highlights of the week
Home » NEW ARTICLES » තුන්ලොව සුවපත් කරනා ශාන්ත සත්පුරුෂයෝ…
සත්පුරුෂයෝ

තුන්ලොව සුවපත් කරනා ශාන්ත සත්පුරුෂයෝ…

සත්පුරුෂයෝ වනාහි මහා මේඝය බඳු ය.

වියළි ව කර්කශ වී ඉරි තැලී ගිය මහ පොළොවට නියංසාය දුරුකරමින් හදිසියේ ම මහා මේඝය ඇද හැළෙද්දී මුළු මහත් පරිසරය ම එක ම මඟුලක සිරිය ගති. දලු කොළ හළා නිරුවත් ව හුන් තුරුලතාවෝ නව ජීවයක් ලැබ දලු කොළ ලා මල් ඵලෙන් ගත සරසා ගත්හ. සිඳී ගිය දිය උල්පත් මෝරා ඇළ දොළ ගංගා වැව් පොකුණු පුරවා මහ පොළොව තෙමා සරු කරමින් මහ සයුරට ඇදෙත්. කඳු මුදුන්වලින් පහළට සුදෝ සුදු සේලයක් සේ ඇද හැළෙන මනස්කාන්ත දිය ඇලි දුටු දුටුවන්ගේ ගත සිත නිවාදමත්. සා පවසින් පෙළුන තිරිසන්ගත සත්වයෝ ඇඟ මැලිකඩා ගතට ජවය ගෙන අහර සොයා ඔබමොබ දිව ඇවිදිත්. නව ජවයකින් අත්තටු විහිදා අහසේ ඉගිලෙන පක්ෂීහු කිචි බිචි ගා තුටු ගී ගයත්.

පුරන් ව ගිය කෙත්වතු අස්වද්දා ගොවිතැන් බත් කර ගොවියෝ අටුකොටු පුරවා සැනසුම් සුසුම් හෙළත්. මේ ප්‍රබෝධවත් වන ජීවයේ අසිරිය දැක ඉසුරුමත් වන දේවතාවෝ වන ගොමුවල ලහි ලහියේ තම සුරවිමන් තනත්. මේ හාත්පසින් නැඟෙනා සෞභාග්‍යය දැක පොළෝ මහී මාතාවෝ තව තවත් සතුනට සෙනෙහෙ වඩත්.

එසේ නම්, සෞභාග්‍යයේත් – දුර්භික්ෂයේත්, දෙවියන් වසන රම්‍ය භූමියේත් – අමනුෂ්‍යයන් වසන වැලි කතරේත් තීරක සාධකය කවරක් ද? එය අන් කිසිවක් නොව මේඝ ගර්ජනා කරමින් පොළෝ තලය සනහමින් නීල දිය දහර ඇදහැළෙනා මහා මේඝය ම ය. භෞතික පරිසරය, එනම් ගහකොළ, ඇළදොළ, ගංගා, කඳුහෙල්, සතා සීපාවුන් ආදි සෑම දෙයක ම ජීවයත්, සමෘද්ධියත් රඳා පවතින්නේ වැසි වසින – නොවසින බව මත බව පැහැදිලි ය.

මහා මේඝය යම් සේ පරිසරය සුවපත් කරන්නේ ද එසේ ම, දෙව් මිනිස් ලෝකයාගේ ජීවිතය සුවපත් කරන්නේ ද අවිඳු අඳුර දුරලන්නේ ද ආලෝකය ලබා දෙන්නේ ද අන් කිසිවකුත් නොව, ඒ මේ ලොව පහළ වන ශාන්ත සත්පුරුෂයෝ ම ය. මෙත් කරුණා ගුණ පෙරදැරිව යහපත-අයහපත, කුසල්-අකුසල්, ධර්මය-අධර්මය, විනය-අවිනය, සත්පුරුෂ බව-අසත්පුරුෂ බව තෝරා බේරා දී අභය, අවෛරය ලොවට දන් දී මේ මුළු මහත් ලෝකය ම සුවපත් කරන්නෝ ඒ සත්පුරුෂයන් වහන්සේලා ම ය.

සියලු ලොව අවබෝධ කර ගත් ඒ බුදුරජාණෝ වැසි දහරත්, සත්පුරුෂයාත් එකිනෙකා සසඳමින් මෙසේ දේශනා කොට වදාළ සේක.

“මහණෙනි, එය මෙබඳු දෙයකි. මහවැස්ස සියලු ගොවිබිම් සරු කරන්නේ බොහෝ ජනයාට හිතසුව පිණිස වෙයි ද, එසෙයින් ම මහණෙනි, සත්පුරුෂයා යම් පවුලක උපදින්නේ බොහෝ දෙනාට යහපත හිතසුව පිණිස වේ. මව්පියන් හට යහපත හිතසුව පිණිස වේ. අඹුදරුවන් හට යහපත හිත සුව පිණිස වේ. දාස කම්කරු පුරුෂයන් හට යහපත හිත සුව පිණිස වේ. යහළු මිත්‍රයින් හට යහපත හිතසුව පිණිස වේ. මිය පරලොව ගිය ඥාතීන්ට යහපත හිතසුව පිණිස වේ. රජු හට යහපත හිතසුව පිණිස වේ. දෙවියන් හට යහපත හිතසුව පිණිස වේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට යහපත හිතසුව පිණිස වේ.”

(සප්පුරිස සූත්‍රය – අංගුත්තර නිකාය)

සත්පුරුෂයා බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ ගිය අයෙකි. සිල්වත් වූ කල්‍යාණ ධර්ම ඇත්තෙකි. බොහෝ අයට උපකාර ඇත්තෙකි. හේ සත්පුරුෂ ඇසුරට ම ප්‍රිිය කරයි. ධර්ම ශ්‍රවණයට ආසා කරයි. ඔහු සෑම විට ම ධර්මයට ම සත්කාර කරමින් ගරු කරමින් ධර්මය ම පුදයි. විශේෂයෙන් ම සත්පුරුෂයා කෙළෙහි ගුණ දන්නා දකිනා අයෙකි. දෙමාපියන්ට සළකයි. ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගෞරව සත්කාර දක්වයි. තම වගකීම් යුතුකම් මනා කොට තේරුම් ගෙන ඒවා පැහැර නො හරී. ඔහු තමා තුළ ඇති කිසියම් ම ගුණයක් කරණ කොට ගෙන තමා ව හුවා නො දක්වයි. අනුන්ව හෙළා නො දකී. සත්පුරුෂයා සත්පුරුෂයා ද හඳුනා ගනී. අසත්පුරුෂයා හඳුනාගැනීමට ද දක්ෂ වෙයි. සත්පුරුෂයා අනුන්ගේ දියුණුව පතයි. පිරිහීම අකමැති වෙයි. සත්පුරුෂයා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු නො වෙයි. සත්පුරුෂයා තමාගේ ගුණ කීමට කුසීත වෙයි. අනුන්ගේ ගුණ කීමට පසුබට නො වෙයි. සත්පුරුෂයා තමාගේ අගුණ කීමට පසුබට නො වෙයි. අනුන්ගේ අගුණ කීමට කුසීත වෙයි. ජීවිතයේ අර්ථයත් යහපතත් දැකීමට නිතර ම කල්පනා කරයි. ඒ සත්පුරුෂ ධර්මතාවය යි.

මේ ලෝකයට පහළ වූ සත්පුරුෂයන් අතර අග්‍ර වන්නේත් පරම ශ්‍රේෂ්ඨ වන්නේත් අසමසම වන්නේත් ඒ බුදුරජාණන් වහන්සේ ම ය. ලොවේ සත්පුරුෂ ගුණ දහම් බිජු වපුරා සත්පුරුෂ බව දන් දුන්නෝ උන්වහන්සේ ම ය. සත්පුරුෂ දෙව් මිනිසුන් බිහි කළෝ උන්වහන්සේ ම ය. සත්පුරුෂ බවේ ආරක්ෂාවත්, අසත්පුරුෂ බවේ අනතුරත් ලොවට වදාළෝ උන්වහන්සේ ම ය.

පුන් පොහෝ දවසක පුන්සඳ පායා ඇති රාත්‍රියේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සැවැත්නුවර මිගාර මාතු ප්‍රාසාදයේ ඉදිරිපිට එළිමහනේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයාගේ සත්පුරුෂ ලක්ෂණ පිළිබඳ ව මෙසේ වදාළ සේක.
“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ගතිගුණවලින් යුක්තයි. සත්පුරුෂ සේවනයෙන් යුක්තයි. ඒ වගේ ම සත්පුරුෂ සිතුවිලියි සිතන්නේ. සත්පුරුෂ සාකච්ඡාවන් තමයි කරන්නේ. සත්පුරුෂ වචනයි කතාකරන්නේ. සත්පුරුෂ කටයුතුයි කරන්නේ. ඒ වගේ ම සත්පුරුෂ දැක්මෙන් යුක්තයි. සත්පුරුෂ දන් දෙනවා.”

සත්පුරුෂ ගතිගුණ

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ගතිගුණවලින් යුක්ත වන්නේ කොහොම ද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා තථාගයතයන් වහන්සේගේ අවබෝධය අදහා ගනියි. පව් කිරීමෙහි ලැජ්ජා වෙයි. පව් කිරීමෙහි බිය සහිතයි. බොහෝ දහම් දැනුමෙන් යුක්තයි. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට පටන් ගත් වීරියෙන් යුක්තයි. සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ප්‍රඥාවන්තයි. පින්වත් මහණෙනි, සත්පුරුෂයා ඔය ආකාරයෙනුයි සත්පුරුෂ ගතිගුණවලින් යුක්ත වන්නේ.”

සත්පුරුෂ ආශ්‍රය

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ආශ්‍රයෙන් යුතු වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා යම් යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ශ්‍රද්ධාවෙන් යුක්ත නම්, පවට ලැජ්ජා ඇත්නම්, පවට බිය ඇත්නම්, බොහෝ දහම් දැනුමෙන් යුක්ත නම්, පටන්ගත් වීර්යයෙන් යුක්ත නම්, මනාව පිහිටුවාගත් සිහියෙන් යුක්ත නම්, ප්‍රඥාවන්ත නම්, ඒ උදවිය තමයි සත්පුරුෂයාගේ යහළුවන් වන්නේ. උදව්කාරයන් වන්නේ. සත්පුරුෂයා සත්පුරුෂ ආශ්‍රයෙන් යුක්ත වන්නේ ඔය විදියටයි.”

සත්පුරුෂ සිතුවිලි

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ සිතුවිලි සිතන්නේ කොහොමද? පින්වත් මහණෙනි, සත්පුරුෂයා තමාට විපත පිණිස පවතින දේවල් සිතන්නේ නෑ. අනුන්ට විපත පිණිස පවතින දේවල් සිතන්නේත් නෑ. දෙපක්ෂයට ම විපත පිණිස පවතින දේවල් සිතන්නේත් නෑ. මහණෙනි, ඔය විදියටයි සත්පුරුෂයා සත්පුරුෂ සිතුවිලි සිතන්නේ.”

සත්පුරුෂ සාකච්ඡා

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ සාකච්ඡා කරන්නේ කොහොමද? පින්වත් මහණෙනි සත්පුරුෂයා තමාට විපත පිණිස පවතින දේවල් සාකච්ඡා කරන්නේ නෑ. අනුන්ට විපත පිණිස පවතින දේවල් ගැනත් සාකච්ඡා කරන්නේ නෑ. දෙපක්ෂයට ම විපත පිණිස පවතින දේවල් ගැනත් සාකච්ඡා කරන්නේ නෑ.

පින්වත් මහණෙනි, ඔය විදියටයි සත්පුරුෂයා සත්පුරුෂ සාකච්ඡා කරන්නේ.”

සත්පුරුෂ වචන

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ වචනවලින් යුක්ත වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා බොරු කීමෙන් වැළකී සිටිනවා. කේළාම් කීමෙන් වැළකී සිටිනවා. පරුෂ වචන කීමෙන් වැළකී සිටිනවා. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා. මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ බස් පවසන්නේ ඔය ආකාරයටයි.”

සත්පුරුෂ කටයුතු

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ කටයුතුවලින් යුක්ත වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. නුදුන් දේ ගැනීමෙන් වැළකී සිටිනවා. කාම මිථ්‍යාචාරයෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, ඔය විදියටයි සත්පුරුෂයා සත්පුරුෂ කටයුතුවල යෙදෙන්නේ.”

සත්පුරුෂ දැක්ම

“පින්වත් මහණෙනි, සත්පුරුෂයාගේ සත්පුරුෂ දැක්ම පවතින්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා මෙබඳු ආකාරයේ දැක්මකින් යුතු වෙයි. ඒ කියන්නේ ‘දුන් දෙයෙහි විපාක තියෙනවා. පුද පූජාවෙහි විපාක තියෙනවා. සේවයෙහි විපාක තියෙනවා. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක තියෙනවා. මෙලොව කියා දෙයක් තියෙනවා. පරලොව කියා දෙයක් තියෙනවා. මවක් ඉන්නවා. පියෙක් ඉන්නවා. ඕපපාතික සත්වයන් ඉන්නවා. මෙලොව පරලොව ස්වකීය ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට දේශනා කරන යහපත් මගෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඉන්නවා’ කියලා. මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ දැක්මෙන් යුතු වන්නේ ඔය විදිහටයි.”

සත්පුරුෂ දන් දීම

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ දන් දෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා ඉතා හොඳින් සකස් කොට දන් දේ. සිය අතින් දන් දේ. ආදර ගෞරව සහිතව දන් දේ. පිරිසිදු දෙයින් දන් දේ. ‘තමා දෙන දානයෙහි විපාක නැවත තමාට ලැබේ ය’ යන අදහසින් දන් දේ. මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ දන් දෙන්නේ.”

සත්පුරුෂ උපත

“පින්වත් මහණෙනි, ඔය සත්පුරුෂයා මේ විදිහට සත්පුරුෂ ගුණවලින් යුක්ත වෙලා, මේ විදියට සත්පුරුෂයන් ඇසුරු කරලා, මේ විදිහට සත්පුරුෂ සිතුවිලි සිතලා, මේ විදිහට සත්පුරුෂ සාකච්ඡාවන් කරලා, මේ විදිහට සත්පුරුෂ වචන කියලා, මේ විදියට සත්පුරුෂ වැඩ කරලා, මේ විදියට සත්පුරුෂ දැක්මෙන් යුක්ත වෙලා, මේ විදිහට සත්පුරුෂ දන් දීලා කය බිඳී මරණින් මතු යම් තැනක සත්පුරුෂයන්ගේ උපතක් ඇද්ද අන්න එතනයි උපදින්නේ. පින්වත් මහණෙනි, සත්පුරුෂයන් උපදින්නේ කොහේ ද? ආනුභාව සම්පන්න දිව්‍යත්වයක් හෝ ලැබෙනවා. ආනුභාව සම්පන්න මනුෂ්‍ය ආත්මභාවයක් හෝ ලැබෙනවා.”

(චූල පුණ්ණමා සූත්‍රය – මජ්ඣිම නිකාය)

ජීවමාන බුදු සසුනක් පවතින යුගයක පමණක් ම සුලභ වූ මේ උතුම් සත්පුරුෂ ඇසුර, මේ උතුම් සත්පුරුෂ ගුණ කථාව සසරේ මුණගැසෙන තවත් එක්තරා අතිශයින් දුර්ලභ වටිනා කාරණයකි. ඒ නිසා සත්පුරුෂ ගුණදහමින් සුපෝෂිත ඒ සත්පුරුෂ උතුමන් ගැන හිත පහදවා ගන්නටත්, ඒ සත්පුරුෂ ගුණ දහම් අප තුළ පුරුදු පුහුණු කර ගන්නටත් අප සැමට වාසනාව ලැබේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.

Leave a Reply

Your email address will not be published.

x

Check Also

තරු කැට ගැයූ සඳ වරුණාව

සසුනඹර පායා දිලි ඒ සොඳුරු තරු කැට සඳමඬලේ සිසිලසට පුද කළ තුති ගී ගැන ඔබ අසා තිබේ ද...? ලෝකයේ යමෙකුට පුදකළ හැකි පරම පිවිතුරු ම තුති ගීය එයයි.