highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 2

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 2

අද පෝය දවසක්. අපි හැමෝ ම සිල් සමාදන් වුනා. ඒ උපෝසථ සීලයයි. අද අපි සිල් සමාදන් වුනේ කැළණියේ. හීල් දානයෙන් පස්සේ අපේ පින්වත් ආච්චි වටා අපි එකතු වුනා.

“අනේ ආච්චි….. අදත් අපිට කතාවක් කියාදෙන්න ම ඕනා. ඔයා කියන කතා අහන්න අපි හරී ආසයි”

“එහෙනම් දරුවනේ, ඔයාලා නිතරම මේ කරුණ මතක තියාගන්න. ඉතා ආදර භක්තියෙන් අපි තෙරුවන් සරණ යනවා නොවැ. ඒ තෙරුවන් සරණේ ඇති පිහිට නම් සිතෙන් සිතාගන්ටත් බැරිතරම් මහා පුදුමයි. කොටින්ම දරුවනේ, තෙරුවන් සරණ යෑම කියන්නේ මහා උත්තම සරණක්. මහා බලසම්පන්න පිළිසරණක්. සැබෑම රැකවරණයක්. සද්ධර්මාලංකාරය කියවද්දී මට ලස්සන කතාවක් කියවන්ට ලැබුනා පුතේ.

ඒ කාලයේ අපේ භාග්‍යවතුන් වහන්සේ අමා දහම් වරුසා වස්සවමින් දඹදිව තලය පුරා චාරිකාවේ වැඩිය වග මයෙ දරුවන් දන්නවා නොවැ. ඉතින් උත්තම රහතන් වහන්සේලා පිරිවරාගෙන චාරිකාවේ වඩිද්දි කොසඹෑ නුවරටත් වැඩියා. ඒ කොසඹෑ නුවර සුංසුමාරගිරි කියලා කැලෑබද පර්වතයක් තියෙනවා. ඒ පර්වතයේ ආශ්‍රිතව ගණ සැරේට ගස් වැවුණු අපූරු වනයක් තියෙනවා. ඒ වනයට කියන්නේ භේසකලා කියලා.

ඉතින් මයෙ දරුවනේ, කොසඹෑ නුවර රජ්ජුරුවන්ටත් අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩි වග ආරංචි වුනා. රජ්ජුරුවොත් තමන්නේ බිසොවුන් වහන්සේ වන වෙස්සාමිත්තා දේවියත් සමග භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ට ගියා.

ඉතින් දරුවනේ….. එදා භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇසූ මේ දෙන්නා හොඳටෝම සතුටු වුනා. සිත පහදවා ගත්තා. බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්ම රත්නයත් සරණ ගියා. සඟ රුවනත් සරණ ගියා. ඉතින් එදා ඉඳලා වෙස්සාමිත්තා බිසොව හැම තිස්සේම උතුම් තිසරණය මෙනෙහි කළා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් බුද්ධානුස්සතියේ යෙදුනා.

අනේ දරුවනේ…. මනුස්සයන්ට මේ ලෝකයේ කරදර විපත්ති කඩාවැටෙන්නේ තෝර තෝරා නොවෙයි. ඉතින් මේ රජ පවුලටත් මහා කරදර කාලයක් ආවා. ඈත නුවරක වසන දරුණු රජෙක් කොසඹෑ නුවර රාජ්‍ය සීමාව ආක්‍රමණය කරන්ට ආවා. කොසඹෑ නුවර රජ්ජුරුවන්ට දූතයෝ එව්වා.

“තීන්දු දෙකක් ඇත්තේය. එක්කෝ ඔය රාජ්‍යය මා හට දිය යුත්තේය. නැත්නම් යුද්ධයකට මුහුණ දිය යුත්තේය” කියලා. මේ සතුරු රජාගේ දූතයන් එවූ හසුන කියවපු රජ්ජුරුවන්ට හොඳටෝම කේන්ති ගියා. “එම්බල දූතයනි, තොපගේ රජුට කියාපන් මා සමග යුද්ධ කරන්ට කියලා. මා සතු දේශය කවරදාකවත් මං පණ පිටින් සිටිද්දී තොපට ගන්ට ඉඩ තියන්නේ නෑ” කියලා පිළිතුරු දීලා ඔවුන්ව එළවා ගත්තා.

ඉතින් දරුවනේ, කොසඹෑ නුවර රජ්ජුරුවෝ වෙස්සාමිත්තා බිසොවත් එක්කරගෙන සිව්රඟ සේනාවත් පිරිවරාගෙන සතුරු ආක්‍රමණයට මුහුණ දෙන්න පිටත් වුනා. සංග්‍රාම භූමියට ආසන්නයේ කඳවුරු ගසාගත්තා. බිසොවට මෙහෙම කිව්වා. “දේවී, යුද්ධයකදී කවුරු දිනයිද කවුරු පරදියිද කියලා කියන්ට බැහැ. බැරිවෙලාවත් මං පැරදුනෝතින් රන්වන් පාට ලොකු පතාකයක් ඔසොවාගෙන යුද්ධය ඉදිරියට ගෙන යාවි. එතකොට ඔයා හැකිතාක් ඉක්මණින් කොසඹෑ නුවරට පළායන්න.

ඉතින් දරුවනේ, යුධ බෙර ගසාගෙන, සක් පිඹගෙන දෙපැත්තේ ම සේනාව ටිකෙන් ටික ඉදිරියට ඇදුනා. මූණට මූණ සිටගත්තා. යුද්ධය පටන් ගත්තා. හප්පේ…. මයෙ දරුවනේ…. ඒක මහා භයානක යුද්ධයක්. තමන්ට පරාජය අත්වෙන බව කොසඹෑ නුවර රජ්ජුරුවන්ට තේරුනා. බිසොවුන් වහන්සේට පේන විදිහට රන් පැහැති පතාකයක් එසෙව්වා. පතාකය කියන්නේ විසාල කොඩියක්. ඉතින් දිගට සටන් පවතිද්දී අනේ ඒ හොඳ රජ්ජුරුවෝ රණ දෙරණේ ම අවසන් හුස්ම හෙළා සැතපුනා.

රජ්ජුරුවෝ සේනාවත් එක්ක යුද්ධයට ගිය මොහොතේ පටන් වෙස්සාමිත්තා දේවිය කෑමක් බීමක් නැතුව මග බලාන උන්නා. රන් පතාකය දැක්ක ගමන් හොඳටෝ ම තැති ගත්තා. කලබල වුනා. දැන් ඉතින් ඔක්කොම ඉවරයි කියලා තේරුම් ගත්තා. එවේලේ ම කොසඹෑ නුවර බලා පිටත් වුනා. හැබැයි දරුවනේ, හැම තැනම චරපුරුෂයෝ හිටියා. බිසොවට පැනලා යන්න ලැබුනේ නෑ. ඔවුන්ට අහුවුනා. සතුරු රජා ළඟට ගෙනිච්චා. රන් රුවක් වගේ මනස්කාන්ත රූප සෝභාවෙන් දිලිසෙන දේවීන් වහන්සේ දුටු ගමන් සතුරු රජා කාමයෙන් විකල් වුනා.

“හොඳා…. බොහෝම හොඳා…. දැන් කල්ගත කරන්ට කාරි නෑ. ඔව්…. දැන්ම ම! වහාම පුරෝහිතයන් කැඳවාපල්ලා. කොසඹෑ නුවර රාජ්‍යයට මාගේ අභිෂේක මංගල්‍යය සූදානම් කරපල්ලා. මැයව මාගේ අග්‍ර මහේෂිකාව බවට අභිෂේක මංගල්‍යය සූදානම් කරපල්ලා” කිව්වා.

එතකොට දරුවනේ, අමාත්‍යවරු ගොහින් වෙස්සාමිත්තා දේවීන් වහන්සේට අග්‍ර මහේෂිකා තනතුරට සුදුසු පරිදි සැරසෙන්න කියලා යටහත් පහත්ව ඉල්ලා සිටියා. “ඈ…. එම්බල හිස් මිනිසුනේ…. මට මොන අභිෂේක මඟුල්ද…. වහා පලයව් මෙතනින්” කියලා ඇමතිවරුන්ව පන්නා ගත්තා. එතකොට ආයෙමත් සතුරු රජා වෙස්සාමිත්තා තමන් ඉදිරියට අරගෙන එන්ට අණ කළා. අභිෂේක මංගල්‍යය කරලා අග්‍ර මහේෂිකා තනතුරට පත්කරවීම ගැන එතුමිය අසතුටු ඇයිද කියලා ඇහුවා. “දේවයන් වහන්ස, මං අභිෂේකයට අකමැති ඇයිද කියන කාරණය ඇසුව මැනව. මාගේ ජීවිතයට සෑම ඓශ්වර්යයක් ම ගෙන ආවේ මාගේ ස්වාමි පුත්‍ර කොසඹෑ රජතුමායි. උන්නාන්සේ අද ස්වර්ග ලෝකයට වැඩියා. දොළොස්දහසක් බිසොවුන්ට අග්‍ර වූ මහේෂිකාව කරලා උන්නාන්සේ මාව ආරක්ෂා කළේ තමුන්නේ හදවත වගේ. ඒ මාගේ සදාදර ස්වාමි පුත්‍රයා සිහි කරන මේ මොහොතේ මගේ හදවතත් කයත් වියෝග ශෝක ගින්නෙන් දැවෙනවා. ඉතින් දේවයන් වහන්ස, එහෙව් මං ආයෙමත් රජෙකුට අග්‍ර මහේෂිකාව වුනොත් ඒ රජුටත් මෙවන් විපතක් පැමිණියොත් මේ ගින්දර ආයෙමත් මට දැනේවි….. අයියෝ….. මං මේ සිත සිතා ඉන්නේ මේ ශෝක ගින්න දුරු කරගන්නේ කොහොමද කියලයි….. කවරදාකවත් නුවණැති පුරුෂයෙක් මෙවැනි ගින්නකට වියළි තණකොළ දමයිද?

ඉතින් දරුවනේ, යුධ ජයග්‍රහණයෙනුයි කාමයෙනුයි උමතු වෙලා උන්න සතුරු රජා මේ සුරූපී බිසොව තම මූණටම කියාපු කතාව අහලා විෂඝෝර සර්පයෙක් වගේ කිපුනා. යක්ෂාවේශයෙන් වගේ සේවකයන් ඇමතුවා.

“එම්බල සේවකයිනි, ඔව්…. දැන්ම ම…. රාජාංගනයේ දර සෑයක් බැඳපියව්. ඔව්…. දැන්ම ම මේකිගේ ප්‍රියාදර සැමියා ළඟට මං මේකිව පිටත් කරනවා. ඔව්….. දැන් එහෙනම් තිට තිගේ සැමියා සොයාගෙන ගින්නට වැදෙන්න පුළුවනි”
එතකොට මයෙ දරුවනේ, වෙස්සාමිත්තා බිසොව හඬ හඬා මෙහෙම කිව්වා. “අයියෝ…. දේවයන් වහන්ස, කිසි වැරැද්දක් නැති නිරපරාධ ස්ත්‍රියක් ඇවිලෙන ගින්නට දාලා මරා දැමීම ඒකාන්තයෙන් බරපතල අකුසලයක්මයි. මෙලොව පරලොව දෙකේම භයානක කටුක විපාක විඳින්ට මේ පාපය හේතු වේවි….. දේවයන් වහන්ස, පෙර රජ දරුවන් කිසිදාක ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා, තම මව්පිය දෙදෙනා වහන්සේ, සිඟිති දරුවෝ, රෝගී මිනිසුන් වගේම අසරණ කාන්තාවන් ඝාතනය කරවන්ට සතුටු වුනේ නෑ….. එනිසා දේවයන් වහන්ස, මම මෙබඳු ඉරණමක් ලබන්ට සුදුසු කෙනෙක් නෙමෙයි”

එතකොට දරුවනේ, මේ රජා තවත් කිපුනා. දෑස් රතු වුනා. ලොකු වුනා. දත්කූරු කෑවා. හයියෙන් කෑ ගැසුවා.

“වරෙව්…. මේකිව දැන්ම ම ඇදගෙන පලයව්. බුර බුරා නැගෙන ගිනිදැල් ඇති දරසෑයට දමාපියව්” කියලා යටි ගිරියෙන් කෑ ගැසුවා.

සේවකයෝ ඇවිත් අපේ බිසොවුන් වහන්සේ ඇදගෙන යද්දි ඈට භාග්‍යවතුන් වහන්සේව මතක් වුනා.

“අනේ දැන් මට එකම පිහිට මාගේ ශාස්තෘන් වහන්සේ පමණයි. දැන් මට වෙන කිසි සරණක් නෑ. මම ඒකාන්තයෙන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. මං ඒ ධර්මයත් සරණ යනවා. මං ආර්ය මහා සංඝ රත්නයත් සරණ යනවා. මට ඒකාන්තයෙන් තිසරණයේ සරණ ලැබේවා! කියලා දැඩි ලෙස අධිෂ්ඨාන කරගත්තා.

සේවකයෝ අපේ බිසොවුන් වහන්සේව ඇදගෙන ගොහින් ගිනි මැලේට තල්ලු කළා.

හප්පේ මයෙ දරුවනේ…. මහා ආශ්චරියයක් වුනා. තද රතු පාට පලසක් පොරෝගෙන ඉතා සිහිල් සෙවනක සිරි යහනක සැතපුනා වගේ ඈ වැටිච්ච තැනම කිසි පීඩාවක් නැතුව සැපසේ හිටියා. කෙස් ගහක් පිච්චුනේ නෑ. මේ පුදුමය දැකපු සතුරු රජා මහා සංත්‍රාසයකට, භයකට පත්වුනා. ලොමුඩැහැගත්තා. ශරීරයෙන් දහඩිය ගලන්න ගත්තා.

“අයි…. අයියෝ….. මගේ අතින් බරපතල වැරැද්දක් වුනා නොවැ” කියලා සේවකයන්ට කෑ ගැහුවා. “ඒයි සේවකයිනි, වරෙල්ලා. දේවිය බේරාගනිව්. හනික ගොඩට ගනිල්ලා” කියලා කෑ ගැහුවා. නමුත් දරුවනේ කාටවත් ළං වෙන්ට බැහැ. ඒ තරම්ම ගින්දර රස්නෙයි. වෙස්සාමිත්තා දේවිය ඉතා සන්සුන්ව නැගිට්ටා. තමන් ම එළියට ආවා. රජතුමා ළඟට ඇවිදින් හොඳට බැලුවා. පුදුමෙනුත් පුදුමයි. නූල් පොටක දෙයක් ගිනි අරගෙන නෑ. රෝම කූපයක් පිච්චිලා නෑ. රාජ කන්‍යාවක් ඉදිරියේ නැමී වැටෙන රොඩියෙක් වගේ අර සතුරු රජා දේවිය ඉදිරියේ දෙකට තුනට නැමිලා කතා කළා. “අ…. අපේ…. පි…. පින්වත් දේවියනි….. මේසා මහා බරපතල ගිනි ජාලාවකින් ඔබවහන්සේ පිළිස්සුනේ නැත්තේ ඇයි?” “දේවයන් වහන්ස, මේ ලෝකයේ දුකකට, භයකට, විපතකට අන්තරායකට පත් සත්වයන්ට බුදුරජාණන් වහන්සේ සරණ යෑම හැර, ධර්මය සරණ යෑම හැර, ආර්ය සංඝයා සරණ යෑම හැර වෙන කිසි පිහිටක් නෑ. මං බේරුනේ මගේ හාස්කොමකට නොවෙයි. උතුම් ත්‍රිවිධ රත්නයේ ඇති හාස්කම නිසයි. දේවයන් වහන්ස, මේ උතුම් තිසරණය මෙවැනි ආපදා වලින් පමණක් නොවෙයි සතර අපායෙනුත් සත්වයන්ව බේරාගන්නවා. සුගතියේ ආරස්සාව සලස්වනවා. සසරෙන් එතෙර කරවනවා. අමා නිවනටත් පමුණුවනවා”

ඉතින් මයෙ දරුවනේ, රජ්ජුරුවෝ පුදුම වුනා. තමන්නේ වැරදි ගැන පසුතැවුනා. සියලු වරදට බිසොවුන් වහන්සේගෙන් සමාව ගත්තා. එතුමිය මව් තනතුරේ පිහිටෙව්වා. තමාත් තෙරුවන් සරණ ගියා. මේ පුදුමය දැක්ක කොසඹෑ නුවරවාසීන් මිසදිටු විශ්වාස අත්හැරියා. තෙරුවන් සරණේ පිහිටියා. බලන්න දරුවනේ, භාග්‍යවතුන් වහන්සේ මුණගැසීම මහා පිළිසරණක් නේද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published.

x

Check Also

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 9

ඔයාට පේනවා ද අර රුක් සෙවණෙ වැඩ ඉන්නවා අර්යයන් වහන්සේනමක්. මං මේ බත්මුල ගන්නේ උන්නාන්සේට දානෙ පිණිසයි. මට කන්ට නොවේ.