අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකවිදු නුවණින් අවබෝධ කොටගෙන වාසෙට්ඨ, භාරද්වාජ භික්ෂූන් වහන්සේලාට දේශනා කොට වදාළ අග්ගඤ්ඤ සූත‍්‍රයේ දී අචින්ත්‍ය වූ ලෝක විෂයෙන් බිඳක් ගෙන හැර දක්වමින් ලෝකයත්, මනුෂ්‍ය වර්ගයාත් විකාශය වූ ආකාරය පිළිබඳ ව කර ඇති පැහැදිලි කිරීම අතිශයින් සිත් ගන්නා සුලූ ය. ජනතාව විසින් තම පාලකයා ලෙස පත් කර ගනු ලැබූ මහා සම්මත රජු සමාජය පවත්වාගෙන යාමටත්, වැරදි කරන්නවුන්ට දඬුවම් ලබා දීමටත් අවශ්‍ය විධි විධාන සැලැස්වී ය. අද අපට හමුවන නීති පද්ධතිවල මූලාරම්භය එය බවට නිසැක ය. වර්තමානයේ ව්‍යවහාරික නීති විද්‍යාවේ දී ‘නීතිය’ යන්න නිර්වචනය කරනු ලැබ ඇත්තේ කිසියම් සමාජයක ප‍්‍රජාව විසින් එහි සාමාජිකයන්ගේ චර්යාවන් නියාමනය කිරීම සඳහා කල් වේලා ඇති ව නියම කර ගත් කිසියම් රෙගුලාසි මාලාවකින් සමන්විත ක‍්‍රමවේදයකි.

ව්‍යවහාරික නීතිය ගැන සිතන කෙනෙකුට වහා සිතට නැංවෙන්නේ උසාවිය, විනිසුරුවරුන්, නීතීඥවරුන්, දඬුවම්, පැමිණිලිකරුවන්, චූදිතයන්, පොලිසිය ආදි සටහන් මාලාවකි. වැරදිකරුවන් සොයා ඔවුන්ට දඬුවම් දීම මඟින් ජන සමාජයේ යුක්තිගරුක ව ජීවත් වන්නවුන් ආරක්ෂා කර ගැනීම නීතියේ ප‍්‍රමුඛ කාර්යභාරයකි. අපරාධ නීතිය හා සිවිල් නීතිය යනුවෙන් නීතිය ප‍්‍රධාන ප‍්‍රභේද දෙකකට වෙන් කෙරේ. දණ්ඩණීය දඬුවමකින් දඬුවම් කිරීමට සිදු වන වැරදි පිළිබඳ ව කටයුතු අපරාධ නීතියේ අවධානයට ලක් කෙරෙන අතර වන්දියකින්, නිවැරදි කිරීමකින්, බේරුම්කරණයකින් අවසන් කෙරෙන වැරදි සහ ආරවුල් පිළිබඳ කටයුතු සිවිල් නීතියේ අවධානයට ලක් කෙරේ. අධිකරණය ඉදිරියට පමුණුවන අපරාධ නඩුවක ඔප්පු කිරීමේ භාරය පැමිණිල්ල වෙත පැවරේ. කෙටියෙන් සලකතොත් චූදිතයෙකු වැරදිකරුවෙකු බවට නිගමනය කරන්නට නම් අදාළ චෝදනාවන් පැමිණිලි පාර්ශවය විසින් සාධාරණ සැකයකින් තොර ව ඔප්පු කළ යුතු ය. සිවිල් නඩුවක දී විනිශ්චයකට එළඹෙන්නේ වැඩි බර සාක්ෂි පදනම් කරගෙන ය.

බි‍්‍රතාන්‍ය පාලන කාලය තුළ හඳුන්වා දෙනු ලැබූ දණ්ඩ නීති සංග‍්‍රහය මෙරට අපරාධ නීතිය හසුරුවන ප‍්‍රධාන නීති මූලාශ‍්‍රයයි. වන ආඥා පනත, සුරා බදු ආඥා පනත වැනි වූ තවත් අණ පනත් රාශියකින් ද අපරාධ චෝදනා ගොනු කෙරෙතත් පුද්ගලයන් රජයට එරෙහි ව, මනුෂ්‍ය ශරීරයට එරෙහි ව, පුද්ගලයන්ගේ දේපළවලට එරෙහි ව සහ ජන සමාජයට එරෙහි ව කරනු ලබන වැරදි අති බහුතරයක් ආවරණය වන්නේ දණ්ඩ නීති සංග‍්‍රහයෙනි.

වැරදි කරන්නන් බවට පත්වන චූදිතයෙකුට එරෙහි ව නියම කළ හැකි දඬුවම් දණ්ඩ නීති සංග‍්‍රහයේත්, වෙනත් අපරාධ ආවරණය කෙරෙන ආඥා පනත්වලත් නිශ්චිත ව සඳහන් කර ඇත. මරණීය දණ්ඩනය, බරපතළ වැඩ සහිත සිර දඬුවම්, ලිහිල් සිර දඬුවම්, දඩ ගැසීම, දේපළ අහිමි කිරීම, කස පහර දීම ප‍්‍රධාන දඬුවම් ක‍්‍රම ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් වේ. දණ්ඩ නීති සංග‍්‍රහයට 2005 වර්ෂයේ දී ගෙන එනු ලැබූ සංශෝධනයකින් කස පහර දීමේ දඬුවම අහෝසි කරනු ලැබූ අතර 1995 සහ 2006 ආදි වර්ෂවල ගෙන එනූ ලැබූ සංශෝධනවලින් ස්ත‍්‍රී දූෂණය, ව්‍යභිචාරය වැනි වැරදිවල දී වින්දිතයාට වන්දි ගෙවීමට ප‍්‍රතිපාදන සැලසෙන දඬුවම් අලූතෙන් හඳුන්වා දෙන ලැබ ඇත. චූදිතයන් වැරදිකරුවන් කෙරෙන සුළු වැරදිවලට නියම කෙරෙන කෙටිකාලීන සිර දඬුවම් සහ සුළු දඩ ගැසීම්වලට විකල්පයක් වශයෙන් ප‍්‍රජා සේවාවක් ඉටු කිරීම, පුනරුත්ථාපන ක‍්‍රමවේදයක් ලෙස 1999 අංක 49 දරන ප‍්‍රජාපාදක විශෝධන පනත දණ්ඩන නීතියේ නව ප‍්‍රවේශයක් ලෙස සැලකිය හැකි ය. බන්ධනාගාරගත කරනු ලැබූ රැුඳවියන්ගේ යහපත් කල්ක‍්‍රියාව මත ගෙවී යන සිර දඬුවම් සමා කාලයක් ලබා දීම, තම නිවෙස්වලට ගොස් දින කිහිපයක් ගත කොට ආපසු පැමිණීමට ඉඩ දීම, වෘත්තීය පුහුණු සහ රැුකියාවල යෙදවීම, සමාජගත කිරීමේ වැඩපිළිවෙළවල් ආදි යම් යම් සුභසාධක සේවාවන් හඳුන්වා දී ඇතත් මෙරට දණ්ඩන නීතියේ ‘දඬුවම’ දඬුවමක් ම වේ. ‘වැලිකඩ’ යන නම පටබැඳී ඇත්තේ බරපතළ සිර දඬුවම් ලැබූ පුද්ගලයන් වැලි පිරවූ වැලි කදක් කර තබාගෙන උඩ පහත සක්මන් කළ ප‍්‍රදේශය නිසා බව ප‍්‍රචලිත ය. කිසියම් ඵලවත් ආර්ථික ක‍්‍රියාවක් නො වූවත් හුදෙක් දඬුවමක් ලෙස පීඩා දෙන කාර්යයක් සිදු කරවීම එහි අරමුණ වී ඇත.

බුදු දහමෙන් ප‍්‍රකට කෙරෙන බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ශික්ෂණ ක‍්‍රම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසට අදාළ වේ. විනය පිටකයේ ඉතා සියුම් ව දක්වා ඇති ශික්ෂාවන්ගෙන් භික්ෂු භික්ෂුණීන් බැඳෙන අතර පංච සීල ශික්ෂාපද හර පද්ධතියෙන් බෞද්ධ උපාසක උපාසිකාවන් බැඳේ. උපසපන් මහා සඟ පිරිසට පනවන ලද විනය සිල් පද ප‍්‍රමාණයෙන් විශාල වුවත් සාමණේර පැවිද්දන්ට දස සීලයේ හික්මීමක් පනවන ලදී. සමස්තයක් ලෙස සලකා බලන කල බෞද්ධ විනය ක‍්‍රමයේ මූලික පදනම වනුයේ කරුණාව, මෛත‍්‍රිය, උපේක්ෂාව සහ කුසල් සිත් උපදවා දී වරද නිවැරදි කිරීම යන ආකල්ප යි. වරදක් සිදු වූවෙකු දඬුවමකට ලක් කොට විනාශ කර දමනවාට වඩා ඔහු කෙරෙහි ද මෛත‍්‍රිය පතුරා යහමඟට ගැනීමට වෙර දැරීම බෞද්ධ නීතියේ පදනම ය. බුදුරදුන් කෙරෙහි ඇති කර ගත් වෛරයෙන් දෙව්දත් සිදු කළ වැරදිවලට ඔහු කෙතරම් නම් සමාව ලැබුවේ ද? දරුණු මිනීමරු අපරාධකරුවෙකු ලෙස රාජ නීතිය හමුවේ මරණය අබියස සිටි අඟුල්මල් සොරුට නිවැරදි මඟට එළඹීමෙන් මහරහත් භාවයට පත් වීමට පවා අවස්ථාව සැලසුණි.

සැකෙවින් විස්තර කළහොත් උපසපන් භික්ෂුවක් පරාජයට පත් වීමට තුඩු දෙන වැරදි සතරක් විනය පිටකයේ සඳහන් වේ.

1. මෙවුන්දම් පරිජි නම් වූ මෛථූන සේවනයේ යෙදීම
2. අයිනාදන් පරිජි නම් වූ සොරකමෙහි යෙදීම
3. මිනිස්විකා පරිජි නම් වූ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම
4. උතුරු මිනිස්දම් පරිජි නම් වූ බුහුමන් තකා තමා ළඟ නැති ධ්‍යාන ආදී උත්තරීතර ගුණ ඉස්මතු කර දැක්වීම

එකී සතර පාරාජිකා අතුරින් වරදක් සිදු කළහොත් තවදුරටත් උපසපන් භික්ෂුවක් ලෙස ශාසනයේ රැඳී සිටීමට ඉඩක් නො ලැබේ. එවැනි බරපතළ වරදක් කළ භික්ෂුවකට වුව ද සංඝ සමාජයෙන් බැහැර ව සිටිමින් නිවන් මාර්ගය පුරුදු කිරීමට බාධාවක් නැත.

සිල්පදයක් කැඞී යාම වැනි ‘සීල ආපත්තියක්’ (ඇවතක් ) සිදු වූ විට භික්ෂූන් වහන්සේ විසින් කළ යුතු වැදගත් ම කාරණය විවෘත වීමයි. එනම් එම වරද භාග්‍යවතුන් වහන්සේ හෝ නුවණැති සබ‍්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙකු හමුවේ විවෘත ව ප‍්‍රකාශ කොට නැවත එය නො කරන බවට සපථ කිරීමකි. පහත සඳහන් උදාන ගාථාවෙන් කියවෙනුයේ ද සිල් පදයක් කැඞී ගිය විට එය ලෝකයෙන් සඟවාගෙන සිටීමෙන් කෙලෙස් වැස්සට තෙමී විනාශ වන බව හා සීල ආපත්ති (වැඩිහිටි සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාට) විවෘත වීමෙන් එම විනාශය නොවන බව යි.

‘‘ඡන්නමතිවස්සති,
විවටං නාතිවස්සති;
තස්මා ඡුන්නං විවරේථ,
එ්වං තං නාතිවස්සතී’ති”

‘‘වරද වැහැව්වොත් (කෙලෙස්) වැස්ස වහිනවා. විවෘත වුණොත් කෙලෙස් වැස්ස වහින්නේ නෑ. එ් නිසා වැසුණු වරද හෙළිදරව් කරන්න. එතකොට (කෙලෙස්) වැස්ස වහින්නේ නෑ.“

බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙකු අතින් සිල් පදයක් කැඩී යාම වැනි දෝෂයක් සිදු වූ විට විවෘත වීමෙන් කිසියම් දඬුවමකට යටත් වීමට සිදු වුවත් එම දඬුවම වත්පිළිවෙත් කිරීම හෝ සංඝයාට උපස්ථාන කිරීම වැනි දඬුවමකින් පිරිසිදු වීමට සීමා වේ. එබඳු ඇවැත් (ආපත්තියට පත් වීම්* සඟවාගෙන පමා කළහොත් වත්පිළිවෙත් කිරීම හෝ සංඝයාට උපස්ථාන කිරීම වැනි දඬුවම්වල කාලය දීර්ඝ විය හැකි ය.

බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ඉතා බලවත් දඬුවම් ක‍්‍රමයක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එනම් බ‍්‍රහ්ම දණ්ඩනය පැනවීමයි. වරෙක උඩඟුකමෙන් තම තරම වටහා නො ගත් ඡන්න භික්ෂුවට බුදුරජාණන් වහන්සේ පනවනු ලැබුවේ බ‍්‍රහ්ම දණ්ඩනයයි. කෙනෙකු සමග පිරිසේ අනෙක් අය කථා බහ නො කොට සිටීම ශාරීරික ව දෙන දඬුවමකට වඩා මානසික ව දැඩි බලපෑමක් ඇති කරවන්නකි. තමා කළ වරද තමාට ම වටහාගෙන නිවැරදි මඟට පැමිණීමට ඉතා හොඳ ප‍්‍රස්තාවක් ඉන් සැලසේ. නිසැක ව ම එය බෞද්ධ චාරධර්මවල නිවැරදි කිරීමේ ක‍්‍රමවේදයකි.

ව්‍යවහාරික නීතියේ දී පමුණුවන දඬුවම් පුද්ගලයෙකුට දැඩි පීඩාවක් ගෙන දෙන්නකි. දඬුවම් ක‍්‍රියාත්මක වන්නේ ද බොහෝ විට සමාන ව සහ සාධාරණ ව නොවේ ය යන්න ද ප‍්‍රචලිත මතයකි. සිර දඬුවමකට ලක්වන්නෝ කායික මෙන් ම මානසික පිඩාවන්ට ද ලක් වෙමින් මහත් පසුතැවිල්ලෙන් සිර මැදිරි තුළ කල් ගත කරති. සාමාන්‍ය වරදකට සිරගත වන පුද්ගලයන් බන්ධනාගාරය තුළ දී හමුවන නරක ආශ‍්‍රය නිසා වඩාත් නරක පුද්ගලයෙකු බවට පත්වන අවස්ථා සුලබ ය. සිරකරුවා එක් අතකින් සිර මැදිරියේ දඬුවම් විඳින අතර ඔහුගේ දෙමාපියන්, බිරිය, දරුවන් අන්ත අසරණ භාවයට පත් වෙමින් සමාජ පීඩාවන්ට ද ලක් වීම වැළැක්විය නො හැක. වටිනා ශ‍්‍රමයක් රටට අහිමි වෙයි. සිර ගෙවල් පිරෙමින් තිබේ. ඔවුන් පෝෂණය කිරීම රජයට ද බරකි. අවසාන වශයෙන් සිරකරුවන් නඩත්තු කරන්නේ ද රටේ අහිංසක ජනතාවගේ මුදලින් ම වේ. කරුණාව, මෛත‍්‍රිය පතුරුවා පුද්ගලයන් නිවැරදි මාර්ගයට යොමු කිරීම පදනම් කර ගත් බෞද්ධ නීතිය මඟින් ව්‍යවහාරික නීතිය වඩ වඩාත් වෙනස් මඟකට යොමු කිරීමේ කාලය එළඹ ඇතැයි සිතේ.

මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
තරුණ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල