Mahamegha Magazine

මහාමේඝ 2026 අප්‍රේල් මස කලාපයෙන්…

අපි යට වෙන හැටි
ගොඩක් වෙලාවට අපේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා අපට තියෙන කටයුතුවලට ඒ ඒ අවස්ථානුකූලව, ඊට ගැළපෙන, අපි දන්න අපට හිතවත් අය උදව් කරයි කියලා. ළඟින් ඉඳියි කියලා. ඇත්තටම ඒකේ ලොකු වරදක් පේන්න නෑ. හේතුව මේ ජීවිත ගමන තනියම ගෙවන එක දුෂ්කර නිසා. අපට එකිනෙකාගෙ උදව් උපකාර ඕන. හැබැයි ඕනවට වඩා උදව් උපකාර බලාපොරොත්තු වෙන්න ගියොත් එතන ප්‍රශ්නයක්. මොකද මේ හිත තමන්ට දෙයක් ලැබෙනවා නම් අන්න ඒ ලාභයට හරිම කැමතියි. ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා වලින් යට වුණු සිත අසත්කාර අසම්මාන ඉදිරියේ ගැටීම සිද්ධ වෙනවාමයි. අඩුම තරමින් ළඟින් ගිය කෙනෙක් හිනාවෙන්නෙ නැතිව ගියොත්, දැක්කෙ නැතිව අහක බලන් ගියොත් ගොඩක් අයගෙ හිත්වලට ඒවත් ප්‍රශ්න, ඇයි හිනාවෙන්නෙ නැතිව ගියේ, ඇයි අහක බලන් ගියේ කියලා. තමන්ට උදව් කරන්නෙ නැතිව වෙන කෙනෙකුට උදව් කළොත් හිතනවා ‘මට තමයි කාගෙන්වත් උදව් නැත්තෙ.’ කියල. අනිත් කෙනාට කරන උදව්ව අනුමෝදන් වෙන්න තරම් පොහොසත් හිතක් නෑ. එතරම් ම මේ හිත තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට නතු වෙලා, බැඳිලා, ආකර්ෂණය වෙලා. ඒක තමන්ට අනතුරක් කියල, මහා විනාශයක් කියල නොතේරෙන තරමට මේ හිත යට වෙලා.

මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා තමන්ට දුකක්, කරදරයක් වුණා ම උපකාරෙට ඉන්න අයගේ ආදරණීය වටිනාකම අමතක වෙනවා. ආදරණීය බැඳීම (සහෝදරකම්, නෑදෑකම්, යාළුකම්) අමතක වෙනවා. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා දරුවන්ට දෙමාපියො, දෙමාපියන්ට දරුවො, සහෝදරයන්ට සහෝදරියො, නෑදෑයන්ට නෑදෑයො, යාළුවන්ට යාළුවො අමතක වෙනවා. තමන්ට ලැබුණොත් හොඳයි කියල හිතෙන් හිතාන හිටිය දෙයක් තමන්ගෙ දෙමාපියන්ට ලැබුණොත් සමහර දරුවන්ට ඒක දරාගන්න අපහසුයි. දරුවන්ට ලැබුණොත් සමහර දෙමාපියන්ට දරාගන්න අපහසුයි. සහෝදරයන්ට ලැබුණොත් සමහර සහෝදරයන්ට දරාගන්න අපහසුයි. ඒ වගේ ම තමයි සමහර නෑදෑයෝ, යාළුවෝ… ඇයි ඒ? තමන්ට ඒ දේ අහිමි වුණ නිසා.

ආයතනවල වුණත් එහෙමයි. ප්‍රධානියාගෙන් හා අනික් පාර්ශවවලින් ලැබී තිබුණ පිළිගැනීම, තත්වය රැකගන්න තමන්ගෙ අඩුපාඩු, වැරදි හංගනවා. නිහඬව ඉන්නවා. සමහර විට වෙනත් කෙනෙක් ඒවට අහුවෙනවා. තමන්ගේ වරදට වෙනත් කෙනෙක් අහුවුණ බව දැන දැන නිහඬව ඉන්නවා, තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අහිමි වෙයි කියල.

එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තමන්ට අහිමි වීම නිසා තමන්ගේ සිත, කය, වචනය අසංවර වෙනවා. අනුන්ගේ දේට ආශා කිරීම, ඊර්ෂ්‍යාව, තරහව ආදී මනසින් වන අකුසල් රැස්කර ගන්නවා. ප්‍රාණඝාතය, සොරකම ආදී කයින් වන අකුසල් රැස් කර ගන්නවා. බොරු කීම, කේළාම් කීම ආදී වචනයෙන් වන අකුසල් රැස්කර ගන්නවා. එකිනෙකා අභිබවා වචන කියවා ගන්නවා. රණ්ඩු කලකෝලාහල ඇති වෙනවා. තමන්ගෙ පිවිතුරු සීලය අමතක වෙනවා. ද්වේෂයේ ගිනිජාලා මතුවෙනවා. හීනෙකින්වත් හිතුවෙ නැති විදියට සියල්ල අවසන් වෙනවා. මේ ජීවිතෙත් දුක් විඳිනවා. පරලොවත් දුක් විඳවන දේවල් රැස් කර ගන්නවා. අවසානයේ ජීවිතේට ඉතුරු වෙන්නෙ මහා හිස් බවක්. කඩා වැටීමක්. පසුතැවීමක්. සෝ සුසුම් හෙළීමක්. විඳවීමක්. එතකොට ඒ හැම දෙයක්ම වුණේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා.

අපගේ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළා,

“දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ කටුකෝ ඵරුසෝ අන්‌තරායිකෝ අනුත්‌තරස්‌ස යෝගක්ඛේමස්‌ස අධිගමාය.”‍

“‍පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. නපුරු දේවල්. කොටින් ම ඵරුෂ දේවල්. කොටින් ම අනුත්තර වූ අරහත්වය අවබෝධ කිරීමටත් අනතුරුදායක යි.”‍

(දාරුණ සූත්‍රය, ලාභ සත්කාර සංයුත්තය, සං. නි. 2)

ඇත්තෙන්ම රැකියාව මුල්කරගෙන වේවා, පවුල මුල්කරගෙන වේවා, දරුවන් මුල්කරගෙන වේවා ඔබේ ජීවිතේ ඇති වුණ ප්‍රශ්න දිහා මොහොතක් ආපසු හැරිලා බැලු‍වොත් ඒ බොහොමයක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ ඔබට ලැබිලා තිබුණ, එහෙම නැත්නම් ලැබෙමින් තිබුණ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හානි වෙයි කියල හිතේ ඇතිවුණ බයට ප්‍රතිකර්ම හොයන්න ගිහින් කියලා ඔබට වැටහේවි. තමාට ඉහළ වේවා, පහළ වේවා කාගෙන් හරි බැණුම් අහලා තමන්ගේ නමට හානියක් වෙයි කියල ඇතිවුණ බයට, එහෙම නැත්නම් යම් සිදුවීමක් වෙනව නම් තමන් පිළිබඳ ගොඩනැගිලා තිබෙන ප්‍රතිරූපෙට හානි වෙයි කියලා ඇතිවුණ බයට. ඒ විදියට වුණොත් නම් තමන්ට ලැබෙන දේ නැතිවෙනවනේ කියල ඇතිවුණ බයට.

මේ ආදී හිතේ ඇතිවුණ බයට විසඳුම් හොයන්න කථා කරලා, ක්‍රියා කරලා ඇතිවුණ ප්‍රශ්න බොහොමයක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා ම යි ඇතිවන්නේ. ආයතනික වශයෙන් වුණත් එහෙම ම යි. වෙනත් ආයතනයක් දියුණු වුවහොත්, ඒ වටා පිරිස එකතු වුවහොත් තමන්ට තමන්ගේ ආයතනයට තැනක් නැතිවෙයි කියල ඇතිවුණ බයට විසඳුම් හොයන්න ගිහින් ඇතිවන ප්‍රශ්නත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා ම යි.

ඡවි සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා.

“දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ. ලාභසක්‌කාරසිලෝකෝ භික්ඛවේ ඡවිං ඡින්‌දති, ඡවිං ඡෙත්‌වා චම්‌මං ඡින්‌දති, චම්‌මං ඡෙත්‌වා මංසං ඡින්‌දති, මංසං ඡෙත්‌වා නහාරුං ඡින්‌දති, නහාරුං ඡෙත්‌වා අට්‌ඨිං ඡින්‌දති, අට්‌ඨිං ඡෙත්‌වා අට්‌ඨිමිඤ්‌ජං ආහච්‌ච තිට්‌ඨති.”‍

“පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳගෙන යනවා. සිවිය සිඳගෙන ගිහින් හමත් සිඳගෙන යනවා. හම සිඳගෙන ගිහින් මසුත් සිඳගෙන යනවා. මස් සිඳගෙන ගිහින් නහරත් සිඳගෙන යනවා. නහර සිඳගෙන ගිහින් ඇටත් සිඳගෙන යනවා. ඇට සිඳගෙන ගිහින් ඇටමිදුලු‍වල කා වැදිලයි තියෙන්නේ.”

ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එතරම් ම අපේ ජීවිත වලට කා වැදිලා. ‘මට ම ලැබේවා, මට ම ලැබේවා’ කියල තමා ගොඩක් අයට හිතෙන්නේ. අනිත් කෙනෙකුට, ආයතනයකට යමක් ලැබෙනවට කැමති නෑ. අනිත් කෙනෙකුගෙ, ආයතනයක දියුණුව සැපය අනුමෝදන් වෙන්න බැරි තරම් හිත් දීන වෙලා. දුප්පත් වෙලා. කිලිටි වෙලා. ඒ තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හානි වෙයි යන තැති ගැනීම නිසා. සතුටු සිතින් උපේක්ෂා සහගත සිතින්, නොසැලෙන අකම්පිත සිතකින් අනිත් කෙනාගෙ දියුණුව දරා ගත නොහැකි තරමට හිත් පරාජය වෙලා. සසර ගමනේ ඒ අය පරාජය වෙලා. නින්දා, අපහාස, චෝදනා, රණ්ඩු, කලකෝලාහල, අනවින, කොඩිවින, හදි හූනියම්, සියල්ල ම පැරදුන හිත්වල සංකේත. ඒ සියල්ලම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා.

රිදී කැබලි පිරවූ රන් තලියක් උදෙසාවත්, රන් කැබලි පිරවූ රිදී තලියක් උදෙසාවත්, රන් පිළියෙන් පිරුණු මහ පොළොව උදෙසාවත්, ජීවිතය පිණිසවත් දැන දැන බොරු කීවෙ නැති කෙනා පස්සෙ කාලෙක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වෙලා එයට යටවූ සිතින් දැන දැන බොරු කියනවා කියලා ශාස්තෘන් වහන්සේ වදාළා. හුදෙකලාවේ සිටින යම් කෙනෙකුගේ සිත තමා මෙන් ම හුදෙකලා වූ රූප රාජිණියක් ළඟ සිටියදී පවා එයින් ඔහුගේ සිත යට නොවුණත් ඔහුගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වෙලා යනවා කියලා ශාස්තෘන් වහන්සේ වදාළා.

“යම් භික්ෂුවක් තමාට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන ආශ්වාදයක් ලබන්නට ගියොත්, කැමති වෙන්නට ගියොත්, ඒ භික්ෂුව ඇම ගිලපු කෙනෙක්. දුකට පැමිණුන කෙනෙක්. විනාශයට පත් වුණ කෙනෙක්. මාරයා විසින් කැමති දෙයක් කළ හැකි කෙනෙක්.” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ බළිස සූත්‍රයේ දී දේශනා කොට වදාළා. ඇත්තෙන්ම මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිහියෙන් තොරව භුක්ති විඳින්න ගියොත් ඒක ඒ කෙනාගෙ පිරිහීම ම යි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා, දේවදත්තට තමා වනසා ගැනීම පිණිස ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ වුණේ. පිරිහීම පිණිස ම යි පහළ වුණේ. සොඳුරු උපමාවලින් වදාළා, කෙසෙල් ගස, උණ ගස, බට ගස පීදෙන්නේ තමාව වනසා ගැනීම පිණිස ම යි. වෙළඹකගේ කුසේ කොටළුවෙකුට දාව උපන් අශ්වතරිය ගැබ් ගන්නේ තමාව වනසා ගැනීම පිණිස ම යි. අන්න ඒ විදියට ලාභ සත්කාර තුළින් අසත්පුරුෂයා වැනසෙනවා කියලා ශාස්තෘන් වහන්සේ වදාළා.

ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා, “තස්‌මාතිහ භික්ඛවේ ඒවං සික්‌ඛිතබ්‌බං. උප්‌පන්‌නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. න ච නෝ උප්‌පන්‌නෝ ලාභසක්‌කාරසිලෝකෝ චිත්‌තං පරියාදාය ඨස්‌සතීති. ඒවං ‌හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති”

“ඒ නිසා පින්වත් මහණෙනි, හික්මෙන්නට ඕන මේ විදිහටයි. අපි නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැර කරනවා. අපට ලැබිල තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අපගේ හිත යටවෙන්නට දෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන.”‍

(ලාභ සත්කාර සංයුත්තය, සං. නි. 02)

ඒ නිසා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්හි ආදීනව දැන ශ්‍රාවකත්වය තුළ හික්මෙමු.

“නගරං යථා පච්චන්තං – ගුත්තං සන්තරබාහිරං

ඒවං ගෝපේථ අත්තානං – ඛණෝ වෝ මා උපච්චගා

ඛණාතීතා හි සෝචන්ති – නිරයම්හි සමප්පිතා”

“ඇතුළතත්, පිටතත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු, දුර පළාතක තියෙන නගරයක් වගේ තමන්ගෙ ජීවිතය ද වරදට වැටෙන්ට නොදී රැකගන්ට ඕනෙ. මේ උතුම් අවස්ථාව ඔබට නම් මඟ හැරෙන්ට එපා! මේ උතුම් අවස්ථාව ඉක්ම ගියොත්, නිරයේ වැටිලා ශෝක කරන්ට වෙනවා.”

(නිරය වග්ගය, ධම්මපදය)

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

දියුණුව සලසන ආශීර්වාද​ය
වර්තමාන ලෝකයේ ගමන් මග වැටී ඇත්තේ භයානක දිශාවකට බව කාටත් නොරහසකි. පිරිහීමේ දොරටු හාත්පසින් ම විවෘත කර ගනිමින් ඛේදනීය අවසානයක් කරා ලෝකය පිය නගන බව නම් ඉතා පැහැදිලි ය. දිනෙන් දින ස්වාභාවික විපත්, පරිසර හානි, යුද කෝලහාල මෙන් ම වංචා දූෂණ, මත්ද්‍රව්‍ය භාවිතය ආදියේ ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. සිදුරු වූ නැව සියලු දෙනාගේ ඇස් ඉදිරිපිට දී ම විකල්පයක් නොමැතිවම ගිලී යන්නේ යම් සේ ද වර්තමාන ලෝකය විනාශය කරා යන්නේ ඊට සාරවත් ස්ථිරසාර විසඳුමක් තිබිය දී ම වීම ශෝචනීය දෙයකි.

සම්බුදු බණ පද නොඇසෙන ලෝකය

වර්තමානයේ මිනිසා මිනිසාගේ ම විනාශයට මග පාදවයි. ඔවුහු කෲරත්වය, ප්‍රචණ්ඩත්වය, වස විස, අහිතකර විකිරණශීලී ද්‍රවයන් ආදි විනාශකාරී දෑ ඉවක් බවක් නොමැතිව මිහිමත වැගුරුවෝ ය. ‘මෙලොව පරලොව ජයගත් උතුමන් තම විශිෂ්ට වූ ප්‍රඥාවෙන් අවබෝධ කොට ධර්මය දේශනා කරනවා’ ය යන ලෞකික සම්මා දිට්ඨියෙන් තොර අසරණ ලෝකයා සාරධර්ම, ගුණධර්ම පසෙකලා භෞතිකවාදයට ම තම ලබ්ධිය ලඝු කළෝ ය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බටහිර ලෝකයේ ගුරුවරයා පන්ති කාමරයට පැමිණෙන විට ශිෂ්‍යයා නැගී සිටීම, ගෞරව කිරීම ආදිය නොකරති. ගුරුවරයාට ඔහුගේ නමින් ම ආමන්ත්‍රණය කරති. දෙමාපියන්ට වැඩිහිටියන්ට වන්දනා කිරීම, ගෞරව කිරීම විහිළුවකි. යහපත පිණිස හෝ තම දරුවන්ට දඬුවම් කරන දෙමාපියන්ට එරෙහිව දරුවාට ඕනෑම වෙලාවක පොලීසියට පැමිණිලි කිරීමට අයිතියක් ඇත. ඒ පිළිබඳව පන්ති කාමරයේදී ගුරුවරු නිතර අවධානයෙන් පසුවෙයි.

ඒ නිසා ම බටහිර රටවල දරුවන් තම දෙමාපියන්ට එරෙහිව කරන පැමිණිලි නිසා අනේක දඬුවම් විඳින දෙමාපියන් කොතෙකුත් දකින්නට ඇත.

කෙලෙසුන්ට වසඟ ව ලබන ස්වාධීනත්වය

ආදරය, අනුකම්පාව, පිදිය යුතු උතුමන් පිදීම, ගෞරව කළ යුතු උතුමන්ට ගෞරව කිරීම, ආශීර්වාද ලබාගැනීම ආදී මූලික මිනිස් සාරධර්මයන් නොමැතිව තම දෙමාපියන්, ගුරුවරුන් සමඟ හුදෙක් ගනුදෙනුවක් ලෙස මුල් වසර 18ක් ගෙවා දමන දරුවා ඉන් පසු ස්වාධීන පුද්ගලයෙකි. ඔහුට ඔහුගේ ජීවිතය පිළිබඳව කිසිදු වග විභාගයකින් තොරව අසීමාන්තරව තීන්දු තීරණ ගැනීමට නිදහස ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය, කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, සීල, සමාධි, ප්‍රඥා ආදී මිනිසාගේ මූලික හරපද්ධතිය පෝෂණය කරන සාරවත් වූ මහානීය රත්නයන් ඔහු අසල නැත.

විපත පිණිස පවතින දෑ තම අත ළඟ ය

ඒ වෙනුවට සිහිනුවණ බාල වූ පාපී මිතුරන්, මත්පැන් මත්ද්‍රව්‍ය, ගිනි අවි ආදි මෙවලම් ඔහු අසල ය. දැන් ඔහු ලැබූ නිදහස තුළ අසීමිත ලෙස තම ආශාවන් තෘප්තිමත් කිරීමට වෙර දරයි. විවිධාකාරයෙන් ඉඳුරන් පිනවා සෑහීමකට පත් වීමට උත්සාහ කරයි. ඊට හිරි ඔතප් ආදී ලෝක පාලක දේවධර්ම අදාළ නැත. දුස්සීලයාගේ විපත්ති, සීලානිශංස, සතර අපා බිය ඔහු කිසිදා නොඇසූ දෑ ය. නමුත් සත්‍යය වනාහි කිසිදා ජලයෙන් පුරවා අවසන් කළ නොහැකි සාගරය සේ මේ ඉඳුරන් පිනවා අවසන් කළ නොහැකි බව ය. කොතෙකුත් තෘප්තිමත් කොට අවසන් කිරීමට උත්සාහ කළ ද අතෘප්තිය ම ශේෂ වීම ය.

පිරිහුණු සිතේ ස්වභාවය

මේ වේගවත් සැඩ පහරේ ගසාගෙන යන මේ ජීවිත ඊළඟට ගමන් කරන්නේ භයානක දිශාවකට ය. එනම් තමාගේ ම දෙමාපියන්, ගුරුවරුන්, හිතවතුන් කෙරෙහි වෛරී සිතින් බැලීම ය. ඔහුත් දැන් මානසික බෙලහීනත්වයෙන් පෙළේ. මානසික පීඩාවන්ගෙන් දුක් විඳියි. විවිධාකාර කායික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙයි. එහි ප්‍රතිඵලය ලෙස වීමංසන බුද්ධියෙන් තොර මිනිසෙක් ලොවට බිහි වී අවසන් ය. මේ ඛේදනීය තත්ත්වයට වර්තමාන ලෝකයට විසඳුම් නොමැත. නීති රීති අණපනත් මගින් යම් පමණකට යම් පාලනයන් සිදු කළ ද මිනිසුන්ගේ ජීවිත තුළ ඇති මේ අභ්‍යන්තර කඩා වැටීම සුළුපටු නො වේ. තවමත් මෙය ලොවට වසන්වන්නේ මේ භෞතිකව මිනිසා ලද දියුණුව නිසා ම ය. වර්තමාන විද්‍යාවේ හා තාක්ෂණයේ හාස්කම් මිනිසා මවිත කරමින් සිටී. ඒ ඔස්සේ ම තම දියුණුව හා සැපය පතන ලෝකයා ආධ්‍යාත්මිකව ලබන සැනසීමෙන් දුරස් වී බොහෝ කල් ය.

අපි නොදකින අපේ උරුමය

ශ්‍රී ලාංකිකයන් වූ අපට උපතින් ම වටිනා දායාදයක් හිමි විය. උතුම් කල්‍යාණමිත්‍ර සම්පත්තිය නිසා එය අපේ ජීවිතවලට සමීප විය. ඒ මෙලොව පරලොව තම විශිෂ්ට වූ නුවණින් අවබෝධ කොට සම්බුදුරජාණන් වහන්සේනමක් විසින් වදාළ ශ්‍රී සද්ධර්මය යි. ඒ ධර්මය තුළින් අප ඉගෙන ගත්, දැන කියාගත් දෑ අපමණ ය.

අද අප සිහිකර ගන්නා මේ සුන්දර බුද්ධ දේශනාව අපේ ජීවිත තුළ දියුණුකර ගත යුතු තවත් එක්තරා වටිනා පැතිකඩක් අපට විවර කර දෙයි. එනම් අප ජීවත් වන පරිසරයේ අපි ඇසුරු කරන අය සමඟ වගකීම් යුතුකම් ඉටුකරමින් සුහදව, මිත්‍රශීලීව සිටීමේ වටිනාකම පිළිබඳව ය. ඒ තුළින් අප ඇසුරේ සිටින අය හදවතින් ම සිදුකරන ආශිංසනය අපේ දියුණුවට පාදක වන ආකාරය පැහැදිලි වේ. බුදුරජුන්ගේ ශ්‍රාවක දරුවන් වගකීම්, යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්නන් බවට මේ බුද්ධ දේශනාව කදිමට සාක්ෂි දරයි.

මුනිරජු වැඩ සිටින විශාලාවේ මහවනය

එදින විශාලා මහ වනය දෙවනත් කරමින් ලිච්ඡවී රජ කුමාරවරුන් දුනු ඊතල රැගෙන දඩයම් සුනඛ සමූහයත් පිරිවරාගෙන මහ වනයෙහි ඔබ මොබ ඇවිදින්නාහු එක්තරා රුක් සෙවණක දිවා විහරණය පිණිස වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේව දුටහ. දැක දුණු ඊතල ආදිය පසෙක තබා දඩයම් සුනඛ සමූහයා පසෙකට යවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට නිහඬව දෑත් ඇදිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කරත්.

සුපුරුදු පරිදි එදින ද මහානාම ලිච්ඡවී රජු විශාලාවේ මහ වනයට පිවිසියේ ව්‍යායාමය පිණිස ය. කලෙක පටන් ලිච්ඡවී රාජ කුමාරයන් පිළිබඳ ව නොසතුටින් හේ පසු විය. මන්දයත් ලිච්ඡවී රාජ කුමාරයන්ගේ නොහික්මුණු කල්ක්‍රියාව පිළිබඳ ව ය. ඔවුන් චණ්ඩ ය, පරුෂ ය, දැඩි ගතියෙන් යුක්ත ය. උක්ගස් වේවා මසං ගෙඩි වේවා කැවුම් වේවා මුං කැරලි වේවා තල කැරලි වේවා ලිච්ඡවී පවුල්වලට තෑගි පිණිස යවත් නම් මොවුහු ඒවා පවා පැහැර පැහැර කති. කුල ස්ත්‍රීන් හට, කුල කුමාරිකාවන් හට පසු පසින් ගොස් පිටුපසින් පහර දෙති. එබඳු වූවන් දැන් නිහඬව දෑත් ඇදිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කරත්. මෙය දුටු ලිච්ඡවී මහානාම රජු එකෙණෙහි ම මෙසේ උදන් ඇනී ය.

“වජ්ජීහු දියුණුවට පත්වන්නාහු ය. වජ්ජීහු දියුණුවට පත්වන්නාහු” යැයි.

ඒ මොහොතේ සියලු තතු දැනගත් භාග්‍යවතුන් වහන්සේ මහානාම රජුට මෙසේ වදාළ සේක. “මහානාමය කරුණු පහක් ඇති රජෙකු වේවා, රට වැසියෙකු වේවා, සෙන්පතියෙකු වේවා, ගම් ප්‍රධානියෙකු වේවා, පිරිස් ප්‍රධානියෙකු වේවා, පවුල් ප්‍රධානියෙකු වේවා යම් පවුලක අධිපති බවක් කරයි ද ඔහු දියුණුවට පත් වීම කැමති විය යුතු ය. පරිහානියක් නො ලබන්නේ ය. ඒ කවර පසක් ද යත්….”

පූර්වාචාර්යයන් පිදීම

“මහානාමය, මෙහිලා කුල පුත්‍ර තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව අත් පා වෙහෙසීමෙන් යුතුව ඩහදිය වැගිරීමෙන් යුතුව ධාර්මිකව උපයා සපයා ගත් භෝග සම්පත්වලින් මව්පියන්ට සත්කාර කරන්නේ ය. ගරු කරන්නේ ය. බුහුමන් දක්වන්නේ ය.

පුදන්නේ ය. දරුවන්ගෙන් සත්කාර ලද, ගරුකාර ලද, බුහුමන් ලද, පිදුම් ලද මව්පියෝ ඔහුට කල්‍යාණ මනසින් ආසිරි පතති. ‘බොහෝ කල් ජීවත් වේවා! දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරේවා!’ යි. මහානාමය, මව්පියන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ කුලපුත්‍රයාට දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වෙයි.

මහානාමය, මෙහිලා කුල පුත්‍ර තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව අත් පා වෙහෙසීමෙන් යුතුව ඩහදිය වැගිරීමෙන් යුතුව ධාර්මිකව උපයා සපයා ගත් භෝග සම්පත්වලින් අඹුදරු දාස කම්කරු පුරුෂයන්ට…. තම කුඹුරු වතුපිටි ආදියෙහි කටයුතු කරන්නන් හට…. පුජා පිළිගන්නා දේවතාවුන් හට…. ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට සත්කාර කරන්නේ ය. ගරු කරන්නේ ය. බුහුමන් දක්වන්නේ ය. පුදන්නේ ය. ඔහුගෙන් සත්කාර ලද, ගරුකාර ලද, බුහුමන් ලද, පිදීම් ලද ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔහුට කල්‍යාණ මනසින් ආසිරි පතති. ‘බොහෝ කල් ජීවත් වේවා! දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරේවා!’ යි. මහානාමය, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ කුලපුත්‍රයාට දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වෙයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

ගිහිගෙයි වසනා සැබෑ ශ්‍රාවකයා

“හැමකල්හි මව්පියන්ගේ කටයුතු සොයා බලන, අඹු දරුවන්ට හිතෛෂී වූ, ඇතුළු ජනයාගේ අර්ථ සිද්ධිය සලකන, තමා නිසා ජීවත් වෙන අන් අයට ද යහපත කරයි නම්, නැණවතුන්ගේ වචනයෙහි අරුත් දන්නා, සිල්වත් වූ තැනැත්තා මිය ගිය ඥාතීන්ටත්, මෙලොව ජීවත්වන ඥාතීන්ටත් යන උභය පක්ෂයට ම යහපත සලසයි නම්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ද දෙවියන්ට ද යහපත සලසන නුවණැත්තා ධාර්මිකව ගිහිගෙයි වාසය කරමින් හැමට සතුට දනවයි.

හෙතෙම යහපත් කර්මයන් කොට ප්‍රශංසාවට නිසි වූයේ පිදුම් ලබන්නේ වෙයි. මෙහිදී ද ප්‍රශංසාවට බඳුන් වෙයි. පරලොව සුගතියේ ඉපිද සතුටුවෙයි…!”

ඇසුර – ලිච්ඡවී කුමාර සූත්‍රය – අං. නි. 03

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

දැවෙනා කර්ම විපාක සමනය කරන සොඳුරු ගුණය
සසරේ යන සත්වයා වනාහී කර්මයේ නිර්මාණයකි. කර්මය වනාහී සියල්ලන්ගේ උපතේ ස්වභාවය තීරණය කරන ඒකාධිකාරය ලත් බලවතා සේ ම, එහි ආඥාවට යටත් බව කොතරම් සියුම් ද යත් ශරීරයෙක පැතිරගත් ලෝම කූපයන්ගේ ස්වභාවය පවා එහි නියමයකි. නා නා ලෝකවල, දේශවල වසන නා නා වර්ගික සත්වයන්ගේ සැප සතුට දුක් සන්තාපයන්හි විෂම බවේ එක් තීරකයකු වන්නේ ද කර්මයයි.

එය මඟහැර යා හැකි සසරක්… උපතක්… ගත කළ හැකි ජීවිතයක්… අප කිසිවෙකුටවත් නොමැත්තේ ය. එතරම් ම සත්වයෝ කර්මයෙන් සිර කරන ලද්දෝ ය.

විවිධාකාර සමාජ තලයන් තුළ විවිධාකාර හේතු මූලයෙන් හටගත් ප්‍රශ්න හමුවේ බොහෝ විට කෙනෙකුගේ ජීවන රටාවේ, කායික මානසික ස්ථාවරත්වයේ කඩා වැටීම්, බිඳ වැටීම් සිදුවන්නට පුළුවන. ප්‍රශ්නවලට මුහුණ නොදී ගත කළ හැකි ජීවිතයක් තිබේ නම් ඇත්තෙන්ම එය අසිරියකි. ඇතැම් ප්‍රශ්න හමුවේ විසඳුමක් කරා යාම කෙසේ වෙතත් එය නිවැරදි ලෙස විග්‍රහ කරගැනීමට සුදුසු වටපිටාවක්, මනා අවබෝධයක් බොහෝ දෙනෙකුට නැත.

කර්ම විෂය අචින්ත්‍යය යි බුදුරජාණන් වහන්සේ වදාළේ එය සාමාන්‍ය මනසකට ගෝචර නොවන දෙයක් නිසාවෙනි.

කර්ම විපාක හේතුවෙන් වෙහෙසට, ව්‍යාකූල බවට පත්ව නොසන්සුන්ව, විඩාබරව ජීවිත ගෙවන අය ඔබ දැක තිබේ ද? දරුණු කර්ම විපාකවල බලපෑම හේතුවෙන් බලවත් රෝගවලින් පීඩා විඳින්නෝ බොහෝ ය. මහා ධනවතුන්ව සිට අහසින් පොළොවට වැටෙන්නා සේ නිර්ධනයන්ව මහ පාරට ඇදගෙන වැටුණවුන්, ප්‍රශංසාවෙන් තෙමි තෙමී සිට නින්දා කුණු රැල්ලට යටව ගසාගෙන ගියවුන්, වරදක් නොමැතිමුත් – බලන්නවුන්ට ‘මෙවන් පාපියෝ තවත් නැත්තාහ’ සේ ම පෙනෙනවුන්, අන් අය කළ අපරාධ උගුලට නිවැරැද්දෝ ව චූදිතයන් වන්නවුන්, තමාගේ ම පාපී ක්‍රියාවේ කම්මුල් පහරින් රිදී විඳවන්නන් නම් කොතෙකුත් ද?

චේතනා පහල කොට සිතින්, කයින්, වචනයෙන් කළ පවේ විපාක ඔවුන් ම විඳවිය යුතුය. එනමුදු ‘කර්ම විපාක වෙනස් කළ නොහැක්කේ ම ය’ යන අදහස වැරදිය. සමහර කර්ම විපාක වෙනස් කළ නොහැකි බව සත්‍යයකි… සම්බුදුවරයන් වහන්සේනමකටවත් එය වෙනස් කළ නොහැක්කේ ම ය. නමුත් යම් යම් පිළියම් යෙදීම තුළින් කර්ම විපාකය ගෙවී යාම හෝ සැහැල්ලු වීම නිසා යම් සහනයක්, සැනසිල්ලක්, ලබාදීමට ඉඩප්‍රස්ථාව ඇත්තේය.

කර්ම විපාකයන්ගේ බල සීමාවන් ඉක්මවා යා නොහැකි බව සැබෑ නමුදු, කර්ම විපාකවලින් විඳවන අසරණයන් “කර්ම විපාක!” යන වදනින් ම මඩිමින් නිර්දය ලෙස හෙළාදැකීම, කොන් කිරීම වෙනුවට… ළෙංගතු බවින්, ළතෙත් කරුණා දයා පිරි වදනින්, සිසිල් මෙත් බැල්මෙන්, මුදු මොළොක් උපකාරයෙන්, සුවපත් කළ හැකි නම් එය කොතරම් අගනේද?

පීඩාවෙන් දැවි දැවී රත් වුණු වැලිකතරක ගමන් කරන්නාට, හමන පවනක් මොහොතකට වුව සුවයක් දෙන්නා සේ නියම වූ කර්මයේ ඉරණම් වෙනස් කළ නොහැකි මුත්, ‘මොහොතකුදු ඒ මුවඟට සිනාවක් හෝ දෙන්නට නොහැකි දැ?’ යි කෙනෙකුට සිතේ නම්… දාහය සදහට ම සන්සිඳුවන්නට අපට බැරි වේවි. නමුත් අපට දාහය නිවා හමනා පවනක් වෙන්නට හැකි නම්…

අති දීර්ඝ සසරේ අවසන් දිනය උදා වුණි… අයෙමත් කවරදාකවත්, කවරාකාරයෙන් හෝ කිසිම තැනක උපතක් කරා නොයන, සියලු කෙලෙස් ප්‍රහාණය කළ, බුදු සසුනක කළ යුතු සියලු බඹසර කිස නිම කළ ඒ උතුම් රහතන් වහන්සේගේ අවසන් දින අන්තිම උදෑසනේ… ප්‍රඥාවේ සාගරයක්, කරුණාවේ සාගරයක් බඳු අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ දැක වදාළ සේක. ‘මේ ලෝසකයන් අද ම පිරිනිවනට වඩිනවා නොවේ ද? සසරේ කළ මහත් පාපයක විපාක හේතුවෙන් පැවිදි වීත්, අරහත්වයට පත් වීත් මේ තාක් කුස පුරා දාන වේලක් වළඳන්නට නොහැකි වුණා නොවේ ද? මේ අයුෂ්මතුන් කෙලෙස් දුරුකර ගත්තා සේ ම අවසාන දවසේ හෝ කුස පුරා වළඳවා මා විසින් කුසගින්න දුරුකරවා සුව සේ පිරිනිවීමට පහසුව සැලසිය යුත්තේ ය’ මෙසේ සිතා සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන් කැටුව පිණ්ඩපාතයට වැඩම කළහ.

කරුණාව වනාහී සත්පුරුෂ ප්‍රඥාවන්තයින්ගේ ජීවිතයේ දිස්නයයි. අසත්පුරුෂ දුෂ්ප්‍රාඥයින්ගේ හදවත් අකාරුණික බවින් වියළී පවතී. අනුන්ගේ දුකෙහි දී හද උණුසුම් වන්නේ ප්‍රඥාවන්තයින්ගේ ය.

ගොළුවකු අත්විඳිනා දෙය වචනයෙන් කියා ගත නොහැක්කා සේ ම, කර්ම විෂය ගැන අනවබෝධය නැමැති නොහැකියාව නිසා ම අප්‍රකට ව ම සැඟවී පවතින කර්ම හේතුවෙන් අසරණ වූවන්ගේ හැඟීම්බර මිමිණිල්ල, කෙඳිරිය සත්පුරුෂයන්ගේ හදවතට ම පමණක් ස්පර්ශ වන්නේ ය. අනෙකෙකුට එය තවත් එක්තරා සිදුවීමක් පමණි. සමනය කොටගත නොහෙනා වේදනාව, වෙහෙස ප්‍රඥාවන්තයින්ගේ කරුණා දෙනෙතට ම ගෝචර වන්නේ ය. කර්ම විපාක ඉදිරියේ දිනවිය නොහැකි ජීවිත, ප්‍රඥාවන්ත උත්තමයෝ නිර්ව්‍යාජ ව දැහැමි කථාවෙන් හෝ ඒ සිත්හි උපේක්ෂාව උපදවා නිවා දමන්නෝ ය.

“කර්ම විපාක වෙනස් කළ නොහැක්කේ ය.” යන වදන් තුළ ම සිර නොවී, උදාසීන නොවී සිට කරුණාව නම් විජිනිපත මෙහෙයවා, සලා, සිහිල් පවනකින් මොහොතකට හෝ සනසවන්නේ යම් සේ ද… මේද පිඬක් බඳු සත්පුරුෂෝත්තමයන්ගේ සිත් කරුණාවෙන් උණුසුම් ව කළ හැකි උපකාරයක්, පහසුවක් හෝ සලසන්නේ ම ය.

කර්ම විපාකයක මහත… ලෝසක තෙරුන් කැටුව වැඩි නිසා ප්‍රඥාවෙන් අග්‍ර වූ දුටු දුටු නෙත් නිවන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රයටවත් දන් පිඬකින්වත් සංග්‍රහයක් නොලැබුණි… නැවත විහාරයට වැඩම කොට ලෝසක තෙරුන් රඳවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතයට වැඩම කළ සේක. තනිවම වැඩි වාරයේ සැණෙකින් පාත්‍රය පිරුණු පිණ්ඩපාතය කෙනෙකු අත “ලෝසකයන්ට දෙන්නැ.” යි පිටත් කළ ද කර්ම විපාකයක මහත් බව… පාත්‍රය රැගෙන යන්නාට එය කන්නට සිතී මඟ දී ම ඔහු එය අනුභව කළේ ය.

පිණ්ඩපාතය කොට පෙරළා පැමිණි සාරිපුත්ත මහරහතන් වහන්සේ තවමත් දාන ශාලාවේ ලෝසක තෙරුන් වැඩ සිටිනවා දැක “දන් වැළඳුවේදැ?” යි විමසූ කල්හී උන්වහන්සේ වදාළේ, “ස්වාමීනී අපට ලැබුණා නම් දන් වළඳන්න තිබුණා.” කියා ය.

එතකොට සාරිපුත්තයන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා. ඉක්මනින් පියවර මැනලා කාලය බැලුවා, දහවල මධ්‍යහන කාලය ඉක්ම ගොස් ය… නැවතත් ආයේ කවදාවත් බත් දානයක් වළඳන්න, ආහාර දානයක් වළඳන්න ලෝසක තෙරුන්ට ඉඩක් නැත. අද අවසාන දවසයි. “කර්මයක තරම. ඔබ වහන්සේමනේ ඕවා කරගත්තේ, දැන් විඳවන්න ම එපැයි.” නොකියා, ඉවත නොබලා… “මෙහි ම වැඩ සිටින්න.” පවසා කොසොල් රාජමාලිගයෙන් චතුමධුරයෙන් පිරවූ පාත්‍රයක් ලබා ගෙනැවිත් තම දෑත් අතරේ හොඳින් රඳවා තබාගෙන, “ලෝසක, හොඳයි දැන් වළඳන්න.” කියා සිටගෙන ම සිටි සේක.

කරුණාවේ සිසිලස… සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා! කරුණාබර සිතින් දුකට පත් සිත් නිවන සත්පුරුෂෝත්තමයන්ට නමස්කාර වේවා! ගුරුදේවයන් වහන්සේ තමන් වෙනුවෙන් පාත්‍රය දරා සිටීම නොඉවසූ ලෝසක තෙරුන් පාත්‍රයට අත යොමු නොකළහ. “ලෝසක, මේ පාත්‍රය ඔබ අතට දුන්නොත් වෙන තැනක හෝ තැබුවොත් මෙහි කිසිවක් ම ඉතිරි නොවේවි! ඒ නිසා වළඳන්න!” සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඍද්ධි බලය නිසා චතුමධුර අතුරුදන් නොවී තිබුණි… ගුරු වදනට කීකරුව ලෝසක තෙරුන් එදා පළමු වතාවට කුස පිරෙන තෙක් චතුමධුර වැළඳූ සේක… එදා ම පිරිනිවන් පා වදාළ සේක…

කාශ්‍යප බුදු සසුනේ භික්ෂුවක් ව සිට රහතන් වහන්සේනමකගේ ලාභයට අනතුරු කිරීමේ විපාකය නිසා, මරණින් මතු හේ නිරයේ උපන… යක්ෂ යෝනිවල, සුනඛ යෝනිවල ඉපදෙමින් පැමිණියේ ය… මනුලොවට ආව ද අන්ත දිළිඳු ව උපන්නේ ය… එදා සිට මේ දක්වා කුස පිරෙන්නට ආහාරයක් ලැබී තිබුණේ අවස්ථා තුනක දී පමණි…

වෙනස් කළ නොහැකි පරිච්ඡේද අප කාගෙ කාගේත් ජීවිතවල තියෙන්නට පුළුවන… පරිච්ඡේදයක් අවසානයේත් නැවතීමේ ලකුණක්, විරාමයක් ඇති බව මතක තියාගන්නට වටී… සක්‍රීය කර්ම විපාකය නැමැති පරිච්ඡේද අතරේ නැවතීමේ ලකුණු නම් සැනසිල්ලකුත් තිබිය නොහැක්කේ ද?

එනිසා වේගෙන් දුවන්නෙකු සමඟ අත්බැඳ දුවනවාට වඩා මොහොතකට නැවතී බිම ඇද වැටුනවුන්ට පානා දෑත වටින්නේ ය. මන්දයත් වේගෙන් යා ගත හැකි ගමනේ අන් අය වෙනුවෙන් නතර වන්නට කැමැත්තෝ කවරහු ද? වේගය මඳකට අඩුකර ගතහැකි වුවහොත් උපකාර ඉල්ලා කරනා සුහද ඉල්ලීම්වල සිහින් හඬ ඔබටත් ඇසේවි! නෑසුණා සේ, නොදැක්කා සේ නම් යන්නට නොසිතේවා! දැවෙන දුක්ගිනි සිසිල් කළ හැකි සොඳුරු ගුණය වූ කරුණාවෙන් උණු වන සිතැත්තෙක් වන්නට ඔබටත් වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

මා ද ඔබ ම විය !
ආදරය ගැන වැඩිපුර ඇහෙන – නිදහස ගැනත් වැඩිපුර ම ඇහෙන මාසයක් තමයි පෙබරවාරිය. ඒ හින්ද ම, ආදරයත් – නිදහසත් ගැන කථා කරන්න මේ කාලය හොඳ නිමිත්තක් සපයනවා.

ආදරයෙන් බැඳී යන යොවුන් සිත්වල මුල් බැසගත් අදහසක් තමයි ‘අපි දෙන්නෙක් නෙමෙයි; එක්කෙනෙක්.’ කියන එක. ‘එක සිත දෙතැනක නතර වෙලා’, ‘ඔබත් මාත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු’ ආදී වශයෙන් ගී පදවැල්වල ලියැවුණේත් ඔය චිත්ත ස්වභාවය තමයි.

කාලයේ පහර කෑම…

එක ම පාටින් අඳින්න, එක ම රසයන් විඳින්න, එක ම විදිහෙ රුචි අරුචිකම් ගොඩ නගාගන්න බොහොම ඇපකැප වෙන කාලයක් තමයි ආදර සබඳතාවල මුල් කාලය. හැබැයි, ඔය සුන්දරත්වය ඒ තරම් කාලයක් පවතින්නේ නෑ. ඒක තමයි ජීවිත ස්වභාවය…

කාලයක් යද්දි… අර මුල් කාලයේ අමාරුවෙන් හරි ගළපාගෙන, ඉවසාගෙන, දරාගෙන, ඝට්ටනයන්ට ඉඩ නොදී මෘදු ව පවත්වාගෙන යන්නට උත්සුකවත් වූ සබඳතාවයට තවදුරටත් මුල් තැන දෙන්න බැරි වෙනවා. රැකීරක්ෂා කටයුතු, ආදායම් වියදම් කළමනාකරණය, ඉන්න හිටින්න තැනක් හදා ගන්න එක, දරුමල්ලන්ගේ කටයුතු, තමන්ගේ ම ලෙඩදුක් කම්කටොළු රාශියක් එක්ක නොයෙක් හැළහැප්පීම් සිද්ධ වෙද්දි තවදුරටත් ‘එකෙකු ලෙසින්’ හිතන්න අතපසු වෙන සහ නොහැකි වන කාලයක් ඔය කාටත් වගේ එළඹෙනවා. ඇත්තටම ඔය බොහෝ සිතුවිලි කාලානුරූපයි. කාලයේ පහර කෑමෙන් වෙනස් වෙන දේවල්.

මා ද ඔබ ම වන පර්යායක්…

හැබැයි… ඔය විදිහට සිදු වන කාලයේ පහර කෑම්වලින් පවා බාධාවක් සිදු නොවී, සැරයටියෙන් යනෙන තුරා පමණක් නොවෙයි; සසරෙන් එතෙර වන තුරාමත් අපට අප ගැන ‘එකෙකු’ ලෙසින් සිතන්නට පුළුවන් නොවරදින පර්යායක් ලෝකයේ තිබෙනවා…

මේ නොවරදින පර්යායට අනුව සිත මෙහෙයවමිනුයි අපගේ ශාස්තෘන් වහන්සේ සියලු දුකින් නිදහස් වන මඟ තමන්වහන්සේ විසින් ම අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ ආකාරයෙන් හිත හැසිරවීමටයි ‘ආර්ය පර්යේෂණය’ කියා කියන්නේ. ආර්ය පර්යේෂණය ගැන කියා දෙන්නට පළමු සම්බුදුරජාණන් වහන්සේ ආර්ය නොවන පර්යේෂණය කෙබඳු ද කියා ලෝකයට හෙළිදරව් කළා.

සසරට බර අනාර්ය පර්යේෂණය

“පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨ නොවන දේ සොයා පර්යේෂණ කිරීම කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමාත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදීමට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් ජරාවට පත් වෙවී ඉඳගෙන, ජරාවට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් රෝග පීඩාවලට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන, රෝග පීඩාවලට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන, මරණයට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් ශෝක වන ස්වභාවයෙන් ඉඳගෙන, ශෝකයට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙස්වලට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා.”

සමාන වන තැන…

මේ විදිහට, තමා වැනිව ම ඉපදෙන ස්වභාවයට අයිති, දිරන ස්වභාවයට අයිති, රෝගී වන ස්වභාවයට අයිති, මැරී යන ස්වභාවයට අයිති, ශෝකය ඇති කරන, කෙලෙසී යන ස්වභාවයට අයිති දේවල් විදිහට භාග්‍යවතුන් වහන්සේ අඹු දරුවන්, දැසිදැස්සන්, එළු බැටළුවන්, ඌරන්, කුකුළන්, ඇතුන් ගවයන් අසුන් වෙළඹුන් රන් රිදී මිලමුදල් ආදී කොට ගත් පංචකාම ගුණයන් ගැන වදාළා. ඒ දේවල් සෙවීම ගැනයි භාග්‍යවතුන් වහන්සේ ‘ශ්‍රේෂ්ඨ නොවන දේ සෙවීම’ යනුවෙන් වදාළේ…

ඒක තමයි අප කවුරු කවුරුත් හැම දෙය සමඟත්, හැම අය සමඟත් සමාන වන – එකෙකු වන ආකාරය. මතක තබා ගන්න, “සච්චවාදිවචනං අනඤ්ඤථා” – “සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.” අප ආදරය කරන හැම කෙනාමත්, හැම දෙයමත් ඔය ස්වභාවයන් ඉක්මවා ගිහින් නෑ. කැමති පාට, කැමති රසය, කැමති පහස ආදියේ මොන මොන විදිහේ වෙනස්කම් ඇති වුණත් අප කා තුළත් ඉපදෙන, දිරන, ලෙඩ වන, මැරෙන, ශෝක වන, කෙලෙසෙන ස්වභාවයන් ඒ විදිහට ම පවතිනවා. මාත් ඔබත් එක ම තමයි.

නිදහසේ ආදරය කරන්න

ඉතින්… ඒ බව දැනගෙන ම ආදරය කරන්න. එහෙම ආදරය කරද්දී සිතට ලොකු නිදහසක් තියෙනවා. අපේ කැමැත්ත පරිදි පවත්වා ගන්නට කොහෙත් ම බැරි දේවල් එක්ක පොරබදන එක අඩු වෙලා යනවා…

විවිධ අවධීන්වල ජීවිතයේ යථා ස්වභාවයන් අප කරා එද්දී ඒවා එක්ක නොගැටී, ඒවාට කම්පා නොවී, මෙත් මුදිතා දයා කරුණා ඇතිව ඒවාට මුහුණ දෙන්නට එවිට පහසුයි. එකිනෙකාගේ අඩුපාඩු ඉවසා ගන්නට, ආස්වාදය ඉදිරියේ උදම් නොවන්නට එවිට පහසුයි. කොටින් ම, පෙරළී යන ලෝක ධර්මතා ඉදිරියේ නොපෙරළී යන ස්වභාවයක් උපදවා ගන්නට එවිට පහසුයි. නිදහසේ ආදරය කරන්නට පුළුවන්…

මං වගේ ම කෙනෙක් ඕන ද?

ඔය විදිහට හිතන්න පුරුදු වෙනකොට, අප සිදු කරනා මේ අනාර්ය පර්යේෂණය කෙරෙහි සිත බැසනොගන්නා යම් කලක් එළඹෙනවා. පිරූ පුණ්‍ය පාරමී සහිත වූ මහා බෝසතාණන් වහන්සේ අවසන් සිරුර දරාගෙන ‘සිද්ධාර්ථ ගෞතම’ නමින් මනුලොව ඉපිද භද්‍ර යෞවනයේ සිටිය දී ම ඒ යොවුන් සිත අනාර්ය පර්යේෂණයෙන් බැහැර වූ උතුම් අර්ථයක් කෙරෙහි නැඹුරු වුණා.

“පින්වත් මහණෙනි, එතකොට මං මෙහෙම හිතන්න පටන් ගත්තා. ඇත්තෙන් ම මමත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයට අයිති දෙයක් සොයන්නේ මොකට ද? මමත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන, ජරාවට පත්වෙන දෙයක් සොයන්නේ මොකට ද? මමත් ලෙඩ වෙන, මැරී යන, ශෝක වෙන, කිලුටු වන ස්වභාවයෙන් ඉඳගෙන, ලෙඩ වෙන, මැරී යන, ශෝක වෙන, කෙලෙසෙන ස්වභාවයන්ට අයිති දෙයක් ම සොයන්නේ මොකට ද?”

වෙනස් කෙනෙක් – වෙනස් දෙයක්

මේ විදිහට අනාර්ය පර්යේෂණයේ නොබැසගත් මහ බෝසතාණන් වහන්සේගේ සිත එයින් නිදහස් වීම කෙරෙහි ම බැසගත්තා. උන්වහන්සේ මෙහෙම හිතුවා.

“ඒ නිසා, ඉපදෙන ස්වභාවයෙන් ඉන්න මම, ඉපදෙන ස්වභාවය ගැන ආදීනව අවබෝධ කරගෙන ඉපදීමක් නැති, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා…”

ඒ උත්තමාර්ථය සාක්ෂාත් කිරීම පිණිස සිද්ධාර්ථ ගෞතම බෝසත් කුමරු හොඳ තරුණ වයසේ දී, කළු කෙස් තිබෙන කාලයේ දී, සොඳුරු යොවුන් වයසේ දී, ජීවිතේ පළමු වයසේ දී කෙස් රැවුල් බාගෙන, කහට වස්ත්‍ර පොරවාගෙන ගිහිගෙයින් නික්ම පැවිදි වුණා. ආලාර කාලාම, උද්දක රාමපුත්‍ර ආදී ගුරුවරුන් සමීපයේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය දක්වා ම සිත වැඩූ මුත් එය ද අවබෝධයෙන් කලකිරීමට, නොඇල්මට, දුක් නැති වීමට, කෙලෙස් සන්සිඳවීමට, විශේෂ ඤාණයට, ආර්ය සත්‍යය අවබෝධයට, සියලු දුකින් නිදහස් වූ නිවනට හේතු නොවන බව තේරුම් ගෙන ඒ ධර්මයන් කෙරෙහි ද කලකිරී හුදෙකලාවේ ම බවුන් වැඩුවා. තමන් වහන්සේ විසින් ම ආර්ය සත්‍යයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට ගනිමින් ඉපදීම රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන අවබෝධ කරගත්තා. සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා…!

ආදරයෙනුත් නිදහස් වෙන්න

උන්වහන්සේ ප්‍රිය – අප්‍රිය සෑම දෙයින් ම නිදහස් වුණා. රාගයටවත්, විරාගයටවත් නොඇලෙන උතුම් චිත්ත සන්තානයකින් යුතු වුණා. ග්‍රහණය වීම් සහිත ආදරයෙනුත් නිදහස් වුණා. සකල ලෝසත වෙත පතල මහා කරුණා නිධානයක් බවට, මහා මෛත්‍රී ප්‍රවාහයක් බවට, ලෝසතගේ සැප කැමති වන මුදිතා ගඟුලක් බවට, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සැප දුක යස අයස ආදියෙහි අකම්පිත බවට පත් වෙමින් ඉන්ද්‍රඛීලයක් සේ දෙව්මිනිස් ලෝකයේ මුදුනේ ම බැබළුණා…!

ඇත්ත ඇති සැටියෙන් දැකීම ම යි අන් අය, අන් දෙය සම සිතින් – සම මෙතින් දකින්නට අපට උපකාරක වන්නේ. ඇත්ත ඇති සැටියෙන් දැකීම ම යි කිසිවකට නොබැඳී නිදහස් වන්නට මඟ කියන්නේ… ඒ මඟ ලොවට විවර කළ සම්බුදුරජුන් ව සරණ ගිය ශ්‍රාවකයන් විදිහට අපිත් ලෝකයට නිදහසේ ආදරය කරමු… ආදරයෙනුත් නිදහස් වෙමු…!

(ඇසුර – අරියපරියේසන සූත්‍රය, ම. නි. 01)

සටහන – උදුලා පද්මාවතී.

මහාමේඝ 2026 පෙබ​රවාරි මස කලාපයෙන්…

රන් බඳුනක් වෙන්න !
සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වීම කොපමණ නම් දුර්ලභ ද කියා අප දැනගත්තේ ශ්‍රී සද්ධර්මයෙන්. ඒ බුද්ධ වචනය අනුව, නොනවතින සංසාර ගමනක සුගති දුගති සැරිසරා යන සත්වයන්ට ඉපදීම නිසාවෙන් උරුම වන දුක් රැස නම් කොහෙත්ම දුර්ලභ නැහැ. හැබැයි, පරම දුර්ලභ වූ සම්මා සම්බුද්ධ ශාසනයක් මුණගැහුන මේ ජීවිතයේ දී වුණත් අප වඩාත් සංවේදී ආස්වාදනීය අරමුණු, දුක්පීඩා කෙරෙහි තමයි… ඒ දේවල් අප කරා පැමිණි ආකාරයන් දින වකවානු වශයෙන් වුණත් සිහිපත් කළ හැක්කේ ඒ නිසයි. ඔය විදිහට සිතේ රඳපු බොහෝ දේ සිහි කරන්නට සිතට බාධා නැති වුණාට, අතීත අනාගත අන්තවලින් මිදිලා ඒ ඒ මොහොතේ සිත යහපතේ හසුරුවන්න – සිතේ ස්වභාවය දකින්න අපට බොහොම අමාරුයි. අපේ සිත්වලට ඒ දේ පුරුදු නැහැ…

කුසල් සිතට ආයුෂ නැති හැටි…

සිතට යහපතේ හැසිරෙන්න පුරුදු නැත්තේ අප එය පුරුදු කොට නැති නිසයි. මොකද සිත කියන්නෙත් හේතුප්‍රත්‍යයෙන් හටගන්නා සංඛත ධර්මයක්. හේතු වෙනස් වෙනකොට සිත වෙනස් වෙනවා. යහපත පිණිස සිත නැඹුරු කරවන හේතුව තමයි අප තුළ නැත්තේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ගැන වදාළේ යෝනිසෝ මනසිකාරය කියලයි. සිත විපත පිණිස හසුරුවන මනසිකාරය සිතේ සසර ස්වභාවයෙන් ම පිහිටා තිබෙනවා. ඒ නිසයි බොහොම පහසුවෙන් රාගය ඇති කරන දේ, තරහ ඇති කරන දේ, මුළාව උපදවන දේ මේ සිත්වල රඳන්නේ. නමුත්, සිත යහපතේ හැසිරවීම විශේෂයෙන් පුරුදු පුහුණු කළ යුතු ම යි.

සිතේ දියුණුවට උපකාරක වන ධර්මයන් අප තුළ දියුණු කරගන්න නම් අපට ඒ ධර්මය පවසන කල්‍යාණමිත්‍රයන් මුණගැසෙන්න ම ඕන. ඒ ඇසුරේ ධර්ම ශ්‍රවණය කර කර තමයි සිත වඩන ධර්මයන් උගත යුත්තේ. අද අපට ඒ කාරණා දෙක ම තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිරිසිදු ව ම කියා දෙන ස්වාමීන් වහන්සේලා වගේ ම ඒ ධර්මය මැනැවින් පහදා දුන් දහම් පොත්පත් අපට මුණගැසෙනවා. කොහොම කොහොම හරි ධර්මය ශ්‍රවණය කරන්නත් අප වෙලාව වෙන් කරගන්නවා. ඒ විදිහට වෙලාවක් වෙන් කරගෙන කල්‍යාණමිත්‍රයන් වහන්සේලා හමුවේ බණ පදයක් අහද්දි අපේ සිත්වල අපූරු වෙනසක් අපට ම දැනෙන්න ගන්නවා. සිත යම් සන්සිඳීමක් ලබලා, සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්‍යයක් කියලා අපට ම හිතෙනවා, මේ ධර්මය පුරුදු පුහුණු කළ යුත්තක් – එය පුරුදු පුහුණු කිරීම ඒකාන්ත යහපත පිණිස පවතිනවා කියලත් තේරෙනවා. ධර්ම ශ්‍රවණය තුළ උපදින මේ කුසල් සිතට එතරම් ආයුෂ නැතිකම තමයි අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය. අප අසන ධර්මය අපේ සිත්වල රඳන්නේ නැහැ. නොරඳන නිසා ඒ ධර්මය පුරුදු පුහුණු කරන්නට අපට අවකාශ අහිමි වෙනවා…

සිතේ රඳන කිලිටි…

ධර්මය නොරඳනවා වුණාට මේ සිත්වල බොහොම පහසුවෙන් රඳන දේවලුත් නැතිව නෙමෙයි. අප මේ සටහනේ මුලින් දැක්වූ ආකාරයට අපේ ජීවිත කරා එළඹි ආස්වාදනීය අරමුණු, අප ඇසූ කටුක කර්කශ වචන අපට මතකයි. අපේ ජීවිතවල විතරක් නම් මොකද, අන් අයගේ ජීවිතවල සිදු වන වෙනස්වීමුත් අපට මතකයි. බොහෝ විට අන් උදවියගේ අඩුපාඩු, සදාචාර සම්මත ඉක්මවා යන පිරිහුනු ජීවිත ස්වභාව තමයි අපට සිහි වෙන්නේ. ඒකට ම ගැළපිලා යන සමාජ මාධ්‍ය භාවිතයකුත් අද තියෙනවා. අනිත් අය කන බොන අඳින පලඳින හැටි, ආවාහ විවාහ කිහිපයක් හරි කරගන්න හැටි, දරුමල්ලෝ හදන හැටි රස කර කර පැය ගණන් බල බල හිතට ගන්න කරන්න තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එක අතට ගන්න එකයි. ඊටපස්සේ කාලය ගැන වගේවගක් නැතිව යනවා. තමන් කාලා බීලා, නාලා කරලා වැඩපළ අවසන් කරගෙන කායචිත්ත විවේකයක් ලබන්න ඕන කියන එකට එච්චර අවධානයක් නැතිව යනවා. ඔන්න ඔය විදිහට තමයි ධර්මය අහන්න ඉඩ වෙන් කරගත්තට, ඒ ධර්මය රඳන්න අපේ සිත්වල ඉඩක් නැති වුණේ. අහන ධර්මය රඳන්න වෙලාවක් නෑ, මේ සිත් නොයෙක් නොයෙක් අරමුණු ඔස්සේ එහෙමෙහෙ දුවනවා…

මුළු ලෝකයක් එක්ක අපි අප ව සංසන්දනය කරගන්නවා… මොනවා ගැන ද? කන බොන අඳින පලඳින දරුමල්ලෝ හදන යන එන හැටි ගැන… ඒ වෙනුවෙන් තමයි අපේ කාලය වැඩිපුර වැය වෙන්නේ. බාහිරට පෙනෙන ඔපය ගැන සැලකිලිමත් වෙන්න වෙන්න අපි වටිනාකම් දෙන්නෙත් බාහිරයට ම තමයි. බොහොම අලංකාරෙට සරසවාගෙන හිටියා වුණාට ඒ ජීවිත ඇතුළ කෙලෙස් කිලිටිවලින් නෑවිලා… ඒ ජීවිතවල කෙලෙස් ගඳ ගහනවා. ගුණධර්මයකට පිහිටන්න තරම් වටපිටාවක් ඇතුළේ නෑ. හැබැයි බාහිරින් නම් ලස්සනයි… ඒ බාහිර ලස්සනට පුළුවන් ලෝකයක් ම වශී කරන්න. ඒත් ඒ මේ ජීවිතේට විතරයි. ඒ දිහා බල බලා ලෝකයම සතුටු වුණත් කෙලෙස්වලින් පිළුණු වෙලා ගඳ ගහන ජීවිත ඇතුළේ තම තමන් විඳින කෙලෙස් පීඩාව කවුද හරියට ම දන්නේ… පීඩාව ම ආස්වාදය ලෙස ගත්ත සිත් එයට මුළා වෙලා දුක පිළිගන්නේ සතුටක් විදිහටයි.

ධර්මය රඳන්න කාලයක්…!

එහෙව් ලෝකයකටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ වෙලා කෙලෙස් නසන, වීතරාගී, අමා නිවන යුතු ධර්මය දේශනා කොට වදාළේ. එවන් ගම්භීර වූ, අවබෝධයට දුෂ්කර වූ, අති සියුම් වූ, නුවණැත්තන්ට පමණක් ම විෂය වූ දහමක් පිහිටන්නට නම් අප ඇතුළේ ධර්මය රඳන්න වෙලාවක් වෙන් කරගෙන තිබිය යුතු ම යි. එහෙම නොවුණොත්, කලින් කලට හෝ දහම් ඇසීමේ පින අපට තියෙයි – හැබැයි ඒ පින අමා නිවන කරා ගෙන යන්න, පරිපූර්ණ සන්සිඳීම උපදවා ගන්න ලැබුණු පරම දුර්ලභ අවස්ථාවක් ආයෙමත් අපට අහිමි වෙලා යයි…

තාක්ෂණය පිරිපුන් මේ ලෝකයේ ඔබ ධර්මය අහන්නේ ඒ තාක්ෂණික මෙවලම් හරහා නම් ඒ වෙනුවෙන් කෙසේ හෝ ඔබ වෙන් කරගත්ත වටිනා කාලය වඩාත් අර්ථවත් කරගන්න. පිරිසිදු ව ධර්මය කියා දෙන කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගේ දේශනාවක් තෝරා ගත්තාට පසුව ඒ ස්මාර්ට් තිරය තවදුරටත් තිබිය යුත්තේ ඔබේ අතේ නෙවෙයි, එය උස්තැනෙකින් තබා පසෙකට වී දහම් ගෞරවයෙන් යුතුව ධර්මය අහන්න. එය අතේ තිබුණොත් ඒ ඔස්සේ අත එහෙමෙහෙ යන එක වළක්වන්න බැහැ. ඒ ඔස්සේ සිතත් විසිරෙනවා. එවිට ධර්මය ඇසීමේ අර්ථය පිරිපුන් වන්නේ නැහැ… ඇසූ ධර්මය මෙනෙහි කර කර සිතේ රඳවා ගන්න උත්සාහවත් වෙන්න. නිතර භාග්‍යවතුන් වහන්සේගේ දහම්පද සජ්ඣායනා කරන්න. ඒ අර්ථ මෙනෙහි කරන්න. එවිට අන් අය ගැන, අන් දේවල් ගැන හිත හිතා නාස්ති කරන කාලය අප වටිනා අර්ථයක් වෙනුවෙන් රඳවා ගත්තා වෙනවා…

සිත සිතෙන් රකින්න…

අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ බෝධිසම්භාර පුරමින් පැමිණි කාලයේවත් අවධානය යොමු කළේ කය ගැන නෙවෙයි; සිත ගැනයි. පින් ලකුණු පිරි අවසන් සිරුර දරා පැමිණි කල්හිත් ඒ කය රැකගැනීම පසෙක තබා පධන් වෙර වඩමින් උන්වහන්සේ අප්‍රමාදී වූයේ සිත රකින්නයි, සිත වඩන්නයි. එලෙසිනුයි අපගේ ශාස්තෘන් වහන්සේ සිත ජයගත්තේ. මේ ජීවිතවල අවධානය යොමු කොට රැකගත යුතු ප්‍රධාන දෙය තමයි සිත. සෑහීමකට පත් නොවන ස්වභාවය ම ප්‍රකට වන සිතක් පහසුවෙන් දමනය කරන්නට බැහැ. එහෙත් එය කළ හැක්කේත් සිතින් ම යි. සිත ඒ අයුරින් වෙනස් කරන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව වැඩී යන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මෙනෙහි කිරීමෙන්; යෝනිසෝ මනසිකාරයෙන්…!

නිකිණි පුන් පොහෝ දිනයක භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය සිංහ තෙලක් රන් කරඬුවක බහාලූ පරිද්දෙන් හද මඬලේ සුරැකි ආනන්ද මුනිඳුන් උතුම් අරහත්වය සාක්ෂාත් කොට වදාළා. සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය දරා ගැනීමට අප උත්සාහ කළ යුත්තේ ඒ අයුරින් ම යි. ආනන්දයන් වහන්සේගේ ජීවිතය මෛත්‍රී සහගත කාය වචී මනෝ කර්මයන්ගෙන් පිරී ගත්තක්. ඒ ගුණශෝභාවන් සිහි කරමින් ඔබේ ජීවිතය ගොඩනගන්න. එවිට ඔබේ සිතේ මෙත් මුදිතා කරුණා ගුණදම් නොසිඳී පෝෂණය වෙනවා. ඒ ගුණදම් පිරුණු සිත නම් තථාගත ධර්මය රඳන්න සුදුසු රන් බඳුනක්…!

සටහන – උදුලා පද්මාවතී.

දෙව්ලොව ලොව යන්න කැමති අයට
කෙනෙක් ගතකරන ජීවිතයට සමුදුන් විට, “ඔහු මැරුණා.” කියලා කියනවා. එය උපන් සත්වයාට උරුම පොදු ධර්මතාවයක්. කර්මානුරූප බව මත එය එකිනෙකා ඉදිරියට පැමිණෙන්නේ විවිධ අයුරින්. නිරි සතුන්, ප්‍රේතයින් ඒ ඒ පාපකර්ම ගෙවා දමා ඒ ලොවින් නොපෙනී යයි. තිරිසන් සතුන්, මිනිසුන් විවිධ ආපදා ලෙඩ දුක් උවදුරුවලට ගොදුරු වී සිරුර අත්හැර දමයි. දෙවියන් බඹුන් ආයුෂ හෝ පින අවසන් වීමෙන් දෙව්ලොවින් චුත වෙයි.

දෙව්ලොව ගැන අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ පරිපූර්ණ වූ කේවල සත්පුරුෂ භූමිය කියලයි. මින් වසර 2569කට පෙර අපගේ ශාස්තෘන් වහන්සේ දිවමන්ව වැඩසිටි සොඳුරු යුගයේ බොහෝ දෙවිවරු ධර්මය අවබෝධ කළා. ඇතැම් දෙවිවරු දෙව්ලොවින් චුතව මනුලොවට පැමිණ සසර දුකින් නිදහස් වී ගියා. තවත් බොහෝ දෙනා ශාස්තෘ සම්පත්තියේ පිහිටා රැකවරණ සහිතව නැවත දෙව්ලොව ගියා.

එක්තරා දිනක දී අපගේ තිලෝගුරු මුනිරජුන්ගේ නිල්මහනෙල් මල් සුවඳ හමන සම්බුදු මුවමඬලින් බ්‍රහ්මස්වරය විහිදී ගියේ මෙසේයි.

“පින්වත් මහණෙනි, යම් දිනෙක දෙවිවරු චුතවෙන්න ආසන්න වෙත් ද නිමිති පහක් පහළ වෙයි.

දෙවිවරු පැලඳ සිටින මල් මාලා මැලවී යයි. දිව්‍ය සළුපිළි කිලිටි වී යයි. කිහිලිවලින් දාඩිය ගලයි. දිව්‍ය සිරුරේ පැහැය අඩු වී යයි. තම දිව්‍ය විමානයේ සිත නොඇලෙයි.

මෙය දකින දෙවිවරු ඔහුව නන්දන උයනට කැඳවාගෙන යයි. මෙබදු සැනසිලි වදන් පවසයි.

‘පින්වත, ඔබ සුගතියට යන්න. උතුම් ලැබීම ලබන්න. උතුම් ලැබීම ලබලා ඒකෙ හොඳින් පිහිටන්න’…”

දෙව්ලොව පින අවසන් වූ දෙවියාට දෙවිවරු එදා සුගතිය කියා පැවසුවේ මිනිස් ලොවටයි. උතුම් ලැබීම යැයි පැවසුවේ තථාගත ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති කර ගන්නා ශ්‍රද්ධා ලාභයටයි. ඒ ශ්‍රද්ධාව ඔහුගේ සිත තුළ පිහිටලා මුල් බැසගෙන ස්ථාවර වෙලා තියෙන කොට ලෝකයේ කිසිම ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයා විසින් හෝ ලෝකයේ වෙන කවුරු විසින් හෝ ඔහුගේ ඒ ශ්‍රද්ධාව නැති කරලා දාන්න බැරි නම්, එය තමා උතුම් ලැබීම ලබලා එහි ‘ඉතා හොඳින් පිහිටීම’ කියලා කියා පැවසුවේ.

ඒ වගේ ම කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය අතහරින්න. අනේක වූ පාපී අකුසල් අතහරින්න. කයෙන් වචනයෙන් බොහෝ කුසල් කරගන්න. සිතින් අප්‍රමාණ වූ මෛත්‍රී සහගත කුසල් කරන්න. මතු යහපත සලසාලන බොහෝ පින් කරන්න. දන් දෙන්න. අනිත් මිනිසුන්වත් තථාගත ධර්මය කියලා දීලා අමා නිවන් මඟෙහි සමාදන් කරවන්න. මෙබදු බොහෝ පින් කර කුසල් වඩා දෙව්ලොවට නැවතත් පැමිණෙන්න.

බලන්න, මොන තරම් සොඳුරු සත්පුරුෂ සමාගමක් ද? මොන තරම් කාරුණික අනුග්‍රහයක් ද? මඳක් සිතා බලන්න. අපේ මනුලොව මිය යන්න පණ අදින කෙනෙකුට උරුම වන ඉරණම? එනමුත් සොඳුරු සත්පුරුෂ භූමිය තුළ දෙව්ලොවින් චුතවෙන්න ආසන්න දෙවියෙකුට ලැබෙන අනුකම්පාව..!

කම් නැත. කෙසේ වුවද අපි සියලු දෙන දැන් මිනිසුන් වෙමු. සංසාර රංග මණ්ඩලයේ මනුලොව වේදිකාවේ විවිධ ජවනිකා රඟ දක්වමින් සිටිමු. පැමිණියේ කොහි සිටදැයි දැනුමක් නොමැති මුත් යම් දිනක මේ වේදිකාවෙන් බැස වෙනත් වේදිකාවකට ගොඩ විය යුතු වෙමු.

අසිරිය නම් එය නොවේ. දිව්‍ය නේත්‍රයට මනුලොව දිස් වූ ඒ උතුම් ශාස්තෘ සම්පත්තිය අපට ද ලැබී තිබීම ය. ජීවමාන බුදුරදුන් නැති වුව ද ධර්මයත්, විනයත්, පූජනීය වස්තූනුත්, ආර්ය මහා සංඝරත්නයත් තවමත් දිවමන් ව වැඩ සිටීම ය. එය සැබැවින්ම දුක් ගැහැට පිරි මේ මනුලොවින් මිදී මුළුමනින්ම පිරිපුන් සත්පුරුෂ භූමියට පියනගනු කැමැත්තවුන්ට දිව්‍ය ද්වාරය දිස්වීමක් බඳුයි.

එනමුදු ඒ දිව්‍ය ද්වාරය යාදිනියෙන්, ප්‍රාර්ථනාවෙන් විවර නොවන්නක්. තෙරුවන් සරණෙහි පිහිටා, ශාස්තෘන් වහන්සේ පුදමින්, ධාතූන් වහන්සේලාට බෝධීන් වහන්සේලාට උපස්ථාන කරමින්, තථාගත ශ්‍රී සද්ධර්මය අසා දරා නුවණින් විමසමින්, දන් දෙමින් අන් අයව ද දානයෙහි, පිනෙහි, කුසලයෙහි සමාදන් කරවමින් යමෙක් වාසය කරයි ද ඒ සොඳුරු සත්පුරුෂ භූමියේ ස්වර්ණ ද්වාරයෙහි යතුර ඔහු අතට පත්වෙනු ඇති. ශාස්තෘ සම්පත්තිය සිරසේ දරාගෙන දහම් මනසිකාරයෙන් යුතුව ශ්‍රාවක සඟරුවනට අවනතව ඔහු යන ඒ ගමන ඒකාන්තයෙන් ම අමා නිවනින් කෙළවර වන්නක් ම යි.

සැබැවින්ම ස්වල්ප වූ හෝ නුවණක් අප සතුව පවතී නම් අප කැමති විය යුත්තේ අනතුරට නොව රැකවරණයට ය. අනතුර නම් සසරේ යළි යළි ඉපිද ඉපිද යන්නට වීමයි. ආරක්ෂාව නම් ඉන් මුදවාලන ත්‍රිවිධරත්නයේ සරණ තුළ මනාව පිහිටීමයි.

අපගේ ශාස්තෘන් වහන්සේ වරක් මෙසේ වදාළ සේක.

“ලොවෙහි ප්‍රශංසාවත්, වස්තු ලාභයත්, මරණින් මතු සුගතියත් කැමති නැණවතුන් විසින් සීලය ම යි රැකිය යුත්තේ…”

ඒ වගේ ම තමන් පව් නොකරන්න පුළුවන්. නමුත් ඇසුරු කරන්නේ පව් කරන අය නම් සිල්වතා ගැනත් පාපී රාවයක් පැතිරිලා යනවා. හරියට කුණු මාළු කෑල්ලක් කොළේක

එතුවා ම ඒ කොළෙත් ගඳ ගහනවා වගේ. ඒ වගේ ම ඒ පාපී ඇසුර දිගින් දිගටම පැවැත්වුවහොත් ඒ ඇසුරෙහි භයානකකම තමයි ටික ටික තමන්ගේ ගුණත් විනාශ වෙලා අර දුස්සීල ගති තමාටත් පිහිටන්න ගැනීම. හරියට විෂ පෙවූ ඊතලයක් හොඳ ඊතල ගොඩක දාලා තිබුණොත් අනිත් ඊතලවලත් විෂ තැවරෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා පව් තවරා ගන්න තියෙන භය නිසයි නුවණැත්තෝ පාපී ඇසුර බැහැර කළ යුත්තේ කියලා. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි තමා ව ඇසුරු කරන අයව නිරයට ගෙන යන එක.

නුවණැති අයව ඇසුරු කරන්න පටන් ගත්තම ඊට වෙනස්. තමන් තුළ කුමන දුර්වලතා තිබුණත් කීර්ති රාවයක් පැතිරී යනවා, ‘මේ කෙනා යහපත් අයගේ ඇසුරේ ඉන්න කෙනෙක්’ කියලා. හරියට සමන් මල් මිටක් කොළේක ඔතලා තිබ්බම කොළෙනුත් සුවඳ හමනවා වගේ ඒ ඇසුර නිසාම ඔහුත් යහපත් ගුණදහම් ඇති කෙනෙක් බවට පත් වෙනවා.

එපමණක් නොවේ, නුවණැති සත්පුරුෂ අය තමා ව ඇසුරු කරන අයව වරදින් වළක්වනවා. අඩුපාඩු කියලා දීලා සීලයේ පිහිටවනවා. යහපතෙහි කුසලයෙහි යොදවනවා. මෙලොවත් පරලොවත් දෙලොව ම යහපතට මඟ කියා දෙනවා. නුවණැති සත්පුරුෂයන් කැමති තමා ඇසුරු කරන අය සුගතියේ යනවා දකින්නයි. දුකෙන් අතමිදෙනවා දකින්නයි. ඒ තමයි සත්පුරුෂයින්ගේ සත්පුරුෂ දහම.

ඒ නිසා ඔබත්, මේ දස දහසක් ලෝක ධාතු අභිබවා අනන්ත සක්වළ පුරාවට පැතිර ගිය සම්බුද්ධ සුගන්ධයේ මිහිර විඳගන්න. මේ සොඳුරු සම්බුදු සසුනේ සීල සුගන්ධය ගත තවරා ගන්න. දහම් මනසිකාරය නැමැති මාලා දාමයන්ගෙන් සිත සරසා ගන්න. සත්තිස් බෝධි පාක්ෂික දහම් නැමැති දහම් ඖෂධ ටික ටික නමුත් පානය කරන්න. එවිට මේ බුදු සසුනේ දී ම මඟ ඵල නිවන නම් වූ ඒ අමා ඵල රස භුක්ති විඳීමට හැකිවනු නියතයි.

සසරගත ජීවිතවලට රැකවරණය සලසන දුර්ලභ ශාස්තෘ සම්පත්තියත්, සොඳුරු සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ආශ්‍රයත් අපගේ ජීවිත තුළින් ගිලිහී නොයේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

මහාමේඝ 2026 ජනවාරි මස කලාපයෙන්…

ශක්තිමත් හිතක් හදාගන්නෙ කොහොමද ?
පින්වත් යොවුන් දූ දරුවනේ,

හිත ශක්තිමත් කරගන්නේ කොහොමද?’ කියන ප්‍රශ්නෙ අපි කාටත් වැදගත්. මොකද ඇඟපත කොච්චර ශක්තිමත්ව තිබ්බත්, හිත ශක්තිමත් නැත්නම් ජීවිතේ ඉක්මනින්ම බිඳ වැටෙනවා. OCD, overthinking, stress වගේ මානසික අසමතුලිතතාවයන් බලවත් වෙනවා. ඒ නිසා ශක්තිමත් හිතක් තිබීම අපි කාටත් අවශ්‍යයම කරුණක්. ශක්තිමත් හිතක් හදාගන්න ඕන වුණත් අපි කොහොමද ශක්තිමත් හිතක් හදාගන්නේ?

අන්න ඒ පැනයට පිළිතුරක් තමයි අද මේ වටිනා ලිපියෙන් කියාදෙන්නේ. ඉතින් වෙනදා වගේම සෙනෙහසින් සිහිපත් කරනවා. මේ ලිපියේ අවසානය තෙක් හොඳ අවානයෙන් කියවන්න. ඔබටත් ශක්තිමත් හිතක් හදාගන්න හැටි තේරුම් ගන්න හැකි වේවි!

තමන්ට තමන්මයි!

ඔව්! පළමුවෙන්ම අපි තේරුම්ගත යුතුම දේ තමයි තමන්ට තමන්මයි කියන දේ. තමන්ගේ අතේපයේ වැඩක් නම් අනුන් ලවා කරවගන්න පුලුවන්. නමුත් හිත සම්බන්ධයෙන් නම් අපි වෙනුවෙන් කිසිම දෙයක් අනුන්ට කරලා දෙන්න බෑ. ඒක කරගත යුත්තේ තමන් විසින්මයි. බුදුරජුන් ඒ ගැන ධම්මපදයේ චිත්ත වර්ගයේදී මෙසේ වදාළා.

න තං මාතා පිතා කයිරා – අඤ්ඤේ වා පි ච ඤාතකා

සම්මාපණිහිතං චිත්තං සෙය්‍යසෝ නං තතෝ කරේ

“මේ වැඩේ තමන්ගේ අම්මා විසින් කරලා දෙන්නෙත් නෑ. තාත්තා විසින් කරලා දෙන්නෙත් නෑ. වෙන ඤාතියෙක් කරලා දෙන්නෙත් නෑ. ඒ වැඩේ තමයි යහපත් කොට ධර්මය තුළ හිත පිහිටුවාගන්න එක. ඒ හේතුවෙන්මයි ඔහු උතුම් කෙනෙක් බවට පත්වෙන්නේ.”

ශක්තිමත් හිතක් කියන්නේ මොකක්ද?

අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන නේද ‘ශක්තිමත් හිතක් කියන්නේ මොකක්ද?’ කියලා. අපි හදාගන්න සූදානම් වෙන්නේ මොන වගේ ශක්තිමත් හිතක්ද කියලා අපිට කල් ඇතුවම යම් වැටහීමක් තියෙන්න ඕන. මම මේ වගේ ශක්තිමත් හිතක් තමයි හදාගන්නේ කියලා.

මුළුමනින්ම ශක්තිමත් සිතක් ඇතිව වැඩහුන් අපගේ බුදුරජාණන් වහන්සේ ශක්තිමත් හිතක ස්වභාවය මෙසේ දේශනා කළා. “(සේලෝ යථා ඒකඝනෝ, වාතේන න සමීරති) තනි කළුගල් පර්වතයක්, කොයිතරම් තදින් හුළං හැමුවත් සෙලවෙන්නේ නෑ. (ඒවං නින්දා පසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා) නුවණැති සත්පුරුෂයොත් අන්න ඒ වගේ තමයි. නින්දා ප්‍රශංසා වලට සෙලවෙන්නෙ නෑ.”

මේ තමයි ශක්තිමත් හිතක ස්වභාවය. හිත ශක්තිමත් නම් අකම්පිතයි. ජීවිතේ ගත කරද්දී කම්පා වෙන්න හේතු වෙන දේවල් ඕනතරම් අපිට මුණ ගැහෙනවා. හිත ශක්තිමත් නොවුණොත් වෙන්නේ ඒ හැම තැනකදීම කම්පා වෙවී, කඩා වැටි වැටී ඉන්න වෙන එකයි.

ලෝකෙක හැටි..!

ජීවිතේ ගත කරද්දී අපි ගොඩාක් දෙනෙක් කල් ඇතුවම සූදානම් වෙලා ඉන්නේ ‘කරදර අඩු ජීවිතයක් තියෙයි, හැමෝම විශ්වාසවන්තව කටයුතු කරයි, මං අත ගහන හැම වැඩක්ම සාර්ථක වෙයි, මට කවුරුත් අවමන් කරන්නෙ නැති වෙයි’ වගේ දේවල් වලට. නමුත් ජීවිතේ ඇත්ත ස්වභාවය ඒක නෙවෙයි.

මේ ලෝකයේ ජීවත් වෙද්දී ලාභත් උපදිනවා. අලාභත් උපදිනවා. ප්‍රශංසාත් ලැබෙනවා. නින්දාත් එනවා. යසසත් ලැබෙනවා. අයසත් ලැබෙනවා. පිළිගැනීමුත් එනවා. ප්‍රතික්ෂේප වීම්, කොන් වීම් ආදියත් එනවා. ඔය විදිහට සැප දුක එක්ක දෝලනය වෙවී යන්න වෙන ජීවිතයක් තමයි ඇත්තටම තියෙන්නේ. නමුත් අපේ හිත් වලින් අපි පෙර සූදානමක් ඇතිව ඉන්නේ සැපය, සුවය, සැනසුම විඳින්ට විතරයි. එහෙම අදහස්වල ඉද්දී දුක, දොම්නස, සන්තාප, තැවුල් සහගත දේ සිදුවෙනවා. එතකොට සැප පතාගෙන හිටපු හිත කම්පා වෙලා, කැළඹිලා යනවා.

ඒ නිසා වඩාත්ම බුද්ධිමත් දේ තමයි අපි ජීවිත යථාර්ථයට පෙර සූදානමකින් ඉන්න ඕන. “මගේ ජීවිතේට ලාභ විතරක් නෙවෙයි එන්නෙ. අලාභ, පාඩු ආදියත් වෙන්න පුලුවන්. ප්‍රශංසා ගුණකථා විතරක් නෙවෙයි, නින්දා, අවමාන, නොකළ වරදට පවා දොස් අහන්න වීම් එන්නත් පුලුවන්. පිරිසේ ආදරය, සෙනෙහස, හිතවත් බව විතරක් නෙවෙයි ලැබෙන්නේ, විශ්වාස කඩකිරීම්, කොන්වීම්, හැරයාම් ආදියත් මට වෙන්න පුලුවන්. සැප විතරක් නෙවෙයි, දුකත් මේ ජීවිතේට උරුමයි” කියලා මේ වගේ පෙර සූදානමකින් අපි ඉන්නවා නම් ඒක හිත ශක්තිමත්ව පවත්වාගන්න ලොකු උදව්වක්.

ඒ නිසා බොළඳ නොවී ඇත්ත කල්පනා කරන්න පටන් ගන්න ‘මේ තමයි ලෝකෙක හැටි!’ කියලා.

මේ වැඩේ තේරුම මොකක්ද?

ජීවිත වලට කරදර කම්කටොළු එද්දී ගොඩක් දෙනෙක් වැටෙන්නෙම බොළඳකමටනෙ. ඔයාල වුණත් ප්‍රශ්න ආපු වෙලාවට මහ බොළඳ වැඩ කරලා ඇති. සමහරු ප්‍රශ්න ඉදිරියේ හඬ හඬා තැවුලෙන් ඉන්නවා. අනිත් අයට තමන්ගේ දුක කිය කියා යනවා. මේ හිතේ දුක නැතිවේවා කියලා පත පතා ඉන්නවා. ෆේස්බුක් ආදියේ තමන්ගේ වේදනාව ගැන එක එක පෝස්ට්ස් දානවා. ඔය වගේ බොළඳ වැඩ තමයි ගොඩක් දෙනෙක් සාමාන්‍ය ප්‍රශ්නයක් ආවත් කරන්නේ.

ප්‍රශ්න දරාගන්න බැරිව ඇතැම්මු හිතලා හිතලාම මානසික ලෙඩ්ඩු බවට පත්වෙනවා. ඇතැම්මු මත්ද්‍රව්‍ය භාවිතේට පෙළඹෙනවා. ඇතැම් අය තමන්ටම වෛර කරගෙන තමන්වම විනාශ කරගන්නවා. සිය දිවි නසා ගන්නවා. මේ ඔක්කොම බොළඳකම්.

ඇයි මේ දේවල් වලට බොළඳකම් කියන්නේ? ඒ කිසිවකින්ම ප්‍රශ්නයකට විසඳුමක් ලැබෙන්නේ නෑ. ඇඬීමෙන් ප්‍රශ්න විසඳෙනවා නම් ඇඬුවට කමක් නෑ. තැවීමෙන් ප්‍රශ්න විසඳෙනවා නම් තැවුනාට කමක් නෑ. ෆේස්බුක් පෝස්ට්ස් දැමීමෙන් ප්‍රශ්න විසඳෙනවා නම් ෆේස්බුක් පෝස්ට් දැම්මාට කමක් නෑ. මේ වර්තමාන සමාජේ අපිට බොළඳ වෙන්න පරිසරේ ඉස්සරටත් වඩා වැඩි වෙලා.

ඒ නිසා ප්‍රශ්න ඉදිරියේ විතරක් නෙවෙයි. තමන්ගේ මුළු ජීවිතේම ඔබ කරන කියන හිතන දේවල් ගැන හොඳ නුවණින් කල්පනා කරලා බලන්න ‘මේ වැඩේ තේරුම මොකක්ද? මං මේ කරන දේ අර්ථවත් දෙයක්ද? මේ කටයුත්තෙන් මට යහපතක් වෙයිද?’ ඔය විදිහට කල්පනා කරලා කටයුතු කළොත් අපිට බොළඳ වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා.

අලබ්භනීය ඨාන නම් වූ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා. “(න සෝචනාය න පරිදේවනාය අත්ථෝ අලබ්භෝ අපි අප්පකෝපි) ශෝක කිරීමෙන්, හඬා වැළපීමෙන් ස්වල්ප වූ හෝ යහපතක් නොලැබෙන්නේ ය. (සෝචන්තමේනං දුඛිතං විදිත්වා පච්චත්ථිකා අත්තමනා භවන්ති) ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුද්ගලයා දැක සතුරෝ සංතෝෂයට පත්වෙති. (යතෝ ච ඛෝ පණ්ඩිතෝ ආපදාසු න වේධති අත්තවිනිච්ඡයඤ්ඤූ) යම් කලක අර්ථ විනිශ්චයෙහි දක්ෂ වූ නුවණැති ආර්ය ශ්‍රාවකයා උපද්‍රවයන් මැද නොවැටී සිටියි. (පච්චත්ථිකාස්ස දුඛිතා භවන්ති දිස්වා මුඛං අවිකාරං පුරාණං) ඔහුගේ සතුරෝ නොවෙනස් වූ පැරණි මුහුණ ම දැක දුකට පත්වෙති.”

බලන්න මේ සම්බුදු වදන් මොනතරම් නම් අකාලිකයිද කියලා. ඒ දේශනාවේදී බුදුරජුන් ආපදා කරදර ඉදිරියේ කටයුතු කළ යුතු ආකාරේ ගැන අවසාන වශයෙන් මෙසේ වදාළා “(යථා යථා යත්ථ ලභේථ අත්ථං තථා තථා තත්ථ පරක්කමෙය්‍ය) යම් යම් අයුරකින් යම් ආපදාවක දී යහපත ලැබෙයි නම් ඒ ඒ අයුරින් එහිලා කටයුතු කිරීමට වීර්යය කරන්නේ ය.” කියලා.

ඔබව වටින්න ඕන ඔබටමයි!

හොඳට තේරුම් ගන්න ඒක! ඔබව වටින්න ඕන ඔබටමයි. ඔබ ඔබට වටිනාකමක් දෙන්නේ නැත්නම්, මේ ලෝකෙ කිසිකෙනෙක් ඔබට වටිනාකමක් දෙන්න සූදානම් නෑ. ඒ නිසා මොන විදිහේ ප්‍රශ්න කම්කටොළු ජීවිතේට ආවත් ඔබේ වටිනාකම බාල්දු කරගන්න එපා! ‘ප්‍රශ්න හමුවේ කඩාවැටුණොත් විනාශ වෙන්නේ මගේ ජීවිතේනෙ. මාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් මත්තේම නැහෙන්ට ගියොත් වැනසෙන්නේ මගේ ජීවිතේනෙ. මාව රිදවන මිනිස්සුන්ට අනුව මාත් රිදවාගත් හිතකින් වාසය කළොත් වෙහෙසකර වෙන්නේ මගේ ජීවිතේනෙ’ කියලා හොඳ නුවණකින් කල්පනා කරලා කටයුතු කරන්න.

ඉතින් මේ කරුණු ටික ප්‍රමාණවත් ඔබටත් ශක්තිමත් හිතක් ඇති කරගන්න. ජීවිතේ කියන්නේ බිඳවැටීම්, හැල හැප්පීම් සහිත එකක් බව කල් ඇතුවම කල්පනා කරලා ඒ දේවල් වලට මුහුණ දීමට පෙර සූදානමක් ඇතිව ඉන්න. මොනතරම් කම්කටොළු ආවත් තේරුමක් නැති දෙයක් නම් මම කරන්නේ නෑ කියන අදහස තදින් හිතට දාගෙන ඉන්න. මාව වටින්න ඕන මටයි! මට ආදරේ කළ යුත්තේ මා විසින්මයි! කියන නුවණ ඇති කරගන්න. ඔබට ශක්තිමත් සිතකින් ජීවිතේට මුහුණ දෙන්න වාසනාව ලැබේවා!

අහන්න!

ජීවිතේට එන ප්‍රශ්න ප්‍රමාණයට වඩා

ප්‍රශ්නයේ ප්‍රමාණයට වඩා

ගොඩාක් වැදගත්

ප්‍රශ්නයක් ඉදිරියේ ඔබ

කඩා වැටෙනවාද නැඟී හිටිනවාද කියන එක.

ප්‍රශ්න ඉදිරියේ කඩා වැටෙනවා නම්

ප්‍රශ්න ගොඩාක් එන්න ඕන නෑ.

එක ප්‍රශ්නෙකට පුලුවන්

ඔබව නැත්තටම නැති කරලා දාන්න.

ඒත් ඔබ නම්…,

ප්‍රශ්න ඉදිරියේ කඩා වැටෙන්න එපා!

ප්‍රශ්න ඉදිරියේ අප්‍රමාදීව නැඟී සිටින්න.

ප්‍රශ්න වලට සවිමත්ව මුහුණ දිය හැකි

ශක්තිමත් හිතක් හදාගන්න.

එතකොට එන ප්‍රශ්නයක් ප්‍රශ්නයක් ගානේ

ඔබ ගොඩාක් ශක්තිමත් කෙනෙක් වේවි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.