හිතමිතුරු අනන්ත සොයා භාවනා අසපුවක් වෙත ගිය බිනරගේ ජීවිතය නො සිතූ විරූ පරිදි වෙනස් වන්නට පටන් ගත්තේ පුදුමාකාර ලෙසට ය. පාසලෙන් සමුගෙන ධර්මය සොයා ගිය මිතුරා පසුපසින් පියවර තැබූ බිනර ද එ් උතුම් දහමේ ඇසුර ලබන්නට පින්වන්තයෙකු විය.වත් පිළිවෙත් කරමින් ගිහි පැවිදි ජීවිත තුළ පින් රැස් කරගත හැකි ආකාරයත්, යහපත් උපස්ථායකයෙකු විය හැකි අයුරත්, සියල්ලන් නියතව මුහුණ දෙන මරණය ‘සුන්දර මරණයක්’ බවට පත් කළ හැකි අයුරත් අපට ද පසක් කරදෙන්නට බිනරගේ සිත නිවා සැනසූ එ් දහම සමත් විය. දස්සනානුත්තරීය වූ එ් සංඝයා වහන්සේලා බිනරට සේ ම අපට ද සසර දෝෂයන්ගෙන් පීඩා විඳින මේ ජීවිත ගුණධර්මයන්ගෙන් සුවපත් කරගත හැකි උත්තම මාර්ගය පෙන්වා දෙයි. කසාවතේ මේ පස්වන දිග හැරුම ද එ් වෙනුවෙනි.
———————————————————————————–

භික්ෂු ගිලන්හලේ වත්පිළිවෙත් අවසන් වූයේ දහවල් දානය සඳහා වේලාව පැමිණීමෙනි. බුරුත වැනි ශක්තිමත් දැවයකින් සකසන ලදැයි කිවහැකි, අඩි 4ක් පමණ උස, එක් පසෙක ඔරුවක් මෙන් ඇතුළට හාරා මැනවින් ඔපදමා සකසන ලද යමකට, තවත් ශක්තිමත් මිටියක් වැනි පොල්ලකින් පහර දී දානය සඳහා වේලාව දැනුම් දෙන්නට විය. ක‍්‍රමානුකූල ව වැඩි වී ක‍්‍රමානුකූල ව අඩුවන පරිද්දෙන් එම සංඥාව ලබා දීම සඳහා අඩු ම වශයෙන් විසිවතාවක්වත් ඊට පහර දෙන්නට ඇති බව මා හට හැඟුණි. එය ‘ගෙඩිය’ වශයෙන් හඳුන්වන්නේ යැයි මම අනන්තගෙන් දැනගත්තෙමි.

මෙවර අනන්ත මා රැගෙන ගියේ අසපු භූමියේ වනය තුළ වූ වෙනත් කුටියක් වෙතට ය. දානය වේලාව පැමිණ තිබුණත් එම කුටියේ වාසය කළ ස්වාමීන් වහන්සේ දානය සඳහා වැඩම කිරීමට කිසිදු සූදානමක් නැති බව පෙනෙන්නට විය. ඉතා ම සන්සුන් සිතින් සක්මන් මළුවේ සක්මන් කරමින් සිටි උන් වහන්සේ අප එනු දැක සක්මන් මළුවෙන් බැස සක්මන අතු ගා, එහි වූ පියසටහන් මකා දමා, කුඩා කෝප්පයක් අතට ගෙන කුටිය අසල වූ ගුරුලේත්තුවෙන් ඊට පැන් පුරවා ගත්හ. එ් වන විටත් අප කුටිය අසලට පැමිණ සුළු මොහොතක් ගත වී තිබුණි. සීරුවෙන් යුතු ව ගුරුලේත්තුව නැවත තැන්පත් කළ උන් වහන්සේ පැන් භාජනය ද අතට ගෙන අසල එළිමහනේ වූ තුරු හෙවණක් යටට වැඩම කොට, පත්කඩය එළාගෙන එහි සකසා තිබුණු භාවනා ආසනය මත හිඳ ගත්හ. අනන්ත ද උන් වහන්සේ අබියසට ගොස් ගාථා සජ්ඣායනා කොට වන්දනා කිරීමෙන් පසු එකත්පස් ව හිඳගත්තේ ය.

‘‘ඔව් පුතා…”
ස්වාමීන් වහන්සේ ඉතා ම කරුණාවන්ත ලෙසින් අප දෙස බලා එහි අප දෙදෙනා ම සිටියත් එ්ක වචනයෙන් ම ආමන්ත‍්‍රණය කළෝ ය.

‘‘ස්වාමීන් වහන්ස, මේ මගේ මිත‍්‍රයා… බිනර නවමල්…! මගේ සැපදුක් බලන්න ඇවිත්. මේ වෙලාවේ දානය නිසා ස්වාමීන් වහන්සේලා දාන ශාලාවේ. ස්වාමීන් වහන්සේ අද උදේ පිණ්ඩපාතය වැඩියා මම දැක්කා. ඉතින් මට හිතුණා අද ස්වාමීන් වහන්සේ දාන ශාලාවට වඩින එකක් නැහැ කියලා…”

‘‘ඔව්… පසළොස්වක ඉඳන් එක දිගට පිණ්ඩපාතය වඩිනවා. මේ අසපුවේ ස්වාමීන් වහන්සේලා සියයකට ආසන්න පිරිසක් වැඩ ඉන්නවානේ. ගම්මානෙ ඉන්නෙ බොහො ම දිළිඳු අය. එ් අයට දිනපතා සියනමකට පිණ්ඩපාතෙ පූජා කරන්න අපහසුයි. එ් නිසා අපි දිනකට දහනමක් වගේ තමයි පිණ්ඩපාතෙ වඩින්නේ. හෙට දිනයේ වෙනත් පිරිසකට පිණ්ඩපාතයට අවස්ථාව උදා වෙනවා. නැවත දින දහයකින් මට පිණ්ඩපාතය වඩින්න පුළුවන්….”

උන් වහන්සේ ඉතා සතුටින් පිණ්ඩපාතය පිළිබඳ ව කතා කරන්නට විය. පිණ්ඩපාතය පිළිබඳ ව යම් ගැටලූවක් මා සිතේ පැන නැගුණෙන් මම එය විමසීමට නොපසුබට වීමි.

‘‘අවසරයි… පින්වත් ස්වාමීන් වහන්ස, මට පොඩි ගැටලූවක් තියෙනවා. පිණ්ඩපාතය වැඩම කිරීම භික්ෂූන් වහන්සේලාට කාලය නාස්ති වීමක් නෙවෙයි ද? පාන්දරින් ම අවදි වෙලා පිණ්ඩපාතයක් වෙනුවෙන් එ් තරම් දුර ඇවිදන් යන වෙලාවේ අසපුවේ භාවනාවක් කරගන්න පුළුවන්නේ. වෙලාවට දානය රැගෙන එන නිසා දානය වළඳන්න යන වෙලාව විතරයි ගත වෙන්නේ පිණ්ඩපාතය නො ගියොත්. මට නම් හිතෙන්නේ පිණ්ඩපාතය කියන්නේ කාලය අපතේ යන වැඩක් කියල යි. මම වැරදි නම් ස්වාමීන් වහන්සේ මාව නිවැරදි කරන්න…”

මම පුද්ගලික ව මා තුළ ඇති වූ ගැටලූවක් විසඳා ගන්නා අරමුණෙන් ම විමසා සිටියෙමි. මා සිතුවේ ඉන් ස්වාමීන් වහන්සේ කෝප වනු ඇතැයි කියා ය. නමුත් උන් වහන්සේ ඉතා සන්සුන් ව පැන් උගුරක් වළඳා මා දෙස කරුණාවන්ත ව නෙත් යොමා කතා කරන්නට වූහ.

‘‘පුතා… නගරයේ ජීවත් වෙන කෙනෙක් නේ ද?”

‘‘එහෙමයි… ස්වාමීන් වහන්ස. වැඩි වශයෙන් ඉන්නේ නගරයේ තමා…”

‘‘නගරබද ව ජීවත් වෙන අයගෙ හිතේ තියෙනවා කාලය ඉතිරි කරගන්න කලබලයක්. පාරෙදි තොටේදි ගත්තත් වේගයෙන් වාහන පදවන්නෙ ඉක්මනින් ගමන යන්න යි. ජංගම දුරකථන වුණත් දියුණු කරල තියෙන්නෙ ඉක්මනින් කටයුතු කරන්න යි. පරිගණක, රුපවාහිනි වගේ හැමදෙයක් ම ඉක්මනින් තොරතුරු ලබා දෙනවා. යන්ත‍්‍රසූත‍්‍ර පවා ඉක්මනින් කටයුතු කරල දෙනවා. ඉතින් පුතා ම හිතල බලන්න… මේ තරම් ඉක්මනින් හැම දේ ම කරල දීලත් මිනිස්සුන්ට විවේක කාලයක් කියල දෙයක් ඉතිරි වෙලා තියෙනව ද? අඩු තරමේ ඊ තලවලින් පණිවිඩයක් යවලා ඊ තලයකින් ම පිළිතුර ලැබෙනකම් කාලය මිඩංගු කරන්න සිදුවුණ අතීතයේ මිනිසුන්ට තිබුණු තරම්වත් විවේකයක් වර්තමානයේ මිනිසුන්ට තියෙනව ද?”

‘‘විවේකයක් නම් ඇත්තෙ ම නෑ ස්වාමීන් වහන්ස… එ් කතාව ඇත්ත…”

මම පිළිතුරු දුනිමි.

‘‘අපි වෙලා ව ඉතිරි කරගන්න හදන්නේ හැම දෙයක් ම ක්ෂණික ව කරන්න උත්සාහ කිරීමෙන්. හැම මොහොතක ම හැම දෙයක් ම ක්ෂණික ව කරමින් ඉන්න අතරේ නො දැනී ම දවස ගෙවී යනවා. නමුත් ඉතිරි වෙන වෙලාවක් නම් නෑ. එ් නිසා ක්ෂණික ව ආහාර සොයාගැනීම, ක්ෂණික ව ගමන් යාම, ක්ෂණික ව වැඩ කිරීම කියන්නේ වෙලාව ඉතිරි කරගන්න ක‍්‍රමයක් නෙවෙයි. වෙලාව ඉතිරි කරගන්න කැමති නම් කරන්න තියෙන්නේ සිහියෙන් ඉන්න එක යි. සිහියෙන්… එ් කියන්නේ සතිපට්ඨාන භාවනාවෙන් ඉන්න කෙනාට සතියෙන් ඉන්න සෑම වෙලාවක් ම ඉතිරි වෙන වෙලාවක්. එ් මොහොතේ කරමින් ඉන්න දේ එ් තරම් වැදගත් නෑ. වැදගත් වෙන්නේ සතියෙන් ඉන්න එක යි. සතියෙන්, සතිපට්ඨානයෙන් ඉන්නවා නම් එ් කෙනා ප‍්‍රමාදී නො වූ අප‍්‍රමාදී කෙනෙක්. අප‍්‍රමාදී කෙනාට යි වෙලාව ඉතිරි වෙන්නේ. මේ කරුණට අපේ ගුරුදේවයන් වහන්සේ ලස්සන වචනයක් කියනවා. එ් තමයි, ‘හදිස්සි නම්… සිහියෙන් ඉන්න’. බලන්න… කොයිතරම් සුන්දර ද සිහියෙන් ඉන්න ලැබීම…!

මේ ලෝකේ ඉන්නවා ආහාර පාන වෙනුවෙන් ඇවිදින මිනිසුන් වර්ග තුනක්.

පළමු කොටස තමයි…
ආහාර පාන නැති නිසා ආහාර පාන සොයා බොහෝ දුර ඇවිදන් යන දිළින්දා…

දෙවන කොටස තමයි…
ආහාර පාන බොහෝ අනුභව කොට එ්වා දිරවීම වෙනුවෙන් විවේක කාලවල බොහෝ දුර ඇවිදින ධනවතා..

තුන්වන කොටස තමයි…
ආහාර පාන අවශ්‍ය පමණට සොයාගැනීම පිණිසත්, සක්මන් භාවනාවක් වශයෙනුත්, ධූතාංගයක් වශයෙනුත් බොහෝ දුර ඇවිදින පැවිද්දා…

ආහාර පාන වෙනුවෙන් ඇවිදින මිනිසුන් වර්ග තුන අතරින් ශ්‍රේෂ්ඨතම මිනිසා වන්නේ විමුක්තිය වෙනුවෙන් ම දිවිගෙවන්නා වූත්, ජීවිත පැවැත්ම වෙනුවෙන් ම ආහාර ගන්නා වූත් අවශ්‍ය පමණට ආහාර සොයා යන්නා වූත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වූ භික්ෂුව යි. ඉතින් එ් ශ්‍රේෂ්ඨත්වය පිණ්ඩපාතය තුළ තියෙනවා.

විශුද්ධිමාර්ගය පොතේ මේ ගැන ලස්සන ගාථා දෙකක් තියෙනවා.

‘පිණ්ඩියාලෝපසන්තුට්ඨෝ – අපරායන්තජීවිකෝ
පහීණාහාරලෝලූප්පෝ – හෝති චාතුද්දිසෝ යති’
පිණ්ඩපාත භෝජනයෙන් සතුටු වන්නා වූත්, අනුන් මත රඳා පවතින ජීවිතයක් නැත්තා වූත්, ආහාර කෙරෙහි පවතින තෘෂ්ණාව දුරු කළා වූත් පැවිද්දා කිසිදු බැඳීමකින් තොර ව නිදහසේ සිව් දිශාවේ සැරිසරා යයි.

‘විනෝදයති කෝසජ්ජං –
ආජීවස්ස විසුජ්ඣති
තස්මා හි නාතිමඤ්ඤෙය්‍ය –
භික්ඛාචරිය සුමේධසෝ’
කුසීතකම දුරුකොට දමයි. හිතවත්කම්, අහිතවත්කම් කිසිවකින් තොර ව ලැබෙන දෙය වළඳන නිසා ආජීවය ද පිරිසිදු වෙයි. එ් නිසා ම නුවණැති පැවිද්දා විසින් කිසි කලෙකවත් පිණ්ඩපාතය පහත් කොට සලකන්නේ නෑ.

මෙන්න මේ ගාථා දෙක… සිහිකරගෙන තමයි මම හැමදා ම පිණ්ඩපාතයේ වඩින්නේ. එය අපිට බොහෝ ම ප‍්‍රයෝජනවත්. විශාල සඟ පිරිසක් ඉන්න තැනක් නිසා තමයි ගමේ මිනිසුන්ට පහසුව පිනිස දින වශයෙන් බෙදාගෙන අපි පිණ්ඩපාතයේ වඩින්නේ.

පිණ්ඩපාතයේ වඩින විට නිරායාසයෙන් ම සිදුවන දෙයක් තමයි සක්මන් කිරීම. ඉතින් සක්මන් භාවනාව වුණත් වඩන්න පුළුවන් පිණ්ඩපාතයක් ලැබෙනකම්. සක්මන් භාවනාවේ ආනිශංස බොහොමයි. එ් ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

අංගුත්තර නිකායේ තුන් වැනි පොත් වහන්සේ තුළ එ් කාරණා පහ සඳහන් කරල තියෙනවා.

සිහියෙන් යුතු ව සක්මනේ යෙදී වාසය කරන ශ‍්‍රාවකයා හට ආනිශංස පහක් ලැබෙනවා.

1. ඕනෑ ම දුරක් ඇවිදයාමේ හැකියාවක් ඇති වීම
2. දිවිපරදුවට තබා භාවනා කිරීම නම් වූ පධන් වීර්යය ඉවසිය හැකි වීම
3. රෝගාබාධ අඩු වීම
4. කන බොන වළඳන දේවල් හොඳින් දිරවා යාම
5. සක්මනෙන් උපදින සමාධිය බොහෝ වේලා පවතින දීර්ඝ සමාධියක් ලෙසින් ඉපදීම

මේ ආනිශංස පහ සක්මනේ යෙදෙන ශ‍්‍රාවකයාට ලැබෙනවා. ඉතින් යම් කෙනෙක් පිණ්ඩපාතයේ වැඩම කිරීමේ දී සක්මන් භාවනාව කරනවා නම්, ඔහුට පිණ්ඩපාතයට අතිරේක ව මේ ආනිශංස පහ ලැබෙනවා.”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, පිණ්ඩපාතය වළඳන්න ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලාට පමණයි. නමුත් ගිහි ජීවිතවල සිටින අපි දිනපතා අනුභව කරන්නේ නිවසේ පිසින ලද ආහාර පමණයි. පිණ්ඩපාත ප‍්‍රතිපදාව අපිට ගිහි ජීවිතවල ඉඳගෙන පුරුදු කරන්න ක‍්‍රමයක් නැද්ද…?”‍

පිණ්ඩපාතය පිළිබඳ ඇති වූ උනන්දුව නිසා ම එම පැනය විමසුවා මිස සැබැවින් ම නිවසේ දී එය ප‍්‍රායෝගික ව කළ හැකි දැයි වැටහීමක් මා තුළ නො තිබුණි. නමුත් ඊ ළඟ මොහොතේ දී ස්වාමීන් වහන්සේ දුන් පිළිතුරෙන් මම විස්මයට පත් වීමි.

‘‘මොකද නැත්තේ… දරුවෝ…! පුළුවන්කම තියෙනවා. අනුරාධපුර යුගයේ පවා බොහොම ජනප‍්‍රිය වුණ දේශනාවක් තමයි ‘අරියවංස සූත‍්‍රය’. මේ සූත‍්‍රයේ තියෙන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන සිව්පස පරිභෝජනයේ දී අල්පේච්ඡ වීමත්, ලද දෙයින් සතුටු වීමත්, භාවනානුයෝගිව වාසය කිරීමත් කියන කාරණා පහක් ගැනයි. ඉතින් මේ දේශනාව පැවිදි අයට වඩා වැලඳ ගත්තේ ගිහි අය යි. ගිහි උපාසක උපාසිකාවන් යොදුන් ගණන් දුර ගෙවාගෙන මේ දේශනාව ශ‍්‍රවණය කරන්න ගමන් කරල තියෙනවා. ඉතින් එ්කෙන් ම අපිට පේනවා පිණ්ඩපාත ප‍්‍රතිපදාවෙන් ගිහි අයට ඉගෙන ගන්න දෙයක් තියෙන බව.
ඕනැම මිනිසෙකු තුළ ආහාර පිළිබඳ රුචිකත්ව තියෙනවා. ඇතැමෙක් පැණි රසයට කැමතියි. ඇතැමෙක් ඇඹුලට කැමතියි. ඇතැමෙක් තෙල් රසයට කැමතියි. ඇතැමෙක් බැදුමට කැමතියි. ඇතැමෙක් කිරට කැමතියි. ඇතැමෙක් එළවළුවලට කැමතියි. ඇතැමෙක් මාංශ භෝජනයට කැමතියි. ඇතැමෙක් නිවසේ පිසින කුමන හෝ අහරකට කැමතියි. ඇතැමෙක් ප‍්‍රසිද්ධ ආපන ශාලාවල ආහාරවලට කැමතියි. මේ වගේ අසීමාන්තික රුචිකත්වයන් මිනිසුන් තුළ තිබෙනවා.

නමුත් පිණ්ඩපාතය මේ හැම ආකාරයකට ම වඩා වෙනස්. පිණ්ඩපාත භෝජනය හැම විට ම අනපේක්ෂිත ආහාරයක්. රුචිකත්වය කුමක් වුවත් දායකයාගේ නිවසේ පිසෙන ආහාරය යි පිණ්ඩපාතයට ලැබෙන්නේ. ඉතින් භික්ෂුවට සිදු වෙනවා එ් ලැබෙන පිණ්ඩපාතය පිළිගන්න. එය රසවත් වුණත්, නීරස වුණත්, තමා කැමති දෙයක් වුණත්, අකමැති දෙයක් වුණත් එය වළඳන්න භික්ෂුව පුරුදු වුණොත්, එය භික්ෂු ජීවිතයට විශාල පහසුවක්.
අන්න එ් වගේ තමයි ගිහි ජීවිතවල දීත් කටයුතු කරන්න ඕන. තමන්ගේ ආර්ථික මට්ටම අනුව තමයි නිවසේ ලිප ගිනි මෙළවෙන්න ඕන. නිවැසියන් එ් ලැබෙන ආහාරයට නින්දා කොට ණය වී උසස් ආපන ශාලාවලින් ආහාර ගන්න පෙළඹේ නම්, එවන් මිනිසුන් ආර්ථිකයෙනුත්, සෞඛ්‍යයෙනුත්, පවුලේ සමඟියෙනුත් පිරිහිලා යනවා. එ් නිසා සෑම විට ම තමන්ට ලැබෙන ආහාර වේල, සිත සතුටින් සහ අහර සැකසූ කෙනාට කරුණාවෙන් යුතු ව අනුභව කළ යුතුයි. පිණ්ඩපාතයේ දී භික්ෂුව ඊට පුරුදු වෙනවා. පිණ්ඩපාතය වළඳලා දානය පූජා කළ මිනිසුන්ට මෙත් සිත වඩනවා.

පිණ්ඩපාතය තුළින් පුරුදු කරන්නේ නිහතමානීකමත්, ඉවසීමත්, දරාගැනීමත්, ආහාර පිළිබඳ ඇති ආශාවන් අවම කර ගැනීමත්, ලද ආහාරයෙන් සතුටු විය හැකි මනසක් බිහිකිරීමත් යන ගුණධර්ම යි. ආහාර පිළිබඳ සෑහිමකට පත්විය හැකි ගිහි කෙනෙකුට කාලයත්, මුදලුත්, වටිනා ගුණ ධර්ම කිහිපයකුත් ඉතිරි වෙනවා. පිණ්ඩපාත ප‍්‍රතිපදාවේ යෙදෙන භික්ෂුවටත් කාලය සහ ගුණධර්මත්, තමා අවබෝධ කරගැනීමේ නිදහසත් යන සියල්ල ඉතිරි වෙනවා. ඉතින් පිණ්ඩපාතය කියන්නේ එක්තරා ප‍්‍රතිපත්ති පූජාවක් වගේ දෙයක්…”

‘‘සමාවෙන්න ස්වාමීන් වහන්ස, අද කාලයේ මේ ප‍්‍රතිපදාව කොයිතරම් ප‍්‍රායෝගික වෙයි ද කියලත් හිතෙනවා. තමන්ගේ හිතවත් ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින බව දකින විට දායකයින් ස්වාමීන් වහන්සේ ව වැඩි දුර ඇවිදවන්නේ නැති ව එක ම නිවසෙන් පිණ්ඩපාතය පූජා කරන්න ඉඩ තියෙනවා නේ ද? එහෙම වුණොත් පිණ්ඩපාතය යි, රැගෙන එන දානය යි අතරේ වෙනසක් නෑ…”

හරස් ප‍්‍රශ්න ඇසීමේ රුසියෙකු වන මා ඉන් බොහෝ දැනුම ලබාගෙන ඇත. එ් නිසා ම නිර්භය ව එ් පැනය ද විමසුවෙමි.

‘‘බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය මතයි පැවිද්ද පවතින්නේ කියා වදාළාට… අතිරේක ලාභයක් වශයෙන් රැුගෙන එන දානය ද වළඳන්න අවසර දීලා තියෙනවා. එ් නිසා එ් දානය වුණත් අවතක්සේරු කරන්න බෑ. කොහොම වුණත්, භික්ෂුන් වහන්සේ ව හඳුනන දායකයින් ගමේ සිටිනවා ද නැද්ද යන්න පිණ්ඩපාතයට බාධාවක් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේට යි එ් ප‍්‍රශ්නය උග‍්‍ර විදියට දැනෙන්න ඕන. අපි හැමෝට ම වඩා දෙව් මිනිස් ලෝකයා අතරේ සුපතළ ම කෙනා. නමුත් බුදුරජාණන් වහන්සේ එ් කිසිවක් බාධාවක් කරගත්තේ නෑ. තමන්ගේ වම් අතේ නම් පාත‍්‍රය තියෙන්නේ… දකුණු අතින් නම් පාත‍්‍රයේ මුව වසා පිළිගත් පමණ පෙන්වන්නේ… තමන්ට ම හැකියාව තියෙනවා එක නිවසකින් ලැබෙන ආහාරය සීමා කරන්න. තමන්ගේ ම දෙපයින් නම් පිණ්ඩපාතයේ වැඩියේ… තමන්ට ඕනැවටත් වඩා නිදහස තියෙනවා කැමතිතාක් දුර පිඩු සිඟා වඩින්න. තමන්ගේ කනත්, තමන්ගේ ඇසත් පිණ්ඩපාතයේ දී සංවර නම්, කොයිතරම් දැන හඳුණන කෙනෙක් ගමේ දී හමු වුණත්, තමන් දන්නවා කුලූපග නො වී තමාගේ කාර්යයට පමණක් සිත එ්කාග‍්‍ර කරගන්න. ඉතින් හැම පැත්තෙන් ම ගත්තොත් මෙතන තියෙන්නේ තමන්ගේ වුවමනාවත්, කැපවීමත් යන කාරණා දෙක යි. පිණ්ඩපාතයේ යාමට ඔබේ සිත සූදානම් නම්, පිණ්ඩපාත ප‍්‍රතිපදාවත් ඔබ වෙනුවෙන් සූදානම්….!!!”

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2014  බිනර කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68