කසාවත – නවකථාව | Mahamegha Magazine

පුන්සඳ මඬල
මේ ජීවිතය තුළ අපි බොහෝ තැන්වල නැවතී ඇත්තෙමු. ස්ත‍්‍රී පුරුෂයන් ළඟ, රැකී රක්ෂාවල, ආගමික, දේශපාලන, සමාජයීය මතිමතාන්තරවල අපට නවාතැන් ලැබී ඇත. සසර පුරා ම අප මෙවැනි බොහෝ තැන්වල නැවතී සිටියවුන් ය. නැවතී සිටියා කියා කීවාට සැබැවින් ම සිදු වී ඇත්තේ ගමනේ යෙදීමක් මිස නැවතීමක් නො වේ. එනිසා අප තවමත් සසරේ ය.

සසරෙන් මිදෙන මඟ කියන කල්‍යාණමිත‍්‍රයන්ගේ හමුවීම ලෝකයේ දුර්ලභ ය. කල්‍යාණමිත‍්‍රයා හඳුනාගත්, එ් ඇසුර මහත් සේ ප‍්‍රිය කරන, එ් ඇසුරේ හික්මෙන සත්පුරුෂයන්, ඇවිදින සසර නවතන මඟට බැසගනිති. ‘කසාවත’ අපට පසක් කරන යථාර්ථය එය යි.

බිනර නවමල් බණ්ඩාරගේ මේ නවාතැන වෙනුවෙන් මඟ බලා සිටින සද්ජනයෙනි, මේ සොඳුරු දහම් පඬුරෙන් රැස් වූ සියලූ පුණ්‍යධර්මයන් ඔබට ද අනුමෝදන් වෙත්වා! එ් අමා නිවන් සුව දුර නො වේවා! මේ, කසාවත අවසන් දිගහැරුම යි.

‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා..’ යන අදිටනින් ඇරඹූ දහම් යාත‍්‍රාවට කසාවත් දරාගත් තවත් සඟ පිරිසක් එකතු වූ අන්දම සියැසින් ම දැක බලා මම සතුටට පත් වූයෙමි. විවිධාකාර නම් ගොත් කුල ගෝත‍්‍ර රැුකී රක්ෂා ධන නිර්ධන ආදි තරාතිරම් අත්හැර දමා කසාවත් දරා ගත් සුපින්වතුන් වහන්සේලා ගුණධර්මයන් ම සොයා යන නිර්මල ගමනක් වෙනුවෙන් මුළු මහත් ජීවිතය ම කැප කොට ශ‍්‍රමණ භාවයට පත් වීම, විටෙක මා සිත පුදුමයට පත් කළේ ය. පංච කාමයන් ඉතා මිහිරි ලෙස ලැබෙන වත්මන් යුගයේ එ් සියලූ කාම සම්පත් හැර දමා නිරාමිසය සහ නෙක්ඛම්මය සොයා යාමට තීරණය කිරීම පවා කොයි තරම් නම් දුෂ්කර ද! එවන් දුෂ්කර පැවිද්දක් ලද මා මිත‍්‍ර අනන්ත තරුනෙත් අද පටන් ගෞතම බුදු සසුනේ පැවිදි බව ලැබූ උතුම් භික්ෂුන් වහන්සේනමකි. සාදු සාදු…! එය සිහි කිරීම පවා මා හට සැපයකි.

කසාවත පිටින් පවුකම් කරන්නෝ ගිහි පාර්ශවයෙන් සම්මාන ලබද්දී කසාවත හැර දමා ගිහි බවට පත් වන්නන් පමණක් නින්දාවට ලක් කිරීමට පුරුදුව සිටින සමාජයක්, තරුණ කාලයේ දී ම කසාවත දරාගෙන නිවන සොයා යාමේ ආනිශංස දකින්නේ ද ඉතා ම අල්ප වශයෙනි.

ඉපදීම, මල්වරය, විවාහය, දරු උපත මෙන් ම මරණය ද අති සංවේදී අවස්ථා බවට පත් වුවත්, සංසාර සැඩ පහරින් නිදහස් වීමේ අදිටනින් උඩුගං බලා පිහිනන පින්වතුන් වහන්සේලාගේ ජීවිත සමාජයට සංවේදී නොවීම ම බුදු සසුනේ පරිහානියට හේතු වී ඇත. දරුවෙකු කසාවත දරාගත් විට සමාජයට එය ‘හතර කේන්දරය පාළු වීමකි’… ‘මව්පියන්ගේ දිළිඳුකම නිසා ගත් තීරණයකි’. තරුණයෙකු හෝ තරුණියක කසාවත දරාගතහොත්, සමාජය කසු කුසු ගාන්නේ ‘ගෙදර ප‍්‍රශ්න ඇති’… ‘ආදරයෙන් පැරදිලා වෙන්න ඇති’… ‘රස්සාවක් නැතිකමට වෙන්න ඇති’ ආදි වශයෙනි. වැඩිමහල්ලෙකු කසාවත දරාගතහොත් ‘මැරෙන්න කලින් කාලා බීලා ඉන්න තැනක් හොයාගත්තා’ යැයි සමාජය විසින් හීන ලෙස දකියි. නමුත්, යම් භික්ෂුවකට අල්පමාත‍්‍ර හෝ වරදක් සිදු වුවහොත්, මුළු මහත් සමාජය ම බුද්ධ ශාසනයට ද නින්දා කරමින් සති ගණන් එ් පිළිබඳ ව කතා බස් කරති. එනමුත්, භික්ෂු ජීවිතයක් ගත කරමින් දුක සේ ගුණධර්ම දියුණු කිරීම ගැන සිහි කරමින් දස කතාවේ යෙදෙන්නට සමාජයට හිතෙන්නේ වත් නැත. එයට හේතු ව නම්, සත්‍යය වැසී යන පරිදි මුල්බැසගෙන තිබෙන ප‍්‍රමාදයත්, මසුරුකමත් ය.

එ් නිසා ම, වර්තමානයේ මිනිසුන්ට සංවේදී වන්නේ භික්ෂුවකගේ සටනත් දිනුමත් නො ව උන්වහන්සේගේ අල්පමාත‍්‍ර හෝ පරාජය යි. කිසි දා පරාජය නො වන්නේ සටන් නො කර පරාජය භාරගත් හීන වීරිය ඇත්තන් ය. ජය ලැබූ සියල්ලෝ සටන් කළවුන් ය. සසුන තුළ ජය ලද්දෝ පරාජයේ වේදනාව ද හොඳින් හඳුනති.

‘‘බිනර…! මොනව ද කල්පනා කරන්නේ…?”

සුපුරුදු කටහඬකින් මා ඇමතූ බැවින් මම සැණෙකින් හිස හරවා ආපසු බැලූවෙමි. වෙන කිසිවකු නොව, එ් මා මිත‍්‍ර ස්වාමීන් වහන්සේ ය. කළු ගලක් මත හිඳගෙන සිතිවිලි වැල් ඔස්සේ එ් මේ අත යමින් සිටි මම ප‍්‍රකෘති ලොවට සිහි එළඹවාගෙන දෙදණ බිම ඔබා පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළෙමි.

‘‘ඕකාස වන්දාමි භන්තේ…”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, මම කල්පනා කළේ පැවිද්ද ගැන. එ්ක කොයිතරම් දුෂ්කර ද… උතුම් ද…! එ්ත් මිනිසුන්ට එ් පැවිද්දේ ගුණ දකින්න බෑනේ. මිනිස්සු හැම තිස්සේ ම බලන්නේ ස්වාමීන් වහන්සේනමකගේ වරදක් පමණයි…”

‘‘බිනර… එ්ක පැවිද්දන් වශයෙන් අපිට වාසියක් බිනර…”

‘‘වාසියක්…? ස්වාමීන් වහන්ස මට වැටහුණේ නෑ.”

‘‘මිනිසුන් පැවිදි අපේ අඩුපාඩු විවේචනය කරන්නේ නැත්නම්, මිනිසුන් අතරේ එ් සියල්ල සාමාන්‍ය දේවල් බවට පත් වුණොත් එ්ක අපේ පැවිද්දට අනතුරක්. අපේ සමාජයේ මිනිසුන් පැවිද්දන්ගේ අඩුපාඩු සොයන නිසා ම අපිට සංවර වෙන්න පුළුවන්කමක් තියෙනවා. පුංචි අඩුපාඩුවක් හරි විවේචනය කරන බව අපි දන්න නිසා අපි බොහොම සංවර ව ඉන්න පුරුදු වෙනවා.

නමුත්, නවක වැඩිහිටි බේදයකින් තොර ව පැවිදි අය ගැන සිත අපහදවගන්න ගිහි පිරිස නම් ශාසනය තුළ පිරිහිලා යනවා. නිවනින් විතරක් නෙවෙයි සුගතියෙනුත් ඈත් වෙනවා. එ් නිසා එ් දේ ගිහි පිරිසට නම් වාසියක් වෙන්නේ නෑ.”

‘‘ඉතින් විවිධාකාර ප‍්‍රශ්න එද්දී ස්වාමීන් වහන්සේලාට හිතෙන්නෙ නැද්ද… ගිහි ව හිටිය නං මේ ප‍්‍රශ්න නෑ නේ කියලා…”

මිත‍්‍ර ස්වාමීන් වහන්සේගෙන් මා ඍජු ව ම එසේ විමසුවේ එවන් වදන් මා ඇතැම් අවස්ථාවල ස්වාමීන් වහන්සේලාගේ ම මුවෙන් අසා ඇති නිසා ය.

‘‘එහෙම හිතෙන අයත් ඉන්න පුළුවන් බිනර. එ්ත් ප‍්‍රශ්න නැතිකම නිවනට පහසුවක් වෙන්නෙ නෑ. මේ ගමනට කලකිරීම එකතු වෙන එක වාසනාවක්. එතකොට අපිට එ් දේවල් ගැන හිත පිහිටන්නේ නෑ. එතෙර වීමේ කැමැත්ත ම යි වැඩෙන්නේ. සිව්පසය බෙදාගැනීම ගැන අර්බුදයක් නිසා කලකිරීමක් ඇති වුණොත්, සිව්පසයේ හිත පිහිටව ගන්නෙ නැතුව එ් ප‍්‍රශ්නය සිව්පසයේ ආදීනවයක් ලෙස දැකලා නෙක්ඛම්මයේ යෙදෙන්න පුළුවන්. නින්දා අපහාස නිසා කලකිරීමක් ඇති වුණොත්, අනිත්‍ය වූ කීර්ති ප‍්‍රශංසාවේ හිත පිහිටුවගන්නේ නැතුව නෙක්ඛම්මයේ යෙදෙන්න පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණ සහ තුන්කාලයේ විපාක වශයෙන් ලද දුක්ඛ ස්වභාවය මෙන් ම ආහාර සෙවීමේ දුක කියන සංවේග වත්ථු ආදිය ගැනත් එහෙමයි හිතන්න ඕන. කලකිරීමෙන් තොර, සනීපෙන් සතුටින් ඉන්න පුුළුවන්කමක් සිත පතනව නම් අපි දැනගන්න ඕන සිත මේ පතන්නේ පංච කාමය ම විය හැකියි කියලා. එ් නිසා සිහි කල්පනාවෙන් යුතු ව තෝරා බේරා ගන්න ඕන මේ නිරාමිස සුවයක් ද පතන්නේ එහෙමත් නැත්නම්, කිසි ප‍්‍රශ්නයක් නැති ව සනීපෙට සැපට ඉන්න පුළුවන් නිරාමිස වේශයෙන් එන පංච කාමය ම ද කියලා. පැවිද්දාට එන මුල් ම අභියෝග අතරේ පෙරමුණේ සිටින්නේ පංච නීවරණ සහ දස මාර සේනා යි. එ් නිසා හොඳ සිහි කල්පනාවෙන් කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ ම ඉඳගෙන ධර්මයේ ම පිළිසරණ ලබන්න ඕන බිනර. ඇෙඟ් දැවටෙන චීවරය කියන්නේ අමනුස්සයින්ගෙන් ආරක්ෂා වෙන්න දාන යන්තරයක් සුරයක් වගේ දෙයක් නොවෙයි. සීලයෙන් සහ ප‍්‍රතිපදාවෙන් ගිහි පිරිසගෙන් වෙන් ව වාසය කිරීමට ලැබෙන සංඥාවක් පමණයි. පැවිද්දට අයිති සියල්ල අපි විසින් සිහියෙන් නුවණින් වීර්යයෙන් දියුණු කර ගන්න ඕන.”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස, මට හොඳට ම පැහැදිලි වුණා…”

‘‘ඉතින් බිනර දැන් කොහෙද යන්නේ?”

මිත‍්‍ර ස්වාමීන් වහන්සේ විමසුවේ ය. ගිහි කල දී ‘අනන්ත’ ලෙස සිටින කාලයේ දී උන්වහන්සේ මුණ ගැසෙන්නට පැමිණි අවස්ථාවලවත් එ් අයුරින් විමසූ බවක් මා හට සිහිපත් නො වී ය. පැවිදි පින්කමෙන් පසු නම්, මා නිවසට යා යුතු ව තිබිණ. උන්වහන්සේ පැමිණෙන විටත් මා අසල වූ කළු ගලක් මත හිඳගෙන සිටි බැවින් යම් ගමනක යෙදී සිටි බවක් උන්වහන්සේට තේරුම් යාමට ද ඉඩක් නැත. එබැවින් එ් පැනයට දිය හැකි සුදුසු ම පිළිතුර දීමට මම උත්සාහ කළෙමි.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස… අකමැත්තෙන් ම වුණත් මම යමින් ඉන්නේ ජරා මරණය කරා. ජරා මරණ දුක් සෝ සුසුම්වලින් නිදහස් වෙලා විමුක්තිය දෙසට යන්න තමයි මගේ අදහස…”

‘‘එ් කියන්නේ බිනරට පැවිදි වෙන්න අදහසක් ආව ද?”

‘‘නැහැ පින්වත් ස්වාමීන් වහන්ස. මට පැවිදි වෙන අදහසක් ආවේ නෑ. මට තියෙන එක ම අදහස ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ඕන කියන එකයි…”

‘‘හොඳයි. බිනර දැන් ම ගිහින් ගුරු දේවයන් වහන්සේ ව මුණ ගැහෙන්නකෝ. උන්වහන්සේ මේ වෙලාවේ ආවාසයේ ආලින්දයේ වැඩ සිටිනවා විය යුතු යි. එහෙනම්, තෙරුවන් සරණයි බිනර….”

මිත‍්‍ර ස්වාමීන් වහන්සේට වන්දනා කොට උන්වහන්සේට සමු දුන් මම සෙමෙන් සෙමෙන් ආවාසය කරා පිය මැන්නෙමි. අසල වූ පත්කඩයක් ද අතට ගත් මා උන්වහන්සේට නුදුරින් සිටගෙන සිටියේ මේ වන විටත් සංවාදයේ යෙදී සිටි කිහිප දෙනෙකු සිටි නිසා ය. මාගේ අවස්ථාව පැමිණෙන තෙක් මම ඉවසීමෙන් සන්සුන් ව සිටියෙමි.

‘‘ඔව් පුතා… මොකද?”

සංවාදයේ යෙදී සිටි පිරිස පිටව යද්දී ම පින්වත් ගුරුදේවයන් වහන්සේ හිස ඔසවා මා දෙස බලා ආමන්ත‍්‍රණය කළේ ය. මම උන්වහන්සේ වෙත ගොස් සීරුවෙන් පත්කඩය එළා ගාථාව කියා වන්දනා කළෙමි. ඉන් පසු පහසුවෙන් තැන්පත් වූ මම උන්වහන්සේ දෙස බලා දෑත් බැඳ ගත්තෙමි.

‘‘පින්වත් ගුරු දේවයන් වහන්ස, මම බිනර. බිනර නවමල්. මම අද පැවිදි වුණ අනන්තගෙ හොඳ ම යාළුවා. අනන්ත පැවිදි වෙන්න ආව දවසෙ ඉඳන් බොහෝ අවස්ථාවල මම අසපුවට ඇවිල්ලා සංඝයාගේ ඇසුර ලබාගෙන තියෙනවා. ධර්මය ශ‍්‍රවණය කරල තියෙනවා. ගුරු ගෞරවය උපදවාගෙන තියෙනවා. ගුණධර්ම සොයාගෙන යන්න පුරුදු වෙලා තියෙනවා…”

‘‘හොඳයි. ඉතිං…?”

‘‘ස්වාමීනී, මගේ හිතේ අදහසක් තියෙනවා. බලවත් කැමැත්තක් තියෙනවා. එ් දේ සම්පුර්ණ කරන්න පුළුවන් ගුරු දේවයන් වහන්සේට විතරයි…”

‘‘ඔව් කියන්න පුතා. පුතාට මහණ වෙන්න ඕන ද?”

‘‘නෑ… නෑ… පින්වත් ස්වාමීනී. මට අවශ්‍ය එ් දේ නෙවෙයි…”

‘‘එහෙනම්…?”

‘‘මට අවශ්‍ය පුංචි ම පුංචි ගුණධර්මයේ ඉඳන් බලවත් ම කුසලය දක්වා ම දියුණු කරගෙන, සියලූ පාපයන්ගෙන් නිදහස් වෙලා මේ සිතත් දමනය කරගෙන සියලූ දේ අතහැරලා තණ්හාව ක්ෂය කොට දුකෙන් තොර නිර්වාණය සාක්ෂාත් කර ගන්න යි පින්වත් ස්වාමීනී. මම එ් වෙනුවෙන් ඕන ම දෙයක් කරන්න කැමතියි. ගුරු දේවයන් වහන්සේ කළ යුතු නො කළ යුතු දේ මට පෙන්වා දෙන සේක්වා… මම එ් ආකාරයෙන් ම හික්මෙන්නට කැමතියි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘හිතන තරම් ලේසියෙන් එ් ගමන යන්න බෑ පුතා…!”

‘‘එහෙමයි පින්වත් ගුරු දේවයන් වහන්ස. මට ලේසියෙන් ඉක්මනින් යන්න ඕනත් නෑ. නමුත් මාර්ගයෙ ප‍්‍රතිපදාවේ යෙදෙන්න මම කැමතියි. එ් වෙනුවෙන් කළ යුතු දේ ගැන මට අවවාද අනුශාසනා ලැබේවා. මම ගුරු දේවයන් වහන්සේගේ සෙවණේ අවුරුදු හතරක් පහක් නෙවෙයි මරණය දක්වා ම හික්මෙන්නට කැමතියි ස්වාමීනී…”

‘‘නුගුණ හංගගෙන මායාකාරී ව ගුණ ප‍්‍රදර්ශනය කරන කෙනෙක්ට මේ ගමන අමාරුයි…”

‘‘එහෙමයි ස්වාමීනී. මගේ ජීවිතේ තියෙන වැරදි අඩුපාඩු සම්පූර්ණයෙන් ම ගුරුදේවයන් වහන්සේ ඉදිරියේ සංඝයා ඉදිරියේ ප‍්‍රකට කරන්න මම කැමතියි. පින්වත් ස්වාමීන් වහන්සේලා මා නිවැරදි කරත්වා…”

‘‘මේ දක්වා ඉගෙන ගත්ත දේවල්, හිතේ තියෙන විවිධ ආකල්ප, උගත්කම නිසා හෝ තමා දන්න කෙනෙක් පැවිදි වෙලා ඉන්නවා කියන කාරණා නිසා හෝ මාන්නය හදා ගත්තොත්…?”

‘‘පින්වත් ගුරු දේවයන් වහන්ස. මගේ එක ම රැකවරණය මගේ ශාස්තෘන් වහන්සේ යි. එතනින් එහාට පින්වත් ගුරු දේවයන් වහන්සේ යි.

ගුරු දේවයන් වහන්සේ මාගේ අඩුපාඩු දුටු දුටු තැන නිවැරදි කරත්වා. මම කිසි ම දෙයක් නොදන්න කෙනෙක් විදියට රළු ආකල්ප නැති කෙනෙක් විදියට මේ සසුන තුළ හික්මෙන්නට කැමතියි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘මුල දී ඔහොම කීවට කාලයක් යද්දි පිරිසත් එක්ක කයිවාරු ගසමින්, කාලය කන්න පටන් ගන්නවා. කතා බස්වල කිසි ම සාරයක් නෑ.

ධර්මය කතා කිරීමෙන් බැහැර වෙලා ඕපාදූප කේලම් විතරයි කටේ තියෙන්නේ…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීනි. වචනය හා සම්බන්ධ සියලූ ශික්ෂාපදයන් ආරක්ෂා කරගෙන දස කතාව තුළ රැඳෙන්න මම මහන්සි ගන්නම්. මගේ සිහිය පිට ගිය ඕනෑ ම මොහොතක පින්වත් ගුරු දේවයන් වහන්සේගේ රළු අවවාදයන්ගෙන් ම මා හික්මවන සේක්වා. එවිට එ් අවවාද හිතේ තියාගෙන මට තවත් වචනය සංවර කර ගත හැකියි…”

‘‘පැවිදි බව ලබපු සමහර අය බොහොම ලේසියෙන් ඉන්ද්‍රිය අසංවරකම නිසා දුකට පත් වෙනවා. විශේෂයෙන් කාමභෝගීන් වෙනුවෙන් හදපු විදුලි උපකරණ භාවිතයෙන් ඉක්මනින් ම අසංවර භාවයට පත් වෙනවා. සසරෙන් නිදහස් වෙන කෙනෙකුට බන්ධන කියන්නේ උගුලක් ම යි. ඉන්ද්‍රිය අසංවර වීම නිසා බොහෝ දෙනෙක් විවිධ බන්ධන හදා ගන්නවා. ඥාති බන්ධන, පේ‍්‍රම බන්ධන, දායක බන්ධන, ආවාස බන්ධන ආදි නොයෙක් දේවල්.”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, අල්පේච්ඡ බව ම යි සැපය, සන්තුට්ඨිතාවය ම යි සැපය..! යම් තාක් ලොව දිනූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදි මහරහතන් වහන්සේලා වැඩ සිටියා නම්, උන්වහන්සේලා භාවිත කළ සරල සිව්පස උපකරණවලින් එහාට කිසිවක් මා කරා නො පැමිණේවා. මේ ගිහි භාවය බොහොම සංකීර්ණයි. පින්වත් ස්වාමීනී, මහා සංඝයාගේ සරල බව සැපයක්. බන්ධන අවම පැවිදි දිවියෙන් මගේ ඉලක්කය පහසු කරවන්නට මම කැමතියි ගුරු දේවයන් වහන්ස…”

‘‘පුතාගෙ අරමුණ මහණකම ම නෙවෙයි. ප‍්‍රධාන ඉලක්කය විමුක්තිය යි. එ් වෙනුවෙන් මහණකම වුණත් දරාගන්න කැමතියි කියල නේ ද මේ කිව්වේ…?”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස…”

‘‘පැවිදි වුණා කියන්නෙ රේස් එකක් දුවන්න පටන් ගන්නව වගේ හදිසි වෙලා යන ගමනක් නෙවෙයි. හොඳට වත් පිළිවෙත් කරලා පින් කර ගන්න ඕන. මොකද අපිට මේ යුගයේ පෙර පින මදි. ඊ ළඟට බුද්ධ දේශනා හොඳට ඉගෙන ගන්නත් ඕන. ගුරුවරයාට සංඝයාට කීකරු ව වාසය කරන්නත් ඕන. එ් වගේ ම සිව්පසය හොඳට ප‍්‍රත්‍යවේක්ෂා කරල අලසකමින් මිදිලා පුරුදු කළ යුතු දෙයක් මේ පැවිදි දිවිය.

ශ‍්‍රමණයෙකු බවට පත් වෙනවා නම්, අතරමග දී ශ‍්‍රමණ ආකල්ප ලිහිල් වෙන්න දෙන්න බෑ. මරණය දක්වා ම පැවිදි දිවිය පවත්වන්න කැමැත්තක් තියෙන්න ඕන…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස… බලවත් ව එ් අදහසේ සිටින්නට මම උත්සාහ කරන්නම්…”

‘‘හොඳට සිල් රකින්න ඕන. කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රයෙන් ධර්මයේ ආරක්ෂාවෙන් මේ අදහස් වෙනස් කර ගන්නේ නැති ව හැමදා ම පවත්වන්න ඕන. නැත්නම් වයසින් පරණ වෙද්දී, මේ කියන දේවල් අමතක වෙලා ලාබ සත්කාර කීර්ති ප‍්‍රශංසා කියන පංච කාමය ම සොයාගෙන යනවා. වීර්යයෙන් යුක්ත ව කටයුතු කරන්න ඕන. බුද්ධ ශාසනයට ජීවිතය පූජා කරල ම මේ තීරණය ගන්න එකයි හොඳ…!”

‘‘සාදු සාදු සාදු පින්වත් ගුරු දේවයන් වහන්ස. එය එසේ ම වේවා…”

‘‘සසරේ යන්න අපි කොයි තරම් අධිෂ්ඨාන කරල ඇද්ද..! එ් වගේ ම අපේ ජීවිතේ කී දෙනෙක්ට නම් පරිත්‍යාග කරල ඇත්ද..!! ගෑනු වෙලා ඉපදිලා පිරිමින්ට මේ ජීවිතේ දීලා ඇති. එ් පිරිමියා වෙනුවෙන් ම ඉපදේවා කියල පතලත් ඇති. පිරිමි වෙලා ඉපදිලා ගෑනුන්ට මේ ජීවිතේ දීලා ඇති. එ් ගැහැනිය වෙනුවෙන් ම ඉපදේවා කියල පතලත් ඇති. ඉතින් පුතාට අවශ්‍ය නම් සසරෙන් එතෙර වෙන්න, මේ විදියෙ අතීත සංස්කාරත් අතෑරලා අනාගත සසරේ සැකසෙන්න නියමිත කාම බන්ධනත් අතෑරලා සසර වසනා තුරු යම්තාක් ජීවත් වේ ද එ් සමස්ත සාංසාරික ජීවිතය ද මේ භවයේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා වූ ශරීරයත් ගෞතම බුද්ධ ශාසනයට පූජා වේවා කියල අධිෂ්ඨාන කර ගන්න ඕන. මේ අදහස නිතර ම හිතේ තියෙන්න ඕන. කපාපු කෙස් වැවෙනවා වගේ නිතර නිතර සිහිපත් වෙන්නත් ඕන…”

‘‘එහෙමයි පින්වත් ගුරු දේවයන් වහන්ස. සමස්ත සාංසාරික ජීවිතයත් මේ භවයේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා වූ කයත් දිවියත් ගෞතම බුද්ධ ශාසනයට පූජා වේවා… පූජා වේවා… පූජා වේවා…”

තුන් වරක් ම ගුරු දේවයන් වහන්සේගේ පා මුල වැඳ වැටී මා දිවිය සසුනට කැප කළෙමි.

‘‘හොඳයි. පුතා ශ‍්‍රද්ධාවෙන් ම මේ අදහස් හිතේ තියාගන්න. යම් මොහොතක පැවිද්දට සූදානම් ද පුතාට ඇවිත් නවතින්න පුළුවන්… සුවපත් වේවා…!”

ගුරු දේවයන් වහන්සේට වන්දනා කළ මම උන්වහන්සේගෙන් සමුගෙන ආවාසයෙන් බැහැරට පැමිණියෙමි. මාගේ එක ම අරමුණ පැවිදි වීම නොව නිවන සාක්ෂාත් කිරීම යි. එ් අරමුණ වෙනුවෙන් ගිහි දිවියට වඩා පැවිදි දිවිය තුළ විශාල උපකාරයක් සහ පහසුවක් පවතින බව මම දුටුවෙමි. නමුත්, පැවිද්දා ද ගිහියෙකු මෙන් සංකීර්ණ වුවහොත්, කාමභෝගී වුවහොත් එ් පැවිද්ද ද සසර පිණිස ම පවතී. එබැවින් පින්වත් ගුරු දේවයන් වහන්සේගේ අනුශාසනා මැද බුදුරජාණන් වහන්සේ විසින් ම අනුමෝදන් වූ ගුණධර්මයන්ගෙන් පිරුණු පැවිදි දිවියක් සකසා ගත යුතු ව ඇත.

ජරා මරණයන්ගෙන් නිදහස් වීම පිණිස අප කෙතරම් නම් කැමැත්තෙන් සිටිය ද ලෝකයෙන් මිදී හුදෙකලා වීමට අප කෙතරම් නම් කැමැත්තෙන් සිටිය ද එ් සඳහා අපට ඇති ප‍්‍රධාන ම බාධකය නම්, ලෝකය විසින් අපට බැඳී සිටීම යි. එ් බන්ධනය, දරුවන්ට මාපියන්ගේ බන්ධනය සේ ද පෙම්වතාට පෙම්වතියගේ බන්ධනය සේ ද ස්වාමියාට භාර්යාවගේ බන්ධනය සේ ද විවිධාකාර වෙස් ගනී. එලෙස ම තම සතුරා සසරින් එතෙර වනු ඇතැයි බියෙන් සාංසාරික සතුරෝ ද අමනුෂ්‍යයන් ලෙස ලූහුබැඳ විත් මාර්ගය අවහිර කරවයි. සාංසාරික බන්ධන සහිත ව මිය ගොස් මතු භවයක නැවත හමු වීමට පොරොන්දු වී සිටි අය ද අමනුෂ්‍යයන් වී පැමිණ අප කෙරෙහි තණ්හාවෙන් සසරින් එතෙර වීමට නො දී විවිධ බාධා පමුණුවයි. එබැවින් අභ්‍යන්තර ප‍්‍රශ්න සේ ම බාහිර බලපෑම් ද නො අඩු ව මා කරා පැමිණෙනු ඇති බව මම හොඳාකාරව ම දැන සිටියෙමි.

සුත්ත නිපාතයේ ධනිය සූත‍්‍රයේ අවසානයේ දී ධනිය ගොපල්ලාට පැවිදි බව ලැබුමට කැමැත්ත ඉපදුණු සැණින් ම එ් කැමැත්ත නසාලීමට පවිටු බලවේගයක් හරස් වූ ආකාරය මා කියවා ඇත්තෙමි. එපරිද්දෙන් ම, මා දැන හඳුනාගත් ඇතැම් තරුණයන් ඇතැම් තරුණියන්, කෙසේ හෝ පැවිදි බවට පත් වන්නේ ය යන අදහසින් යුතු ව සිටිය දී ම විවාහ බන්ධන සකසාගෙන දරුවන් ද කරපින්නා ගෙන අතීත සසරට පුරුදු බෙර පදය ම වයමින් සිටිනු මම දැක ඇත්තෙමි. පැවිද්දා මෙන් ම, පැවිදි බවට කැමැත්තෙන් සිටින කෙනා ද බලවත් ව ප‍්‍රවේශම් විය යුත්තේ එබැවිනි.

සසර පෙනෙන තරම් සුන්දර නැත. ලැබෙන සැපයට වඩා කෝටි ප‍්‍රකෝටි ගණනක දුක් ගින්නක් එහි සැඟව පවතී. එමෙන් ම, සසරින් එතෙර වීම ද පෙනෙන තරම් සුන්දර නැත. නමුත් එතෙර වීම වෙනුවෙන් දරන්නට සිදුවන දුකට වඩා කෝටි ප‍්‍රකෝටි නො ව, ගණනින් කියා නිම කළ නො හැකි ශාන්ත ප‍්‍රණීත නිවනක් ඔහුට සාක්ෂාත් කළ හැකි ය.

ගණන් කළ නො හැකි තරම් කාලයක් කල්ප ගණනින් බුද්ධෝත්පාදයක් වෙනුවෙන් ප‍්‍රඥාවන්තයෝ මඟ බලා සිටිති. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවමාන යුගය අප හට මඟ හැරී ගියේ ගණන් කොට අවසන් කළ හැකි තරම් සුළු කාලයක් වන වසර දෙදහස් පන්සිය හැටකින් ය. ජීවමාන බුදුරජුන් නො සිටියත් එ් ශ‍්‍රී සද්ධර්මය ජීවමාන නිසා අප එ් තරම් ම අවාසනාවන්ත ද නැත. මිහිඳු මහරහතන් වහන්සේ ද ජීවමාන බුදුරදුන් නො දැක ජීවමාන ශ‍්‍රී සද්ධර්මයෙන් පිහිට පිළිසරණ සලසා ගත් මුනිවරයෙකි. එසේ නම්, අප ඉදිරියේ ඉතිරි ව ඇත්තේ අප‍්‍රමාදී ව කුසල් දහම් වැඞීම ම නො වේ ද!

විවිධාකාර මතිමතාන්තර තිබුණත්, මා හට සුජාත උපතක් ලබා දී හොඳින් සිප් සතර හදාරවා දිවි මඟ පහන් කරවූ මාපියන්ගේ අනුමැතියකින් තොර ව කසාවත දරාගත නො හැකි බව මම දැන සිටියෙමි. එබැවින්, අප‍්‍රමාදී ව මාපිය අවසරය ලබාගෙන මුනිවරුන්ගේ සෙවණ කරා පැමිණිය යුතු ව ඇත. සුපින්වත් ගුරුදේවයන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් මේ උතුම් දහමේ හික්මෙන්නේ කවදාදැයි සිත තුළ බුර බුරා නැගී එන විතර්කයකි. යම් දිනක මාපියන්ගේ අවසරය ලැබෙන තෙක් ම නිවසේ වාසය කරමින් කළ යුතු වැඩිය යුතු ගුණධර්ම වැඞීමට මම අදිටන් කර ගතිමි. මාපියන් මා කෙරෙහි ස්නේහවන්ත ය. මා හදිසි වුවහොත්, අනුවණ වුවහොත්, ඔවුන් මා කෙරෙහි උපන් තණ්හාවෙන් යුතු ව තම දරුවා අහිමි වේදෝ යන බියෙන් ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝයාටත් බැණ වැදී මහා පාපයක් රැුස්කර ගනු ඇත. එ් නිසා ඔවුන් කෙරෙහි ද කරුණාවෙන් මා ඉවසිය යුතු ය. යම් දිනක මාගේ අපේක්ෂාව වෙනුවෙන් අවසර ලැබේ ද එ් දිනයේ මාගේ අභිනිෂ්ක‍්‍රමණය වනු ඇත. නමුත් එ් දිනය දක්වා මාපියන් හා මුසුප්පු වී නො සිට, ඔවුන් කෙරෙහි ද කරුණාව මෛත‍්‍රිය උපදවාගෙන නිවසේ සිට ම ගුණධර්ම වඩන්නට හැකි තරම් ස්වාක්ඛාත ධර්මයක් මා හට මුණ ගැසී ඇත.

සියලූ ගිහි බැඳුම් හැරදමා සසුන් ගත වීමට පැමිණෙන දිනයේ දී මාළිගාවේ නිදා සිටියවුන් අවදි වේයැයි බියෙන් කුර මත අත් තබා නිහඬ ව ම කන්ථක අසු පිටින් බෝසතාණන් වහන්සේ හට අබිනික්මන් කිරීම වෙනුවෙන් උපකාර කිරීමට දෙවිවරුන් ඉදිරිපත් වුව ද බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය බලයෙන් සියලූ අධිෂ්ඨාන සම්පුර්ණ වුව ද අල්පමාත‍්‍ර පිනකින් යුක්ත අප හට එ් සියලූ අරමුණු වෙනුවෙන් බොහෝ වෙහෙස වීමට සිදු වනු ඇත. එ් උතුම් බලාපොරොත්තුව පෙරදැරි කරගෙන ? බෝ වීමත් සමඟ භාවනා අසපුවෙන් මම පිටව ගියෙමි. මෙය පිට ව යාමක් වුව ද සමුගැනීමක් වුව ද මේ සමුගැනීම තවත් උතුම් ආරම්භයකට හේතු සකස් කරනු ඇත. එ් උතුම් ආරම්භය වෙනුවෙන් අපේක්ෂාවේ දෑස් දල්වා මම මග බලා සිටින්නෙමි. ලද පින අවසන් නො වුව හොත්, කල්ප සියයක් තුළ පහළ වූ සත් බුදුරජාණන් වහන්සේලාගේ සත් වෙනි බුද්ධ මුනි වූ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙකු වශයෙන් දිවි ගෙවීමටත්, ගුණධර්ම වැඞීමටත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීමටත් මා හට වාසනාව උදාවනු ඇත.

ඇඟිල්ලෙන් පෙන් වූ

සඳ දෙස බලන්න.

ඇඟිල්ල දෙස නො බලන්න.

ඇඟිල්ල ගැන නො සොයන්න.

මේ ශ‍්‍රී සද්ධර්මය

ජීවමාන යි…!

එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2016 ඇසළ කලාපය

WWW.MAHAMEGHA.LK

මතක සටහන

ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.

SMS Only – 077 063 08 68

– කොටස් 24කින් ඔබ වෙත දිගහැරුණු ‘කසාවත’ නවකතාව මෙතෙකින් සමාප්තයි –

පුන්සඳ අබියස අනන්ත තරුනෙත්
යොදුන් සිය දහස් ගණනක් ගෙවාගෙන, සුන්දර කඳුහෙල් තැනිතලා අතරින් සහ ශුෂ්ක වාලූකා තලයන් සහ ගිරි හිස්වලින් ඇද වැටෙමින් ගලා යන ගංගා නම් නදිය සිය ගමන අවසන් කරමින් බෙංගාලයේ දී මහා සාගරය හා යා වේ. කෙතරම් ශුෂ්ක වුවත්, කෙතරම් කටුක වුවත්, දුරු කතරක් ඔස්සේ ගලා ගියත්, ගංගා නම් නදිය සෑම අතින් ම අපගේ ජීවිතවලට වඩා සුන්දර ය. වාසනාවන්ත ය. එනමුත්, අනන්ත සසර පුරාවට, කලාතුරකින් දෙව්ලොවත්, කලාතුරකින් මිනිසත් බවත් ලද අපේ දිවි ගමන සම්පුර්ණයෙන් ම වගේ ගලා ගියේ සා පිපාසාදියෙන් පිරීගිය පේ‍්‍රත ලෝකයත්, අසීමිත දුක්ඛස්කන්ධයකින් යුක්ත නිරයත්, බියත් තැතිගැනීමත් පාලනය කළ නො හැකි රාග ද්වේෂාදියෙන් ද පිරීගිය තිරිසන් ලෝකයත් හරහා ය.

මිනිස් ලොව ඉපදුණු අනන්ත අප‍්‍රමාණ වාර ගණන්වල දී, සමාජය පිළිගත් පියෙකු නො මැති උපතක් ලබා නින්දා අපහාස විඳි වාර ගණන මෙතෙකැයි කිව නො හැක. එවන් අතීතයක් හිමි අපි ම වත්මන් මිනිසෙකුට ‘අවජාතක’ යැයි පවසමින් කෙසේ නින්දා කරන්නෙමු ද?

මිනිස් ලොව ඉපදුණු අනන්ත අප‍්‍රමාණ වාර ගණන්වල දී, මන්දබුද්ධික උපතක් ලබා අපහාස උපහාසයන්ට ලක් වූ වාර ගණන මෙතෙකැයි කිව නො හැක. එවන් අතීතයක් හිමි අපි ම වත්මන් මිනිසෙකුට ‘පිස්සා’ යැයි පවසමින් කෙසේ නින්දා කරන්නෙමු ද?

මිනිස් ලොව ඉපදුණු අනන්ත අප‍්‍රමාණ වාර ගණන්වල දී, අපේ අකමැත්තෙන් ම අප ව මුදලට අනාචාරයේ යොදවා අසාධාරණ ලෙස නින්දා අපහාසයන්ට ලක් වූ වාර ගණන මෙතෙකැයි කිව නො හැක. එවන් අතීතයක් හිමි අපි ම වත්මන් ගැහැනියකට ‘ගණිකාව’ යැයි පවසමින් කෙසේ නින්දා කරන්නෙමු ද?

මිනිස් ලොව ඉපදුණු අනන්ත අප‍්‍රමාණ වාර ගණන්වල දී, දුෂ්ට ක්ෂණයක් ලෙස මිථ්‍යා දෘෂ්ටික ඇදහිල්ලකට ලක් වී විවිධ පීඩා හිරිහැරයන්ට ලක් වූ වාර ගණන මෙතෙකැයි කිව නො හැක. එවන් අතීතයක් හිමි අපි ම වත්මන් මිනිසෙකුට ‘මිථ්‍යා දෘෂ්ටිකයා’ යැයි පවසමින් කෙසේ නින්දා කරන්නෙමු ද?

මිනිස් ලොව ඉපදුණු අනන්ත අප‍්‍රමාණ වාර ගණන්වල දී, අපි අද අප දකින සෑම දුක්ඛිත චරිතයක් තුළ ම වාසය කොට ඇත්තෙමු. යම් නළුවෙක් සෑම භූමිකාවක් ම රඟපා ප‍්‍රවීණයෙකු වන්නේ යම් සේ ද, අප ද මෙම අනන්ත සසරේ ඉපදෙමින් සෑම තරාතිරමක ම මිනිසුන්ගේ සෑම භූමිකාවක් තුළ ම ජීවත් වී ඇත. නමුත්, තමා රඟපෑ චරිත සියල්ල සිහි කරමින් ප‍්‍රවීණත්වයට පත්වන නළුවකුට හාත්පසින් ම විරුද්ධ වූ, සියලූ චරිත අමතක කොට වත්මන් චරිතය තුළ රැඳෙමින් හීන මාන්නයට හෝ අධිමාන්නයට පත් වෙමින් සාංසාරික උම්මත්තකයින් සේ කටයුතු කරති. ‘‘සබ්බේ පුථජ්ජනා උම්මත්තකා” වශයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙතරම් සත්‍යයක් දැයි වැටහෙන්නේ මේ පෘථග්ජන භාවය කෙතරම් නම් උමතු දැයි තේරුම් යන විට යි.

වසරකට ආසන්න කාලයක් අසපු භූමිය ඉතා ම ගෞරවයෙන් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේ, නො සිතු නො පැතූ මොහොතක, මා ප‍්‍රිය මිත‍්‍ර අනන්ත තරුනෙත් ගිහි ජීවිතය හැර දමා පැවිදි දිවියට පත් වීමට තීරණය කළ නිසා ය. ඔහු අප කිසිවෙකුටත් නො කියා ම, භාවනා අසපුවේ නවාතැන් ගත්තෙන්, ඔහු බැලීමට යාමට මා තුළ බලවත් කැමැත්තක් ඉපදිණ. එබැවින් ම නිවැරදි ගමන් ම`ග සොයාගෙන භාවනා අසපුව වෙත පිටත් වූ මම ඊට පෙර කිසිදා නො දුටු පියකරු අසපු භූමිය වෙත ළඟා වීමි.

එදා සිට අද දක්වා ම, වදනින් කිව නොහැකි තරමේ ශාන්තියක් මාගේ ජීවිතයට අත්පත් වූයේ යම් පමණක් ද, එයින් කඳුළක් පමණක් මෙම සටහන් පොත දන්නේ ය. එමෙන් ම, මාත් මාගේ සටහන් පොතත් නො දන්නා තරම් ශාන්තියක් උදාකර ගත් මුනි හදවත් රාශියකින් යුක්ත සොඳුරු භූමියක තවත් රාත‍්‍රියක් ගෙවී ගොස් හිරු උදා වූයේ ය.

වෙනදාටත් වඩා උද්යෝගයෙන් අසපු භූමියේ කටයුතු සිදු වෙන්නට විය. බෞද්ධ ධජ පතාක සෑම අතකින් ම ඉහළට එසවෙන්නට විය. උදෑසන හීල දානයෙන් පසු දාන ශාලාවේ සිට පාත‍්‍ර ද අතැති ව සංඝාවාසයට වැඩම කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට පිටුපසින් සුදු පැහැති වලා රොදක් ඇදී යන්නා සේ, පැවිදි අපේක්ෂිත උපාසක පිරිස මනා කොට වසන ලද රෙදි කැබැල්ලකින් යුක්ත පාත‍්‍ර තැටිය ද අතින් දරාගෙන සන්සුන් ඉරියව්වෙන් ගමන් කරන්නට විය.

‘‘අහෝ… මොන තරම් නම් සොඳුරු දසුනක් ද…! සසරින් මිදෙන්නට මඟ කියන උතුම් සීලයත්, මහ රහතුන්ගේ අරහත් ධජයත් දරන්නට තවත් ඇත්තේ පැය කිහිපයකි. සසර පුරාවට ම අකුසල් කළ ගිහි දිවියත්, ගිහි වස්ත‍්‍රයත් අත් හරින්නට ඇත්තේ එවන් ම වූ හෝරා කිහිපයකි. අද සන්ධ්‍යාවේ ගෞතම බුද්ධ ශාසනයට පිවිසෙන සොඳුරු පින්බර හදවත් ඇත්තෝ සුවසේ ම පැවිදි දිවිය ගත කරත්වා…!! මාගේ කලණමිතුරු අනන්ත ද සුවසේ ම පැවිදි දිවිය ගත කරත්වා….!!!” දෑත් එකතු කරගෙන හදවතින් ම මම අනුමෝදන් වුණෙමි. සෙත් පැතුවෙමි.

‘‘කාමය කොයිතරම් නම් සුලභ ද බිනර. එ් අතින් බලද්දි පැවිද්ද. හිතාගන්න බැරි තරම් දුර්ලභයි. ඊටත් වඩා පිරිසිදු පැවිද්දක් ලැබීම අතිශයින් ම දුර්ලභයි…” හීල දානයෙන් පසු අනන්ත හමුවූ මා හට ඉතා සන්සුන් ස්වරයෙන් සහ ප‍්‍රීතිමත් සිතකින් යුතු සාරවත් වදන් පෙළක සංග‍්‍රහයක් ලැබිණ.

‘‘එ්ක ඇත්ත අනන්ත… අධි රූමත් ස්ත‍්‍රියක් සරණ පාවාගන්නට හෝ, කාමයේ යෙදෙන්නට කොයිතරම් නම් ක‍්‍රම තියෙනව ද? සමහර විට මුදල් ටිකක් සොයා ගත්ත නම්, එක රාත‍්‍රියකට රූ රැජිනක් වුණත් වෙන් කර ගන්න පුළුවන්. සුව පහසු යාන වාහන, කෑම බීම, ඇඳුම් පැලඳුම්, ගෙවල් දොරවල් කිසි දෙයක් දුර්ලභ නෑ. හොඳින් හෝ නරකින් මේ දේවල් ලබා ගන්න පුළුවන්. එ්ත් අද අනන්තට ලැබෙන මේ පැවිද්ද තරම් දුර්ලභ දෙයක් මම දකින්නෙ නෑ…”

‘‘ඊටත් වඩා දුර්ලභයි බිනර… ලැබුණ පිරිසිදු පැවිද්දට ගෞරවයෙන් යුතු ව වාසය කිරීම. එ් වගේ ම එ් පැවිද්ද ආරක්ෂා කරගෙන සීල සමාධි ප‍්‍රඥා වඩන පුද්ගලයා ඊටත් වඩා දුර්ලභයි…”

‘‘සාදු සාදු.. අනන්ත. එ් අති දුර්ලභ දේ පුරුදු පුහුණු කරන්න අනන්තට වාසනාව ලැබෙන්න ඕන…”

‘‘සාදු සාදු සාදු. එ්ත් බිනර… එ්ක පැතීමකින්වත්, අනුමෝදන් වීමකින්වත් සම්පුර්ණ වෙන්නෙ නෑ. එ් සඳහා ශ‍්‍රද්ධාවත්, සිහියත්, නුවණත්, වීර්යයත්, ප‍්‍රඥාවත් අඛණ්ඩව තියෙන්න ඕන. එතකොට තමයි සීලයත් සමාධියත් දියුණු වෙන්නේ…”

අනන්ත පැවසූ වදන්වලට සතුටු සිතින් එකඟ වූ මා හට, වෙනදා මෙන් ඔහු සමඟ කතා බහ කිරීමට කාලයක් නො වූ බැවින් ඔහුට සමු දී මම පිටව ගියෙමි. අනන්තගේ පැවිදි වීම පිළිබඳ කන වැකී ඔහුට සෙත් පැතීමටත්, අනුමෝදන් වීමටත් ඔහුගේ ඥාතීන් විශාල ප‍්‍රමාණයක් පැමිණ සිටියෙන් ඔහු ඔවුන් සමඟින් දහම් පිළිසඳරේ යෙදෙන්නට විය. එ් අතරේ මම අද දින පැවිද්ද අපේක්ෂාවෙන් සිටින උපාසක දරුවන්ගේ චර්යාවන් නරඹමින් මා නො ලද ඔවුන් ලද වාසනාව පිළිබඳ සිතමින් ‘මුදිතා මනසිකාරයේ’ යෙදෙන්නට වීමි.

එක් පැවිදි අපේක්ෂක උපාසකයෙක්, උපාධිධාරී රාජ්‍ය සේවකයෙකි. තවත් අයෙක් අසපුවේ රියදුරු රැුකියාවේ නිරත ව සැදැහැ සිත් උපදවා ගත්තෙකි. තවත් අයෙක් විවාහ වී සිට බිරිය ද සමඟින් පැවිදි වීමට පැමිණි අයෙකි. තවත් අයෙක් ඉතා කුඩා වයසේ පසු වූ ශිෂ්‍යයෙකි. එ් අතර තවත් එක් අයෙක් විහාරස්ථානයක පැවිදි ව සිට, ආරණ්‍ය පිළිවෙත කෙරෙහි පැහැදී අලූතෙන් ම පැවිදි වීමට පැමිණි පින්වතෙකි. මෙසේ නොයෙක් පළාත්වලින් පැමිණි පින්වතුන් දා හතර දෙනෙක් අද සන්ධ්‍යාවේ පැවිදි වීමට නියමිත ව සිටිති.

මේ මා දකින පළමු පැවිදි කරවීමේ පින්කම යි. ඇතැම් විට සංසාරයට ම මා දකින පළමු පැවිදි කරවීමේ පින්කම ද මෙය විය හැකි ය. එ් නිසා ම ඉහවහා ගිය නිරාමිස ප‍්‍රීතියකින් එහි සිරිය විඳගත් මම හිතේ හැටියට පින්වත් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය උපකාර ද කළෙමි. මා සංඝාවාසය අසල ම සිටි නිසා, එක් ස්වාමීන් වහන්සේනමක් පැමිණ, පැවිද්ද ලබා දෙන උපාධ්‍යායන් වහන්සේගේ ආසනය ධර්ම ශාලාවට රැුගෙන යාමට හැකි දැයි මා වෙතින් විමසුවේ ය. ලද අවස්ථාවේ ඵල උපරිමයෙන් ම නෙළා ගනිමින්, උපාධ්‍යායන් වහන්සේගේ ආසනය තනිව ම කරට ගත් මම ‘සිය දහස් ගණනක් පින්වතුන්ට පිරිසිදු පැවිද්ද ලබා දෙන පිරිසිදු මහා සංඝ රත්නයට කාය පූජාවක් කර ගත්තා’ යැයි සිතමින් එක හුස්මට ධර්ම ශාලාව කරා එය රැුගෙන ගියෙමි. එහි දී ද විවිධ කටයුතු රාශියකට සහභාගි වූ මම මඳ විවේකයකට පසෙක වූ සිමෙන්ති පඩියක් මත හිඳගත්තෙමි. වැඩි වෙලාවක් යාමට මත්තෙන් මා වෙත සිසිල් බීම කෝප්පයක් ද රැගෙන තරුණියක් පැමිණියා ය.

‘‘ආ අයියේ… දොඩම් ටිකක්…”

‘‘ගොඩක් පින්…” ඇයට පින් දුන් මම ඉවත බලාගෙන එය බීමට සැරසුණෙමි. නමුත් ඇය තවදුරටත් දොඩමළු වූවා ය.

‘‘අයියා කොහෙද? මම දැක්ක සෑහෙන්න මහන්සි වෙනවා. අයියගෙ මල්ලි කෙනෙක් මහණ වෙනව ද? අයිය නං හැබැයි ටිකක් දුර පළාතක වෙන්න ඕන…”

‘‘නංගි රහත් වෙලා දවස් කීය ද?” ඇගේ පැනයට පිළිතුරු නො දුන් මම ඇය නො සිතු විරු පැනයක් ම නැගීමි.

‘‘මොකද්ද අනේ. මං රහත් නෑ… මොනව කියනව ද මන්දා..”

‘‘නංගි රහත් වෙලා නැත්තං… නංගි සෝතාපන්නවත් ඇති නේ ද?”

‘‘පිස්සුද හලෝ…? මම මේ තාම ට‍්‍රයි කරනවා එතනට එන්න…”

‘‘එහෙනං නංගිත් තාම මාර්ගය හොයනවා… මමත් තාම මාර්ගයට වැටුණෙ නෑ. අතරමං වුණ කෙනෙක්ගෙන් ආ ගිය තොරතුරු ඇහුවට නංගිට වැඩකුත් නෑ… තොරතුරු කියන මට වැඩකුත් නෑ. පුක්කුසාති තාපසතුමාට බුදුරජාණන් වහන්සේ හමු වුණා වගේ සංවාදයෙන් ම නිවනට සමීප වෙන්නත් බෑ. මම දන්නව නංගි ආවෙ පින් කර ගන්න. එ් නිසා කල්‍යාණමිත‍්‍ර ශ‍්‍රී සද්ධර්මය ම සිහි කරගෙන වචනයෙනුත් කයෙනුත් එ් දේ පුරුදු කර ගන්න. සංසාරයේ සැරිසරන සත්වයෝ අඳුරගන්න යන්න එපා. සසරින් එතෙර වුණ උතුමන් ව හඳුනගන්න. එ් තමයි රහතන් වහන්සේලා…”

‘‘හ්ම්ම්ම්ම්…”

‘‘දොඩම් බීම එකට බොහෝ පින්…” ඉතා ඉක්මනින් බීම කෝප්පය හිස් කළ මම ඇගේ අතට හිස් කෝප්පය දී නැගී සිටියෙමි.

‘‘අයියට මම දුන්නෙ පුරවපු දොඩම් බීම කෝප්පයක්. අයිය මට ආපහු දුන්නෙ අමෘතය පුරවපු කෝප්පයක්. ගොඩක් පින් අයියෙ මගෙ සිහිය ඉපැද්දුවට. පාඩුවේ වත් පිළිවෙත් කරනව දැක්ක ම මට කතා කරන්න හිතුණා. එ්ත් එ්ක කොයි තරම් භයානක දෙයක් ද කියල මට දැන් තේරෙනවා. අයියා සංසාරයට ම නැවත මුණ නො ගැහේවා කියල මම පතනවා. මම සංසාරෙ ගමන් කළොත් මට මුනිවරුන් ම මුණ ගැහෙන්න ඕන. තෙරුවන් සරණයි අයියේ. මම යනවා…”

‘‘නමෝ බුද්ධාය…!” මම බුදුරජාණන් වහන්සේට නමස්කාර කළෙමි.

රැකවරණයත්, උගුලත් ඇත්තේ එක ම භූමියේ බව අප තේරුම් ගත යුතු ය. අපගේ සෑම අඩු ලූහුඬුකමක් ම නැති කොට අප සම්පුර්ණ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය යි. එවන් ධර්මයක් සොයා ආ අප එවන් තැනක දී ධර්මය ම කතා කළ යුතු ය. එකිනෙකාගේ පුද්ගලික ප‍්‍රශ්න කතා බහ කිරීමට යාමේ දී අප නො පැතූ අගාධයකට ඇද වැටීමට ඉඩ තිබේ. ගෞතම බුදු සසුනේ පිළිසරණ සොයා පැමිණි බොහෝ දෙනෙකු පෙර සසරේ මෙන් නැවත නැවතත් කාමය නම් වූ ගොහොරු මඩ වළට වැටුණු අවස්ථා මම බොහෝ අසා ඇත්තෙමි. එ් සියල්ලට ම හේතුව දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් හමු වූ විට ඔවුනොවුන් අතර දස කතාව සිදු නොවීම යි. යටත් පිරිසෙයින් එක් අයෙකු වත් සිහියෙන් නො සිටියහොත් සාංසාරිකව පුරුදු ඉඟි බිඟි පෙරට පැමිණ අප ව සුපුරුදු මඩ ගොහොරුවට ම ඇද දමයි. මා අද සිහියෙන් නුවණින් නො සිටියා නම්, එය මටත් මා කෙරෙහි ප‍්‍රිය භාවයෙන් පැමිණි ඇයටත් විපතක් වනු ඇත.

අප විසින් ඉතා හොඳින් සිහියේ තබා ගත යුතු කරුණක් පින්වත් ස්වාමීන් වහන්සේගේ සටහන් පොතේ ඉහළ ම දාරයක ලියා තිබුණා මා හට මතක ය.

‘‘සීලයත් සමාධියත් ප‍්‍රඥාවත් වීර්යයෙන් යුතු ව වඩන්නට යැයි පැවසූ විට ‘මා සිද්ධාර්ථයන් නො වේ, සාමාන්‍ය මිනිසෙකි’ යැයි පවසමින් උකටලී වේ. නමුත් පුණ්‍යවන්ත තරුණ ස්ත‍්‍රියක් දුටු විට තමා සිද්ධාර්ථ බවට පත් වී ඇය ව බලෙන් ම යසෝදරා බවට පත් කර ගනී. නමුත් සත්‍යය නම්, ඇය පටාචාරාවකි. මම මට්ටකුණ්ඩලී ය. පටාචාරාවට ද දෙව්රම් වෙහෙරට යාමට ඉඩ දී, හාමතෙන් මිය යාමට පෙර මා ද තෙරුවන් සරණ යා යුතු ය. මාගේ එක ම රැකවරණය එයයි…”

ගලක කෙටුවාටත් වඩා ස්ථිර ලෙස මේ වදන් පෙළ මා සිතේ සටහන් වූ බැවින්, කෙතරම් පින්වන්තියන් වුව ද මම නිවන සොයා යන්නියන් වෙත ළං නො වීමි. එසේ තිබිය දී සසර සොයා යන්නියන්ට කෙසේ ළං වෙම් ද! එම මනසිකාරය විසින් ම මාගේ සිත අද ආරක්ෂා කළේ ය.

කාලය වේගයෙන් ගෙවී යද්දී, රැස් ව සිටි පිරිස තිසරණ සහිත පංච සීලයේ සමාදන් කරවූ පින්වත් ගුරු දේවයන් වහන්සේ විසින් සඟ ගුණ කවි සජ්ඣායනා කොට රැුස් ව සිටි පිරිසට දහම් කරුණුවලින් අනුශාසනාවක් පවත්වන්නට විය. නිහතමානීකමත්, කීකරුකමත්, ගුරු ගෞරවයත් පැවිදි දිවියක් ආරක්ෂා කරන ආකාරයත්, එ් සියල්ලෙන් බැහැර වූ පසු පැවිදි දිවිය තුළ පිරිහී ගිය අයෙකු බිහි වන බවත් උන්වහන්සේ ඉතා ම සුන්දර ලෙස පහදා දෙන්නට විය. පැවිදි බව යනු ප‍්‍රභූ ජීවිතයක් ලැබීමක් නොවන බවත්, තිබුණාටත් වඩා නිහතමානීකම ඇති කරගත යුතු තත්ත්වයක් බවත්, ගුණ ධර්මවලින් පිරිපුන් පිනෙන් පිරී ගිය දිවියක් බවත් කරුණු වශයෙන් උන්වහන්සේ පෙන්වා දුන්හ.

සුන්දර අනුශාසනාව අවසන් වූ පසු, උපාධ්‍යායන් වහන්සේ පෙරටු කර ගත් ගරුතර මහා සංඝරත්නය ධර්ම ශාලාව වෙත වැඩම කළ අතර, ඉතා ම සන්සුන් ව පෙළට වඩින ස්වාමීන් වහන්සේලාගේ දසුන නෙතට රසඳුනක් වැනි ය. ගිහි අපි සෑම සියලූ දෙනාම සඟ ගුණ සජ්ඣායනා කරමින් මහා සංඝරත්නය සාදරයෙන් ගෞරවයෙන් පිළිගත්තෙමු.

මහා සංඝරත්නය අසුන් ගැනීමෙන් පසු ගත වූ මඳ වේලාව තුළ නිවේදන කිහිපයක් ද සිදු විය. ඉන් අනතුරු ව, පාත‍්‍රා සහ චීවර අතැති ව පැවිදි අපේක්ෂක උපාසක දරුවන් පෙළට ධර්ම ශාලාව වෙත පැමිණියෝ ය. එ් අතර සිටි අනන්ත දෙස බලා මහත් වූ ප‍්‍රීතියෙන් මම ද අනුමෝදන් වුයෙමි. අද දින පැවිදි අපේක්ෂක දරුවන්ගේ මාපියන් ධර්ම ශාලාවට පැමිණ සියලූ දෙනාට ඉදිරියෙන් සිටි අතර පැවිදි අපේක්ෂක දරුවන් මහා සංඝරත්නය ඉදිරියේ පිළිවෙළින් අසුන්ගත් පසු ගිහි අපි සැම ද අසුන් ගත්තෙමු.

ඉන් අනතුරු ව උදා වූයේ වැඩමවා වදාළ උපාධ්‍යායන් වහන්සේට වන්දනා මාන කිරීම ය. පින්වත් ස්වාමීන් වහන්සේලා ද සමඟින් අපි සැම මූලාසනයේ වැඩ සිටි උපාධ්‍යායන් වහන්සේට වන්දනා කළෙමු. උන්වහන්සේ අප සැමට ආශීර්වාද කළහ. ඉන් අනතුරු ව සුළු අනුශාසනාවකින් පසු ගුරු දේවයන් වහන්සේ විසින් පින්කමේ කටයුතු ආරම්භ කරන ලදී.

මුලින් ම සිදු වූයේ, පැවිදි වීමට නියමිත උපාසක දරුවන් විසින් මහා සංඝරත්නය වෙතින් පැවිද්ද ඉල්ලීම යි. පැවිදි අපේක්ෂක දරුවන් සිවුරු කට්ටලය දෑතේ රඳවාගෙන එකට ම පැවිද්ද ඉල්ලන වාක්‍යය සජ්ඣායනා කරමින් පැවිද්ද ඉල්ලන්නට විය.

‘‘ඕකාස අහං භන්තේ. පබ්බජ්ජං යාචාමි. දුතියම්පි අහං භන්තේ. පබ්බජ්ජං යාචාමි. තතියම්පි අහං භන්තේ. පබ්බජ්ජං යාචාමි.” – ”අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. මම පැවිදි බව ඉල්ලා සිටිමි. දෙවනුව ද…. තෙවනුව ද පින්වත් ස්වාමීන් වහන්ස, මම පැවිදි බව ඉල්ලා සිටිමි…”

‘‘සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්චිකරණත්තාය, ඉමං කාසාවං ගහෙත්වා, පබ්බාජේථ මං භන්තේ. අනුකම්පං උපාදාය…” මුළු මහත් ශාලාව ම නිහඬ ව සිටි බැවින් එ්ක නින්නාද කරමින් සසරේ අසන්නට ලැබෙන අති දුර්ලභ යාචනාවක්, නැතහොත් ආර්ය වූ ඉල්ලීමක් අපගේ සවන් පත් පුරවාගෙන පැතිර යන්නට විය. ”සියලූ දුකින් නිදහස් ව නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස, මේ සිවුරු පිළිගෙන, පින්වත් ස්වාමීන් වහන්ස අනුකම්පාව උපදවා මා පැවිදි කරවන සේක්වා….” යැයි එසේ තුන් වරක් පැවසීමෙන් පසු, එක් එක් දරුවා උපාධ්‍යායන් වහන්සේ වෙත ගොස් චීවර පිළිගැන්වූහ.

ඉන් අනතුරු ව දොහොත් මුදුන් දී උපාධ්‍යායන් වහන්සේට වන්දනා කොට, සංඝයාට ලබා දුන් සිවුරු තමා වෙත ලබා දී පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියෝ ය. ඉන් අදහස් වන්නේ පැවිදි වන උපාසක පිරිස පළමු ව සිවුරු සංඝයාට පිරිනමා ඉන්පසු සංඝයාගේ අවසරයෙන් සිවුරු ලබා ගෙන පැවිදි විය යුතු බව යැයි මා හට සිතුණි. එ් තරම් ගෞරවනීය වටිනාකමක් කසාවතට පවතින බව දැනෙන විට බලවත් සතුටක් සිත තුළ ජනිත වන්නේ ය.

‘‘සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්ýකරණත්ථාය, ඉමං කාසාවං දත්වා, පබ්බාජේථ මං භන්තේ. අනුකම්පං උපාදාය…” – ‘‘සියලූ දුකින් නිදහස් ව නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස, මේ සිවුරු ලබා දී, පින්වත් ස්වාමීන් වහන්ස අනුකම්පාව උපදවා මා පැවිදි කරවන සේක්වා…!”

පැවිදි වීමට නියමිත උපාසක පිරිස අතරින් පැවිදි වීමට පැමිණි අනුපිළිවෙළ ජ්‍යෙෂ්ඨත්වය තීරණය කළ අතර, ඊට අනුරූප ව පැවිදි කරවීම ද සිදු වනු ඇත. එ් අනුව අනුපිළිවෙළට දරුවන්ගේ නම් පැවසූ පසු එම දරුවන් උපාධ්‍යායන් වහන්සේගේ සමීපයට ගොස් වන්දනා කොට දණිස් දෙක මත හිඳ ගත් අතර, හොඳින් නමා සකස් කරන ලද තමාගේ සිවුරු කට්ටලය අසල සිටි වෙනත් ස්වාමීන් වහන්සේනමක් විසින් උපාසකයාගේ අතෙහි තැබී ය. ඉන් පසුව සිවුරු පටිය ගලවා ගත් උපාධ්‍යායන් වහන්සේ එහි එක් කොණක් තුන් සිවුරේ බැඳී පැවතිය දී අනෙක් කොණ උපාසකයාගේ ගෙල වටා දමා සිවුරු පටිය ගැට ගසමින්, තච පංචක ප‍්‍රත්‍යවේක්ෂාව සිහිපත් කරවූයේ ය. අනුලෝම වශයෙන් මෙන් ම ප‍්‍රතිලෝම වශයෙන් ද සිහිපත් කරවූයේ ය. තෙවරක් ම සිහිපත් කරවූයේ ය. මේ වන විටත් කෙස් රැුවුල් කපා සිටි උපාසක දරුවා ද උපාධ්‍යායන් වහන්සේ අනුව යමින් තච පංචකය අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් තෙවරක් සජ්ඣායනා කළේ ය.

‘‘කේසා… ලෝමා… නඛා… දන්තා… තචෝ… තචෝ… දන්තා… නඛා…. ලෝමා… කේසා….” – ‘‘කෙස්…. ලොම්…. නිය…. දත්…. සම…. සම…. දත්…. නිය…. ලොම්… කෙස්…”

තච පංචකය සජ්ඣායනා කරවීමෙන් පසු, උපාසක දරුවාගේ ශරීරයට සම්බන්ධ කළ කසාවත ප‍්‍රත්‍යවේක්ෂා කරන මෙන් උපාධ්‍යායන් වහන්සේ සිහිපත් කරවූයේ ය. එ් අනුව යමින් අද පටන් මිය යන තුරු ම තම සිරුරේ දරා සිටින්නා වූ කසාවත නම් වූ වස්ත‍්‍රය අරමුණු කරගෙන ගාථාවක් සජ්ඣායනා කරමින් උපාසක දරුවා ප‍්‍රත්‍යවේක්ෂා කළේ ය.

‘‘පටිසංඛායෝනිසෝ චීවරං පටිසේවාමි. යාවදේව සීතස්ස පටිඝාතාය. උණ්හස්ස පටිඝාතාය. ඩංස මකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය. යාවදේව හිරිකෝපීන පටිච්ඡාදනත්ථං..” – ”නුවණින් සලකාගෙන කසාවත පරිහරණය කරන්නෙමි. එ්, ශීතල දුරු කිරීම, උෂ්ණය දුරුකිරීම, සපාකන මැසි, විද ලේ බොන මදුරු, සුළං සහ හිරුරැුස් ආදියෙන් දැනෙන පහසෙන් ආරක්ෂා වීම මෙන් ම, ලජ්ජා ස්ථාන වසාගැනීම ආදි අර්ථයන් පිණිස ය.”

මෙලෙස ප‍්‍රත්‍යවේක්ෂා කිරීමෙන් පසු, කය හා බන්ධනය කරන ලද කසාවත ද සහිත ව උපාසක දරුවා ව පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් වෙනත් ශාලාවකට රැගෙන යන ලදී. එ් අද දවසේ ලැබුණු කසාවත පෙරවීම උදෙසා ය. මේ ආකාරයෙන් සියලූ පින්වත් දරුවන්ගේ කය වෙත අනුපිළිවෙළින් කසාවත බන්ධනය කරනු ලැබුවේ ය.

ඉන් අනතුරු ව, එම දරුවන් නැවත ශාලාවට පැමිණෙන තුරු උපාධ්‍යායන් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් පවත්වන ලදී. එ් අතර කසාවත දරන පැවිදි උතුමෙකු බවට පත් වීම පිළිබඳ වැදගත් කරුණු රැසක් විය.

‘‘පැවිදි බව ලැබීම සඳහා මාපිය අනුමැතියක් අවශ්‍ය යි. මාපිය අනුමැතියකින් තොර ව අපි පැවිදි කිරීමට දරුවන් භාරගන්නේ නෑ. එ් වගේ ම එ් දරුවාගේ වයස නුවණැති ව පැවිද්ද තෝරාගැනීමට තරම් සුදුසුයි කියල සංඝයා තීරණය කරන්නත් ඕන. නමුත්, භික්ෂුවකට සමාජයෙන් පැමිණිය හැකි කරදරවලින් ආරක්ෂා කරවීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් ගොළුවන්, බිහිරන්, අත්පා කොර වූ අය, ඇස් අන්ධ වූ අය, ප‍්‍රමාණයට වඩා මිටි කුරු අය, බරවා පාද ඇති, කුෂ්ට දද ආදි රෝගයන්ගෙන් පෙළෙන අයට පැවිදි විය නො හැකි බව විනය පිටකයේ දේශනා කරල තියෙනවා. එ් වගේ ම රජතුමාගේ අවසරයෙන් තොර ව පැවිදි වෙන්න එන රාජ භටයන්, සිරගෙදරින් පැන ගිය අය, නීත්‍යානුකූල ව නිර්දෝෂී නො වූ අය, විවිධ වැරදි නිසා අධිකරණයේ නම ලියැවී ඇති අය, වගේ ම හොරු, ණය නො ගෙවා පැමිණෙන අයටත් පැවිදි වෙන්න අවසරයක් නෑ. එ් වගේ ම බොහෝ මිනිසුන්ගේ මැද ප‍්‍රසිද්ධ කොට වරදකට කසපහර ලැබූවන් ද පැවිදි කිරීමට සංඝයාට අවසරයක් නෑ. එ් විදියට බුදුරජාණන් වහන්සේ පනවා තිබෙන්නේ නොයෙක් අදහස් නිසා ශාසනය කිලිටි කරන්නට බාහිරින් පැමිණෙන පළිබෝධ නවත්වන්න යි. එ් අය අතරේ ශ‍්‍රද්ධාවන්තයන් සිටින්න පුළුවන්. ඉතින් එබඳු අයට ධර්මය අවබෝධ කිරීම පිණිස සංඝයාගේ උපකාරය ලබාගන්න තහනමක් නෑ.

පැවිදි කිරීම සඳහා නොයෙක් චාරිත‍්‍ර පවතිනවා. පැවිදි කිරීමෙහි චාරිත‍්‍ර විදියට ඇතැම් ස්ථානවල පැවිද්ද අපේක්ෂා කරන දරුවා රජකුමරෙකු සේ රාජාභරණවලින් සරසා පැවිදි කරනු ලබන විහාරස්ථානයට කැඳවාගෙන යනවා. සිදුහත් කුමරුගේ මහාභිනික්මන සිහිගැන්වීමත් මෙම චාරිත‍්‍රයෙන් නිරූපණය වෙන බවයි අපි අහල තියෙන්නේ.

ඊට පස්සේ එ් විහාරයෙහි සිටින භික්ෂූන් වහන්සේලාට මේ දරුවා ව ඉදිරිපත් කළාට පස්සේ හිස මුඩු කිරීම හෙවත් පණ්ඩුකර්මය කරන්න මහා සංඝයා වෙතින් ඉල්ලීමක් කරනවා. දරුවාගේ හිසින් කපන මුල් ම කෙස් රොද අතට දීලා තච පංචක භාවනා කර්මස්ථානය කියවීම සිරිත යිි. එනම් කෙස්, ලොම්, නිය, දත්, සම කියන්නේ එ් තච පංචකය යි. දැන් මේ අසපු භූමියේ නේවාසිකව මාස දහයක් දොළහක් රැුඳී සිටින දරුවෙකු තමයි සංඝයා විසින් පැවිද්දට සුදුසු බව තෝරගත්තට පස්සේ පැවිදි කරවන්නේ. එ් අතරේ ගිහි ස්වභාවයෙන් කල් ඇතු ව ම වෙන් වූ නිසා කෙස් රැුවුල් කපා වාසය කරන නිසා තච පංචක භාවනාව චාරිත‍්‍රයක් විදියට සිවුරු පටිය බෙල්ලේ බඳින වෙලාවේ සිහිපත් කරවනවා. ඊට පස්සේ දරුවා තමන්ට ලැබුණු සිවුරු ප‍්‍රත්‍යවේක්ෂාවක් සිදු කරනවා. මේ සියලූ දේ ම කරන්නේ උපාසකයා විසින් විනයානුකූල වාක්‍යය සජ්ඣායනා කරල පැවිද්ද ඉල්ලා සිටියට පස්සෙයි. කිසි ම කෙනෙක් ව මව්පියන්ගෙන් බලහත්කාරයෙන් උදුරගෙන පැවිදි කරන්න ඉඩක් නැති වෙන විදියටයි මේ හැම දේ ම හැදිල තියෙන්නේ. එ් නිසා සිවුරු පටිය බෙල්ලේ ගැටගසා ගත්ත දරුවා තම කැමැත්තෙන් ම පැවිද්ද ලබාගත්ත කෙනෙක්…”

උපාධ්‍යායන් වහන්සේගේ අනුශාසනාවෙන් පසු රැුස්ව සිටි පිරිස සඟ ගුණ සජ්ඣායනා කරන අතරේ ගිහි වස්ත‍්‍ර හැරදමා කසාවත් දරාගත් පින්වත් පිරිස සන්සුන් ගමනින් ශාලාව වෙත වැඩම කරන ලදී. එ් අතරේ මා නෙත් සෙවූ දසුන කුමක් දැයි ඔබ ද හොඳාකාරව ම දනී. එ් වෙන කිසිවෙකු නො ව, මා ප‍්‍රිය මිත‍්‍ර ‘අනන්ත තරුනෙත්’ ය. අනන්ත තරුනෙත් යන නම, මේ පින්වතා වෙත භාවිතා වන අවසන් දිනය අද බව මම දනිමි. එ් නිසා ම ඉතා ගෞරවයෙන් එ් නම සටහන් කළෙමි.

වියළි දෙනෙතින් එ් දසුන දැකගත නො හැකි විය. මාගේ දෙනෙත් කඳුළින් පිරී ගියේ පාලනය කළ නො හැකි සතුටක් ඉහ වහා ගිය බැවිනි. වැඩම කරනා කසාවත් දරන්නන් අතරේ සන්සුන් ගමනින් වඩින කසාවත දැරූ මා ප‍්‍රිය මිත‍්‍රයා දකින විට… මාගේ ස්වරයට ද පාලනයක් නැති විය.

‘‘සා…දු…! සා….දු….!! සා…දු…!!! තෙරුවන් සරණින් කරදරයක් නැති ව මේ පැවිදි දිවිය ගත කරන්න මගේ මිත‍්‍රයාට වාසනාව ලැබේවා….!!!” මහ හඬින් මම කෑ ගැසුවෙමි. නමුත්, දහස් ගණනකගේ සජ්ඣායනා හඬ මැද මාගේ හඬ මහ සයුරට වැටුනු වැසි බිඳක් මෙන් ය. මා හට එ් කිසිත් වැදගත් නො වුණි. හිතේ හැටියට එ් පින්වතාටත්, අද දවසේ කසාවත් දැරූ සියලූ පින්වතුන්ටත් මම සෙත් පැතුවෙමි.

සඟ ගුණ මධ්‍යයේ මහා සංඝයා අසලට පැමිණි කසාවත් දැරූ පින්වත් පිරිස මහා සංඝයාට වන්දනා කොට දෙදණ මත හිඳ ගනිමින් පැවිදි දස සීලය ඉල්ලා සිටියෝ ය. මහා සංඝයා වෙනුවෙන් උපාධ්‍යායන් වහන්සේ විසින් පැවිදි දස සීලය සමාදන් කරවූ පසු එම පිරිසට සාමණේර පැවිදි බව ලැබෙන්නේ ය.

‘‘ ඕකාස, අහං භන්තේ, තිසරණේන සද්ධිං. පබ්බජ්ජා දසසීලං ධම්මං යාචාමී. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. අනුකම්පං උපාදාය..” – ‘‘අවසරයි, පින්වත් ස්වාමීන් වහන්ස… මම, තිසරණ සහිත වූ පැවිදි දස සීලය ඉල්ලා සිටිමි. මා කෙරෙහි අනුග‍්‍රහ කොට සීලය ලබා දෙනු මැනව. අනුකම්පා කරනු මැනව…” යනා දී වශයෙන් ගාථාවන්ගෙන් තෙවරක් ම පැවිදි දස සීලය ඉල්ලා සිටියෝ ය.

ඉන් පසු ව ඉතා ම සන්සුන් ව, අනුපිළිවෙළින් පැවිදි දස සීලයේ සමාදන් කරවූ උපාධ්‍යායන් වහන්සේ සියලූ පැවිදි අපේක්ෂක පිරිස ‘සාමණේර භික්ෂු’ භාවයේ පිහිටුවා පැවිද්ද ලබා දෙන ලදී. ඉන් අනතුරු ව උදා වූයේ ගුරු දේවයන් වහන්සේ විසින් එම දරුවන්ගේ පැරණි නම් ඉවත් කොට ගැළපෙන පරිදි සුදුසු නාමයන් තැබීම යි. නාමයන් තැබීමේ දී මා ප‍්‍රිය මිත‍්‍රයාට ද ඉතා ම සොඳුරු නමක් ලැබුණේ ය. මම එය හදවතේ ම සටහන් කර ගත්තෙමි.

ඉන් පසු ව උදා වූයේ ගුරු දේවයන් වහන්සේගේ කෙටි අනුශාසනාව යි. එහි දී උන්වහන්සේ විශේෂයෙන් ම නවක පැවිදි ස්වාමීන් වහන්සේලාට වැදගත් අවවාද අනුශාසනා කිහිපයක් ම සිදු කරන ලදී.

‘‘කසාවත දරාගත්තා කියන්නේ සියල්ල ජයගත්තා නෙවෙයි. කසාවත දරාගැනීමෙන් පස්සේ තමා වඩාත් නිහතමානී වෙන්න ඕන. ගුරුවරුන්ට කීකරු වෙන්න ඕන. අත්දැකීම් අඩු කෙනෙක් සියල්ල දත් වගේ කටයුතු කරන්න ගියා ම විනාශ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන ගුණධර්ම ඉගෙන ගෙන එ්වා පුරුදු කරන්න ඕන.

අද මේ සියලූ දෙනාට ම සාමණේර දස සීලය ලැබුණා. මේ සාමණේර දස සීලය සමාදන් වූ මේ ස්වාමීන් වහන්සේලා සිල් පද දහයක් ආරක්ෂා කරනවා. එ් තමයි, ප‍්‍රාණඝාතයෙන් වැළකීම. සොරකමින් වැළකීම. අබ‍්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම. බොරු කීමෙන් වැළකීම. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකීම. මධ්‍යාහ්නයෙන් පස්සේ ආහාර වැළඳීමෙන් වැළකීම, නැටුම් ගැයුම් වාදන සහ විකාර දර්ශන නැරඹීමෙන් වැළකීම, මල්මාලා සුවඳ විලවුන් දැරීමෙන් වැළකීම, උසස් ආසන සහ මහා ආසන පරිහරණයෙන් වැළකීම සහ රන් රිදී පරිහරණයෙන් මිල මුදල් පරිහරණයෙන් වැළකීම කියන ශික්ෂාපද දහය. මේ ශික්ෂාපද සියල්ල හොඳින් ආරක්ෂා කරන්න ඕන.

චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි අපේ අරමුණ. එ් වෙනුවෙන් සංඝයාගේ ඇසුරේ ඉඳගෙන බොහෝ පින්කර ගන්න පුළුවන්. කුසල් වඩන්න පුළුවන්. පැවිද්දෙන් පරණ වෙද්දී මාන්නයෙන් වැඩෙන්නවත්, ලාභ සත්කාරයෙන් මත් වෙන්නවත් නෙවෙයි ගුණධර්මයෙන් වැඩෙන්නත් අතහැරීමෙන් සතුටු වෙන්නත් ලැබුණ ජීවිතයක් මේ මහණකම.

කසාවතක් දරාගෙන අපිට උපදින්න බෑ. අපි හැමෝම උපදින්නේ ගිහි දිවියක. එ්ත්, ශ‍්‍රද්ධාවන්ත දරුවන්ට බුද්ධ ශාසනයක් තියෙන යුගයක කසාවත දරන්න වාසනාවක් තියෙනවා. එ් නිසා ගුණධර්මවලින් පිරුණු පැවිද්දෙක් විදියට කසාවතක් දරාගෙන පින් කුසල් රැුස් කරගෙන පිරිසිදු කසාවතක් පිටින් ජීවිතේ අවසන් කරන්න අවස්ථාවක් ලැබිල තියෙනවා. ඉතින් අද ඉඳල පටන් ගත්ත මේ ජීවිතේ, තමා දරන කසාවතට අනුව යි ගත කරන්න ඕන අලූත පැවිදි වුණ කෙනෙක් වගේ නිහතමානී ව. මේ කාරණා හොඳින් මතක තියාගන්න ඕන.

එ් නිසා, අද දවසේ පැවිදි වුණ මේ පින්වත් ආයුෂ්මතුන් වහන්සේලාට, මහා සංඝරත්නය ආශීර්වාද කරනවා… සුවසේ මේ උතුම් මහණකම කර ගන්න වාසනාව ලැබේවා කියලා…”

‘‘සාදු සාදු සාදු” අපි සැම එ්ක නින්නාද දෙමින් සාදුකාර දුන්නෙමු. මහා සංඝයා වහන්සේලා සෙත් ගාථා සජ්ඣායනා කරමින් අලූත පැවිදි වූ පින්වත් ස්වාමීන් වහන්සේලාට ආශීර්වාද කළෝ ය.

‘‘සබ්බේ බුද්ධා බලප්පත්තා

– පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන

– රක්ඛං බන්ධාමි සබ්බසෝ’’

‘‘සබ්බීතියෝ විවජ්ජන්තු

– සබ්බරෝගෝ විනස්සතු

මා තේ භවත්වන්තරායෝ

– සුඛී දීඝායුකෝ භව”

‘‘උතුම් සම්බුදු බලයෙන් – පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ ද තේජසින් – සියලූ රැකවරණ වේවා”

‘‘සියලූ භය දුරු වේවා – සියලූ රෝග ද දුරු වේවා

බිය ද තැති ගැන්ම ද ඔබට කිසි දා නොම වේවා

සුවසේ දිවි ගෙවත්වා – බොහෝ කල් වාසය කරත්වා”

එ් අලූත් හිමිවරුන් සමඟින් අපිදු සිරස පොළොවේ ස්පර්ශ කරමින් මහා සංඝයාගේ ආශීර්වාදය පිළිගත්තෙමු. අනුමෝදන් වූයෙමු.

සාදු සාදු සාදු!!!

කසාවත අවසන් කොටස ලබන කලාපයේ…

ඇඟිල්ලෙන් පෙන් වූ

සඳ දෙස බලන්න.

ඇඟිල්ල දෙස නො බලන්න.

ඇඟිල්ල ගැන නො සොයන්න.

මේ ශ‍්‍රී සද්ධර්මය

ජීවමාන යි…!

එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2016  පොසොන් කලාපය

WWW.MAHAMEGHA.LK

මතක සටහන

ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.

SMS Only – 077 063 08 68

ගිහි – පැවිදි – උපැවිදි
ජනිත් අයියා සැලකිය යුතු තරම් හොඳ සිහි කල්පනාවකින් යුතු ව නිවසට හැරලීම පිළිබඳ ව මම බොහෝ සතුටට පත් වූයෙමි. තම සැමියා මා වැනි අයෙකු සමඟ නගරයට ගොස් සතර ගාතයෙන් ම නිවසට පැමිණීම පිළිබඳ ව ඇදහිය නො හැකි තරමේ කුතුහලයක් ප‍්‍රියංකා අක්කාගේ සිත තුළ ජනිත වූ ආකාරය ඇගේ ඉරියව් තුළින් මනා කොට දැකගත හැකි විය. නමුත් මම කරුණු පහදා දීමටවත් රැුඳී නො සිට ඉතා ඉක්මනින් නිවස බලා පිටත් වූයේ ආත්මාරක්ෂාව වෙනුවෙනි.

එදින රාත‍්‍රිය පුදුමාකාර සැහැල්ලූ ගතියකින් මාගේ සිත ප‍්‍රීතිමත් කළේ ය. සිත තුළ වූ විශාල බරක් ඉවත් වී නිදහස් වූවාක් මෙන් පැහැදිලි උද්යෝගයක් දැනෙන්නට විය. අනාගතය පිළිබඳ ව යම් යම් තීරණ රැුසක් ගනිමින් සිටි මා හට පැහැදිලි තීරණයක් ලබා ගැනීමට තරම් පහසුවක් ලැබුණා යැයි සිතෙන්නට විය. නමුත් තවමත් මා හට අවශ්‍ය ම දේ සිදු නො වුණු බව මම දනිමි. එ් සඳහා තවත් කිහිප දෙනෙකු සමඟින් සාකච්ඡුා වට කිහිපයක් පැවැත්වීමට සිදු වනු ඇත.

ලද සැහැල්ලූව තුළ දහම් සටහන් කිහිපයක් කියවන්නට මම තීරණය කළෙමි. ‘කන්ද උඩ කුටියේ’ වැඩ සිටි පින්වත් ස්වාමීන් වහන්සේගේ සටහන් පොතේ තවමත් නො කියවූ, සටහන් රැුසක් ඉතිරි ව පවතී. එ් සටහන් සියල්ල එකවර කියවා දැමීමට මා තුළ අධික ලෝභකමක් හටගෙන තිබුණි. එක සටහනක් කියවූ විට සති කිහිපයක් ම ධර්මය සිහි කිරීමට තරම් උද්යෝගයක් ලැබේ. එය වෙන කිසිවක් නොව දස කතාව නිසා ම හටගත් ධර්ම මනසිකාරයක් බව මා දැනගත්තේ බොහෝ පසුකාලීන ව ය.

ධර්මයේ හැසිරෙන ශ‍්‍රාවකයන් විසින් නිරන්තරයෙන් සිදුකළ යුතු සහ ශ‍්‍රවණය කළ යුතු කතා බස් දහයක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. එ් සියල්ල දසකතා යනුවෙන් ධර්මය තුළ සඳහන් ය. මේ ආකාරයෙන් දස කතාවේ යෙදෙන උතුමන් වහන්සේලාගේ කතා බහ නිරතුරුව ම එම උතුම් තේමා දහය ඔස්සේ ඇදී යයි.

එ් දසකතා අතරේ පළමුවැන්න (අප්පිච්ඡු කථා) ආශාවන් අඩුවෙන් ජීවත් වීම ගැන කතාබස් කිරීම. දෙවැනි එක (සන්තුට්ඨි කථා) ලැබිච්ච දේකින් සතුටුවීම ගැන කතාබස් කිරීම. තුන්වැන්න (පවිවේක කථා) හුදෙකලා ජීවිතය ගැන කතාබස් කිරීම. සිව්වැන්න (අසංසග්ග කථා) නිතර නිතර දකින්නට යාමෙන්, නිතර නිතර කතා කරන්නට යාමෙන්, තමා සතු අනුන් සතු භාණ්ඩ නිතර නිතර හුවමාරු කරගෙන භාවිත කරන්නට යාමෙන් හෝ ශරීර ස්පර්ශයෙන් යන කිසිම ආකාරයකින් බැඳීම් හදාගන්නේ නැති ව සිටීම ගැන කතාබස් කිරීම. පස්වැන්න (විරියාරම්භ කථා) අකුසල් දුරුකිරීමට, කුසල් වැඩුමට වීරිය පවත්වන්න ඕන ආකාරය කතාබස් කිරීම. සය වැන්න (සීල කථා) සීලය ගැනත් සිල් රකින ආකාරය ගැනත් සිල් රැකීමෙන් සිතේ ඇතිවන ප‍්‍රීතිය ගැනත් කතාබස් කිරීම. හත්වැන්න (සමාධි කථා) සමාධිය ගැනත්, සමාධියේ ආනිශංස ගැනත්, සමාධිය වැඞීමෙන් ඇතිවන සැහැල්ලූව ගැනත් කතාබස් කිරීම. අටවැන්න (පඤ්ඤා කථා) ප‍්‍රඥාව ගැනත්, ප‍්‍රඥාව දියුණු වන දහම් කරුණු ගැනත්, ප‍්‍රඥාව දියුණු වීමෙන් ඇතිවන අවබෝධයේ වටිනාකම ගැනත් කතාබස් කිරීම. නවවැන්න (විමුක්ති කථා) දුකින් නිදහස්වීම ගැනත්, එ් සඳහා පවතින වැඩපිළිවෙළ ගැනත්, විමුක්තියේ පවතින නිවීයාම ගැනත් කතාබස් කිරීම. දසවැන්න (විමුක්ති ඤාණදස්සන කථා) දුකින් නිදහස් වීම ගැන ඇති අවබෝධය ගැනත්, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනත්, උතුම් රහතන් වහන්සේලා ගැනත් කතාබස් කිරීම.

මේ සියලූ කතාවන්ට ගැළපෙන අයුරින් උන්වහන්සේගේ සටහන් පෙළගැසී තිබුණු බැවින් නිතැතින් ම ධර්ම මනසිකාරය හටගන්නේ ය. එමෙන් ම සෑම විටක ම උන්වහන්සේ මාගේ සිත උන්වහන්සේ වෙත පහදවාගැනීමට උත්සාහ නො කළ බැවින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව ම ශ‍්‍රද්ධාව උපදවාගන්නා ආකාරයට දහම් කරුණු කියැවීමට මා හුරු විය. එමෙන් ම මේ සියලූ යහපත උදාවන්නේ එ් සඳහා මූලික ව ගුරු හරුකම් දක්වන කල්‍යාණමිත‍්‍ර ගුරුවරයාණන් නිසා බවත් නිතැතින් ම සිහිපත් වන්නේ ද පින්වත් ස්වාමීන් වහන්සේ විසින් නිවැරදි ව මාගේ ජීවිතය ධර්මය කරා යොමු කළ බැවිනි.

කෘතඥතා පූර්වක ව දහම් සටහන් පොත අතට ගත් මම ඉතාමත් ම ගෞරවයෙන් එහි පිටු පෙරළන්නට වීමි. එ් අතරේ අවසන් වරට කියැවූ සටහන මතින් මා තැබූ සලකුණ මුණගැසුණෙන් ඉන් ඉදිරියට කියවන්නට උත්සාහ කළෙමි.

සටහන 11

කල්‍යාණ මිත‍්‍රයා යනු කවරෙක් ද? කල්‍යාණ මිත‍්‍රයා යනු ශ‍්‍රද්ධා රහිත සිත් තුළ ශ‍්‍රද්ධාව උපද්දවන්නා වූ පුද්ගලයා ය. දුස්සීලයින් හට සිල් රැුකීමට උපකාර කරන පුද්ගලයා ය. දහම් දැනුමක් නැති අයට ධර්මය කියා දෙන පුද්ගලයා ය. මසුරු මිනිසුන්ගේ සිත් වෙනස් කොට දන් දීමට හුරු කරන්නා වූ පුද්ගලයා ය. දුෂ්ප‍්‍රාඥයන් ප‍්‍රඥාවන්තයන් කරන්නා වූ පුද්ගලයා ය. සත්පුරුෂ ගුණ උපදවන්නා වූ පුද්ගලයා ය. පින්වතුන් බිහි කරන්නා වූ පුද්ගලයා ය. කුසල් වඩන්නන් බිහි කරන්නා වූ පුද්ගලයා ය. සියලූ ගුණයෙන් හෙබි කල්‍යාණ මිත‍්‍රයින් බිහි කරන්නා වූ පුද්ගලයා ය. යම් පුද්ගලයෙක් විසින් ගුණධර්ම ඇති තැනැත්තා ද නැති තැනැත්තා ද ගුණධර්මවලින් ඈත් කරයි නම් ඔහු ගිහියෙක් වුව ද පැවිද්දෙක් වුව ද පාප මිත‍්‍රයෙක් වන්නේ ය.

කලකට පෙර අසපු භූමියෙන් බැහැර වී හුදෙකලාවේ බවුන් වැඞීමට ගුරු දේවයන්ට ද නො කියා පිට ව ගිය ස්වාමින් වහන්සේනමක් ගිහි භාවයට පත් වූ බව දාන ශාලාවේ සිට පැමිණි මා හට අසන්නට ලැබුණි. එ් සමඟින් ම මාගේ මතකයට පැමිණි සිදුවීමක් උන්වහන්සේගේ විනාශයට හේතු වූවා දැයි සිතෙන්නට විය.

එදින මම දාන ශාලාවට වැඩම කිරීම සඳහා පාත‍්‍රය අතින් ගෙන සිටගෙන සිටිමින් ‘ඨිතෝ වා ඨිතෝම්හීති පජානාති’ යන ඉරියාපථ භාවනා නිමිත්තෙහි සිත රඳවාගෙන සිටියෙමි. මා සිටි අවට වෙනත් කිසිවෙකු නො සිටි අතර දුරකථනය පවතින කාර්යාලය තුළින් යම් සංවාදයක් ඇසෙන්නට විය. එය ත‍්‍රිපිටක පොත් වහන්සේලා ඡුායා පිටපත් කරන ස්වාමීන් වහන්සේ සහ වෙනත් ස්වාමීන් වහන්සේනමක් අතර සංවාදයකි. එකල ත‍්‍රිපිටක පොත් වහන්සේලා බොහෝ දුලභ වූ බැවින් පැරණි පොත් වහන්සේලා ‘ෆොටෝ කොපි’ කොට අපගේ සදහම් පුස්තකාල සඳහා බෙදා දීමේ කටයුත්තක් සිදු විය. මම ද හැකි අවස්ථාවල එ් සඳහා දිවා ? කැප වෙමින් සිටින ස්වාමින් වහන්සේලා කිහිපනමට උදව් වී ඇත්තෙමි. එ් නිසා ම මේ සංවාදය මාගේ සිත තුළ යම් වේදනාවක් ජනිත කරවූ අතර භාවනාවෙන් ද සිත ඉවත් වී ගියේ ය.

‘‘ආහ්.. කොමියුනිකේෂන් එක උදෙන් ම වැඩ වගේ නේ ද?”

එහි පැමිණි ස්වාමීන් වහන්සේ ත‍්‍රිපිටක පොත් ‘පොටෝ කොපි’ කරන ස්වාමීන් වහන්සේ අවඥාවට ලක් කරමින් විමසුවේ ය. නමුත් එ් සඳහා පිළිතුරක් ලබා නො දුන් උන්වහන්සේ තව දුරටත් කාර්යය සිදු කරමින් සිටින බව යන්ත‍්‍රයේ ශබ්දය නො නවත්වා ශ‍්‍රවණය වූ බැවින් මම දැනගත්තෙමි.

‘‘ඔව්වා කර කර ඉඳල හරියන්නේ නෑ. ඔබ වහන්සේ මහණ වුණේ කෑම වේලකට පොටෝ කොපි රස්සාවක් කරන්න ද? ගෙදර හිටියනං ඕකත් කරල පඩියකුත් ලැබෙනවා. දැන් පඩිත් නෑ, භාවනා කරන්න වෙලාවකුත් නෑ, කන්න ලැබෙන ටික විතරයි. කන්න දීල වැඩ කර ගන්න එකට නං ඊජිප්තුව පැත්තෙ හොඳ නමක් කියනවා. ඕකට ද හිමියනේ සම්මා වායාම කියන්නේ…? මට නං තේරෙන්නෙ නෑ මෙව්වා කොහෙන් කෙළවර වෙයි ද කියලා…!!!”

”මං මේක කරන්නෙ සතුටෙන් ස්වාමීන් වහන්ස. වැඩ කරනව කියල මට දැනෙන්නෙ නෑ. මට පොතක් ඉවර කරල පිටකවරය අලවන්නයි, පිටු බඳින්නයි ප්‍රෙස් එකට දෙන දවසට පුදුම සතුටක් තියෙන්නේ. ශ‍්‍රද්ධාවෙන් පැවිදි වුණ පින්වත් ස්වාමීන් වහන්සේලා කී දෙනෙක් නම් මේ පොත් වහන්සේ කියවලා සිත සනසගනී ද කියලා හිතෙද්දී එ් ප‍්‍රීතියට තව පොත් සීයක් වුණත් හදන්න පුළුවන්…”

‘‘ඔය බොළඳකමට පුළුවන් ද නිවන් දක්කන්න..? ඕක ශ‍්‍රද්ධාවෙ වේශයෙන් මතු වුණ වංචනික ධර්මයක්. ඔහොම්ම ම හිත හිත ඉඳල වැඩ කර කර ම අපවත් වෙන්න. කෙහෙල් ගස් පතුරු ගහනව වගේ ලැබෙන දෙයක් නෑ අන්තිමට. මහන්සියයි, වෙලාව නාස්තිය යි විතරයි. කොටි වලිගෙ අල්ල ගත්ත වගේ අතාරින්න ම බැරිවෙන්න දිගින් දිගට ම වැඩ එනව ඊට පස්සෙ. සමාධියක් නැති භික්ෂු ජීවිතේ හිස් දෙයක් ස්වාමීන් වහන්ස. ඔය පොත් කියවන අය හොඳට භාවනා කර ගනීවි ඔබ වහන්සේ කිසි ම ගුණධර්මයක් නැතුව නිරයේ යයි…”

‘‘මම මේ තරම් උතුම් පැවිදි ජීවිතේකට ආවේ බුදුරජාණන් වහන්සේ ගැන ශ‍්‍රද්ධාවක් ඉපදුණ නිසයි. එ් දේ කළේ මගේ ගුරු දේවයන් වහන්සේ. එ් ශ‍්‍රද්ධාවත්, උන්වහන්සේ ගැන ඇති වුණ විශ්වාසයත් තමයි මාව මෙතනට අරගෙන ආවෙ. ශ‍්‍රද්ධාවෙන් තොර ව පිවිතුරු සීලයක් සමාධියක් ලබන්න බෑ ස්වාමීන් වහන්ස. මම මේ දේවල් කරන්නේ වැඩ කරනවා, වහල්කම් කරනවා කියන අදහසකින් නෙවෙයි. මගේ ධර්ම මාර්ගයට ශක්තියක් වෙන්න පින් කරනවා කියන අදහසින්. මම බොහොම අඩු පිනක් තියෙන කෙනෙක්. ජීවමාන බුද්ධ කාලෙත් නෙවෙයි මම මිනිස් ලෝකෙ ඉපදිලා මේ මහණ වුණේ. එ් නිසා මට ඕන මේ මහණකම රැුකගන්න ගමන් ම හොඳ හැටියට පින් කර ගන්න යි. එ් පින් කර ගන්න එකෙන් මට සිල් රකින්න හොඳ හයියක් ලැබෙනවා. පුළුවන් හැටියට මම භාවනාත් කරනවා. මට හෙමින් ගමන සැපයි ස්වාමීන් වහන්ස. පින අතෑරලා පිරිසෙන් වෙන් වෙලා වේගෙන් යන්න මට කැමැත්තක් නෑ. මම මේ හැම දෙයක් ම කරද්දි මේ මොහොතේ සිහියෙන් ඉන්න උත්සාහ කරනවා. ස්වාමීන් වහන්සේගෙ කතාවෙන් වුණත් අකුසල සිතක් ඇතිකර ගන්න මම කැමති නෑ. දැන් දානෙ වෙලාව හරියාගෙන එන්නේ. ස්වාමීන් වහන්සේ දානෙට සූදානම් වෙන්න. මට පිටු පැටලෙනවා කතා කර කර වැඩ කරනකොට…”

ඉතාමත් ම සන්සුන් ව පිළිතුරු දුන් උන්වහන්සේ ඕනෑකමින් ම එම අසත්පුරුෂ පාපමිත‍්‍රයා ව එළවා ගැනීමට උත්සාහ කළේ ය.

‘‘දාන ශාලාවට ගියා ම පැය එකහමාරක් නාස්ති වෙනවා. බණ කියන්නයි සීයකට බෙදනකම් බලන් ඉන්නයි… සීයක් වළඳනකම් බලන්න ඉන්නයි ගියා ම කොච්චර පාඩුවක් ද අපිට. තමා දානෙ වළඳපු ගමන් නැගිටලා යන ක‍්‍රමයක් තිබ්බ නම් කොච්චර පහසු ද සංඝයාට. මම නම් දානෙට යන්නෙ නෑ. මම පිණ්ඩපාතෙ ගියා උදේ ම. එ් දානෙ ඉතිරි ටික දවල්ට වළඳලා භාවනා කරනවා…”

‘‘පිණ්ඩපාතෙ වුණත් ක්ෂණයෙන් ලැබෙන්නෙ නෑනෙ ස්වාමීන් වහන්ස. එ්කටත් වෙලාවක් කැප කරන්න වෙනවා. භික්ෂු ජීවිතේ කියන්නේ අන් අයගේ උපකාරයෙන් යැපෙන දෙයක්. දස ධම්ම සූත‍්‍රයේ තියෙන්නේ… ‘පරපටිබද්ධා මේ ජීවිකාති…’ කියලනේ…! දානය පූජා කරන අය කෙරෙහිත්, දානය වළඳන ස්වාමීන් වහන්සේලා කෙරෙහිත් මෛත‍්‍රියක් කරුණාවක් මුදිතාවක් උපේක්ෂාවක් තියෙනව නම් එවන් කාය කර්මයක් විදියට හරි දාන ශාලාවට ද්වේෂ නො කර සිටින්න පුළුවන්. අසනීපයක් හෝ නො වැළැක්විය හැකි වෙනත් කාරණාවක් නැත්තං දාන ශාලාවට වඩින්න ස්වාමීන් වහන්ස…”

‘‘මට බෑ. මම යනවා..” ත‍්‍රිපිටක පොත් වහන්සේලා පිටපත් කරන ස්වාමීන් වහන්සේගේ කාරුණික දහම් අවවාදය ඉවත ලූ උන්වහන්සේ කුටියට වැඩම කළේ ය. සුළු මොහොතකට පසු පොත් වහන්සේලාගේ කටයුුතු කළ ස්වාමීන් වහන්සේ ද අප සමඟ පාත‍්‍රය ගෙන දාන ශාලාවට වැඩම කළේ ය. දාන ශාලාවේ කටයුතුවලින් පසු ආපසු පැමිණ පාත‍්‍රය පසෙක තැබූ උන්වහන්සේ නැවත ත‍්‍රිපිටක පොත් වහන්සේලාගේ කටයුතු ආරම්භ කරනු මම දුටුවෙමි.

එදිනෙන් පසු, මම ද හැකි විටක නිහඬ ව ම උන්වහන්සේගේ ධර්ම පුස්තක කටයුතුවලට සහය වුණෙමි. එමෙන් ම උන්වහන්සේ මේ සෑම කටයුත්තක් අතරේ දී ම, උදෑසන බුද්ධ වන්දනාව, හීල – දහවල් දානය සඳහා දාන ශාලාවට වැඩම කිරීම සහ සවස බුද්ධ වන්දනාව මෙන් ම පොදු ධර්ම ශ‍්‍රවණය යන කිසිදු කටයුත්තක් මඟ නො හරින බව මම දුටුවෙමි. එ් සියල්ල ද සිදු කරමින් ඉතාමත් ම සමබර ලෙස අනෙකුත් සම්පූර්ණ කාලය වැය කරමින් ත‍්‍රිපිටක පොත් වහන්සේලාගේ කටයුතු සිදු කරන්නට වූ උන්වහන්සේ ඉතාමත් ම සරල දිවි පෙවෙතක් ගත කළහ. අධික ලෙස වෙහෙස වෙන භික්ෂුවක් වුවත් අන් භික්ෂූන් සමඟ හිස් කතාවේ යෙදෙමින් උසුළු විසුළු කරමින් කල් නො යැවූ උන්වහන්සේ නො වෙනස් ව තම පිළිවෙත් රැුකගෙන සිටින බව මම තේරුම් ගත්තෙමි.

කල් යත් ම මම අධික ලෙස වත් පිළිවෙත් කරන භික්ෂුවකගේ රසිකයෙකු වෙමින් සිටියෙමි. එ් වෙන කිසිවක් නිසා නොව, මා උන්වහන්සේ ව සමීප ව ද දුර සිට ද ඇසුරු කරමින් එ් අසීමිත සිව් බඹ විහරණ සිව් ඉරියව්වෙන් ම දියුණු කරන බව දැකගත් නිසා ය.

නමුත්, එදා උන්වහන්සේගේ සිත බිඳීමට පැමිණි භික්ෂුව පසු කලෙක විවේකය අවශ්‍ය යැයි පවසා අසපුවෙන් බැහැර වී වනගත විය. ඊටත් බොහෝ කලකට පසු එම හිමියන් අවාසනාවන්ත ලෙස ගිහි බවට පත් වූ බව අද දිනයේ දැනගන්නට ලැබුණි.

නමුත්, ශ‍්‍රද්ධාව මිණි කිරුළක් සේ හිස මත රඳවාගෙන මෛත‍්‍රී කරුණා මුදිතා උපේක්ෂා දී ගුණයන් වඩමින් ගිහි පැවිදි සියලූ දෙනාගේ හිත සුව පිණිස සිත පැවැත්වූ, කාර්යාලයේ කටයුතු කළ ස්වාමීන් වහන්සේ අදටත් නිරුපද්‍රිත ව සසුන් බඹසර පුරුදු කරමින් වාසය කරන්නේ ය. අද උන්වහන්සේට එදා කළ කටයුතු නැත. නමුත් රැුස් කළ පින අසල ම ඇත. අදටත් උන්වහන්සේ දකින විට මා සිත ප‍්‍රීතියෙන් ඉපිල යන්නේ උතුම් ශ‍්‍රී සද්ධර්මයෙන් උන්වහන්සේ පුරුදු කළ ගුණධර්මයන් වෙත හදවතින් ම ආචාර දක්වමිනිි.

පාප මිත‍්‍ර ග‍්‍රහණයට හසු නො වී ගුණ ධර්ම වඩන සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා…!!!

සටහන 12

පාප මිත‍්‍රයා පිළිබඳ ව මා තැබූ පෙර සටහනට සම්බන්ධ ව තවත් සටහනක් තැබීමට සතියක් යාමට මත්තෙන් අවකාශයක් ලැබුණි. එනම්, කල්‍යාණ මිත‍්‍ර සේවනය පිළිබඳ ව යි.

මා විසින් ගුරු දේවයන් වහන්සේ අබියස දී ඇසූ වදනකින් තවත් අයෙකුට උපකාරයක් කොට එය සාර්ථක වූ බව දැනගන්නට ලැබීම නිසා මම බොහෝ සතුටට පත් වීමි. පාප මිත‍්‍රයන් සුලබ ලොවක් තුළ ගුරු දේවයන් හට පින් සිද්ධ වන්න සහෝදර ස්වාමීන් වහන්සේනමක් හට කල්‍යාණ වූ උපකාරයක් කර ගන්නට ලැබුණු බව සිහි වී බලවත් ප‍්‍රීතියක් ඉපදුණි.

එම සහෝදර ස්වාමීන් වහන්සේ වසර ගණනාවකට පෙර බලවත් අර්බුදයකට මුහුණ දී සිටියේ ය. එනම් දිගින් දිගට ම සිදුවන සීල විපත්තියකි. බොරු කියන්නා හට මුසාවාදා වේරමණී නම් වූ සිල් පදය බිඳී යන්නා සේ, ස්වයංවින්දනයේ යෙදෙන උපසම්පදා භික්ෂුවට ‘සංඝාදිසේස’ නම් වූ ශික්ෂා පද බිඳී යාමක් සිදු වේ. පළමු වන සංඝාදිසේස ශික්ෂාපදය ද එය යි. එ් ආකාරයෙන් සංඝාදිසේස ආපත්ති වර්ග දහතුනක් වේ. එම පළමු සංඝාදිසේස ශික්ෂා පදය නිතර ම බිඳගන්නා වූ හිමිනමක් වශයෙන් උන්වහන්සේ කලක පටන් නිතර ම විනය කර්මයන්ට මුහුණ දෙමින් සිටි බව මම දුටුවෙමි. එදින උන්වහන්සේ දුටු මා හට කලකට පෙර ගුරු දේවයන් වහන්සේගේ මුවින් තවත් ස්වාමීන් වහන්සේනමක් අරබයා පිටවූ අවවාදයක් සිහිපත් විය. එනිසා උපකාර කරන අදහසින් උන්වහන්සේ සමඟින් කතා බහක් ඇරඹීමි.

‘‘ස්වාමීන් වහන්ස, මට යමක් සිහිපත් වුණා…” මම පැවසුවෙමි.

‘‘මොකද්ද ස්වාමීන් වහන්ස…?” මා හට වඩා පැවිද්දෙන් වැඩිහිටි උන්වහන්සේ මා දැක නැගිට ගරු සරු ඇති ව පිළිතුරු දුන්නේ ය. එම ශික්ෂාපදය බිඳුනු පසු වරදින් මිදීම උදෙසා වැඩිහිටි බාල උපසම්පදා ස්වාමීන් වහන්සේලා සියලූ දෙනාට ගරු සරු දැක්විය යුතු ය. අවම වශයෙන් දවස් 6ක් වත් පිළිවෙත් සිදු කරමින් සංඝ ගෞරවය උපදවා ගත යුතු ය. උපරිම වශයෙන් එම වරද තමා සඟවා සිටි දින ගණනට සමාන ව පිළිවෙත පිරිය යුතු ය. වරදින් නැගී සිටිය හැකි වන්නේ ඉන් පසුව යි.

‘‘මට මතකයි දවසක් සංඝාදිසේස ආපත්තියට ලක්වුණු ස්වාමීන් වහන්සේනමකට ගුරු දේවයන් වහන්සේ දුන්න අවවාදයක්. මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේට එ්ක ප‍්‍රයෝජනවත් වේවි…”

‘‘හොඳයි ස්වාමීන් වහන්ස. මට එ්ක දැනගන්න ඕන…”

‘‘සංඝාදිසේසයකට හේතු වෙන ප‍්‍රධාන ම දීර්ඝකාලීන හේතුව තමයි සංඝ ගෞරවය රහිත ව වාසය කිරීම. සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා දෙස ප‍්‍රිය ඇසින් නො බලමින් වාසය කිරීම සහ නිතර වැඩිමහල් බාල ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගැටෙමින් වාසය කිරීම. වැඩිමහල් පමණක් නො වේ පැවිද්දෙන් බාල ස්වාමීන් වහන්සේලා ව පවා ඇතැම් අවස්ථාවල පහත් කරමින් වාසය කිරීම අකුසලයක්. තමා සංඝයාට අයිති කෙනෙක් කියල නිතර හිතන්න ඕන. එ් වගේ ම තමා අයිති පිරිසේ අතීත ශ‍්‍රාවකයන්ගේ ගුණ සිහි කරන්න ඕන. වත්මන් සඟ පිරිසේ පවා තියෙන අල්පමාත‍්‍ර හෝ සඟ ගුණයක් කෙරෙහි සිත පහදවා ගන්න ඕන. ගිිහි හාම්පුතෙක් සේවකයන්ට කතා කරන්නා සේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන්ට කතා කිරීම අකුසලයක්. එ් නිසා හැකි උපරිමයෙන් ම සංඝානුස්සතිය වඩන්න. තමන් ද එ් සඟ පිරිසට අයිතියි කියල හිතමින් ම සංඝානුස්සතිය වඩන්න. සංඝානුස්සතිය වඩමින් ම එම සඟ පිරිසේ ගුණ දැක මුදිතාව වඩන්න. අන්න එ් විදියට යි ගුරු දේවයන් වහන්සේ අවවාද කළේ ස්වාමීන් වහන්ස…”

‘‘මට වැටහෙනවා. මම බොහෝ අවස්ථාවල ස්වාමීන් වහන්සේලා කරන දේවල් ගැන අධික ව විවේචනය කරල තියෙනවා. විහිළුවටත් ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් අවඥාවෙන් කතා කරල තියෙනවා. සමහර අවස්ථාවල ගුරු දේවයන් වහන්සේවත් අවඥාවට ලක් කරල තියෙනවා.”

‘‘එ්ක තමයි ස්වාමීන් වහන්ස. එ්ක කොච්චර ඇත්තක් ද කියල මට තේරුණේ අංගුත්තර නිකායේ ව්‍යසන සූත‍්‍රය කියවද්දි යි. ආර්ය ගුණ සහිත උතුමන්ට වචනයෙන් උපවාද කරන කෙනාට විපාකයක් වශයෙන් සංඝාදිසේස වගේ බරපතළ ශික්ෂාපද බිඳීයාම් සිද්ධ වෙනවා කියල එ් සූත‍්‍රයේ තියෙනවා. එ් වගේ ම විනය පිටකයේ සංඝාදිසේසයෙන් ගැලවෙන භික්ෂුව විසින් කළ යුතු වන්නේත් වැඩිමහල් බාල භේදයකින් තොර ව සංඝ ගෞරවය උපදවාගැනීමයි…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. මට පැහැදිලියි..”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ විසින් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරලා උපදවපු දෙයක් තමයි බුද්ධ ශාසනය කියන්නේ. එ් වගේ ම දුර්ලභ දෙයක් තමයි භික්ෂූත්වය. සංඝයා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් උපදවපු පිරිසක්. බුදුරජාණන් වහන්සේට අයිති දෙයක් තමයි අපි මේ දරාගෙන සිටින පැවිද්ද. අපේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා අතීතයේ දී බුදුරජාණන් වහන්සේගෙන් ‘එ්හි භික්ඛු’ භාවයෙන් ලබාගත්ත උපසම්පදාව නැත්තම් අපිට වුණත් සංඝයාගෙන් ගන්න උපසම්පදාවක් ඉතිරි වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේගෙන් ගෞරවයෙන් ලබාගත් උපසම්පදාවට, පැවිද්දට ගරු කරමින් පෙර පිනකට සංඝයාට ඇතුල් වෙන්න ලැබුණු අවස්ථාව ගැන අනන්ත අප‍්‍රමාණ ලෙස සතුටු වෙන්න ඕන. එ් වගේ ම එ් සඟ පිරිසට ඇතුල් වුණ අනෙකුත් ස්වාමීන් වහන්සේලා ගැනත් අපිට පසුව ඇතුල් වෙන පිරිස ගැනත් අප‍්‍රමාණ ගෞරවයක් සතුටක් ඇති වෙන්න ඕන. වැටි වැටී හරි සඟ පිරිස අතරේ ඉන්න සියලූ ස්වාමින් වහන්සේලා දෙස කරුණාවෙන් බලන්න ඕන. කිසි ම විදියකින් ගරහන්න හොඳ නෑ. පහත් කරන්න හොඳ නෑ. සංඝ ගෞරවය නැති වුණා ම උපාසකයෙක් උපාසක චණ්ඩාලයෙක් වෙනව කියල අංගුත්තර නිකායේ තියෙනවානේ. එ් වගේ ම තමයි භික්ෂුවක් වුණත් තමා සංඝයාට අයිතියි කියල සංඝයාට තියෙන ගෞරවය නැති කර ගන්න හොඳ නෑ. ගොඩක් වෙලාවට මේක වෙන්නේ පැවිද්දෙන් උපසම්පදාවෙන් බාල ස්වාමීන් වහන්සේලා දකිද්දියි. එතකොට මේ උන්නාන්සේලා මට වඩා බාලයිනේ කියල හිතාගෙන ටිකක් රළු ව කතා බහ කරනවා. හරියට විශ්වවිද්‍යාලයක ඉහළ වසරවල ශිෂ්‍යයෝ පහළ වසරවල නවක ශිෂ්‍යයන්ට කතා කරනවා වගේ. මේ හැම දෙයක් ම අකුසල් පින්වත් ස්වාමීන් වහන්ස…”‍

‘‘ඔබවහන්සේ කවමදාකවත් එහෙම කතා කරල නැද්ද නවක ස්වාමීන් වහන්සේලාට…?”

‘‘ඇයි නැත්තේ… කතා කරල තියෙනවා. මේ අවවාදය කනට ඇහුන දවසෙන් පස්සේ මම සඟ ගුණ සිහි කරල ම සංඝ ගෞරවය උපදවා ගත්තා. අලූත පැවිදි වුණ ස්වාමීන් වහන්සේනමක් දකින විට පවා මට සඟ ගුණත්, සාමඤ්ඤ ඵලත් (ශ‍්‍රමණ ජීවිතයේ ආර්ය ප‍්‍රතිලාභත්) සිහිපත් වෙනවා. උන්වහන්සේලාට සුවසේ පැවිද්ද ගත කරන්න ලැබේවා කියල සිතෙන් නිතර ම මම සෙත් පතනවා. මට එ් වෙනස ඇති වුණේ ගුරු දේවයන් වහන්සේගේ එ් අවවාදය නිසයි පින්වත් ස්වාමීන් වහන්ස…”

එම සංවාදයෙන් බොහෝ කලකට පසු එනම් වසර කිහිපයකට පසු එම ස්වාමීන් වහන්සේ සමඟ නැවත කතා බස් කිරීමට සැලකිය යුතු තරම් වේලාවක් මා හට උදා වූයේ ඊයේ දිනයේ ය. උන්වහන්සේ ඉතාමත් ම කෘතඥ පූර්වක ව මා හට පින් දුන් අතර උන්වහන්සේ නිතර නිතර සංඝාදිසේසයන්ට ලක්වන අනතුරෙන් සම්පූර්ණයෙන් ම නිදහස් වී තිබිණ. මා සමඟ සංවාදයෙන් පසු සම්පූර්ණ කාලය ම වැය කොට සංඝානුස්සතිය වැඩූ උන්වහන්සේ සියලූ සඟ පිරිස සමඟ ඕනෑ ම අසීරු අවස්ථාවක දී පවා සතුටින් සිටීමට දක්ෂතාවය උපදවාගෙන සිටියහ. එමෙන් ම උන්වහන්සේ විසින් පැවසූ වදන් පෙළක් මා සිත තුළට තදින් ම කා වැදී ගියේ ය.

”පින්වත් ස්වාමීන් වහන්ස. මම සංඝාදිසේසයට ප‍්‍රතිකර්ම කරන කාලෙදි ම යි සංඝානුස්සතිය වඩන්න ගත්තේ. මම ඉස්සර වත් මානත් කළෙත් බාල ස්වාමීන් වහන්සේනමක් දකිද්දි නැගී සිටියෙත් හරි ම අකමැත්තෙන්. එ් දින කීපය අවසන් වෙනකම් මම ඇඟිලි ගැන ගැන හිටියේ. එ් නිසා හැමදා ම මට දවස අවසානෙ දී ලැබුණෙ පීඩාව පමණයි. නමුත් සංඝානුස්සතිය වඩන්න ගත්තට පස්සේ මේ වත් මානත් සහ සංඝයාට ගරු කිරීම මට පුදුම විදියට ප‍්‍රිය උපදවන්නක් බවට පත් වුණා. ඉස්සර මම සංඝයා සමඟ පෙළට වඩිද්දි මට ඉදිරියෙන් මට වඩා බාල ස්වාමීන් වහන්සේනමක් වැඩියොත් ගොඩක් අමනාප වුණා. නමුත් මම සංඝානුස්සතිය වඩමින් විනය කර්මයන්ට මුහුණ දෙද්දී මට පුදුම සතුටක් දැනුනේ හැමෝට ම පිටුපසින් ගමන් කරද්දී. මොකද මට නිතර ම පේන්නේ සිය ගණනක් සංඝයා වහන්සේලා මට ඉදිරියෙන් වඩිනවා. මම උන්වහන්සේලාට පිටුපසින් වඩිනවා. ‘මමත් සංඝයාට අයිතියි, මමත් සංඝයාට අයිතියි’ කියල මගේ හිත කෑ ගහල කියනව වගේ මට දැනෙන්න ගත්තා. සංඝානුස්සතිය වඩපු නිසා මට එ් දර්ශනය බොහොම ලොකු සතුටක් වුණා ස්වාමීන් වහන්ස…”

‘‘සාදු සාදු සාදු…” මම දොහොත් මුදුන් දී සාදුකාර දුන්නෙමි.

‘‘එ් විතරක් නෙවෙයි ස්වාමීන් වහන්ස. මම ඉස්සර මං වෙනුවෙන් අනිත් අය වත් පිළිවෙත් කරල දෙනවට කැමැති වුණා. අන්තිමට මට සංඝ ගෞරවයත් නැති වෙලා ගියානෙ. ඉතින් මම විනය කර්මයට පෙර කරපු හැම වත් පිළිවෙතක් ම විනය කර්මයෙන් පස්සෙත් කරන්න බොහොම ආසාවෙන් හිටියේ. ඉතින් මම දැන් හැමදා ම අලූත පැවිදි වුණ සාමණේර ස්වාමීන් වහන්සේනමක් වගේ උදේ පාන්දර ම වැඩලා බුද්ධ වන්දනාව කරලා අනිත් ස්වාමීන් වහන්සේලාටත් එක්ක ගිලන්පස හදලා මිදුල ඇමදලා සියලූ වත් පිළිවෙත් කරනවා. සමහර අවස්ථාවල මම වැඩිමහල් වගේ ම මට වඩා බාල ස්වාමීන් වහන්සේලාගේ සිවුරුත් සෝදා දෙනවා. ගිලන්පස සකසා හැමෝට ම පූජා කරනවා. එ්ක කරන්නෙත් ලොකු ගෞරවයකින්. බාල ස්වාමීන් වහන්සේනමක් කියල හිතන්නේ නැති ව මම අත් දෙකෙන් ම යි පූජා කරන දේ පූජා කළේ. මට ඊට පස්සේ මජ්ක්‍ධිම නිකායේ ගෝසිංහ සූත‍්‍ර කියවන්න ලැබුණා. වැඩිමහල් බාල භේදයකින් තොර ව එකිනෙකාට උපස්ථාන කර ගනිමින් අතීත ආර්ය මහා සංඝරත්නය වැඩ විසූ ආකාරය ගැන දැනගැනීමෙන් මට ලැබුණු අවවාදය කොයි තරම් නම් සත්‍යයක් ද කියල මට තේරුම් ගියා. අද මට දැනෙන්නේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් තිස්සේ බොහොම දුක් විඳලා බුදුරජාණන් වහන්සේ විසින් සොයාගත්ත දෙයක් මම දරාගෙන ඉන්නවා වගෙයි. මට මගේ ප‍්‍රතිපදාව ගැන ම ලොකු ගෞරවයක් ඉපදුණා. මේ හැම දෙයක් ම සංඝරත්නයටයි අයිති. බුද්ධ ශාසනේට යි අයිති. මගේ ශ‍්‍රමණ වේසය පවා අයිති ශාසනේට. මේ හැම දේ ම ගෞරවයෙන් රකින්න මට සියලූ ශක්තිය ලැබුණේ එදා ගුරු දේවයන් වහන්සේ විසින් මතු කරපු ධර්මාවවාදය කල්‍යාණ මිත‍්‍රයෙක් වෙලා පින්වත් ස්වාමීන් වහන්සේ මට කියල දුන්න නිසා. මගේ සැහැල්ලූවේ සම්පුර්ණ ගෞරවය හිමිවෙන්න ඕන අපේ ශාස්තෘන් වහන්සේට යි. උන්වහන්සේ තමයි වරදින් හැටිත් වරදින් මිදෙන හැටිත් අපිට දේශනා කළේ. උන්වහන්සේගේ එ් ඥානය නම් විශිෂ්ටයි. උන්වහන්සේ කරන්න කියල වදාළ දේ කළොත් රැකෙනවා ම යි. එපා කී දේ කළොත් වැනසෙනවා ම යි.

ශාස්තෘ ධර්මය නිසාත් කලණ මිතුරු ඇසුර නිසාත් මම බේරුණා පින්වත් ස්වාමීන් වහන්ස…”

බොහෝ අය බොහෝ දෙනාට පාප මිත‍්‍රයින් වද්දී මා හට කලණ මිතුරෙකු වීමට හැකි වුණේ කලණ ඔවදන් ලබා දිය හැකි ගුරු ඇසුරක සිටි නිසා ය. නො එසේ නම්, මෙන්න සංඝාදිසේස වූ භික්ෂුවක් යැයි සිතා මා ද උන්වහන්සේ ව අවඥාවට ලක් කරනු ඇත. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ අකුසලයෙන් මුදවාගෙන කුසලයට ඇද දමන ‘දස කතාව’ නිසා ම අපි සුරැකෙන බව අත්දැකීමෙන් ම තේරුම් ගත්තෙමි.

සටහන් පොත වසා දැමූ මම දෑස් වසාගෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය සිහිපත් කළෙමි. නවක භික්ෂූන් වහන්සේගේ සිට වෘද්ධ භික්ෂූන් වහන්සේ දක්වා ම මා හට ඇති වූයේ අප‍්‍රමාණ පැහැදීමකි. ගෞරවයකි. සංඝයා වහන්සේලා අතර සංඝ ගෞරවය රැුකගැනීම පිළිබඳ ව මෙතරම් පිළිවෙත් තිබිය දී මෙතරම් ආනිශංස තිබිය දී වැඩිමහල් නවක භේදයකින් තොර ව එකිනෙකා දෙස ප‍්‍රිය ඇසින් බලමින් ඉදිරිපිටදීත් නැති තැනත් මෛත‍්‍රී කාය වාග් කර්ම පැවැත්වීම පිළිබඳ ව මේ තරම් පුහුණුවීම් තිබියදීත්, අඹුවන් සමඟ නිවෙස්වල වසමින් පුහු පාණ්ඩිත්වයක් ආරෝපණය කරගෙන, පුහු විවේචන කරමින් බුද්ධ ශාසනය රකින්නේ යැයි තෙපලමින් සංඝයාට ගරහන ගිහියන්ට අත්වන විපාක පිළිබඳ ව සිතාගත නො හැකි ය.

උතුම් ශාසනික ප‍්‍රතිපදාව පිළිබඳ ව මම බලවත් ව පැහැදුණෙමි. පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පැවිදි වූ පසු බුද්ධ රත්නය සහ ධම්ම රත්නයට පමණක් නො ව තමා ද අයිති සඟ පිරිසට පවා ගරු සත්කාර කරන බවත්, බුද්ධ ධම්ම සංඝ යන ත‍්‍රිවිධ රත්නය ම සිරසෙහි දරාගෙන ශ‍්‍රද්ධාදී ගුණධර්ම දියුණු කරන බවත් දැකීමෙන් මෙම ආර්ය මාවත පිළිබඳ ව බලවත් විශ්වාසයක් මා තුළ ඇති විය.

මම මාගේ මිනිස් ලොව උපතට බොහෝ ස්තුති කළෙමි. බුද්ධ ශාසනය අතුරුදහන් වූ යුගයක මිනිස් ලොවට නො පැමිණ බුද්ධ ශාසනය සක‍්‍රිය සහ ජීවමාන යුගයක මිනිස් ලොව පැමිණීම ගැන මම බලවත් ව සතුටට පත් වුණෙමි. එමෙන් ම එවන් සසුනක් මගේ දිවියට ළඟා කරදීමට පින්වන්ත කල්‍යාණ මිත‍්‍රයන් සහ කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා ද කල්‍යාණ මිත‍්‍ර ගුරුවරයෙකු ද ලැබී තිබීම නිසා හැම අතින් ම මා අප‍්‍රමාදී විය යුතු යි යන්න සිහිපත් කර දෙන්නට විය. මේ සිතුවිලි සියල්ල අතරේ මාගේ ජංගම දුරකථනය නාද විය.

පුදුමයකි. දුරකථන අංකය භාවනා අසපුවේ ය.

‘‘නමෝ බුද්ධාය…! තෙරුවන් සරණයි මේ බිනර ද?”

‘‘නමෝ බුද්ධාය…! තෙරුවන් සරණයි අනන්ත. සඟ ගුණ සිහි කරගෙන හිටපු වෙලාවක අනන්ත කතා කරපු එකට මගේ සතුට දෙගුණ තෙගුණ වුණා…”

මම පිළිතුරු දුන්නේ බලවත් සතුටකිනි.

‘‘බිනරට මතක් කරන්න මම කතා කළේ…”

‘‘ඔව් අනන්ත කියන්න. මොකක්ද…?”

‘‘මට ජීවත් වෙන්න පින තිබුණොත් මැරෙන්න කලින් මගේ ගුරු දේවයන් වහන්සේගෙන් ලබන මාසේ මට ගෞතම බුද්ධ ශාසනේ උතුම් පැවිදි බව ලබාගන්න පුළුවන් වේවි…”

‘‘සාදු සාදු සාදු පින්වත් අනන්ත. මට පුුදුම සතුටුයි…”

‘‘අපේ පැවිදි පිංකමට දින නියම වුණා බිනර. ලබන මාසේ 11 වෙනිදා…”

‘‘මම අනිවාර්යෙන් ම එනවා පින්වත් අනන්ත. මට ඊට වඩා සතුටු දවසක් මගෙ ජීවිතේට ආවොත් එ්කත් එ් වගේ ම දවසක් තමයි…! ඔව්… එ් වගේ ම දවසක් මට ඊට වඩා සතුටක් දේවි…!!”

මඳක් සිනහසුණු අනන්ත ඉතා ඉක්මනින් මා හට ඇඟ කිළිපොලා යන පිළිතුරක් දී සංවාදය අවසන් කළේ ය.

‘‘බිනර… සදාකාලික විමුක්තියෙන් මෙහාට තියෙන කිසි ම දේකින් සතුටු වෙන්න එපා…! පැවිද්ද කියන්නේ ඉලක්කයක් නෙවෙයි. පැවිද්ද කියන්නේ ඉලක්කයකට යන ගමනක ආරම්භයක්. දිනුම් කණුවයි ආරම්භක කණුවයි පටල ගත්තොත් ලොකු අමාරුවක වැටෙනවා. එහෙනම් බිනර මම තියන්නම්.

තෙරුවන් සරණයි…!! නමෝ බුද්ධාය…!!!”

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ

සඳ දෙස බලන්න.

ඇඟිල්ල දෙස නො බලන්න.

ඇඟිල්ල ගැන නො සොයන්න.

මේ ශ‍්‍රී සද්ධර්මය

ජීවමාන යි…!

එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  වෙසක් කලාපය

WWW.MAHAMEGHA.LK

මතක සටහන

ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.

SMS Only – 077 063 08 68

තීරණය
බොහෝ දේ සොයා ආ ගමනක බොහෝ දේ නො ලැබ ම මිය යන්නවුන් ය අප… මේ ගමනේ අවසානයක් නැත. එකක් නිම වන විට එකක් ලෙස ඉලක්ක අපට ඇත. සන්සිඳීමක්, නිමාවක්, තෘප්තියක් නැති ගමනකි ජීවිතය…

එහෙත්… කෙළවරක් ඇති ගමනක් ද ලෝකයේ ඇත. එහි ඇරඹුමට පැමිණියෝ එ්කාන්තයෙන් ම කෙළවරට ද පැමිණෙති. එ් වනාහි සුගත තථාගත මුනි මඟයි. කලණ යහළුවන් එහි පෙරගමන්කරුවන් ය. ඔවුන් පෙන්වන මෙඟ් අපේ පිය තබන තීරණය අප ගන්නේ කවදා ද!!! අපේ තීරණය ගැන යළි සිතනු වස් දිගහැරෙන කසාවත 21වන පෙළගැස්මයි මේ…!

කාම ලෝකයේ ගාමක බලවේගය පංච කාමය යි. පංච කාමය නො තිබුණා නම් එය කාම ලෝකය ලෙස හැඳින්විය නො හැකි ය. කාම සංඥා පහළ නො වන මිනිසුන්ගෙන් ම මේ පෘථිවිය පිරී තිබුණා නම්, මිනිස් ලොව පංච කාමය නො තිබුණා නම්, මෙලොව කෙතරම් ශාන්ත වනු ඇත් දැයි මම බොහෝ කල්පනා කොට ඇත්තෙමි.

පංච කාමයෙන් තොර ලොවක් නම් මෙලොව, මිනිසා රසය පසුපස නො ගොස් ජීවිත යාත‍්‍රාව පවත්වා ගැනීම උදෙසා ම පමණක් ආහාර අනුභව කරනු ඇත. එමෙන් ම සුන්දරත්වය පසුපස නො ගොස් ශීත උෂ්ණයෙන් වැස්සෙන් අව්වෙන් ආරක්ෂා වීම, සත්ව උවදුරුවලින් ආරක්ෂා වීම පිණිස වස්ත‍්‍ර සහ නිවාස පරිහරණය කරනු ඇත. ඇස කන පිනවන ජනමාධ්‍ය සහ මායාකාරී දැන්වීම් පුවරු මෙන් ම කාම ව්‍යාපාර ආදි කිසිවක් නොමැති සැලසුමකින් අතිශය ශාන්ත මං මාවත් හා නගර ජනපද ඉදිවනු ඇත.

සම්බුද්ධ දේශනාවන්ට අනුව, කාම ලෝකයේ කාම බන්ධනයෙන් නිදහස් වුවත්, රූප ලෝකයේ බන්ධනයන්ගෙන් සහ අරූප ලෝකයේ බන්ධනයන්ගෙන් නිදහස් වීම තව දුරටත් ඉතිරි ව තිබේ. කාම බන්ධනයන්ගෙන් ගැලවීම මේ තරම් අසීරු ව තිබියදීත්, ඊටත් අසීරු රූප අරූප බන්ධනයන්ගෙන් ගැලවීමට නො හැකි ව නිවනට පත් නො වී සසරට වැටුණු ඍෂිවරු කෙතරම් නම් සිටිත් ද! එවන් යුගයක සියලූ භව බන්ධනයන්ගෙන් නිදහස් වන එ්කායන විමුක්ති මාර්ගය අසන්නට ලැබීම කොයි තරම් නම් වාසනාවක් ද..!

බෝසත්වරු, ශ‍්‍රාවක චරිත අතීතයේ දී විමුක්තිය උදෙසා සිදු කරන ලද පරිත්‍යාගයන් පිළිබඳ කතා රැසක් දහම් පිටු අතරින් කියවන්නට ලැබුණි.

උන්වහන්සේලාට සැබැවින් ම විමුක්තිය පිණිස අත්හැරීමට දේවල් තිබුණි. විමුක්තිය පිණිස පමණක් නොව දිවි ගලවාගෙන සුනාමියකින් පැන යාමේදීවත්, අත්හළ නො හැකි යමක් ඇත් ද උන්වහන්සේලා අත්හළ කුඩා ම වටිනාකමකින් යුතු දේ සමඟවත් අපේ වත්කම් අහසට පොළව මෙන් නීච ය… හීන ය.

උන්වහන්සේලා රිදියෙන් රත්තරනින් කළ හැඳි පිඟන් අත් හැර පාත‍්‍රය අතට ගත් නමුත්, රිදී පාටට දිළිසෙන සුදු යකඩ හැන්දත්, කිරි පාටට පාට කරන ලද පිඟන් මැටි තැටියත් අත හැර ගැනීමට අපට නො හැකි ය. උන්වහන්සේලා සුසිනිදු සළුපිළි අතහැර, පිරිසිදු රනින් කළ අධි වටිනාකමකින් යුතු මුතු මැණික් දියමන්ති සවි කළ ආභරණ අතහැර කසාවත දරා ගත් නමුත්, රුපියල් පනහේ සීයේ සිට දාහ දෙදාහ දක්වා වූ පාංකඩ වැනි ඇඳුම් කෑලිවලින් මැවුනු විලාසිතා ලෝකයක් සහ පොල් කෙන්දක් දෙකක් මහත චේන් පොටක් මුද්දක් කරාබු කෑල්ලක් අත හැර ගැනීමට අපට නො හැකි ය. උන්වහන්සේලා ධාර්මික ව ලද රන් ඔටුනු ගලවා, අභිනීල කෙස් වැටිය කපා හිස මුඩු කරගත් නමුත්, තඩි ලේඬි පිරුණ අකලට පැසෙන අකලට වැටෙන හිස කෙස් කපා දමා දැමීමට අපට නො හැකි ය.

එපමණක් ම නො වේ. උපතින් ම ලද, රන්වන් පැහැති සුසිනිඳු සමකින් සහ ව්‍යායාම් බෙහෙත්වලින් තොර ව උපතින් ම ලද සුන්දර ස්වභාවික රූ සපුවකින් යුක්ත වූ, ස්වභාවික ව ලද සුන්දර දෙනෙතක් හා සුන්දර පැහැයෙන් යුතු තොල් සඟලක් මෙන් ම ස්වභාවිකව ම දිළිසෙන නීරෝගී කෙස් කළඹකින් යුතු අධිරූමත් පංච කල්‍යාණි කුමාරිකාවන් බිරින්දෑවරුන් ව සිටිය දී එ් සියලූ දෙනා අතහැර පැවිදි වන්නට කසාවත් දරන්නට උන්වහන්සේලාට හැකි විය.

එනමුත්, උපන් දා සිට නානාප‍්‍රකාර දේවල් තවරමින් සුදුමැලි පාටක් මතුකරගෙන උලා ලෑම නිසා ම ගෙවී ගොස් සිනිඳු ගතියක් සකසා ගත් සමකින් යුක්ත… ලෝකයාට පෙනෙන සම පමණක් පැහැපත් වී සැඟවුණු තැන් උපන් අප‍්‍රිය අවලස්සන දුර්වර්ණ ස්වභාවයෙන් ම පවතින… පේ‍්‍රතියන් මෙන් ආහාර අඩුවෙන් ගෙන සිරුරේ මේදය වියළවා දමා හිතාමතා ම කෘෂ කරගෙන සකපෝරුවේ දමා වෙහෙස වී මැටි කළයක් තනන්නා සේ අධික ව්‍යායාමවලින් ශරීර හැඩය සකසා රැකගෙන සිටින… ප්ලාස්ටික් කෑලි ඇස් ගුලිවල ඔබාගෙන ඇස් පාට කර ගත්, ඉටි තීන්තෙන් වර්ණ ගැන්වූ තොල් සහිත…

සැලෝන්වලට පින් සිද්ධ වෙන්න කාලෙකට ඇඹරී ගිය, කාලෙකට කෙළින් වී ගිය, කාලෙකට කාල වර්ණ සහ තවත් කාලෙක මලකඩ වර්ණ කෙස් කළඹක් නඩත්තු කරනා…. මවාගත් අධිරූමත් භාවයකින් යුතු දියසායම් චිත‍්‍රයක් බඳු ඉමිටේෂන් පංච කල්‍යාණි සි`ගන්නියන් රැුළක් අතහැර ගැනීමට නො හැකි ව නැවත නැවතත් අපි සසරේ ම යන්නෙමු.

සියල්ල අත්හැරීමට සිතෙන විට, අතහැර ගන්නට නො හැකි බොහෝ දේ සිහියට පැමිණෙන නමුත්, එ් අතීත උතුමන් වහන්සේලාගේ ජීවිත දෙස බලද්දී අප හට අතහැරීමට ඇත්තේ හිඟන සැපයක් පමණි. සැබෑ කම්සැප අතහැරියේ උන්වහන්සේලා ය. කිසිවක් අතහැරීමට නො හැකි ව සියල්ල පොදි බැඳගෙන සියක් ආයු ජීවත් වුවත්, තමාගේ මරණයට පෙර හෝ මරණයත් සමඟින් එ් සියල්ල අහිමි වී යනු ඇත. යම් දිනක ස්ථිරව ම අහිමි වන දෙයක් අවසන් මොහොත දක්වා ම ආශාවෙන් භුක්ති විඳීම ණයට ගත් දෙයක් හිමිකරුවන් පැමිණ පැහැරගෙන යන තෙක් ම ආශාවෙන් භුක්ති විඳීමටත් වඩා අවාසනාවන්ත ය. කිම ද, හිමිකරුවා සමඟ කතිකා කරගෙන එ් දෙය නැවත ලබාගත හැකි ව තිබීම යි. නමුත් මරණයෙන් අහිමි වන සියල්ල එසේ නැවත ලබා ගත නො හැකි ය. අහිමි වුව හොත් අහිමි වූවා ම ය. වෙන් වුව හොත් වෙන් වූවා ම ය.

ජීවිතයක් තුළ දුක සැප පැමිණෙන්නේ කෙසේදැයි කල්තියා දැනගත නො හැකි වුවත්, තථාගතයන් වහන්සේ වදාළ ශ‍්‍රී සද්ධර්මයට අනුව මනා කොට අවබෝධ කළ හැකි එ්කායන සන්ධිස්ථාන කිහිපයක් වේ. එනම්, ඉපදීම, ලෙඩ වීම, වියපත් වීම සහ මරණය යි. පිරිසෙන් වෙන් වී ප‍්‍රියයන් අතහැර අප‍්‍රියයන් සමඟ මධ්‍යස්ථ වූ පැවිදි උතුමෙකුට සෝක වැළපුම් දුක් දොම්නස් සුසුම් හෙළිම් නවතා වාසය කළ හැකි වුවත්, ඉපදීම, ලෙඩ වීම, වියපත් වීම සහ මරණයට මුහුණ නො දී සිටීමට උන්වහන්සේට ද නො හැකි ය. එනමුත් නැවත වතාවක් ඉපදීම, ලෙඩ වීම, වියපත් වීම සහ මරණයට පත් නො වී සිටීම සඳහා ප‍්‍රතිපදාවක් උන්වහන්සේ තුළ පැවතිය හැකි ය.

විස පිරුණු මඩ වළක ජීවත් වන සම ගැලවුනු සතුන් රෑනක් සේ සසරට වැටී සිටින අප කලාතුරකින් ඉන් නිදහස් වීමට ලැබෙන අවස්ථාව දැන දැන ම මඟ හැර ගන්නේ අඥානකම නිසා ම ය. සසරත් අවිද්‍යාවත් අඥානකමත්… අප‍්‍රමාදයත් ක්ෂණ සම්පත්තියත් නිවනත් ගැන ලියවුණු සුන්දර වදන් පෙළක් ‘කන්ද උඩ කුටියේ වැඩ සිටි’ ස්වාමීන් වහන්සේගේ සටහන් පොතේ තැනක තිබුණා මා හට මතක ය. වහා ම එ් පිටුව පෙරලා එම කවිපෙළ මෙහි සටහන් තබන්නෙමි.

‘‘නිමක් නොමැති මේ සසරේ –

ඇවිද ඇවිද යන අතරේ

ලැබුණි කලාතුරකින් යුතු –

ඉතා උතුම් මිනිසත් බව

ආයෙත් නම් කවදාවත් –

දුක් නො විඳින්නට සසරේ

සියලූ දෙයට වඩා උතුම් –

තුන් ලොවට ම උතුම් මැණික

ලැබුණා! අප හට ලැබුණා! –

සැරසෙව් පින්වතුනි ඉතින්

මේ සදහම් සළුපිළියෙන් –

නගිව් දහම් නෞකාවට

නැගගත්තොත් දහම් නැවට –

ආයෙත් නො වැටේ සසරට

බිඳිමින් සැඩ පහර යසට –

නො නැවතී ම යයි නිවනට”

සුත්ත නිපාතය සූත‍්‍ර පොත් වහන්සේගේ පරිවර්තනයක් වූ ‘අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති’ නම් වූ පින්වත් ගුරු දේවයන් වහන්සේ විසින් රචිත පොත් වහන්සේගේ පසු පිටේ සඳහන් වූ කවිපෙළ යි.

ජීවිත ගමන වෙනස් කරන සන්ධිස්ථානයන් රැසක් සියල්ලන්ට ම හමු වී ඇති බව මම විශ්වාස කරමි. විටෙක අධ්‍යාපන රටාවක් තෝරා ගැනීම ද තවත් විටෙක රැකියාවක් තෝරා ගැනීම ද සන්ධිස්ථානයන් වේ. කිසියම් වෘත්තියක දී හෝ ව්‍යාපාරයක දී අසාර්ථක වුවහොත් වෙනස් මාවතකට යොමු වීම සඳහා සුදුසු ම අවස්ථාවේ සුදුසු ම තීරණය ගැනීම ද තවත් එක් තීරණාත්මක සන්ධිස්ථානයකි. දහස් ගණනක් තරුණියන් අතරින් මුළුමහත් ජීවිත කාලය ම ගත කිරීම සඳහා තෝරා ගන්නා තරුණිය කවුදැයි යන්න තීරණය කිරීම ද එ් හා සමාන ම වැදගත් සන්ධිස්ථානයකි. මේ සියලූ සන්ධිස්ථාන අතරේ වෙනස් ම වූ තීරණයක් ගැනීමට නො හැකි ව අද මම හිර වී සිටිමි.

එ් පිළිබඳ ව පියා සමඟින් ද මාගේ වැඩිමහල් ඥාති සොයුරෙකු සමඟ ද කතිකා කිරීමෙන් පසු තීරණයක් ගැනීමට මම කල්පනා කළෙමි. පියා නිවසට පැමිණෙන්නේ රාත‍්‍රියේ බැවින් දවල් 12ට පෙර ඥාති සොයුරාගේ නිවස වෙත යාමේ අදහසින් යතුරුපැදියට නැඟී පිටත් වී ගියෙමි. ඔහුගේ නිවස තිබුණේ මඳක් දුරට වන්නට ය. නමුත් එහි පැමිණීමට පෙර මා පැමිණෙන බව දුරකථනයෙන් දැනුම් දුන්නෙමි. එ් මා වෙනුවෙන් ඔහුගේ කාලය සූදානම් කරවීම උදෙසා ය.

‘‘ආහ්… එන්න මල්ලි. උඹ ආව එක ලොකු දෙයක්. මටත් එපා වෙලා හිටියෙ බං. අද ඉරිදනෙ. මාර කම්මැලියි…” යතුරුපැදියේ ශබ්දය ඇසී මිදුලට පැමිණි අයියා ඉතා උණුසුම් ලෙස මාව පිළිගත්තේ ය.

‘‘එ් මොකෝ ජනිත් අයියා කම්මැලි…? අද අක්කා නැද්ද ගෙදර…??” යතුරුපැදියෙන් බැසගත් මම හෙල්මට් එක ගලවමින් ගේ තුළට ද බැල්මක් හෙළමින් විමසුවෙමි.

‘‘ඉන්නව ඉන්නවා… එ්ක තමයි අවුල බං. නිවාඩු දවසෙත් ගෙදර නෑ කියයි කොහෙ හරි ගියොත්. ඔය ඉතිං හෙල්මට් එක ගලවන්න එපා බං. මම උඹෙ වැඩක් කියල ෂර්ට් එකක් දාගෙන එන්නං. අපි යං ටවුමට…?” දෑතින් ම හෙල්මට් එක ගෙන නැවත මගේ හිසේ පැලඳවූ ඔහු ක්ෂණයෙන් නිවසට ගොස් විනාඩි පහක් පමණ ඇතුළත විනාඩි 30ක් පමණ ගෙන ලක ලැහැස්ති වූවෙකු සේ අතිශය පිළිවෙළට ටී ෂර්ට් එකක් සහ ඩෙනිම් කලිසමක් හැඳ පැමිණියේ ය. එ් සමඟින් ම පිටුපසින් පැමිණියේ ඇගේ බිරිය යි. කලකට පෙර ඉතාමත් ම රූමත් ව නගරයේ දී මුණගැසුණු ප‍්‍රියංකා අක්කා ම දැයි සිතෙන තරමට පළමු දරු ප‍්‍රසූතියෙන් පසු විකෘති වී ගොස් ඇත්තේ පෙරේත බැල්මක් වැටුණා සේ ය. දරුවාට යමක් කවමින් ම මිදුලට පැමිණි ඇගේ වස්ත‍්‍රය සහ හිස කෙස් පවා පිළිවෙළකට නො තිබුණි.

‘‘මේ ගෑනු.. ටවුමට බහිද්දි තමයි කෙස් ටික අතුපතු ගාගෙන මූණ සුද්ද කරල පින්තාරු කරගෙන අලූත් ඇඳුමක් ඇඳගෙන එන්නෙ. ගෙවල්වලට එන්න  ඕනෙ අප්සරාවියන්ගෙ පෙරේත මූඞ් එක බලන්න…” මම මට ම කියාගත්තෙමි. හෙල්මට් එක තුළ ම මුමුණමින් මා පැවසූ දේ් දෙදෙනාට ම නෑසුණි. එ් අතරේ අක්කා පැමිණිල්ලක් සටහන් කරවන්නාක් මෙන් මා ඇමතී ය.

‘‘බිනර මල්ලි එනව කීවම මම හිතුවෙ කෑමටත් ඉඳියි කියල. ආව ගමන් යන්නනෙ ඇවිල්ල තියෙන්නෙ. මොකද්ද මල්ලි වැඬේ…? තේකක් බීල  යන්නකො. පැයක් දෙකක් හිටිය නම් මටත් එන්න තිබ්බ. ටවුමට යන්න හිටියෙ මාත් හවස් වෙලා…”

‘‘න්නෑ අක්කෙ… බ්බෑ අක්කෙ… මට අත්‍යාවශ්‍ය කරුණු ටිකක් කතා බහ කරගෙන පොඩි වැඩ වගයක් කර ගන්න තියෙනවා. ඉතිං අයිය කීවා ටවුමට ගිහිල්ල ම කර ගමු කියල…”

‘‘ආහ් මෙයා ද මේ ටවුමට යමු කිව්වෙ…?” දෑස් සමතල කර ගනිමින් ජනිත් අයියා දෙස බැල්මක් හෙළුෑ ඇගේ වැඩිමනත් කතාවට මැදින් පැනගත් ජනිත් අයියා… ”හරි හරි  ඕව පස්සෙ කතා කරන්න බැරියැ. ඔයා ගේට්ටුව වහල ගෙට යන්න. මම ඉක්මනට එන්නං…” යි මැදට පැන අක්කාගේ දෙබස් කපා හැරියේ ය.

‘‘පර්ස් එක ගත්ත ද?” තරවටු කරන්නාක් මෙන් අක්කා විමසුවා ය.

‘‘ඔව් ඔව්…”

‘‘අනේ… මේ මොබයිල් එක මේසෙ උඩ. මොබයිල් එක අරන් යන්නකො වදේ…”

‘‘නෑ… මේ  ඕකෙ බැට්රි මදි. අරන් ගියත් බහිනවා. ඔයා චාර්ජ් එකට ගහන්න. මං එන්නං. හදිසියක් වුණොත් බිනර මල්ලිගෙ මොබයිල් එකට ගන්න… යං මල්ලි යං…” හෙල්මට් එකත් දමාගෙන ලහි ලහියේ යතුරුපැදියේ පිටුපසට නැගගත් අයියා කරත්තෙ දක්කන්නට ගවයාට තලන්නා සේ වැරෙන් මාගේ පිටට ගසමින් ගමන ඉක්මන් කළේ ය. මම ද ඉක්මනින් ම යතුරුපැදිය පණ ගන්වා නිවසෙන් පිටතට යොමු කොට මාර්ගයට දමා ඉදිරියට පදවගෙන ගියෙමි. එ් අතරේ අක්කාගේ හඬ පිටුපසින් ඇසෙන්නට විය.

‘‘අයියෝ… මගෙ ළඟ බිනර මල්ලිගෙ නම්බර් එක නැතෝ….”

‘‘මොකද ජනිත්තයියා මොබයිල් එක දාල ආවෙ…?” යතුරුපැදිය පදවන ගමන් ම මම ඔහුගෙන් විමසුවෙමි.

‘‘න්නෑ මල්ලි.  ඕක ගෙනිච්ච නං තෝං ලණුව අදිනව වගේ…. කොහෙද ඉන්නෙ… කීයට ද එන්නෙ… එන්නෙ නැද්ද… පුතා තාත්ත හොයනව… අනේ ලයිට් නෑ… අයියෝ සද්දයක් ඇහුණා… අනේ මට උණ වගේ… මොකද පරක්කු…. අද එන්නෙ නැද්ද ගෙදර… ඔන්න මම කෑම කන්නෙ නෑ පරක්කු වුණොත්…. අයියෝ බබා අඬනවා… උණ වගේ…. නන්ස්ටොප් කරච්චලේ මචං. වැඩක් කර ගන්නත් නෑ. කෝල් ආන්සර් කළේ නැත්තං මැසේජ් දානවා මොළේ කචල් වෙනකම් ම. ඊට මීට වඩා හොඳයි එකපාර ම ගෙදර ගිහිල්ල වන්ෂොට් ඔය අඳෝනාව අහගෙන තියෙන දෙයක් කාලා නිදාගන්නවා…” මාගේ කතා බහට හොඳ ආරම්භයක් ලබා දුන් ජනිත් අයියා එ් සියල්ල මිටින් හළ කුරුල්ලෙකුගේ මෙන් සතුටකින් කියා දැමූ බව යතුරුපැදියේ පැති කණ්ණාඩියෙන් දුටු ඔහුගේ සිනහවෙන් ම තේරුම් ගත්තෙමි.

වසර කිහිපයකට පෙර ඉරිදා දිනවල දී මේ ආකාරයෙන් ම අමාරුවෙන් අම්මාගෙන් අවසරය ගෙන තාත්තාට වහං වී ගෙදරින් පැනගත් ජනිත් අයියා යාළුවන් ද මඟ හැර උමතුවෙන් මෙන් ප‍්‍රියංකා අක්කා ව හමු වීමට ටවුමට ගිය ආකාරයත්, වර්තමානයේ එ් ආකාරයෙන් ම ප‍්‍රියංකා අක්කා ව රවටා ගෙදරින් පැනගෙන ටවුමට යන ආකාරයත් සිහිපත් වන විට මගේ සිතට ඇති වූයේ පුදුමාකාර කණගාටුවකි. ජීවිතය කෙතරම් නම් නිස්සාර ද..! සත්වයා එක් සිරකුටියකින් නිදහස් වී පලා යන්නේ තවත් සිරකුටියක් වෙතට යි. මේ සිරකුටියෙන් ද නිදහස් වී ‘මත්පැන්’ ‘වෙසඟනන්’ ‘සූදුව’ සහ ‘පාප මිත‍්‍රයන්’ වෙතට පලා යයි. එය ඔහු නිදහස යැයි සිතුව ද එ් ද තවත් බරපතළ සිර කුටි හතරකි. එමෙන් ම මානසික ඇබ්බැහි වීම නිසා තමා ම තම දිවිය සිරගත කර ගන්නා වූ ගැලවීමට අපහසු බරපතළ පඹගාලකි. සත්වයා සොයනා නිදහස ඔහුට කිසි දිනක නො ලැබෙන්නේ මෙලොව නිදහසක් විමුක්තියක් නැති නිසා නො වේ. ඔහු නිදහසත්, විමුක්තියත් සොයා යන මාවතේ ඇති වරද නිසා ය.

සිරකුටියෙන් සිරකුටියට යාමට පෙරුම් පුරන ජීවිතත්, පඹ ගාලවල පැටලූණු තවත් ජීවිතත් ආදි ජීවිත රැුසක් එ් මේ අත ඇවිද යන ආකාරය නගරය හරහා යතුරුපැදිය පදවන මගේ නෙත මත ස්පර්ශ විය. එ් සියල්ල අතරේ ජනිත් අයියා එක්තරා හොටෙල් එකක් අසල දී මගේ පිටට තට්ටු කළේ ය.

‘‘නවත්තපං නවත්තපං… මෙතන්ට යං…”

‘‘මෙතන්ට??? මං හිතුවෙ වැව ළඟට යයි කියල. නිදහසේ කතා කරන්න…”

‘‘හරි හරි. මෙතනයි එතනයි ලොකු වෙනසක් නෑ. යමු යමු…”

ඔහුගේ බසට අවනත වූ මම රථ ගාල දක්වා ම පැදවුවෙමි. එහි යතුරුපැදිය නවත්වා හෙල්මට් දෙක ද අතට ගෙන අවන්හල තුළට පිවිසුණෙමි. ඔහුට ඉතා ම පුරුදු තැනක් වූ මේ ස්ථානයට එකල යහළුවන් සමඟ පැමිණෙන බව මම දැන සිටියෙමි. මඳක් බීමතට ඇබ්බැහි වී සිටින ජනිත් අයියා ඉන් එහාට වරදක් කරන අයෙකු බව මා අසා නැත. ඔහු සෑම අතින් ම හොඳ හිතක් ඇති අයෙකි. අවන්හලේ පුටු මේස අතරින් ඇවිද ගිය ඔහු එක්තරා පුද්ගලික ශාලාවකට ඇතුල් විය. එය කුමක් දැයි වටහා ගැනීමට මා හට තප්්පරයක්වත් ගත වූයේ නැත. එ් වෙන කිසිවක් නොව… අවන්හලේ මත්පැන් පානය කරන ශාලාව විය.

‘‘ඉඳගනිං…” මා වෙනුවෙන් පුටුවක් ඇද දුන් ඔහු එ් මේසයේ ම මා හට මුහුණ ලා ඇති පුටුවේ හිඳ ගත්තේ ය. හෙල්මට් දෙක මේසයේ ඉතිරි පුටු දෙක මත තැන්පත් කළ අප දෙදෙනා ම අවන්හල තුළ වටපිට බැලූවේ දන්නා හඳුනන තවත් කවුරුන් හෝ සිටිත්දෝ යැයි කල්පනා කරමිනි.

‘‘මට නං මේ තැන් පුරුදු නෑ අයියා. ඔන්න මං මුලින් ම කියන්නං. මම නං බොන්නෙ නෑ…” මම නීති රීති රෙගුලාසි දමාගෙන ම කතා බහ ඇරඹුවෙමි.

‘‘හරි හරි මලේ. මමත් මේ බොනව නෙවෙයි නෙ. ඉඳගෙන ඉන්නවනෙ. එ්ව පස්සෙ බැරියැ… හොඳයි හොඳයි කියමු බලන්න. මොකද්ද උඹේ ප‍්‍රශ්නෙ?

මටත් ආරංචියි උඹ උළු තියෙද්දි යට ලී ගලවනව කියල…” තියුණු බැල්මක් මා වෙත හෙළුෑ ජනිත් අයියා නො තේරෙන උපමාවක් ද ගෙන හැර පෑවේ ය.

‘‘යට ලී…?”

‘‘නිකං ජීවිතේ කාලකණ්ණි කර ගන්න එපා කොල්ලො. කොල්ලෙක් වුණා ම පුළුවන් තරං සැප විඳින්න  ඕන. ෆන් එක ගන්න පුළුවන් ද බං වෙද පප්පලා වගේ නාකි වුණා ම…? එක එක එ්වට ගැළපෙන කාලයක් වකවානුවක් තියනව. උඹ මේ සුපර් මෑන් වගේ ඉන්න පුළුවන් කාලෙ ආතල මුත්තලගෙ වැඩ කොරන්න ගිහිල්ලා ආතල මුත්තලගෙ වයසට ගියාම බොකවගෙන හිටපං නිකමා වගේ…? යකෝ… ෆන් එකේ ඉඳපං බං. මට නැන්ද කිව්ව දවසක් උඹේ දිනචරියාව. ඔය අනන්තයට පිස්සු. ඌ ඉගෙන ගත්ත වැඩියි. එ්කයි උට පිස්සු හැදුනෙ. වයසට ගියා ම දැං කවුද බලන්නෙ අනන්තය ව? දරුවෙක් මල්ලෙක් ඉන්නව කියල ද මහණ වුණාට පස්සෙ? කවුරුත් අද වෙනකං ‘මං නිවන් දැක්කා’ කියල ඇවිත් කීවෙ නෑනෙ බං. කවුද දන්නෙ නිවනක් තියනව ද කියලවත්. මැරෙන්න බය උං තමයි  ඕව පස්සෙ යන්නෙ. නිකං ජීවිත කාලෙ ම දුක් විඳල කට්ට කාලා අන්තිමට පිස්සෙක් වගේ මැරිල යනව. එම්බාං කරන්න අරන් යන්නෙ එක ම මල්ශාලාවට. සීය යි, හාමුදුරුවොයි දෙන්නගෙ ම පෙට්ටිය එළියට ගන්නෙ එක ම දොරෙන්. ඉතිං මොන නිවනක් ද බං…??? මෙන්න මෙහෙ පිස්සු නැතුව හිටපං. උඹට ගෙදර පාළු නං අපේ ගෙදර වරෙං. ඉස්සරහ කාමරේ මම ඇරල දෙන්නං… හරි? එහෙනං අද දේශීය පානයක් අරං ම මේ කතා ව ක්ලෝස් කරමු මලේ. මොකද කියන්නේ…?”

‘‘උළු තියෙද්දි යට ලී ගලවන්නෙ කවුද කියල මට දැන් තේරෙනවා…” මඳ සිනහවක් පෑ මම ඔහුට දැනෙන නො දැනෙන සේ ඇසෙන්නට ම කියා දැමුවෙමි.

‘‘ ඕකනෙ බං උඹල එක්ක බැරි. එක පාරින් කීව ම තේරෙන්නෙ නෑනෙ…” යැයි පැවසූ ඔහු අත ඔසවා සේවකයෙකු ඇමතී ය. ‘‘ෂ්… මල්ලි…” හෝටල් සේවකයා පැමිණියේ ය.

‘‘සර් කාලෙකින්. මොනව ද  ඕර්ඩර්??”

‘‘ෆ‍්‍රයිඞ් රයිස් කනව නේ ද බිනරෙ?”

‘‘හ්ම්ම්ම්…”

‘‘හරි… ෆ‍්‍රයිඞ් රයිස් දෙකයි… චිකන් ප්ලේට් දෙකයි බියර් බෝතලයයි.”

‘‘හරි සර්..”

‘‘ආහ්… ලොකු සයිස් වීදුරු දෙකයි…”

‘‘සර් කෝක්…? අයිස්…?”

‘‘නෑ දැනට එපා.  ඕන වුණොත් මං කියන්නංකො… හරි එච්චරයි. ඉක්මනට ගෙනෙං…” සේවකයා පිටත් ව ගියේ ය. අනපේක්ෂිත කරදරයක පැටලෙන්නට යන බවක් ඉවෙන් මෙන් මා හට වැටහී ගියේ ය. අයියා සමඟ කතා කිරීමට අවශ්‍ය යැයි පැවසූයේ ද මා ය. කිහිප වරක් ම ප‍්‍රතික්ෂේප කළත් ඔහු අද නම් මා හට හොඳ හැටි කන්න බොන්න දෙන සැටියක් පෙනෙන්නට තිබෙන්නේ ය. බොම්දෝ නො බොම්දෝ කියා සිතිවිල්ලක් ද එ් අතරේ පැමිණ අතුරුදහන් ව ගියේ ය.

‘‘උඹ දන්නවනෙ ජනිත්තයියා. මට මේව අල්ලන්නෙ නෑ. මං බත් එක කන්නං. මම දවල්ට කාලත් නෑ…”

‘‘හරි බං. මම කාලත් නෑ. එ්කයි රයිස් එකක් දාන්න කිව්වෙ… කෑවට පස්සෙනෙ බොන්නෙ. ඔය ඉතිං උඹ මටත් වඩා හදිසියිනෙ බං බොන්න….” අවඥා සහගත ලෙස වදන් හැසිරවූ ඔහු නැවත මගේ බස නො සලකා හැර ලිස්සා ගියේ ය. ඥාති සොයුරෙකු වුණත් කුඩා කල සිට ඔහු මා ඇමතුවේ මිතුරෙකුට අමතන පරිද්දෙනි. වැඩිමහල් සොයුරෙකුට පවතින ගරුසරු ඇසුරක් එකල සිට ම මා වෙතින් ද ඔහු වෙත තිබුණේ නැත. එම නිසා අප දෙදෙනාගේ ඇසුර සහෝදරකමකටත් වඩා මිතුදමක් විය. ඔහුගේ ඇතැම් ස්වභාවයන් වෙත මා කැමැත්තක් නො දැක්වූ නිසා සමීප ඇසුරකට නො ගිය මා විටින් විට ඔහු හමුවීමට යාමට පුරුදු වී සිටියේ හුදෙක් ම ඥාතිකම නිසා ය.

‘‘හොඳයි. කියන්න බලන්න. මොනව ද මාත් එක්ක කතා කරන්න තියෙනව කිව්වෙ…?” සියලූ ආචාර සමාචාර නින්දා අපහාසවලට පසු ඔහු මා පැමිණි මාතෘකාව මතුකර ගත්තේ ය.

‘‘ඇති යන්තං ජනිත්තයියා ටොපික් එකට ආවා. මම හිතුවෙ මට හිස් අතින් ම යන්න වෙයි කියල. මොනව උණත් අයියා මේක සිහි කල්පනාවෙන් කතා කරන්න  ඕන එකක්. එ් නිසා තව පැයක් දෙකක් යන්න කලින් කතාව ඉවර කරමු. අයිය බීල මං නො බී ගෙදර ගියොත් එ්කෙ නඩුව වැටෙන්නෙත් මට ප‍්‍රියංකා අක්කගෙන්…”

‘‘එයාගෙ නඩු කවුද අහන්නෙ බං…? උඹ එයාට බය වෙන්න  ඕන නෑ. මම කසාද මිනිහ වෙලා මමවත් බය නැති එකේ…”

‘‘ඔව්… එ් බව නං පේනවා…”

‘‘මොකද්ද කීවෙ…”

‘‘මේ ජනිත් අයියා…! උඹ සතුටින් ද බං පවුල් කන්නෙ?”

‘‘ඔවු. මම ෆුල් ෆන් එකේ ඉන්නේ. ඇයි උඹට අක්ක මොනව හරි කිව්ව ද? උඹත් ඔන්න ඔය කැම්පස් එකේම ලෙක්චර් ළඳක් සොයාගෙන බැඳපං බං. කැලෑ ගානෙ රිංග රිංග ඉන්නෙ නැතුව…!”

‘‘මට නං එ් හැටි ෆන් එකක් පේන්නෙ නෑ බං අයියෙ. මම දැක්කනෙ අද ගෝනි නැතුව මගෙ කරේ ගිය හැටි… ජනිත් අයියා හිරේ වැටිච්ච එකෙක් වගේ මම දැක්කෙ. අයියගෙ නිදහස හැම දේ ම සීමා වෙලා නේ ද? බඳින්න කලින් කෙල්ලෙක් එක්ක ලබාගන්න ආසාවෙන් හිටපු සැපේට ජනිත් අයියගේ දුක නිවන්න බැරි වෙලා කියලයි මට නං හිතෙන්නේ… එ් කාලේ කොල්ලෙක් වුණා ම නිදහසේ ඉන්න දෙන්නෙ නැති එකට අම්ම තාත්තා එක්ක අමනාපෙන් හිටපු ජනිත් අයියා සැපයක් හොයාගෙන ගිහිං තිබ්බටත් වැඩිය නිදහස අවුරගත්තා කියලයි මට නං හිතෙන්නේ. අඩු ගානෙ කොල්ල කාලෙ තිබ්බ නිදහසවත් නෑ නේ ද දැන්?”

‘‘මොනවද බං උඹ මේ කියවන්නෙ..? මට නං තේරෙන්නෙ නෑ…” පෙර මෙන් ආත්ම විශ්වාසයෙන් කතා නො කළ ඔහු මෙවර ම`ඳක් පසු බෑ ස්වරයකින් මා පැවසූ සියල්ල ප‍්‍රතික්ෂේප කරන බවක් මවා පාන්නට විය. නමුත් සත්‍යය කුමක් දැයි මට වැටහී ගොස් හමාර ය. එ් අතරේ මත්පැන් බෝතල් මේසය කරා පැමිණි අතර මඳ නිහැඬියාවක් සමඟින් ඔහු හුදෙකලාවේ මධුවිත සමඟ ගත කරන්නට විය. මම ද ඔහුගේ මනසට ඉඩ දී දුරකථනයේ තිබූ ‘රුවන්වැලි මහා සෑයේ’ තිබුණු පින්කමක දී ගත් ඡුායාරූප කිහිපයක් නරඹමින් මනස නිරාමිස අරමුණක රඳවා ගැනීමට උත්සාහ කළෙමි. ෆ‍්‍රයිඞ්රයිස් දෙක ද මේසය කරා පැමිණියේ ය. එ් අතරේ ටික ටික බළලා මල්ලෙන් එළියට පනින බවක් පෙනෙන්නට විය.

‘‘මල්ලි කියන දේවල් ඇත්ත මල්ලි. ප‍්‍රියා ව දැක්ක දවස්වල මගෙ හිත ම අමුතු ම හැඟීමකින් පිරිල ගියා. හැමදා ම මූණ බලන්න ම යි  ඕන වුණේ. ඊට පස්සෙ කතා කරන්න  ඕන වුණා. මාර කට්ටක් කාගෙන කරපු එකක් බං එ්ක. ජීවිතේට යන්නෙ නැති පාරවල බස්වල නැගල ගියා. ටියුෂන්වලට දුන්න සල්ලි වියදම් කරල අලූත් ෂර්ට් කලිසං ගත්තා ප‍්‍රියාට පේන්න. අමාරුවෙන් කතා කරල ගෑස් බලල අමාරුවෙන් ම තමයි යාළු කර ගත්තෙ. එයා මට කැමති වුණා ම ඔක්කොම හරි වගේ දැණුනා බං. එ්ත් මාසයක් දෙකක් ගියා ම අර අමාරුවෙන් පස්සෙන් යන කාලෙ තිබ්බ ගතිය යාළු වුණා ම නෑ කියල හිතට දැනෙන්න ගත්තා.  මිනීමරුවෙකුගේ පාපොච්චාරණයක් සේ ජනිත් අයියා සියල්ල වමාරගෙන ගියේ ය.

‘‘හොරෙන් පාක්වල කතා කරපු කාලෙ අවුරුදු සීයකට කතා කරන්න දේවල් තිබ්බ ගානයි. එ්කිගෙ අතින් උයපු බත් එකක් ගෙනාව ම අම්ම උපන්දා සිට කන්න නො දුන්නු ගානයි. එ් තරං කන්න හිතයි. බිනර මල්ලි. එ්වත් හරි එ්ත් බං… එ්ත් බැන්දට පස්සෙ වැටකඩොලූ නෑනෙ බං. ඇති තරං කතා කරන්න පුළුවන්, උයපු කෑම කන්න පුළුවන්. කාමෙ නං කාමෙ. හැම දේම අනුමතයිනෙ බං…”

‘‘ඔව්… ඉතිං ඉතිං…” උණු උණුවේ ම තිබුණු එළවළු බත් එක කන ගමන් කතාව දුරදිග ඇදීම පිණිස මම පොහොර දැම්මෙමි.

‘‘වැඩක් නෑ මලේ. ටික කාලෙකින් කිසි ගතියක් නෑ වගේ මට දැනෙන්න ගත්තා. උඹ දන්නවනෙ බං එ්කි මාර ලස්සනයි. එ්කි ව එක ම වහලක් යටට හැමදාට ම ලැබිලත් බැඳල අවුරුද්දක් විතර යද්දි මම හිර වෙලා වගේ දැනෙන්න ගත්තා. කොල්ලො එක්ක ගත්ත විනෝදෙ මීට වඩා සැපයි කියල දැනෙන්න ගත්තා. සෙක්ස් වුණත් මල්ලි ටික වෙලාවනෙ. ඉතිරි පැය විසි හතර ම එ්කිගෙ ගෑස් බලාගෙන කියන කතන්දර අහගෙන ඉන්න එපැයි. ඊට පස්සෙ තමයි බං දරුවෙක්වත් හිටියොත් සතුටක් එයි කියල හිතුණෙ. දරුව ආවට පස්සෙ මම නිකං  කලින් ලැබුණු සැප ටිකවත් ලැබෙන්නෙ නැති ගාණට  වැටුනා. නිවාඩුවට ගෙදරින් එළියට යන්න නෑ. දවස් පහේ ඇරියස් එකට සති අන්තෙට පුතා ව බලාගන්න  ඕන. පුතා මගෙ නිසා ආදරේට ජීවිතේ ඇදන් ගියාට වෙලාවකට මට දමල ගහල යන්නත් හිතෙනවා බං…”

‘‘ ඕක ද ජනිත්තයියා මටත් ගන්න කිව්ව ෆන් එක. බැඳපු උන් හරියට ඇත්ත කිව්ව නං නො බැඳපු උන් අමාරුවේ වැටෙන්නෙ නෑ අයියා…”

‘‘සෑහෙන්න මොළේ දාලා මම මේකි ව තේරුම් අරන් ඉන්නව කියල දැකපු අහපු හැම දෙයක් ගැන ම මතක තියාගෙන හිටියත් මාස ගාණක් හිතන්න වෙන අමුතු ම අලූත් මූඞ් එකක් දානවා ඊට පස්සෙ. තේරුං ගන්න නම් අමාරු ම ජාතියක් බං ගෑනු. වෙලාවකට හිතෙනවා හැමදා ම ලව් කර කර හිටිය නං හොඳයි කියල කසාද බඳින්නෙ නැතුව…”

‘‘එහෙම සංස්කෘතිත් බටහිර ලෝකෙ තියෙනවා අයියා. එතනත් දුක තමයි. කසාද නො බැඳ හිටියත් එ්කාකාරී කාම සැපය එපා වෙලා ගිහින් පරස්ත‍්‍රී සේවනයේ හරි පරපුරුෂ සේවනයේ හරි යෙදෙනවා…”

‘‘මල්ලි හරි මල්ලි…!”

‘‘අයිය අක්ක එක්ක රණ්ඩු වෙලා තියෙනව ද?….”

‘‘නෑ… මල්ලි. උඹ බං බොලං කියාගෙන නෑ. එ්කි හොඳයි බං. එ්ත් මේ ජීවිතේ කිසි සතුටක් නෑ. කිසි ගතියක් නෑ. කනව බොනව බබා නළවනව බුදියනවා වැඩට යනවා ගෙදර එනවා ටීවි බලනවා කනව බොනව බබා නළවනව බුදියනවා… ඔච්චරනෙ බං. රස්සාවෙන් අයින් වෙනකං ම පොඩි උං ලොකු වෙනකං ම ඔච්චරයි…”

‘‘ඊට පස්සෙ සිද්ධ වෙන දේ අපේ අම්මල තාත්තල දිහා බැලූව ම හිතාගන්න පුළුවන්නෙ ජනිත් අයියා….” ඔහුගේ කතාවට ඌනපූරණයක් එක් කරමින් මම ද එය අනුමත කළෙමි.

‘‘ඇත්තට ම මම ගිහි ජීවිතේ ගැන තිබ්බ එක ගැටලූවක් නිරාකරණය කර ගන්නයි අයියා එක්ක කතා කරන්න ආවෙ. පණ වගේ ආදරේ කරල බොහොම ලස්සන කෙල්ලෙක් ව කසාද බැන්ද අයියගෙ පවුල් ජීවිතේ ගැන දැනගන්න මට  ඕන වුණා. මට හැම අතින් ම උපකාරයක් වෙන දේවල් තමයි අයියගෙ ගෙදරට ආපු වෙලාවෙ ඉඳන් ම සිද්ධ වුණේ. මෙච්චර හොඳ දෙන්නෙක්ට වුණත්, ජීවිතේ තියෙන නිස්සාරකම නිසා ම අවසානයේ ලැබුණෙ දුක විතරයි…”

”එහෙම නෙවෙයි මල්ලි. මල්ලි මල්ලිට ම ගැළපෙන භාවනා කරන බණ අහන්න ආස මල්ලිගෙ ම ටයිප් එකේ කෙල්ලෙක් ව කසාඳ බැඳගත්ත නං හරිනෙ. ඊට පස්සෙ දෙන්න ම එකට දානෙ දීගෙන අටසිල් අරගෙන ඉන්න බැරියැ….” සියල්ල පසෙකලා අලූත් ම යෝජනාවක් ගෙන ආ ජනිත් අයියා, මාගේ ප‍්‍රතිචාරය අපේක්ෂාවෙන් දෑස් දල්වා බලා සිටියේ ය.

‘‘ ඕකට කියන්නේ හලාහල විසට මී පැණි දාලා රස කරල දෙනව කියලා. හරි ම ලස්සන කතාවක් අයියා කිව්වෙ. මම වගේ කෙනෙක්ගෙ හිත හොඳට ඇදිල යන්න පුළුවන්. මමත් කාලයක් ඔහොම හිතුව තමයි. නමුත් මට ඇත්ත වැටහුණා ම මම එ් මෝඩකං අතෑරියා.

ජනිත් අයියේ… බැන්දත් කරන්නේ පින් නම් කුසල් නම්, නො බැන්දත් කරන්නේ පින් නම් කුසල් නම්, බැන්ද ම එ්කට ලොකු බාධාවක් මිසක් පහසුවක් වෙන්නෙ නෑ. මේ කාලෙ ලෙඩ වුණොත් එක ඇඟයි. එ්ත් කසාද බැන්ද ම මම හොඳට හිටියත් වැඩක් ද අනිත් කෙනා ලෙඩින් නම්…? මට නිදහසක් නෑනෙ පිනක් දහමක් කර ගන්න.

එ්ක සාටක කියල බ‍්‍රාහ්මණයෙක් ඉඳල තියෙනව ඉස්සර. එයාට යි එයාගෙ බිරිඳට යි දෙන්නට ම තිබ්බෙ එක ම එක උතුරු සළුවයි ලූ. ඉතින් දවසක් බණ අහල බුදුරජාණන් වහන්සේට උතුරු සළුව පූජා කරන්න හිතෙනවා. එ්ත් පස්සෙ එයාගෙ හිත නවතිනවා. මම දුප්පත්. මගේ සළුව පූජා කළොත් බිරිඳට සළුවක් නැති වෙනවා. එ්කෙන් වෙන්නේ බිරිඳට බණ අහන්න එන්න බැරි වෙනවා. එ් නිසා මේ සළුව පූජා කරන්න බෑ. මේ විදියට දෙපාරක් ම පූජා කරන්න සිත් පහළ වෙලා වළක්වා ගන්නවා බිරිඳ වෙනුවෙන්. අන්තිමේ තුන්වෙනි වතාවෙ තමයි වෙන දෙයක් වුණාවෙ කියල පූජා කරල දාන්නෙ. ඉතිං බලන්න එ්ක සාටක තනිකඩයෙක් වුණා නම්, එක සැණින් ම එ් සළුව පූජා කරනවනේ…”

‘‘බිනරෙ. දැන් මේ කියන්නෙ හැම කොල්ල ම කසාද නො බැඳ ඉන්න  ඕන කියල ද? කසාද බැන්දොත් ධර්මයක් නෑ කියල ද?”

‘‘එ් තමයි මම නො කියපු දේ අයියා. එ්ක ම මම කිව්වා කියල කියන එක වැරදියි. එ්ක අයියගෙ හිතේ තිබ්බ අදහසක්. මම වගේ හිතන්න බැරි නම්, කාමයත් එක්ක ම පැටලිලා ඉඳල මැරිල යනකං ම එහෙම්ම ම ඉන්න කැමති නං එ් වගේ කොල්ලො කසාදත් බැඳගෙන පිනක් දහමක් හැකි විදියට කරගෙන ඉන්න එකේ වරදක් නෑ. හැකි පමණ ප‍්‍රශ්න අඩුවෙන් ඉඳීවි. නමුත් මම හිතන්නෙ… මට එහෙමටවත්  ඕන නෑ. දූපතක හිර වෙලා හිටපු කෙනෙක්ට නැවක නැගල බේරිල යන්න ලැබුණ ම දූපතේ දී ඇන්ද කඩමාලූ ඇඳුම් ටික මල්ලක දාල අරන් යන්න  ඕන නං අරන් යන්නත් පුළුවන්. හැබැයි ඉතිං අතිරේක බරක් විතරයි. මොකද නැවෙන් බැස්ස ම කොහොමත් එ්ව අඳින්න බෑනෙ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමාජෙ ඇඳුම් අඳින්න වෙනවා. මගේ අදහස නම් කොහොමත් නැති වෙලා යන දේ දාලා යන්න සිද්ධ වෙන දේ කලින් ම අතෑරලා දාන එක හොඳයි…”

‘‘එතකොට එ් සැප? උඹ ජීවිතේට එ් සැප විඳල නෑනෙ බං….”

‘‘ජීවිතේට විඳල නැති බව ඇත්ත. එ්ත් සසරෙ කොච්චර නං ඔය කාම සැපත විඳල ඇද්ද අයියා. බල්ලො වෙලා කුකුලො වෙලා සර්පයො වෙලා කොච්චර නං විඳල ඇද්ද. දැන් වුණත් එහෙමනෙ. විඳිනකම් විඳිනවා කියල දැනෙනවා. එ්ත් අවසන් වුණා ම ඔක්කොම දැනීම් ඉවරයි. ආයෙ විඳිනකම් අතරමැදි කාලෙ හිතේ තියෙන්නෙ කවදාවත් වින්දෙ නෑ වගේ කාම පිපාසයක්. මේක ඉවර වෙන්නෙ නැති පිපාසයක් අයියා. සසර පුරා ම මේ කාම පිපාසෙ තිබ්බා. මිරිඟුව වගේ එ්ක පස්සෙ ගියා. අනාගතේටත් තියේවි. මේ විදියට ම හිතුවොත් අනාගතෙත් එ්ක පස්සෙ ම යාවි.

ස්ත‍්‍රී පුරුෂයන්ගේ අසූචි මළ මූත‍්‍ර කෙළ සොටු දහඩිය තැවරුණ අවයව ස්පර්ශ කර ගන්නෙ නැති ව කාම සේවනයක් කරන්න බෑනෙ අයියා. සතා සර්පයාට වුණත් ඔය නීතිය ම යි…” ආහාර ගෙන අවසන් වූ මම ජලය පානය කළෙමි. මා පැවසු සියල්ල සාවධාන ව අසා සිටි ඔහු මත්පැන් පානය පවා අතරමඟ නතර කොට මඳක් කල්පනා කරන්නට විය.

‘‘එ් කියන්නෙ උඹ මහණ වෙනවා…!!!” ඍජුව ම මාගේ දෑස් දෙස බලා විමසූ ඔහු පැහැදිලිව ම ඊට පිළිතුරක් අපේක්ෂා කරන බව පෙන්වමින් නොසන්සුන් ලෙස සුසුම් හෙළන්නට විය.

‘‘නෑ…. මම එහෙම දෙයක් කිව්වෙ නෑනෙ….! අයියා ආයෙත් මම නො කිව්ව දෙයක් කිව්වා කියල හිතාගත්තා නේ ද…!! මට හිතෙන්නෙ අයිය වැරදි නිගමනේකට ආවෙ. මගේ තීරණේ මහණ වෙන එක නෙවෙයි. ඊටත් වඩා වෙනස් දෙයක්…!!!” මඳ සිනහවකින් ඔහුට සංග‍්‍රහ කොට කෑම මේසයේ කටයුතු මෙන් ම කතාබහ ද අවසන් බව හඟවමින් අත පිසදාගත් මම පුටුවෙන් ද නැගිට්ටෙමි.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ

සඳ දෙස බලන්න.

ඇඟිල්ල දෙස නො බලන්න.

ඇඟිල්ල ගැන නො සොයන්න.

මේ ශ‍්‍රී සද්ධර්මය

ජීවමාන යි…!

එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2016  බක්  කලාපය

WWW.MAHAMEGHA.LK

මතක සටහන

ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.

SMS Only – 077 063 08 68

දහම් (පිය) සටහන්
‘‘කඳුළක් උණන්නේ දෙනෙතක් ඇති නිසයි. බැණුමක් ඇසෙන්නේ දෙසවන් ඇති නිසයි. කුසගිනි දැනෙන්නේ මිය ගොස් නැති නිසයි. සැප දුක් දැනෙන්නේ සසරට ආ නිසයි. කහවත් දරන්නේ නිවනක් ඇති නිසයි…” පිින්වත් ස්වාමීන් වහන්සේගේ සටහන් පොතේ මැදට වන්නට තිබූ පිටුවක ඉහළින් ම එසේ සටහන් ව තිබුණි.

ජීවිතයක් ජීවත් කරවන්නට වෙර දරනවාටත් වඩා ජීවිතයක් සුවසේ ජීවත් කරවන්නට වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ. එයට හේතුව සැපය යනු අප විසින් සොයාගත යුතු දෙයක් ව පවතින නිසා ය. ඇතැම් විට කෙතරම් සොයා ගියත් සැපය ජීවිත කාලයක් පුරාවට ම නො ලැබෙන්නට ද ඉඩ තිබේ. ඇතැම් විට ඉතාමත් ම දුෂ්කර ලෙසත්, ඉතාමත් ම පහසු ලෙසත් සැපය අප කරා පැමිණේ. කෙසේ පැමිණියත් සිංහල අවුරුද්දට පැමිණෙන ඥාතියෙකු සේ ‘සැපය’ ඉතා ඉක්මනින් අප හැර දමා පිටව යයි. එවන් වූ තාවකාලික සැපයක් පසුපස දිව යන මුළු මහත් සත්ව ප‍්‍රජාව ම සැපය තාවකාලික බව නො දන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා ය.

හිරු රැසින් පීඩා විඳි සත්වයෝ සැප සොයා සෙවණක් කරා යති. ශීතලෙන් පීඩා විඳි සත්වයෝ සැප සොයා උණුසුමක් කරා යති. එමෙන් ම පිපාසයෙන් පීඩා විඳි සත්වයෝ පැන් සොයා යන අතර කුසගින්නෙන් පීඩා විඳි සත්වයෝ අහරක් සොයා යති. වැස්සෙන් පීඩා විඳි සත්වයෝ සෙවිල්ලක් සොයා යන්නේ ද උණුසුමෙන් පීඩා විඳි සත්වයෝ සිසිලක් සොයා යන්නේ ද තවත් සත්ව කොටසක් රෝග පීඩාවන්ගෙන් පීඩා විඳි නිසා ඖෂධ සොයා යන අතරේ ය. මැසි මදුරුවන්ගෙන් සහ ලජ්ජාවෙන් පීඩා විඳි සත්වයෝ වස්ත‍්‍ර සොයා යන අතර හීනමානයෙන් පීඩා විඳි සත්වයෝ වස්ත‍්‍රයන්ට අමතර ව කය සරසා ගැනීමට ආභරණ සහ පැලඳුම් සොයා යති. සුවපහසුවෙන් ගමන් බිමන් යාමට කැමති සත්වයෝ රථ වාහන සොයා යන අතර ඇතැම් සත්වයෝ තවත් සත්වයන්ගේ පිට නැගී ගමන් බිමන් යති. සුවපහසුව සොයා යන සත්වයන්ට ශීත කාලයේ දී සුවය ලබා දුන් උණුසුම උෂ්ණ කාලයේ දී දුකක් බවට පත් වෙයි. උෂ්ණ කාලයේ දී සුවයක් ලබා දුන් සිසිලස ශීත කාලයේ දී ලැබුණ හොත් දුකක් බවට පත් වෙයි. යාන වාහන වස්ත‍්‍ර ආභරණ එක් අවස්ථාවක දී සුවයක් වුවත්, තවත් අවස්ථාවක දී පහසුවෙන් රැුකගැනීමට නො හැකි බරක් බවට පත් වෙයි.

තමාත් ඇතුළු ව මුළු මහත් දෙව් මිනිස් ප‍්‍රජාවත් සත්ව ප‍්‍රජාවත් දිනයක් පුරාවට සිදු කරන දේ සොයා බැලූවහොත් ඔවුන් සොයා යන්නේ සැපය යි. නමුත්, එ් සැපය ම තවත් අවස්ථාවක දී දුකක් බවට පත් වී තමා පීඩාවට පත් කරවන්නේ වෙස්මුහුණු පැලඳි පැරණි සතුරෙකු සේ ය. සසර පුරාවට ම අප කරා අනාරාධිතව ම පැමිණි පැරණි සතුරා යනු වෙන කිසිවක් නො වේ ‘දුක’ නම් වූ ස්වභාවය යි. එ් දුක ම ‘සැපය’ නම් වූ වෙස්මුහුණ පැලඳගෙන අප කරා පැමිණ සුළු මොහොතකින් වෙස්මුහුණ ගලවා සැබෑ ස්වභාවය පෙන්නුම් කරමින් පැරණි නර්තනය ම රඟදැක්වීම ඉතාමත් ම පීඩා ගෙන දෙන්නක් වේ. දුක ලෙස පැමිණෙන්නේත්, සැප ලෙස පැමිණෙන්නේත් දුක ම බව තේරුම් ගැනීමට අපට වැය වෙන කාලය සංසාරයේ අප ප‍්‍රමාද වූ කාලයට සමාන බව මා හට වැටහී යන්නට ගත්තේ එ් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සද්ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් පසුව යි.

‘‘බිනර මේ පොත තියාගන්න…! මේ පොත කියවන හැම වෙලාවක දී ම බුදුරජාණන් වහන්සේ ගැනයි පැහැදීම ඇතිකර ගන්න  ඕන. බුදුරජාණන් වහන්සේ නො සිටියා නම් මේ පොතේ ගීතිකා, බජන්… වගේ දේවල් ඇරෙන්න වෙන කිසි දෙයක් ලියවෙන එකක් නෑ. මතකනෙ හඳපානෙ ගමනක් ගියා ම පින් දෙන්න  ඕන හිරුට කියල මම කිව්ව කතාව..?” දළදා මාළිගාවෙන් පිටත් වෙන අතරේ මා අත කුඩා සටහන් පොතක් තැබූ උන්වහන්සේ එසේ පැවසූහ.

නිවසට පැමිණෙන අතරතුරේ දීත්, නිවසට පැමිණි පසුවත් සිත පුරා රැුව් පිළිරැුව් දුන්නේ විරාගී වූ බුදු වදන් ය. ආදරයක් සම්බන්ධයෙන් සිත කුල්මත් වූ දිනයේ නිවසට පැමිණි විට මුළු මහත් සිත ම අපහසුතාවයකින් පිපාසයකින් වෙළී ගියේ ය. නමුත්, විරාගී බුදු වදනක් ශ‍්‍රවණය කොට නිවසට පැමිණි විට දැනෙන ශාන්තිය කෙබඳු දැයි එය අත් නො විඳි අයෙකුට පහදා දීම ඉතාමත් ම අපහසු ය.

‘‘වෙලාවකට හිතෙනවා උන්වහන්සේ රහතන් වහන්සේනමක්වත් ද කියල. නැත්නම් එ්කාන්තයෙන් ම අනාගාමී වෙන්න  ඕන…! සෝතාපන්නවත් නො වී නම්, මෙවන් සංවරයක් කාලාන්තරයක් පවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ…” සටහන් පොත අතට ගෙන හාන්සි පුටුවකට බර දුන් මම මට ම කියා ගත්තෙමි.

ඉතාමත් ම සීරුවෙන් පිටු පෙරළා සටහන් පරීක්ෂා කොට බැලූවෙමි. දිනපතා තැබූ සටහන් නො වුණත්, සෑම සටහනක් ම උන්වහන්සේගේ අඛණ්ඩ දිනචරියාවේ ජීවමාන මතක සටහන් ය. ඉතාමත් ම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගත් මම කිසියම් අධිෂ්ඨානයක් සිදු කොට පොත කියවීමට තීරණය කළෙමි.

‘‘මේ සියලූ සටහන් කියවීමෙන්… මා සිතේ බුදුරජාණන් වහන්සේ ගැන ම ප‍්‍රසාදය ඇති වේවා…! ශ‍්‍රද්ධාව තව තවත් ඇති වේවා…! තව තවත් ඇති වේවා…! තව තවත් ඇති වේවා…!” දොහොත් මුදුන් දී සිහිපත් කළෙමි. සඳු ඇති ? හිරු දැකීමට නම් එ් පිළිබඳ ව විශේෂයෙන් ම සිහිපත් කරන්නට සිදු වේ. නැති නම්, සෑම මොහොතක ම පෙනෙන්නේ ද පැහැදෙන්නේ ද සඳුට ම යි. පින්වත් ස්වාමීන් වහන්සේ පැවසූ දේ කොපමණ සත්‍යයක් ද! වැඩි වශයෙන් ම කවි ගී ලියැවී තිබෙන්නේ ද සඳුට ම යි. නමුත් එක ම තැනකවත්, හිරුට ප‍්‍රශංසා කොට නැත. එ් නිසා මම සෑම විටක ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමටත්, මා ලද සෑම සැනසීමක දී ම උන්වහන්සේට ප‍්‍රශංසා කිරීමටත්, එ් සඳහා උපකාර කළ කල්‍යාණමිත‍්‍රයන් වහන්සේලා කෙරෙහි කෘතඥතාවය රැුක ගැනීමටත් උත්සාහ කළ යුතු ය. එසේ කළහොත් සඳ එළියට වඩා ලොව දැකිය හැකි හිරු එළියක් කරා යාමට මට වාසනාව උදා වනු ඇත.

සටහන 1

භාවනා නො කරන සිතක් වසර ගණනාවක් තිස්සේ භාවිත නො කළ සෙවිලි දිරා ගිය නිවසක් වැනි ය. නිරතුරුව ම වැස්සෙන් තෙමී යයි. නමුත් භාවනාවට සූදානම් වීමෙන් ම ඔහු නිවස සෙවිලි කිරීම ආරම්භ කරයි. හැම දෙයක් ම ලේසියෙන් පහසුවෙන් කෙරෙන්නෙ නෑනේ. උපකරණ සියල්ල එකතු කරල මේ නිවස සෙවිලි වේවා සිදුරු වැසේවා කියල ප‍්‍රාර්ථනා කරත් කිසි ඵලක් නෑ. උත්සාහයෙන් වීර්යයෙන් නිවස සෙවිලි කර ගන්න  ඕන. එ් වගේ පින් රැුස් කරල මේ පිනෙන් මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියල පත පත හිටියට ලැබෙන දෙයක් නෑ. යෝනිසෝමනසිකාරයත්, ධම්මානුධම්ම පටිපදාවත් සිහියත් නුවණත් වීර්යයත් යොදවමින් පුරුදු පුහුණු කරන්න  ඕන. ඇත්තෙන් ම භාවනා කරන භික්ෂුව නිකමෙක් නෙවෙයි. යම් උතුම් ම දෙයක් කරන කෙනෙක්. සිවුරත්, මුඩු හිසත් දරාගෙන ඔහේ හිටියා කියලා එයා භික්ෂුවක් වෙන්නෙ නෑ. භික්ෂුවකට අයිති ප‍්‍රතිපදාවේ නිරත වෙන්න ම  ඕන. කාමයන් අත්හරිමින් ජීවත් වෙන භික්ෂුවට තමයි සැබෑ ම භික්ෂුවක් වෙන්න පුළුවන්කම තියෙන්නේ.

සටහන 2

පිණ්ඩපාතෙ වැඩියා. ලස්සන තරුණ ගැහැනු ළමයෙක් පිණ්ඩපාතෙ පූජා කළා.

දෙවෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. එ් ගැහැනු ළමයා අදත් පිණ්ඩපාතෙ පූජා කළා.

තුන්වෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. ගැහැනු ළමයා පේන්න නෑ.

හතරවෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. ගැහැනු ළමයා පේන්න නෑ. අසනීපයක් වත් ද!

පස්වෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. ගැහැනු ළමයා පේන්න නෑ. ගමනක් වත් ගිහින් ද!

හයවෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. ගැහැනු ළමයා පේන්න ඉන්නවා. මිදුල අයිනේ තිබූ ඉද්ද ගසකින් මල් වට්ටියක් කඩමින්. මා දුටු ඇය නිවසට දුව ගොස් අල තැම්බුමක් පූජා කළා. හ්ම්.. පින්වන්තියක්. ඇයට පෙම්වතෙක් නැතිව ඇති. තාමත් තනිකඩ හිතක් වගෙයි පේන්නේ..!

හෝව්.. හෝව්…! මට මොකට ද ඇගෙ පේ‍්‍රමය. මට මොකට ද ඇගෙ තනිකඩකම. මේ මොනවද මම කල්පනා කරන්නේ. දින හයක් ම මට ගත වුණා ඇගේ නිවසෙන් අල තැම්බුම අරගෙන එන්න. හැමදා ම ඇය පූජා කළෙත් එක ම දේ. එ්ත් හැමදා ම මම රැුගෙන ආවෙ ඇගේ දසුන. අල තැම්බුම පැය කීපයෙන් ජීරණය වෙනවා. එ්ත්, ආලයෙන් වෙලූන සිත ජීර්ණය නොවන ආහාරයක් වගේ. දින ගණනාවක් හිතේ පැටලි පැටලී අසහනයට පත් කරනවා.

බඩගිනි හිඟන දරුවෙක් හෝටලයක කෑම දෙස කෑදරකමෙන් බලන් ඉන්නවා වගේ දෙයක්, අනුන්ට අයිති ද නැද්ද යන වගවත් නො දැන පුද්ගලයන්ට බැඳී යන ආලය නම් වූ කාමය..!

හත්වෙනි දවසෙත් පිණ්ඩපාතෙ වැඩියා. අල තැම්බුමත් තවත් කුමක්දෝ කඩදාසියකින් වසාගෙන ඇය මා වෙත පැමිණියා. ඇගේ දෑත මත පෙනෙන්නේ ආහාර නො ව… එක් භික්ෂුවකගේ සාංසාරික ප‍්‍රමාදය යැයි මට සිතුණි. ඇය සිනහ මුසු මුහුණින් පිළිගන්වන්නේ ආහාර නො ව… එ්් භික්ෂුවකගේ සාංසාරික ප‍්‍රමාදය නිසා හිස මත තබා ගන්නට සිදු වන සතර අපා බර යැයි මට සිතුණි.

පාත‍්‍රයේ මුව දකුණු අතින් වැසුවෙමි. සිතින් සිතුවෙමි… ‘අල තැම්බුමත් එපා… සංසාර ගමනත් එපා… සසරට ම නැවත ඔබ මුණ නො ගැසේවා…’ පිණ්ඩපාත සක්මන සමාප්ත කරමින් නැවත අසපුවට පැමිණියෙමි.

නැවත කිසි ම දිනෙක ඇය නො දුටුවෙමි. මහා උගුලකින් ගැලවී ගියාක් වැනි ප‍්‍රීතියකින් සිත පිනා ගියේ ය.

මසකට පසු…

එම මාර්ගයේ ම පිණ්ඩපාතෙ වැඩියා. සිතට අහරක් ලැබෙන දසුනක්..! බොහෝ වයසට ගිය විවාහක යුවළක්. තව විදියකින් කීවොත් ආච්චි කෙනෙක් සහ සීයා කෙනෙක්. ආච්චි සීයට උදෑසන ආහාරය කවනවා. එ් අතරේ මා පැමිණි බව දුටු ආච්චි නිවසට ගොස් අපහසුවෙන් ඇවිද විත් පිණ්ඩපාතය පූජා කළා. නහර ඉල්පුණු රැුලි වැටුණු අතින් වෙව්ල වෙව්ල..

හත් වෙනි දවසෙවත් සිහිය ඉපදුණේ නැත්නම්, අනාගතේ දවසක නහර ඉල්පුණු රැුළි වැටුනු අතකින්, දත් නැති කටක පෙම්බර සිනහව භුක්ති විඳිමින්, සුද පෑදුන ආදරය පිරුණ දෙනෙත් දෙස බලාගෙන.. හකු බැහැපු මුහුණක් කුදු ගැහුණු සිරුරක් සහිත ඇයගෙන් බත් කටක් කන සීයා මම වෙන්න ඉඩ තිබුණා නේ ද!!!

සතුට තියෙන්නේ කාමය අත්හළ සිතේ පමණි. අවසානයේ සියල්ල අතහැර සදාකාලික සැනසීමක් හිමි වේ. කාමය අල්ලා ගත් සිතට ලැබෙන්නේ දිනෙන් දින පරණ වෙන දෙයක් පමණි. අවසානයේ සියල්ල අහිමි වී යයි. බොහෝ කල් දුක් පීඩාවන්ට ලක් වී සසර පුරා දුක තුළ ම ගිලී යයි.

සටහන 3

කාමය අතහැරීමට අසුභය පුරුදු කළෙමි. අතීත වර්තමාන අනාගත සියලූ ස්වභාවයන්හි අසුභය මෙනෙහි කළෙමි. බොහෝ පින් කොට අනාගත සසරේවත්, ස්ත‍්‍රී ඇසුරක් නො ලැබෙන්නේ නම් මා ඉතාමත් ම සතුටුයි. එ් රැස් කළ පිනෙන් මා හට සිහි නුවණ දියුණු කිරීමේ පහසුව ම උපදීවා!

සටහන 4

බලවත් ව රෝගාතුර විය. සිහිය රැුක ගැනීම පවා අපහසු වන තරමේ ශාරීරික වේදනා දැනෙන්නට විය. ඩෙංගු වැනි බලවත් උණ රෝගයක් මාගේ කය ආක‍්‍රමණය කළ බැවින්, දෛනික භාවනා ප‍්‍රතිපදාව සම්පූර්ණයෙන් ම විනාශ වී ගියේ ය. නමුත් හැකි සෑම විටක දී ම සිහියත් නුවණත් පවත්වා ගැනීමට උත්සාහ කළෙමි.

සටහන 5

දින ගණනාවකට පසු, සක්මන් මළුවට ගොඩ වුණෙමි. බොහෝ කලකින් භාවනා කර ගැනීමට අපහසු වූ නිසා සිත තුළ කණගාටුවක් පැවතිණ.

‘වන සතෙක් එළවගෙන ආව ම අමාරුවෙන් අමාරුවෙන් ගසකට නගින කෙනා එක පාරක් දෙපාරක් වුණත් පය ලෙස්සල වැටෙන්න පුළුවන්්. එ්ත් ගසට නගින්නෙ නැති ව බිම ඉඳ ගත් කෙනාට පය ලෙස්සලා වැටෙන එ් අමාරුව නෑ. නමුත් වන සතාගෙන් පහර කාලා ඊට වඩා වධ වේදනාවන්ට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ගස නැග්ග කෙනා තමයි පය ලෙස්සලා වැටුණ වේදනාව ඉවසගෙන ඊට වඩා මාරාන්තික වේදනාවකින් සදහට ම ගැලවෙන්නේ. අන්න එ් වගේ, මේ ප‍්‍රතිපදාව දියුණු කරන කෙනාට තමයි කඩා වැටීමක් වුණා ම වේදනාව දැනෙන්නේ. එ් වේදනාව ප‍්‍රතිපදාව දියුණු නො කරන කෙනාට නෑ. නමුත්, ප‍්‍රතිපදාව දියුණු නො කරන කෙනා සතර අපායට වැටිලා දරුණු දුක් පීඩාවන්ට ගොදුරු වෙනවා. වැටි වැටි නැගිටින දුක මේ ජීවිතේට පමණයි. ප‍්‍රතිපදාව දියුණු කරන කෙනා එ් දුක දරාගෙන මහා දුකකින් ගැලවෙනවා…’ සක්මන් කරන අතරේ මේ සිතුවිලි මා තුළ පැන නැඟිණ. එය තව තවත් මා තුළ වීර්යය ජනිත කරවන්නට සමත් විය.

සටහන 6

කිසියම් වගකීමක් පැවරුණු භික්ෂුවක් කණගාටුවෙන් සිටිනු දුටුවෙමි. දානය පවා නො වළඳා කල්පනාවේ ම කල් ගත කළ උන්වහන්සේ දුටු මම එ් වෙත ගොස් කතා කළෙමි.

‘‘ආයුෂ්මතුන් වහන්සේ ප‍්‍රශ්නයක වගේ…?”

‘‘පින්වත් ස්වාමිනී…, මට ගුරු දේවයන් වහන්සේ හොඳට ම අවවාද කළා. තදින් ම අවවාද කළා. ගෙවල් දොරවල් අතෑරලා ප‍්‍රියයන්ගෙන් වෙන් වෙලා මම ආවෙ උන්වහන්සේගෙ පිළිසරණ සොයාගෙන. උන්වහන්සෙ මෙහෙම බැණ්න ම මට කිසි දෙයක් ඉතිරි වෙන්නෙ නෑ. උන්වහන්සෙ මාත් එක්ක තරහයි. මට මේ හැම දේ ම එපා වෙලා තියෙන්නේ. මට යන්න ම හිතෙනවා දැන් සිවුර දාලා..!”

‘‘ආයුෂ්මතුන්. මාපියන්ගෙන් වෙන් වෙලා ප‍්‍රියයන්ගෙන් කැමැත්තෙන් ම වෙන් වෙලා එන්න  ඕන බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ සොයාගෙන යි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමන්ගෙ හරි වැරැුද්ද පෙන්වල කළ යුතු නො කළ යුතු දේ පෙන්වල දෙන මාර්ගය පහදල දෙන කෙනා තමයි ගුරුවරයා. ගුරුවරයා ගැන සිත අපහදවගත්තට කමක් නෑ උන්වහන්සේත් බුදුරජාණන් වහන්සේට එරෙහි වුණා නම්. නමුත්, හොඳට හිතල බලන්න… ආයුෂ්මතුන් වහන්සේට ලැබුණු අවවාදය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකඟයි නේ ද? බුද්ධ ශාසනයේ ආයුෂ්මතුන් ව රඳවා ගන්න උදව් වෙනවා නේ ද?”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස… උන්වහන්සේ කිව්වෙ නම් ඇත්තක්. ඉතින් එ්ක මට ආදරෙන් කියන්න තිබ්බනේ… ඇයි මෙච්චර මට බැණ්නේ…”

‘‘අනතුර බොහොම ළං වුණා ම ආදරෙන් කිය කිය ඉන්න වෙලාවක් නැති වෙන්නත් පුළුවන්. වාහනයකට හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි… ‘පින්වත… කරුණාකර අසන්න. ඔබ වෙත දැන් වාහනයක් පැමිණේ. ඉතා ඉක්මනින් මාර්ගයේ පසකට වන්න…!’ කියල ආදරෙන් කියන එක ද හොඳ? නැත්තන්.. හැකි තරම් ශබ්ද නගා වැරෙන් ‘බලාගෙන හැප්පෙයි.. අයිනට වෙයං..’ කියලා සැර වචනෙන් කියන එක ද හොඳ..!”

‘‘එ් වෙලාවට නම් ස්වාමීන් වහන්ස.. ආදරෙන් කියද්දි අනතුර එ් තරම් සැර නෑ කියල හිතෙන්න පුළුවන්. හැබැයි සැරට ශබ්ද නගා කියනකොට නං විදුලිසරක් වගේ ආපස්සට පැනල බේරෙන්න හිතෙනවා. අනතුර බොහොම ළඟ බව දැනෙනවා සැරෙන් සද්දෙන් කීව ම…”

‘‘ඉතිං එ්කනෙ. ආයුෂ්මතුන් ව ඉක්මනින් අනතුරෙන් ගලවගන්නයි. සැරෙන් තදින් අවවාද කළේ…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. මට දුක උන්වහන්සේ කාලයකට කලින් මං ගැන හරිම පැහැදීමෙන් හිටියා. මට බොහොම ප‍්‍රශංසා කළා. අද මට ලැබුණෙ උන්වහන්සේගෙන් නින්දාවක් දුකක් පමණයි…”

‘‘ආයුෂ්මතුන් වහන්ස. මම මේ කියන දේ තුන් පාරක් කියවගෙන හිතේ මතක තියාගන්න. ප‍්‍රශංසාව කියන්නේ් කෙනෙක්ගේ හිතේ හටගන්න සිතිවිල්ලක් වචනයකට පෙරළී යාමක්. එ් වගේ ම නින්දාව කියන්නේත් කෙනෙක්ගේ හිතේ හටගන්න සිතිවිල්ලක් වචනයකට පෙරළී යාමක්. නින්දාවත් ප‍්‍රශංසාවත් බාහිර අයගේ සිතේ හට ගන්න දේවල් නම්, බාහිර අයගේ සිතේ හටගන්න දේවලට අපි ඇලී යන්නේත් ගැටී යන්නේත් ඇයි? බාහිර පුද්ගලයින්ගේ හිතේ හටගන්න දේවල් නිත්‍ය නෑනේ. තමන්ගේ වගේ ම බාහිර අයගෙ සිතිවිලිත් අනිත්‍ය වෙලා යනවා. එ් නිසා කවදාවත්, ප‍්‍රශංසාවට කැමති වෙන්න එපා. නින්දාවට ගැටෙන්නත් එපා. එ් සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන්න. වැස්සටත් අව්වටත් අපි බණින්නේ අහස දිහා බලාගෙන. එ්්ත් අව්වවත් වැස්සවත් දෙන්නේ අහස නෙවෙයි. එ් අහසෙ අව්වවත් වැස්සවත් ගෑවිලා නැ. අන්න එ් වගේ නින්දාවත් ප‍්‍රශංසාවත් කියන දෙකට ම අපේ හිතේ ගෑවෙන්න දෙන්න එපා. හැම වෙලේ ම කල්පනා කරන්න නින්දාව ලැබූ තමන්ගේ වරදට හේතුවත්, ප‍්‍රශංසාව ලබන්න තමන්ට උපකාර කළ අයත් ගැන. නින්දාවට හේතුව නැති කරන්න… ප‍්‍රශංසාව ලබන්න හේතු වුණ උදව් වුණ අයට කළගුණ සලකන්න. කිසි දෙයක් තමන්ගේ හිතේ අලවගන්න එපා.”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස.. මගේ හිතට විශාල සැනසීමක් ලැබුණා.. ස්වාමීන් වහන්සේට බොහෝමත් ම පින්…”

බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මා උගත් සියල්ලත්, ගුරු ගෞරවයත් පෙරටු කරගෙන සබ‍්‍රහ්මචාරීන් වහන්සේනමකට උපකාරයක් කොට පින් රැුස් කර ගත්තෙමි.

සටහන 7

සියලූ සතුන් වෙත මෙත්, කරුණා, මුදිතා, උපේක්ෂා පතුරවමින් වාසය කළෙමි. පසුගිය සති දෙක පුරාවට ම අවෛර සිත පුරුදු කළෙමි. හිංසාව අතහරිමින් කරුණාව පුරුදු කළෙමි. භික්ෂූන් වහන්සේලාගේ ද ගිහි පින්වතුන්ගේ ද මෙලොව පරලොව යහපත දකිමින් මුදිතාව පුරුදු කළෙමි. කර්මය ගැන සිහිපත් කරමින් උපේක්ෂාව පුරුදු කළෙමි. සතර ඉරියව්වේ ම මේ ගුණයන් රඳවා ගැනීම පිණිස බොහෝ වත් පිළිවෙත් කළෙමි. සංඝයාට පහසුවක් වෙන සෑම දෙයක් ම සිදුකර දුන්නෙමි. ගිහි පින්වතුන්ගේ යහපත පිණිස ධර්මය දේශනා කළෙමි. මා ද ඇතුළු සියලූ සත්වයන් අරමුණු කරගෙන සියලූ දෙනාගේ කර්ම දායාදය සිහිපත් කරගෙන සිත මධ්‍යස්ථ කර ගනිමින් උපේක්ෂා භාවනාව වැඩුවෙමි. ගෙවී ගිය සති දෙක ඉතාමත් ම ප‍්‍රීතිමත් සති දෙකක් විය. භාවනාවට පැමිණි සෑම බාධාවක් ම එ් එ් ගුණධර්මවල උපකාරයෙන් ජයගත්තෙමි.

‘බුද්ධානුස්සතිය’ දින කීපයක් වැඩිපුර වඩන්නයි කල්පනාව…!

සටහන 8

බොහොම හිතවත් දායක මහත්මයෙකුගේ අවමංගල්‍යයක් සිදු වෙලා. එ් සඳහා ගුරු දේවයන් වහන්සේත් සමඟින් භික්ෂූන් වහන්සේලා විසිනමක් පමණ වැඩම කළා. එ් අතරේ මටත් ආරාධනා කළ නිසා සිවුරු පොරවගෙන වාහනයට නැග්ගා.

මේ ජීවිතය පුදුමාකාරයි. විවාහ වී වසර 38 යි. අවුරුදු 35ක පුතෙකුත් මුණුපුරන් දෙදෙනෙකුත් සිටින අවුරුදු 64ක මහත්මයෙක්. බිරිය තවමත් ජීවතුන් අතර. ගිහි ජීවිතයක අවසානය මෙය ද? රැුස්කළ සියලූ දේ ආදරණීය බිරිය සහ දරු මුණුපුරන් සියල්ල මෙලොව තනි කර හුදෙකලාවේ ම අලූත් උපතක් කරා යාමට සිදු වුණා. පරලොව දී දුක සැප පිණිස ඉතිරි වුණේ මෙලොව දී රැුස් කළ පිනත් කුසලයත් පමණයි.

ගිහි ජීවිතය කෙසෙල් කඳක් වගෙයි. ඉක්මනට වැවෙනවා. සිසිලට දිලිසෙමින් ලස්සනට වැවෙනවා. එ්ත් පරණ වෙන්න වෙන්න පරඬැල් ටික පමණයි ඉතිරි වෙන්නේ. ගස මිය ගියාට පස්සේ ඉතිරි වෙන කොටසකින් කිසි ම වැදගත් ප‍්‍රයෝජනයක් නෑ. එ් වගේ ම ගිහි අයත් බොහොම ලස්සනට ජීවත් වෙනවා. යාන වාහන මුදල් හදල් සැප සම්පත් ආදි කාමයේ කිසි අඩුවක් නෑ. හැබැයි වයසට යන්න යන්න අවලංගු කාසියක් වගේ. මරණයට පත්වුණා ම එ් ශරීරයෙන් කිසි කෙනෙක්ට ප‍්‍රයෝජනයක් නෑ. මරණින් මතු ඥාති පරම්පරා තුනකින් මුළු ලෝකෙට ම අමතකයි.

පැවිදි ජීවිතය සඳුන් ගසක් වගෙයි. හෙමිහිට තමයි වැවෙන්නේ. අමාරුවෙන් ගොරෝසු අතු ඉති සහිත ව වැඩි ලස්සනක් නැති ව වැවෙනවා. එ්ත් පරණ වෙන්න වෙන්න සඳුන් ගසේ වටිනාකම වැඩි වෙනවා. අරටුව පෑදුනාට පස්සේ වටිනාකම කියල නිමකරන්න බෑ. ගස මිය ගියාට පස්සේ ඉතිරි වෙන අරටුව බොහෝමත් ම සුවඳයි. බොහෝ ප‍්‍රයෝජන පිණිස පවතිනවා. එ් වගේ ම පැවිදි අයත් බොහොම අමාරුවෙන් තමයි සිල් ගුණදම් දියුණු කරන්නේ. ඉතා ම බලවත් වීර්යයකින් තමයි අකුසල් ප‍්‍රහාණය කරල කුසල් රැුකගන්නේ. බාහිරට ලොකු ලස්සනක් වෙනසක් නො පෙණුනත් එ් උතුමන්ගේ අභ්‍යන්තරයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උපන් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් නම් වූ සුවඳැුති සඳුන් අරටුව මෝරලා තියෙනවා. උන්වහන්සේලා තමයි යම් දවසක රහතන් වහන්සේලා බවට පත්වෙන්නේ. එවන් රහතන් වහන්සේනමක් පිරිනිවන් පෑ පසුවත් එ් ශරීරය බොහෝ දෙනාට හිතසුව පිණිස පවතිනවා. රහතන් වහන්සේලාගේ ශරීර අස්ථි කොටස් ධාතුන් වහන්සේලා ලෙස වන්දනාමාන කරන දෙව් මිනිස් සැමට මෙලොව පරලොව සැනසීම ලැබෙනවා. යුගයෙන් යුගයට වසර සිය දහස් ගණනක් පුරාවට එ් රහතන් වහන්සේලා ගැන ලෝකයට ම මතක තියෙනවා. ආදරයෙන් සිහිපත් කරනවා.

කෙසෙල් ගසක් නො වී සඳුන් ගසක් වෙන්න පුළුවන් තරමේ පිනක් මටත් තිබුණොත්…!

සටහන 9

උතුම් පැවිදි ජීවිතයක් කැමති සියලූ දෙනා ම චූල අස්සපුර සූත‍්‍රයත්, මහා අස්සපුර සූත‍්‍රයත්, චාතුම සූත‍්‍රයත්, රට්ඨපාල සූත‍්‍රයත් කටපාඩමින් මතක තියාගන්න  ඕන. 41 වෙනි වතාවටත් එ් සූත‍්‍ර හතර අද කියෙව්වා.

සටහන 10

මේ හැම සටහනක් ම නැවත නැවත කියවද්දී මට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. මම හැමදා ම අලූතෙන් ඉපදෙනවා වගේ… හැමදා ම අලූතෙන් පැවිදි වෙනවා වගේ. හැමදා ම අලූතෙන් ගුරු දේවයන් වහන්සේ සොයා එනවා වගේ… පුදුමාකාර සැනසීමක් දැනෙනවා. ධර්මයෙන් තබන සෑම පියවරක් ම සිහි කිරීම පවා සැපයක්. අධර්මයෙන් තැබූ සෑම පියවරක් ම සිහි වීම පවා දුකක්. මෙලොව වසනා සියලූ සත්වයන්ගේ සියලූ පියසටහන් ධාර්මික ම වෙත්වා…! සුගතිගාමී ම වෙත්වා…!! නිර්වාණගාමී ම වෙත්වා…!!!

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ

සඳ දෙස බලන්න.

ඇඟිල්ල දෙස නො බලන්න.

ඇඟිල්ල ගැන නො සොයන්න.

මේ ශ‍්‍රී සද්ධර්මය

ජීවමාන යි…!

එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  මැදින් කලාපය

WWW.MAHAMEGHA.LK

මතක සටහන

ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.

SMS Only – 077 063 08 68

සඳු ඇති රෑ හිරු දැකීම
මේ ලොව බිහි වන අතිශයින් ම විරල රාජ්‍යය නම් සම්මා සම්බුද්ධ රාජ්‍යය යි. කල්ප සියයකට ම ලොව බිහි වූයේ සම්බුද්ධ රාජ්‍යයන් හතක් පමණි. බුද්ධ රාජ්‍යයක මුණගැසීම වනාහී එ් සා දුර්ලභ වාසනාවකි.

එවන් බුද්ධ රාජ්‍යයක වැසියන් වීම, පිළිවෙතෙහි හික්මීම සුන්දර නමුත් දුෂ්කර කටයුත්තකි. බිනර – අනන්ත දෙමිතුරන්ගේ ජීවන පුවත සම්බුද්ධ රාජ්‍යයක පිළිවෙත් පුරන උතුම් සඟ රුවනේ කලණ ඇසුර ලැබීම නිසා අපිදු එ් සුන්දර හා දුෂ්කර ගමනේ මං සලකුණු දැකීමේ වාසනාව ලැබුවෙමු. එයින් ප්‍රමුදිත සිත් ඇති අප හට සඳත්, සඳ පෙන්වන ඇඟිල්ලත්, එමතුදු නො ව සඳට ආලෝකය දුන් හිරු මඬලත් මෙතෙක් පැහැදිලි නො වී නම් එ් වග අපට විවරණය කරන කසාවත දහනම වන දිගහැරුමයි මේ…

වැව් දිය පිසගෙන විටින් විට හමා එන සුළං රැුල්ලේ මානෙල් මල් සුවඳත්, සමන් මල් සුුුුවඳත් මුසු වී තිිබිණ. සුදු වතින් සැරසුණු සැදැහැවතුන් පොලිස් මුරකුටිය හරහා පෙත් මඟ ඔස්සේ දළදා මාළිගාව දෙසට ගමන් කරන දසුන සිතට සැනසීමක් උදා කර දේ.

එක ම සිතක් විටෙක රාගය ඔස්සේ ඇදී යන අතර තවත් විටෙක ශාන්තිය ඔස්සේ ඇදී යයි. විටෙක සසරෙන් එතෙර වීමට උනන්දු කරවන සිත තවත් විටෙක සසරේ ගමන් කිරීමට හේතු සකසයි. දියුණු කළ නුවණකින් මේ සියල්ල වටහා ගත නො හැකි වුව හොත් සිත පසුපස වල්මත් වී දුව ගොස් නැවත නැවතත් මං මුළා වීමට සිදු වීම වැළැක්විය නො හැකි ය. ඇතැමුන් විනාශ වූ පසුවත් තමා වැනසී ගිය බව නො දනී. නමුත්, කලාතුරකින් කෙනෙකුට විනාශ වීමට පෙර අහඹු සිදුවීමක් දෙකක් සිදු වී විනාශයෙන් ගැලවීමට අවස්ථාවක් ලැබේ. කුමන හෝ පෙර කළ පිනකට මා ද කලණ මිතුරු ඇසුර නිසා එබඳු උගුලකින් යන්තමින් ගැලවී ගියේ ය. එ් පිළිබඳ ව නම් පින් දිය යුත්තේ අනන්තට ය. ඔහු පෙර දින මා දළදා වඳින්න යන සිහිනය නො දුටුවේ නම් තවමත් මා සිටින්නේ රාග තොණ්ඩුවේ ය.

ඇතැම් විට කලණ මිතුරන් සිටින්නේ පියවි ලෝකයේ පමණක් නො වේ. නො පෙනෙන ලෝකයේ ද කලණ මිතුරන් සිටිය හැකි ය. අඥානයාට නම් පෙනෙන නො පෙනෙන කිසිදු ලොවක ජීවත් වන කලණ මිතුරෙකු හඳුනාගත නො හැකි ය. සාරිපුත්ත මොග්ගල්ලාන නම් වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගැන අපැහැදී සිටි කෝකාලික නම් වූ භික්ෂුවකට සත්‍යය වටහා දීමට බුදුරජාණන් වහන්සේටත් නො හැකි විය. ඔහුට පෙනෙන්නට ම පැමිණි බ‍්‍රහ්මයෙක් ද එ් සඳහා උත්සාහ ගත්තත් එය ද නිෂ්ඵල විය. අවසානයේ දී අග‍්‍ර ශ‍්‍රාවකයන් කෙරෙහි අපැහැදුණු සිතෙන් යුතු ව කෝකාලික අපාගත විය. එවන් ඉතිහාසයක, මෙවන් දළදා මළුවක, භාවනා අසපුවේ කන්ද උඩ කුටියේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ හමු වී දින ගණනාවක් මා විඳි පීඩාවක් සන්සිඳවා ගැනීමට ලැබීම මා ලද වාසනාවක් සේ නො වේ ද…!

‘‘පින්වත් ස්වාමීන් වහන්සේ මුණ නො ගැසෙන්න මම ලොකු අමාරුවක වැටෙනවා ස්වාමීනී…!” ඉතා ම සංවේගයෙන් යුතු ව කෘතවේදී ව දැත් එකතු කොට මම පැවසුවෙමි.

පැන් උගුරක් වැළඳු උන්වහන්සේ… මඳ සිනහවක් පා හිස සලා මාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ ය. ‘‘පින්වත් බිනර… ඔතන ම යි වරදින්නේ හැමෝට ම. ඔතන ම යි මිත්‍යා දෘෂ්ටියත් උපදින්නේ. ඔතන ම යි මිත්‍යා ප‍්‍රතිපදාවත් උපදින්නේ. බිනර සිත පහදවා ගත් ආකාරය සම්පූර්ණයෙන් ම සක්කාය දිට්ඨියෙන් නිර්මාණය කළ දෙයක්…”

සැබැවින් ම මා හට කිසිවක් නො වැටහුණි. උන්වහන්සේ පවසන සියල්ල ම හොඳින් සිහියෙන් පවසන බව මම තදින් ම විශ්වාස කළෙමි. මා වැඩිමනත් දෙයක් නො පැවසූ බැවින් මා පැවසූ දෙය උන්වහන්සේට නො වැටහෙන්නට ද ඉඩ කඩක් නැත. එබැවින් මා හට ම වැරදී ගොස් වැරදි දෙයක් කියවෙන්නට ඇතැයි මම තීරණය කළෙමි.

‘‘අනේ පින්වත් ස්වාමීනී. මට තේරුණේ නෑ… මට සමාවෙලා තව ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන් ද?”

‘‘බිනර…, කෙනෙක් පීඩා විඳින ගැටලූවකට තවත් බාහිර කෙනෙක්ගෙන් සාර්ථක විසඳුමක් ලැබුණ ම එ් විසඳුමෙන් ඔහුට සැනසීමක් ලැබුණ නම්, එ් සැනසීම ලැබීමට හේතු වුණ අරමුණට අර පුද්ගලයා බැඳිල යනවා. එ්ක හරියට කුසගින්න නිවාගන්නට ආහාර ගන්න පිවිසුණ හෝටලයෙන් ඔහුට අනපේක්ෂිත ආකාරයේ ප්‍රණීත ආහාරයක් ලැබුණ නම්, එ් හෝටලය ගැන හොඳට මතක තියා ගන්නවා. මොකද ඊ ළඟ වතාවෙත් එ් සැප විඳීම දිවට දෙන්න ඕන නිසා. අන්තිමට එතනත් සිදු වුණේ ‘මගේ’ කර ගැනීමක්. ‘මගේ වසඟයේ’ පවත්වා ගැනීමට උත්සාහ ගැනීමක්. දැන් බලන්න… බිනරගේ චිත්ත පීඩාවන් සන්සිඳී ගිය ගමන් ම බිනර ප‍්‍රශංසා කළේ ‘ස්වාමීන් වහන්සේ මුණ නො ගැසෙන්න මම ලොකු අමාරුවක වැටෙනවා’ කියල නේ ද? එ් කියන්නේ… බිනර ප‍්‍රශංසා කළේ මම බිනරට මුණ ගැසීම නම් වූ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගත් විඳීමට යි. බිනර මෙහෙම කල්පනා කරගෙන ගියොත්, බිනරගේ පීඩාවන්ට විසඳුම විදියට දකින්නේ මගේත් බිනරගේත් මුණගැසීම නම් වූ ස්පර්ශයෙන් හටගත්ත විඳීම ම විතරයි. එ් නිසා බිනර ඉදිරියේදීත් මාව මුණ ගැහෙන්න සැලසුම් හදයි. බලාපොරොත්තු ගොඩ නගා ගනීවි. ඇත්තෙන් ම එ් බිනර සොයන්නේ නිවැරදි දේ නෙවෙයි…”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස… කල්‍යාණ මිත්‍රයා ව තව තවත් ඇසුරු කරන්නයි මට ඕන… එතකොට එ්ක වැරදි ද..!”

‘‘මම බිනරට ධර්මය කියනකම්, සේවනය කළ යුත්ත නො කළ යුත්ත පෙන්වා දෙනකම්, කුසලය අකුසලය පෙන්වා දෙනකම්, පින පව තෝරා දෙනකම් මගේ ඇසුර බිනරට කල්‍යාණ මිත‍්‍ර ඇසුරක් වෙයි. නමුත් බිනර හුදෙක් ම මාව අනුගමනය කළොත, මගේ පසු පස ආවොත්, යම් මොහොතක මම සිහියෙන් පිට ගිහින් බිනරත් එක්ක හිස් කතාවන් කතාබස් කරන්න ගත්තොත්, රට තොට ගැන කතා කරන්න ගත්තොත් මට තියෙන පැහැදීමට බිනරත් එ් දේවල් ගැන උනන්දු වෙනව නේ ද… පින්වත් ස්වාමීන් වහන්සේත් රට තොට ගැන ආ ගිය තොරතුරු ගැන උනන්දුයි… එ් නිසා මමත් උනන්දු වෙන්න ඕන කියලා…?”

‘‘එහෙමයි. එහෙම වෙන්න පුළුවන් ස්වාමීනී. මම නුවර හරහා නිතර යන එන කෙනෙක් වුණත් දළදා වඳින්න එන අවස්ථා අඩුයි. නමුත් පින්වත් ස්වාමීන් වහන්සේ දළදා වඳින්න ආව නිසා අද මට හිතුණා මමත් නිතර දළදා වඳින්න එන්න ඕන කියලා. ඇත්තට ම පින්වත් ස්වාමීන් වහන්සේගේ යම් හැසිරීමක් මම දකිනව නම්, මමත් එ් හැසිරීම මා තුළ දකින්න කැමතියි. සමහර එ්වා මම නොදැනුම්වත් ව ම ඇති වෙලා. ස්වාමීන් වහන්සේ නො දන්නවත් ඇති. මමත් දැන් මගේ ජීවිතේ ධාර්මික දින සටහන් ලියන්න පටන් අරන්. එ්කත් මගෙ ජීවිතේට ආවෙ පින්වත් ස්වාමීන් වහන්සේ නිසා…”

‘‘ඉතින් බලන්න. බිනර.., බිනර මම කියපු දේ ම තමයි අල්ලගෙන තියෙන්නේ. බිනර අල්ලගෙන තියෙන්නෙ ඇවතුම් පැවතුම් කරන කියන දේවල්. සමහර අය බණ කියන විලාශය, ගාථා කියන විලාශය අනුකරණය කරනවා. පැවිද්දෙක් නම්, තමන් කැමති භික්ෂු චරිතයේ සිව්රේ පාට, සිව්රේ කඩ ගණන, සිව්රු හඳින පොරවන විදිය, ඇස්කන්නාඩි මාදදිලිය, වටාපත වගේ දේවල් අනුකරණය කරනවා. මේ වගේ කොපි ඇති තරම් අපිට සමාජෙදි දැකගන්න පුළුවන්. මුළු මහත් මිනිස් ප්‍රජාවට ම සක්කාය දිට්ඨිය නිසා උපදින ප්‍රශ්නයක් මේක.

ශාසනයේ විතරක් නෙවෙයි ශාසනයෙන් පිටත් මේ ප‍්‍රශ්නය තියෙනවා. යම් නළුවෙක් නිළියක් ගැන පැහැදීම ඇතිවුණත්, ක‍්‍රීඩකයෙක් ක‍්‍රීඩිකාවක් ගැන පැහැදීම ඇතිවුණත්, ගායකයෙක් ගායිකාවක් පිළිබඳ පැහැදීම ඇතිවුණත් මේ විදිය ම යි. සිත පොළඹවන්නේ ම අනුකරණයට. පැරණි නළු නිළියන්ගේ, පැරණි ගායක ගායිකාවන්ගේ, පැරණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කොපි ඇති තරම් අපිට අද දකින්න පුළුවන් නේ ද? එ් විතරක් නෙවෙයි. ප්‍රකට දේශපාලකයෙකුගේ අනුගාමිකයන් වුණත් බලන්න… ඔහු වගේ ම යි අඳින්නේ පලඳින්නේ… රැවුළ වවන්නේ කපන්නේ. ඔහුගේ දර්ශනය අනුගමනය කරනවා වෙනුවට ඔහුගේ බාහිර පෙනුමයි ඇවතුම් පැවතුම් ටිකයි අනුගමනය කිරීමට මහන්සි ගන්නවා. අයින්ස්ටයින්ට කැමති විද්‍යාඥයන් කොණ්ඩෙ පීරන්නෙ නෑ… ඩාවින්චිට කැමති චිත්‍ර ශිල්පීන් හිතා මතා ම මුරණ්ඩුයි…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට, මම කියපු දේ වැරදියි තමයි. ‘ස්වාමීන් වහන්සේ නො සිටින්න මම ලොකු අමාරුවක වැටෙනවා’ කියල පැවසුවේ ස්වාමීන් වහන්සේ මාව බේර ගත්තා කියන අදහසින් ම යි. ඉතින් මම මේ අවස්ථාවෙ කුමක් ද හිතන්න ඕන පින්වත් ස්වාමීන් වහන්ස…?”

‘‘ඔව්.. බිනර. මේක ඉතා ම තීරණාත්මක දෙයක්. මම කියන පලියටත් නෙවෙයි. මේක බිනරගේ හදවතින් ම එන්න ඕන දෙයක්. මම මේ කියන කාරණාවට සාක්ෂි සියල්ල බුද්ධ දේශනාවල තියෙනවා. ගිහි හෝ පැවිදි ශ්‍රාවකයෙකුගෙන් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරලා සිත පහදවා ගත්තා නම්, කෙලෙස් ගැටලූවක් නිවැරදිව විසඳා ගත්තා නම්, සෝතාපන්න හෝ වුණා නම්… සියල්ලට ම පළමුවෙන් ‘පින්වත, ඔබ මට මහත් උපකාරයක් කළා… ඔබ නො සිටින්න මම අද ලොකු විනාශයක වැටුණා’ කියල ප්‍රකාශ කළ ශ‍්‍රාවකයන් ඉන්නව ද කියලා සොයා බලන්න.

බිනර, නිවැරදි ව ධර්ම මාර්ගයට පැමිණියා නම්, ඔහු මුලින් ම එසේ ප්‍රකාශ කරන්නේ නෑ. මුලින් ම ඔහුගේ මුවෙන් පිටවෙන්නේ වෙනත් දෙයක්. එ් තමයි, ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස…’ එ් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…! කියල. අන්ධකාරයේ සිටි ඇස් පෙනෙන අයෙකුට තෙල් පහනක් දල්වා ලූ පරිද්දෙන්, මං මුළා වූ කෙනෙකුට පාර පෙන්වූ පරිද්දෙන්, යටට හැර වූ දෙයක් උඩට හරවා පෙන්වූ පරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ සියල්ල පහදා දුන් සේක කියල බුදුරජාණන් වහන්සේට ම යි ප්‍රශංසා කරන්නේ. ධර්මයට ම යි ප‍්‍රශංසා කරන්නේ. ආර්ය මහා සංඝරත්නයට ම යි ප්‍රසංසා කරන්නේ. ඊට පස්සෙ තමයි තේරුම් කරල දුන්න කල්‍යාණ මිත්‍රයා ව සිහි කරන්නේ.

නමුත් සක්කාය දිට්ඨිය විසින් වර්තමාන ශ්‍රාවකයා ව මේ අවස්ථාවෙ දීත් මුළාවට පත් කරලයි තියෙන්නේ. කවුරු හරි ස්වාමීන් වහන්සේනමක්, ලස්සනට නිවනත් නිවන් මාර්ගයත් දේශනා කළොත්, එ්කට හිත පැහැදුණොත්, කරුණුත් තේරුණොත් බුදුරජාණන් වහන්සේගේ මූර්තියක් ළඟටවත් ගිහින් ශාස්තෘන් වහන්සේට වන්දනා නො කොට, ශාස්තෘන් වහන්සේට ප‍්‍රශංසා නො කොට, අර ස්වාමීන් වහන්සේ ඉන්න තැන හොයාගෙන ගිහින් දානෙ ටිකක් පිරිකරක් පූජා කරන්නයි බලන්නේ. මොකද මේ බණ අහන කියවන අය මේව කියවන්නෙත් සක්කාය දිට්ඨිය සහිත මනසෙන් ම යි. වරදින තැන තමාටවත් තේරෙන්නෙ නෑ. පසු කාලෙක බලද්දි අර ස්වාමීන් වහන්සේට මල් පූජා කර කර, මල් පාවඩ දදා ඉන්නවා. දානෙ හද හද උන්වහන්සේ වැඩ ඉන්න තැන්වල කුටි සෙනසුන් හද හදා ඉන්නවා. අවසානයේ දී සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට පෙරුම් දම් පුරල අවබෝධ කරගත් ධර්මයේ නිර්මල හිමිකරුවා පසෙක සිටිය දී අංක එක ලැබිල තියෙන්නෙ වෙන කෙනෙකුට.

මේ කියන්නේ ධර්මය කියා දුන් උපකාර කළ කෙනා සිහි කරන්න එපා කියල නෙවෙයි. පළමු ව එ් උතුම් බුදුරජාණන් වහන්සේට ප‍්‍රශංසා කොට පසු ව කියා දුන් කෙනා සිහි කරමින් කෘතගුණ දක්වමින් සත්කාර සම්මාන දක්වන එකයි. එවිට ආමිසයෙන් කුටි සෙනසුන්වලින් පුද දුන්නත් වරදක් නෑ ඔහු ශාස්තෘ ගෞරවය පෙරටු කරගෙන ඉන්න නිසා. උපතිස්ස පරිබ‍්‍රාජකයා අස්සජී මහ රහතුන්ගෙන් ගාථාවක් ශ්‍රවණය කොට සෝතාපන්න වුණත්, උන්වහන්සේ අස්සජී රහතන් වහන්සේගෙන් විමසුවේ ඔබවහන්සේගේ ශාස්තෘන් වහන්සේ කවුද කියල යි. ශාස්තෘන් වහන්සේ සොයා ගොස් පැවිදි උපසම්පදාවත් ලබාගෙන පසු ව දිනපතා බුදුරජාණන් වහන්සේටත්, තමාට මුලින් ම ධර්මය කියා දුන් අස්සජී මහ රහතන් වහන්සේ වැඩ සිටින දිශාවටත් නමස්කාර කරල තමයි සැතපිලා තියෙන්නේ. ඉතින් මේක නේ ද සැබෑ ශ‍්‍රාවකයා විසින් කළ යුතු වන්නේ..?”

‘‘අනේ එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේගේ පසු පසින් උපස්ථාන කරගෙන එන්න මම කාලෙකට කලින් අහද්දිත් ස්වාමීන් වහන්සේ මාව වැළැක්වුවා. අදත් මම පැහැදුනේ ස්වාමින් වහන්සේට. මට දැන් තේරෙනවා… මම නිවැරදි ව විසඳුම ලබා ගත්තා නම්, නිවැරදි පැහැදීම ඇති වුණා නම් මට මුලින් ම සිහි වෙන්න ඕන ස්වාමීන් වහන්සේ ව නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව යි, උන්වහන්සේ අවබෝධ කොට දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය යි. ඉන් පසුව යි එ් මාර්ගයේ ගමන් ගන්නා ශ‍්‍රාවකයන් වහන්සේලා ව සිහිපත් විය යුත්තේ…”

‘‘මම හිතන්නේ බිනරට දැන් මේ කාරණාව පැහැදිලියි. නමුත් බිනර දැන් තීරණය කළා ශාස්තෘන් වහන්සේ කෙරෙහි පැහැදීම ප්‍රමුඛ විය යුතුයි කියා. නමුත් එය තීරණයකින් නෙවෙයි, අවබෝධයෙන් ම නිරායාසයෙන් ම සිදු විය යුත්තක්. එ් නිසා අනාගතේ යම් දිනක ශ‍්‍රද්ධාවත් ප්‍රඥාවත් සම්බන්ධ වී ශාස්තෘන් වහන්සේට ප්‍රමුඛත්වය දී පැහැදීම ස්ථාවර වෙනවා නම්, එ් දවසෙන් පස්සෙ බිනරගෙ මුළු මහත් ජීවිතේ ම කල්පනා කරන ආකාරය සහ දෘෂ්ටිගතික වීම වෙනස් ම ස්වභාවයකට පත්වෙනවා. එහි ප්‍රතිඵල තාවකාලික නැහැ.

එ් වගේ ම යමෙක් බුදුරජාණන් වහන්සේට කාරණා සහිත ව අවබෝධයෙන් ම පැහැදෙනවා නම්, එ් කෙනා එ්කාන්තයෙන් ම කාරණා සහිත ව අවබෝධයෙන් ම ශ්‍රී සද්ධර්මය කෙරෙහිත්, ආර්ය මහා සංඝරත්නය කෙරෙහිත් පැහැදෙනවා. එ් වගේ ම යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සැලකිය යුතු ප‍්‍රසාදයක් ඇති නො වී, සංඝයා ගැන ම බලවත් පැහැදීමක් තියෙනවා නම්, එය ආර්ය වූ පැහැදීමක් වෙන්නේ නැහැ… මේ ගැන ලස්සන සූත‍්‍රයක් තියෙනවා බිනර. අංගුත්තර නිකායේ සත්වෙනි නිපාතයේ ‘සක්කච්ච සූත්‍රය’. මේ සූත‍්‍රයේ දී පැහැදිලි ව ම දේශනා කරනවා ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය පැහැදීම ඇති නො වී, ධර්මය කෙරෙහිවත්, සංඝයා කෙරෙහිවත් පැහැදීමක් ඇති වෙන්නෙ නෑ කියල. එ් වගේ ම සංඝයා කෙරෙහි පැහැදිලා ගෞරවය ඉපදිලා සංඝයාට ම සත්කාර කරමින්, බුදුරජාණන් වහන්සේට වඳින්න පුදන්න ගරු සත්කාර කරන්න අවශ්‍ය නෑ කියල කෙනෙකුට හිතෙනවා නම් එ්කත් අනාර්ය වූ දෙයක් කියල එ් සූත්‍රය කියවද්දි බිනරට තේරුම් ගන්න පුළුවන් වේවි…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස… සාදු සාදු සාදු…! මට හොඳට ම මේ කාරණාව දැන් පැහැදිලියි… එ් වගේ ම මම ‘සක්කච්ච සූත්‍රයත්’ කියවන්නම්.”

‘‘බොහොම හොඳයි. මේ කාරණාව හරියට මෙන්න මේ වගේ බිනර. අපි සාමාන්‍ය කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහමු. ‘වලාකුළු නැති ග්‍රීස්ම කාලෙක, සඳ මඬල සර්ව සම්පූර්ණ වුණ පුන් පොහෝ දිනක රාත්‍රී කාලයේ ඔබ ඇවිදින්නේ ඉර එළියේ ද සඳ එළියේ ද?’ කියලා… මොන වගේ උත්තරයක් ලැබේවි කියල ද හිතන්නේ…?”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස…, සියලූ දෙනා ම එක ම උත්තරය යි දෙන්නේ. එ් තමයි, වලාකුළු නැති ග්‍රීස්ම කාලෙක, සඳ මඬල සර්ව සම්පූර්ණ වුණ පුන් පොහෝ දිනක රාත්‍රී කාලයේ අපි ඇවිදින්නේ ‘සඳ එළියේ’. ‘ඉර එළියේ’ නම් නෙවෙයි…”

‘‘ඔව් බිනර. මේ තමයි මතුපිටින් පේන දේ දැකල දෙන උත්තරේ. එ්ත් ඇත්ත උත්තරේ එ්ක නෙවෙයි. මතුපිටින් පේන දේට නො රැවටී, යථාර්ථය දකින කෙනා තේරුම් ගන්නවා සූර්යයා නොමැති නම්, රාත‍්‍රී කාලයේ දී චන්ද්‍රයා පිහිටි ඉසව්වක් වත් සොයාගත නො හැකි බව. අපිට පුන් පෝ දවසට රාත‍්‍රී කාලයට පේන්නේත් සූර්යාගේ ආලෝකය ම යි. සඳ එළිය වගේ පෙණුනත් එ් හිරු එළිය ම යි. ඉතින්, පුන් පෝ දා ට අඳුරෙන් බාධාවක් නො වී ඇවිදගෙන ගිය කෙනෙක්ගේ පළමු සහ දෙවන ප්‍රශංසාව හිමි විය යුත්තේ කුමන පිළිවෙළට ද බිනර…?”

‘‘පළමු ප්‍රශංසාව හිරුට. දෙවන ප්‍රශංසාව සඳුට…”

‘‘බොහොම හොඳයි. නමුත්… අද වෙන්නෙ එ්ක නෙවෙයි නේ ද? පුන් පෝ දවසේ රාත්‍රී පුර සඳ දෙස බලද්දි සූර්යයා ව සිහිවෙන්නෙ වත් නෑ නේ ද? ආන්න එ් වගේ තමයි වත්මන් සමාජය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනහර ව මිහිරට පැහැදිලි වෙන්න කොපමණ කීවත්, පැහැදෙන්නේ කියන කෙනාට මිසක් බුදුරජාණන් වහන්සේට නෙවෙයි. මම කලින් කීව වගේ අවිද්‍යාව නිසා හටගත් සක්කාය දිට්ඨියේ ම ප‍්‍රතිඵලයක් තමයි මේ. එ් නිසා, බුද්ධිමත් නම්, ඥානවන්ත නම් කළ යුත්තේ පුන් පෝ දා රාත්‍රීයටත් තමා හිරු එළියේ ම සක්මන් කරන බව අවබෝධ කර ගැනීම යි. එ් කියන්නේ, තථාගත ශ්‍රාවකයෙකුගෙන් ධර්මය ශ්‍රවණය කළත්, තමන්ට කොපමණ ලාභයක් ලැබුණත් පළමු ප්‍රශංසාව බුදුරජාණන් වහන්සේට ලැබිය යුතුයි යන්න අවබෝධයෙන් ම තේරුම් ගැනීම යි. ඉන් පසු ව නිරායාසයෙන් ම සඳ වන් වූ කල්‍යාණ මිත්‍රයා කෙරෙහි කෘත ගුණයක් පිහිටනවා. තේරුණා නේ ද?”

‘‘ඉතා ම පැහැදිලි ව ස්වාමීන් වහන්ස. ඉතා ම සුන්දර ලෙස මට එය තේරුම් ගියා… පින්වත් ස්වාමීන් වහන්ස. මේ කාරණේ හිතනවාටත් වඩා දරුණුයි. අද සමාජයේ සඳ පෙන්නන කොට සූර්යයා නෙවෙයි සඳ දිහාවත් බලන්නෙ නැති තරමට පිරිහිලා. සඳ පෙන්වද්දි අද බලන්නේ සඳ පෙන්වූ ඇඟිල්ල දෙස යි. සොයන්නේ ආලෝකය නොවෙයි, සඳ පෙන්වූ ඇඟිල්ලේ අයිතිකාරයා ගැන යි. එ් තරම් ම පිරිහිලා. ධර්මය ඔළුවට යන්නෙත් නැති, ධර්මය පහදන කෙනා කෙරෙහිත් පැහැදීමක් නැති, බුදුරජාණන් වහන්සේ ව දකින්නෙත් නැති අය තමයි බහුතරය පින්වත් ස්වාමීන් වහන්ස. එයාලා හොයන්නෙ ඇදකුද. හරියට ඇඟිල්ල ගැන සොයනව වගේ…”

‘‘ඔව් බිනර. එහෙම කොටසකුත් මේ අතරෙ ඉන්නවා. නමුත් අපිට වැදගත් වෙන්නේ.. ධර්මයට කැමති අය යි. මොකද අපි හැමෝ ම ධර්මයට කැමති නිසා…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. පින්වත් ස්වාමීනී, මට තව ප්‍රශ්නයක් අහන්න අවසර ද…?”

‘‘ඔව්… මට ටිකක් වෙලාව තියෙනවා… අහන්න පුළුවන්.”

‘‘ස්වාමීන් වහන්ස, දැන් මේ ශ්‍රද්ධාව කියන්නෙ පැහැදීම. ධර්මය අහද්දිත් අහන වාරයක් වාරයක් පාසා ම දේශකයාණන් වහන්සේ කෙරෙහි නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙරෙහියි පැහැදෙන්න ඕන. මේ සියල්ල මට තේරෙනවා දැන්. ඉතින් මේ ශ්‍රද්ධාව ස්ථාවර වුණා ම, නො සෙල්වෙන තත්ත්වයට පත් වුණා ම එ්කට කියන්නේ සෝතාපන්න ඵලයට පත් වුණා කියලා. ඉතින් ශ්‍රද්ධාව ස්ථාවර කර ගන්න එක බොහොම වැදගත් දෙයක්. පින්වත් ස්වාමීන් වහන්ස, මේ විදියට ශ්‍රද්ධාව ස්ථාවර කරගෙන සෝතාපන්න වෙන්න කුමක් ද කරන්න ඕන…?”

‘‘බාහිරෙන් ලැබෙන උපකාර දෙකකුත්, අභ්‍යන්තරයෙන් උපදවාගත යුතු උපකාර දෙකකුත් අත් හරින්නෙ නැති ව පුරුදු කරන්න ඕන බිනර. එ් තමයි කල්‍යාණමිත්‍ර සේවනයත්, සද්ධර්ම ශ්‍රවණයත් කියන තමාගෙන් බාහිරෙන් ලැබෙන උපකාර සහ ධර්මය නුවණින් විමසීම නම් වූ යෝනිසෝ මනසිකාරයත්, ධර්මය නුවණින් විමසීම තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කොටස් දියුණු කරමින් ජීවිතයට බද්ධ කර ගැනීම නම් වූ ධම්මානුධම්ම පටිපදාවත් කියන අභ්‍යන්තරයන් ලැබෙන උපකාරත් කියන කාරණා හතර.

අද බොහෝ දෙනා උදේ සිට ? වෙනතුරු ධර්මය ඇහුවත් නුවණින් විමසන්නෙ ඉතා ම අඩුවෙන්, ධම්මානුධම්ම පටිපදාව පුහුණු කොට එ් නුවණින් විමසීම ජීවිතයට බද්ධ කර ගන්නෙ ඊටත් වඩා අඩුවෙන්. ඇත්තෙන් ම නැති තරම්. බලන්න දවස තිස්සේ ම බණ අහන අය හොඳට රණ්ඩු කර ගන්න හැටි. රාගයෙන් ඇවිස්සිලා නොමනා ක්‍රියා සිදු කරන හැටි..! මේ සියල්ලට හේතුව අභ්‍යන්තර උපකාරයට අදාළ අංග දෙක නැති වීම යි. එ් නිසා මේ හතර ම හොඳ හැටි පුරුදු පුහුණු වෙනව නම් කිසි ම ගැටලූවක් නැති ව නොබෝ කලකින් ම සෝතාපන්න වෙන්න පුළුවන්. එ් නිසා මේ කාරණාවලට කියන්නේ සෝතාපත්ති අංග කියලා…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මේ කාරණා හතර ගැන මම අසා තියෙනවා. දැන් මට පැහැදිලියි තවත්. මේ සියල්ල අඛණ්ඩ ව ජීවිතයට සම්බන්ධ කරගෙන පුහුණුව ලැබිය යුතු යි. නමුත් පින්වත් ස්වාමීන් වහන්ස, මේ සියල්ල පටන් ගන්න පුළුවන්. නමුත් කරගෙන යන්න අපහසුයි නෙ. පුදුම විදියට බාධා එන්නේ. සමහර වෙලාවට හිත දෙන්නෙත් නෑ භාවනා කරන්න. සමහර වෙලාවට අසනීප. මම අහල තියෙනව සමහර අයට අමනුස්ස ප්‍රශ්නත් බාධා වෙනව කියලා. ඉතින් ස්වාමීන් වහන්ස, මෙහෙම වෙද්දි හිතෙනවා මේ කාලේ අපිට සෝතාපන්න වෙන්නවත් පින මදිවත් ද කියලා. සියල්ල අතෑරලා දිව්‍ය ලෝකේ යන්න පින් කරන්නත් හිතෙනවා. එහෙ ගිහින් හරි ඉතිරිය සම්පූර්ණ කර ගන්න මග ඵල ලැබූ දේවතාවන්ගෙ ඇසුරේ ඉඳන්…” මෙතෙක් මා විඳි සහ ඇසූ පිරූ දේ අනුව ගළපා එසේ පැවසුව ද, පෙරටත් වඩා අමුතු සිනහවක් පින්වත් ස්වාමීන් වහන්සේගේ මුව තුළින් පෙනෙන්නට විය.‍

‘‘බිනර.. දැන් කියපු ටිකත් හරියට ම හරි…! මේ කාලෙ පෙර කළ පින නම් බොහොම අඩුයි තමයි. බාධාත් වැඩියි තමයි. අමනුෂ්‍ය ප්‍රශ්නත් වැඩියි තමයි. එ් විතරක් නෙවෙයි ශරීරත් බොහෝ ම දුර්වලයි. ලෙඩ රෝගත් බොහෝ ම වැඩියි. මේ ජීවිතේ දී ධර්මය අවබෝධ කරන්නත් පෙර කළ පින්වල උපකාරය අවශ්‍ය යි. එ් ගැන ඛුද්දක නිකායේ නිධිකණ්ඩ සූත‍්‍රය කියවලා කරුණු තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ ජීවිතේ කිසි ම කෙනෙකුට ධර්මය අවබෝධ කර ගන්න බෑ කියල කියන්න බෑ. මොකද කර ගන්න පුළුවන් අයත් අපි අතරේ ම සිටින්න පුළුවන්.

නමුත් ආර්ය මාර්ගය මේ ජීවිතේ සම්පූර්ණ කර ගන්න බැරිවුණොත්, දිව්‍ය ලෝකේ උපත ලබලා බුදුරජාණන් වහන්සේ ඇසුරේ දහම් මඟ වැඩූ ශ්‍රාවකයන්ගෙන් උපකාර ගැනීම ඇරෙන්න කෙටිකාලීන ව ලැබෙන වෙනත් විසඳුමක් ඇත්තෙත් නැහැ. එ් නිසයි බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය තුන් වැනි කොටසේ තියෙන ‘සංකාරුප්පත්ති සුත්‍රය’ වගේ සූත‍්‍ර දේශනාත් දේශනා කරල තියෙන්නේ. නමුත්, ප්‍රවේශම් වෙන්න ඕන බිනර. මේ දේ වුණත් අවිද්‍යාවයි, සක්කාය දිට්ඨිය යි තියාගෙන කරන්න ගියා ම නැති අවුල් හැදෙන්න පුළුවන්…”

‘‘එ් කිව්වේ පින්වත් ස්වාමීන් වහන්ස…!”

‘‘දිව්‍ය ලෝකෙ ගිහින් මාර්ගය වඩනවා කියා වර්තමානේ පින් රැුස් කරන අදහසේ ඉන්න කෙනා මේ ජීවිතේ දී ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු නො කොට ඉන් බැහැර වෙලා පින් විතරක් කළොත් ද නිවැරදි? නැත්නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරන ගමන් ම පින් රැස් කළොත් ද නිවැරදි?”

‘‘ආර්ය මාර්ගය පුහුණු කරන ගමන් ම පින් කරගෙන දෙවැනි සැලසුමක් විදියට දිව්‍ය ලෝකයේ ගිහින් අවසන් කර ගන්න එක ගැන හිතන එකයි හොඳ පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘ඉතා ම නිවැරදියි බිනර. ආර්ය මාර්ගයෙන් බැහැර වෙන්නෙ නෑ කියන්නෙ අපි නෙක්ඛම්මයෙන් බැහැර වෙන්නෙ නෑ. එ්ත් අද බොහෝ දෙනා පින් කරන්නෙ නෙක්ඛම්මයෙන් බැහැර වෙලා නෙක්ඛම්මයේ ප‍්‍රතිවිරුද්ධ පාර්ශවය වන කාමය එක්ක බැඳිලා. තමන් දන්නෙත් නෑ තමන් බැඳෙන්නෙ කාමය එක්ක කියලා. මේ ජීවිතේ නෙක්ඛම්මය පුහුණු වුණේ නැති කෙනෙක් මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ඉපදිලා මිනිස් ස්ත‍්‍රීන්ට අහස පොළොව තරම් පරතරයකින් යුතු සුන්දරත්වයකින් යුත් දිව්‍යාංගනාවන් දැක්කම නිවන් මාර්ගය වඩන ශ්‍රාවකයන් සොයා යාම නෙවෙයි, බුදුරජාණන් වහන්සේවත් අමතක වෙන්න පුළුවන්. ඉතින් බලන්න. මිනිස් ලෝකෙ ම නිවන් මාර්ගය අතෑරලා මිනිස් ස්ත‍්‍රීන් එක්ක දිවි ගෙවීම තෝරගන්න හිතන අයත් ඉන්නව නේ..! ඉතින් දෙව් ලොව ගියා ම එහෙම පැටලෙන එක අහන්නත් දෙයක් ද..?”

පින්වත් ස්වාමීන් වහන්සේ මා දෙස බලා මා විසින් පෙර ගනු ලැබූ තීරණයේ ළාමක බව නැවත සිහිපත් කරවමින් දෝ මඳ සිනහවක් පෑහ. මම ද එය තේරුම් ගත් බව අඟවමින් සිනහවකින් ම පිළිතුරු දුනිමි.

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. දැන් මම වුණත් මෝඩකමක් කර ගන්න ගිහින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා ම ගැලවිලා ගියානේ… ඉතින් දිව්‍යලෝකෙ දී පැටලූනා නම් ධර්මය නෑසුණොත් ගැලවීම නම් හීනයක් ම තමයි…”

‘‘සාදු සාදු බිනර. එ් ආකාරයෙන් ම ධර්මය ම යි ප‍්‍රශංසා ලැබිය යුත්තේ. ඉතින් බිනර සුත්ත නිපාතයේ පධාන සූත‍්‍රයේ දී දුෂ්කර ක්‍රියා කරන බෝසතාණන් වහන්සේට පාපී මාරයා මෙසේ පැවසූ සිද්ධියක් තියෙනවා. එ් කියන්නේ දුෂ්කර ක‍්‍රියාව අතෑරලා බ‍්‍රහ්මචාරීව ඉඳිමින් යාග හෝම පුදපූජා කරමින් පින් රැුස් කර ගන්න කියල. සෑම පිනක් ම නෙක්ඛම්ම සංකල්පයෙන් ම යුක්ත නම්, කාමයත් එක්ක සම්බන්ධ නැත්නම්, ආශ‍්‍රවත් එක්ක, කෙලෙස් උපධීන් එක්ක සම්බන්ධ නැත්නම්, මාරයා මෙසේ පවසන්නේ නෑ. කාමයන් සමඟ, කෙලෙස් උපධීන් සමඟ සම්බන්ධ පිනුත් තියන නිසයි, එයින් සසර තව තවත් දික් වන නිසයි මාරයා මෙසේ ප‍්‍රකාශ කළේ.

එ් නිසා බිනර පින් කරන්න ඕන චතුරාර්ය සත්‍යය මෙනෙහි කරමින්, නෙක්ඛම්ම සංකල්පයෙන්, අව්‍යාපාද සංකල්පයෙන්, අවිහිංසා සංකල්පයෙන් යුතු ව, හොඳින් සීලය ආරක්ෂා කර ගනිමිනුයි. මේ සියල්ල සඳහා ඊට බාධා කරන අකුසල් ප‍්‍රහාණය කිරීමට වීර්යයකුත් පැවතිය යුතුයි. එ් වගේ ම නූපන් නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යනාදී සංකල්ප උපදවා ගැනීමට වීර්යයකුත්, සීලය තව තවත් සුරක්ෂිත කර ගැනීමට වීර්යයකුත්, වීර්යය දිගට ම පවත්වා ගැනීමට වීර්යයකුත් පැවතිය යුතු යි. නැත්නම් මේ වීර්යය වුණත් අඩපණ වෙනවා. එ් නිසා වීර්යවන්තයා ඉලක්කය සාක්ෂාත් වන තුරු ම ආරම්භයේ දී වැනි වූ ම නැවුම් සිතකින් වීර්යය කළ යුතුයි. එ් සඳහා සතර අපා දුක සිහි කිරීම, මරණානුස්සති භාවනාව, අසුභය, මෛත්රිය, බුද්ධානුස්සති ආදි භාවනා උපකාරී වෙනවා.

ඇතැම් අකුසල් ඉතා ම සියුම්, එ් නිසා මේ සියලූ කුසල් උපදවා ගැනීමටත්, ආරක්ෂා කර ගැනීමටත් නිරන්තරයෙන් සිහියෙන් ජීවත් වෙන්න සිදු වෙනවා. අභ්‍යන්තර බාහිර ශරීර ගැන, විඳීම් ගැන නුවණින් ම දකින්න සිදු වෙනවා. එ් නිසා සතර සතිපට්ඨාන භාවනා පුරුදු කරමින් හැකි තාක් සිහිය දියුණු කර ගැනීමත් ඉතා ම වැදගත් දෙයක්…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘බිනර, අහල ඇති මෙහෙම කතාවක්. ගෝපිකා කියල උපාසිකාවක් සංඝයා වහන්සේලා ඇසුරේ සංඝයාට දන්පැන් පූජා කරමින් උපස්ථාන කර ගනිමින් පින් රැස්කර ගන්න අතරේ එ් සංඝයාගෙන් ම සතර සතිපට්ඨානය ඉගෙන ගත්තා. පුළුවන් විදියට ආර්ය මාර්ගය වඩමින්, සතිපට්ඨානය දියුණු කළා. භාවනා කළා. එ් වගේ ම හොඳට පිනත් රැස්කර ගත්තා. මරණින් මත්තේ ගෝපිකා, ගෝපක කියන නමින් දිව්‍යරාජයෙක් වෙලා ඉපදුණා. පැවිදි වෙලා පැවිදි සීලයක් රැකපු සතිපට්ඨානය ගැන හොඳ දහම් දැනුමක් තිබුණු, එ්ත් සතිපට්ඨානය දියුණු නො කරපු ස්වාමීන් වහන්සේලා ගෝපක දිව්‍යරාජයා සතුටු කරවන වීනා වාදනය කරන සංගීත කණ්ඩායමක ගාන්ධර්ව දේව උත්පත්තිය ලබාගෙන එ් දිව්‍ය ලෝකෙ ම ඉපදුණා. දැන් බලන්න… දිව්‍ය ලෝකයේ යන එකයි, දිව්‍ය ලෝකෙදි ධර්මය පුහුණු කළ අයත් එක්ක උස් පහත්කම් හැදෙන එකයි අතරේ වෙනස. එහෙනම් දැන් බිනර අන්තිමට අහපු ප්‍රශ්නෙටත් උත්තරේ මම එ් ප‍්‍රශ්නෙ අහන්න කලින් කියපු කාරණාව ම නේ ද?”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. දිව්‍ය ලෝකේ ගිහින් ධර්මය පුහුණු වෙන්න කැමති කෙනාත් කළ යුත්තේ නෙක්ඛම්මාදී සංකල්පවලින් යුතු ව, සෝතාපත්ති අංග දියුණු කරන අතරේ ම පින් කර ගන්න එක යි. සෝතාපත්ති අංග දියුණු කිරීම අත්හැරලා… නිකම් ම නිකම් පින් විතරක් කරන එක නෙවෙයි…”

‘‘ඉතාමත් ම නිවැරදියි බිනර. අන්න එහෙමයි නුවණැති ශ‍්‍රාවකයා කල්පනා කරන්න ඕන. මෙහෙම හිතුවොත්, මෙලොවවත් පරලොවවත් ඔහුට වරදින්නේ නෑ…”

මතු සම්බන්ධයි…

කම්පිතව හද මඬල ලෝ සතගෙ දුක හැඳින

සනසවන මඟ සොයන්නේ

පුරා පෙරුමන් පැමිණ නිවන සැනසුම දරන

සුගත මඟ ම යි දිනන්නේ

හැම කෙලෙස් ලෙඩ නසන අමා ඔසු දන් දෙමින

පිරිනිවෙන මඟ දෙසන්නේ

දිවා රැය පුරා මම සිත සිතා නිමල ගුණ

තථාගත මුනි වඳින්නේ…!!!

කිසිත් හරසුන් නැතේ අරුත් පිරිපුන් වෙතේ

අමා සන්දෙස නැගෙන්නේ

දෙව් මිනිස් ලොව වෙතේ පතළ මෙත් සිත ඇතේ

ඒ අමා රස බෙදන්නේ

සුගත මුනි මාවතේ කලණ සලකුණ වෙතේ

ගුරු තරුව වී දිලෙන්නේ

සිළුමිණ ව පින් කෙතේ ගුරු දෙවිඳු එහි වෙතේ

සාදු සාදු වඳින්නේ…!!!

දස බලැති හිරු මඬල මෙත් සිතැති සඳ මඬල

අවිදු අඳුරයි නසන්නේ

සැදැහැ බිජු වපුරමින් සිල් දියෙන් දොහොවමින්

හිරු සඳුගෙ තෙද ලබන්නේ

පින්කෙත ව තුන් ලොවේ බෙදාලන අම සුවේ

තථාගත මුනි රජුන්නේ

උතුම් ශ‍්‍රාවක රුවන මගේ ලොව මිණි පහන

සාදු සාදු වඳින්නේ…!!!

සම්මා සම්බුදුරජාණන් වහන්සේට ද

උතුම් ශ්‍රී සද්ධර්මයට ද

ආර්ය සංඝරත්නයට ද

සත්පුරුෂ ගුරු දෙවිඳුන්ට ද

කල්‍යාණමිත්‍ර සඟ රුවනට ද

මාගේ නමස්කාරය වේවා!!!

මහාමේඝ 2015  බක් කලාපය

WWW.MAHAMEGHA.LK

මතක සටහන

ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.

SMS Only – 077 063 08 68

පම්පෝරිය
මේ සසර පුරා අප සුගතියට ගෙන ගියේත්, දුගතියට ගෙන ගියේත් මේ සිත යි. සසරින් නිදහස් වන්නට වුවමනා යැයි එක් වරක් සිතෙන විට අපට සිය වරක් සසරේ රැුඳෙන්නට හේතු සැකසුනේ මේ සිත නිසා ය. වරෙක බලවත්ව වීතරාගයට පත්වන සිත ම සියදහස් වර බලවත්ව රාගයට නතු වේ. අප දියුණු කරන්නට, දමනය කරන්නට උත්සාහ කරන්නේ එවන් චපල සිතකි.

අනන්ත නම් මිතුරා සොයා භාවනා අසපුවකට ගොස් පින්වත් කලණ මිතුරන්ගේ ඇසුර ලැබී ධර්මය දියුණු කරන්නට පටන් ගත් බිනර යුහුව එ් දියුණුව ලැබී ය. එවන් දියුණුව ද නසන්නට දමනය නො වූ සිතට නො හැක්කේ නො වේ. එ් බව අපට කියන කසාවතේ මේ දහ අටවන දිගහැරුම බිනරගේ පමණක් නො වේ; ඔබේ ද මගේ ද කථාව යි…!

ආහාර ගැනීම පිණිසත්, අදහස් හුවමාරු කර ගැනීමේ දී ශබ්ද නිකුත් කරන අවයවයක් ලෙසත් කර්මානුරූප ව ලැබී ඇති ‘කට’ නිසා ඇතැමුන් සියල්ල අහිමි කර ගන්නා අවස්ථා ද තිබේ. සිතේ පැන නඟින ඇතැම් උපක්ලේශ සහ මාන්නාධික හැඟීම් උත්සන්න වූ කල් හී කළ යුතු දේ ද නො කළ යුතු දේ ද වටහා ගත නො හැකි වී යයි. ඇතැම් විට පසුතැවීම් ඇති වන සිදුවීම් රාශියක් සිදු වන්නේ සිහි මුළා වී රාග ද්වේෂ මෝහා දී අකුසල්වලට මුල් තැන දී අත්තනෝමතික ව කටයුතු කරන්නට යාම හේතුවෙනි. පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ඇසුරේ භාවනා කරන්නට ලැබුණු අවස්ථාවෙන් ලද සැනසීම නොදැනුම්වත්කම නිසා ම ඉතා ම ඉක්මනින් මා හට අහිමි විය. එ් සියල්ල සිදු වූයේ එදා අසපු භූමියෙන් නිවසට පැමිණීමටත් පෙර ය.

එදින අසපු භූමියේ සුව සේ වාසය කොට, නැවත නිවසට පැමිණෙන අතර මග දී, බස් රථයේ දී ඉතා පැරණි මිතුරෙකු මුණ ගැසුණි. ඔහු අනන්තගේ ද පැරණි මිතුරෙකු විය. එබැවින් ඔහු ඉතා ගිජු ලෙස අනන්තගේ වත්මන් තොරතුරු විචාරන්නට වූයේ ය. බස් රථය තවමන් බස් නැවතුම් පළේ වූ අතර, ගමන් ආරම්භ කරන තුරු අපි කතා බස් කරමින් සිටියෙමු. එය ටාටා වර්ගයේ කුඩා බස් රථයකි. ඉදිරි පෙළ දකුණු පස පළමු ආසනය සහ දෙවන පෙළ ආසනය සවි කර තිබුණේ මුහුණෙන් මුහුණ බලාගෙන ගමන් කළ හැකි සේ ය. තවත් විදියකින් කිවහොත් කෝච්චි පෙට්ටියක ආසන මෙන් ය. ඔහුට යාබද ආසනය තවත් අයෙකු සඳහා වෙන් කර ඇති බවක් වැටහුණේ එ් මත වූ බෑගය මා පැමිණි පසුව වුව ඔහු ඉවත් නො කරගත් හෙයිනි.

‘‘ආහ්… බිනරයා…! ඔහෙප්පලයං සුදු ඇඳගෙන…”

‘‘‘අනන්ත බලන්න ගිියා අසපුවට. උඹ කොහේ යන ගමන් ද?”

‘‘කොතලාවල එකේ බං දැන් ඉන්නෙ. ගෙදර යන ගමන්. ඉතින් ඉඳගනින් ඔය සීට් එකෙන්…”

‘‘මොකද්ද බං.. සීට් එක සින්නක්කර ගත්ත ද?”

ඔහුට ඉදිරිපස අසුනේ ඉඳගන්නා අතර ඔහු විසින් කල් ඇතුව ම වෙන් කරගෙන සිටි යාබද අසුන දෙස බලා ඔරවමින් මම පැවසුවෙමි.

‘‘ඇයි උඹ අහල නැද්ද… නෑයන්ට සංග‍්‍රහ කරන්න  ඕන කියල පිරිත් පොතේ තියනවා. මේ මගෙ නෑයෙක්ට බං. තව ටිකකින් එයි. සීට් එකක් අල්ලලා තියන්න කිව්වා…”

‘‘ආහ්.. හරි හරි… නෑයන්ට සංග‍්‍රහ බැරි නම් අසල්වැසියන්ට පේ‍්‍රම කරගෙන හරි හිටපන්කො. මට මොකෝ. උඹ මොනවහරි කනව ද? මම කඩල ගන්නවා…”

‘‘කඩල හොඳයි…”

ඔහුටත්, මටත්, ඔහුගේ ඥාතියාටත් කඩල පැකට් තුනක් ම ගත් මම එකක් ඔහුගේ අතට දුන්නෙමි.

‘‘උඹට කඩල පැකට් දෙකක්?”

‘‘අනික උඹේ නෑයට. මේක උඹට දුන්නොත් උඹ දෙනවා වගේ දෙයි. මම ම දෙන්නං. එතකොට එ් පිනත් මට…”

මා එසේ පවසද්දී ඔහුගේ මුහුණ මඳක් අඳුරු වී ගියේ ය. ඊට හේතුව තේරුම් ගත නො හැකි වුවත්, සියල්ල අමතක කොට කඩල සපමින් කතාවට වැටුණෙමු.

‘‘ඉතිං ඉතිං… කොහොම ද අනන්තට…?”

‘‘හොඳයි බං. අපිට වැඩිය හොඳින් ඉන්නවා. අපි මේ දුවනවා දුවනවා කෙළවරක් නෑනෙ. යුනි එකෙන් (යුනිවර්සිටි) එළියට ආපු දවසෙ ඉඳන් එ්කේ ම ලෙක්චර් කරන්න පටන් ගත්තා. උදේ යනවා ? එනවා, උදේ යනවා ? එනවා. සති අන්තෙ ගෙදර යනවා. පෝයක් සතියෙ මැද තිබ්බත් ගෙදර ගිහින් එන්න වෙලාවක් නෑ. පාරට ම දවසෙන් බාගය යි. කන එකයි, හුස්ම ගන්න එකයි, වැසිකිළි යන එකයි උපන් දා ඉඳන් වරද්දන්නෙ නැති ව කරන්නෙ. මේ පාරෙ ම ගිය නාකි කථිකාචාර්යලා තාමත්  ඕකමයි කරන්නෙ. කවද නම් මේකෙන් ගැලවෙන්න ද. වෙලාවකට හිතෙනව බං… මොනවද මේ කරන්නෙ කියල. අනන්ත ගිය පාර හරි කියල හිතෙන්නෙ අපි යන පාර ගැන හිතනකොටයි…”

‘‘එ්කත් ඇත්ත බං. උඹට තරම් වත් නිවනක් නෑ මට. මම මේ ගෙදර එන්නෙ මාස එකහමාරකට පස්සෙ…”

ගැඹුරු හුස්මක් හෙළමින් ඔහු පැවසුවේ ය.

‘‘උඹ ගිහිං නෑ නේ ද අසපුවට. දවසක යන්න ම  ඕන…අඩිය තිබ්බත් ඇති බං. හිතයි ඇඟයි දෙක ම නිවිල යනවා.”

‘‘කොහෙද බං ඔව්වයෙ යන්න වෙලාවක්. ගමේ පන්සලට යන්නවත් වෙලාවක් නැති එකේ. පොඩි හාමුදුරුවො පණ්ඩිත විභාගෙ පාස්ලූ. එ්ත් බලන්නවත් යන්න බැරි වුණා. දහම් පාසලෙන් පස්සෙ තාත්තගෙ දානෙදි දැක්කා. එච්චරයි. පන්සලකට අසපුවකට යන්න වෙලාවක් තිබ්බ නම් මොනව කරන්න බැරි ද බං…”

‘‘එහෙම කියල හරියනව ද බං. මේ… මධුර. උඹ ගෙදර යන්න කලින් මේ පාර මාත් එක්ක දවසකට වරෙන්. අපි දෙන්න ම ගිහින් අනන්ත ව මුණ ගැහෙමු…”

‘‘හ්හාං… හ්හාං… බලමුකො. ඉස්සෙල්ල ගෙදර යන්න එපැයි.”

නිවසේ දී කුමන කුමන වගකීම්වල හිරවේදෝයි සිතමින් මධුර කල්පනා කරන්නට විය.

‘‘බිනර. ඉතිං… ගියා කියල මොනව ද කරන්නෙ. දැන් උඹ වතාවල් කීපයක් ම ගියානෙ…”

”පිස්සු හැදෙනවා බං. මම මේ පාර ගිහින් භාවනා කළා. උඹ දන්නෙ නෑ මට වෙච්චි දේ…”

‘‘ඇයි ඇයි උඹට මොකද වුණේ…?”

‘‘මම භාවනා කර කර ඉද්දි මම පාවෙන්න ගත්ත. මුළු ඇඟ ම බර නැති වෙලා ගිහිල්ලා වහලෙ වැදෙන්න වගේ. මුළු ලෝකෙන් ම හිත අයින් වුණා. කොච්චර සනීපයක් දැනුණ ද කියන්නෙ මුළු ඇඟට ම දිවට දැනෙන පැණි රස දැනෙනව වගේ. එ් තරම් සනීපයක් දැනෙන්න ගත්තා…”

‘‘න්නෑ….හ්….!”

‘‘ඔව් බොල. මට හිතෙන්නෙ මට නම් රහත් වෙන්න පුළුවන් වෙයි වගේ. මෙහෙම භාවනාව වැඩුණ එක ගැන ස්වාමීන් වහන්සේලාත් සතුටු වුණා වගේ තේරුණා. හැබැයි කෙළින් ම මොකුත් කීවෙ නෑ. බලපං උඹල එ්කට. ජීවිතේට එහෙම අත්දැකීමක් විඳල තියෙනව ද? මම එක දවසයි එ් ශාලාවෙ භාවනා කළේ. මං හිතන්නෙ මම පෙර ජීවිතේ භාවනා කරල ඇති. ගෙදර ගිහිල්ලා ?ට ?ට පැය පැය වෙන් කරගෙන කරන්න ඉන්නෙ. පාන්දරත් කරන්න  ඕන ටිකක් දියුණු වුණා ම. මම හිතන්නෙ මම සමාධියට ආවා. ඉතිරි ටිකත් ලේසියෙන් ම කරගන්න පුළුවන් වෙයි මට. මට සෑහෙන්න ෂුවර්. උඹලත් දණ ගගා ඉන්නෙ නැතිව ආව නම් නරක ද?”

භාවනාවෙන් ලද අත්දැකීමෙන් මදමාන්නයෙන් ඔද වැඞී ගිය මම තිරිංග නැති කට පුරා හිතේ හැටියට පුරසාරම් දොඩන්නට වූයෙමි.

‘‘උඹ නම් යකෙක්නෙ බං…”

ඔහු පුදුමයට පත් වී සිටි බව දැක මම සතුටු වුණෙමි. ඊටත් වඩා ඔහුගේ ස්වරයේ මා කෙරෙහි යම් ගෞරවයක් මුසු වූ බව දැකීමෙන් තවත් සතුටු වුණෙමි. ආඩම්බර වුණෙමි.

නමුත්, සියලූ කතා බස් නිදහසේ පැවැත්විය හැකි වූයේ සුළු මොහොතකි. මධුරගේ ඥාතියා බසයට ගොඩ විය. ඥාතියා පැමිණි බව දුටු මධුර, එ් තාක් ආසනය මත තිබූ ඔහුගේ බෑගය ගෙන ආසනයට ඉහළින් තිබූ බෑග් රඳවන රාක්කයේ තැබුවේ ය. එ් අවසරයෙන් මධුර අසලින් ම එ් ඥාතියා හිඳ ගත්තේ ය.

සැබැවින් ම එ් ඥාතියා මාගේ ආසනය ද සොරා ගත්තේ ය. සිත ද සොරා ගත්තේ ය. සිහිය ද සොරා ගත්තේ ය. එපමණක් නොව මා හට ද උන් හිටි තැන් ද අමතක ව යන ආකාරයේ බැල්මක් හෙළා ඉවත බැලී ය. අහෝ… මේ කුමක් ද සිදු වුණේ…!

‘‘ආහ්.. බිනර. මට අඳුන්නල දෙන්නත් බැරි වුණානෙ. මේ මගෙ මාමණ්ඩිගෙ දුව…!”

‘‘කොහොම ද?”

අප‍්‍රාණික ස්වරයකින් මම ඈ දෙස බලා විමසුවෙමි. නමුත් ඈ සිනාසුනා පමණි. අහෝ ඈ කෙතරම් නම් සුන්දර ද! ඇගේ කෙස් කැරළි ගැසී දිළිසි දිළිසී තිබුණි. ඇගේ සම කහ පැහැයට හැරෙන්නට ගොස් අතර ම`ග නැවතී ඇත්තාක් සේ ය. දෙනෙත්වල අමුතු ම කාන්තියක් තිබුණි. මෙවන් රූපයක් මින් පෙර දැක නැත්තාක් මෙන් හැඟීමක් මා තුළ ඇති වෙන්නට පටන් ගත්තේ ය. අහෝ ඇගේ නම දැනගන්නට ඇත්නම්..? මධුර ගැන ද සියුම් කේන්තියක් ජනිත විය. මාමාගේ දුව යැයි පැවසුවා මිස නම පැවසුවේ නැත. මධුර බොහෝ ළඟින් ඇසුරු කොට තිබුණත්, මැය ව කෙදිනක හෝ දැක නැත්තෙමි.

‘‘මේ නංගි ව දැකල නෑනෙ මධුර මම. දුර පළාතක ද ඉන්නෙ…”

‘‘පවුල ම ඉන්නෙ ඩුබායි. අද නංගි අපේ ගෙදර එනව කියල අම්ම මග දි ම කෝල් එකක් දීල කිව්වා බස් එකේ එක්කන් එන්න කියල. මම යන්නයි හිටියෙ. මෙයා අපෙ අම්මට මොනව ද ගන්න  ඕන කියල සිටි සෙන්ටර් එකට ගිහිල්ල ම එන්නම් කිව්වා. ඉතිං මම බස් එකේ හිටියා සීට් එක අල්ලගෙන. මෙයා පරක්කු වුණා නම් මට බැහැල ඊ ළඟ බස් එක අල්ලගන්න වෙනවා. හොඳ වෙලාවට කලින් ම ආවා…”

‘‘ඩුබායිවල වෙලාවට වැඩ කරලා පුරුදු ඇති. එ්ක නෙවෙයි නංගි. මෙන්න කඩල පැකට් එකක් ඔයාට ම යි ගත්තෙ…”

ආශාවෙන් මත් වුණු සිතෙන් මම අතේ වූ කඩල පැකට් එක ඇයට පිරිනැමුවෙමි. මධුරගේ මුහුණ දෙවෙනි වර ද කළු වී ගිය අතර එ් කිසිත් නො තකා බලාපොරොත්තු වූ පරිදි ම ඇය කඩල පැකට් එක අතට ගත්තා ය.

‘‘තැන්ක්ස් අයියා…”

හුරතල් සිනහවකින් මුව සරසාගෙන මා දෙස බලා දෙනෙත් නටවමින් ඇය එසේ පැවසුවා ය. එය දුටු මාගේ බඩ කට පිරී ගියා සේ දැනිණ.

ඉන්පසු කිසිදු ධර්ම කථාවක් පැන නො නැඟිණි. සියල්ල වල්පල් විහිළු තහළුවලින් පිරී ගිය, මදයෙන් මෝහයෙන් පිරී ගිය අල්ලාප සල්ලාප විය. මධුර සමඟ කතා කරන සෑම වදනක් ම ඇයට ද ගැළපෙන්නට කතා කරන්නට මා පෙළඹුනේ කෙසේ දැයි මම ද නො දනිමි. සම්පුර්ණ ගමනාන්තය දක්වා ම මගේ සිත පිරී ගොස් තිබුණේ ඇය පිළිබඳ සිතිවිලිවලිනි. ඇතැම් විට ඇය සමඟ ද කතා බස් කළ අතර ඇය ද අපගේ කතාවට විටින් විට එකතු විය. ඇය ඩුබායිවල වාසය කළත් හොඳින් සිංහල කතා බස් කළ හැකි වූ අතර අපගේ කතාවට එකතු වූයේ අල්ප වශයෙනි. ඇතැම් විට එය ඇයගේ ස්වභාවය විය හැකි ය. ඇතැම් විට ඇයගේ ආඩම්බරකම විය හැකි ය. එ් කුමක් වුවත්, එ් ගුප්ත බව තව තවත් මගේ සිත ඇය කෙරෙහි කුතුහලයෙන් යුතු ව බැඳ දැම්මේ ය. මේ සියල්ල අවසානයේ දී අවාසනාවන්ත ලෙස මාගේ ගමනාන්තය ළඟා වූයේ ය. තවත් යාමට සිතුණත්, බැස යා යුතු ව තිබුණු නිසා ඔවුන්ට සමු දෙන්නට සිදු විය. නමුත්, මේ තාක් විමසා දැනගත නො හැකි වූ යමක් ශේෂ වූ බැවින් බැස යාමට පෙර එය ද සපුරා ගැනීමට තරම් මම නොඉවසිලිමත් වීමි.

‘‘මම යනවා මධුර. බහින තැනත් ළං වුණා. කෝ ඉතිං නංගිගෙ නම කිව්වෙ නෑ නෙ…?”

මම මධුරට සමු දී ඇගේ නම දැන ගැනීම පිණිස ඈ වෙත සිනහ සී බලා විමසුවෙමි.

‘‘නෑ.. නෑ.. භාවනා කරන උන්ට කෙල්ලන්ගෙ නම්  ඕන නෑ. උඹ ඉක්මනට බැහැපං… නැත්තං හෝල්ට් එක මඟ හැරෙයි…”

මැදට පැනගත් මධුර සියල්ල වනසා දැම්මේ ය. මධුර ව කන්න තරම් තරහක් ආවත්… එ් සියල්ල යටපත් කර ගත් මම මධුර දෙසට හැරී වදන් පෙළකින් සංග‍්‍රහ කළෙමි.

‘‘මට සසරෙන් ගැලවෙන්න උඹ දුන්න සපෝට් එක මම ජීවිතේට අමතක කරන්නෙ නෑ. මං එන්නම්කො රහත් වෙලා කළගුණ සලකන්න.”

සියුම් තරහත්, ඉරිසියාවත්, දුකත්, මිශ‍්‍ර කොට එසේ පිළිවදන් දුන් මම අකමැත්තෙන් ම බසයෙන් බැසගත්තෙමි. මා එ් පැවසූ වදන් පෙළ කෙතරම් අර්ථවත් දැයි මා හට වැටහෙන්නට බොහෝ කාලයක් ගත විය. එදා අමනාපයෙන් වුව ද පැවසූ වදන් පසු ව ආශීර්වාදයක් සමඟින් මා ලූහුබැඳ පැමිණෙතැයි කිසිසේත් ම කල්පනා නො කළෙමි.

එදින, නිවසට ගිය පසු ද ඉන් දින කිහිපයක් පුරා ම ද මගේ සිත සලිත වී තිබුණි. වෙනදා මෙන් භාවනා අසපුවට ගොස් පැමිණෙන විට නිවසේ දී විඳි සැනසීම වෙනුවට අපහසුවක්, පසුතැවීමක්, දුකක්, සුසුම් පෙළක්, පීඩාවක් සහ කිසිදු වැදගත් යමක් කළ නො හැකි මූසල හැඟීම් රාශියකින් මසිත පිරී ගොස් තිබුණි. කිහිප විටක් ම මධුරට දුරකථනයෙන් කතා කොට ඔහුගේ නිවසට පැමිණීමට විවේකයක් ඇත්දැයි විමසුවෙමි. නමුත් එ් සෑම අවස්ථාවක ම ඔහුට කුමන හෝ කටයුත්තක් යෙදී තිබූ බැවින් මාගේ අසහනය තව තවත් වැඩි වන්නට විය. ආහාර ගැනීම, ජල ස්නානය පමණක් නොව ධර්ම ශ‍්‍රවණය සහ පුල පුලා බලා සිටි භාවනාව දියුණු කිරීම පවා මඟ හැරී ගොස් තිබුණේ ය.

මේ සියල්ල අතරේ වෙස්වලාගෙන පැමිණි ආශීර්වාදයක් සේ නිවසේ දුරකථනය නාද විය.

‘‘හෙලෝ…”

‘‘නමෝ බුද්ධාය. බිනර ද?”

දුරකථනයෙන් මාගේ නම අමතන්නට විය.

‘‘ඔව්.. බිනර තමයි….”

‘‘තෙරුවන් සරණයි බිනර. මම අනන්ත…”

‘‘තෙරුවන් සරණයි අනන්ත.”

‘‘මම ඊයෙ හීනෙන් දැක්කා බිනර දළදා මාලිගාව වඳින්න යනවා. මම එ් හීනෙ ගැන වැඩිය හිතුවෙ නෑ. එ්ත් අද දවල් අර ස්වාමීන් වහන්සේ වැඩියා. කන්ද උඩ කුටියේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ පැවසුවා හෙට පාන්දරින් ම උන්වහන්සේත් දළදා වඳින්න යනවා කියලා. ඉතිං මේ හීනෙ ගැනත් හිතලා මට කල්පනා වුණා බිනරත් හෙට දළදා වඳින්න ගියොත් මොකද කියලා! උදේ දහය… දහයාමාර වගේ වෙද්දි ස්වාමීන් වහන්සේත් වඞීවි…”

අනන්තගේ එම වදන් පෙළ ශ‍්‍රවණය වෙද්දී ම මගේ සිත විශාල සතුටකින් වෙළී ගියේ ය. ඔහුට හිතේ හැටියට පින් දුන් මම හෙට උදෑසනින් ම දළදා වඳින්නට යාමට තීරණය කළෙමි. කළ යුතු රාජකාරි කටයුතු කිහිපයක් ම තිබුණත් එ් සියල්ල කඩිනමින් සහායකයන් වෙත පවරා දීමට හැකි විය. සැබැවින් ම එය ද වාසනාවකි. මේ සියල්ල අවසානයේ පහසුවෙන් දළදා වඳින්නට යාමට අවශ්‍ය මූලික පසුබිම සකස් වූයේ ය.

උදෑසන ආහාරයෙන් පසු ව සුදු වස්ත‍්‍රයෙන් සැරසී අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් ද බෑගයට දමාගෙන බසයට නැඟ ගත් මම දළදා වැඳීමේ අපේක්ෂාවෙන් ලද අසුනේ හිඳ ගත්තෙමි. පැය කාලක් පමණ වංගු පිට වංගු කරකවමින් ඇදී ගිය බස් රථය අනපේක්ෂිත ලෙස එක්තරා කඳුකර වංගුවක් අසල දී නැවතිණ. විනාඩි තිහක් පමණ බසය එහි ම ප‍්‍රමාද වූ අතර, ඉන් පසු කෙසේ හෝ බස් නැවතුම් පළ වෙත ළඟා විය. කාලය ද ඉතා ම සීමිත ව තිබුණු බැවින්, හැකි ඉක්මනින් මාලිගාව වෙත පිය මැන්නෙමි. වේලාව එකොළහත් පසු වී තිබුුණු අතර, ඉහළ මාලයේ දළදා වහන්සේ වැඩ සිටින ස්ථානය අවට සහ පරීක්ෂා කළ හැකි සෑම තැනක ම මම උන්වහන්සේගේ ඡුායාව සෙව්වෙමි. නමුත් සොයා ගත නො හැකි විය. බස් රථයේ පමාවත් සමඟ උන්වහන්සේ ද මා හට මඟ හැරී ඇති සැටියක් පෙනෙන්නට තිබුණි. උතුම් දේක දී මෙවන් බාධා රැුසකට මුහුණ දුන් ප‍්‍රථම අවස්ථාව ද මෙය වූ බැවින් මහා පරාජිත හැඟීමකින් සිත වෙළී ගියේ ය.

‘අනේ දළදා වහන්සේට අධිගෘහිත දෙවිවරුනි. මාව හිස් අතින් නම් යවන්න එපා…’

මම දළදා වහන්සේගේ රන් වියන දෙස බලා අධිෂ්ඨාන කළෙමි. පහන් ගෙය අසලින් බැසගෙන මානෙල් මල් කඩය පසුකොට ප‍්‍රධාන දොරටුවෙන් බැස වම් පසට හැරී හේමමාලා දන්ත කුමරුගේ ප‍්‍රතිමාව දෙස නෙත් යොමමින් උද්‍යානය වෙත ඇවිද ගියෙමි.

පුදුමයකි. උද්‍යානයේ කෙළවරක වූ ගසක් සෙවණේ උන්වහන්සේ පළඟක් බැඳගෙන වැඩ සිටියි. මගේ සිත ප‍්‍රීතියෙන් පිනා ගියේ ය. විදුලි වේගයෙන් එ් වෙත ගිය මම උන්වහන්සේ වැඳ එකත්පස් ව හිඳ ගත්තෙමි.

‘‘තෙරුවන් සරණයි. අනන්ත මට කිව්වා බිනර ව මෙතන දි මුණ ගැහෙයි කියලා….”

උන්වහන්සේ සුපුරුදු ප‍්‍රියශීලි සිනහවෙන් යුතු ව කරුණාවෙන් පිළිවදන් දුන්නේ ය.

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. මම පුංචි දානයකුත් ගෙනාවා…”

අතර මඟ දී පිරිසිදු හෝටලයකින් ගත් සරල ආහාර පාර්සලයක්, පැන් බෝතලයක් ද සමඟින් උන්වහන්සේට පිළිගැන්වුවෙමි. උන්වහන්සේ පාත‍්‍රයෙන් එ් සියල්ල පිළිගෙන සුළු මොහොතකින් වළඳා අවසන් කළේ ය. උන්වහන්සේගේ ඉඳුල් අත සේදීමට ද පැන් වත් කළ මම ඉඳුල් පාත‍්‍රය ද සෝදා ‘කෙලෙස්වලින් ඉඳුල් වූ මාගේ සිත පවිත‍්‍ර වේවා’ යි අධිෂ්ඨාන කළෙමි. දානයෙන් පසු ව ද උන්වහන්සේට නැවත වැඩම කිරීමට හදිසියක් නො වූ බව තේරුම් ගත් මම ඉතා සතුටින් උන්වහන්සේ සමඟ කතා බස් කළෙමි.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, මට යමක් දැනගන්න  ඕන…”

‘‘ඔව්…. අහන්න… බිනර. මට වෙලාව තියෙනවා.”

‘‘මට මෙහෙම සිතිවිල්ලක් ඇවිල්ල තියෙනවා. නකුල මාතා, නකුල පිතා වගේ පින්වන්ත භාර්යාවක් සමඟින් ගිහි ජීවිතයක් ගත කරන අතරේ පින් දහම් කරන්න. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වුණත් යශෝදරාවන් සමඟින් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ම සංසාරෙ ආවනේ. එ් වගේ මට පිනට දහමට උපකාර කරන පින්වන්තියක් කොහේ හෝ ඉන්න  ඕන. මමත් පින් කළ කෙනෙක් සසරෙ. එ්කයි මට මේ බුදු සසුන ලැබුණේ. ඉතින් මාත් එක්ක පින් කරපු කෙනෙකුත් ඉන්න  ඕන නේ ද?”

‘‘බිනර…! මට උපස්ථාන කරගෙන මාත් එක්ක ම ඉන්න  ඕනෑ කියල දවසක් ඇවිටිලි කළා නේ ද? බලවත් විරාගී මනසකින්…? එ් සිත ම නේ ද දැන් මේ බිනරට නකුල මාතාවක්… යශෝදරාවක්… සොයාගන්න කියල කියන්නේ…”

‘‘මම… මම හිතුවෙ…”

‘‘බිනර…! නකුල මාතාවක් මුණගැහුණ ද? එ් වගේ ම ගුණවත් කෙනෙක්?”

‘‘න්නෑ.. නෑ… ස්වාමීන් වහන්ස. තාම එහෙම ගුණධර්ම අඳුරගන්න තරම් කෙනෙක් මුණ ගැහිල නෑ…”

‘‘යශෝදරාවක්..?”

”නෑ පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘නකුල මාතාව කියන්නෙ මහා ගුණවත් බලවත් කාන්තාවක්. එතුමියට පුළුවන් වුණා තමන්ගේ ස්වාමියා මරණාසන්න ව ඉන්න මොහොතක ඔහුට මිනිස් ලොවට තියෙන ඇල්ම නැති වෙන විදියට කරුණු කියන්න. ඇය පැවසුවේ ‘මම ගැන හිතන්න එපා… මට තනිව ම ජීවත් වෙන්න පුළුවන්… ඔබ හිත නිදහස් කරගෙන මැරෙන්න. ආශාවක් නැතුව ම මිනිස් ලෝකෙ ගැන අපේක්ෂාවක් නැතුව ම මැරෙන්න…’ කියල යි. සාමාන්‍ය කෙනෙක්ට මෙහෙම කියන්න බෑ. නකුල මාතා සහ නකුල පිතාගෙ වයසත් එක්ක බැලූව ම එ් දෙන්නට බුදුරජාණන් වහන්සේ ව මුණ ගැහිල තියෙන්නෙ විවාහ වුණාට පස්සේ. එ් දෙන්නා කොයිතරම් ගුණවත් ද කියන්නේ විවාහයට පෙර බුදුරජාණන් වහන්සේ ව මුණ ගැසුණා නම් මොන තීරණයක් ගනීවි කියල ද බිනර හිතන්නේ…?”

‘‘අනිවාර්යෙන් ම දෙන්න ම පැවිදි ජීවිතයට ඇතුල් වෙයි පින්වත් ස්වාමීන් වහන්ස…!”

මම සැණින් පිළිතුරු දුනිමි. සංයුත්ත නිකායේත්, අංගුත්තර නිකායේත් නකුලපිතු සූත‍්‍ර පිළිබඳ ව කරුණු මම ද අසා ඇත්තෙමි. එබැවින් ම යි එවන් දිවියක් ප‍්‍රිය කළේ.

‘‘බිනරට තව ම නකුල මාතාවක් ලැබිලත් නෑ. මට පේන්නෙ බිනරගෙ හිතේ පැන නැඟුණු රාගී අකුසලයක් කුසල වේශයකින්, පුණ්‍ය වේශයකින් වංචනික ව බිනර ව මුළා කරවනවා වගේ…”

පින්වත් ස්වාමීන් වහන්සේ එසේ කියද්දී… කොහේ හෝ තැනක මා හට වැරදුණා යැයි සිතෙන්න ට විය. නමුත් කිසිත් නො කියා තව දුරටත් උන්වහන්සේ පවසන දෙය වෙත සවන් යොමා සිටියෙමි.

‘‘කන්න  ඕන වුණා ම කබරගොයාත් තලගොයා වෙනව කියන එක හොඳට ම ගැළපෙනවා රාගයෙන් ස්ත‍්‍රියකට බැඳුන පුරුෂයෙකුට බිනර…! ඊට පස්සෙ එයාගෙ ජීවිතේට ගැළපෙන විදියට අර ස්ත‍්‍රිය පිළිබඳ ව තමන් ව ගොනාට අන්ද ගන්නවා. ගොනාට ඇඳගත්තේ තමන් ම යි කියල තේරෙන්නෙ විවාහ වෙලා කාලයක් ගියා ම යි. අම්මට ආදරේ කෙනෙක්ට රාගයෙන් බැඳුනු ස්ත‍්‍රිය පේන්නෙ තමන්ගෙ අම්මගේ ප‍්‍රතිමූර්තියක් වගේ. සිහින කුමරියන් ගැන සුරංගනා ලෝකවල ඉන්න කෙනෙකුට තමන් රාගයෙන් බැඳුනු ස්ත‍්‍රිය පේන්නෙ කාලයක් දැන හඳුනන, සංසාරෙ පතාගෙන ආපු රූපයක් වගේ. අධිරූමත් කාන්තාවන්ට කැමති කෙනෙක්ට තමන් රාගයෙන් බැඳුනු ස්ත‍්‍රිය පේන්නෙ දෙවියන් දුන්නු තෑග්ගක් වගේ. ඉතින් කෑමක් බීමක් පවා නැතුව එ් මත්තෙ වෙහෙසිලා, ලබාගෙන, ආරක්ෂා කර ගන්න දිවා ? වෙහෙසෙනවා…”

‘‘සැබෑවක් ම යි පින්වත් ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස. ඔබවහන්සේ කවදාවත් ම ගිහි කාලේ ස්ත‍්‍රියක් පතල නැද්ද? මම දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ තරුණියන් ගැන කල්පනා කළ ආකාරය ගැන.”

‘‘මොකද නැත්තේ. හිතල තියෙනවා. ඔව් මට එ් ගැන කියන්න පුළුවන්. මොකද බිනරටත් ගන්න දෙයක් තියේවි. හිස් කතාවක් වෙන්නෙ නෑ…”

‘‘එහෙමයි…”

‘‘මම එ් කාලෙ පුරුදු වෙලා හිටියෙ අවුරුදු විස්සක් ඉදිරියට හිතන්න. අද මම ඉගෙන ගත්තෙ නැත්තන් අවුරුදු විස්සකින් මම කවුද කියල හිතද්දි ඇතිවුණ හැඟීම නිසා මට ඉහළට ම ඉගෙන ගන්න වාසනාව ලැබුණා. මට අවුරුදු විස්ස පහුවෙද්දි එක්තරා තරුණියකට හිත ඇදිලා ගියා. එදා ඉඳලා මම සැලසුම් කළේ එයත් එක්ක අවුරුදු විස්සකින් හොඳ ජීවිතයක් ගෙවමින් ඉන්න නම්, අද හොඳ රැුකියාවක් තියෙන්න  ඕන කියලා. ඉතින් මේ අතරේ අවුරුදු 40ක් වගේ වයසක හිටපු අපේ පවුලේ වැඩිහිටි ඥාතිවරියක් පිළිකාවකින් මරණයට පත් වුණා. ඇත්තෙන් ම ඇය තරුණයි. දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. ස්වාමියා වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයා බිරියක් නැති නිවසක ජීවත් වෙන හැටි මම දැක්කා. මගේ අවුරුදු විස්සෙන් විස්සෙ සැලැස්ම දෙදරා ගියේ මෙන්න මේ සිදුවීම නිස යි.

මේ සිදුවීමෙන් පස්සේ මට නො සිතපු දෙයක් හිතෙන්න පටන් ගත්තා. එ් තමයි, මට කොයි තරම් හොඳ, ලස්සන, කරුණාවන්ත, ප‍්‍රියමනාප, නීරෝගී, පේ‍්‍රමනීය බිරිඳක් ලැබුණත්… එ් බිරිඳ දවසක වයසට යනවා, මරණයට පත් වෙනවා. මම කොහෙත් ම කැමති වුණේ නෑ මගේ බිරිඳ මැරෙනවා දකින්න. ඉතින් මට දැඩි ලෙස උවමනාවක් ආවා කවදාවත් වයසට යන්නෙ නැති, කවදාවත් මැරෙන්නෙ නැති කාන්තාවක් සමඟ විවාහ වෙන්න. එ් වගේ ම මමත් වයසට නො යා සදාකල් ජීවත් වෙන්නත්  ඕන.

ඉරත් හඳත් ඉර්ධි උපදවාගෙන ස්පර්ශ කරන්න පුළුවන්. නමුත්, ඉපදුණ කෙනෙක් ජරාවටත්, මරණයටත් පත් නො වී සිටින්නේ නැති බව මට තේරුම් ගියා. මම එ් අනුව බුද්ධ දේශනා සොයා යන්න පටන් ගත්තා. අන්න එ් අතරේ තමයි මේ සියල්ල පැහැදිලිව දේශනා කරන මගේ ගුරුදේවයන් වහන්සේ ව මුණගැසුනේ. මට වැටහුණ සුළු කරුණ තව තවත් පැහැදිලි කරලා දෙන්න තරම් ශක්තියක් උන්වහන්සේගේ දේශනා තුළ තිබුණා. ඉතින් එ් විදියට අවසානයේ මගේ ජීවිතය උතුම් නෞකාවක් මත පිහිටුවන්නට හැකි වුණා. මම හොඳින් ම දන්නවා මේ තමයි අවසන් නෞකාව. තවත් කාලෙකින් මේ වගේ අවස්ථාවක් එන්නෙ නෑ. ඉස්සර රත්තරන් විතරයි දකින්න තිබ්බේ. නමුත් රත්තරන්වල වෙළඳාම දැකල දැන් ලාබ රත්තරන් වෙළඳ පළට දාලා. එ් නිසා බොහෝ දෙනෙක්ට නිවැරදි රත්තරන් මඟ හැරෙමින් යනවා. එ්ත් කරන්න දෙයක් නෑ. බුද්ධිමත් කෙනා සැබෑ මාවත ඉවෙන් මෙන් හඳුනා ගන්නවා. බුද්ධිය මඳ කෙනා වෙළඳ උපක‍්‍රම ඔස්සේ ගිහින් රැුවටෙනවා. මම නම් අවංකව ම සතුටුයි මගේ ගුරුදේවයන්ගේ ඇසුරේ ඉන්න ලැබීම ගැන…

බිනරත් හැම පැත්තෙන් ම පරිස්සම් වෙන්න. හැම දේක දී ම සංසාරෙ ඉස්සර වුණේ කට. බලන්න තිරිසන් සත්තු. උන් කැලේ ඉන්න බව අපි අඳුරා ගන්නෙ උන්ගෙ කට නිසානෙ. ඉතින් එ් වගේ අපිත් හැසිරුනොත් අපේ කට හඬ පසුපස දඩයක්කාරයෝ ලූහු බඳිනවා. එ් නිසා අඩුපාඩු ප‍්‍රකට ව කතා කරල නිවැරදි කර ගන්න. තමන්ගේ හැකියාවන් මාන්නයෙන් මඳයෙන් ඉස්මතු කරන්න එපා. එහෙම වුණා ම එ්ක දඩයක්කරුවෙකුගෙ ගොදුරක්. ඔවුන් ඉවෙන් මෙන් කුසල් වඩන අය හඹා ඇවිත් අකුසලේට ඇද දානවා. අන්න එ් සියලූ දඩයක්කරුවන් ව බුදුරජාණන් වහන්සේ අවසන් යුද්ධයේ දී පරාජය කළා. මේ ගැන දැනගන්න කැමති නම්, මජ්ක්‍ධිම නිකාය පළමු පොත් වහන්සේගේ නිවාප සූත‍්‍රය කියවන්න. එ් නිසා බිනර මග තොටේ දීත්, හැම තැනක දී මත්, ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤ්ඤය වඩන්න  ඕන. නැත්තන් වරදින තැන බිනරටවත් හොයාගන්න බැරි වේවි.”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස… දහ අට දහසක් දේශනා ස්පර්ශ වූ, සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් පූජනීය වූ සුදු බුදුරැුස් විහිදෙන මේ උතුම් දළදා වහන්සේගේ උණුසුම දැනෙන මේ බිමේ දී ම මගේ හිත සිසිල් වී ගියා ස්වාමීනි. පින්වත් ඔබවහන්සේට මම වන්දනා කරනවා. මගේ පින් අනුමෝදන් වෙන ඉෂ්ට දේවතාවුන් වහන්සේලා මාව කල්‍යාණමිත‍්‍රයන් සේ ගලවා ගත්තා. මේ උතුම් බුදු සසුන සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ කල්‍යාණමිත‍්‍රයන් මත යි…. සාදු සාදු සාදු. ”

ඉතාමත් ම ගෞරවයෙන් මම උන්වහන්සේ ව වන්දනා කරගත්තෙමි. කටමැත දොඩා දඩයක්කරුවාගේ ග‍්‍රහණයට හසුවෙන්න ඔන්න මෙන්න තිබිය දී, කලණ මිතුරු ඇසුරෙන් මම සුරැකුණෙමි.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ

සඳ දෙස බලන්න.

ඇඟිල්ල දෙස නො බලන්න.

ඇඟිල්ල ගැන නො සොයන්න.

මේ ශ‍්‍රී සද්ධර්මය

ජීවමාන යි…!

එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  ඉල් කලාපය

WWW.MAHAMEGHA.LK

මතක සටහන

ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.

SMS Only – 077 063 08 68

මෝඩයාගේ නින්ද
කන්ද උඩ කුටියේ වැඩ විසූ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේගේ ජීවිතය වෙත මා යම් තාක් පැහැදුණා නම්, ඊටත් වඩා උන්වහන්සේ ලද පුහුණුවටත්, එ් සඳහා ගුරුහරුකම් දුන් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට සහ ගුරුදේවයන් වහන්සේටත් මසිත පැහැදී ගියේ ය. ඇත්තෙන් ම සෑම ප‍්‍රවීණයෙකු ම පාහේ කලෙක ආධුනිකයෙකි. එසේ ම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යමෙක් ධර්මයට ආධුනික නම්, ඔහු සතු ව ධර්මය කියා දෙන තැනැත්තා කෙරෙහි ගෞරවයක් පවතී. කීකරුකමක් පවතී. ඔහු වෙත ලැජ්ජා බයකින් යුතු ව වැරදි නිවැරදි කර ගනී. දරදිය ඇද හෝ උගත යුතු දැ උගනී. නමුත්, යම් කලෙක ඔහු ධර්ම දැනුමෙහි ප‍්‍රවීණයෙකු වූ විට, පෙර පැවති ගෞරවය, කීකරුකම, ලැජ්ජා බය, කැපවීම නැති වී යයි නම්, තම ආචාර්යවරයාව ප‍්‍රකට ව හෝ අප‍්‍රකට ව විවේචනය කරයි නම්, ඔහු ජීවත් ව සිටිය දී ම ඔහුගේ ස්ථානය වෙනුවෙන් තරඟ කරයි නම්, ගුත්තිල ගුරුට අභියෝග කළ මූසිල ගෝල සේ වේ නම්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එ් සිසුවා වනාහි ගිහි වුවත්, පැවිදි වුවත් සත්පුරුෂයෙක් නම් නො වේ. අසත්පුරුෂයෙකි. එබැවින්, කන්ද උඩ කුටියේ වැඩ විසූ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේගේ සෑම වදනකින් ම දුටු එ් අසහාය ගුරුස්මරණය කලාතුරකින් දැක ගත හැකි උතුම් ලක්ෂණයක් වන්නේ ය.

සමාජයේ බොහෝ දක්ෂ, ප‍්‍රසිද්ධ, වියත්, විශාරදයෝ් තම හැකියාවන් ජනතාව විසින් වර්ණනා කරනු ලබන විට ඊට හේතු වශයෙන් ගුරුවරුන් හට ප‍්‍රශංසා කරනු දැකිය හැක්කේ කලාතුරකිනි. එය ශාසනය තුළ ද එසේ ම පැවතිය හැකියි. මේ නිසා ඇතැම් අවස්ථාවල සුප‍්‍රසිද්ධ තෙරුන් වහන්සේලාගේ නාමයට විශේෂණ නාමයක් සේ තමන් වහන්සේගේ ගුරුවරයන් වහන්සේලාගේ නාමයන් ඈඳා ගන්නා බව මා අසා තිබේ. එමෙන් ම, විනය පිටකයේ ද ආචාර්ය වත්, උපාධ්‍යාය වත් වශයෙන් වත්පිළිවෙත් පවා තිබෙන බව මා අසා ඇත. එපමණක් නොව, බුදුරජුන් ද ගුරුවරයෙක් නැති ව ජීවත් වීම දුකක් යයි සලකා ගුරුවරයෙක් සෙවූ බව ධර්මයේ වේ. උන්වහන්සේට ගැළපෙන ගුරුවරයෙකු නොමැති නිසා, ධර්මය ම ගුරු කර ගත් බව එහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේට ගැළපෙන පුද්ගල ගුරුවරයෙකු නොමැති වුවත්, අපට වඩා ගුණධර්ම ඇති බොහෝ උතුමන් අප වටා වාසය කරති. ඉදින් ඔවුන්ගෙන් අවශ්‍ය ආදර්ශ ලබා ගනිමින් සිත් ප‍්‍රිය කරන ආචාර්යයන් වහන්සේනමක් තෝරා ගැනීම නිවන් ම`ග හැසිරෙන ශ‍්‍රාවකයාට හිත සුව පිණිස ම පවතී.

ආචාර්යයන් වහන්සේනමක් මේ තරම් වැදගත් ඇයිදැයි යන්න පිළිබඳ ව මා ද ඉගෙන ගත්තේ බුදු සසුන ඇසුරු කිරීමට පටන් ගත් දා සිට යි. එ් තාක් කල්, පාසැල් සමයේ ද උසස් අධ්‍යාපන සමයේ ද විටින් විට මුණ ගැසුණු ආචාර්යවරුන් දෙස විසුළු ස්වරූපයන්ගෙන් බැලීමට පෙළඹී තිබූ මා ඇතැම් විට මිතුරන් සමඟ ඔවුන් ඇමතුවේ ද පටබැඳි නාමයන්ගෙනි. එකල, විදුහල්පතිතුමා ‘පිනා’ විය. පන්ති භාර ගුරුතුමා ‘අපේ එකා’ විය. කිසිසේත් ම ගුරු ගෞරවයක වටිනාකම පිළිබඳ ව නො දැන සිටි අප ගුරුවරයෙකු විසින් සිසුවෙකු නිර්මාණය කරන අන්දම පිළිබඳ ව ද කුඩා කල සිට ම දැනුම්වත් නො වීමු. ඉදින් මෙවන් පරිසරයක සිට බුදු සසුනට ඇතුළු වන ඇතැමුන්ට ද ගුරු ගෞරවය නැති වීම පිළිබඳ පුදුම විය යුතු නැත. වාසනාවට මෙන් අතළොස්සකට ප‍්‍රමාද වී හෝ ගුරුන්ගේ වටිනාකම වැටහී ගියහොත් ඔවුන්ගේ ජීවිත ගුණධර්ම සාගරයකින් පෝෂණය වනු ඇත.

නිවාඩු දින කිහිපයක් සහිත සති අන්තයක් පැමිණි බැවින්, භාවනා අසපුව වෙත යාමට අවස්ථාවක් උදා කර ගත හැකි විය. අනන්ත ද කාලයත් සමඟ බොහෝ දහම් දැනුමෙන් පෝෂණය වෙමින් සිටින බව ඔහු සමඟ කතා බස් කරන සෑම විටක ම මා හට තේරුම් ගියේ ය. කාලයත් සමඟ අසපුව වටා එක්රැුස් වන පිරිසගේ වැඩිවීමක් පෙනෙන්නට තිබුණු නිසා යම් යම් ඉදිකිරීම් ද සිදු වෙමින් පවතින බව පෙනෙන්නට විය. එදින අනන්ත මුණගැසුනේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා අත්උදව් දෙමින් සිටිය දී ය.

‘‘නමෝ බුද්ධාය…! තෙරුවන් සරණයි බිනර…!! දැන් ද ආවෙ..?” මා දුටු සැණින් ඔහු හුරුපුරුදු ප‍්‍රියශීලී සිනහව ද ප‍්‍රියමනාප හඬ ද අවදි කළේ ය.

‘‘නමෝ බුද්ධාය…! තෙරුවන් සරණයි අනන්ත…!! දැන් පැයක් වගේ ඇති. මම පිරිත් ටිකක් කියල විහාරය වන්දනා කළා. පොඞ්ඩක් භාවනා කළා. ඊට පස්සෙ තමයි අනන්ත ව හෙව්වෙ. කාර්යාලෙ මල්ලි කෙනෙක් කිව්වා අනන්ත මේ පැත්තෙ ඇති කියල…”

‘‘මේ දවස්වල අපි ශ‍්‍රම පූජාවක් කරනවා. මේ ගොඩනැගිල්ල වෙනුවෙන්. සංඝයාගේ පහසුව වෙනුවෙන් කුටි පෙළක් ඉදි කරනවා. කම්සැප භුක්ති විඳින්න කර්මානුරූපව සැකසුණු මේ ඇෙඟන් ශ‍්‍රමය කැප කරල සංඝයාට පූජාවක් පවත්වන්න පුළුවන් නම් කොයි තරම් දෙයක් ද! ඇතැම් අය කටු අමුණගෙන, ගිනි පාගගෙන දෙවියන්ට උපහාර පවත්වද්දි අපිට දහඩිය ටිකක් වගුරවන්න බැරි නම් වැඩක් නෑනෙ බුදු සසුන වෙනුවෙන්. නේ ද…?”

‘‘සාදු සාදු අනන්ත. ඔය කිව්ව ටික ම ඇති. මටත් දැන් හිතුණා අනන්ත එක්ක එකතු වෙන්න. දෙන්න මගෙ කරටත් ගඩොල් මල්ලක්…!” ඉතාමත් ම සතුටින්, අහඹු ලෙස ලද පුණ්‍ය උල්පත පාදාගත් මම හිතේ හැටියට සඟ ගුණ කියමින් ගඩොල් සිය ගණනක් ඉහළ මාලයට ඔසවාගෙන ගියෙමි. දහවල් දානය වනතුරු ම සේනාසන වත පැවතුණි. දහවල් දානයෙන් පසු සියලූ කටයුතුවලින් ඉවත් වූ අපි සන්ධ්‍යාවේ දහම් කටයුතු සඳහා වූ විවේකය භුක්ති වින්දෙමු.

‘‘ගෙදරින් ඈත් වෙලා බිනර මේ පැත්තෙ ඇවිල්ල යන්න එන්නේ… හිතට නිදහසක් අපේක්ෂාවෙන්නේ. එ් නිසා අපි යමු ටිකක් භාවනා කරන්න. මම හිතන්නෙ බිනරට අමතක වෙන්නෙ නැති දෙයක් එතනදි ලැබේවි…”

‘‘හොඳයි අනන්ත. යමු…!” ගිහි බන්ධන හැරදමා පැවිදි බිමට පැමිණි අයෙකු, වදයක් යැයි නො සිතා ගිහි කල මිතුරෙකුට ධර්මයෙන් අනුග‍්‍රහ කිරීම කොයි තරම් නම් ලාභයක් ද! ඔහු පසුපස පිය මනින අතරේ මම තනිව ම කල්පනා කළෙමි.

අනන්ත මේ භූමියට පැමිණි මුල් කාලයේ සිට ම විටින් විට පැමිණ ඔහුගේ ඇසුර ලබා ඇති මම එක දෙයක් හොඳින් ම හඳුනාගෙන ඇත්තෙමි. එනම්, අනන්ත කිසිදු දිනෙක ඔහුගේත්, මගේත් ගිහි කල මිතුරන් ගැන හෝ, එකල අප කළ කී දැ පිළිබඳ ව සිහිපත් කොට නැත. වත්මනේ දී එ් එ් මිතුරන්ට කුමක් වී දැයි කියාවත් විමසා නැත. විටින් විට මා විසින් ඔහුට එබඳු දේ ගැන පවසා ඇතත් එ් කිසිදු අවස්ථාවක ඔහු එ් වෙත අවධානය යොමු කළ බවක් පෙනෙන්නට නො තිබිණ. ඔහු සෑම විට ම උත්සාහ කළේ, මගේ පැමිණීම අර්ථවත් කරවීමට මිස මා හරහා ගිහි බන්ධනවල තොරතුරු දැනගැනීමට නො වේ. අනන්තගේ මෙම ප‍්‍රවේශම් සහගත ගිහි ආශ‍්‍රය මා ඔහුගෙන් ලද ආදර්ශයක් ලෙස පුරුදු කර ගැනීමට අදිටන් කර ගත්තේ එයින් ඔහුත් සුරැකී මා හට ද යහපතක් වන බව තේරුම් ගත් බැවින් එය මා වෙතින් තවත් අයෙකුට ලබා දිය යුතු යැයි සිතුණු නිසා ය. එබැවින් ඔහුගෙන් සහ සඟ රුවන ඇසුරෙන් ලත් අත්දැකීම් නොමසුරු ව තවත් අයෙකුගේ යහපත පිණිස මා විසින් ද ලබා දිය යුතු යැයි මම තදින් ම විශ්වාස කළෙමි.

භාවනා කිරීම සඳහා අනන්ත මා කැටුව ගියේ ශාලාවක් වෙත ය. එහි ඉතා පිරිසිදු ලෙස වැඩ නිමවා තිබුණු අතර සිසිල් පැන් සහිත ගුරුලේත්තු කිහිපයක් තැනින් තැන විය. භාවනා ආසන කිහිපයක් මත වැඩ සිටිමින් බවුන් වඩනා හිමිවරු නෙතට ප‍්‍රිය දසුනක් විය. එ් අතරේ වූ ඉඩ කඩ භාවිතා කරමින් සක්මන් භාවනාවේ යෙදෙන තවත් යතිවරුන් පිරිසකි. ශාලාවේ පසෙකට වන්නට තිබූ භාවනා කිරීම සඳහා භාවිත කරන ඇතිරිල්ලක් ගත් අනන්ත එය මගේ අතට දී ශාලාවේ කොණක වූ ඉඩ කඩක් අතින් පෙන්වා නිහඬව ම සංඥා කළේ ‘දැන් ඔබේ භාවනාව සඳහා කාලය පැමිණ ඇත’ යන්න බව මම තේරුම් ගත්තෙමි. කිසිවකුට බාධා නොවන සේ එහි ඇතිරිල්ල එළා ගත් මම බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රතිමාවටත්, භාවනානුයෝගීව වෙසෙන භික්ෂූන් වහන්සේලාටත් වැඳ නමස්කාර කොට පළඟක් බැඳගෙන තැන්පත් වුණෙමි.

මා හට සිහි වූ එක ම භාවනා අරමුණ, නිරන්තරයෙන් මා පුරුදු කළ ආනාපානසති භාවනාව යි. පින්වත් ගුරුදේවයන් වහන්සේගේ පොත පත ඇසුරෙන් සූත‍්‍ර ධර්මයන් තුළ විස්තර කර ඇති ආකාරයට මම ආනාපානසති භාවනාව පුහුණු වීමට මෙම කාලය යොදා ගත්තෙමි. නාසිකාග‍්‍රයෙන් ඉහළ පහළ යන හුස්ම රැුල්ල දෙස සිහියෙන් බලා සිටියෙමි. වීරිය උපදවමින්, හැකි අයුරින් සිහියෙන් බලා සිටියෙමි. සුළු වේලාවක් හුස්ම රැුල්ල දෙස සිහිය යොමා සිටීමට හැකි විය. තවත් සුළු මොහොතකින් මගේ හිස ගැස්සී ගියේ ය. එ් සමඟ ම මම සුළු නින්දකට වැටී ඇති බව තේරුම් ගතිමි. නින්දකට වැටී ඇති බව තේරුම් යන විට භාවනාව සඳහා වෙන් වූ කාලයෙන් විනාඩි කිහිපයක් ම ආශ්වාස ප‍්‍රශ්වාසයෙන් ඈත් වී තිබූ බව මා හට වැටහුණි. සැබැවින් ම එ් විනාඩි කිහිපය මටත් හොරා මේ ථීනමිද්ධය විසින් සොරාගෙන තිබුණි. සියල්ල තේරුම් ගෙන නැවත වතාවක් ආනාපානසතියට සිහිය යොමු කළෙමි. තවත් සුළු වෙලාවක් එසේ සිටීමට මා හට හැකි විය. නමුත් නො දැනී ම විවිධ විවිධ රූප පෙනෙන්නට පටන් ගත්තේ ය. ඇතැම් විට එ්වා මාගේ නිවසේ දර්ශන ය. ඇතැම් විට මා ළඟ දී නැරඹූ චිත‍්‍රපටයකි. ඇතැම් විට මා කිසි දින දැක නැති මනසේ මැවුණු සිදුවීම් පෙළකි. මෙම දර්ශන දෙස සිත යොමු වත් ම නැවත හිස ගැස්සී ගියේ ය. යළිත් නින්දකට වැටුණු බව මම තේරුම් ගත්තෙමි. සිත එක ම ස්ථානයේ රැුඳී පැවතියේ විනාඩියක් දෙකක් වන් සුළු කාලයක් පමණක් බව වැටහී යාමෙන් මම මඳක් පසුබැස්සෙමි. භාවනාව නවතා දැමූ මා දෙනෙත් විවර කොට වටපිට බැලීමි. භික්ෂූන් වහන්සේලා සුවසේ භාවනා කරමින් සිටිති. අනන්ත ද ප‍්‍රතිමාවක් සේ නො සැළී භාවනා කරනු පෙණින. නැවත හිස ඉදිරිපසට හරවා ගත් මා හට දකින්නට ලැබුණේ උකුලේ වූ කඩදාසි කැබැල්ලකි. එහි යමක් ලියා ඇති බව මා හට තේරුම් ගියේ ය. එබැවින් එය අතට ගෙන කියවා බැලූවෙමි.

‘‘මෝඩයා නින්දට ගිය විට අවදි වන්නේ ද මෝඩයෙකු ලෙසිනි…”

මාගේ ඉහ මොළ රත් වී ගියේ ය. හදවතේ වේගය වැඩි වී ගියේ ය. බියමුසු ලැජ්ජාවක් සිතට දැනෙන්නට විය. වහා ම වටපිට බැලූවෙමි. සැබැවින් ම නො දැනී ම හිස වටපිට බැලූවා මිස එය ද සිහියෙන් සිදු නො වූවක් බව මා හට තේරුම් ගියේ ය. සියලූ ස්වාමීන් වහන්සේලා පළඟ මත හිඳගෙන භාවනා කරමින් සිටිති. මීට විනාඩි කිහිපයකට පෙර සක්මන් කළ ස්වාමීන් වහන්සේලා ද දැන් හිඳගෙන සිටින ඉරියව්වෙන් භාවනාවට සමවැදී සිටිති. මේ අකුරු අනන්තගේ ද නොවන බව මම හොඳාකාරව ම දනිමි. එ්කාන්තයෙන් ම මෙය මින් මොහොතකට පෙර සක්මනේ යෙදී සිටි භික්ෂූන් වහන්සේනමක් විසින් තැබූ සටහනක් බවත්, මාගේ හිස නිදිබර ව කඩා වැටුණු නිසා සිහිය ඉපදවීමට සිදු කළ දෙයක් බවත් තේරුම් ගතිමි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘අවදි වීම’ යන්න එ් මොහොතේ සිදු විය. බත් මතය නිසා අලස වී ගොස් තිබූ මගේ කයත්, සිතත් එ් වාක්‍ය දැකීමෙන් සත්‍ය වශයෙන් ම අවදි විය. සිහිය ආශ්වාස ප‍්‍රශ්වාසයේ ම රඳවා ගන්නෙමියි දැඩි ව අදිටන් කර ගනිමින් නැවත දැස් පියා ගත්තෙමි. මොහොතක් මොහොතක් පාසා ආශ්වාසය ප‍්‍රශ්වාසය වෙත සිහිය පවත්වා ගත්තෙමි. මා වෙත ථීනමිද්ධය පැවති බව හොඳින් තේරුම් ගත් නිසා දැන් සිත සිහිය වෙත ලබා දෙන ජවය පෙරට වඩා වැඩි බව මට හැඟී ගියේ ය. ආශ්වාසයෙන් ප‍්‍රශ්වාසය – ප‍්‍රශ්වාසයෙන් ආශ්වාසය බැඳි බැඳී යද්දී අඛණ්ඩ ව එ් වෙත සිහිය පවත්වා ගැනීමට මා හට හැකි විය. ඇත්තෙන් ම මා ද නො දන්නා තරම් කාලයක් එ් වෙත සිහිය පවත්වාගත හැකි වූ බව මා හට හැඟී ගියේ ය. ගතවන කාලය පිළිබඳ ව කිසිදු හැඟීමක් නොමැති ව හුදෙක් ම ආශ්වාසය සහ ප‍්‍රශ්වාසය තුළ ම පමණක් සිහිය පවතින්නට විය.

බාහිර පරිසරයෙන් ඇසෙන ශබ්ද ශ‍්‍රවණය වන බව දැනුණත් එ් වෙතට අවධානය යොමු නො කර සිටීමේ හැකියාවක් තිබුණි. කය මහ පොළොවට තෙරපීම අඩු වී යන බව මා හට දැනෙන්නට විය. එය දිගින් දිගට ම සිදු වූ නිසා යම් මොහොතක දී කය සහ පොළොව අතර ඇති සම්බන්ධය නො දැනී යන්නට විය. උරහිස් ඔස්සේ අත් දෙක දෙපසින් එල්ලෙන බර ද අඩු වී ගොස් පපු පෙදෙසට, හිස පෙදෙසට ඉමහත් සැහැල්ලූවක්, සිසිලසක් දැනෙන්නට විය. තව දුරටත් සිහිය පැවතියේ ආශ්වාසය සහ ප‍්‍රශ්වාසය තුළ යි. කය තුළ පැවති සිහිය ආශ්වාසය සහ ප‍්‍රශ්වාසය තුළ රඳවාගෙන සිටීමට බාධා කරමින් සැණෙකින් කය පා වී යන්නේ යයි දැනෙන්නට විය. මේ අයුරින් පා වී ගියහොත් සිවිලිමේ වුව ද හිස වැදීමට ඉඩ ඇති බවත්, ශාලාවෙන් පිටතට පා වී ගියහොත් කොයි මොහොතේ හෝ උස ගසක වැදී අඩි විස්සක් තිහක් බිම ඇද වැටිය හැකි බවත් මා හට සිහිපත් විය. එ් සමඟ ම සිතට මහත් බියක් ජනිත විය. මා ද නො දැනී හදිසියේ ම ආනාපාන සතියෙන් සිහිය ඉවත් විය. නැවත සියලූ ශබ්ද සාමාන්‍ය ආකාරයෙන් ඇසෙන්නට විය. දැස් විවර කොට බැලූවෙමි. මම සිටි තැන ම එ් අයුරින් ම හිඳගෙන සිටියෙමි. අඟලක්වත් ඉහළ ගොස් නැති බව මා හට තේරුම් ගියේ ය. එය හුදෙක් ම මනසට දැණුනු දෙයක් බවත්, කායික ව ඉහළ යාමක් නොවන බවත් මා තේරුම් ගත්තේ සියල්ල හදිසියේ ම නැතිකර ගැනීමෙන් පසුව යි.

පෙර මෙන් පරාජිත හැඟීමක් නැතත්, යම් දෙයක් වෙත මා ඇදී යමින් සිටි බව සක්සුදක් සේ පැහැදිලි ය. දැස් පිස දමමින් නැවත වරක් වට පිට බැලූවෙමි. භාවනා ශාලාවේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් පිට වී ගොස් සිටියහ. සැබැවින් ම අනන්ත ද එහි නො වී ය. වේලාව බැලූ විට පෙනී ගියේ මා දෙවෙනි වර පැය එකහමාරකට අධික කාලයක් එක ම ඉරියව්වේ සිට භාවනානුයෝගී ව සිටි බව යි. මඳ සතුටක් හිතට දැණුනි. භාවනාව වෙත නැවත නැවතත් යොමු වන්නට තරම් උද්යෝගයකින් සිත පිරී ගොස් තිබුණි. ඉදිරිපස බැලූ මා හට දක්නට ලැබුණේ… පෙර සේ ම තවත් අලූත් කඩදාසි කැබැල්ලක් මා ඉදිරියේ ඇති බව යි. එ් අසල ම පරණ කඩදාසි කැබැල්ල ද විය. වහා ම එය අතට ගත් මම කියවා බැලූවෙමි.

‘‘සීමා මාලකය අසල – නා ගස යටට එන්න…” මම වහා නැගිට ගත්තෙමි. මා භාවිත කළ භාවනා ඇතිරිල්ල මනා කොට තැන්පත් කොට නිහඬ ව ම ශාලාවෙන් එළියට පැමිණියෙමි. අතර මඟ දී මුණ ගැසුණු ස්වාමීන් වහන්සේනමකගෙන් අදාළ ස්ථානය පිළිබඳ ව තොරතුරු දැනගත් මම එ් වෙත වූ පෙත්මඟ ඔස්සේ ඇවිද ගියෙමි.

දුර තියා ම කිසිදු අපහසුවකින් තොර ව එම ස්ථානය හඳුනාගැනීමට මා හට හැකි විය. නා ගස යට වූ ස්වභාවික ගලක් මත වැඩ සිටියේ ප‍්‍රිය මනාප පෙනුමැති ස්වාමීන් වහන්සේනමකි. එ් අසල බිම හිඳගෙන සිටියේ අනන්ත ය. මා පැමිණීමට නියමිත ව තිබූ දිශාවට හැරී හිඳගෙන සිටි බැවින් ඔහු දුර දී ම මාගේ පැමිණීම දුටුවේ ය. ඔවුන් වෙතට ළඟා වීමට යම් දුරක් තිබිය දී ම අනන්ත ඔහු සතුව තිබූ තවත් ඇතිරිල්ලක් ස්වාමීන් වහන්සේ අසලින් එළා, එහි හිඳගන්නා ලෙසට මා හට සංඥා කළේ ය. ඉතා ම යටහත් පහත් ව පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළ මම එ් ඇතිරිල්ල මත පහසුවෙන් හිඳ ගත්තෙමි.

‘‘අපි බිනර එනකම් තමයි මෙතනට වෙලා හිටියේ. මේ පින්වත් ස්වාමීන් වහන්සේ බිනර ව භාවනා ශාලාවෙ දී දැකල තියෙනවා. මම භාවනාවෙන් නැගිටලා යන්න හදන කොට තමයි උන්වහන්සේ මට කතා කළේ. බිනර මෙතනට ඉක්මනින් ම එයි කියල කිව්වෙත් පින්වත් ස්වාමීන් වහන්සේ තමයි…”

සිදු වූ සියල්ල හොඳින් ම පැහැදිලි වූයේ දැන් ය. මාගේ නිදිමත දැක සිහිය ඉපදවීමට නිහඬ ගුරුහරුකමක් දුන්නේ ද නිහඬව ම මා මෙහි කැඳවූයේ ද උන්වහන්සේ බව මම තේරුම් ගත්තෙමි.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්සේ මට ලොකු උපකාරයක් කළා. මගෙ පපුවට එ් වචන ටික කොයිතරම් තදට දැනුණ ද කියන්නේ…. ඊ ළඟ මොහොතේ….”

‘‘ඇති… ඇති…!” උන්වහන්සේ මගේ කතාවට බාධා කළේ ය.

‘‘සිදු වූ සියල්ල කිසි කෙනෙකුට පෙණුනෙ නැත්නම්, කිසි කෙනෙකුට කියන්න ඕනත් නෑ. ගහක මුදුන් මුලත්, අනෙක් මුල් සියල්ලත් පොළොවෙන් උඩට මතු වුණොත් එ් ගහ හැදෙන්නෙ නෑ. අපිට අතුපතර සහ මල් ගෙඩි විතරක් පෙණුන නම් ඇති… මුල් ටික මහ පොළොවෙ ම තියෙන්න ඉඩ දෙන්න. තේරුණා ද?”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…” මම පිළිවදන් දුනිමි. නමුත් තවදුරටත් මා වික්ෂිප්ත ව සිටිය බැවින් මා තුළ වූ ගැටලූව කෙසේ හෝ උන්වහන්සේට පැවසිය යුතු ව තිබුණි. එබැවින් තවදුරටත් මගේ අදහස් පැවසිය යුතු ය.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, එ්ත් මට තව ප‍්‍රශ්නයක් තියෙනවා. එ් ගහේ මුල් ලස්සනට වැවීගෙන යද්දි, හදිසියේ ම අවහිරයක් වෙලා මුල් වැවෙන එක නැවතුණා. එ් වගේ වෙලාවට කරන්න දෙයක් මම දැනගන්න කැමතියි…” මාගේ භාවනාව හදිසියේ ඇතිවූ බියක් හේතුවෙන් බිඳී ගිය බැවින් මම එසේ විමසුවෙමි. ඍජුව ම අත්දැකීම ප‍්‍රකාශ කිරීම උන්වහන්සේ ප‍්‍රතික්ෂේප කළ නිසා උන්වහන්සේ පැවසූ උපමාවෙන් ම අමාරුවෙන් වචන ගළපා ප‍්‍රශ්නය ද සකසා ගත්තෙමි.

‘‘ඔව්… එහෙම වෙන්නත් පුළුවන් තමා….” උන්වහන්සේට සිනහ පහළ විය.

‘‘එහෙම වුණා කියල එ් මුල ගලවල පෙන්වන්න ඕන නෑනෙ. එ් මුල් එතන ම තියෙද්දි අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. නැත්තං අලගිය මුලගිය තැන් සැරින් සැරේට එළියට අදින්න ගියාම ගහේ වර්ධනය බාල වෙනවා. එහෙම වෙනවා නේ ද?”

‘‘ගහක් සම්බන්ධයෙන් නම්, එහෙම තමා පින්වත් ස්වාමීන් වහන්ස…” මම එසේ පිළිතුරු දුන්නේ ගසක් සම්බන්ධයෙන් එසේ වුවත්, භාවනාවක් සම්බන්ධයෙන් එසේ විය හැකිදැයි මගෙන් ම ප‍්‍රශ්න කරමිනි. භාවනාවක් සම්බන්ධයෙන් අදාළ ගැටලූව ඍජුව ම විමසීමේ වාසියක් පවතින බව මම දැඩි ලෙස විශ්වාස කළෙමි. නමුත් මගේ සැකය හෙළිදරව් කිරීමට තරම් ශක්තියක් මා තුළ නො වී ය. නමුත් මාගේ ප‍්‍රකාශයෙන් පෙරටත් වඩා දැඩි සිනහ රැුල්ලකින් උන්වහන්සේගේ මුවඟ පිරී ගියේ ය. එය කොයිතරම් ප‍්‍රියමනාප වී ද යත් මා හට ද සිනහ නො වී සිටීමට නො හැකි විය.

ඇත්තෙන් ම උන්වහන්සේව කිහිප වරක් ම දැක තිබුණත් කිසි දා සම්මුඛ වී කතා බස් කොට නැත. ඉතා ම ප‍්‍රියමනාප පෙනුමකින් යුතු උන්වහන්සේ, බලවත් ව මෛත‍්‍රිය වඩා ඇති බව මා හට වැටහී ගියේ උන්වහන්සේ සමඟ දොඩමලූ වීම තුළ පුදුමාකාර සැහැල්ලූවක් සුළු මොහොතකින් ම මා හට දැණුන බැවිනි.

‘‘එ් ගැන වැඩිදුර හිතන්න එපා. අපි ගහට පොහොර ටිකක් දානව කියල හිතාගෙන සිතටත් ආහාර ටිකක් දෙමු. ඔය කිසි ම ප‍්‍රශ්නයක් නැවත ඉස්මතු නො වෙන්න ම. තේරුණා ද?”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘හොඳයි. පුතා ම කියන්න බලන්න මේ ධර්මය දම්සක් පැවතුම් සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය මොකක් ද?”

‘‘චතුරාර්ය සත්‍ය ධර්මය.” මම සැණෙකින් පිළිතුරු දුන්නෙමි.

‘‘බොහොම හොඳයි. අන්න එ් චතුරාර්ය සත්‍ය ධර්මයේ කොටස් දෙකක් බොහෝ කාලයක සිට අපි තුළ ක‍්‍රියාත්මකයි. නමුත් අපි අවබෝධ කරල නැහැ. එ් තමයි, දුක්ඛ ධර්මතාවය සහ දුක්ඛ සමුදය ධර්මතාවය. නමුත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවත් සැලකිය යුතු අයුරින් සසර පුරාවට සිදු වුණා කියල හිතන්න අමාරුයි. යන්තම් පොඩි පිනක් කරගෙන මේ මිනිස් ජීවිතේට පැන ගත්ත බවක් තමයි පේන්න තියෙන්නේ.”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට එ් කරුණ වැටහුණා.”

‘‘එහෙනම්, භාවනාව කියන්නෙ මොකක් ද පුතා…?”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස. භාවනාව කියන්නේ, දුක්ඛ නිරෝධ ධර්මතාවය සහ දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ධර්මතාවය පුරුදු කිරීමක්…” මම පිළිතුරු දුන්නෙමි.

‘‘පිළිතුර සම්පූර්ණ නැහැ. භාවනාව කියන්නේ… දුක්ඛ ධර්මතාවය අවබෝධ කරමින්, දුක්ඛ සමුදය ප‍්‍රහාණය කරමින්, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරමින්, දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව දියුණු කිරීමට යි. භාවනාවේ දී දුකත් අවබෝධ වෙනවා දුක්ඛ සමුදයත් නැති වෙනවා වගේ ම තමාට ලැබෙනවා, නැත්නම් තව විදියකින් කිව්වොත් සාක්ෂාත් වෙනවා දුක්ඛ නිරෝධය. එ් සඳහා ප‍්‍රගුණ කළ යුතු දේ තමයි දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව. එ් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් යම් කෙනෙක් භාවනා කරල අවසන් වුණා නම්, අරහත්වයට පත් වුණා නම්, එ් ශ‍්‍රාවකයා ගැන කියන්න පුළුවන් කොහොම ද?”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, දුක්ඛ ස්වභාවය සම්පූර්ණයෙන් ම අවබෝධ කර ගත්ත, දුක්ඛ සමුදය කියන තණ්හාව සම්පූර්ණයෙන් ම ප‍්‍රහාණය කළ, දුක්ඛ නිරෝධය සම්පූර්ණයෙන් ම සාක්ෂාත් කළ ශ‍්‍රාවකයා කියලා කියන්න පුළුවන්. එ් ශ‍්‍රාවකයා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව ප‍්‍රගුණ කරලා අවසානයි. තව දුරටත් එ් ප‍්‍රතිපදාව තුළ කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ…”

‘‘බොහොම හොඳයි. අන්න එ් නිසා භාවනාව තුළ සිදු වෙන එ් සිදුවීම් හතර අපි කල් තියා ම තේරුම් ගන්න ඕන. එ් වගේ ම භාවනාවට උපකාර විය යුතු දෙයක් තමයි සමාධි පරිෂ්කාර ධර්ම කියල කියන්නේ. එ් කියන්නේ සම්මා සමාධිය උපදින්න අවශ්‍ය වන සත්කාරක ධර්මයන්. හේතුකාරක ධර්මයන්. සම්මා සමාධිය උපදින්නට අවශ්‍ය කරන හේතුකාරක, සත්කාරක, පරිෂ්කාරක ධර්මයන් වශයෙන් සූත‍්‍ර ධර්මයන් තුළ හඳුන්වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන කාරණා හත යි. මේ කාරණා හත සම්පූර්ණ වෙනව නම් එ් සමාධිය සම්මා සමාධියක් බවට පත් වෙනවා. එ්කත් මතක තියාගන්න ඕන භාවනා කරද්දි…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස….”

‘‘ඉතින්, දැන් දුක අවබෝධ කරන ආකාරය ගැනත්, තණ්හාව ප‍්‍රහාණය කරන ආකාරය ගැනත් කල්‍යාණමිත‍්‍ර සේවනය තුළින් බුද්ධ දේශනා ශ‍්‍රවණය කරලා දහම් දැනුමක් සකසගන්න ඕන. එ් වගේ ම දුක්ඛ නිරෝධය ගැනත්, දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් හොඳ දහම් දැනුමක් හදාගන්න ඕන. අන්න එවිට කළ යුතු දේ ඉතා ම පැහැදිලි ව ශාස්තෘන් වහන්සේ ළඟ ඉන්නවා වගේ තමන්ට පැහැදිලි කර ගන්න පුළුවන්…”

‘‘එහෙමයි ස්වාමින් වහන්ස….”

‘‘පුතා… දැන් කල්පනා කරල බලන්න. භාවනා කරද්දි එන්න පුළුවන් ගැටලූ ගැන. කායික වේදනා, අතපය රිදීම් හිරිවැටීම් එන්න පුළුවන්. අසනීප තත්ත්ව භාවනාවට බාධා වෙන්න පුළුවන්. වයෝවෘද්ධ ස්වභාවය බාධා වෙන්න පුළුවන්. ඉතින් මේ සියල්ල දුකටයි අයිති. දැන් අපි දුක පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න ඕන. දණිස්වලින් ලේ ගලද්දිත් වීර්යය වඩපු ශ‍්‍රාවකයන් හිටපු ශාසනයක් මේක කියල සිහි කර ගන්න ඕන.එ්

වගේ ම විවිධ ආශාවන්, ලාභ සත්කාර කෙරෙහි ඇති කැමැත්ත සහ භාවනානුයෝගියෙකු යැයි පතළ වේවා යන ඉච්ඡුාව ආදි තණ්හා-මාන මූලික කර ගත් අකුසලයන් හට ගන්න කොට නුවණින් සලකා දුක්ඛ සමුදය වූ එ් අකුසලයන් ප‍්‍රහාණය කළ යුතු යි.

තණ්හා-මාන ආදි අකුසල් ප‍්‍රහාණයට අවශ්‍ය දේවල් සියල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියනවා. එහි දී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන ප‍්‍රඥා කොටස ද සම්පූර්ණ කර ගනිමින් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීල කොටස ද සම්පූර්ණ කර ගනිමින්, සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි කොටස ද සම්පූර්ණ කර ගනිමින්, සිටින ශ‍්‍රාවකයාට තණ්හා-මාන නිසා ඇති වන අකුසල් ප‍්‍රහාණය වෙලා යනවා. එ් මම කෙටියෙන් කිව්වේ. තව මේ ගැන විස්තර කරන්න පුළුවන්. එ් වගේ ම තමයි, භාවනා කරද්දි කායික ස්පර්ශය නිසා ඇති වන දේවල් වගේ ම මානසික ස්පර්ශය නිසා ඇතිවන විඳීම් වුණත් තියෙන්න පුළුවන්. ඇතැම් විට එ් දේවල් පංච නීවරණ විදියට බාධා කරනවා. ඇතැම් විට පංච නීවරණ සන්සිඳුනට පස්සේ මානසික ස්පර්ශය නිසා හට ගන්න අරමුණු විදියට වුණත් බාධාවක්, උපක්ලේශයක් විදියට හැසිරෙන්නත් පුළුවන්. ඇතැම් අයට විවිධ රූප මැවිල පේනවා. ඇතැම් අයට විවිධ විඳීම් දැණෙනවා. ඇතැම් අයට මුළු මහත් කය ම නො දැනී යනවා. තවත් බොහෝ විඳීම් භාවනාව තුළත් දැනෙන්න පුළුවන්. ඉතින් මේ තමයි භාවනාව කරද්දි අපිට අත්දකින්න ලැබෙන දේවල්.

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරද්දි අපිට ලැබෙන දේ තමයි දුක්ඛ නිරෝධාර්ය සත්‍යය තුළ තියෙන්නේ. එ් දුක්ඛ නිරෝධය තමයි සාක්ෂාත් කළ යුත්තේ. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම ම යි ප‍්‍රධාන ඉලක්කය බවට පත් විය යුත්තේ. හොඳයි. පුතා ම කියන්න බලන්න මේ දුක්ඛ නිරෝධය ගැන…?”

‘‘චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්ති අනාලයෝ… කියල නේ ද පින්වත් ස්වාමීන් වහන්ස එ්ක තියෙන්නේ…” මම පිළිවදන් දුනිමි.

‘‘බොහොම හොඳයි. එහෙම තමයි විස්තර කරල තියෙන්නේ. චාග, පටිනිස්සග්ග, මුත්ති අනාලය කියන වචන තුනේ ම සරල පොදු අර්ථය තමයි අත්හැරීම, දුරු කොට දැමීම සහ ආලය රහිත කොට දැමීම. යමක් අත් හැරියත් දුරස් කරලා නැත්නම් නැවත ළං කර ගන්න හිතෙන්න පුළුවන්. එ් නිසා එ් සියල්ල දුරස් කරල දාන්න ඕන මනසින්. එ් වගේ ම දුරස් වූ දේට ආලයක් තිබුණොත් එ් දේට නැවත ළං වෙනවා. එ් නිසා ආලයත් නැති කරල දාන්න ඕන. මෙන්න මේ පියවර තුනට අනුව යි යම් දෙයක් කෙරෙහි පවතින ආශාව, තණ්හාව නැති කරන්න ඕන…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘යමක් කෙරෙහි හෝ පුද්ගලයෙක් කෙරෙහි හෝ මේ මුළුමහත් සංස්කාර ධර්මයන් කෙරෙහි හෝ පවතින තණ්හාව නිරුද්ධ කරල දාන්න ඕන නම්, එ් නිසා හෝ එ් පුද්ගලයා නිසා හට ගන්න දුක නිරුද්ධ කරල දාන්න ඕන නම්, මුලින් ම එ් සියල්ල අත් හරින්න. දෙවනුව එය දුරස් කොට දමන්න. තුන් වෙනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් නුවණින් විමසල එ් සඳහා පවතින ආලය සම්පූර්ණයෙන් ම නැති කරල දාන්න. ඉතින් මේ ආකාරයෙන් නම් අපි සිතිය යුත්තේ භාවනාවක් අවහිර වෙන යම් අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් කරන්න තියෙන්නෙත් මේ දේ ම යි. මේ තමයි ධර්මයේ පවතින චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ආකාරයට ප‍්‍රතිපදාව වඩන ක‍්‍රමවේදය. අවබෝධය සම්පූර්ණ වෙන්නේ මේ ආකාරයට නුවණින් සලකා කටයුතු කරන විට යි. ඉතින් මුල් ගලවන්න අවශ්‍ය නැහැ. පොහොරත්, ජලයත්, හිරු එළියත් නිවැරදි ව දීල පළිබෝධවලින් ආරක්ෂා කරගෙන ගසක් වර්ධනය කර ගන්නවා වගේ අපේ සිතටත් ධර්මයෙන් සත්කාර කරල උපක්ලේශ, නීවරණ, තණ්හා දිට්ඨි මාන ආදියෙන් සිත මුදවාගෙන පරිපූර්ණත්වය කරා රැුගෙන යන්න ඕන.”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘ඇත්තෙන් ම භාවනාවක් තුළ සාක්ෂාත් කිරීමක් බලාපොරොත්තු විය යුතුයි. එ් සමාධියවත්, ධ්‍යානවත් නො වෙයි. හැමෝම මොනව හරි දෙයක් ලැබේවා, උපදීවා කියල හිතාගෙනයි භාවනා කරන්නේ. එ්ත් දුක්ඛ නිරෝධය කියන්නේ චාග, පටිනිස්සග්ග, මුත්ති අනාලය. එ් කියන්නේ අතහැරීම, දුරු කිරීම, ආලය රහිත වීම. පංච නීවරණ කෙරෙහි මේ ක‍්‍රමයට කටයුතු කිරීමෙන්, නීවරණ අත්හැරලා දුරස් කොට දැමීමෙන් සමාධිය උපදිනවා. උපක්ලේශ කෙරෙහි මේ ක‍්‍රමයට කටයුතු කිරීමෙන් උපන් සමාධිය පිරිසිදු වෙනවා. සමාධිය තුළ උපදින පංච උපාදානස්කන්ධයන් කෙරෙහි මේ ක‍්‍රමයට කටයුතු කිරීමෙන් පිරිසිදු වුණ සමාධිය තුළ ප‍්‍රඥාව උපදිනවා.

පරිපූර්ණ ප‍්‍රඥාවන්තයා සියල්ල අතහැර අවසානයි. ඔහු භාවනාවෙන් නැගිටින්නේ ප‍්‍රඥාවන්තයෙක් විදියට. මෝඩයෙක් නින්දෙන් අවදි වෙන විදියට නම් නො වෙයි. ඇත්ත වශයෙන් ම භාවනාව කියන්නේ යමක් ලබා ගැනීමට පොරකෑම නො වේ… සියල්ල අතහැරීම වෙනුවෙන් සිදු කරන සම්මා වායාමයක්. සියල්ල අත් හැරීම වෙනුවෙන් සිදු කරන සම්මා සතියක්…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට එ් පැවසූ කරුණු නිවැරදිව වැටහුණා. ඉතා ම ගාම්භීර නමුත් ඉතා ම පැහැදිලියි ස්වාමීන් වහන්සේ පැවසූ දේ. සාදු සාදු සාදු…” මම සතුටින් එ් උපදෙස් අනුමෝදන් වුණෙමි.

සැබෑ ලෙසින් ම, මා මුහුණ දුන් ගැටලූවට එ් මොහොතේ ම මේ ක‍්‍රමවේදය ගළපා බැලූවෙමි. මා බිය වූයේ මාගේ සිරුර බිම ඇද වැටේවි යයි සිතූ නිසා ය. එ් මාගේ සිරුර වෙත වූ තණ්හාව නිසා ම හට ගත් අකුසල සිතිවිල්ලක් බව මම දැන් දනිමි. එ් මොහොතේ කය කෙරෙහි වූ අපේක්ෂාව අත්හැර ගැනීමට මා හට හැකි වුණා නම්, කය මෙසේ පවතීවා යන තණ්හා සහගත සිතිවිල්ල හඳුනාගෙන ප‍්‍රහාණය කළ හැකි ව තිබුණා නම්, මාගේ භාවනාව තවත් දුරක් යාමට ඉඩ තිබුණි. දැන් නැවත මා පෙර සිටි ස්වභාවයේ ම ය. සැබැවින් ම භාවනාව තුළ සිදු විය යුත්තේ යමක් ලබා ගැනීමට පොරකෑම නොව සියල්ල අත්හැරීම වෙනුවෙන් සිහියෙන්, නුවණින් වෑයම් කිරීම යැයි පින්වත් ස්වාමීන් වහන්සේ පැවසූ දේ කොයි තරම් සත්‍යයක් ද! එ් වචනය මාගේ සිතේ ශිලා ලේඛණයක් සේ කෙටී ගියේ එ් නිසාවෙනි.

සියල්ල මුලට පැමිණිය ද, උතුම් ගුරු ඇසුරක් නිසා, උතුම් කලණ මිතුරු සේවනයක් නිසා අළු ගසා දමා නැවත නැගිටීමට අවශ්‍ය සියලූ ශක්තිය යළිත් මා වෙත ලැබී තිබුණි. ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි දිවිය ලද පින්බර මහ සඟ රුවනේ ඇසුර ලබා මගේ සිතත් මේ අයුරින් නිවා සනසා ගන්නට ඇත්නම් කොයි තරම් නම් වාසනාවක් ද..! සැබැවින් ම සද්ධර්මය ජීවමාන ය. ඵල ලද්දෝ ද නැත්තා නො වේ. නමුත් අප ප‍්‍රමාද ය. අපි තවමත් පෙර අංගුලිමාල සොරු මෙන් අඛණ්ඩව දිව යන්නෙමු. බුදුරජුන් මෙන්, රහතුන් මෙන් මේ ගමන නවතා දමන්නේ කවදා ද..! සියලූ සංස්කාර ධර්මයන් අත්හැර දමා නිවී සැනසී ගිය සිතකින් වාසය කරන්නේ කවදා ද..!! නැවත කිසිදා නො දිරන, නො මියෙන අයෙකු සේ මේ සාංසාරික නාටකයට සදාකාලික ව ම නැවතීමේ තිත තබා තිරය වසා දමන්නේ කවදා ද..!!!

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ

සඳ දෙස බලන්න.

ඇඟිල්ල දෙස නො බලන්න.

ඇඟිල්ල ගැන නො සොයන්න.

මේ ශ‍්‍රී සද්ධර්මය

ජීවමාන යි…!

එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  බිනර කලාපය

WWW.MAHAMEGHA.LK

මතක සටහන

ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.

SMS Only – 077 063 08 68

ස්වයංවින්දනය
උපන්නා වූ සෑම මිනිසෙකුට ම පාහේ මිතුරන් සිටී. මිතුරු ඇසුර සියල්ලන්ට ප‍්‍රිය ය. නමුත් ලෝකයේ සියලූ හිතමිතුරුකම් ‘කල්‍යාණ’ යැයි කිව නො හැකි ය. මේ ඇතැම් මිතුරුකම් ජීවිතයේ කෙළවර ළං කරවන්නට සමත් වේ. පාප මිතුරන් කියන්නේ එවැනි අනිටු ඵල ගෙනෙන මිතුරන්ට ය.

එහෙත්…. හුදු ජීවිතයේ කෙළවර වෙනුවට, අනවරාග‍්‍ර සසරේ කෙළවර ළං කරවන්නට සමත් වන අති දුර්ලභ මිතුරුකම් ද ලොව තිබේ. කලණ මිතුරන් කියන්නේ එවැනි මිත‍්‍රත්වයන් දන් දෙන්නන්ට ය. ‘කසාවත’ වනාහී එවන් කලණ මිතු දමක මතකාවර්ජනයකි. කසාවතේ මේ දිග හැරුම ද සසරේ කෙළවර දකින මඟ තුළ ඔබ අප උත්සාහවත් කරන බව නිසැක ය.

හීල දානය අවසන් වී දහවල දානය ඇරඹෙන තුරු ඉතිරි ව තිබුණේ පැය තුනක්, තුන හමාරක් වැනි කෙටි කාලයක් පමණි. එ් කාලය තුළ දී අසපු භූමිය තුළ සංඝයා වහන්සේලාගේ ජීවිතයේ ක‍්‍රියාකාරකම් රැුසක් සිදු වේ. නවක භික්ෂූන් වහන්සේලා උදෙසා ධර්ම දැනුම ශක්තිමත් කරන ධර්ම විනය පන්ති එ් අතර ප‍්‍රමුඛත්වය ගනී. ඊට අමතර ව දහම් පොත් පත් කියවීම, සක්මන් භාවනාවේ යෙදීම, කුටි සෙනසුන් ඇමද පිරිසිදු කිරීම, ගිලන් භික්ෂූන්ගේ අපවිත‍්‍ර වූ සිවුරු ඇඳ ඇතිරිලි ආදිය සෝදා දීම, ආගන්තුක ගිහි පින්වතුන්ට දහම් අවවාද ලබා දීම දැක ගත හැකි අතර ඇතැම් ස්වාමීන් වහන්සේලා තම චීවර සෝදා ජලස්නානයේ යෙදීමට භාවිත කරන්නේ ද මේ කාලය යි. භාවනාවට සිය සම්පූර්ණ කාලය කැප කරන ස්වාමීන් වහන්සේලා කුටියේ වැඩ සිටින කුමන මොහොතක වුවත් භාවනානුයෝගිව වාසය කරනු දැක ගත හැකි ය.

මෙවන් පුණ්‍ය භූමියක සාමාන්‍ය ජනයාට හැසිරිය හැකි සීමාවෙන් ඔබ්බට ගොස්, අභ්‍යන්තර භික්ෂු ජීවිතය දැකගත හැකි වීම ගිහි ශ‍්‍රාවකයෙකු ලබන දුර්ලභ වාසනාවන්ගෙන් එකකි. සසරේ ඇති තරම් අප කාමයන් සොයා යාමට වීර්යය කරන, දහඩිය මුගුරු හෙළන සත්වයන් දැක ඇත්තෙමු. නමුත්, කාමයන්ගෙන් වෙන් වී, සීලයක් මත පිහිටා මිය යන තුරු ම තම දිවිය එලෙසින් ගත කිරීමට තෝරාගත් පිරිසකගේ ජීවිත කතාව සියැසින් දැක ගැනීමටත් හදවතින් විඳීමටත් ලැබීම නිරාමිස ප‍්‍රීතියක් ජනිත කරවයි. එවන් ප‍්‍රීතියක් අසපු වාසයෙන් ම මිස අප ජීවත් වන සාමාන්‍ය ලෝකයේ දී නම් උපදවා ගත නො හැකි ය.

හීල දානයෙන් අනතුරු ව එළැඹෙන්නේ දිසානායක නැන්දාගේ දහවල දානය යි. අලූයම් කාලයේ සිදු කළ ආහාර සකසන කටයුතුවලට ද සහභාගි වීමට නො හැකි වූ නිසා උදේ වරුවේවත් නැන්දාට උපකාර කිරීමට සිතා සිටියෙමි. එනමුත්, ගිලන්පස ශාලාවේ අමුත්තන්ගේ ආලින්දයේ සිදු වූ සිදුවීමක් නිසා ඉතිරි පැය දෙක තුනත් එහි ම ගත කරන්නට අප හට සිදු විය.

එ් සිදුවීමට පෙර අප ගත කළේ දාන ශාලාවේ ය. මමත් අනන්තත්, ස්වාමීන් වහන්සේලාට දානය පූජා කොට දාන ශාලාවේ සුළු වත් පිළිවෙත් කිහිපයක් සිදු කළෙමු. ඉන්පසු උදෑසන ආහාරයත් භුක්ති විඳ දහම් කරුණක් පිළිබඳව කතා කරමින් ගිලන්පස ශාලාව වෙත පැමිණෙමින් සිටියෙමු. ඉතා දුර බැහැර සිට පැමිණි තරුණයෙක් අප වෙතට පැමිණියේ ගිලන්පස ශාලාවට තවත් අඩි විස්සක් තිහක් පමණ තිබිය දී ය. ඇස් වට අඳුරු වී කෘෂ වී ගොස් සිටි ඔහු, විඩාබර බවකින් සහ බලවත් අසහනයකින් පෙළෙමින් සිටින බවක් පෙනෙන්නට තිබිණ. කමිස කලිසම් පවා ඉතා අපිළිවෙළින් හැඳ සිටි ඔහු බලවත් අර්බුදයකට මැදි වී සිටින්නෙකු බව මම තේරුම් ගත්තෙමි.

බියෙන් සැකෙන් යුත් ස්වරයකින් අප ඇමතූ ඔහු එ් මොහොතේ ගළපා ගත් වචන කිහිපයකින් කතා කළේ ය.

‘‘මට හාමුදුරුනමක් හම්බුවෙන්න ඕනා..!”

‘ප‍්‍රශ්නයක් වගේ…?” අනන්ත ඔහුට කාරුණික ලෙස ප‍්‍රතිචාර දැක්වුයේ ය.

‘‘ඔව්. මට හාමුුදුරුනමක් හම්බුවෙලා කතා කරන්න පුළුවන් ද?”

‘‘එන්න අපි එක්ක…” යැයි පැවසූ අනන්ත ගිලන්පස ශාලාවේ ආලින්දය වෙතට ඔහුව රැුගෙන ගියේ ය. එහි වූ බංකුවක් පෙන්වීමෙන් පසු, ඔහු කැමැත්තෙන් ම එහි අසුන් ගත්තේ ය. නමුත් එක ඉරියව්වේ සිටීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. දණිස් දෙක වමටත් දකුණටත් හරවමින් විටින් විට වට පිට බලන්නටත්, ජංගම දුරකථනය දෙස බලන්නටත් වූයේ ය. සාමාන්‍ය මානසික ස්වභාවයක් පෙනෙන්නට නො තිබුණු මේ පුද්ගලයා අසපුව සොයා පැමිණීමත් පුදුමයකි. ඇතැම් විට එය ඔහුගේ වාසනාව විය හැකි ය.

ගැටලූව විසඳන්නට භාර වූයේ උදෑසන දුරකථන සංවාදයේ යෙදුණු ස්වාමීන් වහන්සේට අවවාද කළ වැඩිහිටි ස්වාමීන් වහන්සේට යි. උන් වහන්සේ ආලින්දයට පැමිණ, එහි වූ වේවැල් පුටුව මත තැන්පත් වූහ.

‘‘ඔව් පුතා. මොකක්ද ප‍්‍රශ්නෙ…” පින්වත් ස්වාමීන් වහන්සේගේ දෙපා යුග වන්දනා කොට බිමින් හිඳගත් තරුණයා දෙස බලමින් උන් වහන්සේ විමසූහ. පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයෙන් අපි ද ඊට පසෙකින් හිඳගත්තෙමු.

‘‘මට ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරුවනේ…”

‘‘ඔව්. මට කියන්න. මට උපකාර කළ හැකි දෙයක් නම්, මම පුතාට උදව් කරන්නම්.”

‘‘මට මේක නවත්තන්න බෑ අපේ හාමුදුරුවනේ. දැන් අවුරුද්දකටත් වැඩියි. දවසට දහ පහළොස් වතාවක්වත් මේ වරද මගේ අතින් සිදු වෙනවා… නින්දෙදිවත් මට නිදහසක් නෑ අපේ හාමුදුරුවනේ… එ් නිසා සති ගාණකින් මට හරිහමං නින්දක් නෑ හාමුදුරුවනේ…”

‘‘ඇබ්බැහිවීමක්…! කුඩු ගහනව ද… ගංජා උරනව ද?”

‘‘නෑ හාමුදුරුවනේ. මම අරක්කු සිගරට් කටේ තියන්නෙ නෑ. කුඩු නම් දැකලවත් නෑ. අපේ තාත්තා කච්චේරියේ. අම්මා ගුරුවරියක්. පවුලෙ ඉන්නෙ මං විතරයි. අපේ පවුලෙ කිසි වරදක් නෑ. මාව පොඩි කාලෙ ඉඳන් හොඳට පරිස්සම් කරල හදා ගත්තෙ. ඉස්කෝලෙ ගියෙත් වෑන් එකේ. පුළුවන් විදියට ඉගෙනත් ගත්තා. එ්ත් එ් ලෙවල් දෙපාරක් ම කරල කැම්පස් යන්න බැරි වුණා. දැන් කොම්පියුටර් පන්ති යනවා. පන්තිය ළඟ තිබුණු ටැටූ ෂොප් එකකින් තමයි මේකත් ඇඳගත්තෙ. මේ ඉන්නෙ සර්පයෙක්. එතන ඉන්න කෙනා මෙක්සිකෝවෙ හිටපු කෙනෙක්. එතනට මෙක්සිකෝවෙන් එන චිත‍්‍රපටිත් එනවා. හෝල්වල පෙන්වන එ්ව නම් නෙවෙයි. එ්ව හෝ්ටල්වල පෙන්වන්න තහනම් හාමුදුරුවනේ. එයා මට එ් රටේ තිබ්බ එක එක ලස්සන සිහිවටනත් දුන්නා. ඔය කාලෙ තමයි මේක පටන් ගත්තෙ. දැන් මට මාව ම පාලනය කර ගන්න බෑ අපේ හාමුදුරුවනේ. අනේ මාව බේරගන්න…”

තරුණයා කඳුළු සලමින් හඬන්නට විය. ඔහුගේ අත් දෙක වෙව්ලයි. හඬන අතරේ වටපිටත් බලයි. නැවත යමක් මුමුණන්නට තතනයි. නමුත් ඔහුට එකඟ වූ සිතක් නැත. ඔහුගේ සිත සම්පූර්ණයෙන් ම වික්ෂිප්ත වී ඇති සෙයකි.

‘‘මොකද්ද නවත්ත ගන්න බැරි… මට පැහැදිලිව කියන්න.”

‘‘මම ස්වයංවින්දනයේ යෙදෙනවා අපේ හාමුදුරුවනේ. මට එ්ක නවත්ත ගන්න බෑ. දවසට දහ පාළොස් වතාවක්. මට මාව ම පාලනය කර ගන්න බෑ හාමුදුරුවනේ. මට ටවුමෙදිත් මාව ම පාලනය කර ගන්න බෑ. මිනිස්සු ඉන්නව කියලවත් ගාණක් නෑ. අනේ මාව බේරගන්න…” ඔහු නැවත ඉකි ගසමින් හඬයි. මෙවන් තරුණයන් කොතෙකුත් සමාජයේ ඇත්ද! ඉන් බොහොමයක් මානසික රෝගීන් බවට පත් වී මිය යති. ඉතා සුළු පිරිසක් තථාගත ශ‍්‍රී සද්ධර්මය සොයා එති. ජීවිත කතාවේ වාසනාව අවාසනාව තීරණය වන්නේ පින පව මත ම බව තේරුම් ගන්නට මෙවන් උදාහරණ ඕනවටත් වැඩි ය. මේ තරුණයාට ගැලවීමක් තිබේ ද? තවමත් සිතාගත නො හැකි ය.

‘‘පුතාගේ ස්වභාවය අසාමාන්‍යයි. මට හිතෙන්නෙ පුතාට තියෙන්නෙ වෙන ප‍්‍රශ්නයක්. එන්න පොඞ්ඩක් ළඟට..”

පින්වත් ස්වාමීන් වහන්සේ තමන් අසලට කිට්ටු වූ තරුණයාගේ හිසට අත තබා ආරක්ෂක පිරිතක් මුමුණන්නට පටන් ගත්තේය. ගතවූයේ සුළු මොහොතකි. ඔහුගේ හිස ගැස්සී විසි විය. කොපමණ වේගයෙන් විසි වී ද යත් ඔහු හතර ගාතයෙන් බිම ඇද වැටුණි. දැන් ඔහු බිම දිගා වී සිටියි. ඔහුට නැගිටීමට උවුවමනාවක් නැති සෙයකි. අප දෙදෙනා ඔහුට ළං වී ඔහුගේ සිරුර කෙළින් කරවීමට උත්සාහ කළත්, පින්වත් ස්වාමීන් වහන්සේ ඔහුට අත නො තබන්නැයි සංඥා කළහ. එනිසා අපට ඉතිරි වූයේ සිදුවීම තවදුරටත් බලා සිටීම ම පමණි.

‘‘කවුද ඔය…? කතා කරන්න…. කවුද ඔය ඇෙඟ් ඉන්නෙ…” ස්වාමින් වහන්සේ මඳක් උස් ස්වරයකින් විමසා සිටියෙන් ඔහු බිම දිගා වී සිටින්නේ භූත බලවේගයක් නිසා බව මම තේරුම් ගත්තෙමි. දැන් කතාව හාත්පසින් ම වෙනස් දිශාවකට හැරී ඇත. වෙවුලන ස්වරයකින්, වෙනත් අයෙකු තරුණයාගේ මුවින් වචන පිට කරනු ඇසෙන්නට විය. එ් වචනවලට ස්වාමීන් වහන්සේ නො බිය ව ප‍්‍රතිචාර දැක්වූහ.

‘‘කෝ.. කතා කරන්න නේ ද කිව්වේ…!”

‘‘මම… මම…”

‘‘ඔව් කවුද ඔය…?”

‘‘මම කාම පේ‍්‍රතයෙක් බුද්ධ පුත‍්‍ර….” මගේ ඇඟ කිළිපොලා ගියේ ය. එවන් පේ‍්‍රත විශේෂයක් මා මින් පෙර අසා නො තිබුණි.

‘‘කාම පේ‍්‍රත…! හොඳයි. මොනව ද ඔය ළමයගෙ ඇඟට වෙලා කරන්නෙ?”

‘‘මට මූ නැත්තං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. යන්න නම් කියන්න එපා. මූ මගේ…!”

‘‘ආහ්… අසූචි මළ මූත‍්‍ර කාල ද ජීවත් වෙන්නෙ…? ඉතිං වැසිකිළි වළක් හොයාගන්න බැරි ද? ඇයි මේ ඇඟට ම ආවේ?”

‘‘මට එ්ව කන්න බෑ. එ්ව මගෙ කෑම නෙවෙයි.”

‘‘එ්ව කන්න බෑ…? එහෙනං මොනව ද කන්න පුළුවන්?”

‘‘මට කන්න පුළුවන් මූ තනියෙන් කාමයේ යෙදුණ ම පිටවෙන එ්ව විතරයි. විවාහ වෙලා ඉන්න උන් දෙන්නෙක් එක්ක කාමයේ යෙදෙන එ්ව මට කන්න බෑ. මට කන්න පුළුවන් තනියම කාමයේ යෙදෙන එකෙක්ගෙ එ්ව විතරයි.” පේ‍්‍රතයා පිළිවදන් දුන්නේ ය.

‘‘ආහ්..! මට තේරුණා. මේ ස්වයංවින්දනයේ දී පිටවෙන දේවල් කන එකෙක්නේ. මම ඇහුවමයි මෙහෙම පේ‍්‍රත කොට්ඨාසයක් ගැන…”

‘‘හහ්හා… මම වගේ තව දාස් ගාණක් ඉන්නව… බුද්ධ පුත‍්‍ර දන්නෙ නැති වුණාට…”

‘‘දාස් ගාණක්…? අපි අතරේ…?”

‘‘ඔව්. පේ‍්‍රතයෝ පේ‍්‍රතියෝ දාස් ගාණක් ඉන්නවා. අපිට කන්න අතට අහුවෙන්නෙ මේව විතරයි. අසූචිවත් මූත‍්‍රවත් ලේවත් ඇල්ලූවට ඇල්ලෙන්නෙ නෑ. ඇඟිලි අතරෙන් නිකන් ම ලිස්සල යනවා. කටට දාගන්නවත් බෑ. හැබැයි මේව නම් යහමිං කන්න පුළුවන්. මේකගෙන් මම පුළුවන් තරම් කනව. මූ මැරුණ ම වෙන එකෙක් ළඟට යනවා. මේ මම අල්ල ගත්ත හත්වෙනි කොල්ලා. අනිත් උන් දෙන්නෙක් මැරිල අපි අතරෙ ම ඉපදුණා. අනිත් උන් ලෙඩ වුණා. උන්ව පාවිච්චි කරන්න බැරි නිසා මූ ළඟට ආවා.”

‘‘මොකද්ද ඔහෙගෙ නම?”

‘‘නම…? අපිට නම් මොකට ද? අපි කතා කර කර ඉන්නෙ නෑ. මොකෙක් හරි අල්ලගෙන බඩ ගින්න නිවාගන්න තමයි අපි හදන්නෙ…”

‘‘කලින් ජීවිතේ කොහෙද හිටියෙ…? මතකයක් එහෙම තියෙනව ද?”

‘‘මොකෝ නැත්තෙ. එ්ව මතක් වෙද්දි මගෙ ඇඟ ම පිච්චිලා යනවා… ආ…. හ්….!” පේ‍්‍රතයා වේදනාවෙන් කෙඳිරි ගාන්නට විය. ඔහුට පෙර දිවිය සිහි වීම වේදනාවක් සේ පෙනේ.

‘‘මම කලින් ජීවිතේ හිටියෙ මිනිස් ලෝකෙ. වීඩියෝ පීස් දාගෙන මම ස්වයංවින්දනේ යෙදුනා. කලබල කාලෙ මම පාර අයිනෙ ඉන්නව දැකල පොලිසියෙන් මට ගැහුවා. මට මතක එච්චරයි. ඊට පස්සෙ මගෙ ඇඟ කෙට්ටු වෙලා බඩ ඇකිළිලා මහා බඩගින්නක් පිපාසයක් දැවිල්ලක් එක්ක ඉන්නවා පෙනුණා. කාලෙකට සැරයක් බුද්ධ පුත‍්‍රයන්ට කෑම බීම හදාගෙන ‘පේත.. පේත’ කියන වචනය කියල මිනිස්සු කතා කරනව. පින් දෙනවා. එතකොට එ් වචනෙ මට ඇහුණා. මං වගේ ම තව අය එ් පැත්තට බඩ ගානවා මම දැක්කා. මම තේරුම් ගත්තා මම පේ‍්‍රත ලෝකෙ ඉපදුණා කියල…”

‘‘පින් ගන්න පුළුවන් ද?”

‘‘පින් ගන්න බෑ බුද්ධ පුත‍්‍ර. මං බුද්ධ පුත‍්‍රගෙ ලෝකෙ ඉන්න කාලෙ පින් කළේ නෑ. එ් නිසා මැරිල පින් ගන්න බෑ. මට ගන්න පුළුවන් එක ම දේ මේ කොල්ලන්ගෙ ඇෙඟ් තියෙන මේ පොඞ්ඩ විතරයි. එ්ක වුණත් කෑව කියල බඩ පිරෙන්නෙ නෑ. පොඩි වෙලාවකට බඬේ දැවිල්ල නැති වෙනවා. ආයෙත් බඩ දනවා.”

‘‘පේ‍්‍රතියොත් ඔය විදියට ම ද ජීවත් වෙන්නෙ? මොනව ද එයාල කරපු පවු…?”

‘‘එ් අයත් මං කරපු දේවල් ම තමා බුද්ධ පුත‍්‍ර කරල තියෙන්නෙ. ගොඩක් පේ‍්‍රතයෝ ඉන්නවා දැන් අනිත් අය කාම සේවනය කරන හැටි බලල පවු කරගෙන පේ‍්‍රත ලෝකෙ ඉපදුණ අය. ඉස්සරට වඩා එ් අය දැන් වැඩියි. ඉස්සර එච්චර නෑ. අපි හැමෝට ම කාලෙකට සැරයක් මහා ආහාරය කන්න කැප වෙනවා. එදාට අපි කෑම නිසා ම මහා වේදනාවකට මූණ දෙනවා. අපිට එ්කෙන් ගැලවෙන්නත් බෑ. අපිව ගලවගන්න කෙනෙකුත් නෑ.”

‘‘මහා ආහාරය…! මොකද්ද එ්…?”

‘‘අපි ඔක්කොම අනිත් අයගේ ශරීරවල මළ මූත‍්‍ර පිට කරන අවයව දිහා බලාගෙන කාමයේ යෙදුණ අය. කාලෙකට සැරයක් අපිට අපේත්, අනිත් පේ‍්‍රතයන්ගේත් පේ‍්‍රතියන්ගේත් මූත‍්‍ර පිටකරන අවයව අල්ලන්න පුළුවන් කාලයක් එනවා. එ් කාලෙට අපි හැමෝට ම එ් අවයව කන්න පුළුවන්. ඉතිං අපි කරන්නේ අපිට ළඟින් ඉන්න පේ‍්‍රතයන් එක්ක පොර බදලා එ් අවයව කඩා ගෙන කන එකයි. එක පොදියට පේ‍්‍රතයෝ විස්සක් විතර පොර බදනවා. සමහර විට පොඩි කෑල්ලක්වත් කන්න බැරි තරමට කෑලි කැඩිල යනවා. එ් ආහාරය කන්න පුළුවන් වෙන්නෙ කාලෙකට විතරයි. අපිට එ්ක නො කර ඉන්නත් බෑ. කන්න ම හිතෙනවා. එ් කාලෙට ගොඩක් ම දුක් විඳින්නේ පේ‍්‍රතියන්. එ් කාලෙට ළඟ වෙන පේ‍්‍රතයෝ නැත්තං තමාගෙ ම අවයව නියපොතුවලින් සූරගෙන කන්න සිද්ධ වෙනවා. අපිට එ්ක පාලනය කර ගන්න බෑ. එ් කාලෙ ඉවර වුණා ම ලූණු වැස්සක් ඇවිල්ලා අපි ඔක්කොම නෑවෙනවා. අපේ තුවාලවලට ලූණු වැටුණ ම දැනෙන වේදනාවට අපි ඔක්කොම කෑගහනවා. අන්තිමේට ටික ටික කැඩුණු ලිංග කොටස් වැවෙනවා. එ්ව හොඳට ම වැවුණම තමයි ආයෙත් මහා ආහාරය කන්න සුදුසු කාලය එන්නේ. මේ දුක විඳින්න තියෙන්නෙ ස්වයංවින්දනේ යෙදිල යම ලෝකෙ ආපු පේ‍්‍රතයන්ට විතරයි….”

පේ‍්‍රතයා වෙවුල වෙවුලා සිදු කළ කතාව ශ‍්‍රවණය කළ මාගේ ලොමුදැහැ ගැන්වී තිබිණ. මහත් බියට පත් ව සිටි මම, සසරේ බියකරු බවත් ජුගුප්සාජනක බවත් සිහි වී සංවේගයට පත් වීමි. එවන් ඇබ්බැහිවීමකට ලක් නො වී සිටින්නට තරම් වාසනාවක් ලද බැවින් සැනසුම් සුසුමක් හෙළුවෙමි.

‘‘හොඳයි. කොහොම ද මේ වගේ කොල්ලෙක් ව අල්ල ගත්තේ…? හැම කොල්ලෙක් ළඟ ම මෙහෙම පේ‍්‍රතයෝ ඉන්නව ද?”

‘‘අපිට හැම කොල්ලෙක් ම අල්ලගන්න බෑ. සමහර කොල්ලෝ සිල් රකිනවා. සමහරු මේ වැඩේ කරන්නෙ නෑ. සමහරු දිහා බලන්නවත් බෑ. සැර ආලෝකයක් විහිදෙනවා. එ් ගොඩක් පින් කරන කොල්ලෝ තමයි. පින් කරන්නෙ නැති, සිල් රකින්නෙ නැති කොල්ලො ගොඩක් වැඩියි. උන් එක පාර දෙපාර ස්වයංවින්දනේ යෙදෙන කොට අපිට ගවු ගාණක් ඈතින් හිටියත් එ් සුවඳ දැනෙනවා. අපි එ් සුවඳ දැනෙන මොහොතෙ ම එ් පැත්තට බඩගාගෙන යනවා. එ් අය ළඟට ළං වෙලා එ් කොල්ලන්ට ආයෙ ආයෙමත් එ්ක කරන්න සිද්ධ වෙන විදියට අපි වැඩ සලස්සනවා. රාගය ඇවිස්සෙන දේවල් පේන්න සලස්සනවා. එකපාරක් දෙපාරක් එ්ක සිද්ධ කරා ම එ් පවත් එක්ක උන්ගෙ ඇඟට රිංග ගන්න අපිට පුළුවන් වෙනවා. ඊට පස්සෙ අපි එක දිගට ම එ් ප‍්‍රාණකාරයා නිසා ජීවත් වෙන්න පටන් ගන්නවා. උන් නැත්තං අපිට කෑමත් නෑ. මේ චිත්තරපටි නිසා අපිට දැන් කෑමත් සරුයි…”

‘‘එ් කියන්නෙ සහනයක් ඇත්තෙම නෑ. වහල් වෙලා වගේ ජීවත් වෙන්නෙ නේ ද?”

‘‘නෑ. අපිට මේ යන විදියට තවත් යහමින් කෑම ලැබෙයි. වැඩියක් මිසක් අඩුවක් නෑ. එ්ත් කොච්චර කෑවත් මේ බඩ පිරෙන්නෙත් නෑ. ගින්න නිවෙන්නෙත් නෑ. එ්ක තමයි ලොකු ම දුක.”

‘‘ස්වයංවින්දනයට ඇබ්බැහි වුණ ගෑනු පිරිමි මැරිල ගිහිල්ලත් ස්වයංවින්දනය නිසා ම ජීවත් වෙනවා. එ් අවයව නිසා ම දුක් විඳිනවා. තමා කළ දේ ම යි තමා පසුපසින් කරත්ත රෝදයක් වගේ එළවගෙන එන්නේ. මේක නම් මහ භයානක සසරක්…” පින්වත් ස්වාමීන් වහන්සේ අප දෙස බලා එසේ ප‍්‍රකාශ කළහ.

අනතුරු ව උන් වහන්සේ විසින්, සංඝාවාසයෙන් රැගෙන ආ පිරිත් පැන් ස්වල්පයක් ඉස පිරිත් නූලක් ගැටගසා තරුණයාගේ හිස මතින් අත තබා ආටානාටිය ආරක්ෂක පිරිත සජ්ඣායනා කරන ලදී. බොහෝ වේලාවක් පිරිත් සජ්ඣායනා කොට ඔහුට ආශීර්වාද කොට සිහි කල්පනාව ඉපදුණු පසු පංචසීලයේ පිහිටවූහ. මුලින් පැමිණි ස්වරූපයට වඩා බොහෝ සන්සුන් ස්වරූපයකින් හිඳගෙන සිටි ඔහු දැන් මඳ අස්වැසිල්ලකින් කතා කරනු පෙනෙන්නට විය.

‘‘පුතා හැකි ඉක්මනින්, රුවන්වැලි සෑය ළඟ සතියක් අටසිල් සමාදන් වෙන්න. එ් සතිය එතන ම නැවතිලා බණ අහන්න. පොත් කියවන්න. සෑය වඳින්න. පිරිත් කියන්න. සතිය අවසන් වුණා ම සෑය ළඟ මේ පිරිත කියන්න. මේකට කියන්නේ ආටානාටිය පිරිත. මම මේ පිරිත තියෙන පිරිත් පොතක් දෙන්නම් පුතාට. ආටානාටිය කියලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ භාර කරන්න. බුදුන්ට කැප කළ ජීවිතයක් වෙන කාටවත් හොරා ගන්න බෑ. මතක තියාගන්න ඕන. රුවන්වැලි සෑයෙන් පිටට යන්න බෑ. සතියක් සෑ මළුවේ වත් පිළිවෙත් කරා ම පුතාට ගැලවෙන්න අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය ලැබෙනවා. මේකෙන් ගැලවෙන්න බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට ගරු සත්කාර කරල පින් රැස් කර ගන්න ඕන. එක දිගට අවම වශයෙන් සතියක්වත්. තේරුණා ද?”

‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ…”

‘‘එහෙනම්, දැන් ම යන්න හදිස්සි වෙන්න ඕන නෑ. ටිකක් ඉඳලා දවල්ටත් කාලා ධර්ම ශාලාවෙ නිදාගන්න. දැන් නින්ද යන්නෙත් නෑ කිව්වනෙ. නිදාගෙන හවස් වෙලා යන්න. එතකොට තවත් හිත සන්සුන්.”

‘‘ගොඩක් පින් මගෙ හාමුදුරුවනේ…” ස්වාමීන් වහන්සේගේ දෙපා අල්ලා වන්දනා කළ තරුණයා උන් වහන්සේගෙන් අවසර ගෙන ධාතු මන්දිරය දෙසට පියමැන්නේ ය.

‘‘පේනව නේ ද දරුවනේ සංසාරෙ හැටි. තමාගෙ ශරීරය ම තමා ව සතර අපායට ඇදල දානවා. මේ වගේ ඇත්ත කතා අහලත් වරදෙන් මිදෙන්නෙ නැති අය ඉන්නවනෙ. තරුණ ගෑනු මිනිස්සු කොයිතරම් නම් මේ යමලෝකෙ උපන් පේ‍්‍රතයන්ගේ ග‍්‍රහණයේ ඇත්ද! වැරදි කාම සේවනෙන් වැළකෙන්න වෙන කෙනෙක්ගෙ ශරීරවලින් ඈත් වෙලා හිටියත් තමන්ගෙ ශරීරය නිසා වුණත් පාපය සිදු වෙන්න පුළුවන්. එ්කයි සංඝයා අතරේ එ් දේවල් බරපතළ වැරදි විදියට සලකන්නේ. ස්වයංවින්දනයේ යෙදීම බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ ‘සංඝාදිසේස ආපත්තියක්’ යන නමින්. එ්කෙන් ගැලවෙන්න නිහතමානී ගුණයත්, පොදුවේ සංඝයාට යටහත් පහත් ව ගරු කිරීමත්, වත් පිළිවෙත් කිරීමත් අනුදැන වදාළා. එ් වත පිළිවෙතින් තොර ව සීලය පවිත‍්‍ර වෙන්නේ නෑ. එ් මොකද එ් තුළින් රැුස් වෙන පින තුළින් තමයි තමා අතින් සිදු වූ පාපකර්මය ගෙවාගන්න ලැබෙන්නේ. පිනක් රැස් කරලා පවත් ගෙවාගෙන සීලයත් පිරිසිදු කර ගත්ත ම බොහොම සැහැල්ලූවෙන් නැවත සිල් ගුණදම් රකින්න පුළුවන්. යම් කෙනෙක් එ් වරද සඟවාගෙන ඉන්නව නම්, එයාට දිනෙන් දින පවු වැඩි වෙනවා. මොකද පාපය සඟවාගෙන දිනෙන් දින ශ‍්‍රද්ධාවෙන් දෙන දානය වළඳලා වැඳුම් පිදුම් ඉවසගෙන ඉන්න නිසා. එ් පවෙන් බේරෙන්න නම් සඟවාගෙන හිටි දින ගාණට සමාන ගණනක් තමන් සංඝයාට නිහතමානීව වත් පිළිවෙත් කරල උපස්ථාන කරල ගරු සරු දක්වල පින් කර ගන්න ඕන. එ් කාලෙදි එයාට ස්වාමීන් වහන්සේනමකගෙන් වැඳුමක් පිදුමක්වත් ගන්න බෑ. මොකද තාම එ් භික්ෂුව පාපය ගෙවමින් ඉන්න නිසා. අන්න එ් වගේ ගිහි අයටත් පින තුළින් ම යි මේ අකුසලයෙනුත් ගැලවෙන්න තියෙන්නේ. එ්කයි මම එ් පුතාට සතියක් ම රුවන්වැලි සෑය දාලා යන්නෙ නැති ව එතන ඉඳගෙන ම සිල් රකින්න කිව්වේ. එ්ක එ් තරම් ම බලවත් පිනක්. එ් පිනෙන් එ් දරුවා මේ අර්බුදයෙන් ගැලවේවි….”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස…” අපි දෙදෙනා ම එකවිට පිළිතුරු දුන්නෙමු.

‘‘අපි හිතනවාට වඩා රාගයෙන් රත් වුණු මේ ශරීරය අපිව දුකට ඇදල දානවා නේ ද පින්වත් ස්වාමීන් වහන්ස…!”

‘‘එ්ක ඇත්ත පුතා. සමහර අයට නම් මේ කතා ජුගුප්සාජනක කතා වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් සඟවගෙන සිටීමෙන් සමාජයේ ජීවත් වෙන ගැලවෙන්න පුළුවන් කෙනාට යහපතක් වෙන්නෙ නෑ. මේ සිද්ධිය දන්න දන්න හැමෝටම කියන්න. පුළුවන් තරම් මේ ග‍්‍රහණයන්ගෙන් ගලවගන්න උත්සාහ කරන්න. විශ්වාස නො කරන අය ගැන කරන්න දෙයක් නෑ. එයාලා අමනුෂ්‍ය ග‍්‍රහණයේ ම ඉඳල මැරිලා ගිහින් ඒ අය අතරෙ ම උපදීවි. මෙලොව පරලොව විශ්වාස කරන කීප දෙනා ශ‍්‍රද්ධාව උපදවාගෙන ගැලවිලා සුගතියට යාවි. ශ‍්‍රද්ධාව බලවත් නම් දුගතියෙන් වගේ ම සුගතියෙනුත් නිදහස් වෙලා බුද්ධ ශාසනයේ ඉලක්කය සම්පූර්ණ කර ගන්න අදටත් බැරිකමක් නෑ. එ්ත් බොහෝ දෙනෙක්ගෙ ශ‍්‍රද්ධාව බලවත් නෑ නෙව. එ් නිසා සුගතියවත් රැකගන්න එකයි වටින්නේ. අද ඉන්න තරුණයන්ට කරන්න තියෙන්නෙත් එච්චරයි. මහ පොළවට, පස් ගොඩකට යුද්ධ කර ගන්නෙ නැතිව, අද බේරගන්න තියෙන්නේ සුගතිය යි. හැම උත්සාහයක් ම දරල ඇඟිලි තුඩු අතරින් ගිලිහෙමින් තියෙන සුගති උපත රැුකගන්න ඕන. සුගතිය කිව්වට මිනිස් ලෝකෙත් නෙවෙයි. දැන් මිනිස් ලෝකේ අසත්පුරුෂ ග‍්‍රහණයට හසු වෙලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ බොහෝ පින් රැස් කරලා මාර්ග ඵලලාභී දෙවිවරු ජීවත් වෙන ඉහළ දිව්‍ය තලයකට පැන ගන්න එක. එහෙමත් නැත්නම් හොඳට මෛත‍්‍රී ධ්‍යාන වඩලා බ‍්‍රහ්ම ලෝකෙකට පැනගන්න එක. ආයෙත් මිනිස් ලෝකෙ ඉපදුණා කියල අපිට කිසි ම රැකවරණයක් ලැබෙන්නෙ නැති බව අපේ ගුරු දේවයන් වහන්සේ නිතර ම කියනවා. දැන් එ් කතාවේ ඇත්ත නැත්ත පුතාලා ම දැක්කනේ…! අපි මැරිල මිනිස් ලෝකෙ ආයෙ ඉපදුණොත්, මීටත් වඩා පිරිහුණු සමාජෙක තමයි ජීවත් වෙන්න වෙන්නේ. මේ සමාජ ජාලය ම අඳුරෙන් අඳුරට මිසක්, අඳුරෙන් එළියට යන බවක් පේන්න නෑ. මේ අපිට ලැබුණෙ මිනිස් ලෝකෙන් ඉහළ ලෝකෙකට පැනගන්න ලැබුණ අන්තිම අවස්ථාව. එ් වෙනුවෙන් අප‍්‍රමාදී වුණ අය සත්පුරුෂ ලෝකවල ඉපදිලා සතුටු වේවි. සසරෙනුත් මිදේවි. ප‍්‍රමාද වෙලා සුළු ආස්වාදයකට මුල් තැන දුන්න අය පේ‍්‍රත ලෝකවලයි, තිරිසන් ලෝකවලයි, නිරි සත්වයන් අතරයි ඉපදිලා අවුරුදු දාස් ගාණක් දුක් විඳීවි. දැන් අපි කල්පනා කරන්න ඕන සුළු සැපතයි – මහා දුකයි තෝරා ගන්නව ද, නැත්තන් සුළු සැපතේ ආදීනව දැකල මහා සැපතක් තෝර ගන්නව ද කියන බුද්ධිමත් තෝරා ගැනීම සිදු කර ගන්න එක ගැනයි. එහෙම නේ ද පුතාලා…?”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට අද නම්, වාසනාවෙන් ම පිරුණ දවසක්. උදේ ඉඳන් ම මගේ ජීවිතේට පිනත් කුසලයත් මෝරන කල්‍යාණමිත‍්‍ර වලාකුළුවලින් සද්ධර්ම වර්ෂාවක් වැටුණා වගේ. සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස. තව බොහෝ කාලයක් අපි වගේ අසරණ මිනිසුන් වෙනුවෙන් උපකාර කරන්න ස්වාමීන් වහන්සේට වාසනාව ලැබේවා….” සතුටු සිතින් යුතු ව මම උන් වහන්සේගේ පා කමල් වන්දනා කළෙමි. අනන්ත ද මා අනුව යමින් පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළේ ය. කාමයන්ගේ ආදීනවය පසක් කරගත හැකි ජීවමාන සාක්ෂියක් දෑසින් ම දැගැනීමට ලැබීම මා ලද බලවත් වාසනාවකි.

මා දුටු ඇසූ සියල්ල පැවසීම ඇතැම් විට පාඨකයා අපහසුවට පත් වීමට හේතු විය හැකි ව තිබූ නිසා, ඉන් ස්වල්පයක් පමණක් සටහන් කළෙමි. නමුත් පේ‍්‍රතයා පැවසූ තවත් බොහෝ විස්තර රාශියක් තිබේ. එ් සියල්ලේ සංක්ෂේපය මෙසේ දැක්විය හැකි ය.

කිසිදා කිසි විටෙක, එළිපිට හෝ රහසේ පවුකම් කරන්න එපා. අනුන් සමගවත්, තමා සමගවත් පාපයේ යෙදෙන්න එපා. එ් සෑම විටක ම ඔබ උපයන්නේ සතර අපායේ ජීවත් වෙන්නට ලැබෙන ආයුෂයත්, සතර අපායේ දී විඳින්නට සිදු වන දුකත්, සතර අපායේ දී ලැබෙන ශරීරයත්, සතර අපායේ දී ලැබෙන අසරණකමත් පමණි. ආස්වාදය උපන් තැන ම නැති වී යයි. ඉතිරි වන්නේ දුක්ඛස්කන්ධය පමණි. මේ උතුම් ධර්මය ජීවිතයට ඇතුල් කරගෙන අප‍්‍රමාදී ව කල්‍යාණමිත‍්‍රයන් ඇසුරේ බොහෝ කුසල් දහම් වැඞීම පිණිස ම පමණක් මේ මිනිස් දිවිය ලැබුණා යැයි සිතන්න. එවිට මේ සුගති ජීවිතය තීරණාත්මක ජීවිතයක් බවට පත්වනු ඇත. එය අපේ සසර ගමනේ දිශානතිය සම්පූර්ණයෙන් ම වෙනස් කරනු ලබයි. මේ උතුම් කල්‍යාණමිත‍්‍ර ඇසුරෙන් මා ලද අත්දැකීම් සියල්ල නුදුරු දිනක දී ම මාගේ ජීවිතය ද උඩු යටිකුරු කරනු ඇතැයි දැන් දැන් හැඟී යයි. එය එසේ වුව හොත් ඔබත් මාත් ජීවත් වන ලොවෙන් එක්තරා ආකාරයක සමුගැනීමක් සටහන් තැබීමට සිදු වනු ඇත. නමුත් එය තවත් උතුම් ගමනක ආරම්භයක් වනු නියතයි. එනිසා පිනෙන් කුසලයෙන් සමුගැනීමක් නිවන දක්වා ම සිදු නො විය යුතු ව තිබේ.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ

සඳ දෙස බලන්න.

ඇඟිල්ල දෙස නො බලන්න.

ඇඟිල්ල ගැන නො සොයන්න.

මේ ශ‍්‍රී සද්ධර්මය

ජීවමාන යි…!

එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  පොසොන් කලාපය

WWW.MAHAMEGHA.LK

මතක සටහන

ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.

SMS Only – 077 063 08 68

පොල් කටුව
තාමත් ම කාර්ය බහුල සමයක් පසු කළ මා හට පසු ගිය දින ගණනාව ම ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් සැලකිය යුතු ලෙස කාලය වැය කිරීමට නො හැකි විය. එනමුත්, සිතේ පැවති කුසලච්ඡන්දය සහ කුසල්රතිය එ් අයුරින් ම පැවතිණ. ගිහි ජීවිතය සැපයෙන් පිරී යන විටත්, විනෝදාස්වාදය බහුල වන විටත් මෙවන් දිවියකට සමු දී සංසාරයෙන් නිදහස් වන්නේ මන්දැයි සිතුණු වාර බොහෝ ය. එනමුත්, ජීවිතය පවත්වාගෙන යාම උදෙසා වෙහෙස වන විටත්, තම ප‍්‍රියයන් රෝගාතුර වන විටත්, එසේත් නැති නම්, නො නවත්වා ම ප‍්‍රියයන් අප‍්‍රිය වදනින් නිරන්තරයෙන් ම විවිධ නෝක්කාඩු කියන විටත් නිතැතින් ම ආදීනවය සිහි වේ. එමෙන් ම, තුරුණු විය තුළ විටින් විට ඉස්මතු වන ශාරීරික දුක්පීඩා මෙතරම් වෙහෙසකර නම්, යම් දිනෙක වියපත් වූ මිනිසෙකු ලෙස දිවි ගෙවීමට සිදු වන විට කුමනාකාර වධ වේදනාවන්ට මුහුණ දීමට සිදු වේ දැයි සිතාගත නො හැකි ය. මේ සියලූ සිතිවිලි මධ්‍යයේ නිස්සරණය වෙත යොමු වීමේ ශාන්තිය පිළිබඳ ව නැවත නැවත මම සිතන්නට වූයෙමි.

රැහැයි නාදයේ රාවය දසත පැතිරෙද්දී තවත් දවසක් හමාර කොට කාමරයට ඇතුල් වූයේ, අද නම් විවේකී ව භාවනාවක් වඩන්නෙමියි සිතා ය. නමුත් එ් සඳහා කලබල සිත නම් අනුබලයක් නො දේ. දැස් පියා ගත්ත ද සිත පියාගත නො හැකි ය. විවිධ වූ රූ රටා, විකාර සිතිවිලි, විකාර විතර්ක මගේ අකමැත්තෙන් ම නැවත නැවත ඉස්මතු වේ. එ් අතර නිදිමත ද හොල්මන් කරයි. භාවනාවක් සඳහා සිත සූදානම් කර ගැනීම මේ තරම් අපහසු නම්, සසරින් නිදහස් වීම කෙතරම් නම් දුෂ්කර දැයි කල්පනා වෙද්දී, මෙය නම් මා හට කළ නො හැක්කකැයි කල්පනා වීමෙන්, සිත උකටලී වී යයි. එ් සමග ම සිතට මහා බියක් පතිත වේ. පිවිතුරු බුදු සසුනක් දැක දැකත් සතර අපායෙන් නිදහස් නො වුවහොත් නම්, දේවදත්තට පමණක් දෙවැනි වන අවාසනාවක් මා කරා ද පැමිණෙනු ඇතැයි කුසල් සිත විසින් උකටලී සිතට චෝදනා කරන්නට විය. එ් නිසා ම ගත වන තප්පරය පවා කුමන හෝ කුසලයක යෙදවිය යුතු යැයි මම තීරණය කළෙමි. කාමරය පුරා දෙනෙත් යැවුවේ, කුමක් කරම්දෝ යි සිතමින් ය. කාමරයේ කොණක වූ ලියන මේසය උඩ තිබුණු පොත් කිහිපයක් යටින් වූ, කන්ද උඩ කුටියේ වැඩ සිටි පින්වත් ස්වාමීන් වහන්සේගේ සටහන් කිහිපය තැන්පත් බ‍්‍රවුන්පේපර් බෑගය ඇස ගැටුණේ මේ අතර ය.

‘‘දෙයියනේ… මේ කොළ ටික කියෙව්වෙත් නෑ.. නෙ!” ඇඳෙන් පැන මේසය අසලට ගොස් එම සටහන් මිටිය අතට ගත් මම නැවත ඇඳ මතට පැමිණ පළඟක් බැඳ හිඳ ගත්තෙමි.

මේ සටහන් සහ අත් අකුරු දකින සෑම විට ම මා හට සිහි වන්නේ එම කුටියත්, පින්වත් ස්වාමීන් වහන්සේත් ය. උන්වහන්සේව සිහිපත් කරමින් දෙවන සටහන කියවන්නට සූදානම් වුණෙමි.

සටහන 2

මෙලොව වසනා බොහෝ දෙනෙකුට දෙවැනි උපතක් තිබේ. ඇතැම් විට ඔබේ ජීවිතයේ ද නැවත ඉපදුණු අවස්ථාවක් හෝ දෙකක් තිබිය හැකි ය. මස් වැදැල්ලක් සමඟින් මව්කුසකින් ඉපදීමක් නො වුණත්, එය ද එක්තරා ආකාරයක ඉපදීමක් වේ. ඉපදීමත් සම`ගින් පැරණි තැනැත්තා මිය යන අතර අලූත් අයෙකු ජීවත් වීමට පැමිණේ.

සැබැවින් ම මම ද නැවත උපන් තැනැත්තෙකි. මා නැවත ඉපදුණේ, තථාගත ශ‍්‍රී සද්ධර්මය ශ‍්‍රවණය වී අවබෝධයෙන් ම එය සරණ යාමත් සමඟ යි. තථාගත ශ‍්‍රී සද්ධර්මය මා හට ස්වයං අවබෝධයකින් වැටහුණේ නැත. පූර්ව නිවාසානුස්සතිය තබා අඩුතරමේ සිහිනයකින්වත් ස්මරණය වූයේ නැත. ශ‍්‍රී සද්ධර්මය මා හට ශ‍්‍රවණය වූයේ සුපින්වත් ගුරු දේවයන් වහන්සේ හේතු කරගෙනයි.

සෑම අයෙකුට ම ගුරුවරයෙක් සිටියි. පාසැල් ශිෂ්‍යයාගේ සිට විවිධ කෙෂ්ත‍්‍ර සිසාරා ආධුනිකයන් ප‍්‍රවීණයන් බවට පත් කරවන්නේ ගුරුවරයෙකි. සෑම විට ම ශිෂ්‍යයා සදා කල් ගුරු ඇසුරේ රැඳෙන්නට උත්සාහ නො කරයි. ඔහු සෑම විට ම සිතන්නේ ගුරුවරයාගේ මෙහෙයවීමකින් තොර ව නිදහසේ කටයුතු කරන්නටත්, ස්වකීය විෂයෙහි ප‍්‍රවීණයෙකු ලෙස හැසිරෙන්නටත් ලැබෙන්නේ කෙදිනකදැයි කියා ය. එය මුළු මහත් ශිෂ්‍ය සංහතිය තුළ ම දක්නට ලැබෙන ගති ලක්ෂණයක් සේ පෙනේ. නමුත්, ධර්ම යාත‍්‍රාවේ දි නම් එය හාත්පසින් ම වෙනස් විය යුතු යැයි මම තදින් ම විශ්වාස කරමි. ශ‍්‍රී සද්ධර්මය මුලින් ම කියා දුන් සහ අරුත් වටහා දී මග නොමග පහදා දුන් ගුරුවරයා යාවජීව ගුරුවරයෙකි. ජීවිතාන්තය දක්වා ම උන්වහන්සේ ගුරුවරයෙකි. අරහත්වයට පත් වූ පසුත් එසේ ම යි. ගුරුවරයාට ගරු කිරීම සාමාන්‍ය සමාජයේ දී තරාතිරම මත වෙනස් වන ලකුණු පෙනෙන්නට තිබේ. ශිෂ්‍යයා ගුරුවරයාට වඩා උගත් වූ කල පෘථග්ජන සමාජයේ දී ඔහු ගුරුවරයා මහත් කොට තකන්නේ නැත. නමුත් බුදු සසුනේ දී එය ඊට හාත්පසින් ම වෙනස් ය. එක් ගාථාවකින් පමණක් ධර්මය පැවසීමට හැකියාව තිබුණු අස්සජී මහරහතන් වහන්සේ යනු ධර්ම සේනාධිපති මහා ප‍්‍රාඥ සාරිපුත්ත මහ රහතන් වහන්සේ හට මුලින් ම බුදු වදන් දෙසූ ගුරුවරයා ය. පසු කලෙක, අස්සජී මහ රහතුන්ටත් වඩා ප‍්‍රාඥයෙකු වූ අග‍්‍ර ශ‍්‍රාවක දකුණත් ශ‍්‍රාවක බවට පත් වූ සාරිපුත්ත තෙරි`දුන් විසින් කිසිදු අඩුවක් නො කොට ගුරු පූජා කළ බව මා අසා ඇත්තෙමි. දිනපතා උන්වහන්සේ වැඩ සිටින දිශාභිමුඛ ව වන්දනා කළ බව මම අසා ඇත්තෙමි. සැබැවින් ම එය ශිෂ්‍යයෙකුගේ ගුණයක් ම නො වේ ද! එවන් ගුණයක් දැකිය හැක්කේ බුදු සසුන තුළ පමණි.

මා හටත් එබඳු ගුරුවරයෙකු සිටියි. උන්වහන්සේ ඇසුරු කරගෙන පුදුමාකාර අත්දැකීම් රාශියක් ලබාගන්නට තරම් මා වාසනාවන්ත විය. එවන් සිදුවීමකට ගත වූ දෙදින තුළ දී ද මම මුහුණ දුන්නෙමි. එය මා මෙහි සටහන් තබන්නට කල්පනා කළේ මාගේ ජීවිතයේ ආකල්පමය වෙනසක් ඇති කරවීමට අදාළ සිදුවීම උපකාර වූ නිසාවෙනි.

එදින, වැසිබර දිනයක් විය. භාවනා අසපුවේ කටයුත්තක් සඳහා ට‍්‍රැක්ටරයකින් වැලි ගෙනැවිත් දමා ගොස් තිබුණේ, ඉදිකිරීම සිදු වන ස්ථානය අසලින් ම ය. එ් ස්ථානයෙන් මා ගමන් කරද්දී, අනපේක්ෂිත ලෙස ගුරුදේවයන් වහන්සේ එ් අසලින් වෙනත් කටයුත්තක් සඳහා වැඩම කරමින් සිටියහ.

‘‘නමෝ බුද්ධාය….! තෙරුවන් සරණයි ගුරු දේවයන් වහන්ස….” මම උන්වහන්සේට ආචාර කළෙමි.

‘‘නමෝ බුද්ධාය….! ආයුෂ්මතුන් විශේෂ කටයුත්තක් තියෙනව ද අද?”

‘‘විශේෂ දෙයක් නැහැ ස්වාමීනී….”

‘‘මේ බලන්න මේ වැලි ගොඩ…! මේ වැලිටික බාලා තියෙන්නේ වැස්ස වෙලාවට කන්දෙන් වතුර ගලාගෙන එන වැසිදොළක් ළඟ. දැන් අහස කළු කරගෙන එනවා. වැස්සොත් එහෙම වැලි ගොඩෙන් බාගයක් විතර පල්ලමට ගහගෙන යනවා. ශ‍්‍රද්ධාවෙන් මිනිස්සු පූජා කරපු සල්ලිනේ. ආයුෂ්මතුන්ට පුළුවන් ද මේ වැලි ගොඩ හෙමීට අන්න අර නා ගහ ළඟට ඇදල දාන්න. වීල්බැරෝ එකකුයි සවලකුයි ගත්ත නම් ලේසියි. තව කවුරු හරිත් උදව්වට ගන්න… මෙතනට ළඟ ම කුටියෙ ඉන්නේ ආයුෂ්මතුන්. එ් නිසා මේ දේවල් ගැන නිතර අවධානෙන් ඉන්න ඕන…”

‘‘එහෙමයි ස්වාමීනී. මම එ්ක කරන්නම්….”

මම බොහොම සතුටින් කටයුත්ත භාර ගත්තෙමි. සවලක් සහ වීල්බැරෝ එකක් සොයාගත් මම තනිය ම එම කටයුත්ත සිදු කරගෙන ගියෙමි. විටින් විට පැමිණි සහෝදර ස්වාමීන් වහන්සේලා කිහිපනමක්, සුළු වේලාවක් මා හට උදව් කොට නැවත තම තමන්ගේ කටයුතු සඳහා වැඩම කළ හෙයින්, වැඩි වශයෙන් ම මහන්සි වීමට සිදු වූවේ මා හට යි. තදින් ම වෙහෙස දැනෙන්නට ගත් මොහොතක, තවත් කිසිවෙකු හෝ සිටියා නම් හොඳ යැයි සිතුණත්, වෙහෙස නිවී ගිය පසු එම කටයුත්ත තනිව ම සිදුකිරීමට තරම් ශක්තියක් නැවත ජනිත වීමෙන් තවත් විනාඩි කිහිපයකට පසුත් මම එම කටයුත්තේ ම යෙදී සිටියෙමි. ඇතැම් විට මේ කටයුත්ත මා තනිය ම සිදු කළා යැයි ගුරු දේවයන් වහන්සේ මට ප‍්‍රශංසා කිරීමට ද ඉඩ තිබේ. සැබැවින් ම මම එය ද ප‍්‍රිය කළෙමි. මව්පියන් හැරදා, සියලූ බැඳීම් හැරදා පැවිදි දිවිය තෝරාගත් අයෙක් එහි දී තමාගේ රැුකවරණය යැයි සිතා සිටින ජීවමාන පුද්ගලයාගෙන් ගුණයක් අසන්නට ලැබීම ගැන අහිංසක සතුටක් ලැබීම සාධාරණ ය. එය නිවැරදි ව දරා ගැනීම හෝ නො ගැනීම තමා සතු දෙයකි. මේ සියලූ සිතිවිලි මධ්‍යයේ ඉතිරි වැලි ප‍්‍රමාණය ද ඇද දමන්නට තරම් ප‍්‍රමාණවත් කායික මානසික ශක්තියක් මා වෙත ලැබෙමින් පැවතිණ.

දහවල් දානයෙනුත් පැයක් පමණ ගතවද්දී, වැලි සියල්ල අදාළ ස්ථානයට මාරු කරන්නට මා හට හැකි විය. කටයුත්ත අවසන් වද්දී කොපමණ සතුටක් හිතට දැනේ ද… එය හඳුනන්නේ දහඩිය මුගුරු හෙළා මහන්සි වී වැඩ කරන්නන් පමණි. සියලූ කටයුතු අවසන් කොට මා කුටියට ගොස් පැන් පහසු වී පැයකින් පමණ යළි පහළට වැඩම කළේ ගිලන්පසක් සකසාගෙන වැළඳීම පිණිසයි. මාගේ කුටියේ සිට ගිලන්පස ශාලාවට වැඩම කරන මාවත වැටී තිබුණේ පෙර පරිදි ම වැලි ගොඩ තැන්පත් ව තිබූ ස්ථානය හරහා ය. එ් අසලින් වැඩම කරන විට මගේ කය සලිත වී යන දසුනකින් දිශා අනුදිශා පවා අමතක වී ගියේ ය.

‘‘මේ මොන පිස්සෙක් ද මේ මෝඩ වැඬේ කරල තියෙන්නේ..!” මට තනියම කෑ ගැස්සිණ. උදේ කාලයේ ඉතා ම වෙහෙස මහන්සි වී නුසුදුසු තැනක තිබුණු වැලි ගොඩ සුදුසු තැනකට මාරු කොට පැයක් ගතවන්නටත් පෙර, දෙවැනි වැලි ට‍්‍රැක්ටරය පැමිණ ඔහුට පරණ පුරුදු තැන ම වැලි සියල්ල බා පිටව ගොසින් ය. දැන් නැවතත් ප‍්‍රශ්නය පටන්ගත් තැන ම යි. උදේ ඇදපු වැලි ආරක්ෂිත ව නා ගස යට තිබේ. නමුත් අද සන්ධ්‍යාවේ වර්ෂාව පැමිණියහොත් එවිට ද සිදුවන්නේ ගුරු දේවයන් වහන්සේ පැවසූ දෙය ම යි. මේ වැලි ගොඩ මෙහි තිබිය දී කටයුත්ත අවසන් බව උන්වහන්සේට දැන්වීමට ද නො හැකි ය. මේ වැලි ගොඩ දෙස නො බලා නො දැක්කා සේ යාම ද මා හට කළ නො හැකි ය. රාත‍්‍රී කාලයේ වර්ෂාවෙන් පසු වැලි ගොඩ හරහා ජලය ගලා ගොස් වැලි පල්ලමට විසිරී ගියහොත් එය මා හට ද දුකක් වේ.

‘‘දැන් ගිලන්පස වළඳ වළඳ ඉඳල බෑ. මේ වැලි ගොඩත් මෙතනින් මාරු කරන්න ඕන. ඊට කලින් විශේෂ දෙයක් තියෙනව කරන්න…” මම මට ම කියා ගත්තෙමි.

මඳක් නුදුරින් ගමන් කළේ, විජේ මාමා ය. ඔහු භාවනා අසපුවේ මේසන් වැඩ සිදු කරමින් මෙහි ම නැවතී සිටියි. යම් සුළු වැටුපකින් පමණක් සෑහෙන ඔහු විටින් විට පින් කටයුතුවල ද නිරත වේ.

‘‘විජේ මාමා…! විජේ මාමේ…!!”

‘‘ආහ්… ස්වාමීන් වහන්ස… කියන්න…”

‘‘අර වැලි ට‍්‍රැක්ටරේට පණිවිඩයක් තියන්න ඊ ළඟ වතාවෙ වැලි බානකොට වැලි ගොඩගහල තියෙන තැනින් ම බාන්න කියල. කලින් දෙවතාවේ බාපු තැන බාන්න එපා කියන්න….”

‘‘හා හොඳයි ස්වාමීන් වහන්ස…” දුර සිට ම පිළිතුරු දී ඔහු පිටව ගියේ ය. මා හට මඳ සතුටක් දැණුනේ, එ් ප‍්‍රශ්නය හොඳින් විසඳාගත් නිසාවෙනි.

තවත් පැයක් දෙකක් ගත වී ගියේ ය. ඉතාමත් ම වෙහෙස මහන්සි වී මම වැලි අදිමින් සිටියෙමි. සවස් කාලයේ නම්, පැවිදි අපේක්ෂක දරුවන් කිහිප දෙනෙකුගේ උපකාරය මා වෙත ලැබුණි. එ් නිසා කටයුත්ත තවත් පහසු විය. එමෙන් ම ස්වාමීන් වහන්සේලා කිහිපනමකගේ ද උපකාරය මා වෙත ලැබුණි. සන්ධ්‍යාවේ 4 පමණ වන විට දෙවැනි වැලි ගොඩ ද නා ගස යටට ම ඇද දමන්නට මා හට හැකි විය.

එදින රාත‍්‍රියේ කුටියට වැඩම කරන විට, මුළු ශරීරය පුරා ම වෙහෙසක් පැතිර ගොස් තිබිණි. නැවත වරක් ස්නානය කළ මම කුටියේ වූ ඇඳ මත මඳක් සැතපුණෙමි. සුළු මොහොතකින්, අහස ගුගුරවන හඬ ඇසෙන්නට විය. මඳ වැස්සක් ඇද වැටෙන බව කුටියට පිටතින් ඇසෙන ශබ්දයේ තරමින් මම වටහා ගත්තෙමි.

‘‘වැස්ස තද වුණත් මොකෝ… දැන් වැලි ටික ආරක්ෂිතයි නේ…” මම මට ම කියා ගත්තෙමි.

දෙපැයක් පමණ සුවසේ ම මා හට නින්ද ගියේ ය. එ් සුව නින්ද බිඳී ගියේ සිහිනයෙන් මෙන් අහස ගුගුරන්නාක් වැනි මහා ශබ්දයක් සමඟින් ට‍්‍රැක්ටරයක ශබ්දය ශ‍්‍රවණය වීමෙනි.

‘‘හීනෙන් ද….” දැස් විවෘත කළ මම පරිසරයට කන් දුන්නෙමි. ‘සිහිනයක් නෙවෙයි. මේ තාම ඇහෙන්නෙ ට‍්‍රැක්ටරේ සද්දේ. හරි මට මතකයි හෙට කොන්ක‍්‍රීට් තට්ටුව දාන බවක් කිව්වා. එ් නිසා අද ? ම ඉතිරි වැලි ටිකත් ගේන්න ඇති. කමක් නැහැ බය වෙන්න දෙයක් නැහැ. විජේ මාමා වැඩ අමතක කරන කෙනෙක් නෙවෙයිනේ. තුන් වෙනි වැලි ට‍්‍රැක්ටරේ නම් නා ගහ යට තමයි.’

සිතිවිල්ලේ වෙළී සිටිය දී ම මා හට නැවත නින්ද ගියේ ය. අලූයම 2.45ට පමණ නින්ද බිඳී ගියේ ධාරානිපාත වර්ෂාවේ ශබ්දයෙනි. අහස ගුගුරුවාගෙන අකුණු සර මධ්‍යයේ මහ වැසි ඇද හැළේ. වැසි දොළ දිගේ ජලය ගලා යන සැටිත්, වැලි ගොඩ ආරක්ෂා වී ඇති සැටිත් මා හට මැවි මැවී පෙනේ. මෙසේ වර්ෂාව ඇද හැළුනොත් නම් හෙට කොන්ක‍්‍රීට් තට්ටුව දැමිය නො හැකි විය හැකි ය. එහෙත් ගැටලූවක් නැත. වැලි ටික පරිස්සම් නම්, අනිද්දා වුව එය සිදුකළ හැකි නොවැ.

‘‘එම්බා වලාවෙනි. කැමතිතාක් වැසි වස්සනු මැන…!” තාලෙට කියූ මම නැවත සැතපුණෙමි.

හිමිදිරිය උදාවිය. වර්ෂාව අවසන් ව අහස්කුස පෑදී තිබිණ. පාත‍්‍රය ද රැුගෙන පහළට ගමන් කළේ, වැලි ගොඩත් බලාගෙන යන අරමුණෙන් ය.

කුටියේ සිට පෙත් මඟ දක්වා වූ පඩි බැස අවසන් වූ පසු, දුර සිට ම නා ගස දර්ශනය වේ. නමුත් එ් අසල යම් වෙනසක් වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. ගමන් වේගය මඳක් වැඩි කොට එ් අසලට ළඟා වුණෙමි.

‘‘විනාශයි…. විනාශයි….” මට කෑ ගැස්සිණ.

නා ගස යට තිබූ වැලි ගොඩෙන් විශාල ප‍්‍රමාණයක් පල්ලමට සෝදාගෙන ගොස් ය. සැණින් මා කලින් වැලි දමා තිබූ ස්ථානය දෙස බැලූවෙමි. අහෝ… ඛේදයකි..! එ් පැරණි ස්ථානය මත මෙවර කොන්ක‍්‍රීට් දැමීමට භාවිත කරන කුඩා ප‍්‍රමාණයේ කලූ ගල් ගොඩකි. රාත‍්‍රී 9ට පමණ ගෙනැවිත් දමා ඇත්තේ කලූ ගල් ගොඩ යි. මහවැසි ඇද වැටෙන විට කන්ද හරහා ඇදී එන ජල ධාරාව කලූ ගල් ගොඩේ වැදී දිශාව වෙනස් වී නා ගස අසලින් ඇදී ගොස් පල්ලමට ගලා ගොස් තිබෙන බව මම හොඳාකාරව ම දැක්කෙමි. මේ වන විටත් කුඩා ජල ධාරාවක් එ් ආකාරයෙන් ම ගමන් කරමින් තිබේ. මගේ මහන්සිය වතුරේ නො වේ දැයි මට ම සිතිණ. ගල් ගොඩ සම්බන්ධයෙන් විජේ මාමා ද වගකීමෙන් නිදහස් බව මම පසු ව තේරුම් ගත්තෙමි. වැලි ලැබෙන්නේත්, ගල් ලැබෙන්නේත් ස්ථාන දෙකකින් සහ වාහන දෙකකින් බැවින් දෙවැනි රියදුරාට සන්ධ්‍යාවේ පණිවුඩය නො ලැබී තිබුණු බව ද මම පසුව දැනගත්තෙමි.

අවසානයේ සියල්ල සිදු වූයේ මට යැයි සිතේ. දැන් ගුරුදේවයන් වහන්සේගේ සිතට දුකක් ඇති නො වීම පිණිස මා හට කළ හැකි දෙයක් ඉතිරි ව නොමැත. සියල්ල අවාසනාවන්ත ලෙස අවසාන වී ඇත.

හීල දානය වැළඳීම ද පසෙක තබා නා ගස අසල වූ ගලක් මත හිඳ ගත්තේ ශෝකයෙන් බර වූ සිතට එය ද අස්වැසිල්ලක් බැවිනි.

‘‘ආයුෂ්මතුන්.. දානෙ වැළඳුවෙ නැද්ද…?” තිගැස්සී වට පිට බලන විට ගුරු දේවයන් වහන්සේ මා අසලට ම පැමිණ සිටි බව දැකගත්තෙමි. මම එසැණින් ම නැගී සිට උන්වහන්සේට වන්දනා කොට එකත්පස් ව සිට ගත්තෙමි.

‘‘ඊයෙ මගෙ මහන්සිය සම්පුර්ණයෙන් ම වතුරෙ ස්වාමීනී. මට වැලි ගොඩ බේරගන්න බැරිවුණා…” ඉතා ම අපහසුවෙන් වචන ගළපාගෙන මම පැවසුවෙමි. මගේ ප‍්‍රකාශයෙන් පසුව සැහැල්ලූ සිතකින් වැලි ගොඩ දෙසත්, ගල් ගොඩ දෙසත් බැලූ උන්වහන්සේ, මඳ සිනහවක් පා මීට මොහොතකට පෙර මා හිඳගෙන සිටි නා ගස යට වූ ගල මතින් හිඳගත්හ. මම උන්වහන්සේ අබියසින් එකත්පස්ව තවත් කුඩා ප‍්‍රමාණයේ ගලක් මත හිඳගත්තෙමි.

‘‘ආයුෂ්මතුන්…, මම පොඩි කතාවක් කියන්නම්. ලොකු වාහන යන මහා මාර්ගයක් මැද හොඳට ම වැස්ස වෙලාවක පුංචි සතෙක් ඉන්නවා. එතනට එනව මනුෂ්‍යයෙක්. එයා දන්නෙ නැහැ එ්ක මාර්ගයක් කියල. මොකද එ් වෙනකම් වාහනයක් ආවෙ නැති නිසා. ඉතින් එ් පුද්ගලයා මේ සතාව දකිනවා. ඌව වර්ෂාවෙන් බේරගන්න කියල හිතාගෙන, ඌව පොල් කටුවකින් වැහුවොත් ඇත්තට ම එ් සතා අනතුරෙන් නිදහස් ද…?”

‘‘කිසිසේත් ම නැහැ ස්වාමීන් වහන්ස. එයා එ්ක මහ පාරක් කියල දැනගත්තත් නැතත්, පොල්කට්ටෙන් වැහුව කියල අනතුරෙන් ගැලවෙන්නෙ නැහැ. මහ දැවැන්ත වාහනයක් ආවොත් පොල්කටුවත් එක්ක ම පුංචි සතා විනාශ වෙලා යනවා….”

‘‘එ්ක මහ පාරක් කියල දැනගත්ත නම්, මහ පාරෙ අනතුර තේරුම් ගත්ත නම්, ඔහු මොකක් ද කරන්නේ…?”

‘‘පොල්කටුවකින් වහන්න නම් හිතන්නෙවත් නැහැ ස්වාමීන් වහන්ස. ඉක්මනින් මහ පාරෙන් ඉවත් කරල වනයට යොමු කරනවා. වනය තුළ නො තෙමෙන තැනකට සතාට යන්න සලස්වනවා..” මම හනික පිළිතුරු දුන්නෙමි. ගුරු දේවයන් වහන්සේට සිනහ පහළ විය.

‘‘ආයුෂ්මතුන්, තවමත් පොල්කටුවෙන් වහන්න හදනවනේ….?”

‘‘මම…? නෑ ස්වාමීනී. මම කිව්වෙ පොල්කටුවෙන් වහන්නෙ නැතුව මහ පාරෙන් ඉවත් කරන්න කියලනේ…!”

‘‘කෙනෙක් පොල් කටුවෙන් වහන්නේ එ්ක මහ පාරක් කියල නො දන්න නිසානෙ. එ් කියන්නෙ අනතුර ගැන නොදැනුම්වත්කම නිසයි. එ් වගේ ම තමයි, මහ පාරෙන් ඉවත් කළා කියල පුංචි සතා අනතුරෙන් අත්මිදිල නැහැ නේ ද? වනයෙ ඉන්න ලොකු සතෙක් වුණත් ඌව ආහාරයට ගන්න පුළුවන්. ඉතින්, නැවතත් කළේ පොල්කට්ටකින් වැහුව වගේ පටු විසඳුමක් ලබා දුන්න එක නේ ද…?”

‘‘එහෙමයි ස්වාමීනී. එහෙම බැලූවොත් නම් එ් කතාවත් ඇත්ත තමා…”

‘‘ඔව් ආයුෂ්මතුන්. පුංචි සතා ව බේරගන්න ඕන කියන හැඟීම පටු නම්, මහ පාරෙන් විතරක් බේරගත්ත ම ඇති කැලේට ගියාම මොකක් වුණත් කමක් නැහැ කියල හිතෙන්න පුළුවන්. නමුත්, එ් හැඟීම ඊට වඩා පුළුල් නම්, පැතිරී ගිය සිතිවිල්ලක් නම්, එ් සතා ව බේරගන්න පුළුවන් හැම දේ ම ගැන කල්පනා කරන්න ආයුෂ්මතුන්ට හිතෙනවා. එහෙම නේ ද…?”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. එහෙම නම්, මම එ් සතාව කැලේ තියන්නෙ නැහැ. මම එ් සතාව මගෙ ළඟ ම තියාගන්නවා. මම එ් සතාට හොඳ නිදහසකුත් ලැබෙන විදියේ ආරක්ෂිත පරිසරයක් හදල දීල, කිසිම සතෙක්ට ළං වෙන්න බැරිවෙන්න ආරක්ෂා කරනවා. හොඳට කන්න බොන්න දෙනවා. මම එ් සතාව පරිස්සම් කරනවා…”

‘‘ආයුෂ්මතුන් තවමත් පොල්කටුවෙන් වහන්න හදනවනේ…?” ගුරු දේවයන් වහන්සේට මෙවර නම් පෙරටත් වඩා සිනහ පහළ විය. මගේ කය ගල් ගැසී ගියාක් මෙන් නිසොල්මන් විය. පළමු වතාවටත් වඩා, වඩාත් කල්පනාකාරී ලෙස පිළිතුරු දුන් මා හට මෙවර වැරදී ගියේ කොහි ද? මම නැවත නැවත සිහි කළෙමි.

‘‘මම වැරදි ද ස්වාමීනී…?”

‘‘තවමත් ආයුෂ්මතුන් අනතුර ගැන සිතන විදිය පටුයි. පුළුල් වෙලා නැහැ. ඔය කීව විදියෙන් සෑහෙන්න දුරට සතුරු ප‍්‍රහාරයන්ගෙන් නම් බේරගන්න පුළුවන් තමයි. එ්ත් එ් පුංචි සතා තවමන් අනාරක්ෂිතයි. බලන්න, යම් විදියකින් භූමිකම්පාවක් වෙලා හැම දේම විනාශ වුණොත් එ් සතාගේ ආරක්ෂිත කූඩුවත් විනාශ වෙලා යනවා. එ් විතරක් නෙවෙයි, මේ කූඩුව ඇතුළෙ දී ම ලෙඩක් දුකක් හැදිල හරි මේ සතා මිය යන්න පුළුවන්. ලෙඩක් දුකක් හැදුණම බෙහෙත් කරල සුවපත් කර ගත්තත්, වයසට ගිහින් හරි මැරෙන්න පුළුවන්. මේ සතා ජරා මරණවලින් ගැලවිලා නැති තාක් කල් ආයුෂ්මතුන් සතාව බේරගන්න හදන සෑම උපක‍්‍රමයක් ම පොල්කටුවකින් වැසීමක් ම තමයි. දැන් ආයුෂ්මතුන් මොකද කරන්නේ…? තවත් සිත පුළුල් කරල අප‍්‍රමාණ ලෙස පතුරවන්න දක්ෂ වුණොත් මේ අනතුරෙනුත් ගලවගන්න හිතනව නේ ද?”

මගේ සිත ප‍්‍රීතියෙන් පිනා ගියේ ය. වැලි ගොඬේ දුක සදහට ම අමතක විය. කෙනෙකු වෙත දක්වන කරුණාව මෛත‍්‍රිය අනන්ත අප‍්‍රමාණ ලෙස පතුරවන ආකාරය මගෙ කන් දෙකට අද ශ‍්‍රවණය විය. අහෝ අපේ සිත කොයිතරම් නම් පටු ද! ප‍්‍රධාන අනතුර ප‍්‍රඥාවෙන් නො දැක අන් අයගේත්, තමාගේත් ආරක්ෂාව උදෙසා තාවකාලික විසඳුම් දෙමින් කොයි තරම් නම් වෙහෙසක් ගන්නේ ද!! නමුත් ගැටලූව තවමත් එලෙසින් ම පවතියි. සත්‍ය වූ ධර්මයක් ඉස්මතු කර දීමෙන් උපන් මහත් වූ ප‍්‍රීතියකින් මම උන්වහන්සේට වැඳ වැටුණෙමි.

‘‘සාදු සාදු ගුරුදේවයන් වහන්ස…! ස්වාමීන් වහන්සේ මහ පුදුම දෙයක් මේ කියල දුන්නේ. ඇත්තෙන් ම කෙනෙක්ගේ සිත පටු වුණා ම පොල්කටුව යටත් ආරක්ෂිතයි කියල තමයි හිතෙන්නේ. එ්ත් කෙනෙක්ගෙ සිත එ් පටු බවින් මිදුන ම, ජරා මරණ දුක දක්වා ම අනතුර පැතිරී තියෙන බව තේරෙන්න පටන් ගන්නවා කියල මම දැන් ඉගෙන ගත්තා…”

‘‘ආයුෂ්මතුන් මේ වැලි ඇදීමේ වත පිළිබඳවත් හිතුවෙ පටු සිතකින්. දැන් බලන්න දෙවිවරුන්ට පේනවා මෙතනට තවත් වැලි ට‍්‍රැක්ටරයක් ගේන්න සූදානම් වෙන බව. එ් වගේ ම ගල් ට‍්‍රැක්ටරයකුත් අපි ඇණවුම් කළ බව. ඉතින් මෙතන මොකද්ද වෙන්න යන්නෙ කියල එයාලා දන්නවා. එතකොට එ් සිත්වලට ආයුෂ්මතුන්ගෙ මහන්සිය මහ පාර මැද ඉන්න පුංචි සතෙක් ව පොල්කටුවකින් වහන්න හදනව වගේ තමයි පේන්නේ. දෙවිවරුන්ගෙ වගේ අපේ සිත පළල් වුණා නම් ආයුෂ්මතුන් වැලි අදින්න පෙර කරන්නේ වැලි ගල් ඇණවුම් කරන කෙනාට කතා කරන එක නේ ද?”

‘‘එහෙමයි ස්වාමීනී…!”

‘‘මේක ආයුෂ්මතුන්ට ලැබුණු පාඩමක්. යම් වතක් පිළිවෙතක් කරන කොට කවුරුත් එ් වත පිළිවෙත අවසන් වෙලා තියෙනව දකින්න කැමතියි. එ් වෙලාවට තමන්ගෙ හිත හරි තමන්ට ප‍්‍රශංසා කරනවා. ගුරුවරයාගෙන් හරි ප‍්‍රශංසා ලැබෙනවා. බාහිර ලෝකෙන් හරි ප‍්‍රශංසා ලැබෙනවා. එහෙමත් නැත්නම්, තමන්ට ලාභයක්, සැපයක් කීර්තියක් උපදිනවා. සමහර වෙලාවට තමන්ට මෙලොව වශයෙන් කිසි ම දෙයක් ඉපදුණේ නැතත්, ලෝකයාට හරි යහපතක් වෙනවා. බාහිර ලෝකයට හෝ එයින් ලාභයක්, ප‍්‍රශංසාවක්, සැපයක්, කීර්තියක් ලැබෙනවා. මේ හැම දේම නිසා තමයි වත පිළිවෙත කෙරෙහි වුණත් බැඳීමක් උපදින්නේ.

ඉතින් ආයුෂ්මතුන් තමන් කරන වත පිළිවෙතවත්, එයින් ලැබෙන ප‍්‍රතිඵලයවත්, උපදින සතුටවත් නිත්‍යයි කියල හිතල සෑහීමකට පත්වෙන්න එපා. මොකද ජරා මරණවලින් නිදහස් වෙනකම් ම අපි ගන්න හැම පියවරක් ම පොල්කටුවකින් වැහුව වගේ පටු විසඳුම්වලින් පිරිල තියෙන්නෙ. අපිවත් නො සිතූ විරූ ක‍්‍රමයකින් එ් ප‍්‍රතිඵලත්, සතුටත් නැත්තට ම නැති වෙලා යන්න පුළුවන්. එ් නිසා වතක් පිළිවෙතක් කරන කොට පවා එ් ගැන තේරුම් අරගෙන ම පටන් ගන්න පුළුවන් නම් හොඳයි. බලන්න රැුකී රක්ෂා කරන අය පවා, ගොවිතැන් කටයුතු කරන අය පවා වෙහෙස මහන්සි වෙලා කටයුතු කරනවා. අවසානයේ නො සිතූ විරූ විපත්තියක් නිසා සියල්ල විනාශ කරගෙන දුකට පත්වෙනවා. ඇතැම් අය දිවි නසාගන්නවා. මේ නිසා සෑම විට ම තමන්ටත්, අනිත් අයටත් සෙතක් ශාන්තියක් ම වේවා කියන අදහසින් මෛත‍්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා පෙරදැරි කරගෙනයි වතක් පිළිවෙතක්, වැඩක් රාජකාරියක් කරන්න ඕන. ඉතින් යම් විදියකින් එය ජාති ජරා ව්‍යාධි මරණ අප‍්‍රිය සම්ප‍්‍රයෝග ප‍්‍රිය විප‍්‍රයෝග හෝ වෙනයම් කිසි ආපදාවකට මුහුණ දී අනිත්‍ය ධර්මතාවය යටතේ වැනසී ගියොත්, කල් ඇතුව ම උපේක්ෂාව පෙරදැරි වී තිබුණ නිසා අපිට කිසි ම දුකක් හට ගන්නේ නෑ. එ් නිසා මේ සිත විරාගී, මෛත‍්‍රී සහගත අවබෝධයකින් යුතු ලෙස මුළු මහත් ලෝක ධාතුව පුරා ම පතුරවා මෛත‍්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා දී සිතිවිලිවලින් යුතු ව වාසය කරන්න ඕන. එහෙම නේ ද ආයුෂ්මතුන්..?”

‘‘එහෙමයි ස්වාමීනී… මට කර ගන්න බැරිවුණෙත් එ්ක ම යි. මේක මට හොඳ පාඩමක්…”

‘‘දුක්ඛාර්ය සත්‍ය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළල් වුණ, පැතිරුණ සිතකට ගෝචර වෙන සත්‍යයක්. එ් තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන දුක්ඛ ධර්මතාවය සත්වයාට උරුම වී තිබෙන බව මතක් වෙනවා. එ් දක්වා තියෙන දුක්වලට සත්වයා දෙන විස`දුම් සියල්ල ම ස්ථිර විසඳුම් නො වෙයි. තාවකාලික විසඳුම් රැුසක් පමණයි…’’

‘‘මෙහෙම බලද්දි මගේ මුළු ජීවිතේ ම මට පේන්නේ පොල් කටු ගොඩක් වගේනේ ස්වාමීනී…! කිසි ම ස්ථිර විසඳුමක් ලැබිල නැහැ. ජරා මරණ අනතුර තවමත් තියනවා. නැවත ඉපදුණොත් ආයෙත් එ් අනතුර තියෙනවා.”

‘‘සමහරු ප‍්‍රශ්නවලින් පැනයන්න සිය දිවි නසා ගන්නවා. ජරා මරණ අනතුර තියෙනකම් සියදිවි නසා ගන්නවා කියන්නෙත් තවත් පොල්කටුවකින් වහනවා කියන එක ම තමයි. එ් කෙනා ආයෙත් සංසාරෙට වැටිල නැවත ඉපදිලා නැවත දුකට මුහුණ දෙන්න වෙනවා. එ් නිසා ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක්ඛ ධර්මතාවයන්ගෙන් ගැලවෙන්න පුළුවන් දේ සාක්ෂාත් කිරීම පිණිසත්, එ් රැුකවරණය අන් අයට ලබා දීම පිණිසත්… සිත පළල් කර ගන්න ඕන. එ් ප‍්‍රශ්නත් එක්ක බලද්දි මේ වැලි කැට ටිකක ප‍්‍රශ්නයත් ප‍්‍රශ්නයක් ද ආයුෂ්මතුන්…?”

‘‘අනේ… එහෙමයි ස්වාමීනී. ගුරු දේවයන් වහන්සේට බොහොමත් ම පින්. මගේ සිතට ලොකු සහනයක් දැනෙනවා. මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙයි මේ සිතන්න කියා දුන්න ආකාරයෙන් ම…” මම උන්වහන්සේට වන්දනා කළෙමි. මා හට සෙත් පැතූ උන්වහන්සේ සීමා මාලකය ඉදිකරන පෙදෙසට වැඩම කළහ. මම තවත් සුළු මොහොතක් හෝ එහි නො සිට, කුටියට වැඩියෙමි.

සැබැවින් ම, බුදුරජාණන් වහන්සේ නොමැති යුගයේ ඉපදුණු අප හට බුදුරජුන්ගේ දහම නිවැරදි ව ඉස්මතු කර දෙන මෙවන් ගුරුවරුන්ගේ ලැබීම මොනතරම් නම් වාසනාවක් ද! ශිෂ්‍යයෙකුට ගුරුවරයෙක් අවශ්‍ය වන්නේ ඔහුට සියල්ල තනි ව සිතාගත නො හැකි නිසා ය. ගුරුවරයා එ් සියල්ල වෙනුවෙන් ශිෂ්‍යයාට උපකාර කරයි. එමෙන් ම එ් සත්පුරුෂ ගුරුවරයා ශිෂ්‍යයාගෙන් අපේක්ෂා කරන්නේ ඔහු සාර්ථක ලෙස අභියෝග ජයගෙන සතුට උපදවාගනු දැකීම පමණි. එ් හැර, වෙනත් කිසිදු ලාභ සත්කාරයක් නො වේ. එ් නිසා ම මම වාසනාවන්තයෙක්මි. මට ද සත්පුරුෂ වූ ගුරුවරයෙක් ලැබුණි. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා…!

සාදු..! සාදු..!! සාදු..!!!

දෙවන සටහන කියවා නිම කළ මම තෙත් වූ කම්මුල් පිසදමා සැනසුම් සුසුමක් හෙලූවෙමි. කන්ද උඩ කුටියේ වැඩ සිටි පින්වත් ස්වාමීන් වහන්සේ බිහි වූයේ අහඹු ලෙස නො වේ. සත්පුරුෂ ගුරුවරයෙකු නිසා ය. උන්වහන්සේ හමු වූ මොහොතේ දී මා උන්වහන්සේ පසු පස යාමට ඉල්ලා සිටිය දී, එය ප‍්‍රතික්ෂේප කරමින් එදා පැවසූ වදන කොයි තරම් නම් සත්‍යයක් දැයි මා හට මැනවින් පසක් වී යයි. ඉතාමත් ම පහසුවෙන් කෙනෙක් තමා අසල රඳවා ගැනීමට හැකි ව තිබිය දී, එසේ නො කොට මා ගුරු ඇසුරට යොමු කළ උන්වහන්සේ සැබවින් ම මට යහපතක් සිදු කළ කල්‍යාණමිත‍්‍රයෙකි. පැන් පොකුණ නො පෙන්වා දෝතින් ගත් පැන් පොදකින් මගේ පිපාසය නිවා දැම්මා නම්, මම කිසි දිනෙක පැන් පොකුණ සොයා නො යනු ඇත. සදාකල් ම දෝතින් පමණක් පැන් දෙන තැනැත්තාගේ වහලෙකු වනු ඇත. පැන් සොයා උන්වහන්සේ පසු පස ම යනු ඇත. නමුත් උන්වහන්සේ පැන් පොකුණ පෙන්වා දී නික්ම ගියහ. මුළුමහත් ලෝකයේ ම පෙනෙන්නේ තමා පසු පස සියල්ලෝ ම ගෙන්වාගන්නා ව්‍යාපාරයන් ය. එ් අතරේ මෙවන් සිදුවීම් දැකිය හැක්කේ සැබෑ බුදු සසුන තුළ පමණකි. ඉතින් මෙය අප ලත් ලාභයක් නො වේ ද? අහෝ… සැදැහැවතුනි, සුලද්ධ ලාභයකි මෙය…! ඇසුර පමණක් නො ව දැකීම පවා වාසනාවක් බවට පත් වන කල්‍යාණමිත‍්‍රයන් නම් කිසිවකට නො බැඳෙන මුන් වහන්සේලා ම නො වේ ද!!!

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ

සඳ දෙස බලන්න.

ඇඟිල්ල දෙස නො බලන්න.

ඇඟිල්ල ගැන නො සොයන්න.

මේ ශ‍්‍රී සද්ධර්මය

ජීවමාන යි…!

එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  නිකිණි කලාපය

WWW.MAHAMEGHA.LK

මතක සටහන

ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.

SMS Only – 077 063 08 68