highlights of the week
Home » NEW ARTICLES » සේරුවිල නයින්ගේ විල්ගම් වෙහෙර

සේරුවිල නයින්ගේ විල්ගම් වෙහෙර

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා පුරාණ කොට්ඨසාර ජනපදයෙහි ගිරිඅභය මහ රහතුමන් විසින් ඉදි කරන ලද විල්ගම් වෙහෙර මහා සෑ රජුන් 800 වසරකට පමණ පසු බෞද්ධ ලෝකයාගේ වන්දනමානනයට පාත්‍ර වන අවධියක් යළි උදාවූයේ ය. එබැවින් ඒ මහා චෛත්‍යරාජයාට පූජෝපහාර පිණිස මෙම ලිපිය සපයනු ලැබේ.

දෙතිස් එලරුහ බෝ රජාණෝ

අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමෙන් වසර 236ක් ගත වූ උඳුවප් මස පුර තුදුස්වක් දින සන්ධ්‍යා භාගයෙහි පරමෝත්තම වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේ මේ ශ්‍රී ලංකා ධරණීතලයෙහි මහ පෙළහර පාමින් සුපිහිටි සේක. එයින් දින සතකට පසු ඒ බෝරජුන්ගේ මහා ශාඛා පසෙහි මහත් වූ බෝ ඵල පහක් හටගත්තේ ය. ඒ අතරින් නැගෙනහිර ශාඛාවේ ඵලය රෝපණය කළ කල්හි, ක්ෂණයකින් සතර රියන් උසැති බෝ පැළ අටක් එයින් හටගත්තේ ය. ඒ බෝධින් වහන්සේලා අටනම අෂ්ට ඵලරුහ බෝධී යැයි හඳුන්වනු ලබන්නේ ය.

අනෙකුත් ශාඛා සතරෙහි ඵලයන්ගෙන් ද බෝධින් වහන්සේලා අටනම අටනම බැගින් හටගත්තේ ය. එසේ දෙවනුව හටගත් බෝධීන් වහන්සේලා දෙතිස්නම දෙතිස් ඵලරුහ බෝධී යැයි හඳුන්වනු ලබන්නේ ය. සියලු බෝධීන් වහන්සේලා සතලිස්නමකි. ඒ සියලු බෝධීන් වහන්සේලා සම්මා සම්බුදුරජුන්ගේ අධිෂ්ඨානය පරිදි, ඒ බුද්ධාධිෂ්ඨානයන් මැනැවින් දන්නා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මග පෙන්වීමෙන් ලක්දිව පුරා වැදගත් ස්ථානයන් 40ක රෝපණය කරන ලදී. ඒ අතරින් එක් දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේනමක් පුරාණ නැගෙනහිර සිංහල බෞද්ධ රාජධානියේ කෙළවර රුහුණේ කොටසර දනව්වෙහි විල්ගම් වෙහෙර රෝපණය කරන ලදී. ඒ බව විල්ගම්මුල සඟරාජ මා හිමියන් විසින් රචිත සිංහල බෝධිවංශයෙහි මෙසේ සඳහන් වේ.

“මෙසේ ම… සේරුවිල සමීපයෙහි නයින්ගේ විල්ගම් වෙහෙර ද… එක් එක් බෝධියක්දැයි මෙසේ සමසතලිස් මහා බෝධිරාජයෝ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන වූ ලෙසට ම මේ ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිටියාහු ය.” (212)

මෙම ස්ථානය සුළු බෝධිවංශයෙහි දැක්වෙන්නේ නයින්ගේ වෙල්ගම් වෙහෙර යනුවෙනි. එම සුළු බෝධිවංශය කෝට්ටේ සාහිත්‍ය යුගයට අයත් කෘතියක් වන අතර, සිංහල බෝධි වංශය එයට පෙර කුරුණෑගල සාහිත්‍ය යුගයෙහි දී තත්කාල ශාසනානුශාසක සඟරජ මාහිමියන් වහන්සේ විසින් රචිත කෘතියකි. එමෙන් ම සිංහල බෝධිවංශයෙහි මෙම විල්ගම් වෙහෙර සේරුවිල සමීපයෙහි පිහිටා ඇති බව ඉතා පැහැදිලි ව දක්වා ඇති හෙයින්, සේරුවිල අසබඩ පිහිටා ඇති නාගයන්ගේ නොමඳ පූජනීයත්වයට පත් වූ විල්ගම් වෙහෙර, අතීතයෙහි දෙතිස් ඵලරුහ බෝ රජුන් පිහිටා වැඩ සිටි පුණ්‍ය භූමිය වශයෙන් නිසැකව ම හඳුනාගත හැක්කේ ය.

වර්තමානයෙහි ජනශුන්‍යව පැවතිය ද අනුරාධපුර යුගයෙහි දී නැගෙනහිර සිංහල බෞද්ධ රාජධානිය ජනාකීර්ණ වූ ඉතා සෞභාග්‍යවත් තත්ත්වයක පැවැත්නේ ය. වර්තමානයේ විල්ගම් වෙහෙර පිහිටි ප්‍රදේශය අතීතයෙහි පැවති ආකාරය සිංහල ධාතුවංශයෙහි සඳහන් වන්නේ මෙසේ ය.

“ඒ නුවර හිරණ්‍ය ස්වර්ණ මුක්තාමාණික්‍යාදීන් හා නා නා විධ වස්ත්‍රාදීන් ද ශාලි ප්‍රීභයාදී සප්තවිධ ධාන්‍යයෙන් ද ද්වාරට්ටාල, ශාලා, ගෝපුර, චන්ද්‍රිකාංගණ, ප්‍රසාද, කූටාගාර, පරිඛා, ප්‍රාකාර, නදී, පුෂ්කරණි, වාපී, වීථි ආදීන්ගෙන් සමෘද්ධ වූයේ ය. හස්ත්‍යෂ්ව රථ පදාත්‍යාදී වූ සිව්රඟ සෙනඟින් ගැවසුණේ ය. ශංඛ, භේරි, මෘදංගවෙණු, වීනාදී ශබ්දයෙන් ඒකකෝලාහල වූයේ ය. එනුවර අමරවතී නම් රාජධානිය සේ ඉතා සිත්කළු වූයේ ය.” (38)

බෝධින් වහන්සේනමක් රෝපණය කරනුයේ, ජනශුන්‍ය නොවැදගත් ස්ථානයක නො වේ. බොහෝ දෙනෙකුට වැඳ පුදා පින් රැස්කර ගත හැකි, ප්‍රශස්ත ආගමික වටපිටාවක් ඇති පෙදෙසක ම බෝධි රෝපණයක් සිදු කරනු ලැබේ. එබැවින් විල්ගම් වෙහෙර පිහිටි භූමිය දෙවනපෑතිස් රාජ සමයේ සිට ම නැගෙනහිර පළාතේ වැදගත් ස්ථානයක් වූ බව සිතාගත හැක. එමෙන් ම එම පුණ්‍ය භූමිය භාග්‍යවතුන් වහන්සේගේ ද මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතුන්ගේ ද අවධානයට ලක් වූ පින්බිමක් බව බෝධිවංශයට අනුව ගම්‍ය වේ.

දෙතිස් ඵලරුහ බෝධි රෝපණයට වූ තැන් පටන් ශතවර්ෂ ගණනක් විල්ගම් වෙහෙර සිංහල බෞද්ධ ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වෙමින් පැවැතුනේ ය. බෞද්ධයකු විසින් දත යුතු ලක්දිව ප්‍රධාන විහාරස්ථාන නාම මාලාවට ද විල්ගම් වෙහෙර ඇතුළත් ව තිබීමෙන් ඒ බව පැහැදිලි වේ. නම් පොත නමින් ද හඳුන්වනු ලබන විහාර අස්න නම් කෘතියෙහි 180 වන ස්ථානයෙහි සඳහන් වන්නේ විල්ගම් වෙහෙර යි. එහි විහාරස්ථාන නාමයන් සඳහන් වන්නේ ප්‍රදේශයන්ගේ අනුපිළිවෙළ රැකගනිමිනි. 129 ස්ථානයෙහි ‘ත්‍රිකුණාමලය’ යනුවෙන් ද 131 ස්ථානයෙහි ‘තිස්ස මහ වෙහෙර’ (සේරුවිල මංගලරාජ මහා විහාරය) යනුවෙන් ද සඳහන් වන හෙයින් ඒ දෙක අතර ප්‍රදේශයෙහි ම විල්ගම් වෙහෙර පිහිටා තිබිය යුතු ය. එබැවින් පුරාණ විල්ගම් වෙහෙර වෙනත් ප්‍රදේශයක පිහිටි බව සිතීමට ඉඩක් නැත. මෙම නම් පොත කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජ සමයේ රචිත බව, නම් පොත සංශෝධනය කළ අති පූජනීය අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක මාහිමියන්ගේ අදහස යි. ඒ අනුව විල්ගම් වෙහෙර යන නාමය කෝට්ටේ යුගය වන විටත් බොදු ජනයාගේ සිත් සතන් තුළ නො මැකී තිබූ බව සිතිය යුතු වේ.

විල්ගම් වෙහෙර ඉදිවීම

දෙවනපෑතිස් රජ සමයෙහි දී දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේලා විහාරස්ථානවල ම රෝපණය කළා නො වේ. එහෙත් පසු කාලය වන විට ඒ බෝධීන් වහන්සේලා කේන්ද්‍ර කොටගෙන විහාරස්ථානයන් බිහි විය. විල්ගම් වෙහෙර ද එබඳු පුණ්‍ය භූමියක් බව සිතිය හැක. සිංහල ධාතුවංශයට අනුව විල්ගම් වෙහෙර ඉදිකොට ඇත්තේ කාවන්තිස්ස මහ රජතුමන් විසිනි.

“කාවන්තිස්ස රජහු විසින් කරවූ විහාර මෙසේ දත යුතු. විහාර මහා දේවි විහාරය, තුලාකර පබ්බත විහාරය… විල්ගම් වෙහෙරය… ආදි කොට ඇති එකසිය අටතිසක් විහාර කරවූයේ ය.” (67)

සිංහල ධාතුවංශය ලියැවී ඇත්තේ පාලි ධාතුවංශය අනුව ය. එහෙත් පාලි ධාතුවංශයේ කිසිදු පිටපතක කාවන්තිස්ස රජු කරවූ විහාර නාමාවලියට විල්ගම් වෙහෙර ඇතුළත් ව නැත. එමෙන් ම ඇතැම් සිංහල ධාතුවංශ පිටපත්වල ද එම නාමාවලියට විල්ගම් වෙහෙර ඇතුළත් ව නැත. වරදවෙල පුෂ්පාරාම විහාරය සතු සිංහල ධාතුවංශ පුස්කොළ පිටපත් එවැන්නකි.

සිංහල ධාතුවංශය ලියැවී ඇත්තේ මහනුවර යුගයේ මුල් භාගයේ දී කකුසන්ධ නම් ස්වාමීන් වහන්සේ අතින් බව මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගලයන්ගේ අදහස යි. එහෙත් පාලි ධාතුවංශය ලියැවී ඇත්තේ කාවන්තිස්ස හෝ දුටුගැමුණු රජ සමයෙහි බව අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහානායක මාහිමියන්ගේ මතය යි. පාලි ධාතුවංශය ලියැවුණු අවධිය පිළිබඳ විවිධ මතවාදයන් ඇතත්, සිංහල ධාතුවංශය රචනා කිරීමට සියවස් ගණනාවකට පෙර එය රචනා වූ බව අවිවාදයෙන් පිළිගත හැක. එබැවින් විල්ගම් වෙහෙර කාවන්තිස් නිරිඳුන් විසින් කරවන ලද්දකැයි සඳහන් කිරීම සංශය සහිත ය.

සේරුනුවර සේරුවිල කෙළවර පිහිටි සෝම නම් නගරයෙහි ගිරි අභය රජතුමන් විසින් කරවන ලද විහාරය මෙම විල්ගම් වෙහෙර යැයි සඳහන් වන මතයක් ද තිබේ. වංශ කථාවට අනුව ගිරි අබා රජු තම අගබිසව වූ සෝමා දේවියගේ නමින් සැටක් පමණ ප්‍රාසාදයන්ගෙන් යුත්, කූටාගාර පැන් පොකුණු ආදි නොයෙක් විහාරංගයන්ගෙන් හෙබි විහාරයක් සෝම නුවරට නුදුරු තැනක සල් වනයක් ද සමඟින් ඉදි කරවා තිබේ. ගිරිඅබා රජු දිනකට තුන්වරක් ධාතු උපස්ථානය සඳහා එම විහාරයට ගිය බව සඳහන් වන හෙයින්, එය සෝම නුවරට බොහෝ දුර ස්ථානයක නොව ළඟ ම පිහිටා තිබිය යුතු ය. ක්‍රි.ව. 1516 සියමේ රතනපඤ්ඤ නම් තෙරුන් විසින් රචිත ජිනකාලමාලී නම් එෛතිහාසික කෘතියේ එම සෝම නුවර පිළිබඳ සඳහන් වන්නේ මෙසේ ය.

“සේරුරාජා පන සරකෝටියං රමණීයේ භූමිභාගේ ඒකං නගරං මාපෙත්වා අභයරාජස්ස අදාසි. සෝපි අභයරාජා තස්ස නගරස්ස දේවියා නාමේන සදිසං සෝම නගරංති නාමං අකාසි”

“සේරු රජ විල් කෙළවර රම්‍ය භූමි භාගයක නුවරක් මවා අභය රජුට දුනි. අභය රජ ඒ නුවරට දේවියගේ නම අනුව සෝම නුවර යයි නම් තැබී.” (45)

සිංහල – පාලි ධාතුවංශවල ද මේ පුවත මෙයට සමාන ව ම සඳහන් වේ. එම කෘතිවලට අනුව සෝමනුවර පිහිටිය යුත්තේ සේරුනුවරට අයත් භූමි භාගයෙහි සේරුවිල කෙළවර ය. සෝම නුවර ගිරිඅභය රජු විසින් ඉදි කළ සෑ රජුන් පිළිබඳ පවා පාලි ධාතුවංශයෙහි සඳහන් ව ඇත්තේ ‘ගිරි අභයස්ස සේරුනගර පබ්බතන්තරේ චේතියං’ (ගිරිඅබා රජුගේ සේරුනුවර පර්වත අතරෙහි චෛත්‍යය) යනුවෙනි. එමෙන් ම මහින්ද මහරහතන් වහන්සේ විසින් දකුණු දළදා වහන්සේ වැඩමවාගෙනවුත් ඇත්තේ ද සේරුනුවරට ම ය. ඒ බව ‘දක්ඛිණදාඨං ගහෙත්වා තම්බපණ්ණි – යං සේරුනගරං පරිහරිත්වා’ (දළදා වහන්සේ ගෙන තම්බපණ්නියෙහි සේරුනුවරට වැඩමවා) යන පාඨයෙන් හෙළිදරව් වේ. එමෙන් ම සේරුවිල මංගල මහා සෑ ප්‍රතිෂ්ඨාපනයට වැඩම කළ භික්ෂුන් හට ආගන්තුක වත සිදුකර ඇත්තේ ද ලලාට ධාතු උපස්ථානයට නිතර වැඩම කොට ඇත්තේ ද ගිරිඅබා රජුගේ විහාරයේ වැඩ විසූ මහින්ද රහතන් වහන්සේ ය. මංගල මහා සෑය පූජා කිරීමේ මහා පෙරහර ඇරඹී ඇත්තේ සෝම නුවරින් වන අතර, කාවන්තිස් නිරිඳුන් ‘දරුව, තෙපි මෙහි ම නිතර වසව්’ යැයි පවසා මංගල මහා සෑය පිළිබඳ සියලු කටයුතු සොයා බැලීමට පවරා ඇත්තේ ද සෝම නුවර ගිරිඅබා රජුට ය. සෝම නුවර සේරු නුවරට ආසන්නව නො පිහිටියේ නම්, මේ කිසිවක් සිදුවිය නො හැක.

වංශකතාවට අනුව ගිරිඅබා රජු විසින් කරවූ විහාරය මහවැලි නදියට නැගෙනහිරින් වූ රුහුණු ප්‍රදේශයෙහි පිහිටිය යුතු ය. එබැවින් දෙතිස් ඵලරුහ බෝධිරාජයන් වහන්සේ කේන්ද්‍ර කොටගෙන කරවූ විල්ගම් වෙහෙර, ගිරිඅභය රජු විසින් සෝමනුවර ඉදිකළ මහා සෑය සහිත විහාරය විය හැක. කවුරුන් විසින් ඉදි කරනු ලැබුයේ වී නමුත් මෙම පුණ්‍ය භුමිය අති පෞරාණික ශුද්ධභූමියක් බව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගේ අදහස යි.

“විල්ගම් විහාරය – තෝප්පුර් අසල මේ නමින් හැඳින්වෙන ස්ථානයක් තිබේ. එය ද පැරණි පුදබිමක් බව එහි ගඩොලුවලින් පෙනේ.” (නැගෙනහිර හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය 331)

මූලසෝම විහාරය

ඉඳින් විල්ගම් වෙහෙර ගිරිඅභය රජු කළ විහාරය වූයේ නම්, එය ලක්දිව අති සම්භාවනීය පූජ්‍ය ස්ථානයකි.

අනුරාධපුර යුගයේ අවසාන භාගයෙහි දී ආචාර්ය අනුරුද්ධ මහා ස්වාමීන් වහන්සේ විසින් රචිත අභිධම්මත්ථ සංග්‍රහයේ අවසානයේ දී කතුරයාණෝ තමන් වහන්සේ වාසය කළ විහාරයෙහි අභිවෘද්ධිය මෙසේ ප්‍රාර්ථනා කරති.

පුඤ්ඤේන තේන විපුලේන තුමූලසොමං
ධඤ්fඤාධිවාස මුදිතෝදිත මායුගන්තං
පඤ්ඤාවදාත ගුණ සෝභිත ලජ්ජි භික්ඛු
මඤ්ඤන්තු පුඤ්ඤ විභවෝදය මංගලාය.

මහත් වූ ඒ පිනෙන්, පිනැතියන්ට වාසස්ථාන වූ අතිශයින් උසස් වූ මූලසෝම නම් වූ හෝ තුමූලසෝම නම් වූ හෝ විහාරය ප්‍රඥාවෙන් අවදාන වූ ගුණයෙන් හෙබියා වූ ලජ්ජි භික්‍ෂුහු මහත් වූ පුණ්‍යයන්ගේ වැඩීම නමැති මංගලය පිණිස කල්පාන්තය දක්වා සිතත්වා! (144)

මෙම මූලසෝම විහාරය පිළිබඳ විවිධ මත ඇත්තේ ය. අභිධම්මත්‍ථ සංග්‍රහයට පරමත්‍ථදීපනී නමැති අභිනව මහා ටීකාව රචනා කළ ත්‍රිපිටකධර අග්ගමහා පණ්ඩිත ලේතීෂයාඩෝ නමැති ඥානධජ මාහිමියන් වහන්සේ ඒ පිළිබඳ දක්වන අදහස මෙසේ ය.:

“එසේ කිර විහාරෝ ආදිතෝ අභයගිරි රඤ්ඤෝ අග්ගමහේසීභූතාය සෝම දේවියා කාරාපිතත්තා යාවජ්ජතනා සෝමවිහාරෝත්වේව පඤ්ඤයිත්ථ. තුමුල සද්දෝ පන විපුල සද්ද පරියායෝ… සෝච විහාරෝ සට්ඨිමත්තේහි මහා පරිවේණේහි සණ්ඨිතේ හෝතීති අතිවිය විපුලෝ මහන්තෝ විත්ථිණ්ණෝ හෝති තස්මා සෝ…. තුමුලසෝමෝති වුච්චති මහාසෝම විහාරාති වුත්තං හෝති.”

මේ විහාරය මුල දී අභයගිරි රජුගේ අගමෙහෙසිය වූ සෝම දේවිය විසින් කරවූ බැවින් අද දක්වා සෝම විහාරය යැයි ප්‍රකට ව පවතී. තුමුල ශබ්දය විපුල (මහත්) යන අර්ථ ඇත්තේ ය. ඒ විහාරය සැටක් පමණ පිරිවෙන්වලින් යුක්ත බැවින් අතිශයින් මහත් ද විස්තීර්ණ ද වේ. එබැවින් තුමුලසෝම යයි කියනු ලැබේ. මහා සෝම විහාරය යන අර්ථ ඇත්තේ ය.

මෙම ටීකා පාඨයේ දැක්වෙන අභයගිරි රජු, ගිරිඅබා රජු විය හැකි බව පොල්වත්තේ බුද්ධදත්ත මාහිමියන්ගේ අදහස යි. ගිරිඅබා රජුගේ නාමය අභය වන අතර, ඔහු ගිරිරාජ වංශයට අයත් වූ බැවින් ගිරිඅභය නමින් හඳුන්වන ලදී.

එමෙන් ම මේ මූලසෝම වෙහෙර පිරිවෙන් 60කින් යුතු බව සඳහන් වන හෙයින්, ගිරිඅබා රජු ප්‍රාසාද 60කින් යුතුව සෝම නුවර ඉදි කළ වෙහෙර එය ම බව සිතා ගැනීම අපහසු නැත. මෙම වෙහෙර පිළිබඳ පුරාණ කුදුසික ටීකාවේ ඇතුළත් වූ අගනා විස්තරයක් ද ඥානධජ මාහිමියන් තම කෘතියේ උපුටා දක්වා ඇත.

“වුත්තංහි ඛුද්දසික්ඛා ටීකායං සීහලදීපේ තුමුලසෝම විහාරේ සංඝස්ස පාකවත්තම්පි තාලපණ්ණං වික්කිණිත්වා කරීයති නහි තත්ථ පණ්ණේණ අත්ථෝ අත්ථි සබ්බේපි ඉට්ඨකච්ඡන්තා පාසාදාදයෝති.”

කුදුසික ටීකාවේ ඒ විහාරය ගැන මෙසේ කියන ලදී :- “සිංහලද්වීපයෙහි තුමුලසෝම විහාරයෙහි සංඝයාගේ දන්වැට තල් කොළ විකුණා කරනු ලැබේ. එහි සියලු ප්‍රාසාදාදීන් උළුවලින් සෙවිලි කරන ලද බැවින් එතැනට ඒ කොළවලින් වැඩක් නැත.”

මෙම කුදුසික ටීකා පාඨය වර්තමානයේ දක්නට ලැබෙන, පොළොන්නරුපුර ශාරිපුත්‍ර සංඝරාජයන් වහන්සේගේ ශිෂ්‍ය වූ ශ්‍රී සංඝරක්ඛිත මාහිමියන් විසින් රචිත ඛුද්ද සික්ඛා ටීකාවේ ඇතුළත් වන පාඨයක් නො වේ. ‘ඛුද්ද සික්ඛා ටීකා යා-පුරාතන සමීරිතා’ (පුරාතනයන් විසින් සම්පාදිත වූ යම් කුදුසික ටීකාවක් වේ ද) යනුවෙන් පුරාණ ටීකාවක් තිබූ බව එහි ම සඳහන් වන හෙයින්, මෙම පාඨය එම පුරාණ ටීකාවේ තිබුවක් බව සිතිය යුතු වේ.

කෙසේ නමුත් විල්ගම් වෙහෙර පුණ්‍ය භූමිය ගිරි අබා රජු විසින් සෝමනුවර ඉදි කළ විහාරය නම්, එය ආචාර්ය අනුරුද්ධ මහා ස්වාමින් වහන්සේ බඳු මහා වියතුන් පවා වාසය කළ අධිසම්භාව්‍ය පූජ්‍යස්ථානයකි.

විල්ගම් වෙහෙර සහ වෙල්ගම් වෙහෙර

බොහෝ කලක් මුළුල්ලේ විල්ගම් වෙහෙර යනුවෙන් හඳුන්වාගෙන පැමිණි වෙල්ගම් වෙහෙර නමින් ප්‍රකට පූජ්‍යස්ථානය ත්‍රිකුණාමල දිසාවේ පෙරියකුලම් අසල පිහිටා ඇත. ඇතැම්හු මෙය දෙවනපෑතිස් මහ නිරිඳුන් කරවන ලද විහාරයක් වශයෙන් සලකති. අභිලේඛනයන්හි මෙම ස්ථානයේ නාමය සඳහන් ව ඇත්තේ වෙලගම අබගර විහර (වෙල්ගම අභයගිරි විහාරය), වෙල්කම් වෙරමාන රාජරාජ පෙරුම්පල්ලි (වෙල්ගම් වෙහෙර නමැති ‘රාජරාජ’ විශාල විහාරය) යන නාමයන්ගෙනි. මෙය තානතාර් කෝවිල් යනුවෙන් ද හැඳින්වෙන බවට මතයකි. පෙරියකුලම් වැවෙන් අස්වැද්දෙන විශාල වෙල් යාය මැද උස්බිමෙක පිහිටි හෙයින් මෙය වෙල්ගම් වෙහෙර වී යැයි කියනු ලැබේ. මෙම ස්ථානයේ පාලි නාමය වෙලගාම විහාර නම් වේ.

මෙම වෙල්ගම් වෙහෙර, විල්ගම් වෙහෙර යනුවෙන් හැඳින්වීම සාවද්‍ය බව එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කරති.

“පැරණි පොත්පත්වල විල්ගම් විහාරය නමින් පූජනීය ස්ථානයක් ද සඳහන් වී තිබේ. එය සරෝගාම විහාර වශයෙන් පෙළ බසින් වැටෙයි. සමහරු එය වෙල්ගම වශයෙන් පටලවාගෙන ඇත. තෙල වෙල්ගම් වෙහෙර මෑතක දී හඳුන්වා විස්තර කර ඇත්තේ විල්ගම් වෙහෙර වශයෙනි. එය සාවද්‍ය බව පැහැදිලි ය.”

මෙම සාවද්‍ය ව්‍යවහාරය පිළිබඳ ව වෙල්ගම් වෙහෙරේ කැණීම් කටයුතුවල නියුක්ත ව සිටි මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ද අදහස් දක්වා තිබේ.

“මෙම විහාරස්ථානය ඔවුන් වන්දනාකරුවන්ට හඳුන්වා දෙන්නේ ත්‍රිකුණාමලයට දකුණින් පිහිටි සේරුවාවිලට යොදන නමක් වන විල්ගම් වෙහෙර ය නමින් බවත් මෙහි දී කිව යුතු ය.” (පුරාවිදු පරියේෂණ- 196)

කෙසේ වුවත් මේ විද්වත් මතයනට අනුව, පුරාණ විල්ගම් වෙහෙර සේරුවිල ප්‍රදේශයට ම අයත් ව පිහිටා තිබූ බව පැහැදිලි වේ.

අඳුරු යුගය

කාලිංගමාඝ ආක්‍රමණය සමඟ (ක්‍රි. ව. 1215) බෞද්ධ වෙහෙර විහාරවලට සිදු වූ දෙය පූජාවලියෙහි මෙසේ සඳහන් වේ.

“පසුව ලංකාවාසීන්ගේ කිසියම් දරුණු වූ අකුසල කර්මයක් හේතුකොටගෙන, ලක්දිව මහේශාඛ්‍ය ආරක්ෂක දෙවියන්ගේ කිසියම් උපේක්ෂාවක් විද්‍යාමාන වූ කල්හි, අබෞද්ධයන්ගේ උත්සන්න භාවයක් පහළ වූ කල්හි, මාඝරාජ නම් කලිඟු රජ සූවිසි දහසක් මළල සෙනඟ ගෙන ලක්දිව් බැස…. ලෝකසාසනය නසා, රුවන්මැලි මහා සෑය බිඳුවා, සෙසු දහස් ගණන් දාගැබ් බිඳුවා, නොඑක් ශ්‍රද්ධාවන්ත රජුන්ගේ චෛත්‍ය නමැති කීර්ති ශරීරවල, කොත් නමැති වොටුනු හා රුවන් නමැති හෘදමංස ගෙන, ධාතු නමැති ජීවිත අන්තර්ධාන කරවා, සංඝාරාම – ආයතැන් – මහපා දෙමළුන්ට ගෙවල් කරවා…. සිරිලක මිථ්‍යාදෘෂ්ටි ගන්වා…. ලංකාද්වීපය ගිනි ගත් ගෙයක් සේ කරවා, ගම ගම දෙමළුන් ලවා, බලාත්කාරයෙන් එකුන්විසි හවුරුද්දක් රාජ්‍ය්‍ය කළේ ය.” (785)

එකල්හි එහි විසිය නො හැකි වූ ආයතනවාසී භික්ෂුන් හා ජනතාව දකුණු දිගට සංක්‍රමණය වූ බැවින් සියල්ල මහ වනය විසින් ගිලගන්නා ලදී. මෙසේ ඇරඹුණු විනාශය වසර 800ක් මුළුල්ලේ නොයෙක් මුහුණුවරින් සිදු විය. අන්‍යාගමික අන්තවාදීන් විසින් ද තිස් වසරක ත්‍රස්තවාදය විසින් ද පුරාවස්තු පිළිබඳ අවබෝධයක් නොමැති ජනතාව විසින් ද නිදන් හොරුන් විසින් ද කෝටියක් ආරාම පිහිටි රුහුණු සිංහල බෞද්ධ රාජධානියේ උරුමය සහමුලින් ම අතුරුදන් කර දමන ලදී. කිලිවෙඞ්ඩියේ ශ්‍රී වර්ධන බෝධිරාජයා කපා බිම හෙළන ලදී. මහා චෛත්‍යයන්ගේ නටඹුන් මත නිවෙස්, කෝවිල් ද කොටි සම්ප්‍රේෂණ කුළුණු ද තනන ලදී. පැරණි විහාර භූමි පෞද්ගලික ඉඩම් බවට පත් කරගෙන පුරාවස්තු සදහට ම සඟවා දමන ලදී. පැරණි විහාරස්ථානවල ශෛලමය නෂ්ටාවශේෂ සීඝ්‍රයෙන් අතුරුදන් කරවන ලදී.

ඉතා ම සංවේගදායක කාරණය නම් මව්සින් 1966 දී ගවේෂණය කරන ලද පුරාවස්තු 1976 දී ඒ තැන්වල නොමැතිවීම යි. 1976 දී ගවේෂණය කරන ලද පුරාවස්තු 1986 දී ඒ තැන්වල නොමැතිවීම යි. අද වන විට කෙසේ විය හැකි ද? පුරාවස්තු විනාශයේ තත්ත්වය එය යි.” (පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි) විල්ගම් වෙහෙරේ නටඹුන්වලට ද ඒ ඉරණම අත් වී ඇති බව නො අනුමාන ය. කෙසේ වෙතත් යම් ප්‍රමාණයකින් හෝ සේරුවිල ප්‍රදේශය උක්ත කරුණුවලින් ආරක්ෂා වූයේ, 1923 දී මහා යුග පුරුෂ දඹගස්ආරේ මංගල ධර්ම කීර්ති ශ්‍රී සුමේධංකරාභිධාන මහානායක මා හිමියන් වහන්සේගේ වැඩමවීම නිසා ය. පුරාණ විල්ගම් වෙහෙර, අනුරාධපුර යුගයෙහි දී මෙන් බබළවන්නට උන්වහන්සේගේ ආලෝකය ලැබූ සඟ පරපුරට සියලු පුණ්‍ය වාසනාව උදා වේවා යැයි භක්ත්‍යාදරයෙන් යුතුව ප්‍රාර්ථනා කරම්හ!

සටහන – රවීන් කෝදාගොඩ

Leave a Reply

Your email address will not be published.

x

Check Also

නිය සිළට ගත් පස් බිඳ….

" ‘මම ම යි කළ යුත්තේ, මට ම යි කිව යුත්තේ, මට ම යි මුල් තැන දිය යුත්තේ, මම ම යි ප්‍රශංසා ලැබිය යුත්තේ, සියලු දෙනාම, සියලු දෙය ම මගෙන් අසා ම යි කළ යුත්තේ.’ කියලා ඔබට හිතෙනවා නම් ඔබ නිය මතින් වැටිලා. බොහෝ කල් උපක්ලේෂ හඳුනා නොගත්තොත්, ආදීනව නොදැක්කොත්, බැහැර නොකළොත් නිය සිළ මත සිටීම අසීරුයි."