සත්‍ය කතාවක් | Mahamegha Magazine

දුක් විඳින අම්මලාට හිනා වෙන්න දවසක් එනවා ද ? (සත්‍ය කතාවක්.)
මතුගම පද්මාවතී අම්මගේ සත්‍ය ජීවිත කතාව.

මහාමේඝ පුවත්පතට මගේ කතාව ලියන්නේ කාට හරි ආදර්ශයක් වේවි කියලා හිතලයි. මගේ වචන මුල, අග ගැළපීම් හරි ද දන්නෑ. ඒත් කෙටියෙන් ලියන්නම්. මම වයස 51ක අම්මා කෙනෙක්. දරුවන් දෙන්නෙක් ඉන්නවා. මම පුංචි කාලෙ ඉඳලා හරියට දුක් වින්දා. අගහිඟකම් අහස උසට. තාත්තගෙ සුරා සූදුව මේකට බලපාන්න ඇති. අඬපු වාර ගණන මම තාම දන්නෑ. එච්චරට අඬලා තියෙනවා.

​කන්දක් මුදුනේ කැළේක අපේ ගෙදර තිබුණේ. කාපු වේල් ගාණට වඩා නොකාපු වේල් ගාණ වැඩියි. පුංචි කාලෙම මැරෙන්න හිතුණා ගොඩක් වාරවලදි. ඒත් වසක් විසක්වත් හොයාගන්න බැරි වුණා. අපේ ආච්චි අපි ගැන බැලුවා. අම්මා තාත්තා රණ්ඩු වෙච්ච ගමන් ම යි. අම්මත්, කරදර වැඩි නිසා වෙන්න ඇති, හරි සැරයි. මං ඉස්කෝලෙ යන්න ආසයි. පන්තියේ පළවෙනියා. ඒත් ගෙදර ආවහම පොතක් අතට ගත්තම “මේකිගෙ පොත අතේ ම යි.” කියලා බණිනවා. ඉස්කෝලෙ උත්සව දවස්වලට ගෙදරින් කවුරුත් නෑ. මමයි, අයියයි තමයි රෑ වෙලා පාර අත ගගා ගෙදර එන්නෙ. ටෝච් නෑ. මට එතකොට 13යි. අයියට 15යි. ඒ එනකොට අම්මා නෑ. පොළට ගිහින් බස් නැතිව ටවුමෙ නැවතිලා. තාත්තා වැඩපළවල නතර වෙලා. අපි ගෙදර ඇවිල්ලා වතුර ටිකක් බීලා නිදාගන්නවා. කෑම නෑ. මට වයස 13 දී, පවුලෙ, වයස 11කින් වැඩිමල් මාමා කෙනෙකුට මාව කසාද බන්දන්න අම්මලා තීන්දු කළා. ඒ කෙනා හරි හොඳයි. එයා බොන්නැති නිසා වෙන්නැති අම්මා කැමති වුණේ. කොහොම හරි වයස 15 දි කසාදෙ කෙරුණා. මං ඉස්කෝලෙ ගවුම ඇඳගෙන පොත් ටික අරන් තමයි ඒ ගෙදර ගියේ. මං හිතුවෙ එහෙ ඉඳලා ඉස්කෝලෙ යන්න. කසාද ජීවිතේ මං දන්නෑ. අනේ මට සාමාන්‍යපෙළ ලියන්න බැරි වුණා. මට බඩට දරුවෙක් ආවා. මං දන්නෑ දරුවො ලැබෙන්නෙ කොහොමද කියලා. මම හිතුවෙ බඩ පළලා ගන්නවා කියලා. පළමු දරුවා ලැබෙන්න ඉන්නකොට මට මහත්තයා ගැන කේන්තියක් ආවා. මට වයස 16 දී ලොකු දුව ලැබුණා. වයස 18 දී පුතා ලැබුණා. දරුවො දෙන්නත් බලාගෙන හැම දෙයක් ම මං තනියෙන් කරගත්තා. දුවට වයස 1 1/2 දී මමයි, මහත්තයයි බබත් වඩාගෙන පන්සල් ගිහින් එද්දි ගේ ගිනිගෙන. ඇඳිවත එක්ක අපි තනි වුණා. ඒත් හිඟමනේ ගියේ නෑ. ලෑලි ටිකක් හොයාගෙන, ඉන්න තැනක් අපි දෙන්නා හදාගත්තා. ලී ටිකක් විකිණුවා. නිදි වරාගෙන අපි දෙන්නා එක එක කෑම වර්ග හදලා කඩවල්වලට දාලා එදා වේල හොයාගත්තා.

දරුවො දෙන්නට හොඳ නරක කියලා දුන්නා. අනේ උන් දෙන්නා හරිම කීකරුයි. අපේ දුක තේරෙනවා. මගේ ලොකුම ආසාව මේ දෙන්නට මට නොලැබුණු අධ්‍යාපනය ලබා දෙන්න. අපේ මහත්තයා ඉස්කෝලෙ ගිහින් නැහැ. ඒත් මං ඒ වගක් කාටවත් ඇඟෙව්වෙ නෑ. එයාට අපහසුවක් එනවට මං කැමති නෑ. එයත් හරියට දුක් විඳපු කෙනෙක්. මට ආදරෙයි හැබැයි. ඒත් අද මේ ලියන ලිපියෙ දී තමයි ඉස්සෙල්ලාම කියන්නෙ, අපි අතර ප්‍රශ්නයක් තිබ්බා. කාටවත් කීවෙ නෑ. ඒ තමයි බැන්ද කාලෙ ඉඳලම එයාට මාව සැකයි. නිකරුණේ සැක කරලා ප්‍රශ්න අහනකොට මට හරි දුකයි. අනිත් අය මං පෙනුමයි කියලා කියනවා. ඒක වෙන්නැති හේතුව. ඒත් අපි දෙන්නම මේ ප්‍රශ්නෙ අදටත් කාටවත් කියලා නැහැ. මං හැමදෙයක්ම ඉවසුවා. මං නිතර බෝධි පූජා තියනවා. මහත්තයයි, පුතයි ඩෙංගු හැදිලා මාරාන්තික වුණා. මං පිරිත් කියලා පිහිට ගත්තා. අපි පාරට වැටෙන තැනට අසරණ වුණත් කවදාවත් වැරදි දෙයක් කළේ නැහැ.

මං ළමයින්ට හොඳ නරක කියල දුන්නා. අපි නොකා නොබී හරි දරුවො දෙන්නට ඉගැන්නුවා. දෙන්නම ගණිත අංශයෙන් විශ්ව විද්‍යාලයට ගියා. දෙන්නම විශ්වවිද්‍යාල ආචාර්යවරු වුණා. දුව ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක උගන්නන්නේ. එහෙ නැවතිලා, බැඳල එහෙ ඉන්නෙ. දැන් අපි දෙන්නවත් එහෙට ගන්න වීසා හැදුවා. ළඟදි අපි යනවා. පුතා ලංකාවේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. මේ දවස්වල ආචාර්ය උපාධිය කරනවා. ඒ ළමයි අපිට ගෙවල් හැදුවා. වාහන ගෙනාවා. අපේ පවුලේ මැරෙන අයගේ මළගම පවා අපේ ගෙදර තමා ගන්නෙ. දානමාන දුන්නා. අසරණ අයට උදවු කළා. පුතා තමයි මට ලොකු ෆෝන් එකක් ගෙනත් දීලා ශ්‍රද්ධා එකේ බණ අහන්න කීවෙ. එදා ඉඳලා අහනවා.

අවුරුදු ගණනක පීඩනය නැති වුණා… ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් දෙනවා. අපේ ජීවිතේ අඩුව පිරුණා. අපි හතර දෙනාම බණ අහනවා. පසුතැවෙන්න දේකුත් නෑ. සාංඝික දාන දහයක් දුන්නා. එක දානයක දී බඩු ගේන්න ගියාම මුදල් බෑගය හොරු අරන්. කාටවත් කීවෙ නෑ. පුතයි දුවයි දැනුවත් කරා. නැවත මුදල් හදාගත්තා. අපි ඒක රහසක් විදිහට තියා ගත්තේ දානය දෙනකොට දානයට වඩා මිනිස්සු ඕකයි කතා කරන්නෙ. කෙළවරක් නැතිව ප්‍රශ්න අහනවා. දරුවෝ තිස් දෙනත්, මහත්තයාත් මැරිලා කියලා ආපු තුන්ඩුව ඉනේ ගහගෙන බන්දුල මල්ලිකා දන් දුන්නා කියලා අපි සිහි කළා. අදටත් පිට අය ඕක දන්නෙ නෑ. පිරිත් පින්කම් තුනක් කරා. සිද්ධ වෙච්ච දේවල් පොතක් ලියන්න තියෙනවා.

මේ විස්තර කෙටියෙන් හරි මම ලීවේ බලන්න මම ආපු ගමන. පුංචි කාලේ වසක්, විසක් කෑවා නම් අද මට මෙහෙම සැනසිල්ලක් නෑනෙ. හැමදෙයක්ම ඉවසලා අද ඒකෙ ප්‍රතිඵල තියනවා. ලොකුම දේ මට මහමෙව්නාවෙන් ධර්මය අහන්න ලැබුණා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ශිෂ්‍ය දරුවන් බිහිකරලා කොයිතරම් යහපතක් කළා ද? දහම් පොතපත ලියලා කොයිතරම් යහපතක් කළා ද? අද මං ගොඩක් සතුටු වෙන්නේ මගේ දරුවෝ මට ගෙවල් දොරවල් හදලා දුන්න එකට නෙවෙයි. බුද්ධ වචනය, ධර්ම දේශනා අහන්න සලස්වපු එකට. බලන්න මං දුක් වින්දට දරුවන්ගෙන් හරි මට සැනසිල්ල ආවා. මහත්තයත් දැන් හරි හොඳයි. අපි අතර රණ්ඩු නෑ. හරියට පින්කම් ගැන තමයි කතාව. ඔයාලගේ ජීවිතේ කරදර කම්කටොලු ඇති. ඒත් ඕවා ස්ථිරයි කියලා හිතන්න එපා. කාලය විසින් විසඳාවි. දරුවෙක්ගෙන් හරි, මුණුපුරෙක්ගෙන් හරි සැනසිල්ලක් ලැබේවි. කරදර වැඩියි කියලා මැරෙන්න එපා. මං ජීවත් වුණ නිසයි දහම ලැබුණේ. ඔයාලත් ජීවත් වෙන්න. මං හරි ආසයි රට යන්න කලින් ධර්ම දානයක් දෙන්න. මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවාගෙන පන්සලේ වැඩ සටහනක් කරන්න තමයි ඊළඟ උත්සාහය. මට ම වෙලාවකට හිතෙනවා ‘අපි කොහොම හිටිය උදවිය ද?’ කියලා. ඒත් පරණ දේවල් සිහි කරන්නේ කාටවත් සාප කරන්න නෙවෙයි. පැදුරේ ඉන්න ඕනි නිසා. පැදුරේ හිටියම වැටෙන්නේ නෑනේ. ඒකයි… දුක් කරදර විඳින අම්මලා මගේ සත්‍ය කතාව කියවලා ආදර්ශයක් ගන්න. මට ඒ ඇති.

තෙරුවන් සරණයි…!

මම,

මතුගම පද්මාවතී අම්මා

බඹසරට ආස අය මගේ කතාව අහන්න.
නමෝ බුද්ධාය!

මහාමේඝ කියවන අයට යහපතක් ම වේවා! මම මේ ලිපිය ලියන්න හිතුවේ මහමෙව්නාවෙන් මා හට ලැබුණු මහා යහපත සිහි කොට පින් අනුමෝදන් කරන්නත්, ඒ වගේ ම බඹසරට ආස කෙනෙක් ඉන්නව නම් ඒ කෙනෙකුට මගේ කතාව යම් උපකාරයක් වේවි කියාත් සිතුන නිසාය.

මම ධර්මය අහන ශ්‍රාවිකාවක්. මම ධර්මය ඇහෙන්න කලින් සල්ලාලයන්ට ආස කරපු, සල්ලාලකම් කළ, රාගයෙන් උමතුව සිටි කෙනෙක්. ඒත් දැන් මම ධර්මය අහල උතුම් බඹසරින් මගේ කිලිටි ජීවිතය සෝදා ගත්ත කෙනෙක්. මේ උතුම් බුද්ධ ශාසනය කොයිතරම් සුන්දරයි ද? මේ යහපත අපට සැලසූ අපේ ගුරු දෙවිඳුන්ට අපි කොපමණ ණයයි ද?

යම් හේතුවක් නිසයි මම වැරදි මඟට යොමු වුණේ. මගේ නීච හිත සල්ලාලයන්ටමයි ආස කළේ. පහත් මිනිස්සුන්ට මම කැමති වුණා. ඒ කාලේ ගැන විස්තර ඕන නෑ. මං ගැන බලන්න කෙනෙක් හිටියේ නෑ. හිටියත් මම කපටි වුණා හැම දෙයක් ම හංගන්න. ඔය අතරෙ තමයි මට අහම්බෙන් මහමෙව්නාවෙන් ධර්මය අහන්න ලැබුණේ. මගේ නරක ජීවිතේ මට තේරුණා. ඒත් නතර කර ගන්න බෑ. ඒත් මම අත්හැරියේ නෑ. මගේ පහත් ගති මං කොහොම හරි නැති කර ගන්නවා කියලා දැඩිව හිතට ගත්තා. නිතර ධර්මය ඇහුවා. අසපුවට සම්බන්ධ වෙලා පිංකම් කර ගත්තා. රාගය දුරුකරන්න හදනකොට රාගය ම මතු වෙනවා. ඒත් මං සංවර වුණා. ධර්මය අහන්න අරන් පහළොස් වසරක් වෙනවා. මේ කාලෙට මගෙන් වැරදි වුණේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. ඒ වුණ වැරදි ගැන මං පසුතැවෙන්නෙත් නෑ. මොකද ගඟේ ඉහළට පීනද්දි ටිකක් හරි පහළටත් ඇදෙනවා කියලා මම හිතුවා. ඒක පීනන කෙනා පසුතැවීමට ගන්න ඕන නෑ කියලා හිතුවා. පව්කාර ජීවිතෙන් මිදෙන්න මං ගත්ත වීරිය ඊට දහස් ගුණයක්.

රාග අධික චරිතයක් වෙලත් මම බඹසර රැක්කා. අසුභයයවඩන්නන යද්දී රාගය ම බලවත් වෙවී ආවා. මම අනිත් අයට දුන්න රාගය ම මට දැන් හරස් වෙනවා. මම සෑයක් ගානේ අඬ අඬා ගියා. පිවිතුරු ජීවිතයක් පැතුවා. අසපුවෙන් අසපුවට ගියා. මෑණිවරුන්ට දුක කිය කියා සිල් සමාදන් වුණා. මම පොල්ගහවෙලටත් ආවා “නරක ගැහැනියකට ලොවේ ඇති ලොකු ම දඬුවම කුමක්ද?” කියල අහන්න. ඒත් අවස්ථාවක් ලැබුණේ නැහැ. අසුභය වැඩුවොත් රාගය දුරුවෙනවා කියලා මම අහලා තියෙනවා. ඒත් මට ඒක කරගන්න බැරි වුණා. මට නොහැකි වූ පලියට මම ධර්මයට කවදාවත් ම ගැරහුවේ නෑ.

සංසාරේ බොහෝ කලක් මම නරක ගෑනියක් වෙන්න ඇති. මම ඉවසලා කොහොම හරි ගොඩ යනවා කියලා හිතුවා. රාගය කියන්නේ පුදුම ගින්නක්. මම මේ හිත පාලනය කරන්න ගිහින් ගොඩක් ඇඬුවා. වෙලාවකට පිහියක් අරන් බෙල්ල කපා ගන්න හිතුණා. ඒත් මම අසපුවට යන කෙනෙක් නිසා මහමෙව්නාවේ ගුණ හිතලා ජීවිතේ වටිනාකම හිතලා හිත හදා ගත්තා. කෙනෙකුට කියන්න බැරි තරම් නීච සිතුවිලි සිතට ආවා. මම දරාගෙන හිටියා. මෝර පිරිත තමයි නිතර කිය කියා හිටියේ. මම මේවා අනිත්‍යයයි කියන ධර්මය විශ්වාස කළා.

මම දවසක් මේ හිත පාලනය කරගන්න උත්සාහ කළා රෑ එළි වෙනකල්. ඉරියව් තුනෙන් හිටියා, බැරිවෙලාවත් මම නිදා ගත්තොත් බඹසර කැඩෙයි කියලා. එච්චර වීරියෙන් සිල් රැක්කා.

මේ අතර දවසක් මම ප්‍රසිද්ධ පන්සලක් ළඟ වුවමනාවකට මහ අව්වේ හිටගෙන හිටියා. ඒ වෙලාවේ මගේ හිත ඇතුළෙන් අණ කිරීමක් ආවා. “ඒයි. උඹට ලැජ්ජ නැද්ද? අර බෝධීන් වහන්සේනමක් වැඩ ඉන්නව නේද? බිම බෝපත් පිරිලා. ඇහිඳපන්” මම හිතුවා ‘අප්පෝ බෑ අව්වයි. කකුල් පිච්චෙයි’ කියලා. හිත කිව්වා “ආ…. ඇත්ත ද? තියාපිය බෑගය පැත්තක. වර යන්ට. මං කියන දේ කරපිය. බෝ පත් ඇහිඳපං”. මම බෝ පත් ඇහින්දා. කකුල් පිච්චෙනවා. මට හිතුණා අමාරුයි කියලා. ආයෙත් හිතට අණක් ආවා. “තොට මතක නැද්ද තෝ වේතරණී නිරයේ පිච්චුණ විදිහ. ඒ වේදනාව. උඹ කරපු වැරදිවලින්මයි ඒකේ දුක් වින්දේ. බෝ පත් ඇහිඳලා කකුල වේදනයි කියලා ඒ නිරයට වැටෙනව ද? බොල, තොගේ නීච ගති නැති කර ගන්න මේවා පුරුදු වෙයං. තෝ කලින් බෝ පත් ඇහිඳලා තියෙනවා. ඒ පුරුද්ද දියුණු කරලා නීච සසර පුරුද්ද නැතිකර ගනිං.” මං දවල් එකට විතර පිච්චි පිච්චී මුළු බෝ මළුව ම ශුද්ධ කළා. පුදුම සතුටක් ආවා. බෝ සෙවණේ ලස්සන පැතුමක් පැතුවා. මම දන්නේ නෑ කොහොමද හිතුණේ කියලා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට සෙවණ සලසාලූ උතුම් බෝධීන් වහන්සේට උපස්ථාන කිරීම නම් වූ සසර පුරුද්දක් වේ නම් ඒ සසර පුරුද්දෙන් වැරදි කාම සේවනය නම් වූ නීච ගතිය සිඳින්නෙමි. නිවන් දකින තුරු බෝධි උපස්ථාන කරන්නෙමි.” කියලා දැඩිව ම හිතුවා. ධර්මය ජීවමානයි. එදා තමයි මට පියවි සිහිය ආවේ. එදා ඉඳලා බෝධීන් වහන්සේලාට උපස්ථාන කර කර නීච ගති සිඳීම ම පැතුවා”.

ඒත් මේ හිත වංචාකාරීයි. චපලයි. සිත රැකීම ලේසි නෑ. ඊට පස්සේ මගේ ම ශරීරයෙන් ආස්වාදය හොයන නීච සිතිවිලි එන්ට පටන් ගත්තා. මට ආයෙත් පුදුම අවස්ථාවක් ලැබුණා. මම යශෝධරා උත්තමාවියගේ සෑය තියෙන වෙහෙරට ගියා. කියන්න කෙනෙක් හිටියේ නෑ. තනිව ම ගියා. සෑය දිහා බලාගෙන අඬ අඬා දුක කීවා. මගේ බඹසරට ආශීර්වාද කරන්න කියා අඬ අඬා වැන්දා. තවත් දවසක මහා කස්සප මහරහතන් වහන්සේගේ විරාගී බව සිහි කර කර පැන් පිදුවා. ඒ අතර බෝධි උපස්ථානය කළා. නිතර ධර්මය ශ්‍රවණය කළා. මේවා එක දවසක් දෙකක් නෙවෙයි. දැනටත් කරනවා. නතර කරන අදහසකුත් මට නෑ. ටික ටික පුදුම විදිහට මගේ හිත බඹසරේ පිහිටියා. මගේ ශරීරය ගැන රාග සිතිවිලි එනකොට උතුම් යශෝධරා උත්තමාවිය සිහි කරනවා. එසැණින් රාගය නැති වෙනවා. ඒ උත්තමාවියගේ පිවිතුරු බව අසිරිමත්. ඒ උත්තමාවී මට සරණ වුණා.

සාදු! සාදු! සාදු! මාගේ වැඳුම වේවා!

බෝ පත් ඉවත් කරලා මළුව පිරිසිදු වෙනකොට මම භාවනා කරන්න ගත්තා. අසුභය වැඩුවා. දැන් කරන්න පුළුවන්. ගොඩක් මම කැමති නවසීවථිකයට. මළ මිනියක් කුණු වෙලා යන දිහා බලාගෙන හිතෙන් තම කයට ගළපා මම භාවනා කරනවා. දැන් හොඳට පුළුවන්. ධර්මය ජීවමානයි. රැකීරස්සා අතරෙයි මං මේ යුද්දෙ කළේ. තනි නොතනියට ධර්මය විතරයි. පව්කම් කරද්දී කට්ටිය ළඟ හිටියට ඒවායින් මිදෙද්දී තනි වෙනවා. කවුරුත් නෑ. අනෙක් අය හිටියත් මොනවා කරන්නද?

මගේ හිත නොමඟ යනකොට ධර්මයෙන් ම හිතට සිහි කරලා දෙනවා උඹ බඹසර රකින කෙනෙක්. යශෝධරා රහත් උත්තමාවිය ළඟ ඉන්න කෙනෙක්. බෝධීන් වහන්සේට උපස්ථාන කරන කෙනෙක්. උඹට ලැජ්ජා නැද්ද කියලා. ආයෙ හිත සංසිඳෙනවා.

මේ හිත විශ්වාස නොකළ යුතුයි. මම සිහියෙන් ඉඳලා හිත දිහා බල බලා හිටියා අවුරුද්දක් පුරා. හිතට එන රාග සිතිවිලි ගණන් කරන ප්‍රමාණයෙන් ඉවර වුණා. සමහර මාසවල රාග සිතක්වත් උපදින්නේ නෑ. එහෙම ඉඳලත් අළු යට ගිනි පුපුරු වගේ වෙලාවකට මතු වෙනවා. මගේ හිත කොපමණ ශාන්ත වුණත් මම හිත විශ්වාස කරන්නේ නෑ. නිවන් දකිනකල්ම හිත විශ්වාස කරන්නේ නෑ. මම හොඳට බඹසර රකින කෙනෙක් දැන්. ඒත් මගේ ප්‍රතිපදාව ඒ විදිහට ම කරනවා. බෝධි උපස්ථානය, විරාගී මුනිවරුන්ට වන්දනා කිරීම, නිතර ධර්මය ශ්‍රවණය කිරීම, ගුරුවර සත්පුරුෂ උතුමන්ගේ ගුණ සිහි කිරීම වගේම මහමෙව්නාවෙන් ලද දහම් දායාදය, ගුරු ඔවදන් මේවා නිතර සිහි කරනවා. මම යහපත් වුණේ හිත නිසා නෙවෙයි; ධර්මය නිසා. අත් නොහරින වීරියෙන් වඩපු අසුභය මාව යහපත් කළා. උදේ හවස මෝර පිරිත, අංගුලිමාල පිරිත සජ්ඣායනා කරලා පිරිසිදු ජීවිතයකට ආශීර්වාද පැතුවා. නොපෙනෙන ලෝකයෙන් උදව්වක් මට ලැබෙන්නත් ඇති. මං ඒ ගැන දන්නේ නෑ. මේ හැම දෙයක් ම ධර්මයේ හාස්කම්. මට තිබුණේ අවංකව ම වුවමනාව හා ධර්මයට කීකරු වීම.

බලන්න සල්ලාල කෙල්ලෙක් දහමෙන් සැනසුන හැටි. මගේ හිත ගැන දැන් තියෙන විස්තර මම ලියන්නේ නැත්තේ මම හිත විශ්වාස නොකරන නිසා. ධර්මය නම් ශ්‍රේෂ්ඨයි. මටත් පුළුවන් වුණානේ සැනසෙන්න.

මේ සියල්ල අපේ මහමෙව්නාවේ ගුරුදේවෝත්තමයන් වහන්සේ නිසයි. මොහොතක් පාසා මම රැස් කරන පින් කලණමිතුරු ඇසුර ලබා දෙන ගුරු දෙවිඳුට අනුමෝදන් වී දීර්ඝායුෂ වේවා! නිවන ම ලැබේවා! සත්පුරුෂ ඇසුර ම මා හට ලැබේවා! මම නම් නිවන් දකින මොහොත දක්වා ම බඹසර පතනවා. මහමෙව්නාවේ දහම් හඬ හිස් නෑ. මේ කියවන ඔයාලත් ජීවිතයට යමක් ගන්න තියෙනවා නම් ගන්න. ඒ නිසයි ලිව්වේ. නවතිමි.

මම දහම පුරුදු කරන ශ්‍රාවිකාවක්…

මහමෙව්නාව නිසා ඇසුණ දහමින් සැනසුන මවක්
නමෝ බුද්ධාය!

පින්වත් ස්වාමීන් වහන්ස, මා හට මෙය ලියන්න සිතුණේ මේ කාලෙ ගෑනු දරුවන්ගේ මෝඩකම් ගැන නිතර ධර්ම දේශනාවලින් අහන්න ලැබෙන නිසා. මගේ වයස වසර 61ක් වෙනවා. මගේ වයස 6 දී මව මිය ගියා. වසර 9 දී පියා මිය ගියා. අම්මගේ අක්කාගේ දුව මාව හදාගත්තා. ඉගෙනීමට දක්ෂ වුණත් 4වෙනි පන්තියේ දී ඉගෙනීම නැවතුණා. අක්කා ගුරුවරියක්. මම ගෙදර සියලු‍ වැඩ කරමින් රෑ 12- 01 වෙනකන් අක්කගෙ ළමයි බලනවා. මම තනියම ඉගෙන ගත්ත මහන්න, ගොතන්න, වියන්න, ගොවිතැන සියලු‍ දේ. තනියම 50කට හරි මම උයනවා. වයස 19 දී විවාහ වුණා. අනේ ඒ මිනිහා සිංහ හම පොරවපු හිවලෙක් වුණා. දරුවෝ තුන් දෙනෙක් ලැබුණා. දරුවෝ තුන් දෙනා ම කුසේ දී, මගේ මනුස්සය වෙන ගෑනු තුන් දෙනෙක් අරන් ගියා. මගෙ ඇහැට පෙනි පෙනී ගෑනු එක්ක නැටුවා. දරුවන්ට තාත්තා ඕන නිසා ඉවසගෙන හිටියා. පොඩි දරුවට වයස 2 දී මිනිහ යන්නම ගියා. තාත්තගෙ කැත වැඩ නිසා දරුවන්ට ලැජ්ජයි කියල මම ගමෙන් පිට වුණා. ගෑනු දරුවෝ තුන් දෙනෙක් තනිකරල ආවා. කුලී වැඩ කරල දරුවො හැදුවා. හොඳට ඉගැන්නුවා. ඒ කාලෙ රජයට ලිපියක් ලියල ඉඩම් කෑල්ලක් ඉල්ලගෙන, මම වැඩ ඇරිල ඇවිත් සිමෙන්ති ගල් කපල තනියම ගේ හදාගත්තා. බයිබල් ආගමේ අය ආව මට උදව් කරන්න. බුදු පිළිම පාගන්න කීවා. මම උන්ව පොල්ලක් අරන් පන්න ගත්ත. දරුවන්ට උදව් කරන්න එයාලගෙ ආගමට එන්න කීවා. “උඹලගෙ සල්ලි උඹල තියා ගනිල්ල, මට එපා.” කියල පන්න ගත්තා. මම නිතර පිරිත් කියනවා. නමුත් තේරුම දන්නෙ නෑ. මට වයස දහයේ විතර ඉඳල පිරිත් පොත් සම්පූර්ණයෙන් පාඩම්. ගෙදර ඉන්න බෑ භූතයො. ළමයි බයවෙනවා. මම තනියම අටානාටිය කියල භූත දෝස නැති කර ගත්තා. දන්න දේ මං කළා. මං දේවාල ගානේ බඩ ගෑවේ නෑ. හාල් මිටක් උයලා දරුවන්ට කන්න දෙනවා. මම ගස්ලබු ගැටයක්, කොස් ඇටයක් තම්බගෙන තමයි වැඩි හරියක් කරන්නෙ. මේ දුක් විඳින ගමන් පිරිතේ තේරුම දැනගන්න ආස හිතුණා. කිසි කෙනෙක් කියල දෙන්නෙ නෑ. පන්සිය පනස් ජාතක පොත කට පාඩම්. වෙන බණ මං දන්නේ නෑ. මම හැමතැනම ධර්මය හෙව්වා, බණ අහන්න ආස නිසාම. සෝවාන් වුණ අය හමු වුණා. මට තේරුණා මේවගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා කියලා. ඔහොම යනකොට මට ආරංචි වුණා පොල්ගහවෙල අසපුවක් තියෙනව කියලා. මම එහෙ හොයාගෙන ගියා. බස්වල දාඩිය දාගෙන හොයාගෙන ගියා. අවස්ථා පහක දී මාව මරණයට පත්වෙන්න ගියා. ඒ සෑම මොහොතකම මගේ ජීවිතය විනාශ වෙන්න තිබුණෙ විනාඩි4ක් 5ක් වගේ සුළු මොහොතක්. මම මැරුණේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ මුණගැහෙන්න පින තිබුණ නිසා. මං මේ කියන්නේ අවුරුදු 20කට විතර කලින් වුණ දේ.

අපේ ලොකු ස්වාමීන් වහන්සේ මුණගැසුණ දා පටන් මේ වන තුරු මගේ හිත කය වචනය පුළුවන් තරම් සංවර කර ගන්න උත්සාහ දරනවා. මට ගොඩාක් හතුරුකම් කළ අය හිටියා. පාරෙ යන්න බැහැ සෙල්ලක්කාරයෝ පස්සෙන් එනවා. මගෙ කරුමෙට රූපෙත් ලස්සන වුණා. ඒ හැම දේකින්ම මම බේරුණා. මං හැමවිටම හිතුවා මං දරුවෝ තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක් කියලා. අනික ගෑනු දරුවෝ. අම්මලාගේ චරිතේ බොහෝවිට දූලටත් එනවා. මං හරියට පරිස්සම් වුණා. මිනිහලගෙන් විඳින දුක හිතනකොට මට ඕන සසරෙන් නිදහස් වෙන්නමයි.

පින් කර ගන්නත් ඕන, දරුවන්ට උගන්වන්නත් ඕන, කන්න ඕන. මම දවසට රැකියා තුනක් කරන්න ගත්ත. පාන්දර දෙකට නැගිටල ඉඳිආප්ප හයසීයක් තම්බනවා. ඒක කඩේට දාල, ළමයි පාසලට යවල, හයට ගල් පෝරනයේ ගල් බානවා. දවල් දෙකට ඒක ඉවර කරල, එතනම ගල් එක්දහස් පන්සීයක් අදිනවා. හයට ඒක නවත්තල ළමයින්ට කන්න බොන්න දීල, වී ගෝනි හයක් තම්බනවා. වී මිදුලට වී බාල ගෙදර යනකොට දරුවොත් අරගෙන රෑ දොළහයි. පහුවදාටත් එහෙම තමයි. ඕක තමයි ජීවිතේ. ගල් පොත්තේ පොල් අතු එලාගෙන ළමයි පාඩම් කරනවා, මගේ වැඩ ඉවර වෙනකම්. මේ විදියට දුක් විඳල දරුවෝ හැදුවා. මම වැරදි මගට ගියේ නෑ. මං පින් පව් විශ්වාස කරනවා. කර්මය විශ්වාස කරනවා. මමත්, දුවල තුන් දෙන්නත් එකට එකතුවෙලා කළ කර්මයට දුවල බැඳපු මිනිස්සුත් මගේ මිනිහ වගේ ම වුණා. උන් ගෑනු පස්සෙ යනවා. මගේ ඉස්සරහම දුවගෙ ඇස් එළියට පනින්න ගහනවා. ඒ මිනිස්සු මගේ දරුවො වහල්ලු‍ කරගෙන. මගේ දරුවන්ට කියල වාහන අරගෙන, ඒ වාහනේ හොර ගෑනු දාගෙන කාමර ගානෙ යනවා. ගුටි කන්න බැරි නිසා ඉල්ලන ගානෙ ණය අරන් දෙනව. මගේ ළඟට ඇවිත් දුවලා අඬනවා. ඒ වෙලාවට මම එයාලට ලක්විරු එකේ යන ධර්ම දේශනා කියල දෙනවා. මෛත්‍රී කරන විදිය කියල දෙනවා. මට හරි සතුටුයි මගේ පොඩි දුව ගුටි කකා මිනිහට මෛත්‍රී වඩනවා, බණ අහනවා, පිරිත් කියනවා, මිනිහ බොන්න පටන් ගන්නකොට දුවගෙ වැඩේ අංගුලිමාල පිරිත කියනවා. එයත් ධර්මයට ආවා. මගෙ මිනිහ රට වටේ නටල බැරි ගැහුනට පස්සෙ ලෙඩවෙලා මගෙ ළඟට ආව. මම අහල තිබුණා හොර ගෑනු පිටිපස්සේ යන අය අන්තිමට එවුන්ගෙන්ම ගුටි කාලා පරණ ගෑනි ළඟටම එනව කියලා. ඒක හරි. හැබැයි පරණ ගෑනිට ධර්මයක් තිබ්බොත් හොඳයි. දුවල එයාව එළවගන්න හැදුවා. මම එයට ඉඩ නොදී, “මොනව කළත් තාත්තා නිසා සලකන්න” කීවා. අසරණ මනුස්සයෙක් කියල හිතාන මමත් සලකනවා. නමුත් පිළිකුලක් තියෙන නිසා මූණ බලන්නෙ නෑ. වෛරය නෑ. මගේ ජීවිතේ විඳපු දුක් මෙපමණයි කියල මට ලියන්න බැහැ. මේ මා විඳපු දුකෙන් බොහොම පොඩ්ඩයි ලීවෙ. මගේ හිතේ කිසි කෙනෙක් ගැන තරහ, වෛර ඇති වෙන්නෙ නෑ. හැමටම උපකාරයක්මයි කරන්නෙ. මම අහන බණ අනිත් අයට කියාදෙනවා. මිසදිටුව හිටපු ගොඩක් අය ධර්මයට ගත්තා. ඒ අය දැන් ගොඩක් පින්කර ගන්නවා.

අපේ උත්තම ලොකු ස්වාමීන් වහන්සේට පින් සිදුවෙන්න මමත්, මගේ දරුවොත් අපායෙන් මිදුන කියල හිතෙනවා. මම විසිඑක් වසරක් පුරා ගොඩාක් පින් කළා. ධර්මය ඇසුවා, ධර්මයට අනුව ජීවත් වෙනවා. මේ හැම දෙයක්ම මේ විදියට සිදු වුණේ අපේ උත්තම ගුරු දෙවිඳාණන් වහන්සේ නිසයි. අපේ උත්තම ගුරු දෙවිඳාණන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා. දීර්ඝායුෂ ලැබේවා. දෑතේ, දෙපයේ වැඩ කියල දීල, සමාජයේ ජීවත් වෙන්න උගන්වපු, මාව හදාගත් අක්කාට දිගාසිරි ලැබේවා. මට වයස 20 සිට මේ දක්වා කළ සියලු‍ පින් මගේ මවට, පියාට අනුමෝදන් වේවා!

උත්සාහයෙන් මොළය යොදවල, නැගිටින්න දරුවන්ට කියන්න අම්මල දැන ගනිත්වා! හැම දේකටම කලින් අම්මලා ධර්මය අසත්වා! ඒ දහම් සුවය අන් අයට ද ලබා දෙත්වා! ධර්මය හැර මනුස්සයෙක් වෙනස් කරන වෙන දෙයක් නෑ.

ලොවේ දසදෙස අමාදම් ගඟ පැතිර වූ ගුරු දෙවිඳුනේ

සිව් අපායේ දොර වසන්නට කියා දුන් අපේ සමිඳුනේ

යට වෙලා ගිය උතුම් දම් කඳ විවර කළ ගුරු දෙවිඳුනේ

සියක් ආයු ලැබ දහම් දෙසත්වා කාරුණික ගුරු දෙවිඳුනේ

තෙරුවන් සරණයි!

ධර්මයට පැමිණි අම්මා කෙනෙක්

(ශ්‍රද්ධා ධර්මදාන සාමාජිකාවක් කඩුවෙල ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයට එවූ ලිපියකි.)

“ධම්මෝ හි වාසෙට්ඨා, සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ, අභිසම්පරායේ ච.”

වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත්, පරලොවෙහිත් සත්වයන් අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි !

– අපගේ ශාස්තෘන් වහන්සේ

ඈ… (සත්‍ය කතාවක්)
[fusion_builder_container hundred_percent=”no” equal_height_columns=”no” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” background_position=”center center” background_repeat=”no-repeat” fade=”no” background_parallax=”none” parallax_speed=”0.3″ video_aspect_ratio=”16:9″ video_loop=”yes” video_mute=”yes” border_style=”solid” flex_column_spacing=”0px” type=”legacy”][fusion_builder_row][fusion_builder_column type=”1_1″ type=”1_1″ background_position=”left top” background_color=”” border_color=”” border_style=”solid” border_position=”all” spacing=”yes” background_image=”” background_repeat=”no-repeat” padding_top=”” padding_right=”” padding_bottom=”” padding_left=”” margin_top=”0px” margin_bottom=”0px” class=”” id=”” animation_type=”” animation_speed=”0.3″ animation_direction=”left” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” center_content=”no” last=”true” min_height=”” hover_type=”none” link=”” first=”true”][fusion_text]

ඈ නොනවත්වා ම අරගලයක ය. ඇසිල්ලක ද විරාමයක් නොලද්දා ය. කොලු ගැටවුන් තුන්දෙනාම තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඈ හා යුද වදී. ලොක්කා පස් වස් වියැති සේ ය. මද්දුමයා තුන්වැනි වියේ සේ ය. ඇගේ උකුලේ හොත් පොඩ්ඩා මාස පහක්, අටක් වියැති සේ ය. තිදෙනා ම නොදරුවෝ ය. ඇගේ සෙනෙහස, රැකවරණය අවැසියෝ ය. එකම මොහොතක හුදෙකලාවේ ඈ ඔවුන් තුන්දෙනාව ම සංතෘප්ත කළ යුතු ය. ඈට එය කළ නොහැක්කේ ය. නමුත් ඈ වෙහෙසෙයි. ඈට තමා අමතක වී බොහෝ කල් ය. ඈ ඔවුන් ගැන සිතයි. ඈ තුරුණු වියේ පසුවන සුරූපිනියක් සේ පෙනෙන නමුත් ඈට තමා ගැන සිතන්නට ඉඩක් නොලද නිසා ඒ බව සැඟව ගොස් ය. ඇගේ වරලස අවුල් වී ගොසිනි. ඇගේ වත වෙහෙසකර ව ඇත. ඇගේ නෙතු සඟල නින්ද ඉල්ලා අරගල කරයි. ඇගේ ඇඳුම් කිලිටි ය. ඈට ඒ පිළිබඳ කිසිදු තැකීමක් නැත. සෑම ඇසිල්ලක ම ඈ ඔවුන් ගැන සිතයි.

මා හට ද ගුවන්ගත වීමට හෝරා දෙකක් පමණ ඉතිරිව ඇති බැවින් මම කය පුටුවකට බර කළෙමි. ඈ මා ඉදිරියෙන් ම ය. නිතැතින් ම ඈ හා ඔවුන් මාගේ අවධානය පැහැර ගත්හ. මම ද සිතිවිලි අතර කිමිදෙන්නට වීමි. ලොක්කා නිහඬ නමුත් නපුරා ය. මද්දුමයා දඟයා ය. පොඩ්ඩා හැඬීම අවිය කර ගත්තේ ය. පුටුවේ කොණක ඈට යාබදව ලොක්කා පලඟක් බැඳ වාඩි වී සිටියි. ඔහුගේ නෙතින් නිදිමත බේරේ. ඔහුට ඇගේ උකුලේ නිදන්නට අවැසි මුත් වෙනකෙක් ඒ අවස්ථාව පැහැරගෙන ඇත. ළදරු නමුත් එය ඔහු වටහාගෙන දෝ ඒ සඳහා අරගල නොකරයි. මද්දුමයා ඊට හාත්පසින් ම වෙනස් ය. ඔහුට ඇගේ උණුසුම අවැසි ය. ඔහු ඒ වෙනුවෙන් පොර බදියි. විටෙක ඔහු පොඩ්ඩා ද යට කර ගනිමින් ඇගේ උකුලට ඒමට වෙර දරයි. එවිට පොඩ්ඩා අවි අමෝරා ගනී. ඈ මද්දුමයා ඉවතට ඇද දමයි. මද්දුමයා ඉරිසියාවෙන් පෙළෙයි. ඔහු පොඩ්ඩාට වේගවත් අතුල් පහරක් ගසයි. ඈ පොඩ්ඩා සිප වැළඳ ගනී. මද්දුමයා ආරක්ෂාව පතා අඩි කිහිපයක් බැහැරට යයි. ඈ ඔහුට තරවටු කරයි. මද්දුමයා තමා කොහේ හෝ යනවා කියා යාර කිහිපයක් ඈතට යයි. නැත. ඔහුට එය තවම කළ නොහැක. ඔහු පෙරළා ඈ ළඟට පැමිණෙයි. ඈට සියල්ල ම අමතක ය. ඔහුගේ හිස සිඹ ආදරයෙන් වැළඳ ගනී. ඔහු ද පොඩ්ඩා ආදරයෙන් සිප වැළඳ ගනී. ඔවුන් දැන් සමඟි ය.

නමුත් මද්දුමයා සෑහීමකට පත් නොවෙයි. නැවත නැවතත් හත් අට වතාවක් එම සිදුවීම ම සිදු වන්නට විය. නැවත නැවතත් ඔහු ඇගේ උණුසුම ඉල්ලා අරගල කරයි. පොඩ්ඩාට පහර දෙයි. තරවටු කරයි. ඔහු වෙන් වී යයි. බිය වී ආපසු එයි. ඈ ඔහු සිප වැළඳ ගනියි. ලොක්කා හිත හදා ගත්තේ ය. ඔහුට නින්ද අවැසි ය. ඒ පුටුවේ ම පසෙකින් හාන්සි විය. මාගේ විනිශ්චය වූයේ ළදරු නමුත් ජ්‍යේෂ්ඨයා වැදගත් බවයි. එම තත්ත්වය වෙනස් විය. මද්දුමයා ලොක්කාගේ ඇඟ මත සිටගෙන ඇගේ බෙල්ල බදා ගැන්මට තැත් කළේ ය. ලොක්කා එයින් පීඩාවට පත් විය. වැරෙන් පා පහරක් මද්දුමයාට එල්ල කළේ ය. ඔහු ඇගේ උකුල මතට ඇද වැටුනේ ය. ඈ ලොක්කාට තරවටු කරයි. මද්දුමයා සිප වැළඳ ගනී. ලොක්කා නිහඬ ය. ඔහුගේ සිත තැලෙන්නට ඇත්තේය.

ඇගේ ළය උණු විය. ඈ ලොක්කා තම ළය තුරුලට ගත්තාය. ඔහුගේ අවුල්ව ගිය කෙස් පිළිවෙළකට සකසා කම්මුල් පිසදා සෙනෙහස පෑවා ය. ඔහුට සතුටු ය. මන්ද තිබෙන තත්ත්වය මත ඊට වැඩි යමක් ඔහුට බලාපොරොත්තු විය නොහැකි නිසා ය. ඇගේ අවධානය 70%ක් පොඩ්ඩාට ය. 20%ක් මද්දුමයාට ය. 10%ක් ලොක්කාට ය. මද්දුමයා කිසිසේත් ම තමාට ලැබෙන ප්‍රතිශතයෙන් සතුටු නොවේ. ඒ වෙනුවෙන් ඔහු ඈ සමඟ අරගල කරයි. ඒ කිසි විටෙක ඈ ඔවුන්ට පහර නොදෙයි. හැකි සෑම උපක්‍රමයෙන් ම ඔවුන් සෑහීමකට පත් කරයි.

ඈ අසුනෙන් නැගිට පොඩ්ඩා අසුනෙහි තබා දරුවාගේ ආරක්ෂාව පිණිස තම ගමන් මල්ල ද ආසනයේ කෙළවරෙන් තැබුවාය. පොඩ්ඩා අපිරිසිදු කරගෙන සේ ය. ඈ ඔහුව පිරිසිදු කළාය. ඒ මොහොතේ ලොක්කා සේ ම මද්දුමයා ද ඉවසුවෝ ය. ඈ දිවගොස් විෂබීජ නාශක දියර ගෙනවිත් තිදෙනාගේ ම දෑත් පිරිසිදු කළාය.

මද්දුමයාගේ අලුත් ම පැමිණිල්ල කුසගිනි ය කියා ය. ඈ ඔවුන්ගේ කුස පිරවිය යුතු ය. ඈ ගමන් මල්ලෙන් හිස් වතුර බෝතලයක් ගත්තාය. වටපිට බැලුවා ය. යාර 50ක් 60ක් ඈතින් පානීය ජලය ඇත. ලොක්කාට කරුණු පැහැදිලි කර පොඩ්ඩා භාර කළේය. දඟ මද්දුමයාගේ අතින් අල්ලාගෙන ඈ වතුර ගෙන ඒමට පිටත් විය. ටිකෙන් ටික ඈ දුරස්වන විට ලොක්කාගේ හිතට බයක් දැනිණි.

දෙනෝදාහක් මිනිසුන් සිටිය ද ඈ නැති තැන ඔහුට බියක් දැනිණි. ඔහු ඈට හඬ නගා කතා කළේය. නැවත නැවතත් කෑ මොර දෙන්නට විය. ඈ ක්ෂණයකින් දිව ආවා ය. ඈ ඔවුන්ගේ එක ම පිහිට විය. ඈ යම් කිසි දියරයක් සකසා මද්දුමයාට පළමුව දුන්නා ය. ඔහුට එය සකස් කරන තෙක් ඉවසීමක් නැති විය. ලොක්කා තමාගේ වාරය එන තෙක් ඉවසුවේය. පොඩ්ඩාට ද යමක් පෙව්වාය. කුස පිරුණු කල්හි ඔවුන් ශාන්ත ය. ඈ සුලු විරාමයක් ලද්දී ය. නමුත් කිසි අහරක් නොගත්තා ය. ඈට ශරීර කිස කර ගැනීමට අවැසි වුවහොත්…..? මා සිත ප්‍රශ්න කරයි. ඈට ඒවා සිතන්නට ඉඩක් නැත. ඈ ඔවුන් ගැන ම සිතයි.

කෙමෙන් කෙමෙන් දෙහෝරාවක් ගත විය. යානය තුළ මගීන් සියල්ල ම තැන්පත් විය. පුදුමයකි. ඔවුන් ද මා හා යාබද අසුනේ ය. ඈ ඔවුන්ගේ ආරක්ෂාව පතා අයිනේ ම අසුනේ ය. පොඩ්ඩා ඇගේ උකුලේ ය. ලොක්කාට ද මද්දුමයාට ද වෙන වෙනම අසුන් ලැබී ඇත. ජනේලය අසල ආසනයට ඔවුන් යුද වැදිණි. ලොක්කා බාහු බලයෙන් හා කාය බලයෙන් මද්දුමයා ඉවත් කළේය.

මාගේ අවධානය හෝරා දෙක තුනක් ඔවුන්ගෙන් බැහැර විය. නැවත මා සිත ඔවුන් ගැන විමසන්නට විය. අධික වෙහෙස නිසා ඈ තද නින්දේ ය. මද්දුමයා ද ඇගේ උකුලේ කොටසක් වෙන්කරවා ගන්නට සමත් වී ඇත. ලොක්කා තනිව ම ආසනයට බර දී නිදයි. සැණෙකින් පොඩ්ඩා අවදි විය. තම අයිතිවාසිකම් වෙනුවෙන් අවිය අමෝරා ගත්තේ ය. ඈ තද නින්දේ ය. ලොක්කා අවදි විය. ඔහු පොඩ්ඩා අස්වසයි. සිපවැළඳ ගනී. ජ්‍යේෂ්ඨයාගෙන් ලද සහයෙන් පොඩ්ඩා තෘප්තිමත් විය. ඈට එය අස්වැසිල්ලකි. හෝරා කිහිපයකින් අපි සැම ගමනාන්තය දක්වා පැමිණියෙමු.

යම් දවසක ඔවුන් කරදඬු උස්මහත් වී මේරූ පුරුෂයන් වනු ඇත. එවිට ඇගේ කය වැහැරී දිරා ගොස් දුබල වනු ඇත. ඇස් කන් ආදිය ප්‍රකෘතිමත් නොවනු ඇත. මැහැල්ලක වනු ඇත. එකල ඔවුන් ජව සම්පන්න ය. කඩවසම් ය. ප්‍රිය අඹු දරුවන් ඇත්තෝ ය. ඔවුන් බාල කල සිදු වූ මා දුටු දේත්, තව බොහෝ දේත් ඔවුන් නොදත්තෝ ය. ඇතැම්විට ඔවුන් එය අසන්නට තබා සිතන්නටවත් අකමැති ය. ඇගේ සුලු අතපසුවීමක දී ඈට පහර දී ගෙයින් ඇද දැමීමට ඔවුන් පසුබට නොවනු ඇත. එදිනටත් ඈ ඔවුන් හා වෛර නොකරනු ඇත. ශාප නොකරනු ඇත. යටගිය මා දුටුවා වැනි දහසකුත් දුක්ගැහැට ඔවුන්ට සිහිපත් නොකරනු ඇත. තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලොවට හඬගා කිසිවක් නොකියනු ඇත. ඔවුන්ගේ සතුට පතා ඈ මහ වීදි බැස සිඟමන් යදින්නී ය. මහ පොළොව සේ ඉවසන්නී ය. ඔවුන්ගේ සුවිසල් මන්දිර දැක, ගමන් යන සැප පහසු යානවාහන දැක සතුටු වන්නී ය. ඉරිසියා නොකරන්නී ය.

සැබැවින් ම ඈ මෙත්, කරුණා, මුදිතා, උපේක්ෂා යන බඹ විහරණ ඇත්තී ය. සැබැවින් ම ඒ ඈ නම් ආදරණීය අම්මා ය…

1. මව්පියවරු බ්‍රහ්මරාජයෝ ය. මුලින් ම ලැබෙන ආචාර්යවරු ය යි කියනු ලැබේ. දූදරුවන්ගේ පුද පූජාවන්ට නිසි වූ ඒ දෙමව්පියෝ දරු පරපුරට අනුකම්පා කරන්නෝ ය. එහෙයින් නුවණැති දරු තෙමේ තම දෙමව්පියන්ට වැඳුම් පිදුම් කරන්නේ ය. ඇප උපස්ථාන කරන්නේ ය.

2. ආහාරපානයෙනුත්, වස්ත්‍ර සයනාසනයෙනුත් පුදන්නේ ය. තම දෙමව්පියන්ගේ ඇඟ උලා නහවා දෙපා සෝදා උවටැන් කරන්නේ ය.

3. මව්පියන් විෂයෙහි කරනු ලබන ඒ ඇප උපස්ථානයන් හේතුවෙන් නැණවත්හු ඔහුට මෙහිදී ම ප්‍රශංසා කරති. පරලොව සුගතියට ගොස් වඩාත් සතුටට පත්වෙයි.

සබ්‍රහ්ම සූත්‍රය (අං.නි 2)

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

[/fusion_text][/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]

මරණය ඉදිරියේ අසරණ නොවුණු අම්මා
“අනේ මගෙ දුවේ, මට ධර්මය ටිකක් කියලා දෙන්නකෝ. මට මොකුත් ම මතක නෑනේ. මොනවා වුණා ද දන්නෙ නෑ. කිසිම දෙයක් මතක නෑනේ මට.”

ඒ, රෝගාතුර ව,රෝහලේ ඇඳක් මත සිටින, වයස අවුරුදු 83 ක් වූ, කායික ව ඉතා පීඩාවෙන් සිටින මවක් විසින් තමාගේ උපකාරයට තමා ළඟ නතර වන්නට පැමිණි තම පුතාගෙ බිරිඳ දුටු ගමන් පැවසූ වදන් පෙළ යි. මෙම මාතාව පෙර දින පාන්දරින් ම රෝහල්ගත කරන ලද්දේ තමාගේ බාල දුව සහ බෑණා විසින්, පෙර දින තුන් හතර වතාවක් වමනය යාම නිසා ඇය ව පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ උපදෙස් මත ය. දින කිහිපයක් කෑම අරුචියෙන් පෙළුණු ඇයට එම දින කිහිපයේ දී කුසට කිසිම අහරක් ගන්නට බැරි විය. තම දියණියක විසින් නිතර නිතර සාදා දුන් සස්ටජන් කිරි ජෝගුව පවා බොන්නට පිරියක් තිබුණේ නැත. එසේ කෑමක් බීමක් නොමැතිව ඉතා ම දුර්වල ව සිටි ඇයට එකවර ම වමනය යාමට පටන් ගත්තේ ය. එය දරා ගැනීමට ඉතා ම අපහසු විය. එනිසා ම දරුවන්ගේ අවසාන තීරණය වූයේ, වෛද්‍යවරයා පැවසූ පරිදි මව රෝහල්ගත කිරීම යි. ඇයගේ බෑණා සහ බාල දියණිය සමඟ පාන්දර රෝහලට ඇතුළත් කිරීමට යන ගමනේ දී මාර්ගයේ ගමන් කළ කඨින පෙරහරක කඨින චීවරය හිස මත තබාගෙන අඩි දහය පහළොවක් ගමන් කරන්නට හැකි වීම අසනීප ව සිටි ඇයගේ සිත පිනෙන් පුරවන්නට සමත් විය.

එසේ වාට්ටුවට ඇතුළත් කරන ලද ඇය ව බලන්නට දහවල රෝගීන් බලන වේලාවේ ඇයගේ එක ම පුතා පැමිණියේ ය. තමාගේ මව වෙනදාට වඩා ඉතාමත් ම පැහැපත් පෙනුමකින් සහ සතුටින් සිටින බව ඔහුට අවබෝධ වුණි. සාදාගෙන පැමිණි සුප් එක ද ඇයට ඉතා රසවත් බවක් දිස් විය. ඇය එය ටිකෙන් ටික පානය කළා ය.

තම පුතාගේ යහළුවෙකු ද තමන්ව බලන්නට වාට්ටුවට පැමිණි විට දෑත් එකතුකොට “තෙරුවන් සරණයි පුතේ!” කියන්නට ඇය අමතක කළේ ද නැත. වාට්ටුවේ නතරව සිටි මෑණියන් වහන්සේනමකට අපහසුවෙන් නමුත් වන්දනා කරන්නට ද අමතක වූයේ නැත. සවස් වරුවේ ඇය ළඟ නතරව සිටියේ ඇයගේ අනෙක් දියණිය යි. ඇය සමඟ ද හොඳින් කතා කරමින් සිටි ඇය හුස්ම ගැනීමේ මඳ අපහසුතාවකින් පෙළුණි. ඒ සඳහා නිවසේ දී භාවිත කළ බෙහෙත් රෝහලේ දී පාවිච්චි කරන්නට අවසර ලැබුණේ නැත. ඒ වෙනුවට දිනකට ලුණු මේස හැඳි තුනක් කන්නට නියම කෙරිණි.

පසු දින උදෑසනින් ම තමා ළඟ නතර වන්නට පැමිණියේ තම පුතාගෙ බිරිඳ යි. ඉහත ඉල්ලීම සිදු වුණේ ඇය වාට්ටුවට පැමිණ ටික වේලාවකිනි. පෙර දින තම සැමියා දුටු වෙනස ඇය ද හොඳින් ම වටහා ගත්තා ය. තමන් ද ඩෙංගු රෝගය වැළඳීම නිසා රෝහල්ගත ව සිට නිවසට පැමිණ තවම දින දෙකකි. වෛද්‍යවරුන් රෝහලෙන් නිවසට එව්වේ අඩුම තරමින් සතියක්වත් ඇඳෙන් නොබසින ලෙස උපදෙස් දෙමිනි. තමන්ට ද කායික වේදනා බොහෝ තිබුණ ද තම සැමියාගේ මව ළඟ නතර ව උපස්ථාන කරන්නට පැමිණියේ තම සිතු මනාපයට ය. තම සැමියා විසින් වළකනු ලබද්දීත්, ලෙඩෙකුට උපස්ථාන කරන්නට යන නිසා තමාට අනතුරක් නොවන බව ඇය කිහිප වතාවක් ම පැවසුවා ය. තම අසනීප තත්ත්වයට වඩා ලෙඩෙකුට උපස්ථාන කිරීමේ පින රැස්කර ගැනීම ගැන පමණක් ම ඇය සිතුවා ය.

වසර හතළිහක් පමණ බ්‍රහ්මචාරී ව සිටි මෙම මාතාව පසළොස්වක සහ අමාවක පොහොය දින දෙකේ දී නොවරදවා ම අටසිල් සමාදන් වූවා ය. 2000 වසරේ සිට මාසික සීල භාවනා වැඩසටහන්වලට ද සහභාගී වූවා ය. පසු කාලයේ දී නිතරම බ්‍රහ්මචාරී පංචසීලය සමාදන් ව සිටි ඇය දැනට වසර පහකට පමණ පෙර සිට සතර පෝයට ම සිල් සමාදන් වෙන්නට පටන් ගත්තා ය. කිසිම දිනක කිසිම කෙනෙකුගේ සිත රිදවන්නට වචනයකින් හෝ අනුබල දෙන්නට ඇය කැමති නැත. තමන්ට හැකි සෑම දෙයක් ම දන් දෙන්නට ඇති කැමැත්ත ඇයගේ එක ම කැමැත්ත විය. නිවසට පැමිණි කෙනෙකුට වතුර උගුරක් හෝ නො දී පිටත් කිරීමට ඇය කැමති නැත. උදේ, දවල්, රාත්‍රී ගිලන්පස සම්බුද්ධ පූජාව පවත්වා පිරිත් සජ්ඣායනා කොට භාවනා කිරීම ඇයගේ දිනචරියාවේ අනිවාර්ය අංගය විය. අනතුරුව දවස පුරා ම රූපවාහිනියෙන් ධර්ම දේශනා ඇසීම සහ දහම් පොත් කියවීම ඇබ්බැහි වීමක් වැනි ය. මාස කිහිපයක සිට ඇයට දහම් කරුණු අමතක වීමට පටන් ගත්තේ ය. එතැන් පටන් භාවනාව පවා සිදු කළේ හඬපටියක් උපයෝගී කරගෙන ය. නිතර නිතර මේ ගැන පුතා සමඟ කියමින් දුක් වීම පුතාගේ සිතට ද බිය ඇතිකරවන්නක් විය. දහම් කරුණු අමතක වුව ද ඇය ධර්මය උගත් ස්වාමීන් වහන්සේලාගේ නම් ඇයගේ මතකයෙන් ඉවත් ව ගියේ නැත.

තම පුතාගේ බිරිඳ ද ධර්මයේ හැසිරෙන කෙනෙකු නිසා ඇයගේ පැමිණීම මවගේ සතුටට හේතු විය. ඒ සතුට නිසා ම යි ඇය දුටු ගමන් ඉහත වදන් පෙළ පිට වූයේ. තම ලේලිය වුව ද ඇය ඇමතූවේ ‘මගේ දුව’ කියා ය. තමන්ගේ පෙර තිබූ දහම් දැනුම දැන් නැත. කිසිවක් මතක නැත. දුකෙන් යුතුව එය ද තම ලේලියට මතක් කර දුන් ඇය නැවතත් පෙර ඉල්ලීම ම කරන්නට විය. මවගේ ඉල්ලීම පිළිගත් ඇය, දහම් කරුණු මතක් කර දෙන්නට වූවා ය. එය වටිනා ධර්ම සාකච්ඡාවකි. එය කෙතරම් සාර්ථක ද යත්, කායික ව පමණක් නොව, මනසින් ද දුර්වලව සිටි, වයසට යාමේ, ලෙඩ වීමේ දුක මෙන් ම මරණය පෙනි පෙනී සිටි, වයස අවුරුදු 83ක් වූ මවගේ අමතකව තිබූ දහම් දැනුම අවදි කරන්නට එම සාකච්ඡාව සමත් විය. රූපවාහිනී දහම් වැඩසටහන්වලින් ඉගෙනගත් දහම් කරුණු මතක් කිරීම සහ එම වැඩසටහන් මෙහෙයවූ පින්වත් ස්වාමීන් වහන්සේලා සිහි කරමින් පින් අනුමෝදන් කිරීම මවගේ පැත්තෙන් වැඩිපුර ම සිදුවෙමින්, සාකච්ඡාව ඇදී යන්නට විය. පස්වරු 2.00 පමණ වන විට මවගේ හුස්ම ගැනීමේ අපහසුතාවය වැඩි වුණු අතර දුවගේ කායික පීඩාව ද වැඩි විය. මවට ඇඳේ හාන්සි වී සිටින්නට පවා නොහැකි නිසා ඇඳේ වාඩි වී සිටින්නට විය. මූත්‍රා බට ගසා තිබුණු නිසා වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ද නොතිබුණි. එය පරීක්ෂා කිරීම කළ යුතු ව තිබුණි.

රාත්‍රියට මව සමඟ නතර වන්නට සිටි තමාගේ දියණියට අධික හිසේ අමාරුවක් වැළඳුණු නිසා රාත්‍රියේ මව ළඟ නතර කරවන්නට කුලියට සාත්තු සේවිකාවක් සොයා ගන්නට අවශ්‍ය වූයේ රෝගියෙකුට උපස්ථාන කරන්නට තවත් රෝගියෙකු ම වූ ලේලිය රඳවන්නට නොහැකි නිසා ම ය. පවුලේ සැමගේ මතය එය වුව ද පුතාගේ බිරිඳ නම් එයට කැමති වූයේ නැත. ඇයට අවශ්‍ය වූයේ පවුලේ කෙනෙකු ම මව ළඟ නතර කර තැබීම ය. ඕ තම සැමියාට ද කිහිප වරක් ම ඒ බව පැවසුවා ය. පිට මිනිසුන් මව ළඟ තනි කරන්නට ඇය තදින් ම විරුද්ධ වූවා ය. ඇයගේ විරෝධය හමුවේ වුව ද පිටස්තර උපස්ථායිකාවක් සොයා ගත්තේ ඩෙංගු රෝගය නිසා කායිකව දුර්වලව සිටින ඇයගේ තත්ත්වය ද අනතුරුදායක නිසා ය.

කෙසේ හෝ උපස්ථායිකාවක් සොයා ගත්ත ද සවස ලෙඞ්ඩු බලන වේලාවට පැමිණෙනවා කියූ උපස්ථායිකාව පැමිණියේ නැත. අවසානයේ දී කායික පීඩාවෙන් සිටි තම ලේලිය ම තමා ළඟ නතර වීම මවගේ සතුටට කාරණාවක් ම බව ප්‍රකට වූයේ ඇයගේ තිබූ ප්‍රබෝධවත් බව වැඩි වීමෙනි. බත් කටවල් දෙක තුනකින් පමණක් ම අවසන් වන මවගේ ආහාර ගැනීම එදින රාත්‍රියේ නම් වෙනස් වුණි. ආහාරයට තිබූ බත් එක මවට ප්‍රමාණවත් නොවූයේ, බත් එකේ රසට ද එසේත් නැත්නම් තම කලණ මිතුරු ලේලිය තමා ළඟ නතර වූ සතුටට ද වෙනත් කරුණකට ද යන්න ප්‍රහේලිකාවකි.

රාත්‍රී හතට පමණ දියණිය ඇමතූ මව “මගෙ දුව, මම හෙට උදේ මැරෙනවා. ඒ නිසා මම කරපු පින්කම් මතක් කරලා දෙන්නකෝ” යනුවෙන් පැවසුවා ය. “එහෙම කියන්න එපා අම්මා. එහෙම වෙන්නෙ නෑ.” ඒ දුවගේ පිළිතුර යි. “ඉපදිච්ච හැමෝම මැරෙනවනෙ. ඒ වගේ ම මමත් හෙට උදේ මැරෙනවා. ඒ නිසා මම කරපු පින්කම් මතක් කරලා දෙන්නකෝ.” දෙවෙනි වර ද මව ඉල්ලා සිටියා ය. හුස්ම ගැනීමේ අපහසුතාවය එන්න එන්න ම වැඩි වන නිසා ඇය ඇඳෙන් බිමට බැස පුටුවේ වාඩි වූවා ය. මවගේ මූත්‍රා යාම ද හවස් වරුවෙන් පසුව සිදු වී තිබුණේ නැත. මවගේ බඩ ද විශාල වශයෙන් ඉදිමී ඇති අතර, බඩ තද රස්නයකින් ද යුතු විය. එය රෝහලේ හෙදියන්ට සහ වෛද්‍යවරුන්ට දැනුම් දුන්න ද ඔවුනට ඒවා එතරම් වැදගත් කරුණු වූ බව නොපෙණුනි.

තමා විසින් කරන ලද පින්කම් දියණිය විසින් එකින් එක මතක් කරන විට, ඇය ද එයට තමාට මතක පින්කම් එකතු කළා ය. ඒ අතරතුර දඹදිව වන්දනා කරන්නට යාම සිහි කළේ ඉතා සතුටිනි. එයට උපකාර කළ පුතාට පින් අනුමෝදන් කරන්නට ද අමතක නොකළා ය. අනිත්‍යය මෙනෙහි කිරීම සහ මරණය ගැන බිය නො වී තමා එයට මුහුණ දිය යුතු ම බව මව පැවසීම දිනය පුරා ම මෙන් සිදු විය.

එම වාට්ටුවේ තවත් ඇඳක සිටි වයසක මාතාවක් මරණයට බියේ වේගයෙන් කෑ ගසන ශබ්දය අසන මව තම ලේලියට පැවසූයේ ඇයට පිරිත් කියා හිත පහදවන ලෙසයි. පියවි ඇසට නොපෙනෙන, එහෙත් ඇය ළඟට පැමිණි අයට මෙන් ඇය කතා කරන්නේ තමාගේ ඥාති අමනුෂ්‍යයන් සමඟ බව මව ධර්මයට ගළපා වටහා ගත්තා ය. “බලන්න මගෙ දුවේ, ඉන්නකම් පින් කර ගත්තේ නැති වුණාම ඔහොම තමයි. මැරෙනකොට ළඟට එනවා මළ පෙරේතයෝ. මම නම් හොඳට පින් කර ගත්ත නිසා මම නම් බය නෑ මැරෙන්න.” මව අවසාන මොහොතේ දී පවා ධර්මය ගළපා ගත්තා ය. අවසානයේ දී අර කාන්තාව වේදනාවෙන් මරණයට පත් වුව ද එය තම මවට නොපැවසීමට දුව වග බලා ගත්තා ය.

රැය පහන්වන තුරු ම හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් මෙන් ම මූත්‍රා පිට නොවීම සහ බඩ ඉදිමීම යන රෝගවලින් ඇය පෙළුණි. පින්කම් සිහි කරමින්, අනිත්‍ය මෙනෙහි කරමින්, ඉපදීම නිසා මිනිසාට ඇති වන දුක, ලෙඩ වීම, වයසට යාම, මරණයට පත් වීම ආදී දේ ගැන සිහිකර නැවත මනුස්ස ලොවට ආවොත් එදාට ද මේ දුක ම උරුම බව තේරුම් ගෙන සිටි මව නැවත මනුස්ස ලොවට එන්නට කැමති වූයේ නැත. මඳ හෝ සැනසුමක් ලබන්නට නම් තුසිත දිව්‍යලෝකයේ උපතකට යන්නට ඇය කැමති බව දොහොත් මුදුන් තබා වඳිමින් පැවසුවා ය. හොඳින් හිත පහදවාගෙන සතුටින් ම සිටි ඇයට පාන්දර හතරට පමණ දත් මැද මුහුණ සෝදා පිරිසිදු වන්නට අවශ්‍ය විය. තව ටික වේලාවක් එය ප්‍රමාද කරන්නට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඇයට එය එවෙලේ ම කරන්නට අවශ්‍ය විය. ඇයගේ ඉල්ලීම ඉටු විය. දත් මැද, මුහුණ කට සෝදා පිරිසිදු වී, හිස පීරා, පිරිසිදු අලුත් සුදු ඇඳුමක් ඇඳ ගත් ඇයගේ සතුට නිම්හිම් නැති විය.

කෙමෙන් කෙමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය තදින් ම දැණුනු අතර කැරකිල්ල ද බලවත් විය. මුළු ඇඟ ම තලා දැම්මාක් මෙන් රිදුම් දෙන බව පැවසූ මවගේ අතකින් ඇල්ලීම පවා වේදනා ගෙන දෙන්නක් බව ඇය පැවසුවා ය. ඇයගේ දෙපා තද සීතලකින් යුක්ත බව දැනුණ මොහොතේ නැන්දණියගේ තත්ත්වය බරපතළ බව අවබෝධ කර ගත් ලේලිය දුකෙන් හඬන්නට වූවා ය. තම දුර්වල අතින් ලේලියගේ කඳුළු පිස දැමූ ඇය අනිත්‍ය ස්වභාවය පෙන්වා දෙමින් ඇය අස්වසන්නට වූවා ය. ඇයගේ දුක නැති කරන්නට උත්සුක වූවා ය. ඇය තම ලේලියට කෙතරම් නම් ආදරේ ද යත්, පෙර දින පටන් ම ඇයට අවශ්‍ය වූයේ ලේලියට නිදාගන්නට ඇඳක් සොයා දීමයි. එයට අපමණ වෙහෙසක් දරන්නට දුර්වල ව සිටි ඇය උත්සාහ කළ ආකාරය ලේලියට මැවි මැවී පෙණුනි. ඒ බව වාට්ටුවේ සිටි අනිත් ලෙඞ්ඩු ද අනුමත කළෝ ය.

තමා හට ධර්මය ඉගැන්වූ පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, තමන්ගේ දරුවන්ටත් තමා රැස්කළ පින් අනුමෝදන් කළ ඇය, “මගෙ දුවේ, මගෙ කරාබු දෙක අංගුලිමාල සෑයට පූජා කරන්න. දුව අන්තිම මොහොතේ මගේ ළඟ හිටියෙ මගේ ම පෙර පිනකට. මගෙ දුවට මේ සංසාරෙ කිසිම දුකක් කරදරයක් වෙන්නෙ නෑ මට කළ මේ උපකාරයට. ඔයාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙන්න මේ පින උපකාර වෙනවා. පුතාට කියන්න කැටේ තියෙන මම දාපු සල්ලි ටික රුවන්වැලි සෑයේ පින්කමට ගන්න කියලා.” යැයි කීවා ය.

ඇය ඒ පැවසුවේ 2028 අනුරාධපුර ස්වර්ණමාලි මහා සෑයෙහි හුණු පිරියම් කිරීමේ පින්කම වෙනුවෙන් තමන් මුදල් එකතු කළ කැටය ගැන ය. අවසන් වරට ඇය එම කැටයට රුපියල් 100ක් දැමීමෙන් අනතුරුවයි රෝහලට පිටත්ව තිබුණේ. ඇය තම නිවසේ දී කළ අවසාන පින්කම එය වූ ලෙසට ම ඇය තම ජීවිතයේ කතා කළ අවසන් වචන කිහිපය ද එය ම විය. වේදනාවෙන් මිරිකෙමින් තම ලේලියගේ අත අල්ලාගෙන පැවසූ එම වදන් සමඟ ම ඇයට ඔක්සිජන් ලබා දීම ආරම්භ කරන ලදී. දෙනෙත් පියාගත් ඇය අධික වේදනාවක් විඳිමින් උස් හඬින් කෙඳිරි ගාමින් විනාඩි විස්සක් තිහක් පමණ සිට නිසොල්මන් වූවා ය. සියලු සංස්කාරයෝ නැසෙන සුලු ය.

මනුලොව ඉපිද ජරාවට පත් වන මනුෂ්‍යයෝ මිය යන්නේ ඔය ආකාරයට ය. එසේ මිය යන ඇතැම් මනුෂ්‍යයෝ නැවතත් ගර්භාෂයකට ම එති. පව් කළ අය නිරයට යති. පින් කරමින් ධර්මයේ හැසිරුණු අය සුගතියට යති. කෙලෙස් නැසූවෝ පිරිනිවෙති.

සටහන – අනූෂා අමරකෝන්

මගේ ඉරණම වෙනස් වුණ හැටි
ලොව සියල්ල වෙනස් වන්නේ ය. නමුත් සත්‍ය කිසිදා වෙනස් නොවේ. ධර්මය යනු සත්‍යය යි. සත්‍ය වැසී තිබෙන්නට පුළුවන. එනමුත් වෙනස් නොවේ. කාලයේ වැලි තලාවෙන් තථාගත ශ්‍රී සද්ධර්මය ද වැසී තිබුණි. ඒ උත්තම සදහම් නිධානය නැවත පාදා දුන්නේ මහමෙව්නාවෙනි. එය අවිවාදයෙන් ම පිළිගත යුතු සත්‍යයකි. අතුපතර විහිදී ගිය සුවිශාල නුගරුකක් සෙයින්, දුක් පීඩා විඳින මිනිසුන්ට සද්ධර්මය නමැති සිහිල් සෙවණ ලබාදුන්නේය. ඒ සද්ධර්මය නමැති සෙවණේ සැතපී ජනයා සැනසීමකට පත් විය. මහමෙව්නාවෙන් ඇද හැලෙන අමා වැස්සෙන් බොහෝ මිනිස්සු සුවපත් වූහ. බොහෝ අය පිපාසය සිංසිඳුවා ගත්හ. මම ද ඒ මහමෙව්නාවෙන් ඇදහැලුණු අමා වැස්සෙන් තෙමුණු කෙනෙක්මි. ඒ සිසිල් සෙවණේ සැතපී සැනසීමකට පත් වූ කෙනෙක්මි. මම මේ කථාව ලියන්න හිතුවේ මම වගේ අසරණ භාවයට පත්වුණු, දුක් පීඩා විඳින ජීවිතවලට ධර්මයේ පිළිසරණ ලැබේවා යන අදහසිනි. තමන්ගේ ප්‍රශ්නයට මේ ලෝකේ විසඳුමක් නෑ කියලා සිතා සිටින අය වෙනුවෙනි. එසේම තථාගත ශ්‍රී සද්ධර්මයේ තිබෙන ආනුභාවය කොයිතරම් සත්‍යයක් ද යන වග බොහෝ දෙනාට දැනගැනීම පිණිස ය. මේ මගේ සත්‍ය ජීවිත කථාවයි.

මම දැන් අවුරුදු 22 ක තරුණියක්. අවුරුදු 21 දී ජීවිතය හිතුවක්කාර ලෙස ගතකළ නිසා දෙමාපියන්ගේ ද සිත් බිඳ දමා සියල්ලන්ගේ ම අප්‍රසාදයට ලක් ලක්වන්නට මට සිදුවුණා. මම සැබෑ ආදරය සෙවීමට ගොස් බොහෝ සේ දුක් වින්දා. මා ළඟට ආ සියලු පෙම්වතුන්ට අවශ්‍ය වූයේ හුදෙක් මා සමග කායිකව එක්වීම පමණයි. මා එයට අකැමති නිසා බොහෝ අය මා හැරදමා ගියා. ඒ නිසා ඇති වූ වේදනාවට මම විසඳුම් සෙව්වා. අවුරුද්දක් ඉංජිනේරු පාඨමාලාවක් හදාරා සිටියත්, අවසානයේ විභාගය ලිවීමටවත් ගියේ නැහැ. රැකියාවක් නැතුව මා කරන කරන දේ අසාර්ථක වුණා. දවසට තුන් හතර වතාවක් අසභ්‍ය දර්ශන බලමින් සතුටු වීමේ තවත් නරක පුරුද්දකට මම ඇබ්බැහි වෙලා හිටියා. මම මේ ආකාරයේ කාලකණ්ණි ජීවිතයක් ගත කරපු එකියක්.

මේ හැමට ම වඩා මා සිත තුළ දැවෙන ප්‍රශ්නයක් තිබුණා. මට වයස අවුරුදු පහළොවේදී, එනම් යෞවන වියට එළඹෙද්දී ම මගේ කකුලේ දණහිසෙන් පහළ සැරව ගලන, සුව නොවන තුවාල එන්න පටන් ගත්තා. වළලුකරට උඩින් දණහිසට පහළින් එක දදයක් තිබුණා. තව තව ඒක වැඩිවුණා. මුළු කකුල පුරා ම දදය පැතිරී ගියා. ඒ නිසා එය නොපෙනෙන ලෙස මම කකුල් වැහෙන්න දිගට ඇන්දා. නමුත් කාලයක් යද්දි එය කකුලේ පිටිපතුල්වලටත් ආවා. දකින දකින අය අප්‍රිය කළා. බෙහෙත් කරන්නෙ නැද්ද ඇහුවා. මූණ දිහා බලලා හිනාවෙන මිනිස්සු කකුල් දෙක දැක්කම අහක බලනවා. අප්‍රිය කරනවා. අවසානයේ මම ගෙදරින් එළියට නොගිහින් හිටියා. මට ලැජ්ජයි. මට අවුරුදු 21 වන තුරු මෙම රෝගය තිබුණා. සිංහල, ඉංග්‍රීසි නොකරපු බෙහෙතක් නෑ. සෑම පෝයකට ම පමණක් මම ටීවී එකේ යන බණක් අහනවා. එක් පෝය දවසක බණ කියපු හාමුදුරු නමක් දීපු උපදේශයකට අනුව මම ෆෝන් එකෙන් ධර්ම දේශනා අහන්න පෙළඹුණා. වාසනාවකට වගේ පළමුවෙන් ම මට අසන්නට ලැබුණේ මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් කළ දේශනාවක්. මහමෙව්නාවෙන් මගේ ඇස් ඇරුණා. දේශනා තව තවත් මට අහන්නට ආස හිතුණා. පින ගැන අහලා මටත් චෛත්‍යයක් සෑදීමට දායක වන්නට ඇත්නම් කියලා දැඩි ආශාවක් ඇති වුණා. අංගුලිමාල මහසෑයට උදව් වෙන්න මං ගාව මුදල් තිබුණේ නෑ. මොකද අපි ගොඩාක් දුප්පත්. තාත්තා කුලී වැඩ කරන්නේ. ඒ සල්ලිවලින් තමයි අපි ජීවත් වුණේ. මේ අතර අහම්බෙන් වගේ නමුත් මෙවැනි දෙයක් සිදුවුණා. අපේ ගමේ පන්සලේ චෛත්‍යයක් තිබුණේ නෑ. එකපාරට ම මිනිස්සුන්ට අවශ්‍ය වුණා චෛත්‍යයක් හදන්න. දායක සභාව රැස්වෙලා චෛත්‍යය හැදීමට විවිධ කාර්යයන් කණ්ඩායම් වශයෙන් බෙදලා දුන්නා. අපේ අම්මා හිටපු කණ්ඩායමට තිබුණේ චෛත්‍යයට මුල්ගල තියන්න ඉංජිනේරු ගඩොල් 150 ක් ලබාදීමට යි. ගඩොල් ගෙන්වන්න ලොකු වියදමක් යන නිසා කොහොමද කරන්නේ කියලා සාකච්ඡා කළා. එතකොට මම කිව්වා අපි ගඩොල් කපලා දෙමු කියලා. කොහොම හරි හැමෝම ඒකට කැමති වුණා. පහුවදා ම ගඩොල් කපන්න තැනක් සූදානම් කළා. පළමුවර මම ගඩොල් කපන්න හදද්දි ගෙවල් ළඟ කාන්තාවක් නෝක්කාඩු කීවා. මම ගෙදර ගිහින් මටත් අවස්ථාවක් එනතුරු බලා සිටියා. මුලදි කට්ටිය පොරකකා ආවත් පහුවෙද්දි කවුරුත් නෑ.

මට ධර්ම දේශනාවකදී අහන්න ලැබුණා භද්‍රාකාපිලානි තෙරණිය එක්තරා ආත්මයක පසේබුදුරජාණන් වහන්සේ නමකගේ පාත්‍රයට මඩ දාලා සමාව ගත් කථාව. මට මෙහෙම හිතුණා. ‘කොතරම් වෙදකම් කළත් මගේ කකුල් හොඳ නොවුණේ මමත් තිසරණයට වරදක් කරලා ඇති. මමත් සමාව ගත යුතුයි’ කියලා. මේක මගේ හිතේ තිබුණා. එක දවසක් මම ගඩොල් කපන තැනට ගියා. එවේලේ වැඩ කර කර හිටියේ එක පිරිමි කෙනයි, කාන්තාවන් තුන් දෙනයි. මගේ අම්මාගේ අතේ තිබුණු උදැල්ල අරගෙන මමත් පස් කැපුවා. දැන් පස් පාගන්නයි සූදානම. මම ගොඩාක් ආශාවෙන් මැටි පෑගුවා. ‘පාගන පාගන මැටි අංශුවක් ගානේ සසරේ මම අතින් තිසරණයට වරදක් වෙලා ඇත්නම් මට සමාව ලැබේවා. ඒ නිසා නම් මගේ කකුල්වලට මෙහෙම වුණේ, අනේ මට හොඳ වේවා!’ කියලා එය ම සිත සිතා මම මැටි පෑගුවා. විශ්වාස කරන්න! අවුරුදු 6 ක් මගේ කකුල් තුවාල වෙවී, බිබිලා දාලා ඒවා කසලා පුපුරලා, ලේ සැරව ගලනවා. මගේ කකුල් කසන්නෙ නැතුව තිබුණ වෙලාවක් නෑ. කසලා නියපොතු සැරට ඒවා දනවා. කායිකව, මානසිකව, සමාජයෙන් අතිවිශාල දුකක් වින්දා. මැටි පාගලා සතියයි මගේ කකුල වේලිලා. වෙනදා මගේ අත්වල, ඇඟේ කොහේ බිබිලක් දැම්මත් එතන තුවාලයක්. මගේ අත් දෙකෙත් ආවා. ඉකිලි කිහිලිවලත් එහෙම තිබුණා. ඒත් දැන් පොඞ්ඩක්වත් එහෙම නෑ. චෛත්‍යය හදලා ඉවර වෙද්දි මගේ රෝගය සුවවෙලා. දැන් පුංචි කැලලක් පමණක් තියෙනවා. ඒක මට ගානක් නෑ. මට විශ්වාසයි එදා මැටි පාගපු දවසේ ඉඳන් තමා මගේ අසනීපය හොඳ වුණේ. මේ බණ පද කියා දෙන ස්වාමීන් වහන්සේලාට පින් සිදු වේවා! අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියගේ කතාව මම මා තුළින් දුටුවා.

තවත් විශේෂ දෙයක් පැවසිය යුතුයි. මා වැඩිවියට පත්වී ටික කලක් ගිය පසු මට දෝෂයක් ඇතිවුණා. එනම් එක් වර ම මට දැඩි නිදිමතක් එනවා. ඒ නිදිමත ආපු ගමන් මගේ ඇස් පියවෙනවා. මගේ මුළු ඇඟ ම ගල් වෙනවා. මට හැරෙන්නවත් බෑ. අඩුම ගානේ මට මගේ ඇඟිල්ලක්වත් හොලවන්න බෑ. මගේ ශරීරය ගල්වෙන මොහොතේ මට දැනෙනවා කවුරුහරි මං ළඟට එනවා කියලා. පේන්නේ නෑ. නමුත් දැනෙනවා. ඒ කෙනා ළං වෙද්දී මගේ කන් දෙක ළඟින් වේගයෙන් හුලං පාරක් යන බවත් මට දැනෙනවා. මොහොතකින් මගේ ඇඟට බරක් දැනෙනවා. පැවසීමට නොහැකි යම් දෙයක් මට සිදුවෙනවා. මම ඇස් ඇරගෙන සිටිද්දිත් මෙය සිදුවෙනවා. මට ඇහිපිල්ලමක්වත් ගහන්න බෑ. විටෙක රාත්‍රී කාලයේත්, විටෙක දහවල් කාලයේත් මෙය සිදුවෙනවා. රාත්‍රී 12.00 ට හෝ 12.00 පසු වී අළුයම් කාලයේදීත් සිදුවෙනවා. ඒ අවස්ථාවේදී ‘ඉතිපි සෝ…’ ගාථාව සිතුවත් එය නැති වුණේ නෑ. කෙසේ නමුත් මෙය සිදුවෙනවාට මං අකැමැති වුණා. ඒ නිසා එය මට වෙන්න යනවා කියලා දැනෙද්දිම මම ෆෝන් එකෙන් රතන සූත්‍ර සජ්ඣායනාව ඇහෙන්නට සැලැස්සුවා. එවිට එය සිදුවන්නේ නෑ. එහෙත් දිනක් එය දැමීමට නොහැකි වූ අවස්ථාවක ආයෙත් ඒ දේ සිදු වුණා. සිතින් බුද්ධං සරණං ගච්ඡාමි කියලම හිතුවා. එක්වරම මට දේශනාවක අහපු උදය ජාතකය මතක් වී මෙලෙස සිතුවා. ‘මගේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේ යශෝදරා උත්තමාවිය සමඟ එක යහනේ අවුරුදු 700 ක් සිටියා රාග සිතක් උපද්දවන්නේ නැතුව බ්‍රහ්මචාරීව. එය සත්‍යය යි…! සත්‍යය යි…!! සත්‍යය යි…!!! එම සත්‍යානුභාවයේ බලයෙන් මෙම දෝෂය නැති වේවා!’. මම එය ම ගැඹුරින් ම හිතුවා. එය සිතුවා පමණයි එක් වර ම මගේ ඇඟ හිරවෙලා තිබුණු, ගල් වෙලා තිබුණු බව නැති වුණා. ඒ වගේ ම මට දැනුනා අර දෝෂය මගේ ඇඟෙන් විසිවෙලා ගිහින් අළුවෙලා ගියා වගේ. නැවත කිසි දවසක මට ඒ දේ සිදු වුනේ නැහැ. මා මේ පැවසූ සියල්ල ම සත්‍යය යි.

මට තිබුණේ කලුකුමාර දෝෂය කියලා මම පස්සෙයි දැනගත්තෙ. මටත් මේ දෝෂය ආවෙ මම ලොකු ළමයෙක් වුණ කාලෙ. ඉස්සර මිනිස්සු ඒ කාලෙට ගෑණු දරුවන්ව ආරක්ෂා කරන්නෙ ඒකයිලු. ඒ දෝෂය ආවාම සමහර ගෑණු ළමයිගෙ ඇඟෙන් ඒ නොපෙනෙන බලවේගය සතුටු වෙනවලු. නොපෙනෙන දෙයක් නිසා ගොඩක් අයට ඒක තේරෙන්නෙ නැහැ. පස්සෙ කාලෙක කුසේ දරුවන් පිළිසිඳ නොගැනීමටත්, දරුවන් ගබ්සා වීමටත් ඒ දෝෂය බලපානවා කියලා මම අහල තියෙනවා. මගේ යාළුවෙකුටත් ඔය ප්‍රශ්නෙ තිබුණා. මම එයාව රුවන්වැලි සෑයට යැව්වා. ජීවිතය පූජා කෙරෙව්වා. මම කළා වගේ සත්‍යක්‍රියා කරලා අංගුලිමාල පිරිත, රතන සූත්‍රය කියලා හැමදාම උදේ හවස පිරිත් පැන් බොන්න කිව්වා. එයා හැමදාම රෑට බුදු පහන තියලා ආලවක පිරිත කියනවා. එයාට දැන් හොඳටම සනීපයි. ඉස්සර එයාට ගොඩක් තරහ ගියා. ෆෝන් එකට අබ්බැහි වෙලා හිටියා. හිතුවක්කාරයි. ගොඩක් නිදාගන්නවා, මූණත් කළු වෙලා තිබුණෙ. සමහර දවස්වලට ඇඟේ හීරුම් පාරවල් තියෙනවලු. දැන් ඒ ඔක්කෝම හරි. අපි අපේ වැරදි හදාගත්තා. අපි පතන්නෙ සත්පුරුෂ ඇසුර ම යි.

තවත් අප වැනි අඳුරු වෙලා තියෙන ජීවිතයකට, අසරණ වෙලා තියෙන ජීවිතයකට ආලෝකයක් ලබා දීම උදෙසායි මා මේ ලිපිය මහාමේඝ පත්තරයට ලියන්න සිතුවේ. ඇත්තෙන්ම මේ ධර්මය පුදුම සහගතයි. මේ ලෝකයේ යමෙක් ලෞකික හෝ ලෝකෝත්තර සැපයක් ලබන්නේ නම් ඒ සියල්ල ම ධර්මයෙන් මිසක් අධර්මය නිසා නොවේ. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ “වාසෙට්ඨයෙනි, මෙලොවත් පරලොවත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වන්නේ ය” කියලා. මේ ධර්මය සංසාර සාගරයෙන් එතෙර වීමට ඇති නෞකාවක් වගේ. තුන් ලෝකයේ ම සියලු රසයන්ට වඩා දහම් රසය යි උතුම්. සියලු උපද්‍රව විනාශ කරන දිව්‍ය ඖෂධයක්. සිතූ සිතූ දේ සිද්ධ කරන සිතුමිණි රුවනක් හා සමානයි. මේ ධර්මය ම යි ආරක්ෂා ස්ථානය. මේ ධර්මය ම යි පිළිසරණ. එනිසා සියලු ම මිනිසුන්ට මේ ධර්මය ම ඇසෙත්වා! මහමෙව්නාවෙන් ඇද හැලෙන ඒ අමා වැස්ස බොහෝ කල් වසීවා! මහමෙව්නාවෙන් ඇසෙන දහම් ඝෝෂාව දස දිසාවේ ම චිරාත් කාලයක් ඇසේවා! යන්න මගේ පැතුම යි.

මම ධර්මය අසන තවත් දියණියක්.

සැමියාගේ නිවන්මගට අකුල් හෙලූ බිරිඳකට අත්වූ ඉරණම – (තවත් එක් සත්‍ය කථාවක්)
සසර කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරනා තුරු අපි සියලු දෙනාට ම යන්න සිද්ධ වෙන අනවරාග්‍ර ගමනක්. මේ සසරේ අපි හැමෝට ම වරදින වෙලාවල් තියෙනවා. ඒත් ජීවිතේ සතුට පිණිස අපි කරන හොඳ වේවා නරක වේවා ඒ හැම ක්‍රියාවක ම විපාකය භූමරංගයක් කැරකී එන ලෙසින් ම අප කරා එනවා. ඒ නිසා, යමක් කළාට පස්සේ කඳුළු පිරුණු මුහුණෙන් ඔබට එහි විපාක විඳින්න වේ නම් එවැනි දෙයක් කිසිම කලක කරන්න එපා!

ඒ නිසා ජීවිතය වරදවා නොගැනීම පිණිසත්, වරදවා ගත් අයට ඉක්මනින් නිවැරදි වීම පිණිසත් ඇගේ කථාව මා ඔබට කියන්නම්.

මේ ලිපිය ලියන මා අනුරාධපුර ප්‍රදේශයේ ආරාමයක පිළිවෙත් පුරන සිල් මෑණියන් වහන්සේනමක්. උන්වහන්සේව මා හට මුණගැහුනේ රුවන්වැලි මහ සෑ මළුවේ දී වන්දනා කරමින් සිටින වෙලාවකයි. බැලූ බැල්මට ම උන්වහන්සේ ලොකු අපහසුතාවයකින් ඉන්න බව තේරුන නිසා ම උන්වහන්සේට සෑ මළුවේ පහසු තැනක වාඩි වෙන්න ඉඩකඩ සකස් කරලා උන්වහන්සේට පැන් ටිකක් වළඳන්න දුන්නා.

උන්වහන්සේගේ කායික අපහසුතාවය අඩුවෙලා වගේ පෙනුන නිසා “මෑණියන් වහන්ස, ඔබ වහන්සේට මොකක් හරි අසනීපයක් තියෙනවා ද? බෙහෙත් මොනවා හරි ගන්නවා ද?” කියලා මම උන්වහන්සේගෙන් ඇහුවා. මම අහපු දේට පිළිතුරක් දෙනවා වෙනුවට මම අසල හිටිය පොඩි මෑණියන් වහන්සේ දිහා බලලා හරි ලස්සනට හිනාවෙලා උන්වහන්සේ මෙහෙම කිවුවා.

“මම ඔබ වහන්සේලා වන්දනා කරන දිහා බලන් හිටියා. දැක්කම ඔබ වහන්සේලා ගැන හරිම සතුටක් දැණුනා. ඔබ වහන්සේලාට ඔය ලැබිල තියෙන වාසනාව වනසා ගන්න එපා. එහෙම වුණොත් ඔබ වහන්සේලාටත් මට වගේ ම මහා දුකක් අත්විඳින්න සිද්ධ වේවි. ඔබ වහන්සේලාට ඔය පැවිදි ජීවිතය රැකගන්නත්, තවත් කෙනෙකුට කවදා හරි දවසක මම අත් විඳින දුක උරුම කර ගන්නේ නැතුව ඉන්නත් මම මගේ කථාව ඔබ වහන්සේලාට කියන්නම්.”

මෙහෙම කියලා උන්වහන්සේ උන්වහන්සේගේ කථාව කියන්න පටන් ගත්තා.

“මෑණියන් වහන්ස, මගේ ගම ගාල්ල. මම පැවිදි වෙලා දැනට අවුරුදු 12කුත් පහු වෙලා. හැබැයි මේ අවුරුදු 12 පුරාවට මම ආරාමේ ඉන්නවාට වඩා හිටියේ ඉස්පිරිතාලේ. නැත්නම් ගෙදර. මම උසස්පෙළ කරන කාලේ තමා මටත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අහන්ට ලැබුණේ. ඒ ධර්මය අහනකොට මටත් පැවිදි වෙන්න ආසා හිතුණා. සසරින් නිදහස් වෙන්න ඕන කියලා හිතුණා. ඒත් තාත්තා ඒකට එකහෙළා ම විරුද්ධ වුණා.

ඔහොම කාලයක් යනකොට හදිසියේ ම තාත්තා නෑදෑයෝ හැමෝටම එන්න කියලා අපේ ගෙදර පිරිතක් කියෙව්වා. එදා රෑ තාත්තා මාව ළඟට අරගෙන ‘පුතේ ඔයා හොයන සතුට තියෙන්නේ පැවිදි ජීවිතය තුළ නම් ඔයාගේ ඒ සතුට මම නැති කරන්නේ නෑ. කොහේ හිටියත් මගේ පුතා සතුටින් ඉන්න ඕනෑ.’ කියලා කිවුවා. ඊට දවස් 2,3 කට පස්සේ මල් ආසනයකට මලක් පූජා කරනවා වගේ මගේ අම්මයි තාත්තයි අපේ ආරාමේ ලොකු මෑණියන් වහන්සේට මාව භාර දුන්නා.

මම අවුරුද්දක් විතර ඒ ආරාමේ උපාසිකාවක් විදිහට වත් පිළිවෙත් සම්පූර්ණ කළා ම ගාල්ලේ නිරෝධා කියන නමින් අපේ ලොකු මෑණියන් වහන්සේ මාව පැවිදි කළා. මෑණියන් වහන්ස, අපේ ආරාමේ වයසින් වැඩි අසනීප මෑණියන් වහන්සේලා කීප දෙනෙක් ම ඉන්නවා. මම උන්වහන්සේලාට උපස්ථාන කරන්න හරි ම ආසයි. උපාසිකාවක් විදිහට ඉන්නකොට වගේ ම පැවිදි වුණාට පස්සෙත් මම උන්වහන්සේලාට උපස්ථාන කළා. ඒ වගේ ම ආරාමෙ තියෙන හැම වත පිළිවෙතකට ම මම උදව් කළා. මෑණියන් වහන්ස, මේ පැවිදි ජීවිතේට මම හරිම ආදරෙයි. වන්දනාමාන කටයුතු, ධර්ම දේශනා, ආරාමේ පිරිසිදු කිරීම්… ආදී කටයුතු කරන අතරේ මගේ ධර්ම මාර්ගයත් මම දියුණු කර ගත්තා.

ආරාමෙට දුකක් කියාගෙන එන කිසිම කෙනෙක් ව කඳුළු පිරුණු ඇස්වලින් මම යැවුවේ නෑ. ඒ හැම කෙනාට ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හිත හදාගන්න විදිහ මම කියලා දුන්නා. මෑණියන් වහන්ස, අපේ විහාරේ, බෝධි මළුවේ වත් පිළිවෙත් කළා ම, ආරාමේ මෑණියන් වහන්සේලාට උපකාර කළා ම, කාට හරි දහම් කාරණයක් කියලා දුන්නා ම ඒ පින ගැන මට හරිම සතුටක් දැනෙනවා. ඒ පින සිහිකරමින් තමයි මම හිත සමාධිමත් කළේ. මම ඒ විදිහට ගොඩක් සතුටින් තමයි ආරාමේ හිටියේ. ඒත් අවුරුදු 3ක් යනකොට ඒ හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ මට හැදුන බඬේ අමාරුවක් එක්ක. මුල් කාලේ වේදනාව වැඩිය දැණුනේ නැතත් අන්තිමට ඉවසන්න බැරි තරමේ වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. ඒ වේදනාව වැඩි වෙනකොට වමනය යන්න පටන් ගත්තා.

මුල දී නම් ‘ගැස්ට්‍රයිටීස්’ රෝගය කියලා බෙහෙත් කරපු වෛද්‍යවරු බඬේ සැත්කමක් කළා. ඒ සැත්කම නිසා ම මාස ගණනක් මට රෝහලේ ඉන්න සිද්ධ වුණා. සැත්කමෙන් පස්සේ ආරාමෙට ඇවිත් ටික දවසක් යනකොට ආයෙම බඬේ අමාරුව වැඩි වෙන්න පටන් ගත්ත නිසා ආයෙ සැරයක් මාව රෝහල්ගත කළා.

මෑණියන් වහන්ස, ඒ බඬේ අමාරුව වැඩි වෙනකොට මට කිසිම දෙයක් වළඳන්න බැරිවෙනවා. දානෙ වළඳනකොට ඒ වේදනාව වැඩිවෙන්න පටන් ගන්නවා. අන්තිමට වෙන්නේ බඩගින්න වැඩි වෙලා ම නැගිට ගන්න බැරිවෙන තරමට මම දුර්වල වෙන එක.

මට බඩගින්නට මොනවා හරි වළඳන්න ඕන වුණත් ඒ වේදනාව නිසා ම මට කිසි දෙයක් වළඳගන්න බෑ. බඬේ වේදනාව වැඩිවෙනකොට වෛද්‍යවරුන් වේදනානාශක පැය 4න් 4ට දෙන්න තීරණය කළා. ටික දවසක් යනකොට ඒ එන්නත් කරපු බෙහෙත්වලට ම මට සිහි නැති වෙන්න පටන් ගත්තා. මගේ ජීවිතේටත් අනතුරක් වෙයි කියලා හිතලා ආරාමේ මෑණියන් වහන්සේලා ගෙදර අයත් එක්ක ටිකට් කපවාගෙන ගෙදරට එකතු කරන් ආවා. මෑණියන් වහන්ස, එදා පයින් ඇවිදගෙන ඉස්පිරිතාලෙට ගියපු මම ආපහු ආවේ රෝද පුටුවෙන්. ඒ තරමට මම දුර්වල වෙලා ගියා. ටික දවසකින් ආයෙම ආරාමෙට වැඩියත් කලින් වගේ මට කිසි දෙයක් කර ගන්න පුළුවන් වුණේ නෑ.

ඔය අතරෙ ම තමා තද ඔළුවේ අමාරුවක් හැදුණේ. මෑණියන් වහන්ස, ඒ ඔළුවේ රදය සමහරවිට එක දිගට දවස් 8, 10 එක විදිහට තියෙනවා. සමහරදාට හිසට කොට්ටය තියන්නවත් බැරි තරම් වේදනාවක් දැනෙනවා. ඒත් එක්කම වගේ නින්ද යන්නේ නැති වෙන්න පටන් ගත්තා. පොඩි මෑණියන් වහන්ස, සමහර දවස්වල දවස් 6, 7 මම නිදාගෙන නෑ. නින්ද ගියත් හරියට ම රෑ දොළහ කිට්ටු වෙන්න නැගිට්ටෙනවා. ඊට පස්සේ එතන ඉඳලා නිදි නෑ. මේ හැමදේම නිසා ම මාව තව තවත් දුර්වල වෙන්න පටන් ගත්තා.

මෑණියන් වහන්ස, සමහර දවස්වලට මට ඇවිදගෙන වැසිකිළියට යන්න බෑ. ඉඳගෙන, හිටගෙන විතරක් නෙමෙයි සැතපිලාවත් ඉන්න බැරි තරමට මේ කය ම වේදනාවෙන් ඇදුම් කන්න පටන් ගන්නවා. සමහරදාට පැන් පහසු වෙන්න හිටගෙනවත් ඉන්න බෑ. අඩුම තරමේ පාත්තරේට ගේන දානේ එක අනාගන්න මට බැරි වෙනවා. ඒ හැම වෙලාවෙ ම ආරාමේ මෑණියන් වහන්සේලා මට උදව් කළා. වේදනාව යටපත් වෙලා මම දහම් පොතක් කියවන්න පටන් ගන්නකොට ආයෙම මේ අසනීපය වැඩිවෙන්න පටන් ගන්නවා. දවසක් නැගිටලා හිටියොත් සති 2, 3ක් ම ඇඳේ වැටිලා. මෑණියන් වහන්ස, සමහර වෙලාවට මේ දෑත් එකට බැඳලා මගේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න මට බෑ.

ඒ විතරක් ම නෙමෙයි, ඉස්සර ඉක්මනින් ම සමාධිමත් වෙන මේ හිතට අද ඇස් වහගෙන බුදුගුණයක් හිතනකොට කවදාවත් හිතලා නැති සිතුවිලි එන්න පටන් ගන්නවා. හරියට කරාමයකින් වතුර ගලාගෙන එනවා වගේ. එක එක සිතුවිලි ගලාගෙන එනවා. ඒ ස්වභාවය අසාමාන්‍යයි කියලා තේරෙනකොට මම හිතුවේ මට මානසික රෝගයක් වැළඳිලා කියලා. එක එක තැන්වලින් බෙහෙත් කළත් ටික දවසක් යනකොට අඩුවෙලා ආයෙම අසනීප තත්ත්වය වැඩිවෙනවා. එහෙම නැත්නම් බෙහෙත් කරන අයට මොකක් හරි කරදරයක් වෙනවා. ඔය විදිහට තමා මෑණියන් වහන්ස මේ ජීවිතේ අදටත් ජීවත් වෙන්නේ.

මෑණියන් වහන්ස, ඔය අතරේ ආරාමයට ලැබුණ පණිවිඩයකින් අපි ඈත පළාතක එක වෙද මහත්තයෙක් ළඟට බෙහෙත් ගන්න ගියා. එදා ඒ වෙද මහත්තයා ළඟදි අමුතු හඬකින් කෙනෙක් කතාකරන්න පටන් ගත්තා.

“වෙද මහත්තයෝ මෙයාට කියන්න කොහෙන් බෙහෙත් කළත් ඔය අසනීපය අඩුවෙන්නෙ නෑ කියලා. මොකද ඔය හැම වේදනාව ම ඇති කරන්නේ මමයි. මේකි නිසා මට හැමදේම නැති වුණා. කල්‍යාණ මිත්‍රයෝ මට අහිමි වුණා. ධර්මය අහිමි වුණා. පින් රැස් කරන මාර්ගය අහිමි වුණා. සංඝයා ඇසුරු කරන්න මට නැති වුණා. බුද්ධ ශාසනයේ සිවුරක් දාගන්න මට තිබුණ අවස්ථාව නැති වුණා. අන්තිමට මේකි නිසා මට මගේ ක්ෂණ සම්පත්තිය ම අහිමි වෙලා ගියා.

දැන් මම යක්ෂ ලෝකයේ ඉපදුණ යක්ෂයෙක්.

මම තමයි කලින් ජීවිතේ මෙයාගේ ස්වාමියා. ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබළනවා. මම හරි ආසාවෙන් සංඝයා ඇසුරු කළා. නිතර නිතර ම ඒ උත්තමයෝ ඇසුරෙම මම පින් කළා. අපි නිතර ම උන්වහන්සේලාගෙන් ධර්මය අහුවා. ඒ ධර්මය ඇහෙන්න ඇහෙන්න මට ගිහි ජීවිතේ ආදීනව ම යි පෙනුනේ. මමත් පැවිදි වෙන්න යන්න තීරණය කළා. ඒත් ඒ හැමදේම මේකි නිසා වෙනස් වුණා. මේකි කරන්න පුළුවන් හැමදේම කරලා මගේ ඒ ගමන වැළැක්කුවා. පැවිදි වෙන්න මොනතරම් ඕන වුණත් එක එක දේවල් කියලා ගිහි ජීවිතේ බැඳීම්වලින් මාව හිර කළා.

ඒත් මං පින් රැස් කළා. ගිහි ජීවිතේ ජීවත් වෙන්න දුක් විඳින හැම වෙලාවක ම ‘මගේ බිරිඳ නිසා නේ ද අද මම මේ දුක විඳින්නේ’ කියලා මට මතක් වුණා. සංඝයා දකින වාරයක් පාසා සංසාරයෙන් නිදහස් වීම වෙනුවෙන් මේ ඇස්වලින් අඬපු වාර ගාණ ගණන් කරන්න බෑ. මේ කෙනා නිසා මම ගිහි ජීවිතේට හිරවෙලා වින්ද පීඩාව අප්‍රමාණයි.

මේ කෙනා නිසා මට බඹසර සිල් රකින්න බැරි වුණා. මම හැමදාම ඒ ගැන දුක් වුණා. අන්තිමට ඒ දුක, වෛරය නිසා ම මට මගේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙලා ගියා. අද මම වෙසමුණි දෙවියන්ගේ යක්ෂයෙක් වෙලයි ඉන්නේ. මම උන්වහන්සේට බැල මෙහෙවර කරලා මට වුණ අසාධාරණයට සාධාරණයක් කරලා දෙන්න කියලා ඉල්ලුවා. උන්වහන්සේ මට මෑගෙන් සාධාරණයක් ඉෂ්ට කර ගන්න ඉඩ දුන්නා. ඒ හින්දා දැන් කාටවත් මෙයා බේරගන්න බෑ. අද මේකි සිවුරක් දාගෙන දුක් විඳ විඳ ඒ පැවිද්දේ එල්ලිලා ඉන්නවා වගේ ම යි එදා මම පිරිමියෙක් වෙලා ඒ පැවිදි උපසම්පදාවට ආසා කළේ. මේ කෙනා මට ඒක නැති කළා. සංඝයාට උපස්ථාන කරන්න, සිල් රකින්න, බණක් භාවනාවක් කර ගන්න, බුදු ගුණයක් කියලා මගේ ශාස්තෘන් වහන්සේට වන්දනා කරන්න මම ආසා කරනකොට ඒ හැමදේම මෑ වැළැක්කුවා. මට පැවිදි වෙන්න ඉඩදෙන්න කියලා මම කියද්දි ම මෑ මාව ගිහි ජීවිතේ ඇතුළේ හිර කළා. දැන් මම සංසාරෙට වැටුන කෙනෙක්.

මේකි නිසා මට මගේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙලා තියෙද්දි මම කොහොමද මෙයාට විතරක් සසරින් එතෙර වෙන්න දෙන්නේ. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. ටික ටික විඳවන්න දීලා මට හැමදේම නැති වුණා වගේ ම මෙයා ව දුර්වල කර කර මෙයාටත් හැමදේම මම නැති කරනවා. මෙයාවත් පීඩාවට පත් කරලා පින් කරන්න තියෙන හැම අවස්ථාව ම මම නැති කරනවා. හරියට එදා මට කළා වගේ ම. ඒ හින්දා වෙද මහත්තයෝ මෑට කියන්න මට වුණ අසාධාරණයට සාධාරණයක් ඉෂ්ටකර ගන්නකල් ම මේක නතර වෙන්නේ නෑ කියලා.” එහෙම කියපු කෙනා නිහඬ වුණා.

මෑණියන් වහන්ස, ගහක් යට වාඩිවෙලා, බුදු ගුණයක් හිතලා අනිත්‍ය මෙනෙහි කරලා, අනික් අයට පින් සිද්ධ වෙන්න දානෙකට වැඩලා, සංඝයා වහන්සේලාට උපස්ථානයක් කරලා, කාගෙ හරි හිතක් හැදෙන්න බණ පදයක් කියලා දෙන්න මටත් හරිම ආසයි. ඒත් අද ඒ හැමදේම මට අහිමි වෙලා. මාව දුර්වල වෙවී යන විදිහ මට දැනෙනවා. මේ හැමදේම මම විඳින්නේ හිතට ආව පුංචි සිතිවිල්ලක් නිසා මගේ ම අතින් වුණ වැරැද්දටයි. ඉතින් ඒ නිසා මම තවත් කෙනෙක් ගැන වෛරයක් ඇතිකර ගන්නේ කොහොමද?

ඒ නිසා මෑණියන් වහන්ස, මම මේ කථාව ඔබ වහන්සේලාට කිව්වේ මගේ අතින් වුණ වැරැද්ද ඔබ වහන්සේලා අතින් නොවෙන්න. මොකද ආරාමෙදි වුණත් ඔබ වහන්සේලා අතරේ හරි, උපාසිකාවෝ එක්ක හරි, චූටි චූටි අමනාපකම් ඇතිවෙන්න පුළුවන්. ඒත් මොනතරම් හිත් අමනාපකම් ඇති වුණත් කවදාවත් කිසිම කෙනෙකුට පැවිදි ජීවිතයට, ධර්ම මාර්ගයට පින් රැස්කර ගන්න තියෙන අවස්ථාවකට පීඩාවක් කරදරයක් වෙන වචනයක්වත් කියන්න එපා. මෑණි කෙනෙක්ට හරි, උපාසිකාවක්ට හරි කිසිම කෙනෙක්ට ඒ පින් රැස්කර ගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යන දෙයක් කරන්න එපා.

මොකද අපි කරන පුංචි දේකින් කෙනෙකුගේ ක්ෂණ සම්පත අහිමි වුණොත් ඒ වැරැද්ද අපි ළඟට එන්නේ අපිත් සසරින් නිදහස් වෙන්න ඕන කියලා කෙලෙස් යුද්ධයකට සපථ කළ දවසකට යි. එදාට අපිට හිතාගන්න බැරි විදිහටයි අපේ සසර ගමන ම වෙනස් වෙන්නේ. ඒ නිසා මෑණියන් වහන්ස, ඔබ වහන්සේලා පුළුවන් නම් මේ වැරැද්දෙන් බේරෙන්න. ඔබ වහන්සේලාට පුළුවන් නම් මගේ කතාව කියලා තවත් කෙනෙක්ට මට වුණ දේ වෙන එකෙන් බේර ගන්න.

මොකද මම දැකලා තියෙනවා සමහර දරුවෝ දූලා පුතාලා පැවිදි වෙන්න ඕන කියලා කියනකොට සමහර අම්මලා තාත්තලා නැත්නම් ඒ කෙනාගෙ ම ස්වාමියා නැත්නම් බිරිඳ, එහෙම නැත්නම් යාළුවෝ ගුරුකම් කරලා යන්ත්‍ර මන්ත්‍ර කරලා වශී කරලා ඒ අය පැවිදි වෙන්න යන එක නවත්තනවා. සමහර අම්මලා තාත්තලා නැත්නම් නෑදෑයෝ ඒක කරන්නේ තමන්ගේ දරුවට තියෙන ආදරය නිසා. නැත්නම් සැමියට බිරිඳට තියෙන ආදරයට. ඒත් පුංචි බැඳීමකට රැවටිලා අපිට පුංචි සතුටක් ලැබුණත්, ‘කරන කලට පව් මිහිරි ය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ…”

ඒ නිසා මේ ලිපිය කියවන ඔබෙන් ඉල්ලන්නේ ඔබේ අම්මා තාත්තා වේවා දුව පුතා වේවා බිරිඳ සැමියා වේවා කවුරුන් හරි කෙනෙක් දහමේ හැසිරෙන්න, පින් රැස් කරන්න ආසා කරනවා නම් ඒ මඟට බාධාවක් වෙන්නට ඔබ කාටවත් සිත් පහළ නොවේවා…!

සීල සමාධි ප්‍රඥා වඩමින් බුදු සසුනක මග ඵල පසක් කරන්නට ආසා කරන කෙනෙකුට ඔබෙන් උපකාරයක් මිස කිසිම කලෙකත් අනුපකාරයක් ඇති නොවේවා…! දෙව් බඹුන් වන්දනා කරන උතුම් පැවිදි දිවියක් පතනා කෙනෙකුගේ ගමනට ඔබෙන් ආශීර්වාදයක් මිස බාධාවක් නොවේවා…!

(නම් ගම් සියල්ල මනඃකල්පිතයි.)

සටහන

– සිල් මෑණියන් වහන්සේ නමක් විසිනි

බියකරු ද මේ සසර මෙතරම්…!
ත්‍රෛලෝකානුකම්පිත වූ අපගේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වදාළේ මේ කාමයන් කාලයට අයිතියි කියලා. බොහෝ දුක් සහිතයි කියලා. බොහෝ පීඩා සහිතයි කියලා. ඒ කාමය තුළ කරදර ගොඩක් තියෙනවා කියලා ම යි. එය නම් හැබෑම සත්‍යයක්.

මම උපත ලබන්නේ ගම්පහ පැත්තේ පුංචි ගම්මානයක. ඒත් මම මනුස්ස ලෝකෙ ඉපදුණේ තාත්තෙක් නැති දරුවෙක් විදියට. මගේ තාත්තා අම්මවයි, මාවයි දාලා ගිහින්. මම හිතුවේ පිය සෙනෙහස ලබන්න තරම් මට පිනක් නැතුව ඇති කියලා. ඒත් මගේ අම්මා මට රත්තරන් අම්මා කෙනෙක්.

අප්පෙක් නැති දරුවෙක් හදන්න බෑ කියලා මගේ අම්මා මාව මරලා දැම්මේ නෑ. මම පණ වගේ ආදරයෙන් හදා ගත්තා. අපි හිටියේ කුලී ගෙදරක. ඒ ගෙදර මමයි, අම්මයි, ආච්චියි එකට ජීවත් වුණේ. අපේ අම්මා අපිව ජීවත් කරන්න කුලී වැඩ කළා. අපිට හරියට කෑමක් නෑ. උදේට රොටී කෑල්ලක් කාලා ඉස්කෝලේ යනවා. ගෙදර ආවාම දවල්ට ආච්චි බතල තම්බලා තියෙනවා. අනේ මං බතල කන්න කැමති නෑ. එදාට මම කහට උගුරක් බීලා පොතක් බලනවා. රෑට තමා ඉතිං මොනවහරි ටිකක් බඩට දාගන්නේ.

ඉතිං මම ගෑනු ළමයෙක්නේ. අම්මා මට කීවේ සඳලි කියලා. මේ වෙනකොට මට වයස අවුරුදු 15ක් වෙනවා. දැන් මම සා/පෙළ විභාගයට ලෑස්ති වෙනවා. ඒත් එක දවසක් මගේ රත්තරන් අම්මා මාව තුරුලු කරන් මෙහෙම කීවා. “මගේ සුදු දුවේ, දැන් ඔයා ලොකු ළමයෙක්නේ. සා/පෙළ විභාගයත් ළඟයි. මම කැමතියි මගේ සුදු දුව කවදාහරි දොස්තර නෝනා කෙනෙක් වෙනවා දකින්න. ඒත් මගේ සුදු මැණිකෙට ඉගෙන ගන්න මුදල් ඕනේ. ඒක නිසා මම හිතනවා රට යන්න. මම රට ගිහින් මගේ දුවට ඉගෙන ගන්න සල්ලි එවන්නම්. මගේ දුව ව ආච්චි අම්මා බලා ගනියි.”

අම්මා එහෙම කියනකොට මට ගොඩාක් දුක හිතුණා. මගේ ඇස්වලින් කඳුළු ගලන්න ගත්තා. පිය සෙනෙහස නැති මට දැන් අම්මාගේ ආදරයත් අහිමි වෙන්න යනවාදෝ කියලා හිතුණා. “අනේ මගේ රත්තරන් අම්මේ අපි පුළුවන් විදියකට ජීවත් වෙමු. අම්මා රට යන්න ඕනි නෑ” කියලා අම්මට කීවත් ඊට මාස කීපයකට පස්සේ අම්මා අපිව දාලා ගෘහ සේවයට රට ගියා. එදා නම් මට හිතුණේ දැන් මම මේ ලෝකේ තනි වුණා කියලා. අම්මා මාව දාලා ගිය දුකට මම රෑට කෑවෙත් නෑ. මම එදා ඇඳට වෙලා හොඳටම ඇඬුවා. මට එහෙමම නින්ද ගිහින්. උදේ ආච්චි අම්මා මාව ඇහැරවලා ඉස්කෝලේ ඇරියා.

මම ගෙදර ආවට පස්සේ ආච්චි කීවා “දුවේ, පුංචි අම්මා කීවා අපිට එහෙට එන්න කියලා. උඹ යන්න කැමතියි ද?” ඒක අහනකොට මට සතුටු හිතුණා. මොකද එහෙ මට අවුරුදු දෙකක් බාල නංගියෙක් ඉන්නවා. “ආච්චියේ, අපි එහෙට යමු. මම කැමතියි.” ඊට පස්සේ අපි ඒ කුලී ගෙදරින් පුංචිලාගේ ගෙදරට ගියා. ඒ මගේ අම්මාගේ නංගි. ඒ ගෙදර බාප්පයි, පුංචියි, සුමුදු නංගියි හිටියේ.

දැන් මමයි, සුමුදු නංගියි එකට ඉස්කෝලේ යන්නේ. පුංචි අපිට ආදරයෙන් සැලකුවා. අම්මාත් දැන් මට ඉගෙන ගන්න මුදල් එවනවා. නිතර කථාත් කරනවා. ඒත් එක දවසක් මම ටී. වී. එක බලන් ඉන්නකොට බාප්පා ඇවිත් මගේ ළඟින් වාඩි වුණා. ඊට පස්සේ මගේ දිහා එයා නරක විදියට බලන්න පටන් ගත්තා. ඒත් මට හිතුණා මම වගේ ම දුවක් බාප්පටත් ඉන්න නිසා මට කරදරයක් කරන්නේ නැති වෙයි කියලා.

ඒ වෙනකොට මම ඉගෙන ගන්නේ එකොළහ වසරේ. මම දැන් ටිකක් ලොකු ළමයෙක්නේ. අපේ අම්මා හරිම ලස්සනයි. ඒ නිසා ම ද මන්දා මමත් ගොඩක් ලස්සන කෙල්ලෙක්ලු කියලා පුංචි මට කියනවා. මම එතකොට පුංචිට හොරෙන් කණ්නාඩිය ළඟට ගිහින් රවුමක් කැරකිලා බලනවා. මම හිතුවේ ඒක මගේ වාසනාවට ලැබුණු දෙයක් කියලා.

ඒත් බාප්පගේ නරක බැල්මත් එක්ක නම් මට හිතුණේ ඒක මගේ අවාසනාවක්දෝ කියලා. බාප්පගේ මේ නරක හැසිරීම පුංචි දැන ගත්තා. එතකොට මට හොඳට ම බැණ්නා, “උඹ අපේ පවුල විනාශ කරන්න හදනවා ද?” කියලා. මම කාමරයට ගිහින් අඬනවා ඇරෙන්න වෙන මොනවා කරන්න ද? අම්මාවත් මගේ ළඟ හිටියා නම් මගේ ඔළුව අත ගාලා මාව සනසවනවනේ කියලා හිතුණා.

දෙමව්පියන්ගේ ආදරය, කරුණාව නොලැබෙන දරුවෙක් ඒ අඩුව පුරවගන්න තව කාගෙන් හරි ඒ ආදරය බලාපොරොත්තු වෙනවා. දවසක් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට පාරෙදි අයියා කෙනෙක් මුණගැහුණා. එයා මට ගොඩාක් ආදරෙන් කතා කළා. එයා මගෙන් යාළුවෙන්න ඇහුවා. එයාගේ නම අසංක. මව්පිය සෙනෙහස නොලැබෙන මගේ ජීවිතයට දැන් ලැබෙන්නේ පුංචි අම්මාගේ බැණුනුත්, බාප්පාගේ නරක බැල්මත් විතරයි. ඒ අහිමි වුණ සෙනෙහස අසංක අයියගෙන් ලැබේවි කියා මම හිතුවා. මම එයාට මගේ කැමැත්ත දුන්නා.

කටට රහට බඩ පිරෙන්න කෑමක් කන්න නොලැබෙන, ලස්සන ගවුමක් අඳින්න නැති, දුක හිතිලා අඬනකොට මගේ ඔළුව අත ගාලා මාව සනසවන්න අම්මා තාත්තා ළඟ නැති මගේ ජීවිතේ හරියට උපතින් ම අන්ධ මනුස්සයෙක් මේ ලෝකේ මොන වගේ ද කියලාවත් දන්නෙ නෑ වගේ. මමත් මට නොලැබෙන ආදරය ම හොය හොයා ගියා. මම හිතුවා අසංක අයියාගෙන් ඒ ආදරය ලැබේවි කියලා. මම හැමදාම ඉස්කෝලේ ඇරිලා එනකොට එයා බයික් එකකින් මාව බලන්න ආවා.

ඔහොම යනකොට දවසක් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා. එදා ආච්චි සමිතියේ රැස්වීමකට ගිහින්. පුංචියි, සුමුදු නංගියි ටවුමට ගිහින් හිටියේ. මම බාත්රූම් එකට ගිහින් නාගෙන එළියට එනකොට බාප්පා එතනට ආවා. එයා මගේ අතින් අල්ලගෙන මාව ඇදන් ගියා. “අනේ! බාප්පේ, මම ඔයාගේ දුව වගේ නේ ද? අනේ මට කරදර කරන්න එපා” කියලා මම කෑගැහුවා. රට ඉන්න මගේ අම්මට ඇහෙන්න තරම් මම කෑගැහුවා, “ඔයාගේ පුංචි දෝණිව බේරගන්න” කියලා. ඒත් ඒක මගේ අම්මට ඇහෙන්න නැතුව ඇති. ලස්සනට මල් පිපුණ මානෙල් විලක් රාස්සයෙක් අරක් ගත්තා වගේ බාප්පා මගේ ජීවිතය විනාශ කරලා දැම්මා. අනේ! දෙයියනේ මම මෙච්චරට ම පවුකාරියක් ද? ඇයි මම මේ ලෝකෙට ඉපදුණේ කියලා මට හිතුණා.

“ආච්චියේ, ඔයාගේ සුදු දුව ව බාප්පා විනාශ කළා” කියලා මම ආච්චි ව තුරුලු කරන් අඬන්න ගත්තා. “ආයෙමත් මගේ දුවට එහෙම දෙයක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ. මම උඹව පණ වගේ රැක ගන්නවා” කියලා ආච්චි මට කීවා.

එදා ඉඳලා මම කෑම කෑවේ නෑ. ඉස්කෝලේ ගියෙත් නෑ. අඩුම තරමේ කාමරයෙන් එළියටවත් ආවේ නෑ. මුළු දවස ම කාමරයට වෙලා ඇඬුවා. මට මේ වුණ දේ මේ ලෝකේ කිසි දරුවෙකුට නම් වෙන්න එපා. ඒ පුංචි හිත්වලට මේ දුක දරාගන්න බැරි වෙයි දෙවියනේ. පුංචිලාගේ ගෙදර හැමෝම මේක හැංගුවා. අම්මටවත් කියන්න දුන්නේ නෑ. බාප්පගේ කටහඬ ඇහෙනකොටත් මගෙ පපුව පිච්චෙනවා. මම තීරණයක් ගත්තා.

මම අසංක අයියත් එක්ක පැනලා යනවා. ඔව් මට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඒක විතරයි. මම පහුවදා සුමුදු නංගිත් එක්ක ඉස්කෝලේ ගියා. පාරෙදි අසංක අයියා මාව එක්ක යන්න ආවා. “සුමුදු, ආච්චිට කියන්න මම ගියා කියලා.” මම අසංක අයියගේ බයික් එකට නැගලා ගියා. එයා මාව එක්කගෙන ගියේ බෝඩිමකට. ටික කාලයක් යනකොට මම දැනගත්තා එයා බැඳපු කෙනෙක් කියලා. ඒ වෙනකොට මම අම්මා කෙනෙක් වෙන්න යනවා. මගේ කුසේ මාසයක් වෙන දරුවෙක් ඉන්නවා. මම හිතුවේ නිරයේ පිච්චි පිච්චි හිටපු මාව අසංක අයියා දෙව්ලොව එක්ක ගියා වගේ කියලා. ඒත් මට වුණේ කබලෙන් ළිපට වැටුනා වගේ දෙයක්.

ඇයි දෙවියනේ මම ගෑනියෙක් වෙලා ඉපදුණේ. මම මෙච්චර දුක් විඳින්න මම කරපු පව මොකක්ද කියලා මම ඇඬුවා. මට දුක ඉවසගන්න බැරි වෙනකොට ලේ එනකම් ම මගේ ඔළුව බිත්තියේ ගහගන්නවා. මට මැරෙන්න හිතුණත් මගේ දරු පැටියා නිසා මම ආයෙමත් ජීවත් වුණා.

මම ආපහු බාප්පලාගේ ගෙදර ආවා. ආච්චිට මම හැමදේම කීවා. “දුවේ උඹ අඬන්නෙපා. මම ඔය දරු පැටියව හදා ගන්නවා. උඹ මෙහෙට වෙලා හිටපන්.” කියලා මාව ගේ ඇතුළට එක්ක ගියා. මම දුක තද කරන් මැරි මැරී ඉපදුණා. අනේ මගෙ අම්මා හිටියා නම් මට මෙහෙම වෙන්නෙ නෑනේ කියලා හිතුණා.

ආයෙමත් දවසක මම කාමරය ඇතුළට වෙලා ඉන්නකොට බාප්පා ආයෙමත් මට කරදර කරන්න හැදුවා. මගේ අවාසනාවට එදත් ඒ ගෙදර කවුරුත් හිටියේ නෑ. මම හොඳටම කෑ ගැහුවා. ඊට පස්සේ බාප්පා මට හොඳට ම ගැහුවා. බිම පෙරළගෙන මට ගැහුවා. මට සිහි නැති වුණා. ආයෙමත් මට සිහි එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ ඇඳක දාලා. සිහි ඇවිත් බලනකොට මගේ බඬේ අමුත්තක් මට තේරුනා. ළඟ ආච්චි හිටියා. “අනේ ආච්චියේ, මගේ දරු පැටියා කොහෙද? එයා හොඳින් ඉන්නව ද? කෝ එයා මට බලන්න ඕන ආච්චියේ” කියලා මම කෑගැහුවා.

“මගේ දුව වැටෙනකොට දරුවා නැති වෙලා. එයා නැති වුණා මගේ දුවේ” කියලා කියනකොට මගේ පපුවේ පත්තු වුණ ගින්දරට මම මැරෙයිදෝ කියලා හිතුණා. දරු සෙනෙහස කියන්නේ මොකක්ද කියලා අම්මා කෙනෙකුට දැනෙන හැඟීම එදා මටත් දැනුණා. බාප්පා කියලා තිබුණේ මම පඩිපෙළෙන් වැටිලා මගේ දරුවා නැති වුණා කියලා. ඒත් ඇත්ත දන්නේ මම විතරයි. මම අම්මට කතා කළා. එයා මාසයකින් එනවා කීවා.

වෙඬරු පිඬකට කළු ගලක් දරා ගන්න බෑ වගේ මගේ මේ පුංචි හදවතට මේ තරම් දුකක් දරා ගන්න බෑ. ඒකට තවම මම පුංචි වැඩියි මගේ සුදු අම්මේ. අඳුරු ගුහාවකට කළු ගලක් වැටිලා ඒ ගුහාව සදහට ම අඳුරු වෙලා ගියා වගේ මගේ ජීවිතෙත් දැන් සඳහට ම අඳුරුයි කියලා මට හිතුණා.

මට තවත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ නෑ. ඔව් මම මැරෙනවා. මම මැරිලා මට මේ අපරාධය කරපු බාප්පගෙන් පළි ගන්නවා. ඔව් මම තොපේ මුළු පවුලෙන් ම පළි ගන්නවා. මම ඇවිත් තොපි ඔක්කොම මරලා දානවා. මගේ ජීවිතේ විනාශ කරලා දැම්මට මමත් උඹලගේ ජීවිත විනාශ කරලා දානවා. මම වටපිට බැලුවා. ආච්චි පේන්න නෑ. අල්මාරියෙන් සාරියක් අතට ගත්තා. මම උඩ තට්ටුවේ කොරිඩෝවේ තියෙන අත්වැට ළඟට ගියා. සාරියේ එක පැත්තක් අත් වැටේ ගැට ගහලා අනිත් පැත්තේ තොණ්ඩුවක් හදලා බෙල්ලට දා ගත්තා. “මගේ රත්තරන් අම්මේ, මට සමාවෙන්න. ඔයාගේ සුදු දෝණි ඔයාව දාලා යන්න යනවා. ඒත් බාප්පේ, මම උඹගෙන් පළිගන්න ආයෙමත් එනවා.” මම උඩ තට්ටුවෙන් බිමට පැන්නා. සාරිපොට බෙල්ලේ තදින් ම හිර වුණා. මේ ලෝකෙන් මම සමු ගත්තා.

ටික කලකට පසු:

අනේ මම මේ කොහෙද ඉන්නේ. අනේ මගේ ලස්සන රූපේ දැන් මට නෑ. රත්තරන් පාටට තිබුණ සම. මගේ ලස්සන කොණ්ඬේ. කෝ දැන් ඒවා. ඇස් රතු පාටයි. මට මාව ම පිළිකුල්. මාව මේ තත්ත්වෙට පත් කළේ මගේ බාප්පා. කෝ දැන් ඒකා? කෝ? ආ… මේ ඉන්නේ. මම සුමුදු නංගිගේ ඇඟට වැහුණා. කොණ්ඬේ කඩා ගත්තා. “හහ් හහ් හා! හිහ් හිහ් හී! බාප්පේ උඹට මතක ද මාව?”

“කවුද උඹ…. මගේ දුවගේ ඇඟට වැහිලා ඉන්නේ?”

“ඇයි බොල තොට මතක නැද්ද උඹගේ දුව වගේ හිටපු සඳලි දුව? ඒ මම තමයි. මම ආවා තෝ ව මරන් යන්න. දැන් ලෑස්ති වෙයන් ඉතින්. හිහ් හිහ් හී! උඹට මතක ද උඹ මගේ ජීවිතේ විනාශ කොළා. ඈ බොල…. තෝ මගේ දරු පැටිය ව මරා ගත්තා. දැන් ඉතින් ලෑස්ති වෙයන්. මම උඹවත් මරා දනවා. හිහ් හිහ් හී! ආ.. මේ කවුද මේ මගේ අම්මා නේ ද?”

මගේ සුදු අම්මා මගේ ළඟට ඇවිත් මාව තුරුලු කර ගත්තා.

“මගේ දුවේ, ඔයා මාව දාලා ගියා නේ ද? ඇයි ඔයාගේ අම්ම ව දාලා ගියේ? මගේ රත්තරන් දුවේ, ඇයි එහෙම කළේ?”

“අනේ අම්මේ, මට සමාවෙන්න. මම දැන් යකින්නියක්. අනේ මාව බලාගන්න දැන් කවුරුවත් නෑ. මට බඩගිනියි. මට පිපාසයි. මට ඉන්න තැනකුත් නෑ. අනේ අම්මේ මට මේ ලෝකෙන් නිදහස් වෙන්න ඕනේ. අනේ මගේ සුදු අම්මේ, මාව බේරගන්න.”

“හොඳයි මගේ දුවේ. මම ස්වාමීන් වහන්සේලා වඩම්මවලා දන් පැන් පූජා කරලා ඔයාට පින් අනුමෝදන් කරන්නම්. ඔයා ඒ පින් අනුමෝදන් වෙලා සුගති ලෝකයකට යන්න දුවේ. මේ සංසාරය හරි ම භයානකයි. මේකෙන් එතෙර වෙයන් මගේ දුවේ.”

එදා ඇය සඳලි දුව විය… එහෙත් අද ඇය… පුංචි දුවේ… මේ ලෝක සත්වන්ගේ දුක දැකලා ම යි අප බුදුරජාණන් වහන්සේ මේ දුකින් මිදෙන්න මග පෙන්නුවේ. නමුත් අවාසනාවකට ඔයාට ඒ ලස්සන බුදු බණ පද ඇහුනේ නෑ. අම්මා තාත්තා ඔයාව අත්හැර යන විට, අපේ බුදු සමිඳු සෝපාක කුමරුන් ව බේරගන්න කනත්තට වැඩියා වගේ ඔයා ව බලා ගන්න කවුරුත් එන්න නැතුව ඇති බාප්පා කරදර කළ විට… උප්පලවණ්ණා මුනිවරියට කුරිරු මිනිසෙකු කරදර කළත්, එතුමිය ‘අහෝ! මේ බියකරු සසරින් එතෙර වෙන එක ම යි වටින්නේ’ කියා සිතුවා. ඔබට එසේ සිතුණා නම්…

සැමියා ඔබ අත්හැර යන විට ඉසිදාසි කුමරියට මෙන් සසුන් බඹසර වසන්නට නුඹට සිතුණා නම්…

දරු පැටියා මිය යන විට කිසාගෝතමියගේ දරු දුක බුදු බණ පදවලින් දුරු කළා සේ ඔබට දුක නිවන බුදු බණ පද ඇසුණා නම්…

සාරිපොට තොණ්ඩුවක් සේ සාදාගෙන උඩුමහලට යනවිට, රජ්ජුමාලා ගෙළ වැලලා ගන්න කැළයට යන විට අපේ බුදු සමිඳු “රජ්ජුමාලා මෙහෙට එන්න” කියා කතා කළා සේ ඔබටත් “සඳලි දුවේ මෙහෙ එන්න” කියා කවුරුන් හෝ කතා කළා නම්…

යකින්නක් වී පළිගන්න සිතාගෙන ගෙදර එනවිට, කාළි යකින්න පළි ගන්න ආ විට අපේ මුනිරජුන් පිහිට වී වෛරයේ ගිනි දැල් නිවා දැමූ සෙයින් ඔබේ හද තුළ ඇවිළෙනා ගිනිදැල් නිවා දමන්න කවුරුන් හෝ එනවා නම්…

එය වේදැයි නොදනිමි… එනමුදු බුදු බණ පද ඇසෙන මායිමක ඉපිද නීච වූ මේ කුරිරු සසරින් එතෙර වන්නට ලැබේවා කියා පතනෙමි.

“රැස් කළා වූ මෙපින් බලයෙන්…

සුගති සම්පත් සැදේවා…..

නිවන් සුව හද රැඳේවා….”

– සත්‍යයට සංවේදී වන හදවතක්

රුවන්මැලි සෑ මලුවේ අවසන් හුස්ම හෙළූ උපාසක අම්මාගේ කතාව
තවත් එක්  සත්‍ය කතාවක්

සිහි නුවණින් යුතුව මේ ලිපිය කියෙව්වොත් මහා සංවේගයක් හට ගන්නවා. ඒ නිසා කල්පනාවෙන් කියවන්න.

මේ සිද්ධිය අනුරාධපුරේට ආසන්න ගමක ජීවත් වූ ආච්චි අම්මා කෙනෙක් ගැන. උන්දෑට වයස 75ක් විතර ඇති. අහිංසක කිරි අම්මා කෙනෙක්. ගෙදර දොරේ රංඩුසරුවල්වලට උන්දෑ පැටලුනේ නෑ. සීලෙට තමයි ආසා. හතර පෝයට ම සිල්ගන්නවා. පන්සලේවත්, අසපුවේවත් නෙමෙයි. උතුම් ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ ඉන්න ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේ ළඟ. කොච්චර වාසනාවක් ද අප්පේ… එක පෝයක් ද? සතර පෝයමනේ…. උන්දෑ සිල් අරං අර ඇත් පවුරේ බිත්තියට හේත්තු වෙලා කකුල් දිග ඇරගෙන බණ පොත් බලනවා. වයසක ඇත්තන්ගේ ස්වභාවයනේ. ගමක පන්සලක උනත් සුදු ඇඳගෙන පන්සලේ බණ ශාලාවේ බිත්තියට හේත්තු වෙලා කකුල් දිග ඇරගෙන බණ පොත් මුමුණන කණ්ණාඩි දාගත්ත සිල් අම්මාවරු අපි කොතෙකුත් දැක තියෙනවා. කොහොම හරි මහා සෑය වගේ තැනක තිස් පැයක් ඉන්ට ලැබෙන එක කොච්චර වාසනාවක් ද!

ඉතින් අනිත් උන්දැලා හැන්දෑවට සිල් පවාරණේ කොරනවනේ. මුන්දෑ එහෙම නෑ. පහුවදා සූරිය උදාවෙනකල් සීලෙන් තමයි ඉන්නේ. මළුව එළිය උනා ම හෙමිහිට ගෙදර යනවා. හරි වාසනාවන්ත ජීවිතයක් නේ ද? ඉතින් කොහොම හරි තවත් පෝය දවසක මේ ආච්චි අම්මා මහ සෑයේ සිල් සමාදන් වුණා. එදත් රෑ මළුවේ නැවතුනේ. සෑයෙම ඔය අයිනක රෑ ජාමේ මේ ආච්චි අම්මා නිදා ගත්තා. පහුවදා සූරිය උදා වුණා. ඒත් මුන්දෑ තාම බුදි. නැගිට්ටේ නෑ. යන එන අය බලනකොට…..

ඕං බලන්ටකෝ ජීවිතවලට වෙන දේවල්. උන්දෑ මැරිලා නෙව. මැරුණත් මහා වාසනාවක්. මොකද මහ සෑ මළුවේ මැරෙන්ට වාසනාවක් එපායෑ අප්පේ…. උන්දෑ නම් දිව්‍යලෝකෙ ම තමා. මළගෙදර පුදුම ගුණ වරුණ. කොහොම හරි උන්දෑ දිව්‍යලෝකේ ගිය නිසා ද මන්දා ඇඬිලි දෙඩිලිත් ඔය කියන තරම් උනේ නෑ. හත් දොහේ දානෙත් දුන්නා. උන්දැට මොන දාන ද? කර ගත්ත පින් ම මදෑ…. අනුරාධපුරේ බිසෝහාමි දිව්‍යලෝකේ ගිය හැටි අහල ගම් හතකට ආරංචි වුණා. වයසක ඇත්තොත් අනේ අපිටත් ඔහොම මැරෙන්න ලැබේවා කියලා ජයසිරි මහා බෝ හාමුදුරුවන් සිහි කරලා සාදුකාර දුන්නා.

ඒ උපාසක අම්මාගේ නම බිසෝහාමි. දැන් බිසෝහාමි මැරිලා මාස කිහිපයක් වෙනවා. ඒ ගමේ වැඩිහිටි ඈයෝ කතාවෙන දේවල් තමයි ඔය කිව්වේ. දැන් ලියන්නේ අපට දැන ගන්න ලැබිච්ච දේවල්.

බිසෝහාමි මියගොස් මාස කිහිපයක් ගිය තැන ගෙදර මිනිබිරියක් හොඳට ම අසනීප වුණා. මේ මොකක් හරි භූත බලවේගයක් යැයි දැනගෙන ශාන්ති කර්මයක් කරන්න ගෙදර අය කතිකා කරගෙන දිනයක් යොදාගෙන සාත්තුවක් කළා. අන්න එදා තමයි පොඩි එකී ඇඟ වෙව්ලාගෙන කෙළ පෙරාගෙන මායම් වුණේ. පොළොවේ අත් ගහ ගහා අඬනවා. කතා නෑ, අඬනවා. “උඹ කවුද?” කියලා ඇදුරන් තව තව සැර කළා. එතකොට කෑ ගහ ගහ කිව්වා “මං දිව්‍යලෝකේ ගියේ නෑ. මං දිව්‍යලෝකේ ගියේ නෑ. මං පෙරේතියෙක්.. මං පෙරේතියෙක්…” කියලා ඇඬුවා.

“මං බිසෝ මං බිසෝ… මං දිව්‍යලෝකේ ගියේ නෑ. මං බිසෝ. අයියෝ….” පොළොවේ අත් ගගහ අඬ අඬා කිව්වේ ඔය කතාව අහගෙන හිටපු ඔක්කොම ‘ඌස්’ ගාලා කටවල් වහගත්තා. සමහර අය ඇස් ලොකු කරගෙන පපුවේ අත් තියාගත්තා. “හරිම පුදුමයි! ඇත්තටම මේ පෙරේතයා බොරු කියනවා ඇති. මොකද රුවන්මැලි සෑයේ සතර පෝයට සිල් ඇරං රැය පහන් කළ උපාසක අම්මා කොහොමද පෙරේතයෙක් වෙන්නේ?” “නෑ බොලව් මම පෙරේතියක්. මං බිසෝ. මට වැරදුනා” ඇදුරා කිව්වා “ඇත්ත කියපං. උඹ බොරු නේ ද කියන්නේ? බිසෝහාමි සිල් රැකලා මැරිලා දිව්‍යලෝකේ ගිය කෙනෙක්. තෝ දැනගන් කෙපර ඇදබාන්න එපා. තෝ මගේ හැටි දන්නේ නෑ” මිනිපිරිය කතා කරන විදිහ බිසෝහාමි විදිහ ම යි. ඇත්තටම ඒ බිසෝහාමි. කට්ටිය ඇහුවා “උඹට මොකද වුණේ? රුවන්මැලි සෑයේ සිල් අරං මැරිලා කොහොමද පෙරේත ලෝකෙ ඉපදුණේ?”

පෙරේති තමයි දැන් මේ විස්තරේ කියන්නේ. “ඔව් මං ඒ මහ සෑය ළඟ සිල් රෙදි පොරවගෙන හිටියා තමයි. ඒත් මං රෑට බුදියගත්තේ ඒ මහ සෑයට පස්ස හරවලා. මහ සෑය දිහාවට කකුල් දිග ඇරගෙනත් හිටියා. ඕං ඕකයි මට වැරදුනේ. සෑයට පස්ස හරවලා බුදිය ගන්න එපා අප්පෝ…” ඒ ප්‍රේතිය අඬ අඬා කිව්වේ තමන් මහ සෑ මළුවේ නිදා ගනිද්දි මහ සෑයට පස්ස හරවා නිදාගත් පාපයට ප්‍රේත යෝනියේ ඉපදුණ බවයි. දෙව්ලොවත්, ප්‍රේත ලොවත් යම් ස්වභාවයක් තියෙනවා. ඒ තමයි දෙවියන්ට තමන් දෙව්ලොව ඉපදෙන්නට හේතු වුණ පුණ්‍ය විපාකය පේනවා. ප්‍රේතයන්ට තමන් ප්‍රේත ලොව උපන් පාපය පේනවා. බොහෝ ප්‍රේතයෝ ප්‍රේත ලොවින් චුත වෙලා නිරයේ උපදින විස්තර තමයි තියෙන්නේ. බිසෝහාමිට පිං අනුමෝදන් වෙන්ට බෑ. ඒ වගේ ම චුත වෙන දවසක් පේන්නේ නෑලු. අඬනවා. පොළොවේ අත් ගගහ අඬනවා.

ඕන්න මහ සෑයට පස්ස හරවලා බුදියගන්න එකේ විපාක. ඔබට සාමාන්‍යයෙන් මේවා විශ්වාස කරන්න බැරිව ඇති. අපේ අසපුවට ආපු බිසෝහාමිගේ දුව ම යි ඔය විස්තරේ කිව්වේ. ඒක හරි. හේතුව බුද්ධ අගෞරවය ඒ සා විපාක දෙනවා. අටුවා විස්තරවලට අනුව පංචානන්තරිය පාප කර්ම ගාවට බරපතළ ම කර්මය ආර්ය උපවාද. ඊ ළඟට බරපතළ බුද්ධ අගෞරවය, ධර්ම අගෞරවය, සංඝ අගෞරවය, තුනුරුවන්ට කරන අනාදරය. ඒ සා විපාක ගෙන දෙනවා. ගොඩක් පව් තිබ්බ අය අවසානයේ තුනුරුවන්ට කළ සත්කාරයකින් දෙව්ලොව උපන් කතා ඔබ අහලා ඇති. ඒ වගේ ම හොඳට ජීවත් වෙන මිනිස්සු තුනුරුවන්ට අගෞරව කරලා දුගතියේ උපන් කතා ඔබ අහලා ඇති. බිසෝහාමිගේ කතාව අද කාලේ හොඳ ම උදාහරණයක්.

මහ සෑයට පස්ස හරවලා ගොරව ගොරවා, කට කෙළ පෙරාගෙන සෑ මළුවේ නිදා ගත්ත සුදු රෙදි පොරව ගත්ත වයසක උපාසක අම්මගේ ඉරණම එසේ නම්, ෆෝන්, ටැබ්, කැමරා අරං ෆොටෝ ගගහ සෑයේ විගඩම් නටන කොල්ලෝ කෙල්ලන්ගේ ඉරණම කෙසේ වේවි ද? අහෝ ශෝචනීය යි! කොට කලිසන් ඇඳගෙන, සන්ග්ලාස් උජාරුවට දාගෙන, ගෑනු ළමයිගේ අත් පටලවගෙන මහ සෑ මළුවේ කරක් ගහන ඇට්ටර කොල්ලෝ කෙල්ලෝ මරණින් මතු කොහේ උපදීවි ද? පින්වත්නි, මේ කතාව ගමින් ගමට කියන්න. දුර්ලභ මිනිසත් බව මේ සත්වයාට අහිමි වෙන්ට දෙන්න එපා. දුගතියේ ඉපදුණොත් ගොඩ එන්න අමාරුයි. අහෝ.. අපට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණ නිසා මේවා අපට තේරුම්ගන්න හරි ලැබෙනවා…

සෑ මළුව, බෝ මළුව තියෙන්නේ තුනුරුවන්ට ගෞරව කරමින් නීවරණ ප්‍රහාණයට උපකාර පිණිසයි. නීවරණ වඩන්නට නෙමෙයි. නිදා ගැනීම නීවරණ වැඩීමක්. සෑ මළුවේ, බෝ මළුවේ, ධාතු මන්දිරේ නිදා ගැනීම තුනුරුවන්ට කරන අනාදරයක්. ධාතු මන්දිරයක නිදා ගැනීම කොහෙත් ම අකැපයි. හේතුව මේ බුද්ධ ශාසනයේ බුදු කුටියේ සැතපුනේ එක ම එක භික්ෂුවයි. ඒ සෝණකුටිකණ්ණ මහරහතන් වහන්සේ. ආනන්ද මුනිඳුන්වත් බුදු කුටියේ කවදාවත් සැතපිලා නෑ. පස්ස හැරවීම ගැන කවර කතා ද? ළඟදී දිනක වයසක මිනිසෙක් මහ සෑ මළුවේ විට කාලා කෙළ ගැසුවේලු. මහ සෑ මළුවේ බුදු මැදුරේ කොල්ලන් දෙදෙනෙක් ආලිංගනයේ යෙදුනේලු. පිරිස් බොහෝ දෙනා පෝය දා කෙළ හළාගෙන වස්ත්‍ර එහෙ මෙහෙ කරගෙන බුදිය ගනීලු. අලුත විවාහ වූ ජෝඩු වෙඩින් වීඩියෝවට රඟන්නේලු. අහෝ මිනිසා කොහිදෝ මේ යන්නේ. ජයසිරි මහා හාමුදුරුවනේ. මේ මිනිසුන්ගෙන් එකෙක්වත් මැරිලා දිව්‍යලෝකෙ යන්නේ නැහැ නොවැ.

භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින දිශාවට පා දැමීම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාට කළ නො හැකි දෙයක්. කොසොල් රජු නිසා යැපෙන පුරාණ ඉසිදත්ත දෙදෙනා, ළඟ සිටින කොසොල් රජුගේ දෙසට පා දමා ඈත සිටින භාග්‍යවතුන් වහන්සේ දිශාවට හිස හැරවූ කතාව ඔබ අසා ඇති. මේ ශාසනයේ මුල් කාලයේ සුරාව තහනම්ව තිබුණේ නෑ. ලෝණසෝවීරක නම් සුරාව පානය කළ සාගත තෙරුන් භාග්‍යවතුන් වහන්සේ දිසාවට පා දැමීම හේතුකරගෙන සුරා පානය පචිති ඇවතකැයි ශික්ෂා පදයක් පැනවුණා. දැන් ගොඩක් වෙහෙර විහාරවල ආච්චි අම්මලාගේ සිරිත ම සෑයට, බෝධියට කකුල් දික්කර ඉඳගැනීම යි. මේක නම් මහා පාපයක්. මුන්දැලා මැරිලා කොහේ යාවි ද? මේ පාපය අට පිරිකරක් පූජා කරලා වසා ගත නොහැකි බව කිවමනා ය.

දුටුගැමුණු රජු හා යුද්ධයට පැමිණි දීඝජන්තුගේ කටට හීයක් විද්ද ඵුස්සදේව යෝධයා මගේ රජතුමා දෙසට මේ දෙමළා පා නොදමත්වා කියා වහා පාවලට හී විද්දා. එකල යෝධයෝ රජවරුන්ට එසේ ගරු කළා නම් අපගේ ශාස්තෘන් වහන්සේට කෙසේ අප ගරු කළ යුතු ද? “ඔය මොනවා ද? විදර්ශනාව නෙව වඩන්න තියෙන්නේ, ඕවා අමූලිකා ශ්‍රද්ධාව” යැයි වහසි බස් දොඩන හිස් මිනිසුන් මරණින් මතු කොහේ නම් උපදීවි ද? උඩඟු නැති බව කෙතරම් වාසනාවක් ද? බෝධීන් වහන්සේලා අතපත ගාන ස්ත්‍රීන් ද බොහෝ පව් රැස් කරන බව මෙහි දී නැවත සිහි කරමි.

භාග්‍යවතුන් වහන්සේ ඇවිළෙන ගිනි කඳක් සේ තෙදවත් ය. දෙවියන් බඹුන් ද ඈත සිට දෑත සිරසේ තබා වඳිත්. සිරිපා දුහුවිලි සිරසේ තබා ගනිත්. කැමරා ෆෝන් උස්සන හිස් මිනිසුන් දුගතියේ උපදිත්. මේ පව්වලට වහා සමාව ගත යුතු ය. නැති නම් ඒ අඳුරු සෙවණැලි සත්වයා දුගතියට රැගෙන යනු ඇති. අපේ මහා පිනකට ජීවමාන බුදුරජාණන් වහන්සේ, ස්වර්ණමාලී සෑ රජුන් වැඩ සිටිති. බුදු සිරිපා ළඟ අඬාගෙන වැටෙනවා වගේ සෑ පාමුල වැඳ වැටී සමාව ගන්න. ශාස්තෘන් වහන්සේගේ ශාස්තෘන් වහන්සේ වන්නේ ධර්මය යි. යම් කෙනෙක් ධර්මයට අගෞරව කළොත්, අපගේ ශාස්තෘන් වහන්සේ ජනිත දඹදිව්තලයට නින්දා කළොත් අහෝ ඒ සත්වයා මරණින් මතු දුගතියේ උපදිනවා ම යි.

අද මිනිසුන්ගේ ජීවිත තුළ ගංගා සේ පුණ්‍ය ප්‍රවාහයෝ නැත. පුංචි වතුර වීදුරුවක දිය බිඳක් සේ පින් කලඳක් ඇත. මේ පිං පොඞ්ඩට පාපය නමැති පුංචි ලුණු කැටයක් වැටුණත් වීදුරුවේ වතුර ලුණු රස වෙයි. තම තමන් ගැන වෙන වෙන ම හිතන්න. මහා ධර්මධරයෝ යැයි සිතාගෙන සූත්‍ර විනය ඉගෙනගෙන තර්ක කරමින් උඩඟුවෙන්නට එපා. මේ ධර්මය ශාස්තෘන් වහන්සේගේ ය. අපි ශ්‍රාවකයෝ වෙමු. ඇත්තෙන් ම අපි ගොඩක් අසරණ පිරිසක්. මංමුළා වූ පිරිසක්. වාද විවාද නවතා සරණක් සොයා යන්න. බුදුරජාණන් වහන්සේ ම සරණ කරගන්න. මහරහතන් වහන්සේලාට වැඳ වැඳ ඉන්න. සිදු වූ වරදට සමාව ගෙන හැදෙන්න. පව් ගැන හිත හිත දුක් වෙන්ට නම් එපා. ඒකත් පාපයක් ම යි. පසුතැවෙන කෙනා දුගතියේ උපදිනවා ම යි. වැරදි හදාගන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න. කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ වටිනාකම ගැන ම හිතන්න. තුනුරුවන්ට අප්‍රමාණ ගෞරවයෙන් වාසය කරන්න. මේ විස්තර අනෙක් අයටත් කියන්න. අන් අය ද මේ පාපයෙන් ගලවන්න. එතකොට ඔබට ගොඩක් පිං රැස්වේවි. සසුනේ පිහිට ලැබෙන්නේ එතකොටයි.

අවසානයට යමක් කිව යුතුයි. අනුරාධපුරයේ බිසෝහාමිගේ සීලය ඔය ගම්වල ආච්චිලාගේ සීලය යි. එනම් සුදු රෙද්ද පොරෝගෙන, කකුල් දික්කරගෙන ඉඳගෙන බිම බලා ඉඳීම යි. හවසට මල්ල කිහිල්ලේ ගහගෙන ගෙදර යෑම යි. උතුරු සළුව ගැලවීම සිල් පවාරණය කිරීම යැයි සිතා සිටීම යි. අද කාලයේ අවබෝධයෙන් සිල් සමාදන් වන්නේ කිහිප දෙනයි. තරුණ කාලේ සිල් රකින එක නම් පුදුම පිනක්. නුවණින් විමසත්වා! කරුණා මෛත්‍රියෙන් විස්තර ලීවෙමි.

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

පිපෙන්නටත් පෙර මිළින වන මල් කැකුළු
ආදරණීය අම්මේ, තාත්තේ, ඔබ මේ ගැන දැනුවත් ද?

ඔබ ඔබේ දරුවා ගැන අවධානයෙන් සිටිනවා ද?

වත්මන් සමාජය දෙස මැනවින් අවධානය යොමු කොට බලන කෙනෙකුට සිදුවෙමින් පවතින පරිහානිය ගැන හොඳ වැටහීමක් ලබා ගත හැකි ය. මීට අවු 10කට පෙර තිබූ සමාජය අද වෙනස් වී ගොසින් ය. තවත් අවුරුදු 10ක් ගෙවී ගිය පසු සමාජය තවත් අගාධයට ඇද වැටී ඇති අයුරු දැක ගත හැකි වේවි. වේගයෙන් පිරිහී යන සමාජ රටාවේ ගොදුරු බවට පත් වන්නේ මේ කිසිවක් ගැන කිසිම අවබෝධයක් නැති, අනාගතය බාර ගන්න සිටිනා දරුවන් ය. ඔවුන් ද වැඩිහිටියන් වූ පසු තවත් මේ තත්ත්වය බැරෑරුම් තත්ත්වයකට ඇද දමනවා මිස යහමගකට රැගෙන නොයාවි.

අප ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ලෝකයට ඇති මේ අනතුර ගැන පෙන්වා වදාළ සේක. චක්කවත්ති සීහනාද සූත්‍රයේ පරිදි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට අවම වන තුරු මිනිසුන්ගේ ගුණධර්මයන්ගේ පරිහානියක් මිස වර්ධනයක් බලාපොරොත්තු විය නො හැකි වේවි. නමුත් එවන් අවස්ථාවක වුව ද ධර්මයේ හැසිරෙමින් පින් රැස් කර ගැනීමට අවැසි වාසනාව ලද අය මේ වන තුරුත් මේ මිහිමඬල තුළ නොසිටිනවා නො වේ. ඔවුන්ට තවමත් ගෞතම බුදු සසුනේ කල්‍යාණමිත්‍ර ඇසුර ලැබෙන්නේ ය. ඒ උතුම් ක්ෂණ සම්පත්තිය අනාගතයේ ලැබිය හැකි අය තව කොතෙකුත් මේ ලෝකයේ සිටිනවා ඇත්ද… ඔවුන්ට මේ ධර්මය මුණනොගැසුනහොත් මේ යන සමාජ රටාවේ ම ගොදුරු බවට පත් වී ඔවුන්ගේ ජීවිත ද පිරිහී යාවි.

අද ‘සත්‍ය කතාවක්’ විශේෂාංගයෙන් අප ඉදිරිපත් කරන්නේ මේ පිරිහුණු සමාජයේ ගොදුරක් බවට පත් වූ දැරිවියකගේ ජීවිත කතාව ගැනයි. ජීවිතය ලොකු අනතුරකට වැටෙන්න තිබියදී ඇයට අවසානයේ ධර්මය මුණගැසේ. ඇයගේ ජීවිත කතාව ම ජීවිත කතාව කර ගත් තවත් දැරිවියන් අප අතර තවත් බොහෝ සිටිති. නමුත් ඔවුන්ට මේ කතාවේ දැරිවියට පරිදි ධර්මය මුණගැසෙන්නේ නැත. ඔවුන්ට අත්වන ඉරණම කුමක් වේවි ද?

මඳක් අපි වත්මන් සමාජය දෙස බලමු. වත්මන් සමාජය තුළ අහිංසක දරු දැරියන්ගේ ජීවිත වගේ ම තරුණ තරුණියන්ගේ ජීවිත කොතරම් නම් ඛේදවාචකයන්ට ලක් වෙනවා ද? දරුවන් කුඩා කලදී ම අපචාරයට ලක් වීම, මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, සියදිවි හානි කර ගැනීම් ආදි නොයෙක් ඛේදවාචකයන් ජනමාධ්‍ය හරහා නිතර නිතර අසන්නට දකින්නට ලැබීම නිසා වත්මන් මිනිසාට එවැනි සිදුවීම් සාමාන්‍ය දේවල් බවට පත්ව තිබේ. මෙවැනි සිදුවීම්වල දිනෙන් දින වැඩි වීමක් මිස අඩු වීමක් නම් පෙනෙන තෙක් මානයක නැත.

අද පුංචි දරුවන් පවා තාක්ෂණික මෙවලම් ඔස්සේ තම ජීවිතයට එකතු කර ගන්නේ යහපත් දේවල් නම් නො වේ. සමහර විට ඒ තාක්ෂණික මෙවලම් ඔවුන් අතට පත් කරවන්නේ ඔවුන්ගේ ම දෙමව්පියන් විසින් ය. දෙමව්පියන් සිතන්නේ වත්මන් වේගයෙන් දියුණු වෙන සමාජ රටාවට අනුව තම දරුවා හැඩගස්වන්න නම් ඒ තාක්ෂණික මෙවලම් (ස්මාර්ට් ෆෝන්, ටැබ්, පරිගණක ආදිය) තම දරුවන් අතට පත් කරවිය යුතු ම කියා ය. අවසානයේ දෙමව්පියන්ට පසුතැවෙන්න සිදු වන්නේ ඒ අනුවණ ක්‍රියාකලාපය නිසා ම ය.

දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් මේ පිළිබඳ සැලකිලිමත් වීම මගින් මෙකී සමාජ පරිහානිය අවම කර ගත නොහැක්කක් නො වේ. සමහර දරුවන් නොයෙක් වැරදි ඇබ්බැහිවීම්වලට පෙළඹෙන්නේ ඔවුන් කෙරෙහි අවධානයක් වැඩිහිටි පාර්ශවයෙන් නොමැති නිසාවෙනි. එලෙස අනතුරකට වැටී නූලෙන් බේරුණ දැරිවියකගේ ජීවිත කතාවයි මේ…

ඇය නවය වසරේ ඉගෙනුම ලබන ගැහැනු දැරියකි. ඈ ගියේ අනුරාධපුර ප්‍රදේශයේ පාසලකට ය. අධ්‍යාපනය ලබන අතර පාසලේ ඇතැම් ළමුන් විවිධ අතවරවලට ලක් විය. අපගේ කතානායිකාව ද ඒ අතර විය. පෙනුමෙන් ඇය රූමත් යුවතියකි. දිනක් ඇගේ පාසලේ උසස් පෙළ පන්තියේ අක්කා කෙනෙක් බෙහෙත් පෙත්තක් දී ඇයට කියා සිටියේ “මේක බොහොම වටිනා බෙහෙතක්. මේක බිව්වොත් තවත් ලස්සන වෙනවා, ඒ වගේ ම කිසිම අතුරු ආබාධයක් නැති බවයි”. ඇගේ පන්තියේ සෙසු දැරියන් ද මෙම පෙත්ත බොන බව දැනගත් ඇය ද කිසිදු පැකිලීමකින් තොරව පාසලේදී ම මෙය ගත්තා ය. එය කටේ දමාගත් පසු දිය වෙන නිසා වතුර ද අවශ්‍ය නො වී ය. ඉන් පසු ඇයට ක්ලාන්තයක් සමඟ වමනය වන්නට වූ බැවින් පෙත්ත ලබා දුන් අක්කාගේ උපදෙස් පරිදි පැනඩෝල් 3ක් බිව්වා ය. පසුව ඒ අපහසුව ද මග හැරී ගියේ ය.

පෙත්ත ගත් තැන පටන් ඇයට නිදිමත දැනෙන්නට විය. කරන කියන කිසිවක් ගැන හැඟීමක් දැනීමක් නොමැති විය. සිරුර තුවාල කර ගත්ත ද වේදනාවක් නැත. ඉන් පසු ඇයට ඒ මත්පෙති නොගෙන ඉන්නට බැරි විය. පෙති නොගත් විට දහඩිය දමා මුළු ශරීරය ම වෙව්ලන්නට විය. මේ නිසා ඇයගේ මත්පෙති වුවමනාව සපුරා ගත්තේ පාසල අසලට පැමිණි බස්රථයේ කොන්දොස්තරගෙනි. මුදල් නොමැති වුවත් එම කොන්දොස්තර ඇයට මත්පෙති සැපයුවේ ය.

පෙතිවලට අමතරව බාබුල්, මාවා වැනි මත්ද්‍රව්‍ය ද ඔවුහු ගැහැනු දරුවන්ට ලබා දුන්හ. පිරිමි ළමුන්ට හෙරොයින් පවා ලබා දී ඇත. බොහෝ විට එම බස්රථයට නංවා ගත්තේ මත්ද්‍රව්‍ය ගන්නා ළමුන් පමණි. ඊට හේතුව වූයේ ඔවුන්ගේ ජාවාරම අන් කිසිවෙක් දැනගන්නට ඉඩ ඇති බැවිනි. එමෙන්ම 6, 7 වසරේ පටන් මෙම පාසලේ බොහෝ දරුවන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව ඇයට දක්නට ලැබී ඇත. මේ අයුරින් මත්ද්‍රව්‍ය සපයන බස් දෙකක් තිබූ අතර ඒ බස්රථ දෙක ම උදේ සවස දෙකේම අනිවාර්යයෙන් ම ධාවනය වෙමින් පැවතිණි.

අපගේ කතානායිකාව දිනක් සවසක එම පෙති බී යහළුවන් සමග නගරයේ ඇවිද රෑ බෝ වන විට ගෙදරට පැමිණියා ය. නිවසට එන්නට ප්‍රමාද වූ නිසා ඇගේ මව ඇයට බැණ පහරක් ගසා ඇත. ඇය ද පෙරළා මවට පහර දී කෝපයෙන් තියුණු තලයකින් අත කපා ගත්තා ය. ඒ අසල සිටි ඤාති සොහොයුරෙක් පැවසුවේ මේ අයුරින් අත කපා ගත හැක්කේ මත්ද්‍රව්‍ය ගත් කෙනෙක්ට විතරක් බවයි. දියණිය මත්ද්‍රව්‍ය ගන්නා බව මව දැනගත්තේ ඉන් පසුව ය.

“ඒ වෙනකොට මම ප්‍රේම සම්බන්ධයකුත් ඇති කරගෙනයි හිටියේ. මගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඒකත් හේතුවක් වුණා. මත්පෙති නැතිව මට ඉන්න බැරි වුණා. දාඩිය දානවා. වෙව්ලනවා. ඊට පස්සේ බෙහෙත් ගන්න ගියා. අපි දොස්තර ළඟට යනකොට පිස්සු හැදුණු මගේ වයසේ ගෑනු ළමයෙක් අරන් ඇවිත් හිටියා. එයා පෙන්නලා දොස්තර මහත්තයා කිවුවේ ‘මත්පෙති බීලා මෙහෙම වෙලා තියෙන්නේ. ඔයාටත් වෙන්නේ මේ ටික ම තමයි.’ කියලා. දොස්තර මහත්තයා කොහොම මොනවා කිවුවත් ඒ පෙති බොන එක නවත්තන්න මට බැරි වුණා. පෙති බීලා අම්මත් එක්ක රණ්ඩු කරපු නිසා දවස් ගාණක් මම ඉස්කෝලෙ ගියෙ නෑ.

ඒත් එක දවසක් ගෙදර රේඩියෝ එක දාලා තියෙද්දි ත්‍ඵ 105.2න් ‘සිත් අහස යට’ කියලා වැඩසටහනක් ගියා. උදේ නවයට. ඒක ඇහුවට පස්සේ මම වෙනස් වුණා. මම ස්වාමින් වහන්සේලා මුණගැහෙන්න සොයාගෙන ගියා. ස්වාමින් වහන්සේලා මට මත්ද්‍රව්‍යවල ආදීනව කියා දුන්නා. ඊට පස්සේ මම යාළුවො දුන්නත් ඒවා ගත්තෙ නෑ. ඒ නිසා ම ඒ අය මට දැන් ඒවා බොන්න කියලා කරදර කරන්නෙත් නෑ. දැන් මම ප්‍රේම සම්බන්ධෙත් අත්ඇරලා ඉන්න නිසා මගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා තියෙනවා. අම්මට බණින්නෙත් නෑ. දැන් මගේ බලාපොරොත්තුව කැම්පස් යන එකයි.”

අවසානයේ ධර්මය මුණගැසුන නිසා ඇයට දැන් යහපත් අරමුණක් හමු වී තිබේ. නමුත් මෙවන් ම වූ ගොදුරු බවට පත්ව ඒ අනතුරෙන් ගොඩඒමට නොහැකිව තම ජීවිත විනාශ කර ගන්නා දැරිවියන් අප සමාජයේ තව කොතෙකුත් සිටී ද? අවසානයේ ඔවුන්ගේ ජීවිත අවසන් වන්නේ බොහෝ දුක් ගොඩක් මැද නො වේ ද?

ඉතින් මේ කතාව ඇසුරෙන් තරුණ ජීවිතවලට හොඳ පාඩමක් ඉගෙන ගත හැකි ය. අනාගතයේ තම ජීවිතය අනතුරේ වැටෙන්නට ඇති අවස්ථාවන් ගැන තමන් කලින් දැනුවත් වී සිටීම වැදගත් වේ. දෙමව්පියන් මෙන් ම ගුරුවරුන් හා වැඩිහිටි පාර්ශවය මේ දේවල් ගැන දරුවන් ව අනිවාර්යයෙන් ම දැනුවත් කළ යුතු ය. එහි ඇති ඇත්ත ස්වභාවය නොසඟවා මෙහි ඇති අනතුර අනිවාර්යයෙන් ම පෙන්වා දිය යුතු වේ. එමෙන් ම එයින් දරුවන්ට තම ජීවිත බේරාගත හැකි ආකාරය ගැන කියා දියයුතු වේ. මත්පැන්වලට ඇබ්බැහි වූ දරුවන් පිළිබඳ සොයා බලා ඔවුන්ට ඉන් නැගී සිටීමට උදව් කළ යුතු වේ. මේ විදියට අපේ දැය බාරගන්න සිටිනා දරුවන් ගැන සෙනෙහෙවන්තව ඔවුන්ට සමීපව කටයුතු කළොත් පමණක් අපට මෙකී ඛේදවාචකයන් අවම කර ගත හැකි වේවි.