ලස්සන දෙයක්…
සුවඳ දෙයක්…
පි‍්‍රයමනාප දෙයක්…
මොළොක් දෙයක්…
කියපු ගමන් මතක් වෙන්නේ මොනව ද?

මල්…

හරි නේ ද උත්තරේ?

මලක රුව ගුණ ඉස්මතු වෙන්නේ මල පිපුනට පස්සේ. පිපුන මලේ රුව දකින ඇස් සමහර වෙලාවට ඉවතට යොමු වෙන්නෙ නැතිව ඒ දිහා ම බලන් ඉන්නවා. සුවඳ බලන්න, ඉඹින්න හිතෙනවා. සමහර අයට නම් මල කඩන්නත් හිතෙනවා.

‘දරුවනේ, වන මලක් යනු එක රැයක අසිරිය නම් නො වෙයි. ගහත් පොළවත් වින්ද දුක් ගිනි මලක රුව ගුණ බිහි කරයි’ කියලා රත්න ශ‍්‍රී විජේසිංහ කිවිඳා එක තැනක ලියා තැබුවා. ඇත්තට ම තුරු හිස් මත්තේ මල් පිබිදෙන්නේ දීර්ඝ ස්වාභාවික ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් විදිහට.

ඒ ගැන දන්න නො දන්න කොයි කාටත් මල් කියන්නේ බොහොම ප‍්‍රිය මනාප දර්ශනයක්. හැමෝ ම මල්වලට කැමතියි. හැම මලට ම නැතත් කාට වුණත් තමන් බොහොම කැමති මල් එක වර්ගයක් හරි තියෙනවා.

මල්වලට තියෙන්නෙ විසිතුරු ලෝකයක්. පැහැයෙන්, සුවඳින්, හැඩයෙන්, ප‍්‍රමාණයෙන් මල්වල මොන තරම් වෙනස්කම් තියෙනව ද? ඒ විචිත‍්‍රවත් බව නිසාමයි මල් ලෝකය මේ තරම් සුන්දර වෙන්න ඇත්තේ.

අනිත් අය වගේ ම මමත් මල්වලට කැමතියි. උදේ එන ගමන් පාරේ වැටිලා තියෙන අරලිය මලක් අරන් ඇවිත් මම වැඩ කරන තැන මේසය උඩින් තියා ගන්නේ ඒ කැමැත්තෙන්. බොහොම ප‍්‍රාණවත්ව, සුන්දරව ඒ මල මගේ නෙත්මානයේ රැඳෙන්නේ නෙතට වගේම හිතටත් ප‍්‍රියතාවයක් ඇති කරමින්.

ඒත් දවල් වෙන්න වෙන්න මලට මොනව ද වෙන්නෙ කියලා දන්නව ද? ඔව්, ඔබ දන්න දේ හරි. ප‍්‍රාණවත්ව තිබුන මල මැලවෙනවා. හවස් වෙද්දි මලේ පෙති පහතට ම කඩන් වැටෙන්නේ ගහක් කරටියෙන් ම කඩන් වැටෙනවා වගේ. අර තිබුන ප‍්‍රියමනාප, සොඳුරු බව මතක මාත‍්‍රයක් බවට පත් වෙනවා. දවස් දෙක තුනක් එහෙම ම තියෙන්න ඇරියොත් මල වේලිලා යනවා. ඇහැට පෙනුන අර ලස්සන පාට වෙනුවට දුඹුරු පාටක් මල වෙලා ගන්නවා. තෙත් පරිසරයක නම් තියෙන්නේ පුස් කාලා කුණු වෙලා යනවා. මල් ඒ විදිහට කුණු වෙද්දි අර නාස් පුඬුවලින් උරා ගත්ත සුගන්ධය වෙනුවට නාස් පුඬු හකුළුවන දුගන්ධයක් තමයි පැතිරෙන්නේ. මොන තරම් ලස්සන වුණත්, සුවඳ වුණත් අන්තිමේ දි හැම මලක් ම අප‍්‍රිය අමනාප ස්වරූපයකට පත් වෙනවා.

මොකද හිතෙන්නේ?

හට ගත්ත හැම දේ ම නැති වී යන ස්වභාවයෙන් යුතුයි කියන දේ ඔබට මතක් වුණා ද? අප‍්‍රිය අමනාප දේ පැමිණෙන්නේ ප‍්‍රියමනාප ස්වරූපයෙන් කියන දේ ඔබට මතක් වුණා ද? දුක පැමිණෙන්නේ සැප ආකාරයෙන් කියන දේ ඔබට මතක් වුණා ද?

ඔව්, මේ තමයි නිත්‍ය නො වන, සැප නො වන සහ ආත්ම නො වන, ඒ කිව්වේ තමන්ට උවමනා අයුරට පවත්වා ගන්න බැරි දේවල්වල ස්වභාවය. අන්න ඒ පොදු ධර්මතාවය අපි මෙනෙහි කරන්න ඕනෙ හිත රවට ගන්න නෙමෙයි; අවබෝධය ඇති කර ගන්නයි. එතකොට තමයි ඒ දේවල්වලින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ.

මලක් පිපිලා පර වෙන කාලයේ වගේ ම, මල් පොහොට්ටුව මලක් බවට පත් වෙන කාලයෙත් ඒ අනිත්‍යය දකින්න ලැබෙනවා. මොහොතින් මොහොත මොන තරම් විපර්යාසයන් ප‍්‍රමාණයකට මල් කැකුල ලක් වෙනව ද? මලක කතාවත් හරියට කළලයෙන් පටන් අරන් කනත්තට යන මිනිස් ජීවිතයක කතාව වගේමයි. හැම මොහොතක ම වෙනස් වීම ම යි උරුමය. එයින් නිදහස් වෙන්නත්, හිත රවටා ගැනීම වෙනුවට අවබෝධය ලබා ගැනීම සිදු කරන්න ඕන. ඒ කිව්වේ අවබෝධය උපදවලා දෙන ධර්මය අවබෝධය උපදවා ගැනීම පිණිස මිස හිත රවටා ගැනීම පිණිස නො වේ කියන එක.

මල්වලින් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. සරසන්න, සැරසෙන්න….. හැම දේට ම මල් යොදා ගන්න පුළුවනි. ඒ හැමදේ ම අතරින් මල්වලින් කරන අග‍්‍රතම දේ කියලා මට හිතෙන්නේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජා පවත්වන එක. එහෙම නේ ද?

මල් සුවඳ හමන් යන්නේ සුළං හමන දිශාවට විතරයි. ඒත් සිල් සුවඳ දස දිශාවට ම හමාගෙන යනවා. මේ ලෝකයේ අග‍්‍රතම ශීලයක් තියෙන්නේ තථාගතයන් වහන්සේට. දස දිශාවට ම හමන සිල් සුවඳින් අග‍්‍ර වූ තථාගතයන් වහන්සේගේ සිරිපා කමල් අබියස පා දුහුවිල්ලක් ලෙස පුද දෙන්න තමයි සුළං හමන දිශාවට විතරක් හමන සුවඳක් ඇති සොඳුරු මල් සුදුසු වෙන්නේ. යම් දවසක අපේ ශීලයත් පරිපූර්ණ කර ගන්න ඒ කුසලය උපකාර වේවි.

චන්දනං තගරං වා’පී – උප්පලං අථ වස්සිකී
ඒතේසං ගන්ධජාතානං – සීලගන්ධෝ අනුත්තරෝ

සඳුන් හා තුවරල
මහනෙල් දැසමන් වූ
මෙහැම සුවඳට වැඩි
සිල් සුවඳ ම උතුම් වේ…

නමෝ බුද්ධාය!!!