“පූජේථ නං පූජනීයස්ස ධාතුං”
තුන්ලෝකාග්ර වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ මෙයට 2562 වසරකට පෙර කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්යානයෙහිදී කෝටි ලක්ෂයක් සක්වල එකළු කළ මිණි පහනක් නිවී යන්නාක් මෙන් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුයෙන් පිරිනිවන් පා වදාළ සේක.
තමන් වහන්සේගේ ඇවෑමෙන් වසර පන්දහසක් මුළුල්ලෙහි ගොයුම් ගොත් බුදු සසුනෙන් පිහිට පිළිසරණ ලබන අනන්ත අප්‍රමාණ ලෝ සතුන් දැක වදාරා, ඒ මේ අප කෙරෙහි පතළ මහා කරුණාවෙන් ශ්‍රී සම්බුද්ධ ශරීරය ඒකඝන නොවී ධාතූන් වහන්සේලා විසිර යන සේ පරිනිර්වාණ මඤ්චකයෙහි වැඩ හිඳ සර්වඥයන් වහන්සේ අදිටන් කොට වදාළ සේක්, “ධාතු පරිනිර්වාණය දක්වා ම සැදැහැවත්හු වැඳ පුදා පින් රැස් කරගෙන සුගති සැප නිවන් සැප සාක්ෂාත් කරගනිත්වා!” යන අනුකම්පා සහගත සිතුවිලි සමුදාය පෙරටු වීමෙනි.
එසේ අවශේෂ වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තුන්ලොව එකළු කරවමින් පූජා ලාභයෙන් සර්වඥයන් වහන්සේ හා සමව අද දක්වා ම නිරුපද්‍රැතව දිව්‍ය, බ්‍රහ්ම, නාග ලෝකයන්හි ද මේ මිනිස් ලොවෙහි ද සුවසේ වැඩ වෙසෙමින් විරාජමාන වන්නේ, බුදුවරයන් වහන්සේලා සිය දහස් ගණනක් ලෝක ධාතුව පුරා වැඩ වසන්නාක් මෙනි. එබැවින් අබැටක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේ නමක් යම් තැනක වැඩ වෙසෙත් ද, එතැන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන ස්ථානයක් සෙයින් පූජනීය වන්නේය.
භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කල්හිම තමන් වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කළ යුතු ‘ත්‍රිවිධ චෛත්‍ය’ පිළිබඳව අනඳ මාහිමියන් වහන්සේට කාලිංග බෝධි ජාතක දේශනාවෙහිදී වදාළ සේක.
“චයිතබ්බන්ති චේතියං; පූජේතබ්බන්ති වුත්තං හෝති. තං පනේතං තිවිධං හෝති, පරිභෝගචේතියං, උද්දිස්සකචේතියං, ධාතුචේතියන්ති. තත්ථ බෝධිරුක්ඛෝ පරිභෝගචේතියං, බුද්ධපටිමා උද්දිස්සකචේතියං, ධාතුගබ්භ ථූපා සධාතුක චේතියං”
(නිධිකණ්ඩ සුත්තට්ඨකතා)
“චේතිය යනු පූජා කළ යුතු වස්තුව යැයි කියන ලද්දේය. එය තුන් ආකාර වන්නේය. පාරිභෝගික චෛත්‍යය, උද්දේසික චෛත්‍යය, ධාතු චෛත්‍යය යනුවෙනි. එහිලා බෝධි වෘක්ෂය පාරිභෝගික චෛත්‍යය යි. බුද්ධ ප්‍රතිමාව උද්දේසික චෛත්‍යය යි, ධාතු ගර්භ ස්තූපය සධාතුක චෛත්‍යය යි.”
ඒ අතුරින් කල්ප කෝටි ලක්ෂ ගණන් පුරන ලද පාරමී පුණ්‍ය තේජානුභාවයෙන් උපන් නේක විධ විචිත්‍ර ලක්ෂණයන්ගෙන් අලංකෘත දේව විමානයක් බඳු සර්වඥයන් වහන්සේගේ විස්මිත ශ්‍රී බුද්ධ ශරීරයෙහි උපන් ශාරීරික ධාතුන් වහන්සේලා වැඳුම් පිදුම් කිරීමට සුදුසු හෙයින් ‘ශාරීරික චෛත්‍ය’ නාමයෙන් ත්‍රිවිධ චෛත්‍ය අතර අග්‍රස්ථානයෙහි වැජඹෙන සේක. ධාතූන් වහන්සේලා වන්දනා කිරීම අනුදැන වදාළ සේක්, අප භාග්‍යවතුන් වහන්සේ ම ය.
“ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්බුදු රජහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයා සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව් ලොවෙහි උපදිති….. සිව් මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද සකසා වන්දනා කරන්නාහු ද සිත හෝ පහදවා ගන්නාහු ද එය ඔවුන්හට බොහෝකල් හිත සුව පිණිස වන්නේය.”
(මහා පරිනිබ්බාන සූත්‍රය – දී. නි. 2)
එබැවින් සර්වඥ ධාතූන් වහන්සේලා පින් කැමැත්තවුන්ගේ අනුත්තර පුණ්යක්ෂේත්රය ද, සැප කැමැත්තවුන් හට සිතූ පැතූ සැප සම්පත් ලබා දෙන කල්ප වෘක්ෂය ද චින්තා මාණික්‍යය රත්නය ද භට්ර ඝටය ද වන සේක.
“නයිමස්මිං ලෝකේ පරස්මිං වා පන
බුද්ධේන සෙට්ඨෝ ව සමෝ ව විජ්ජති
ආහුනෙය්‍ය තං පරමාහුතිං ගතෝ
පුඤ්ඤත්ථිකානං විපුල ඵලේ ඨිතන්ති.”
“මෙලොව හෝ පරලොව හෝ පිනෙන් ප්‍රයෝජන ඇති මහත් වූ පින් පල කැමැත්තවුන්හට, පුද පූජා පැවැත්විය යුතු උතුමන් අතර පරම පූජනීය භාවයට පැමිණි බුදුරජාණන් වහන්සේ ම ශ්‍රේෂ්ඨ වන සේක. බුදුරජුන් හා පූජනීය භාවයෙන් සම වූ කෙනෙක් නැත්තේම ය.”
(මහාරථ විමාන – විමාන වත්ථුපාළි)
මෙකරුණ නාගසේන මහ රහතන් වහන්සේ මිළින්ද ප්‍රශ්නයෙහිදී මෙසේ වදාළ සේක.
“මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයෙන් දියුණුවට පත්ව ධාතූන් වහන්සේලා ද ධර්මය ද විනය ද අනුශාසනාව ද ශාස්තෘ තනතුරෙහි තබා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා ද, බුද්ධ ඥාන රත්නය ද ත්‍රිවිධ සම්පත් ඉපිදවීමට හේතුව වෙයි. භව දුකින් පීඩිත වූ සත්වයෝ ධාතුන් වහන්සේලා ද ධර්මය ද විනය ද අනුශාසනාව ද හේතුකොට සැප කැමති අය සැප ලබා ගනිති….. තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලාට ද බුද්ධ ඥාන රත්නයට ද පූජා පවත්වා කුසල් උපදවා, ඒ කුසල් බලයෙන් රාග ද්වේෂ මෝහ යන ත්‍රිවිධාග්නියෙන් හටගන්නා සන්තාප පරිදාහ නිවා ගනිති. සංසිඳුවා ගනිති.”
(කරන ලද දෙය සඵල වීම ගැන ප්රශ්නය)
සර්වඥයන් වහන්සේ විසින් තමන් වහන්සේගෙන් පසු ශාස්තෘ තනතුරට පත්කොට වදාළ ශ්‍රීමත් ධාතූන් වහන්සේලාට බැති සිතින් පුද පූජා පැවැත්වීම ශාස්තෘන් වහන්සේට කරන ගෞරවයක් ද, ඒ ධාතූන් වහන්සේලාට අගෞරව කිරීම ද ධාතු පූජාවට අගෞරව කිරීම ද ශාස්තෘන් වහන්සේට කරන අගෞරවයක් ද වන්නේය.
නෙත්තිප්ප්රකරණයෙහි විචයහාර සම්පාත භූමියෙහිදී මහා කච්චාන මහ රහතන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ස්ථූපය දුෂ්ට සිතින් බිඳීම, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සෙලවීම නම් වූ ආනන්තර්ය පාප කර්මයට සමකොට දක්වා ඇත්තේ එබැවිනි.
තවද අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහ නුවර එක්තරා පුද්ගයෙකුගේ භාර්යාව, දියණිය සහ යෙහෙළිය යන තිදෙනා ධාතු පූජාව පිණිස මල් සුවඳ අත දරා නික්මෙන කල්හි එම පුරුෂ තෙමේ ධාතු පූජාව පිළිබඳ නින්දා බස් බෙනෙමින් ඔවුන්ගේ ගමන වැළැක්වූයේය. කය බිඳී මරණින් මතු ඒ පාපී පුරුෂ තෙමේ කුණු වූ සිරුරින් හා කුණු වී පණුවන් උතුරන මුඛයෙන් යුතුව ප්‍රේත ලෝකයෙහි උපන්නේය. කර්මානුරූපව භූතයෝ ලුණු දිය ඉසිමින් ඔහුගේ මුඛය නැවත නැවත කපන්නාහ. දිවැසින් ඔහුව දුටු මහා කස්සප මහ රහත් මුනිඳුන් විසින් විමසන ලදුව හෙතෙමේ මෙසේ පැවසුවේය.
“යේ ච ඛෝ ථූප පූජාය – වත්තන්තේ අරහතෝ මහේ
ආදීනවං පකාසෙන්ති – විවේචයථ නෝ තතෝ”
“අරහත් සම්බුදු රජුන්ගේ චෛත්‍ය පිළිබඳව ධාතු පූජා උත්සව පවත්නා කල්හි යම් කෙනෙක් එයට නින්දා කරත් නම්, ඔවුන් බැහැර වන්නේ පිනෙන් බව දත යුතුය.”
“සෝ හි නූන ඉතෝ ගන්ත්වා – යෝනිං ලද්ධාන මානුසිං
ථූප පූජං කරිත්වාන – අප්පමත්තෝ පුනප්පුනන්ති”
“ඒ මම මෙයින් චුතව ගොස් මිනිසත් බව ලද කල්හි නොපමාවම නැවත නැවතත් ස්ථූප පූජාව සිදු කරන්නෙමි”
(ධාතු විවණ්ණක පේතවත්ථු – පේතවත්ථු පාළි)
ඔහු සේ ම අජාසත් මහ නිරිඳු රජගහ නුවර සත් අවුරුදු, සත් මස්, සත් දිනක් අඛණ්ඩව සිදුකළ ධාතු පූජාවට නින්දා කළ අසූහය දහසක් මනුෂ්‍යයෝ ප්‍රේත ලෝකයෙහි ඉපිද අද දක්වා ද නිරාදුක් බඳු දුක් විඳින්නාහුය. එබැවින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ හා සමව වැඩ සිටින බව ද, ධාතූන් වහන්සේලාට කරන අගෞරවය සර්වඥයන් වහන්සේට කරන අගෞරවයක් වන බව ද මෙකරුණින් වටහා ගත යුතු වන්නේය.
නිකෙලෙස් මහ රහතන් වහන්සේලා පවා ධාතූන් වහන්සේලා ශාස්තෘන් වහන්සේ ලෙස සලකාගෙන එය පිළිසරණ කොට වාසය කළ සේක. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩ වස් වසා, වස් පවාරණය යෙදුණු ඉල් පුන් පොහෝ දින දෙවනපෑතිස් මහ රජුහට මෙලෙස වදාළ සේක.
“මහරජ්ජුරුවෙනි, අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැදැක වන්දනා කොට දැන් සෑහෙන කලක් ගතවුණා. මෙහිදී උන්වහන්සේව පුදන්නට නැති නිසා අපි අනාථවාසයකිනුයි ඉන්නේ. දඹදිව යන්නටයි අදහස.”
“ස්වාමීනී, සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ බව මට කලින් වදාළා නොවේද?”
“එසේය මහරජ්ජුරුවෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බැහැ දැක්ක විට ජීවමාන භාග්‍යවතුන් වහන්සේ දැක්කා සමානයි.”
(ආහ ධාතුසු දිට්ඨේසු – දිට්ඨෝ හෝති ජිනෝ ඉති)
(මහාවංශය, 17. ධාතු ආගමන පරිච්ඡේදය)
කෙලෙස් ගිනිමැල නිවා භව සයුර තරණය කළ උතුම් රහතුන් ද ධාතූන් වහන්සේලා පිළිසරණ කොට ගෙන වාසය කළාහු නම් ජාති ජරා මරණ ආදී එකොළොස් ගින්නකින් නිරන්තරයෙන් ගිනි ගෙන දැවෙමින් සිටින අසරණ ලෙව් සතුන්හට ඇති මහා සවිය පිහිට පිළිසරණ ඒ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා බව කියනුම කවරේද? ශාසන අන්තර්ධානය දක්වාම ඒ ධාතූන් වහන්සේලා දිවමන් සම්බුදුන් පුදන්නාක් මෙන් සිතා සම සිතින් පුදන සත්වයෝ අපමණ සැපයට පත්වන්නාහුය.
අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සමීප සමයෙහි එක්තරා ස්ත්‍රියක් රජගහ නුවර අජාසත් මහ නිරිඳුන් විසින් කරවන ලද සම්බුද්ධ ධාතු ස්තූපයට පූජා පිණිස තමා දිළිඳු හෙයින් පිදීමට වෙනත් දෙයක් නොදැක කිසිවෙකුට ප්‍රිය නොවූ වැටකොළු මල් සතරක් නෙලාගෙන බුදුරජුන්ගේ ධාතු ශරීරය ගැන සිතමින් පහන් සිතින් යන්නී, අතරමගදී ගවදෙනක් විසින් අනිනා ලදුව මරණයට පත්වූවාය. බුදු ගුණ මනසිකාරයෙහි අනුහසින් ඒ ක්ෂණයෙහි ම ඕ තොමෝ සක් දෙව් රජුගේ දෙකෝටි පනස් ලක්ෂයක් දෙවඟනන් මධ්‍යයෙහි ඒ හැමට අග්‍රව ස්වර්ණ වර්ණ වස්ත්‍රාභරණයෙන් විභූෂිතව උපන්නීය. උයන් කෙළියට යමින් සිටි සක්දෙව් රජු අලුත උපන් මෙම දෙවඟනගේ ශ්‍රී විභූතිය බලා එය ලැබීමට හේතු වූ පින්කම ඇගෙන් විමසා දැනගෙන විස්මයට පත් වූයේ, මාතලී දෙව්පුතුට මෙසේ පැවසුවේය.
“පස්ස මාතලී අච්ඡේරං – චිත්තං කම්මඵලං ඉදං
අප්පකම්පි කතං දෙය්යං – පුඤ්ඤං හෝති මහප්ඵලං”
මාතලී අසිරිමත් වූ විසිතුරු වූ මේ කර්ම ඵලය බලන්න. දිය යුත්ත අල්ප වශයෙන් නමුත් දුන් බැවින් එහි පින මහත්ඵල ඇත්තක් වූයේය.
නත්ථි චිත්තේ පසන්නම්හි – අප්පිකා නාම දක්ඛිණා
තථාගතේ වා සම්බුද්ධේ – අථ වා තස්ස සාවකේ
තථාගත සම්බුදු රජුන් කෙරෙහි හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි හෝ සිත පහන් මොහොතෙහි දෙන දක්ෂිණාව ස්වල්ප වූවක් නොවේ.
තිට්ඨන්තේ නිබ්බුතේ චාපි – සමේ චිත්තේ සමං ඵලං
චේතෝ පණිධි හේතූහි – සත්තා ගච්ඡන්ති සුග්ගතිං
ජීවමාන බුදුරජුන් කෙරෙහි ද, පිරිනිවන් වැඩි බුදුරජුන් කෙරෙහි ද සම සිත් ඇති කල්හි සම විපාක ලැබෙයි. එසේ සිත පිහිටුවා ගැනීම හේතුවෙන් සත්වයෝ සුගතියට යන්නාහ.
බහුන්නං වත අත්ථාය – උප්පජ්ජන්ති තථාගතා
යත්ථ කාරං කරිත්වාන – සග්ගං ගච්ඡන්ති දායකා
යම් කෙනෙකුන් කෙරෙහි පූජා පවත්වා දායකයෝ සුගතියට යත් ද, ඒ තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන්ම බොහෝ දෙනාගේ හිත සුව පිණිස පහළ වන සේක.
(පීත විමාන – විමානවත්ථු පාළි)
තව්තිසා වැසි දෙවියන්ගේ පහන් සංවේගය පිණිස මේ ගාථා පැවසූ ඒ සක්දෙව් රජ තෙමේ “මාතලී එන්න, අපි තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට වඩ වඩාත් පුදපූජා පවත්වමු. පින වනාහි සැපයට නමකි” යි පවසා උද්‍යාන ක්‍රීඩා කිරීම පසෙක තබා සිළුමිණි සෑය වෙත ගොස් සතියක් ම ධාතු පූජා පැවැත්වූයේය.
එසමයෙහි ම සම්බුදු රජුන් පිරිනිවුණු වෙසඟ පුන් පෝ දින හා ඇසළ පෝ දින අතර දෙමසක කාලයෙහි දිනෙක මහා කච්චාන මහ රහතන් වහන්සේ පස් මසකට ආයු පිරිහී සිටි අස්සක රට පෝතලී නුවර අස්සක රජුගේ සොළොස් හැවිරිදි සුජාත නම් රාජ පුත්‍රයා දැක අනුකම්පා උපදවා “සුජාතය, මෙයට පූජා පවත්වන්න. එය ඔබට යහපත පිණිස පවතින්නේය” යි වදාරා ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නමක් ලබාදුන් සේක. ඒ ධාතූන් වහන්සේට ඉතා සුළු කලක් මලින් සුවඳින් පිදූ, නිරයෙහි ඉපදීමට නියමිතව සිටි ඒ කුමර තෙමේ ඒ පින් මහිමයෙන් නිරා දුක් පසුබස්වා තාවතිංසයෙහි රන් රිදී මිණි මුතුයෙන් අලංකෘත වූ සියක් යොදුන් ස්වර්ණ රථ විමානයක උපන්නේය.
මෙයට මහා කල්ප තිස් දහසකට පෙර මණ්ඩ නම් කල්පයෙහි සියොළඟින් විහිදෙන බුදුරැසින් දිව රෑ දෙක යොදුනක් තැන් එළිය කළ සුමේධ නම් මහර්ෂීන් වහන්සේ ලොව පහළ වී වදාළ සේක. එසමයෙහි එක්තරා දිළිඳු පුරුෂයෙක් උන්වහන්සේ පිරිනිවුනු පසු ඉදිකළ ස්වර්ණ ජාලයෙන් වසන ලද රතනමය ධාතු චෛත්‍යයට වත් පිළිවෙත් කරන්නේ, සෑ මලුව ඇමදීම් ආදිය සිදු කරන්නේය. පිදීමට තරම් දෙයක් සන්තකයෙහි නැති තරම් දිළිඳු වුවද නුවණැති හෙතෙම බොහෝ ජනයා අමතා,
“පූජේථ නං පූජනීයස්ස ධාතුං
ඒවං කිර සග්ගමිතෝ ගමිස්සථ..”
‘පිදිය යුතු වූ සම්බුදු රජහුගේ ධාතූන් වහන්සේලාට පුදව්..! මෙසේ මෙලොවින් චුතව ස්වර්ගය නම් වූ දෙව්ලොවට යව්’ යනුවෙන් පවසමින් බොහෝ දෙනාව ධාතු පූජාවෙහි සමාදන් කරවූයේය. ක්ෂය නොවන්නා වූ ඒ පින් මහිමයෙන් හෙතෙමේ අසාමාන්‍ය ඉර්ධි, යස, ඓශ්වර්ය හා පරිවාර සම්පත්ති ඇතිව තාවතිංසයෙහි ‘අනේකවර්ණ’ නම් දෙව්පුතුව උපන්නේ, මනුෂ්‍යන්ගෙන් වැඳුම් ලබන පුර පෑලවිය දිනයෙහි චන්ද්‍ර මණ්ඩලය සෙයින් තව්තිසා වැසි දෙවියන්ගෙන් නිරන්තරයෙන් වැඳුම් ලබන්නේය. එසේම මහා කල්ප තිස් දහසක් ම දුගතියට නොගියේය. අන්‍යයන්ව ධාතු පූජාවෙහි සමාදන් කරවීම ඒ සා ආනුභාව සම්පන්න නම්, ධාතු පූජා පැවැත්වීමෙහි අනුහස කෙසේ සිතා ගත හැකි වන්නේද?
“තඤ්ච දිස්වාන අච්ඡේරං – අබ්භූතං ලෝමහංසනං
නමෝ කරොන්ති සප්පඤ්ඤා – වන්දන්ති තං මහා මුනිං”
ඒ ආශ්චර්ය වූත් අද්භූත වූත් ලොමුදැහැ ගැනීම් ඇති කරන්නා වූත් ආශ්චර්ය දැක නුවණැත්තෝ ඒ මහා මුනි රජුට නමස්කාර කරන්නාහුය. වන්දනා කරන්නාහුය.
මෙයට කල්ප අනූහතරකට පෙර සාර නම් කල්පයෙහි සිද්ධාර්ථ නම් සර්වඥයන් වහන්සේ ලොව පහළ වී වදාළ සේක. එක්තරා පුරුෂයෙක් උන්වහන්සේ පිරිනිවි කල්හි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නමක් ලබාගෙන ජීවමාන සංඥාව උපදවා සර්වඥයන් වහන්සේට මෙන් පස් වසරක් උපස්ථාන කළේය. ඒ අතුල්‍ය පුණ්‍ය මහිමයෙන් හෙතෙම සිවු අනූකපක් ම දුගතිගාමී නොවූයේ, අප මුනිඳු උපන් කල්හි දඹදිව ඉපිද බුදු සසුනේ පැවිදිව ‘ධාතු පූජක ස්ථවිර’ නාමයෙන් හිරු සඳු සේ ප්රකටව ත්‍රිවිද්‍යා, සතර පටිසම්භිදා, ෂඞ් අභිඥා, අෂ්ට විමෝක්ෂ ප්‍රතිලාභයෙන් උතුම් අරහත්වයට පත්වී වදාළේ ධාතු පූජා පිනෙහි ම අවශේෂ විපාක වශයෙනි.
මේ වෙසක් සමය ධාතූන් වහන්සේලා උදෙසා අසදෘශ පූජාවන් පවත්වන සමය යි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා තවමත් උදාර පූජාවන් සිදුවන්නේ උන්වහන්සේගේ පාරමී පුණ්යානුභාවයෙහි විපාක වාර වශයෙනි. පෙරුම් දම් පුරමින් සසර සැරි සරන අප මහා බෝසතාණන් වහන්සේ ශ්‍රී සම්බුදු බව පතා තමන් වහන්සේගේ ශරීරාංගයන් පරිත්‍යාග කළ සේක. ගගන තලයේ දිස්වෙන තාරකාවනට වැඩියෙන් ඇස් දන්දුන් සේක.
එක් ලක්ෂ හැටඅට දහසක් යොදුන් මහාමේරු පර්වතයට වැඩියෙන් ඔටුනු පළන් හිස් දන්දුන් සේක. දෙලක්ෂ සතළිස් දහසක් යොදුන් ගණකඩ බොල් මහ පෘථිවියේ පස්වලට වැඩියෙන් ශරීර මාංශ දන් දුන් සේක. සතර මහා සාගරයේ ජලයට වැඩියෙන් රුධිරය දන්දුන් සේක. එමෙන්ම ශ්‍රී සම්බුදු බව පතා මහා පෘථිවියේ පටන් අකණිටා බඹලොව දක්වා ද පිරවීමෙන් අවසන් කළ නොහැකි තරම් මහා ධන සම්භාරයක් දන්දුන් සේක. ආත්ම භාව කෝටි ගණනක් රාජ්‍යත්වය අත්හැර දාස බවට පත්වීමෙන් ජීවිතය දන්දුන් සේක. එලෙසින්ම ජාලිය, කෘෂ්ණජිනා වැනි දරුවන් ද මද්‍රි බිසව වැනි භාර්යාවන් ද මහ පොළොව ගුගුරුවාලමින් කෝටි ලක්ෂ වාර ගණන් දන්දුන් සේක.
උන්වහන්සේගේ මේ සියලු දානයන්ගේ නොව එක් දානයක ආනිශංස ද කල්පාන්තය දක්වා වුවත් පුදපූජා ලැබීම් වශයෙන් විපාක දී අවසන් නොවන්නේය. එබැවින් අසාමාන්‍ය පුණ්‍යවන්තයෙකුගේ ලාභයට කිසිවෙකුත් සිත අපහදවා නොගත යුතුය. ඉදින් යම් කෙනෙක් බුදුරජුන්ගේ ලැබීම පිළිබඳව සිත් නොපහන් කර ගනිත් නම්, බුද්ධ පූජාදියට නින්දා අපහාස කරත් නම්, මහා ගල් කුලක් තුඩින් බිඳීමට තැත්කොට නැසෙන කවුඩුවන් සේ ඔවුහු ම එයින් විනාශයට පත් වන්නාහ. මේ වෙසඟෙහි සියලු සත්වග ලෝකනාථයන් වහන්සේ කෙරෙහි සුපහන් සිතින් පුදපූජා පවත්වා දෙලොව සැප හා අම නිවනින් නිවී සැනසීමෙහි වාසනාභාගී වෙත්වා!
“අවිද්‍යා අන්ධකාරය නසා ප්‍රඥාවෙන් යුක්ත වූ, ලෝකයෙහි උත්තම වූ, දෙව් මිනිසුන් අතර අතිශයින් පිදීමට යෝග්‍ය වූ අපගේ සුගත වූ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී උන්වහන්සේට වන්දනා කිරීමෙන් රැස් වෙන යම් පිනක් ඇද්ද, ජනතාවගේ හිත සුව පිණිස උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ කුඩා කැබලිවලට කැඩීගිය ධාතූන් වහන්සේලාත්, ඒ සර්වඥ ධාතු පිහිටි රුවන්මැලි මහාසෑය වැනි ස්ථූප පිදීමෙන් රැස් කරන්නා වූ යම් පිනක් ඇද්ද, ඒ පිනත් පුණ්‍යානුභාවයෙන් එක සමාන ය. ඒ නිසා ශ්‍රද්ධාදී ගුණ ධර්මයෙන් යුක්ත තැනැත්තා ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන සෙයින් ධාතූන් වහන්සේලාටත් පූජා පවත්වන්ට ඕනෑ…”
(මහාවංශය – 30. ධාතුගබ්භරචන පරිච්ඡේදය)
– රවීන් කෝදාගොඩ –
Recent Comments