සංසාරය නම් වූ අති දීර්ඝ ගමනක නිරතව සිටින අපට, මේ ගමනෙහි මුලක් හෝ අවසානයක් පෙනෙන තෙක් මානයක නැති බව සේ ම, මේ ජීවිතය එහි පුංචි නවාතැන්පළක් බව ද අමතකව ඇති සෙයකි. නිරයෙහි, පේ‍්‍රත ලෝකයෙහි අනේක වාරයක් දුක් විඳිමින් පැමිණි අපිට මේ මිනිසත් බව, ගමන් වෙහෙස නිවා ගන්නට මුණ ගැසුණ පැන් තොටක් සේ ය. බොහෝ කාලයක් දිය බිඳක් නො ලද දුෂ්කර ගමනක දී අතරමඟ හමුවන පැන් පොකුණෙන් පිපාසය සන්සිඳුවා ගන්නවා වෙනුවට අප කරන්නේ අනෙකකි. ඇතැමෙක් පොකුණ වටේ කැරකෙමින් එහි සිරි නරඹති; තවකෙක් එහි මාළුන් අල්ලති; එහි ගැඹුරු පර්යේෂණ කිරීමට කැමති ඇතැමෙක් ද සිටිති, සමහරු දිය කෙළියේ යෙදෙති, ‘මේ පොකුණ මීට වඩා වෙනස් විය යුතු ය’ යි සිතා ඇතැමෙක් එ් කාර්යයේ නියැලේ. අවසානයේ පිපාසය සන්සිඳුවා ගන්නට කිසිවෙකුටත් සිහිපත් නො වෙනු ඇත. තමාට රිසි පරිදි, තමා නියැලෙන කාර්යය තමාගේ මූලික කර්තව්‍ය කරගත් කල පිපාසයක් ඇති බව ද අමතක වී යයි. පවස නිවා ගන්නට පැන් බිඳක් පානයකර පැන් පොකුණ අත්හැර යන්නේ ඉතාමත් කලාතුරකින් පැමිණෙන ප‍්‍රඥවන්ත පුද්ගලයෙක් පමණ ය.

අප ලද මිනිස් ජීවිතය ද එසේ ම ය. අපට කළ යුතුව ඇත්තේ අනෙකකි, නමුදු තම තමන්ට ජීවත් වන්නට ලැබුණ සමාජ වටපිටාව මුළු මහත් ලෝකය ම යැයි සලකමින් අප එ් තුළ අපට තැනක් සොයන අරගලයේ යෙදී සිටිමු. සිතන්න… ඔබේ වටපිටාව සුපිරි නිවාස සංකීර්ණයක් ද….?, නැති නම් ග‍්‍රාමීය පැල්පත් පෙළක් ද….?, මුඩුක්කු පරිසරයක් ද….? එ් කුමන පරිසරයක් තුළ වුව ද අප අපට හිමි තැන රැකගන්නට ජීවිතයේ බොහෝ දේ කැප කළා නො වේ ද? පාසල තුළ හෝ විශ්ව විද්‍යාලය තුළ හෝ රාජකාරි කරන ස්ථානයේ හෝ ගමේ සමිතියක හෝ කැපී පෙනෙන පුද්ගලයෙකුු ලෙස ‘මුදුනෙහි’ සිටීමට බොහෝ දෙනෙකු ආසා කරති. එ් වෙනුවෙන් නොයෙක් ප‍්‍රතිපත්ති ආරක්ෂා කරති. එ් ප‍්‍රතිපත්ති වෙනුවෙන් ජීවිතය ම කැප කරති. කුමන පසුබිමක හිඳ ආරක්ෂා කළ ද අනාර්ය වූ එම ප‍්‍රතිපත්ති තුළින් ඕනෑම පුද්ගයෙක් අපෙක්ෂා කරනුයේ ‘තමාට හිමි තැන’ රැකගැනීමට ය.

ඇතැමෙක් දේශපාලන කරළිය තුළ දැඩි පිළිවෙත් රකිමින් එ් තුළ තමාගේ අනන්‍යතාවය රැකගැනීමට වෙහෙසෙති. තවකෙක් සම්ප‍්‍රදායික ප‍්‍රතිපත්ති රකිමින් තම ජාතියේ, කුලයේ පැවැත්මේ පුරෝගාමියා වන්නට දඟලති. තවත් අයෙක් සංස්කෘතිකමය ප‍්‍රතිපත්ති රකිමින් පරමාදර්ශී පුද්ගලයෙක් වීමට තැත්කරන බවක් පෙනේ.

දේශපාලනික, සංස්කෘතික හෝ ආගමික වශයෙන් හෝ යම් කිසි රාමුවක් තුළ හිඳ ඔබ ජීවිතය පුරාවට රකින ප‍්‍රතිපත්තිය නිසාවෙන් ඔබ ‘ප‍්‍රතිපත්තිගරුක පුද්ගලයෙකු’ ලෙස සමාජය විසින් ඉහළ තැනකට ඔසවා තබන්නට පුළුවන. නමුත් එම ස්ථානයේ හිමිකම රඳා පවතිනුයේ තණ අග රැුඳි පිනි බිඳක් වියැකී යන තරම් කාලයකට සමාන වූ අප හට මිනිස් ලොව ගත කරන්නට ලැබී ඇති ආයු කාලය තුළ පමණි. ඉන් ඔබ්බෙන් අපට ගමන් කරන්නට ඉතිරිව ඇති අති දීර්ඝ සංසාරය තුළ රැකවරණයක් සලසා දීමට එම ප‍්‍රතිපත්තිවලට නො හැකි වනු ඇත. ඔබ රකින කවර ප‍්‍රතිපත්තියක් වුව ද එය ඔබ ව අවසානයේ රැගෙන යන්නේ නිරයට නම්…, පේ‍්‍රත ලෝකයට නම්…., තිරිසන් ලෝකයට නම්… එහි ඔබ අසරණවන දිනයේ දී ඔබව රකින්නට එම ප‍්‍රතිපත්ති ඉදිරිපත් නො වනු ඇත. ඔබ විසින් ම රකින ලද ප‍්‍රතිපත්ති එදිනට ඔබ විසින් ම නිෂ්ප‍්‍රභා කරදමනු ඇත.
නිරයේ වැටුණු කල, කෑ මොර දෙමින් දුක් විඳිනවා මිසක තමාට හිමි ‘තැනක්’ එහි නැත. පේ‍්‍රත ලෝකයේ උපත ලදහොත් කෙසේ හෝ සෙම් සොටු ටිකක් ආහාරයට සොයාගන්නා අරගලය මිස ඉන් එහා වෙන දෙයක් නැත. බල්ලෙකු, බළලෙකු වී ඉපදුණහොත් දෙන දෙයක් කා බී නකුට හකුළුවාගෙන නිදාගන්නවා හැරෙන්නට කුමන ප‍්‍රතිපත්ති ද?

‘අරක’ නම් වූ ශාස්තෘන් වහන්සේගේ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000කි. එකල උන් වහන්සේ වදාළේ, මේ ජීවිතය ඉතා වේගයෙන් අවසන්වන බවත්, එ් නිසා අප‍්‍රමාදී විය යුතු බවත් ය. අද අපගේ ආයුෂ එකල ආයුෂයෙන් දාහෙන් පංගුවක් තරමට අඩු වී තිබිය දී වහා වහා අප‍්‍රමාදී ප‍්‍රතිපදාවේ යෙදෙනවා හැරෙන්නට සැබෑවට නම් අපට කරන්නට වෙන දෙයක් නො තිබිය යුතු ය.

ඉතිහාසය දෙස බැලීමේ දී නා නා නම් ගොත් ඇති පුද්ගලයන් තම තමන්ට හිමි ක්ෂේත‍්‍රයන් තුළ පිළිවෙත් සම්පූර්ණ කොට ‘නමක්’ ඉතිරි කොට ජීවිතයෙන් සමුගෙන ඇති බව පෙනී යයි. අපිදු එ් පුද්ගලයන්ගේ ප‍්‍රතිපදාවන් ඉතා ඉහළින් වර්ණනා කරමින් සිටිනවා මිසක එ් ප‍්‍රතිපදාවේ නියැලීමෙන් ඔහුට මරණින් මතු හිමි වූයේ කවර ජීවිතයක් දැයි සෙවීමට වෙහෙසෙන්නේ නැත. කුමන හෝ පිළිවෙතක් හරහා අප තුළ වැඩෙන්නේ රාග, ද්වේෂ, මෝහ නම්…., එ් තුළින් අන්‍යයන් තුළ ඇති කරවන්නේ රාග, ද්වේෂ, මෝහ නම්… අපට ඉතිරි වන්නේ ‘අකුසලයකි’. මරණින් මතු අපට රැුගෙන යන්නට වන්නේ එ් ඉතිරි වූ දෙයයි. අපේ උපත තීරණය වන්නේ ද එ් අනුව ය.

‘මම කියන දේ කෙළින් කියන කෙනෙක්.’, ‘කවුරු මොනවා කිව්වත් මං කරන්නේ මට ඕන දේ.’, ‘මං කාටවත් නැමෙන පුද්ගලයෙක් නෙවෙයි.’… මෙවන් වූ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පෝෂණය වූ ජීවිත දර්ශන ඔබට ද මෙතුවක් කල් තිබුණා වන්නට පුළුවන. මහා ලොකු සමාජ ස්තරයක් හිමි නො වුණ ද ඔබට හිමි පවුල් එ්කකය තුළ හෝ එ් හරහා ඔබ මාන්නයෙන් සිටියා වන්නට පුළුවන. නමුත්…..,
අතු ඉති අග්ගිස්සෙන් සල් මල් පූදින මේ සුන්දර වෙසක් සමයේ ඔබට මේ ඇරයුම ඔබේ පිළිවෙත අන් මඟකට හරවන්නට ය. එදා ලූම්බිණියේ සිදුහත් කුමරුන්ගේ පියවර පොළොවෙහි ස්පර්ශ වන්නට නො දී පොළොවෙන් නෙළුම් මල් මතු විය. එ් පා යුගවල දුහුවිලි නො තැවරෙන්නට සත් මහල් ප‍්‍රාසාද ඉදි විය. නමුදු…. ඔබත්, මාත් ඝෝර සසරක වැටී විඳින දුකෙන් අපව නිදහස් කරනට එ් නරෝත්තමයාණන් වහන්සේ ‘ප‍්‍රතිපදාවක්’ සොයමින් වෙහෙසුණු තරම දන්නේ ද මේ මහ පොළොව පමණක් ම විය යුතු ය…. අනේක දුක් ගැහැට විඳිමින් අවසානයේ සොයාගත් එ් ප‍්‍රතිපදාව මෙලොව ඇති එක ම ආර්ය වූ පිළිවෙත ම ය, එක ම සුන්දර මඟ ය, එ්කායන නිවීම පිණිස ඇති මාවත ය…

අවබෝධය පිණිස හේතුවන අංග අටකින් සමන්විත වූ එ් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවසන එ්කාන්ත වූ නිර්වාණය නම් කිසි දිනක අප පිය නො තැබූ සොඳුරු බිම මුණ ගැසෙන්නේ ම ය. හකුළුවා දක්වතොත් මුනි දහම නම්, මේ ඇසෙන් නිදහස් වීම ය, කනෙන් නිදහස් වීම ය, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් නිදහස් වීම ය… මෙතුවක් පුරාවට අපේ ක‍්‍රියාවන් සිදුවන්නේ මේ සය තැන අල්ලා ගනිමිනි. තව තවත් එයට ම බැඳී යමිනි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ‘පිය උරුමය’ නම් වූ සතර සතිපට්ඨානය නමැති පිළිවෙත සම්පූර්ණ කිරීම, අපට ඇති එක ම පිළිසරණ ය. නිදහස් වීමට ඇති එක ම මාර්ගය ය.

මරණය කරා ගෙන යන ගවයා තබන පියවරක් පියවරක් පාසා මරණයට ම ළං වන්නා සේ ඔරලෝසුවෙන් නැගෙන සෑම ටික්, ටික් නාදයක් පාසා ම අප ළං වන්නේ ද මරණයට ම ය. ඉහළට ගන්නා හැම හුස්මක් ම, පහළට හෙළන හැම හුස්මක් ම අනතුරු අඟවන්නේ අපට මනුෂ්‍යයෙකු වශයෙන් මිහිපිට ජීවත්ව හෙළන්නට තිබෙන හුස්ම රැළි එකින් එක අඩුවන බවට ය. දවසට කී වරක් ඇසිපිය හෙළුව ද, ඊළඟ ඇසිපිල්ලම අප සුගතියකට වී හෙළන අවසන් ඇසිපිල්ලම වේ දැයි බියක් කිසිදු දිනක අපට දැනී තිබේ ද? සැබැවින් ම මෙවන් බියක් අප හමුවේ තිබිය දී අප මෙතෙක් කාලයක් පිළිවෙත් පිරුවේ, නො දැනුවත්ව හෝ සසර දිගු කරගැනීමට ය. කෙලෙස් වනය ව්‍යාප්ත කිරීමට ය.

‘ප‍්‍රතිපත්ති රකිනවා’ යැයි ව්‍යංගාර්ථාත්මක නමක් යොදාගෙන සැබැවින්ම අප සිදුකරන්නේ ආස්වාදයක් විඳීම ය. හොඳින් සිතා බලන්න. ඔබ රකින කවර ප‍්‍රතිපත්තියකින් හෝ ආස්වාදයක් නො ලැබෙනවා නම් කිසි දිනක ඔබ එය රකින්නේ නැත. බැලූ බැල්මට ඔබ මෙවැනි යම් කිසි රාමුවකට සිරවී ඇති බවක් ඔබට පවා නො පෙනෙනු ඇත. නමුත් එය ඔබ තුළින් ම පිරික්සීමෙන් ඔබ ගාල්වී ඇති තැන කොතැනදැයි ඔබට ම දැක ගත හැකිවනු ඇත.

ඔබ දිනපතා රූපවාහිනී වැඩසටහනක් නො කඩවා බැලීමට පුරුදුව සිටී නම්, නිවසේ රූපවාහිනිය යම් දිනෙක කැඞී ගියහොත් ඔබ අසල්වැසි නිවෙසකට හෝ වැදී එය ඉටු කරගන්නේ ය. ඔබ රූපවාහිනිය නරඹමින් සිටින විට යමෙක් පැමිණ එය ක‍්‍රියා විරහිත කළහොත් ඔබ කෑ මොර දී බැණ වදිනවාට සැක නැත. හදිසියේ ඔබ රෝගාතුරව රෝහල්ගත වන්නට සිදු වුවහොත් ඔබ එහි ද සොයනුයේ රූපවාහිනියක් සවි කළ වාට්ටුවකි. ඔබේ කුඩා වූ හෝ මහත් වූ හෝ පිළිවෙත් තුළ රාග, ද්වේෂ, මෝහ පෝෂණය කරමින් එහි ම සිරගත වන්නේ මේ ආකාරයෙනි. ඇණයකින් ඇණයක් ගලවා දමන්නා සේ ඔබ මෙතෙක් රැකගත් පෘථග්ජනයන්ට අයත් වූ පටු අභිලාෂයන් ඉලක්ක කොට ගත් පිළිවෙත් ඉවත් කරන්නට බුදු සමිඳුන් දෙසූ, ආර්ය ශ‍්‍රාවකයන්ට උරුමකම් කිව හැකි සුන්දර ප‍්‍රතිපදාවට බැස ගත යුතු ය. එයට අප තවත් ප‍්‍රමාද විය යුතු නැත.

භාග්‍යවතුන් වහන්සේ හැරෙන්නට කර්ම ක්ෂයවන ප‍්‍රතිපදාවක් දේශනා කළ ශාස්තෘන් වහන්සේනමක් මේ ධරණීතලය මත නැත්තේ ම ය. උන් වහන්සේ දේශනා කොට වදාළේ දහමට අනුව ජීවිතය නුවණින් විමසන විට, කර්ම ක්ෂයවන ප‍්‍රතිපදාවේ යෙදුණ විට වෑ මිට ගෙවෙන්නා සේ අපගේ කර්මයන් ගෙවෙන බව ය. වෑයෙන් වැඩ කරන පුද්ගලයාට එහි මිට ගෙවෙන බවක් නො පෙනේ. නමුත් බොහෝ කලක් එයින් ප‍්‍රයෝජන ගන්නා පුද්ගලයා යම් දිනෙක එහි මිට ගෙවී ඇති බව දකී. එසේ ම අපට ද ඇති එක ම රැුකවරණය නම් බුදු සමිඳුන්ගේ ප‍්‍රතිපදාව තුළ හික්මී යළි පෘථග්ජන පිළිවෙත් තුළ අසරණ වන්නන් බවට පත්නොවන්නට ස්ථීර පදනමක් ගොඩනගා ගැනීමයි.

සටහන
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ
සංවර්ධන නිලධාරිනී
තේජා දිල්රුක්ෂි දයාරත්න