ලංකාවේ බුදු දහම පිහිටුවීමේ ගෞරවය යම් තරමට මිහිඳු මාහිමියන්ට හිමිවේ නම් එ් තරමට ම බෞද්ධ සංස්කෘතිය එහි පිහිටුවීමේ ගෞරවය සංඝමිත‍්‍රා මෙහෙණින් වහන්සේට හිමි වන්නේ ය. බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් වූ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වනාහී බෞද්ධ සංස්කෘතියේ ශ්‍රේෂ්ඨතම ජීවමාන සංකේතය යි. සඟමිත් තෙරණින් විසින් ලක්දිව්හි පිහිටුවන ලද මෙහෙණි සංඝයා කල් යාමෙන් නැතිවී ගිය ද එතුමිය විසින් ම සිරිමා බෝ දුමිඳුන් ගෙන ඊමෙන් පිහිටුණු බෞද්ධ සංස්කෘතිය ලක්බිමෙහි මුල්බැස අද දක්වා ම පවතින්නේ ය.

බෞද්ධ පූජනීය වස්තුවකට පුද පූජා පවත්වන හැටි අලූත් බෞද්ධයන් වූ ලාංකිකයන් නො දන්නා නිසා ශ‍්‍රී මහාබෝධි ශාඛාව වැඩමවීමත් සමඟ ම ඊට වත් පිළිවෙත් කිරීමට හා ආරක්ෂාවට අවශ්‍ය පුද්ගලයන් මෙන් ම උපකරණ ද දම්සෝ නිරිඳුන් විසින් ම එවන ලද්දේ ය. අටළොස් කුලයක දේවියන් හා එසේ ම ඇමතිවරුන් ද අට කුලයක බමුණන් හා වෛශ්‍යයන් ද ගෝපාල, තරහල්, කලිඟු, පේශකාර, කුඹල් යන කුලවලට අයත් ජනයා ද සේනා සම්බන්ධ ජනයා ද මෙහි පැමිණීමෙන් ශිල්ප ශාස්ත‍්‍ර හා කලාව ද බෞද්ධ ස්වරූපයෙන් දියුණු වී ගියේ ය. ධර්ම ශාස්ත‍්‍ර අතින් හා ශිල්ප කලා අතින් ලාංකිකයා හැඩගැසුනේ බෝධි ද්‍රැමාගමනය නිසා සැපත් වුණු මේ මහා පිරිසගේ ආශ‍්‍රය නිසා ය. එහෙයින් ලංකාවේ සිංහල සංස්කෘතියේ සම්භවය සිදුවූයේ සංඝමිත‍්‍රාගමනය නිසා ය කීම නිවරද ය. එහි මුඛ්‍ය සංකේතය ජය ශී‍්‍ර මහා බෝධි දක්ෂිණ ශාඛාව යි. සඟමිත් තෙරණින් විසින් සිරිමා බෝ දුමිඳුන් මෙහි නො ගෙනෙන්ට දඹදිවින් එ් ශිල්ප කලා හා ශාස්ත‍්‍ර මෙහි නො පැමිණෙන්ට තිබුණේ ය. එවිට ලාංකිකයාට එ් අතින් හැදියාවක්, දියුණුවක් හැඩගැස්මක් නො ලැබෙන්නේ ය. එම නිසා දුමින්දාහරණයෙන් බෞද්ධ සංස්කෘතියේ ආරම්භය හා වර්ධනය සිදු වූ බව කිවයුතු වන්නේ ය.

සිරිමා බෝ දුමිඳුන් වැඩමවීම
මිහිඳු මාහිමියන්ගෙන් බණ අසා

සෙදගැමි පත් අනුලා ආදි කුමරියන්ට පැවිදිවීමේ රුචිය ඇතිවිය. ස්තී‍්‍රන් පැවිදි කිරීම භික්ෂූන්ට අකැප නිසා මිහිඳු මාහිමි උවදෙසින් දෙවන පෑතිස් නිරිඳුන් විසින් මහාරෂ්ට කුමරුන් ප‍්‍රමුඛ නියෝජිත පිරිසක් භික්ෂුණීන් කැඳවා ගෙන ඊම පිණිස පාටලීපුත‍්‍රයේ අශෝක රජු වෙත යවන ලද්දේ ය. විශේෂයෙන් සංඝමිත‍්‍රා මෙහෙණින් හා බෝධි ශාඛාව ගෙන්වා ගැනීමට මිහිඳු මාහිමියන්නේ උවදෙස් ලැබී තිබුණේ ය. එ් අනුව දම්සෝ රජතුමා නිසි පරිදි ජය ශී‍්‍ර මහා බෝධියෙන් දක්ෂිණ ශාඛාව මුදා ගෙන රන් කටාරමක බහා මහා පෙළහරින් ගංගා නදිය ඔස්සේ තාමුලිප්ති වරාය කරා වැඩමවාගෙන පැමිණියේ ය.

එතැන් සිට බෝ දුමිඳුන්ගේ භාරකාරයා හැටියට සංඝමිත‍්‍රා තෙරණියන් පත්කර තවත් භික්ෂුණීන් 11 නමක් හා රාජකීය කුමරුවන් සහිත සිය ගණනක් මහ පිරිස නැවකට නංවා ලංකාව බලා එවූයේ ය. සතියකින් ලංකාවේ දඹකොළ පටුනට (වරායට) සැපත් වුණු බෝ දුමිඳුන් සහිත මේ පිරිස දෙවන පෑතිස් නිරිඳුන් විසින් මහත් හරසරින් පිළිගෙන අනුරාධපුරය දක්වා මහ පෙළහරින් වැඩමවාගෙන ගියේ ය. අතරමග තිවක්ක නම් බමුණු ගම ද විශාල පිළිගැනීමක් සිදුවිය. බෞද්ධ ප‍්‍රබෝධයෙන් ඇළලී ගිය දෙවන පෑතිස් මහ රජු ප‍්‍රමුඛ මහජනයා සුමන සාමණේරයන්ගේ විශේෂ සංවිධානය පරිදි මහමෙවුනා උයනෙහි බෝධිරෝපණයට කටයුතු පිළියෙළ කළහ. මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රධාන භික්ෂූන්ගේ හා සංඝමිත‍්‍රා තෙරණින්ගේ ද සහභාගිත්වයෙන් බෝධිරෝපණ පූජාව අත්‍යලංකාරයෙන් සිදුවූයේ ය.

බෝධි ව්‍යාපෘතිය

ශී‍්‍ර මහාබෝධි ශාඛා රෝපණයෙන් පසු ගිලිහුණු විළිකුන් ඵලයක් මිහිඳු මාහිමියන් විසින් දෙවන පෑතිස් නිරිඳුන් අතට දෙන ලදී. එයින් හටගත් පැළ අට දඹකොල පටුන, තිවක්ක බමුණු ගම, ථූපාරාමය, ඉසුරුමුණිය, සෑ මළුව, කතරගම, හඳුන්ගම යන ස්ථාන අටෙහි රෝපණය කරවන ලදින් ලක්දිව පුරා බෞද්ධ ප‍්‍රබෝධය පැතිර ගියේ ය. තව ද මේ හැර පැළ 32ක් එ් එ් ප‍්‍රදේශවල රෝපණය කරවා විහාරස්ථාන තනා බෞද්ධ සංස්කෘතිය පතුරුවා හැරියේ ය. මෙතැන් පටන් ලක්දිව බෝ රුකක් ඇති තැන පන්සලක් තැනෙන්නාක් මෙන් ම පන්සලක් ඇති තැන බෝ රුකක් ඇති කිරීම ද ස්වභාවික දෙයක් වන තරමට පැතිරිනි. මහජනයා කෙරෙහි එය ශ්‍රේෂ්ඨතම පූජනීය බෞද්ධ සංකේතය බවට පත් වූයේ ය.

දුමින්දාහරණයෙන් ශිල්ප කලා මෙන් ම සාහිත්‍යය ද දියුණු වූයේ ය. මහාබෝධිවංශය හෙළ බසින් හා පෙළ බසින් ද රචනා කිරීමෙන් තත්කාලීන පඬිවරු සාහිත්‍ය නිර්මාණය කළහ. එපමණක් නොව ‘‘බෝධි” යන වචනය සිංහල ජාතියේ සංස්කෘතික උපාධියක් බවට ගෞරව නාමයක් බවට පත්විය. මහබෝ ගෙනා රාජකීය පිරිස
”බෝධිභාර කුල” නමින් වෙනම වංශයක් ලෙස හඳුන්වනු ලැබී ය. සිරි සංඝබෝධි, අග‍්‍රබෝධි, බෝධිපාල, බෝධිනාග, බෝධිරතන ආදි ආර්ය නාමයන් බෝධි යන්න සම්බන්ධව නිපයී ඇත. බෝතොට, බෝපිටිය, බෝගොඩ, බෝපේ, බෝගම, බෝවත්ත ආදි ග‍්‍රාම නාම රාශියක් බෝ යන්න මුල්කොට පවතී. මෙසේ ශී‍්‍ර මහා බෝධිය සිංහල ජාතිය කෙරෙහි සංස්කෘතික වශයෙන් කැවී ගියේය .

ස්තී‍්‍ර පක්ෂයට ගෞරවයක්

මිහිඳු මහරහතන් වහන්සේගේ දහම් අසා ප‍්‍රථම කොට මාර්ග ඵලයක් ලැබුවේ අනුලා බිසවුන් ආදි ස්තී‍්‍රන් බවට ඉතිහාසගත ය. එනම්, මාහිමියන් දෙසූ විමාන වස්තු, පේත වස්තු, සච්ච සංයුත්ත ධර්මදේශනාව අසා දෙවන පෑතිස් මල් මහානාම යුවරජුගේ මෙහෙසි වූ අනුලා කුමරිය හා 500ක් ස්තී‍්‍ර සමූහයා සෝවාන් ඵලයට පත් වීම යි. එසේ ම ප‍්‍රථම වරට සකෘදාගාමී ඵලයට පත්වූයේ ද ස්තී‍්‍රන් වූ ඔවුහු ම ය. එනම්, මිහිඳු මාහිමියන් දෙසූ වේළුවනාරාම පූජා කථාව අසා ඔවුන් සෙදගැමි වීමයි. තව ද ලක්දිව දී බුදු සස්නේ පළමු කොට පැවිද්ද බලාපොරොත්තු වූයේ ද ස්තී‍්‍රහු ය. එනම් සෙදගැමි පත් අනුලා ආදි 500ක් කුමාරිකා පිරිස මිහිඳු මාහිමයන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටීම යි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සඟමිත් තෙරණියත්, ශී‍්‍ර මහා බෝධි ශාඛාවත්, ශිල්පීන්, කලා විශාරදයන්, උගතුන් ආදි මහා පිරිසක් දඹදිවින් ලක්දිවට පැමිණීමෙන් ලංකා බෞද්ධ සංස්කෘතියේ පදනම වැටුනේ ය. එම නිසා ලංකාවේ බුද්ධ ශාසනයත්, සංස්කෘතියත් පිළිබඳ ව විශේෂ ගෞරවයක් සිංහල ස්තී‍්‍ර පක්ෂයට හිමි වන්නේ ය.

මහාබෝධි පුරාණය

අදත් පවතිනා ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයේ මහමෙවුනා උයනේ පිහිටුවීම විය යුත්තක් ම විය. එය ලංකාවේ උරුමයකි. පූර්ව බුදුන් කල ද මහාබෝධි ප‍්‍රතිෂ්ඨාපනය මෙහි ම සිදුවී ඇත. මේ මහා භද්‍ර කල්පයෙහි බුදු වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන පූර්ව බුදුවරුන්ගේ ද බෝධි ශාඛා මෙහි පිහිටුනු හැටි සාහිත්‍යගතව ඇත්තේ ය. සටහනකින් එය මෙසේ ද දක්වනු ලැබේ.

මහාමේඝ 2015 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පත් සමාගම විසින් 1963 වර්ෂයේ දෙසැම්බර් මස පල කරන ලද. ‘රසවාහිනී’සඟරාවෙන් උපුටා ගන්නා ලදී.

හෑගොඩ ඛේමානන්ද (ඇම්.ඒ) හිමි විසිනි.