මෙලොව එළිය දුටු ඕනෑම කෙනෙක් තමන් ගත කරන දිවිය කිසිදු කරදරයකින් තොරව, කායික පීඩාවලින්, මානසික පීඩාවලින් තොරව සුවසේ ගත කරන්නට ප‍්‍රිය කරනවා. මේ සඳහා තමන් විසින් ම වෙහෙස මහන්සි වී වටාපිටාව සකස් කරගන්නට ඕන. එ් වගේ ම තමයි තමන් ඇසුරු කරන වටාපිටාවෙන් ද මෙයට විශාල අනුග‍්‍රහයක් තිබෙන්නට ඕන. ඕනෑම රටක ජීවත් වන රටවැසියෙකු ගත්තම ඔහුගේ ජීවිතයේ යහපැවැත්ම තීරණය කරන ප‍්‍රධාන සාධක ලෙස ඔහු විශ්වාස කරන ආගම, සමාජ සිරිත් විරිත් හා එම රටේ සම්පාදනය වී තිබෙන නීති ආදිය හඳුනාගන්නට පුළුවනි.

ආගමික වශයෙන් හා සමාජ සිරිත් විරිත් තුළින් පුද්ගලයෙකු ලබන පෝෂණය පුද්ගල වශයෙන් වෙනස් වුණත්, රටක නීතිය කියන්නෙ රටේ සෑම කෙනෙකුට ම පොදු ආකාරයෙන් බල පැවැත්වෙන දෙයක්. ඉතින් රටක සෑම පුද්ගලයෙකුගේ ම සුභසිද්ධිය හා යහ පැවැත්ම උදෙසා මූලික වශයෙන් ම ගොනු කරගත් නීතිවලට තමයි ‘මූලික මානව අයිතිවාසිකම්’ කියලා කියන්නේ. කෙනෙක් මිනිසත් බව ලැබ ඉපදීමෙන් ම රටක නීතියක් තුළින් ඔහුට හිමිවන අයිතිවාසිකම් තමයි මේ විදිහට හඳුන්වන්නේ. මානව අයිතිවාසිකම් වෙනුවෙන් බොහෝ නිර්වචන අපට දකින්නට ලැබෙනවා. මේ තියෙන්නේ එ්වාගෙන් කිහිපයක්…

* මෙලොව උප්පත්තිය ලබන සෑම මනුෂ්‍යයෙකු විසින් ම ඔහුගේ හෝ ඇයගේ භාෂාව, ආගම, ලිංගිකත්වය ආදි කිසිවක් නො තකා සහජයෙන් ම උරුම කරගන්නා වූ, කිසිම ව්‍යවස්ථාදායකයකින්, නීතියකින් හෝ කඩ කළ නො හැක්කා වූත්, උල්ලංඝනය කළ නො හැක්කා වූත් අයිතිවාසිකමකි.
(කරුණාදාස, 2006, 01)
* සාමාන්‍ය අයිතිවාසිකම්වලින් වෙනස් වන්නා වූත්, සමස්ත මනුෂ්‍ය ප‍්‍රජාව වෙත මනුෂ්‍යයන් වීමේ හේතුව නිසා ම නිසගයෙන් ම හා සහජයෙන් ම උරුම වන්නා වූත්, කිසිම නීතියකින් කඩ කළ නො හැක්කා වූත් සුවිශේෂී නීතියක් වන්නී ය.
(කරුණාදාස, 2006, 77)
* මනුෂ්‍යයෙකු වීම නිසා ම පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට මානව අයිතීන් හිමි වේ. මිනිසුන්ගේ හැකියාවන් වර්ධනයට හා මිනිසුන්ට ජීවත් වීමේ රුකුලක් වශයෙන් මානව අයිතිවාසිකම් පවතී. එමෙන් ම සෑම පුද්ගලයෙකුට ම මේවා සමානව පවතී.
(එ. ජා. මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය)
නීතිය කියන්නේ නොයෙක් අවස්ථාවන්වල දී කාලීන අවශ්‍යතාවලට අනුව විවිධ සංශෝධනයන්ට ලක්වන දෙයක්. එ් නිසා රටේ නීතිය මඟින් පැනවෙන මූලික අයිතිවාසිකම්වල ද යම් යම් සංශෝධනයන් සිද්ධ වෙනවා. රටක් පුරවැසියන් විදිහට රටේ අර්ථ දැක්වෙන මූලික අයිතිවාසිකම් දැන සිටීම ප‍්‍රයෝජනවත්. මේ තිබෙන්නේ අපේ රටේ මූලික අයිතිවාසිකම් ගණයට වැටෙන කාරණාවන්.
* නීතිය ඉටුකිරීමේ දී එය රටේ සියල්ලන්ට ම සර්වසාධාරණ විය යුතු ය.
* නීතියට පිටින් අන් කිසිම කෙනෙකුගේ ජීවිතයට හෝ නිදහසට හානි නො කළ යුතු ය.
* නීති විරෝධී ලෙස කිසිම කෙනෙකු අත් අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ බන්ධනාගාරගත කිරීම නො කළ යුතු ය.
* සෑම පුරවැසියෙකුට ම සිතීමේ හා විමසීමේ නිදහස සමඟ කැමති ආගමක් ඇදහීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තිබිය යුතු ය.
* සෑම කෙනෙකුට ම තමන් කැමති සංස්කෘතියක් අනුව යෑමේ නිදහස තිබිය යුතු ය.
* සෑම පුරවැසියෙකුට ම ශ්‍රී ලංකාව තුළ ගමන් බිමන් යෑමේ සහ කැමති තැනක පදිංචි වීමේ නිදහස තිබිය යුතු ය.
* සෑම පුරවැසියෙකුට ම තමන් කැමති රැකියාවක් කළ හැකි ය.

මේ කියපු කාරණාවලට අමතරව තවත් නොයෙකුත් ආකාරයෙන් රටක ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිත කරන්නට නීතීන් පැනවිලා තියෙනවා.

ඉතිහාසය දෙස බලනකොට පෙනී යන කාරණය තමයි මේ ආකාරයෙන් මානව හිමිකම් ගැන කතාබහක් ඇතිවෙන්නේ සහ මේ කාරණාව වඩාත් ඉස්මතු වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව, 1945 වර්ෂයේ දී බිහි වුණ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් බව. මෙහි දී මානව හිමිකම් නීතිගත වීමට පාදක වුණේ නොයෙකුත් අවස්ථාවන්වල දී සමාජ අසාධාරණයන්ට ලක් වුණ ජනතාව විසින් ස්වකීය පීඩනයන්ට එරෙහිව කරන ලද අරගලයන්.

වර්තමානයේ අපේ රට තුළ මූලික අයිතිවාසිකම් පිළිබඳව සොයා බලා කටයුතු කරන්නේ ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව’ මඟිනුයි. මේ ආයතනය අපේ රටේ ස්ථාපිත කළේ 1996 වර්ෂයේ දී. මේ ආයතනය හරහා දැනට සිදු කෙරෙන ප‍්‍රධාන සේවාවන් කිහිපයක් මේ ආකාරයෙන් දක්වන්නට පුළුවනි.

* මූලික මානව හිමිකම් උල්ලංඝනය වන අවස්ථාවල දී එ් ගැන සොයා බැලීම.
* මූලික අයිතිවාසිකම් අනුව යමින් වෙනත් නීති සම්පාදනය කිරීම.
* රටේ නීති පද්ධතිය ජාත්‍යන්තරයේ පිළිගත් ක‍්‍රමවේදයන්ට අනුව සකස් කිරීම.
* මානව හිමිකම් පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීමේ විවිධ ක‍්‍රමවේදයන් ජනතාව අතරට ගෙන යෑම.

මානව හිමිකම් කොමිසමට අමතරව ශ්‍රී ලංකාව තුළ මානව අයිතිවාසිකම් සුරක්ෂිත රකන ආයතන ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණය, නීති ආධාර කොමිසම, මානව හිමිකම් ආයතනය, මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය, මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිවේදී සංවිධානය ආදිය හඳුනාගන්නට පුළුවනි.

ජාත්‍යන්තර මට්ටමේ දී මානව අයිතිවාසිකම් පිළිබඳව සොයා බලන ප‍්‍රධානතම ආයතනය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය. අපේ රටේ මානව හිමිකම් කොමිසම ක‍්‍රියාත්මක වන්නේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය සහ දැනුවත් වීම සමඟයි.

මේ සියලූ කාරණා එක්ක පෙනී යන එක් දෙයක් තමයි මුළු මහත් ලෝකය ම මනුෂ්‍ය වර්ගයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරවන්නට අසීමිත උත්සාහයක් දරන බව. එ් ආකාරයට ආරක්ෂාවක් සලසන්න සිදු වන්නේ එ් දේවල් අනතුරට, තර්ජනයට මුහුණ පාන නිසයි. එහෙම නම් ලොව පුරා මේ ආකාරයෙන් මානව හිමිකම් සුරක්ෂිත කරවීමේ අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙන්නේ නොයෙක් ආකාරයෙන් මානව හිමිකම් කඩවන නිසා විය යුතුයි.

ඇත්තටම මානව හිමිකම් හරහා සුරක්ෂිත කරන්නට උත්සාහ දරන්නේ මනුෂ්‍ය ජීවිත සහ එ් ජීවිත හරහා බැඳුනු සමාජ වටපිටාවේ යහ පැවැත්ම. සැබෑ ම ප‍්‍රශ්නය වෙන්නේ මේ දේවල් සුරක්ෂිත කරන්නේ කොහොමද කියන එක නෙමෙයි; මේ තරම් සුලබ ආකාරයෙන් මේ දේවල් බිඳ වැටෙන්නෙ කොහොමද කියන එකයි….

මානව හිමිකම් කඩ කිරීමක් තුළ සෑමවිට ම තිබෙන්නේ ජීවිතයක හෝ ජීවිත පැවැත්මක ස්වභාවයට හානි පැමිණවීමක්.. එහෙම හානි කරන්න නම් එ් දේවල් ගැන තරහ සිතක් ඉපදවිය යුතු වෙනවා. එහෙම නැති නම් අනුන් සතු ලාභයන් තමන් සතු කරගැනීමේ ආසාවක් ඇති කරගත යුතු වෙනවා. එහෙමත් නැති නම් ‘එසේ හානි පැමිණවීම තමන්ගේ විමුක්ති මාර්ගයයි’ කියන මුළාවට පත් විය යුතු වෙනවා. විඳින්න ලැබෙන දෙය තමන්ගේ කරගෙන, දැඩිව අල්වාගෙන, එය තමන් සතුව තබා ගන්නට උත්සාහ කරන, එයින් ම සමාජ අර්බුද ගොඩනගන, යුද්ධ කලකෝලාහල, රණ්ඩු සරුවල් ඇති කරන සමාජ ක‍්‍රමයක් තුළ මානව හිමිකම්වල සුරක්ෂිත භාවය වෙනුවෙන් නැගෙන හඬ අපට සිහිපත් කරදුන්නේ සුන්දර බුද්ධ වචනයක්. එ් බුද්ධ වචනය මේ අර්බුදයේ සුලමුල වෙත අපව ගෙන යනවා.

‘‘විඳීම නිසා තණ්හාව ඇති වෙනවා (වේදනා පච්චයා තණ්හා). තණ්හාව නිසා එය සොයන්න පටන් ගන්නවා (තණ්හා පච්චයා පරියේසනං). සොයන්න පටන් ගන්නකොට ලැබෙනවා (පරියේසනං පටිච්ච ලාභෝ). ලැබෙන දේවල්වල අගය, වටිනාකම මැනලා තීරණය කරනවා (ලාභං පටිච්ච විනිච්ඡයං). වටිනාකම අනුව එ්කට ඇලූම් කරනවා (විනිච්ඡයං පටිච්ච ඡන්ද රාගෝ). ඇලූම් කරනකොට සිත එහි බැස ගන්නවා (ඡන්ද රාගං පටිච්ච අජ්ඣෝසානං). එතකොට එ්ක තමා සතු දෙයක් කරගන්නට කල්පනා කරනවා ( අජ්ඣෝසානං පටිච්ච පරිග්ගහෝ). එතකොට එය වෙන කෙනෙකුට ලැබෙනවාට අකැමති, මසුරු සිතක් ඇති වෙනවා (පරිග්ගහං පටිච්ච මච්ඡරියං).”
(මහා නිදාන සූත‍්‍රය – දී. නි.)

එ් මසුරුකම මුල් කරගෙන එ් දේ ආරක්ෂා කරගැනීම පිණිස අරගලයක යෙදෙනවා. ඉතින් මේ විදිහට දඬු මුගුරු, අවි ආයුධ අතට ගන්නකොට අනෙකාගේ අයිතිවාසිකම් බිඳ වැටීම අහන්නවත් දෙයක් නෙමෙයි… ඇත්තෙන්ම නීතිවල අනුග‍්‍රහයක් ඇතිව මේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා ආරක්ෂා කරන්නට සිද්ධ වෙලා තියෙන්නෙ තම තමන් කය, වචනය සංවර කරගෙන සිල්වත් වෙලා නැති නිසයි; සිත හික්මවාගෙන නැති නිසයි….

යම් කෙනෙක් සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා නම් ඔහු අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරන කෙනෙක් බවට නිතැතින් ම පත් වෙනවා. එ් වගේ ම අනිත් අයට හිංසා පීඩා නො කරන, අන්‍යයන්ගේ සැපය පිණිස ම උපකාර කරන කෙනෙක් බවට සිල්වත් තැනැත්තා පත් වෙනවා.

යම් කෙනෙක් හොරකම් කිරීමෙන් වැළකිලා නම් ඉන්නෙ ඔහු අන් අය සතු දේපළ, වස්තුව වගේ ම පොදු දේපළ පවා ආරක්ෂා කරන කෙනෙක් වෙනවා. නීතිගත කළ, කෙටුම්පත් කළ කාරණා හරහා ලෝකය රකින්න උත්සාහ කරන හිමිකම් සියල්ල ‘සීලය’ නම් වූ එක ම ගුණධර්මය නිසා නිරායාසයෙන් ම මනාව ආරක්ෂා වෙන ආකාරය සැබැවින් ම ආශ්චර්යවත්.

අප සරණ ගිය භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සදහම් ප‍්‍රතිපදාව තුළ හික්මෙන යම් පිරිසක් සිටී නම් ඔවුන් එකිනෙකාගේ යහපත පිණිස, හිත සුව පිණිස කටයුතු කරන්නට නිතැතින් ම පෙළඹෙනවා. සමාජයේ විවිධ භූමිකාවන් තුළ දී ඉටු විය යුතු යුතුකම් සම්බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත‍්‍ර දේශනාවේ දී පෙන්වා වදාළා. එ් අනුව කටයුතු කරන සම්බුදු ශ‍්‍රාවකයා ලෝකය විසින් දැනට පිළිගත් මානව හිමිකම් සුරක්ෂිත කරනවා පමණක් නො වෙයි; ඊටත් එහා ගිය සුරක්ෂිත බවක් සමාජය තුළ ඇති කරන්නට උපකාරී වෙනවා.

නීති හෝ දඬුවම් නො පනවා මෙලෙස සියලූ ලෝ සතගේ හිමිකම් සුරක්ෂිත කළ වෙනත් ධර්මයක් නම් අපට මුණ ගැසෙන්නේ නැහැ. මනුෂ්‍ය වර්ගයාගේ සේ ම සියලූ සත්ව වර්ගයාගේ ද යහපත ම සලසන යම් දහමක් ලොව වේ නම් එ් මේ තථාගත ශ්‍රී සද්ධර්මය ම පමණයි..!

අප සියලූ දෙනාටමත් එ් දහම තුළ හික්මෙමින්, අන් අයගේ හිමිකම් සුරකිමින් සමාජයට යහපත ම දන් දීමේ භාග්‍යය උදා වේවා!

සටහන
කෝසල සමරසේකර