කුඩා කල සිට කෙළි දෙළෙන් කාලය ගෙවා තමන්ගේ ළඟින් ම සිටි එක කුස උපන් සහෝදරයා තමන් අතින් ම මෙලොවින් තුරන් වීමේ සන්තාපය තම සිර දඬුවමේ අමිහිරි බවටත් වඩා දැඩි පීඩාවක් බව පසක් කළ කථාව දහමේ ඉගැන්වීමට ගළපා ඔබ වෙත ඉදිරිපත් කළ මා මහාමේඝ ඇසළ කලාපයෙහි පිටුවක් සරසන්නට සිතා බන්ධනාගාරයේ නිලධාරීන්ගේ අවසරය ඇති ව මුණගැසුණේ අනියම් මිනීමැරුමකට වරදකරු බවට ඔප්පු වී දස අවුරුදු බරපතළ සිර දඬුවමක් විඳිමින් සිර මැදිරියක දුක සේ කාලය ගත කරන සරත්චන්ද්‍ර ය.

ඔහු හමුවීමට පැමිණි කාරණය පැහැදිලි කරදෙන තෙක් බිමට නැමුණු හිසින් සියල්ල අසා සිටි සරත් එකවර හිස ඔසවා යමක් කියන්නට සැරසුණි. ඔහු තම කථාව මට කීම ප‍්‍රතික්ෂේප කරන්නට යනවා දැයි මට සිතුණි. මුහුණේ මාංශපේශී අමුතුවට නටවමින් එදා ඔහු මගෙන් ඉල්ලා සිටියේ තමාගේ කථාවේ සත්‍ය සිද්ධිය ඒ අයුරින් ම සියලූ සැබෑ නම් ගම් සහිත ව පළ කරන ලෙසයි. එම ඉල්ලීම ඉටු කිරීමට යම් යම් නීතිමය මෙන් ම සදාචාරත්මක බාධාවන් ඇති බව පැවසූ විට ‘‘මගේ ඇත්ත කථාව ලෝකයට ම හඬ නඟල කියන්න මට කවදාහරි ඉඩක් ලබා ගන්න ඕනෑ. මගේ කථාව අහලා මේ මිනිස්සු හැදේවි” යනුවෙන් ඔහු කීවේ ය.

සරත්ගේ උපන් ගම මිණුවන්ගොඩ යි. ගම් ප‍්‍රදේශයෙන් විවාහයක් කරගත් ඔහු තම ජීවනෝපාය සඳහා නන්නාදුනන ප‍්‍රදේශයකට ගියේ ගම් ප‍්‍රදේශයේ හිඳගෙන පිළිවෙළකට රැකියාවක් කරන්නට තරම් අධ්‍යාපනයක් හෝ ආර්ථික ශක්තියක් නො වූ නිසා ය. උපන් ගමෙන් ඈත දුර දෙණියායට ගිය ඔහු රේස් බුකියක ඔට්ටු ගැනීමේ කටයුත්තක යෙදීමට තීරණය කළේ ය. දෙණියාය නගරයේ පරණ ගෙයක කාමරයක් කුලියට ගත් සරත් එය රේස් ඔට්ටු භාර ගැනීමේ කඩ කාමරයක් බවට පත් කර ගත්තේ ය. ජීවත් වීමට ප‍්‍රමාණවත් ආදායමක් ලැබෙන්නට පටන් ගත් නිසා කුඩා නිවසක් කුලියට ගෙන තම භාර්යාව සමන්ති ද ගෙන්වාගෙන දෙණියායේ ස්ථිර පදිංචිය කර ගත්තේ ය. අවුරුදු තුන හතරක් ගතවිය. දෙණියාය ඔහුට ගම විය. මේ අතර ඔහුට පුතෙකු ද දුවෙකු ද ලැබිණි. අධාර්මික ජීවනෝපාය මාර්ගය ගැන ඔහු කීවේ ‘‘මහත්තයා මං ඒ රස්සාව කළේ වෙන කරන්න දෙයක් නැති හින්දයි. ගමේ අහිංසක මිනිස්සු දලූ ටිකක් නෙළල, කුලී වැඩක් කරලා හම්බකරන දවසේ පඩිය අරගෙන ඇවිත් හවසට රේස් බුකියේ ඔට්ටු අල්ලලා පූජා කරලා යනවා. මට හරි ම දුකක් දැනුණා. ඒත් කරන්න දෙයක් නැහැ. මගේ රස්සාවනේ” යනුවෙනි. එදා ඔහු කීවේ ‘‘රේස් දාලා දිනපු කෙනෙක්, හැදුන කෙනෙක් ගැන නම් මං දන්නේ නැහැ” යනුවෙනි. සරත් අධාර්මික ව ඉපයූ මුදලින් වැඩක් ගත් බවක් පෙනෙන්නට නැත. දිනපතා ම හවස මත්පැන් පානය කිරීම ජීවිතයේ අංගයක් විය. එය තමාගේ විනාශයට හේතු වන බව වැටහෙන විට ඉතා ප‍්‍රමාද වී තිබුණි. මත්පැන් බීමට ඇබ්බැහි වූ නිසා ම තමාට සමීප වූ, ඔහුගේ වචනයෙන් ම කියනවා නම් ‘බොන යාළුවන් රොත්තක්’ ඔහුට සිටියේ ය. කෙසේ වුවත් සරත් බිරියටත් දරුවන් දෙදෙනාටත් අඩුපාඩුවක් නො කොට පවුල හොඳින් රැකගෙන ජීවත් වී ඇත.

මේ කාලය වන විට සරත්ගේ අම්මා මැද පෙරදිග රැකියාවකට ගොස් තිබුණි. අම්මා මෙසේ කාලයක් තිස්සේ එතෙර රැකියාවකට ගොස් නිරත වීම නිසා තමාගේ පවුලේ අනෙක් සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය ද කඩාකප්පල් වී අතරමං වූ බව කියතත් එදා තම අම්මාට අසීමිත ආදරයක් දැක් වූ බව පුන පුනා කීවේ ය. ‘‘අපේ අම්මා අරාබියේ වළන් හෝදන්න ගියේ අපේ නැතිබැරිකම හින්දයි. අපි අනාථ වුණත් අම්මා අපි ව ජීවත් කරන්න යි ඒ සියල්ල කළේ. ඒ හින්දා මම අම්මට පණ වගේ ආදරෙයි.” කියා තම මව සිහිකොට ඔහු දැස් පිස දා ගත්තේ ය.

සරත්ගේ මාමණ්ඩි මිණුවන්ගොඩ ප‍්‍රදේශයේ රජයේ කාර්යාලයක සේවය කළ අතර ඔහු තම දියණිය සමන්තිට ද ආදරයක් දැක්වූවා ය. හැකි හැම විටක ම දුව බලන්නට දෙණියායට පැමිණීම මාමණ්ඩියගේ සිරිත විය. ඔහු සරත්ට ද ඇලූම් කළේ ය.

වරෙක දෙදෙනා ම එකට මත්පැන් පානය කළහ. නැන්දම්මාත් ඉඳහිට දෙණියායේ නිවසට දුව බලන්නට ඇවිත් ගියා ය. රැකියාවක් නැති ව සිටි මල්ලිලා දෙදෙනෙකුත් තමා ළඟට ගෙන්වාගත් සමන්ති සරත්ට ඇවිටිලි කොට ඔවුන් දෙදෙනාට ද රැකියා මාර්ග දෙකක් පිළියෙල කර ගත්තා ය. එක් මල්ලී කෙනෙකුට ලොතරැයි කුටියක් සකස් කර දුන් සරත් අනෙක් මල්ලී තවත් රේස් ඔට්ටු ගන්නා තැනක රැකියාවකට දැමී ය.

‘‘හිටපු ගමන් පවුලගේ පරම්පරාව ම අපේ ගෙදරට ඇවිත් වැටෙනවා. සමන්තිට නම් හරි ලොකුවක්. මට තමයි බර, හරි කරදරයි. ඒත් ඒවා ඉවසා දරාගෙන මම යුතුකම් ඉෂ්ට කළා. ‘‘සරත් කීවේ සිනාසෙමිනි. එක් අවස්ථාවක මාමණ්ඩිත් නැන්දම්මත් සමන්තිගේ නංගි කෙනෙකුත් ඇයගේ ස්වාමියාත් අක්කා කෙනෙකුත් දෙණියායේ ගෙදර ඇවිත් ගේ පිරුණා යැයි සරත් කීවේ ය. ගැටලූවක් මතු නො වී හොඳින් සංග‍්‍රහ බුක්ති විඳිමින් දවස් දෙක තුනක් ඔවුහු සරත්ගේ නිවසේ රැදී සිටියහ. මේ අතර තුර පිටරට සිට තම අම්මා ද සරත්ගේ ගෙදරට ආවා ය. අම්මා තමාටත් සමන්තිටත් දරුවන් දෙදෙනාටත් සෑහෙන්න තෑගි බෝග ගෙනැවිත් තිබුණි. ගෙදර ඇවිත් සිටි සමන්තිගේ පවුලේ අයටත් සරත්ගේ අම්මා තිබෙන තරමින් පොඩි පොඩි තෑගි බෝග දීම නිසා කවුරුත් සතුටු වූහ. ‘‘ඒත් කවුරුත් අම්මා ළග හුඟක් මුදල් තිබෙන නිසා ටිකක් ආශාවක් ඇතිකරගෙන තිබුණා” යැයි සරත් කීවේ ය. කලකින් අම්මා දැකීම නිසා සරත් පසු වුණේ මහත් සන්තෝෂයකිනි. අම්මා ටික දිනක් ගෙදර නවත්වා ගැනීමට සරත්ට වුවමනා විය.

මේ අතරතුර දින හතරක් පමණ ගෙදර රැඳී සිටි සමන්තිගේ පවුලේ අය ආපසු ගම් බිම් බලා යාමට සූදානම් වූහ. තමන්ගේ බඩුමුට්ටු එකලස් කළ සමන්තිගේ මස්සිනාට අනාවරණය වී ඇත්තේ තමාගේ මාලය නැති වී ඇති බවයි. සෑම තැන ම සොයා බැලූ නමුත් එය හමු නො වී ය. ගමන ද වරුවකින් පමා විය. මාලය නැතිවීම විශාල ගැටලූවකට මුල පිරුණි. සමන්තිගේ පවුලේ අය ඒ පිළිබඳ ව නොයෙකුත් දේ කරන්නට පටන් ගෙන ඇත. අවසානයේ සරත්ගේ මව මාලය සොරකම් කළ බවට සැක කරන බවට සමන්තිට දැනුම් දී තිබුණි. මෙය කණ වැකුණු සරත්ට නයාට ගැසුවාක් මෙන් විය. ඒ පුවත තරයේ ප‍්‍රතික්ෂේප කළ සරත් ඒ ආකාරයෙන් සැක කරන්නට තිබෙන හේතු මොනවා දැ යි විමසා ඇත. ගමේ ගිය පිරිස විශ්වාස තැනකින් සාස්තරයක් ඇසූ බවත් අම්මා මාලය සොරා ගත් බව කිරිගහට ඇන්නා වගේ කියූ බවත් තමාට දැනුම් දුන් බව සමන්ති කියා ඇත.

මේ සිද්ධිය මුල් කරගෙන අඹුසැමියන් අතර අසමගිකම් ලියලන්නට වූ අතර දෙදෙනා අතර අඩදබර ඇවිලෙන්නට පටන් ගත්තේ ය. මේ ආරංචිය අම්මාගේ කනට වැටීමෙන් සිත නරක් වී ගෙදරින් බැහැර වී යාම සරත්ට තවත් සිත් තැවුලට හේතුවක් විය. සරත් වෙනදාටත් වඩා කට ගොන්නක් බීගෙන ගෙදර එන්නට පටන් ගත්තේ ය. මේ තත්වය උග‍්‍ර වුණේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් වගයක් කිරීමට සමන්තිගේ ගෙදර උදවිය හදිසියේ සරත්ගේ ගෙදරට කඩා වැටීමෙනි. මෙවර ඔවුන් පැමිණියේ නිකම් ම නො වේ. මිනී වළක් හා එහි ලේ ගොටු 7ක් කැප කර පිදේනියක් දීමට යි. රත්මල්, කුකුලෙකු, ගොක් සැරසිලි, දුම්මල ආදි ආම්පන්න රැගෙන මධ්‍යම රාත‍්‍රීයේ සමන්තිගේ පිරිස සොහොන් පිටියකට යනවා සරත් බලා සිටියේ කෝපයෙනි. කට්ටඩියා පසුවදා උදෑසන පිටත් වී ගියේ ය. මාමණ්ඩි සරත්ගේ මිදුලේ පහන් පැලක් ගොක් කොළවලින් අටවා එහි ජප කළ බිත්තර 21ක් රත්මල් ආදිය තබා නොයෙකුත් පිදවිලි කරන්නට පටන් ගත්තේ ය. මාමණ්ඩිගේත් පවුලේ අනෙක් අයගේත් ඇණුම්පදවල ඉවරයක් නැත. මාස තුනක් ඇතුළත හොරා මාලයත් අරගෙන පිස්සුවෙන් මෙන් එය භාරදෙන බවට ඔවුන් කියා තිබුණි. මේ වතාවත් කරනවාට සරත් විරුද්ධ නො වී ඇත්තේ කෙසේ හෝ ඇත්ත අනාවරණය වුව හොත් තම අම්මාගේ නිර්දෝෂිභාවය ඔප්පු වේයැයි බලවත් විශ්වාසයක් පැවති හෙයිණි. ඒ නිසා පිදේනියට කුකුලෙකු සොයා දුන්නේ ද සරත් ය. වරෙක ‘‘උඹලගේ පවුල ම සල්ලිවලට ගන්න අපේ අම්මට සල්ලි තියෙනවා. තොපේ මාල අපේ අම්මට වුවමනා නැහැ” ආදි වශයෙන් සණ්ඩු කළේ ය. මාමණ්ඩිගේ උපදෙස් පරිදි ගෙදරට මස් මාළු ගෙන ඒම ද තහනම් විය. වතාවත් කරන කාලය තුළ මස් මාළු කෑමෙන් වැලකී සිටීමට ද සරත්ට සිදු විය. පිදවිලි අවසන් වී සතියකින් පමණ සමන්තිගේ පිරිස ගම් බිම් බලා ගියහ.

ගෙදර නො හොඳ නෝක්කාඩුකම් අඩු නැත. තම බිරිය ද දෙමව්පියන්ගේ මතයේ එල්ලී සිටින බව එන්න එන්නම සරත්ට පෙනී යයි. සරත්ගේ දඩබ්බර බව ද ක‍්‍රමයෙන් වැඩිවිය. මේ අතරතුර තමාට එල්ල වූ අභූත චෝදනාව නිසා බරපතළ ලෙස සිත් තැවුලට පත් ව සිටි සරත්ගේ අම්මා ද නැවත මැදපෙරදිග රැකියාවට ගියා ය. ඉදහිට මාමණ්ඩි ගෙදර ආවත් සරත් සමඟ කතා බහක් නැත. මල්ලිලා දෙන්නත් ගෙදර ම තමන්ගෙන් යැපෙමින් සිටියත් සරත් සමඟ කතා කරන්නේ නැත. ඔවුන් හොර රහසේ තම බිරිය සමඟ එකතු වී තමාට විරුද්ධකම් කරන බවට සරත්ට සැක පහළ විය.

මාස තුනක් ගත විය. මාලය පිළිබඳ හෝඩුවාවක් නැත. කරන ලද මන්ත‍්‍ර ගුරුකම්වල ප‍්‍රතිඵලයක් ද නැත. අම්මා කිසි කරදරයක් නැති ව මැද පෙරදිග සිටී. දැන් දැන් සරත්ගේ හඬ උස් වී ඇත්තේ අම්මා මේ හොරකම කළා නම් දැන් වන විට කට්ටඩියා කී ආකාරයට පිස්සු වැටී සිටිය යුතු බව කියමින් සණ්ඩු සරුවල් කිරීම නිසාය. මේ වන විට තම ගෙවල් අවට ගමේ අය ද ප‍්‍රශ්නය දැන ගෙන ඇත. සොරා හසු වී ඇත්දැයි අවට අය ද සරත්ගෙන් නිතර විමසීම ඔහුට කරදරයක් විය. මේ අතරතුර තම නිර්දෝශිබව කියමින් කනස්සල්ලෙන් මෙන් ලිපියක් අම්මා විසින් එවා තිබුණි. සරත්ගේ කෝපය නිම්හිම් නැති විය. මේ වන විට පුතාගේ වයස අවුරුදු පහක වූ අතර දුවගේ වයස අවුරුදු දෙකක් විය.

දිනක් සවස අධික ව බීමත් ව ගෙදර පැමිණි සරත් කොලහල කොට මල්ලිලා දෙන්නාට ම පහර දී ඇත. ‘‘මාලය ගත් සොරා කවුද? මගේ අම්මා නිදහස් කර පල්ලා.” මේවාට උත්තර අරගෙන මිස තම නිවසේ පස් නො පාගන ලෙස කියා සරත් තම භාර්යාවත්, මල්ලිලා දෙන්නත් නිවසින් එළවා දැමී ය. ඔවුන් දරුවන් දෙදෙනාත් ගෙන මිණුවන්ගොඩ ගොස් ඇත.

දින තුනකට පමණ පසු ව සරත් රේස් බුකියේ වැඩට ගොස් සිටින අතර තුර මේ පිරිස නිවසට පැමිණ ඇත්තේ තාත්තා ද කැටිව ය. සරත්ගෙන් තමන්ට අඩත්තේට්ටම් තිබෙන බව කියා පොලිසියේ පැමිණිල්ලක් දමන්නට භාර්යාවත් මමාණ්ඩිත් මල්ලිලා දෙන්නත් පොලිසියට ගිය බව ඔහුට දැන ගන්නට ලැබී ඇත්තේ පළා වර්ග විකුණන කාන්තාවකගෙනි. මේ සිද්ධිමාලාව ගැන මේ වන විට බුකියට යන එන අයත් දැන සිටි නිසා සරත් දන්නා අඳුනන අය ඔහුට පක්ෂ ව සිට ඇත. ගෙදර අය පොලිසි ගිය ආරංචියෙන් කලබල වූ සරත් ව සැනසූ ඔහුගේ මිත‍්‍රයෙකු ‘‘ ඕවා අමතක කරලා දාලා අඩියක් ගහමු” කියා යෝජනාවක් කළේ ය. හිතේ අමාරුවට විසදුම ලෙස වැඩිපුර මත්පැන් පානය කළ සරත් දැඩි කෝපයෙන් සහ වේගයකින් යුතු ව ගෙදරට ගියේ ”දෙකෙන් එකක් අද කරනවා” කියමිනි. මේ වන විට දවල් දොළහ, එක පමණ වන්නට ඇත. සරත් බීමත් ව ගෙදර යනවිට කිසිවක් නො දන්නා සේ සියලූ දෙනා ගෙදර සිටියහ. ගෙදරට ගොඩ වෙත් ම කුඩා දරුවන් දෙදෙනා ම ඔහුගේ ඇඟේ එල්ලූනේ ඔවුන් සුරතල් කිරීමට තාත්තා පැමිණියා යැයි සිතා ගෙන ය.ෙ

ගෙට ගොඩවන විට ම සරත්ගේ කෝපාවිෂ්ට ස්වභාවය දැක පිරිස කලබලයට පත් ව ඇත. මාමණ්ඩියත්, මල්ලිලා දෙන්නාත් එක වර ම කර ඇත්තේ සරත් අල්ලා හිර කොට හොඳට පහර දෙන්නට පටන් ගැනීම යි. පොර බදා බේරීමට උත්සාහ ගත්තත් වෙරිමත නිසා දුර්වල වී සිටි නිසා දෝ ඔහුට විලංගු වැටී තිබුණි. එළියට ඇදගෙන ගිය සරත් ව තුන්දෙනා එක්වී දිග කඹයක් ගෙන මිදුලේ පොල් ගසකට අල්ලා බැන්දේ ය. ගස් බඳිනු ලැබූ සරත්ට මාමාණ්ඩිගේ සහ මල්ලිලාගේ වහසි බස්, ඇණුම බැණුම් ඉවසිය නො හැකි විය. සරත් ගසේ බැඳ සිටිය දී මාමාණ්ඩි රැකවලට සිට මල්ලිලා දෙදෙනාවත් සමන්තිවත් පොලිසියට යැව්වේ පොලිස් නිලධාරීන් ගෙන්නවා ඔහු පොලිසියට භාර දීමට ය. සරත් ගිනි අවුවේ සිටි අතර මාමණ්ඩිය මඳකට ගෙතුළට ගියේ ය. තම පුතාට ඉඟි කර ගෙන්වා ගැටය මදක් බුරුල් කරවා ගත් සරත් දඟලා බැමි ලිහා ගත්තේ ය. ‘‘සීයේ තාත්තා ලිහා ගත්තා”යි පුතා කෑ ගැසූ විට පොල්ලක් රැගෙන මාමණ්ඩි මිදුලට පැන්නේ ය. පහරක් ද කමින් පොල්ල උදුරා ගත් සරත් පෙරලා ගැසූ පහරින් බිම ඇද වැටුණු මාමණ්ඩි නැවත නැගිට්ටේ නැත. භාර්යාවත්, මල්ලිලාත් පොලිසියේ සිට ගෙදර එන විට දකින්නට ලැබුණේ කිසිසේත් නො සිතූ දෙයකි. නමුත් එක්කර ගෙන ආ පොලිසියේ නිලධාරීන්ට කරන්නට සිදුවූයේ වෙනත් රාජකාරියකි. සරත් වහා ම පොලිසියේ අත්අඩංගුවට පත්විය. දීර්ඝ නඩු විභාගයකින් පසු ව අනියම් මිනිමැරීකට වැරදිකරු වී අවුරුදු 10කට බරපතළ වැඩ සහිත සිර දඬුවමකට ලක් විය.

මේ වන විට අවුරුදු පහක් පමණ සිරබත් කා ඇති සරත් බන්ධනාගාරය තුළ වූ යහපත් කල්කි‍්‍රයාව හේතුවෙන් සමා කාලයක් ද ලබා තව වසර කීපයකින් නිදහස් වී හොඳ පුරවැසියෙකු ලෙස සමාජයට යන්නට එළිවන සෑම දිනයක ම දෑස් අයා බලා සිටි. මේ වන විට භාර්යාව ද තමන්ට අහිමි ව ඇත. ඇය දැන් වෙනත් කෙනෙකුගේ අඹුවකි. සරත් ඒ ගැන කම්පා වන්නේ නැත. දරුවන් දෙන්නා දැන් දැඩි ය. පුතා තමා ළඟට ගෙන හොඳ දරුවකු ලෙස හදා වඩාගෙන ධාර්මික ව කාලය ගතකිරීම තමාගේ අභිලාෂය බව ඔහු කීවේ ය. තමා කළ අනුවණකම් ගැන දැන් ඔහු පසුතැවිලි වෙයි. මගේ හික්මීමක් තිබුණා නම් මේ කරදර සිද්ධ වෙන්නේ නැතැයි ඔහු වරෙක පාපොච්චාරණය කළේ ය. ‘‘මාමණ්ඩිය නරක මිනිහෙක් නො වෙයි. අලි ඔළුව. අපේ පවුලේ වැඩවලට වුවමනා නැති විදියට අත දැම්මා. මා අපරාධකාරයෙක් වුණේ නිරපරාදේ” මේ සියල්ලට ම මුල් වුණේ ‘බොරුව’ බව ඔහු සියල්ල සම්පිණ්ඩනය කර කීවේ ය.

යකඩයේ බැඳෙන මලකඩෙන් යකඩය දිරා යන්නාක් මෙන් කිළිටි කර ගත් සිත නිසා පුද්ගලයින් සිදුකරන ලාමක අකුසල් හේතුවෙන් මෙලොවත් පරලොවත් විදින දුක සරත්ගේ කතාවෙන් මනාවට පසක් වෙයි. මන්ත‍්‍ර ගුරුකම් වැනි, අපට ප‍්‍රත්‍යක්ෂ නොවන අත්භූත මායාවල් මත විශ්වාස ය තබා අප විසින් ගතයුතු තීරණ වෙනත් බාහිර පුද්ගලයින්ට ගැනීමට ඉඩ සැලැස්විම මේ විපතට මූල බීජයක් වී ඇත. බොරුවක් ගොතා සරත්ගේ අම්මාට චෝදනා කළා නම් ඒ කුහක බව ද මේ සියළු කරදර වලට මුල වුනා නොවේ ද?

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල