ද්‍රෝණයක් සම්බුදු ධාතුන් වහන්සේලා සුවසේ වැඩ සිටින සුගන්ධ කුටිය වුණ රුවන්වැලි මහා සෑය ඉදි වුණේ බොහෝ ආශ්චර්යයන් සහිත ව ම යි. මේ මහා සෑය පිළිබඳ බොහෝ දෙනෙක් පෙර නො ඇසූ කථාවක් පසු ගිය දා මාධ්‍යය තුළින් වාර්ථා වුණා.
එහි කථා නායකයා වුණේ දොන් හෙන්ද්‍රික් සිටුගේ. අකුරැස්ස හේනේගම උපන් ඔහු අනුරාධපුර මහා සෑයේ ඉතිහාසය අලූතින් ලියන්නේ 1912 අවුරුද්දෙදි. මහා සෑ මළුවේ අෂ්ටාංග උපෝසථ ශීලය සමාදන් ව සිටිය දී පහළ වූ උතුම් පින් සිතිවිල්ලකට අනුව, ඔහු ගරා වැටී තිබුණ මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රුපියල් 250,000ක මුදලක් පූජා කර තිබුණා. සෑය වෙනුවෙන් ලැබී තිබුණ දෙවන විශාලතම ආධාර මුදල වුණේ රුපියල් 5000ක්. ඒ යුගයේ කම්කරුවෙකුගේ දෛනික වැටුප ශත 05ක් පමණ යි. කාලයේ හැටියට ඔහු කළේ කෝටි ප්‍රකෝටි ගණනින් වටිනා සුවිසල් ධන පරිත්‍යාගයක්.
කාලයාගේ ඇවෑමෙන් අනිත්‍ය වසඟයට ගොස් තිබුණ මහා සෑය අප දකින අසිරියෙන් යුතු ව ගොඩනැගුණේ චාගයෙන් පිරිපුන් එවන් පින්වත් මිනිසුන් නිසාවෙනුයි. අනිත්‍ය වසඟයට පත්වන ලෝකයේ, නිත්‍ය මංගල නිවන කරා යොමු වුණ පියවරක් තමයි ඔහු තැබුවේ. සැදැහැතියන් අංජලිකරණීය කොට නමදින මෙවන් පුදබිමක් නගාසිටුවීම සියල් ගුණයෙන් අග්‍ර වූ තථාගතයන් වහන්සේට කළ අග්රතම පූජාවක්. මේ මහා සෑය වැඳුම් ලබනා වරක් පාසා ඒ උත්තම මිනිසාට මොන තරම් නම් පිනක් රැස් වෙනවා ඇති ද?
හරි හම්බ කරන දේවල් දනට පිනටත් යොදවන්න හැකි නම් අනිත්‍යයෙන් දුක උපදින ලෝකයේ අනිත්‍යයට පත්වීමෙන් අත්මිදෙන්න කාටත් පුළුවන්. ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නෙ. කි‍්‍රයාව සහ චේතනාව. එදා වගේ ම අදත් අප ඉන්නේ ගෞතම බුදු සමිඳුන් උදෙසා ම බොහෝ පූජෝපහාර සිදුකෙරෙන ගෞතම සසුනේ සොඳුරු යුගයක. එනිසා බොහෝ පින්දහම් කර ගන්නට අපට තවමත් ඉඩකඩ තිබෙනවා. සසරට යොමු නො වුණ ගමනක දී මෙවන් උදාරතර පුණ්‍ය ධර්මයන් බොහෝ උපකාර වන බව නිසැක යි.
තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ පින කියන්නේ සැපයට කියන නමක් කියලයි. සැපවත් ජීවිතයක් ගත කරන්න කැමති හැමෝම සුළු පිනක් පවා බොහෝ කැමැත්තෙන් සිදුකර ගන්නවා. එහෙම එකේ මෙවන් අග්රතම පුණ්‍ය කර්මයන්ට දායක වීමට ඉඩ ලැබීම මොන තරම් දෙයක් ද?
සැබැවින් ම මෙවන් සුපින්වත් මිනිසුන් ගැන අසන්නට ලැබීම පවා වාසනාවක්.
(දක්ෂ මල් කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා මල් මාලා ගොඩක් ගොතනවා වගේ මිනිස් ලෝකෙ ඉපදිච්ච කෙනා ඒ විදිහට ම පුළුවන් තරම් කුසල් ම යි කර ගන්නඕනෙ.)
මේ සටහන දොන් හෙන්ද්‍රික් සිටුගේ නම් වූ ගෞතම බුදුරජුන්ගේ උපාසක ශ්රාවකයාට උපහාරයක් වේවා!
Recent Comments