුවාගේ තාත්තා?” පියා සසල වූ මොහොතේ ඈ නිසල වූවා ය.

“නන්දු … කවුද මේ දරුවගේ තාත්තා?” යළිත් තරමක දැඩි ස්වරයෙන් ඔහු ඇසී ය. ඈ තවමත් නිහඬය. ඔහුගේ කෝපය අග්නි ජාලාවක් සේ බුර බුරා ඉහළටම නැග්ගේ ය. ඔහු වියරු වූවෙකු මෙන් මෙසේ කෑ ගැසී ය.

”කවුද යකෝ මුගේ තාත්තා…? කියාපිය.”

ඔහුගේ බියකරු ස්වරයෙන් ඈ ගල් ගැසිණ. නින්දේ සිටි බිළිඳු ගැස්සී අවදි ව බියපත්ව හඬන්නට විය. ඇගේ මුවින් මේ වචන පිට විය.

 “ගෝ…ත…ම සා… සා… සා..දු..”

ඔහු අදහාගත නොහැකිව “ගෝතම සාදු..?” යැයි පුණරුව්ඡාරණය කළේ ය. අනතුරුව සුසුම්ලන ස්වරයෙන්, “ඒකත් එහෙම…ද?” යැයි කීවේ හිතේ ඇති වූ කම්පනයත්, කලකිරීමත් නිසා ය.

“අනේ අපි කොච්චර ශ්‍රද්ධාවෙන්ද උන්වහන්සේට උපස්ථාන කළේ..?” ඇගේ මව මැසිවිලි නගන්නට විය.

නිමේෂයක් කල්පනාවක නිමග්නව සිටි පියා නන්දුගේ අත නැළවෙමින් සිටි බිළිඳුන් අනපේක්ෂිත අයුරින් පැහැර ගත්තේ ය. ඈ බයෙන් බිරාන්තව තටු සිඳුණු කිරිල්ලියක සේ කඳුළු සලමින් තම පියා ගෝතම අරණ වෙත වේගවත් පියවර තබමින් යනු බලා උන්නා ය.

ගෝතම සමිඳුන් බොහෝ ගැඹුරු දහමක වෙලී දැහැන්ගත වී සිටි මොහොතක එතැනට පැමිණි නන්දුගේ පියා කුටියේ දොරට තදින් ගසන්නට විය. ඔහු මෙසේ ගිගිරුවේය.

“ගෝතම සාදු… ගෝතම සාදු… දොර අරින්න…”

දැහැනෙන් මිදුණු ගෝතම සමිඳුන් කුටියෙන් ඉවතට පැමිණියේය. පියා දෙස අපරිමිත දයාවෙන් බැලී ය.

“හොර වැඩ කරලා බේරෙන්නද හදන්නේ? දැන් හදන එකයි ඇත්තේ.”යැයි කියමින් ඔහු අත වූ සිංදු සමිඳුන් වෙත දිගු කළේ ය.

සමිඳු නන්දුගේ පියා කෙරෙහි පතළ කළ අප්‍රමාණ මෛත්‍රී සිතින් සිංදු අතට ගත්තේ ය. සමිඳු දෙස බලමින් සිනා පාන සිංදු දෙස බලා මඳ සිනා පාමින් සමිඳු මෘදු ස්වරයෙන් මෙසේ කීවේ ය.

“ඒකත් එහෙම ද… අ.. අ….”

සිංදු කිරි සිනා පාමින් සමිඳුට තුරුලු විය.

මොහොතකින් බිළිඳු නින්දට වැටුණේ ය. හදවත දවන ශෝකයෙන් ඈ සිංදුගෙන් හිස් වූ තොටිල්ල පද්දමින් නැළවිලි ගී ගයන්නට වූවා ය.

බිළිඳු අහිමි වූ ශෝකයට වඩා දැඩි වූ ශෝකයකින් ඇගේ සිත ගත වෙලා ගත්ත ද ඒ කුමක්දැයි ඈ හැර කිසිවෙකුත් නොදැන සිටියාය. භ්‍රාන්ත වූ ඇය සිහිසුන්ව ඇද වැටුණි. ඒ මොහොතේ පටන් දරුවා අහිමි වීමේ ශෝකයට වඩා දැඩි වූ යම් ශෝකයක් විසින් ඇය ව ලුහු බඳිනු ලැබිණ. හෘදසාක්ෂිය ඈට දොස් නගන්නට විය. ඈට ගැලවීමක් නම් නොපෙනුණි. ඕ දහස් වර තමා කළ වරදට සමාව පැතී ය. නන්දුගේ දෑසින් ගැලූ කඳුළු ගංගාවෝ පයෝධරයන්ගෙන් ඉබේ වෑහුණු කිරි දියර හා මුසු වී ඇගේ ගත තෙමා දමද්දී ඈ මළමිනියක් සේ සීතල විය. ඈ වරින්වර සිහිසුන්ව ඇද වැටුණි. කටුස්සන් ගිල දැමූ බැළලියක සේ ඈ කටු ගැසී ගියා ය.

ඈ තම බිළිඳු දකිනු රිසියෙන් දිනපතාම කාමරයේ සුළං කවුළුව අසලම රැඳුනා ය. හිරු පායා බැසගොස් සඳු රහිත අඳුරු අහසේ තාරකා පායා බැස ගියේ ය. අරුණ උදා විය. ඈ හිමිදිරියේ අපූරු දසුනක් දුටුවා ය. එනම්, ගෝතම සමිඳුන් බිළිඳු නළවන දසුන යි. ඇගේ නෙතට කඳුළක් නැගී,  මේ වදන් නිරායාසයෙන් මුවින් පිට වීය.

නිල්වන් නුවන් යුග විහිදා
සොයනවද මගේ බිළින්දෝ
නුඹේ පියා කවුදැයි කියා…
සමිඳු දෑතේ සැනැහී
දොයියපන්  මගේ බිළිඳු…
දොයි…. දොයි… දොයි…

බිළිඳු සමිඳුගේ සුළඟිල්ලේ එල්ලී යන තරමට වැඩී ඔහුට දෙවසරක් සම්පූර්ණ විය. ඈ සමිඳුන් සමඟ කෙළිදෙළෙන් ගතකරන සිංදු දෙස සෑම දිනයක දී ම බලා උන්නා ය. ඔහු තමා සන්තක නොවූ නමුත් ඔහුගේ පණනල රැකී ඔහු සතුටින් සිටිනු දැකීමෙන් ප්‍රීතියක් හට ගත්තද සමිඳු දකින සෑම වාරයක් පාසා ම ඇගේ හෘදසාක්ෂිය ඈට එරෙහිව නැගී සිටියේ ය. සිදුවන කිසිවක් තමාට පාලනය කළ නොහැකි බවත්, යම් අදිසි බලවේගයක් විසින් තම ජීවිතය හසුරුවන බවත් ඈට දැන් දැන් දැනෙන්නට විය. ගෝතම සමිඳුන් දරුවා ඇතිදැඩි කරනු නිසැක බව ඈ පසක් කර ගත්තාය. දැන් ඈට ශෝක වන්නට නම් දෙයක් නොවී ය. තමන්, යම් අතීත කර්මයක විපාක අත්විඳිමින් සිටිනවා යන්න ඈට පසක් විය.

පසුදින පොසොන් සඳ උදා විය. ඈ දසසිල් සමාදන් වූවා ය. ඉන් මහත් සැනසිල්ලක් හා අස්වැසිල්ලක් ඈට දැනුණි. දෙවසරකට පසු පියා ළඟටවිත් ඇගේ හිස පිරිමැද යන්නට ගියේ ය. රාත්‍රිය උදා විය. නින්ද නම් ඈ අසලකවත් නොවී ය. ඈ ගෝතම අරණේ බෝධීන් වහන්සේ දෙස බලා උන්නා ය. භාග්‍යවතුන් වහන්සේට තම ජීවිතය පූජා කොට තමා අතින් සිදු වූ වරදට සමාව යැද්දා ය. කිසිදා බඹසර බිඳුනු බවක් නොවූයෙන් ඈ තම සීලය අධිෂ්ඨාන කළා ය. එය සැබැවින්ම සත්‍යක්‍රියාවක් වීය.

ඇගේ සිත තදින් ම බැස ගෙන සිටියේ බෝධිය කෙරෙහිය. මධ්‍යම රාත්‍රිය උදා විය. සියුම් සංගීත රාවයක් ඇසෙන්නට විය. වරෙක පෙරහැරකින් නැගෙන හේවිසි භේරි නාදයන් නැගෙන්නට විය. ඈ වටපිට කන් යොමා සිටියේ ඒ සංගීත රාවය ඇසෙන්නෙ කොහේදැයි කියා දැන ගන්නට ය. අවසානයේ ඈට ප්‍රත්‍යක්ෂ වූයේ ඒ සියුම් සංගීත රාවය නගන්නේ තම සිත තුළට පිවිසි කවරෙකු හෝ විසින් බවයි. නොබෝ දිනෙකින් මියුරු සත්සර රාවය මුසුව ඉතා මියුරු ගීයක් ඈට ඇසෙන්නට විය.

නන්දු… ලන්දු….
ඇහෙනවද අම ගී සින්දු
නළවන්න නුඹේ සිංදු
සුරඟුන් ගයන අම මී බිංදු…

ගී රසයත්, පුතු සෙනෙහසත් මුසු වී ඇගේ හදවතට සතුටක් දැනුණු මුත් ඈ එහි ඇලුණේ නැත. ඉන්පසු නිතර නිතර මියුරු සත්සර මුසු ගී ඇසෙන්නට විය. දිනක් ඈට අපූරු තාලයක අපූරු අදහසක් ඇති ගීයක් ඇසෙන්නට විය.

නාඩන් දිගැසි නන්දු
දෙතනින් කිරි ගලනවාද බිංදු
සංසාර දුක සින්දූ
දාක නැත දුක් ගී සිංදු

ගීය අවසන් වෙත්ම දේවතා එළියක් තම නිවසේ සිට බෝධීන් වහන්සේ වෙත පහත් වී නැති වී ගියේ ය. එබඳු සත්සර මුසු ගීත යළිත් කිසිදාක ඈට නොඇසිණි.

මහා කාරුණික වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් දහම පසක් කිරිමෙන් සියලු සසර දුක් සදහටම සංසිඳෙන බව සිහිවෙත්ම වෙනදාට වඩා සැනසිලිදායක බවක් ඇයගේ සිතට දැනෙන්නට විය.

මීට වසර දෙකකට පෙර හදිසියේ තමන්ගෙන් සමුගෙන විදේශගත වූ තම නැඟණියගේ පුත්‍රයාගෙන් නන්දුගේ පියාට ලිපියක් ලැබී ඔහු එය කියවන්නට විය. එය කියවා අවසන් වන්නට මත්තෙන් ඔහු කෝපයෙන් ද වෛරයෙන් ද පුපුර පුපුරා,

“පරයා… තෝ, තොට යන්න වෙන අපායක් හදාගෙන, මට යන්න අපායවල් දාහක් හැදුවා..” කියා ටීපෝව මත වූ බුලත් හෙප්පුව බිම දමා ගැසී ය.

දහවල් වන විට ගම්මු සියල්ල දැනගත්හ. නන්දුගේ පියා දහවල් වී තම බිරිඳ හා ගම්මුන් කිහිප දෙනෙකු ද කැටුව ගෝතම අරණට පා තැබී ය. ඔවුන්ගේ පැමිණීම දුර තියා දුටු සමිඳුන් සිංදු ද කැටුව කුටියෙන් පිටතට පැමිණියේ ය. “අනේ සාදු… අපට අනුකම්පා කරන්න.. අපි ගොඩක් පව් කරගත්තා… අපේ දරුවා අපට දෙන්න..” යැයි ඔවුහු බැගෑපත් සිතින් කීවෝ ය.. ඒ වදන් අසා සිටි සිංදු කැකුළු දත් පා සිනාසී, “ආ…ආ…ආ… ඒකත් එහෙම ද… ද… ද… ” කීවේ ය. ගෝතම සමිඳු මුවින් නොදොඩා උපේක්ෂා සහගත බැල්මක් හෙළා ඔවුනට පිටු පා ඈත වන අරණ වෙත පා  තැබී ය. සිංදු සමිඳුන් වැඩි මඟ දෙසත්, පිරිස දෙසත් බලා හිඳ සිඟිති පා ඔසවමින් සමිඳුන් වැඩි මඟ ඔස්සේ පියමං කළේ ය.

කඳුළු පිරි දෑසින් හිස් අතින් ගෙදර පැමිණි නන්දුගේ පියා  “නන්දු… මගේ පුතේ…” කියා හඬ ගෑවේ ය. ඈට ඒ හඬ ඇසුණේ නැත. මක්නිසා ද යත් ඒ වන විටත් ඈ නිවසින් පිට වී ගොස් පැය කිහිපයක් ගත වී තිබුණ නිසා ය. මාපියෝ උණු කඳුළු වගුරවමින් හැම පෙදෙසකම ඈ සෙවූහ. අවසානයේ නන්දුත්තරා කවදා හෝ ඔවුන් දකින්නට එනු ඇතැයි සිත සිතා කල් ගෙවූහ. එහෙත් ඔවුන් දෙපල මිය යන තෙක්ම නන්දුත්තරා තෙරණිය නම් නොපැමිණියා ය.

“සංසාර දුක් සින්දූ දාක නැත දුක් ගී සිංදූ…”

තායිලන්තයේ භික්ෂූන් වහන්සේ නමක් මුහුණදුන් සත්‍ය සිදුවීමක් ඇසුරිනි.

අකලංක විකුම්සිහ.