ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සංසාර ගමනේ තමන්ගේ ඉරණමේ ස්වභාවය තේරුම්ගත් තථාගත ශ්රාවකයාට ඒ දුකින් නිදහස් වීම පිණිස අවශ්‍ය අවබෝධය ලබාගැනීමට උපකාර වන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ යි. බෝධි යනු අවබෝධය යි. එනම් චතුරාර්ය සත්‍යය අවබෝධය යි. සතර සතිපට්ඨාන, සතර ඍද්ධිපාද, සතර සම්‍යක්පධාන වීර්යය, පංච ඉන්ද්රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ ධර්මයන් අවබෝධයට උපකාර කරන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ යි.
මේ බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ නොකොට අවබෝධයක් අපේක්ෂා කිරීම කිසිදාක සඵල නොවන්නක්. භාග්‍යවතුන් වහන්සේ මනරම් උපමාවකින් අපට ඒ ගැන පෙන්වා දෙන්නේ මේ ආකාරයට යි. ඔන්න කිකිළියකට බිත්තර ලැබෙනවා. මේ කිකිළි ඒ බිත්තර නොරැක, උණුසුම් නොකර, කුකුල් ගඳ නොගස්සවා පැටව් බලාපොරොත්තු වෙනවා. ඒක හරියට බෝධිපාක්ෂික ධර්මයන් නොවඩපු කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධයක් බලාපොරොත්තු වෙනවා හා සමානයි. කොපමණ බලාපොරොත්තු වුණත්, කොපමණ පැතුවත් කිකිළියට බිත්තර කටුව බිඳගෙන එළියට එන පැටව් දක්නට නොලැබෙන්නා සේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නොවඩපු සිතකින් අවබෝධයක් අත්දකින්න බෑ.
මෙලෙස අවබෝධයට උපකාරී වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන ලිපි පෙළක් මෙවර මහාමේඝ විශේෂ වෙසක් කලාපයේ ඔබට කියවන්නට ලැබෙනවා. ඉතින් ඒ බෝධිපාක්ෂික ධර්මයන්ගේ මුල්ම කොටසට අයිති වෙන්නේ සතර සතිපට්ඨානය යි. මේ ලිපියෙන් ඒ සතර සතිපට්ඨානය ගැන ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා.
සතර සතිපට්ඨානයේ අංග හතර නම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව (ආතාපී) මනා නුවණින් යුතුව (සම්පජානෝ) සිහියෙන් යුතුව (සතිමා) ලෝකය කෙරෙහි ඇලීම් ගැටීම් දුරු කරමින් (විනෙය්ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං) කය ගැන යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් සිහිය පිහිටුවාගෙන වාසය කිරීම කායානුපස්සනාව යි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව (ආතාපී) මනා නුවණින් යුතුව (සම්පජානෝ) සිහියෙන් යුතුව (සතිමා) ලෝකය කෙරෙහි ඇලීම් ගැටීම් දුරු කරමින් (විනෙය්ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං) ත්‍රිවිධ වේදනාවන් ගැන යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් සිහිය පිහිටුවාගෙන වාසය කිරීම වේදනානුපස්සනාව යි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව (ආතාපී) මනා නුවණින් යුතුව (සම්පජානෝ) සිහියෙන් යුතුව (සතිමා) ලෝකය කෙරෙහි ඇලීම් ගැටීම් දුරු කරමින් (විනෙය්ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං) සිත ගැන යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් සිහිය පිහිටුවාගෙන වාසය කිරීම චිත්තානුපස්සනාව යි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව (ආතාපී) මනා නුවණින් යුතුව (සම්පජානෝ) සිහියෙන් යුතුව (සතිමා) ලෝකය කෙරෙහි ඇලීම් ගැටීම් දුරු කරමින් (විනෙය්ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං) ධර්මයන් ගැන යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් සිහිය පිහිටුවාගෙන වාසය කිරීම ධම්මානුපස්සනාව යි.
මේ සතර සතිපට්ඨානයන් ගැන සම්පූර්ණ විස්තරය ඔබට දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් ඉගෙන ගත හැකියි.
නිවන් මගේ හික්මෙන ආර්ය ශ්රාවකයාට සතර සතිපට්ඨානය යනු පිය උරුමයෙන් ලැබුණු ආරක්ෂිත ස්ථානය යි. එනම් මාරයාට කැමති සේ අරමුණුවලින් ග්‍රහණය කර ගැනීමට නො හැකි වන සේ ආරක්ෂිතව සැඟවී සිටිය හැකි ස්ථානය යි.
යමෙක් සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන විට ඔහු තුළ අකුසල් ඉපදීමට ඇති අවකාශ ඇහිරී යනවා. ඔහුට අකුසල් සිතුවිලි උපන්නත් සැණෙකින් ඒ අකුසල් හඳුනාගෙන එය බැහැර කිරීමට ඔහු වීර්යය ගන්නා නිසා ඒ අකුසල්වලට ඇති පැවැත්ම හීන වෙලා යනවා.
උදාහරණයක් ලෙස කෙනෙක් මනා සිහි නුවණින් යුතුව කායානුපස්සනාවෙන් නිතර වාසය කිරීමට උත්සාහ කරන්නේ යැයි සිතමු. මෙලෙස වාසය කරන ඔහු කායික ස්වභාවයේ හටගැනීමත් නැතිවීමත් අවබෝධයෙන් දකිමින් වාසය කරනවා. මෙලෙස වාසය කරන ඔහුට රාග සිතුවිල්ලක් උපන්නොත් එය හොඳින් ප්රකටව පෙනෙන්නට පටන් ගන්නවා. කායානුපස්සනාවෙන් තොරව වාසය කරන කෙනා ඒ අකුසලයට යට වෙනවා. නමුත් කායානුපස්සනාව වඩන කෙනා ඒ අකුසලය අකුසලයක් විදියට දකින්නට සමත් වෙනවා. ඉන් පසු ඔහු ඒ අකුසලය ඇති වූ ආකාරය හොඳින් විමසනවා. ඒ කියන්නේ සුභ නිමිත්තත්, අයෝනිසෝ මනසිකාරයත් මුල් වෙලා රාගය ඇති වූ හැටි හොඳින් දකිනවා. ඉන් පසු කායානුපස්සනාව අනුව ඔහු අසුභය පුරුදු කරන්නට උත්සාහ කරනවා. අසුභ නිමිත්තත්, යෝනිසෝ මනසිකාරයත් මුල් වෙලා රාගයට ඇති ආහාර නැති වීමෙන් විරාගය ඔහුගේ සිතේ උපදිනවා. අකුසලය ප්‍රහාණයට අවශ්‍ය හේතු සකස් වීම නිසාත්, කුසලය දියුණු කිරීමට අවශ්‍ය පසුබිම සකස් වීම නිසාත් අකුසලය ප්රහාණය වී කුසලය උපදිනවා. මේ ආකාරයට අකුසලයෙන් මිදී සිත කුසලයේ පිහිටුවා ගන්නට ඔහුට උපකාර කළේ වඩන ලද කායානුපස්සනාව යි.
ඒ ආකාරයෙන් ම යි වේදනාව ගැනත්, සිත ගැනත්, ධර්මයන් ගැනත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට සිහියෙන් යුතුව නුවණින් වාසය කරන කෙනාට අකුසල් උපදින්නට තියෙන සියලු මාවත් ඇහිරී යනවා. කුසල් උපදින්නට පටන් ගන්නවා. ඒ නිසා සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කිරීම ම යි අපට ඇති ආරක්ෂාව වන්නේ.
සොරෙක් තවත් සොරෙකුට කරන අනතුරකට වඩා අනතුරක් අකුසලයට යට වූ සිතෙන් අපට සිදු කරනවා. අප දීර්ඝ කලක් මේ සසරේ ඇවිද ආවේ මේ සිතට හසු වූ නිසා ම යි. නොයෙක් වර සතර අපායට වැටෙමින් බොහෝ දුක් විඳින්නට සිදු වුණේ මේ සිත නිසා ම යි. සසර ගමනේ අපේ ලොකු ම හතුරා මේ සිත යි. අපට සසරින් එතෙර වන්නට තියෙන්නේත් මේ සිත දියුණු කරලා ම යි. ඒ දුකින් මිදෙන මාවත කරා සිත පුහුණු කරන මාර්ගය සතිපට්ඨානය යි.
භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ තමයි විමුක්තිය පිණිස ඇති ඒකායන මාර්ගය කියා. (ඒකායනෝ අයං භික්ඛවේ, මග්ගෝ සත්තානං විසුද්ධියා, සෝකපරිද්දවානං සමතික්කමාය, දුක්ඛදෝමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය. යදිදං චත්තාරෝ සතිපට්ඨානා)
“පින්වත් මහණෙනි, සතර සතිපට්ඨාන යනුවෙන් යම් මේ ධර්මයක් ඇද්ද මෙය වනාහී සත්වයන්ගේ පිරිසිදු බව පිණිස ද, සෝක වැලපීම් ඉක්මවා යාම පිණිස ද, කායික මානසික දුක් දොම්නස් නැතිවීම පිණිස ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස ද, අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස ද පවතින්නා වූ ඒකායන විමුක්ති මාර්ගය යි.”
(මහා සතිපට්ඨාන සූත්‍රය – දී.නි. 2)
ඒ වගේ ම අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ විසින් මේ සතර සතිපට්ඨායන් පුරුදු කිරීමෙන් කෙනෙකුට සිදුවන යහපත ගැනත් මේ ආකාරයෙන් පෙන්වා දෙන සේක.
“මහණෙනි, යම් කෙනෙකුට අනුකම්පා කරව් ද යම් කෙනෙක් ඔබට ඇහුම්කන් දිය යුතු යැයි සිතත් ද මිත්‍රයෙකු වේවා, යහළුවෙකු වෙත්වා, ඥාතීහු වෙත්වා, ලේ ඥාතීහු වෙත්වා මහණෙනි, ඔබ විසින් ඔවුන් සතර සතිපට්ඨානය වැඩීම පිණිස සමාදන් කරවිය යුත්තාහු ය. වාසය කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.”
(මිත්ත සූත්‍රය – සං. නි. 5)
බුදු සසුනේ පිහිට පතාගෙන එන පැවිදි නවක භික්ෂූන් වහන්සේලා ව සතර සතිපට්ඨානය වැඩීමෙහි සමාදන් කරවන ලෙස භාග්‍යවතුන් වහන්සේ නිතර භික්ෂූන් වහන්සේලාට අවවාද කළ සේක. තවද නිවන් මගෙහි හික්මෙන භික්ෂූන් වහන්සේලාත් නිවන් මග හික්මී අවසන් කළ රහතන් වහන්සේලාත් නිතර සතර සතිපට්ඨානයෙන් යුතුව කාලය ගත කරන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. මෙසේ බුදු සසුනේ පිළිසරණ පතාගෙන එන ශ්රාවකයාට පිය උරුමයෙන් ලැබෙන ආරක්ෂිත ස්ථානය බවට සතර සතිපට්ඨානය පත් වෙනවා.
සතිපට්ඨාන සංයුත්තයේ කුසලරාසි සූත්‍රයේ සතර සතිපට්ඨානය ගැන අසිරිමත් විග්‍රහයක් අපට මුණගැසෙනවා. එහිදී භාග්‍යවතුන් වහන්සේ අකුසල රාශිය ගැනත්, කුසල රාශිය ගැනත් පෙන්වා දෙන සේක. අකුසල රාශිය නම් පංච නීවරණ යි. කුසල රාශිය නම් සතර සතිපට්ඨානය යි. එසේ නම් යම් කෙනෙක් කුසල් රැසක් තම ජීවිතයට එකතු කර ගනු කැමති නම් වැඩිය යුත්තේ මේ සතිපට්ඨානය ම යි.
තවත් වරෙක භද්ද ස්වාමීන් වහන්සේ බුදු සසුනේ චිර පැවැත්ම ගැන පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටියා. ඒ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළේ බුදු සසුනේ චිර පැවැත්ම ර`දා පවතින්නේ ශ්රාවකයා සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කරනවා ද නොකරනවා ද යන්න මත බවයි. භාග්‍යවතුන් වහන්සේගේ දායාදය වූ සතර සතිපට්ඨානයෙන් යුතුව ශ්රාවකයින් වාසය කරන්නේ නම් ශාසනය චිරාත් කාලයක් පවතින බවත්, එසේ නොවන්නේ නම් මේ ශාසනය ඉක්මනින් අතුරුදහන් වන බවත් පෙන්වා වදාළා.
එනිසා යම් කෙනෙක් තමාගේ යහපතත්, බුදු සසුනේ චිරපැවැත්මත් පතන්නේ නම් කළයුතු වන්නේ මේ සතර සතිපට්ඨානයන් පුරුදු කිරීම යි. පිය උරුමයෙන් ලැබෙන සුන්දර දායාදය ලබමින් දහම් මගේ හැසිරෙන්නට ඔබ සැමට වාසනාව උදා වේවා!
මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි
Recent Comments