මරණය… වහ වහා අප කරා පැමිණෙන මරණය… අප කථා කරන්නට අකමැති මරණය… නමුත් මේ සක්වළෙහි කිසිවෙකුටත් වළකාලිය නො හැකි මරණය… අද අප කථා කරන්නේ එ් අමිහිරි මරණය හා මරණය මංචකය ගැන. මරණය හා මරණ මංචකය කියන්නේ කවදා කොතන දී කුමන අයුරකින් හෝ සියලූ ලෝක සත්වයාට එ්කාන්තයෙන් ම මුහුණ දෙන්න වෙන දෙයක්. එ්ක ජීවිතේ සුන්දර අත්දැකීමක් නෙමෙයි. පහන් සිල නිවෙන සේ නිවීයන්නේ සියලූ කෙලෙස් ප‍්‍රහාණය කළ රහතන් වහන්සේලා විතරයි. මේ ජීවිතේදි නම් ඔබ මනුස්සයෙක්.. ඔබගේ ජීවිතය හා බැඳුනු පිරිසක් ඉන්නවා, ඉන්න තැනක් තියෙනවා, කන්න දෙයක් තියෙනවා. ඊ ළඟ ජීවිතේ කන්නත් නැති, ඉන්නත් තැනක් නැති පෙරේතයෙක් වුණොත්, කාත් කවුරුවත් නැතිව පාරෙ කුණු ගොඩවල් අවුස්සන තිරිසන් සතෙකු වුණොත්, දෑත් දෙපා අහිමි උරඟයෙක් වුණොත්, අසූචි වළක පණුවෙක් වුණොත්,.. කාට කියන්න ද? අනිවාර්යයෙන් ම අප කරා එන මරණයට කොහොමද අපි මුහුණ දෙන්නෙ? මෙතනින් චුත වෙනකොට කොහොමද අපි සුගතියක උපතක් ලබාගන්න සිත පිහිටුව ගන්නෙ?
සියල්ල දන්නා, සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ සංඛාරුප්පත්ති සූත‍්‍ර දේශනයේ දී දේශනා කරනවා, යම් කෙනෙකු රජ පවුලක උපදින්න කැමති නම්, එවන් උපතකට යන්නෙ කොහොමද කියලා. යම් කෙනෙකු බ‍්‍රාහ්මණ පවුලක උපදින්න කැමති නම්, එවන් උපතකට යන්නෙ කොහොමද කියලා. එතකොට යම් ගෘහපති පවුලක උපදින්න කැමති නම්, එවන් උපතකට යන්නෙ කොහොමද කියලා. එ් වගේ ම දෙවියන් අතරට බ‍්‍රහ්මයන් අතරට යන්නෙ කොහොමද කියලත් සංඛාරුප්පත්ති සූත‍්‍ර දේශනයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එ් සියල්ලට ම හේතු වෙන්නෙ පංච සේඛ බල කියන උතුම් ගුණාංග. තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා,.. ‘‘ශ‍්‍රද්ධාවෙන් යුක්ත වෙලා (සද්ධාය සමන්නාගතෝ හෝති), සීලයෙන් යුක්ත වෙලා (සීලේන සමන්නාගතෝ හෝති), ධර්ම ඤාණයකින් යුක්ත වෙලා (සුතේන සමන්නාගතෝ හෝති), ත්‍යාගයෙන් යුක්ත වෙලා (චාගේන සමන්නාගතෝ හෝති), ප‍්‍රඥාවෙන් යුක්ත වෙලා (පඤ්ඤාය සමන්නාගතෝ හෝති), වාසය කරනවා නම්… එ්වා වඩනවා නම්… බහුල වශයෙන් වඩනවා නම්… පුරුදු කරනවා නම්… එයා කැමති බලාපොරොත්තු වන සුගති උපතක් කරා යන්න පුළුවන්.” කියලා.
සුගතියක් කිව්වා ම නිකම් ම නිකම් සුගතියක පමණක් සිත පිහිටුවා ගන්න එපා. ඇමෙරිකාවේ හෝ අරාබි රටක ඉපදුණොත් එ්කත් සුගතියක්. භුමාටු දෙවියෙකු වුණොත් එ්කත් සුගතියක්. මිත්‍යා දෘෂ්ටියක පැටලෙන්න වෙනවා නම් එවන් සුගතියකින් වැඩක් නෑ. මේ ජීවිතෙන් පසු ඔබ පය තියන්න බලාපොරොත්තු වන සුගතිය අනිවාර්යයෙන් ම සුපිරිසිදු ධර්මය මුණගැසෙන සුගතියක් ම විය යුතුයි. කෙළවරක් නැතිව ආපු සසරෙ, කෙළවරක් නැතිව ආයෙත් යන්න කැමති කෙනෙකුට මරණයවත්, ධර්මයවත්, සුගතියක් ගැනවත් දැන ගන්න ඕනවෙන්නෙ නෑ. මේ දහම් කරුණ අවශ්‍ය වෙන්නෙ මේ ජීවිතයේ දී බැරි වුණොත් ඊ ළඟ ජීවිතයේ දී හරි නැත්නම් තව අවම ජීවිත ගණනක දී මේ දුක්ඛිත සසර ගමන අවසන් කර ගන්ට ඇත්නම් කියලා හිතන උදවියට පමණයි. තවමත් ඔබ වැට මායිම් ගැන, ගහෙන් වැටෙන පොල් ගෙඩිය ගැන උනන්දු වෙනව නම්, අමාරුවෙන් හදාගත්තු ගේ ගැන හිත හිතා ඉන්නවා නම්, අල්මාරියෙ සාරි ටිකටයි රත්තරං බඩු ටිකටයි ඇලිල ඉන්නවා නම්, එ් විතරක් නෙමේ රැකියාවටයි, තනතුරටයි, වාහනේටයි, බිරිඳට හෝ ස්වාමියාට, දරුවන්ට මුණුපුරන්ට සෙනෙහෙ කර කර ඉන්නවා නම් නො දන්නවා වුණාට ඔබ ඉන්නෙ විශාල අනතුරක. ඔබ මරණයට පත් වෙන දවස දන්නෙත් නැත්නම්, ඔබ මරණයට පත්වෙන ස්ථානය දන්නෙත් නැත්නම්, ඔබ මරණයට පත් වෙන ආකාරය දන්නෙත් නැත්නම්, ඕව එකක්වත් අරගෙන යන්නත් බැරි නම්, යන්ට සිද්ධවෙන්නෙ කොහාට ද කියලත් නිනව්වකුත් නැත්නම් ඔබ ඉන්නෙ විශාල අනතුරක නෙමෙයි ද?
ඉතිං සුපිරිසිදු ධර්මය මුණගැසෙන සුගතියක් ම ලබා ගන්න. මැරෙන්න ඔන්න මෙන්න තියන මොහොතේ දී ක්ෂණයකින් මේක කර ගන්න බැරි බව ඔබට වැටහෙන්න ඕන. සේඛ බල කියන්නෙ ක‍්‍රමයෙන් වඩවා ගන්න ඕන දෙයක්. බහුල වශයෙන් පුරුදු පුහුණු කර ගන්න ඕන දෙයක්. මේක බලයක්. පුංචි දෙයක් බලයක් වෙන්නෙ නෑ. වඩවාගෙන බහුල වශයෙන් හුරු කරන්න ඕනෙ බලයක් වෙන්න. එයාට පුළුවන් කැමති නම්, ආයෙ මනුෂ්‍ය ලෝකෙට එන්න. නමුත් පිරිසිදු ධර්මය තවත් කාලයක් මනුෂ්‍ය ලෝකයේ නො පවතින බව කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා අපට මතක් කර දෙනවා. ඉතිං සේඛ බල මැනවින් පුරුදු පුහුණු කළ කෙනාට කැමති නම් චාතුම්මහාරාජිකයේ උපදින්නත් පුළුවන්. තාවතිංසයේ උපදින්නත් පුළුවන්. යාමයේ, තුසිතයේ, නිම්මානරතියේ, පරනිම්මිතවසවත්තියේත් පුළුවන්. සේඛ බල වඩවාගෙන තිබෙන ආකාරයට කැමති නම් බ‍්‍රහ්මලෝකවල උපදින්නත් පුළුවන්. ඉතින් මේක වයසට ගිහින් අන්තිම අඩියේ ඉඳගෙන නම් කර ගන්න බැරි වෙනවා. කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා ඇසුරේ ඉඳගෙන, මැනැවින් ධර්මය ඉගෙනගෙන කාලයක් තිස්සේ පුරුදු කළ යුතු වෙනවා.
මරණයට බියපත් නො වී මුහුණ දෙන්න තවත් බොහෝ උපකාර වන දෙයක් මරණ සතිය වැඞීම. මරණානුස්සතියෙන් ඕනෙම මොහොතක අප මරණයට පත්විය හැකි බවට සංඥාවක් ලබාදෙනවා. මරණ සංඥාව අප තුළ නැතිකමින් අප ප‍්‍රමාදයට පත්වෙනවා. අප මරණයට පත් වන්නේ වයසට ගියා ම යි කියල අප ම අපිව රවටා ගන්නවා. අපට අමතක වුණාට මරණයට තැනක් නොතැනක් නෑ. සුව යහනක් මත දරු මුණුපුරන් පිරිවරාගෙන සියලූ යුතුකම් අවසන් කොට මැරෙනවා කියලා දෙයක් ලෝකෙ නෑ. බොහෝ දෙනා මරණයට පත්වන්නේ තව කරන්ට ඉතුරු කර ගත් බොහෝ වැඩ රාජකාරි ඉතිරිව තිබියදීයි. අප මිය යන්නේ හදිසි අනතුරක් සිදු වී පාර අයිනේ නම්, කාත් කවුරුවත් නැති මොහොතක රෝහලක ඇඳක් මත නම්, සතුරෙකුගේ පහර කෑමකින් නම් ඔබ ඊටත් සුදානම් විය යුතු වෙනවා. රාග සිතකින්, ද්වේෂ සිතකින්, මෝහ සිතකින් මළොත් ඔබ සතර අපායටයි වැටෙන්නේ.
අද කාලෙ මරණයට පත්වෙන බොහෝ දෙනෙකුට තිබෙන අනතුර සිහි මුළාවට පත්වී සිටිය දී මැරෙන්ට සිදු වීම යි. සිහි මුළාවට පත් නො වී සිටීම ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සීලයේ ආනිශංස පෙන්වා දෙමින් උන්වහන්සේ දේශනා කරනවා මැනවින් සිල් රකින පුද්ගලයා සිහිමුළා නො වී මරණයට පත්වන බව. එ් වගේ ම මෛත‍්‍රිය වැඞීමේ ආනිශංස ගැන දේශනා කරමින් තථාගතයන් වහන්සේ එහි එක් විපාකයක් ලෙස සිහි මුළා නො වී මරණයට පත් වන බව (අසම්මූළ්හෝ කාලං කරෝති) දේශනා කොට වදාරනවා. සතර සතිපට්ඨානය තුළ මනාව සිහිය පිහිටුවා ගත් කෙනාත් සිහිමුළා නො වී මරණයට පත් වන බව ශාස්තෘන් වහන්සේ දේශනා කොට තිබෙනවා.
මනා සිහිනුවණින් සුගතියක සිහිය පිහිටුවා ගැනීමට, අවසන් මොහොතේ සිහිය පවත්වා ගැනීම අනිවාර්ය දෙයක්. බොහෝ සෙයින් ධර්මය අසා නැති, ධර්මයෙහි හැසිරීමට අවස්ථාවක් නො ලද යම් කෙනෙකු අවසන් මොහොතේ භාග්‍යවතුන් වහන්සේ සිහියට නගා ගැනීමවත් කළ යුතුයි. භාග්‍යවතුන් වහන්සේ සිහියට නගා ගැනීම සුළු දෙයක් බව මෙයින් අදහස් කරන්නේ නෑ. මට්ටකුණ්ඩලී නම් දරුවාගේ අවසාන මොහොත ගැන සිතුවොත්, ඔහු මීට පෙර භාග්‍යවතුන් වහන්සේ දැක තිබුණේ නෑ. ගුණ වශයෙන් මෙනෙහි කරන්න දැනගෙන හිටියෙත් නෑ. නිවසට ආගිය මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ ගැන කතා වුණ යම් යම් දේ ඔහුගේ සිතේ තැන්පත්ව තියෙන්නට ඇති. ඉතිං ලෝකය ම පහන් කළ එක ම හිරු මඬල වූ අපේ භාග්‍යවතුන් වහන්සේගේ කරුණා දැලට ඔහු හසු වුණා. අවසන් මොහොතේ භාග්‍යවතුන් වහන්සේගේ ඡායාව පමණක් ඔහුට දැකගන්න ලැබුණා. පහන් සිතින් මරණයට පත්වූ ඔහුට දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නට හැකි වුණා පමණක් නෙමෙයි එහි දී ධර්මය අවබෝධ කරන්නත් හැකි වුණා. යමෙකුට තමන්ගේ මරණ මංචකයේ දී භාග්‍යවතුන් වහන්සේ ගුණ වශයෙන් මෙනෙහි කරන්නට, උන්වහන්සේ ගැන බලවත් ශ‍්‍රද්ධවක් පිහිටුවා ගන්නට හැකි වුණා නම් එ් වාසනාව මෙතෙකැයි කියල කියන්න බැරි බව මෙහි දී ද වැටහෙනවා.
මෙහි දී අතිශයින් ම වැදගත් දෙයක් සඳහන් කරන්නට ඕන. එ් තමයි අනපේක්ෂිත මෙහොතක ඔබ කරා පැමිණෙන මරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳ ව ඔබ යම් ඉලක්කයක් ලබාගන්නවා මෙන් ම, මරණ මංචකයේ සිටින කෙනෙකුට සිහිය පිහිටුවා ගන්න උපකාර කරන ආකාරයත් ඔබට ඉගෙන ගන්න පුළුවන්. එ්ක කෙනෙකුට කරන අමිල උපකාරයක්. එ් වගේ ම අග‍්‍ර දුර්ලභ පිනක්.
භාග්‍යවතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේලා වැඩ සිටි යුගයේ මරණය අබියස සිටි බොහෝ පිරිසක් උන්වහන්සේලාගේ උපකාරය ලැබීමට තරම් වාසනාවන්ත වුණා. එ් එ් මිනිසුන් ලබා තිබුණු චිත්ත දියුණුව අනුව උන්වහන්සේලා ඔවුන්ට පිහිට වෙලා තිබෙනවා. මරණය අබියස සිටි ආච්චි කෙනෙකු අබියසට වැඩම කළ මහා කාරුණිකයානෝ උන්වහන්සේගේ රූපකාය පමණක් දකින්නට සලස්වා ඇයට පිහිට වුණා. මරණින් මතු ඇය ද දිව්‍ය ලෝකයෙහි උපන්නා. තිසරණ සරණ යන්න, විශාල වශයෙන් ධර්මයක් අහන්න තරම් චිත්ත දියුණුවක් නැති උදවියට පවා භාග්‍යවතුන් වහන්සේ එ් අයුරින් උපකාර කොට තිබෙනවා.
අප කවුරුත් දන්නවා ඡුත්ත මානවක ගැන. ඔහුට භාග්‍යවතුන් වහන්සේ දකින්න පමණක් නෙමෙයි; උතුම් තිසරණයත් සමඟ පන්සිල් සමාදන් වෙන්න හැකි වුණා. ඉතා සුළු වේලාවක් තිසරණ සහිතව සිල් ආරක්ෂා කොට ඔහුත් මරණින් මතු දිව්‍යලෝකෙ ඉපදුණා. ඔහුට එවෙලෙ ධර්මය අවබෝධ කරන්න බැරි වුණා. නමුත් මරණය අබියස ඔහු පරාජයට පත්වුණේ නෑ. දිව්‍ය ලෝකයේදි ඔහු සදහට ම දුගතියෙන් අත්මිදුනා.
තම්බදාඨික කියල චෝර ඝාතකයෙක් හිටියා. ඔහු තමා, රජු මරන්න නියම කරන සොරුන්ගේ හිස ගසා දමන අළුගෝසුවා. පනස් පස් වසරක් ඔහු මේ රැුකියාව කරලා විශ‍්‍රාම ගියා. එදින ඔහු ගඟට ගිහින් සුවසේ නෑවා. මෙතෙක් කලක් අඳින්න බැරිව ගිය හොඳ සළුපිලි ඇන්දා. සමන් මල් දමක් පැලඳ ගත්තා. සුවඳ විළවුන් තවර ගත්තා. මෙපමණ කාලයක් රස මුසු ආහාරයක් කන්න බැරි වුණා. එ් නිසා ගිතෙල් මුසු කිරි කැඳක් හදාගත්තා. අද නිදහස් සිතින් නිදහසේ කිරිකැඳ බොනවා කියන අදහසින් සුදානම් වුණා. මේ අතරතුර ප‍්‍රඥාවෙන් අගේ‍්‍රෂ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ තම්බදාඨිකව දැක්ක. තම්බදාඨික කෙරෙහි අනුකම්පාවෙන් ඔහුගේ නිවසට වැඩම කළා. තම්බදාඨිකගේ සිත මහරහතන් වහන්සේ දුටු පමණින් පැහැදුනා. මෙපමණ කාලයක් මට දානයක්වත් පූජාකර ගන්න බැරි වුණා කියල සිහියට නැඟිල ඉක්මනට මහරහතන් වහන්සේ වඩාහිඳුවලා ගිතෙල් මුසු කිරි කැඳ එකක් උන්වහන්සේට පුජා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කැඳ වළඳන්න පටන්ගත්තා. තම්බදාඨික උන්වහන්සේට පවන් සැළුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අවසරයෙන් තම්බදාඨිකත් කැඳ බිව්වා. ඉන් පසු සාරිපුත්ත මහරහතන් වහන්සේ තම්බදාඨික කෙරෙහි අනුකම්පාවෙන් අනුමෝදනා බණ දේශනා කළා. තම්බදාඨිකට එ් කෙරෙහි සිහිය පිහිටුවාගන්න බැරි වුණා. ඔහු තම ජීවිතය අමිහිරි ලෙස ගත කළ ආකාරය ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේට කිව්ව. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතාමත් ම කරුණාවෙන් තම්බදාඨිකට කිව්වා ‘‘ඔබ එ් කටයුතු කළේ රජු අණ කළ නිසානේ. දැන් එ්ක අමතක කරලා හොඳින් බණ අහන්න” කියලා. එ් කරුණාවන්ත වචන ඔහු මීට පෙර අසා තිබුණෙ නෑ.
මීට පෙර කවුරුත් ඔහුගෙ සිත සැනසෙන ආකාරයට කතා කරල තිබුණෙ නෑ. එ් කරුණාව අබියස සියල්ල අමතක කොට ඔහු බණ ඇහුවා. ඔහුට මහා සිසිලක් දැනුන. මුළු හදවතින් ම තෙරුවන් සහිත සිල් සමාදන් වුණා. ඔහු ශ‍්‍රද්ධානුසාරී වුණා. මහ රහතන් වහන්සේ ආපසු වැඩියා. තම්බදාඨික මෙතෙක් කලක් ගත කළ කර්කෂ ජීවිතය අමතක කොට සතුටින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ආපසු වඩින මඟ දෙස බලා සිටියා. එ් මොහොතේ ම කුලප්පු වූ ගවදෙනක් පැමිණ තම්බදාඨිකට ඇන්න. පනස්පස් වසරක් වෝර ඝාතකයෙකු ලෙස කටයුතු කළ තම්බදාඨික මරණින් මතු තුසිත දෙව්ලොව උපන්නා.
මරණය අබියස හිඳින ආච්චිලා සීයලා, රෝහලක දී මරණය අබියස හිඳින රෝගීන් ඔබටත් මුණගැහෙන්න පුළුවන්. දුම්රිය මාර්ගයක හෝ මහා මාර්ගයක හදිසි අනතුරක් සිදුවී මරණය අබියස හිඳින උදවිය ඔබට මුණගැහෙන්න පුළුවන්. මරණය වැළඳ ගැනීමට පෙර ඔවුන් ගත කරන විනාඩි කීපය ඔබ ප‍්‍රයෝජනයට ගන්න. ඔහුගේ හෝ ඇයගේ කනට ළං කර ඔබට පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ එක බුද්ධ ගුණයක් මතක් කරලා දෙන්න. මරණය සමඟ පොර බදන එ් සිතට බුදුරජාණන් වහන්සේ ගැන පුංචි සංඥාවක් ලබාදෙන්න ඔබට පුළුවන්. එය හොඳට ම ප‍්‍රමාණවත් වෙයි ඔවුන්ට සුගතියකට යා ගන්න. යම් දිනක එවැනි උපකාරයක් ඔබ කළොත් එය එ්කාන්තයෙන් ම අමිල දෙයක්. එය අග‍්‍ර වූත්, අතිශය දුර්ලභ වූත් පිනක්.
ලෑලි පෙට්ටියක, සුදු ඇඳගෙන අපේ මළකඳත් නිදන දවසක් එනවා. කිසිම අයුරකින් වළකාලන්න බැරි මරණය මේ වෙලාවෙත් අප ව ලූහුබඳිනවා. මේ ලෝකයේ යථාර්ථය වහලා දාල, රූපවාහිනීයෙන්්, ගුවන් විදුලියෙන්, අන්තර්ජාලයෙන්, පුවත්පත්වලින් මවල දීල තියන සරුව පිත්තල හීන ලෝකයේ අපි හීනෙන් රජ වෙලා. මේ හීන ලෝකෙන් අවදිවෙලා අපි මේ මරණය කරා යන ගමනක් බව සිහි කරන්නට කැමති යමෙකු වේ ද.., මේ උතුම් බුද්ධ දේශනාව සිහිකරන්නේ එ් පින්වතුන් වෙනුවෙනුයි.
‘‘පුත්තා ම‘ත්ථි ධනම්ම‘ත්ථි
ඉති බාලෝ විහඤ්ඤති
අත්තා හි අත්තනෝ නත්ථි
කුතෝ පුත්තා කුතෝ ධනං”
‘‘අනේ මට දරුමල්ලො ඉන්නවා. මට සල්ලි බාගෙ තියෙනවා කියල අඥාන පුද්ගලයා එ් මත්තෙ ම හැපෙනවා. නමුත් තමන්ට තමන්වත් නෑ. එහෙම එකේ දරු මල්ලො කොහෙන් ද? සල්ලිබාගෙ කොහෙන් ද?”
සටහන
සඳා සමරනායක
Recent Comments