සුභාෂිත මාධ්‍ය මෙහෙවරක අභිමානනීය පෙරගමන

වියැළී මියැදෙන්නට පෙර – ඔබ තෙමා සුරකිනු පිණිස

හා ජලස්කන්ධයකින් වට වෙලා තිබුණත්, ලෝකය වියැළෙනවා, හිටිහැටියේ අනෝරා වැසි ඇද වැටුණත්, ලෝකය වියැළෙනවා, අතට දැනෙන තෙතක් වටපිටාවේ තිබුණත්, ලෝකය නො නැවතීම වියැළෙනවා. වියැළෙන ලෝකය අපට ගෙනෙන්නේ අමිහිරි, අප‍්‍රසන්න, අකාරුණික දේවල්. සක්වල අතැඹුලක් කළ බවට උදම්අනන මේ ලෝකය අසුරු සැණකින් ලොව වටා පුවත් හකුළුවලා අපිට දෙනවා. ඒ පුවත් මවන ලෝකය තිරිසන් ගත සතුන් වගේ ගහ මරා ගන්නවා; එකෙකු ඉහළට ඔසවන පය කුහකකමින් ඊර්ෂ්‍යාවෙන් පරපීඩිත සියදහසක් විසින් ආපස්සට ඇද දැමෙනවා; කෙනෙක්ගේ සැපත, සතුට දැකලා සතුටුවෙන අය කොහෙවත් නෑ.

ඔව්…… හිතේ තෙතමනයක් නැතිව ලෝකය දකින මිනිස්සුන්ගේ රළුපරළුකම් අතරේ, ලෝකය නො නැවතී ම වියැළෙනවා.

මනුසත් බව කෙනෙකුට ලැබෙන්නේ අතිශය කලාතුරකින්. ඒ බව අපිට කියලා දුන්නේ ඒ දුර්ලභ මිනිසත් බව තුළ උත්කෘෂ්ට වූ ජීවිතාවබෝධය උපදවා ගෙන සියලූ ලෝ තතු අතැඹුලක් සේ ම දුටු භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. වත්මන් ලෝකය දකිද්දි අපිට හිතෙන්නෙ ඒ සා දුර්ලභ මිනිසත් බවක් ලබන්නවුන් අතරෙනුත් හදවතේ තෙතමනය ඇතිව, ඒ තෙතමනය ඇස්වලට අරගෙන හෘදය සංවේදීව, සානුකම්පිතව ලෝකය දෙස බලන්නවුන් අතිශයින් විරලයි කියලයි.

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මිනිසත් බව ලබන සියල්ලෝ මනුෂ්‍යත්වයේ කිරුළු පළඳන්නේ නැහැ. මිනිසත් බව අරුත් ගන්වන ඒ උත්තුංග ගුණාංගයන් අපි අපි ම දියුණුකර ගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් යහපත දකින, යහපත පතන, යහපතෙහි හැසිරෙන, ‘හිතේ තෙතමනය’ නිසාවෙන් ම ලෝකයට ම යහපත සලසන්න යොමු වුණ සොඳුරු මාර්ගෝපදේශනයක් අපි හැමෝට ම උවමනා වෙනවා. ඒ ළතෙත් බව අපට ලැබෙන්නේ වියැළී මියැදෙන සසර නම් නිරුදක කතර තෙමා සුවපත් කරවමින් වට ස්නේහනීය මහාමේඝය වූ ගෞතම සම්මා සම්බුදුරජුන්ගේ අමාදම් ගඟුලෙන් පමණ ම යි.

ඒ අමාදම් ගඟුලෙන් සිත්සතන් තෙමා ගත්තවුන් ආත්මාර්ථයේ වියළි බව දුරලලා පරාර්ථයේ තෙත් බව තුළින් ලෝකය දකිනවා. ඔවුන් කෙනෙක්ගේ සැපතකදි අවංකව සතුටු වෙනවා, දුකකදි අත නො හැර ළඟින් ඉඳලා සිත් සනසවනවා, ඉහළට යන්නවුන් තවත් ඉහළට ඔසවා තබනවා, සිතින් කයින් වචනයෙන් නිරන්තරයෙන් යහපත සිදු කරනවා. එවන් මිනිසුන් ඉන්න තැනක, ලෝකය අපරිමිත මානව ගුණ සුවඳින් පිරීතිරී යනවා.

එවැනි සොඳුරු මිනිසුන් නැති තැන තමයි දූෂණ, වංචා, සටකපටකම්, හෙලා දැකීම්, පෙලා දැමීම්, පළි ගැනීම් වගේ දුරාචාරයන් හිස ඔසවන්නේ. දැන් ලෝකය ඒ දුරාචාරයන්ගේ රජ දහනක්. එලෙස ඔද්දල් වුණ සමාජ යාන්ත‍්‍රණයක දුර්භාවිතයන් සුභාවිත කරන්නයි තෙතමනයක් ඇතිව ලෝකය දකින කවරෙකු වුණත් උත්සහ කරන්නේ.

කාලයක් පුරාවට ලොවට නෑසුණ ඒ ළතෙත් බවේ පණිවිඩය ඔබ කරා ගෙන එන්න, වළලා තිබුණ දහම යළි ඉස්මතු කරවා ඔබට දායාද කරන්න ඇපකැප වුණ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද යතිවරයාණන් වහන්සේගේ සුපින්වත්, ළතෙත් හදමඬලෙහි ජනිත වුණ සංකල්පනාවක් තමයි මේ සදහම් මහාමේඝය. එය ඔබ වෙත තිළිණ කරන්නේ ‘ගෞතම සම්බුදු සමිඳුන්ගේ පාරිශුද්ධ, නිකෙළෙස් ළය මඬලෙහි උපන් ළතෙත් බවේ සොඳුරු, සුබ පණිවිඩය’ ම යි.

මාධ්‍යයක වගකීම වන්නේ සමාජයේ හිතසුව පිණිස පවතින්නා වූ, සත්‍යය වූ දෙය සුදුසු කාලයේ දී සමාජගත කිරීම. නූතන මාධ්‍යයන් මේ සදාචාර සම්පන්න වගකීමෙන් සහමුලින් ම බැහැර වී තිබිය දී යි 2010 වසරේ නිකිණි පුර පොහො දවසේ වස්සානයේ ඇරඹුම සනිටුහන් කරමින් ‘මහාමේඝ’ ඔබ අතට පත්වුණේ. ගිනි ගත් සමාජයට උවමනා කළේ නිවී සැනසිය හැකි දෙයක්. සැනසීමට මඟ පෙන්වන දෙයක්. සිත් නිවා සනසවන සම්බුද්ධ ශාසනයක, සුපින්වත් සිත්හි නිවන වෙනුවෙන් තමයි ‘මහාමේඝ’ මුල පිරුවේ. බුදු දහමින් සුපෝෂිත සුපින්බර දේශය වල්මත් ව ඉරි තැලී වියැළෙද්දී, ඉන් නො වියැළී, නිවී සැනසීම ජීවිතාර්ථය කරගත් සුපින්වත් මිනිසුන් උදෙසා ම යි, මේ ළතෙත් වූ මහාමේඝය.‍

ඉඳින්, කල්යල් බලා සපැමිණි මේ සදහම් මහාමේඝයෙන් සිත්සතන් තෙමා හරිමින්, වියැළෙන ලෝකයෙන් නිදහස් වී සියල්ලෝ සුවපත් වෙත්වා!

වියැළී මියැදෙන්නට පෙර – ඔබ තෙමා සුරකිනු පිණිස

මහාමේඝ’