සිල්වත් වීම කියන්නෙ මොකක්ද? යමෙක් සිල්වතෙක් වන්නේ කවර කරුණු මත ද? භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යයාට කියා දෙනවා. ‘‘මහානාමයෙනි, යම් කලක පටන් උපාසකයා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි ද, සොරකමින් වැළකුණේ වෙයි ද, වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි ද, බොරු කීමෙන් වැළකුණේ වෙයි ද, මත්පැන්,මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි ද, මහානාමයෙනි, මෙපමණකින් උපාසක තෙමේ සිල්වතෙක් වෙයි.” මෙය ශ‍්‍රාවකයාට සීල සම්පත්තියක් ලෙස ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ‘සම්පතක්’ කියන්නෙ තමාටත් අනුන්ටත් අගය පිණිස පවතින දෙයක් නේ ද?
සීලය තමාට සම්පතක් වෙන්නේ කොහොම ද? සිල් පද ආරක්ෂා කිරීමෙන් සිතට ලැබෙන රැකවරණය ම ඔහු ලබන සම්පතක්. භාග්‍යවතුන් වහන්සේ පැනවූ සිල් පද රකින උපාසක ශ‍්‍රාවකයා සිල්වත් කෙනෙක්. අන්න එ් සීලයේ ඔබ හික්මෙනවා නම් එයින් වඩාත් සතුටක් ඇති කර ගන්න ම යි ඕන. ලෝකයෙන් යහපත බලාපොරෙත්තු වෙන්න නම් බැහැ. එ් වගේ ම ලෝකයේ ‘රැල්ලට’ අහු වෙලා පාපයට යොමු වූ සිත් ඇති තැනැත්තාට සීලය රැකීමේ උනන්දුවක් නැහැ. පාපී සිතේ ම වෙළෙමින් ගත කරන ජීවිතයේ ඔහුට ආස්වාදයක් ම යි තිබෙන්නේ. එ් ආස්වාදයට ම අලගු තියන්නට, රුකුල් දෙන්නට හැදුණු ලෝකයක ම යි නේ ද ජීවත් වෙන්නට සිදු වෙලා තිබෙන්නේ? පාපයට සත්කාර සම්මාන දෙන ලෝකයක, පාපයේ ගැලීම ජීවිතය යැයි පෙන්වන ලෝකයක, ජීවිතයේ සුන්දරත්වය තිබෙන්නේ පාපයක යැයි පෙන්වන ලෝකයක, සිතට රැුකවරණයක් කොයින් ද? පාපයට බර ජීවිතයකට ම යි තනතුරු තානාන්තර ලැබෙන්නේ. පාපී ක‍්‍රියාවෙන් ජීවත්වෙන්නන්ට ම යි ලොව පාලනයක් ලැබෙන්නේ. එහෙනම් අපේ ජීවිතයට පාපී ඇසුරක් ලැබීම කියන්නෙ සාමාන්‍ය දෙයක් වෙලා නො වේ ද? දසත පෙනෙන ලෝකයෙන් ලැබෙන ඇසුර පාපී දෙයක් නම්, සිත යහපතේ යෙදෙනවා කියන එක නොවෙන දෙයක් ම යි. තමන් ඇසුරු කරන මිත‍්‍රයා තමන්ට ම අගුණය පෙන්වා දෙන ලෝකයක කොහොම නම් සිල් රකින්න ද? භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා, ‘‘…පාප මිත‍්‍රයන් ඇති බව සීලයට අනතුරකි….” යනුවෙන්.
(ඉට්ඨධම්ම සූත‍්‍රය – අං. නි. – 6)
එ් වගේ ම මහා කාරුණිකයාණන් වහන්සේ අපට මේ විදිහටත් දේශනා කොට වදාරණවා. ‘‘මහණෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මෙය කැමති විය යුත්තේ ය. සිල්වත් වන්නේ ය, ප‍්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වන්නේ ය, යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ ය, අනුමාත‍්‍ර වූ වරදෙහිත් බිය දකින සුලූ ව සමාදන් වූ ශික්ෂා පදයන්හි හික්මෙන්නේ ය යන කරුණ යි.”
(සම්බෝධිපක්ඛිය සූත‍්‍රය – අං. නි. – 5)
අපේ ජීවිතයට අනතුරු සහිත පාප මිත‍්‍ර ඇසුර වළක්වා නො ගන්නා තාක්, සීලය තුළ හිත හික්මෙනවා කියන කාරණය සිදු නොවෙන දෙයක්. ඇයි එ්? සිල් රකින්න දෙනවා ද පාප මිත‍්‍රයා? කවදාවත් නැහැ. ‘‘ඔය පොඩි පොඩි සත්තු මරන එක පාපයක් නෙවෙයි” කියල තමාගේ සිතත් කෙලෙසෙන අදහස් එන්නේ ම පාප මිත‍්‍රයාගෙන්. ”ඔය අනුන් ළඟ තියන වැඩිපුර දේවල් ගත්තට මොකද වෙන්නෙ?” කියනව. ‘‘එ් එ් අය කැමති නම් ඕන තරම් මිනිස්සු කාම සේවනය කළාට එ්කෙ වරදක් දකින්නෙ කොහොම ද?” කියනව. ”බොරුවක් කියල හරි තමන්ගෙ වැඬේ කර ගත්තාම පහසුයි නම් ඉතින් බොරුව කිව්වා ම වරදක් නෑ නෙ” කියනව. ”රා අරක්කු හොඳ නෑ තමයි. එ්ත් ඉතින් ඔය සැර අඩු මත්ද්‍රව්‍ය ගත්තට මොකද වෙන්නෙ” කියනව. මේ වගේ පාපී අදහස් වපුරුවන පාප මිත‍්‍රයාගේ ඇසුර නිසා ම යි සිත කෙලෙසෙන්නෙ.
ඉතින් මේ සිත කෙලෙසෙන ගතිය දුරුකර ගන්න එක ම යි හොඳ. සිත කෙලෙසෙන්නෙ අකුසලයෙන් නේ ද? බලන්න බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යයාට කියා දෙනව.
‘‘මහානාමය, යම් කලෙක ආර්ය ශ‍්‍රාවකයා සීලය සිහි කරයි ද, එකල ඔහුගේ සිත රාගයට යටවන්නේ නො වෙයි. ද්වේෂයට යට වූ සිත් ඇත්තේ නො වෙයි. මෝහයට යට වූ සිත් ඇත්තේ නො වෙයි. එකල ඔහුගේ සිත සීලය අරබයා ඍජුව පවතින්නේ ය. මහානාම, ඍජු වූ සිත් ඇති ආර්ය ශ‍්‍රාවකයා යහපතෙහි සතුට ලබයි. ධර්මයෙහි සතුට ලබයි. ධර්මයෙන් යුතු වූ ප‍්‍රමුදිත බව ලබයි.
ප‍්‍රමුදිත බව ඇත්තහුට ප‍්‍රීතිය උපදියි. ප‍්‍රීති සිත් ඇත්තහුගේ කය සන්සිඳෙයි. සන්සිඳුණු කය ඇත්තේ සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. මහානාමය, මෙම ආර්ය ශ‍්‍රාවකයා විසමගත සමාජයෙහි සම බවට පැමිණ වසන්නේ යැයි කියනු ලැබේ. දුක සේ වසන සමාජයෙහි නිදුක් ව වසන්නේ යැයි කියනු ලැබේ. දහම් මගට පැමිණියේ සීලානුස්සතිය දියුණු කරන්නේ යැයි කියනු ලැබේ.”
(මහානාම සූත‍්‍රය – අං. නි. – 6)
රාග ද්වේෂ මෝහ සදහට දුරු කරන මේ නිවන් මඟ කියන්නෙ ආරම්භයේ දී ම සීලයෙන් පිරිසිදු කර ගනිමින් වාසය කරන්න ඕනැ එකක්. සිත සීලයට නො නැමෙන පාප මිත‍්‍ර ඇසුරු කරන්නා හට එ් සීලයේ ගුණ සිතන විට කෙලෙස් යටපත් වනවා කියන්නෙ කෙතරම් ලාභයක් ද? භාවනාවක් ලෙස සීලානුස්සතිය පුරුදු කරමින් සිටින ඔහු හට සීලය අරබයා ඍජුව පවතින සිතක් නො වේ ද ඇති වෙන්නේ? අන්න එ් ඍජුකම නැති අලාභය නිසා ම අපිට සිදු වෙන පුංචි සීල අසංවරයක්, සීලයේ පළුද්දක් එතරම් ගණනකට ගන්නේ නැහැ. අන්න එ් ලැජ්ජා බය ප‍්‍රහාණය වුණ සිතට නැවත නැවතත් එ් සීල අසංවරය ඇති කරගන්නට කිසි ම පැකිලීමක් නැහැ.
නමුත් සීලානුස්සතිය සිතමින් ඍජු වූ සිත් ඇති ආර්ය ශ‍්‍රාවකයාට තමාගේ ජීවිතය යහපතෙහි යොදවා, එයින් සතුට ලබන්නට හැකි නො වේ ද? ඔහු සැබෑ ලෙස ම ධර්මයෙහි සතුට ලබන්නෙක් ම යි. ධර්මයෙන් යුතු වූ නැවුම් සිතකින් වාසය කරනව. අන්න එ් ප‍්‍රමුදිත බව උපදවාගෙන වාසය කරන කෙනා බණ භාවනා ප‍්‍රගුණ කරන විට සිතේ ප‍්‍රීතිය උපදිනවා. ප‍්‍රීති සිත් ඇත්තාගේ කය සන්සිඳෙනවා. සන්සිඳුණු කය ඇත්තා සැපයක් විඳිනවා. එසේ සැපයෙන් වාසය කරන්නාගේ සිත සමාධිමත් වෙනවා නේ ද?
එසේ නම් අපි මේ සීලය රකිනවා කියන කාරණය සජීවී ව පවත්වන කෙනෙක් වෙන්න ඕනෑ. එ්කට උපකාර වන ඉතා ම වැදගත් කාරණයක් තමයි අපි අද ඉගෙන ගත්තේ. එ් ශ‍්‍රාවකයා තමන් රකින සීලය සිහි කරමින් සීලානුස්සතියේ යෙදෙන විට ඔහුට ලැබෙන ආනිශංස දැන් අපි ඉගෙන ගත්තා. අන්න එ් ශ‍්‍රාවකයා කොහොම කෙනෙක් ද? ඔහුට විසමගත සමාජයෙහි සම බවට පැමිණ වසන්නේ යැයි කියනවා. දුක සේ වසන සමාජයෙහි නිදුක් ව වසන්නේ යැයි කියනවා. දහම් මගට පැමිණ සීලානුස්සතිය දියුණු කරන්නේ යැයි කියනවා.
මේ ආකාරට සීලයට අනුග‍්‍රහ නැති, විසමගත අසත්පුරුෂ සමාජයක සමව වාසය කරන්නට හැකි ධර්මයක්, දුකින් පීඩා විඳින සමාජයේ නිදුකින් වාසය කරන්නට හැකි ධර්මයක් තමයි අපි ඉගෙන ගත්තේ.
එ් උතුම් සිල් පදවල සංවර වෙමින් සියල්ලෝ නිදුකින් වෙසෙත්වා!
මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK
මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.
Recent Comments