පුණ්‍ය චාරිකා | Mahamegha Magazine

මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ධාතු මහා සෑය රජගල වනයේ සැඟව ගොසින්
අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට දායාද කරන ලද්දේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ය. මිහිඳු මහරහතන් වහන්සේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස ලක්දිව ව්‍යාප්ත කළ සේක. ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරවීම ආදියෙන් භාණක පරම්පරා බිහිකොට ලංකාදීපය බැබළවූහ. මහා සඟ පිරිවරක් උන්වහන්සේ පිරිවරා ගත්හ. උන්වහන්සේ ලංකාවට ශාස්තෘන් වහන්සේ හා සමානව ලොවට යහපත පිණිස බොහෝ කටයුතු කොට වදාළ සේක.

උත්තිය රජතුමා රජ වී අට වැනි වර්ෂයේ මිහිඳු මහරහතන් වහන්සේ සෑගිරියේදී එනම් මිහින්තලාවේදී වප් මස පුර අටවකදා පිරිනිවන් පා වදාළ මොහොතේ මිහිමඬල සෙලවී ගියේ, බොහෝ දෙනා හඬමින් වැලපෙමින් මහත් වූ රාජ ගෞරව දැක්වූහ. අනුරාධපුර ථූපාරාම සෑ රජුන් පැදකුණු කොට එකල බද්ධමාලක නම් වූ ස්ථානයේ (ඉසිභූමංගනය) උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලදී. මහා ජන ගඟක් ඒ ආදාහන පූජාවට සහභාගී වූහ. ඒ ආදාහනය කළ ස්ථානයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගෙන් අඩක් නිදන් කොට මහා සෑයක් උත්තිය රජතුමා කළේ ය. සෑගිරියේ ඉතිරි ධාතූන් වහන්සේලා තැන්පත් කළේ ය. එවකට සංඝයා නිතර ගැවසෙන විහාරවල මිහිඳු මහරහතන් වහන්සේ නමින් ස්ථූප ඉදි කළහ. මේ අනුව ලක් දෙරණ පුරා ම මිහිඳු මහරහතන් වහන්සේ නමින් වන්දනා මාන කිරීම සිදු විය. මේ ඒ අතීත විස්තරය යි.

මේ ආකාරයෙන් පරම්පරාවෙන් වන්දනා කරමින් පැමිණි මිහිඳු ස්ථූප ක්‍රමයෙන් අභාවයට ගිය සේක් ම ය. මිහින්තලාවේ මිහිඳු සෑයේ කැණීම්වලින් ලබාගත් උතුම් ධාතූන් වහන්සේලා අදත් මිහින්තලාවේ විහාර ධාතුමන්දිරයේ ඒ පුරාවස්තු සමඟ ප්‍රදර්ශනයට තබා තිබේ. අප රටවැසි බෞද්ධ ජනයාට ලැබුණු දායාදයක් යැයි ඒ ගැන හැඟේ. එනමුත් අනෙක් වෙහෙර විහාර ගැන හෝඩුවාවක් නොමැත.

මේ අතර “මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් ස්ථූපය යි” යනුවෙන් සඳහන් සෙල්ලිපියක් සහිත සෑයක් රජගලින් හමුවිය. රජගල විහාර භූමිය සිතා ගත නොහැකි තරම් පුරාවස්තු හා පුරාගොඩනැගිලි සහිත අද්භූත විහාර සංකීර්ණයකි. අද වුවත් ඒ පින්බිමට ගිය විට ඒ භූමිය ගැන පුදුම සිතේ. ශ්‍රී ලාංකේය ජාතිය ආගම ගැන වචනයෙන් කිව නොහැකි හැඟීමක් නිරායාසයෙන් පහළ වේ. මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව වැඩසිටි සාංචිය යම් සේ ද එය සිහියට නැගේ.

මිහිඳු මහරහතන් වහන්සේ නමින් සෙල්ලිපියක් සහිත එක ම මහා සෑය එය ව තිබෙද්දී වනයට වල් වැදී හුදෙකලා වීම පුදුමයකි. ඒ උතුම් මිහිඳු සෑය දකින්නට, වන්දනා කරන්නට ගිය මොහොතේ අප මහත් සංවේගයට පත් වූවත් වන්දනා කරන්නට ලැබුණු ප්‍රීතියෙන් එය සන්සිඳිණි. ලක්දිවට ශාස්තෘන් වහන්සේනමක් වැනි මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු ස්ථූපය සකල බෞද්ධයන් විසින් මුදුන්මල්කඩෙහි ලා සත්කාර කළ යුතු නො වේ ද? නමුත් සිදුවී ඇති දේ ඔබ ම ගොස් දැක ගන්න. මිහිඳු මහරහතන් වහන්සේට ණය ගෙවීමට තියෙද්දී අන්ධ බාල අසත්පුරුෂ ජනයා රජගල, රජගහනුවර යැයි වාද කරත්. අඳෝමැයි. සෑ රජුන් වලින් වෙලා ගනිත්. පෘථග්ජනයෝ වාද කරත්. රජගල ගැන පුරාවිද්‍යා ප්‍රකාශය මෙතැන් පටන් විස්තර වේ.

රජගල ඉතිහාසය

පිහිටීම

අම්පාර මහඔය මාර්ගයේ අම්පාරේ සිට කි. මී. 26ක් පමණ දුරින් හමුවන බක්කිඇල්ල මංසන්ධියෙන් හැරී කි. මී. 01ක් පමණ ගමන් කිරීමෙන් රජගල කඳුවැටිය හමු වේ. මේ ප්‍රදේශය උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ. මුහුදු මට්ටමේ සිට අඩි 1038ක උසකින් යුත් කඳුවැටියේ අක්කර 1025ක තරම් භූමියක නටඹුන් ව්‍යාප්තව පවතී.

රජගල නාමය

මේ ස්ථානය වර්තමානයේ රජගල හෝ රාස්සහෙළ යනුවෙන් හැඳින්වූවත් එය මෑතක යොදාගත් නාමයක් බව පෙනේ. අතීතයේ මේ ස්ථානය හැඳින්වීමට නම් රාශියක් භාවිත කොට ඇත. ගිරිකුම්භීල විහාරය, කුම්භීලතිස්පව් විහාරය, අරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරිත්තරා වෙහෙර වැනි නම් සාහිත්‍ය පොත්පත්වල මෙන් ම ශිලා ලේඛනවල ද යොදා ඇත. අනුරාධපුර රාජ සමයේ යෙදුණ මේ නම් එකී ස්ථානය වනගතව පැවති වසර දහසක කාලයේදී මතකයෙන් මැකී ගොස් වර්තමානයේ රජගල යන නම ව්‍යවහාර වේ.

වැදගත්කම

රජගල යනු අනුරාධපුරය හා පොළොන්නරුව වැනි පැරණි අගනුවර හැරුණ විට එක් ස්ථානයක වැඩිම ස්මාරක සංඛ්‍යාවක් පිහිටා ඇති භූමිය ලෙස සැලකිය හැකි ය. මිහිඳු මා හිමියන්ගේ ධාතු තැන්පත් කළ බවට ශිලා ලිපියකින් සනාතව ඇති එක ම ස්ථානය රජගල වේ. ක්‍රි. පූ. 100 පමණ සිට ක්‍රි. ව. 10 වන සියවස දක්වා වසර දහසක කාලයක් තුළ කෙරුණු ඉදිකිරීම් රජගල භූමියේ දක්නට ලැබේ. දැනට සොයාගෙන ඇති ස්මාරක සංඛ්‍යාව 700කට වැඩි ය. මේ බිමෙන් හමුවී ඇති ශිලා ලේඛන සංඛ්‍යාව සියයකට ආසන්න වේ. පවතින නටඹුන් සියල්ල ම අනුරාධපුර රාජ්‍ය සමයට අයත් ඒවා වේ. පසුකාලීන ප්‍රතිසංස්කරණවලට භාජනය නො වූ අනුරාධපුර සමයට අයත් වැඩිම ස්මාරක රජගලින් හමුවීම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් කරුණකි.

රජගල විහාර සංකීර්ණයේ ආරම්භය

සාහිත්‍ය මූලාශ්‍රය හා ස්ථානයෙන් හමුවන ශිලා ලිපි තොරතුරුවලට අනුව සද්ධාතිස්ස රජුගේ දෙටුපුත් ලජ්ජිතිස්ස කුමරු මෙකී පුදබිම ආරම්භ කළ තැනැත්තා බව පෙනේ. ලජ්ජිතිස්ස කුමරු පිය රජු යටතේ දිගාමඩුල්ල ප්‍රදේශයේ සිටියදී ගිරිකුම්භීල විහාරය ආරම්භ කළ බව දීපවංශයේ හා මහාවංශයේ සඳහන් වේ. මේ රජතුමාගේ කාලයේදී ම පවත්වන ලද විහාරය සඟසතු කොට පූජා කිරීමේ උත්සවයට භික්ෂූන් වහන්සේලා හැට දහසක් වැඩිය බවත්, රජු සැට දහසක් භික්ෂූන්ට තුන්සිවුරු පූජා කළ බවත් මහාවංශය කියයි. ලජ්ජිතිස්ස රජතුමා හා එතුමාගේ බිසෝවරුන් ලෙන් කරවා මේ ස්ථානයට පිදු බව සඳහන් සෙල්ලිපි කීපයක් ම රජගලින් හමු වී ඇත. රජතුමා සීත ලෙන් 25ක් කරවා පූජා කළ බව සඳහන් ශිලා ලිපියක් ද රජගල භූමියේ පවතී.

ඉතිහාසය

ලජ්ජිතිස්ස රජු ගිරිකුම්භීල විහාරය ආරම්භ කිරීමෙන් පසුව අනුරාධපුර රාජ්‍ය සමයේ විවිධ රජවරු ද විශේෂයෙන් රුහුණේ කටයුතු භාරව සිටි යුව රජවරු ද වෙනත් ප්‍රභූවරුන් හා පොදු මහජනතාව ද මෙම ස්ථානයේ අභිවෘද්ධියට කටයුතු කොට තිබේ. මේ නිසා විවිධ ගොඩනැගිලි එකතුවෙමින් විහාරාරාම සංකීර්ණය විශාල පෙදෙසක ව්‍යාප්ත වූ බව දැකිය හැකි ය.

ලජ්ජිතිස්ස රජු විහාරය ඉදිකිරීමෙන් පසුව ශත වර්ෂ 7ක් පමණ ගතවන තෙක් මේ විහාරයේ කටයුතු ගැන මහාවංශයේ කිසිවක් සඳහන් නො වේ. එහෙත් මේ කාලයේ රජගල ඉතිහාසය ගොඩනැගීමට හැකි තොරතුරු රැසක් වෙනත් සාහිත්‍ය මූලාශ්‍රවල මෙන් ම මෙතෙක් රජගලින් හමු වී ඇති ශිලා ලේඛනවල ද ඇතුළත් වී තිබීම භාග්‍යයකි. සීහලවත්ථූපකරණය, රසවාහිනිය, අට්ඨකථා, සද්ධර්මාලංකාරය වැනි සාහිත්‍ය මූලාශ්‍රයවල ගිරිකුම්භීල විහාරය පිළිබඳ කතා කිහිපයක් දක්නට ලැබේ. ඒ අනුව මහාදත්ත තෙරුන් පිළිබඳ ප්‍රවෘත්තිය, අරියාකර විහාර වත්ථු නම් කතාව, රසවාහිනියේ එන ධම්මාගේ කථා වස්තුව ආදියෙහි රජගල ඉතිහාසයට අදාළ යම් යම් තොරතුරු සඳහන්ව තිබේ. මේ කාලයට අදාළව රජගලින් ලැබී ඇති ශිලා ලේඛන දෙස බලන විට කූටකණ්ණ තිස්ස රජු, භාතික තිස්ස රජු, මහසෙන් රජු, බුද්ධදාස රජු, දෙවන මහින්ද රජු ආදී රජවරුන්ගේ කාලවලදී රජගල විහාර සංකීර්ණයේ විවිධ ඉදිකිරීම් කටයුතු සිදුව තිබෙන බව තහවුරු වේ. මහාවංශයේ සඳහන් වන ආකාරයට පළමුවන දප්පුල රජු හා පළමුවන උදය රජුගේ කාලවලදී රජගල පැරණි තපෝවනයේ බොහෝ නවකම් සිදුකොට ඇත. මේ නිසා ක්‍රි. පූ. 1 වන සියවස සිට ක්‍රි. ව. 10 සියවස දක්වා රජගල විහාරයේ ඉතිහාසය ගොඩනැගීමට යොදාගත හැකි තොරතුරු රැසක් මූලාශ්‍රයවලට ඇතුළත්ව ඇති බව සඳහන් කළ හැකි ය.

මෙතෙක් හමුවී ඇති අභිලේඛන හා පුරාවස්තු

මෙතෙක් රජගලින් හමු වී ඇති සියයකට ආසන්න ශිලා ලේඛනවල මෙන් ම ආසන්න ප්‍රදේශවලින් හමු වූ ශිලා ලිපිවල ද ගිරිකුම්භීල විහාරය පිළිබඳව සඳහන්ව තිබේ. මේ ශිලා ලිපි අතර මිහිඳු මා හිමියන්ගේ ධාතු තැන්පත් කළ බව දැක්වෙන ලිපිය ඉතා වැදගත් වේ. රජගල පුරාවස්තු බහුල ප්‍රදේශයේ පෙත්මග අසල ගල්තලාවේ කුඩා ගල්කැට යොදාගනිමින් ඉදිකළ කුඩා දාගැබක පැරණි නටඹුන් දක්නට ලැබේ. ඒ ස්ථානයේ ගල්තලාවේ කොටා ඇති ශිලා ලිපියේ මෙසේ සඳහන් වේ.

“යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉඩික (තෙරම) හිද තෙරහ තුබෙ”

“මේ දිවයිනෙහි වාසනා මහිමය නිසා මෙහි සැපත් ඉට්ඨිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ථූපය යි.”

මේ ශිලා ලිපිය ප්‍රකාශයට පත් කළ පරණවිතාන මහතා අසල ඇති දාගැබ ගැන අදහස් දක්වමින් මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් නොබෝ කලකින් ම මේ දාගැබ ඉදිවන්නට ඇතැයි අනුමාන කොට තිබේ. මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ආදාහන කටයුතු නිමවා සියලු ආරාමවල දාගැබ් තනවා ධාතු තැන්පත් කළ බව මහාවංශයේ සඳහන් වේ. රජගල ඇති ඉහත ශිලා ලිපියෙන් මහාවංශයේ එකී පුවත සනාථ වේ.

ශතවර්ෂ දහයක කාලයක් තිස්සේ ඉදිකෙරුණු ලෙන් විහාර, දානශාලා, විවිධ ගොඩනැගිලි, පොකුණු, පෙත්මග, දැගැබ් ආදී නිර්මාණ අති විශාල ප්‍රමාණයක් මේ භූමිය තුළ ඝන වනයෙන් යටව පවතී. ක්‍රි. පූ. අවධියේ සිට කඳු මුදුනේ පැන් පහසුව සපයාගත් කිසිදු ඉඩෝරයකට නොසිඳෙන සීතල ජලය සහිත විස්මිත උල්පතක් අද දක්වා දක්නට ලැබේ. මේ උල්පතෙන් ගල් කාණු තුළින් ජලය ගෙනගොස් දානශාලාව අසල විශාල ගල් පාත්‍ර දෙකකට ජලය පුරවා තිබේ. එම ගල් පාත්‍ර අදට ද දක්නට ලැබේ. ගල්තලා මත අඩි 6 × අඩි 8 පමණින් යුතුව තනි කලු ගලින් බැඳ කලු ගල් පතුරු සෙවිල්ල සඳහා යොදාගත් ගොඩනැගිලි විශේෂයක් ඉතා හොඳ තත්ත්වයේ ගොඩනැගිල්ලක් සහිතව ම හමුව තිබේ. වැඩ නිම කිරීමට පෙර අතහැර දැමූ බුදු පිළිමයක් ඇතුළු තවත් ස්මාරක 500කට වැඩි ප්‍රමාණයක නටඹුන් මේ ස්ථානයේ දක්නට ලැබේ.

මේ අනුව රජගල ගැන යම් දැනීමක් ඔබට ලැබෙන්නට ඇත. ඒත් මේ ලිපියෙන් ඔබට දැනුන දේට වඩා දහසක් හැඟීම් රජගලට ගියොත් දැනෙනු ඇත. රහතන් වහන්සේලා දහස් ගණනක් වැඩ සිටිය බිමකි. සුන්දර විහාර, මහා විහාර තිබූ බිමකි. මං මාවත් අදටත් සිතාගත නොහැකි තරම් සොඳුරු ය. සිය ගණනක් ලෙන් ය. සීත ලෙන් ය, ගල් කුඩ ලෙන් ය, උණුසුම් ලෙන් ය, ලෙන් පිට ලෙන් ය, අසිරිමත් ය. පයින් ගමන් කරන විට ශ්‍රී පාදය සිහිවේ. වාහනවලින් ද ආසන්නයට යා හැකි ය. එහි ඇති සොඳුරු දසුන් අතර ආසනඝරය ලෙස හැඳින්වෙන දම්සභා මණ්ඩපය මනස්කාන්ත ය. විසිතුරු නිර්මාණවලින් ගහණ ය. ඒ අතර ධර්මදේශකයන් වහන්සේට පනවා ඇති ආසනය හරි අගේ ය.

ධර්මාසනයට උඩින් ස්ථූපයකට සේ ශෛල ඡත්‍රයකි. එකල දේශකයන් වහන්සේ ධාතු ස්ථූපයක් සේ සලකා ඇති ඒ ධර්මගෞරවය ඇඟ හිරිගඩු පිපෙන දර්ශනයකි. ස්ථූප 2ක් ප්‍රතිසංස්කරණය වෙමින් වැඩ අවසන් වෙමින් පවතී. ගල් පාත්‍රා විස්මිත ය. මේවා කෙසේ කළෝ ද? මිහිරි දිය දහර අදටත් ගලා බසී.

මෙතරම් විස්තරයක් ලීවේ පුරාවිද්‍යා ගවේෂණයක් සඳහා නොව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ධාතු තැන්පත් කළ සෑ රජුට මලක් හෝ පූජා කිරීමට ඔබට සිත් පහළ වීම පිණිසයි. පින්වතුනි, ඒ මිහිඳු සෑය වඳින්න. සෑයේ වල් වැවෙන්න දෙන්නට එපා. පිනැති අයගේ, වගකිවයුත්තන්ගේ අවධානය යොමු වී ඒ උතුම් සෑය ප්‍රතිසංස්කරණය වෙනවා නම් කොතරම් හොඳ ද! දහස් ගණන් දෙනා රජගලදී අරහත් මහා මිහිඳු තෙරුන්ගේ ගුණ කියමින් වන්දනා කරනවා නම් කොයිතරම් හොඳ ද!

මයිල්ල පර්වත විහාරස්ථානය
වසර දෙදහස් පන්සියයකටත් වඩා වැඩි ලේඛනගත ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව බෞද්ධ දේශයක් බව තහවුරු කළ හැකි සාක්කි බහුතරයක් මෙරට සෑම බිම් අඟලක් පාසාම විසිරී පැතිරී පවතී. එදා මෙදාතුර ඉතිහාසයේ අක්මුල් පාදාගත් බොහොමයක් සිද්ධස්ථාන, නටඹුන් ආදිය මේ වනවිට සැදැහැති බෞද්ධ ජනයාගේ වන්දනාමානයට පාත්‍රවී ඇත.

එහෙත් මේ වනතුරුත් සොයාගත නොහැකි වූ අභිමානවත් බෞද්ධ උරුමය, හෙළ සංස්කෘතිය කියා පාන්නාවූ ඵෙතිහාසික ස්ථාන තවමත් මේ පුණ්‍ය භූමියේ සැඟවී පවතින බවට ඉතිහාසය සාක්කි සපයයි. එසේ ආගමික, සංස්කෘතික හා සමාජයීය වටිනාකමකින් යුත් පුණ්‍ය භූමියක් සොයාගිය කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරයකු හා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි ආචාර්යවරයකු ද වන ප්‍රකට මාධ්‍යවේදියකු හා ගත්කතුවරයකු වන ගයාන් චානුක විදානපතිරණ මහතා සිය අත්දැකීම් පිළිබඳ මෙසේ විස්තර කළේය.

■ ඔබතුමා මෑතකදී ඈත පළාතක තියෙන නටබුන් වෙලා ගිය විහාරයක් බලන්න ගියා කියලා අපට දැනගන්න ලැබුණා. මොකක්ද ඒ පූජනීය ස්ථානය ?

මේ සිද්ධස්ථානයට විශේෂ නමක් පාවිච්චි වෙන්නේ නැහැ. මෙය පිහිටි භූමිය මයිල්ල පර්වතය විදියට අපි හඳුන්වනවා. සමහරු මේකට මයිල්ල විහාරස්ථානය කියලා කියනවා. ඒ සිද්ධස්ථානයේ තිබෙන නටබුන් පරීක්ෂා කිරීමෙනුයි, ජනප්‍රවාද ආදී සියලු කාරණා පරීක්ෂා කිරීමේදී අපට පෙනී යන්නේ පුරාණ රුහුණට අයිති පැරණි විහාරයක් බවයි. මෙම විහාරස්ථානයේ ඇති නටඹුන් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ ඉදිකළ විහාරස්ථානයක් බවයි.

■ එහි ශාසනික වශයෙන් ඇති වැදගත්කම හා ඵෙතිහාසික පසුබිම කුමක් ද ?

මෙය අනුරාධපුර යුගයට අයත් සිද්ධස්ථානයක්, අනුරාධපුර යුගයට අයත් සැතපෙන පිළිම වහන්සේ නමක්, එමෙන්ම අනුරධපුර යුගයට අයත් බිතුසිතුවම් සහ චෛත්‍යක් පැවතීම හේතුවෙන් ශාසනික වශයෙන් අපට වැදගත් වනවා.

මයිල්ල පර්වත විහාරස්ථානයේ දැනට ශේෂ වෙලා තිබෙන්නේ පුරාණ ගල් ලෙන් පමණයි. එහි කටාරම් කොටා තිබෙනවා. එක් ගල්ලෙනක සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. මෙම සැතපෙන පිළිම වහන්සේ අනුරාධපුර යුගයට අයිති බව කිව හැකියි. මයිල්ල පර්වත විහාරයේ පිළිමවහන්සේ ගඩොල්වලින් මූලික හැඩය මතුකරගෙන මැටි බදාම ආදිය යොදාගෙන තමයි නිර්මාණය කර තිබෙන්නේ. සුදු මකුළු මැටි තට්ටුවක් ආලේප කරලා නිමාව ඉතා විශිෂ්ට ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. සිවුර ඇඟට ඇළුණු ආකාරයට සජීවී කලා ලක්ෂණ මෙම පිළිම වහන්සේගේ දක්නට ලැබෙනවා. අද වනවිට මෙම විහාරයේ පිළිම වහන්සේලා විනාශ වෙලා. නමුත් එම පිළිම වහන්සේගේ මුහුණෙන් කොටසකුත් ශරීරයේ උඩ කොටසත් ඉතිරිවෙලා තිබෙනවා. ඒ වාගේම මෙම පර්වතය මුදුනෙහි දාගැබක් පැවති බවට සාධක හමුවෙනවා. මේ වන විට නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බැවින් පස් ගොඩක් පමණයි දක්නට ලැබෙන්නේ. නමුත් චෛත්‍යයේ ඡත්‍ර ගල ගැලවී ගොස් පිළිම වහන්සේ ඉදිරියේ දක්නට ලැබෙනවා. එනිසා බොහෝ දෙනා මෙය මල් ආසනයක් බව සලකනවා.

මෙම විහාරයේ ඉතාම වැදගත් කොටස වන්නේ ලෙන් විහාරයේ වියනෙ පවතින ඉපැරණි බිතු සිතුවම්. බොහෝ දෙනෙක් මයිල්ල පර්වතයේ ඇති චිත්‍ර ගැන කථා කරන්නේ නැහැ. රුහුණේ තිබෙන පැරණිම සිද්ධස්ථානවලින් එකක් වන මෙහි චිත්‍ර අයත් වන්නේ අනුරාධපුර යුගයට. නමුත් ඇතැමුන් කාල නිර්ණය සම්බන්ධයෙන් විවිධ අදහස් දරනවා. මෙය 3 හෝ 4 සියවස්වලට අයිතියි කියලා ඇතැමුන් කියනවා. තවත් අය මෙය 8වැනි සියවසට අයිති බව කියනවා. මයිල්ල පර්වතය ගැන වැඩිදුර සෙවීමක් කරලා නැහැ. චිත්‍ර සම්පූර්ණයෙන් විනාශවෙලා තිබෙන්නේ.

■ මයිල්ල පර්වත විහාරයේ ඇති බිතු සිතුවම්වල සුවිශේෂතා මොනවාද ?

මෙහි චිත්‍ර කොටස් කිහිපයකට බෙදා වෙන්කර විග්‍රහ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයට ඉහළින් තිබෙන බොහෝ අලංකාර සැරසිල්ලක් දැකිය හැකියි. ඒ සඳහා සාම්ප්‍රදායික කලා මෝස්තර යොදාගෙන ඇති අතර එහි තනි රතු බදාමයක් තිබෙනවා. තනි රතු පසුබිමේ සුදු පාටින් සැරසිලි මෝස්තර යොදා තිබෙනවා.

එක් තැනක වෘත්තාකාර හැඩ මෝස්තර ද අලියකුගේ රූපයක් ද දැකිය හැකියි. ඒ සඳහා භාවිත කර ඇත්තේ රතු හා සුදු පාට පමණයි. රතු වර්ණයේ ම ප්‍රභේදයක් භාවිත කර තිබෙනවා. එහි තවත් කොටසක් තිබෙනවා උද්‍යානයක් වගේ. එයින් කියවෙන්නේ කුමක්ද යන්න නිශ්චිතව සොයාගෙන නෑ. එහි තිබෙනවා පොකුණක්. නෙළුම් මල් පිපිලා කොළ, පොහොට්ටු, පිපිණු මල් ආදිය පෙන්වා තිබෙනවා. ඇත්තු, බූරුවෝ, මුවෝ ආදී සතුන් ද එහි නිරූපිතයි. ඊට නුදුරින් විමානයක් වැනි මණ්ඩපයක් දැකිය හැකි අතර ඒ තුළ පුද්ගල රූප කිහිපයක් ද පෙන්වා තිබෙනවා. උගතුන් කියන්නේ ඒවායෙන් නිරූපණය වනුයේ බෝධිසත්ත්ව යුවළක් බවයි. නමුත් ඒ මතය ස්ථිර කර නෑ. ඉතා සියුම් රේඛාවන්ගෙන් විසිතුරු කළ අලංකාර රූප කිහිපයක් තිබෙනවා. නමුත් චිත්‍ර පරීක්ෂා කිරීමේදී සීගිරි අප්සරාවන්ට බෙහෙවින් සමාන රූපයක් දැකගත හැකියි. සීගිරි චිත්‍ර වල මේ වන විට අපට දැක ගත හැකි වන්නේ සීගිරි අප්සරාවන්ගේ උඩුකය රූප වුවත් මෙහි සම්පූර්ණ කාන්තා රූපය නිරූපණය වනවා. මෙම විහාරයේ ඇති චිත්‍රවල අනෙක් වැදගත් කරුණ ශීර්ෂාවරණය, ඔටුන්න, ග්‍රීවාබරණ, හස්තාභරණ, වස්ත්‍ර ආදියේ ඇති සියුම් රේඛායි. ඒවා දක්ෂ චිත්‍ර ශිල්පියකුගේ බව පැහැදිලිව පෙනෙනවා. නොකැඩුණු තීව්‍ර රේඛා තිබෙනවා. ඒ අනුව මේ චිත්‍ර උසස් චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ බව පේනවා.

■ වර්තමානයේ දී මෙම විහාරස්ථානයේ තත්ත්වය සහ එහි නඩත්තු කිරීම් කටයුතු සිදු කෙරෙන්නේ කෙසේද?

මෙම සිද්ධස්ථානය කිසිවකුගේ අවධානයට ලක් නොවීම හේතුවෙන් වන වාසයට ගොස් තිබෙනවා. නිදන් හොරුන්ගේ ග්‍රහනයට ලක් වීම හේතුවෙන් සියල්ල විනාශයට පත් වී තිබෙනවා. අපගේ උරුමය, නැතිනම් පුරාණ ශිෂ්ටාචාරය වනයෙන් වැසී ගොස් තිබෙනවා. මා සංචාරය කළ අවදියේ නම් කිසිම නඩත්තු කිරීමේ කටයුත්තක් සදහා වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමුවී තිබුණේ නැහැ.

■ මේ වන විට අදාළ ප්‍රදේශයේ ඇති බෞද්ධ පසුබිම කවරාකාර ද ?

මයිල්ල පර්වත විහාරය පිහිටා ඇති කොටියාගල ගම පසුගිය කාලසීමාවේදී විවිධ ත්‍රස්ත උවදුරුවලට ලක්වුණු ගම්මානයක්. මනුෂ්‍ය වාසයත් අඩුයි. හේන් ගොවිතැන ජීවන උපාය කරගත් සිංහල බෞද්ධ පවුල් කිහිපයක් දැනට මේ ගම්මානයේ ජීවත් වෙනවා. නිශ්චිතවම පවුල් කීයක් සිටිනවාද යන කරුණ කියන්න අපහසුයි. ඔවුන් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. විහාරස්ථානයක් පේන මානයක නොමැතිකම හේතුවෙන් බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවුඩය එම ජනතාවට ලැබෙන්නට ක්‍රමයක් නැහැ. එම නිසා සිදුවන්නේ විවිධ මිත්‍යා දෘෂ්ටීන් කෙරෙහි නැඹුරු වීමයි. නිසි බලධාරීන් මැදිහත් වී මෙම මයිල්ල පර්වත විහාරය ප්‍රතිසංස්කරණය කොට ඔවුන්ට වන්දනා මාන කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි.

■ මයිල්ල පර්වත විහාරස්ථානයේ ගමන් මාර්ගය කෙසේද ?

යම් කෙනෙකුට මයිල්ල පර්වත විහාරය දැකබලා ගැනීමට අවශ්‍ය නම් මොණරාගලින් සියඹලාණ්ඩුව මාර්ගයේ කොටියාගල ගම්මානයට පිවිසෙන්න පුළුවන්. එතැන් සිට සැතපුම් දහයක පමණ දුරක් ගෙවා ගම්මානය මැදින් වනය හරහා මයිල්ල පර්වත විහාරයට ළගා විය හැකියි. ගමන් මාර්ගයේ දුෂ්කර බව හේතුවෙන් යතුරුපැදියක් හෝ අත් ට්‍රැක්ටරයක් වැනි වාහනයක් භාවිතා කරන්න සිදුවෙනවා. කොටියාගල ගම්වාසීන්ගේ උදව් ද මේ සඳහා ලබා ගත හැකියි.

■ මෙකී බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට අපට කළ හැකි දේ කුමක්ද ?

මෙය බෞද්ධයාට අයත් ස්ථානයක්. ශාසනික වශයෙන් වැදගත් ස්ථානයක් බැවින් මහා සංඝරත්නය මුල් වී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ද මැදිහත් වීමෙන් විහාරස්ථානය ගොඩ නගා සැදැහැති බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව දිය යුතුයි. එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී මේ වැනසීමට යන බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට කෞතුකාගාරයක් වැනි දෑ නිර්මාණය කළ හැකියි. එසේම මේ සම්බන්ධයෙන් පොත පත මුද්‍රණය කර ජනතාවට බෙදා දිය හැකියි. හැකි ඉක්මනින් මෙහි බිතුසිතුවම් සංරක්ෂණය කිරීම සදහා කටයුතු යෙදිය යුතුය. එසේ නොවුනහොත් අපගේ අතීත උරුමය විනාශයට පත් වනවා නිසැකයි.

කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ඇති මෙවැනි පෞරාණික වටිනාකමකින් යුත් සිද්ධස්ථාන අනාගත පරපුරටත් දායාද කිරීමේ වගකීම අප සතුව පවතී. එබැවින් මේ පිළිබඳ ඔබේත් මගේත් යුතුකම ඉටු කිරීමට අප්‍රමාදී වීම සම්බුද්ධ ශාසනය තවත් චිරාත් කාලයකට මෙසිරිලකෙහි ආරක්ෂා කරගැනීමට කරන්නා වූ මහඟු පුණ්‍ය කර්මයක් වනු ඇත.

සංවාද සටහන

ගනීෂා මන්ත්‍රීරත්න

වාරණ රජමහා විහාරය
පහන් සිතින් ඔබ වැන්දොත් වා අරණ

සහන් සුවය පැතිරෙයි දුක් නිවාරණ

සොබා දහමේ ඇතැම් නිමැවුම් පුදුමාකාර ය. සැණෙකින් සිත් සතන් නිවා සනහාලන පරිසරයක් නිර්මාණය කිරීමට සොබාදහමට හැකි ය. සුන්දර වෙල් යායකින් වටවුණ තුරුලතාවලින් සුපෝෂිත ගිරි ශිඛරයකට මෙය කදිමට කළ හැකි ය. එය සොඳුරු පුදබිමක් වන්නේ නම් මෙකරුණ වඩ වඩාත් තීව්‍ර වන්නේ ම ය. මෙවර පුණ්‍ය චාරිකාව වෙතින් ඔබ කැඳවාගෙන යන අසිරිමත් පුදබිම මෙම සියලු ම කරුණුවලින් මොනවට සමන්විත ය. ඒ වාරණ රජ මහා විහාරය යි.

කොළඹ නුවර මාර්ගයේ කි. මී. 37ක පමණ දුරකින් ඇති තිහාරිය හන්දියෙන් හැරී තවත් කිලෝ මීටර් 3ක පමණ දුරක් ගිය විට දකුණු පසින් දිස්වන කඳු මෙවුලක ඇති මෙම පුදබිම වෙත ඔබට පහසුවෙන් ළඟා විය හැකි ය.

කොළඹ නුවර මාර්ගයේ යක්කල හන්දියෙන් කිරිඳිවැල පාරට හැරී කි. මී. 6ක් පමණ ගොස් හමුවන නෙල්ලිගහමුල හන්දියෙන් වමට හැරී කි. මී. 2ක් පමණ යන විට වම්පස වෙල්යාය කෙළවරෙහි ගුවන අරා නැගි සොඳුරු කඳු පන්තියක දිස්වන කිරි බැබළෙන සෑ රදුන් ඈතට දිස්වන දසුන ඉතා චමත්කාර ය.

ස්වභාවිකව ම වෙල් යායක් වටකොට පිහිටි භූමියක් මතින් නැඟී සිටිනා ගල් පර්වතයක තල හතරකට පමණ වෙන්ව ඒ මත ගොඩනැගෙන විහාරාරාමය ස්වභාව ධර්මය තැනූ අපූර්ව නිර්මාණයක් බව නො කියා බැරි ය.

මේ පිහිටීම තුළින් ම කලබලකාරීත්වයෙන් මෙන් ම ඒකාකාරීත්වයෙන් ද පීඩාවට පත්වුණ සිත් සතන් නිවී සැනහී යන අයුරු මෙහි පැමිණෙන ඕනෑම අයෙකුට ඒ මොහොතේ දී ම හොඳින් අත්විඳිය හැකි ය.

විහාරස්ථානය වෙත පැමිණ ආවාස ගෙය වෙත යන විට සියනෑ හාපිටිගම අලුත්කූරු කෝරලයේ අධිකරණ සංඝනායක වාරණ ඓතිහාසික රජමහා විහාරයේ විහාරාධිපතින් වහන්සේ වන දොම්පේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ආවාස ගෙයි ඉදිරිපස පුටුවක වාඩිවී ගිලන්පස වළඳමින් සිටියහ.

මා ආ කාරණය සැල කළ පසු උන්වහන්සේ ඉතා කරුණාවෙන් අප වෙත මේ විහාරයේ ඉතිහාසය මෙසේ පහදා වදාළහ.

“මහත්තයා මෙම විහාරයට අප වාරණ යැයි ව්‍යවහාර කළත් ඒ වගේ ගමක නමක් නම් නෑ. වාරණ කියන්නේ හස්තියාට කියන නමක්. මේ පර්වතය ඈතට හස්තියකු සේ පෙනෙන හින්දා ‘වාරණ’ කියලා පටබැඳුණා වන්නටත් පුළුවන්.

තවත් ජනප්‍රවාදයක් තමයි ‘වා’ නැමැති වෘක්ෂයන්ගෙන් බහුල වූ අරණක් වූ නිසා ‘වා අරණ’ වාරණ වූවා කියන කාරණය.”

“පින්වත් ස්වාමීන් වහන්ස, මේ විහාරයේ ආරම්භක වකවානු ගැන තරමක සඳහනක් කරන්න පුළුවන් ද?”

“මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා හමා යන මිහිරි සුවඳක් වාගේ ඒ අමා ධර්මය දේශනා කළාට පස්සේ අනුරාධපුරයේ විතරක් නෙවෙයි ඒ දම් සුවඳ මුළු රට පුරා ම පැතිරිලා ගියා. ඒ ධර්මය අසා පැවිදිවෙන ස්වාමීන් වහන්සේලාගේ පැවිදි දිවිය සුව සේ නිදහසේ ගත කරන්නට සුදුසු මේ වාගේ ආරණ්‍ය බිහිවුණා.

අනුරාධපුර යුගයේ ධර්ම ප්‍රචාරක කටයුතුවලින් පසුව දෙවනපෑතිස් රජතුමා ලක්දිව යොදුනක් යොදුනක් පාසා විහාරාරාම කරවූ බව මහාවංශයේ සඳහන් වෙනවනේ මහත්තයා. ඒ කියන්නේ සැතපුම් 16න් 16ට වශයෙන් විහාරාරාම කරවලා තියෙනවා. අනුරාධපුරයේ අට සැට ලෙන් නිර්මාණය කළා වගේ ම ඒ අතර ප්‍රධාන විහාරයක් තමයි මේ වාරණ. මහත්තයා මෙතනත් කටාරම් කොටපු ගල් ලෙන් 32ක් තියෙනවානේ.

එක තැනක මෙහෙම තියෙනවා. ‘බතමමශ බතිත බත තිශතදනෙ…’ මේ පුරාණ බ්‍රාහ්මීය අක්ෂර කියන කතාව නම් මේ ලෙන් සංකීර්ණය මජ්ඣිම ස්වාමීන් වහන්සේගේ සහෝදරයා වූ තිස්සදත්ත නම් රහතන් වහන්සේට පූජා කළ බවයි. ඒ කියන්නේ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙහි තවත් බොහෝ භික්ෂු සංඝයා සුව සේ බවුන් වඩා සසර දාහය නිවාගන්නට ඇති.”

“ස්වාමීන් වහන්ස, මේ යුගයෙන් පස්සේ ආයෙමත් වාරණ ගැන සඳහන් වන පැහැදිලි අතීත සලකුණ මොකක් ද?”

“දෙවන යුගය එළඹෙන්නේ වළගම්බා රජතුමාගේ සම්බන්ධතාවයත් සමඟයි. ඒ කියන්නේ (ක්‍රි. පූ. 103-89) වගේ. අනුරාධපුරෙන් මායා රටට පළා ආපු වට්ඨගාමණී අභය රජතුමාට මේ ලෙන් ආශ්‍රිත ස්වභාවික පිහිටීම ආරක්ෂාවට කදිම පිළිතුරක් වුණා කියලයි මට හිතෙන්නෙ.

එතුමා වසර 13ක් තිස්සේ සැඟවෙමින් ආක්‍රමණික සතුරා පළවා හැරීමට සැලසුම් සකස් කරමින් හිටියා. මේ ගල් ලෙන් සංකීර්ණවලට එතුමා රජවීමෙන් පසුව දිය යුතු නියම කෘතවේදීත්වය ලබාදුන්නා. යුද්ධය කියන එකේ තියෙන පවිටු විපාකත්, එය මහජනයා වෙතට ගෙන එන කටුක පහසත් හොඳින් ම දැන අත්විඳ සිටි රජතුමා මේ ගල් ලෙන් තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් හැදුවේ රහසිගත බල කඳවුරු හෙම නෙවෙයි. කෙලෙස් යුද්ධයෙන් නිදහස් වී සදාතනික සැනසිලි මග අත්විඳින්නට ඉඩ සලසමින් නැවතත් මේ බිම් සංඝාවාස බවටයි පත් කළේ.

එන්නකො මහත්තයා මාත් එක්ක යන්න…”

ස්වාමීන් වහන්සේ හුනස්නෙන් නැගී සිටියහ. මම පොඩි දරුවෙකු මෙන් උන්වහන්සේ පසුපසින් වැටුනෙමි. සුවිසල් ගල් ලෙනක් අතරින් ගොස් දකුණුපසට හැරුණ විට එක එල්ලේ දිස්වන්නේ ගල මත කදිමට කපා ඇති පියගැටපෙළකි. ස්වාමීන් වහන්සේ පියගැටපෙළ තරණය කරන්නට වූහ.

“මහත්තයා… මෙතන ගල්පඩි සීයක් තියෙනවා…”

මළුවේ සිට පිය ගැට සියයක් නැග ගිය පසු හමුවන කඳු මේඛලාවේ මැද මළුවේ ඇත්තේ කටාරම් කොටා කදිමට සකසා බුදු මැදුරක් බවට පත් කරවන ලද විසල් ගල් ලෙනකි.

මැදුර තුළ ශෛලමය ප්‍රතිමා වහන්සේනමක් නිම කරවීමෙන් මෙසේ මේ ලෙන් කුටිය මැදමළුවේ විහාර මන්දිරය බවට ද වාරණ ප්‍රධාන බුද්ධ මන්දිරය නොහොත් මහා විහාර මන්දිරය බවට පත්කොට තිබේ.

මෙය අද කොටස් දෙකකින් සමන්විත ය. පළමු කොටසෙහි දහ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටියි. දෙපස විෂ්ණු, සමන් නාථ දේව රූප මෙන් ම ආනන්ද මහරහතන් වහන්සේගේ රුව ද නිර්මාණය කර ඇත.

දෙවන කොටසෙහි වියන් සිතුවමින් අලංකාර කොට සූවිසි විවරණ සත් සති ප්‍රතිමා වහන්සේලා නෙළා ඇති අතර සම්බුදු සසුනේ භාරකාරත්වය දරන විෂ්ණු දේවරුව ද නිර්මාණය කොට ඇත.

‘අනේ… මට මල් ගොඩාක් අරන් එන්න තිබුණා… මේ පිළිම වහන්සේලාගේ මල් ආසන ඒ මලින් අලංකාර කොට හඬ නගා වන්දනා කරන්නට තිබුණා නම්…’ මේ විස්මිත ලෙන තුළ දී මගේ සිතට එවන් සිතුවිල්ලක් එකතු විය.

මේ වෙලාවේ අධ්‍යාපන චාරිකාවක පැමිණි පාසැල් ළමුන් කණ්ඩායමක් විහාරයට ඇතුළු විය. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ සියලු දරුවන්ගේ සිත් සතන් සනහාලමින් ඉතා පැහැදිලි හා කරුණාබර ස්වරයෙන් මේ විහාරයේ ඉතිහාසය කියාදෙන්නට විය.

මම උන්වහන්සේගේ පා කමල් වන්දනා කොට මැද මළුවෙන් උඩ මළුව වෙත යන්නට පියවර එසවීමි. වන වදුලක් මැදින් වැටී ඇති තවත් ගල් පඩි 125ක් පමණ තරණය කළ පසුව උඩ මළුව වෙත පිවිසිය හැකි ය.

අසිරිමත් මහ ගල යට නැගෙනහිරට වූ ලෙන් කුටිය උඩ මළුවේ විහාරය වෙයි. එය ද සිද්ධාර්ථ කතා පුවත විදහාලන සිතුවම් පෙළකින් අලංකාර වී ඇත. ඇතුළත ලෙන ඉදිරියෙන් දහ අට රියන් වූ සැතපී සැනසෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. දකුණින් ඔත් පිළිම වහන්සේ තෙනමකි. උතුරට මල්තොරණින් විසිතුරු වූ තවත් ඔත් පිළිම වහන්සේනමක් මෙන් ම නැඟී සිටින පිළිම වහන්සේනමකි.

වළගම්බා රජතුමාගෙන් පසුව ද වාරණට රාජ්‍ය අනුග්‍රහය අඩු නො වුණු බවට මේ උඩ මළුවේ විහාර මන්දිරය කදිම සාක්ෂියකි. පොළොන්නරුවේ රජ පැමිණි කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම විහාර මන්දිරය විශාල කරවා දහ අටරියන් මහ පිළිම වහන්සේ මෙන් ම සිතුවම් ද කරවූ බව සඳහන් ව ඇත.

දඹදෙණියේ රජ පැමිණි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ අධීක්ෂණයෙන් තවත් නවකම් ද කළ බව සඳහන් වෙයි. කෝට්ටේ රාජ්‍ය සමයේ සවැනි පරාක්‍රමබාහු රජතුමා මෙහි පුනරුදයට මහත් සේ වෙහෙසී ඇත. ඒ බව සනාථ කිරීමට අල්පිටිගේ පාරම්පරික තඹ සන්නස සාක්ෂි දරයි.

අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණිය, කෝට්ටේ, මහනුවර ආදි වූ සියලු ම යුග නියෝජනයක සන්ධිස්ථානයක් වූ වාරණ රජ මහා විහාරයේ අද අපට දකින්නට ලැබෙන්නේ විශේෂයෙන් මහනුවර යුගයේ කලා සම්ප්‍රදායයේ ලක්ෂණයන් ය.

උඩ මළුවට අවට දිස්වන අයුරු මනරම් ය. නැගෙන හිරෙන් ඈත අහස් කුසේ මිහිදුම් සේලයෙන් වැසුන සමන්ගිර දිස්වන්නේ වලාවන් අතර කළ සිතුවමක් පරිද්දෙනි. හමා එන මන්ද මාරුතය ගත සිත විඩා නිවලයි. බෝපත් සිලි සිලි හඬ හැරෙන්නට උඩ මළුව නිහඬ ය, නිසංසල ය. බවුන් වඩන සිතකට මෙය නම් අසිරිමත් දායාදයක් වනවාට කිසි ම සැකයක් නැත.

මම මගේ සිතැඟි පරිදි හඬ නගා බුදු ගුණ කවි කියමින් උඩ මළුවේ සෑරජාණන් වහන්සේ පැදකුණු කරමින් වන්දනා කළෙමි. ඒ හඬ ඇසෙන්නට අද කිසිවෙකුත් මේ උඩ මළුවේ නැත… වාතලයට මුසු වූ ඒ සම්බුදු ගුණ කැටි වුණ කවිපද මේ ගිරි ගුහාවල හැපී දෝංකාර දෙමින් ඈත වාතලය පුරා පැතිරී යයි… ඒ දෝංකාරය මේ විසල් ගල් කුළුවල වැදී එහි සැඟවී තිබූ පැරණි කවියෙකුගේ කවි දෙපදක් ද සැණෙන් මා මතකයට එක් කරයි.

“පායන පුන්සඳ සේ බැබළෙන්ඩයි

වාරණ ගල යට බුදුන් වඳින්ඩයි”

චාරිකා සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ

සිරි දළදා සමිඳු පුද දුන් පින් බිම ය සිත පහදා වඳිමු තැන්නේ මාලිගය
“අන්න…. මහා කළු සිංහලයා…. පලා යනවෝ…. අන්න…. මහා කළු සිංහලයා…. පලා යනවෝ…. අල්ලපියෝ….”

ගිරි නිඝණ්ඨයා යටිගිරියෙන් මුරගාන්නට විය. පසෙක උන් සොලී හේවායෝ ඒ හඬින් අවදි වී වේගයෙන් ඇදී යන අශ්ව රථය පිටුපස ලුහුබඳින්නට වූහ. අනුරපුර අහසට දූලි වලා එක්කරමින් අශ්ව රථය පවනට බඳු වේගයෙන් ගියත් සිව් දෙනෙකුගේ බර දරාගනිමින් අසුට මේ විදියට වැඩි දුරක් යන්නට නො හැකි බව පින්වත් සෝමා දේවියට වහා අවබෝධ විය. අවි රැගෙන ලුහුබඳින අසරුවන් වඩ වඩාත් ළං වන්නට විය.

“ස්වාමීනි… මේ රටත් සම්බුද්ධ ශාසනයත් රැකෙන්නේ ඔබ වහන්සේ රැකුනොත් පමණයි… මේ දරු දෙදෙනාටත් ඒ අනාගත උරුමය පවරන්න ස්වාමීනි….”

මේ රට දැය, සම්බුදු සසුන වෙනුවෙන් තම ජීවිතය අත් හල වීර සෝමා දේවිය වහා අස්රියෙන් බිමට පැන්නා ය.

එසේ… පලා ආ වට්ඨගාමණි අභය රජතුමාහට ලංකාවේ විවිධ ප්‍රදේශවල වසර 12කට අධික කාලයක් සැඟවී සිටිමින් සේනා සංවිධානය කිරීමට සිදු විය. මෙහි දී රජතුමාට අවැසි රැකවරණයත්, මාර්ගෝපදේශනයත් ලබා දුන්නේ මහ සඟරුවන විසිනි.

එදා සිට අද දක්වාත් සංඝයා වහන්සේලා වැඩ හිඳිමින් මේ රට දැයත්, සම්බුදු සසුනත් කෙරෙහි මහ මෙහෙවරකට දායක වුණ බස්නාහිර පළාතේ ඇති සොඳුරු පින් බිමක් කරා ඔබ කැඳවාගෙන යන්නට මට අවසර…

මා අද ඔබව කැඳවාගෙන යන්නේ තවත් අතිශය සුන්දර වු ගිරි ශිඛර හා ගිරි ගුහාවලින් සුසැදුන සුන්දර කඳු මුදුනක් මතට ය.

තවත් ලෙසකින් කීවොත් ස්වභාව සුන්දරත්වයෙන් අනූන වෙමින්, ඒ සුන්දරත්වය ඓතිහාසික වටිනාකමකින් ඔප කරමින්, ඒ ඓතිහාසික වටිනාකමට පූජනීයත්වයේ කිරුල පලඳවා, ඒ පූජනීයත්වය නිසා ම බොදු සැදැහැතියන්ට සිත පහදවාගෙන වන්දනාමාන කිරීමට සුදුසු වූ පිවිතුරු පුදබිමක් බවට පත් වූ පින් බිමක් වෙත ය.

යක්කල රදාවාන පාරේ අඹගස්පිටියේ සැතපුම් තුනේ කණුව අසලින් වැටී ඇති මඟ දිගේ තවත් කි. මී. 2.4ක් පමණ පැමිණ මේ පුද බිම වෙතට ළඟා විය හැකි ය. මේ, ඓතිහාසික මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනය යි.

උදෑසන ම තෙරුවන් වන්දනා කර ගමන් ආරම්භ කළ අපට හෝරාවක පමණ ගමනකින් මේ සොඳුරු පින් බිම වෙත ළඟා වන්නට හැකි විය.

හෙළ ගල් වඩුවාගේ හැකියාවන් ගැන විස්මයට පත්වෙමින් අපි ගල් තලාව මත අපූරුවට හා පිළිවෙළට කැපූ පියගැට පෙළ මත පළමු පියවර තබා මේ පින් බිමට පා තැබීමු. කඩින් කඩ ගල මත කැපූ පියගැටපෙළත්, විටින් විට ගල් තලාවත් මත ඇවිද යමින් කරන ලද කඳු තරණයකින් අනතුරුව වාහල්කඩ යටින් විහාර භූමියට ඇතුළු විය හැකි වේ.

විහාර භූමියට ඇතුළු වන තැන ම ගල මත එක් පසෙක ඉර හඳත්, අනෙක් පස සුනඛයෙකුගේ හා කපුටෙකුගේ රූපත් කොටා ඇත.

විහාර භූමියට ඇතුළු වූ සැණින් වම් පසින් දිස්වන්නේ පැරණි බෝධින් වහන්සේ වැඩ වෙසෙන බෝ මළුව යි… බෝ මළුව පසු කර ඉදිරියට යන විට තවත් පියගැට 75ක් පමණ තරණය කර උඩමළුවේ සෑරජාණන් වහන්සේ වෙත පිවිසිය හැකි ය.

අපි සෑ රජාණන් වහන්සේ වෙත පැමිණ බුදු ගුණ සිහිකරමින් පැදකුණු කොට මල් පහන් පුදා වන්දනා කළෙමු.

පහත සිට අඩි 300ක් පමණ ඉහළින් පිහිටි මේ සෑ මළුවට අවට පරිසරය සුන්දර ලෙස දිස්වේ. සෑ මළුවේ පියගැට පෙළ බැස එන විට කෙළින් ම ඉදිරියට හමුවන්නේ ශෛලමය පියස්සකින් සෙවණ දෙන ලොව සුවිශාලමය ධර්ම ශාලාවයි… මේ ධර්ම ශාලාවට ඇතුළු වූ විට ඔබ විස්මයෙන් ඇලලී යනවා නියත ය. අඩි සිය ගණනක් කිසිදු ආධාරයක් නොමැතිව මේ ශෛලමය පියස්ස කෙසේ අහසේ රැඳී පවතිනවා ද යන්න ගැන ඔබට සිතන්නට බොහෝ දේ තිබෙනු ඇත.

ධර්ම ශාලාවට ඔබ්බෙන් තිබෙන බෝ මළුව වෙත පැමිණි අපි මල් පුදා වන්දනා කළෙමු… බෝ මළුවේ පසෙකින් ඇති ගල් කුල ස්වාභාවිකව ම ඛාදනය වී සැකසී ඇත්තේ දැවැන්ත මලක පෙති සමූහයක් ලෙසිනි. සොබා දහම පවා මේ පුදබිම වෙත විස්මිත නිමැවුම් මවමින් තම පුදසත්කාරය පල කරනවාක් වැනි ය.

පහත මළුවේ කටාරම් කෙටූ ගල් ලෙන් කීපයක් ම දක්නට ඇත. එසේ ම නිධන් ගල යැයි සම්මත චතුරාශ්‍රාකාර කොටු හැඩැති කුටීර විසිපහකින් සමන්විත පියනක් සහිත යන්ත්‍ර ගලක් ද දක්නට ඇත. තවත් පැරැණි නටබුන් රාශියක් මෙන්ම අතීතයේ දී යතිවරුන් භාවිත කළ උපකරණ රාශියක් ද උමං මාර්ගයක් ද කිසිවකුගේ පහසට නතු නො වූ ගණ අඳුර රජයන ගුහා කීපයක් ද තවදුරටත් අනාවරණය නො වුණ ඓතිහාසික රහස් සඟවාගෙන, වසර 30 000ක් පමණ පැරණි බවට අද සාධක හමු වී තිබෙන මෙම ගිරි ශිඛරයේ සුරැකිව ඇත. මෙම ස්ථානය කෝට්ටේ යුගයේ දී රහස් බලකොටුවක් වශයෙන් පැවැති බව ද කියැවෙයි.

තවදුරටත් මේ පින් බිමේ ඓතිහාසික තොරතුරු දැනගැනීම පිණිස අප මෙම ඓතිහාසික මාලිගාතැන්න විවේක සේනාසනයේ කෘත්‍යාධිකාරී පූජ්‍ය කොටපල පියරතන හිමියන් සොයා ගියෙමු.

අප යන විටක් උන්වහන්සේ ගල් තලාවක් මතට වී යුහුසුලු ව වත්මනෙහි මෙම විහාරයේ කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් උපදෙස් ලබාදෙමින් සිටියහ.

ලද විරාමයේ දී අපි උන්වහන්සේගේ දෙපා නැමද අප ආ කාරණය පැහැදිලි කර සිටියෙමු.

“එන්නකො මහත්තයල මාත් එක්ක…. අපි වාඩි වෙලා කතා කරමු.”

උන්වහන්සේ පසුපස වැටුණ අපි ආවාස ගෙය තුළ වාඩි වුණෙමු. උන්වහන්සේ ඉතා පැහැදිලි ස්වරයෙන් කටහඬ අවදි කළහ.

“මහත්තයා… ඔබතුමන්ලා මේ ඇවිත් ඉන්නේ ඓතිහාසික මාලිගාතැන්න විවේක සේනාසනයට යි.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රීක්කයේ තියෙන උස ම තැන මෙතැනයි… අඩි 850ක් පමණ උසකින් යුක්තයි.

වළගම්බා රජතුමා වසර ගණනක් සැඟවී සිටි ස්ථානයක් විදියටත් මෙම ලෙන් විහාරය ප්‍රසිද්ධයි…. ඒ වාගේ ම මුගලන් රජතුමාත් මෙහි සිටි බව සඳහන්.

මිත්තාසභ රහතන් වහන්සේ ප්‍රධාන රහතුන්ගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු වූ පින් බිමක්.

ඒ විතරක් නෙවෙයි… අති පූජනීය වූ දළදා වහන්සේ දෙවරක් ම මේ පින් බිමේ වඩා හිඳුවාගෙන පුද සත්කාර කොට තිබෙනවා.”

“පින්වත් ස්වාමීන් වහන්ස, මේ පින් බිමට මාලිගාතැන්න යන නම යෙදීමට හේතුවක් තියෙනවා ද?”

“මහත්තයා… මේ ගල මත කලින් තිබිලා තියෙනවා විශාල වළක්… පසුව අවට ගමකින් පස් ගෙනත් මේ වළ පුරවලා තැනිතලාවක් හදලා ඒ තැන්නේ තමයි දළදා මාලිගය සාදා තිබෙන්නේ. තැන්නේ හැදූ මාලිගය යන අරුතිනුයි මාලිගා තැන්න බවට පත් වෙලා තියෙන්නේ.

එතකොට මේ පස් ගත් ගම අදත් තියෙනවා. අද ඒ ගමට කියන්නේ පස්ගම්මන….

එතකොට මහත්තයා මේ දළදා වහන්සේට වතාවත් කරන්නට අවට ගම්වලට බාර වුණා… පාලියෙන් බත්වලට කියන්නේ ‘බුත්’ කියලා. බත් පූජා කළ බත්ගම තමයි අද බුත්පිටිය කියන්නේ.

ඒ වාගේ ම ව්‍යංජන පූජා කළ ගම තමයි කෙහෙල්ගල් දොරුව.

අඹ ආදි සියලු පලතුරු පූජා කළ ගම තමයි අඹගස්පිටිය.

වතු පිටින් මල් වවලා පූජා කළ ගම තමයි මල්වතු හිරිපිටිය.”

“සාධු….! සාධු…! හරි ම අසිරිමත් විදියට පූජා පවත්වලා තියෙනවානේ ස්වාමීන් වහන්ස…”

“අපි විතරක් නෙවෙයි මහත්තයා, මේ දළදා වහන්සේට දෙවිවරුත් පුද සත්කාර කළා. ආරක්ෂාව ගැන සොයා බැලුවා.”

“ඒ කිව්වෙ ස්වාමීන් වහන්ස…?”

“ඔන්න කෝට්ටේ යුගයේ දී මේ දළදා වහන්සේ භාරව හිටියේ හිරිපිටිය කියන දියවඩන නිලමේතුමා. හිරිපිටිය නිලමේතුමාට දවසක් හීනෙන් දෙවි කෙනෙක් පෙනී හිඳලා කවි දෙපදයක් කියලා තියෙනවා, ‘කෝට්ටේ කළාලේ – දත මැද ගන්න රාළේ’ කියලා…. අද කෙනෙකුට නම් මේ අරුත තේරුම් ගන්න බැරිවෙයි… ඒත් හිරිපිටියෙ නිලමේතුමා මේ අරුත මැනැවින් තේරුම් ගත්තා…

‘කෝට්ටේ පරසතුරු ආක්‍රමණ බලවත් වනවා, ඉක්මනින් දන්ත ධාතුන් වහන්සේ රට මැදට ගන්න’ කියන එකයි ඒකේ අරුත.

ඉතින් මේ වෙලාවේ හිරිපිටිය නිලමේතුමා කල්පනා කළා දළදා වහන්සේට සුව පහසු ව, ආරක්ෂාකාරී ව වැඩහිටින්නට සුදුසු තැන කුමක් ද කියලා… මෙන්න මේ වෙලාවෙදි තමයි තීරණය කළේ මීට පෙරත් දළදා වහන්සේ වැඩ හිටිය මේ මාලිගාතැන්න පින් බිම තමයි සුදුසු ම තැන කියලා… ඉතින් ඔන්න ඔහොමයි මහත්තයා මේ පින් බිම අවස්ථා දෙකක දී ම දළදා වහන්සේගේ පහසින් පූජනීයත්වයට පත් වුණේ…”

“පින්වත් ස්වාමීන් වහන්ස, අප දුටුවා අර විහාරයට ඇතුල් වන තැන ම තිබෙනවා ඉර හඳ පසෙකත්, අනෙක් පස බලු කපුටු රුවකුත්… මෙහි යම් අර්ථයක් තියෙනවා ද?”

“මහත්තයා… මේවා අතීත අනාගත සිව් දිගින් වඩින මහා සංඝයා වහන්සේලා වෙත සැදැහැවතුන් මහත් භක්ති ආදරයෙන් පූජා කළ පුද බිම්… මේවා අයිති සම්බුදු සසුනට යි… යම් කෙනෙක් මේ සඟ සතු දේපළ අයථා පරිහරණය කළොත් මේ ඉර හඳ පවතින තුරා අන්න ඒ අය බල්ලන් වෙලා, කපුටන් වෙලා තමයි උපදින්නෙ කියන එකයි එයින් අදහස් වෙන්නේ…

එහෙනම් මට සුනංගු වුණා… දානයකට භාරගත්ත ආරාධනාවක් තියෙනවා.”

උන්වහන්සේගේ දෙපා නැමද සමුගත් අපි විහාර මන්දිරය වෙත ආවෙමු… සුවිශාල ගල් පියසකින් සෙවණ වුණ ධර්මශාලාවේ වම් පස කෙළවරේ විහාර මන්දිරය පිහිටා ඇත. ඒ දහවල් දාන වේලාවයි… අපි සියලුදෙනා භාග්‍යවතුන් වහන්සේ වෙත දන් පැන් පූජා කිරීමට පැමිණි පිරිස හා එකතු වී දන් පැන් පූජා කර මිහිරට හඬ නගා බුද්ධ වන්දනා කළෙමු.

ඉන් අනතුරු ව… දළදා වහන්සේගේ පහසින් පූජනීය වූ ආකාස චෛත්‍ය දැක බලා වන්දනා කර ගැනීම සඳහා පිටත් වුණෙමු. අපට මග පෙන්වන්නට අපූරු ගමන් සගයෙකු එකතු විය… ඒ සුනඛයෙකි… ඌ ඇතැම් විට මේ සඟ සතු දේපළ අයථා පරිහරණයේ විපාක විඳිනා අයෙක් විය හැකි ය. අහෝ… සසර කෙතරම් බියකරු ද?

ගස් වැලින් පිරුනු, සොබා දහමින් සිසිලස රැඳුන පරිසරය ගතේ විඩාවට මඳ අස්වැසිල්ලකි… අඩි සියයක පමණ දුරක් ගිය විට මුණගැහෙන දෙගල්දොරුව ද සොබා දහමේ අසිරිමත් නිමැවුමකි. සුවිසල් ගල් පරුවත බිත්ති දෙකක් මැදින් ඉහළ කඳු ශිඛරය වෙත වැටී ඇති මාවත කුරුබිලි මාවත හෙවත් ආකාශ ගව්ව ලෙස ද නම් දරා ඇත. එය තරණය කළ විට ඔබට මේ ජීවිතයේ දී නෙතින් විඳි සොඳුරු ම අසිරිමත් ස්ථානයක් වෙත පිවිසිය හැකි ය.

ඒ, ආකාස චෛත්‍ය මළුව යි… අපට මගපෙන්වමින් අඩි 850ක් තරණය කර ආ අපගේ ගමන් සගයා කිසිදු හැල හොල්මනක් නැතිව මල් ආසනය යටට ගොස් නින්දට වැටුනි.

මේ උස් කඳු මුදුනේ හාත්පස සිසාරා නෙත් යැවූ කල නැගෙනහින් සොඳුරු සමනල කඳු වැටිය ද බස්නාහිරින් මීගමු වෙරළ තීරය ද දකුණු අතින් ගාලු මුවදොර ද ඒ අතර හිස් අවකාශය හරිත පැහැයෙන් වර්ණවත් කළ පොල්රුප්පාවල මෙන් ම කෙත් වතුවල මනස්කාන්ත දසුනින් ද ඔබ වසඟ වනු නොඅනුමාන ය.

හමා එන සිහිලැල් පවනින් ගතේ විඩා පමණක් නොව නොයෙකුත් කරදර කම්කටොළුවලින් පිරි සිතේ විඩාව ද පිසදා හැර භාවනාවට ම සුදුසු විවේකී සිතක් සැණෙකින් උපදවා දෙයි… මෙය මාලිගාතැන්න විවේක සේනාසනය ලෙස හඳුන්වන්නේ ඒ නිසා ම විය යුතු ය.

මඳක් ඒ අසිරිමත් දසුනින් සිත සනහා ගත් අපි ආකාස චෛත්‍යය වන්දනා කළෙමු. සැබැවින් ම භාග්‍යවතුන් වන්සේගේ සිරි සම්බුදු මුව මඬලින් පිටවූ සුවාසූදහසක් ධර්මස්කන්ධයේ පහස ලැබු සිරි දන්ත ධාතූන් වහන්සේගේ සුනිමල පහස දෙවරක් ම ලැබූ පින් බිම මෙතැන ය. සියවස් ගණන් තිස්සේ මේ රට ජාතිය සම්බුදු සසුන රැකදුන් නරපතියන්ගේ ක්ෂේම භූමිය මෙතැන ය… උතුම් රහතන් වහන්සේලා සම්බුදු ගුණ සිහිකරමින් වැඩහුන්, දළදා වහන්සේට ගම්මාන පිටින් එක්වී පුද සත්කාර දෙමින් වන්දනා කළ බිම මෙතැන ය… ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස… ඔබ වහන්සේගේ සම්බුදු සිසිලස අදත් මේ බිමෙන් තුරන් වී නැත… දිවි පුදා ඔබ වහන්සේ සරණ යමි…

සාදු! සාදු!! සාදු!!!

සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ

දහස් ගණන් මහ රහතුන් සිල් පිරුව – මහත් බැතින් සුරකිමු පිළිකුත් වෙහෙර
උදෑසන හිරු කුමරා දවසේ මෙහෙය අරඹා හෝරා කීපයක් ගතවෙද්දී දහස් ගණන් රහතුන්ගේ පා පහසින් පූජනීය වූ තවත් සොඳුරු පින් බිමක අසිරිය සොයා අපි ගමන් ඇරඹීමු. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මිරිස්වත්ත හන්දියෙන් දකුණට හැරී වතුරුගම මාර්ගයේ කි. මී. 04 ක් පමණ ගොස් පිළිකුත්තුව හන්දියෙන් වමට හැරී කි. මී. 1ක් පමණ ගිය විට මේ සොඳුරු පින් බිම වෙත පැමිණිය හැකි ය.

රජ දරුවනට පිළි සැපයූ ගම්මානය, වළගම්බා රජ බිසවගේ පිළි සඟවා තැබූ ස්ථානය යන්නෙන් බිඳී ‘පිළිකුත්තුව’ යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ පවතියි.

ඉදිරිපසින් සිත නිවන සොඳුරු වූ වෙල් යායක් ද දකුණුපසින් විශාල පොල් වතු ද වම්පසින් නේකවිධ රමණීය ජල පුෂ්පයන්ගෙන් සුසැදි සිහිලැල් ජලය පිරුණු වැවක් ද නැගෙනහිර දෙසින් සුවිසල් පර්වත පෙළක් සමඟින් වන සොඳුරු වන රජදහන ද මැදිකරගෙන ශතවර්ෂ ගණනාවක කතාවක් සඟවා ගත් පිළිකුත්තුව රජ මහා විහාරය තේජාන්විතව වැඩ හිඳිති.

බස්නාහිර පළාතේ, සියනෑ කෝරලයේ, උරුවෙල් පේරුවේ, මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පිළිකුත්තුව ග්‍රාම සේවා වසමේ පිහිටි මේ සොඳුරු පින් බිමට ඇතුළු වූ අපි පළමුව විහාරාධිපති හිමියන් මුණගැසී වන්දනා කොට අප ආ පවත් දන්වා එකත්පස්ව වාඩි වුණෙමු.

“මහත්තයා… දැන් මේ විහාරය බාරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් පිහිටුවා තිබෙනවා… අන්න අර කඳු පියස මත, අර ඈත පේන බුද්ධ මන්දිරයට වම් පැත්තෙන්… මහත්තයලා එතෙන්ට යන්ට… ඒ මහත්වරු මේ විහාරය පිළිබඳ සියලු තොරතරු මහත්තයලාට ලබා දෙයි.”

උන්වහන්සේගේ පා කමල් වන්දනා කළ අපි ආවාස ගෙයින් පිටතට පැමිණ පළමුව බෝධීන් වහන්සේ පසුකරමින් ගල් පියගැටපෙළ තරණය කර සුවිසල් කටාරම් කෙටූ ගල් ලෙනක් පියස්ස කොටගෙන තැනූ බුද්ධ මන්දිරය වෙත පැමිණ වන්දනා කළෙමු.

ඉපැරණි සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් මැදිකොටගෙන නිර්මාණය වූ ඒ විසල් බුදු මැදුර තුළ ඇත්තේ සිත මෙන් ම ගත ද සනසන සිහිලසකි…. ශෛලමය වූ බිත්ති සහ වහලය පුරා ඉපැරණි ලෙන් සිතුවමින් අලංකාර වී ඇත.

බුද්ධ මන්දිරයෙන් පිටතට පැමිණි විට වම්පසින් ඇති යෝධ කළු ගලකින් සෙවණ ලබන චෛත්‍ය රාජයාණන් වහන්සේ ඒ ආකරයෙන් පිහිටා ඇති ලොව ප්‍රථම සෑරජාණන් වහන්සේ යයි මට සිතුණි.

සෑරජාණන් වහන්සේ වන්දනා කළ අපි මේ සොඳුරු ඉපැරණි විහාරාරාම සංකීර්ණයේ තොරතුරු සොයා පුරාවිද්‍යා කාර්යාලය වෙත එළඹුනෙමු.

එහි වැඩ හුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූජ්‍ය මුල්ලේගම සෝම ස්වාමීන් වහන්සේ සහ එහි සිටි පුරාවිද්‍යා කාර්යාලයේ කලාප භාර නිලධාරිනී එච්. වීරසිරි මහත්මිය මේ ඓතිහාසික පුදබිමෙහි තොරතුරු ලබාගැනීම සඳහා බෙහෙවින් උපකාර වූහ.

මා විසින් මීට පෙර අකුරු කරන ලද සොඳුරු පුදබිම්හි අසිරිය රැඳුනු පුණ්‍යචාරිකා කෘතියක් උන්වහන්සේ වෙත පූජා කළ මම පසෙකින් වාඩි වීමි.

“මහත්තයා… මේ බිම ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මහනුවර යුගය දක්වා පැතිරුන සුවිසල් ඉතිහාසයකට උරුමකම් කියන පින් බිමක්.

අක්කර 200ක විතර වනය පුරා කටාරම් කෙටූ ගල් ලෙන් ද ඇතුළු ව ගල් ලෙන් 99ක් විතර මේ පුදබිම පුරා විසිරී තිබෙනවා. අනුරාධපුර යුගයේ දී රහතන් වහන්සේලා පිරිවරා ගත් සංඝයා වහන්සේලා හුදෙකලාවේ බවුන් වැඩූ වන සෙනසුනක් විදියට මේ සෙනසුන පැවති බවට පැහැදිලි සාක්ෂි තියෙනවා.

ඒ වාගේ ම පොළොන්නරු හා දඹදෙණි යුගයට අයත් ඉපැරණි කාසි හා මහනුවර යුගයට අයත් නිර්මාණ ද මේ අවට කළ කැනීම්වලින් හමුවී තියෙන හින්දා මේ ආරණ්‍ය සේනාසනය බොහෝ කාලයක් සංඝයා වහන්සේලා වැඩ විසූ පින් බිමක් විදියට සිතන්නට පුළුවන්.

මීට අමතරව අනුරපුර යුගයට අයත් කැට ගලින් නිමැවුන විශාල පොකුණකුත්, මහනුවර යුගයට අයත් දැනට ලංකාවේ ඉතිරිවෙලා තියෙන ඉපැරණි දැව පාලම් දෙකෙන් එකකුත් මේ පින් බිමේ දී දැකගන්නට පුළුවන්.

අනුරාධපුර යුගයේ දී සොළී ආක්‍රමණ හමුවේ පසුබැස පලා ආ වට්ඨගාමණීඅභය (වළගම්බා) රජතුමා සැඟවී සිට සේනා සංවිධානය කළ ස්ථාන අතරින් එකක් බව ද ජනප්‍රවාදයේ සඳහන් වනවා.

මේ ගිරි මුදුනේ තියෙන බැලුම්ගල වෙත ගියාම අවට බොහෝ ප්‍රදේශයක් ඉතා පැහැදිලි ව දිස්වන හින්දා මෙතන ඉතා ම ආරක්ෂාකාරී ව සිටිමින් අවට තොරතුරු නිරීක්ෂණය කරන්නට පුළුවන්.

මහත්තයා මෙතනින් ඇතුළු වෙලා මේ වන පියස ඇතුළට යන්න… වචනයෙන් කියන්නට බැරි බොහෝ දේ මේ වනය ඇතුළේ දී හමුවේවි.”

උන්වහන්සේගේ පා කමල් වන්දනා කළ මම රහතුන්ගේ පා පහසින් පූජනීය වූ ඒ සොඳුරු වන පියසට ඇතුළු වීමි.

මා හට මග පෙන්වන්නට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ පුරාවිද්‍යා නිලධාරීන් වූ සමරසිංහ මහතාත්, චන්ද්‍රසිරි මහතාත් පෙරමුණ ගත් අතර නයනා මහත්මිය ද අපගේ ගමනට එකතු වූවා ය.

ගල් පඩිපෙළක් තරණය කිරීමෙන් අනතුරුව වල්දෙල්, රුක්අත්තන, හොර, මිල්ල, හල්මිල්ල, නැදුන්, දොඹ, නුග, කිතුල්, මා වේවැල්, පුස්වැල්, කළුවර, හුලංහික්, සියඹලා, දූරියන් ආදි මහා වනස්පතීන්ගේ සෙවණ යට වැවුනු ඉරිවේරිය, මාදන්, අක්කපාන, කෝමාරිකා, ඇත්දෙමට, තොටිල්ල, අංකෙන්ද, නවහන්දි, හාතාවාරිය ආදි බෙහෙත් පැළෑටිවලින් පිරුණ මේ වනය විටෙක ඔසු උයනක් වැන්න…

ගස් වැල් අතරින් වැටුනු අඩි පාර විටෙක ගල් පඩි නගිමින් හා බසිමින් ද විටෙක කඳු බෑවුම් අතරින් ගස් වැල්වල ආධාරයෙන් තරණය කරමින් ද යා යුතු ය…. බැලු බැලු අත ඇති ලොකු කුඩා ගල් ලෙන් බොහොමයක කටාරම් කොටා ඇත.

පාවහන් රහිතව පැමිණි මාගේ දෙපයට පුරාවිද්‍යා නිලධාරීන්ට හුරු පුරුදු වන මං පෙත්වල වේගයෙන් පියවර තැබීම අපහසු ය… එහෙත් සැණෙකින් සිතට නැගුනේ ‘අනේ… මේ වනපෙත් මැදින් නිකෙලෙස් චිත්ත සන්තානයන් දරාගත් මහරහතන් වහන්සේලා කොතරම් නම් පාවහන් රහිතව පියවර තබන්නට ඇද්ද?’ කියා ය.

“මහත්තයා මේ කැලේ සර්පයින් නැද්ද?”

පසෙකින් වූ තුඹසක් දැක මම විමසීමි.

“ඇයි නැත්තේ… නයින් පොළඟුන් පිඹුරන් කුණකටුවන් ඕනෑතරම් ඉන්නවා.”

මම පයට පෑගෙන අතුපතර දෙස වඩාත් විමසිලිමත් වීමි… තුරුලතා අතරින් නැගෙන කුරුලු කූජනය සිතට නැගුන බිය මොහොතකින් පහකිරීමට සමත් විය.

සැලළිහිණියන්, මල් කොට්ටෝරුවන්, ගිරා මලිත්තන්, කැලෑහැලපෙන්දන්, අවිච්චියන්, සුදු රෙදි හොරුන්, කහ රෙදි හොරුන් එක සීරුවට නගන ගී රාවයෙන් වන පෙතට මුසු වී ඇත්තේ අපූරු සංගීතයකි.

“මොනවද මහත්තයා මේ පොඩි අඹ ජාතිය?”

ඉදී බිම වැටුන සුවඳ හමන අඹ ගෙඩියක් අහුලාගනිමින් මම ඇසීමි.

“ඕවාත් මහත්තයා පිළිකුත්තුවට ම ආවේණිකයි… නම තමයි පිළිකුත්තු අඹ. හරි ම රසයි…”

එය සැබෑවකි… පිහි අනවශ්‍ය ය. මුවෙන් ම ලෙල්ල ගලවා, ඇති තරම් අහුලා ගත හැකි ඒ ඉමිහිරි අඹ රස වින්දෙමු.

හිටිගමන් අප ව තිගස්සවමින් පඳුරු අතරින් සර බර ගාමින් අප අසලින් ම සතෙකු පැන දිවී ය.

“මොකෙක් ද සමරවීර මහත්තය ඒ…?”

“ආ… ඒ හාවෙක් මහත්තයා. මේ කැලේ ඉතින් හාවෝ, නරි, මීමින්නෝ, ඉත්තැවෝ, අඳුන් දිවි ඕනැතරම් ඉන්නවනෙ.

ඕන්න දැක්ක නේ ද මේ ස්වාභාවික ගල් ළිඳ… මෙන්න මෙතෙන්ට එන්න ඇති වතුර බොන්න…”

අප එන මගෙහි අතරමග පිහිටි කටාරම් කෙටූ ගල් ලෙන් කීපයක් නිරීක්ෂණය කරමින් පැමිණිය ද මේ පුරාවිද්‍යා නිලධාරීන්ගේ ගමනේ ප්‍රධාන ඉලක්කය වෙන තැනක් බව ඔවුන්ගේ හැසිරීම කියා පායි.

“මහත්තයා මේ මාව කොහාට ද එක්ක යන්නේ….?”

පාවහන් රහිත දෙපා ද රිදුම් දෙයි… තරමක විඩාවක් ද ගතට දැනෙයි.

“මහත්තයා මහමෙව්නාවට යන එනවා නේ ද? අපි මේ ළඟදිත් සම්බුද්ධරාජ මාලිගාව වැඳ පුදා ගත්තා… මහත්තයා ශ්‍රද්ධාවන්ත කෙනෙක් නිසා අපි කාටවත් නො පෙන්වූ තැනක් පෙන්වන්නයි මේ එක්ක යන්නේ… අඩු ගාණේ මේ නයනාවත් මීට කලින් ගිහින් නැති.

ඒ වගේ තැන් මේ පින්බිමේ හැංගිලා තියෙනවා මහත්තයා. අපි ඒවා වැඩිය මාධ්‍යයට කියන්නෑ. මොකද දැන් එනකොටත් දැක්කනෙ ටෙලි නාට්‍ය හදන අය ඇවිල්ල හැමතැන ම රූගත කිරීම් කරනවා… බුද්ධ මන්දිරය ඇතුළෙත් ඇඳුම් මාරු කරන්න හදනවා මම දැක්කා… මේ හැමදෙනා ම සැදැහැවත් අය නෙවෙයිනේ මහත්තයා. එහෙම වුණා ම මේ පින් බිම් කෙලෙසිලා යනව. අපට ඒ ගැන දුකයි. මේ බලන්න මහත්තයා මෙතැනත් ගස් වගයක් කපල දාලා… එකත් එකට ම නිදන් හොරුන්ගෙ වැඩක්…”

ඔවුන්ගේ මුහුණු ශෝකාකූල විය.

ඇත්තෙන්ම මෙවන් රාජ්‍ය නිලධාරීන් හමුවීමත් වාසනාවකි. ඉපැරණි ඉතිහාසය රැකගන්නට උරදෙන, වනයට සතා සීපාවාට සොබාදහමට ආදරය කරන මෙවන් මිනිසුන් දැයට වාසනාවකි.

අඩ හෝරාවක පමණ ගමනකින් පසුව අපි ගමනේ සොඳුරු ඉසව්වකට පැමිණියෙමු.

“මෙන්න මහත්තයා මේ ගල් ලෙන බලන්නකො…”

සැබැවින් ම සොඳුරු ය, අසිරිමත් ය. සැණෙකින් ගතේ සිතේ සියලු විඩා නිවී සිත පහන් විය. මහා ගල් කුලු තුනකින් වට වුණ එය ගල් ලෙනක් ලෙස හැඳින්වීමට මම මැලි වෙමි. එය මට නම් ශෛලමය මාලිගාවකි.

ඇතුළත වායු සමනය කළ කලෙක මෙන් ඉතා සිහිලැල් ය. බිම සුදු වැලි අතුරා ඇති අඩි 30ක පමණ සක්මනකි.

පසෙක නිදහසේ බණ භාවනා කළ හැකි මැටි පිළක් සහිත මැද මිදුලකි… අනෙක්පස රාත්‍රී කාලයට සැතපෙන්නට සුදුසු පරිදි සැකසුනු කුටිය තුළ කුඩා ලෑලි ඇඳකි. ඒ තුළ වටාපතක් ද ඇත. ඒ ආසන්නයේ හිසට ඉහළන තල්පතක් රඳවා ඇත.

කාමයන්ගෙන් වෙන්වී සිතෙහි ඇති කෙලෙස් බර උනා දැමීමට වෙහෙසෙන යතිවරයාණන් වහන්සේනමකට මෙහි සියලු පහසුකම් ඇත.

“ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා වගේ…”

සමරවීර මහතා චන්ද්‍රසිරි මහතාගේ කනට කොඳුරනු මට ඇසිණි.

“මොනවා… මේ ලෙනේ දැනුත් ස්වාමීන් වහන්සේනමක් වැඩ ඉන්නවා ද?”

“ඒකනේ මහත්තයා අපි මේවා වැඩිය පෙන්නන්න කැමති නැත්තෙ… ඒක උන්වහන්සේලාගේ නිෂ්කාමී ජීවිතයට බාධාවක්නේ.”

ඒ සොඳුරු ගල් ලෙන පිහිටි ස්ථානය පිළිබඳ මම ඔබට මං සලකුණු නො කියමි… ඔබ ද එය සොයා නො යන්න… එහෙත් අක්කර 200ක භූමි භාගයක පැතිරුන වන පියස තුළ සැඟවී ගත් ගල් ලෙන් 99 අතරේ එවන් සොඳුරු තැන් තව බොහෝ තිබෙන බව දැනගෙන සිත පහදවා ගන්න.

අකමැත්තෙන් වුව ද අපි ඒ සොඳුරු නවාතැනින් සමුගෙන නැවතත් වනපෙතට වැදුනෙමු.

පසෙක කැලෑව හෙළි කර පාරක් කපා ඇති ලකුණු පෙනේ

“මේ ඇයි සමරවීර මහත්තයා..?”

“අනේ… ඕවා තමයි මේ කැලේට තියෙන අනතුරු. කවුරු හරි බලවතෙක් මේ පාර කපලා ඉහළ බෑවුමේ හෝටලයක් හදන්න ගියා… ඒත් ඒක සාර්ථක වුණේ නෑ… එයාට අංශභාගේ හැදුණා.

බුදු සසුනට පූජා කළ මේ බිම් වන දෙවිවරු හරි රකිනවා මහත්තයා…

ඒ වාගෙ ම තව දෙයක් පත්තරේට ලියන්න… මෙතන ගල් ලෙන් 99ක් තිබුණට දැනට විහාරය සතුව තියෙන්නේ සුළු කොටසයි. වැඩි කොටසක් දැන් පුද්ගලයන් විසින් අයිති කරගෙන. ඒක කොහොම වුණා ද කියන්න නම් අපි දන්නෙ නෑ… ඒත් අන්න බලන්න ගල් වෙඩි දාලා අර ගල් කඩල තියෙන විදිය… මේවාත් ඉස්සර ගල් ලෙන් වෙන්න බැරි ද? අතීත අනාගත මහා සංඝරත්නය වෙත පිදුව මේ පින්බිම යම්කිසි සැදැහැවතුන් පිරිසකගේ උපකාරයෙන් හරි ආයෙමත් සඟ සතු වනවා නම් කොපමණ හොඳ ද?”

අහෝ… ශ්‍රද්ධාවන්ත මිනිසුනේ… මේ පින් බිම් අප කෙසේ හෝ අනාගත පරපුරට රැක දිය යුතු නො වේ ද?

කෙමෙන් කෙමෙන් පුරාවිද්‍යා නිලධාරීන් දෙදෙනාගේ ගමන කඳු පියසකට යොමු වී ඇත.

හෝරා කීපයක ගමනින් ගත විඩාපත් වී ඇතත් අපි ඒ පසුපසින් එකතුවීමු

“කොහාටද සමරවීර මහත්තයා මේ යන්නේ?”

අපි කිව්වනෙ අනුරාධපුර යුගයේ දී සොළී ආක්‍රමණ හමුවේ උපක්‍රමික ව පසුබැස පළා ආපු වට්ඨගාමණීඅභය (වළගම්බා) රජතුමා සැඟවී සිට සේනා සංවිධානය කළ ස්ථාන අතරින් එකක් බව ද ජනප්‍රවාදයේ සඳහන් වනවා කියලා.

මේ අපි යන්නේ ගිරි මුදුනේ තියෙන බැලුම්ගල වෙතටයි.”

අඩහෝරාවක වෙහෙසකර කඳු තරණයකින් පසුව අපට බැලුම්ගල වෙත ළඟා වීමට හැකි විය.

අසිරියකි. උඩු ගුවනේ ගුවන්යානයක සිට අවට සියල්ල ඉතා හොඳින් නිරීක්ෂණය කරනවා වාගේ හාත්පස ම දිස්වන්නේ ඉතා රමණීය වටපිටාවකි.

“මොකක්ද චන්ද්‍රසිරි මහත්තයා අර ඈතින් පර්වත මුදුනක පෙනෙන සෑය?”

“ආ…. ඒ තමයි මහත්තයා මාලිගාකන්ද සෙනසුන. ඔය පේන්නේ දළදා වහන්සේ වැඩ සිටිය තැනයි…”

“සාධු…! සාධු….! එතකොට අර ඊට දකුණින් පෙනෙන ගල්කුළ?”

“ආ… ඊට පාමුලින් තමයි වළගම්බා විහාරය තියෙන්නේ….”

ඇත්තෙන්ම බැලුම්ගල මුදුනේ සිට අංශක 360ක පරාසයකට සිව් දිසාව ම පැහැදිලිව දිස්වන දසුන මනස්කාන්ත ය.

“බලන්න මහත්තයා මෙතනට අවට බොහෝ ප්‍රදේශයක් ඉතා පැහැදිලිව පේන හින්දා මෙතන ඉතා ම ආරක්ෂාකාරී ව සිටිමින් අවට තොරතුරු නිරීක්ෂණය කරන්නට පුළුවන් නේ ද? ඉතින් වළගම්බා රජතුමාට ඒක බොහො ම ප්‍රයෝජනවත් වෙන්න ඇති…”

අපි නැවතත් කඳුබෑවුම ඔස්සේ සීරුවෙන් ගමන් කළෙමු.

“කතාවෙන් කතාව ඔන්න මහත්තයා අපි තවත් ලෙනකට ආවා. මේ බලන්නකො මේ බ්‍රාහ්මීය අක්ෂර කියන කතාව.

දෙවනපියතිස් රජුගේ අශ්වාරෝහක ප්‍රධානී විසින් අතීත අනාගත සතර දිගින් වඩින සංඝයා වහන්සේලා උදෙසා පූජා කරන ලදී.”

බොහෝ වේලා වනයේ සැරිසැරුව ද ගතට ලොකු වෙහෙසක් නො දැනේ… පුරාවිද්‍යා නිලධාරීන්ට බොහෝ ස්තූති කළ මම නැවතත් ප්‍රධාන ලෙන් විහාරයට පිවිසුනෙමි… සමාධි සුවයෙන් වැඩ හිඳින භාග්‍යවතුන් වහන්සේ ළඟ සිරස බිම තබා වැඳ වැටුනෙමි.

විහාර සිතුවම් තුළ රහතන් වහන්සේලා දෝතින් මල් රැගෙන වඩින රූප සජීව වූ බවක් මට දැනේ… එදා මේ ලෙන් තුළ බවුන් වඩා නිකෙලෙස් සිත් උපදවාගත් මහරහතන් වහන්සේලා කීනමක් නම් මේ විදියට ම දෝතින් වන මල් නෙළා ගෙනවුත් මේ සිරිපා පාමුල වැඳ වැටෙන්නට ඇද්ද…

ස්වාමීනී…. මාගේ ජීවිතය ද ඔබ වහන්සේට ම පූජා කරමි. පූජා වේවා!

චාරිකා සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ

බුදු ගුණ කැටි වුණ මියුගුණ සෑය
මුළු රැයක් පුරා මිහිමඬල වසා සිටි ගණඳුර පලවා හරිමින් පෙරදිග අහසේ අරුණෝදය උදා වී ඇත. අහස් කුස පුරා පැතිරී යන රන්වන් ආලෝකයෙන් හැඟවෙන්නේ

නොබෝ වේලාවකින් හිරුමඬල උදාවන වග ය.

හිමිදිරියේ ම අවදි වී තුනුරුවන් වන්දනා කළ අපි, තුන් ලොවක් පුරා පැතිර තිබූ අවිදු අඳුර පලවා හැර, විද්‍යාලෝකයෙන් තිලොව ම එ්කාලෝක කළ, සම්බුදුරජාණන් වහන්සේ වැඩි පින් බිමක් සොයා ගමන් ඇරඹීමු.

ලෝකයේ සුන්දර රටවල් කොතෙකුත් ඇත. එහෙත් පින්බර රටවල් ඇත්තේ අතළොස්සකි. සුන්දරත්වයෙන් අනූන මා උපන් දේශය, දෙව් බඹුන්ගෙන් පවා වන්දනා ලබන, පින්බර දේශයක් වූයේ මේ බිමට සම්බුදු පහස ලැබීමත් සමග ම ය.

හිමිදිරි උදයේ මීදුමත් සමග මුසුව එන සිහිල් වා රැුලි කපාගෙන, අප රැුගත් රථය වේගයෙන් ඉදිරියට ඇදේ. වා කවුළු අතරින් රිංගාවිත් ගත දැවටෙන සීත සුළං රැුලි ගත හිරිගඩු නංවයි. එහෙත් අපගේ ගමනාන්තය සිහිවන විට ඇති වන පහන් හැඟුමින් සිත උණුසුම් වී යයි.

අහස් කුස අරා නැගී සිටින යෝධ ගොඩනැගිලිවලින් සපිරි නාගරික කොන්ක‍්‍රීට් වනාන්තර තුළින් අප කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් යයි. සිහිලැල් වන වදුලූ අතරේ ගොඩ නැගෙන කඳු වළලූ අතරින් දිවෙන මාර්ගය ඔස්සේ,අප මේ ගමන් කරන්නේ පළමු වරට මේ බිම සම්බුදු පහසින් පූජනීය වූ මහියංගණ පුද බිම සොයාගෙන ය.

පළමුව සමනල සිරස වන්දනා කළ උදා හිරුගේ රන්වන් රැුස් දහර වලා පෙළ අතරින් පෙරී විත් රන්වන් පියස්සක් මතට වැටී ඇත. රන් පියස්ස මතට වැටුනු ළා හිරු රැුස් අහසේ රන්වන් රටා මවයි. මේ මා ඉදිරියේදිස්වන්නේ ලෝකයේ ඇති වටිනා ම පියස්ස නො වේ දැයි මට සිතේ. මෙය සෙවණ දෙන්නේ ලෝකයේ වටිනා ම වස්තුවට නො වේ ද? මෙයට යටින් වැඩසිටින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ පාරිශුද්ධ පහස ලැබූ වම් ශ‍්‍රී දළදා වහන්සේ ය.

හිරු කුමරා තම දවසේ මෙහෙය අරඹා හෝරා දෙකක් ගත වන විට උතුම් දළදා වහන්සේ වැඩ සිටින සෙංකඩගල පුරවරය පසුකරමින් අපි මහනුවර මහියංගණ මාර්ගයට අවතීර්ණ වීමු. මහනුවර සිට මහියංගණය පුද බිම කරා ළඟා වීමේ දී ප‍්‍රධාන මාර්ග දෙකක් හමු වේ. මින් පළමුවැන්න අප ගමන් කළ කුණ්ඩසාලේ, මැද මහනුවර, උඩුදුම්බර, හුන්නස්ගිරිය

පසුකරගෙන දහඅට වංගුව හරහා වැටී ඇති මාර්ගය යි.

දෙවැන්න මේ සංචාරය නිමවා අපි ආපසු පැමිණි වික්ටෝරියා, රංටැඹේ, රන්දෙණිගල වන රක්ෂිතය ඔස්සේ වැටී ඇති මාර්ගය යි. මෙම දෙවන මාර්ගය ඔස්සේ ගමන් කරන්නෙකුට ලංකාවේ ප‍්‍රධාන විදුලි බලාගාර තුනක් වන වික්ටෝරියා, රංටැඹේ, හා රන්දෙණිගල ජලාශයන්ගේ සුන්දරත්වයත්, අලි ඇතුත් සරන වන මැදින් වැටී ඇති මග දෙපස වන ගොමුවල මනස්කාන්ත දසුනත්, නො අඩුව විඳ ගත හැකි ය.

මුලින් අප කැටුව වේගයෙන් ඉගිල ආ රථය හේතු දෙකක් නිසා දැන් දැන් ඉබි ගමනකට වැටී ඇත. පළමුවැන්න මේ ප‍්‍රදේශයේ විශාල බැකෝ යන්ත‍්‍ර සහ අනෙකුත් යන්ත‍්‍ර සූත‍්‍ර භාවිත කරමින් විශාල පිරිසක් මහනුවර මහියංගණ මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවල යෙදී සිටීම යි. දෙවැන්න මේ අප තරණය කරමින් සිටින්නේ හුන්නස්ගිරි ගිරි සිරස වීම යි.

මේ ප‍්‍රදේශයේ ඉතා පටු ස්වභාවයක් ඉසිලූ මාර්ගය පුළුල් වී නවීකරණය වූ පසුව මගීන්ට ඉතා පහසුවෙන් මහියංගණය කරා ළඟා වීමට පහසුකම් සැලසෙනු ඇත.

ඉදිකිරීම් කටයුතු හේතුවෙන් එකවර වාහන දෙපසට ම

ගමන් කළ නො හැකි ස්ථානයක අපගේ රථය ද නැවැත්වීමට සිදු විය. ලද අවසරයෙන් මම රථයෙන් බැස කඳු මුදුනේ දකුණු පස දළ බෑවුම කරා පියමැන්නෙමි.

මෙතැන සිට පහත බලන විට නෙත ගැටෙන දසුන ඉතා මනස්කාන්ත ය. අඩි දහස් ගණනක් පහළින් මහියංගණය ඇතුළු මුළු ඌව ප‍්‍රදේශය ම දිස්වන්නේ දෙව්ලියන් විසින් අහසේ අඳින ලද සිතුවමක් පරිද්දෙනි.

මීදුමත් සමග මුසු වී ලා නිල් පැහැයකින් යුතුව ඈත පෙනෙන මේ මනරම් දසුන පුරා මම සීරුවෙන් දෙනෙත් යැව්වෙමි. ඈත පෙනෙන තුරු වදුලූ අතරින් ලොග්ගල්ඔය ජලාශය දිස්වෙයි. වම් පසට වන්නට බුලතා යෝධයා විසින් තනිව ම තනනු ලැබී යැයි සැලකෙන සොරබොර වැව දිස්වෙයි. තනි තනිව නැගී ගත් කඳු පන්ති අතරින් මිටියාවත හරහා ගලා යන මහවැලි නදිය මේ සිතුවමට අපූරු රටාවක් එක් කර ඇත.

අවසානයේ මා දෑස ඉතා විමසිල්ලෙන් සෙවූ එ් අයස්කාන්ත දසුන මුණ ගැසුනි. සුරඟනන්ගේ සේලයෙන් තැනූ දුහුල් සළුවකින් වටකරන ලද මුතු ඇටයක් සේ, මීදුම් සළු අතරින් කිරි බුබුළක් සේ ඈත පෙනෙන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ සුනීල කේශ ධාතූන් වහන්සේලා වැඩසිටින මියුගුණ සෑ රදුන් ය.

සුදෝ සුදු වලා කැටි අතර සිහින් සිනිඳු මීදුම් සළු පොරවාගත් මියුගුණ මහ සෑ රදුන් හුන්නස්ගිරි ගිරි සිරස මත සිට දකින විට කේශ ධාතූන් වහන්සේලා ම නිදන් කොට සක් දෙවිදුන් විසින් තව්තිසාවේ සාදන ලද සිළුමිණි සෑය වහා සිතට නැගුනි. ”සාදු….! සාදු….!! සාදු….!!!” මම උඩු ගුවනේ සිට ම දෙනෙතින් දකින මියුගුණ සෑයත්, මනසින් දකින සිළුමිණි සෑයත් එකවර වන්දනා කළෙමි.

සීරුවෙන් දහඅට වංගුව බසිමින් හසලක පසුකොට මහියංගණ පුරවරයට අප ළඟා වන විට උදෑසන අපත් සමග ම ගමන් ඇරඹූ හිරුකුමරා තම දවසේ මෙහෙයෙන්

අඩක් නිමා කොට අප හිසට ඉහළින් ඔද තෙද පතුරුවමින් සිටියේ ය.

මහියංගණ නගර මධ්‍යයේ මියුගුණ සෑය පෙනෙන මානයේ දැවැන්ත බුද්ධ ප‍්‍රතිමා වහන්සේනමක් ඉදිවෙමින් පවතී. එ් පිළිම වහන්සේ පසුකරමින් අපි මහියංගණ සෑ රදුන් වැඩ වෙසෙන පුණ්‍ය භූමියට ඇතුළු වීමු. මහ සෑ රදුන් වට කොට බෝධීන් වහන්සේලා කීපනමක් ම වැඩ වෙසෙති. පසෙකින් ගලා බස්නා මහවැලි නදිය පිසගෙන හමා එන සීත සුළං රැුලි සිලි සිලි හඬ නංවා බෝපත් සොලවමින් මද්දහනේ ඇති දාහය නිවා දමන්නට පින් බිම සිසාරා හමා යයි. සෑ බිමේ පසෙකින් ඇත්තේ අලූතින් ඉදිවන මහියංගණ විහාරයට අයත් කෞතුකාගාරය යි. අනෙක් පසින් දිස්වන්නේ මහියංගණ යන නමත් සමග ම බැඳී පවතින සුමන සමන් දෙවිඳු වෙනුවෙන් ඉදිවුණ ඓතිහාසික මහ සමන් දේවාලය යි.

කොළඹ සිට මා මේ ගමන පැමිණෙන බව දැනගත් මොහොතේ සිට මෙහි ඓතිහාසික තොරතුරු සොයා ගැනීමට උදව් කළ මා මිත‍්‍ර සුභසිංහ සොහොයුරා පවසා සිටියේ, මුලින් ම එහි සිටින ඔහුගේ අයියා කෙනෙකු වන පේමදාස අයියා මුණගැසෙන ලෙස ය.

පළමුව අපි එන විට රැුගෙන ආ මල් පහන් සුවඳ දුම් මහියංගණ මහ සෑරදුන් වෙත පූජාකර බුදු ගුණ කියමින් සෑය පැදකුණු කොට වන්දනා කළෙමු.

අනතුරුව මහියංගණ පුද බිමේ ඓතිහාසික තොරතුරු සොයා ගැනීම පිණිස මහ සමන් දේවාලයේ තේවා කටයුතු භාර පේමදාස අයියා මුණගැසුනෙමු.

කල්තියා ම මා එන මග බලා සිටි පේමදාස අයියා මා උණුසුම්ව පිළිගෙන පළමුවෙන් ම මේ සියලූ කටයුතු සාර්ථක කර ගැනීමටත්, උතුම් නිවන අවබෝධ කර ගැනීම දක්වා යන ගමන පුරාවටත් මා හට සියලූ ආරක්ෂාව සලසා දෙන මෙන් සමන් සුරිඳුන්ගෙන් ඉල්ලා සිටියේ ය. අනතුරුව වැඩි විස්තර ලබා ගැනීම ස`දහා දැනට සමන් දේවාලයේ තේවා කටයුතු භාරව කටයුතු කරන, ප‍්‍රදේශයේ විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරි මහතෙකුව සිටි විජේරත්න බණ්ඩා මහතා මුණගැස්සවී ය.

මම පළමුවෙන් ම මහියංගණ පුද බිම හා සබැඳුනු සමන් දෙවියන්ගේ පුරාවෘත්තය පිළිබඳව විජේරත්න බණ්ඩා මහතාගෙන් විමසීමි.

”මහත්තය ඕකට හොඳ ම කෙනා තමයි විහාරාධිපති ශ‍්‍රී ධම්මසිද්ධි ලොකු හාමුදුරුවන් වහන්සේ. හැබැයි උන්වහන්සේ වැඩ ඉන්නෙ අස්ගිරි විහාරයේ.. මෙහාට වඩින්නෙ කලාතුරකින්. මම මේ රජමහා විහාරයේ භාරකාර ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ මුණගස්වන්නම් අපි යමු.” යි කී විජේරත්න මහතා මා කැඳවාගෙන ආවාස ගෙය පැත්තට යන්නට පිටත් විය. මමත් එ් අනුව පියවර මැන්නෙමි.

සංඝාවාසය පිහිටා ඇත්තේ මහියංගණ විහාරස්ථානය ආසන්නයේ ඇති විශ‍්‍රාම ශාලාවට දකුණු පසින් විහාරාසන්නයේ ඇති විල්ලූ වැව පැත්තට වන්නට ය. අප එහි යන විට සංඝාවාසය ඉදිරියෙන් ම වාහන දෙකක් නවතා තිබුණි. සියලූ ස්වාමීන් වහන්සේලා සංඝාවාසයේ ආලින්දයට වැඩම කොට සිටිති.

මඳ සිනහවකින් සැරසුන, කරුණාබර මුව මඬලක් ඇති, වයෝවෘද්ධ ලොකු ස්වාමීන් වහන්සේනමක් ආලින්දයේ වැඩ සිටිති. අනෙකුත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේට වන්දනා කරති. මමත් වහා ම උන්වහන්සේට පළමුවත්, පසුව අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් පසඟ පිහිටුවා වන්දනා කළෙමි.

‘‘ මහත්තයා වාසනාවන්තයි. ඔය වැඩල ඉන්නෙ මම අර අස්ගිරියෙ වැඩ ඉන්නව කියපු ධම්මසිද්ධි ලොකු හාමුදුරුවන් වහන්සේ.. හදිසියේ ම මේ දැන් වැඩල තියෙන්නේ..” විජේරත්ත මහතා මගේ කනට කොඳුලේ ය.

උන්වහන්සේ ඉතා කාර්යබහුල වුවත් මා ආ කාරණය පැහැදිලි කර දුන් පසු උන්වහන්සේ සතු අප‍්‍රමාණ දැනුම් සම්භාරයෙන් බිඳක් මා වෙත ලබාදීමට තරම් කාරුණික වූහ.

අස්ගිරි විහාර පාර්ශවයේ අති ගරු අනුනායක ගලගම ශ‍්‍රී ධම්මසිද්ධි ධම්මාන්ද අත්තදස්‍යාභිධාන ඓතිහාසික මහියංගණ රජමහා විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ මෙසේ වදාළහ.

”බුද්ධත්වයෙන් නව වෙනි මාසේ දුරුතු පසළොස්වක පෝය දවසෙ තමයි බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කළේ. එදා උදේ වරුවෙ උරුවෙල් දනව්වෙ කාශ්‍යප

ආදි ජටිලයන් දමනය කරමිනුයි උන්වහන්සේ වැඩහිටියේ.

එ් කාලෙ මේ ප‍්‍රදේශය හැඳින්වුණේ මහානාග වනෝද්‍යානය කියල යි. එදා මේ ප‍්‍රදේශයේ හිටිය යක්ෂ ගෝත‍්‍රික පිරිසක් අතර ආරවුලක් ඇතිවෙලා තිබුණා.

මෙන්න මේ ආරවුල විසඳන්න තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ.”

”කොහොම ද ස්වාමීන් වහන්ස උන්වහන්සෙ වැඩම කළේ?”

”අපේ යක්ෂ ගෝත‍්‍රික පිරිස ආරවුලකට පැටලෙන්න මාන බලන වෙලාවේ, උන්වහන්සෙ ඍද්ධි බලෙන් අහස අඳුරු වෙන්න සැලැස්සුව. යක්ෂ ගෝත‍්‍රික පිරිස ආරවුල නවත්තල මේ මොකද වෙන්න යන්නෙ කියල බැලූව.

පස්සෙ එ් අඳුර මැදින් ආලෝකයක් පෙනෙන්නට සැලැස්සුව. ඊ ළඟට එ් ආලෝකය මැදින් තමයි බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ ඉඳල එතන හිටිය පිරිසට ධර්ම දේශනා කළේ. එ් ධර්මය අහල සියලූ ආරවුල් සන්සිඳිල ගියා.”

”එතකොට ස්වාමීන් වහන්ස යක් පිරිස බය කරල ගිරි දිවයිනට පැන්නුව කියන කථාව?”

”මම නම් එ්ක පිළිගන්නෙ නෑ මහත්තයෝ. මොකද බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. කාටවත් හිංසා කරන, බය කරන සිතුවිල්ලක්වත් උන්වහන්සේලාට පහළ වෙන්නෙ නෑ. ඔයිට වඩා දරුණු අංගුලිමාල, නාලාගිරි වගේ අය දමනය කළේ බය කරල නෙවෙයිනේ.”

”ස්වාමීන් වහන්ස එ් කියන්නෙ දමනය කරනව කියන්නෙ දහම තුළ හික්මවනව කියන එක ද?”

”අන්න හරි. ඔතන ප‍්‍රකට වෙන්නෙ පුරිසදම්ම සාරථී ගුණයනෙ. දැන් බලන්න උරුවෙල් දනව්වෙ ජටිලයන් දමනය කරමින් ඉඳලනෙ මෙහෙ වැඩියේ. එ් ජටිලයන් දහම තුළට හික්මවා ගත්ත විදියට තමයි යකුන් දමනය කළෙත්. එවෙලෙ දහම් දේශනා කළ නිසානෙ සුමන සමන් දෙවියන් සෝවාන් වුණේ.

එහෙනම් මහත්තයො ඉතිරි විස්තර ටික මේ ධම්මරක්ඛිත හාමුදුරුවන්ගෙනුයි, මේ පොඩි උන්නාන්සෙලගෙනුයි අහගන්ට. මට වඩින්ට සුනංගු වුණා නෙව.”

මම නැවතත් උන්වහන්සේගේ පා කමල් වන්දනා කළෙමි. උන්වහන්සේ සංඝාවාසයෙන් පිටත් වී අස්ගිරි විහාරය බලා වඩින්නට මොහොතකට පෙර සද්දන්ත හස්තිරාජයෙක් සංඝාවාසය අසලට ම දිව ආවේ පියාණන් වෙත දිව එන කිරි දරුවෙකු පරිද්දෙනි. උන්වහන්සේ ඇතුළු මහ සඟරුවන ඉදිරියේ දණ නැවූ හස්තියාගේ කුම්බස්තලය මහත් සෙනෙහසින් අත ගෑ ලොකු ස්වාමීන් වහන්සේ, ඌට ප‍්‍රණීත පලතුරු හා උක් දඬුවලින් සංග‍්‍රහ කිරීමට අමතක නො කළහ.

සංග‍්‍රහයෙන් පසුව ධම්මසිද්ධි නායක හාමුදුරුවන් ආපසු වඩින්නට සැරසෙත් ම එ් මහා සද්දන්ත හස්තිරාජයා නො පැකිලව සතර පයේ ම දණ බිමට නවා හොඬවැල බිම තබා මහා සංඝරත්නයට වන්දනා කළේ, කෙටි කලකට ලැබෙන නම්බු නාම තානාන්තර මහ ලොකු දේවල් යැයි සිතාගෙන, මහ සඟරුවනට බාගෙට නැමී වන්දනා කරන සමහර අපේ ඇත්තන්ට, සිරුර කෙතරම් සද්දන්ත වුවත් සුපටිපන්නාදී ගුණ දරන මහ සඟරුවනට වන්දනා කිරීමට එය බාධාවක් නො වන බව පෙන්වා දෙන්නට මෙනි.

ඉන් පසුව මම මෙම ඓතිහාසික මහියංගණ විහාරස්ථානයේ භාරකාර අස්ගිරි විහාර පාර්ශවයේ කාරක සංඝ සභාවේ ජ්‍යේෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ මුණගැසීමි. උන්වහන්සේගේ අනුශාසනාව මත මහියංගණ රජමහා විහාරයේ තේවාව භාර පූජ්‍ය යටිහේන රත්නසිරි ස්වාමීන් වහන්සේ සමග තව දුරටත් මහියංගණයේ ඉතිහාසය කරා පියනැගුවෙමි.

”ස්වාමීන් වහන්ස මේ සෑයෙ ඉතිහාසය ගැන තවදුරටත් කථා කළොත්?”

”සුමන සමන් දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා නිදන් කරල හත් රියන් උසට ඉඳුනිල් මැණික්වලින් මේ සෑය නිම කළානෙ. ඊට පස්සෙ සාරිපුත‍්‍ර මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පරපුරේ වැඩසිටිය සරභූ මහරහතන් වහන්සේ, අවශේෂ රහතන් වහන්සේලා දහස්නමකුත් පිරිවරාගෙන බුදුරජුන්ගේ ආදාහන පූජෝත්සවයට වැඩල තියෙනව. ඉතින් උන්වහන්සේ ඍද්ධි බලෙන් දැවෙන දර සෑයෙන් ලබාගත් ග‍්‍රීවා ධාතූන් වහන්සේ තැන්පත් කරල නැවත මේ සෑය දොළොස් රියනක් දක්වා විශාල කරල තියෙනව.

එ් අනුව රහතන් වහන්සේනමක් විසින් ඉදිකළ ලොව ප‍්‍රථම සෑයත් මෙය වෙනව. ඊට පස්සෙ දෙවනපෑතිස් රජතුමාගෙ සොයුරු උද්ධ චූලාභය යුවරජු විසින් නැවත තිස් රියනක් දක්වා විශාල කරල බන්දවල තියෙනව. ඊට පස්සෙ එළාර යුගයෙදි ඡුත‍්‍ර කියන දමිළ සෙන්පතියගෙ අණසකට නතු වෙලා වසර හතරක් විතර තිබිල තියෙනව. එළාරගෙන් රට මුදවගෙන ආයෙමත් රට එක්සේසත් කළ ගැමුණු රජතුමාගෙ ක්ෂේමභූමිය වුණෙත් මහියංගණය යි. පසුව එතුමා ක‍්‍රි. පූ. 161 -137 යුගයෙදි මහියංගණයේ සංවර්ධනය වෙනුවෙන් කළ කැපකිරීම මෙතෙකැයි කියන්න බෑ. මේ මහියංගණ දාගැබ අසූ රියන් උසට බැන්දුවෙත් ගැමුණු රජතුමා.”

”ස්වාමීන් වහන්ස මහියංගණයට සම්බන්ධ වෙනත් රජවරුත් ඉන්නව ද?”

”ඇයි නැත්තෙ… සංඝබෝධි, ගෝඨාභය, සංඝතිස්ස, විතරක් නෙවෙයි දෙවෙනි රාජසිංහ රජතුමාගෙත් ජන්ම භූමිය වෙන්නෙ මහියංගණය යි.”

”ස්වාමීන් වහන්ස, මහියංගණය හා සබැඳුන වෙනත් ඉතිහාස සිද්ධි මොනව ද?”

”ඇයි 1815 දි ඉංග‍්‍රීසීන්ගෙන් යළි මේ රට බේරා ගැනීමේ සටන, කිවුලේ ගෙදර මොහොට්ටාල වැනි විරුවන්ගෙ දායකත්වයෙන් ආරම්භ වුණෙත් මෙහිදිමනෙ.”

දීර්ඝ සාකච්ඡුාවකින් පසුව ස්වමීන් වහන්සේගේ දෙපා නැමද මම සමුගතිමි.

හිරු කුමරා තම දවසේ මෙහෙය නිමා කොට බටහිර කඳු බෑවුම් අතරින් නො පෙනී යන්නට තව හෝරා දෙකකට වඩා නැතත් දිවා ආහාරය ගැන වෙනදා දෙන පණිවිඩය දෙන්නට අද කුසට අමතක වී ඇති සෙයකි.

මම සෙමින් සෙමින් විහාර භූමිය අසලින් වැටී ඇති පියගැටපෙළ ඔස්සේ පහළට පියමැන්නෙමි.

ඇත්තෙන්ම මේ පියගැටපෙළ දිගේ මට අතීතයට පියමනින්නට ඇත්නම්… එදා සිට මේ දක්වා මේ මහියංගණ පුද බිමේ සිදු වූ අසිරිමත් සිදුවීම් සියල්ල සියැසින් දැකබලාගත් කෙනෙක් මට මුණගැසේ නම්… සිත තුළ එවන් සිතුවිලි පෙරළි කරද්දී මම තවත් පහළට බැස්සෙමි. විස්මයකි, පියගැටපෙළ අවසානයේ මට එබඳු තැනැත්තියක් හමු විය.

ඇය එදා බුදුරජාණන් වහන්සේ වඩින මොහොතේදීත් මෙතැන සිට ඇත. එදා මෙදා තුළ මේ බිමේ සිදු වූ සියල්ල ඈ තරම් වෙන කවරෙක් නම් දනිත් ද? සිහිලැල් පවනැල්ලේ සුවය විඳිමින් මම ඇය අසලින් වාඩි වුණෙමි.

නුහුරු බසකින් ඈ පවසන මේ අතීත අන්දරය තේරුම් ගැනීමට මම උත්සාහ කළෙමි.

”මගේ උපන් ගම සමන් දෙවියන්ගෙ අඩවිය…

එතනිනුයි පටන් ගත්තෙ මගේ මේ ගමන. මේ රටේ මිනිසුන්ට අප‍්‍රමාණ උදව් කරන එක තමයි මගේ එක ම සතුට.

මට අද වගේ මතකයි, එදා දුරුතු පෝය දවස. එදා යක් පිරිස අතර යුද්ධයක් ඇතිවෙන්නට ඔන්න මෙන්න කියල තිබුණ වෙලාව. එහෙම වුණා නම් ලොකු විනාශයක්

වෙනව. ඔන්න එතකොට ම හදිසියෙ ම අහස අඳුරු වුණා. මහ දවාලෙ මේ මොකද වෙන්න යන්නෙ කියල හැමෝ ම විමතියෙන් අහස දිහා බැලූව. එතකොට හරි සෞම්‍ය, ලස්සන ආලෝකයක් අඳුර මැදින් මතුවුණා. හැමෝගෙ ම නෙත් එ් දෙස යොමුවෙද්දි යුද්ධයෙන් ඇතිවෙන විනාශය ගැන එ් අයට තේරුම් යන්න පටන් ගත්ත. හිත්වල තිබුණ වෛරකාරී සිතුවිලි එ් අයගෙ හිත්වලින් බැහැර වුණේ එ් අයටත් නො දැනීම යි. ඔන්න එතකොට තමයි හරී ම ලස්සනට දෙතිස් මහා පුරිස ලකුණින් ශෝභමාන වූ බුදුරජාණන් වහන්සේ එ් එළිය මැදින් සවණක් ඝන රැුස් මාලා විහිදුවමින් පහළ වුණේ.

උන්වහන්සේ මිහිරි ස්වරයෙන් හරී ම ලස්සනට හේතු නිසා ඵල ඇතිවෙන විදියත්, හේතු නැතිවෙන කොට එ් ඵල නැතිවෙලා යන විදියත්, කියල දුන්න. මගේ උපන් ගම විමානය කොටගත් සුමන සමන් දෙවිඳුන් උන් වහන්සේගෙ සිරිපා වන්දනා කළා. පූජනීය වස්තුවක් ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රී හස්තයෙන් සම්බුදු සිරස පිරිමැදල කේශ ධාතූන් වහන්සේලා මිටක් ඔහු අත තැබුවා.”

හදිසියේ ම ගසකින් දියට වැටුනු යමක් හේතුවෙන් අප දෙදෙනා අතර ඇතිවූ සුන්දර සංවාදය නිමා විය. ඕ තොමෝ මට සමු දී මේ අතීත සුන්දර අන්දරය නැවතත් දිය රැුලි අතර සඟවා ගනිමින් නැගෙනහිර බලා පිටත් වූවා ය.

මම මහවැලි නදිය අසලින් නැගිට නැවතත් පියගැටපෙළ නගිමින් මේ අති උත්තම වූ සෑ රදුන් වෙත පියමැන්නෙමි.

හිරු කුමරා සිය ප‍්‍රචණ්ඩ බවට සමු දී ඇත. වලාකුළින් බර වූ මන්දාරම් අහසින් සිහින් සිරි පොද වැටෙයි. මේ මා ඉදිරියේ ගුවන අරා වැඩසිටින්නේ මාගේ ස්වාමී වූ එ් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුනිල්වන් වූ කේශ ධාතූන් වහන්සේලා මෙන් ම ග‍්‍රීවා ධාතූන් වහන්සේ ද

වැඩවෙසෙන, දෙව් බඹුන් පවා වන්දනාමාන කරන මියුගුණ මහ සෑ රදුන් නො වේ ද.?

මම සලපතළ මළුවට පා තැබීමි. සලපතළ මළුව වැසි දියට තෙමී ඇත. එහෙත් මාගේ පයට වැස්සට පෙර එහි තිබූ උණුසුම යන්තමට දැනෙයි.

මාගේ දේශය පින් බිමක් කරනු පිණිස අප කෙරෙහි වූ අනන්ත කරුණාවෙන් මේ බිමට පළමු කොට දහසක් සක් ලකුණින් ශෝභමාන වූ එ් රන්වන් සිරිපා තැබූ බිම මෙතැන නො වේ ද? ස්වාමීනි, මට දැනෙන්නේ තවමත් ඔබ වහන්සේගේ උණුසුම දැනෙන බිමක මා ඉන්නා බවයි. මම දෙදණ නවා එ් සිරිපතුල් යුග සිපගත් පින් බිම මත නළල තබා දෑස පියාගත්තෙමි.

සටහන

සුදර්ශන ශ්‍රී විජේසිංහ

නැමී නළලත තබා වඳිනෙමු අමා සුව දෙන කැලණියේ
කැලණි නදියේ ජල තරඟ නගමින් මිටියාවත පිස එන මඳනල බෝධිරාජයාණන් වහන්සේගේ ළා දලූ සිලි සිලි හඬ නංවයි. ළා දලූ බෝපත් පිස එන මඳ පවනට මුසු වී සැදැහැවතුන්ගේ වන්දනා හඬ දෙසවන් පත් මත ගැටෙද්දී සිහින් ස්වරයෙන් වැයෙන මියුරු වීණා හඬක් ද එ් හා මුසුව ඇතැයි මට සිතේ.

මනහර නා මෙනවිය හිඳ ළවැලි පිට

ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට

කන හෙව කියන බුදු ගුණ ගී මියුරු කොට

සැනහෙව කැලණි ගඟබඩ මඳ කලක් සිට

රාහුල හිමියන් සැළලිහිණියාට කිව් එ් කවි පද නිතැතින් ම සිහියට නැගෙයි. බුදු ගුණ ගී ගයන නා මෙනවියන් පියවි ඇසට නො පෙනුන ද අදත් ඔවුන් මේ පුද බිම වන්දනා කරන්නට එනවා නො අනුමාන ය.

මම කැලණි මහ සෑ රජාණන් අබියස වැලි මළුවේ නා ගස් සෙවණේ ගල් පඩියක් මත වාඩිවී බොහෝ වේලාවක් සෑ රදුන් වන්දනා කළෙමි. නෙත් බිමට යොමාගෙන සිටින මට පෙනෙන්නේ මහ සෑ මළුවේ ඇවිදින සැදැහැවතුන්ගේ පා සටහන් පමණි. වැලි තලය මත සලකුණු වන පා සටහන මොහොතකින් තවත් පා සටහනකින් මැකී යයි. එය ද ඊ ළඟ මොහොතේ අතීතයට එකතු වෙයි. මේ පියවර සටහන් ඔස්සේ වැලිතලය මත කිඳී ගිය සොඳුරු අතීතයක් කරා මසිත පියමනියි.

මේ බිම මෙතරම් පූජනීයත්වයට පත් වූයේ එදා මණිඅක්ඛිත නා රජුන්ගේ ආරාධනයෙන් මෙහි වැඩම කොට වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේ නිසා ම ය. උන්වහන්සේ දහසක් සක් ලකුණින් ශෝභමාන වූ රන්වන් සිරිපතුල් තබමින් මේ වැලිතලය මත වැඩම කරන්නට ඇත. එ් පසුපසින් නිකෙලෙස් හදවත් දරාගත් මහ රහතන් වහන්සේලා වැඩම කරන්නට ඇත. මීට නුදුරින් මහ සෑය ඇති තන්හි සාදන ලද මණ්ඩපය තුළ මිණි පළඟ මත වැඩ හිඳ බුදු සමිඳුන් දහම් දෙසන විට කුරවීක නාදයක් බඳු එ් හඬට සවන් යොමාගෙන රහතන් වහන්සේලා උන්වහන්සේ වට කොට වැඩහිඳින්නට ඇත. මණිඅක්ඛිත නා රජුන් ඇතුළු නා පිරිවර නළල බිම තබා වැද වැටෙද්දී ගුවන් තලය අතුරු සිදුරු නැතිව පිරී සිටි දෙව් බඹුන් දිව මදාරා මල් වැසි වස්සවමින් සාධුකාර දෙන්නට ඇත.

මා වැලිතලය දෙස බලාගෙන සම්බුදු සිරියෙන් ඇලළී ගිය එ් වෙසක් පුන් පොහෝ දිනයේ අසිරිය සිහි කරද්දී මා බලාපොරොත්තුවෙන් සිටි පා කමල් යුග මා අසලට ම වැඩම කොට සිටිති. මම හිස ඔසවා බැලීමි. මා ඉදිරියේ වැඩ සිටින්නේ මේ අතීත පුරාවෘත්තය දැනගන්නට සුදුසු ම ස්වාමීන් වහන්සේ ය. එ්, කැලණිය රජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ ය. මම උන්වහන්සේගේ පා කමල් වන්දනා කොට මා මෙහි පැමිණි කාරණය සැල කර සිටියෙමි. උන්වහන්සේ නිහඬව ආපසු හැරී ආවාස ගෙය පැත්තට වඩින්නට වූහ. මම එ් පසුපසින් පියවර එසවීමි. ආවාස ගෙය අසල මිටි ගල් බැම්මක් ඇත. උන්වහන්සේ එ් මත අසුන්ගත්හ. මම එ් අසල බිමින් හිඳ ගත්තෙමි. උන්වහන්සේ කටහඬ අවදි කළහ.

‘‘බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා අට වෙනි අවුරුද්දෙ වෙසක් පුන් පෝය දවසෙ තමයි මේ බිමට මුලින් ම වැඩියේ….. මහත්තය අහල ඇතිනෙ මිණිපළෙඟ කතාව… ඔය මිණිපළඟ මුලින් ම අයිති වෙලා තිබුණෙ මහෝදර නාගරාජයාගේ පියාණන්ට. එතුමා මරණාසන්න වුණ වෙලාවේ මේ මිණිපළඟ පැවරුවා චූලෝදර නාගරාජයගෙ මෑණියන්ට. මේ හේතුවෙන් තමයි මේ මිණිපළෙඟ අයිතිය ගැන ගැටලූවක් ඇතිවුණේ මෙය විසඳගන්න තමයි මේ චූලෝදර මහෝදර දෙන්න යුද්ධයකට පැටළුනේ…. ඉතින් බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩල මේ ආරවුල සමථයකට පත් කොට වදාළා. දෙපිරිසට ම දහම් දේශනා කළා. පැහැදුන එ් නා පිරිස මේ මිණිපළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළා. මේ වෙලාවෙ තමයි මණිඅක්ඛිත කියන නා රජතුමා තමන්ගෙ වාසභවනය වන කැලණියටත් වඩින්න කියල බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ. මේ ආරාධනාව අනුව තමයි තථාගතයන් වහන්සේ කැලණියට වැඩම කොට වදාළෙ. එදා බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහ රහතන් වහන්සේලාට වැඩ ඉන්න ලස්සන මණ්ඩපයක් හදල තිබුණා. එ් මැද තමයි එදා නාගදීපෙදි පූජා කොට වදාළ මිණිපළඟ පනවල තිබුණෙ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න. මේ පූජනීය වස්තු දෙක මැදිකරල තමයි ධාන්‍යාකාර හැඩයකින් යුක්තව අද කැලණි මහ සෑය ඉදිවෙලා තියෙන්නේ.”

‘‘ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩි වෙලාවේ කැලණි ගෙඟන් පැන් පහසු වුණා කියල මම අහල තියෙනව.”

‘‘ඔව්.. උන්වහන්සේ ජල සාටිකාව හැඳගෙන කැලණි ගඟට බහිද්දි තමන් වහන්සෙ හැඳ පෙරවගෙන සිටි චීවරධාතුව තැන්පත් කළ ගල අදත් මේ මළුවෙ තියෙන පූජනීය වස්තුවක්. උන්වහන්සේ පැන් පහසු වෙද්දි අඳින ලද ජල සාටිකාව තැන්පත් කරල තමයි කැලණි ගෙඟන් එහා පැත්තෙ තියෙන එගොඩ කැලණිය වෙහෙර වහන්සේ බඳවල තියෙන්නේ.”

‘‘ස්වාමීන් වහන්ස එ් ගැන පුරාවිද්‍යාත්මක සාධක හමුවෙලා තියෙනව ද?”

‘‘මේ තියෙන්නේ…..”

මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ තම දකුණු අත දිගු කොට අප අසල ම සංරක්ෂණය කොට ඇති ශිලා ලිපිය පෙන්වා වදාළහ.

‘‘ස්වාමීන් වහන්ස කැලණිය කියන කොට අපට සිහිවෙන තවත් දෙයක් නේ ද මුහුද ගොඩ ගැලීම…”

‘‘එ්ක වුණේ දේව කෝපයක් නිසා. කැලණිතිස්ස රජතුමා නිරපරාදෙ රහතන් වහන්සෙනමක් ගැන සැක උපදවගෙන තෙල් කටාරමක දාල ජීවිතය නැති කරන්ට නියෝග කළානෙ. උන්වහන්සේ පිරිනිවන් පෑවා.

දෙවියො මේ ගැන කෝප වීම නිසයි මේ මුහුද ගොඩ ගැලීම සිදු වුණේ. සුනාමිය එනකල් අපේ බෞද්ධයො පවා හිතාගෙන හිටියෙ මේව නිකං කතන්දර විතරයි කියලනෙ. අද කාලෙත් සිල්වතුන්ට ගුණවතුන්ට නිග‍්‍රහ කරන අයට මෙවැනි දේව කෝපවලට ලක්වෙන්න වෙනව. එ්ත් අද මිනිස්සුන්ට එ්ව තේරුම් ගන්න තරම් නුවණ මදි.”

‘‘ස්වාමීන් වහන්ස, අද මේ පින් බිම වැඳ ගන්නට එන සැදැහැවතුන්ට කිවයුතු විශේෂ දෙයක් තියෙනව ද?”

‘‘මේ බිම සම්බුදු පහසින් පාරිශුද්ධත්වයට පත් වුණ පින් බිමක්. එ් වාගෙ ම මහ රහතන් වහන්සේලාගෙ පහසින් පාරිශුද්ධත්වයට පත් වුණ පුද බිමක්. ඉතින් මේ බිම අපිරිසිදු නොවෙන විදියට කටයුතු කරන්න නුවණ පාවිච්චි කරන්න ඕනෙ. මල් පූජා කිරීමෙන් පින් රැුස් වෙනවා. හැබැයි මල් නටු හැම තැන ම දාන්න හොඳ නෑ. සුවඳ දුම් පූජා කිරීම හොඳයි. එ්වයෙ දවටන හැම තැන ම දාන්න හොඳ නෑ. පහන් පූජා කිරීමත් හොදයි. එ්ත් පහන සුළඟින් නිවෙනවට එ්ක අරගෙන විහාර ගෙයි පැරණි කැටයම් අතරෙ තියන අය මම දැකල තියෙනව. දැක්ක ද? නුවණ පාවිච්චි නො කළොත් පින් රැුස් කර ගන්න අතරෙ නො දැනී ම අකුසල් සිද්ධ වෙන්නත් ඉඩ තියෙන බව. එ් වාගෙ ම හොඳට නුවණ පාවිච්චි කරල පින් කර ගන්න පිරිසුත් ඉන්නව. මේ ළඟදි තෙරුවන් සරණ ගිය තරුණ පිරිසක් ඇවිල්ල අවසර ඉල්ලූව මහ සෑ මළුවෙ තියෙන පරණ වැලි අයින් කරල හොඳ සිනිඳු අලූත් වැලි දාන්න. දැන් එ් සැදැහැවත් පිරිස ම සූදානම් වෙනව මේ චෛත්‍යරාජයාණන් වහන්සේ විතරක් නෙවෙයි, එගොඩ කැලණියෙ චෛත්‍යරාජයාණන් වහන්සේත් අලූතින් හුණු පිරියම් කරන්න. දැක්ක ද? නුවණ පාවිච්චි කළොත් පින් රැුස් කර ගන්න මොන තරම් අවස්ථා තියෙනව ද?”

‘‘මේ පින් බිම වැඩි දියුණු කරන්නට අප‍්‍රමාණ කැප කිරීම් කරමින් ඔබ වහන්සේ බොහෝ කාලයක් මේ බිමේ වැඩ ඉඳල තියෙනව. මේ අතරෙ ඔබ වහන්සේ දැක්ක අසිරිමත් සිදුවීම් හෙම තියෙනව ද?”

‘‘ඇයි නැත්තෙ, බොහොම දවස්වලට ? නවයට දහයට විතර මම මෙතෙනට ඇවිල්ල වාඩිවෙලා හුදෙකලාවේ මහ සෑය දිහා බලාගෙන ඉන්නව. එ් වෙලාවට දවල් තියෙන කලබලකාරී බව නෑ. පරිසරය හරි ම නිස්කලංකයි. ඉතින් එ් වගේ දවස්වල දෙවි දේවතාවුන් වහන්සේලා සෑය වඳින්න එන හැටි මම අනන්තවක් දැකල තියෙනව. අන්න අර පැත්තෙන් ලස්සන ආලෝක ධාරා ඇවිත් සෑය පැත්තට හෙමිහිට පාත් වෙනව.

සමහර දාට ? දහයට විතර ධාතූන් වහන්සේලා වැඩ ඉන්න ධාතු මන්දිරය ඉමිහිරි සුවඳකින් පිරිල ඉතිරිලා යනවා. පළාත ම පුදුම සුවඳයි. එ්කට උපමා කරන්න සුවඳක් මේ මනුස්ස ලෝකෙ නෑ. ඔන්න එතකොට මම දන්නවා දැන් දෙවි දේවතාවුන් වහන්සේලා ධාතූන් වහන්සේලා වන්දනා කරන වෙලාවයි කියලා…”

උන්වහන්සේ සමග කථා කරන විට කාලය ගෙවී යනවා නො දැනෙයි එහෙත් උන්වහන්සේ වෙනත් වැඩකට වඩින්නට යද්දී මගේ ඉල්ලීම වෙනුවෙන් වහා ම වෙන් කර දුන් කාලය මීට වඩා දිගු නො කළ යුතු යැයි මට සිතුණි. මම කැලණිය රජමහා විහාරාධිපති කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේගේ පා කමල් වන්දනා කොට සමුගෙන උන්වහන්සේගෙන් අවසර ගෙන ධාතු මන්දිරය වෙත පියමැන්නෙමි.

රන් පැහැයෙන් හාත්පස දිදුලන නේකවිධ කැටයමින් හා විසිතුරු පූජා භාණ්ඩයන්ගෙන් අලංකෘත වීදුරුවලින් කළ කුටීරයක සම්බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ හිඳින රන් කරඬුව තැන්පත් කොට ඇත. ‘‘බුද්ධං… සරණං….. ගච්ඡුාමී…….” දඔදිව දී අසා හුරු පුරුදු ළයාන්විත බුදුගුණ ගීතාවලිය ඉතා සියුම් හඬින් ධාතු මන්දිරය පුරා නින්නාද දේ. සිත පුදුමාකාර නිරාමිස සතුටකින් පිරී ඇත. මම පසඟ පිහිටුවා එ් සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කළෙමි. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ධාතූන් වහන්සේලා අබියස දී සිතට දැනෙන නිරාමිස සුවය මෙතරම් නම්, ඔබ වහන්සේ ජීවමානව මිණිපළඟ මත වැඩ හිඳ දහම් දෙසද්දී දැනුණ ලොව්තුරු සුවය මට යන්තම් සිතා ගත හැකි ය.

ධාතු මන්දිරයෙන් මා පිටතට පැමිණෙන විට හිරු කුමරා දවසේ මෙහෙය නිමා කොට බටහිර අහස රත්පැහැ ගන්වමින් සිතිජයෙහි සැඟවෙමින් සිටියි. සඳ කොමලිය තරු පිරිවර සමග මේ කල්‍යාණි නදී තීරයට දෙව් බඹුන් වඩින තවත් සොඳුරු නිශාවකට මුල පුරයි. මම සෙමින් සෙමින් විහාර ගෙය දෙසට පියමැන්නෙමි.

විහාර ගෙයි බිත්ති පුරා බුද්ධ චරිතයේ විසිතුරු අවස්ථා අපගේ පිනට පහළ වූ සෝලියස් මැන්දිස් නම් වූ අපූරු කලාකරුවාණන්ගේ තෙලිතුඩගින් මනහර ලෙස සිතුවම් වී ඇත. දකුණු පසින් තිබෙන්නේ මණිඅක්ඛිත

නා රජුන්ගේ පිළිරුවකි. එ් පිළිරුව අසලින් ඇතුළු විහාර ගෙට පිවිසුන කල අලංකාර සැතපෙන පිළිම වහන්සේනමක් වැඩ හිඳිති. රන් පැහැයෙන් යුතු දැවැන්ත සැතපෙන පිළිම වහන්සේ වන්දනා කළ මම රන් පිළිම ගෙයට ඇතුල් වීමි.

සුදෝ සුදු පැහැයෙන් යුත් හිමෙන් වැසුනු හිමවත් පව්ව පාමුල රන් පැහැය විහිදුවමින් සම්බුදු සමිඳුන් හිමවත් පව්ව සේ නො සැලී වැඩ හිඳිති. රාග, ද්වේෂ, මෝහ නම් වූ සිත දවන සියලූ කෙලෙසුන් මුලිනුපුටා දැමූ එ් සම්බුදු සිත හිමවත් පව්ව සේ ම සිහිලැල් ය. රන් පිළිම වහන්සේ පා මුල මල් ආසනය මත මා රැගෙන ආ නිල් මානෙල් මල් එකින් එක තබමින් පූජා කර කළෙමි. වයසක අම්මා කෙනෙක් මල් නොමැතිව පැමිණ දොහොත් මුදුන් දී එ් පිළිම වහන්සේ පාමුල මුළුමනින් ම දිගාවී වන්දනා කළා ය. මා අත ඇත්තේ තව එක ම එක මලකි. මම එ් මල එ් සැදැහැවත් අම්මාගේ අතේ තැබීමි. මහත් සතුටින් එ් මල මල් ආසනය මත තබා පූජා කළ එ් අම්මා නැවතත් පෙර සේ ම දිග ඇදී බුදු සමිඳුන් වන්දනා කළා ය. මල් රැගෙන ආවත්, මල් නැතිව ආවත් එ් හැම වෙත එක ම කරුණාව පිරුණ සීතල හද මඬලක් දරා වැඩ සිටි මහෝත්තමයාණන් වහන්ස, මා විසින් රැස් කළ මේ සියලූ පුණ්‍ය ධර්මයන්, සීත නිවන් සුව පිණිස ම හේතු වේවා…!

සටහන

සුදර්ශන ශ්‍රී විජේසිංහ

පින් පුරවන්ට නමදිමු ගිරිහඬු සෑය
‘කළුවත’ ගමේ බොහෝ පිරිසක් පුන් පෝ දිනය උදාවනතුරු සිටින්නේ නො ඉවසිල්ලෙනි. පුන් පෝ දා ට අහස පුරා කිරි බැබළෙන ආකාශ චෛත්‍යය වන්දනා කර ගන්නට යන ගමනට සියල්ලෝ ම සහභාගී වන්නේ හද පිරි ශ‍්‍රද්ධාවෙනි. ගමන තරමක් දුර වුවත් එය ඉතා සුන්දර ය. එහෙත් එ් පින්බර අවස්ථාව මේ පෝය දවසේ එක් අයෙකුට අහිමි වී ඇත. එ් ඇය දරුවා ලැබෙන්නට ආසන්න ගැබිණියක්ව සිටින බැවිනි.

‘‘දුවේ උඹ මේ ගමන නාවට කාරි නෑ… අපි ගිහින් සෑය වන්දනා කරගෙන බණ කථා අහගෙන ඇවිල්ල උඹට කියන්නම්කො. උඹ කිරි අම්මත් එක්ක ප‍්‍රවේශමෙන් හිටපන්…” අම්මා ආදරයෙන් හිස අතගා ඈත යන වන්දනා නඩයේ අගට එකතු වන හැටි ඇය බලා සිටියේ සන්තාපයෙනි. ඔවුනට හෝරා දෙකක පමණ ගමනකින් සෑය වෙත ළඟා විය හැකි බව ඇය අත්දැකීමෙන් දනී.

‘අනේ වෙනදාට මම කොච්චර ආසාවෙන් ද මේ ගමනට එක්කාසු වෙන්නෙ… වැවේ බැහැල දිය බේරෙන නෙළුම් මල් නෙළාගෙන ගිහින් ආකාශ චෛත්‍යයට පූජා කරල… හඳපානෙ සෑ මළුවෙ ඉඳගෙන මිහිරට පිරිත් කියන කොට සිතට දැනෙන සුවය….’ ඇය මිදුල කොණේ සේපාලිකා ගහ යට හිඳගෙන වලාකුළු අතරින් ඈත අහසේ කිරි බැබළෙන සෑය දෙස බලාගෙන බුදු ගුණ ම සිතන්නට වූවා ය… කෙමෙන් රෑ බෝවී සඳ පායා ආවත් ඇයට කාලය ගතවී යනවා නො දැණුනි…. ඇගේ සිත බුද්ධානුස්සතිය තුළ එකඟ වෙද්දී සෑයේ කොත මුදුනින් අහස පුරා සුදු බුදු රැුස් විහිදෙන්නට විය. එ් අසිරිය දැක දැක ම ඇය තව තවත් බුදු ගුණ තුළ ම ගිලූනා ය. ඇයට දැණුනේ සෑ බඳ පිස එන මඳ පවන් රැුළි ඈ ගත වෙළාගන්නා වග පමණි.

හදිසියේ උරහිසට තැබූ අතකින් ඇයගේ දැහැන බිඳුණි… ‘‘අනේ දුවේ…. ශ‍්‍රද්ධාව තිබුණ කියල මෙහෙමත් හිතුවක්කාර වැඩ කරන එක හොඳ ද? කාත් එක්ක ද, කොහොම ද මේ රාත්තිරියෙ අපිටත් කලින් සෑ මළුවට ආවේ? අනික මෙච්චර පඩි නැගල දුර එන්න උඹට හොඳ ද මං අහන්නෙ…?” ඇය සිහි එළවා ගන්නට තැත් කළා ය…

‘‘අනේ අම්මෙ මම හිතුවක්කාරකමක් කළේ නැහැ…. පඩි නැග්ගෙත් නෑ… මම හිටියෙ ගෙදර මිදුලෙ සේපාලිකා ගහ යට. මම හිටියෙ බුදු ගුණ හිත හිතා…. මේ සෑ මළුවට මම කොහොම ආව ද කියන්න මම දන්නෙ නෑ….”

අප මේ ගමන් කරමින් සිටින්නේ එදවස ප‍්‍රාතිහාර්යයකින් එ් ගැබිණි මව පැමිණියා වූ ආකාශ චෛත්‍යය වෙතට ය.

ත‍්‍රිකුණාමලයේ සිට කි. මී. 40ක් පමණ මග ගෙවා පැමිණි අපි කුච්චිවේලි පොලීසිය ඉදිරිපිටින් වමට හැරවීමු.

මෙතැන සිට අප තවත් කි. මී. 16ක් පමණ යා යුතු ය. ඉන් අඩක් පමණ ගිය විට නැගෙනහිරට ආවේණික තල් රුප්පා සහිත වියළි පරිසරයෙන් මිදී දැවැන්ත පළු වීර ගස්වලින් සුසැදි වන පෙතකට ඇතුළුවීමට සිදුවෙයි. වන මැද මාවත දෙපස ගම් බිම් දක්නට නැතත් හමුදා මුරපොළවල් දෙකක් හමුවෙයි. ඔවුන් මේ ප‍්‍රදේශ කුරිරු ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා නො ගන්නට අප කෙසේ නම් මේ සිද්ධස්ථාන දැක බලා වන්දනා කර ගන්න ද? ඓතිහාසික නීතුපත්පාන ගිරිහඬු සෑය පින් බිම වෙත ළඟා වෙද්දී පළමුව ඔබ නෙත ගැටෙන්නේ නැගෙනහිරින් ඇති නීතුපත්පාන වැවයි. මෙය ව්‍ය. ව. 67 දී අනුරපුර රජ වූ වසභ රජතුමාගේ නිමැවුමකි. වැව් ඉවුරේ සිට අහස දෙස නෙත් යොමද්දී දිස් වන්නේ එදා පෝදාට සුදු බුදු රැස් වීදූ ගිරිහඬු සෑ රදුන් හා එ් වටා ඇති ශෛලමය වටදාගෙය යි..

වන පියස අතරින් වැටී ඇති පියගැටපෙළ තුන්සියයක් පමණ තරණය කිරීමෙන් ඔබට මේ අසිරිමත් සෑ මළුව වෙත ළඟා විය හැකි ය. මුළු නැගෙනහිර පළාතේ ම පිහිටි උස් ම කඳුගැටය මත වූ මේ සෑයට ආකාශ චෛත්‍යය යැයි නම් තැබීම කෙතරම් සාධාරණ ද යන්න පසක් වීමට නම් ඔබ මෙහි පැමිණිය යුතු ම ය. සෑ මළුවේ සිට අවට බලන විට දක්නට ලැබෙන දසුනේ සුන්දරත්වය මම විස්තර කිරීමට නො යමි. මන්ද එය ඔබ නෙතින් ම විඳගත යුතු බැවිනි. මේ අසිරිමත් සෑ රදුන් හා එහි ඉතිහාස පුවත පිළිබඳ දැනගැනීමට මම ගිරිහඬු සෑය විහාරස්ථානයේ වත්මන් විහාරාධිපතින් වහන්සේ වන නැගෙනහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක ශාස්ත‍්‍රපති ධර්ම කීර්ති ශ‍්‍රී දෙවිනුවර චන්දිම ස්වාමීන් වහන්සේ

මුණගැසුනෙමි.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, කොහොම ද මේ පිළිබඳ ඉතිහාස කථාව පෙළගැහෙන්නෙ?”

‘‘බුදුරජාණන් වහන්සේ එදා වැඩ සිටියේ කිරිපළු වනයේ.. ඔය තපස්සු භල්ලූක කියන්නේ තම පිය පරම්පරාවෙන් ආපු වෙළඳාම් කටයුතු දේශ දේශාන්තරයන්හි පවා හොඳින් කරගෙන ගිය වෙළඳුන් දෙදෙනෙක්. එදා මේ අය ගැල් පන්සීයක වෙළඳ ද්‍රව්‍ය පටවගෙන මේ කිරිපළු වනය මැදින් යමින් හිටියෙ. එක පාරට ම එ් අයගෙ කරත්ත වියළි පොළවෙ එරිල ගියා. මේ පුදුමය මොකක් ද කියල බලද්දි ගසක හිටිය වන දේවතාවෙක් කිව්ව ඔන්න ඔයාලගෙ පැතුම ඉටුකරගන්න දවස ඇවිල්ල කියල. එ් කියන්නේමේ අයගෙ පෙර සංසාරෙ පැතුමක් තිබිල තියෙනව ‘අනේ අපට බුදු කෙනෙකුට පළමු දානය පිරිනමන්න ඇත්නම්’ කියල. ඉතින් මේ අය වටපිට බලද්දි දැක්ක ඈත කිරිපළු හෙවණක වැඩ ඉන්න මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ. ඉතින් මේ අය හරි ම සතුටින් තමන් ළඟ තිබුණ විලඳ මී පැණි අරගෙන භාග්‍යවතුන් වහන්සෙ වෙත ළඟා වුණා. මේ වෙනකොට බුදුරජාණන් වහන්සෙ අත පාත‍්‍රයක් තිබුණෙ නෑ.. සතරවරම් දෙව් රජවරු මේ මොහොතෙ භාග්‍යවතුන් වහන්සේට දන් වළඳන්න රන් පාත‍්‍රා හතරක් පූජා කළා. බුදුරජාණන් වහන්සේ ඍද්ධි බලයෙන් එ් පාත‍්‍රා හතර ම එකක් බවට පත්කරගෙන වෙළඳ දෙබෑයන්ගේ දානය පිළිගත්ත.

දන් වළඳලා අවසානයේ දහම් අසා ගෞතම සසුනෙ පළමු උපාසක දෙපළ වන්නට එ් අය වාසනාව උදා කර ගත්ත. ආපසු පිටත්වෙන්න කලින් මේ දෙන්නා පූජනීය වස්තුවක් ඉල්ලපු වෙලාවෙ තමයි භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රී හස්තයෙන් සම්බුදු සිරස පිරිමැදල ජීවමාන කේශධාතුන් වහන්සේලා වෙළඳ දෙබෑයන්ට ලබාදුන්නේ… ඉතින් මේ දෙන්න බොහෝ ම ගෞරවයෙන් මේ ධාතූන් වහන්සේලා සත්රුවන් කරඬුවක තැන්පත් කරල තමන් යන යන තැන අරගෙන ගියා.”

‘‘එතකොට ස්වාමීන් වහන්ස මේ ධාතූන් වහන්සේලා අපට ලැබෙන්නෙ කොහොම ද?”

‘‘මේ වෙළඳ දෙබෑයෝ රට රටවලට වෙළඳාමෙ යන අතරේ ලංකාවට ආවනේ… එ් කාලේ ඔය දැන් යාන් ඔය මූදට වැටෙන කල් වරාය කියන ගල් වරායේ ඉදල යාන් ඔය දිගේ ඇවිත් රට ඇතුළට ම යන්න පුළුවන් ඇළ මාර්ග තිබිල තියෙනව. මේ ප‍්‍රදේශ එ් කාලෙ ජනාකීර්ණයි. ඉතින් මේ දෙන්න වෙළඳ කටයුතුවලට රට මැදට යද්දි අර රන් කරඬුව බොහොම ගෞරවාන්විතව එ් ප‍්‍රදේශයේ තියෙන උස් බිමක රඳවල රැකවල් කරල තමයි යන්නෙ.. ඉතින් මෙහෙම ගිහින් ඇවිත් බලද්දි කරඬුව තිබුණ තැනින්

සොලවන්නවත් බැරි වුණා…

එ් පාර මේ දෙන්න ‘මේක නම් අසිරියක් ම යි…. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගෙ මේ ධාතූන් වහන්සේලාගේ උරුමය තියෙන්නෙ මේ බිමට වෙන්න ඕනෙ’ කියල හිතල එතන ම සෑයක් හදල තැන්පත් කරල වන්දනා කරල පිටත් වෙලා ගියා..”

‘‘ස්වාමීන් වහන්ස මේ වගට ඓතිහාසික සාධක තියෙනව ද?”

‘‘ඇයි මහත්තයො ඓතිහාසික තිරියාය සෙල්ලිපියෙ පවා මේ බව සඳහන් වෙනවනෙ.”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, වර්තමානයේ අපට මේ සෑය හමුවෙන්නෙ කොහොම ද?”

‘‘මහත්තයො 1954 විතර අපගේ නායක ස්වාමීන් වහන්සේ වන ධර්ම කීර්ති ශ‍්‍රී ගන්දර ආනන්ද නා හිමියන් වහන්සේට මේ සෑය ගැන දැනගන්න ලැබිල හාල් පොල් ටිකක් විතරක් අරගෙන හුදෙකලාවේ අදත් අලි කොටි වග වලසුන් ඉන්න මේ මහ වනය මැදින් කි. මී. 54ක් විතර දුර ගෙවාගෙන පයින් ම වැඩල මේ ස්ථානය හොයාගෙන මහ වනය මැද නැවතිලා කළ කැපවීමක ප‍්‍රතිඵලය තමයි මේ.”

‘‘ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ වන මැද ඉද්දි මුහුණ දුන්න විශේෂ සිදුවීම් තියෙනව ද?”

‘‘මහත්තයෝ මම පැවිදි වුණේ 1979. මේ කැලෑවෙ මොනතරම් වන සත්තු ඉන්නව ද? එ්ත් කවදාවත් අපට කරදරයක් නෑ…. අපි අහල තියෙනව සමහර දාට ?ට සෑයෙන් පිරිත් හඬ ඇහෙනව. එ් වාගෙ ම ඔය සෑ මළුව හරි ඉක්මනින් සිත සමාධිගත කර ගන්න පුළුවන් තැනක්. මේ බව දන්න විදේශික හාමුදුරුවරු පවා ඇවිත් ?ට සෑ මළුවට වැඩල එළිවෙනකම් වන්දනා කරල භාවනා කරල යනව. දේවතා එළි නම් කොතෙකුත් දැකල තියෙනව.”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස මේ සෑය වඳින්න එන සැදැහැවතුන්ට දැනුම්වත් කරන්න යමක් තියෙනව ද?”

‘‘මහත්තයො මගෙ සිහිනයක් තියෙනව. එ් තමයි එදා අර උපාසිකා දුවට බුද්ධාලම්බන ප‍්‍රීතිය ඇතිවෙලා අහසින් සෑ මළුවට එන්න තරම් අනුහසක් තිබුණ මේ සෑය එදා වගේ ම ප‍්‍රතිසංස්කරණය කරවල කිරි බැබළෙන සෑයක් බවට පත් කරන්න. මොකද මේ තුළ වැඩ ඉන්නෙ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දි උන්වහන්සේගේ සුරතින් ම පිරිනැමුව දිවමන් කේශධාතු. එ් විතරක් නෙවෙයි. උන්වහන්සේ ජීවමානව වැඩ ඉද්දි ම යි මේ සෑය හැදුවෙ. මේ තමයි මේ බුද්ධ ශාසනයේ ලෝකයේ ප‍්‍රථම ධාතු චෛත්‍යය.

එ්ත් අවාසනාව කියන්නෙ සමහර අය හිතන්නෙ මේව පුරා වස්තු…. මේව වෙනස් කරන්න හොඳ නෑ… මේව ඔය පරණ විදියට ම ගල්වල දිය සෙවෙල බැඳිල කැඩුණු ගල් පඩි අතරින් මුල් ගිහිල්ල තියෙන තරමට ම යි පෞරාණික බව රැකෙන්නෙ කියල.

ඔය අදහස එදා සිටි රජ දරුවන්ට තිබුණ නම් අපට අද රුවන්වැලි සෑය කියල වඳින්ට වෙන්න පස් කන්දකට.

සෝමාවතිය, සේරුවිල කියල වඳින්ට වෙන්නෙ පස් කඳුවලට මහත්තයො. ගෞතම ශාසනය කියන්නෙ තවමත් අතීතයට ගිය එකක් නෙවෙයි; අදටත් ජීවමාන එකක්… ඉතින් බුදුරජාණන් වහන්සේට කරන නියම පූජාව නම් ලොව ප‍්‍රථම සෑය වන මෙය මේ විදියෙ නටබුන් ගොඩක් විදියට තියාගන්න එක නෙවෙයි. පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයනුත් සුරැුකෙන විදියට සෑය ප‍්‍රතිසංස්කරණය කරවල හුනු පිරියම් කරල එදා වගේ මුළු නැගෙනහිර පළාතට ම මිහිබට සුර විමනක් වගේ කිරි සුදුවට පේන ආකාශ චෛත්‍යය බවට පත් කරවන එකයි.”

උන්වහන්සේගේ එ් සිහිනය තෙරුවන් සරණ ගිය අප සැමගේ ම සිහිනය විය යුතු ය. මිසරයේ පිරමීඩ මෙන් ගෞතම සසුනේ සිද්ධස්ථාන නටබුන් ලෙසින් පවත්වාගෙන යාමේ මානසිකත්වයෙන් අප මිදිය යුතු ම ය… මන්ද ගෞතම සසුන අදත් ජීවමාන හෙයිනි. පෙර රජ දරුවන් වරින් වර මේ සිද්ධස්ථාන වඩ වඩාත් වැඩිදියුණු කරමින් ප‍්‍රතිසංස්කරණය නො කරන්නට අද අපිට ඉතිරිවන්නේ කුමක් ද? අප අපගේ යුගයේ දී එ් යුතුකම ඉටු නො කරන්නේ නම් අනාගත පරපුරට අප ඉතිරිකර යන්නේ මොනවා ද? උන්වහන්සේගේ සිහිනය අප දැස් මානයේ සත්‍යයක් වනු දැකීමට සවි ඇත්තෝ පින් පුරා ගනිත්වා….!

බුදු ගුණ කියමින් එ් දිවමන් කේශ ධාතු සෑය වටා පැදකුණු කරමින් වන්දනා කළ මම එසේ ප‍්‍රාර්ථනා කළෙමි.

සටහන

සුදර්ශන ශ්‍රී විජේසිංහ

මුහුදු මහ වෙහෙර නමදිමු නැගෙනහිර
මොහඳුරෙහි ගිලී වල්මත් වුණ දනන් හට, අමා දොර විවර කර, යා යුතු මග පෙන්වා වදාළ, අප ගෞතම මුනිරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන උතුම් වු වෙසක් සඳ උදා වන්නට ඇත්තේ තව නොබෝ දිනකි.

එ් මහෝත්තමයාණන් වහන්සේගේ පා පහසින් පළමුවෙන් ම ලක් දෙරණ පූජනීයත්වයට පත් වුණ සුන්දර මහියංගණයෙන් ඇරඹුන පුණ්‍ය චාරිකා සටහන ද මේ ලක් පොළවේ මෙන් ම දඹදිව සිද්ධස්ථාන කරා ද ඔබ කැඳවා යන්නට සමත් වූ වග සිහි වන විට සිතට නිරාමිස සතුටක් දැනේ.

‘‘සුදර්ශන අයියේ, අපි මහාමේඝ වෙසක් කලාපෙට හැමෝගෙ ම අවධානයෙන් ගිලිහුන අප‍්‍රකට නැගෙනහිර සිද්ධස්ථාන ගැන ලියමු ද?”

පෙමිඳු මල්ලී ඇතුළු මහාමේඝ සොයුරු සොයුරියන්ගේ එ් ඉල්ලීම ඉවතලන්නේ කෙසේ ද?

කාර්යබහුල රාජකාරි දිවියට මඳ විරාමයක් ලබා දී එක් සිකුරාදා දිනෙක සවස් වරුවේ සුපුරුදු පරිදි නිවසේ දී ම තෙරුවන් වන්දනා කොට දෙවියන්ට පින් අනුමෝදන් කළ අපි ලංකාවේ බටහිර කෙළවරේ සිට නැගෙනහිර කෙළවරේ සංගමන්කන්ද තුඩුව ආසන්නයට වැටී ඇති ගමන් මග හරහා එ් සොඳුරු පුණ්‍ය චාරිකාව පිටත් වීමු.

ගමනක් පිටත් වීමට මත්තෙන් සිතියම් ඇසුරෙන් සහ අනෙකුත් තොරතුරු අනුසාරයෙන් එ් ගමන පිළිවෙළකට සැලසුම් කිරීමට මම පෙර සිට ම හුරු වී සිටිමි. එවිට ගමන පහසු ය. අතරමග කරදර අඩු ය. ගමනාන්තය පැහැදිලි ය.

සසර ගමන සඳහා ද එබඳු පැහැදිලි, නො වරදින මගක් තිබේ. එ් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. යමෙක් එ් මගට පිළිපන්නේ වී ද ඔහු එ්කාන්තයෙන් ම එ් ගමන නිවනින් කෙළවර කරන්නේ ම ය. සැබැවින්ම විස්මයජනක වන්නේ එ් මග සොයාගැනීම ම නො වේ ද?

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දෙව් මිනිසුන්ගේ එක ම මාර්ගෝපදේශකයාණන් වහන්සේ ඔබ වහන්සේ ම ය.

කොළඹ සිට අපගේ ගමනාන්තයට ඇති දුර කි. මී. 352කි. කොළඹින් ගමන් ආරම්භ කළ අප රත්නපුර පසු කොට තිඹොල්කැටියෙන් වමට හැරී උඩවලව වැව් බැම්ම මතින් තණමල්විලට පැමිණියෙමු. මග දෙපස ඇති සොඳුරු දසුන් දැක ගැනීමට නම් ඔබ ? බෝ වීමට පෙරාතුව මේ ඉසව් පසු කළ යුතු ය. මේ ගමනේ දී අප කොළඹින් ගමන් ආරම්භ කළේ සන්ධ්‍යා කාලයේ බැවින් සඳ පහන් රැුයේ දිදුළන උඩවලව වැව් තලය දැක සැනසුනෙමු.

තණමල්විල සිට වැල්ලවාය බුත්තල පසුකොට මොනරාගලට ළඟා වන විට මධ්‍යම රාත‍්‍රියට ආසන්න වූ බැවින් කලින් සැලසුම් කර ගත් පරිදි ම මොනරාගල Roch Hill නම් කුඩා නිකේතනයේ රැය පහන් කළෙමු.

අලූයමින් අවදි වූ අප මොනරාගල පොතුවිල් මාර්ගයේ ගමේවෙල ආසන්නයට එන විට අප කණ්ඩායමේ සියලූ දෙනාම සිටියේ තද කුසගින්නකිනි. පාර අද්දර පිහිටි ගමේවෙල කොඩයාන බත් කඩේ හිතේ හැටියට උණු උණු කැකුළු බත් සප්පායම් වීමට කදිම පියසකි. අප සියඹලාණ්ඩුව පසු කොට ලාහුගල වනපෙතට ඇතුළු වන විට උදෑසන 9.00ට පමණ වන්නට ඇත.

වනපෙත මැදින් අප වේගයෙන් ඉදිරියට යද්දී පාර අද්දර ම සිටි වන අලින් තුන්දෙනෙකු අපට පසුවිය. එ් තුන්පත් රෑනක් දැයි නො දනිමු. මම අපගේ රියදුරු ඇමතීමි. ‘‘රණේ.. ඔහොම ම රිවස් කරන්නකො….” වන අලි බැලීමේ ආශාවෙන් හිටි රණසිංහ දෙවරක් නො සිතා රථය පසුපසට පැදවී ය. ‘‘අනේ තාත්තේ ළඟට යන්න එපා…” ජීප් රථයේ පසුපස ම ආසනයේ සිටි දියණිය කෑ ගැසුවා ය. මාගේ බලාපොරොත්තුව වූයේ වාහනයේ තිබුණු කොමඩු හා අන්නාසි ඔවුනට කෑමට දීමටයි.

අලි ?න සමීපයට එත් ම හිස දෙපසට වනා හොඬ ඔසවා ගත් නායක හස්තියා වේගයෙන් ඉදිරියට එද්දී රණසිංහ සියලූ වෙර යොදා සැණෙකින් ජීප් රිය ඉදිරියට පැදවූයෙන් රථයේ පිටුපස සිටි පිරිසගේ කෑ ගැසීම සුළු මොහොතකින් නැවතිණි. එහෙත් මඳ දුරක් යනතුරු ඔවුන් සිටියේ මා සමග නොමනාපයෙනි.

නොඉඳුල් වියළි කලාපීය වනපෙතක ඇති අසිරිය විඳ ගැනීමටත්, නිදැල්ලේ සැරිසරන වන හස්තීන් ඇතුළු නෙක වන සතුන් දැක බලා ගැනීමටත් ලාහුගල වනපෙත කදිම තෝතැන්නකි. එහෙත් ඔබ එකක් මතක තබා ගන්න. එනම් වන අලින් අසලට රථය නො පදවන්න. රථයෙන් බැස ඡුායාරූප ගැනීමට නො යන්න. ඔවුනට කෑම දීමට නො යන්න. මන්ද ඔවුන් මිනිස් ඇසුරට හුරු නො වුණු වන සතුන් වන බැවිනි.

කාර්මීකරණයෙන් දූෂණය නො වුණ යම් වනපෙතක් වේ ද එහි නිරතුරුව සියොත් ගී නද හා මුසුව රැහැයියන්ගේ නාදය තවමත් ඇසෙන වග මා අත් දැක තිබේ. නොඉඳුල් වනපෙතක් සොයා යන ඔබට එය කදිම මිනුම්දණ්ඩක් වනු ඇත. සවනත වැකෙන රැුහැයි හඬ හා එ්කාත්මිකව සොබා සොඳුරු සිරි විඳීමට සිත ඇරයුම් කළ ද අපගේ ගමනාන්තය එය නොවන බැවින් කඩිනමින් ලාහුගල පසුකර පොතුවිල් බලා ගමන් ඇරඹීමු.

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කයේ පොතුවිල් නගරයේ මුහුදු වෙරළට ඉතාමත් සමීපයේ සුන්දර අරුගම්බේ වෙරළ තීරයට යාබදව මෙම අසිරිමත් පුද බිම පිහිටා ඇත. මෑතක දී අතිගරු ජනාධිපතිතුමන්ගේ මැදිහත් වීමෙන් පිළිසකර කර ඇති නිසා මෙම ඓතිහාසික පුදබිම වෙත ඇති ප‍්‍රවේශ මාර්ග මෙන් ම ප‍්‍රවේශ මාර්ග පුවරු ද පොතුවිල් නගරයේ සිට ම පැහැදිලිව දැකිය හැකි ය. පොතුවිල් නගරයේ සිට අරුගම් පාලම දෙසට කි. මී. 01ක් පමණ පැමිණ ප‍්‍රවේශ මාර්ග පුවරුව අසලින් දකුණට හැරී මුහුදු වෙරළ ඔස්සේ වැටී ඇති මං තීරුව ඔස්සේ උතුරු දෙසට ගමන් කළෙමු.

දකුණු පසින් දිස් වන්නේ සුනිල්වන් වෙරළ තීරයයි වම් පසින් අප ඉදිරියෙන් පිහිටා ඇති සුවිසල් වැලි කඳු සිහිගන්වන්නේ සහරා වැලි කතරයි. සම්බුදු පහස ලැබේ නම් කතරකට වුව ද සිසිලස සැලසෙන බව කියාපාමින් නුවර එළිය වැනි සීත පළාත්වල වැවෙන සයිප‍්‍රස් ගස් සමූහයක් මේ ගිනි ගහන වැලි පොළවේ සරුවට වැඞී ඇත.

වැලි කඳු ඔස්සේ වැටි ඇති මාවත දිගේ අපි මුහුදු මහා විහාරය වෙත පියමන් කළෙමු. මෙහි දී ඔබට මුලින් ම දිස්වන්නේ අභිනවයෙන් ඉදි කොට ඇති මනරම් බුද්ධ මන්දිරය හා විහාර මහා දේවියගේ පිළිරුවයි. බුදු පිළිම වහන්සේට වන්දනා කළ අපි තවදුරටත් ඉදිරියට ගමන් කළෙමු.

අසිරියකි, කාලයේ වැලි තලාවෙන් පමණක් නොව මුහුදු වැල්ලෙන් ද වැසී ගිය අතීතයක නටබුන් රැුසක් අප දෑස ඉදිරියේ විද්‍යමානව ඇත. චතුරස‍්‍රාකාරව ඉදිකොට ඇති පිළිම ගෙය ගඩොල් හා ශෛලමය ස්ථම්භ යොදා උස්ව පිළියෙල කොට තිබේ. පිළිම ගෙයට පිවිසුම් ද්වාරය ඇත්තේ නැගෙනහිර දෙසිනි. පියගැටපෙළ සමග මුරගල් යුගලක් මෙන් ම විශේෂ ආකාරයේ සඳකඩ පහණක් ද දක්නට ඇත. නැගෙනහිර දෙසට මුහුණලා වැඩ සිටින පිළිම වහන්සේට වන්දනා කරන ඉරියව්වෙන් රාජාභරණ පැලඳි තවත් ප‍්‍රතිමා දෙකකි. මෙයින් එක් පිළිරුවක් කාන්තාවකගේ බව ද පැහැදිලිව දැකිය හැකි ය.

ප‍්‍රධාන පිළිම ගෙයට අමතරව ඇසට අසුවන මායිමේ තවත් නටබුන් රැුසක් ම දැකිය හැකි වේ. මේ පිළිබඳව තවත් තොරතුරු දැන ගැනීම සඳහා අපි මුහුදු මහා විහාරයේ වත්මන් විහාරාධිපතින් වහන්සේ වන පූජ්‍ය වරකපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ මුණගැසුනෙමු.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, මේ විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම ගැන කරුණු ටිකක් සඳහන් කළොත්?”

‘‘මේ විහාරයේ ආරම්භය සැලකෙන්නේ ක‍්‍රි. පූ. දෙවන සියවසේ. ලංකා රාජාවලියේ 28 වන රජතුමා වන මහාදාඨික මහානාග රජතුමා විසින් තමයි මෙම විහාරය කරවා තියෙන්නේ. විහාර මහා දේවිය ගොඩබැසීමේ පුවතත් එක්ක සම්බන්ධවයි මෙහි අතීතය ඇරඹෙන්නෙ.”

‘‘ස්වාමීන් වහන්ස අපි අහල තියෙන්නෙ විහාර මහා දේවිය කිරින්දට ගොඩබැස්ස කියලයි.”

‘‘එ්ක මෙහෙමයි. ජනප‍්‍රවාදයට අනුව විහාර මහා දේවිය කිරින්දට පාවෙලා ආව තමයි. නමුත් ගොඩ බැහැල නැහැ. රජතුමාට සැලකරල තියෙනව ලස්සන නෞකාවක කුමාරිකාවක් පා වෙලා එනව කියල. රජතුමා සැල කරල තියෙනව මූද අද්දර හේන්වල අට්ටාල ගහගෙන බලන් ඉන්න කියල. එ් අට්ටාලහේන් තිබුණ පෙදෙස අදත් ‘අඞ්ඩාලච්චේන’ කියල හැඳින්වෙන්නෙ. පසුව කුමාරි පා වෙලා ගිය දිසාව අනුව ගිය රජතුමා අහල තියෙනව කෝ කුමාරි කියල. ‘කෝමාරි’ කියල අදත් හැඳින්වෙන්නෙ එ් ප‍්‍රදේශය යි. එ් වෙලාවෙ එතන හිටිය රටවැසියො අත දික්කරල පෙන්නුව අර ගමටයි ගොඩබැස්සෙ කියල. අර ගම තමයි ‘අරුගම’ වෙලා පසුකාලීනව බොක්ක යන්නට කියන ඉංග‍්‍රීසි ඊ්හ යන්නත් එකතු වෙලා ‘අරුගම් බේ’ වෙලා තියෙන්නෙ. අනික කිරින්දෙ සෙල් ලිපියෙ තියෙන්නෙ එතෙක් මිථ්‍යාදෘෂ්ටිකව හිටපු මහානාග රජතුමා පසුව තෙරුවන් සරණ ගිහිල්ල ගලේ විහාරය කරවල මහා සංඝරත්නයට පූජා කළ බවයි.”

‘‘ස්වාමීන් වහන්ස, එතකොට අතීතයෙදි මේ විහාරය හඳුන්වලා තිබුණෙ මොන නමින් ද?”

‘‘මහත්තයෝ මේ තමයි රුහුණෙ ලංකා විහාරය. මහාවංශයේ 34 වන පරිච්ෙඡ්දයේ මේ ගැන විස්තර තියෙනව.”

‘‘ස්වාමීන් වහන්ස, කොපමණ භූමි ප‍්‍රමාණයක් මේ විහාරස්ථානයට අයිති ද?”

‘‘මේ පිළිබඳ ව මත කීපයක් තියෙනවා. ගව් අටක්, එ් කියන්නෙ සැතපුම් 32ක් පුරා මෙය විහිදිලා තිබුණ බව සැලකෙනවා.”

‘‘ස්වාමීන් වහන්ස, වර්තමානයේ මේ නටබුන් මුණගැසෙන්නෙ කුමන වකවානුවක ද?”

‘‘1962 දි තමයි මුලින් ම මෙහි නටබුන් මුණගැහිල තියෙන්නෙ. තව මතු නො වුණු විශාල අතීත කතාවක් මේ වැල්ලෙන් සහ මුහුදෙන් යටවෙලා තියෙනව.”

‘‘ස්වාමීන් වහන්ස, සුනාමි ව්‍යසනය වූ අවස්ථාවේදි, මුහුද පසුපසට ගිය වෙලාවේ, මුහුදු පතුලෙන් බුද්ධ ප‍්‍රතිමාවක් ඇතුළු නටබුන් රැසක් මතු වී යළි නො පෙනී ගිය වග මා අසා තිබෙනවා.”

‘‘මහත්තයෝ මේ ප‍්‍රදේශයේ මුහුදු යන ධීවරයොත් කියනව එක් තැනක දැල් එළන්න පවා බැරි අමුතු පරිසරයක් තියෙනව කියල. මමත් ඔය ගැන බලන්න නාවික හමුදාවත් එක්ක ගියා. දිය යට කිමිදිලා බලද්දි මුහුදු පතුලෙ තියෙනව සඳකඩ පහණක්, කොරවක් ගලක්, එ් වාගෙ ම පියගැටපෙළක්, එ්ත් ඊට වඩා දෙයක් දකින්න හම්බ වුණේ නෑ. මොකද එතන මුහුද හරි ම අමුතුයි. දිය සුළියක් තියෙනව. වෙරළ අද්දරට වෙන්න තවත් ගිලා බැහැපු චෛත්‍යයක නටබුන් තියෙනව. එතන සැලකෙන්නෙ විහාර මහා දේවිය ගොඩ බැහැපු ස්ථානය විදියටයි.”

‘‘ස්වාමීන් වහන්ස, මේ පිළිම ගෙය තුළ බුද්ධ ප‍්‍රතිමාවට වන්දනා කරන ඉරියව්වෙන් නිර්මිත අනෙක් ප‍්‍රතිමා දෙක කවුද?”

‘‘පුරාවිද්‍යාවෙන් නම් කියන්නෙ මේ බෝසත් ප‍්‍රතිමා දෙකක් කියල. ජනප‍්‍රවාදයෙ සැලකෙන්නෙ කාවන්තිස්ස රජතුමා විසින් වෙරළට ගොඩබැස්ස විහාර මහා දේවිය මේ ස්ථානයට ගෙනැවිල්ල සඳුන් දියර කළ හතකින් නහවල, ඇය පැලඳ සිටි ස්වර්ණාභරණ සියල්ල ම මෙහි නිදන් කරල, ඇය නැවත සරසවල, මඟුල් ඇතා පිට නග්ගවල, මේ ආසන්නයේ තියෙන ලාහුගල මඟුල් මහා විහාරයට කැඳවාගෙන ගොස් විවාහ කර ගත් බවයි.”

‘‘ස්වාමීන් වහන්ස දැන් මට වැටහෙනව. විහාර මහා දේවිය කියන්නෙ සාමාන්‍ය ගැහැනියක් නෙවෙයි. සාමාන්‍ය කුමාරිකාවකුත් නෙවෙයි. ඇය තමයි ගැමුණු රජතුමාගෙ අම්ම. ඇය නො හිටින්න ගැමුණු කුමාරයා නෑ. රුවන්වැලි මහ සෑයත් නෑ. අපට කතා කරන්න බුදු සසුනකුත් නෑ. ඉතින් එ් වටිනාකම අපිට හරියට තේරන්නෙ නැති වුණාට අතීතය අනාගතය දෙක ම දැකිය හැකි රහතන් වහන්සේල දන්නව.”

‘‘බොහොම හරි මහත්තයා. මේ බිම රහතන් වහන්සේලා වැඩ හිටිය පින් බිමක් බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඉතින් එ් රහතන් වහන්සේලාගේ අනුශාසනා මත තමයි ඇයගෙ ආගමනය සිහිවෙන්න මේ වාගේ දැවැත්ත විහාරාරාම සංකීරණයක් කරවල තියෙන්නෙ. පසුව මේ ස්ථාන සංඝාවාස හදල, පිළිම ගෙවල්, පොහොය ගෙවල් හදල, වඩාත් වැඩි දියුණු වෙන්නෙ මේ ස්ථානවල සිය ගණන් රහතන් වහන්සේලා වැඩ සිටි නිසා ම යි.”

ගමේ හෝ නගරයේ වේවා යම් තැනක රහතුන් වැඩ සිටී ද එ් බිම හරි ම සුන්දරයි. එ් බිමට අපගේ නමස්කාරය වේවා.!

කලක් ත‍්‍රස්තවාදීන්ගේ අණසකට යටත්ව පැවති මෙම භූමිභාගය වර්තමානයේ මුළුමනින් ම වාගේ මුස්ලිම් ජනතාව වෙසෙන පෙදෙසකි. වසර 14ක පමණ කාලයක් මේ සියලූ තර්ජන හමුවේ විහාරස්ථානය රැක බලාගෙන වැඩ සිටි කතරගම සීලරතන ස්වාමීන් වහන්සේ නො වන්නට අද මෙම විහාරය නො තිබෙන්නට ද ඉඩ තිබුණි. උන්වහන්සේ මුහුණ පෑ අන්‍යාගමික ආක‍්‍රමණ හා අඩම්තේට්ටම්වල උච්ච අවස්ථාව වන්නේ විහාරය තුළ දී ම උන්වහන්සේට පොලූ මුගුරුවලින් පහර දීම යි. අවසානයේ උන්වහන්සේ හදිසියේ අපවත් වී වදාළ අයුරු පිළිබඳ ව ද විවිධ සැක සංකා මතුවී තිබේ. අන්‍යාගමික ආක‍්‍රමණකාරීන් විසින් විහාරස්ථානයේ බෝධි වෘක්ෂය පවා සය වතාවක් ම කපා දමා ඇත.

මුහුදු මහා විහාරය යනු බෞද්ධයන්ට පමණක් උරුම සිද්ධස්ථානයක් නො වේ; ජාති ආගම් කුල භේදයකින් තොරව රැකගත යුතු ජාතික සම්පතකි. මෙහි වර්තමානයේ වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලාට දානය සැපයෙන වැඩපිළිවෙළක් පවා නැත. ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පැමිණෙන අවස්ථාවල දී ඔවුන් විසින් දානය පිරිනමනු ලබයි. අනෙක් දිනවලට ස්වාමීන් වහන්සේලාට ම දානය සකස් කර ගැනීමට සිදු වී තිබේ. මුහුදු මහා විහාරය දැක බලා වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන් වියළි ආහාර ද්‍රව්‍ය වැනි දෑ පුජා කරන්නේ නම් බොහෝ පින් සිදු කර ගත හැකි ය.

නිරන්තරයෙන් සැදැහැවතුන් ගැවසෙන සිද්ධස්ථානයක් බවට මුහුදු මහා විහාරය පත් වුවහොත් දිවා කල රත් වන වැලි තලාවත්, රාත‍්‍රියට මොර ගහන මුහුදු සුළඟත් අතර හුදෙකලා සටනක් කිරීමට මේ ස්වාමීන් වහන්සේලාට සිදු නොවනු ඇත. එය විහාරස්ථානයේ සංවර්ධනයට ද අත්වැලක් ම වනු ඇත. ඉතින් ඔබත් පමා නො වී යන්න, නිල් දියඹත් වැලි තලයත් අතර මැවුන රහතන් වහන්සේලාගේ පා පහසින් සදා පූජනීය වූ මේ සොඳුරු පුද බිම වැඳ පුදා ගන්න.

ස්වාමීන් වහනසේගේ දෙපා නැමද සමුගත් මම පිළිම ගෙයට ගොස් විහාර මහා දේවියගේත්, කාවන්තිස්ස මහ රජතුමාගේත් පිළිරූ අතර මැද සිට බුදුරජාණන් වහන්සේට වන්දනා කළෙමි. කාවන්තිස්ස රජතුමාත්, විහාර මහා දේවියත් මේ රටටත් සම්බුද්ධ ශාසනයටත් කළ මහ මෙහෙය සිහිවන විට එ් උතුමන්ගේ පිළිරූ අතර සිට ගැනීමට ලැබීම පවා මොනතරම් භාග්‍යයක් ද? දැන් අප හට මෙම සිද්ධස්ථානයෙන් පිටත් වීමට වේලාව එළඹ තිබේ. එ් විහාර මහා දේවිය මඟුල් ඇතා පිට නංවාගෙන රැගෙන ගිය ඉසව්ව සොයාගෙන ය. එ් ලාහුගල වනපෙතෙහි සැඟවුණ මඟුල් මහා වෙහෙර යි.

(මෙම ලිපිය සකස් කිරීමේ දී තොරතුරු සපයා දුන් මුහුදු මහා විහාරවාසී උල්ලමත්තේ රතනප‍්‍රිය හිමියන්ටත්, පහසුකම් සපයා දුන් උදය ශාන්ත ගුණසේකර මැතිඳුන්ටත් වෙසෙසින් පුණ්‍යානුමෝදනා කරමි.)

සටහන

සුදර්ශන ශ්‍රී විජේසිංහ

ථූපාරාම සෑ රජු නමදිමු සාදු
තඹුත්තේගම තලාව පසු කරමින් කොළඹ සිට වවුනියාව බලා දිවෙන රජරට රැුජිණ දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදේ. දුම්රිය කව්ළුවෙන් ඈත බලා සිටින මට පෙනෙන්නේ ඈතට විහිද යන කෙත්වතු හා තැනිතලා බිම් ය. දුම්රිය ලතාවකට පැද්දෙද්දී ‘දුර පෙනෙන තැනිතලා – අනුරාධපුර දිහා’ ගීතය සිතට නැගුනේ නිරායාසයෙනි. අහස අඳුරු වලාවන්ගෙන් බරව ඇත. බටහිර ක‍්‍රිකට් විචාරකයන්ට නම් මෙය අයහපත් කාලගුණයකි. කෘෂිකාර්මික ජීවන රටාවකින් මුළු දැයක සාගිනි නිවන රජරට ගොවි දනට නම් මෙය ආශීර්වාදයකි. වැහිබර කාලගුණය විසින් හමන සුළඟට පවා සිසිලසක් එක් කොට ඇත. මම දුම්රිය අසුනට බර දී ථූපාරාම සෑ රදුන්ගේ අතීත අසිරිය සිහි කළෙමි.

මුළු අනුරාධපුර නගරය ම අලංකාර ලෙස සරසා ඇත. බැලූ බැලූ අත නේකවිධ ධජ පතාක ලෙළදෙයි. සතර දෙසින් සුදුවතින් සැරසුනු දහස් ගණන් සැදැහැවතුන් දෝතින් මල් මාලා රැුගෙන සන්සුන් ගමනින් මහානාග උයන දෙසට ඇදෙති. පංචතූර්ය නාදය මධ්‍යයෙන් අශ්වාරෝහකයන් පිරිවරාගෙන ගාම්භීර ලෙස පිය නගන්නේ අලංකාර ලෙස සරසන ලද රාජකීය හස්තියෙකි. රාජකීය පෙරහැර එන පෙරමග රන්වන් කරඬුවක් දෝතින් ගත්, භික්ෂු සංඝයා පිරිවරාගත් මහ තෙරුන් වහන්සේනමකි.

ඇතු පිට හිඳින දේවානම්පිය තිස්ස රජුගේ හිසට සෙවණ සලසන ධවල ඡත‍්‍රයකි. දේවානම්පිය තිස්ස රජු ඇතු පිට සිට ම අධිෂ්ඨානයක් කරයි. ‘ඉදින් මේ මිහිඳු මාහිමියන්ගේ ශ‍්‍රී හස්තයෙහි රැුඳුන රන් කරඬුවෙහි වැඩ හිඳින්නේ දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලොවෙහි අසහාය ශාස්තෘන් වහන්සේ වූ මාගේ ස්වාමී වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේනමක් නම් මාගේ හිසට ඉහළින් ඇති ඡුත‍්‍රය ධාතූන් වහන්සේ දෙසට නැමේවා.! මේ තෙදවත් මඟුලැතු ධාතූන් වහන්සේ අබියස දණින් වැටේවා.! ධාතූන් වහන්සේ සහිත රන් කරඬුව මා හිස මත පිහිටාවා.!’

එකෙණෙහි ම රජු හිසට සෙවණ දුන් ඡත‍්‍රය රන් කරඬුව දෙසට නැමී ගියේ ය. මඟුලැතු දණින් වැටුණි. ධාතූන් වහන්සේ සහිත රන් කරඬුව අහසට පැන නැගී රජුගේ හිස මත පිහිටියේ ය. අහස ගුගුරා ගියේ ය. මිහිකත කම්පා විය. අකල්හි වැසිපොද ඇද හැළුණි. විවෘතව තිබුණ දුම්රිය කවුළුවෙන් වැටෙන වැසිපොද මාගේ මනෝමය චාරිකාව බිඳ හෙළද්දී දුම්රිය මාගේ ගමනාන්තයට ළඟා වී ඇත.

අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් බැසගත් මට තේ කෝප්පයක අවශ්‍යතාවය දැනුණ ද ථූපාරාමය අසල ඇති රසවත් බෙලිමල් වීදුරුවකට එ් අවස්ථාව ලබා දීමට සිතා ත‍්‍රි රෝද රථයකට ගොඩවුණෙමි.

‘‘මට පුළුවන් ද බසවක්කුලම වැව අද්දර ථූපාරාම සෑය ළඟට යන්න?”

‘‘මහත්තය එහෙනම් අපි රුවන්වැලි සෑයට දකුණු පැත්තෙන් ඇති පාරෙන් යමු.”

ත‍්‍රි රෝද රථය පිටත් විය. හැමදාමත් අනුරපුර පූජනීය නගරයට එද්දී දුර සිට ම නෙත සොයන පූජනීය වස්තුව හමු විය. මම රථයේ සිට ම දෑත නළලේ තැබුවෙමි. එ් මහ සෑයේ කොත් කැරැල්ලයි. ථූපාරාම සෑයට දකුණු පසින් පාරෙන් අනෙක් පසට වන්නට දුටුගැමුණු විශ‍්‍රාම ශාලාවට නුදුරින් ථූපාරාම විහාරස්ථානයේ සංඝාවාසය පිහිටා ඇත. ථූපාරාම විහාරාධිපතීන් වහන්සේ වන ගල්කිරියාගම සෝරථ ස්වාමීන් වහන්සේ මෙහි වැඩ වසන්නේ 1971 වසරේ සිට ය. උන්වහන්සේට වන්දනා කොට මා පැමිණි කාරණය සිහිපත් කළ මම මෙසේ කථාවට මුල පිරුවෙමි.

‘‘ස්වාමීන් වහන්ස අකු ධාතූන් වහන්සේ යන්න තවත් පැහැදිලි කළොත්?”

‘‘පාලියෙන් අක්ඛකට්ඨි කියල කියන්නේ බෙල්ල පහළ සිට උරහිස දෙපසට විහිදෙන සිහින් අස්ථි යුගලටයි. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයකට අනුව නො විසිරී ඉතිරි වුණ ධාතූන් වහන්සේලාට මේ අකු ධාතූන් වහන්සේලා දෙනමත් අයත්.”

‘‘ස්වාමීන් වහන්ස අපට කොහෙන් ද මේ ධාතූන් වහන්සේලා ලැබුණේ?”

‘‘මෙහෙමයි. මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පිය තිස්ස රජුට වදාළා ‘මහරජතුමනි, අපට වන්දනා කිරීමට කිසියම් පූජනීය වස්තුවක් තිබුණා නම් යහපත්’ කියා. එවිට රජතුමා එවැනි පූජනීය වස්තුවක් ලබා දෙන්නේ නම් මහත් ගෞරවයෙන් සෑයක් කරවා වන්දනා කිරීමට සකස් කර දිය හැකි බව පැවසුවා. මිහිඳු හිමියන්ගේ උපදෙස් මත තව්තිසා දෙව් ලොවට වැඩි ඍද්ධි බල සම්පන්න සුමන සාමණේරයන් වහන්සේ ලක්දිව තැන්පත් කිරීම සඳහා සිළුමිණි සෑයෙහි වැඩ සිටින දකුණු අකු ධාතූන් වහන්සේ ලබා දෙන ලෙස සක් දෙවිඳුන්ට දන්වා සිටියා. පිනට කැමති සක් දෙවිඳුන් රන් කරඬුවක තැන්පත් කොට සුමන සාමණේරයන් වහන්සේ වෙත දකුණු අකු ධාතූන් වහන්සේ ලබා දුන්නා. දේවානම්පිය තිස්ස රජතුමා සැරසී මංගල හස්තිරාජයා පිටින් යද්දී මිහිඳු හිමියන් දෝතින් දරා සිටියේ එ් කරඬුවයි.”

‘‘ස්වාමීන් වහන්ස ධාතු නිධානෝත්සවය ගැන සඳහන් කළොත්?”

‘‘රජතුමාගේ අධිෂ්ඨානය පරිදි හිස මත පිහිටි ධාතු කරඬුව මිහිඳු හිමිගේ අනුශාසනා පරිදි ඇතුගේ කුම්බස්තලය මත තබා රජු ඇතු පිටින් බිමට බැස්සා.

ධාතු කරඬුව ඇතු පිටින් ගන්නට උත්සාහ කළත් ඇතු එයට ඉඩ දුන්නේ නැහැ. තමන්ගේ උසට වඩා පහළින් ධාතු කරඬුව තබනවාට ඇතු නො කැමති බව මිහිඳු හිමියන් රජුට වදාළා. ලහි ලහියේ සෑයේ වැඩ ඇරඹුනා.

ඉක්මනින් ම ධාතූ ගර්භයේ වැඩ නිම වුණා. ධාතු නිධානෝත්සව දිනයත් ළඟා වුණා. සතරදිගින් මහ ජනතාව මෙතනට රැස්වුණා.

එක් වර ම ධාතු කරඬුව අහසට පැන නැංගා. තල් ගස් හතක් තරම් ඉහළ අහසේ සම්බුදු සිරුර මැවුනා. එදා ගණ්ඩබ්බ රුක අසල යමා මහ පෙළහර පෑවේ යම් සේක් ද එලෙස ම යමා මහ පෙළහර පා වදාළා. මේ සියල්ල ම වුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිට කළ අධිෂ්ඨානයක් අනුව යි. මේ අසිරිය දුටු ජනතාව කොතරම් පැහැදීමකට පත් වුණා ද කිව්වොත් ඇතුළු නුවර හා පිට නුවරින් පැමිණි තිස් දහසක් දෙනා ගිහි ගෙයින් නික්ම පැවිදි බව ලැබුවා. එදා ඉඳලා ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු මේ සෑයට බොහෝ පිරිස් වන්දනා මාන කරලා පින් රැස් කර ගන්නවා.”

ස්වාමීන් වහන්සේ තරමක් අසනීපයෙන් වැඩ වසන හෙයින් තවදුරටත් උන්වහන්සේ වෙහෙස කරවීමට නො සිතූ මම උන්වහන්සේට නැවතත් වන්දනා කොට සංඝාවාසයෙන් පිටතට පියමැන්නෙමි.

දුම්රිය ස්ථානයේ දී මතක් වූ බෙලිමල් වීදුරුව යළි මතකයට ආවේ පැය කීපයකට පසුව ය. හකුරු සමග බෙලිමල් වීදුරුවකින් පවස නිවාගත් මම ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු ථූපාරාම සෑ රජු වන්දනා කිරීම පිණිස සුදු නෙළුම් මල් පොකුරක් මිල දී ගතිමි. එකෙණෙහි ම නිල් මානෙල් මල් මිටියක් ද ගන්නා මෙන් මා වෙත දිව ආ දැරියක් ඇවටිලි කළා ය. හදිසියේ ම ආ අදහසක් නිසා මම නැවතත් රතු නෙඵම් මල් මිටියක් හා ඕලූ මල් මිටියක් ද සොයා ගොස් මිල දී ගත්තෙමි. මල් දෝවනය කරන්නට මෙන් පොද වැස්සක් පතිත වන්නට විය. මා අත කුඩයක් ද නැත. කුඩයක් අතකින් රැුගෙන වන්දනා කිරීම ද කළ නො හැකි ය. මම වැස්සේ ම සෑය වෙත පියමැන්නෙමි.

සෑය අසල ම වම් පසින් ගඩොලින් කරන ලද කුඩා සෑයකි. මෙය පාද ලාංඡුන චෛත්‍යය ලෙස හඳුන්වයි. සම්බුදුන්ගේ සිරිපා සටහනක් මැදි කොට සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස රජතුමා විසින් මෙය කරවන ලදැයි සැලකේ.

ථූපාරාමය අසල ම පාද ලාංඡුන චෛත්‍යයට මඳක් ඔබ්බෙන් තවත් පූජනීය ස්ථූපයක නටබුන් දක්නට ඇත. සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කොට මෙය තනවන ලද්දේ

බු. ව. 236 දී උත්තිය රජතුමා විසිනි.

මල් මිටි හතර ද රැුගෙන මම ථූපාරාම සෑ රදුන්ගේ සලපතළ මළුවට පිවිසුනෙමි. බුදු ගුණ මෙනෙහි කරමින් සෑය පැදකුණු කළෙමි. පොද වැස්ස අහස ගුගුරා වැටෙන මහ වැස්සක් වී ඇත. සෑ මළුවේ වන්දනා කරන අය නො තෙමෙන්නට පෙර කල පියස්සකින් මුළු සෑය ම ආවරණය කර තිබූ නිසා මෙය ථූප ආරාමය වී ඇත. මෙම පියස්සට ආධාර කර ගත් ගල්කණු නම් තවමත් සෑය වටා පිහිටා ඇත. මොර සූරන වැසි ඇද හැළේ. අද මා හිසට ඉහළින් එ් පියස්ස නැතත් නො සැලී වන්දනා කිරීමට ශ‍්‍රද්ධාව ඇත.

‘ස්වාමීනී, කකුසඳ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ භූමියේ සමවත් සුවයෙන් වැඩහිඳ ඇත. ඔබ වහන්සේගේ දිය බඳුන පෙර කල මෙහි නිදන් කොට තිබී ඇත. ඔබ වහන්සේ උදෙසා මේ නිල් මහනෙල් මල් පූජා කරමි. පූජා වේවා.!

ස්වාමීනී, කෝණාගමණ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ බිමේ සමවත් සුවයෙන් වැඩහිඳ ඇත. ඔබ වහන්සේගේ පටි ධාතූන් වහන්සේ පෙර කල මෙහි නිදන් කොට තිබී ඇත. ඔබ වහන්සේ උදෙසා මේ ඕලූ මල් පූජා කරමි. පූජා වේවා.!

ස්වාමීනී, කාශ්‍යප බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ භූමියේ සමවත් සුවයෙන් වැඩහිඳ ඇත. ඔබ වහන්සේගේ ජල සාටිකා ධාතූන් වහන්සේ පෙර කල මෙහි නිදන් කොට තිබී ඇත. ඔබ වහන්සේ උදෙසා මේ රතු නෙළුම් මල් පූජා කරමි. පූජා වේවා.!

මේ සියලූ ම බුදුරජාණන් වහන්සේලාගේ අතීත තොරතුරු පෙන්වා වදාළ මාගේ ස්වාමී වූ ගෞතම බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ බිමේ සමවත් සුවයෙන් වැඩහිඳ ඇත. ඔබ වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ මා නුදුරෙහි මේ සෑ ගැබ තුළ රැස් විහිදුවමින් තවමත් වැඩ වෙසෙති. ඔබ වහන්සේ උදෙසා මේ සුදු නෙළුම් මල් පූජා කරමි. පූජා වේවා.!

සසර කතරින් වහ වහා එතෙර වීම පිණිස ම මේ පින් හේතු වේවා.!

සටහන

සුදර්ශන ශ්‍රී විජේසිංහ