විශේෂාංග | Mahamegha Magazine

ශ්‍රේෂ්ඨත්වයට පැමිණි දේ
මැයි – සැප්තැම්බර් යන මාස අතර කාලයේ දී නිරිතදිග මෝසම් වර්ෂාවෙනුත්, දෙසැම්බර් – පෙබරවාරි යන මාස අතර කාලයේ දී ඊශානදිග මෝසම් වර්ෂාවෙනුත් වගේ ම අන්තර් මෝසම් වර්ෂාවන්ගෙනුත් වසර පුරා ම අප රටේ ජල පෝෂක ප්‍රදේශයන් බොහෝසෙයින් පෝෂණය වනවා. ‘වැස්ස’ කියන්නේ ඇතැම් උදවිය බොහොම කැමැත්තෙන් අපේක්ෂා කරන්නක්. හැබැයි, බොහෝ වෙලාවට බොහෝ දෙනෙකුට ‘වැස්ස’ සම්බන්ධයෙන් තියෙන්නේ කරදරකාරී හැඟීමක්…

වැස්සෙත් දෙපැත්තක්…

වියළි පොළෝතලය තෙතබරිත කරවන, ගස්වැල්වලට අලුත් පණක් උපදවන, මල් පිපෙන්න – ඵල දරන්න නීලහරිත තුරු මුදුනකට ආශීර්වාද සලසන වැස්ස ඒ පර්යායෙන් නම් ස්වභාවධර්මයේ අපූරු තිළිණයක්. තෙතබරිත බව උහුලන්නට බැරි ම තැන දී කඳු පිටින් නාය යන, මහා ගංවතුර ගලාවිත් ගේදොර ජනපද යට කරලන, උන්හිටි තැන් පැහැර ගනු ලබන, ජීවිත හානි පවා පමුණුවන වැස්ස ඒ පර්යායෙන් නම් බොහෝ පීඩා උපදවන්නක්.

දුක – සැප මිශ්‍ර කාම ලෝකයක ඉපදිලා ජීවිත යාත්‍රාව පවත්වාගෙන යද්දී බොහෝ දේවල් සම්බන්ධයෙන් අපට මේ හොඳ – නරක කියන දෙපැත්ත ම අත්විඳින්න වෙනවා…

දෙවිවරුන්ගේ පැන විමසුමක්…

කොහොම නමුත් මේ සටහනට නම් මේ දිනවල ඇදහැළෙන වැස්ස අපූරු නිමිත්තක් වුණා. එක්තරා දෙවියෙක් එක් අවස්ථාවක දී “පහතට වැටෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?” කියා විමසූ අයුරුත්, “පහතට වැටෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ වැස්ස ය.” කියා තව දෙවියෙක් පිළිතුරු දුන් අයුරුත්, ඒ මොහොතේ දී සියල්ල දන්නා – සියල්ල දක්නා අපමණ බුදු නුවණ ඇති අපගේ ශාස්තෘන් වහන්සේ, “පහතට වැටෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ අවිද්‍යාව ය.”

කියා ගම්භීර ධර්මයක් වදාළ අයුරුත් පෙළදහමේ දැක්වෙනවා… ඔව්… එක්තරා දෙවියෙකුගේ සිතේ, ලෝකයේ ‘ශ්‍රේෂ්ඨ වන දේවල්’ පිළිබඳ කුකුසක් උපන්නා. භාග්‍යවතුන් වහන්සේ හමුවේ ඒ දෙවියා සතරපද ගාථාවක් පවසමින් පැන සතරක් විමසුවා. ඒ මොහොතේ තව දෙවියෙක් ඔහුගේ දැනුම පරිදි ඒ පැන සතරට සතරපද ගාථාවකින් පිළිතුරු දුන්නා. මේ දෙවිවරුන් දෙදෙනාගේ ගාථාවන් අවසන අපගේ භාග්‍යවතුන් වහන්සේ සකල ලෝක ධාතුව ම අවබෝධ කළ මහා නුවණින් යුතුව දෙව්මිනිස් ලෝකයාට ‘ශ්‍රේෂ්ඨතම දේවල්’ ගැන දේශනා කොට වදාළා.

උඩට නැගෙන දේ අතර ශ්‍රේෂ්ඨතම දේ…!

දෙවියාගේ මේ පළමු පැනයට භාග්‍යවතුන් වහන්සේ වදාළේ “උඩට නැගෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ අවබෝධ ඤාණය ය.” යනුවෙනුයි…

අහෝ එය නම් අසිරියක් ම යි…! දුගඳ හමනා කුෂ්ටයකින් පීඩා විඳිමින්, දෑත් පා යදිනා නීච දිවිපෙවතකින් යුතුව සිටි ඒ සුප්පබුද්ධ… ‘පිරිස් එක්රැස්ව සිටින නිසා කනබොන දේවල් ලැබෙන තැනක් විය යුතු යැ’ යි සිතා එකතු වූයේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මස්වරයෙන් දහම් දෙසනු අසමින් සිටි පිරිසකටයි. ඒ මනුලොව ඔහුගේ අවසන් දවස. කෑමක් බීමක් නොලද්දේමුත්, ‘මමත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්මයට සවන් දෙනවා.’ කියා එහි වාඩි වුණු සුප්පබුද්ධට ඒ සිටි තැන දී ම ‘හේතූන්ගෙන් සකස් වූ යම් දෙයක් ඇත්නම්, ඒ හැම දෙයක් ම හේතු නැති වීමෙන් නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි’ කියන කෙලෙස් රහිත, අවිද්‍යා මලකඩ රහිත දහම් ඇස පහළ වුණා. ඒ දම්සභාවේ ම උපාසක භාවයේ පිළිණ දී නැගිට ආ සුප්පබුද්ධ ගව දෙනක් ඇනීමෙන් මරණයට පත්ව දෙව්ලොව උපන්නා. නැවත කිසි දිනක සතර අපායට නොවැටෙන ශ්‍රේෂ්ඨත්වයට ඔහු පැමිණවූයේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන තුන ප්‍රහාණය කරලූ අවබෝධ ඤාණය යි…!

ඉදින්…, තමනට පූර්වබ්‍රහ්ම වූ – ‘අනාථපිණ්ඩික’ නමින් ප්‍රකට තම පියාණන් ධර්මයේ වඩාත් උත්සාහවත් කරලනු පිණිස ස්වකීය මරණ මංචකයේ දී ඔහුට “මල්ලී” කියා ඇමතූ සුමනා සිටු දියණිය කාමරාග, පටිඝ යන සංයෝජනයන් ද අතිශයින් තුනී වූ, පිළිසිඳ ගැනීම් වශයෙන් යළි එක් වරක් පමණක් ම මනුලොවට පැමිණ සියලු දුකින් නිදහස් වන සකදාගාමී ඵලයෙන් යුතු වුණා.

පණපිටින් ගිනි තබා දිවි තොර කරලනු ලැබූ සාමාවතී රජබිසව යළි කිසිකලෙකත් කාමලෝකයක නූපදිනා අනාගාමී ඵලයෙන් යුතු වීමෙන් බඹලොව උපන්නා.

දහසකටත් වඩා මිනිසුන් මැරූ, එක් මිනිසෙකුගෙන් එක් ඇඟිල්ල බැගින් ගෙන අමුණා තැනූ මාලයක් ගෙල පැලඳ සම්බුදුරජුන් පසුපස කඩුවක් අමෝරා යොදුන් තුනක් පුරා දිව ආ අංගුලිමාලයන් කල්පයක් ලොව සෙත සලසන අනුහසින් යුතුව සත්‍යක්‍රියා කළ මහා මුනිවරයෙකු ව සියලු ඉපදීම්වලින් නිදහස් වී පිරිනිවන් වැඩියා. මේ සියලු දෙනා උත්තම භාවයට පත් කරලූයේ, ඉහළට ම එසැවූයේ නුවණ මෙහෙයවාලීමෙන් උපන් ‘අවබෝධ ඤාණය’ යි…!

වැටෙන වැටිල්ලක්…!

දෙවියා විමසූ, මේ ලිපියට නිමිත්ත සැකසූ දෙවැනි පැනය වූ “පහතට වැටෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?” යන්නට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු වදාළේ “පහතට වැටෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ අවිද්‍යාව ය.” කියා යි.

පූර්ව ජාතින්හි රැස් කළ පුණ්‍ය ශක්තීන්ගේ ආනුභාවයෙන් ම නිපන් මහා පුරිස් ලක්ෂණ දෙතිසකින් යුතු වූ අසහාය රූපකාය සහිත ව, ජම්බුද්වීපය පූර්වවිදේහය උතුරුකුරු දිවයින හා අපර ගෝයානය යන සිව් මහා දිවයින් ම ධර්මයේ පිහිටා පාලනය කරමින් චක්‍රවර්තී රාජ්‍යය හොබවා අපමණ පින් ඵල රැස් කොට දෙව්ලොව උපන් චක්‍රවර්තී රජවරුන් ඒ පුණ්‍ය විපාක සැප උපදවා අනිත්‍ය වී ගිය කලෙක තිරිසන් අපායේ කඩි රැලක ඉපිද හුන් අයුරු බුදු නෙතින් දැක වදාළ සේක් ම යි. ඒ, ආර්ය සත්‍යයන් නොදැනීම නම් වූ අවිද්‍යාවෙන් යුතු වීම නිසයි. මේ ලෝක සත්වයා පහළට ඇද දමන්නට, නීච භාවයට පමුණුවන්නට ඊට වඩා බලවත් වූවක් නම් ලෝකයේ නැහැ…

නමස්කාර වේවා සඟරුවනට…!

දෙවියා තුන්වෙනුව ඇසුවේ, “ඇවිද යන අය අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙක් ද?” කියලයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“ඇවිද යන අය අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ සංඝයා ය.”

රාග ද්වේෂ මෝහ නසන ප්‍රතිපදාවෙන් යුතුව, අමා නිවන කරා යොමු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ඍජු මාර්ගයේ පිළිවෙත් පුරන, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිස පිළිපන්, ලෝසතගේ හිතසුව කැමැත්තෙන් අමා දහම් දන් දෙන, සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් යන මගඵලයන් ලද හා මගඵලයන්ට පිළිපන් ලෙස පුද්ගල වශයෙන් අටදෙනෙක් ද යුගල වශයෙන් සතර දෙනෙක් ද වූ, දුර සිට වුව ගෙනැවිත් දන් පුදන්නට සුදුසු වූ, ආගන්තුක ව වැඩිය කල්හි ද දන් පුදන්නට සුදුසු වූ, පින් සලකා දීමට සුදුසු වූ, දොහොත් මුදුනේ තබා වන්දනා කරන්නට සුදුසු වූ, ලොවට උතුම් පින්කෙත වූ ඒ අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක සංඝරත්නයට වඩා ශ්‍රේෂ්ඨත්වයෙන් යුතුව කවරෙක්වත් මේ පොළෝතලයේ පා තබන්නේ නැති බවයි සත්‍යය… සාරිපුත්ත මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මුදුන්තැන්හි වැඩ වෙසෙනා, තුන්කාලික සඟරුවනට අපගේ වන්දනාව වේවා!

යෝ වදතං පවරෝ මනුජේසු…!

“කතා කරන අය අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙක් ද?” ඒ තමයි දෙවියා විමසූ අවසන් පැනය…

මේ ලෝකයේ අවබෝධ කළ යුතු යම්තාක් දේ ඇද්ද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කොට වදාළා. සියලු ලෝකවල ඇති සියල්ල දැනගත්තා. සියලු දේ මැඩපැවැත්වූවා. ඒකාන්තයෙන් ම සියල්ල දැක, සියල්ල තම වසඟයෙහි පවත්වන නිසාත් උන්වහන්සේට ‘තථාගත’ කියා කියනු ලබනවා. ඒ තථාගතයන් වහන්සේ වදාළ මේ වචනය බලන්න.

“යාවතා, භික්ඛවේ, සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනෝ වා අරූපිනෝ වා සඤ්ඤිනෝ වා අසඤ්ඤිනෝ වා නේවසඤ්ඤිනාසඤ්ඤිනෝ වා, තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධෝ.”

“පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.”

(අග්ගප්පසාද සූත්‍රය, ඛු. නි.)

අහෝ අසිරියක්මයි…! පෙනෙන, නොපෙනෙන සියලු ලෝකයන්හි ආශ්චර්යවත් ම පුරුෂරත්නය වනාහී ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි.

මනා අවබෝධ ඤාණයකින් යුතුව ම භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම සත්‍යයයි, ශ්‍රී සද්ධර්මය තුළ ජීවමාන ව වැඩවෙසෙන්නේ.

ඒ වචනය යි ජරා මරණ ඉක්මවූ අමා නිවනට මග කියන්නේ. ලෝකයේ අන් කවරෙකුගේ වචනයක් ශ්‍රේෂ්ඨ වන්න ද? සම්බුදුරජාණන් වහන්සේ ඒ දෙවියාට මෙසේ පිළිතුරු වදාළා.

“බුද්ධෝ පවදතං වරෝති”

“කතා කරන අය අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ බුදුරජ ය.”

සුභාෂිත වචන යුතු ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

“සුයුත්තවාදිං – සුදුන්නිවාරයං

ජිතින්ද්‍රියං – වීතභයං පධානියං

අනූපලිත්තං – භවාභිනිස්සටං

වන්දාමහං – සම්බුද්ධ පරිනිබ්බුතං”

“ඥානසම්ප්‍රයුක්ත වාග් විලාස ඇති, කෙලෙස් හා මුසු නොවූ චිත්ත සන්තාන ඇති, දිනන ලද ඉඳුරන් ඇති, බිය රහිත වූ සිත් ඇති, දහම තුළ දියුණු කළ වීර්යය ඇති, කෙලෙස් හා නොතැවරුණු, සියලු භවයන් බැහැර කළ, පිරිනිවී ගිය සිත් ඇති සම්බුදුරදාණෙනි, මම් වඳිමි.”

(උපුටා ගැනීම – අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘අති මනරම් බුද්ධාභිවන්දනා’ගාථා’)

මගතොටේ පවා නිවනට ළං වෙමු…

සත්පුරුෂ කලණ වැට නොසිඳිමින් අපගේ කල්‍යාණමිත්‍ර සත්පුරුෂයන් වහන්සේලා ශාස්තෘ ධර්මවිනය අපට කියා දෙමින්, සසරට නොවැටෙනවුන් වන්නට කර ඇති උපකාරයන් අපමණයි. අප කරා එළඹෙන අටලෝදහම තුළ ධර්මය දකිමින් සන්සිඳෙන්නට තවත් අඩු මොනවාද… ඒ කලණමිතුරු ඇසුරේ සුරැකෙමින්, ඇසෙන දකින දේ තුළ පවා ධර්මය ම සිහි කරමින් ශාස්තෘ ගෞරවය උපදවා ගන්නට අප තුළත් වීරිය වැඩේවා!

(ඇසුර – වුට්ඨි සූත්‍රය, සං. නි. සගාථ වර්ගය)

සටහන – උදුලා පද්මාවතී.

පසුතැවෙන්න ඉඩක් තියාගන්න එපා !
පින්වත් යොවුන් දූ දරුවනේ,

ජීවිතේට මහා වෙහෙසක් ගෙනෙන දෙයක් තමයි පසුතැවීම. හිතක පසුතැවීමක් ඇති වුණොත් ඒ නිසා සිත සුවපත් කරගැනීම ලේසි නෑ. ඒ නිසා පසුතැවෙන්ට ඉඩක් තියා ගන්නේ නැතිව ජීවත් විය හැකි නම් ඒක මහා පහසුවක්. නමුත් ඔයාලට හිතෙන්න පුළුවන්, ‘එහෙම ජීවිතයක් ගත කරන්නේ කොහොමද?’‍ කියලා. අද ලිපියෙන් කියා දෙන්නේ ඒ ගැනයි.

වෙනදා වගේම සෙනෙහසින් සිහිපත් කරනවා මේ ලිපිය අවසන් වන තෙක්ම අවධානයෙන් කියවන්න. ‘පසුතැවෙන්ට ඉඩක් තියා ගන්නේ නැතිව ජීවත් වෙන හැටි’ ඔයාලටත් තේරුම් යාවි!

සාරාංශ කාරණා 2ක්

ජීවිතේ පසුතැවෙන ඉඩ නිර්මාණය වීම සාරාංශ කාරණා දෙකකින් මතක තියා ගන්න.

1 සිත කය වචනයෙන් පව් කළොත් පසුතැවෙන්ට වෙනවා.

2 පින් කරන්ට අවස්ථාව ලැබිලත් බාගෙට පින් කළොත් පසුතැවෙන්ට වෙනවා.

‘පව් කළොත් පසුතැවෙන්ට වෙනවා’ කියන කාරණේ ධම්මපදයේ යමක වර්ගයේ තිබෙන මේ ගාථාවෙන් තේරුම් ගන්න.

ඉධ තප්පති පෙච්ච තප්පති

පාපකාරී උභයත්ථ තප්පති

පාපං මේ කතන්ති තප්පති

භිය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ

“පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී පසුතැවෙන්නේ. පරලොවදී පසුතැවෙන්නෙත් ඔහු ම යි. ඔහු දෙලොවදී ම පසුතැවෙනවා. ‘අයියෝ! මං පව් කර ගත්තා’ කියල පසුතැවෙනවා. අපායේ ඉපදුණාට පස්සේ ඔහු ගොඩාක් පසුතැවෙනවා.”

පව් කරගෙන විපතේ වැටුණු දෙව්දත් අරභයා බුදුරජුන් වදාළ ඔය ගාථාව හිතට අරගෙන පව් කිරීමෙන් වළකින්න. පසුතැවෙන්ට ඉඩ තියාගන්න එපා!

පසුතැවෙන දෙවිවරු

ඔව්! පසුතැවෙන දෙවිවරු පිරිසක් දිනක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා. ඔවුන් දෙවියන් අතරේ ඉපදිලත් පසුතැවෙන්ට හේතු වූ කරුණ බුදුරජාණන් වහන්සේට කියා හිටියා. මේ විස්තරය තිබෙන්නේ අංගුත්තර නිකායේ දේවතා සූත්‍රයේ.

ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර. එදා රැස්ව සිටි භික්ෂූන්ට බුදුරජුන් මෙසේ වදාළා. “පින්වත් මහණෙනි, ඉකුත් රාත්‍රියේ බොහෝ දේවතාවෝ මා සමීපයට පැමිණියා. පැමිණ මා හට වන්දනා කළා. එසේ සකසා වන්දනා කරල එකත්පසෙක සිට ගත්තා. ඒ අතරින් දේවතාවෝ පිරිසක් මට මෙසේ පැවසුවා.

‘ස්වාමීනී, අපි කලින් ජීවිතේ හිටියේ මනුස්ස ලෝකේ. අපි ජීවත් වුණේ ගිහි ගෙවල්වල. අපේ ගෙවල්වලට පැවිද්දෝ වැඩම කළා. (තා මයං භන්තේ, පච්චුට්ඨිම්හ) ස්වාමීනී අපි උන්වහන්සේලා වඩිද්දී ගෞරවය දක්වමින් ආසනවලින් නැගිට්ටා. (නෝ ච ඛෝ අභිවාදිම්හ) ඒ වුණාට ස්වාමීනී, අපිට බැරි වුණා උන්වහන්සේලාට වන්දනා කරන්න.

දැන් ඉතින් ස්වාමීනී (අපරිපුණ්ණකම්මන්තා) අපේ අසම්පූර්ණ පින්කම නිසා අපි උපන්නේ හීන දෙව් කයක. අපේ හිත් විපිළිසරයි. අපි පසුතැවෙනවා.’”

වඳින්ට පුළුවන් කාලේ වඳින්ට

මෙයින් තේරෙනවා නේද අවස්ථාව තියෙන කාලෙ බාගෙට පින් කරගත්තොත් පසුතැවෙන්ට වෙන බව. ඒ දෙවිවරු පැවිද්දන් දකිද්දී අඩු තරමේ ගෞරව කළ නිසයි දෙව්ලොව උපන්නේ. ඒ නිසා අපි හොඳින් තේරුම් ගත යුතුයි. ගරු කළ යුතු උතුමන්ට, ගරු කළ යුතු පූජනීය වස්තූන්ට අවස්ථාව ලැබෙන හැම මොහොතේ ම ගරු කළ යුතුයි. ගරු සරු දැක්වීමට අවස්ථාව ලැබෙද්දී ගරු කරන කෙනාට පසුතැවීමට ඉඩක් නෑ.

ගරු කළාට වන්දනා කරගන්ට බැරි වුණ නිසා දෙවිවරුන්ට පසුතැවෙන්ට වුණා. අපිට මොනතරම් අවස්ථා ලැබිලා තියෙනව ද දෙමව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගෞරවයෙන් වඳින්ට. උතුම් තෙරුවන මුණගැහුණු මේ ජීවිතේ බුද්ධ වන්දනාවෙන්, ධර්ම රත්නයට වැඳීමෙන්, සඟරුවන වැඳීමෙන්, සෑ බෝධීන් වහන්සේලාට, ධාතූන් වහන්සේලාට, පිළිම වහන්සේලාට වැඳීමෙන් අපිට මොනතරම් පින් කර ගන්ට හැකියාවක් ලැබී තියෙනවා ද?

නමුත් මේ හැකියා, අවස්ථා තියෙන කාලේ වැඳීමෙන් කරගත හැකි පින අසම්පූර්ණ කරගන්ට එපා! පසුතැවීමට ඉඩක් තියාගන්ට එපා! වඳින්ට පුළුවන් කාලේ වඳින්ට.

අනෙක් දෙවිවරු

ඒ මුල් දෙවිවරු ඔය කාරණේ කියූ විට අනෙක් දෙවිවරුන් කථා කරන්ට පටන් ගත්තා. දෙවිවරු කොටසක් කිව්වා, “ස්වාමීනී, අපේ ගෙවල්වලටත් පැවිද්දෝ වැඩියා. අපි නම් ගරු සරු දක්වලා වන්දනා කළා. නමුත් අපිටත් තියෙනවා පසුතැවීමක්. (නෝ ච ඛෝ ආසනං අදම්හ) අපිට බැරි වුණානේ ඒ උතුමන්ට වැඩ හිඳීම පිණිස ආසනයක් පනවන්ට. ඒ නිසා අපි හීන වූ දිව්‍ය ජීවිතයක් ලබල අපේ පින සම්පූර්ණ කරගන්න බැරි වුණා කියල පසුතැවෙමින් ඉන්නවා.”‍

එතකොට තව දෙවිවරු පිරිසක් පැවසුවා, “අපි නම් ආසනත් පැනෙව්වා. ගරු සරු දක්වා වන්දනා කරලා ආසන පැනෙව්වත් (නෝ ච ඛෝ යථාසත්ති යථාබලං සංවිභජිම්හ) අපිට බැරි වුණානේ අපට ඇති අයුරින් අපේ බල පමණින් ඒ උතුමන්ට දන් දෙන්ට. ඒ නිසා අපි හීන වූ දිව්‍ය ජීවිතයක් ලබල අපේ පින සම්පූර්ණ කරගන්න බැරි වුණා කියල පසුතැවෙමින් ඉන්නවා.”‍

ඔය විදිහට හීන වූ දිව්‍ය ජීවිතයක් ලැබූ ඒ ඒ දෙවිපිරිස් පිළිවෙළින් තමන්ට ලැබුණු අවස්ථාවල දී පින අසම්පූර්ණ කරගත් විදිහ පසුතැවෙමින් පැවසුවා. ඇතැම් දෙවිවරු ශක්ති පමණින්, බල පමණින් දන් දීලා. නමුත් (නෝ ච ඛෝ උපනිසීදිම්හ ධම්මසවණා) දානෙන් පස්සේ බණ ටිකක් අහන්ට වාඩි වෙන්ට බැරි වුණ නිසා පසුතැවෙනවා.

ඇතැම් දෙවිවරු බණ අහන්ට වාඩි වෙලා. ඒ වුණාට (නෝ ච ඛෝ ඕහිතසෝතෝ ධම්මං සුණිම්හ) කන යොමාගෙන අවධානයෙන් බණ අහන්ට බැරි වීම නිසා පසුතැවෙනවා.

ඇතැම් දෙවිවරු සවන් යොමාගෙන බණ අහලා. නමුත් (නෝ ච සුත්වා ධම්මං ධාරයිම්හ) ඇසූ බණ ටික මතකයේ දරා ගන්ට බැරි වීම නිසා පසුතැවෙනවා.

ඇතැම් දෙවිවරු බණ මතකයේ දරාගෙන. ඒ වුණාට (නෝ ච ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛිම්හ) මතකයේ දරාගත් ධර්මයේ අර්ථ නුවණින් විමසන්ට බැරි වෙලා. ඒ නිසා පසුතැවෙනවා.

ඇතැම් දෙවිවරු ධර්මයේ අර්ථ මෙනෙහි කරලා. නමුත් (නෝ ච ඛෝ අත්ථමඤ්ඤාය ධම්මඤ්ඤාය ධම්මානුධම්ම පටිපජ්ජිම්හ) අර්ථයට අනුව, ධර්මයට අනුව ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්ට බැරි වීම ගැන පසුතැවෙනවා.

සම්පූර්ණයෙන් පින කරගත් දෙවිවරු…

ඔය විදිහට පසුතැවෙන දෙව් පිරිස් අටකට පස්සේ නවවැනි දෙවි පිරිසක් ඉතාම ප්‍රීතියෙන් බුදුරජුන්ට මෙහෙම පැවසුවා. “ස්වාමීනී, කලින් ජීවිතේ අපිත් හිටියේ මනුස්ස ලෝකෙ ගිහි ගෙවල්වල. ඒ අපේ ගෙවල්වලටත් උතුම් පැවිද්දන් වහන්සේලා වැඩියා. (තා මයං භන්තේ) එතකොට අපි නම් ස්වාමීනී

1 (පච්චුට්ඨිම්හ) ඒ උතුමන් දකිද්දීම හුනස්නෙන් නැගිට ගෞරව දැක්වූවා.

2 (අභිවාදිම්හ) අපි නම් ඒ උතුමන්ට ඉතා ගෞරවයෙන් පසඟ පිහිටුවා වන්දනත් කළා.

3 (ආසනං අදම්හ) එහෙම වැඳලා ආසනත් පැනෙව්වා. ඒ ආසන පවරා වඩා හිඳෙව්වා.

4 (යථාසත්ති යථාබලං සංවිභජිම්හ) අපිට ශක්ති පමණින්, බල පමණින් දානෙත් පූජා කළා.

5 (උපනිසීදිම්හ ධම්මසවණාය) දන් වළඳා නිමවූ ඒ උතුමන් සමීපයට ගිහින් බණ පදයක් අහන්ට වාඩි වුණා.

6 (ඕහිතසෝතා ච ධම්මං සුණිම්හ) අපි සවන් යොමාගෙන බණ ඇසුවා.

7 (සුත්වා ච ධම්මං ධාරයිම්හ) ඒ අහපු බණ පද මතකයේත් දරා ගත්තා.

8 (ධතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛිම්හ) ඒ මතකයේ දරාගත් ධර්මයේ අර්ථ නුවණින් මෙනෙහි කළා.

9 (අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජිම්හ) ඒ වගේම අපි ධර්මයේ අර්ථ දැනගෙන, ධර්මයත් දැනගෙන, ධම්මානුධම්ම පටිපදාවේ යෙදුණා.

ඉතිං ස්වාමීනී, ඒ නිසා අපි නම් (පරිපුණ්ණකම්මන්තා) අපේ පුණ්‍ය කර්මය සම්පූර්ණ කරගත් නිසා ප්‍රණීත වූ දිව්‍ය ජීවිතයක් ලබා කිසිම විපිළිසර බවක් නැතිව, පසුතැවීමකින් තොරවයි ඉන්නේ.”

පස්සේ පසුතැවෙන්ට තියාගන්න එපා!

මේ විස්තරය දේශනා කරපු මහා කාරුණික අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට අවවාද කළේ,

“(මා භික්ඛවේ පමාදත්ථ) මහණෙනි, නුඹලා නම් ප්‍රමාද වෙන්ට එපා! අර ප්‍රමාද වූ දෙවිවරු වගේ (මා පච්ජා විප්පටිසාරිනෝ අහුවත්ථ) පස්සේ පසුතැවෙන්ට තියාගන්ට නම් එපා!”‍ කියලයි.

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

වචනය සුන්දර කරගමු
අපට මතක නැතිවට මහ සයුරුවල ඇති වතුර ප්‍රමාණය පරදවා කඳුළු එන්න අඬපු ජීවිත කථාවක් අපට තියෙනවා. මහ සයුරුවල ඇති ජල ප්‍රමාණ පරදවා ලේ එනකම් බෙලිකැපුම්වලින් මැරුණු ජීවිත කතාවක් අපට තියෙනවා. එතරම් දුර ගෙවාගෙන ආව අති බිහිසුණු ඒ දීර්ඝ සංසාර ගමනේ අපි කරපු මහා පිනක් නිසා මේ ජීවිතයේදි කතා කරන්න පුළුවන් හැකියාව ඇතිව, වචන කියන්න පුළුවන් හැකියාව ඇතිව අපි ඉපදුණා. ඒක අපි ම අපිට කරගත්තු යහපතක්. ඒ විදිහට වචන කියන්න, කතා කරන්න පුළුවන් හැමෝම එක් එක් විදිහට තමාගේ අදහස් කියනවා. ඒ වගේම පටන් ගත්තු කෙළවරක් දකින්න නැතිව, නිමාවෙන කෙළවරක් දකින්න නැතිව අපි ආපු බිහිසුණු සංසාර ගමනේ කතා කරන්න පුළුවන් වුණු ජීවිතවල අප්‍රමාණ අදහස් දක්වමින් වචන කතා කරලා තියෙනවා. එතකොට ඒ සියලු වචනවලින් අපේ ජීවිතේට අත්වුණු ඉරණම අපි දැක්කේ නෑ. ඒ මොකද එතරම් දියුණු කළ හිතක් අපිට තිබුණේ නැති නිසා, තවමත් නැති නිසා… නමුත්,‍ යම් දවසක අපට ඒ අපි භාවිත කරපු වචන නිසා අපේ ජීවිතයට ඇති වුණ බලපෑම, සංසාර ගමනේ අපට උරුම වුණ දේ දකින්න පුළුවන් වුණා නම් ඒ දවසට අනිවාර්යයෙන්ම අපි පසුතැවෙනවා, ‘ඇයි මං මෙහෙම වචන කීවේ?’ කියලා. ‘අපරාදෙ, මට එහෙම නොකියා ඉවසන් ඉන්නයි තිබුණේ.’ කියලා. මොකද, ඒ වචන නිසා අපි නිරයේ නිරි සතුන් අතර, ප්‍රේත ලෝකේ ප්‍රේතයන් අතර, අසුර ලෝකේ අසුරයන් අතර, තිරිසන් ලෝකේ තිරිසන් සතුන් අතර වගේම මේ මිනිස් ලෝකෙත් ඉපදිලා අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. ඉදිරියටත් එවන් දුක් විඳින්න නියම වෙලා තියෙනවා.

ඒ වගේම අපි අත්දකිනවා ඉපදුණු හැමෝටම කතා කරන්න බෑ. එතකොට ඒ මිනිසුන්, සත්වයන් අව්වෙන් වැස්සෙන් පීඩා විඳිද්දී, ලෙඩක් දුකක් හැදුණාම තමන්ට දැනෙන අපහසුතාව කියාගත නොහැකිව අප්‍රමාණ පීඩා විඳිමින් ඉන්නවා. නමුත් ඒ දුක කතා කරන්න පුළුවන් අයට නෑ. කතා කරන්න, වචන කියන්න පුළුවන් හැමෝටම තමන්ගේ දුක, සතුට අනිත් අය සමඟ බෙදාගන්න පුළුවන්.

ඒ විදිහට තමන්ගේ දුක සතුට බෙදාගන්න, තමන්‍ට උපකාරය පිණිස වචන කියනවා වගේ අනිත් අයට පිහිට පිළිසරණ පිණිසත් අපේ වචන භාවිත කරන්න පුළුවන්. නුවණ තියෙන කෙනා දක්ෂ වෙනවා තමන්ට කතා කරන්න පුළුවන් විදිහට ඉපදෙන්න ලැබුණු මේ වෙලාවේ අනිත් අයට යහපත, සැනසිල්ල, සෙතසුව පිණිස ම තමන්ගේ වචන භාවිත කරන්න. මොකද ඒ, ඒ නුවණ තියෙන ප්‍රඥාවන්ත කෙනා දන්නවා ඉමක්කොණක් නැති සංසාර ගමනේ ඉතාමත් කලාතුරකින් තමයි කතා කරන්න පුළුවන් විදිහට අපි ඉපදෙන්නෙ කියලා. ඒ නිසා එයා දක්ෂ වෙනවා තමන් කියන වචන හොඳින් සිතා මතා සොයා බලා තමන්ට වගේම අනිත් අයටත් යහපත පිණිස ම ප්‍රකාශ කරන්න. එයා ඒ විදිහට වචනයෙන් පින් රැස් කරගන්න දක්ෂ වෙනවා.

හැබැයි කාටහරි ඒ විදිහට නුවණ නැතිනම් එයාට කතා කරන්න වචන උපදින්නේ තමන් වගේම අනුන්ටත් අයහපත පිණිසමයි.

තුන්ලොව දිනූ මුනිඳු දේශනා කොට වදාළා මේ විදියට කියන වචන ක්‍රම පහකින් අසන්ට ලැබෙනවා කියලා.

1 කලටත්, අකලටත් අසන්න ලැබෙනවා.

2 සත්‍ය වචනයෙනුත්, අසත්‍ය වචනයෙනුත් අසන්න ලැබෙනවා.

3 මොළොක් වචනයෙනුත්, දරුණු වචනයෙනුත් අසන්න ලැබෙනවා.

4 යහපත ඇතිකරන වචනයෙනුත්, අයහපත ඇතිකරන වචනයෙනුත් අසන්න ලැබෙනවා.

5 මෙත් සිතින් යුතු වචනත්, ද්වේෂ සහගත වචනත් අසන්න ලැබෙනවා.

(කකචූපම සූත්‍රය – ම. නි. 1)

එතකොට කවුරු හරි අකලට වචන කියනවා නම් කියන්නේ…, ඒ වගේම අශෝභනයෙන්, දරුණු වචනයෙන්, අයහපත ඇති කරවන වචනයෙන්, ද්වේෂ සහගත වචන කියන්නෙ අනිත් අයව හෙළා දකින්න. අනිත් අයට අපහසුතාවය ඇතිකරන්න, පීඩාවට පත් කරන්න. එතකොට ඒ කෙනා ඒ විදිහට වචන කියද්දි තව කෙනෙක් හෝ පිරිසක් ඉන්නවා ඒ කෙනා පතුරුවන, වපුරන, බෙදන වචන තමන්ගේ ම කියලා බදාගෙන වචන කියලා පව් රැස් කරගන්න. සමහරවිට ඒ කියන්නේ කවුරු හරි කරන දෙයක් බලාන ඉන්න බැරිකමට නරක දේ කියලා හොඳ දෙයක් අරගෙන, හොඳ දේ කියලා නරක දෙයක් අරගෙන. සමහරු කියනවා “ඉවසලා ඉවසලා බැරිම තැන තමයි කීවේ.” කියලා. නමුත් ඒක නිදහසට හේතුවක් නොවෙයි. ඉවසල ඉවසල බැරි ම තැන තමයි ඉවසිය යුතු ම තැන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය කරන කෙනා හික්මෙන්න ඕන ආකාරය. ඒ තමා, “‘‍මගේ සිත වෙනස් කරගන්නෙ නෑ. මං පාපී වචන කියන්නෙ නෑ. හිතානුකම්පී ව ඉන්නවා. ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා. ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා. ඒ වගේම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයටම වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ පළල් සිතකින් යුතු ව මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා.’ ‍කියා පින්වත් මහණෙනි, ඔබ හික්මෙන්න ඕන ඔය විදියටයි.”

(කකචූපම සූත්‍රය – ම. නි. 1)

නමුත් කවුරුහරි ඒ විදිහට ඉවසන්නෙ නැතිව අනිත් අයට වචන කියනවා නම් ඒ අය පිළිබඳව අපකීර්තියක් ම යි පැතිරෙන්නේ. ඒ කෙනා කොයි තරම් දක්ෂ වුණත්, ලස්සන වුණත්, මිල මුදල් තිබුණත් නුවණ තිබෙන සත්පුරුෂ අය ඒ අයට ප්‍රශංසා කරන්නෙ නෑ. සමහර විට ඒ වචන කියන කාලෙට සමාජය තුළ ඒ වචන රැව් පිළිරැව් දෙන්න පුළුවන්. ඒ වචන අහන අයට හිතෙන්න පුළුවන් ‘ඒක තමයි ඇත්ත’ කියලා. සමහරු සැක කරන්නත් පුළුවන්. නමුත් ඒ වචන කියන කාලෙට ඉස්මතු වුණාට, ටික කාලයයි. මවාපාන අයට හැමදාම ඒක කරන්න බෑ. මේ කාලය ඉක්මනින්ම ගෙවෙනවා. තප්පර, විනාඩි, පැය, දින ගණන් ගෙවෙද්දි, රෑ දවල් ගෙවෙද්දි සත්‍යය ඉස්මතු වෙනවා. අවැඩ පිණිස, අහිත පිණිස වචන කියපු අයට අකුසල් රාශියක් එකතු වෙනවා. හැබැයි ඔය විදිහට වචන කියන්න කලින් බොහෝ කාලයක් ඇසුරු කරලා හොඳට හොයා බැලු‍වා නම් මහ අකුසල් කන්දකින් මිදෙන්න පුළුවන්කමක් ලැබෙනවා. නමුත් කවුරු හරි හොයන්නෙ බලන්නෙ නැතුව වචන කීවොත් ඒ අයගේ ජීවිතවලින් අසූචිවලටත් වැඩි ගඳක් ම යි දසත පැතිරෙන්නෙ.

නමුත් අපි ආදර ගෞරවයෙන් සරණ ගිය, තුන්ලොවම එකලු කල මිණි පහන වුණ, තුන්ලොවෙහි එක ම ඇස වුණ, තුන්ලොවටම සැනසිල්ල උදාකර දුන් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වචනවලින් කවදාවත් ම අනිත් අයට නපුරක් කරන්නැතිව, පීඩාවක් ඇති කරන්නැතිව යහපත විතරක් ම ජීවිත කාලෙටම කරන්න පුළුවන් බව ආදර්ශයෙන් ම පෙන්වා වදාළා. අපේ ශාස්තෘන් වහන්සේගේ අවසන් ජීවිතය පුරාමත්, සසර ගමනේ ජීවිත පුරාමත් තිබුණේ අනිත් අයට උපකාරෙට කීව වචන, අනිත් අයගේ දුක නිවන්න කීව වචන, අනිත් අයගේ ප්‍රශ්න විසඳන්න කීව වචන, අනික් කෙනෙකුගේ වරදක් නම් ඒ වරදින් නැඟී සිටීම පිණිස – යහපත පිණිස කීව වචන, අනික් අයගේ දුක සතුට බෙදාගන්න කීව වචන, අසරණ වුණු වෙලාවට පිහිට වෙන්න කීව වචන, යථාර්ථය අවබෝධ කරවීම පිණිස කීව වචන, මෛත්‍රියෙන් පිරුණු වචන, කරුණාවෙන් ඉතිරුණු වචන, මුදිතාවෙන් පවසපු වචන, උපේක්ෂාවෙන් දරාගත්තු වචන, නිවුණු වචන, සංසිඳීම ඇති කරවපු වචන, සතුට සැනසිල්ල උදාකරපු වචන, හැම වචනයක් ම කීවේ හොඳට හොයලා බලල හිතලමතල වගකීමෙන් ම යි. කැළඹීම ඇති කරවන වචන, ඇවිස්සීම ඇති කරවන වචන, සසර ගමන දික්ගස්සන අයහපත් වචන කවදාවත් කීවේ නෑ.

නමුත් මේ කාලය වනවිට ගොඩක් දේවල් වෙනස් වෙලා. සමහරු මේ විදිහට වචන කියන්න වසර ගණන් සැලසුම් හදනවා. නැති වැරදි හොය හොයා සැලසුම් හදනවා. ද්වේෂ සහගත අවස්ථා නිර්මාණය කර කර සැලසුම් හදනවා. බොහෝවිට බොහෝ පුද්ගලයන් ඒ විදිහට ක්‍රියා කරන්නෙ, හැසිරෙන්නෙ වචන කියන්නේ තමන්ට ඒ කෙනාගෙන් අවැඩක් වුණේ, අයහපතක් ම යි වුණේ කියලා වැරදි වැටහීම නිසා. එහෙම නැත්නම් කැපී පෙනීමේ අවශ්‍යතාවයට. එහෙම නැත්තම් ප්‍රධානත්වය, නායකත්වය ලබා ගැනීම පිණිස. මේ කුමන ආකාරයට, කුමක් නිසා හෝ කාට හෝ අයහපත් වචන කියන කෙනාට නිරයේ නිරි සතුන් අතර ඉපදිලා, පෙරේත ලෝකේ පෙරේතයන් අතර, අසුර ලෝකේ අසුරයන් අතර, තිරිසන් අපායේ තිරිසනුන් අතර වගේ ම මිනිස් ලෝකේ ඉපදුණත් දුක් විඳින්න වෙනවමයි.

මේ විදියට සැලසුම් සහගතව හෝ එවෙලාවට හෝ වචන කියන්නෙත් බොහෝවිට තමන්ට උපකාර කරපු අයට ම යි. තමන්ගේ ජීවිතයට ශක්තිය වුණු අයට ම යි. තමන්ගේ ජීවිතයට පදනම හදලා දීලා හෙවණැල්ල වුණු අයට ම යි. තමන්ගේ ජීවිතයට යන්න පාර කියා දුන්න අයට ම යි. තමන්ගේ හුස්ම පොද වුණු අයට ම යි. තමන්ට දුකක් කරදරයක් වුණාම පිහිටට හිටපු, පිහිටට ඉන්න අයට ම යි. තමන්ට දුකක් කරදරයක් වුණාම පිහිටට හිටපු, පිහිටට ඉන්න අයට ම යි. අපේ සසර ගමන අපට මතක නැති වුණාට මතක තියන කාලෙ දිහා ආපසු හැරිලා බැලු‍වොත්, සිහිනුවණින් යුතුව විමසීම කළොත් වැටහේවි, පෙනී යාවි ඒ අය කොයි තරම් නම් අපට උපකාර වෙලා ද කියලා, පිහිට වෙලා ද කියලා. ඒ අය ඒ ඒ කාලෙට මුණනොගැසුනා නම් අපේ ජීවිත කථාව ගොඩක් වෙනස් වෙනවා. අද අපට තියෙන මේ හයිය, ශක්තිය නැතිව යනවා, අද අපි මේ තරම්ම සවිමත් ව ඉන්නෙ අපි වචන කියන අයගෙන් ම ලැබුණු උපකාර නිසා.

දෙමව්පියෝ දරුවන්ට වචන කියන්නෙ, ගුරුවරු සිසු දරුවන්ට වචන කියන්නේ යහපත පිණිස ම යි. ඒ වෙලාවේ සිහිනුවණ, අත්දැකීම් අඩු නිසා හෝ නැති නිසා ඒ කාරණා අපට නොවැටහුණාට අපි මෙත් සිතින් හැම දෙයක්ම දරාගන්න දක්ෂ වෙන්න ඕන. අපට ඒවා වැටහෙන්නෙ ඒ අත්දැකීම් අපි ලබනකොටයි… ඒ නිසා එවන් අවස්ථා එද්දි දුර්ලභව ලැබුණු කථා කරන්න පුළුවන්කමෙන් නොමනා වචන කියන්නෙ නැතිව නිහඬව ඉන්න ඕන.

ඒ නිසා තුන්ලොව ම දිනූ මුනිඳු මඟ හික්මෙන අපි හැමදෙනාටම, අපේ කතා කරන්න පුළුවන් හැකියාව, අපේ වචන හැමදෙනාටම යහපත පිණිස භාවිත කරන්නත් – ඒ වගේ ම අන් අයගේ වචන ඉවසන්නත් වාසනාව උදාවේවා!

තමේව වාචං භාසෙය්‍ය යායත්‌තානං න තාපයේ

පරේ ච න විහිංසෙය්‍ය සා වේ වාචා සුභාසිතා

“යම් වචනයකින් තමා තුළ තැවීමක් නොගන්නේ නම්, අන්‍යයෝ ද පීඩාවට පත්නොවෙත් නම්, ඒ වචනය ම කිව යුත්තේය. ඒකාන්තයෙන් ම එය සුභාෂිත වචනයකි.

පියවාචමේව භාසෙය්‍ය යා වාචා පටිනන්‌දිතා

යං අනාදාය පාපානි පරේසං භාසතේ පියං

යළි යළි සතුට දනවන යම් වචනයක් ඇද්ද, කිව යුත්තේ ඒ ප්‍රිය වචනය ම ය. අන්‍යයන් පවසන නපුරු බස් සිතට නොගෙන ප්‍රිය වූ වචන ම කිව යුත්තේය.

සච්‌චං වේ අමතා වාචා ඒස ධම්මෝ සනන්‌තනෝ

සච්‌චේ අත්‌ථේ ච ධම්මේ ච ආහු සන්‌තෝ පතිට්‌ඨිතා

සත්‍යය යනු ඒකාන්තයෙන් ම අමෘත වචනයකි. මෙය සදාතනික ධර්මයකි. සත්පුරුෂයෝ සත්‍යයෙහි ද අර්ථෙයහි ද ධර්මයෙහි ද පිහිටා සිටිති යි කියත්.

යං බුද්ධෝ භාසතේ වාචං ඛේමං නිබ්‌බානපත්‌තියා

දුක්‌ඛස්‌සන්‌තකිරියාය සා වේ වාචානමුත්‌තමාති

බුදුරජාණන් වහන්සේ නිවනට පැමිණීම පිණිස, සසර දුක් නිමා කිරීම පිණිස යම් නිර්භය වචනයක් වදාරන සේක් ද, ලොව ඇති වචන අතුරින් ඒ බුද්ධ වචනය ඒකාන්තයෙන් ම උතුම් ය.”

(සුභාෂිත සූත්‍රය – සං. නි. 1)

පමා නොවීමට කාලයයි
පෑලදිග රන්වනින් බැබළී ගිය වලායෙන් සැරසී ගත් අහස් කුස පැහැසර අරුණලු පතුරුවාලමින් හිමිදිරියේ ම ළහිරු කිරණින් ලොව පුබුදුවා ඇවිත් දවසක් ඇරඹෙයි. නේක කටයුතු බලාපොරොත්තු සංකල්පනා මැද හෝරාවෙන් හෝරාව දවස ගෙවී යද්දී අදටත් වඩා යහපත් වූ හෙටක් ගැන සුභ සිහින දකිද්දී ම… අවරදිග සුරත් වලා සළු පොරවාගත් සූරිය මඬල ගොළු මුහුදේ ගිලී ලොවට නිදි සුව කැඳවමින් තවත් දවසක නිමාව සනිටුහන් කරයි.

යළි යළිත්… යළි යළිත්… පෙරසේම මෙය මතුවට ද මෙසේම සිදුවනු ඇත. සැබැවින්ම මෙහි ඇත්තේ මෙපමණ ද?

රුදුරු ගිනි අඟු‍රු වළක් වන් නිරයේ අප ඉපිද සිටි යුගවල දී ද වියළි කතරක පත් සිඳී ගිය රුකක් යට සිටීම බඳු ප්‍රේත ලොව ඉපිද සිටිය දී ද අසූචි වළක් වන් තිරිසන් ලොවෙහි අප සිටිය දී ද… දිනෙන් දින ගෙවී ගොස්… කල්ප ගණන් යුග ගෙවී ගියේ මේ අයුරින් මැයි. එහි ද අරුමයක් නැත.

එනමුදු අපි සිහිනුවණ උපදවා ගත යුතු ම වෙමු. මොහොතින් මොහොත අද මේ ගෙවී යන්නේ කල්ප කාලාන්තරයකට පසු අපි ලද අති දුර්ලභ ක්ෂණ සම්පත්තියයි. ක්ෂණ සම්පත්තිය ලද මේ ජීවිතයේ ගත වන සෑම තප්පරයක් ම තීරණාත්මක වනු ඇත. එක මොහොතක් හෝ නිකරුණේ ගෙවී යාමට ඉඩ හැරීම නම් මහත් අලාභයකි. මේ මොහොත වරද්දා ගැනීම මහත් අනුවණකමකි.

නගරං යථා පච්චන්තං – ගුත්තං සන්තරබාහිරං

ඒවං ගෝපේථ අත්තානං – ඛණෝ වෝ මා උපච්චගා

ඛණාතීතා හි සෝචන්ති – නිරයම්හි සමප්පිතා”

‘ඇතුළතත්, පිටතත්, හොඳින් ආරක්ෂා සංවිධානය කරපු, දුර පළාතක තියෙන නගරයක් වගේ තමන්ගෙ ජීවිතය ද වරදට වැටෙන්ට නොදී රැකගන්න ඕනෙ. මේ උතුම් අවස්ථාව ඔබට නම් මගහැරෙන්ට එපා. මේ උතුම් අවස්ථාව ඉක්ම ගියොත්, නිරයේ වැටිලා ශෝක කරන්නට වෙනවා.’

(ධම්මපදය – නිරය වග්ගය)

තම තමා විසින් ම සිත කය වචනය වරදවා ගත් දොසින් උරුම වූ දුගතියෙන් ගැලවී, සුළු මොහොතකට උරුම වූ සුගති රැකවරණය රැක ගත යුත්තේ ද තම තමා විසින් ම ය.

මනුලොව උපත නම් වූ අති දුර්ලභ වාසනාව උරුම කරගත් කෝටි ගණනක් මිනිසුන් අතරේ අපට උදා වූයේ “ක්ෂණ සම්පත්තිය” යි.‍ කල්ප ගණනකට පසු මිනිසුන් අතර උපත ලැබූවන්ගෙන් කෝටි සංඛ්‍යාත ජනයා ‘බුද්ධ’ යන වචනය පවා නොඅසාම මෙලොව හැර යන අයුරු දකිනු මැන. ජීවිතයේ අරුත පවසන මිහිරි දහම් පද නෑසෙන මානයේ දිවි ගෙවා හිස් අතින් ම මනුලොව හැර යන්නවුන් කොපමණ ද? කසාවතින් ගත පොරවා ගත් ශ්‍රමණ රුව නොදුටු නෙතින් ම දිවි ගෙවා අවසන් කරන්නවුන් කොතෙක් නම් සිටී ද? පින පව, මෙලොව පරලොව, සසර දුක හෝ නිවන ගැන… සිහිනෙන්වත් නෑසුණ මිනිසුන් කොපමණ නම් මේ මනුලොවේ සිටිත් ද?

එවන් ලොවක… අපේ ම වාසනාවට අපට දුර්ලභ මිනිස් උපතක් සමඟින් ම අති දුර්ලභ බුදු සසුනක් මුණගැසීම සැබැවින් ම විස්මිත ය. එනමුදු… එපමණකින් ම ඒ ගැන සෑහීමට පත් වීම නම් කිසිසේත්ම බුද්ධි ගෝචර නොවේ. අප තථාගතයාණෝ මේ උතුම් ම මොහොතේ අගය බුදු නෙතින් දුටු සේක් මේ අයුරිනි.

“මහපොළොව එකම ජලාශයක් වී ඒ ජලාශයේ ඒ මේ අත පාවෙමින් තිබෙන එක් සිදුරක් ඇති විය දණ්ඩකි. ඒ ජලාශයේ ම වසන සිය වසරකට වරක් උඩට එන කණ කැස්බෑවෙකි. යම් මොහොතක ඒ කණ කැස්බෑවා සිය වසරකට වරක් උඩ මතු වී එම විය සිදුරෙන් හිස පිවිසීම ඉතා දුර්ලභව සිදුවිය හැක්කකි.

මහණෙනි, ‘මිනිසත් බව ලබයි’ යන යමක් ඇද්ද මෙය එසෙයින්ම ඉතාමත්ම දිගුකලක් ඇවෑමෙන් ලැබෙන දෙයකි.”

අපගේ සම්මා සම්බුදු තථාගත තෙමේ ලෝකයෙහි උපදියි යන යමක් ඇද්ද… තථාගතයන් විසින් දේශනා කරන ලද ධර්ම විනය ලොවෙහි බබළයි යන යමක් ඇද්ද… මෙය ද එසෙයින්ම ඉතාමත් දිගු කලකින් පසු ලැබෙන දෙයකි. මේ දුර්ලභ කාරණා ලද මොහොතේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස වීර්යය කළ යුතු යැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක.

හුදෙක්ම හොඳ අධ්‍යාපනයක් ලැබීම, උසස්‍ යැයි සම්මත රැකියාවක නියැළීම, ගෙවල් දොරවල් යාන වාහන, දූ දරුවන්, ලැබීම යන මේවා මිනිස් ජීවිතයක ලෞකික සුවපහසුව පිණිස උපකාර වන දෑ මිස… කිසිසේත් ම ජීවිතයේ අරුත නම් නොවේ. සසරේ සුපුරුදු දේ මිස දුර්ලභ සම්පත් නොවේ. ඒ නිසා මේ මත ම වටිනා මිනිස් දිවිය දිය කර හැරීම ප්‍රඥාගෝචර නොවේ.

වෙසෙසින් ම තථාගතයන් වහන්සේ ව ම පිළිසරණ කර ගනිමින් මුළු දිවිය ම සසුන් බඹසරට ම කැප කළ තම ශ්‍රාවක දරුවන්ගේ ‘අප්‍රමාදය’ අගය කොට වදාළ ශාස්තෘන් වහන්සේ මෙවන් ඔවදන් වදහළ සේක.

“කථං භූතස්ස මේ රත්තින්දිවා වීතිපතන්තී”ති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.”

‘කෙබඳු අයුරින් ගත කරන මට රාත්‍රිය ත්, දහවල ත් ඉක්ම යන්නේ දැ’ යි පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුත්තේ ය.’

මෙසේ සිහිකරන සැදැහැති ශ්‍රාවක පුතුන් දවසක් නිමාවන මොහොතේ ගෙවූ දිනය දෙස ආපසු හැරී බලද්දී… හිස් විදියට ගෙවී ගිය එකදු මොහොතක් හෝ තිබෙනු දැකීමට බිය වෙයි. මන්ද… ඒ උතුමන් මෙබඳු බුදු වදන් නිති සිහි කරන නිසාවෙනි.

“යම් එක ම ධර්මයක් භාවිත කරන ලද්දේ බහුලව ප්‍රගුණ කරන ලද්දේ මෙලොව අර්ථයත්, පරලොව අර්ථයත් යන උභයාර්ථය සලසයි නම් එබඳු එක ම ධර්මය නම් අප්‍රමාදී බවයි.”

(අප්‍රමාද සූත්‍රය, අං. නි. 4)

අප්පමාදරතෝ භික්ඛු – පමාදේ භයදස්සි වා

අභබ්බෝ පරිහාණාය – නිබ්බාණස්සේව සන්තිකේ”

‘යම් භික්ෂුවක් අප්‍රමාදයේ ඇලී ඉන්නවා නම්, ප්‍රමාද වීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, ඔහු පිරිහෙන්ට සුදුසු කෙනෙක් නොවෙයි. ඔහු ඉන්නේ ඒ අමා නිවන ළඟ ම යි.’

(ධම්මපදය – අප්පමාද වග්ගය)

අපට මේ අවස්ථාව ලැබුණේ කල්ප ගණනාවකට පසුව බව සැබැවි. එනමුදු මේ මොහොත “‍ක්ෂණයක්”‍ මිස බොහෝ කල් පවතින එකක් නොවේ. සෑම මොහොතක ම මේ උතුම් ක්ෂණය අහිමි කරවමින් ජීවිතය ගෙවී යන වේගය අදහාගත නොහැකි තරම්‍ ය.

“අප්පකං බ්‍රාහ්මණා, ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තාය බොද්ධබ්බං කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං.”

‘මනුෂ්‍යයන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කලකි. සුළු මොහොතකි. ඉතා කෙටි ය. බොහෝ දුක් ඇත්තේ ය. බොහෝ පීඩා ඇත්තේ ය. එය නුවණින් අවබෝධ කළ යුත්තේ ය. කුසල් කළ යුත්තේ ය. බඹසරෙහි හැසිරිය යුත්තේ ය. උපන්නහුට නොමැරී සිටීමක් නැත්තේ ය.’

මේ, මිනිස් ආයුෂ අවු. 60000ක් වූ යුගයක අරක නම් ශාස්තෘවරයා තම ශ්‍රාවකයන්ට කළ අවවාදයයි.

එමතුද නොව තණ අග ඇති පිණි බිඳ හිරු උදාවන කල්හී සැණෙකින් සිඳී යන සෙයින් ද මහත් දිය බිඳු ඇතිව වැස්ස වසින කල්හී හට ගන්නා දිය බුබුල් සැණෙකින් බිඳී යන සෙයින් ද දියෙහි ඇඳි ඉර සැණෙකින් නොපෙනී යන සෙයින් ද මනුෂ්‍යයන්ගේ ජීවිතය ඉතා සුළු කලක් ම පවතින්නේ ය.

කඳු මුදුනේ හටගත් – ඉතා දුර යන්නා වූ වේගවත් සැඩ පහර ඇති නදියක්, නැවතී සිටින ක්ෂණයක් හෝ ලයක් හෝ මොහොතක් හෝ නැත්තා සේ ම මේ දිවිය ද ඉතා වේගයෙන් මොහොතකදු නොනැවතී ගෙවී යන්නේ ම ය. මරණයට නියම වූ ගව දෙනක ඔසවන තබන පියවරක් පාසා මරණයට ම ළං වන සෙයින්… උපන් සත්වයා ද ඉහළ පහළ හෙළන සෑම හුස්මක් පාසා ම මරණයට ළං වෙත් ම ය.

මිනිස් ආයුෂ වසර 60000ක් ව පැවති යුගයේ කළ එම අවවාදය ගැන අප සුගත තථාගතයාණෝ වදහළේ වසර 100ක පමණ ආයුෂයක් ඇති මෙකලට ඒ අවවාදය වඩාත් උචිත බවයි. කරුණා පිරි භාග්‍යවතුන් වහන්සේ මිනිස් දිවියේ අල්ප බව ගණනය කොට දක්වන සේක.

“සිය වසක් ජීවත් වන්නෙකුට, ජීවත් වීමට තිබෙන්නේ, ඍතු වාර 300කි. මාස 1200කි. රාත්‍රී 36000කි. බත් අනුභව කිරීමට ඇත්තේ වාර 72000කි. එය ද බත් වැරදුනු කාලය ද එක්කොට ය.

මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ, අනුකම්පා ඇත්තා වූ, ශාස්තෘවරයෙකු විසින් අනුකම්පාව උපදවා යමක් කළ යුත්තේ ද, මා විසින් එය ඔබට කරන ලද්දේ ය. මහණෙනි, ඔය තිබෙන්නේ රුක් සෙවණ ය. ඔය තිබෙන්නේ ශූන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන වඩව්. ප්‍රමාදයට පත්වෙන්නට එපා. ප්‍රමාදයට පත් ව පසු කලක පසුතැවෙන්නට එපා. මෙය ඔබට අපගේ අනුශාසනය යි.”

(අරක සූත්‍රය, අං. නි. 4)

මිනිස් ආයුෂ වසර 70 – 80ක් ව පවතින මේ යුගයේ… ලද මේ ක්ෂණය නිකරුණේ ගෙවී යා නම්, එය මහත් ම විපතකි. වරදිනසුලු සසරේ ගොදුරක් බවට පත් වුවහොත් නැවත කවදා නම් මෙවන් මොහොතක් ලැබේදැයි කාට නම් කිව හැකි ද?

ජරා මරණ විසින් හතර වටින් වටකොට පහර දෙන මේ දිවියේ තවත් නම් පමා වීමට කාලයක් නැත් ම ය. මොහොතකට නැවතී තමා දෙස ම හැරී බලනු මැන. අති දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලද දිවියේ මේ වන විටත් කොපමණ ආයුෂ ගෙවී ගොස් ද? ගත වූ කාලය ගෙවී ගිය ආකාරය ගැන ඔබට අවංකව ම සෑහීමකට පත් විය හැකි ද?

දැන් පසුතැවීමට කාලය නොවේ. මේ අප්‍රමාදී වීමට කාලයයි. තව කොපමණ කලකට දැයි නොදන්නා නමුත්… තවමත් ඔබ ජීවතුන් අතර සිටීම ගැන සැනසුම් සුසුම් හෙළමින්… මියෙන මොහොත දක්වා ම එකම එක ඇසිල්ලක්වත් හිස් විදියට ගත නොකිරීමට දැඩිව අදිටන් කර ගනිත්වා! ලද ක්ෂණයේ උපරිම ඵල ලබත්වා! ධර්මාවබෝධය ම පතා පින් කුසල් වැඩුමෙහි අප්‍රමාදී වෙත්වා!

“මරණයත්, ලෙඩ දුකත්, වයසට යාමත් ජීවිතය කරා එන්නෙ මහා ගිනි කඳු වගේ. ඒකට ප්‍රතිවිරුද්ධව සටන් කරන්ට බලයක් නෑ. පලායන්ට ජවයකුත් නෑ. ටික ටික හෝ බහුලව හෝ දවස හිස් විදිහට ගත කරන්ට හොඳ නෑ. ගෙවී යන සෑම රාත්‍රියකින් ම ජීවිතේ කෙටි වෙලා යනවා.

එනිසා ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට මේ කොතැනත් අවසන් මොහොත පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා පමා නොවීමට මේ කාලයයි!”

(සිරිමන්ද රහත් මුනිඳුන්ගේ ගාථා)

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.

ධර්මය අපේ ජීවිතයටත් ගලපා ගනිමු.
අප මේ සිටින්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුසසුන ජීවමානව පවතින පින්වන්ත කාල පරිච්ඡේදයකයි. බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම ලෝකයේ හැමදාම සිදුවන දෙයක් නොවේ. බුදුරජාණන් වහන්සේනමකගේ පහළ වීම ලෝකයේ ගෙවී යන බොහෝ කල්ප ගණනකට සිදුවන ආශ්චර්ය වූත්, අතිශයින් ම දුර්ලභ වූත් සිදුවීමක්. මේ ‘කල්පය’ කියා හඳුන්වන්නේ ඉතා දිගු කාල පරිච්ඡේදයක්. දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි භික්ෂුවක් කල්පය කොපමණ දීර්ඝ දැයි ඇසුවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“භික්ෂුව කල්පය ඉතා දිගු ය. කල්පයට මෙපමණ වර්ෂ ගණනක්, මෙපමණ වර්ෂ දහස් ගණනක්, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක් ඇත්තේ ය කියා ගණන් කොට කියන්නට නොහැකි ය.”

“එසේ නම් භාග්‍යවතුන් වහන්ස උපමාවක් කියන්නට හැකි ද?”

“හැකි ය භික්ෂුව. යොදුනක් උස, යොදුනක් පළල නුවරක් වටා යොදුනක් උසට පවුරක් බැඳ ඇත්තේ ය. එය මුළුමනින්ම වැසී යන සේ උඩට ගොඩ ගසා අබ පුරවා තිබේ. පුරුෂයෙක් වසර සියයකට වරක් එයින් එක් අබ ඇටය බැගින් බැහැර කරයි. භික්ෂුව මේ ක්‍රමයෙන් බැහැර කරද්දී එහි ඇති අබ වහා අවසන් වන්නේ ය. එහෙත් කල්පය තවම අවසන් නොවූයේ ය.

මෙසේ භික්ෂුව කල්පය යනු මහා දීර්ඝ කාලයකි. බොහෝ ඉක්මගිය අතීතයට ඇත්තේ මෙවන් එක් කල්පයක් නොවේ. කල්ප සියයක් ද නොවේ. කල්ප දහසක් හෝ ලක්ෂයක් ද නොවේ. ගෙවුණ අතීතයෙහි බොහෝ අසංඛෙය්‍ය ගණන් කල්පයන් ඇතිව නැතිව ගියේ ය.”

මෙවන් අති දීර්ඝ කාලයකට පසුව මේ ලෝකයට බුදුරජාණන් වහන්සේනමක් පහළ වෙලා ආර්ය සත්‍යය හතර අවබෝධ කරගන්නවා. ඒ තමයි දුක නම් වූ ආර්ය සත්‍යය, දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය, දුක නැති වීම නම් වූ ආර්ය සත්‍යය, දුක නැති වීමේ මඟ නම් වූ ආර්ය සත්‍යය. උන්වහන්සේලා මේ ආර්ය සත්‍යයන් අවබෝධ කරගෙන ලෝක සත්වයාට මහා කරුණාවෙන් යුතුව දේශනා කරනවා. ඒ ධර්මය මුලත් සුන්දර මැදත් සුන්දර අගත් සුන්දර වූ, අර්ථ සහිත වූ, පැහැදිලි වචනවලින් දේශනා කරන මුළුමනින් පිරිසිදු වූ නිවන් මඟයි. අන්න එවිට මේ ලෝකයේ රාගයෙන් පීඩා විඳින අය, මාන්නයෙන් පීඩා විඳින අය, නොසන්සිඳුණු සිත් ඇති අය, අවිද්‍යාව නැමැති ගණ අන්ධකාරයේ සිටින අය ශ්‍රද්ධාව උපදවා ගනිමින් ඒ උතුම් ධර්මය ඇසීමට බොහෝ සෙයින් ආශා කරනවා. කන් යොමුකරගෙන සිටිනවා. එහි අර්ථ තම ජීවිතයට ගළපා ගනිමින් සිත කිලිටි කරන රාගය නැමැති අකුසලය දුරුකර ගන්නවා. මාන්නය නැමැති අකුසලය දුරුකර ගන්නවා. සිත සමාධිමත් කර ගන්නවා. විද්‍යාව පහළ කර ගන්නවා. ඉතින් මේ වගේ සුන්දර ධර්මයක් අපේ කන්වලට ශ්‍රවණය කරන්නට ලැබීම අපට ලැබුණ ලොකු භාග්‍යයක් හැටියට සිහිකළ යුතුයි.

දවසක් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. “පින්වත් අනුරුද්ධ, තථාගතයන් වහන්සේනමක් විසින් මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ ජනතාව විස්මයට පත් කරන්නට නොවේ. ජනතාව සුරතල් කිරීමට නොවේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගන්නට නොවේ. ජනතාව මා ගැන මෙසේ හඳුනාගනිත්වා කියා නොවේ. ශ්‍රාවකයන්ගේ මෙලොව හා පරලොව යහපත පිණිස ය. නිවන් මඟේ හැසිරෙන්නට උනන්දු කරවීම පිණිස ය.”

මේ වනවිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 2569ක් ඉක්ම ගොසින්. එහෙත් මේ මිහිරි ශ්‍රී සද්ධර්මය තවම මේ මිහිතලය මත පවතිනවා. කාලයෙන් කාලයට මේ ධර්මය රකින්න මේ ලෝකයට පින් ඇති අය පහළ වෙනවා. ඒ අය පහළ වෙලා තමයි “මෙයයි ධර්මය, මෙයයි විනය” කියලා කියා දෙන්නේ.

දවසක් භාග්‍යවතුන් වහන්සේ උපාලි ස්වාමීන් වහන්සේට මෙසේ වදාළා.

“පින්වත් උපාලි, යම් කෙනෙක් ධර්මය කියලා දෙන විට ඒ ධර්මය සසරේ කලකිරීම පිණිස නොවන්නේ නම්, ඇල්ම දුරු නොවන්නේ නම් ඔබ ඒකාන්තයෙන් ම තීරණය කරන්න ඕන ‘මෙය නම් ධර්මය නොවේ. මෙය නම් විනය නොවේ. ශාස්තෘ ශාසනය නොවේ.’ කියලා. එහෙත් යම් ධර්මයක් අසන විට ඒ ධර්මය තුළින් සසර කලකිරීම ඇති වෙනවා නම්, ඇල්ම දුරු වෙනවා නම්, කායික මානසික දුක් පීඩා දුරු වෙනවා නම් ‘මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්තෘ ශාසනය’ කියා තීරණයකට එන්න.”

ඒ වාගේ ම මහා පරිනිබ්බාන සූත්‍රයේ දී සම්බුදුරජාණන් වහන්සේ මහෝපදේශ සතරක් වදාළා. අනාගතයේ යම් කෙනෙක් හෝ පිරිසක්, සංඝ සභාවක් විසින් කියනවා නම් ‘මෙයයි ධර්මය, මෙයයි විනය’ කියා එවිට ඔබලා එකපාරටම පිළිගන්නේත් නැතුව, ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව ඒ කියන කාරණය සූත්‍රයේ බහා, විනයේ ගළපා බලා ධර්ම විනය හා නොගැලපේ නම්, හදාගත් මතයක් කියා ප්‍රතික්ෂේප කරන්න. යම් විටෙක එම කාරණය සූත්‍රයේ තියෙනවා නම්, විනයේ තියෙනවා නම්, ‘මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්තෘ ශාසනය’ කියා ස්ථීරව ම නිගමනයකට පැමිණෙන්න.”

මේ වනවිට මේ ධරණීතලයේ අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සූත්‍ර දේශනා වශයෙන් දීඝ නිකාය, මජ්ඣිම නිකය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය වශයෙන් පොත් වහන්සේලා ද විනය පිටකයේ මහාවග්ගපාළි, චුල්ලවග්ගපාළි, පරිවාරපාළි, පාචිත්තියපාළි, පාරාජිකපාළි වශයෙන් පොත් වහන්සේලා ද තුළ වැඩසිටිනවා.

ඉතින් මේ ධර්මය ඉගෙන ගැනීමේ දී මුලින් ම කෙනෙක් මේ ධර්මය විනය ඉතා හොඳින් ශ්‍රවණය කළ යුතුයි. ඒ තුළින් ඔහු ශ්‍රද්ධාව, දහම් දැනුම, සීලය ඉතා හොඳින් රැකගැනීමට උත්සාහ කරයි. ඒ වාගේම දහම් දැනුම වැඩී ඔහුගේ ජීවිතයේ අත්හැරීම පුරුදු කරන්න පුළුවන් වෙනවා. එසේම මේ දුක හටගන්නා ආකාරය, නැතිවන ආකාරය හෙවත් ජීවිතයේ ඇත්ත ස්වභාවය දැකීමේ නුවණ උදාකර ගන්න පුළුවන්.

දහම් දැනුම තුළින් කෙනෙකු පරිපූර්ණ මිනිසෙකු බවට පත් කරනවා. ඒ සඳහා ඒ ධර්මය හොඳින් අසා මතකයෙහි තබාගෙන, ඒ ධර්මය වචනයෙන් පුරුදු පුහුණු කරමින් එහි අර්ථ නුවණින් විමසමින් තම ජීවිතයට ගළපාගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ඇසීමේ ආනිසංශ පහක් දේශනා කොට වදාළා. ඒ තමයි, “නොඇසූ දෙය අසන්නේ ය. ඇසූ දේ වඩාත් පැහැදිලි වන්නේ ය. සැක දුරු වන්නේ ය. දෘෂ්ටිය ඍජු වන්නේ ය. සිත පහදින්නේ ය.” යන මේ පහ. ඉතින් මේ ආනිසංශ පහ අද පවා අපිට ධර්මය ඇසීම තුළින් ලබාගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ මුලින් ම ධර්මය ඇසීමට ආශාවක් ඇති කරගැනීමයි. ඊටපස්සේ කන් යොමු කරගෙන, ධර්මය අවබෝධ කිරීමට සිත පිහිටුවාගෙන එහි අර්ථ හොඳින් තේරුම් ගනිමින්, අනර්ථය අත්හරිමින් ජීවිතයට ගළපා ගනිමින් ඇසිය යුතුයි.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරලා අවසන් වනවිට එතැන ධර්මය අසන විශාල පිරිසක් සෝවාන් ආදී පිළිවෙළින් මාර්ග ඵලයන්ට පත් වෙනවා. අද කාලයේ මෙවැනි තත්ත්වයක් උදා නොවන්නට ධර්මාවබෝධ කරන අදහසින් තම ජීවිතයට ගළපා නොගැනීමත් හේතුවක්. මන්ද ඒ ධර්මය ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ගුණයෙන් යුක්තයි.

බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලයේ රහතන් වහන්සේලා විශාල වශයෙන් ධර්මය සාකච්ඡා කරමින් ශ්‍රාවකයන්ට ධර්ම අර්ථ මතු කර දී තිබෙනවා. වේදල්ල සූත්‍රයන් තුළ ඒ සාකච්ඡාවන් අඩංගුයි. ඒ වගේම තවත් සමහර ස්වාමීන් වහන්සේලා සතියේ දින හතක් භාවනා කරමින් ඉඳලා හත් වන දවසේ රාත්‍රී පහන් වන පුරාවට ධර්මය සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ඛේමක සූත්‍රයේ පැහැදිලි වෙනවා ධර්ම සාකච්ඡාව අවසන් වන විට ඒ ස්වාමීන් වහන්සේලා මග ඵල ලැබූ ආකාරය. සාරිපුත්ත මහරහතන් වහන්සේ අරහත්වයට පත් වුණේ භාග්‍යවතුන් වහන්සේ දීඝනඛ බ්‍රාහ්මණයාට ධර්මය දේශනා කරමින් සිටින අතරේ ඒ ධර්මය ශ්‍රවණය කරලා.

මේ ආකාරයට අපට ඉතා පැහැදිලිව පේනවා මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් විශාල යහපතක් ජීවිතයට උදා කරගන්න පුළුවන් බව. එම නිසා මේ ධර්මය ශ්‍රවණය කළ යුත්තේ සකස් කොට. ඒ වාගේම සකස් කොට, පිළිවෙළකට ධර්මය සාකච්ඡා කළ යුතුයි. ධර්ම සාකච්ඡාව අවසානයේ දී වාද විවාද ඇති නොවී ජීවිතයේ සංසිඳීමක් ඇතිවන ආකාරයට සකස් කොට පිළිවෙළකට ධර්මය දරා ගත යුතුයි. සකස් කොට අර්ථ නුවණින් විමසිය යුතුයි. සකස් කොට දහම් අරුත් තම ජීවිතයට ගළපා ගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා “මේ ශාසනය තුළ යම් කෙනෙක් නවාංග ශාස්තෘ ශාසනය ඉතා හොඳින් ඉගෙන ගන්නේ නම් එවිට මේ ශාසනය අතුරුදහන් නොවන්නේ ය” කියා. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කැමති අය මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට ඉගෙනගත යුතුයි. ඊටපස්සේ මේ ධර්මය අන් අයට කියාදිය යුතුයි. එමෙන්ම මේ ධර්මය සාකච්ඡා කළ යුතුයි. එමෙන්ම නුවණින් විමස විමසා තම ජීවිතයට ගළපාගත යුතුයි.

මෙන්න මේ කාරණා ටික යම් කෙනෙකුට මේ යුගයේ කරන්නට හැකියාව ලැබුණොත් එයා දෙව්මිනිස් ලෝකයාට ම මහත් යහපතක් කරන කෙනෙක් බවට පත් වෙනවා. මන්ද දෙවියන්ටත් මිනිසුන්ටත් සංසාර දුකින් නිදහස් වීමට ඇති එක ම මාර්ගය ධර්මය නිසා. ඒ නිසා අපි සියලු දෙනාම අධිෂ්ඨානයක් කරගනිමු,

“මමත් මේ ධර්මය පිරිසිදුව ඉගෙනගෙන එහි ඇති අර්ථ ජීවිතයට ගළපා ගනිමින්, මමත් සංසාර දුකින් නිදහස් වන අතරේ ලෝකය සසර දුකින් නිදහස් කරවන මේ බුද්ධ ශාසනය චිරාත් කාලයක් පවතින්නට දායක වෙනවා!” කියලා.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

මිළිඳු රාජ ප්‍රශ්නයෙහි යටගියාව – 5
කලණ සුමිතුරන් ඇසුරේ බණ පිරිවහ ගන්නේ…

නාගසේනයන් වහන්සේ ධම්මරක්ඛිත මහා තෙරුන් වහන්සේ වෙත එළඹ වන්දනාමාන කොට තමන් වහන්සේ වැඩි කාරණය සැල කළ සේක. ඉන්පසු තුන්මාසයක් ඇතුළත ධම්මරක්ඛිත තෙරුන් වහන්සේ සමීපයෙහි විනය පිටකයත්, සූත්‍ර පිටකයත් එක් වරක් ඇසූ පමණින් සම්පූර්ණයෙන් මතකයේ දරාගත් සේක. ඉක්බිති යළි තුන්මසක් අර්ථ වශයෙන් නුවණින් මෙනෙහි කළ සේක. එවිට ධම්මරක්ඛිත මහතෙරුන් වහන්සේ නාගසේනයන් වහන්සේට මෙසේ අනුශාසනා කළ සේක. “නාගසේනයිනි, යම් සේ ගවපාලකයා ගවයන් රක්ෂා කෙරේ ද පස්ගෝරස අන් අය අනුභව කරත් ද එපරිද්දෙන්ම ඔබ ත්‍රිපිටක බුද්ධ වචනය හොඳින් ඉගෙන මනාකොට දරන්නාහු මුත් ශ්‍රමණ ගුණ පරිපූර්ණ කරගෙන ධර්මයේ අර්ථයට සමීප වී නැත්තාහ. ඊට උත්සාහ වනු.”‍ කියා ය. “ස්වාමීනී, ඔබ වහන්සේ මා හට අර්ථ රසය උගන්වන්නට වෙහෙස නොවනු මැනවි.”‍ කියා පැවසූ නාගසේනයන් වහන්සේ එදින රාත්‍රියේ දී ම උගත් ධර්මයේ අර්ථරසය ආස්වාදනය කරමින් සිව්පිළිසිඹියා පත් මහරහතන් වහන්සේනමක් බවට පත් වූ සේක. නාගසේනයන් වහන්සේ පරිපූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ මොහොතේ භූමාටු දෙව්ලොව පටන් අකනිඨා බඹලොව තෙක් දෙවිවරු සාධුකාර පැවැත්වූහ. මහපොළොව කම්පිත විය. මහා බ්‍රහ්මයෝ සතුටින් පැනනැගී අත්පොළසන් දුන්හ. දිවසඳුන් සුණු හා පරසතු මදාරා පුෂ්පයෝ මුළු ලොව සුවඳ කරමින් අහසින් මල්වරුසා සේ ඇද හැළිණි.

ලොවට උතුම් පින්කෙත වූ සඟගණ වැඩමන්නේ….

එසමයෙහි වනාහී දහස් සංඛ්‍යාත බොහෝ රහතන් වහන්සේලා හිමාලය පර්වතයෙහි රක්ඛිත නම් තලයට රැස්වී “අපි සියලු‍ දෙනා වහන්සේ ම නාගසේනයෙන් දකිනු කැමැත්තෙමු. එහෙයින් නාගසේන ස්ථවිරයන් වඩින සේක්වා.”‍ යි කියා නාගසේනයන් සමීපයට දූතනමක් පිටත්කර හැරියාහු ය. දූතයාගේ වචනය ඇසූ නාගසේනයන් වහන්සේ අසෝකාරාමයෙන් අතුරුදහන් වී හිමාලය පර්වතයෙහි රක්ඛිත තලයෙහි රහතුන් ඉදිරියෙහි පහළ වූ සේක. ඒ උත්තම රහතන් වහන්සේලා නාගසේනයන් වහන්සේට මෙසේ පැවසූ සේක. “නාගසේනයෙනි, මේ මිළිඳු රජතුමා වනාහී දෘෂ්ටිවාද ප්‍රතිවාදයෙන් ප්‍රශ්න විචාරා භික්ෂු සංඝයා වෙහෙසන්නේ ය. නාසේනයනි, යහපති ඔබ වහන්සේ ගොස් මිළිඳු රජු දමනය කරව.”‍ කියා ය. එවිට නාගසේනයන් වහන්සේ “ස්වාමීනී, උතුම් සංඝයා වහන්ස, සැමදෙනා වහන්සේ ම පහසුවෙන් වැඩ සිටිය මැනව. සකල දඹදිව ම රජවරු පැමිණ මාගෙන් ප්‍රශ්න විචාරතත් ඒ සියලු‍ ප්‍රශ්න විසඳා මනාකොට කරුණු පහදා දෙන්නෙමි. ස්වාමීනී, ඔබ වහන්සේලා හැම දෙනම අකම්පිතව සාගලනුවරට වැඩ වදාළ මැනවි.”‍ කියා පිළිවදන් දුන් සේක. ඉන්පසු මහාථේර භික්ෂූන් වහන්සේ වැඩමකොට සාගලනුවර කසාවතින් බබුළු‍වා නිකෙලෙස් රහතුන්ගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ සේක. එසමයෙහි වනාහී ආයුපාල නම් මහතෙරුන් වහන්සේ සංඛෙය්‍ය නම් පිරිවෙණ වසන සේක.

සරු පිළිවෙත නිසා ලොවේ සසුනයි බබළන්නේ….

ඉක්බිති මිළිඳු රජතුමා ඇමතිවරුන්ට මෙසේ පැවසීය. “‍භවත්නි, සඳරැසින් යුක්ත වූ මේ රාත්‍රිය ඒකාන්තයෙන් ම සිත්කළු ‍ය. අද රාත්‍රියේ සාකච්ජා කරනු පිණිස, ප්‍රශ්න අසනු පිණිස ශ්‍රමණයෙකු කරා හෝ බ්‍රාහ්මණයෙකු කරා හෝ එළඹෙමු ද? කවරෙක් මා හා සමඟ කථා කරන්නට, සැක දුරු කරන්නට සමර්ථ වේ ද?” කියා ය. එසේ ඇසූ කල්හි පන්සියයක් යෝනක ඇමතිවරු මිළිඳු රජතුමාට මෙසේ සැල කළහ. “මහරජතුමනි, තුන්පිටකය දන්නා බහුශ්‍රැත වූ ධර්මධර වූ ආයුපාල නම් තෙරුන් වහන්සේනමක් වැඩ සිටී. උන්වහන්සේ මේ කාලයෙහි සංඛෙය්‍ය නම් පිරිවෙණ වසන සේක. දේවයන් වහන්ස, නුඹවහන්සේ ආයුපාල ස්ථවිරයන් වහන්සේ වෙත ගොස් ප්‍රශ්න අසා වදාළ මැනව.”‍ යි කීවාහු ය. “එසේ වී නම් සගයනි, ඒ පින්වතුන් වහන්සේට අප එන බව සැල කරව.”‍ කියා මිළිඳු රජු පැවසී ය. එවිට තේමිස්සක නම් ඇමතිතුමා සංඛෙය්‍ය පිරිවෙණට ගොස් ආයුපාල තෙරුන් වහන්සේ වෙත එළඹ,

“ස්වාමීන් වහන්ස, අප මිළිඳු රජතුමා ආයුපාලයන් වහන්සේ දකින්නට කැමති සේකැ.” යි‍ දන්වා සිටින්නට දූතයෙකු පිටත් කර හැරියේ ය. ආයුපාල ස්ථවිරයන් වහන්සේ දූතයාගේ වචනය අසා “එසේ වී නම් මිළිඳු රජතුමා පැමිණේවා!”‍ යි වදාළ සේක. එවිට මිළිඳු රජතුමා පන්සියයක් ඇමතිවරු පිරිවරා උතුම් යානයක නැගී සංඛෙය්‍ය නම් පිරිවෙණට පැමිණ තෙරුන් වහන්සේ සමීපයට එළඹියේ ය. එසේ එළඹ ආයුපාල ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටු සාමීචියෙහි යෙදී පිළිසඳර කතාබස් කොට එකත්පස්ව වාඩි විය. එකත්පස්ව සිටි මිළිඳු රජතුමා ආයුපාල ස්ථවිරයන්ගෙන් මෙසේ විමසා සිටියේ ය. “ස්වාමීනී ආයුපාලයන් වහන්ස, ඔබවහන්සේලාගේ පැවිදි බව කුමක් පිණිස ද? මේ පැවිදි බවෙහි උතුම් පරමාර්ථය කුමක් ද?” කියා ය. “නිරිඳාණෙනි, අපගේ පැවිදි බව ධර්මයේ හැසිර නිවන් අවබෝධය පිණිස ය.”‍ යැයි තෙරුන් වහන්සේ පිළිතුරු දුනි. එවිට රජු “ස්වාමීන් වහන්ස, ධර්මයේ හැසිරෙන යහපතෙහි හැසිරෙන ගිහි අයත් සිටී ද?”‍ කියා යළි විමසී ය. “මහරජ, අප භාග්‍යවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේ දම්සක් පැවතුම් සූත්‍රය වදාරණ කල්හි අටලොස් කෝටියක් බ්‍රහ්මයින්ට ධර්මාවබෝධය ලැබුණි. ගණනින් අතික්‍රාන්ත වූ දෙවිවරුන් ද එහි දී ධර්මාවබෝධ කළහ. ඒ සියල්ලෝම ගිහි ශ්‍රාවකයන් මිස පැවිද්දන් නොවේ. තවද මහරජාණෙනි, අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා සමය, මහා මංගල – සමචිත්ත පරියාය – රාහුලෝවාද – පරාභව ආදී සූත්‍ර දේශනා දේශනා කරන කල්හි ද ගණනපථය අතික්‍රාන්ත වූ දෙවිවරුන්ට ධර්මාභිසමය වූයේ ය. ඒ සියල්ලන් ද ගෘහස්ථගත ම ය. පැවිද්දන් නොවෙති.”‍ යි ආයුපාල තෙරුන් වදහළ සේක.

සම්බුදු බණ අම නිවන කරා යන… බැහැරට කොට වාදයකට බැසගෙන…

“එසේ වී නම්, ආයුපාල ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේලාගේ පැවිදි බව නිරර්ථක ය. කිසි ප්‍රයෝජනයක් නැත. පෙර කළා වූ අකුසල කර්මයන්ගේ විපාකයෙන් ශ්‍රමණශාක්‍ය පුත්‍රයෝ හිසරවුළු මුඩු කොටගෙන, විචිත්‍ර වස්ත්‍ර හැර ඒකවර්ණ පිළි ගෙන අගමුල සිඳ බිඳ කපා ගොතා පඬු පොවා වර්ණ විනාශ කොට හැඳ පොරවාගෙන, නොයෙක් ඤාතිමිත්‍ර අඹුදරු ඉඩකඩම් කුඹුරු ධනධාන්‍යාදී භෝග සම්පත් අත්හැර පැවිදි වෙති. දහතුනක් වූ ධුතාංගයෝ ද සමාදන් වෙති. ‍වහන්ස, ආයුපාල ස්ථවිරයෙනි, ඒකාසනිකංගය (එක් ආසනයක එක් වේලක් පමණක් වැළඳීම) පුරන යම් ඒ භික්ෂු කෙනෙකුන් ඇද්ද, ඒ භික්ෂුන් වහන්සේලා නිසැකවම පූර්වජාතියෙහි අනුන්ගේ වස්තු සොරාගෙන අකුසල කර්මයේ විපාකයෙන් මේ ජාතියෙහි ඒකාසනික වන්නාහ. අකුසල කර්මයේ විපාකයෙන් විටින් විට වළඳන්නට නොලැබේ. එක් වේලක් පමණක් වළඳති. එපමණක් මිස ඔවුන්ගේ ධුතගුණ සීලයක් නම් නැත. උතුම් තපසක් නම් නැත. බ්‍රහ්මචර්යාවකුදු නැත.

තවද ආයුපාලයන් වහන්ස යම් ඒ භික්ෂු කෙනෙක් වනාහී ‘අබ්භෝකාසිකංගය’ (කුටියක් හෝ රුක් සෙවණක් නොමැතිව එළිමහනේ වාසය කිරීම) පුරන්නහු ද ඒ භික්ෂූන් ඒකාන්තයෙන් ම පූර්ව ජාතියෙහි ගම්පැහැර ගෙවල් ගිනි තබා සත්වයන්ට වෙහෙස දුන් හොරු ය. ඔවුහු අනුන්ගේ ගෙවල් නසා දමා ඒ අකුසල කර්මයේ විපාකයෙන් මේ ජීවිතයේ දී අබ්භෝකාංසිකංගය පුරන්නාහු වෙති. තමන් කළ අකුසල කර්මයෙන් සේනාසනයන් පරිභෝග කරන්නට නොලබන්නාහු වෙති. එපමණක් මිස ඔවුන්ට සීලයක් නම් නැත. තපසක් නම් නැත. බ්‍රහ්මචර්යවාසයක් නම් නැත.

තවද ස්වාමීනී ආයුපාලයන් වහන්ස, නිදි වර්ජිත කරන නේසජ්ජික නම් යම් ඒ භික්ෂු කෙනෙක් ඇද්ද, ඒ හික්ෂූහු ඒකාන්තයෙන් ම පූර්ව ජාතියෙහි මං පහරන හොරු ය. ඔවුන් මග යන එන්නන් අල්වාගෙන බඩු භාණ්ඩ කොල්ල කමින් ඔවුන්ට රෑ දවල් නිදි වැද්ද නොදී ගස්බැඳ හිඳුවා ඒ අකුසල කර්ම විපාකයෙන් මේ ජීවිතයේ දී නිදි නොලැබ නේසජ්ජික වන්නාහු වෙති. සයනයක පිට තබා සැතපෙන්නට නොලැබෙති. එය මිසක් ඔවුන්ගේ සීලයක් නම් නැත. තපසක් නම් නැත. ශ්‍රේෂ්ඨ චර්යාවක් නම් නැත.”‍

මෙසේ මිළිඳු රජතුමා කී කල්හි ආයුපාල ස්ථවිරයන් වහන්සේ සිතන සේක්, ‘මේ රජු බණ අසන්නට අවුත් අහන බණ තබා අනික් මගක යයි. එනිසා මේ රජු හට බණ කීමෙන් වන ප්‍රයෝජනයක් නැතැ.’ යි‍ කිසිවක් නොවදාරා නිශ්ශබ්ද ව වැඩ සිටි සේක. එවිට පන්සියයක් වූ ඇමතිවරු තෙරුන් වහන්සේ නිශ්ශබ්ද ව සිටිනු දැක මිළිඳු රජතුමාට මෙසේ පැවසීය. “දේවයන් වහන්ස, තෙරුන් වහන්සේ පණ්ඩිත සේක. එතෙකුදු වුවත් අවිසාරද බැවින් කිසිවක් වදාරන්නේ නැත.”‍ කියා ය. එවිට මිළිඳු රජතුමා අත්පොළසන් දී ඔල්වර හඬ නගා පිරිවරා සිටි ඇමතිවරුන්ට මෙසේ පැවසීය. “එම්බා ඇමතිවරුනි, මේ සකල දඹදිව ම පණ්ඩිතයෙක් නැත. එබැවින් ඒකාන්තයෙන් ම දඹදිව්තලය හිස්ව ගියේ ය. එම්බා සගයෙනි, මේ සකල දඹදිව පණ්ඩිත ගෝචර වූ අර්ථ රසයක් අසන්නට නැති බැවින් ඒකාන්තයෙන් ම හිස්‍ ය. යම්කිසි ශ්‍රාවකයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මා සමඟ සාකච්ඡා කරන්නට සැක දුරු කරවන්නට හැකි වේ ද එබඳු කෙනෙක් නැත.”‍ ඇමතිවරු පිළිවදන් නොදී සිටියහ. ඒ සියලු‍ම ඇමතිවරු පිරිස දෙස නැවත නැවත බලන්නා වූ මිළිඳු රජු හට අභීත ව, කිසි සැකයක් නැතිව සිටි ඇමතිවරු දැක ‘යම් කරුණකින් මේ ඇමතිවරු කිසි සැකයක් නැතිව සිටින්නෝ ද ඒ කාරණයෙන් මා සමඟ සාකච්ඡා කරන්නට සමත් අන්‍ය වූ නිසි පණ්ඩිත වූ ව්‍යක්ත ප්‍රතිබල වූ භික්ෂූන් වහන්සේනමක් නිසැක ව ම ඇතැ’ යි‍ සිතමින් රජතුමා මහත් වූ අභිමානයෙන් පෙරළා රාජභවනයට ම ගියේ ය.

සාදු! සාදු! මම ගෞතම ශ්‍රාවක නමදින්නේ…

එසමයෙහි වනාහී සංඝනායක වූ ගණනායක වූ ගණාචාර්ය වූ ලෝක ප්‍රසිද්ධ වූ කීර්ති ඇත්තා වූ බොහෝ ජනයා විසින් යහපත් යැයි සම්මත කරන ලද්දා වූ පණ්ඩිතත්වයට පැමිණියා වූ ව්‍යක්ත වූ ප්‍රඥාවන්ත වූ දක්ෂ වූ අවබෝධ කරන ලද භාවිත ප්‍රඥාව ඇත්තා වූ ලෞකික ලෝකෝත්තර ගුණ මහිමයෙහි හික්මුණා වූ විශාරද වූ බහුශ්‍රැත වූ ත්‍රිපිටකධාරී වූ සියලු‍ අර්ථයන්ගේ කෙළවරට පැමිණියා වූ මතකයේ දරා ගත් ධර්මය ඇත්තා වූ සිව්පිළිසිඹියාවට පත් වූ නවාංග ශාස්තෘශාසන පර්යාප්තිධර වූ සර්වඥ වචනයෙහි පරතෙරට පත් වූ ධර්මාර්ථදේශනා ප්‍රතිවේධයෙහි දක්ෂ වූ ක්ෂය නොවන විසිතුරු වූ වැටහෙන ප්‍රඥාව ඇති විචිත්‍ර ධර්මකථික වූ සිත්ගන්නා දේශනා ශෛලියෙන් යුතු අන්‍යදෘෂ්ටිකවාදියකු විසින් ළං විය නොහැකි මැඩපැවැත්විය නොහැකි වාදාරෝපණය කළ නොහැක්කා වූ කිසිවකු විසින් අධිගත ගුණයෙන් වළක්වාලිය නොහැක්කා වූ මහා සාගරය මෙන් කැළඹිය නොහැක්කා වූ මහාමේරු රාජයා මෙන් නිශ්චල වූ තදංගාදීන් පහකරන ලද දිනූ ක්ලේශ යුද්ධ ඇත්තා වූ මෝහාන්ධකාරය දුරු කරන ප්‍රඥාලෝකය ලොවට ලබා දෙන මහාකථීශ්වර වූ අන්‍යගණ ජ්‍යේෂ්ඨ සමූහයන්ගේ වාදමතනය කරන අන්‍යතීර්ථකයන්ගේ අහංකාරය මර්ධනය කරන්නා වූ සිව්වණක් ශ්‍රාවක පිරිස විසින් ද රාජරාජ මහාමාත්‍යයන් විසින් ද සත්කාර කරන ලද්දා වූ ගෞරව කරන ලද්දා වූ සිත පහදවා ගන්නා ලද්දා වූ… පුදන ලද්දා වූ සත්කාර කරන ලද්දා වූ… ලාභයෙන් හා යසසින් අග්‍රප්‍රාප්ත වූ ශ්‍රමණ ගණ විසින් පිරිවරන ලද්දා වූ නාගසේන මහරහතන් වහන්සේ ඤාණාභිවෘද්ධි ඇත්තා වූ අසා දැරීමෙන් යුක්ත වූ නුවණැතියන්ට දෙලොව යහපත දක්වමින් නවාංග සර්වඥ ශාසනය නමැති උත්තම රත්නය ගෙනහැර දක්වමින් උතුම් වූ නිර්වාණ ධර්මය වදාරමින් සද්ධර්ම නමැති ප්‍රදීපය දල්වමින්, සද්ධර්ම නමැති යාග ස්තම්භය ඔසවමින්, සද්ධර්ම නමැති මහා දානය දෙමින් සද්ධර්ම ධ්වජය උසස් කොට නගමින්, සද්ධර්ම ජයපතාකය නගා… සද්ධර්ම නමැති ජයසංඛය තීව්‍ර හඬින් පිඹිමින්… සද්ධර්ම නමැති ජයබෙරය ගසමින්… අභීත සිංහනාද ඥානගර්ජිතය ගර්ජනා කරමින්… මධුරස්වර ගර්ජනා නමැති ශ්‍රේෂ්ඨ වූ මේඝගර්ජනාවෙන් යුක්ත වූ උතුම් වූ ප්‍රඥා නමැති විජ්ජුලතාවෙන් වළඳනා ලද්දා වූ කරුණා නමැති සිසිල් ජලයෙන් භරිත වූ මහත් වූ සද්ධර්මාමෘත වර්ෂාවෙන් සියලු‍ ලෝකයා මනා කොට සන්තර්පණය කරමින් ග්‍රාමනිගම රාජධානියෙහි සැරිසරා වඩින සේක් අනුපිළිවෙළින් වැඩම කොට මදුරට සාගල නම් නුවරට වැඩි සේක.

මිළිඳු රාජ ප්‍රශ්නයෙහි යටගියාව – 4
අධිසීල සංඛ්‍යාත උතුම් උපසම්පදා සීලයෙහි පිහිටි නාගසේනයන් වහන්සේ පසුදින උදෑසන පාසිවුරු ගෙන උපාධ්‍යායන් වහන්සේ සමඟ ඇතුළු ගමට පිඬු සිඟා වැඩි සේක. එසේ වැඩම කරද්දී ‘මාගේ උපාධ්‍යායන් වහන්සේ අවශේෂ වූ බුද්ධ වචනයන් තිබිය දී ළදරු වූ මා පළමුකොටම අති ගම්භීර වූ අභිධර්මයෙහි හික්මවාලූ සේක. එබැවින් මාගේ උපාධ්‍යායන් වහන්සේ ඒකාන්තයෙන් ම ගැඹුරු වූ නුවණින් හිස්‍ ය. අඥාන ය.’ යැයි සිතුවිල්ලක් ඉපදවීය. එවිට උපාධ්‍යාය වූ රෝහණ තෙරණුවෝ නාගසේනයන් සිත තම සිතින් පිරිසිඳ දැක මෙසේ පැවසූහ.‍ “නාගසේනයනි, තොප වැනි අයට සුදුසු නොවන සිතිවිල්ලක් සිතුවේ ය. මේ සිතුවිල්ල සිතන්නට සුදුසු නැතැ.”‍ එවිට නාගසේනයන් වහන්සේ යළි මෙසේ සිතුවේ ය. ‘‍මාගේ සිත උපන් විතර්කය, එසැණින් ම මාගේ උපාධ්‍යායන් වහන්සේ සිතින් සිත පිරිසිඳ දැක වදාරණ සේක. එහෙයින් පින්වත් වූ මාගේ උපාධ්‍යායන් වහන්සේ ඒකාන්තයෙන් ම පණ්ඩිත වූ සේක.

එබැවින් මම උපාධ්‍යායන් වහන්සේගෙන් සමාව ගන්නේ නම් ඉතා යහපත් වන්නේ ය.’‍ කියා ය. නාගසේනයන් වහන්සේ දොහොත් මුදුනෙහි තබාගෙන ගෞරවයෙන් වැඳ වැටී මෙසේ පැවසූහ. “‍අනේ! ස්වාමීනී, නොදැන සිතුවා වූ මට සමා වුව මැනවි. නැවත මෙබඳු සිතක් නොසිතමි.”‍ සැල කළේ ය. එවිට රෝහණ තෙරණුවෝ, “නාගසේනයනි, මෙපමණකින් මම තොපට සමාව නොදෙමි. නාගසේනයනි, සාගල නම් නුවරක් ඇත. එහි මිළිඳු නම් රජ කෙනෙක් රාජ්‍ය කරන්නේ ය. ඒ රජු දෘෂ්ටිවාදයෙන් ප්‍රශ්න අසා භික්ෂු සංඝයා වෙහෙසවන්නේ ය. ඉදින් තොප, සාගල නුවරට ගොස් මිළිඳු රජු දමනය කොට ශාසනයෙහි පහදවන්නෙහි, එසේ කළ විට මම තොපට සමාව දෙමි.”‍ යි පැවසූහ.

“ස්වාමීනී, වැඩසිටිය මැනව. එක ම මිළිඳු රජෙකු තබා සකල දඹදිව සියලු‍ම රජදරුවෝ මා කරා අවුත් මාගෙන් ප්‍රශ්න ඇසුවත් ඒ සියල්ලම විසඳා අවුල් හරවා පැහැදිලි කොට දෙන්නෙමි.” කියා නාගසේනයන් වහන්සේ පැවසූහ. තවද “‍එනිසා ස්වාමීනී, ඒ ගැන සැක නොකොට මට සමාව දුන මැනවි.”‍ කී විටත්, “‍සමාව නොදෙමි.”‍ රෝහණ තෙරණුවෝ පැවසූහ. “එසේ වී නම් ස්වාමීනී වස් වසන කලත් ළං වීය. මේ තුන් මාසය කවුරු ළඟ වසමි දැ?” යි ඇසූ විට “‍නාගසේනයනි, අස්සගුත්ත මහතෙරුන් වහන්සේ වත්තනිය නම් සේනාසනයෙහි වසන සේක. ඔබ එතැනට ගොස් මාගේ වචනයෙන් අස්සගුත්ත මහතෙරුන් වහන්සේගේ පා යුග සිරසින් වන්දනා කරව. ‘‍ස්වාමීනී, මාගේ උපාධ්‍යායන් වහන්සේ ඔබ වහන්සේගේ පායුග සිරසින් වන්දනා කරයි. නිරෝගී බව ද නිදුක් බව ද පහසුවෙන් යැපිය හැකි බව ද සුව සේ වසන බව ද විචාරයි. මේ තුන්මස ඔබ වහන්සේගේ සමීපයෙහි වසන්නට මා එවූ සේකැ.’ යි සැල කරව. අස්සගුත්ත තෙරණුවෝ, ‘‍තොපගේ උපාධ්‍යායන් වහන්සේ කවුරුදැ?’ යි විචාළ කල්හි ‘‍ස්වාමීනී, රෝහණ ස්ථවිරයන් වහන්සේ යැ.’ යි කියව. ‍‘මම කිනම්දැ?’ යි විචාළ කල්හි ‘ස්වාමීනී, මාගේ උපාධ්‍යායන් වහන්සේ ඔබ වහන්සේගේ නම දන්නා සේකැ.’ යි පිළිතුරු දෙව.”

“එසේය වහන්ස.” යැයි කියා නාගසේනයන් වහන්සේ රෝහණ තෙරුන් පසඟ පිහිටුවා වැඳ, පැදකුණු කොට පාසිවුරු ගෙන අනුපිළිවෙළින් වැඩම කර වත්තනිය සේනාසනයෙහි අස්සගුත්ත මහතෙරුන් වහන්සේ වෙත එළඹුණහ. අස්සගුත්ත මහතෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වන්දනා කොට එකත්පස්ව සිට මෙසේ සැල කළහ. “‍ස්වාමීනී, මාගේ උපාධ්‍යායන් වහන්සේ ඔබ වහන්සේගේ පායුග සිරසින් වඳිනා සේක. නිරෝගී බව ද නිදුක් බව ද කායික සැහැල්ලු‍ව ද සුවපහසුව ද විචාරණ සේක. එසේම ස්වාමිනී, උපාධ්‍යායන් වහන්සේ මා මේ තුන් මාසය ඔබ වහන්සේගේ සමීපයෙහි වසන්නට එවූ සේක.”‍

එවිට අස්සගුත්ත තෙරණුවෝ නාගසේනයන් වහන්සේගෙන් මෙසේ විචාළ සේක. “‍ඔබේ නම කුමක්ද?” “‍ස්වාමීනී, මම නාගසේන නම් වෙමි.”‍ පිළිතුරු දුන් විට, “‍ඔබගේ උපාධ්‍යායන් වහන්සේ කවුද?” කියා විමසූහ.‍ “ස්වාමීනී, මාගේ උපාධ්‍යායන් වහන්සේ රෝහණ නම් ස්ථවිර වන සේක.”‍ කී විට “මම කවුරු නම් වේ ද?”‍ කියා නැවත විමසූහ. “‍ස්වාමීනී, මාගේ උපාධ්‍යායන් වහන්සේ ඔබ වහන්සේගේ නම දන්න සේක.”‍ කියා නාගසේනයන් වහන්සේ පැවසූහ. “‍යහපති නාගසේනයනි, එසේ නම් පාසිවුරු තැම්පත් කොට තබව.” යැයි අවසර දුන් විට “‍එහෙමයි ස්වාමීනී.”‍ කියා පාසිවුරු තැම්පත් කොට රාත්‍රියේ සැතපී පසුදා උදෑසනින් ම අවදි වූහ. අස්සගුත්ත තෙරණුවන්ගේ කුටිය වටා නැමද මුව සෝදන පැන් සහ දැහැටි දඬු ගෙන ගොස් ළඟ තැබූ සේක. අස්සගුත්ත තෙරණුවෝ ඒ පැන් සහ දැහැටි ඉවත දමා වෙනත් පැන් සහ දැහැටි භාවිත කළහ. ඇමදපු මළු‍ව යළි ඇමදූ සේක. නාගසේනයන් වහන්සේ සමඟ කිසිදු කතාබහක් නොකළ සේක. මෙසේ සත්දිනක් පුරාවට ඉවසීම සහ කීකරු බව පරීක්ෂා කොට නැවතත් පැමිණි කරුණු විමසා නාගසේනයන් වහන්සේ පෙර සේම පිළිතුරු දුන් කල්හි තමන් වහන්සේ සමීපයෙහි වස් වසන්නට අවසර දුන් සේක.

ඒ කාලයෙහි මහත් වූ භෝග සම්පත් ඇති, ශ්‍රද්ධා සීල ගුණයෙන් ද මහත් වූ එක්තරා උපාසිකාවක් අස්සගුත්ත මහතෙරුන්ට තිස්වසරක් තිස්සේ උපස්ථාන කළා ය. ඒ උපාසිකාව මෙවර වස් තුන්මාසය පුරාත් සිව්පසයෙන් උපස්ථාන කොට වස් අවසානයේ අස්සගුත්ත මහතෙරුන් වෙත එළඹ මෙසේ පැවසුවා ය. “‍ස්වාමීනී ආර්යයන් වහන්ස, හෙට දවසේ නාගසේන වහන්සේත් සමඟින් මාගේ නිවසට දානයට වැඩම කළ මැනවි.” කියා ආරාධනා කළා ය. එම ආරාධනාව පිළිගත් තෙරුන් වහන්සේ පසුදින නාගසේනයන් වහන්සේත් සමඟින් එම උපාසිකාවගේ නිවසට වැඩි සේක. එසේ වැඩමකොට පනවන ලද අසුන්වල වැඩසිටි කල්හී එම උපාසිකාව ප්‍රණීත ආහාර පානාදිය සියතින් ම පිළිගන්වා පෙරැත්ත කොට දන් වැළඳවූවා ය. දන් වළඳා අවසන් වූ පසු අස්සගුත්ත තෙරණුවෝ “‍නාගසේනයනි, ඔබ මහ උපාසිකාවට අනුමෝදනා බණ වදාරව.”‍ කියා පවසා පෙරලා විහාරයට වැඩි සේක. එවිට මහ උපාසිකාව මෙසේ පැවසුවා ය. “‍ස්වාමීනී නාගසේනයන් වහන්ස, මම වනාහී දැන් ඉතා වයස්ගත වෙමි. ගම්භීර වූ ධර්ම කථාවකින් මට අනුග්‍රහ කළ මැනවි.”‍ කියා ය. එවිට නාගසේනයන් වහන්සේ ඒ උපාසිකාවට ගම්භීර වූ ලෝකෝත්තර වූ ශුන්‍යතාප්‍රතිසංයුක්ත අභිධර්ම කථාවෙන් දහම් දෙසූ සේක. ඒ සදහම් ශ්‍රවණය කළ මහෝපාසිකාවට එම ආසනයේ දී ම ‘‍හේතුප්‍රත්‍යයෙන් හටගත් යම් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වාභාවයෙන් යුතු යැ’ යි දන්නා වූ කෙලෙස් මළකඩ පහව ගිය දහම් ඇස නම් වූ සෝතාපත්ති ඤාණය පහළ විය. තමන් වහන්සේ දෙසූ ධර්මය ම නුවණින් විමසා විදර්ශනා කළ නාගසේනයන් වහන්සේ ද ධර්මාසනයේ දී ම සෝවාන් ඵලයෙහි පිහිටියහ. අස්සගුත්ත මහ තෙරණුවෝ තම විහාරයෙහි සිට දෙදෙනාගේ ම ධර්මාවබෝධය දිවැසින් දැක වදාරා,

“සාදු, සාදු නාගසේනයනි! එකම හීසැරයකින් ශරීර දෙකකට විදිනා ලදී.”‍ කියා සාදුකාර පැවැත්වූහ. එය අසා නොයෙක් දහස් ගණන් දේවතාවෝ ද සාදුකාර පැවැත්වූහ. ඉන්පසු නාගසේනයන් වහන්සේ අස්සගුත්ත තෙරුන් වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව සිටි සේක. එකත්පස්ව සිටියා වූ නාගසේනයන් වහන්සේට තෙරණුවෝ මෙසේ පැවසූ සේක. “‍නාගසේනයනි, ඔබ පැළලු‍ප් නුවරට යව. එහි අසෝකාරාමයෙහි ආයුෂ්මත් ධම්මරක්ඛිත ස්ථවිරයෝ වාසය කරයි. උන්වහන්සේගේ සමීපයෙහි බුද්ධ වචනයන් උගනුව.”‍ කියා ය. “‍ස්වාමීනී, මෙතැන් සිට පැළලු‍ප් නුවරට කොපමණ දුර ද?”‍ යි විචාළ විට “‍නාගසේනයනි, යොදුන් සියයකැ.” යි පිළිතුරු ලැබිණි. “‍ස්වාමීනී, මාර්ගය ඉතා දුර ය. අතරතුර මාර්ගයෙහි භික්ෂාව දුර්ලභ ය. මම කෙසේ යන්නෙමි ද?”‍ ඇසූ විට “‍නාගසේනයනි, අන්තර් මාර්ගයෙහි ඔබ වහන්සේට දිනපතා නොයෙක් සූප හා ව්‍යංජනයන් යුක්ත වූ පිරිසිදු සුවඳ හැල් සහලෙන් කළ භෝජනය ම පිඬු පිණිස ලැබෙයි.”‍ කියා තෙරණුවෝ වදාළ සේක. “එසේය ස්වාමීන් වහන්සැ.” යි කියා නාගසේනයන් වහන්සේ මහතෙරුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට ගෞරව දක්වා පාසිවුරු ගෙන පැළලු‍ප් නුවර කරා යන්නට පිටත් වූ සේක.

එසමයෙහි වෙළඳාමෙහි ගොස් එන්නා වූ පාටලීපුත්තක සිටාණෝ වෙළඳ භාණ්ඩ පිරවූ ගැල් පන්සියයක් සමඟ පැළලු‍ප් නුවරට යන මාර්ගයට පැමිණියේ ය. ඒ පාටලිපුත්තක සිටාණෝ දුරින් ම වඩින නාගසේනයන් වහන්සේ දැක ගැල් මඳකට නවත්වා නාගසේනයන් වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ මෙසේ විමසී ය. “‍ස්වාමීන් වහන්ස, කොතැනකට වඩිනා සේක් ද?”‍ කියා ය. “‍ගෘහපතිය, පැළලු‍ප් නුවරට යමි.”‍ කී විට “‍යහපති ස්වාමීනී, අපිත් පැළලු‍ප් නුවරට යන්නෙමු. ඔබවහන්සේටත් අප සමඟ සුවසේ වැඩිය හැකියැ.” යි ආරාධනා කොට කැඳවාගෙන ගියේ ය. නාගසේනයන් වහන්සේගේ සංවර වූ ඉරියව් පැවැත්ම ගැන වඩාත් පැහැදුණු සිටුතුමා ප්‍රණීත වූ ආහාර පානාදිය සියතින් ම පූජා කොට වැළඳවී ය. දන් වළඳා අවසානයේ, “‍ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ නම කුමක්දැ?”‍ යි විචාරා “‍මම නාගසේන නම් වෙමි.”‍ යි කී විට “‍ස්වාමීනී, ඔබ වහන්සේ සම්බුදු වදන් වූ ධර්මය දන්නේ ද?”‍ කියා යළි විමසී ය. “‍ගෘහපතිය, මම අභිධර්මය පදයන් මඳක් දනිමි.” යි පිළිතුරු දුන් විට, “‍ස්වාමීන් වහන්ස, අප ලද්දේ යහපත් ලාභයකි. මමත් පෙර අභිධර්මය ඇසූ උපාසකයෙක්මි. ඔබ වහන්සේත් අභිධර්මය දන්නා සේක. මා හට අභිධර්ම පදයන් වදාළ මැනවි.”‍ යි කියා ආයාචනා කළේ ය. එවිට නාගසේනයන් වහන්සේ සිටුතුමාට අභිධර්මය දේශනා කළ සේක. දේශනා කරන කල්හි ම ධර්මයෙහි සිත පහදවා ගත් පාටලීපුත්තක සිටුතුමාට යම්කිසි ධර්මයක් හේතුප්‍රත්‍යයෙන් හට ගන්නේ ද ඒ සියලු‍ම ධර්මයන් හේතු නැති වීමෙන් නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත වන්නේ යැයි යන කෙලෙස් මළකඩ දුරු වූ, අවිද්‍යා අන්ධකාරය පහව ගිය දහම් ඇස පහළ වී උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. දුටු දහම් ඇති පාටලීපුත්තක ආර්යශ්‍රාවක සිටාණෝ, තමන් සතු දිගින් සොළොස් රියනක් වූ පළලින් අටරියනක් වූ රක්ත කම්බිලිය නාගසේනයන් වහන්සේට පූජා කළේ ය. අනුකම්පාවෙන් එය පිළිගත් නාගසේනයන් වහන්සේට පැළලු‍ප් නුවර අසෝකාරාමයට යන මග පෙන්වූ සිටුතුමා ඔදවැඩියා වූ, ප්‍රමුදිත වූ සිතින් යුක්තව ආදරයෙන් පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට අවසර ගෙන සිය සිටු මාළිගාව කරා ගියේ ය. නාගසේනයන් වහන්සේ ද ධම්මරක්ඛිත තෙරණුවෝ වසන අසෝකාරාමයට පිවිසි සේක.

මිළිඳු රාජ ප්‍රශ්නයෙහි යටගියාව – 3
නාගසේන කුමරු අනුක්‍රමයෙන් වැඩී හත් හැවිරිදි වියට පත් විය. එවිට පියාණන් කුමරු අමතා, “දරුව නාගසේනයෙනි, මේ බ්‍රාහ්මණ ගෝත්‍රයෙහි උගතමනා ශිල්පයන් ඉගෙන ගන්න.”‍ යැයි පැවසී ය. “පියාණන් වහන්ස, මේ බ්‍රාහ්මණ ගෝත්‍රයෙහි උගත යුතු ශික්ෂාවන් මොනවා දැ?” යි‍ විමසූ විට, “‍දරුව නාගසේනයෙනි, වේදයෝ වනාහී තුනකි. ඒ වේදත්‍රය ‘සික්ෂා’ නම් වේ. අවශේෂ වූ ශිල්පයන් ‘ශිල්ප’ නම් වෙයි.”‍ කියා පිළිතුරු ලැබිණි. “එසේ වී නම් පියාණෙනි, ඒවා ඉගෙන ගන්නෙමි.”‍ කියා නාගසේන කුමරු පිළිවදන් දිනි.

ගුරු සිත නොරිදවා අකුරු උගනී කුමරු සොඳවා…

ඉන්පසු සෝණුත්තර බ්‍රාහ්මණයා අකුරු කරවන්නා වූ ආචාර්ය බ්‍රාහ්මණතුමාට ගුරුපඬුරු පිණිස දහසක් කහවණු දී ඇතුළු ප්‍රාසාදයේ වූ එක් සැටියක ඇඳක් පනවා මෙසේ කීය. “බ්‍රාහ්මණය, ඔබ මාගේ පුත්‍රයා හට මන්ත්‍ර හදාරව.”‍ කියා ය. “එසේනම් ශිෂ්‍ය පුත්‍රය, මන්ත්‍රණයක් ඉගෙන ගනුව.”‍ යි කියා ගුරු බ්‍රාහ්මණ තෙමේ මන්ත්‍ර හදාරවන්නේ ය. නාගසේන කුමරු එක්වරක් කියවා ගත් පමණින් ම ත්‍රිවේදංගයෝ මතකයෙහි දරා ගත්තේ ය. මනාකොට ම අවබෝධ කර ගත්තේ ය. එක්වරක් ඇසූ සැණින් ම ත්‍රිවේදයෙහි ද නිඝණ්ඩු ශාස්ත්‍ර සහිත වූ කාව්‍යාලංකාරයෙහි ද ඉතිහාසය පස්වැනි කොට ඇති භාෂා ශාස්ත්‍ර පිළිබඳ ශික්ෂා නිරුත්ති සහිත අක්ෂර ප්‍රභේද සහිත දැනුමෙහි ද අතිශයින් ම දක්ෂ වූයේ ය. එම නිසා ‘පද’ නම් ග්‍රන්ථ විශේෂය වූ ශබ්ද ශාස්ත්‍රය දන්නේ ය. ව්‍යාකරණ ශාස්ත්‍රය ද දන්නේ‍ ය. දොළොස් දහසක් ග්‍රන්ථ ඇති ලෝකායන මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයෙහි ද නිපුණ විය.

ඉක්බිති නාගසේන කුමරු තම පියාගෙන් මෙසේ විමසීය. “‍පියාණෙනි, මේ අපගේ බ්‍රාහ්මණ ගෝත්‍රයෙහි මීට වඩා උගත යුතු ශිල්පයෝ ඇද්ද? නැත්නම් මෙපමණක් ද ?”‍ කියා ය. එවිට පියා, “දරුව නාගසේනයෙනි, අපගේ මේ බ්‍රාහ්මණ ගෝත්‍රයෙහි මීට වඩා උගතමනා ශිල්ප ශාස්ත්‍රයක් නැත. ශික්ෂණය කටයුතු ශිල්පයෝ මෙපමණක් ම ය.”‍ කියා පැවසීය. එය ඇසූ නාගසේන කුමරු තම ආචාර්ය බ්‍රාහ්මණයාට පාඩම් දී සමුගෙන ප්‍රාසාදයේ උඩුමහලට නැඟී පූර්වවාසනා බලයෙන් මෙහෙයවන ලද සිත් ඇතිව හුදෙකලා ව විවේකයෙන් නුවණින් විමසීය. තමන් උගත් ශිල්පශාස්ත්‍රවල මුල – මැද – අග නුවණින් සලකද්දී කිසි ලෙසින්වත් හරයක් නොදැක, “තුච්ඡා වත භො ඉමේ වේදා, පලාපං වත භො ඉමේ වේදා”‍ යැයි,‍ “මං උගත් වේද ශාස්ත්‍ර අසාර ය, නිස්සාර ය.”‍ යැයි කලකිරී විපිළිසරව නොසතුටු විය. එසමයෙහි රෝහණ මහතෙරුන් වහන්සේ වන්තනිය සේනාසනයෙහි වැඩ සිටිමින් නාගසේන කුමරුගේ චිත්ත විතර්කය පරසිත් දන්නා නුවණින් දැක වදාළ සේක.

එකෙණෙහි ම සිවුරු පොරවා පාත්‍රයත් ගෙන වන්තනිය සේනාසනයෙන් අතුරුදහන්ව කජංගල නම් බ්‍රාහ්මණ ගමේ පහළ වූ සේක.

රැස් කරනා පින එයි පසුපස්සේ සැප සලසන්නට හැමතිස්සේ

නාගසේන කුමරු වඩින්නා වූ රෝහණ තෙරුන්ව දුරදීම දැක සතුටුව ඔදවැඩියා වූ සිත් ඇතිව ප්‍රමුදිතව ප්‍රීති සොම්නස් උපදවා “මේ ශ්‍රමණයන් වහන්සේවත් කිසියම් සාරවත් දෙයක් දන්නේ නම් ඉතා යහපත්.”‍ යැයි සිතුවේ ය. එසේ සිතා රෝහණ මහ තෙරුන් වහන්සේ ළඟට ගොස්, “ශ්‍රේෂ්ඨයාණෙනි, මෙබඳු වූ හිස මුඩු කළ කසාවත් හඳිනා ඔබ වහන්සේ කවුරුදැ?” යි ඇසුවේ ය.

“දරුව මම පැවිද්දෙක්මි.”‍ තෙරණුවෝ පිළිතුරු දුන්හ. “ශ්‍රේෂ්ඨයාණෙනි, නුඹ වහන්සේ කුමක් පිණිස පැවිදි වූ සේක් ද?”‍ කියා විචාළ විට, “දරුව, පවිටු වූ කෙලෙස් මල දුරු කරන්නට පැවිදි වීමි.”‍ යි තෙරණුවෝ පැවසූහ.

“‍නිදුකාණන් වහන්ස, මැනවි. නුඹ වහන්සේගේ හිසකේ සෙස්සවුන්ගේ මෙන් දික් නොවී ලු‍හුඬු වන්නට කාරණා කවරේ ද?”‍ කුමරු යළි ඇසුවේ ය. “දරුව, දික් වූ හිසකෙස් දැරීමෙන් සොළොසක් වූ පළිබෝධ ඇතිවන නිසා හිසකේ රැවුල් කපා පැවිදි වීමි.”‍ “‍නිදුකාණන් වහන්ස, ඒ පළිබෝධ දහසය නම් කුමක්ද?”‍ කියා කුමරු විමසී ය. “දික් හිසකේ ඇති කල අලංකාර කරවන පළිබෝධය, ඉසංකෝධන පළිබෝධය, මල් පලඳින පළිබෝධය, සුවඳ ගල්වන පළිබෝධය, දුම ආදියෙන් සුවඳ කවන පළිබෝධය, අරළුසුණු ගල්වන පළිබෝධය, හිසකෙස් බඳින පළිබෝධය, පනාවෙන් පීරන පළිබෝධය, අන්දම් තිබීම් පළිබෝධය, අවුල් හරින පළිබෝධය, උකුණන් හරින පළිබෝධය යන මේ පසළොස් පළිබෝධ හා හිසකේ වැනසී ගිය කල සෝක කෙරෙති, ක්ලාන්ත වෙති, හඬති, පපුවෙහි අත් ගසමින් හඬති, සිහි මුළාවට පැමිණෙති යන මේ මහා පළිබෝධය ද යන සොළොස් පළිබෝධයන් වැළඳ සිටියා වූ මිනිසුන් අති සියුම් සියලු‍ම ශිල්ප ශාස්ත්‍රයන් නසා ගන්නේ ය.” යි තෙරුන් වහන්සේ වදාළ සේක. එවිට නාගසේන කුමරු, “එසේය නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේගේ හඳනා පොරෝනා වස්ත්‍රයත් අන් අයගේ මෙන් නොවේ. එයට හේතු කාරණා කවරේ ද?”‍ කියා ඇසුවේ ය. “දරුව, ගිහියන් විසින් හැඳිය පැලඳිය යුතු වූ, සියල්ලන් විසින් කැමති වන්නා වූ, යහපත් වූ වස්ත්‍රයේ පඤ්චකාම නිශ්‍රිත ය. එහෙයින් දරුව, යම්කිසි භයක් උපදී නම් ඒ වස්ත්‍ර නිසා උපදින්නේ ය. ඒ භය කසාවත් හඳිනා අයට නැත. ඒ නිසා මාගේ වස්ත්‍ර සෙස්සන්ගේ මෙන් නොවේ.”‍ කියා රෝහණ තෙරණුවෝ වදාළහ.

පින් ඇති මගේ හිමි සඳුගේ මන්ත්‍ර කියා දෙන්නේ…..

නාගසේන කුමරු ඒ අසා සතුටුව, “නිදුකාණන් වහන්ස, නුඹ වහන්සේ ශිල්ප ශාස්ත්‍ර නම් දෙයක් දන්නා සේක්දැ?”‍ යි ඇසුවේ ය. “එසේය දරුව, මම ශිල්ප ශාස්ත්‍රත් දනිමි. ලෝකයෙහි උතුම් වූ යම් මන්ත්‍රයක් ඇද්ද, ඒ මන්ත්‍රයත් දනිමි.”‍ යි වදාළ සේක.

“නිදුකාණන් වහන්ස, ඒ උතුම් වූ මන්ත්‍රය මටත් දෙන්නට පුළුවන් ද?”‍ යි විමසූ විට, “එසේය දරුව, පුළුවන්.”‍ යැයි වදාළ සේක. “එසේ වී නම් මට මන්ත්‍රය දුන මැනවැ.”‍ යි කුමරු ආයාචනා කළ විට, “දැන් දරුව ශිල්ප දෙන්නට සුදුසු කාලය නොවේ. ඇතුළු ගමට පිඬු පිණිස වැඩියෙමි.”‍ යි තෙරණුවෝ කීහ. ඉන්පසු නාගසේන කුමරු රෝහණ තෙරුන්ගේ අතින් පාත්‍රය ගෙන ගෙට වඩා ගෙනවිත් ප්‍රණීත වූ ආහාරයන් සියතින් ම බෙදා පෙරැත්ත කොට වැඩි වැඩියෙනුත් වැළඳවී ය. වළඳා අවසන් වූ පසු, “නිදුකාණෙනි, මට දැන් ඉතින් උතුම් වූ මන්ත්‍රය දුන මැනවැ.”‍ යි කියා පැවසීය. එවිට තෙරුන් වහන්සේ, “‍පින්වත් දරුව, ඔබ යම් දවසක අප සේම පළිබෝධ රහිත වෙමින්, මව්පියන්ගේ ද අනුදැනුම ඇතුව මා ලෙසින් පැවිදි වන්නේ ද එදිනම ඔබට මන්ත්‍රය දෙමි.” යි පැවසූ සේක.

එවිට නාගසේන කුමරු මෑණියන්, පියාණන් කරා ගොස්,‍ “මෑණියෙනි, පියාණෙනි, මේ ශ්‍රමණයන් වහන්සේ ලෝකයේ උතුම් වූ මන්ත්‍රයක් ඇද්ද එය දනිමියි කියයි. තමන් ළඟ පැවිදි වූ කෙනෙකුට මන්ත්‍රය කියා දෙන සේක. මම උන්වහන්සේ ළඟ පැවිදි වී මන්ත්‍රය උගන්නෙමි.” කීය. එවිට මවුපියෝ ‘‍අපගේ පුතු පැවිදිව මන්ත්‍රය ඉගෙනගෙන, පසුව සිවුරු හැර එන්නේ යැ.’ යි සිතා, “පුත්‍රය, මන්ත්‍රය ඉගෙන ගනුව.” කියා අවසර දුන්හ. රෝහණ තෙරුන් වහන්සේ නාගසේන කුමරු කැඳවාගෙන වත්තනිය සෙනසුනේ විජම්භවත්තුවට වැඩි සේක. විජම්භවස්තුවෙහි වූ සේනාසනයෙහි එක් රැයක් වැස දෙවැනි දවස රක්ඛිතතලයට වැඩි සේක. රක්ඛිතතලයෙහි වාසය කළ දහස් සංඛ්‍යාත මහරහතුන් මැද නාගසේන කුමරයා පැවිදි කළ සේක. පැවිදි බිමට පත් නාගසේනයන් වහන්සේ, “ස්වාමීනී, පැවිදි වේශය මා විසින් ගන්නා ලද්දේ ය. දැන් මට උතුම් මන්ත්‍රය දුන මැනව.” යි ඉල්ලා සිටියේ ය.

කලණ සුමිතුරන් ඇසුරේ බණ පිරිවහ ගන්නේ…

එවිට රෝහණ මහරහතන් වහන්සේ මෙසේ සිතූ සේක. ‘මම වනාහී නාගසේන සාමණේරයන් ව පළමු කොට සුතාන්ත ධර්මයෙහි හෝ අභිධර්මයෙහි හෝ කවර ධර්මයෙක්හි හික්මවම්දෝ?’‍ කියා ය. “මේ නාගසේනයෝ ප්‍රඥාවන්ත ය. සුවසේම අභිධර්ම පිටකය ඉගෙන ගන්නට සමත් වන්නේ යැ.” යි‍ දැන මුලින්ම අභිධර්මයෙහි හික්මවූහ. නාගසේන සාමණේරයන් වහන්සේ ද අභිධර්මය ඉගෙන ගැනීමට පටන්ගෙන “‍කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතං ධම්මං.”‍ යනාදී වශයෙන් ප්‍රතිමණ්ඩිත වූ ධම්මසංගණීප්‍රකරණය ද ඛන්ධවිභංගාදී අටළොස් ප්‍රකරණයෙන් ප්‍රතිමණ්ඩිත වූ විභංගප්‍රකරණය ද “‍සංගහාසංගහ”‍ යනාදීන් තුදුස් ආකාරයකින් විභාග කළා වූ ධාතුකථාප්‍රකරණය ද ඛන්ධක ප්‍රඤ්ඤප්තිය – ආයතන ප්‍රඤ්ඤප්තිය යනාදීන් හය ආකාරයකින් විභාග කළා වූ පුද්ගලප්‍රඤ්ඤප්තිය ද සකවාදයෙහි පන්සියයක් සූත්‍ර ද පරවාදයෙහි පන්සියයක් සූත්‍ර ද යන දහසක් සූත්‍ර එක්කොට විභාග කළා වූ කථාවස්තු ප්‍රකරණය ද මූලයමක ඛන්ධයමක යනාදීන් දශප්‍රකාරයකින් විභාග කළා වූ යමකප්‍රකරණය ද හේතුප්‍රත්‍යය – ආරම්මණ ප්‍රත්‍යය යනාදීන් සූවිසි ආකාරයකින් විභාග කළා වූ පට්ඨාන ප්‍රකරණය යන සියලු‍ම අභිධර්ම පිටකය එකවරක් වදාළා වූ පමණකින් ම එක අකුරකුදු නොපිරිහෙළා වනපොත් කොට අර්ථයත් ඉගෙන ගත්තේ ය.

ඉන්පසු ගුරුදේවයන් වහන්සේට නාගසේනයන් වහන්සේ මෙසේ පැවසූහ. “‍ස්වාමීනී, වැඩසිටිය මැනව. නැවත නොකියවන්න. මෙපමණකින් ම මම නුඹ වහන්සේට වනපොත් (කටපාඩම්) දෙමි.”‍

“නාගසේනයෙනි, රහතුන් මධ්‍යයෙහි බිය නැතිව පිරිවහන්නට හැක්කේ ද?”‍ යි කියා රෝහණ තෙරුන් ඇසූ විට, “ස්වාමීනී, එසේ කළ හැකි ය.” යි පිළිතුරු දුනි. ඉන්පසු නාගසේනයන් වහන්සේ දහස් සංඛ්‍යාත රහතුන් මැදට වැඩම කොට, “ස්වාමීනී, මම් වනාහී එක්වරක් ඇසූ පමණින් මතකයේ දරාගත් සම්පූර්ණ අභිධර්ම පිටකය ම විස්තර වශයෙන් ම පිරිවහා අර්ථ සහිතව වනපොත් දෙමි.”‍ යි කී සේක. ඒ ඇසූ මහරහතුන්, “සාදු! සාදු! නාගසේනයෙනි, පාඩම් දෙව.” යි‍ කියා අවසර දී සෙත් පැතූහ. ඉක්බිති නාගසේනයන් වහන්සේ අවසර ගෙන සත්මසකින් සප්තප්‍රකරණය විස්තර වශයෙන් ම කටපාඩම් දුන් සේක. ඒ ක්ෂණයෙහි ම මහපොළොව සතසහස්‍රරාවයෙන් ගුගුරා කම්පා විය. සදෙව්ලොව දෙවියෝ සාදුකාර දුන්හ. පසළොස් බඹලොව බ්‍රහ්මයෝ අත්පොළසන් දුන්හ. දිව්‍යමය සඳුන්සුණු වසින්නට පටන් ගත්තේ ය. දිව්‍යමදාරා මල් වර්ෂා පතිත විය. ඒ අසිරිය දුටු මහරහතන් වහන්සේලා නොයෙක් අයුරින් නාගසේනයන් වහන්සේට ස්තූති ප්‍රශංසා කොට ගුණ වැයූහ. ඉන්පසු සුදුසු කාලයේ දී ඒ සියලු‍ රහතන් වහන්සේලා එක්ව විසිවයස් සම්පූර්ණ වූ නාගසේන සාමණේරයන් ව අධිසීල සංඛ්‍යාත උතුම් උපසම්පදා සීලයේ පිහිටවූ සේක.

මිළිඳු රාජ ප්‍රශ්නයෙහි යටගියාව – 2
ඒ කාලයෙහි සාගලනුවර දොලොස් වසරක් පුරාවට ශ්‍රමණබ්‍රාහ්මණ ගෘහපති පණ්ඩිතවරුන්ගෙන් හිස් වූයේ ය. යම් තැනක ශ්‍රමණබ්‍රාහ්මණ ගෘහපති පණ්ඩිතවරු වාසය කරන්නේ යැයි ඇසූ විට මිළිඳු රජතුමා එතැනට ගොස් ඔවුන්ගෙන් ප්‍රශ්න අසන්නේ ය. ඒ සියලු‍ පණ්ඩිතවරු ප්‍රශ්න විසඳීමෙන් රජතුමාගේ සිත් ගෙන කරුණු තහවුරු කරදිය නොහැකිව සමහරු වෙනත් දිශාවකට පලා යන්නාහු ය. තවත් සමහරු ඒ නුවර ම තෙද රහිතව නිශ්ශබ්ද ව සිටින්නාහු ය. භික්ෂූන් වහන්සේලා බොහෝ සෙයින් හිමාලයට ම වඩින සේක.

සසුන රකින්නට පෙරට වඩින්නේ….

එසමයෙහි සිය දහස් ගණන් රහතන් වහන්සේලා හිමාලයෙහි රක්ඛිතතල නම් පර්වතයෙහි වසන සේක. එහි වසන අස්සගුත්ත නම් මහ තෙරුන් වහන්සේ “තුච්ඡෝ වත ජම්බුද්දීපෝ”‍ යනාදී වශයෙන් කියන්නා වූ මිළිඳු මහරජතුමාගේ වචනය දිව්‍ය ශ්‍රවණයෙන් අසා යුගන්ධර පර්වත මුදුනට භික්ෂු සංඝයා රැස් කරවූහ. “ඇවැත්නි, මිළිඳු රජතුමා සමඟ කථා කරන්නට, සැකසංකා දුරුකරවන්නට සමත් කිසි භික්ෂුවක් මෙහි ඇත් ද?”‍ යි ඒ මහත් වූ භික්ෂු පිරිසෙන් විමසූ සේක. මෙසේ විමසූ කල්හි ඒ සියලු‍ රහතන් වහන්සේලා කිසිවක් නොපවසා වැඩහුන්හ. දෙවැනි වර, තුන්වෙනි වර විමසද්දීත් නිහඬව වැඩහුන්හ. එවිට අස්සගුත්ත මහරහතන් වහන්සේ භික්ෂු සංඝයාට මෙසේ පැවසූ සේක. “ඇවැත්නි, තව්තිසා භවනයෙහි වෛජයන්ත ප්‍රාසාදයට පෙරදිගින් කේතුමතී නම් විමානයක් ඇත. ඒ විමානයෙහි මහාසේන නම් දිව්‍ය පුත්‍රයෙක් වෙසෙයි. හෙතෙම ඒ මිළිඳු රජතුමා හා සමඟ කථා කරන්නට ද සැකසංකා දුරු කරන්නට ද පූර්ව වාසනා බලයෙන් සමත් වන්නේ යැ.” යි‍ වදාළ සේක.

එය ඇසූ සියලු‍ රහතන් වහන්සේලා යුගන්ධර පර්වතයෙන් අතුරුදහන් ව, ශක්‍ර භවනයෙහි පහළ වී එක පෙළට වඩින්නට පටන් ගත් සේක. දුරින් ම වඩින්නා වූ ඒ රහතුන් දුටු ශක්‍ර දේවේන්ද්‍රයා මහත් වූ ආදර ගෞරවයෙන් පෙරමඟට ගොස් පසඟ පිහිටුවා වන්දනා කළේ ය. සංඝස්ථවිර වූ අස්සගුත්ත මහතෙරුන් වහන්සේට එකත්පස්ව සිට මෙසේ පැවසී ය.

“ස්වාමීනී, දෙව්ලොවට පැමිණ වදාළ භික්ෂු සංඝයා ඉතා විශාල ය. සංඝයා වහන්සේට මම කැපකරු ආරාමිකයෙක්මි. කවර දෙයකින් ප්‍රයෝජන ද? මා විසින් කළමනා දෙය කුමක්දැ?”‍යි විචාළේ ය. අස්සගුත්ත මහරහතන් වහන්සේ සක් දෙවිඳුට මෙසේ සැල කළ සේක. “සක් දෙවිඳුනි, දඹදිව සාගල නුවර වසන මිළිඳු නම් රජතුමා දුරාසද වූ දුප්පසහ වූ වාදයෙන් යුක්ත ය. බොහෝ වූ තීර්ථකයන්ට අග්‍ර යයි කියනු ලැබේ. ඒ රජතුමා භික්ෂු සංඝයා කරා ද එළඹ දෘෂ්ටිවාදයෙන් ප්‍රශ්න අසා භික්ෂු සංඝයා වෙහෙසවන්නේ ය.

මනුලොවට එන පින්වන්තයෝ…

එවිට සක්දෙවිඳු අස්සගුත්ත මහරහතන් වහන්සේට මෙසේ කීවේ ය. “ස්වාමීනී, මිළිඳු රජතුමා මේ තවුතිසා දෙව්ලොවින් චුතව ගොස් මිනිස්ලොව සාගල නුවර උපන්නේ ය. ස්වාමීනී, කේතුමතී විමානයෙහි මහාසේන නම් දිව්‍යපුත්‍රයා වාසය කරයි. ඒ මහාසේන දෙව්පුතු මිළිඳු රජතුමා හා කථා කරන්නට ද සැක දුරු කරවන්නට ද සමත් වන්නේ ය. ඒ නිසා ඒ දිව්‍යපුත්‍රයාට මිනිස්ලොව ඉපදීම පිණිස අපි ආයාචනා කර සිටිමු.”

ඉන්පසු සක් දෙවිඳු භික්ෂු සංඝයා පෙරටු කොටගෙන කේතුමතී නම් විමානය කරා ගොස් මහාසේන දෙව්පුතු දෑතින් අල්වා වැළඳගෙන සිට මෙසේ දන්වා සිටියේ ය.

“පින්වත් වූ දිව්‍ය පුත්‍රය, භික්ෂු සංඝයා වහන්සේ ඔබ මිනිස් ලොව ඉපදීම පිණිස ඉල්ලා සිටින සේක.”‍ එබස් අසා මහාසේන දෙව්පුතු මෙසේ කීය. “ස්වාමීනී, කෘෂිවාණිජ ආදී කර්ම බහුල වූ මිනිස්ලොවින් ප්‍රයෝජන නැත්තේ ය. මිනිස් ලෝකයෙහි ඉතා තියුණු වූ දුක් ඇත්තේ ය. එසේ හෙයින් ස්වාමීනී, මම මතු මත්තෙහි දිව්‍යලෝකෝත්පත්තික ව දිවසැපත් වළඳා බණ අසා රහත්ව පිරිනිවන් පාමි.”‍ යි කියා ය. දෙවැනිවත්, තුන්වැනිවත් සක්දෙවිඳු ආයාචනා කර සිටි විට “අනේ සක්දෙවිඳුනි, මට කර්ම බහුල වූ බලවත් දුක් ඇති මිනිස්ලොවින් ඵලක් නැත. මම මේ දෙව්ලොවට මතුමත්තෙහි උත්පත්තික ව ඇවිද රහත් ව පිරිනිවන් පාමි.”‍ යි මහාසේන දෙව්පුතු කීවේ ය.

සඟරුවනේ වදනට අවනත වන්නේ…

ඉන්පසු අස්සගුත්ත මහරහතන් වහන්සේ මහාසේන දෙව්පුතුට මේ කාරණය පැවසූ සේක. “පින්වත් දිව්‍යපුත්‍රය, මිනිස් ලොවත් සදෙව් ලෝකයත් සිසාරා දිවැසින් බලන්නා වූ අපි මිළිඳු රජතුමාගේ නපුරු වූ වාදය බිඳහැර බුදු සසුනට සංග්‍රහ කරන්නට සමත් කෙනෙකු ඔබ හැර නොදුටුවෙමු. එහෙයින් භික්ෂු සංඝයා වහන්සේ ඔබගෙන් මෙසේ ඉල්ලා සිටියි. සත්පුරුෂයාණෙනි, ඉතා යහපති. මිනිස් ලෝකයෙහි ඉපිද දශබලධාරී සර්වඥයන් වහන්සේගේ ශාසනය වසර පන්දහසක් කල් නිරවුල්ව පවත්වන්නට උපකාරී වී සම්බුදු සසුනට බලය දුන මැනව.”‍

එවිට මහාසේන දෙව්පුතු, “මම වනාහී, මිළිඳු රජතුමාගේ වාදය බිඳ සම්බුදු සසුනට ආයු වඩනට සමත් වෙමි.”‍ කියා තුටුපහටුව ඔදවැඩියා වූ ප්‍රීති සිත් ඇතිව මෙසේ කී ය.

“සාදු සාදු ස්වාමීනී, මා විසින් මිනිස් ලෝකයෙහි උපදින්නෙමි.” කියා ප්‍රතිඥා දුන්නේ ය. ඉන්පසු ඒ රහතන් වහන්සේලා තව්තිසා දෙව්ලොවින් අතුරුදහන් ව හිමාල පර්වතයේ රක්ඛිතතල නම් ගල්තලාවෙහි පහළ වූ සේක.

එසේ වැඩ වදාළ පසු අස්සගුත්ත මහරහතන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් මෙසේ විමසූ සේක. “ඇවැත්නි, මේ සංඝයා අතුරෙහි භික්ෂූන්ගේ සන්නිපාතයට නොපැමිණි වූ කිසි භික්ෂුවක් ඇද්ද?”‍ කියා ය. එසේ විචාළ කල්හි එක්තරා භික්ෂුවක් අස්සගුත්ත තෙරණුවන්ට මෙසේ සැල කර සිටියේ ය. “ඇත ස්වාමීනී, ආයුෂ්මත් රෝහණ මහතෙරුන් වහන්සේ මෙයින් සත්වැනි දවසේ හිමාලය පර්වතයට වැඩ නිරෝධ සමාපත්තියට සමවන් සේක.”‍ එසේනම් උන්වහන්සේ සමීපයට දූතනමක් පිටත් කළ මැනවයි අස්සගුත්ත තෙරණුවෝ කීහ. එවිට රෝහණ තෙරණුවෝ ද ඒ ක්ෂණයෙහි ම නිරෝධ සමාපත්තියෙන් නැඟී සිට “මහාසංඝයා වහන්සේ මං දක්නා කැමති සේකැ.”‍ යි කියා දැක ඍද්ධියෙන් එතැනට වැඩි සේක.

වරදට දඬුවම් ඇතැයි කියන්නේ….

එවිට අස්සගුත්ත මහරහතන් වහන්සේ “කිමෙක් ද ඇවැත්නි, රෝහණ ස්ථවිරයෙනි, බුද්ධ ශාසනයට උවදුරක් ඇති කල්හි සංඝයා විසින් කළමනා කටයුතු නුදුටුවෙහිදැ?”‍ යි විචාළ සේක. “ස්වාමීනී, ඒ බව මා විසින් සිහි නොකරන ලද්දේ ය.”‍ කියා රෝහණ තෙරුන් පැවසූහ. “එසේ වී නම්, ඇවැත්නි, රෝහණ ස්ථවිරයෙනි, ඒ වැරැද්දට දඬුවම් කරව.”‍ යි කී සේක.‍ “ස්වාමීනී කවර දඬුවමක් කෙරෙම්දැයි?”‍ විචාළ විට, “‍ඇවැත්නි, රෝහණ ස්ථවිරයෙනි, හිමාලය පර්වතය අසල කජංගල නම් බ්‍රාහ්මණ ගමක් ඇත. ඒ බමුණු හට මහත් ධන සම්පත් ඇති සෝණුත්තර නම් බ්‍රාහ්මණයෙක් වෙසෙයි. ඔහුගේ බැමිණියගේ කුස නාගසේන නම් පින්බර බ්‍රාහ්මණ කුමාරයෙක් උපදනේ ය. එහෙයින් ඇවැත්නි, රෝහණ ස්ථවිරයෙනි, ඔබ සත් අවුරුද්දකුත් දසමසක් ඒ බමුණු නිවසට පිඬුසිඟා වඩින්න. එසේ පිඬු පිණිස ගොස් නාගසේන කුමරයා සත් හැවිරිදි වූ කල ගිහිගෙයින් නික්මවා පැවිදි කළ මැනව. ඒ කුමරු පැවිදි වූ කල්හි මේ දඬුවමින් මිදෙන්නේ ය.”‍ යි අස්සගුත්ත තෙරණුවෝ කීහ. රෝහණ මහතෙරුන් වහන්සේ ද “යහපතැ.”‍ යි කියා එය පිළිගත් සේක.

මහාසේන නම් වූ දිව්‍ය පුත්‍රයාණෝ දෙව්ලොවින් චුත ව සෝණුත්තර නම් බ්‍රාහ්මණයාගේ භාර්යාවගේ කුස පිළිසිඳ ගත්තේ ය. පිළිසිඳ ගැනීම සමඟ ම ආශ්චර්ය අද්භූත ධර්මයන් තුන් ආකාරයකින් සිදු විය. සියලු‍ අවි ආයුධ දිලිසෙන්නට පටන් ගත්තේ ය. අග්‍ර ශස්‍යයෝ පැසී ගියේ ය. මහාමේඝය මැනවින් වැසි වැස්සවී ය.

සාදු! සාදු! මම නමදිමි ඒ සම්බුදු ශ්‍රාවකයින්….

රෝහණ මහ තෙරුන් වහන්සේ ද ඔහුගේ පිළිසිඳ ගැනීමේ පටන් සත් අවුරුදු දසමසක් මුළුල්ලෙහි ඒ බමුණු ගෙදරට පිඬු සිඟා වැඩි සේක. එනමුත් එක් දිනකවත් බත් හැන්දක්වත්, කැඳ ස්වල්පයක්වත් නොලැබුවේ ය. ආක්‍රෝෂ පරිභව ම ලැබුවේ ය. හිතවත් වූ වචන මාත්‍රයකුදු නොලැබුවේ ය. සත් අවුරුදු දසමාසයකට පසු එක් දිනක දාසියක් මදක් කරුණා උපදවා මෙත් සිතින්,‍ “ස්වාමීනී, කිසිවක් නොලැබෙයි, වඩින්න.”‍ යැයි කීවා ය. රෝහණ තෙරුන් වහන්සේ ඒ වචනයට සතුටු වූ බවක් දක්වා වඩින්නට පටන් ගත් සේක.

එදින සෝණුත්තර බ්‍රාහ්මණයා ද කිසියම් කටයුත්තකට පිටතට ගොස් එද්දී ප්‍රසන්න ව වඩින තෙරුන් වහන්සේ දැක,‍ “කිමෙක්ද? ශ්‍රමණය අපගේ ගෙට ගියෙහි ද?” යි ඇසුවේ ය.‍ “එසේය බ්‍රාහ්මණ ය, වැඩියෙමි.”‍ යැයි කී විට, “කිසිවක් ලැබුණේදැ?”‍ යි නැවත ඇසුවේ ය. “එසේය බ්‍රාහ්මණය, ලැබුණි.”‍ කියා දුන් පිළිතුරෙන් අසතුටු වී වහ වහා ගෙට ගිය බමුණා, “මෙතැනට පිඬු සිඟා ආ පැවිද්දාට කිසිවක් දුන්නේ දැ?” යි නිවැසියන්ගෙන් විචාළේ ය. “අපි කිසිවක් නුදුන්නෙමු.” යි ඔවුන් කී විට, ‘අහෝ මේ ශ්‍රමණයෝ බොරු නොකියම්හයි ලොව රවටන්නාහ. කිසිවක් නුදුන් අපගෙන් ලද්දෙමි යි මහ බොරුවක් කීහ.’ යැයි සිතුවේ ය. පසුදින,‍ ‘අද ශ්‍රමණයා හට මුසාවාදයෙන් නිග්‍රහ කරමි.’ යි සිතා ගෙයි දොරටුවෙහි බලා සිටියේ ය. තෙරුන් වහන්සේ ගෘහ ද්වාරයට වැඩි විගස ම,‍ “ශ්‍රමණය, ඔබ පෙරදින අපගේ නිවසින් කිසිවක් නොලබා ම ලැබුවේ යැයි බොරු කීවේ ය. ශ්‍රමණයෙකු වූ ඔබට බොරු කීම සුදුසු දැ?” යි‍ මුසාවාදයෙන් නිග්‍රහ කළේ ය.

එවිට තෙරුන් වහන්සේ, “බ්‍රාහ්මණය, අප තොපගේ නිවසට සත් අවුරුදු දසමාසයක් තිස්සේ පිඬුසිඟා වැඩියමුත් වචන මාත්‍රයක සංග්‍රහයක් නොලැබුණි. එහෙත් පෙරදින, ‘ස්වාමීනී, කිසිවක් නොලැබෙයි, වඩින්න.’ යන මෛත්‍රී සහගත වචන මාත්‍රයක් ලැබුවෙමි. ඒ පිණිස කිසිවක් ලැබුණා යයි කීවා මිසක බොරු නොකීවෙමි.”‍ යි පිළිතුරු දුන් සේක. එය අසා බ්‍රාහ්මණ තෙමේ මෙසේ සිතී ය.‍ ‘මේ සත්පුරුෂ ගුණ ඇති ශ්‍රමණයන් වහන්සේ වචන මාත්‍ර ආගන්තුක සත්කාරයක් ලැබ මහ ජනයා මැද,‍ කිසිවක් ලද්දෙම්‍ යි ප්‍රශංසා කරයි. එසේනම් වළඳන දෙයක්, භෝජනයක්, අන් කිසි දෙයක් ලැබුණෝතින් ප්‍රශංසා නොකර සිටීවිදැ?’ යි සිතා පැහැදීමට පත් වූයේ ය. තමන්ට ප්‍රයෝජන පිණිස පිළියෙළ කරන ලද බතින් බත් හැන්දක් සහ ඊට සෑහෙන ව්‍යඤ්ජනයක් පූජා කරවා, “මේ අද දුන් ආහාර ප්‍රමාණය පමණක් ම හැම දිනක ම නුඹවහන්සේ අපගෙන් ලබාගත මැනැවැ.” යි කියා ආරාධනා කළේ ය. නැවත බ්‍රාහ්මණතුමා දිනපතා වඩින්නා වූ තෙරුන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය ආදී ඇවතුම් පැවතුම්හි උසස් බව දැක බොහෝ සෙයින් පැහැදුණේ ය. තම නිවසේ නිරන්තරයෙන් ම දානය වැළඳීම පිණිස ආරාධනා කළේ ය. තෙරුන් වහන්සේ ද අනුකම්පාවෙන් එය ඉවසා වදාරා දන් වළඳා අවසානයේ ටිකෙන් ටික දහම් දෙසා ආපසු වඩිනා සේක. ඒ බ්‍රාහ්මණ බිරිඳ දසමස් ඇවෑමෙන් මහ පිනැති පුත්‍රයෙකු බිහි කළ අතර ඔහුට, “නාගසේන කුමරු”‍ යැයි නම් තැබිණි.

මිළිඳු රාජ ප්‍රශ්නයෙහි යටගියාව – 1
මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට පාත්‍ර වූත් උතුම් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු රජුගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගතවූ කල්හි ය. මෙම මිළිඳු රජු ග්‍රීක ජාතිකයෙකු වන අතර මොහු තුළ තිබූ වීමංසනශීලි කුසලතාව ඉතා අගනේ ය. කරුණු ඉස්මතු කිරීමෙහිලා, ප්‍රශ්න කිරීමෙහිලා, වාද නැංවීමෙහිලා මෙම රජු තුළ ඇති දක්ෂතාවය සිතාගත නොහැකි තරම් ය. මෙම රජුට මෙතරම් තීක්ෂණ වීමංසනයක් පිහිටා තිබෙන්නේ පෙර භවයක කාශ්‍යප බුදු සසුනේ සාමණේරනමක් වශයෙන් සිට කරන ලද ප්‍රාර්ථනාවක් අනුව බව නිදාන කථාවේ විස්තර වේ. නාගසේන මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවන්නේ ද එකී ප්‍රාර්ථනාව අනුව ඇතිකර ගත් පැතුමක් අනුව ය. මේ දිගහැරෙන්නේ ඒ සුන්දර නිදාන කතාවයි.

කසළ කසළ වුවත් හැමැදි කුසලය නිකසළ ය…

මේ මහා භද්‍ර කල්පයෙහි තෙවනුව පහළ වූ කාශ්‍යප නම් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය පැවති කාලයේ ගංගාවක් අසල එක්තරා මහා විහාරයක් තිබුණි. ඒ විහාරයේ බොහෝ භික්ෂු සංඝයා වැඩවසන සේක. වත්පිළිවෙත් සරු ශිලාදී ගුණ සම්පත්තියෙන් යුතු උන්වහන්සේලා උදෙන් ම අවදි වී මුසුන් ගෙන බුදු ගුණ ආවර්ජනා කරමින් මළුව හැමද කැළි කසළ එකතු කරති.

එහි එක් භික්ෂුනමක් එක් සාමණේරනමකට “සාමණේරය මෙහි එන්න. මේ හැමදූ කැළි කසළ ගෙනගොස් දමන්න.” යැයි කීහ. ඒ සාමණේරයන් වහන්සේ එය නොඇසුණාක් මෙන් යද්දී දෙවැනි තෙවැනිවර දක්වා ම කීවත් ගණනකට නොගෙන වැඩියේ ය. එවිට ඒ භික්ෂුව “මේ අකීකරු පොඩිනමකැ.” යි නොසතුටු වී හික්මවනු පිණිස ඉදල් මිටින් පහරක් ගැසී ය. පහර කෑ පසු බියෙන් තැතිගෙන තවත් ගසාවි යැයි සිතා ඒ සාමණේරනම හඬමින් කීකරු නමක් සේ කුණුරොඩු ගොඩ ළඟට ගොස් උක්කැටියෙන් වාඩි විය. පහර දුන් හිමිනමගේ මුහුණ දෙස යටැසින් බලමින් කුණුරොඩු ගොඩ රැගෙන ගොස් බැහැර දැමී ය. තවද “මේ කුණු කසළ අස් කළ කුසල කර්මයෙන් යම්තාක් මම නිවනට පැමිණෙමි ද ඒ තාක් කල් උපනුපන් ජාතියෙහි මැදියම් දහවලෙහි සූර්ය මණ්ඩලය මෙන් මහේශාක්‍ය වෙම්වා, මහත් වූ තේජස් ඇත්තෙක් වෙම්වා!” යි පළමුව ප්‍රාර්ථනා කළ සේක. කුණු දමා පැන් පහසු වනු පිණිස ගංතොටට ගොස් ගංගාවෙහි ගර්ගරාවය නගන රළ වේගය දැක නැවත “යම්තාක් මම නිර්වාණයට පැමිණෙම් ද ඒ තාක් කල් අතරතුරෙහි උපනුපන් තැන මේ ක්ෂය නොවන රළ වේගය මෙන් ක්ෂය නොවන්නා වූ තැනට සුදුසු නුවණින් යුක්ත වෙම්වා! ක්ෂය නොවන්නා වූ ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත වෙම්වා!” යි පැතූ සේක. මෙසේ සසංකාරික කුශල චිත්තයෙන් ප්‍රාර්ථනා කොට සිටි කල්හි ඉදල මුසුන්හලේ තබා පැන්පහසු වනු පිණිස ගංතොටට වඩින මළුව හැමදි හිමියන්ට පොඩිනමගේ ප්‍රාර්ථනාව ඇසිණි. “මේ සාමණේර තෙම මා විසින් උත්සාහවත් කොට කුණු කසළ බැහැරකොට මෙසේ ප්‍රාර්ථනා කරයි. මළුව හැමදි වතපිළිවතට උත්සාහවත් කළ මට කුමක් නොලැබේදැ.” යි සිතා උන්වහන්සේත් “යම්තාක් මම නිර්වාණයට පැමිණෙම් ද ඒ තාක් කල් අතරතුරෙහි උපනුපන් තැන්හී මේ ගඟෙහි රළ වේගය මෙන් ක්ෂය නොවන්නා වූ අප්‍රමාණ වූ ප්‍රඥාවෙන් යුක්ත වෙම්වා! මොහු විසින් අසන අසන සියලු ම ප්‍රශ්න කථාවන් නිරවුල් කරනට, වෙළුම් හරණට සමර්ථ වෙම්වා!” යි කියා අනුරූප ව ප්‍රාර්ථනා කළ සේක.

රැස් කරනා පින එයි පසුපස්සේ සැප සලසන්නට හැමතිස්සේ…

මෙසේ ප්‍රාර්ථනා කළා වූ ඒ භික්ෂු – සාමණේර දෙදෙනා වහන්සේ මනා වත පිළිවෙතින් සරුව සිල්වත් ගුණවත් පැවිදි දිවියක් ගෙවා බොහෝ පින් රැස් කොට අපවත් වී දෙව් – මිනිස් දෙගතියෙහි සැරිසරමින් එක් බුද්ධාන්තරයක් ගෙවූහ. ගෞතම බුද්ධ ශාසනයෙහි, සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයකට පමණ පසු සාමණේර හිමි දඹදිව යෝනක දේශයෙහි සාගල නම් නුවර ඉපිද මිළිඳු නමින් රජ විය. මිළිඳු රජු ඉතා නුවණැති ය. ව්‍යක්ත ප්‍රතිබල වන අතර සියලු කටයුත්තෙහි දක්ෂයෙකු වූවා සේ ම මහා නුවණකින් යුතු ය. අතීතානාගත වර්තමාන වූ මන්ත්‍රණ යෝග විධාන ක්‍රියාවන් කරන කල්හි පරික්ෂා කොට නුවණින් සලකා ම කරනසුලු ය. එමෙන්ම මිළිඳු රජතුමා නොයෙක් ශිල්පශාස්ත්‍ර මනාව උගත්තේ ය. එනම් වෙද ශාස්ත්‍රය, ස්මෘති ශාස්ත්‍රය, ගණනය, කාම ශාස්ත්‍රය, නීති ශාස්ත්‍රය, වෛශෙෂිකය, ගණිතය, ගාන්ධර්වය, වෛද්‍යකය, චතුර්වේදය, පුරාණය, ඉතිහාසය, ජෝතිර්ඥානය, ඉන්ද්‍රජාලය, හෙතූය, මන්ත්‍රණය, යුද්ධය, ඡන්දෝලක්ෂණය, හස්ත ශාස්ත්‍රය යන ශාස්ත්‍රයන්හී හසල දැනුමෙන් යුක්ත ය. එකුන්විසි ශාස්ත්‍ර වචනයකින් වාදාරෝපණය කරන එකුන්විසිවාදීන් විසින් ඉක්මවිය නොහැකි වූයේ ය. නොඉවසිය හැකි තේජස් ඇති වූයේ ය. බොහෝ වූ නොයෙක් තීර්ථකයන්ට අග්‍ර යැයි කියනු ලැබේ. සියලු දඹදිව ම මිළිඳු රජතුමා හා සදෘශ බලයෙන්, ජවයෙන්, ශූරතාවයෙන්, ප්‍රඥාවෙන් කිසිවෙක් සමාන නොවී ය. සකල සම්පත්තියෙන් ආඪ්‍ය වී මහත් ධන ඇතිව, අපමණ බලවාහන ඇතිව වාසය කරන්නේ වෙයි.

මෙසේ අපමණ වූ ශ්‍රී සමෘද්ධියෙන් රාජ්‍යශ්‍රී විචාරණ මහරජාණන් එක් දිනක් අනන්ත බල වාහනයෙන් යුත් චතුරංගනී සේනාව ගණන් බලා සේනාසන්නිපාතය දකිනු කැමතිව නුවරින් නික්ම ගොස් එළිමහන් තැනිතලා බිමක දී සේනා ගණින ලද්දේ ය. කථාවාදයෙන් වාද කරන්නා වූ ලෝකායතවිතණ්ඩ ශාස්ත්‍ර යොදා වාද කිරීමෙහි දක්ෂ, කෝතුහල නම් විපරීත දෘෂ්ටියෙන් යුක්ත වූ රජතුමා හිරු දෙස බලා තවම දහවල බව දැනගති. එවේලෙහි ඇමතිවරු අමතා “සගයෙනි, සවස් වන්නට තව බොහෝ වේලා ඇත්තේ ය. දැන්ම නුවරට ආපසු ගොස් කුමක් කරන්න ද? මා හා සමඟ සාකච්ඡා කරන්නට හැකි, මාගේ සැක දුරුකරන්නට සමත් වූ, සංඝ සමූහයන් ඇති, බොහෝ පිරිස් ඇති, ගණාචාර්ය වූ, රහත් ඵලය සම්බුද්ධත්වය ලොවට හඟවා වසන්නා වූ, යම්කිසි පණ්ඩිත වූ ශ්‍රමණබ්‍රාහ්මණයෙක් ඇද්ද?” යි විචාළේ ය. මෙසේ කී විට පන්සියයක් වූ යෝනක ඇමතිවරු මිළිඳු රජුට මෙසේ පිළිතුරු දුන්හ. “දේවයන් වහන්ස, මෙලොව බුදුකම් කරන ශාස්තෘහු සයදෙනෙක් ඇත. පූරණ කාශ්‍යප ය, මක්ඛලී ගෝසාල ය, නිගණ්ඨනාතපුත්‍ර ය, සංජයබෙල්ලට්ඨිපුත්‍ර ය, අජිත කේසකම්බිල ය, පකුධ කච්චාන ය යන ඒ සයදෙනා වහන්සේ පිරිස්වලට නායක වන්නාහ. බොහෝ ශිෂ්‍ය පිරිසක් සිටින්නාහ. ඒ පිරිසට ආචාර්ය වන සේක. යස පිරිවර ඇත්තාහ. බොහෝ ජනයා අතර සාධුසම්මත ය. දේවයන් වහන්සේ යහපත කැමතිවන සේක් නම් ඒ ශාස්තෘන් වහන්සේලා කරා වැඩ වදාළ මැනව. ඔවුන්ගෙන් ප්‍රශ්න අසා වදාළ මැනව. සැකසංකා දුරුකොට ගත මැනවැ.” යි පැවසුහ.

(මේ බුද්ධකාලයෙහි සිටි සයදෙනා නොවේ. ඒ ෂට් ශාස්තෘවරයන් විසින් ඇති කළ ආගම්වල එකල සිටි ප්‍රධානීන් ඔවුන්ගේ ශාස්තෘවරුන්ගේ නමින් ම හැඳින්වීමකි.)

නිහඬව සිටිනා තුරු අනුවණයා ද පණ්ඩිතයෙකි…

එසේ කී විට මිළිඳු රජතුමා පන්සියයක් ඇමතිවරු විසින් පිරිවරන ලදුව උතුම් අශ්වයානයක නැගී පූරණ කස්සප සමඟ සතුටු සාමිචියෙහි යෙදී පිළිසඳර කථාබස් කොට එකත්පස්ව වාඩි විය. එකත්පස්ව හුන්නා වූ මිළිඳු රජතුමා පූරණ කස්සපගෙන් මෙසේ විමසී ය. “ස්වාමීනි, කස්සපයන් වහන්ස, මේ ලෝකය කවරෙක් ආරක්ෂා කෙරෙත් ද?” “මහරජාණෙනි, මේ සත්ව ලෝකයා මහා පෘථිවිය රක්ෂා කරයි.” “ස්වාමීනි මහා පෘථිවිය මේ සත්ව ලෝකයා රකී නම්, කුමක් නිසා අවීචි මහා නරකයට යන්නා වූ සත්වයෝ පොළොව ඉක්ම යන්නාහු ද? සමහර කෙනෙක් පොළොව පළාගෙනත් යන්නාහු ය. පොළොව සතුන් රකී නම්, අවීචියට යන්නවුන් නොරකින්නේ කුමක් නිසා ද?” යි රජු ඇසුවේ ය.

මිළිඳු රජතුමා එසේ ඇසූ විට පූරණ කස්සප නම් බුදුබැව් සොරා පිටිකර පහරක් කෑවා සේ දෑස් උඩ ඉඳුවාගෙන උගුරෙහි සිර වූ දෙයක් ගිලගන්නවත් නොහැකිව වමාරන්නටත් නොහැකිව ගියා සේ අසරණ වූයේ ය. පක්ෂ බිඳුණු පක්ෂියෙකු සේ පත්තක්ඛන්ධව, දන්නා බණක් නැති බැවින් තූෂ්ණීම්භූත ව තම හට ම නින්දා බෙණෙමින් අවිද්‍යා ධ්‍යානයට සමවැදුනාක් මෙන් කරබාගෙන හුන්නේ ය. ඒ විප්‍රකාරය දුටු මිළිඳු රජතුමා “අහෝ! මොහු දන්නා බණක් නැත. ලොව රවටන මහසොරෙකැ.” යි අමනාප වී නොසතුටින් නැගිට ගියේ ය.

නැවතත් මිළිඳු රජතුමා මක්ඛලී ගෝසාල වෙත ගොස් පන්සියයක් ඇමතිවරු සමඟ හිඳ ගෞරව දක්වා පිළිසඳර කථා කොට මෙසේ ඇසී ය. “ස්වාමීනී, මක්ඛලී ගෝසාලයෙනි, කුසල කර්ම අකුසල කර්ම කියා දෙයක් ඇද්ද? යහපත් අයහපත් කර්මයන්ගේ ඵලවිපාක ඇද්ද?” කියා ය. මක්ඛලී ගෝසාලයා තම අඥානකමේ මහත පෙන්වමින්, මානයෙන් යුතුව මෙසේ පැවසුවේ ය. “මහරජාණෙනි, කුමක් කියන්නේ ද? කුසල් අකුසල් කියා දෙයක් නැත. යහපත් අයහපත් කර්මයන්ගේ ඉෂ්ට අනිෂ්ට විපාක නැත්තේ ය. මහරජාණෙනි මේ ලෝකයෙහි යම් කෙනෙක් රජ වූවාහු ද ඔහු නැවතත් පරලොවට ගොසිනුත් රජ ම වෙති. යම් කෙනෙක් බ්‍රාහ්මණ වූවාහු ද වෙළඳ වූවාහු ද ගොවි වූවාහු ද චණ්ඩාල වූවාහු ද ඔවුහු නැවත පරලොවට ගොසිනුත් බ්‍රාහ්මණ, වෙළඳ, ගොවි, චණ්ඩාල පුක්කුස ව උපදනාහු වෙති. එසේ හෙයින් කුශලාකුසල කර්මයන්ගෙන් කුමන ප්‍රයෝජනයක් ද?” කීය. මෙසේ මක්ඛලී ගෝසාල කී බස් අසා මිළිඳු රජතුමා මෙසේ කීවේ ය. “ඉදින් ස්වාමීනී, මේ ලෝකයෙහි ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර චණ්ඩාල පුක්කුසයෝ පරලොවට ගොසිනුත් එසේ ම උපදිත් නම් කුසල් අකුසල්වලින් ඵලක් නැත්තේ ය. එසේනම් ස්වාමීනී, යම් කෙනෙක් මේ ලෝකයෙහි අත් කපන ලද්දාහු ද පරලොවට ගොසිනුත් ඔහු නැවතත් අත් සිඳිනා ලද්දේ ම වෙයි. යම් කෙනෙක් පා සිඳුනා ලද්දාහු ද පරලොවදීත් එසේ ම වේ. යම්කෙනෙක් කන් නාසා සිඳිනා ලද්දාහු ද පරලොවදිත් කන් නාසා සිඳින ලද්දාහු ම වෙයි.” මෙසේ කී කල්හී මක්ඛලී ගෝසාල කිසිවක් කියාගත නොහී කරබාගෙන නිශ්ශබ්ද ව සිටියේ ය.

එවිට මිළිඳු මහරජාණෝ “එම්බා මක්ඛලී ගෝසාලයෙනි, නුඹ පළමුකොට ම ‘මහරජ, ඇසුව මනා පැනයක් මාගෙන් නොවිචාළ කල වෙන කාගෙන් අසන්නටදැ’යි, මහත් ගර්ජනාවෙක් කළේ මේ බණ කියන්නට ද? නුඹගේ ශාස්තෘකමේ හැටි මට හොඳින් ම වැටහිණි. ඔබ ඔය අයාගත් කටින් කියන බණ ඔබ සේ ම අඥාන බුද්ධිහීන ළාමකයින්ට මිස අප වැන්නන්ට ගැළපෙන දහමක් නොවේ. අහෝ! බඩක් නිසා බොරුවෙන් ලොවක් වනසන නියාව.” යි මහත් සේ අමනාපව හුන් තැනින් නැගිට ඔබමොබ බැලී ය. තම ඇමතිවරු ඇමැතූ රජතුමා “එම්බා ඇමතිවරුනි, මේ සියලු දඹදිව මා සමඟ සාකච්ඡා කරන්නට, විමති දුරු කරන්නට සමත් වූ යම්කිසි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නොමැත. ව්‍යක්තතර පණ්ඩිතයෙකු නැති බැවින් දඹදිව ඒකාන්තයෙන් ම හිස් වූයේ ය.” යි කීය. (තුච්ඡෝ වත ජම්බුද්දීපෝ, පලාපෝ වත භෝ ජම්බුද්දීපෝ) “සගයෙනි, පණ්ඩිත ගෝචර වූ බසක් අසන්නට නැති බැවින් ඒකාන්තයෙන් ම සියලු දඹදිව බොල් වී ය.”

යි ද කීවේ ය. තවද “සඳ කිරණින් බබළන්නා වූ රාත්‍රිය ඒකාන්තයෙන් ම සිත්කළු ය. අද ප්‍රශ්න අසන්නට ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු කරා හෝ එළඹෙන්නට නොහැක්කේ ද? කවරෙක් මා සමඟ කථා කරන්නට, විමති දුරු කරන්නට සමත් වේ ද?” කියා නැවතත් ඇසී ය. එසේ ඇසූ කල ඇමතිවරු නිහඬව රජු දෙස බලා සිටියහ. එවිට මිළිඳු මහරජු සිවුරඟසේනා පිරිවරා රථයකට නැගී නුවරට සපැමිණ රජමාළිගාවට පිවිසියේ ය.

තවත් කොටසක් මීළඟ ලිපියෙන්….