මේ ලෝකයේ කාරණා දහයක් ඉතා දුර්ලභයි. නමුත් ඒ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දේවල් කවුරුත් ලබන්න කැමතියි. නමුත් දුර්ලභයි. සුළු පිරිසකට තමයි ලැබෙන්නේ. ඒ තමයි,
1. භව භෝග
2. සොඳුරු පැහැපත් බව
3. නිරෝගීකම
4. සිල්වත් බව
5. බඹසර
6. කල්‍යාණ මිත්‍ර ඇසුර
7. බොහෝ දැන උගත් බව
8. ප්‍රඥාව
9. ධර්මය
10. සුගතිය.
මේ කාරණා දහය ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ, නමුත් දුර්ලභ දේවල්. කැමතියි, ඒත් ලැබෙන්නේ සුළු පිරිසකට. අන්න ඒ අතර සීලය තිබෙනවා. පන්සිල්, අටසිල්, දසසිල් රකිනවා කියන එක ලේසි නෑ. දුර්ලභයි. සුළු පිරිසක් මේක කරන්නේ. ඒ වගේ ම යි බඹසර. බඹසර වෙනම කරුණක් විදිහට තියෙනවා. එයින් අදහස් වන්නේ පන්සිල් ආදිය රකින කෙනෙකුට වුණත් බඹසර රකින එක දුර්ලභ කාරණයක් බවයි. ඒ අනුව යමෙක් බඹසර රකිත් ද ඔහු දුෂ්කර දෙයක් කළා වෙනවා. හැබැයි එය ඉෂ්ට කාන්ත මනාප දෙයක්. දුර්ලභ පිරිසකට හිමිවන දෙයක්. මොහොතක් ඔබ සිතා බැලුවොත්, විදේශිකයන්ට බඹසර කොච්චර දුර්ලභ ද යත් බඹසර ගැන දන්නේවත් නැහැ. කියතොත් අසනීපයක් සේ සිතනු ඇති. බටහිර රටවලට බඹසර අනන්තයේ ඇති දෙයක්. ලංකාවෙත් සිල් ගුණදම් රකින්නට උත්සාහ ගන්න අයයි මේ ගැන හොයන්නේ, අහන්නේ, පුරුදු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ කාරණය සත්‍යයක් ම යි. මේ උතුම් බඹසර දුර්ලභ දෙයක් ම යි.
අංගුත්තර නිකායේ ඉට්ඨධම්ම සූත්‍රයේ තමයි ඔය කාරණය තියෙන්නේ. ඒ වගේ ම විස්තර කරනවා බඹසරට පළිබෝධයක් තියෙනවා කියලා. ඒ කියන්නේ බඹසර රැකගන්න බැරි හේතුවක් තියෙනවා කියලා. ඒ තමයි ඉන්ද්රිය අසංවරය. “ඉන්ද්රියාසංවරෝ බ්රහ්මචරියස්ස පරිපන්ථෝ” ඉන්ද්රිය අසංවරය බඹසරට උවදුරක්. ඇත්තටම බඹසර රකින්න කැමති කෙනා ඉන්ද්රිය සංවරය යි කළ යුත්තේ. නමුත් සිල් රකින්න කැමති අය “අනේ මගේ බඹසර කැඩෙනවා” කියනවා මිසක්, ඒ ගැන බලනවා මිසක් ඉඳුරන් සංවර කර ගැනීම ගැන කිසිම අවධානයක් නොමැතිවීම අභාග්‍යයක් ම යි. බඹසරට ආසා කරන්නන් ඉන්ද්රිය සංවරය ගැන සිතත්වා!
කුමක් ද මේ ඉන්ද්රිය සංවරය? ඇසෙන් රූප බලලා හිත ඇවිස්සෙනවා නම් ඒ රූප නොබලා ඉන්නවා. කනෙන් ශබ්දයක් අසද්දී, නාසයෙන් ගඳ සුවඳ විඳිද්දී, දිවෙන් රස විඳිද්දී, කයෙන් පහස විඳිද්දී, සිතෙන් සිත සිතා ඉඳිද්දී සිත ඇවිස්සෙනවා නම් ඒ අරමුණු නොගෙන ඉන්නවා. බලන්න කොච්චර ඇත්තක් ද කියා. යමෙකුගේ බඹසරට හානි සිදු වේ නම් අනිවාර්යෙන් ම මේ ඉඳුරන් මගින් ගත් අරමුණක් හිත ඇවිස්සෙන විදිහට නැවත නැවත මනසිකාර කරලා ම යි. බඹසර ඉබේ නම් කැඩෙන්නේ නැහැ. ඒ නිසා හිත ඇවිස්සෙන අරමුණුවලින් ඇස, කන, නාසය, දිව, කය, මනස රැකගන්න එක හරිම හපන්කමක්.
කණ්ඨක සූත්‍රයේ තිබෙනවා “ඉන්ද්‍රියේසු ගුත්තද්වාරස්ස විසූකදස්සනං කණ්ඨකෝ” කියලා. “ඉන්ද්රිය සංවරයට විසූකදස්සන කටුවකි.” විසූකදස්සන කියන්නේ හිත ඇවිස්සෙන, මුළා කරන විගඩම්වලට. විහිළු තහළු, නාටක, රාගික දර්ශන, කතා, සාද, උත්සව මේ ඔක්කොම විකාර දර්ශන. මේවා තුළ ඉඳගෙන ඉඳුරන් දමනය කරන්නේ කොහොමද? දුරට යා යුතු නැහැ. ඔබගේ ජංගම දුරකථනය ම මෙයට සාක්ෂියයි. ජංගම දුරකථනයේ අන්තර්ජාලය ඔස්සේ තනිකර ම විසූක දර්ශන පෙළ ගස්වා දෙයි. ඉඳුරන් අසංවර වෙයි. බඹසරට වෙච්ච දෙයක් නැහැ.
ඒ සූත්‍රයේ ම තියෙනවා, “බ්රහ්මචරියස්ස මාතුගාම උපවිචාරෝ කණ්ඨකෝ” “බඹසර රකින කෙනාට කාන්තාවක් ළඟ ගැවසීම කටුවකි.” ජංගම දුරකථනය තමා ළඟ සිටින ගැහැනියකැයි දුක් කියන්නෝ කියත්. ස්ත්‍රීන් සමඟ ඇඟෑලුම්කම් පාමින්, අල්ලාප සල්ලාපයේ යෙදෙමින් පිරිසිදු බඹසරක් රකින එක ලේසි නැහැ. මේවා තේරුම් ගන්නට ඤාණයක් ඕන. මෝඩ තොඳොල් චරිත සුලි සුළඟට අසු වුණා වගේ කැරකී යනවා. නුවණ තියෙන වීර්යවන්තයා ම මේ කෙලෙස් දාහය සන්සිඳුවා ගන්නවා.
බඹසරට ප්‍රශංසා කරන්නෝ සත්පුරුෂයෝ ම යි. බොහෝ දෙනා අඩුලුහුඬුකම් ම සොයනවා. “අද කාලේ ඕවා කොහෙද කරන්නේ?” කියා කියනවා.“අමුතු සිල්…” කියා අපහාස කරනවා. බටහිර දාර්ශනිකයෝ ලියූ පොත්වල බඹසර රැකිය නොහැකි යැයි කියූ කතා උපුටා දක්වනවා. ඒ අතර අහිංසක ව බඹසර රකින්නෝ ද සිටිනවා. ඒත් හැඟීම් පාලනය කරන්න ගිහින් මානසික රෝග වැළඳේ යැයි බඹසරට ම කොඩිවින කරන කට්ටඩි පිරිසක් ද සිටිනවා. ඇත්තෙන් ම සුළු කලයි තිබෙන්නේ. මේ උතුම් බ්‍රහ්මචාරී සීලය රකින පිරිසෙන් මිහි මඬල හිස් ව යනු ඇති. පොඩි එකාගේ පටන් නැගෙන කාම දාහය සීලය දවාලනු ඇති. මහවුන් ඒවා දැක දැක “අද කාලේ ඕවා සාමාන්‍ය දේවල්” යැයි පිදුරු දමනු ඇති. මේවා සිදුවෙමින් පවතිනවා. ගුරු ඇසුරක් නැති බව, අහෝ ! අවාසනාවක මහත.
ගැටළු එන්නේ රකින කෙනාට යි. ඔහු ටික ටික නැගිටිනු ඇති. ඒ සඳහා සත්පුරුෂ ඔවදන් විටින් විට ලැබෙනවා. හිත ඇවිස්සෙන උපකරණ අමාරුවෙන් හරි අයින්කර ගත්තොත් හරි. නරක කතා කියන අසත්පුරුෂ ඇසුර දුරු කරන්ට ඕන. සත්පුරුෂයෝ ඇසුරු කරන්ට ඕන. ශෝක නොකර, පසුතැවෙන්නේ නැතිව ප්‍රතිපදාව පුරුදු කරන්න ඕන. කුමක්ද ප්‍රතිපදාව?
විකාර දර්ශන බලන එක නතර කරන කොට ඉන්ද්රිය සංවරය ඇතිවෙනවා. ඉඳුරන් සංවර කරන කොට බඹසර රැකෙනවා. බඹසර රකින කොට ඔහු දුර්ලභ සීලයක් රකින කෙනෙක් වෙනවා. හැබැයි මේකට යාළුවන්ගෙන්, හිතවතුන්ගෙන් අනුබලයක් ලැබෙයි කියලා හිතන්න ම එපා. තනියෙන් ම යි පුරුදු කරන්න ඕන. පම්පෝරි ගසන්න නම් එපා. ඒ තමයි ඊ ළඟ අනතුර. බඹසර රකිනවාටත් වඩා අමාරුයි අල්පේච්ඡ බව. ඒ කියන්නේ ඒ ගුණය සඟවා ගැනීම. දහම් කරුණක් වශයෙන් දහමින් බඹසර ගැන ඕනතරම් කතා කළ හැකියි. නමුත්, “මම රකිනවා, මම මෙහෙමයි” කියලා කොඩිය ඔසවා ගැනීම සතුරන් බිහි කරනවා. මේ ලෝකයේ අසනීපයක් තියෙනවා, තමන්ට කළ නොහැකි දේ තවත් කෙනෙක් කරනකොට ඉරිසියා කරනවා. ඊට පස්සේ එයා ව වට්ටන්න හදනවා. මේක පෙනෙන – නොපෙනෙන පැති දෙකෙන් ම සිදුවෙනවා. ඒ නිසා ඉන්ද්රිය සංවරය වගේ ම කටේ සංවරයත් ඕන. මේ බුද්ධ ශාසනයේ පහළ වූ උතුම් පුරුෂයන් හික්මුණු ඒ පවිත්‍ර සීලයන් ඔබටත් පුරුදු කර ගැනීමේ වාසනාව උදාවේවා!
මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි
Recent Comments