highlights of the week
Home » NEW ARTICLES » අධිෂ්ඨානය තුළින් වාසනාව කරා

අධිෂ්ඨානය තුළින් වාසනාව කරා

සුගිය දා ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් මේ රටේ දූ දරුවන් වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක් පැවැත්වුණා. මේ උත්සවයට පැමිණ සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් එස්. සිරිසේන මැතිතුමා දරුවන්ට මෙන් ම අපේ රටේ දෙමව්පියන්ටත් ඉතා ම වටිනා ආදර්ශ බොහෝමයක් උකහා ගත හැකි වටිනා කතාවක් කළා. ඒ කතාවේ තියෙන වටිනාකම නිසා ම මහාමේඝ අදහස් කළා එතුමාගේ වචනවලින් ම ඒ කතාව ඔබට කියන්නට. එතුමා කතාව ආරම්භ කළේ “වාසනාවන්ත දරුවනි” යනුවෙන්….

“මා වාසනාවන්ත දරුවන් කියා තමුන්නාන්සේලා ඇමතුවේ විශේෂ හේතුවක් හින්දා. අපේ රටේ මේ වෙනකොට අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ 40ක්. මේ ලක්ෂ 40න් බහුතර ශිෂ්‍ය සංඛ්‍යාවකට ප්‍රශ්න තියෙනවා, ගැටළු තියෙනවා, පාසල් ගුරුවරුන් සම්බන්ධවත්, විෂයන් පිළිබඳවත්. නමුත් ඒ සියලු ම ශිෂ්‍යයන්ට ආධාර උපකාර කරන්න මේ රටේ තියෙන සංවිධාන ප්‍රමාණය ඉතා අඩුයි. ඒ නිසා මේ වගේ සුවිශේෂී ශිෂ්‍යත්ව ප්‍රදානයක් ලබන්න තරම් වාසනාවන්ත වීම පිළිබඳ ව තමුන්නාන්සේලාට කිසියම් ආකාරයකට හැඟීමක් තියෙනවා ඇති. අන්න ඒ නිසා තමයි මම මේ දරුවන් ඇමතීම සඳහා ‘වාසනාවන්ත දරුවනි’ කියන විශේෂණය පාවිච්චි කළේ.

අපේ පාසැල් ජීවිත ඉතා ම සුන්දරයි. නමුත් දුක් ගැහැට බොහොමයක් තියෙනවා. අපිට ජීවිතේ අනාගත අභියෝග ජයගන්න ඕනේ නම්, අපි දැන්ම ඒ අභියෝග ජයගැනීම සඳහා හැඩගැහෙන්න ඕනේ. මේ හැඩගැසීම සඳහා අවශ්‍ය වන මුලික කාර්යභාරය පාසැල් කාලය තුළ සම්පූර්ණ කර ගන්න බැරි වුණොත් අපේ අනාගතේ මේ රටට ජාතියට වැඩක් නැති නිකමුන් බවට පත් වෙන්න පුළුවන්.

මං විශ්වාස කරන එක දෙයක් තියෙනවා. තමන්ට තියෙන අර්බුද, නැත්තම් අභියෝග තුළින් ජයග්‍රහණය කළ යුත්තේ තමා ම යි. ඒකට මග පෙන්වන්න පුළුවන් දෙමාපියන්ට, ගුරුවරුන්ට. නමුත් ඒ අභියෝගය තමාගේ. ඒ නිසා තමන් ජය ගත යුතුයි.

මං පුංචි උදාහරණයක් කියන්නම් තමුන්නාන්සේලාට. 1843 ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මිලාන් නගරයේ දරුවෙක් ඉපදුණා. මේ දරුවාට උත්පත්තියෙන් ම කන් ඇහෙන්නේ 25%යි, 75%ක් ම මේ දරුවාගේ කන් ඇහෙන්නේ නැහැ. ඉතින් දරුවා පුංචි කාලෙ ම ඒ දරුවාගේ තාත්තා ව රටින් පිටුවහල් කළා. දේශපාලන හේතුවක් හින්දා. අම්මා තමයි මේ දරුවා ව බලාගත්තේ. දරුවා ඉස්කෝලෙට ගියා නිසි වයස ආවාට පස්සේ. මේ පාසැල් අධ්‍යාපනය ලබනකොට මේ දරුවට මේ කන් ඇහීමේ අඩුකම ලොකු ප්‍රශ්නයක් වුණා. නමුත් මේ දරුවා පන්තියේ පිටිපස්සේ ම කෙළවරේ තමයි වාඩි වුණේ. ඒ නිසා ගුරුවරු කියන කිසිම දෙයක් මේ දරුවට ඇහුනේ නැහැ. ඒ නිසා කිසිම පාඩමක් ඔහුට තේරුනේත් නෑ. කිසිම ප්‍රශ්නෙකට ඔහුට උත්තර දෙන්න පුළුවන්කමකුත් නෑ. මොකද කියන දේවල් ඇහෙන්නෙත් නෑ, තේරෙන්නෙත් නෑ, ඉගෙනගන්නෙත් නෑ. නමුත් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවම ගුරුවරිය නැත්තම් ගුරුතුමා, ඔහු හැමවෙලේ ම අහන්නේ “මේ වලාකුළු කොහොම ද අහසේ රැඳිලා තියෙන්නේ?, මේ කුරුල්ලෝ කොහොම ද පියාඹන්නේ?, මේ මල්වල කොහොම ද මේ වගේ පාට පාට ඇති වෙන්නේ?” මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. ඉතින් අර විෂය උගන්වන ගුරු මහත්වරුන්ට මේක බරපතළ ප්‍රශ්නයක් වුණා මේ ළමයාගේ මේ ප්‍රශ්න ඇහිල්ලයි, මේ ළමයා පාඩමට ඇහුම්කන් දෙන්නේ නැති එකයි, මේ ළමයාගේ දුර්වලකමයි…

එක දවසක් මේ දරුවා ලියුමක් අරන් එනවා ගෙදර, අම්මාට දෙනවා. අම්මා මේ ලියුම කියවනකොට අම්මාට ඇඬුණා. පස්සේ මේ දරුවා අහනවා “අම්මා ඇයි අඬන්නේ?” “නෑ පුතේ මේ උඹේ පන්තියේ ගුරුවරිය කියනවා ඔබේ දරුවා තරම් විශිෂ්ට දරුවෙක් නෑ මේ පන්තියේ. ඔබේ දරුවා ඒ තරම් බුද්ධිමත්. ඔබේ දරුවාගේ බුද්ධිය කොයිතරම් ද කියනවා නම් අනිත් ළමයින්ට මට උගන්නන්න බෑ එයා පන්තියේ ඉන්න කොට.. ඒ තරමට එයාට විශිෂ්ට බුද්ධියක් තියෙනවා. ඒ නිසා හොඳ ම වැඬේ ඔබේ දරුවාව ගෙදර තියන් උගන්නන්න. පාසලට එවන්න එපා.” කියලා.

දැන් ඉතින් මේ දරුවාගේ පාසැල් ගමන නැවතුණා. අම්මා මේ දරුවාට උගන්නන්න පටන් ගත්තා. ඉතාමත් ධෛර්ය සම්පන්න අම්මා කෙනෙක්. තමන්ගේ දරුවා ගැන ඉතාමත් දැඩි කැපවීමක් තියෙන අම්මා කෙනෙක්. මේ අම්මා ගෙදරට ගේන එළවළුවලින්, එහෙම නැත්තම් පලතුරුවලින් තමයි ගණන් හදන්න ඉගැන්නුවේ ළමයාට. ඒ වගේ ම සියලු ම දේවල්… තාත්තාගේ හොඳ පුස්තකාලයකුත් තිබ්බා, මේ පුස්තකාලය පරිහරණය කරන්න මේ දරුවට කියලා දුන්නා. ඒ මව ගුරුවරියක් නෙවෙයි, නමුත් මේ වගේ තමන් දන්නා සියලු ම දේවල් කියලා දුන්නා. ඇයට හැකි ප්‍රමාණයෙන් ඇය උදව් කරා මේ දරුවාට ඉගෙනගන්න. ගෙදර තියාගෙන මේ දරුවට සියලු ම දේවල් කියලා දීලා ලියන්න කියන්න පුළුවන් මට්ටමට මේ දරුවා ව ගෙනාවා. ඒ කාලසීමාවේ මේ දරුවා කරපු එක දෙයක් තමයි තාත්තාගේ පුස්තකාලයේ තිබුණු සියලු ම පොත් පත් කියවීම.

ඉතින් මෙහෙම මේ දරුවා ඉගෙන ගත්තාට පස්සේ අවුරුදු 13 දී ඔහු යනවා දුම්රිය පොළට. ගිහිල්ලා ඔහු පත්තර විකුණන්න පටන් ගන්නවා. ඒ පත්තර විකුණන ගමන් ලැබෙන මුදල් ඔහු පාවිච්චි කළේ නොයෙකුත් උපකරණ ගන්න. ඔහුට හැමවෙලේ ම ඔළුවේ වැඩ කරපු දෙයක් තමයි “මං මොනවා හරි දෙයක් අලුතෙන් හොයාගන්න ඕනේ, අලුතෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ” ඒක මොකක් ද කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒක ඔහුගේ කුඩා හිතට තදින් ම දැනිලා වද දෙන්න පටන් ගත්ත නිසා ඔහු හිතුවා මොනවා හරි දෙයක් මම අලුතෙන් හොයනවා කියලා. ඉතින් එතන හිටිපු පෝටර්වරු වගේ අය උදව් කරලා නතර කරලා තිබ්බ දුම්රිය කාමරයක් මේ ළමයා පාවිච්චි කළා. දවසක් කිසියම් ආකාරයක පරීක්ෂණයක් කරන්න ගිහිල්ලා මේක පිපිරුවා. එනිසා දුම්රිය ස්ථානාධිපති කිව්වා වහා ම මෙතනින් අයින් වෙන්න, මේ ළමයා හිටියොත් මෙතන මහා විනාශයක් වෙන්න පුළුවන් කියලා.

පස්සේ මේ දරුවා තමන්ගේ කාර්යය අතහැරියේ නෑ, පත්තරත් විකිණුවා. දවසක් ඔහු දුම්රිය මාර්ගයේ ඇවිදගෙන එනකොට දැක්කා පුංචි දරුවෙක් මාර්ගේ මැදින් එනවා… දැන් දුම්රියකුත් එනවා. මේ දරුවා දුම්රියට යට වෙන්න යනවා. ඔහු වහා ම දුවගෙන ගිහිල්ලා මේ දරුවා බේරාගත්තා. ඒ දරුවා අර දුම්රිය ස්ථානාධිපතිගේ කුඩා දරුවා. ඒ නිසා දුම්රිය ස්ථානාධිපති මොහුට කථා කරලා ඇහුවා “උඹට මේකට කීයක් ඕනෙ ද? මම තෑග්ගක් දෙන්න ඕනේ, මොකක්ද ඕන දේ කියන්න.” කියලා. ඊට පස්සේ ඔහු කිසිම දෙයක් කිව්වේ නෑ. ඔහු කිව්වා මට “මෝස්කෝඞ්” ක්‍රමය කියලා දෙන්න කියලා. (ඉස්සර තිබුණු පණිවුඩ යැවීමේ ක්‍රමයක්). පසු කාලෙක දී ඔහු දුම්රියේ ඒ මෝස්කෝඞ් උපදේශකයෙකු වශයෙනුත් කටයුතු කරා. නමුත් ඔහුගේ අධ්‍යාපනය එතැනින් නතර වුණේ නැහැ. ඔහු කිසිම දවසක පාසැල් අධ්‍යාපනය සම්පූර්ණ කරපු කෙනෙක් නෙවෙයි. විශ්වවිද්‍යාලයට කවදාවත් ගිහින් නෑ. නමුත් ඔහු දිගින් දිගට ම පරීක්ෂණ කළා. ඔහුගේ එක ම ආශාව වුණේ මොනවා හරි දෙයක් අලුතින් හොයාගන්න.

මේ දරුවා පසු කාලෙක නොයෙකුත් නිර්මාණ කරමින් රටේ සුප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් කියන ටෙලිෆෝන් එක හොයාගත් පුද්ගලයාට ටෙලිෆෝන් රිසීවරය හොයාගන්න උදව් කළේ ඔහු. ඒ වගේ ම සිමෙන්ති භාවිත කිරීම හොයාගත්තේ ඔහු. ඒ වගේ ම රබර් පාවිච්චි කිරීම හොයාගත්තේ ඔහු. මේ පුද්ගලයා මොනතරම් දේවල් අලුතෙන් හොයාගත්තා ද කියනවා නම් ඇමරිකාවේ විතරක් නව නිර්මාණ 1093කට මේ පුද්ගලයාගේ නමට අදටත් පේටන්ට් බලපත්‍ර තියෙනවා.

කවුද මේ පුද්ගලයා? ඔහු හොයාගත්ත සුවිශේෂ ම දේ තමයි “විදුලි බල්බය”. ඔහු මේක හොයාගෙන අල්ලපු ගෙවල්වලට විතරක් විදුලිය සපයලා මේක පත්තු කෙරුවා ම මිනිස්සු හිතුවා අපේ ගමට විශ්වකර්මයෙක් ඇවිත් ඉන්නවා කියලා. ඒ තරමට මිනිස්සු පුදුමයට පත් වුණා. නමුත් “තෝමස් අල්වා එඩිසන් “ කියන මේ කන් ඇහෙන්නේ නැති, ඉස්කෝලේ ගිහිල්ලා නැති, විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නැති මේ දරුවාගේ එක ම ශක්තිය තමයි ඔහුගේ තිබුණු බලාපොරොත්තු සහ අධිෂ්ඨාන ශක්තිය. ඉතින් මේ දරුවා පස්සේ කාලෙක අවුරුදු 60 පමණ වයස වෙනකොට ඔහු ඉතා ම සුප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙලා මුළු රට ම පිළිගන්නවා, මුළු ලෝකෙ ම පිළිගන්නවා.

දවසක් ඔහු ගෙදර යනවා. තමන්ගේ අම්මා හිටපු ගෙදර. ගිහිල්ලා අර පුස්තකාලේ තියෙන පොත් අදිනකොට හදිස්සියේ ම ඔහු දකිනවා ලියුම් කවරයක් සහිත ලිපියක් බිම වැටෙනවා. ඒ තමයි අර පළමුවෙනි දවසේ ගුරුවරිය දුන් ලිපිය. ඔහුත් දිග ඇරලා බලනවා. එකේ ගුරුවරිය ලියලා තියෙන්නේ මොකක් ද? “මේ ළමයා හරි කරදරයි, කිසි දෙයක් ඉගෙන ගන්නෙත් නැහැ. මෙයා අනිත් ළමයි එක්ක සම්බන්ධකම් පවත්වන්නේත් නෑ. මේ ළමයා හින්දා කිසිම ළමයෙකුට ඉගෙන ගන්න බෑ. ඒ නිසා කරුණා කරලා මෙයාව ඉස්කෝලෙට එවන්න එපා” කියලා ලියලා තියෙනවා. ඔහු එදා තමයි තේරුම් ගන්නේ අම්මා මොන තරම් වටිනා සේවයක් ද ඔහුට කළේ කියලා. මොනතරම් සුවිශේෂී සේවයක් ඔහුට කළා ද කියලා. ඒ අම්මා නො හිටින්න මේ තෝමස් අල්වා එඩිසන් කියන විද්‍යාඥයා, නැත්තම් ශ්‍රේෂ්ඨ පුද්ගලයා බිහි වෙන්නේ නැහැ කවදාවත්.

ඉතින් මේ කථාව මං ඔබ හැමට කියපු හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපිට අධිෂ්ඨාන ශක්තියක් තියෙනවා නම්, අපි ඒ සඳහා යොමු වෙනවා නම්, අපි ඍජු ව ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යෙන් ම අපිට ජයග්‍රහණයක් කරා යන්න පුළුවන්. ඒ ජයග්‍රහණය අපිට විතරක් නෙවෙයි, රටට විතරක් නෙවෙයි, සමස්ත ලෝකයට ම මේ ජයග්‍රහණ අරන් යන්න පුළුවන්. මේ වගේ පුද්ගලයෝ අපේ රටට අවශ්‍යයි. මේ වගේ දරුවෝ ඒ වගේ තැන්වලට එනවා දකින්න මං හිතන්නේ සමස්ත සමාජය ම කැමතියි.

ඒ ළමයා කරපු තවත් ප්‍රධාන ම දෙයක් තියෙනවා. තෝමස් අල්වා එඩිසන් අර දුම්රිය පොළේ පත්තර විකුණන ගමන් ඔහු නගරයේ තියෙන පුස්තකාලයට ගිහිල්ලා සියලු ම පොත් පත් කියවන්න පටන් ගත්තා. ඔහු ඉතාමත් දැඩි විදියට කියෙව්වා. කියවීමෙන් තමයි ඔහු ඉගෙන ගත්තේ. අද අපේ හාමුදුරුවනේ, අවාසනාවකට වගේ අපේ රටේ කියවීම අඩුයි. දරුවෝ කියවන්නෙත් නෑ, වැඩිහිටියෝ කියවන්නෙත් නෑ. මේක බරපතළ ප්‍රශ්නයක්. ඒකට ප්‍රධාන ම හේතුව තමයි මේ රුපවාහිනි නාලිකා. රුපවාහිනී නාලිකා නරඹන්න ඇති වෙන පෙළඹවීම නිසා අපේ සමස්ත සමාජය ම වෙනස් වෙමින් පවතිනවා.

ඉස්සර අපේ ගෙවල්වල ලස්සන සංස්කෘතියක් තිබ්බා. මොකක් ද? හැන්දෑවට ගෙදර අම්මලා තාත්තලා දරුවෝ ඔක්කොම එකට කනවා බොනවා. එතකොට අම්මලා තාත්තලා දරුවන්ගෙන් අහනවා මොනව ද අද ඉස්කෝලේ කළේ? මොනව ද ගෙදර කාගෙන් හරි අහගන්න දෙයක් තියෙනව ද? නැත්තම් පාඩමක් බැරි වුණා ද? මේ වගේ පුංචි පුංචි ප්‍රශ්න අහන්න දරුවන්ට අවස්ථාවක් තිබ්බා, දෙමව්පියන්ට අවස්ථාවක් තිබ්බා.

නමුත් අවාසනාවට වගේ අද රෑට බොහෝ වෙලාවට අපි කෑම කන්නේ සාලේ වාඩි වෙලා. දරුවොනුයි අම්මලයි ඔක්කොම අර රූප පෙට්ටිය දිහා බලන් ඉන්නවා. පස් පව් ඔක්කොම පෙන්නනවා. සියලු ම දූෂණ ක්‍රියා පෙන්නනවා. දරුවන්ගේ විතරක් නෙවෙයි වැඩිහිටියන්ගේත් මොළ කුරුවල් වෙන දේවල් පෙන්නනවා. ඉතින් මේක දිහා බලන් හිටියා ම පිඟානේ අන්තිමට අපි අර කරපිංචා නැටි පැත්තකින් තියෙනවානේ. අන්තිමට පිඟාන බලපුවා ම මොකවත් ඉතුරු වෙලා නෑ. ඔක්කොම කාලා. හේතුව අපි ඒ තරම් මොළේ විකෘති කරගෙන අරක දිහා බලාගෙන ඉන්නවා. පෙන්නන්නෙත් ඒ වගේ ඒවානේ. අපේ මොළේ විකෘති කරන, අපේ සමාජ ආර්ථික වටිනාකම් විනාශ කරන, අපේ සංස්කෘතිය නැති කරන දේවල් තමයි මේ රුපවාහිනිය හරහා දැන් පෙන්නන්න පටන් අරන් තියෙන්නේ.

ඒ නිසා මං අම්මලා තාත්තලාගෙන් එක ඉල්ලීමක් කරනවා. අඩු තරමින් දවසකට විනාඩි 15ක් නැත්තම් 20ක් දරුවොත් එක්ක ගත කරන්න. මොනව ද ඉස්කෝලේ ඉගෙන ගත්තේ කියලා අහන්න. මොනව ද අද තියෙන ප්‍රශ්න කියලා අහන්න. ඒ විනාඩි 15ක්, 20ක් අනිවාර්යෙන් ගත කරන්න දරුවොත් එක්ක. ඒක දරුවන්ගේ අනාගතයට කරන හොඳ ම ආයෝජනය යි!”

එතුමා කළ කතාව තමයි මේ. ඉතින්… අපේ දරුවන් වෙනුවෙන් මේ හොඳ ම ආයෝජනය සිදු කරන්නට අපට කාලය ඇවිත් නේ ද…!!!

සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ලෝ සත සෙත සදනු පිණිස නෛෂ්ක්‍රම්‍යය සොයා වැඩි පුණ්‍ය චාරිකාවේ පිය සටහන්….. (03 වන කොටස)

ඔබ වහන්සේ විසින් පතන ලද පැතුම සිත් පරිදි ඉටු වේවා! සියලු උවදුරු දුරු වේවා! චිත්ත පීඩා රෝග පීඩා දුරු වේවා! කිසිදු අනතුරක් සිදු නො වේවා! උතුම් සම්බුද්ධත්වය ම ලබත්වා! මල් පිපෙන ගස් නිසි කල පැමිණි විට මල් දරන්නා සේ වීරයාණෙනි, ඔබ වහන්සේ ද බුද්ධ ඤාණය නම් මලින් පිපෙත්වා!