දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් මංගල කරුණු අතරින් එකකි, පිදිය යුත්තන් පිදීම. හෙළ බොදු සංස්කෘතිය තුළ මාපිය, ගුරුවර, වැඩිහිටි ආදි පිදුම් ලැබීමට සුදුසු වූවන් බොහෝ කොට ගරු බුහුමනට පාත‍්‍ර කෙරෙනුයේ  ඒ මංගල කාරණය අර්ථවත් කරමිනි.

පිදිය යුත්තන් පිදීම සමඟ බැඳී යන අනෙක් සත්පුරුෂ ගුණධර්මය නම් කළ ගුණ දන්නා බවත්, කළ ගුණ දක්නා බවත් ය. කෘතගුණ දක්වමින් පිදිය යුත්තන් පිදීම සත්පුරුෂ භාවයේ ප‍්‍රමුඛ සලකුණකි.

පිදුම් ලැබිය යුත්තන් අතර අග‍්‍ර වන්නේ තුන් ලොවට ම කල්‍යාණමිත‍්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. ඒ සම්බුදු මුව මඬලින් වදාළේ යම් කෙනෙකුන් හට ශී‍්‍ර සද්ධර්මය කියා දී ඔහු හට අවබෝධයෙන් යුතුව තිසරණයේ පිහිටා සිටීමට උපකාර කරන පුද්ගලයා හට කිසිදු අයුරකින් කළ ගුණ දක්වා අවසන් කළ නො හැකි බව ය. තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම ඇති කර ගැනීමට උපකාර කරන කල්‍යාණ මිත‍්‍රයා නිති පිදිය යුත්තේ එනිසාවෙනි.

ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ ධර්ම සේනාපති වූයේ ප‍්‍රඥාලාභීන් අතර අග‍්‍ර වූ, දකුණු අග සව් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ය. සැතපීමට පළමු, තමන් වහන්සේට සම්බුදු සසුන් කෙත හඳුන්වා දුන් අස්සජී මහ රහතන් වහන්සේ වැඩ සිටින දිශාව දිවැසින් බලා වන්දනා කිරීම උන්වහන්සේගේ සිරිත විය. ඒ උත්තම සත්පුරුෂ ගුණය භාග්‍යවතුන් වහන්සේ ද මහත් සේ පැසසීමට බඳුන් කළ සේක.

සැබැවින්ම කලණ මිතුරන් වන්දනීය ය; පූජනීය ය; පිදුම් ලැබීමට සුදුසුම ය. ඔවුන්ගේ ගුණ සිහි කිරීම පුද්ගලයෙකු සරණ යාමක් ලෙස කවරෙකු හෝ දකී නම්, ඒ අඳ බාලකමක්ම ය. ගුණ වශයෙන් දැන හැඳින, අවබෝධයෙන් පුද පූජා පැවැත්වීම පුද්ගල සරණ යාමක් වන්නේ කෙසේ ද? එය එසේ වන්නේ නම් බුදුරජාණන් වහන්සේ සරණ යාම ද හුදු පුද්ගල සරණාගමනයක් විය යුතු ය. නමුත් එය එසේ නො වේ. ඒ, ගුණ වශයෙන් හැඳිනගෙන කළ ගුණ සිහි කරමින් පිදිය යුත්තන් පිදීමේ සත්පුරුෂ ගුණධර්මයයි.

එලෙස සත්පුරුෂ භූමියට පිවිසීම, පුද්ගලයින් සරණ යාමක් ලෙස අනර්ථ දක්වන්නේ මේ මූලික ධර්ම කාරණාවන්වත් නො දන්නා නිසා ය. බුදු සසුන සුරැකීමට, සංස්කෘතිය නගාසිටුවීමට කෑ මොර දෙන්නවුන් පවා බුදු දහමෙන් ගොඩනැගුන මේ සංස්කෘතිකාංග වැරදි අර්ථ නිරූපණයන් කරමින් ප‍්‍රසිද්ධියේ හෙළා දැකීම කවර විහිළුවක් ද? ඊර්ෂ්‍යාව, ද්වේශය හා මාන්නය නිසාවෙන්, පිදිය යුත්තන් පිදීම පුද්ගලයන් සරණ යාමෙන් වෙන් කොට නො ගන්නවුන් කෙලෙස නම් සත්පුරුෂයින් හට පමණක් ම වූ මේ ගම්භීර දහම දකින්න ද?

සැබැවින්ම අසත්පුරුෂයින්ගෙන් සත්පුරුෂයා වෙන් කොට හඳුනා ගන්නේ ප‍්‍රඥාවන්ත වූ සත්පුරුෂයින් ම මිස දුෂ්ප‍්‍රාඥ වූ අසත්පුරුෂයන් නම් නො වේ.

ඕවාදෙය්‍ය’නුසාසෙය්ය
අසබ්භා ච නිවාරයේ
සතං හි සෝ පියෝ හෝති
අසතං හෝති අප්පියෝ

කල්‍යාණ මිත‍්‍රයා වරදින් මිදෙන්ට අවවාද කරනවා. යහපතේ හැසිරෙන්ට අනුශාසනා කරනවා. පව්වලින් වළක්ව ගන්නවා. එබඳු කල්‍යාණ මිත‍්‍රයන් ව නුවණැති සත්පුරුෂයන්ට හරි ප‍්‍රියයි. නමුත් අසත්පුරුෂයින්ට ඔවුන් ව අප‍්‍රියයි.
(ධම්ම පදය‐ පණ්ඩිත වර්ගය)