මරණය යන වචනය ඇසෙන විට බොහෝ දෙනෙකුගේ සිතට ඇති වන්නේ අප්‍රසාදයෙන් යුතු හැඟීමකි. කෙනෙක් මරණය ගැන ටිකක් වැඩියෙන් කතා කළොත් ‘‘ඔන්න ඔන්න ඉතින් මූසල කතා කියනව’’ වැනි ප්‍රතිචාරයක් තමයි ලැබෙන්නෙ. නමුත් මරණය යනු උපන් සත්ත්වයන් හට, උපතත් සමග හිමිවන නියත දායාදයකි.
බොහෝ දුක් විඳිමින් මරණයට පත් වූ අයෙක් ගැන අසන්නට ලැබුණොත් බොහෝ දෙනා ගේ මුවින් නිරායාසයෙන් ම පිටවන්නේ ‘‘හතුරෙකුට වත් මෙවැනි මරණයක් සිදු වෙන්ට එපා’’ වැනි වදනක් ය. නින්දේ දී මියගිය අයෙක් ගැන අසන්නට ලැබුණොත් ‘‘අන්න සැපවත් මරණයක්’’ කියල යි කියන්නෙ. මෙවැනි වචන කියැවෙන්නේ මෙලොව දී කරන ලද කර්මයන් ට අනුව නැවත උපතක් සිදු වෙනවා යන සත්‍යය ගැන බොහෝ දෙනෙකුට ඇති අනවබෝධය නිසයි.
මරණය අප කරා එළැඹෙන මොහොත කල් තියා දැනගත නොහැක. එලෙසින් ම කුමන ආකාරයකින් අප මරණයට පත් වීම සිදු වේද යන්නත් කල් තියා දැනගත නොහැක. කෙනෙක් වයසට ගොස් තමන් අතීතයේ කළ කී දෑ සිහි කරමින් හූල්ලමින් සිට සිහි මුලා වී මරණයට පත් වෙයි. තවත් කෙනෙක් දරුණු ලෙඩකට ගොදුරු වී වේදනාව තුළ සිහි මුලා වී මරණයට පත් වෙයි. තවත් අය හිටි හැටියේ ම අනතුරු වලට භාජනය වී කිසිවක් කර කියා ගත නොහැකි ව මරණයට පත් වෙති. මෙසේ අසරණ වන සත්ත්වයන් හට බොහෝ වෙහෙස වී රැක ගැනීමට ඇති එකම දෙය නම් තමා පරිහරණය කරන සිත යි.
අප සරණ ගිය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් උපන් සත්ත්වයන් තුළ පවතින බලවත් ම දෙය ලෙස වදාළේ සිත යි. කෙනෙක් සිත මුල් කරගෙන කළ කී දේ නිසා රැස් වෙන ලද කර්මයන් ට අනුව නැවත උපතක් කරා යෑම සිදුවේ.
යම් කිසි කෙනෙක් මරණය කරා ළඟා වත් ම තමාට දැනෙන මරණ බියත් සමඟ මේ සිත බොහෝ අකුසලයන් ට විවෘත ව අසරණ වී යයි. එසේ අසරණ වූ සිත වසා ගන්නා ප්‍රබල සහ සුලබ අකුසලයන් ලෙස ක්‍රෝධය, වෛරය හා බද්ධ වෛරය හඳුනා ගත හැක. මාරාන්තික රෝගයක් වැළඳුන කෙනෙකුන් හට උපස්ථාන කරන අයට බොහෝ විට දැක ගත හැකි කරුණක් නම් එම රෝගියා ඉතා සුළු කරුණේ දී ත් තරහ ගන්නා ස්වභාවය යි. එවිට අසරණ වූ සිතේ ආහාරය බවට පත් වන්නේ ක්‍රෝධය යි.
මේ අතර කෙනෙකුට, යම් පුද්ගලයෙක් අතින් හෝ පිරිසක් අතින් මරණයට පත් වන්නට සිදු වීම යනු ඉතා ඛේදජනක සිදුවීමකි. ඊට හේතුව නම් එහි දී සිතේ හට ගන්නා ක්‍රෝධය, වෛරය සහ බද්ධ වෛරය යනාදී බරපතල අකුසලයන් ට සෘජුව ම ආහාර ලැබීම යි. නමුත් සිත රැක ගන්නවා යන කරුණ ද අයිති වන්නේ තමාට ම යි. අනාදිමත් සංසාරයක් පුරාවට සිතට ඕන ආකාරයට ඉබාගාතේ ගිය සත්ත්වයන් හට, මේ සිත රැක ගත හැකි සහ රැක ගත යුතු දෙයක් ලෙස, එම විශ්මිත හෙලිදරව්ව කරනු ලබන්නේ මේ ලෝකයට ඉතාමත් කලාතුරකින් පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසිනු යි. උන් වහන්සේ අපට කියා දෙන්නේ ක්‍රෝධය, වෛරය සහ බද්ධ වෛරය යනාදී අකුසලයන් දුරුකොට සියළු සත්ත්වයන් හට මෙත් සිතින් වාසය කරන්න කියල යි.
රජමැදුර සිරකුටිය නිවා ලූ මෙත් සිසිල
අපි කව්රුත් දන්නවා බිම්බිසාර රජතුමා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ රජකම් කළ සෝතාපන්න වූ උපාසක මහතෙක් කියල. රජකමට ආසාවෙන් එතුමා ගේ පුත් අජාසත්ත කුමාරයා එතුමාව සිර කරලා නොයෙකුත් ශාරීරික වධ හිංසා දුන්නා. ඒත් ඒ වෙලාවෙ දී බිම්බිසාර රජතුමා අසරණ වුනේ කයින් විතරයි. තමා ඉතාමත් ආදරයකින් යුතුව, සෙනෙහසකින් යුතුව දිවි දෙවෙනි කොට හදා වඩා ගත් තමාගේ ම පුතු මේ ආකාරයට වධ හිංසා කරන විට දී ත්, අතීතය ගැන හූල්ලමින් වෛර සිතක් ඇති කර ගත්තේ නැහැ. එතුමා මෛතී‍්‍ර සහගත සිතින් යුතුව බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කළා. අවසානේ දී අජාසත්ත කුමාරයා තීරණය කළා තම පියා ව මරා දමන්නට ඕන කියල. නමුත් තමන් ව මරණයට පත් කරන අවස්ථාවේ දී වත් තරහ සිතක් ඇති කර නොගෙන ඉන්නට තරම් එතුමා ගේ සිත මෛත්‍රිය තුළ පුහුණු කරල යි තිබුණේ. එනිසා ම මරණින් පස්සෙ එතුමා ජනවසභ යන නමින් දෙවි කෙනෙක් වෙලා දෙව්ලොව උපන්නා.
ඒ වගේ ම තමයි අපි දන්නවා මාගන්දියා කියන්නෙ බුදුරජාණන් වහන්සේ ගැන තරහින් හිටපු කෙනෙක්. ඒකට හේතුව තමයි, තම රූපයෙන් මත්වෙලා හිටපු මාගන්දියා හට බුදුරජාණන් වහන්සේ රූපය ගැන කළ සත්‍ය වූ විග්‍රහය තේරුම් ගන්නට නොහැකි වීම. ඉතින් බුදුරජාණන් වහන්සේ ව සරණ ගොස් සිටි සාමාවතී බිසව ඇතුළු පන්සියයක් අන්තඃපුර බිසවුන් ව විනාශ කරන්නට සිතාගෙන මාගන්දියා බිසව රජ මැදුරේ කණු වලට පාන්කඩ ඔතලා එම පන්සිය දෙනා සිර කරලා ගිනි තිබ්බා. ඒ වෙලාවෙදී සාමාවතී බිසව අනෙක් සියල්ලට ම කියා සිටියා, ‘‘සහෝදරියනි, මේ ගින්නෙන් අපගේ ශරීර පිච්චිලා ගියාදෙන්, නමුත් තරහ සිතක් ඇති නොවන ආකාරයට සිත ආරක්ෂා කරගනිමු’’ එසේ මරණය අබියස මෛත්‍රිය තුළ සිත රැකගත් නිසා ඒ සියළු දෙනා ම අනාගාමී ඵලයට පත්ව බඹලොව උපන්නා. බලන්න….. මරණය ඉදිරියේ මරණය දැක දැක ත් මෙත් සිත පුරුදු කිරීමේ තිබෙන ආරක්ෂාව.
මේ ආකාරයට මරණයට පත් වන්නට සිදු වන අවස්ථා තිබුණේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ විතර ද….? අපි කව්රුත් දන්නවා හිට්ලර් ගැන. ඔහු ගේ මෙහෙයවීම මත බොහෝ ජනතාවක් සිරගත කරගෙන නොයෙක් වධ හිංසා දීල ඝාතනය කළා. එහි දී එම ගෑස් කුටීර වල අතුරු සිදුරු නැතිව මිනිසුන් පුරවලා මරණයට පත් කරන විට තමාට තව මොහොතකින් අත් වන ඉරණම ගැන ඒ මිනිසුන් ට කොහොම නම් සිතෙන්නට ඇත්ද. මරණ බිය සමඟ අත්වැල් බැඳගත් වෛරයකින් හිත වසාගන්නට ඇති. ඒ හේතුවෙන් ම බොහෝ පිරිසක් මරණින් මතු දුගතියේ යන්නටත් ඇති.
‘‘සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා’’
ඒ වගේ තවත් සිද්ධියක් මෑත භාගයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා. පසුගිය යුධ සමයේ කිලිනොච්චියේ වල්ලිපුරම් කියන ප්‍රදේශයේ ත්රස්තවාදීන් විසින් පිහිටුවන ලද වධකාගාරයක් පිළිබඳ තොරතුරු මෑතක දී අනාවරණය වුණා. එම වධකාගාර වල රඳවා ගෙන සිටි සිංහල හමුදා සෙබලූන් විසි පස් දෙනෙක් පමණ නොයෙකුත් වධ හිංසා මැද ජීවත් වෙලා තිබෙනවා. මරණයේ සෙවනැලි තමන් අසලින් සක්මන් කරද්දී පවා අසරණ වූ ඔවුන්ගෙන් ඇතැමෙක් මෙත් සිත ද උපදවා ගැනීමට වෙර දරා ඇති බව එම සිර කුටිවල බිත්තියක ලියා තිබූ ‘‘සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා’’ යන වැකියෙන් සිතා ගත හැකියි. එම අභීත රණවිරුවන්ගේ ජීවිතයේ කුමන හෝ දිනක, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට ලැබී තිබුණු බවට මෙය ඉතා හොද සාක්ෂියක්. ඒ අනුව මෙවන් මොහොතක එක ම රැකවරණය මෛතී‍්‍ර සිත බවත් ඔවුන් දැන සිටින්නට ඇත. කෙසේ වෙතත් මරණයේ වෙඩි උණ්ඩය හිස මත පතිත වන මොහොතේ පවා තම සිත තුල තරහ සිතක් ඇති නොවන ලෙසට සිත රැක ගැනීමට හැකි වුනි නම් මරණින් මතු සැපවත් ජීවිතයක් ලබන්නට එය ඒකාන්තයෙන් හේතු වන්නට ඇත. අපේ මියගිය රණවිරුවන් මරණය හමුවේ මෙත් සිත වැඩූ ආකාරය, වෛර සිතිවිලි සිතේ දරාගෙන කටයුතු කරනා බොහෝ දෙනාට ඉතා හොද ආදර්ශයක් ද ලබා දෙනවා. ආර්ය ශ්රාවකයින් මෙන් අවසන් මොහොතේ පවා මෙත් සිත පුරුදු කළ ඒ දිවි පිදූ රණවිරුවන් වෙත, අපි අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නේ හදවතින් ම යි.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ නපුරු හොරු ඇවිල්ලා දෙපැත්තෙ මිට තියෙන කියතකින් මේ ශරීරයේ කොටස් කපනව නම්, එතකොට පවා යමෙක් සිත කිලිටි කර ගත්තොත්, එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නොවෙයි කියල යි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා යම්කිසි කෙනෙක් මෙත් සිත බහුල වශයෙන් පුරුදු පුුහුණු කළොත් ඔහුට ලැබෙන ආනිශංස එකොළහක් ගැන. එහි දී අවසාන වශයෙන් දේශනා කළා ඒ කෙනා සිහි මුලා වී මරණයට පත් නොවන බවත්, ඒ වගේ ම ඉහළ මාර්ග ඵල අවබෝධයක් කරා නොගියහොත් මරණින් මතු බ්‍රහ්ම ලෝකයේ උපදින බවත්. යම් අයෙකුට තරහ සිතක් උපදවා නොගෙන මෙත් සිත පතුරවාගෙන ජීවිතයේ අවසාන සුසුම් පොද හෙළන්නට හැකි නම් ඔහුට කොතරම් නම් යහපතක් සැලසේවි ද ?
එක්තරා අවස්ථාවක දී සුභ කියන තරුණයා භාග්‍යවතුන් වහන්සේ සමඟ සිදු කළ සංවාදයක දී අසා සිටියා, ‘‘භාග්‍යවතුන් වහන්ස, බඹ ලොව උපත කරා යාමට පුරුදු පුහුණු කළ යුතු දෙය කුමක් ද? ’’ කියල. ඒ වෙලාවෙදී ත් බුදුරජාණන් වහන්සේ සුභ ට කියා දුන්නේ මේ මෛත්‍රි සිත බහුල වශයෙන් පතුරුවාගෙන වාසය කිරීමෙන් මරණින් මතු බඹලොව උපත ලැබිය හැකි බව යි. දීර්ඝ සංසාර ගමනක උරුමක්කාරයන් වන අපට මරණාසන්න මොහොතේ මෙත් සිත උපදවා ගෙන වාසය කිරීම අපහසු වන්නට පුළුවනි. ඊට හේතුව දීර්ඝ සසර ගමන අපි මෙත් සිත පුරුදු කරමින් පැමිණි ගමනක් නොවීම යි.
එනිසා අපට කරන්නට තිබෙන්නේ දැන් දැන් ම මෛතී‍්‍ර සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛතී‍්‍ර සහගත මනෝ කර්ම පුරුදු කර ගැනීමයි. එවිට මරණාසන්න වන විට සිත රැක ගැනීමට එය උපකාර වේවි. ඒ සඳහා අප සියළු දෙනා ගේ ම වීර්යය, සිහිය, නුවණ දියුණු වේවා !
සිටගෙන ඇවිදින හෝ හිදිනා විට
නිදන වෙලාවට හෝ නො නිදන විට
සිහිකළ යුතු මෙත් සිත ම ය හැම විට
බඹ විහරණ ලෙස පවසයි ඒම විට
‘සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා’
(කිලිනොච්චියේ සිරකුටියක ලියා තිබූ මෛත්‍රී වාක්‍යය)
ජායාරූප අනුග්‍රහය
ඉරිදා ලංකාදීප පුවත්පත
මෙත් සිතක සටහන
කෝසල සමරසේකර
Recent Comments