‘වංතලෝකාමිස’ කියන්නෙ අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමක්. කාම ගුණ බැහැර කළ නිසා යි භාග්‍යවතුන් වහන්සේට එ් නාමය යොදන්නේ. මොනව ද මේ කාම ගුණ කියන්නෙ? රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස කියන මේවායි කාම ගුණ කියන්නේ. එතකොට එ් කාම ගුණ අපිට ග‍්‍රහණය වෙන්නෙ මොනවායින් ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් නේ ද? අන්න එ් විදිහට ග‍්‍රහණය වෙන සියල්ල හිතට යන්නෙ නිමිති, අනුනිමිති හැටියටයි. අන්න එ් අර්බුදය අපේ අභ්‍යන්තර ලෝකය ම වෙලා ගන්නව. එ් නිසා පැටලෙන පැටලවිල්ල අපිව සංසාරෙ දීර්ඝ කාලයක් අරගෙන ආව. තව නො පෙනෙන අනන්ත දුරක් යන්න තියෙනව. කාමය කියන්නෙ ආස්වාදයක් තියෙන දෙයක්.
රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන මේ පංච කාම ගුණවලට කියන්නෙ ආමිස කියලයි. අන්න එ් ආමිස අරමුණු කර ගත්, ආමිස සහිත වූ සැප විඳීමක් විඳින කොට එයා එ් ආමිසය ඇසුරු කරන්නේ මුළා වූ සිතකින්. එයා ඇසට, කනට, නාසයට, දිවට, කයට එන නිමිති අනුනිමිති ඔස්සේ මුළා වූ සිතින් අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනව. එ් නිමිතිවලට ඇලිලත් අයෝනිසෝ මනසිකාරය කරනව, ගැටිලත් අයෝනිසෝ මනසිකාරය කරනව, මුළා වෙලත් අයෝනිසෝ මනසිකාරය කරනව.
‘‘නිරාමිස” කියන්නෙ කලින් කී ආමිසයෙන් වෙන් වීමයි. මෙන්න මේ නිරාමිස ඇසුර විසිනුයි කෙනෙක්ගේ සිත නෙක්ඛම්මයට නැඹුරු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපට මේ විදිහට කියා දෙනවා.
‘‘ආනන්දය, යම් කෙනෙක් මෙසේ පවසන්නට පුළුවනි. ‘සත්වයන් එ්කායන පැතුම වශයෙන් තබාගෙන විඳින්නේ මේ පංච කාම ගුණයෙන් ලබන්නා වූ සැපය යි, සොම්නස යි’ කියා කියනවා නම්, මා එය අනුමත කරන්නේ නෑ. මක් නිසා ද යත්; පින්වත් ආනන්දය, මේ කාම සුඛයට වඩා සුන්දරතර වූත්, ප‍්‍රණීතතර වූත් වෙනත් සැපයක් තියෙනවා. ආනන්දය, මේ කාම සුඛයට වඩා සුන්දරතර වූත්, ප‍්‍රණීතතර වූත් වෙනත් සැපය කුමක් ද? ආනන්දය, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත්, ප‍්‍රීති සුඛය ඇති ප‍්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරනවා. ආනන්දය, එ් කාම සුඛයට වඩා සුන්දරතර වූත්, ප‍්‍රණීතතර වූත් වෙනත් සැපය නම් මෙය යි.”
(බහුවේදනීය සූත‍්‍රය, ම. නි. – 2 – ගහපති වර්ගය – 2.1.9.)
එහෙනම් නෙක්ඛම්ම ලෝකයේ ‘සැපය’ කියන්නෙ ධ්‍යාන සැපයටයි. බලන්න මේ බුද්ධ වචනය.
‘‘උදායී, මේ ධ්‍යාන සැපයට කියන්නේ නෙක්ඛම්ම සුඛය කියල යි. පවිවේක සුඛය කියල යි. සන්සිඳීමෙන් ලත් සුඛය කියල යි. අවබෝධයෙන් ලත් සුඛය කියල යි. මෙම ධ්‍යාන සැපය සේවනය කළ යුතුයි. වැඩිය යුතුයි. බහුල වශයෙන් වැඩිය යුතුයි. මෙම ධ්‍යාන සුඛයට භය නො විය යුතුයි කියල යි මා කියන්නේ.”
(ලටුකිකෝපම සූත‍්‍රය, ම. නිත – 2 – භික්ඛු වර්ගය – 2.2.6.)
නෙක්ඛම්ම ලෝකයේ මිහිරි සැපය වන ධ්‍යාන සැපය අත් විඳින්න අවස්ථාවක් නො ලැබෙන්නේ කාම ලෝකයේ සැපය වෙනුවෙන්, එ් සැපය උපද්දවනු පිණිස ජීවත් වෙන රටාවකට අපි උරුමයෙන් ම හිර වෙලා වාසය කරන නිසයි. එ් කාම සැපය සෙවීමේ අර්බුදය තුළ හිරවීමෙන් අත්මිදෙන්නට කෙනෙක්ට කැමැත්ත ඇති වුණත් එයාට එ්ක කර ගන්න වීරියක් නෑ, වටා පිටාවක් නෑ, උපකාරයක් නෑ. කාම ලෝකයේ එදිනෙදා කටයුතු කර ගන්න බැරි වුණොත් කන්න බොන්නවත් නැති විදිහට අසරණ කරලයි තියෙන්නෙ.
දවසක වැඩ කටයුතු යෙදිල තියෙන්නෙ කාම ලෝකයෙන් ලැබෙන ආස්වාදය ඔස්සේ එ් ආස්වාදය හොයන්න නියම කරපු ලෝකයක් ඔස්සේ යි. එ්ත් කාමයේ ආදීනවයක් තියෙනව, එ් කාමයන්ගෙන් නික්ම යාමක් තියෙනව කියන කාරණය හිතකට දකින්න පුළුවන් මේ ධර්මය ඇසීමෙන් ම යි. කාමයන්ගේ ආදීනවයක් නිස්සරණයත් නො දකින හිත රූපයේ වහල් බවටයි පත් වෙලා ඉන්නෙ. එ් වගේ ම ශබ්දයේ, ගඳ සුවඳේ, රසයේ, පහසෙ වහල් බවට පත් වෙලා ඉන්නෙ. මෙන්න මේ විදිහට කාමයේ අර්බුදය අපේ හිතේ හැදෙනව. එ් හැදිල අපි කාම ලෝකයේ වහලූන් වෙලා ජීවත් වෙන්නෙ මේ නිසා යි. බුදුරජාණන් වහන්සේ කියා දෙනව,
‘‘පින්වත් මහණෙනි, කාමයන්ගේ ආස්වාදය කියල කියන්නෙ මොකක් ද? පින්වත් මහණෙනි, මේ කාම ගුණ පහක් තියෙනවා. එ් පහ මොනවා ද? ඇසෙන් බලන රූප තියෙනවා බොහොම ලස්සන, සිත් ඇද ගන්න, කැමැත්ත ඇති වෙන, රාගය ඇති වෙන. කනෙන් අහන ශබ්ද තියෙනවා, නාසයෙන් දැන ගන්න ගඳ-සුවඳ තියෙනවා, දිවෙන් දැන ගන්න රස තියෙනවා, කයට දැනෙන පහස තියෙනවා බොහෝ ම හොඳ, සිත් ඇද ගන්න, කැමැත්ත ඇති වෙන, රාගය ඇති වෙන. පින්වත් මහණෙනි, ඔය පහට කියන්නෙ කාම ගුණ කියලයි. ඉතින් පින්වත් මහණෙනි, මේ කාම ගුණ පහ හේතු කරගෙන යම් කිසි සැපක්, සොම්නසක් ඇති වුණොත් එ්ක තමයි කාමයන්ගේ ආස්වාදය.”
(මහා දුක්ඛක්ඛන්ධ සූත‍්‍රය – ම. නි. – 1 – සීහනාද වර්ගය)
‘මෙන්න මේ ආස්වාදය තමයි ජීවිතය’ කියන සංකල්පයේ ඉන්න තාක්, ජරා මරණ නම් වූ අවබෝධය ඇති කර ගැනීමේ අවස්ථාව අපි අහිමි කර ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයාට නෙක්ඛම්ම ලෝකය සඳහා ෙදාර විවර වෙන්නේ ජරා මරණ සිහි කිරීමෙන්. ජරා මරණ සිහි කිරීමෙන් නෙක්ඛම්මයට ඇති කැමැත්ත, ඡුන්දය දියුණු වෙන්න පටන් ගන්නවා. නෙක්ඛම්ම විතර්ක පවත්වන්න පවත්වන්න ඔහුගේ ජීවිතයේ සත්‍යය දකින්න අවස්ථාව ශ‍්‍රාවකයාට හිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා,
”පින්වත් මහණෙනි, හිතේ ස්වභාවය මේකයි. බහුල වශයෙන් යම් ම දෙයක් සිතනවා නම්, කල්පනා කරනවා නම්, හිත හිතා ඉන්නවා නම් එ් පැත්තට ම යි සිත නැමිලා තියෙන්නෙ. පින්වත් මහණෙනි, ඉතින් භික්ෂුවක් සිත සිතා ඉන්නෙ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නෙ නෙක්ඛම්ම විතර්ක නම්, කාම විතර්ක ඇති වෙන්නෙ නෑ. බහුල වශයෙන් ඇති වෙන්නෙ නෙක්ඛම්ම විතර්ක ම යි. එතකොට ඔහුගේ සිත නැමිල තියෙන්නෙ නෙක්ඛම්ම විතර්කවලට ම යි.
(ද්වේධා විතක්ක සූත‍්‍රය – ම. නි. – 1 – සීහනාද වර්ගය )
මොනවද මේ නෙක්ඛම්ම විතර්ක කියන්නෙ? කාමයන්ගෙන් තොර දේ, බුද්ධ වචනයට අනුව ලෝකය ගැන සිතන දේ, යෝනිසෝ මනසිකාරයට අයත් දේ තමයි නෙක්ඛම්ම විතර්ක වෙන්නේ. බලන්න නෙක්ඛම්ම විතර්කයක් වන අසුභය ගැන භාග්‍යවතුන් වහන්සේ කියා දෙන ධර්ම කාරණය ගැන..
‘‘එ් භික්ෂුවට කාමයන්ගෙන් නික්මීම වූ අසුභය මෙනෙහි කරද්දී එ් නෙක්ඛම්මයෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ එ් සිත මැනැවින් නෙක්ඛම්මයට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. කාමයන්ගෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් කාමයන්ගෙන් විසංයුක්ත වූයේ ය. කාමයන් හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ‍්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ එ් කාම වේදනාව නො විඳියි. මේ අසුභ සමාධිය කාමයන්ගේ නික්ම යෑම යැයි කියන ලදී.”
(සංගීති සූත‍්‍රය – දී. නි. – 3 – පාථික වර්ගය)
අපේ ජීවිතයේ ළමා කාලය මතක ද? කාම විතර්ක කියන හැඟීම තියෙනව ද? මේ කාලයේ වුණත් නිරාමිස විවේකයෙන් ඉන්න අවස්ථාවක් ගැන සිහි කරන්න. නැත්නම් අසපුවකට ගිහින් වත් පිළිවෙත් ආදිය කරන අවස්ථාවක් හෝ දහම් වැඩසටහනක දී බණ භාවනා කරන අවස්ථාවක් සිතන්න. එතකොට කාම විතර්ක පවත්වනව ද අපි? නැහැ නේ ද? පරිසරයෙන්, ඇසුරු කරන පිරිසෙන් ලැබෙන අනුග‍්‍රහය නිසා තමයි එ් නෙක්ඛම්ම අදහස් පවත්වන්න අපට උනන්දුවක් තියෙන්නෙ. එ්ත් අපි හිතුවොත් ”ආ දැන් මට කාම විතර්ක එන්නෙ නෑනෙ” කියල අපි හිතට මුළා වෙනව. බලන්න බුදුරජාණන් වහන්සේ මේ කාරණය හෙළි කරනව.
‘‘මාලූංක්‍යපුත්ත, උඩු අතට නිදන ඉතා ළාබාල ළදරුවෙකුට ‘කාමය’ කියන හැඟීමවත් නෑ. එහෙම එකේ ඔහුට කාමයන්හි ‘කාමච්ඡුන්දය’ උපදින්නෙ කොහොම ද? ඔහුට කාමච්ඡුන්දය පවතින්නෙ ප‍්‍රකට නො වී අභ්‍යන්තරිකව පවතින දෙයක් (අනුසය) හැටියට යි.”
(මහා මාලූංක්‍ය සූත‍්‍රය – ම. නි. – 2 – භික්ඛු වර්ගය – 2.2.4.)
හිතේ හැංගිච්ච අකුසල් තිබිය දී ‘‘අකුසල් දුරු වෙලා” කියා ඇතිවන හැඟීම මහා භයානක එකක්. තමා ජීවත් වෙන පරිසරයේ අනුග‍්‍රහය නිසා කාමයන් දුරු වෙලා වගේ හැඟීමක් අපිටත් ඇති වෙන්න පුළුවන් නේ ද? අන්න එ් අනතුර නො වෙන්න නම් අපි අවංක භාවය උපදවා ගන්න ඕනැ. අනුන්ගේ අවවාද අහන කීකරු භාවය උපදවා ගන්න ඕනැ. අන්න එයාට අවස්ථාව ලැබෙනව, අන් අයගේ අවවාද පිළිගෙන තමන්ට නො පෙනෙන අකුසල් පිරිසිදු කර ගන්න. අන්න එයා කාමයන්ගෙන් තොර නෙක්ඛම්ම ලෝකය තමා තුළ ඇති කර ගන්නට උත්සාහ කරනව. එ් ශ‍්‍රාවකයාට දකින්න පුළුවන් ‘මේ හිරිහැර සියල්ල කාමයන් නිසා නේ ද?’ කියල. කාමයන්ගෙන් තොර ලෝකයක් උදෙසා තමාට කාමයන් එන ෙදාරටු සංවර කරගෙන ඉන්ද්‍රිය සංවරයට පත් වෙනව. අන්න එයාට කය වචනය සිත පිරිසිදු වෙන්න ගන්නව. එයා තථාගතයන් වහන්සේගේ ආරක්ෂිත භූමිය හෙවත් සතර සතිපට්ඨානයට පිවිසිලා එ් අමා මහ නිවන් දොරටුව දෙසට ගමන් කරන ශ‍්‍රාවකයෙක් වෙනව.
මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK
මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.
Recent Comments