aluth-parmaparawa

දිවා රැය ගත වන්නේ මිනිසුන්ගේ ආයුෂය ගෙවා දමමිනි. කාලය ඉතා වේගයෙන් ඉක්ම යන විට එක් එක් මිනිසුන් විසින් මිහිමත සනිටුහන් කළ ඉතිහාස කථාවක් ක‍්‍රමයෙන් දිගු වේ. එ් ඉතිහාස කථාවන් එ් අයුරින් ම දන්නා වර්තමානයක් නූතන ලෝකයට නැත. හේතු කිහිපයක් ම නිසාවෙනි. එ් ඉතිහාස පුවත් ලියැවී නැත; එ් ඉතිහාස පුවත් සත්‍ය යැයි තහවුරු කළ හැකි භෞතික සාධක මුණගැසී නැත; ඉතිහාසය පරම්පරාවන් හරහා ඉදිරියට සම්පේ‍්‍රෂණය වීමේ දී යම් තැනක එය නිසි ලෙසින් සිදු වී නැත; අලූත් පරම්පරාව එ් ඉතිහාසය අධ්‍යයනය කොට නැත…! නමුත්, මේ සියලූ කාරණා අතරේ වුව ද ශ්‍රී ලාංකිකයන් ලෙස අප භාග්‍යවන්ත ය. මන්ද, අපගේ ඉතිහාස පුවත ලියැවී ඇත, එය සත්‍ය යැයි තහවුරු කරන සාධක පමණක් නො ව එකිනෙකට මනාව ගැළපෙමින් එහි අඛණ්ඩ ගලා යාම තහවුරු කරන සාධක ද මුණගැසී ඇත, ඉතිහාසය මෙසේ වී යැයි කියා මුතුන් මිත්තන් අපට ඉතිහාසයේ සිට පණිවිඩ එවා ඇත. එහෙත් ගැටලූවක් තිබේ. අලූත් පරම්පරාව එ් ඉතිහාසය මැනැවින් අධ්‍යයනය කොට තිබේ ද? වත්මන් වැඩිහිටි පරපුර විසින් එකී ඉතිහාස පණිවූඩය මැනැවින් සම්පේ‍්‍රෂණය කොට තිබේ ද?

ලෝකයට හුදු වාස්තු නිර්මාණයක් පමණක් ම වන ඉදි කිරීමක් සුවිශිෂ්ට ජීවන සම්ප‍්‍රදායක සහ අද්විතීය ශිෂ්ටාචාරයක ගොඩනැගීම බව ඔප්පු කළ හැක්කේ එ් වාස්තු නිර්මාණය කුමක් අරබයා, කෙසේ, කවුරුන් විසින් ගොඩනගන ලද්දේ ද යන්න දන්නේ නම් පමණි. එසේ නො වුණහොත් එය හුදු ගඩොල් ගොඩක්, මැටි ගොඩක්, පස් ගොඩක් පමණක් කියා කීම වැනි ප‍්‍රාථමික මතයක් දැරීම හැර අන් යමක් කළ නො හැක. ඉතිහාසය කෙසේ වී ද කියා නොදන්නවුන්ට සහ තමන්ගේ සිරුරේ දිව යන රක්ත වර්ණ රුධිරයට මුසු වූ මුළුමහත් ලෝකය තුළ ම අපමණ වෙනසක් පෙන්වන අනන්‍යතාවයේ මූල බීජය නොදන්නවුන්ට අහස සිඹිමින් ඉහළට එසැවුණු දාගැබක් යනු හුදු ගඩොල් ගොඩකි. නැතහොත් තමාගේ අතින් වූ වරදක් වසන්නට ඉදි කරන ලද්දකි. සිදු කරන ලද කර්මයන් විපාක නො දී නො ගෙවෙන බව දන්නා දහමක අනුගාමිකයන් තමාගේ කර්මයන් අල්ලසකින් වසන්නට උත්සාහ නො කරන බව සිතන්නට තරම් වත් ප‍්‍රායෝගික බුද්ධියක් ඔවුනට නොතිබීම පුදුමයක් ද නො වන්නේ මෙය හුදු උගතුන්ට නොව ප‍්‍රඥවන්තයන්ට පමණක් ගෝචර වන්නක් වන නිසා ය.

ගාමණී අභය යනු ලාංකේය වංශ කථාවේ මහා යුග පුරුෂයෙකි. ඉසුරින් පිරී ගත් රත්නදීපය ලෙස පෙරදිග වෙළඳාමේ යෙදෙන වෙළෙඳුන් අතර ප‍්‍රකට වූ සිංහලය ශ්‍රී බුද්ධ වර්ෂ 237 දී බෞද්ධ රටක් බවට පත් වූයේ රටේ පාලකයා වූ දෙවනපෑතිස් රජු සහ ජනයා තිසරණගත වීමෙනි. ගාමණී අභය එ් උත්තම පරපුරේ මී මුණුපුරෙකි. අප ද අයත් එ් පරපුරට මිස අනෙකකට නො වේ. කුරා කුහුඹුවෙකුට වුව ද හිංසාවක් නො කරන අවිහිංසක දහමක අනුගාමිකයන් වූ හෙළයන් අතර අද පවා ඇසට නො පෙනෙන කුඩා සතෙකුට වුව හානි විය හැකි යැයි සිතා උණු පැන් පොළවට හෙළන්නේ නැති පිරිස් සිටී. එවන් ජීවන සම්ප‍්‍රදායක සමාරම්භය කෙතරම් නම් පාරිශුද්ධ දිවි පෙවතක් වී ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. ඔවුහු දිවි නැසුමට අවි අතට නො ගත්හ. එ් නිරායුධ මිනිසුන් යටත් කර ගන්නට ද වසර විසි දෙකක් රට පාලනය කරන්නට ද සේන හා ගුත්තික නම් ඉන්දියානුවන්ට හැකි වූයේ එනිසා ය. එපමණකින් ම හෙළයේ බෞද්ධ වංශ කථාව නැවතෙන්නට ඉඩ නො තිබුණා නො වේ. එහෙත් මේ රට ගෞතම සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරය බවට පත් වන්නට සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි අවදියේ දී ම අබිසෙස් ලද රටකි. එනිසා මෙරට බෞද්ධ සම්ප‍්‍රදායන් ආරක්ෂා වීම එක් ධර්මතාවයක් ම වූ බව පෙනී යයි. අසේල රජු විසින් සේන හා ගුත්තික පරදවා රට කරවීම අරඹන්නේ එනයිනි.

එහෙත් යළි යළිත් යුද්ධ කිරීමේ මානසිකත්වයක් හෝ වුවමනාවක් මේ අවිහිංසක රටවැසියන්ට තිබුණේ නැත. දැහැමි ව ගොඩනැගීමක් හැර යුද්ධයක් ගැන සිතක් ඔවුන් පැවැත්වූයේ ද නැත. ප‍්‍රතිඵලය වූයේ සේනා සන්නද්ධව පැමිණි එළාර නම් ඉන්දීය ආක‍්‍රමණිකයා අසේල රජු ඝාතනය කොට අනුරාධපුර බලය අල්වා ගැනීමයි. එය දුෂ්කර සටනක් නො වී ය. නිරායුධ මිනිසුන්ට එරෙහි ව පවිටු සහ කෲර ලෙසින් ආයුධ බලය යෙදවීමක් පමණක් ම විය. සටකපට මායා සහිත එළාර වැනි අදැහැමියෙකුට එය කිරීම අපහසු නැත. එ් කාලයට සමගාමීව ම කැලණිය ප‍්‍රාදේශීය රාජ්‍යය මුහුදු ගොඩ ගැල්මකින් විනාශ වූයේ කැලණිතිස්ස රජුගේ ජීවිතය ද බිලි ගනිමිනි. මාගම ප‍්‍රාදේශීය රාජ්‍යය කරවූ කාවන්තිස්සයන්ට තනි ව එළාර හා සටන් කරන්නට යුද බලයක් නො වූ අතර කැලණිය ද අරාජික වී තිබුණ නිසා සහයක් ලද හැකි කෙනෙක් ද නො වී ය. සුදුසු කාලය එළඹෙන තුරු කාවන්තිස්ස රජුට බලා සිටින්නට වූයේ එහෙයිනි. පුත් කුමරෙකු උපදින්නට පෙර පටන් ම ඔහු යෝධ බල ඇති සෙන්පතිවරුන් පාලනයට සම්බන්ධ කර ගත්තේ ය. කාවන්තිස්ස රජු ආක‍්‍රමණිකයෙකු පරාජය කිරීම හුදු ආවේගයෙන් කළ නො හැක්කක් බවත්, නිසි සැලසුම් ඇති ව උපායශීලී ව ම කළ යුතු බවත්, තමන්ගේ දර්ශනය වූ අවිහිංසක සම්ප‍්‍රදාය ඉක්මවා යන්නට ඇති ඉඩ හැකි සෑම අයුරකින් ම අවම කරමින් කළ යුත්තක් බවත් තේරුම් ගන්නට තරම් විචක්ෂණශීලී පාලකයෙකු වී ය. එ් ඉවසීම බෙලහීනකමක් යැයි සිතුවේ රටවැසියන් පමණක් නො වේ; යුද බලය උපරිම අවදියේ ද තමන්ට සටනට යෑමට නොදීම බෙලහීනකමක් යැයි ඔහුගේ පුත් වූ ගාමණී අභය කුමරු ද සිතුවේ ය.

නමුත් ධර්මතාවයන් වෙනස් කළ නො හැකි ය. ගාමණී අභය එනමින් මනුලොවට එන්නට සියක් වසරකටත් පෙර ම ලෝකය අවබෝධ කළ නිකෙලෙස් මුනිවරයෙකු වූ මිහිඳු මහරහතන් වහන්සේ මේ කුමරු ලක්දිව එක්සේසත් කොට ගෞතම සම්බුදු සසුනේ මහා සෑය කරවන බව දැන්වූහ. එය වදාරන කල්හි ද ලක්දිව තිබුණේ එක්සේසත් ව ය. එනම් ගාමණී අභය කුමරුට පෙර මෙබිම අන්‍ය පාලනයකට නතු වීම විය යුතු ව ම තිබුණි. ඔහු ආක‍්‍රමණිකයා පරදවා රට එක්සේසත් කොට මහා සෑය බුදු සසුනට පිදුම් කළ යුතුව ම තිබුණි. මහමෙව්නා උයනේ ශිලා ස්ථම්භයේ මැනැවින් කොටා තිබුනේ ද එකී නියත පණිවුඩය ම ය. සිදු වූයේ ද එය ම විනා අනෙකක් නො වේ.

මාගම්පුර සේනාවට මහියංගණයේ සිට අනුරාධපුරයට එන්නට අවුරුදු හතරක කාලයක් ගත විය. එ් සා කාලයක් ගනිමින් සිදු කළේ සාහසික යුද්ධයක් නො වේ. නො කර ම බැරි නිසා සිදු කරන, එහෙත් එය තුළ ද අවිහිංසක ජීවන සම්ප‍්‍රදාය උපරිමයෙන් රකිනා නිදහසේ අරගලයකි. ගාමණී අභය රජුට යුද වදින්නට වූයේ දමිළ ආක‍්‍රමණිකයා සමඟ පමණක් නො වේ. අවිහිංසාව ම සම්ප‍්‍රදාය කර ගත් ජීවන ප‍්‍රවාහයක අක් මුල් නො සිඳීම පිණිස ද ඔහු යුද කළ යුතු විය. ඔහු පළමු යුද්ධය සහමුලින් ම ද දෙවන යුද්ධය හැකි උපරිමයෙන් ද ජය ගත්තේ ය. පව් නො කරන ක‍්‍රමයක් විනා පව් කමා කරන ක‍්‍රමයක් ඔවුන්-අප අනුදකින දහමේ තිබුණේ නැත. ඇත්තේ ද නැත. එනිසා තමන් අතින් විය යුතු පුද පූජාවෙන් දහම පුද දුන්නා මිස, තමන් පෝෂණය වූ ජීවන සම්ප‍්‍රදායෙන් ලෝකය පුද දුන්නා මිස පව් කමා කරන්නට කියා ඔහු ගඩොල් ගොඩ ගැසුවේ නැත. එය වනාහී ඉතිහාසය නොදත් ළාමක, බෙලහීන, මානසික දුබලතා සහිත, සමාජයේ අනුකම්පාවට බඳුන් විය යුතු පිරිස් විසින් සමාජගත කිරීමට වෙර දරනා මහා මුසාවකි. කෝටි ගණනින් අගනා මහා වස්තු සම්භාරයක් ද අපරිමිත අගයෙන් යුතු සර්වඥ ධාතූන් වහන්සේලා ද ස්වර්ණමාලී මහා සෑය නම් වූ එ් සුගන්ධ කුටියේ සුවසේ අද ද වැඩ වෙසෙන්නේ එ් වනාහී දහම ඉක්මවා ගොඩනැගූවක් නොවන හෙයිනි. බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, දේවානුභාවයෙන්, රාජානුභාවයෙන් ගොඩනැගූවක් බැවිනි.

භෞතික ව ගත් කල එය ගඩොල් ගොඩක් පමණි. භෞතික ව ගත් කල අපගේ ශරීර ද පස් ටිකකි, ජලය, වාතය සහ උණුසුම ටිකකි. අපගේ පමණක් නො ව සම්බුදුවරුන්ගේ ද රහතන් වහන්සේලාගේ ද ශරීරයන් එසේ ම ය. එහෙත් එසේ වූවා කියා අප ද සම්බුදුවරු හා සම වන්නේ නැත. රහතන් වහන්සේලා හා සම වන්නේ නැත. එසේ නොවීමට හේතුව මේ දහම දන්නවුන්ට මිස හුදු භෞතිකවාදීන්ට හිස් මිනිසුනට අවබෝධ වන්නේ ද නැත. ආචාර්ය, මහාචාර්ය ධුර එකක් නො ව දෙක තුනක් ලැබුව ද නැණවතුන්ට පමණක් විෂය වන මේ ධර්මතාවයන් ඔවුන්ට විෂය වන්නේ නැත. ඉතිහාසයේ ද එවැනි පිරිස් සිටින්නට ඇත. ඔවුන් ගැන වචන මාත‍්‍රයක් හෝ ඉතිහාසයේ නැත. එහෙත් ගාමණී අභය රජු ද ස්වර්ණමාලි මහා සෑය ද ඉතිහාසයේ ද වර්තමානයේ ද එක සේ ම ප‍්‍රකට ව තිබේ. මෙහි ඇති වෙනස තේරුම් ගැනීම ප‍්‍රඥවන්තයන්ට ම අප භාර කරන්නේ එය ප‍්‍රඥවන්තයන්ට පමණක් ම ගෝචර වන නිසා ය.

එහෙත් එක් දෙයක් අවධාරණය කළ යුතු ව තිබේ. ඉතිහාසය නො දැන සිටීමත්, ඉතිහාසය විකෘති කිරීමත් එක සේ ම භයානක ය. ඉතිහාසය නොදන්නවුන්ට එ් ඓතිහාසික ප‍්‍රවාහය සිඳී යන අයුර හෝ වසා දමන අයුර දකින්නට ලැබෙන්නේ නැත. එසේ වැසී යන්නේ ලොව අසමසම වූ ජීවන සම්ප‍්‍රදාය බැව් ඔවුන් දන්නේ ද නැත. එය නො දන්නා අලූත් පරපුර කොතැනින් නවතීවි ද? ඇතැම් විට එ් නැවතීම තුළ අප සුද්දන්ගේ පරපුරක් වී ඉන්දියානුවන්ගේ වහලූන් වී ආක‍්‍රමණ නිසා හැඳි ගෑරුප්පු සහ හමේ සුදු පැහැය අහිමි වී, මේ කොදෙව්වේ සිර වූ මානසික වහල් සිරකරුවන් වන්නට ද බැරිකමක් නැත.

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
භාරත සූරියබණ්ඩාර