මහින්දාගමනය

01. එකල උපසම්පදාවෙන් දොළොස් වස් ඇති ඒ මහා මහේන්ද්‍ර ස්ථවිර තෙමේ උපාධ්‍යායන් වහන්සේ වූ මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන් වහන්සේ ද සංඝයා වහන්සේලා ද විසින් අණ කරන ලද්දේ
02. ලංකාද්වීපය පැහැදවීමට කාලය බලන්නේ, ‘මුටසීව රජු මහලූ ය. පුත‍්‍ර තෙමේ රජ වේවා!’ යැයි සිතූ සේක.
03. ඒ අතරතුර නෑ පිරිවර දකින්නට සිතා උපාධ්‍යායන් වහන්සේ ද සංඝයා වහන්සේ ද වැඳ පිය රජු විචාළ සේක.
04. පෙර කී තෙරුන් වහන්සේලා සතර නම ද සංඝමිත්තාවන්ගේ පුතු වූ ෂඞ් අභිඤ්ඤ හා මහා සෘද්ධි ඇති සුමන සාමණේරයන් ද කැටුව
05. නෑයන් හට සංග‍්‍රහ කරනු පිණිස දක්ෂිණගිරි පෙදෙසට වැඩම කළ සේක. ඉන්පසුව එහි හැසිරෙන්නේ සය මසක් ඉක්ම ගියේ ය.
06. ක‍්‍රමයෙන් වේදිසගිරි නුවර පැමිණ මෑණියන් දුටු සේක. ඒ දේවි තොමෝ ප‍්‍රිය පුතණුවන් දැක
07. පිරිස් සහිත උන්වහන්සේ වළඳවා තමන් විසින් කරවන ලද යහපත් වූ චේතියගිරි විහාරයට නැංවූහ.
08. ඒ අශෝක රජ තෙමේ කුමර කාලයේ පියාණන් විසින් දෙනු ලැබූ අවන්ති රට අනුභව කෙරෙමින් පෙර උදේනි නුවරට යන කල,
09. වේදිසගිරි නම් නගරයේ වසන්නේ, එහි දී මනා රූ ඇති දේවි නම් සිටු කුමරියක් ලැබ,
10. ඇය සමඟ එක්ව වාසය කළේ ය. ඕ තොමෝ එයින් ගැබ් ගත්තී උදේනි නම් නුවර දී මහින්ද නම් කුමර තෙමේ ව බිහි කළා ය.
11. දෙවසරක් ඉක්ම ගිය කල සංඝමිත්තා නම් දියණිය ද බිහි කළා ය. මේ කාලයේ දේවි තොමෝ වේදිස නුවර වාසය කරන්නී ය.
12. කල් දන්නා වූ මහේන්ද්‍ර ස්ථවිර තෙමේ එනුවර වැඩ වසන්නේ ‘මාගේ පියාණන් විසින් අණ කෙරෙන ලද ඒ අභිෂේක මහෝත්සවය
13. ඒ දේවානම් පියතිස්ස මහරජ තෙමේ අනුභව කෙරේවා! දූතයන් අතින් තෙරුවන් ගුණ අසා දැන ගනිත්වා!
14. පොසොන් පුන් පොහෝ දවසේ මිස්සක පර්වතයට නගීවා! ඒ දවසේ අපි ලංකාද්වීපයට යන්නෙමු.’ යි සිතූ සේක.
15. සක්දෙව් රජ තෙමේ උතුම් වූ මහේන්ද්‍ර ස්ථවිරයන් කරා එළඹ, ‘‘ලක්දිව ප‍්‍රසාදය ඇති කරවන්නට වඩිනු මැනව. සම්බුදුරජාණන් වහන්සේ ද එබව පවසන ලද සේක.
16. අපිදු එයට උපකාර කරන්නෙමු.” යි පැවසුවේ ය. (මහේන්ද්‍ර ස්ථවිරයන්ගේ මව වූ) දේවි බිසවගේ නැගණියගේ දියණියට පුතු වූ භණ්ඩුක නම් කුමර තෙමේ,
17. ස්ථවිරයන් වහන්සේ විසින් මව් බිසවට දෙසූ දහම් අසා අනාගාමී ඵලයට පත් වූයේ තෙරුන් වහන්සේ වෙත විසුවේ ය.
18. එහි මාසයක් වැඩ වාසය කොට පොසොන් පුන් පොහෝ දිනයේ දී ස්ථවිරයන් වහන්සේ තෙරුන් වහන්සේලා සතර දෙනා ද සුමන සාමණේරයන් ද භණ්ඩුක නම් අනාගාමී කුමාරයා ද
19. යන මොවුන් සමඟින් නෑයන් දැක එහි නො ඇළුණු සිත් ඇත්තේ ඒ විහාරයෙන් අහසට නැගී, මහා සෘද්ධි ඇත්තේ,
20. ක්ෂණයකින් ම මෙහි වැඩම කර, රමණීය වූ මිස්සක පර්වතයේ අම්බස්තල ගල මුදුනේ වැඩ සිටි සේක.
21. පිරිනිවන් මංචකයේ වැඩසිටි මුනිරාජයාණන් වහන්සේ විසින්, ලක්දිවට හිතසුව පිණිස ලක්දිව පහදවන්නා වූ ගුණයෙන් ප‍්‍රකාශ කරන ලද, ලක්දිවට ශාස්තෘ සමාන වූ ඒ මහා ස්ථවිරයන් වහන්සේ ලක්දිවට වැඩ පිණිස, ලක්දිවෙහි දෙවියන් විසින් පුදනු ලැබුවේ එහි වැඩ හුන් සේක.

හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘මහින්දාගමනය’ නම් වූ දහතුන්වන පරිච්ඡේදය නිම විය.

මහාවංශය – දාහතරවන පරිච්ඡේදය

නගරයට පිවිසීම

01. ඒ දෙවන පෑතිස් රජ තෙමේ නගර වැසියන්ට දිය කී‍්‍රඩා විධාන කොට මුව දඩ කෙළිය පිණිස ගියේ ය.
02. සතළිස් දහසක් වූ මිනිසුන් විසින් පිරිවරන ලද හෙතෙමේ පයින් ම දුවමින් මිස්සක පර්වතයට ගියේ ය.
03. ඒ පර්වතයෙහි වසන්නා වූ දෙවියා රජු හට තෙරුන් වහන්සේ ව දර්ශනය කරවනු කැමැත්තේ, ගෝනෙකුගේ රුවකින් යුතු ව තණ පඳුරක් කමින් සිටින අයුරක් දැක්වී ය.
04. රජ තෙමේ (ඌ) දැක, ‘(ආහාර බුදීමෙහි) පමා වූවාහු විදිය යුතු නො වන්නේ ය’ යි සිතා දුනුදිය හඬ නැංවී ය. ගෝන තෙමේ පර්වත කෙළවරට දිව ගියේ ය.
05. රජ තෙමේ ලූහුබැඳ ගියේ ය. මෘග වෙස් ගත් ඒ දෙවි තෙමේ තෙරුන් වහන්සේ සමීපයට දිව ගොස්, රජු විසින් තෙරුන් වහන්සේ ව දුටු කල අතුරුදන් විය.
06. තෙරුන් වහන්සේ ද ‘අප බොහෝ දෙනා දුටුවහොත් අධික බියට පත්වනු ඇත’ යි සිතා තමන් වහන්සේ ව පමණක් දැක්වූ සේක. මිහිපති තෙමේ තෙරුන් වහන්සේ ව දැක
07. බියට පත් ව නැවතුණේ ය. තෙරුන් වහන්සේ ඔහු හට ‘‘තිස්ස, එන්න” යැයි වදාළ සේක. ‘තිස්ස’ යන වචනයෙන් ම රජ තෙමේ (මේ) යක්ෂයෙකැයි සිතී ය.
08. තෙරුන් වහන්සේ ‘‘මහරජ, අපි ධර්මරාජයන් වහන්සේගේ ශ‍්‍රාවක වූ ශ‍්‍රමණයන් වන්නෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.” යි වදාළ සේක.
09. තෙරුන් වහන්සේගේ බස් අසා බිය පහව ගිය රජ තෙමේ, යහළුවාගේ හසුන සිහි කොට ‘ශ‍්‍රමණයෝ යැ’යි නිසැක වූයේ
10. දුනු හී (පසෙක) දමා, තෙරුන් වහන්සේ වෙත එළඹ උන්වහන්සේ සමඟ සතුටු වන්නේ ඒ තෙරුන් වහන්සේ වෙත හිඳ ගත්තේ ය.
11. එවිට මහරජුගේ පිරිස පැමිණ පිරිවරන ලද්දේ ය. එකල්හී මහා ස්ථවිරයන් වහන්සේ ද සෙසු සය දෙනා ව දැක්වූහ.
12. රජතෙමේ උන්වහන්සේලා දැක, ‘‘මොවුහු කවදා පැමිණියෝ ද?”යි ඇසී ය. ”මා සමඟන් ම” යැයි තෙරුන් වහන්සේ වදාළ කල්හි නැවතත්,
13. ‘‘මෙවැනි අන්‍ය වූ යතිවරයයන් දඹදිව සිටිත් ද?” යි ඇසී ය. තෙරුන් වහන්සේ ”කාශාය වස්ත‍්‍රයෙන් දඹදිව බබළන්නේ ය.
14. එහි ත‍්‍රිවිද්‍යා ඇත්තෝ ය, සෘද්ධියට පත් වූවෝ ය, අනුන්ගේ සිත් දකින්නෝ ය, දිව්‍ය ශ‍්‍රවණ ඇත්තෝ ය යන බුද්ධ ශ‍්‍රාවක වූ බොහෝ රහතන් වහන්සේලා ඇත්තෝ ය”යි වදාළ සේක.
15. ‘‘කුමකින් වැඩිය සේක් ද?”යි ඇසී ය. ‘‘ගොඩින් හෝ දියෙන් නො ආවෙමු”යි වදාළ කල ඒ රජ තෙමේ අහසින් වැඩම කළ බව දැන ගත්තේ ය.
16. මහා ප‍්‍රඥ ඇති ඒ මහා ස්ථවිර තෙමේ රජුගේ නුවණැති බව විචාරන්නේ රජුගෙන් ඒ ඒ පැන විමසූ සේක.
17. ‘‘මහරජ, මේ ගස කවර නමකින් හඳුන්වන්නේ ද?” යි විචාළ සේක. රජ තෙමේ ‘‘මේ ගස අඹ නම් වේ” යැයි කීය. ‘‘මේ ගස හැර අඹ ගස් වේ ද?” විමසූ කල්හි ”බොහෝ අඹ ගස් ඇතැ” යි කීය.
18. ‘‘මේ අඹ ගස ද ඒ අඹ ගස් ද හැර වෙනත් ගස් ඇති දැ?” යි විචාළ කල ‘‘ස්වාමීනී බොහෝ ගස් ඇත. ඒ ගස් අඹ ගස් නො වෙති” යි කීය.
19.‘‘ඒ අඹ ගසුත්, අඹ නො වන ගසුත් හැර වෙනත් ගස් තිබේ දැ?” යි විචාළ කල්හි ‘‘එසේ ය ස්වාමීනී. ඒ මේ අඹ ගස ය” යි කීය. ‘‘නරපතිය, ඔබ මහා නුවණැත්තෙකි” යි තෙරුන් වහන්සේ වදාළ සේක.
20. ‘‘මහරජ, ඔබගේ නෑයෝ සිටිත් ද?” ඇසූ කල ‘‘ස්වාමීනී, බොහෝ නෑයෝ වෙති” යි කීය. ‘‘මහරජ, නො නෑයෝත් සිටිත් ද?” විමසූ කල ‘‘බොහෝ නො නෑයෝ ඇතැ” යි කීය.
21. ‘‘ඒ නෑයනුත්, නො නෑයනුත් හැර අන් අයෙකු ඇත්දැ? යි විචාළ සේක. ‘‘ස්වාමීනී, ඒ මම යැ” යි කීය. ‘‘නරපතිය, ඔබ මහා නුවණැත්තෙකි.” යි ස්ථවිරයෝ වදාළ සේක.
22. මහා නුවණැති ස්ථවිරයන් වහන්සේ රජ තෙමේ නුවණැත්තෙකැයි දැන චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය වදාළ සේක.
23. දේශනාව අවසානයේ සතළිස් දහසක මිනිසුන් සමඟ ඒ නරපති තෙමේ (තිසරණ) සරණයෙහි පිහිටියේ ය.