ඔව්… මනුලොව කවුරුත් නොසිතූ ඒ සුන්දර දිනය උදා වී ය. ඒ මීට වර්ෂ දෙදහස් හයසිය දහ නවයකට පෙර දිනකි. උද්‍යාන ක්‍රීඩාවේ සිටි සිද්ධාර්ථ කුමරුට ඒ පණිවිඩය ලැබුණි. යශෝධරාවෝ පින්වත් පුත් කුමරෙකු බිහි කළ බව එහි සඳහන් විණි. එය ඇසූ සැණින් “රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං” – “රාහුලයෙක් උපන්නේ ය. බන්ධනයක් උපන්නේ ය!”‍ යන මේ වදන ඔහුගේ මුවින් පිට විය. සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පාරමී පූරණය සම්පූර්ණ ය. මනුලොව සියල්ලෝම පාහේ නින්දෙහි ගැලී සිටින කල දෙවි බඹුන් දෑස් දල්වා බලා සිටිති… ඔව්… අද සිද්ධාර්ථ මහ බෝසතාණෝ අවසන් අභිනිෂ්ක්‍රමණය කරන්නාහ. ඒ වෙනුවෙන් සියල්ල ම සූදානම් ය. සැබැවින් ම එය එසේ ම විය. අද වැනි ඇසළ පුන්පොහෝ දිනක එවැනි අසිරියක් සිදු නොවුණා නම්, ඔබ ඔතැන නැත. මම ද මෙතැන නැත.

අප මහ බෝසතාණන් වහන්සේ සසරෙහි ගිනිය නොහැකි වාර ගණනක් සියලු‍ සැපසම්පත් අත්හැර අභිනිෂ්ක්‍රමණය කළහ. පෙරුම් පිරූ කාලයෙහි අවම වශයෙන් එක් කල්පයකට එක් වතාවක් ගිහි බන්ධන සිඳලූ සේක් නම් උන්වහන්සේ අසංඛෙය්‍ය සතරකුත් ලක්ෂ වාරයක් අභිනිෂ්ක්‍රමණය කළ සේක් ම ය. අසිරියකි…! උන්වහන්සේ පිටුපසින් යමෙක් කාම මඩ ගොහොරුවේ නොලැග අභිනික්මන් කළහු ද ඒ සියල්ලෝ ද බිහිසුණු සසර දින්නහ. අදෝමැයි… අවාසනාවකි… ඒ සසරෙහි ම අපි ද සිටියෙමු. එහෙත් අපි තාමත් නාකි ඌරන් මඩේ ම ලගින සේ කාම මඩෙහි ම යළි යළී ගිලී සසර ම පෝෂණය කරන්නෙමු. දිනෙන් දින නීච සැපය ම සොයන්නෙමු… අසූචියට ඉව අල්ලන නිලමැස්සන් සේ අපිදු අසූචි සැප නම් වූ කම් සැපයට ම ඉව අල්ලමු. අත්හැරීමේ සේයාවක් ද නොමැත.

අප මහ බෝසතාණන් වහන්සේ සේ ම මහා ශ්‍රාවක ශ්‍රාවිකා චරිත අතීත ජීවිතවල දී විමුක්තිය උදෙසා සිදු කරන ලද පරිත්‍යාගයන් පිළිබඳව කතා රැසක් දහම් පිටු අතරින් කියවන්නට ලැබුණි. උන්වහන්සේලාට සැබැවින්ම විමුක්තිය පිණිස අත්හැරීමට දේවල් තිබුණි. එහෙත් අපට… විමුක්තිය පිණිස පමණක් නොව සුනාමියෙන්, ගංවතුරෙන්, නායයෑමෙන් දිවි ගලවාගෙන පැන යාමේදීවත්, අත්හළ නොහැකි යමක් ඇද්ද… උන්වහන්සේලා අත්හළ කුඩා ම වටිනාකමින් යුත් දේ සමඟවත් අපේ වත්කම් අහසට පොළව මෙන් දුර ය…

ඒ මහෝත්තමයෝ රනින් රිදියෙන් කළ හැඳි පිඟන් අත්හැර මැටි පාත්‍රය අතට ගෙන ගෙයක් පාසා පිඬු සිඟා වැඩියේමුත් අපට රිදී පාටට දිලිසෙන සුදු යකඩ හැන්දත්, කිරි පාටට පාට කරන ලද පිඟන් මැටි තැටි කබලත් අත්හැර ගැනීමට නොහැකි ය. උන්වහන්සේලා සුසිනිඳු සළුපිළි අත්හැර, පිරිසිදු රනින් කළ අධික වටිනාකමින් යුත් මුතු මැණික් දියමන්ති සවි කළ ආභරණ අත්හැර, සොහොනින් කුණු ගොඩවලින් ඇහිඳ ගත් රෙදිවලින් මැසූ කසාවත දරාගත් නමුත් අපට රුපියල් පනහේ සීයේ සිට දාහ දෙදාහ දක්වා වූ පාංකඩ වැනි ඇඳුම් කෑලිවලින් මැවුණු විලාසිතා ලෝකයක් සහ පොල් කෙන්දක් දෙකක් මහත චේන් පොටක්, මුද්දක්, කරාබුවක් අත්හැර ගැනීමට නොහැකි ය. උන්වහන්සේලා ධාර්මිකව ලද රන් ඔටුනු ගලවා අභිනීල කෙස් වැටිය කපා හිස මුඩු කරගත් නමුත්, ලේඬි උකුණන් පිරුණු, අකලට පැහෙන, අකලට වැටෙන, ගඳ ගසන හිසකෙස් කපා ගැනීමට අපට නොහැකි ය.

එපමණක් ම නොවේ. උපතින් ම ලද රන්වන් පැහැති බබළන සුසිනිඳු සමකින් සහ ව්‍යායාම්, බෙහෙත්වලින් තොරව උපතින් ම ලද සුන්දර ස්වභාවික රූ සපුවකින් යුක්ත වූ – ස්වභාවිකව ලද සුන්දර දෙනෙතක් හා සුන්දර පැහැයෙන් යුතු තොල් සඟලක් මෙන් ම ස්වභාවිකව දිලිසෙන දිගු නිරෝගී කේශ කල්‍යාණයකින් යුතු අභිරූපී පංචකල්‍යාණී කුමාරිකාවන්, බිරින්දෑවරුන් ව සිටිය දී ඒ සියලු‍ දෙනා අත්හැර පැවිදි වන්නට, කසාවත් දරන්නට උන්වහන්සේලාට හැකි විය. එනමුත්… උපන්දා සිට නා නා ප්‍රකාර දේවල් තවරමින් සුදුමැලි පාටක් මතු කරගෙන, උලා ලෑම නිසා ම ගෙවී ගොස් සිනිඳු ගතියක් සකස් කර ගත් සමකින් යුක්ත… ලෝකයට පෙනෙන සම පමණක් පැහැපත් වී සැඟවුණ තැන් උපන් අප්‍රිය අවලස්සන දුර්වර්ණ දුගඳින් යුක්තව ම පවතින, ප්‍රේතියන් මෙන් ආහාර අඩුවෙන් ගෙන සිරුරේ මේදය වියළා දමා හිතාමතාම කෘෂ කරගෙන, සකපෝරුවේ දමා වෙහෙස වී මැටි කළයක් තනන්නා සේ අධික ව්‍යායාම්වලින් ශරීරයේ හැඩය සකසාගෙන සිටින… ප්ලාස්ටික් කෑලි ඇස් ගුලිවල ඔබාගෙන ඇස් පාට කරගත්, ඉටි තීන්තයෙන් වර්ණ ගැන්වූ තොල් සහිත… සැලෝන්වල පිහිටෙන් කාලෙකට ඇඹරී ගිය, කාලෙකට කෙළින් වී ගිය – කාලෙකට කාලවර්ණ සහ තවත් කාලෙකට මලකඩ වර්ණ කෙස් කළඹක් නඩත්තු කරනා… මවාගත් රූසපුවකින් යුතු, දියසායම් චිත්‍රයක් බඳු ඉමිටේසන් පංච කල්‍යාණියන් රැලක් අත්හැර ගැනීමට නොහැකිව නැවත නැවතත් අපි සසරේ ම යන්නෙමු.

මහ පොළවට පස් වී යන බොහෝ දේ කෙරෙහි අපි “මගේ මගේ,”‍ කියමින් මාන්නයෙන්, උඩඟු‍කමින් සිටින්නෙමු. කොස් ගෙඩියට, පොල් ගෙඩියට පවා මිනී මරා ගනිමින්, වැට කඩුලු‍වලට පොර බඳිමින් දින සති මාස ගෙවන්නෙමු. ඒ කිසිවක් ගෙන ගිය කෙනෙක් ද නැත. එහෙත් ආයෙ ආයේ සසරට ම බැඳුනෙමු. ආයෙ ආයේ එයට ම ඇළුම් කළෙමු. අත්හැර ගන්නට නොහැකි බොහෝ දේ සිහියට පැමිණෙන නමුත්, ඒ අතීත උතුමන් වහන්සේලාගේ ජීවිත දෙස බලද්දී අප හට අත්හැරීමට ඇත්තේ හිඟන සැපයක් පමණි. සැබෑ කම්සැප අත්හැරියේ උන්වහන්සේලා පමණි. අපේ සිතැඟි තාමත් මඩෙහි ම ලගින්නට ය.

අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “උදායි, ඉතා දිළිඳු වූ, තමා සතු කිසිවක් නැති, නිසරු පුරුෂයෙක් ඉන්නවා. ඔහුට පරාල කඩා වැටිලා, කපුටන්ට පවා රිංගන්නට පුළුවන්, කිසි පෙනුමක් නැති එකම පැල්පතක් තියෙනවා. එහි ලණු කැබලිවලින් අපිළිවෙළකට වියූ උණ බටවලින් කළ ඇඳකුත් තියෙනවා. එහි වළං කබලකුත්, පුස් බැඳුණු ධාන්‍ය ටිකකුත් තියෙනවා. ඒ වගේ ම ඔහුට කිසි පෙනුමක් නැති නීච ගති ඇති බිරිඳකුත් ඉන්නවා. ඉතින් ඔහු අරණෙහි සිටින භික්ෂූන් දකිනවා. ඒ භික්ෂුව හොඳින් අත් පා සෝදා පිරිසිදුවට ඉන්නවා. ප්‍රණීත දන් වළඳනවා. සිහිල් සෙවණ ඇති රුක් සෙවණේ බවුන් වඩනවා. ඒ භික්ෂුව දකින ඔහුට මෙහෙම හිතෙනවා. ‘අහෝ! මේ ශ්‍රමණ භාවය නම් සැපයක් ම යි. භවත්නි මේ ශ්‍රමණ භාවය නම් නිරෝග බවක් ම යි. ඒ නිසා මටත් සැබැවින් ම ගිහි ගෙය අත්හැර කෙස් රැවුල් බා කසාවත් දරා බුදු සසුනෙහි පැවිදි වෙන්නට ඇත්නම් කොතරම් හොඳ ද’ කියලා.”

එහෙත් පුදුමයකි… භාග්‍යවතුන් වහන්සේ වදාළේ අර කිසිවක් අත්හැර එම පුරුෂයාට අනගාරික බුදු සසුනේ පැවිදි වෙන්නට හැකියාවක් නෑ කියායි. එය හරියට පුංචි කැටකිරිල්ලක් දිරාපු වැල් පොටකින් බැන්දා සේ ය. පුංචි කැට කිරිල්ලට දිරාපු වැල්පොට ද සුවිසල් බන්ධනයකි. බලවත් බන්ධනයකි. දැඩි ස්ථීර බන්ධනයකි. කැට කිරිල්ලට ඉන් කිසිදා නිදහස් විය නොහැකි ම ය. අර පුරුෂයාට ද එලෙසින් ම ය. අපටත් එය එසේ නොවේ ද?

භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළ සේක. “උදායි ඉතා ආඪ්‍ය වූ මහා ධනය ඇති, මහා භෝග සම්පත් ඇති, රැස් කරගත් නොයෙක් රන්රුවන් ඇති, රැස් කරගත් නොයෙක් ධනධාන්‍ය ඇති, රැස් කරගත් නොයෙක් බිරින්දෑවරුන්, රැස් කරගත් නොයෙක් කෙත් ඇති, රැස් කරගත් නොයෙක් වතුපිටි ඇති, රැස් කරගත් නොයෙක් මෙහෙකරුවන්, මෙහෙකාරියන් සිටින ගෘහපතියෙක් ඉන්නවා. එහෙමත් නැත්නම් ගෘහපති පුත්‍රයෙක් ඉන්නවා. ඔහුටත් අරණෙහි සිටින භික්ෂුවක් දකින්නට ලැබෙනවා. ඒ භික්ෂුව හොඳින් අත් පා සෝදා පිරිසිදුවට ඉන්නවා. ප්‍රණීත දන් වළඳනවා. සිසිල් සෙවණ ඇති රුක් සෙවණේ බවුන් වඩනවා. ඒ භික්ෂුව දකින ඔහුට මෙහෙම හිතෙනවා. ‘අහෝ මේ ශ්‍රමණභාවය නම් සැපයක් ම යි.

නිරෝග බවක් ම යි. ඒ නිසා මටත් සැබැවින් ම ගිහිගෙය අත්හැර කෙස්රැවුල් බහා කසාවන් දරා බුදු සසුනෙහි පැවිදි වෙන්නට ඇත්නම් කොතරම් හොඳ ද’ කියලා.”‍ අහෝ අසිරියෙන් අසිරියක් ම ය… භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ පුරුෂයාට අර සියල්ල අත්හැර ඒ බන්ධනයෙන් මිදී ගිහිගෙයින් නික්මී අනගාරික බුදු සසුනේ පැවිදි වෙන්නට හැකියාවක් ඇති බවයි. ඔහුට අර සියලු‍ බන්ධන බල රහිත දුබල, දුර්වල, කුණු වූ බන්ධනයන් ම ය. එය හරියට සුවිශාල දළ යුගළක් ඇති, හොඳින් වැඩුණු සිරුරක් ඇති මහා හස්තිරාජයෙක් යුධ භූමියේ දී දැඩි වරපටකින් බැන්දොත් සුළු උත්සාහයකින් ම එහාට මෙහාට නවා ඒ බන්ධනය සිඳ බිඳ දමා කැමති සේ යන්නා සේ ය.

පින්වන්ත මහා උත්තමයෝ එවන් බන්ධන ද සිඳගෙන ගොස් අමා මහ නිවන නම් වූ අමෘතය වැළඳූ සේක. සියලු‍ දුකින් නිදහස් වූ සේක. සංසාර සැඩ පහර තරණය කළ සේක. අහෝ අප කවර නම් දිනක එසේ වන්නෙමු ද? බොහෝ දෙනෙක්ගේ කල්පනාව තාමත් ඒ මඩෙහි ම ලැග සතුටු වීමට ය. නමුත් සතර අපාය මහගෙදර කරගෙන යන ගමනේ දී අපට බොහෝ විට ලගින්නට වෙන්නෙ මනුලොව දෙව්ලොව නොව අනන්ත දුක් ඇති නිරය, ප්‍රේතලොව, තිරිසන් ලොව බව මනා කොට සිහි එළවා ගත යුතු ය. මඩෙහි ලගින්නට ගොස් දුක් විඳිනවා ද ඉන් නිදහස් වන්නට වෙර දරනවා ද යන්න තීරණය කළ යුත්තා ඔබ ම ය. අද වැනි දිනක සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ සියල්ල අත්හැර අභිනිෂ්ක්‍රමණය කළ අයුරු නුවණින් සිහි කරන්න. එය ඔබට බොහෝ කලක් යහපත පිණිස පවතිනු ඇත. යම් දිනක ඔබට ද අභිනික්මන් කරන්නට එය පිටුවහලක් වනු ඇත. මඩෙහි ම ලගින්නට ආශා නොකරත්වා!

සියලු‍ දෙනාටම, ‘ඒ අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා!’

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.