කතුවැකිය | Mahamegha Magazine

යථාර්ථයට සංවේදී වෙමු
පසුගිය ජූලි මස අග භාගයේ ලොව පුරා මාධ්‍ය අවධානය දිනාගත් පුවතකින් කියැවුණේ සවුදියේ නිදි කුමරා මරණයට පත් වූ බව ය. දශක දෙකකට වැඩි කාලයක් කෝමා තත්ත්වයේ සිටීමෙන් පසු අල් වලීඩ් නම් සවුදි කුමරු මෙසේ මරණයට පත් විය.

සෞදියේ ප්‍රමුඛ රාජකීයයෙකු ද බිලියනපතියෙකු ද වන අල් වලීඩ් බින් තලාල් කුමරුගේ මුණුපුරෙකු වූ මෙම සවුදි කුමරා පහළොස් හැවිරිදි ව සිටිය දී ලන්ඩනයේ දී දරුණු මාර්ග අනතුරකට ලක් වූයේ කැඩෙට් නිලධාරියෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටිය දී ය. අනතුරෙන් ඔහුගේ මොළයට දැඩි හානි සිදු විය. හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර නොමඳ ව සිදු කෙරුණ ද ඔහු කිසිවිටකත් සිහිය ලැබුවේ නැත. ජීවිතාධාරක මත සම්පූර්ණයෙන් ම පවත්වා ගනු ලැබූ ඔහුගේ ඇඟිලිවල ඉඳහිටක සිදු වූ ස්වේච්ඡා චලනයක් හැරුණු කොට සුවපත් වීම පිළිබඳ අපේක්ෂා තැබිය හැකි කිසිදු වෙනසක් සිදු වූයේ නැත.

තම පුතු කවර හෝ දිනක පියවි සිහිය ලබනු ඇතැයි දැඩිව විශ්වාස කළ ඔහුගේ පියා වූ කලීඩ් බින් තලාල් අල් සවුද් කුමරු තම පුතුට සපයා තිබූ ජීවිතාධාරක ඉවත් කිරීම තරයේ ප්‍රතික්ෂේප කළේ ය. එනිසා විසි වසරක් ඉක්මවා ඔහු සිහිසුන් ව සිටි අතර අවසන තවදුරටත් බාහිර උපකාරයනට ඔහුගේ ජීවිතය පවත්වා ගැනීමට නොහැකි විය.

පූර්ණ කෝමා තත්ත්වයකට ලක්ව සිහිසුන් ව සිටිනා රෝගියෙකු විසි වසරකට ආසන්න කාලයක් පුරා ජීවිතාධාරක මත රැකගන්නවා යන්න කිසිසේත් ම පහසු කරුණක් නොවේ. ධනය ද බලය ද නොමඳ ව තිබූ නිසාවෙන් ම මෙය සිදු වූවා මිස අන් රටක අන් අයෙකුට නම් මෙවැනි සත්කාරයක් ලැබීම උගහට ය. විසි වසරක දීර්ඝ නින්දෙන් මිදී අල් වලීඩ් කුමරු පියවි සිහිය ලැබුවේ නම් එය නිසැක ව ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා ප්‍රාතිහාර්යයක් වනු ඇත. එහෙත්, ලෝකයේ දක්ෂතම වෛද්‍යවරුනට හෝ කවර ධන සම්පතකට හෝ කවර බලවත්කමකට හෝ මරණයට අභියෝග කළ නොහැකි බව යළිත් අපට සිහිපත් කර දෙමින් අල් වලීඩ් කුමරු ජීවිතයෙන් සමු ගත්තේ ය.

ශ්‍රද්ධාවෙන් ම ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි ව උතුම් අරහත්වය සාක්ෂාත් කරමින් කෙලෙස් දුර්ගයෙන් එතෙරට වැඩි රට්ඨපාල මහරහත් මුනිඳුන් දිනක් කෝරව්‍ය රජු හමුවේ ධර්ම කථාවක් වදාරමින් තමන් වහන්සේගේ පැවිද්ද පිණිස හේතු වූ ධර්ම මාතෘකාවන් සතරක් මෙසේ ප්‍රකට කළහ.

“උපනීයති ලෝකෝ අද්ධුවෝ’ති…”

ලෝකයා ජරා මරණය වෙත ඇදගෙන යයි. එනිසා අස්ථිරයි.

“අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ’ති”

ලෝකය අනාරක්ෂිතයි. තමන්ගේ වසඟයෙහි පැවැත්විය හැකි කෙනෙක් නැහැ.

“අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීය’න්ති”

ලෝකයා තමන්ගේ කියා යමක් ගන්නවා ද ඒ සියල්ල අත්හැර දමා යා යුතුයි.

“ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ’ති”

ලෝකය අසම්පූර්ණයි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට යටත් වෙලයි ඉන්නේ.

(රට්ඨපාල සූත්‍රය, ම. නි. 02)

අප කා හටත් උරුම ජීවිත ඉරණම මෙයයි. මනුෂ්‍ය වර්ගයාට පොදු වූ සම්පූර්ණ ආයුෂය ම අප කවුරුනුත් ලබන්නේ යැයි සිතුවහොත් නිසැකව ම මේ ජීවිතය මොහොතින් මොහොත ළං වෙමින් සිටින්නේ ජරා මරණ කරා ම ය. අන්‍ය ජීවිත සංසිද්ධි සියල්ල සිදු වන්නේ අප අඛණ්ඩ ව ජරා මරණ වෙත ළංවෙමින් සිටිය දී ය.

ධනය බලය නොඅඩු ව තිබුණේ වුව ද පුතුගේ ජීවිතය රැකගැනීම පිණිස බලවත් දාරක ස්නේහය නොසිඳී පැවතියේ වුව ද කලීඩ් තාත්තාට වලීඩ් පුතුව තමන් කැමති වූ පරිද්දෙන් යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි විය. කවරාකාරයකින්වත් ලෝකය අප වසඟයෙහි පැවැත්විය නොහැක්කේ ම ය. එය අනාරක්ෂිත ය.

තමන්ගේ යැයි සලකන සියල්ල ම පවා අත්හැර නිසැකව ම අප කවුරුනුත් මෙලොවින් යා යුත්තේ ය. චේතනාව මෙහෙයවා කළ හොඳ නරක කර්මයන්ගේ විපාක පමණක් පරලොව ගමනට පැමිණෙත්. අන් කිසිවෙක්, අන් කිසිවක් ඒ කරා නොපැමිණෙත්.

එසේ, ජරා මරණයෙන් බැට කන අනාරක්ෂිත ගමනක යෙදෙමින් – සියල්ල අහිමි වන ඉරණම නියතව ම උරුම කොටගෙන සිටිද්දී පවා කම් සැපයෙන් තෘප්තිමත් වීමක්, සන්සිඳීමට පත් වීමක් පුහුදුන් ලෝකයේ දැකිය නොහැක්කේ ය. තවදුරටත් සපුරා ගත යුතු ඉලක්ක ජීවිතයේ තිබිය දී ම ඔවුහු මෙලොවින් නික්මෙති.

ජීවිත යථාර්ථය මෙසේ ඇස් පනාපිට පෙනෙන කල්හි සංවේග උපදවාගෙන අපි, හටගත් සියල්ල නැසී යන ස්වභාවයෙන් යුතු බව අවබෝධ කරන්නට වීරිය කළ යුතු නොවෙමු ද!

මරණය පෙනි පෙනී ජීවත් වීම.
දරුණු රෝගාබාධයන්ගෙන් පීඩා විඳින, මාරාන්තික දුක් වේදනාවන්ගෙන් බැට කන, අසාධ්‍ය තත්ත්වයේ හිඳිනා රෝගීන් දකිනා කල්හි ද ජීවිතයේ අවසානයට ම එළඹ ජරා දුකින් පීඩිත වියපත් මහල්ලන් දකින කල්හි ද ඔවුන්ගේ ජීවිතයේ අවසානය දැන් දැන් එළඹේ යැයි සිතුණු අවස්ථා අප කාටත් ඇත. එසේ අබල දුබලතා ඇතිව පීඩාකාරී ජීවිත ගෙවූවන් මරණයට පත් වූ බව අසනා කල්හි ද එහිලා විස්මයක් අප තුළ උපදින්නේ නැති තරම් ය. එයට හේතුව, ඒ මරණය ඕනෑම මොහොතක සිදු විය හැකි බවට යම් අවබෝධයක් අප තුළ තිබීම යි.

එහෙත්, මිය යන්නේ එසේ මරණය පෙනි පෙනී සිටින්නේ යැයි අපට ඕලාරික ව ප්‍රකට උදවිය පමණක් නොවේ. ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකු වෙත මරණය ළඟා විය හැකි ය. පසුගිය දෙසැම්බර් 25 වනදා කසකස්තානයට ඇද වැටුණු අසර්බයිජාන ගුවන් යානයේ ගමන් ගත් හැට හත් දෙනෙකු අතරින් තිස් අට දෙනෙකු ද දෙසැම්බර් 29 වනදා දකුණු කොරියාවේ ගුවන් තොටුපළට ගොඩබෑමේ දී අනතුරට පත් වූ දකුණු කොරියානු ගුවන් යානයේ ගමන් ගත් එකසිය අසූ එක් දෙනා අතරින් එකසිය හැත්තෑනම දෙනෙකු ද මරණයට පත් වූයේ මරණය පෙනි පෙනී ජීවිතය අග්ගිස්සේ සිටින්නේ යැයි ඉඟියක්වත් ලබා සිටිය දී නොවේ. ඒ සියල්ලෝ සැලසුම් කර ගත් බොහෝ දෑ ඉතිරිව තිබිය දී ම මෙලොවින් සමුගත්හ, ඇසුදුටුවන් කා තුළත් සංවේගය ඉපදවූ මරණයක උරුමකරුවෝ වූහ. එසේ වූයේ එකී මරණ අතිශයින් අනපේක්ෂිත ඒවා වීම නිසා ය. එහෙත්, මරණය යනු පෙනි පෙනී ම තිබෙන්නක් නොවේ ද?

මරණය සෑමවිට ම සිටින්නේ අප පසුපසිනි. උපන්නා වූ සෑම සත්වයෙකුට ම ඒකාන්තයෙන් ම මුහුණ දෙන්නට සිදුවන පොදු ඉරණම එයයි. අප ඒ බව මෙනෙහි කරන්නට මාරාන්තික රෝගාබාධයක් වැළඳෙන තුරු බලා සිටිය යුතු නැත. එබඳු මාරාන්තික රෝගයකින් පීඩා විඳින්නවුන් සෑම විට ම ඒ රෝගය නිසාවෙන් ම පමණක් මියයන්නේ නැත. ඒ ඇතැමුන් මියපරලොව යන්නේ මගතොටේ වන අනතුරක් නිසා විය හැකි ය. එපමණක් ද නොවේ; අප කවර තරාතිරමක සිටින්නේ වුව ද මරණය සිදු විය හැකි තැන හෝ ආකාරය හෝ කෙරෙහි එහි බලපෑමක් නැත. ගෞතම සම්බුදු සසුනේ තෘතීය ශ්‍රාවකයාණන් වහන්සේ ද අග්‍ර ඍද්ධිමතුන් වහන්සේ ද වූ මුගලන් මහරහතන් වහන්සේ සොරුන්ගේ පහරකෑමට ලක්ව පිරිනිවීමට පත් වූහ. එසේ ම, ඉතා ඉක්මනින් ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ භික්ෂූන් අතරින් අග්‍ර වූ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ යටත් පිරිසෙයින් සිවුරු පිරිකරකුදු නොලබා ගවදෙනකගේ ඇණුම් ලැබ පිරිනිවුනහ. ලක්දිව්වැසි වූ කැලණිතිස්ස රහතන් වහන්සේ තෙල් කටාරමක පැසෙමින් පිරිනිවන් පෑහ. අම නිවන් වැඩි ඒ මුනිවරුන් පවා කළ කම් පරිද්දෙන් එබඳු මරණයන්ට පත් වූවෝ නම් සසර සැරිසරන අප වැන්නවුන්ගේ මරණයන් සිදු විය හැකි ආකාරයන් ගැන කවර නම් කතා ද…!

‘මේ වසරේ මෙපරිද්දෙන් කටයුතු කරමු’ යැයි අදිටන් කරගෙන නව ව්‍යවහාරික වර්ෂයට එළඹියේ නමුදු මේ වර්ෂය පුරා අප ජීවත් වේ යැයි කාට නම් කිව හැකි ද? වර්ෂය නොවේ; අඩවසක්… මාසයක්… සතියක්… දවසක්… මේ දහවල හෝ මේ රැය… අප ජීවත් වේ යැයි සහතිකයක් නැත. කොටින් ම ඉහළට ගත් හුස්මපොද පහළ හෙළන්නට පෙරාතුව මේ ජීවිතය අවසන් විය හැකි ය. එසේ වන්නේ උපන්නා වූ සෑම දෙනාට ම ය. මන්ද, ඔවුහු සියල්ලෝ ම මරණය පෙනි පෙනී ජීවත් වන්නවුන් වන බැවිනි.

එහෙව් ජීවිතයක් පරිහරණය කරමින් සිටින නිසා පමා වීමට කාලයක් අපට නැත. මරණයට පත් වන නියත ස්වභාවය ඇති අපි එබඳු ස්වභාවය ම සහිත අය සහ දෙය ම එක්රැස් කරමින්, ඒවා කෙරෙහි ම සිත් අලවමින් වාසය කිරීමෙන් පමණක් සතුටු වන්නෙමු නම් එය ම පමාවකි. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වී දෙව්මිනිස් ලෝකයට හෙළිදරව් කරනු ලැබුවේ මරණය ද මරණයට පත් වන සියල්ල ද ඉක්මවා යමින් ශ්‍රේෂ්ඨත්වයට පත් වන මාවත යි. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, මැනැවින් පිහිටි සිහියෙන් යුතුව එහි ගමන් ගත්තෝ මරණය පෙනි පෙනී ගෙවූ ජීවිත තුළ දී ම මරණය ඉක්මවා ගියෝ ය, ඉපදීම ක්ෂය කළෝ ය. අප ද එය කළ යුත්තේ මරණින් මතු නොව මරණය පෙනි පෙනී ගෙවන ජීවිත තුළ ම ය!

පුරපස සඳක් වන්න.
ව්‍යවහාරික වර්ෂයක අවසානයේ, නව ව්‍යවහාරික වර්ෂයේ ආරම්භය අභිමුව අපි සිටින්නෙමු. ආර්ථික සමාජයීය හා දේශපාලනික ව අප රට විශාල වශයෙන් වෙනස්වීම්වලට භාජනය වූ වසරක නිමාවක් ලෙස 2024 පිළිබඳ ලේඛනගත වනු ඇත. එසේ රටක් වශයෙන් වෙනස් වූවා සේ ම තනි තනි වශයෙන් අප එකිනෙකා ද ගෙවී ගිය වර්ෂය පුරා නොයෙක් වෙනස්කම්වලට භාජනය වූවා නොවේ ද… පෙනෙන්නා ම වූ භෞතික වෙනස්කම් සේ ම එතරම් ප්‍රකට නොවන්නා වූ ආධ්‍යාත්මික වෙනස්කම් ද මේ කාලය තුළ අප කා තුළත් සිදු වන්නට ඇති බව නිසැක ය.

මේ කාලසීමාවේ භෞතික වශයෙන් පිරිහීමක් නොවී අභිවෘද්ධියක් ලබන්නට හැකි වූයේ නම් එය කවුරුන් තුළ වුව ද සතුට දනවනු ලබන කාරණයකි. ඒ අයුරින් භෞතික වශයෙන් දියුණුව පිරිහීම මැන බලනවා සේ ම වසරක කාලයක් ගෙවී යන මේ සමය ආධ්‍යාත්මික වශයෙන් අප දියුණු වූයේ ද පිරිහුනේ ද යන්න ගැන ද විමසා බැලීම පිණිස සුදුසු කාලයකි. සැබැවින් ම, ධර්ම මාර්ගයේ දියුණුව කැමැත්තෝ කලින් කලට කුසල ධර්මයන්හි වැඩී යාම පිළිබඳ විමසා බැලීම කළ යුතු ය.

එසේ කුසල ධර්මයන්හි වැඩී යාම පිළිබඳ ව විමසා බැලිය යුත්තේ තමා තුළින් ම ය. අන් වර්ෂයන් හා සසඳා බලද්දී පින්දහම් කිරීමෙහිලා සිත්හි නැඹුරුව කෙබඳු වී ද ක්‍රියාත්මක වීමෙහිලා කොපමණ යුහුසුළු වී ද සිත කය වචනය රැක ගනිමින් පින්දහම් කටයුතු සිදු කරන්නට සමත් වී ද යනාදී වශයෙන් ආවර්ජනය කොට බැලීමෙන් අන් වසරවලට සාපේක්ෂව 2024 ගැන සැබැවින් ම සතුටු විය හැකි ද යන්න තීරණය කළ යුතු ය.

ගෙවී ගිය වසර කුසල පාක්ෂික ව සලකා බලන කල්හි සතුටු විය හැකි වසරක් නම් එය කා හට වුව ද මහා ලාභයක් ම ය. අවංක ව විමසා බලද්දී එය කුසල පාක්ෂික ව යම් පිරිහීමක් වූ වසරක් බව පෙනී යන්නේ නම් අප කළ යුත්තේ එසේ පිරිහී යාම කෙරෙහි ලැජ්ජා භය උපදවා ගැනීම ය. එසේ කුසල ධර්මයන්ගේ පරිහානියට පත් වීම කෙරෙහි ලැජ්ජා භය උපදවා ගන්නා ශ්‍රාවකයන් පුර පස සඳ සේ කුසල ධර්මයන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුතු බව ධර්මයේ සඳහන් ය.

“පින්වත් කස්සප, යමෙකුට කුසල් දහම් ගැන ශ්‍රද්ධාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් ඇත්නම්, කුසල් දහම් නොතිබීම ගැන භයක් ඇත්නම්, කුසල් දහම් ඇති කර ගැනීමට වීර්යයක් ඇත්නම්, කුසල් දහම් උපදවා ගැනීමට ප්‍රඥාවක් ඇත්නම් ඔහුට යම් රාත්‍රියක් එළඹෙයි ද යම් දහවලක් එළඹෙයි ද කුසල ධර්මයන්ගේ අභිවෘද්ධියක් මිසක් පිරිහීමක් නම් කැමති වෙන්න බෑ.

පින්වත් කස්සප, ඒක මේ වගේ දෙයක්. පුර පසට යන සඳක් තියෙනවා. ඉතින් යම් රැයක් හෝ යම් දහවලක් හෝ එළඹෙනවා නම් ඒ හඳ පැහැයෙනුත් දියුණු වෙලා යනවා. රවුමෙනුත් දියුණු වෙලා යනවා. දීප්තියෙනුත් දියුණු වෙලා යනවා. ප්‍රමාණයෙනුත් දියුණු වෙලා යනවා.”

(දුතිය ඕවාද සූත්‍රය – සං. නි. 4)

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ව මේ බුද්ධ වචනය සිරසේ දරා ගනිමින්, ශ්‍රාවක ගුණයේ මනා කොට පිහිටමින් අප මේ එළඹි අවස්ථාව කුසල ධර්මයන්ගේ අභිවෘද්ධිය සලසා ගැනීම පිණිස ම සුභාවිත කළ යුතු ය.

2019 වසරේ අප්‍රේල් මාසයේ දී ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයකින් පසු ව සැකබිය රහිත සුවපත් සිතින් පින්දහම් සිදු කරන්නට අපට තිබූ අවකාශයට සීමා පැනවුනු අතර 2019 වර්ෂයේ අවසානයෙන් පටන් ගෙන ඉනික්බිති වසර දෙක හමාරකට ආසන්න කාලයක් පුරා ලෝකය වෙලා ගත් කොවිඩ් වසංගත රෝග බිය විසින් පුදබිම් වෙත එළඹ පින්දහම් රැස් කිරීමට අපට ඇති අවස්ථා බොහෝසෙයින් ම අහුරා දමන ලද්දේ ය. ඒ කාලසීමාව ද ඉක්මවාලද්දී මුහුණපාන්නට සිදු වූ ව්‍යාකූල සමාජ ආර්ථික දේශපාලන වටපිටාව තුළ ද පින්දහම් රැස් කරන්නට සිදු වූයේ දුෂ්කර ව, දුක සේ ය. පස් වසරකට පමණ පසු යළිත් සෑය බෝධිය වන්දනා කරන්නට ද ප්‍රණීත ව දන්පැන් දෙන්නට ද මහා සෑයවල්, බෝධි මණ්ඩප ඉදි කරන්නට ද අනුබල ලැබෙන පරිසරයක් නිර්මාණය වූයේ 2024 වර්ෂයේ දී ය. මේ සියලු නිර්ණායකයන්ගේ පිහිටා 2024 ආවර්ජනය කොට, කුසල ධර්මයන්ගේ කවර හෝ පිරිහීමක් දක්නට වේ නම් ඒ කෙරෙහි මහත් ලැජ්ජා භය උපදවාගෙන, පුරපස සඳක් සේ වැඩී යමින් කුසල ධර්මයන්ගේ අභිවෘද්ධිය දකින්නට අපටත් හැකි වේවා!

තෝරාගැනීම් ගැන ඔබත් සැලකිලිමත් ද?
ජීවිතයේ නොයෙක් අවස්ථාවල දී නොයෙක් තෝරාගැනීම් සිදු කරන්නට අප කාටත් සිදු වේ. ඇතැම් විට බාහිර පෙළඹවීම් ඔස්සේ ද ඇතැම් විට ස්වාධීනව ද එකී තෝරාගැනීම් සිදු කෙරෙන අතර ඒවා කෙරෙහි සමාජ ආර්ථික වටපිටාව ද බොහෝසෙයින් බලපානා බවක් පෙනී යයි. කන බොන අඳින පලඳින ආකාරයන්, රැකීරක්ෂා කටයුතු, ආවාහවිවාහයන්, චර්යා රටාවන් ආදී සියල්ල ම එකිනෙකාගේ රුචිඅරුචිකම් සහ බාහිර බලපෑම් යන කාරණාවන්ට අනුව කෙරෙන හැඩගැස්වීම් ය. මේ නිසා ම තෝරාගැනීම්හි විවිධත්වයක් සමාජයේ දක්නට හැකි ය.

කෙනෙකු යම් තෝරාගැනීමක් සිදු කරන්නේ සෑමවිට ම ඒ කෙරෙහි සියයට සියයක විශ්වාසය නොමැතිව වන්නට ද පුළුවන. අවස්ථානුකූල ව ගන්නට තිබෙනා හොඳ ම තීරණය ලෙසින් සලකා බොහෝ තෝරාගැනීම් සිදු කෙරෙන අතර පසුකාලීන ව එකී තෝරාගැනීම තමා සාර්ථකත්වයට පත් කිරීමට හේතු නොවූ බව පෙනී යන අවස්ථා ද එමට ය. ප්‍රකට ව පෙනෙන සත්‍යය නම් අප සිදු කරන බොහෝ තෝරාගැනීම් හුදෙක් යහපත පිණිස ම පවතින ඒවා නොවන බව ය. එසේ වන්නේ ඇයි?

අප වනාහී අඩුපාඩු සහිත වූවන් ය. අප තුළ නොසිඳී පවත්නා කෙලෙස් මුල් ඇත්තේ ය. අප විසින් තෝරාගනු ලබන අය ද අඩුපාඩු සහිත වූවන් ය. කෙලෙස් මුල් ඇත්තවුන් ය. එහෙයින් අප දෙපිරිස ම පරිහරණය කරනු ලබනා දේවල් අපගේ ජීවිතවලට සම්බන්ධ වන්නේ ඒ කෙලෙස් හා මුසු ස්වභාවයට ගැළපීගෙන ය. තෝරාගැනීම් නිසාවෙන් අප ලබන පීඩාවන් අපේ ම චිත්තාකල්පයන්හි විපාකයන් බව අප තේරුම් ගත යුතු ය.

එහෙත්, අප කිසිවෙකු විසින් කිසිදු තෝරාගැනීමකින් පීඩා බලාපොරොත්තු වන්නේ නැත. පීඩා බලාපොරොත්තු නොවන නිසා ම තෝරාගැනීම් ගැන අප සැලකිලිමත් ය. ඒවායේ පෙනුම, හැඩය, වර්ණය, පහස, සුවඳ ආදී කාරණාවන් නොයෙක් මිනුම්දඬු ඔස්සේ මැන බලමින් විමස විමසා තෝරාබේරා ගන්නට අප උත්සාහවත් වන්නේ ඒ නිසා ය. ඒ කවරාකාරයේ තෝරාගැනීමක් වුව ද ඒවා අයත් වන්නේ කාමයන්ට වන නිසාවෙන් කවර කලෙක හෝ කාමයන්ගේ ආදීනව ප්‍රකට වීම වළකාලිය නොහැකි ය. ඒ නිසා, තෝරාගැනීම් සම්බන්ධයෙන් වන අපගේ සැලකිලිමත් භාවය පොදු සමාජ සම්මතයන්ගේම පිළිඹිබුවක් වීමෙන් අපට සැලසෙන විශේෂ වාසියක් නැත.

මේ පොදු ස්වභාවයන් ඉක්මවා යන තෝරාගැනීමක් කරන්නට සිත මෙහෙයවූවෙකු ගැන ලෝක ඉතිහාසයේ ම අසන්නට ලැබෙන්නේ එක් වරෙකි. ඒ වනාහී අප මහා බෝසතාණන් වහන්සේ ආර්ය පර්යේෂණයේ යෙදුණු පුවතයි. තමා ද ඉපදෙන, ජරාවට පත් වන, රෝගී වන, මැරෙන, ශෝක වන, කෙලෙසී යන ස්වභාවයෙන් යුතුව හිඳිමින් නමුදු ඒවායේ ආදීනව තේරුම් ගනිමින් – ඉපදීමක්, ජරාවට පත් වීමක්, රෝගී වීමක්, මිය යාමක්, ශෝක වීමක්, කෙලෙසී යාමක් නැති, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයා ඒ වීර නරාණන් වහන්සේ වැඩම කළ සේක. ඒ මග පරිපූර්ණ කොටගෙන අමා මහ නිවන සාක්ෂාත් කොට වදාළ සේක. ශ්‍රේෂ්ඨත්වය උදෙසා වූ තෝරාගැනීම යනු ඒ වැඩපිළිවෙළයි.

එසේ ශ්‍රේෂ්ඨත්වයට පත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දියෙහි හටගෙන දියෙහි වැඩී දියෙන් උඩට එසැවී දියෙහි නොගෑවී තිබෙනා මේරූ නෙළුම් පොහොට්ටු බඳු වූ – කෙලෙස් අඩු, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් තියුණු වූ, යහපත් වූ, පහසුවෙන් අවබෝධ කරවීමේ හැකියාව ඇත්තා වූ, පරලොවටත් වැරදිවලටත් බිය සහිත වූ සත්වයන් ද ලොව සිටිනා අයුරු දැක ‘ලොවේ බුද්ධිමතුන් හට අමා නිවනේ ද්වාරය ඔන්න මං විවෘත කළා. සදහම් අසනු කැමැත්තෝ ශ්‍රද්ධාවට පැමිණෙත්වා!’ යනුවෙන් වදාරමින් දහම් දෙසීමට සිත යොමු කොට වදාළ සේක. ලෝසතගේ ස්වභාවය මැනැවින් දකිමින් ම අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී කෙලෙස් හා මුහු නොවීම පිණිස පවත්නා වැඩපිළිවෙළයි. පීඩාවලින් මිදෙනු කැමැත්තෝ ඒ දහම් මග තුළ පිහිටා සාර දේ සාර ලෙසත් අසාර දේ අසාර ලෙසත් වෙන්කොට ගන්නා සම්මා දිට්ඨියට එළඹෙමින් වීරිය කළ යුත්තෝ ය. ඔවුනගේ මේ තෝරාගැනීම යනු පීඩාවලින් නිදහස් වීම ය.

“සාරඤ්ච සාරතෝ ඤත්වා

අසාරඤ්ච අසාරතෝ

තේ සාරං අධිගච්ඡන්ති

සම්මා සංකප්පගෝචරා”

“සම්මා දිට්ඨිය නිසා, සම්මා සංකප්ප ඇතිකර ගන්න උදවිය ඉන්නවා. ඔවුන් සීල, සමාධි, ප්‍රඥා ආදී සාරවත් දේ, සාරවත් දේ හැටියට ම අවබෝධයෙන් දන්නවා. නිස්සාර දේ නිස්සාර දේ හැටියටත් දන්නවා. ඒ නිසා ඔවුන් සාරවත් වූ නිවන අවබෝධ කරගන්නවා.”

(ධම්මපදය – යමක වග්ගය)

සත්‍යයට විවෘත වෙමු…!
ලෝකය යනු සත්‍යය සේ ම අසත්‍යය ද පවත්නා තැනකි. වඩාත් නිවැරදි ව කිවහොත් සත්‍යයට වඩා අසත්‍යය පිදුම් ලබන, ප්‍රිය භාවයට පත් වන, පිළිගැනෙන, ආකර්ෂණීය වන – සත්‍යයට වඩා අසත්‍යය බහුල වන තැනකි. නූතන ලෝකයේ බොහෝ ඇදහිලි, විශ්වාස, බලාපොරොත්තු නිර්මාණය වී තිබෙන්නේ අසත්‍යය පදනම් කොටගෙන ය. තම තම අවබෝධය පමණ කොටගෙන, තමන්ට තේරෙන පරිදි ඉදිරිපත් කරන මතවාදයන්ගේ ලෝකය එල්බ ගන්නේ එනිසා ය.

‘සත්‍යය’ යනු එකිනෙකාගේ දැනුම්තේරුම්කමේ තරාතිරම අනුව වෙනස් වන්නක් නොවේ. දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට කියා වෙනස් වන්නක් ද නොවේ. එය නොවෙනස් ධර්මතාවයකි. අවබෝධය පරිපූර්ණ කොටගෙන සාක්ෂාත් කළ යුත්තකි. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වූයේ සත්‍යය අවබෝධ කොටගෙන දෙව්මිනිස් ලෝකයාට ද අවබෝධ කිරීම පිණිස ඒ සත්‍යය විවෘත කරලීමට ය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වූවත් නැතත් දුකත්, දුකෙහි හටගැනීමත් ලෝකයේ පවතී. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීමෙන් පමණක් ම දුක්ඛ නිරෝධයත්, දුක් නිරුද්ධ වන ප්‍රතිපදාවත් ලෝකයේ විද්‍යමාන වේ. මේ සතරක් වූ ආර්ය සත්‍යයන්, සත්‍ය ඤාණ වශයෙන් අවබෝධ කරන්නේ ද කෘත්‍ය ඤාණ වශයෙන් එහිලා කළයුත්ත දැනගන්නේ ද කෘත ඤාණ වශයෙන් එසේ කළයුත්ත කොට අවසන් වූ බව දැකගන්නේ ද සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය යි.

තමන් වහන්සේ විසින් ම උපදවා ගත් අවබෝධ ඤාණය දෙව්මිනිස් ලෝසතගේ අවබෝධය පිණිස දේශනා කිරීම සම්බුදුරජාණන් වහන්සේලාගේ සම්බුද්ධ කෘත්‍යය පරිපූර්ණ කිරීමෙහිලා අත්‍යවශ්‍ය ය. උතුම් ශ්‍රී සද්ධර්මය තුළ ව්‍යක්ත බවට විශාරද බවට පැමිණ අන්‍ය මතවාදයන් දහම් දැනුමෙන් බිඳ හෙළන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් ශ්‍රාවකයන් ලෝකයේ බිහි වන්නේ ඒ සදහම් සන්දේශයෙනි. ඇසළ පුන්පොහෝ දිනයක දී සියලු සම්බුදුරජාණන් වහන්සේලාගේ අවිජහිත බුද්ධභූමියක් වන බරණැස ඉසිපතන මිගදායේ දී අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඬලින් පැනනැගුනේ ඒ දම්සිහනදයි.

එසේ දම්සිහනද නැගෙන කල්හි සත්‍යයට විවෘත වූ ජීවිත ඇත්තෝ ඒ සත්‍යය තමන් තුළට පමුණුවා ගත්හ. මැනැවින් දේශනා කරන ලද, මේ ජීවිතයේ දී ම අත්දකින්නට හැකි, කාලයකට අයත් නොවන, ඇවිත් බලන්න යැයි දැක්විය හැකි, තම තම නැණ පමණින් අවබෝධ කළ යුතු වූ ඒ සත්‍යය තමා තුළට පමුණුවාගෙන ඔවුහු සුවපත් වූහ. එදා මෙන් අදත්, අනාගතයේත් සත්‍යයට විවෘත වන්නෝ පමණක් සත්‍යය පසක් කරනු ලබන්නෝ ය.

මේ සසර වනාහී පටන්ගත් කෙළවරක් දකින්නට නොලැබෙනා අති දීර්ඝ ගමනක් බවත්, හේතුවකින් සකස් වී හේතු නැති වන කල්හි නිරුද්ධ වී යන හේතුඵල ස්වභාවයක් බවත්, කර්මය දායාදය කොටගෙන යාමට සිදු වන්නක් බවත්, දුකෙහි හේතු නසන්නට මැදුම් පිළිවෙතේ යෙදිය යුතු බවත් පිළිගැනීම යනු අප සත්‍යයට විවෘත වීම ය. මේ තාක් අප විසින් සිදු නොකරන ලද්දේ එයයි.

සත්‍යයට විවෘත නොවූ ලෝකයේ ප්‍රාර්ථනා පිහිටන්නේ යළි උපදින්නට ය. මේ ජීවිතයේ අත්විඳි කම්කටොලු වලින් තොර වූ, සැපවත් වූ, සුවපත් වූ උපතක් ඔවුන්ගේ ඉලක්කය යි. තවත් උදවිය ද්වේෂ ගින්නෙන් දැවෙමින් ජාති ජාතිත් පළිගන්නෙමු යි කියා වෛරී සිත් පෙරදැරි ව සසර ම පතති. බොහෝ උදවියට නිවන් දැකීම යනු අලාභයකි. ඔවුන්ට කළ යුතු බොහෝ කටයුතු ඇත. ඔවුහු නැවත නැවත ඉපදීම ගැටළුවක් ලෙස නොව විසඳුමක් ලෙස දකිති. එවැනි ජීවිත, සත්‍යය තුළට පමුණුවාලීම දුෂ්කර කටයුත්තකි. නමුත් කවරෙකු හෝ වේවා “නැවත නැවත ඉපදීම දුකකි.” යන සත්‍යවාදී සම්බුදුරජුන්ගේ වචනය පිළිගෙන සසර දුකින් නිදහස් වීම ඉලක්ක කරගන්නේ නම් ඒ ජීවිත වේගයෙන් සත්‍යය කරා යාම අපේක්ෂා කළ යුතු ය.

අද අපට ඇති ගැටළුව සත්‍යය අවබෝධයට ඇති කැමැත්ත කලින් කල වෙනස් වීම ය. නිවන ඉලක්ක කරනා සිත ම යළි කාමයන් පතයි. ධර්මය අසන විට, යම් යම් කලකිරීම් උපදනා විට, ආදීනවය ප්‍රකට වන විට නොඇල්මෙන් යුතුව නිදහස් වීමට කැමැත්ත ඇති වන්නේ වුව ද සුළු ආස්වාදනීය අරමුණට පවා ඒ කැමැත්ත වෙනස් කළ හැකි වීම සසැලෙන සිතේ ස්වභාවය යි. එහෙයින් ම අප සත්‍යය අසන්නට ලැබෙද්දී පවා අසත්‍යයෙන් සතුටු වන ජීවිත ඇති ව සසරට ම ඇදවැටෙන්නවුන් බවට පත්ව ඇත.

මේ දුක් රැස ඉක්මවනු කැමැත්තෙන් අප කළ යුත්තේ ඇසළ පුන්පොහෝ දිනයක ලොවට විවරණය වූ ඒ පරම සත්‍යයට විවෘත වීම ය.

අම්බානිලාගෙන් පාඩමක්
ආසියාවේ ධනවත් ම මිනිසා ලෙස පිළිගැනෙන මුකේෂ් අම්බානිගේ බාල පුතුගේ විවාහ මංගල්‍යයට පූර්වයේ පැවති ප්‍රිය සම්භාෂණ මාලාව ලොව පුරා විශේෂ අවධානයක් දිනා ගන්නට සමත් විය. මාර්තු 2,3,4 තෙදින පුරා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දී පැවැත්වුණු මෙම උත්සව අවස්ථාවට ලෝප්‍රකට ධනවතුන් පමණක් නොව ලොව පුරා නොයෙක් ක්ෂේත්‍රයන්හි අති මහත් සම්භාවනාවට පාත්‍ර වූ බොහෝ පිරිසක් ද එක් විය.

මේ පිළිබඳ ලොව පුරා නොයෙක් ආකාරයෙන් කථාබහට ලක් කෙරුණු අතර අම්බානිවරුන්ගේ ධනවත් භාවය, උත්සවයට පැමිණි ජනප්‍රිය අමුත්තන්, ‘රධිකා මර්චන්ට්’ නම් වූ විවාපත් යුවතියගේ අභිරූපී බව සහ ඇයගේ පවුලේ ධනවත් භාවය, උත්සව සභාව අමන්දානන්දයට පත් කළ ගායන නර්තන ආදී කලා අංග සියල්ල සේ ම විවාපත් යොවුන් ‘ආනන්ත් අම්බානිගේ’ අධික තරබාරු බව සහ අසාමාන්‍ය ඇවිදීම් රටාව ද ඒ මාතෘකා අතරට එක් විය.

උත්සව සභාව ඇමතූ ආනන්ත් අම්බානි තමන් පැමිණි ජීවිත ගමන රෝස මල් යහනාවක සැතපූ සුවපහසුවකින් යුක්ත නොවූවක් බව ප්‍රකාශ කළ අතර ළමා වියේ සිට ම මුහුණපාන්නට සිදු වූ රෝගී තත්ත්වයන් නිසා තමන් පීඩාවට පත් වූ අයුරුත්, තම මාපියන් ඒ සියල්ල හමුවේ අසීමිත ආදරයක් සමඟ තමා ව හදාවඩා ගත් අයුරුත් කෘතඥතා පූර්වක ව සිහිපත් කළේ ය.

සැබැවින් ම ආනන්ත් අම්බානි යනු අසනීප තත්ත්වයන් සහ ඒවාට ලබා ගන්නට සිදු වූ ඖෂධවල අතුරු ප්‍රතිඵල නිසාවෙන් අධික තරබාරු බවට පත් වූවෙකි.

නිරන්තර රෝගාබාධයන්ගෙන් පීඩා විඳින්නේ වුව ද ඔහු බොහෝ මිනිසුන්ගේ ද පමණක් නොව අලිඇතුන් ආදී කොට ගත් අසරණ භාවයට පත් සතුන්ගේ ද සුවපහසුව සැලසීම පිණිස නිරන්තරයෙන් තම දායකත්වය ලබා දෙන්නෙකි. ඔහුගේ ශාරීරික ස්වරූපය කෙරෙහි හාස්‍යජනක වූවෝ පවා ආනන්ත් අම්බානි විසින් සිදු කරන සමාජ සත්කාරයන් සහ ඔහු මුහුණ දෙන රෝගපීඩාවන් ගැන දැනගත් කල්හි ඔහු කෙරෙහි ගෞරවය මුසු සානුකම්පිත බවක් දැක්වූහ.

‘මතුපිටින් බලා කිසිවෙකු විනිශ්චය නොකළ යුතු ය’ යන අපූරු පාඩම අපට යළි සිහිපත් කළ ආනන්ත් අම්බානි සසරේ පින් කළවුන් සංසාරික පුණ්‍ය සංස්කාරයන්ගේ ආනුභාවයෙන් බොහෝ භවභෝග සම්පත් ලබන බව ද බොහෝ පරිවාර සම්පත්ති ලබන බව ද කියා පෑවේ ය. එපමණක් නොව, කවර පීඩාවන් මධ්‍යයේ වුව ද ආදරණීය සලකා බැලීම්වල උරුමයත්, රූප සම්පත්තියෙන් අනූන වූ බිරිඳක ලැබීමේ වාසනාවත් තමන් සතු වූ බව ද පෙන්වා දුන්නේ ය. ලෝක බලවතුන් තම සතුටු සාදයේ කොටස්කරුවන් කරගන්නට තරම් බලවත් පවුලක ජන්මලාභය ලබන්නට පින් ඇත්තේ වුව ද ඉපදීම නිසාවෙන් උරුම වන ව්‍යාධි දුක ඉක්මවන්නට ඒ කිසිවකට නොහැකි බව ද තහවුරු කළේ ය. ආනන්ත් අම්බානි අමතක නොකළ යුතු සසර පාඩමක් කියා දෙන්නෙකු වන්නේ ඒ නිසාවෙනි.

චේතනාව මෙහෙයවා සිතින්, කයින්, වචනයෙන් රැස් කරන කර්මයන්ගේ විපාකයන් දිට්ඨධම්මවේදනීය වශයෙන් මේ ජීවිතයේ ම හෝ උපපජ්ජවේදනීය වශයෙන් මරණින් මතු ජීවිතයෙහි හෝ අපරාපරියවේදනීය වශයෙන් සසර සැරිසරන තාක් ම හෝ අප කරා එළඹේ. යහපත් කර්මයන්හි සැප විපාකයන් ද අයහපත් කර්මයන්හි දුක් විපාකයන් ද විඳිමින් සසර ගමනක නියැළෙන සත්වයෝ කර්මය ම දායාදය කොටගෙන සිටින බව සම්මා සම්බුදුරජුන්ගේ අවබෝධය යි. අනෙකෙකුගේ අඩුපාඩු දැක අප ඔවුන් හාස්‍යයට ලක් කරන්නේ නම් ඒ වනාහි ඒ තැනැත්තා අද සිටින ස්වභාවයට සසරේ මතු අප පත් වීම පිණිස රැස් කරන සංස්කාරයකි. සසර ගමන යනු මෙවැනි දුර්විපාකයන්ගෙන් පිරී ගත්තක් බව අප අමතක නොකළ යුතු ය. අප කළ යුත්තේ අනෙකෙකුගේ භවභෝග සම්පත්තිය කෙරෙහි ඊර්ෂ්‍යා සහගත වීම හෝ අඩුපාඩු හමුවේ අපහාස උපහාස නැගීම හෝ නොව, සිහිනුවණින් යුතුව සසර තතු දැකීම ය.

“පින්වත් මහණෙනි, ඔබට ඉතා සැප සේ සිටින, අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටින කෙනෙක් දකින්ට ලැබුණොත් මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන. ‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහේ සැප අනුභව කරලා තියෙනවා නෙව.’…”

(සුඛිත සූත්‍රය – සං. නි. 03)

“පින්වත් මහණෙනි, ඔබට දුකට පත් දිළිඳු වූ විරූපී වූ අසරණයෙක් දකින්න ලැබුණොත් මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන. ‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහේ දුක් අනුභව කරලා තියෙනවා නෙව.’…”

(දුග්ගත සූත්‍රය – සං. නි. 03)

මේ ජීවිත පාඩම ඔබට මග නොහැරේවා!

පසුනොබැස දන් දෙමු…!
තුන් වසරක් පුරා පැවති කොවිඩ් වසංගතයෙන් ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑමත්, පාලනාධිකාරියේ තීන්දු තීරණ ගැනීමේ දී සිදු වූ දුර්වලතාත් මත ලාංකේය ජන ජීවිතය අද වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින බව නොරහසකි. පවුල් සංස්ථාවන් පෝෂණය කරමින්, ගෘහ ජීවිතයේ වගකීම් සම්භාරයක් උසුලා සිටින බොහෝ දෙනෙකු මත පැටවී ඇති මෙම ආර්ථික බර ඔවුන්ගේ ජීවිත කටුක සහ දුෂ්කර වූවක් බවට පත් කර අවසන් ය.

මෙයට වසර හතරකට පෙර යම් ආහාර සංස්කෘතියක් වී ද යම් ඇඳුම් සංස්කෘතියක් වී ද විවේකාස්වාදය පිණිස වූ යම් ජීවන සම්ප්‍රදායක් වී ද ඒ සියල්ල තිබුණාට වඩා පහත් අඩියකට පත් වී ඇතිවා පමණක් නොව ඒ මට්ටමින් හෝ තම අවශ්‍යතා සපුරා ගන්නට පෙර නොවූ විරූ තරම් කායමානසික වෙහෙසක් සියලු දෙනා විසින් ම දැරිය යුතු ද වී තිබේ. වැය පාර්ශවය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින්, අත්‍යවශ්‍ය කාරණයක දී හැර වියදම් සිදු නොකරමින් සීරුවෙන් ජීවත් විය යුතු කාලයක් මෙසේ ගත වෙමින් පවතී.

පවතින සංකීර්ණ සමාජ වටපිටාව තුළ තමන් හා තමන්ගෙන් යැපෙන පිරිස නඩත්තු කරලීම ද ගැටළුකාරී වෙද්දී තම ආදායමින් අන් බාහිර පිරිසක් වෙත උපකාර සැලසීමේ අවකාශය බොහෝසෙයින් පටු වී තිබෙනවා පමණක් නොව බොහෝ උදවිය ඒ කෙරෙහි නැඹුරු වන්නට මැලි වීමට ද ඉඩ තිබේ. අසීරුවෙන් ජීවිකාව ගැටගසා ගන්නා අවධියක ‘කෙසේ නම් දන් දෙන්න ද?’ යන මානසිකත්වය ඉපදුණහොත් කවුරුන් විසින් වුවත් දන් දීමට උකටලී වනු ඇත.

එහෙත් අප විසින් අමතක නොකළ යුතු කාරණය නම් අප මේ ගෙවා දමමින් සිටින්නේ අතිශය දීර්ඝ සංසාර ගමනක බෙහෙවින් කෙටි කාලයක් බව ය. මේ සමාජ ආර්ථික ස්වභාවයන් කිසිසේත් ම නියත ව පවතින දේවල් නොවේ. එහෙත්, අප විසින් සිත කය වචනය මෙහෙයවමින් රැස් කරන කර්මයන්ගේ විපාකයන් සසර ගමනේ දී නොයෙක් අයුරින් නොයෙක් තැන්වල දී අප කරා එළඹේ. එනිසා, මෙවැනි දුෂ්කර අඩියකට පත්වී සිටිය දී පවා මෙලොව පරලොව ජීවිත සුවපත් කර ගත හැකි ප්‍රතිපදාවකට එළඹීම තමන්ගේ යහපත හිතසුව කැමති අයගේ අභිලාෂය විය යුතු ය.

‘දන් දීම’ වනාහී සෑම කල්හි ම නුවණැති සත්පුරුෂ ලෝකයේ ප්‍රශංසාවට බඳුන් වන්නකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පවා නොයෙක් අයුරින් දානය අනුදැන වදාළ සේක. දානයේ අනුසස් මැනැවින් ම දන්නා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිමින් වරෙක එක් දේවතාවෙකු මෙසේ පැවසුවේ ය.

“මසුරු පුද්ගලයා යම් දේකට බිය නිසයි දන් දෙන්නේ නැත්තේ. නමුත්, දන් නොදෙන ඔහුට ඒ කාරණයෙන් ම යි බිය ඇතිවෙන්නේ. බඩගින්නත්, පිපාසයත් යන යමක් ඇද්ද ඒකටයි මසුරු පුද්ගලයා බියවන්නේ. ඒ අඥාන පුද්ගලයා ව ඒ කරුණින් ම මෙලොව පරලොව දෙකේ තවනවා. ඒ නිසා මසුරුකම නැමැති මලකඩ මැඩගෙනයි දන් දෙන්න ඕන. පරලොව දී සත්වයන්ට පිහිට වෙන්නෙ පින් තමයි.”

(මච්ඡරී සූත්‍රය – සං. නි. 01)

කෙනෙකු දීමට බිය වන්නේ එය තමන්ට අහිමි වේ ය යන බිය නිසා ය. නොදුන් දේ නොලැබෙනා හෙයින් සිදු වන්නේ සාංසාරික වශයෙන් ඒ දේවල් අහිමි වී යාමයි. එසේ නම්, මේ සා දුෂ්කර අඩියක දී පවා යහපත හිතසුව කැමැත්තෙන් දන් දීම ම සිදු කළ යුතු නොවේ ද? ඒ ගැන සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ධර්මයේ හැසිරෙන කෙනෙක් දුක සේ ජීවත් වෙලා, අඹුදරුවන්වත් පෝෂණය කරගෙන, සුළු දෙයක් තියෙද්දීත් දන් දෙනවා ද දහස් ගණන් වියදම් කරලා කරන යාග ලක්ෂයක් කළත් දිළින්දාගේ දානෙන් සීයට එකක් තරම්වත් වටින්නේ නෑ.”

(මච්ඡරී සූත්‍රය – සං. නි. 01)

දැහැමිව අඹුදරුවන් පෝෂණය කරන, සුදුවත් හඳින ගිහි උදවිය මෙසේ දුෂ්කර ව වුව ද දන් දෙන කල්හි මහත්ඵල මහානිශංස උපදින්නට හේතුපාදක වන්නේ ඔවුන්ගේ ධාර්මික ජීවන රටාවයි. වරෙක ධනයෙන් පිරිහුනු අනේපිඬු සිටුතුමා තමන් ද දුකසේ ජීවත් වෙමින් කාඩි හොදිත්, බතුත් පමණක් වුව දන් දෙමින් පවා දන්වැට නොසිඳ පවත්වා ගත්තේ ඒ සත්පුරුෂ භාවයේ පිහිටමින් ය.

සත්පුරුෂ ධර්මයේ හික්මෙනු කැමති වූ, සත්පුරුෂ ධර්මය පුරුදු පුහුණු කරනු කැමති වූ නුවණැතියන් ඇති හැකි අයුරින් කෙසේ හෝ දන් දෙමින් චාග සම්පත්තිය දියුණු කළේ යම් අයුරකින් ද අපිදු එලෙස ම දන් දීමට උත්සාහවත් වෙමු.

පටු සිතක ඇති අනතුර
‘අලුත් අවුරුද්දක් එළඹුණා ය, අලුත් වන්නට සිතුවා ය’ කියා එපමණකින් අප අලුත් මිනිසුන් බවට පත් නොවේ. මන්ද, අපේ ජීවිත කථාව යා වී යන්නේ දැනට ගෙවී ගොස් ඇති – වසර ගණනකින් දැක්විය හැකි ආයුෂයට පමණක් නොව, පටන් ගත් කෙළවරක් නොපෙනෙනා අති දීර්ඝ සංසාර ගමනකට ද වීම නිසා ය. එහෙයින් ම, සතර අපාය මහගෙදර කොටගෙන පැමිණි සසර ගමනේ හුරුපුරුදුකම් වෙත ම අප සිත් නිරන්තරයෙන් නතු වෙමින් පවතී.

ඉතා සුළු කරුණෙහි පවා බොහෝසෙයින් කම්පා වෙමින්, ඒවා අත්හැරගත නොහැකිව කලබලයෙන්, ඒවා මත්තේ ම හැපිහැපී වෙහෙසට පීඩාවට පත් වෙමින් බොහෝ අය ජීවන අරගලයක නිරත වන ආකාරය ගැන අප පුදුම නොවිය යුත්තේ ඒ නිසා ය. මැරි මැරී, ඉපදි ඉපදී යන සසර ගමනේ එකම ප්‍රශ්නය නැවත නැවත මුණගැසීම ස්වභාවයකි. නොසිතූවිරූ අයුරින් අතිශය සමීපතමයන් ලෙසින් පවා චේතනාව මෙහෙයවමින් සිදු කළ කර්මයන්ගේ විපාකයන් බොහෝ දුක්පීඩා උපදවමින් අප කරා පැමිණෙන්නේ ඒ නිසා ය. සසර යනු එවැනි ඛේදනීය ස්වභාවයක් ඇති දුක්ඛිත ගමනකි. මේ සාංසාරික ස්වභාවය තේරුම් නොගන්නා තාක් කල්, සසර ස්වභාවය මෙනෙහි කරන්නට නොපෙළඹෙන තාක් කල් දුරදිග නොබලමින් – ළඟ පමණක් ම බලමින් සිත කය වචනය හැසිරවීම වැළැක්විය නොහැකි ය. පෙනෙන දුරට පමණක් පටු වූ සිත සිදු කරන්නේ සිතට වුවමනා දෙය විනා සසර ගැටළු විසඳාලීමට වුවමනා දෙය නොවේ. සිත පටු වූ කල්හි කෙනෙකු අතින් කෙරෙනා සුළු වරද පවා බරපතළ කර්ම විපාක උපදවමින් ඒ තැනැත්තා ව නිරයේ උපතක් කරා ගෙනයාමට වුව සමත් වන බව ධර්මයේ පෙන්වා දේ.

පටු සිතක පවත්නා මේ අනතුරු සහගත ස්වභාවය පිළිබඳ ව අපගේ ශාස්තෘන් වහන්සේ ලෝණඵල සූත්‍රයේ දී මෙසේ පෙන්වා වදාළ සේක.

“මහණෙනි, මේ ලෝකයේ කෙනෙක් ඉන්නවා. එයා කරන්නේ බොහොම පුංචි වැරැද්දක්. හැබැයි එයාට ඒක නිරයේ උපදින්න හේතුවක් වෙනවා.

මහණෙනි, කෙනෙකුට පුංචි වැරැද්දක් වුණොත් ඒ පොඩි වැරැද්ද නිරයේ උපතකට හේතුවක් වෙනවා නම්, ඒ පොඩි වැරැද්ද එයාව නිරයේ උපතක් කරා රැගෙන යනවා නම් එහෙම වෙන්නේ මොකද? පින්වත් මහණෙනි, ඔහු ජීවිතය දියුණු කළ කෙනෙක් නෙවෙයි. සීලය දියුණු කළ කෙනෙක් නෙවෙයි. සිත දියුණු කළ කෙනෙක් නෙවෙයි. ප්‍රඥාව දියුණු කළ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහුට තියෙන්නේ පටු සිතක්.

මහණෙනි, මෙබඳු පුද්ගලයා අතින් අල්ප වූ අකුසල කර්මයක් කයෙන් වේවා, වචනයෙන් වේවා, සිතින් වේවා සිදු වුණොත් නිරයේ උපදින්න එයාට ඒක ප්‍රමාණවත්.”

පටු සිතකින් යුතු තැනැත්තා ගුණදහම් උපදවා ගන්නට ද යම් යම් ගුණයක් උපදවා ගත්ත ද ඒවා රැකගන්නට ද අදක්ෂ ය. ඉතා සුළු දෙයටත් බොහෝ කොට කම්පා වන එවැන්නවුන්ගේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ උපමා කොට වදාළේ කුඩා භාජනයකට ය. වතුර ස්වල්පයක් ඇති කුඩා භාජනයකට ලුණු කැටයක් එක් කළ කල්හි ඒ ස්වල්ප වතුර ප්‍රමාණය ලුණු රසයෙන් යුතු වන්නේ යම් සේ ද පටු සිතකින් යුතු තැනැත්තාගේ ජීවිතය ඉතා කුඩා පාප කර්මයෙන් වුව ද සහමුලින් ම වැසී යන්නේ ය.

සිත පටු ද පුළුල් ද කියා මැනිය හැක්කේ ද ධර්මයෙන් ම ය. එනම්, සිත පටු වූ කල්හි ගුණය රැඳෙන්නේ නැත, පවතින්නේ ද අල්ප ගුණයකි, සුළු කරුණින් පවා විඳව විඳවා දුකසේ වාසය කරයි. ඉදින් අප මිනිස් ලොව උපන්න ද පෙර යම් අකුසලයකින් අප ව සතර අපායේ ඉපදවූ ස්වභාවයන් නොසිඳී පවත්නා බැවින් එවැනි ම වූ අකුසලයන් වෙත නැඹුරු වීමට පටු සිත හේතු වේ.

ධර්මය පෙරට ගෙන සිත පුළුල් ව නොවැඩුවහොත් හුරුපුරුදු පාපී ස්වභාවයනට ම නතු වෙමින් අකුසලයේ දිශාවට ඇදී යාම හැර අපට රැකවරණයක් නම් නැත. එනිසා අප කැමති විය යුත්තේ පුළුල් සිතක් උපදවා ගැනීමට ය.

පුළුල් සිතක් උපදවා ගන්නට නම් අප ජීවිතය දැකිය යුත්තේ ම අද ඊයේ ගමනක් ලෙස නොව අතිශයින් දීර්ඝ සසර ගමනක් ලෙස ය. සසරේ කොපමණ වාර ගණනින් අප අද මුහුණපාන්නාක් වැනි ම වූ ගැටළුවලින් විඳව විඳවා සිටින්නට ඇති ද කියා සිතමින් ඉවසීමෙන් යුතුව, නුවණින් යුතුව, වීරියෙන් යුතුව ධම්මානුධම්ම පටිපදාවේ ම යෙදෙමින් ධර්මයේ පිහිට පිළිසරණ සලසා ගැනීමට අප උත්සාහවත් විය යුතු ය. බිහිසුණු සසර නවත්වන්නට හැකි අන් මඟක් නැත.

පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ…!
එක් ව්‍යවහාරික වර්ෂයක් අවසානයේ නව ව්‍යවහාරික වර්ෂයේ ආරම්භයේ අපි සිටින්නෙමු. 2023 වර්ෂය අති සීඝ්‍රගාමී ව ගෙවී ගිය අයුරක් බොහෝ දෙනෙකු අත්විඳින්නට ඇත. දින 365 ක් මේ සා වේගයෙන් ගෙවී ගියේ සමාජ ආර්ථික මෙන් ම පුද්ගලික ව අප මුහුණදුන් අර්බුදයන් ගහන වූ කාලයක් පරිද්දෙන් නොවේ ද? අප සිතනවාට වඩා වේගයෙන් කාලය ගත වනවා පමණක් නොව අප අපේක්ෂා කරනවාට වඩා තීව්‍ර ව නොයෙක් අර්බුදයන් ද අප කරා එළඹේ. අප ‘ජීවත් වීම’ යැයි කියන්නේ ඒ පටලැවිලි ලෙහා ගනිමින් යෙදෙනා ගමනට ය.

පටලැවෙමින්, පටලැවිලි ලෙහා ගනිමින් යෙදෙනා ගමන නිසා ම ඒ පටලැවිලි සහගත භාවයනට යොමු කරන තරම් අවධානයක් කාලයේ ගෙවී යාම වෙත අප යොමු කරන්නේ නැත. එනිසා ම, වර්ෂාවසානය වැනි කඩයිමක දී කාලය වේගයෙන් ගෙවී ගියේ යැයි යම් සංවේදනයක් සෑම කල්හි ම පාහේ අප තුළ උපදී.

පටලැවිලි ලෙහ ලෙහා පැමිණියා කියා හෝ කාලයේ වේගවත් ගෙවී යාම අවධානයට ලක් නොකළා කියා හෝ හදිසියේ උපදනා චිත්තාවේගයක් සේ කාලයේ ගෙවී යාම ගැන කම්පනයක් උපන්නා කියා හෝ හිරු සඳුගේ ගමන අනුව අප විසින් මනිනු ලබන කාලයට ද වඩා අතිශය වේගයකින් ගත වී යන අපගේ ජීවිත කාලය හෙවත් ආයුෂය නොගෙවී නවතින්නේ නම් නැත.

උදෑසන අවදි වී වැඩපළට පැමිණෙමින් සිටියවුන් ද වැඩබිමේ සේවයේ නියුතු ව සිටියවුන් ද වැඩ ඇරී නිවෙස් වෙත යමින් සිටියවුන් ද රාත්‍රියේ පවුලේ උදවිය සමඟ පවුලේ කටයුතුවල යෙදෙමින් සිටියවුන් ද කමින් බොමින් සිටියවුන් ද නින්දේ සිටියවුන් ද විවේකපාඩුවේ නිදහසේ සතුටු වෙමින් සිටියවුන් ද කිසිදු පණිවිඩයක් හෝ ඉඟියක් හෝ නොතබා මරණයට පත් වූ අවස්ථා ගැන කොතෙකුත් නම් මේ ගෙවී ගිය වසරේ අපට අසන්නට දකින්නට ලැබුණා නොවේ ද? ඒ ඇතැම් මරණයන්ගේ අනපේක්ෂිත භාවයන්, ඛේදනීය භාවයන් ගැන සසැලීම් අප තුළ හටගත්තා නොවේ ද? එහෙත්, අපිදු මොහොතකදු ඒ ඉරණමින් නිදහස් වූවෝ නොවෙමු. අපි අතිශය වේගයෙන් ගෙවී යන ජීවිත කාලයක උරුමකරුවෝ පමණක් ම වෙමු.

මිනිසුන්ගේ ආයුෂය වසර හැටදහසක් වූ කාලයේ දී අප මහා බෝසතාණන් වහන්සේ ‘අරක’ නම් වූ ශාස්තෘවරයෙකු ව ඉපිද තමන් වහන්සේගේ අනුගාමිකයන් හික්මවූයේ තණ අග වූ පිනි බිඳ හිරු උදාවන කල්හි සැණෙකින් බිඳී යන පරිද්දෙන් මිනිසුන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කලක් බව නුවණින් අවබෝධ කොටගෙන කුසල් කළ යුත්තේ ය කියා ය. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකරුණ දක්වා සියක් වසරකට මඳක් වැඩියෙන් මිස බොහෝ කල් ජීවත් නොවනා මේ කාලයට ම ඒ පර්යාය මැනැවින් කිව යුත්තේ යැයි වදාළ සේක.

“සියක් වසරක් ජීවත් වන්නෙකුගේ රාත්‍රීන් තිස් හයදහසක් ගෙවී යන කල්හි දෙවේලෙහි බත් අනුභව කරන්නේ නම් වාර ගණනින් හැත්තෑ දෙදහසකි.

එය ද බත් වැරදුනු කාලයන් අත්හැරීමෙනි.” යනුවෙන් වසර සියයක් ජීවත් වන්නෙකුගේ ආයුෂය ද ආයු ප්‍රමාණය ද ඍතු ද අවුරුදු ද මාස ද අර්ධ මාස ද රාත්‍රී ද දහවල ද බත් ද බත් වැරදුණු කාලය ද ගණන් කොට දක්වමින් අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ, “මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ, අනුකම්පා ඇත්තා වූ ශාස්තෘවරයෙකු විසින් අනුකම්පාව උපදවා යමක් කළ යුත්තේ ද මා විසින් එය ඔබට කරන ලද්දේ ය. මහණෙනි, ඔය තිබෙන්නේ රුක් සෙවණ ය. ඔය තිබෙන්නේ ශුන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන වඩව්. ප්‍රමාදයට පත් වන්නට එපා. ප්‍රමාදයට පත්ව පසු කලක පසුතැවෙන්නට එපා. මෙය ඔබට අපගේ අනුශාසනය යි.” යනුවෙනි. (අරක සූත්‍රය, අං. නි. – සත්තක නිපාතය)

සියක් වසරක් ම අප ආයුෂ ලබන්නේ වුව ද දැනුදු ඉන් යම් කාලයක් ඉක්ම ගොසිනි. ඒ කාලය ඉක්ම ගියේ ද උපන් පටලැවිලි ලෙහා ගැනීම තුළ පමණක් නම්, පටලැවිලි උපදනා ස්වභාවය හඳුනාගැනීමට – එයින් නිදහස් වීමට උත්සාහවත් නොවෙමින් නම්, උතුම් ක්ෂණ සම්පත්තිය හිමිව තිබියදීත් මේ ජීවිතයට අප ලබා දුන් අර්ථය කුමක් ද? නොසිතනා වේගයකින් ගත වී යන ජීවිත කාලය ඵලදායී ව අනලස් ව සහ අප්‍රමාදී ව කුසල්දහම් තුළ හසුරුවමින් සනාතන රැකවරණය වෙත පමුණුවන්නට තරම් අප තවමත් අපට හිතෛෂී නැති ද?

2024 දැක්කත්, නොදැක්කත් අප කළ යුත්තේ අප්‍රමාදී වීම ය…!

මුනිවරුන්ගේ මාවත
අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමට පළමු ගෞතම සම්බුදු සසුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ම පිරිනිවන් පා වදාළ සේක. අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ පිරිනිවීමෙන් සම්බුදු සසුනෙහි උපන් හිස් බව සම්බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළ සේක.

“මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් පිරිනිවන් පෑ කල්හි මේ මුළු පිරිස ම හිස් වූවාක් මෙන් වැටහෙයි. මහණෙනි, යම් දිශාවක මේ සාරිපුත්ත මොග්ගල්ලානයෝ සිටිත් ද මාගේ ඒ පිරිස හිස් නැත්තේ ය. ඒ දිශාවෙහි පිරිස දෙස බැලිය යුතු යැයි මට අපේක්ෂාවක් නොවෙයි.

මහණෙනි, ශ්‍රාවකයන්ගේ ආශ්චර්යයකි! මහණෙනි, ශ්‍රාවකයන්ගේ අද්භූතයෙකි! ශාස්තෘන් වහන්සේ හා සම ව සසුන කරන්නෝ වන්නාහ. අවවාදයට අනුව ක්‍රියා කරන්නෝ ය. සිව් පිරිසට ප්‍රිය ව, මනාප ව, ගරු සම්භාවනාවට පාත්‍ර වන්නෝ ය.”

(උක්කචේල සූත්‍රය, මහා වග්ගය, සං. නි.)

අතීතයේ වැඩසිටියා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සිටියා වූ ද අනාගතයේ ලොව පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සිටින්නා වූ ද පරම ශ්‍රාවක යුගල නම් ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ය. ඒ පරමෝත්තම අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

ඉල් පොහොය යනු ගෞතම සම්බුදු සසුනේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගපත් වූ ද දකුණත් අග්‍රශ්‍රාවකයාණන් වහන්සේ වූ ද සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ දිනය යි. මහාසාර බ්‍රාහ්මණ කුලයක උපන්නෙකු වූ ද මහා රූප සම්පත්තියකින් හෙබියා වූ ද ඒ සියල්ල අබිබවා ගිය මහා නුවණකින් යුතු වූ ද සාරිපුත්ත මහරහතන් වහන්සේ වනාහී සත්පුරුෂ ගුණ ශෝභාවෙන් සම්බුදු සසුනඹර එකලු කළ මහා මුනිවරයා ම වන සේක. ශාසන පුවතේ උන්වහන්සේ තරම් ‘කළගුණ දන්නා බව, කළගුණ සිහි කරනා බව’ නම් වූ සත්පුරුෂ භූමිය ප්‍රකට කළ වෙනත් උතුමෙකු නැත.

ජීවිත අර්ථය සොයා කම්සැප හැරපියා ශ්‍රමණ භූමියට පැමිණ සත්‍ය ගවේෂණයේ යෙදෙමින් හුන් සමයේ යම් දිනක අස්සජී මහරහතන් වහන්සේ මුණගැසී, “යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතු තථාගතෝ ආහ” යනුවෙන් වූ පෙළ සතරකින් යුතු ගාථාවේ මේ මුල් දෙපෙළ අසා සෝවාන් ඵලයට පත් වූවෝ ද සාරිපුත්තයන් වහන්සේ එදින පටන් තම පළමු දහම් ගුරුවරයා වූ අස්සජී මහරහතන් වහන්සේ වැඩවෙසෙන දිශාවට නමස්කාර කරන්නට පටන් ගත්හ. තව්තිසාවැසි දෙවිවරුන් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් පුද දෙන්නේ යම් අයුරකින් ද එලෙසින් ම දහම් ගුරුවරුන් පුද දිය යුතු බව සම්බුදුරජාණන් වහන්සේ ධම්මනාවා සූත්‍රයේ දී වදාළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ ප්‍රකට කළා වූ ‘කළගුණ දන්නා බව – කළගුණ සිහි කරනා බව’ අරබයා ය.

සංඝෝපස්ථානයේ යෙදෙමින් හුන් රාධ නම් බමුණා පැවිදි බව ඉල්ලා සිටි අවස්ථාව ද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ උතුම් ගුණය පිළිඹිබු වූ අවස්ථාවකි.

ඒ බමුණා විසින් කළ උපකාරයක් සිහි කොට ඔහු පැවිදි භූමියට පත් කරන්න යැයි සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මොහොතේ, සඟ පිරිසේ කිසිවෙකු එයට ඉදිරිපත් නොවද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ එයට ඉදිරිපත් වූ සේක. පෙර දන් බෙදන තැනෙක දී තමන් වහන්සේට දන් හැන්දක් බෙදන්නට යැයි කියා රාධ බමුණා විසින් තවකෙකු මෙහෙයවීම එතැන දී සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිකරනු ලැබූ ගුණය යි. මෙසේ, සුළු උපකාරය වේවා මහානීය උපකාරයක් සේ ම ගුණ දකිමින් සිහි කරන්නට තරම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණානුභාවය අති මහත් වීය.

ශාස්තෘන් වහන්සේ හා සම ව ශාසනය කරවූ මහා ශ්‍රාවකයන් වහන්සේගේ ජීවිතයේ නිතින් ප්‍රකට වූ මේ අසිරිමත් සත්පුරුෂ ගුණ ශෝභාව තමන් තුළ ද උපදවා ගන්නට ශාසනික අභිවෘද්ධිය කැමති වන්නා වූ කවරෙකු විසින් වුව ද උත්සාහවත් විය යුත්තේ ය.

ධර්ම චක්‍රය ලෝකයේ ප්‍රවර්තනය වන්නට ද පළමු ව, සංඝරත්නය ලෝකයේ පහළ වන්නට ද පළමු ව අපගේ ශාස්තෘන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලද මොහොතේ තමන් වහන්සේට සෙවණ සලසාලූ ඇසතු බෝධි වෘක්ෂය දෙස පුරා සතියක් ඇසිපිය නොහෙළා බලා හිඳිමින් කළගුණ දැක්වූ සේක. ඒ සම්බුදු ළය මඬලෙහි උපන් අග්‍රශ්‍රාවක, මහා ශ්‍රාවකයන් වහන්සේලා ද එලෙසින් ම කළගුණ දන්නා බවින්, කළගුණ සිහි කරනා බවින් යුතු වූ සේක. නුගුණට ගැටෙන, නුගුණ අසන, නුගුණ ප්‍රකට කරවන, ඒ නුගුණයන්ගෙන් ම බැට කන ලෝකයක ඉපදී ගුණ දකිමින්, ගුණ දනිමින්, ගුණ සිහි කරමින් නිවී සැනසී පැමිණ වදාළ ඒ මුනිවරුන්ගේ මාවතට පැමිණෙමින් අපිදු උපකාරයන් කළවුන්ගේ ගුණ දකිමු, කළගුණ සිහි කරමු.