විශේෂාංග | Mahamegha Magazine

අපි යට වෙන හැටි
ගොඩක් වෙලාවට අපේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා අපට තියෙන කටයුතුවලට ඒ ඒ අවස්ථානුකූලව, ඊට ගැළපෙන, අපි දන්න අපට හිතවත් අය උදව් කරයි කියලා. ළඟින් ඉඳියි කියලා. ඇත්තටම ඒකේ ලොකු වරදක් පේන්න නෑ. හේතුව මේ ජීවිත ගමන තනියම ගෙවන එක දුෂ්කර නිසා. අපට එකිනෙකාගෙ උදව් උපකාර ඕන. හැබැයි ඕනවට වඩා උදව් උපකාර බලාපොරොත්තු වෙන්න ගියොත් එතන ප්‍රශ්නයක්. මොකද මේ හිත තමන්ට දෙයක් ලැබෙනවා නම් අන්න ඒ ලාභයට හරිම කැමතියි. ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා වලින් යට වුණු සිත අසත්කාර අසම්මාන ඉදිරියේ ගැටීම සිද්ධ වෙනවාමයි. අඩුම තරමින් ළඟින් ගිය කෙනෙක් හිනාවෙන්නෙ නැතිව ගියොත්, දැක්කෙ නැතිව අහක බලන් ගියොත් ගොඩක් අයගෙ හිත්වලට ඒවත් ප්‍රශ්න, ඇයි හිනාවෙන්නෙ නැතිව ගියේ, ඇයි අහක බලන් ගියේ කියලා. තමන්ට උදව් කරන්නෙ නැතිව වෙන කෙනෙකුට උදව් කළොත් හිතනවා ‘මට තමයි කාගෙන්වත් උදව් නැත්තෙ.’ කියල. අනිත් කෙනාට කරන උදව්ව අනුමෝදන් වෙන්න තරම් පොහොසත් හිතක් නෑ. එතරම් ම මේ හිත තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට නතු වෙලා, බැඳිලා, ආකර්ෂණය වෙලා. ඒක තමන්ට අනතුරක් කියල, මහා විනාශයක් කියල නොතේරෙන තරමට මේ හිත යට වෙලා.

මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා තමන්ට දුකක්, කරදරයක් වුණා ම උපකාරෙට ඉන්න අයගේ ආදරණීය වටිනාකම අමතක වෙනවා. ආදරණීය බැඳීම (සහෝදරකම්, නෑදෑකම්, යාළුකම්) අමතක වෙනවා. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා දරුවන්ට දෙමාපියො, දෙමාපියන්ට දරුවො, සහෝදරයන්ට සහෝදරියො, නෑදෑයන්ට නෑදෑයො, යාළුවන්ට යාළුවො අමතක වෙනවා. තමන්ට ලැබුණොත් හොඳයි කියල හිතෙන් හිතාන හිටිය දෙයක් තමන්ගෙ දෙමාපියන්ට ලැබුණොත් සමහර දරුවන්ට ඒක දරාගන්න අපහසුයි. දරුවන්ට ලැබුණොත් සමහර දෙමාපියන්ට දරාගන්න අපහසුයි. සහෝදරයන්ට ලැබුණොත් සමහර සහෝදරයන්ට දරාගන්න අපහසුයි. ඒ වගේ ම තමයි සමහර නෑදෑයෝ, යාළුවෝ… ඇයි ඒ? තමන්ට ඒ දේ අහිමි වුණ නිසා.

ආයතනවල වුණත් එහෙමයි. ප්‍රධානියාගෙන් හා අනික් පාර්ශවවලින් ලැබී තිබුණ පිළිගැනීම, තත්වය රැකගන්න තමන්ගෙ අඩුපාඩු, වැරදි හංගනවා. නිහඬව ඉන්නවා. සමහර විට වෙනත් කෙනෙක් ඒවට අහුවෙනවා. තමන්ගේ වරදට වෙනත් කෙනෙක් අහුවුණ බව දැන දැන නිහඬව ඉන්නවා, තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අහිමි වෙයි කියල.

එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තමන්ට අහිමි වීම නිසා තමන්ගේ සිත, කය, වචනය අසංවර වෙනවා. අනුන්ගේ දේට ආශා කිරීම, ඊර්ෂ්‍යාව, තරහව ආදී මනසින් වන අකුසල් රැස්කර ගන්නවා. ප්‍රාණඝාතය, සොරකම ආදී කයින් වන අකුසල් රැස් කර ගන්නවා. බොරු කීම, කේළාම් කීම ආදී වචනයෙන් වන අකුසල් රැස්කර ගන්නවා. එකිනෙකා අභිබවා වචන කියවා ගන්නවා. රණ්ඩු කලකෝලාහල ඇති වෙනවා. තමන්ගෙ පිවිතුරු සීලය අමතක වෙනවා. ද්වේෂයේ ගිනිජාලා මතුවෙනවා. හීනෙකින්වත් හිතුවෙ නැති විදියට සියල්ල අවසන් වෙනවා. මේ ජීවිතෙත් දුක් විඳිනවා. පරලොවත් දුක් විඳවන දේවල් රැස් කර ගන්නවා. අවසානයේ ජීවිතේට ඉතුරු වෙන්නෙ මහා හිස් බවක්. කඩා වැටීමක්. පසුතැවීමක්. සෝ සුසුම් හෙළීමක්. විඳවීමක්. එතකොට ඒ හැම දෙයක්ම වුණේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා.

අපගේ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළා,

“දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ කටුකෝ ඵරුසෝ අන්‌තරායිකෝ අනුත්‌තරස්‌ස යෝගක්ඛේමස්‌ස අධිගමාය.”‍

“‍පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. නපුරු දේවල්. කොටින් ම ඵරුෂ දේවල්. කොටින් ම අනුත්තර වූ අරහත්වය අවබෝධ කිරීමටත් අනතුරුදායක යි.”‍

(දාරුණ සූත්‍රය, ලාභ සත්කාර සංයුත්තය, සං. නි. 2)

ඇත්තෙන්ම රැකියාව මුල්කරගෙන වේවා, පවුල මුල්කරගෙන වේවා, දරුවන් මුල්කරගෙන වේවා ඔබේ ජීවිතේ ඇති වුණ ප්‍රශ්න දිහා මොහොතක් ආපසු හැරිලා බැලු‍වොත් ඒ බොහොමයක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ ඔබට ලැබිලා තිබුණ, එහෙම නැත්නම් ලැබෙමින් තිබුණ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හානි වෙයි කියල හිතේ ඇතිවුණ බයට ප්‍රතිකර්ම හොයන්න ගිහින් කියලා ඔබට වැටහේවි. තමාට ඉහළ වේවා, පහළ වේවා කාගෙන් හරි බැණුම් අහලා තමන්ගේ නමට හානියක් වෙයි කියල ඇතිවුණ බයට, එහෙම නැත්නම් යම් සිදුවීමක් වෙනව නම් තමන් පිළිබඳ ගොඩනැගිලා තිබෙන ප්‍රතිරූපෙට හානි වෙයි කියලා ඇතිවුණ බයට. ඒ විදියට වුණොත් නම් තමන්ට ලැබෙන දේ නැතිවෙනවනේ කියල ඇතිවුණ බයට.

මේ ආදී හිතේ ඇතිවුණ බයට විසඳුම් හොයන්න කථා කරලා, ක්‍රියා කරලා ඇතිවුණ ප්‍රශ්න බොහොමයක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා ම යි ඇතිවන්නේ. ආයතනික වශයෙන් වුණත් එහෙම ම යි. වෙනත් ආයතනයක් දියුණු වුවහොත්, ඒ වටා පිරිස එකතු වුවහොත් තමන්ට තමන්ගේ ආයතනයට තැනක් නැතිවෙයි කියල ඇතිවුණ බයට විසඳුම් හොයන්න ගිහින් ඇතිවන ප්‍රශ්නත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා ම යි.

ඡවි සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා.

“දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ. ලාභසක්‌කාරසිලෝකෝ භික්ඛවේ ඡවිං ඡින්‌දති, ඡවිං ඡෙත්‌වා චම්‌මං ඡින්‌දති, චම්‌මං ඡෙත්‌වා මංසං ඡින්‌දති, මංසං ඡෙත්‌වා නහාරුං ඡින්‌දති, නහාරුං ඡෙත්‌වා අට්‌ඨිං ඡින්‌දති, අට්‌ඨිං ඡෙත්‌වා අට්‌ඨිමිඤ්‌ජං ආහච්‌ච තිට්‌ඨති.”‍

“පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳගෙන යනවා. සිවිය සිඳගෙන ගිහින් හමත් සිඳගෙන යනවා. හම සිඳගෙන ගිහින් මසුත් සිඳගෙන යනවා. මස් සිඳගෙන ගිහින් නහරත් සිඳගෙන යනවා. නහර සිඳගෙන ගිහින් ඇටත් සිඳගෙන යනවා. ඇට සිඳගෙන ගිහින් ඇටමිදුලු‍වල කා වැදිලයි තියෙන්නේ.”

ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එතරම් ම අපේ ජීවිත වලට කා වැදිලා. ‘මට ම ලැබේවා, මට ම ලැබේවා’ කියල තමා ගොඩක් අයට හිතෙන්නේ. අනිත් කෙනෙකුට, ආයතනයකට යමක් ලැබෙනවට කැමති නෑ. අනිත් කෙනෙකුගෙ, ආයතනයක දියුණුව සැපය අනුමෝදන් වෙන්න බැරි තරම් හිත් දීන වෙලා. දුප්පත් වෙලා. කිලිටි වෙලා. ඒ තමන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හානි වෙයි යන තැති ගැනීම නිසා. සතුටු සිතින් උපේක්ෂා සහගත සිතින්, නොසැලෙන අකම්පිත සිතකින් අනිත් කෙනාගෙ දියුණුව දරා ගත නොහැකි තරමට හිත් පරාජය වෙලා. සසර ගමනේ ඒ අය පරාජය වෙලා. නින්දා, අපහාස, චෝදනා, රණ්ඩු, කලකෝලාහල, අනවින, කොඩිවින, හදි හූනියම්, සියල්ල ම පැරදුන හිත්වල සංකේත. ඒ සියල්ලම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වීම නිසා.

රිදී කැබලි පිරවූ රන් තලියක් උදෙසාවත්, රන් කැබලි පිරවූ රිදී තලියක් උදෙසාවත්, රන් පිළියෙන් පිරුණු මහ පොළොව උදෙසාවත්, ජීවිතය පිණිසවත් දැන දැන බොරු කීවෙ නැති කෙනා පස්සෙ කාලෙක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වෙලා එයට යටවූ සිතින් දැන දැන බොරු කියනවා කියලා ශාස්තෘන් වහන්සේ වදාළා. හුදෙකලාවේ සිටින යම් කෙනෙකුගේ සිත තමා මෙන් ම හුදෙකලා වූ රූප රාජිණියක් ළඟ සිටියදී පවා එයින් ඔහුගේ සිත යට නොවුණත් ඔහුගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වෙලා යනවා කියලා ශාස්තෘන් වහන්සේ වදාළා.

“යම් භික්ෂුවක් තමාට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන ආශ්වාදයක් ලබන්නට ගියොත්, කැමති වෙන්නට ගියොත්, ඒ භික්ෂුව ඇම ගිලපු කෙනෙක්. දුකට පැමිණුන කෙනෙක්. විනාශයට පත් වුණ කෙනෙක්. මාරයා විසින් කැමති දෙයක් කළ හැකි කෙනෙක්.” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ බළිස සූත්‍රයේ දී දේශනා කොට වදාළා. ඇත්තෙන්ම මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිහියෙන් තොරව භුක්ති විඳින්න ගියොත් ඒක ඒ කෙනාගෙ පිරිහීම ම යි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා, දේවදත්තට තමා වනසා ගැනීම පිණිස ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ වුණේ. පිරිහීම පිණිස ම යි පහළ වුණේ. සොඳුරු උපමාවලින් වදාළා, කෙසෙල් ගස, උණ ගස, බට ගස පීදෙන්නේ තමාව වනසා ගැනීම පිණිස ම යි. වෙළඹකගේ කුසේ කොටළුවෙකුට දාව උපන් අශ්වතරිය ගැබ් ගන්නේ තමාව වනසා ගැනීම පිණිස ම යි. අන්න ඒ විදියට ලාභ සත්කාර තුළින් අසත්පුරුෂයා වැනසෙනවා කියලා ශාස්තෘන් වහන්සේ වදාළා.

ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා, “තස්‌මාතිහ භික්ඛවේ ඒවං සික්‌ඛිතබ්‌බං. උප්‌පන්‌නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. න ච නෝ උප්‌පන්‌නෝ ලාභසක්‌කාරසිලෝකෝ චිත්‌තං පරියාදාය ඨස්‌සතීති. ඒවං ‌හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති”

“ඒ නිසා පින්වත් මහණෙනි, හික්මෙන්නට ඕන මේ විදිහටයි. අපි නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැර කරනවා. අපට ලැබිල තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අපගේ හිත යටවෙන්නට දෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන.”‍

(ලාභ සත්කාර සංයුත්තය, සං. නි. 02)

ඒ නිසා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්හි ආදීනව දැන ශ්‍රාවකත්වය තුළ හික්මෙමු.

“නගරං යථා පච්චන්තං – ගුත්තං සන්තරබාහිරං

ඒවං ගෝපේථ අත්තානං – ඛණෝ වෝ මා උපච්චගා

ඛණාතීතා හි සෝචන්ති – නිරයම්හි සමප්පිතා”

“ඇතුළතත්, පිටතත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු, දුර පළාතක තියෙන නගරයක් වගේ තමන්ගෙ ජීවිතය ද වරදට වැටෙන්ට නොදී රැකගන්ට ඕනෙ. මේ උතුම් අවස්ථාව ඔබට නම් මඟ හැරෙන්ට එපා! මේ උතුම් අවස්ථාව ඉක්ම ගියොත්, නිරයේ වැටිලා ශෝක කරන්ට වෙනවා.”

(නිරය වග්ගය, ධම්මපදය)

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

දියුණුව සලසන ආශීර්වාද​ය
වර්තමාන ලෝකයේ ගමන් මග වැටී ඇත්තේ භයානක දිශාවකට බව කාටත් නොරහසකි. පිරිහීමේ දොරටු හාත්පසින් ම විවෘත කර ගනිමින් ඛේදනීය අවසානයක් කරා ලෝකය පිය නගන බව නම් ඉතා පැහැදිලි ය. දිනෙන් දින ස්වාභාවික විපත්, පරිසර හානි, යුද කෝලහාල මෙන් ම වංචා දූෂණ, මත්ද්‍රව්‍ය භාවිතය ආදියේ ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. සිදුරු වූ නැව සියලු දෙනාගේ ඇස් ඉදිරිපිට දී ම විකල්පයක් නොමැතිවම ගිලී යන්නේ යම් සේ ද වර්තමාන ලෝකය විනාශය කරා යන්නේ ඊට සාරවත් ස්ථිරසාර විසඳුමක් තිබිය දී ම වීම ශෝචනීය දෙයකි.

සම්බුදු බණ පද නොඇසෙන ලෝකය

වර්තමානයේ මිනිසා මිනිසාගේ ම විනාශයට මග පාදවයි. ඔවුහු කෲරත්වය, ප්‍රචණ්ඩත්වය, වස විස, අහිතකර විකිරණශීලී ද්‍රවයන් ආදි විනාශකාරී දෑ ඉවක් බවක් නොමැතිව මිහිමත වැගුරුවෝ ය. ‘මෙලොව පරලොව ජයගත් උතුමන් තම විශිෂ්ට වූ ප්‍රඥාවෙන් අවබෝධ කොට ධර්මය දේශනා කරනවා’ ය යන ලෞකික සම්මා දිට්ඨියෙන් තොර අසරණ ලෝකයා සාරධර්ම, ගුණධර්ම පසෙකලා භෞතිකවාදයට ම තම ලබ්ධිය ලඝු කළෝ ය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බටහිර ලෝකයේ ගුරුවරයා පන්ති කාමරයට පැමිණෙන විට ශිෂ්‍යයා නැගී සිටීම, ගෞරව කිරීම ආදිය නොකරති. ගුරුවරයාට ඔහුගේ නමින් ම ආමන්ත්‍රණය කරති. දෙමාපියන්ට වැඩිහිටියන්ට වන්දනා කිරීම, ගෞරව කිරීම විහිළුවකි. යහපත පිණිස හෝ තම දරුවන්ට දඬුවම් කරන දෙමාපියන්ට එරෙහිව දරුවාට ඕනෑම වෙලාවක පොලීසියට පැමිණිලි කිරීමට අයිතියක් ඇත. ඒ පිළිබඳව පන්ති කාමරයේදී ගුරුවරු නිතර අවධානයෙන් පසුවෙයි.

ඒ නිසා ම බටහිර රටවල දරුවන් තම දෙමාපියන්ට එරෙහිව කරන පැමිණිලි නිසා අනේක දඬුවම් විඳින දෙමාපියන් කොතෙකුත් දකින්නට ඇත.

කෙලෙසුන්ට වසඟ ව ලබන ස්වාධීනත්වය

ආදරය, අනුකම්පාව, පිදිය යුතු උතුමන් පිදීම, ගෞරව කළ යුතු උතුමන්ට ගෞරව කිරීම, ආශීර්වාද ලබාගැනීම ආදී මූලික මිනිස් සාරධර්මයන් නොමැතිව තම දෙමාපියන්, ගුරුවරුන් සමඟ හුදෙක් ගනුදෙනුවක් ලෙස මුල් වසර 18ක් ගෙවා දමන දරුවා ඉන් පසු ස්වාධීන පුද්ගලයෙකි. ඔහුට ඔහුගේ ජීවිතය පිළිබඳව කිසිදු වග විභාගයකින් තොරව අසීමාන්තරව තීන්දු තීරණ ගැනීමට නිදහස ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය, කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, සීල, සමාධි, ප්‍රඥා ආදී මිනිසාගේ මූලික හරපද්ධතිය පෝෂණය කරන සාරවත් වූ මහානීය රත්නයන් ඔහු අසල නැත.

විපත පිණිස පවතින දෑ තම අත ළඟ ය

ඒ වෙනුවට සිහිනුවණ බාල වූ පාපී මිතුරන්, මත්පැන් මත්ද්‍රව්‍ය, ගිනි අවි ආදි මෙවලම් ඔහු අසල ය. දැන් ඔහු ලැබූ නිදහස තුළ අසීමිත ලෙස තම ආශාවන් තෘප්තිමත් කිරීමට වෙර දරයි. විවිධාකාරයෙන් ඉඳුරන් පිනවා සෑහීමකට පත් වීමට උත්සාහ කරයි. ඊට හිරි ඔතප් ආදී ලෝක පාලක දේවධර්ම අදාළ නැත. දුස්සීලයාගේ විපත්ති, සීලානිශංස, සතර අපා බිය ඔහු කිසිදා නොඇසූ දෑ ය. නමුත් සත්‍යය වනාහි කිසිදා ජලයෙන් පුරවා අවසන් කළ නොහැකි සාගරය සේ මේ ඉඳුරන් පිනවා අවසන් කළ නොහැකි බව ය. කොතෙකුත් තෘප්තිමත් කොට අවසන් කිරීමට උත්සාහ කළ ද අතෘප්තිය ම ශේෂ වීම ය.

පිරිහුණු සිතේ ස්වභාවය

මේ වේගවත් සැඩ පහරේ ගසාගෙන යන මේ ජීවිත ඊළඟට ගමන් කරන්නේ භයානක දිශාවකට ය. එනම් තමාගේ ම දෙමාපියන්, ගුරුවරුන්, හිතවතුන් කෙරෙහි වෛරී සිතින් බැලීම ය. ඔහුත් දැන් මානසික බෙලහීනත්වයෙන් පෙළේ. මානසික පීඩාවන්ගෙන් දුක් විඳියි. විවිධාකාර කායික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙයි. එහි ප්‍රතිඵලය ලෙස වීමංසන බුද්ධියෙන් තොර මිනිසෙක් ලොවට බිහි වී අවසන් ය. මේ ඛේදනීය තත්ත්වයට වර්තමාන ලෝකයට විසඳුම් නොමැත. නීති රීති අණපනත් මගින් යම් පමණකට යම් පාලනයන් සිදු කළ ද මිනිසුන්ගේ ජීවිත තුළ ඇති මේ අභ්‍යන්තර කඩා වැටීම සුළුපටු නො වේ. තවමත් මෙය ලොවට වසන්වන්නේ මේ භෞතිකව මිනිසා ලද දියුණුව නිසා ම ය. වර්තමාන විද්‍යාවේ හා තාක්ෂණයේ හාස්කම් මිනිසා මවිත කරමින් සිටී. ඒ ඔස්සේ ම තම දියුණුව හා සැපය පතන ලෝකයා ආධ්‍යාත්මිකව ලබන සැනසීමෙන් දුරස් වී බොහෝ කල් ය.

අපි නොදකින අපේ උරුමය

ශ්‍රී ලාංකිකයන් වූ අපට උපතින් ම වටිනා දායාදයක් හිමි විය. උතුම් කල්‍යාණමිත්‍ර සම්පත්තිය නිසා එය අපේ ජීවිතවලට සමීප විය. ඒ මෙලොව පරලොව තම විශිෂ්ට වූ නුවණින් අවබෝධ කොට සම්බුදුරජාණන් වහන්සේනමක් විසින් වදාළ ශ්‍රී සද්ධර්මය යි. ඒ ධර්මය තුළින් අප ඉගෙන ගත්, දැන කියාගත් දෑ අපමණ ය.

අද අප සිහිකර ගන්නා මේ සුන්දර බුද්ධ දේශනාව අපේ ජීවිත තුළ දියුණුකර ගත යුතු තවත් එක්තරා වටිනා පැතිකඩක් අපට විවර කර දෙයි. එනම් අප ජීවත් වන පරිසරයේ අපි ඇසුරු කරන අය සමඟ වගකීම් යුතුකම් ඉටුකරමින් සුහදව, මිත්‍රශීලීව සිටීමේ වටිනාකම පිළිබඳව ය. ඒ තුළින් අප ඇසුරේ සිටින අය හදවතින් ම සිදුකරන ආශිංසනය අපේ දියුණුවට පාදක වන ආකාරය පැහැදිලි වේ. බුදුරජුන්ගේ ශ්‍රාවක දරුවන් වගකීම්, යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්නන් බවට මේ බුද්ධ දේශනාව කදිමට සාක්ෂි දරයි.

මුනිරජු වැඩ සිටින විශාලාවේ මහවනය

එදින විශාලා මහ වනය දෙවනත් කරමින් ලිච්ඡවී රජ කුමාරවරුන් දුනු ඊතල රැගෙන දඩයම් සුනඛ සමූහයත් පිරිවරාගෙන මහ වනයෙහි ඔබ මොබ ඇවිදින්නාහු එක්තරා රුක් සෙවණක දිවා විහරණය පිණිස වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේව දුටහ. දැක දුණු ඊතල ආදිය පසෙක තබා දඩයම් සුනඛ සමූහයා පසෙකට යවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට නිහඬව දෑත් ඇදිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කරත්.

සුපුරුදු පරිදි එදින ද මහානාම ලිච්ඡවී රජු විශාලාවේ මහ වනයට පිවිසියේ ව්‍යායාමය පිණිස ය. කලෙක පටන් ලිච්ඡවී රාජ කුමාරයන් පිළිබඳ ව නොසතුටින් හේ පසු විය. මන්දයත් ලිච්ඡවී රාජ කුමාරයන්ගේ නොහික්මුණු කල්ක්‍රියාව පිළිබඳ ව ය. ඔවුන් චණ්ඩ ය, පරුෂ ය, දැඩි ගතියෙන් යුක්ත ය. උක්ගස් වේවා මසං ගෙඩි වේවා කැවුම් වේවා මුං කැරලි වේවා තල කැරලි වේවා ලිච්ඡවී පවුල්වලට තෑගි පිණිස යවත් නම් මොවුහු ඒවා පවා පැහැර පැහැර කති. කුල ස්ත්‍රීන් හට, කුල කුමාරිකාවන් හට පසු පසින් ගොස් පිටුපසින් පහර දෙති. එබඳු වූවන් දැන් නිහඬව දෑත් ඇදිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කරත්. මෙය දුටු ලිච්ඡවී මහානාම රජු එකෙණෙහි ම මෙසේ උදන් ඇනී ය.

“වජ්ජීහු දියුණුවට පත්වන්නාහු ය. වජ්ජීහු දියුණුවට පත්වන්නාහු” යැයි.

ඒ මොහොතේ සියලු තතු දැනගත් භාග්‍යවතුන් වහන්සේ මහානාම රජුට මෙසේ වදාළ සේක. “මහානාමය කරුණු පහක් ඇති රජෙකු වේවා, රට වැසියෙකු වේවා, සෙන්පතියෙකු වේවා, ගම් ප්‍රධානියෙකු වේවා, පිරිස් ප්‍රධානියෙකු වේවා, පවුල් ප්‍රධානියෙකු වේවා යම් පවුලක අධිපති බවක් කරයි ද ඔහු දියුණුවට පත් වීම කැමති විය යුතු ය. පරිහානියක් නො ලබන්නේ ය. ඒ කවර පසක් ද යත්….”

පූර්වාචාර්යයන් පිදීම

“මහානාමය, මෙහිලා කුල පුත්‍ර තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව අත් පා වෙහෙසීමෙන් යුතුව ඩහදිය වැගිරීමෙන් යුතුව ධාර්මිකව උපයා සපයා ගත් භෝග සම්පත්වලින් මව්පියන්ට සත්කාර කරන්නේ ය. ගරු කරන්නේ ය. බුහුමන් දක්වන්නේ ය.

පුදන්නේ ය. දරුවන්ගෙන් සත්කාර ලද, ගරුකාර ලද, බුහුමන් ලද, පිදුම් ලද මව්පියෝ ඔහුට කල්‍යාණ මනසින් ආසිරි පතති. ‘බොහෝ කල් ජීවත් වේවා! දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරේවා!’ යි. මහානාමය, මව්පියන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ කුලපුත්‍රයාට දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වෙයි.

මහානාමය, මෙහිලා කුල පුත්‍ර තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව අත් පා වෙහෙසීමෙන් යුතුව ඩහදිය වැගිරීමෙන් යුතුව ධාර්මිකව උපයා සපයා ගත් භෝග සම්පත්වලින් අඹුදරු දාස කම්කරු පුරුෂයන්ට…. තම කුඹුරු වතුපිටි ආදියෙහි කටයුතු කරන්නන් හට…. පුජා පිළිගන්නා දේවතාවුන් හට…. ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට සත්කාර කරන්නේ ය. ගරු කරන්නේ ය. බුහුමන් දක්වන්නේ ය. පුදන්නේ ය. ඔහුගෙන් සත්කාර ලද, ගරුකාර ලද, බුහුමන් ලද, පිදීම් ලද ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔහුට කල්‍යාණ මනසින් ආසිරි පතති. ‘බොහෝ කල් ජීවත් වේවා! දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරේවා!’ යි. මහානාමය, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ කුලපුත්‍රයාට දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වෙයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

ගිහිගෙයි වසනා සැබෑ ශ්‍රාවකයා

“හැමකල්හි මව්පියන්ගේ කටයුතු සොයා බලන, අඹු දරුවන්ට හිතෛෂී වූ, ඇතුළු ජනයාගේ අර්ථ සිද්ධිය සලකන, තමා නිසා ජීවත් වෙන අන් අයට ද යහපත කරයි නම්, නැණවතුන්ගේ වචනයෙහි අරුත් දන්නා, සිල්වත් වූ තැනැත්තා මිය ගිය ඥාතීන්ටත්, මෙලොව ජීවත්වන ඥාතීන්ටත් යන උභය පක්ෂයට ම යහපත සලසයි නම්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ද දෙවියන්ට ද යහපත සලසන නුවණැත්තා ධාර්මිකව ගිහිගෙයි වාසය කරමින් හැමට සතුට දනවයි.

හෙතෙම යහපත් කර්මයන් කොට ප්‍රශංසාවට නිසි වූයේ පිදුම් ලබන්නේ වෙයි. මෙහිදී ද ප්‍රශංසාවට බඳුන් වෙයි. පරලොව සුගතියේ ඉපිද සතුටුවෙයි…!”

ඇසුර – ලිච්ඡවී කුමාර සූත්‍රය – අං. නි. 03

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

දැවෙනා කර්ම විපාක සමනය කරන සොඳුරු ගුණය
සසරේ යන සත්වයා වනාහී කර්මයේ නිර්මාණයකි. කර්මය වනාහී සියල්ලන්ගේ උපතේ ස්වභාවය තීරණය කරන ඒකාධිකාරය ලත් බලවතා සේ ම, එහි ආඥාවට යටත් බව කොතරම් සියුම් ද යත් ශරීරයෙක පැතිරගත් ලෝම කූපයන්ගේ ස්වභාවය පවා එහි නියමයකි. නා නා ලෝකවල, දේශවල වසන නා නා වර්ගික සත්වයන්ගේ සැප සතුට දුක් සන්තාපයන්හි විෂම බවේ එක් තීරකයකු වන්නේ ද කර්මයයි.

එය මඟහැර යා හැකි සසරක්… උපතක්… ගත කළ හැකි ජීවිතයක්… අප කිසිවෙකුටවත් නොමැත්තේ ය. එතරම් ම සත්වයෝ කර්මයෙන් සිර කරන ලද්දෝ ය.

විවිධාකාර සමාජ තලයන් තුළ විවිධාකාර හේතු මූලයෙන් හටගත් ප්‍රශ්න හමුවේ බොහෝ විට කෙනෙකුගේ ජීවන රටාවේ, කායික මානසික ස්ථාවරත්වයේ කඩා වැටීම්, බිඳ වැටීම් සිදුවන්නට පුළුවන. ප්‍රශ්නවලට මුහුණ නොදී ගත කළ හැකි ජීවිතයක් තිබේ නම් ඇත්තෙන්ම එය අසිරියකි. ඇතැම් ප්‍රශ්න හමුවේ විසඳුමක් කරා යාම කෙසේ වෙතත් එය නිවැරදි ලෙස විග්‍රහ කරගැනීමට සුදුසු වටපිටාවක්, මනා අවබෝධයක් බොහෝ දෙනෙකුට නැත.

කර්ම විෂය අචින්ත්‍යය යි බුදුරජාණන් වහන්සේ වදාළේ එය සාමාන්‍ය මනසකට ගෝචර නොවන දෙයක් නිසාවෙනි.

කර්ම විපාක හේතුවෙන් වෙහෙසට, ව්‍යාකූල බවට පත්ව නොසන්සුන්ව, විඩාබරව ජීවිත ගෙවන අය ඔබ දැක තිබේ ද? දරුණු කර්ම විපාකවල බලපෑම හේතුවෙන් බලවත් රෝගවලින් පීඩා විඳින්නෝ බොහෝ ය. මහා ධනවතුන්ව සිට අහසින් පොළොවට වැටෙන්නා සේ නිර්ධනයන්ව මහ පාරට ඇදගෙන වැටුණවුන්, ප්‍රශංසාවෙන් තෙමි තෙමී සිට නින්දා කුණු රැල්ලට යටව ගසාගෙන ගියවුන්, වරදක් නොමැතිමුත් – බලන්නවුන්ට ‘මෙවන් පාපියෝ තවත් නැත්තාහ’ සේ ම පෙනෙනවුන්, අන් අය කළ අපරාධ උගුලට නිවැරැද්දෝ ව චූදිතයන් වන්නවුන්, තමාගේ ම පාපී ක්‍රියාවේ කම්මුල් පහරින් රිදී විඳවන්නන් නම් කොතෙකුත් ද?

චේතනා පහල කොට සිතින්, කයින්, වචනයෙන් කළ පවේ විපාක ඔවුන් ම විඳවිය යුතුය. එනමුදු ‘කර්ම විපාක වෙනස් කළ නොහැක්කේ ම ය’ යන අදහස වැරදිය. සමහර කර්ම විපාක වෙනස් කළ නොහැකි බව සත්‍යයකි… සම්බුදුවරයන් වහන්සේනමකටවත් එය වෙනස් කළ නොහැක්කේ ම ය. නමුත් යම් යම් පිළියම් යෙදීම තුළින් කර්ම විපාකය ගෙවී යාම හෝ සැහැල්ලු වීම නිසා යම් සහනයක්, සැනසිල්ලක්, ලබාදීමට ඉඩප්‍රස්ථාව ඇත්තේය.

කර්ම විපාකයන්ගේ බල සීමාවන් ඉක්මවා යා නොහැකි බව සැබෑ නමුදු, කර්ම විපාකවලින් විඳවන අසරණයන් “කර්ම විපාක!” යන වදනින් ම මඩිමින් නිර්දය ලෙස හෙළාදැකීම, කොන් කිරීම වෙනුවට… ළෙංගතු බවින්, ළතෙත් කරුණා දයා පිරි වදනින්, සිසිල් මෙත් බැල්මෙන්, මුදු මොළොක් උපකාරයෙන්, සුවපත් කළ හැකි නම් එය කොතරම් අගනේද?

පීඩාවෙන් දැවි දැවී රත් වුණු වැලිකතරක ගමන් කරන්නාට, හමන පවනක් මොහොතකට වුව සුවයක් දෙන්නා සේ නියම වූ කර්මයේ ඉරණම් වෙනස් කළ නොහැකි මුත්, ‘මොහොතකුදු ඒ මුවඟට සිනාවක් හෝ දෙන්නට නොහැකි දැ?’ යි කෙනෙකුට සිතේ නම්… දාහය සදහට ම සන්සිඳුවන්නට අපට බැරි වේවි. නමුත් අපට දාහය නිවා හමනා පවනක් වෙන්නට හැකි නම්…

අති දීර්ඝ සසරේ අවසන් දිනය උදා වුණි… අයෙමත් කවරදාකවත්, කවරාකාරයෙන් හෝ කිසිම තැනක උපතක් කරා නොයන, සියලු කෙලෙස් ප්‍රහාණය කළ, බුදු සසුනක කළ යුතු සියලු බඹසර කිස නිම කළ ඒ උතුම් රහතන් වහන්සේගේ අවසන් දින අන්තිම උදෑසනේ… ප්‍රඥාවේ සාගරයක්, කරුණාවේ සාගරයක් බඳු අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ දැක වදාළ සේක. ‘මේ ලෝසකයන් අද ම පිරිනිවනට වඩිනවා නොවේ ද? සසරේ කළ මහත් පාපයක විපාක හේතුවෙන් පැවිදි වීත්, අරහත්වයට පත් වීත් මේ තාක් කුස පුරා දාන වේලක් වළඳන්නට නොහැකි වුණා නොවේ ද? මේ අයුෂ්මතුන් කෙලෙස් දුරුකර ගත්තා සේ ම අවසාන දවසේ හෝ කුස පුරා වළඳවා මා විසින් කුසගින්න දුරුකරවා සුව සේ පිරිනිවීමට පහසුව සැලසිය යුත්තේ ය’ මෙසේ සිතා සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන් කැටුව පිණ්ඩපාතයට වැඩම කළහ.

කරුණාව වනාහී සත්පුරුෂ ප්‍රඥාවන්තයින්ගේ ජීවිතයේ දිස්නයයි. අසත්පුරුෂ දුෂ්ප්‍රාඥයින්ගේ හදවත් අකාරුණික බවින් වියළී පවතී. අනුන්ගේ දුකෙහි දී හද උණුසුම් වන්නේ ප්‍රඥාවන්තයින්ගේ ය.

ගොළුවකු අත්විඳිනා දෙය වචනයෙන් කියා ගත නොහැක්කා සේ ම, කර්ම විෂය ගැන අනවබෝධය නැමැති නොහැකියාව නිසා ම අප්‍රකට ව ම සැඟවී පවතින කර්ම හේතුවෙන් අසරණ වූවන්ගේ හැඟීම්බර මිමිණිල්ල, කෙඳිරිය සත්පුරුෂයන්ගේ හදවතට ම පමණක් ස්පර්ශ වන්නේ ය. අනෙකෙකුට එය තවත් එක්තරා සිදුවීමක් පමණි. සමනය කොටගත නොහෙනා වේදනාව, වෙහෙස ප්‍රඥාවන්තයින්ගේ කරුණා දෙනෙතට ම ගෝචර වන්නේ ය. කර්ම විපාක ඉදිරියේ දිනවිය නොහැකි ජීවිත, ප්‍රඥාවන්ත උත්තමයෝ නිර්ව්‍යාජ ව දැහැමි කථාවෙන් හෝ ඒ සිත්හි උපේක්ෂාව උපදවා නිවා දමන්නෝ ය.

“කර්ම විපාක වෙනස් කළ නොහැක්කේ ය.” යන වදන් තුළ ම සිර නොවී, උදාසීන නොවී සිට කරුණාව නම් විජිනිපත මෙහෙයවා, සලා, සිහිල් පවනකින් මොහොතකට හෝ සනසවන්නේ යම් සේ ද… මේද පිඬක් බඳු සත්පුරුෂෝත්තමයන්ගේ සිත් කරුණාවෙන් උණුසුම් ව කළ හැකි උපකාරයක්, පහසුවක් හෝ සලසන්නේ ම ය.

කර්ම විපාකයක මහත… ලෝසක තෙරුන් කැටුව වැඩි නිසා ප්‍රඥාවෙන් අග්‍ර වූ දුටු දුටු නෙත් නිවන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රයටවත් දන් පිඬකින්වත් සංග්‍රහයක් නොලැබුණි… නැවත විහාරයට වැඩම කොට ලෝසක තෙරුන් රඳවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතයට වැඩම කළ සේක. තනිවම වැඩි වාරයේ සැණෙකින් පාත්‍රය පිරුණු පිණ්ඩපාතය කෙනෙකු අත “ලෝසකයන්ට දෙන්නැ.” යි පිටත් කළ ද කර්ම විපාකයක මහත් බව… පාත්‍රය රැගෙන යන්නාට එය කන්නට සිතී මඟ දී ම ඔහු එය අනුභව කළේ ය.

පිණ්ඩපාතය කොට පෙරළා පැමිණි සාරිපුත්ත මහරහතන් වහන්සේ තවමත් දාන ශාලාවේ ලෝසක තෙරුන් වැඩ සිටිනවා දැක “දන් වැළඳුවේදැ?” යි විමසූ කල්හී උන්වහන්සේ වදාළේ, “ස්වාමීනී අපට ලැබුණා නම් දන් වළඳන්න තිබුණා.” කියා ය.

එතකොට සාරිපුත්තයන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා. ඉක්මනින් පියවර මැනලා කාලය බැලුවා, දහවල මධ්‍යහන කාලය ඉක්ම ගොස් ය… නැවතත් ආයේ කවදාවත් බත් දානයක් වළඳන්න, ආහාර දානයක් වළඳන්න ලෝසක තෙරුන්ට ඉඩක් නැත. අද අවසාන දවසයි. “කර්මයක තරම. ඔබ වහන්සේමනේ ඕවා කරගත්තේ, දැන් විඳවන්න ම එපැයි.” නොකියා, ඉවත නොබලා… “මෙහි ම වැඩ සිටින්න.” පවසා කොසොල් රාජමාලිගයෙන් චතුමධුරයෙන් පිරවූ පාත්‍රයක් ලබා ගෙනැවිත් තම දෑත් අතරේ හොඳින් රඳවා තබාගෙන, “ලෝසක, හොඳයි දැන් වළඳන්න.” කියා සිටගෙන ම සිටි සේක.

කරුණාවේ සිසිලස… සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා! කරුණාබර සිතින් දුකට පත් සිත් නිවන සත්පුරුෂෝත්තමයන්ට නමස්කාර වේවා! ගුරුදේවයන් වහන්සේ තමන් වෙනුවෙන් පාත්‍රය දරා සිටීම නොඉවසූ ලෝසක තෙරුන් පාත්‍රයට අත යොමු නොකළහ. “ලෝසක, මේ පාත්‍රය ඔබ අතට දුන්නොත් වෙන තැනක හෝ තැබුවොත් මෙහි කිසිවක් ම ඉතිරි නොවේවි! ඒ නිසා වළඳන්න!” සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඍද්ධි බලය නිසා චතුමධුර අතුරුදන් නොවී තිබුණි… ගුරු වදනට කීකරුව ලෝසක තෙරුන් එදා පළමු වතාවට කුස පිරෙන තෙක් චතුමධුර වැළඳූ සේක… එදා ම පිරිනිවන් පා වදාළ සේක…

කාශ්‍යප බුදු සසුනේ භික්ෂුවක් ව සිට රහතන් වහන්සේනමකගේ ලාභයට අනතුරු කිරීමේ විපාකය නිසා, මරණින් මතු හේ නිරයේ උපන… යක්ෂ යෝනිවල, සුනඛ යෝනිවල ඉපදෙමින් පැමිණියේ ය… මනුලොවට ආව ද අන්ත දිළිඳු ව උපන්නේ ය… එදා සිට මේ දක්වා කුස පිරෙන්නට ආහාරයක් ලැබී තිබුණේ අවස්ථා තුනක දී පමණි…

වෙනස් කළ නොහැකි පරිච්ඡේද අප කාගෙ කාගේත් ජීවිතවල තියෙන්නට පුළුවන… පරිච්ඡේදයක් අවසානයේත් නැවතීමේ ලකුණක්, විරාමයක් ඇති බව මතක තියාගන්නට වටී… සක්‍රීය කර්ම විපාකය නැමැති පරිච්ඡේද අතරේ නැවතීමේ ලකුණු නම් සැනසිල්ලකුත් තිබිය නොහැක්කේ ද?

එනිසා වේගෙන් දුවන්නෙකු සමඟ අත්බැඳ දුවනවාට වඩා මොහොතකට නැවතී බිම ඇද වැටුනවුන්ට පානා දෑත වටින්නේ ය. මන්දයත් වේගෙන් යා ගත හැකි ගමනේ අන් අය වෙනුවෙන් නතර වන්නට කැමැත්තෝ කවරහු ද? වේගය මඳකට අඩුකර ගතහැකි වුවහොත් උපකාර ඉල්ලා කරනා සුහද ඉල්ලීම්වල සිහින් හඬ ඔබටත් ඇසේවි! නෑසුණා සේ, නොදැක්කා සේ නම් යන්නට නොසිතේවා! දැවෙන දුක්ගිනි සිසිල් කළ හැකි සොඳුරු ගුණය වූ කරුණාවෙන් උණු වන සිතැත්තෙක් වන්නට ඔබටත් වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

මා ද ඔබ ම විය !
ආදරය ගැන වැඩිපුර ඇහෙන – නිදහස ගැනත් වැඩිපුර ම ඇහෙන මාසයක් තමයි පෙබරවාරිය. ඒ හින්ද ම, ආදරයත් – නිදහසත් ගැන කථා කරන්න මේ කාලය හොඳ නිමිත්තක් සපයනවා.

ආදරයෙන් බැඳී යන යොවුන් සිත්වල මුල් බැසගත් අදහසක් තමයි ‘අපි දෙන්නෙක් නෙමෙයි; එක්කෙනෙක්.’ කියන එක. ‘එක සිත දෙතැනක නතර වෙලා’, ‘ඔබත් මාත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු’ ආදී වශයෙන් ගී පදවැල්වල ලියැවුණේත් ඔය චිත්ත ස්වභාවය තමයි.

කාලයේ පහර කෑම…

එක ම පාටින් අඳින්න, එක ම රසයන් විඳින්න, එක ම විදිහෙ රුචි අරුචිකම් ගොඩ නගාගන්න බොහොම ඇපකැප වෙන කාලයක් තමයි ආදර සබඳතාවල මුල් කාලය. හැබැයි, ඔය සුන්දරත්වය ඒ තරම් කාලයක් පවතින්නේ නෑ. ඒක තමයි ජීවිත ස්වභාවය…

කාලයක් යද්දි… අර මුල් කාලයේ අමාරුවෙන් හරි ගළපාගෙන, ඉවසාගෙන, දරාගෙන, ඝට්ටනයන්ට ඉඩ නොදී මෘදු ව පවත්වාගෙන යන්නට උත්සුකවත් වූ සබඳතාවයට තවදුරටත් මුල් තැන දෙන්න බැරි වෙනවා. රැකීරක්ෂා කටයුතු, ආදායම් වියදම් කළමනාකරණය, ඉන්න හිටින්න තැනක් හදා ගන්න එක, දරුමල්ලන්ගේ කටයුතු, තමන්ගේ ම ලෙඩදුක් කම්කටොළු රාශියක් එක්ක නොයෙක් හැළහැප්පීම් සිද්ධ වෙද්දි තවදුරටත් ‘එකෙකු ලෙසින්’ හිතන්න අතපසු වෙන සහ නොහැකි වන කාලයක් ඔය කාටත් වගේ එළඹෙනවා. ඇත්තටම ඔය බොහෝ සිතුවිලි කාලානුරූපයි. කාලයේ පහර කෑමෙන් වෙනස් වෙන දේවල්.

මා ද ඔබ ම වන පර්යායක්…

හැබැයි… ඔය විදිහට සිදු වන කාලයේ පහර කෑම්වලින් පවා බාධාවක් සිදු නොවී, සැරයටියෙන් යනෙන තුරා පමණක් නොවෙයි; සසරෙන් එතෙර වන තුරාමත් අපට අප ගැන ‘එකෙකු’ ලෙසින් සිතන්නට පුළුවන් නොවරදින පර්යායක් ලෝකයේ තිබෙනවා…

මේ නොවරදින පර්යායට අනුව සිත මෙහෙයවමිනුයි අපගේ ශාස්තෘන් වහන්සේ සියලු දුකින් නිදහස් වන මඟ තමන්වහන්සේ විසින් ම අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ ආකාරයෙන් හිත හැසිරවීමටයි ‘ආර්ය පර්යේෂණය’ කියා කියන්නේ. ආර්ය පර්යේෂණය ගැන කියා දෙන්නට පළමු සම්බුදුරජාණන් වහන්සේ ආර්ය නොවන පර්යේෂණය කෙබඳු ද කියා ලෝකයට හෙළිදරව් කළා.

සසරට බර අනාර්ය පර්යේෂණය

“පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨ නොවන දේ සොයා පර්යේෂණ කිරීම කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමාත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදීමට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් ජරාවට පත් වෙවී ඉඳගෙන, ජරාවට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් රෝග පීඩාවලට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන, රෝග පීඩාවලට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන, මරණයට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් ශෝක වන ස්වභාවයෙන් ඉඳගෙන, ශෝකයට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා. තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙස්වලට අයත් දෙයක් වෙනුවෙන් පර්යේෂණ කරනවා.”

සමාන වන තැන…

මේ විදිහට, තමා වැනිව ම ඉපදෙන ස්වභාවයට අයිති, දිරන ස්වභාවයට අයිති, රෝගී වන ස්වභාවයට අයිති, මැරී යන ස්වභාවයට අයිති, ශෝකය ඇති කරන, කෙලෙසී යන ස්වභාවයට අයිති දේවල් විදිහට භාග්‍යවතුන් වහන්සේ අඹු දරුවන්, දැසිදැස්සන්, එළු බැටළුවන්, ඌරන්, කුකුළන්, ඇතුන් ගවයන් අසුන් වෙළඹුන් රන් රිදී මිලමුදල් ආදී කොට ගත් පංචකාම ගුණයන් ගැන වදාළා. ඒ දේවල් සෙවීම ගැනයි භාග්‍යවතුන් වහන්සේ ‘ශ්‍රේෂ්ඨ නොවන දේ සෙවීම’ යනුවෙන් වදාළේ…

ඒක තමයි අප කවුරු කවුරුත් හැම දෙය සමඟත්, හැම අය සමඟත් සමාන වන – එකෙකු වන ආකාරය. මතක තබා ගන්න, “සච්චවාදිවචනං අනඤ්ඤථා” – “සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.” අප ආදරය කරන හැම කෙනාමත්, හැම දෙයමත් ඔය ස්වභාවයන් ඉක්මවා ගිහින් නෑ. කැමති පාට, කැමති රසය, කැමති පහස ආදියේ මොන මොන විදිහේ වෙනස්කම් ඇති වුණත් අප කා තුළත් ඉපදෙන, දිරන, ලෙඩ වන, මැරෙන, ශෝක වන, කෙලෙසෙන ස්වභාවයන් ඒ විදිහට ම පවතිනවා. මාත් ඔබත් එක ම තමයි.

නිදහසේ ආදරය කරන්න

ඉතින්… ඒ බව දැනගෙන ම ආදරය කරන්න. එහෙම ආදරය කරද්දී සිතට ලොකු නිදහසක් තියෙනවා. අපේ කැමැත්ත පරිදි පවත්වා ගන්නට කොහෙත් ම බැරි දේවල් එක්ක පොරබදන එක අඩු වෙලා යනවා…

විවිධ අවධීන්වල ජීවිතයේ යථා ස්වභාවයන් අප කරා එද්දී ඒවා එක්ක නොගැටී, ඒවාට කම්පා නොවී, මෙත් මුදිතා දයා කරුණා ඇතිව ඒවාට මුහුණ දෙන්නට එවිට පහසුයි. එකිනෙකාගේ අඩුපාඩු ඉවසා ගන්නට, ආස්වාදය ඉදිරියේ උදම් නොවන්නට එවිට පහසුයි. කොටින් ම, පෙරළී යන ලෝක ධර්මතා ඉදිරියේ නොපෙරළී යන ස්වභාවයක් උපදවා ගන්නට එවිට පහසුයි. නිදහසේ ආදරය කරන්නට පුළුවන්…

මං වගේ ම කෙනෙක් ඕන ද?

ඔය විදිහට හිතන්න පුරුදු වෙනකොට, අප සිදු කරනා මේ අනාර්ය පර්යේෂණය කෙරෙහි සිත බැසනොගන්නා යම් කලක් එළඹෙනවා. පිරූ පුණ්‍ය පාරමී සහිත වූ මහා බෝසතාණන් වහන්සේ අවසන් සිරුර දරාගෙන ‘සිද්ධාර්ථ ගෞතම’ නමින් මනුලොව ඉපිද භද්‍ර යෞවනයේ සිටිය දී ම ඒ යොවුන් සිත අනාර්ය පර්යේෂණයෙන් බැහැර වූ උතුම් අර්ථයක් කෙරෙහි නැඹුරු වුණා.

“පින්වත් මහණෙනි, එතකොට මං මෙහෙම හිතන්න පටන් ගත්තා. ඇත්තෙන් ම මමත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයට අයිති දෙයක් සොයන්නේ මොකට ද? මමත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන, ජරාවට පත්වෙන දෙයක් සොයන්නේ මොකට ද? මමත් ලෙඩ වෙන, මැරී යන, ශෝක වෙන, කිලුටු වන ස්වභාවයෙන් ඉඳගෙන, ලෙඩ වෙන, මැරී යන, ශෝක වෙන, කෙලෙසෙන ස්වභාවයන්ට අයිති දෙයක් ම සොයන්නේ මොකට ද?”

වෙනස් කෙනෙක් – වෙනස් දෙයක්

මේ විදිහට අනාර්ය පර්යේෂණයේ නොබැසගත් මහ බෝසතාණන් වහන්සේගේ සිත එයින් නිදහස් වීම කෙරෙහි ම බැසගත්තා. උන්වහන්සේ මෙහෙම හිතුවා.

“ඒ නිසා, ඉපදෙන ස්වභාවයෙන් ඉන්න මම, ඉපදෙන ස්වභාවය ගැන ආදීනව අවබෝධ කරගෙන ඉපදීමක් නැති, අනුත්තර වූ, දුකින් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා…”

ඒ උත්තමාර්ථය සාක්ෂාත් කිරීම පිණිස සිද්ධාර්ථ ගෞතම බෝසත් කුමරු හොඳ තරුණ වයසේ දී, කළු කෙස් තිබෙන කාලයේ දී, සොඳුරු යොවුන් වයසේ දී, ජීවිතේ පළමු වයසේ දී කෙස් රැවුල් බාගෙන, කහට වස්ත්‍ර පොරවාගෙන ගිහිගෙයින් නික්ම පැවිදි වුණා. ආලාර කාලාම, උද්දක රාමපුත්‍ර ආදී ගුරුවරුන් සමීපයේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය දක්වා ම සිත වැඩූ මුත් එය ද අවබෝධයෙන් කලකිරීමට, නොඇල්මට, දුක් නැති වීමට, කෙලෙස් සන්සිඳවීමට, විශේෂ ඤාණයට, ආර්ය සත්‍යය අවබෝධයට, සියලු දුකින් නිදහස් වූ නිවනට හේතු නොවන බව තේරුම් ගෙන ඒ ධර්මයන් කෙරෙහි ද කලකිරී හුදෙකලාවේ ම බවුන් වැඩුවා. තමන් වහන්සේ විසින් ම ආර්ය සත්‍යයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට ගනිමින් ඉපදීම රහිත වූ, අනුත්තර වූ, දුකින් නිදහස් වීම නම් වූ ඒ අමා නිවන අවබෝධ කරගත්තා. සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා…!

ආදරයෙනුත් නිදහස් වෙන්න

උන්වහන්සේ ප්‍රිය – අප්‍රිය සෑම දෙයින් ම නිදහස් වුණා. රාගයටවත්, විරාගයටවත් නොඇලෙන උතුම් චිත්ත සන්තානයකින් යුතු වුණා. ග්‍රහණය වීම් සහිත ආදරයෙනුත් නිදහස් වුණා. සකල ලෝසත වෙත පතල මහා කරුණා නිධානයක් බවට, මහා මෛත්‍රී ප්‍රවාහයක් බවට, ලෝසතගේ සැප කැමති වන මුදිතා ගඟුලක් බවට, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සැප දුක යස අයස ආදියෙහි අකම්පිත බවට පත් වෙමින් ඉන්ද්‍රඛීලයක් සේ දෙව්මිනිස් ලෝකයේ මුදුනේ ම බැබළුණා…!

ඇත්ත ඇති සැටියෙන් දැකීම ම යි අන් අය, අන් දෙය සම සිතින් – සම මෙතින් දකින්නට අපට උපකාරක වන්නේ. ඇත්ත ඇති සැටියෙන් දැකීම ම යි කිසිවකට නොබැඳී නිදහස් වන්නට මඟ කියන්නේ… ඒ මඟ ලොවට විවර කළ සම්බුදුරජුන් ව සරණ ගිය ශ්‍රාවකයන් විදිහට අපිත් ලෝකයට නිදහසේ ආදරය කරමු… ආදරයෙනුත් නිදහස් වෙමු…!

(ඇසුර – අරියපරියේසන සූත්‍රය, ම. නි. 01)

සටහන – උදුලා පද්මාවතී.

රන් බඳුනක් වෙන්න !
සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වීම කොපමණ නම් දුර්ලභ ද කියා අප දැනගත්තේ ශ්‍රී සද්ධර්මයෙන්. ඒ බුද්ධ වචනය අනුව, නොනවතින සංසාර ගමනක සුගති දුගති සැරිසරා යන සත්වයන්ට ඉපදීම නිසාවෙන් උරුම වන දුක් රැස නම් කොහෙත්ම දුර්ලභ නැහැ. හැබැයි, පරම දුර්ලභ වූ සම්මා සම්බුද්ධ ශාසනයක් මුණගැහුන මේ ජීවිතයේ දී වුණත් අප වඩාත් සංවේදී ආස්වාදනීය අරමුණු, දුක්පීඩා කෙරෙහි තමයි… ඒ දේවල් අප කරා පැමිණි ආකාරයන් දින වකවානු වශයෙන් වුණත් සිහිපත් කළ හැක්කේ ඒ නිසයි. ඔය විදිහට සිතේ රඳපු බොහෝ දේ සිහි කරන්නට සිතට බාධා නැති වුණාට, අතීත අනාගත අන්තවලින් මිදිලා ඒ ඒ මොහොතේ සිත යහපතේ හසුරුවන්න – සිතේ ස්වභාවය දකින්න අපට බොහොම අමාරුයි. අපේ සිත්වලට ඒ දේ පුරුදු නැහැ…

කුසල් සිතට ආයුෂ නැති හැටි…

සිතට යහපතේ හැසිරෙන්න පුරුදු නැත්තේ අප එය පුරුදු කොට නැති නිසයි. මොකද සිත කියන්නෙත් හේතුප්‍රත්‍යයෙන් හටගන්නා සංඛත ධර්මයක්. හේතු වෙනස් වෙනකොට සිත වෙනස් වෙනවා. යහපත පිණිස සිත නැඹුරු කරවන හේතුව තමයි අප තුළ නැත්තේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ගැන වදාළේ යෝනිසෝ මනසිකාරය කියලයි. සිත විපත පිණිස හසුරුවන මනසිකාරය සිතේ සසර ස්වභාවයෙන් ම පිහිටා තිබෙනවා. ඒ නිසයි බොහොම පහසුවෙන් රාගය ඇති කරන දේ, තරහ ඇති කරන දේ, මුළාව උපදවන දේ මේ සිත්වල රඳන්නේ. නමුත්, සිත යහපතේ හැසිරවීම විශේෂයෙන් පුරුදු පුහුණු කළ යුතු ම යි.

සිතේ දියුණුවට උපකාරක වන ධර්මයන් අප තුළ දියුණු කරගන්න නම් අපට ඒ ධර්මය පවසන කල්‍යාණමිත්‍රයන් මුණගැසෙන්න ම ඕන. ඒ ඇසුරේ ධර්ම ශ්‍රවණය කර කර තමයි සිත වඩන ධර්මයන් උගත යුත්තේ. අද අපට ඒ කාරණා දෙක ම තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිරිසිදු ව ම කියා දෙන ස්වාමීන් වහන්සේලා වගේ ම ඒ ධර්මය මැනැවින් පහදා දුන් දහම් පොත්පත් අපට මුණගැසෙනවා. කොහොම කොහොම හරි ධර්මය ශ්‍රවණය කරන්නත් අප වෙලාව වෙන් කරගන්නවා. ඒ විදිහට වෙලාවක් වෙන් කරගෙන කල්‍යාණමිත්‍රයන් වහන්සේලා හමුවේ බණ පදයක් අහද්දි අපේ සිත්වල අපූරු වෙනසක් අපට ම දැනෙන්න ගන්නවා. සිත යම් සන්සිඳීමක් ලබලා, සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්‍යයක් කියලා අපට ම හිතෙනවා, මේ ධර්මය පුරුදු පුහුණු කළ යුත්තක් – එය පුරුදු පුහුණු කිරීම ඒකාන්ත යහපත පිණිස පවතිනවා කියලත් තේරෙනවා. ධර්ම ශ්‍රවණය තුළ උපදින මේ කුසල් සිතට එතරම් ආයුෂ නැතිකම තමයි අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය. අප අසන ධර්මය අපේ සිත්වල රඳන්නේ නැහැ. නොරඳන නිසා ඒ ධර්මය පුරුදු පුහුණු කරන්නට අපට අවකාශ අහිමි වෙනවා…

සිතේ රඳන කිලිටි…

ධර්මය නොරඳනවා වුණාට මේ සිත්වල බොහොම පහසුවෙන් රඳන දේවලුත් නැතිව නෙමෙයි. අප මේ සටහනේ මුලින් දැක්වූ ආකාරයට අපේ ජීවිත කරා එළඹි ආස්වාදනීය අරමුණු, අප ඇසූ කටුක කර්කශ වචන අපට මතකයි. අපේ ජීවිතවල විතරක් නම් මොකද, අන් අයගේ ජීවිතවල සිදු වන වෙනස්වීමුත් අපට මතකයි. බොහෝ විට අන් උදවියගේ අඩුපාඩු, සදාචාර සම්මත ඉක්මවා යන පිරිහුනු ජීවිත ස්වභාව තමයි අපට සිහි වෙන්නේ. ඒකට ම ගැළපිලා යන සමාජ මාධ්‍ය භාවිතයකුත් අද තියෙනවා. අනිත් අය කන බොන අඳින පලඳින හැටි, ආවාහ විවාහ කිහිපයක් හරි කරගන්න හැටි, දරුමල්ලෝ හදන හැටි රස කර කර පැය ගණන් බල බල හිතට ගන්න කරන්න තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එක අතට ගන්න එකයි. ඊටපස්සේ කාලය ගැන වගේවගක් නැතිව යනවා. තමන් කාලා බීලා, නාලා කරලා වැඩපළ අවසන් කරගෙන කායචිත්ත විවේකයක් ලබන්න ඕන කියන එකට එච්චර අවධානයක් නැතිව යනවා. ඔන්න ඔය විදිහට තමයි ධර්මය අහන්න ඉඩ වෙන් කරගත්තට, ඒ ධර්මය රඳන්න අපේ සිත්වල ඉඩක් නැති වුණේ. අහන ධර්මය රඳන්න වෙලාවක් නෑ, මේ සිත් නොයෙක් නොයෙක් අරමුණු ඔස්සේ එහෙමෙහෙ දුවනවා…

මුළු ලෝකයක් එක්ක අපි අප ව සංසන්දනය කරගන්නවා… මොනවා ගැන ද? කන බොන අඳින පලඳින දරුමල්ලෝ හදන යන එන හැටි ගැන… ඒ වෙනුවෙන් තමයි අපේ කාලය වැඩිපුර වැය වෙන්නේ. බාහිරට පෙනෙන ඔපය ගැන සැලකිලිමත් වෙන්න වෙන්න අපි වටිනාකම් දෙන්නෙත් බාහිරයට ම තමයි. බොහොම අලංකාරෙට සරසවාගෙන හිටියා වුණාට ඒ ජීවිත ඇතුළ කෙලෙස් කිලිටිවලින් නෑවිලා… ඒ ජීවිතවල කෙලෙස් ගඳ ගහනවා. ගුණධර්මයකට පිහිටන්න තරම් වටපිටාවක් ඇතුළේ නෑ. හැබැයි බාහිරින් නම් ලස්සනයි… ඒ බාහිර ලස්සනට පුළුවන් ලෝකයක් ම වශී කරන්න. ඒත් ඒ මේ ජීවිතේට විතරයි. ඒ දිහා බල බලා ලෝකයම සතුටු වුණත් කෙලෙස්වලින් පිළුණු වෙලා ගඳ ගහන ජීවිත ඇතුළේ තම තමන් විඳින කෙලෙස් පීඩාව කවුද හරියට ම දන්නේ… පීඩාව ම ආස්වාදය ලෙස ගත්ත සිත් එයට මුළා වෙලා දුක පිළිගන්නේ සතුටක් විදිහටයි.

ධර්මය රඳන්න කාලයක්…!

එහෙව් ලෝකයකටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ වෙලා කෙලෙස් නසන, වීතරාගී, අමා නිවන යුතු ධර්මය දේශනා කොට වදාළේ. එවන් ගම්භීර වූ, අවබෝධයට දුෂ්කර වූ, අති සියුම් වූ, නුවණැත්තන්ට පමණක් ම විෂය වූ දහමක් පිහිටන්නට නම් අප ඇතුළේ ධර්මය රඳන්න වෙලාවක් වෙන් කරගෙන තිබිය යුතු ම යි. එහෙම නොවුණොත්, කලින් කලට හෝ දහම් ඇසීමේ පින අපට තියෙයි – හැබැයි ඒ පින අමා නිවන කරා ගෙන යන්න, පරිපූර්ණ සන්සිඳීම උපදවා ගන්න ලැබුණු පරම දුර්ලභ අවස්ථාවක් ආයෙමත් අපට අහිමි වෙලා යයි…

තාක්ෂණය පිරිපුන් මේ ලෝකයේ ඔබ ධර්මය අහන්නේ ඒ තාක්ෂණික මෙවලම් හරහා නම් ඒ වෙනුවෙන් කෙසේ හෝ ඔබ වෙන් කරගත්ත වටිනා කාලය වඩාත් අර්ථවත් කරගන්න. පිරිසිදු ව ධර්මය කියා දෙන කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගේ දේශනාවක් තෝරා ගත්තාට පසුව ඒ ස්මාර්ට් තිරය තවදුරටත් තිබිය යුත්තේ ඔබේ අතේ නෙවෙයි, එය උස්තැනෙකින් තබා පසෙකට වී දහම් ගෞරවයෙන් යුතුව ධර්මය අහන්න. එය අතේ තිබුණොත් ඒ ඔස්සේ අත එහෙමෙහෙ යන එක වළක්වන්න බැහැ. ඒ ඔස්සේ සිතත් විසිරෙනවා. එවිට ධර්මය ඇසීමේ අර්ථය පිරිපුන් වන්නේ නැහැ… ඇසූ ධර්මය මෙනෙහි කර කර සිතේ රඳවා ගන්න උත්සාහවත් වෙන්න. නිතර භාග්‍යවතුන් වහන්සේගේ දහම්පද සජ්ඣායනා කරන්න. ඒ අර්ථ මෙනෙහි කරන්න. එවිට අන් අය ගැන, අන් දේවල් ගැන හිත හිතා නාස්ති කරන කාලය අප වටිනා අර්ථයක් වෙනුවෙන් රඳවා ගත්තා වෙනවා…

සිත සිතෙන් රකින්න…

අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ බෝධිසම්භාර පුරමින් පැමිණි කාලයේවත් අවධානය යොමු කළේ කය ගැන නෙවෙයි; සිත ගැනයි. පින් ලකුණු පිරි අවසන් සිරුර දරා පැමිණි කල්හිත් ඒ කය රැකගැනීම පසෙක තබා පධන් වෙර වඩමින් උන්වහන්සේ අප්‍රමාදී වූයේ සිත රකින්නයි, සිත වඩන්නයි. එලෙසිනුයි අපගේ ශාස්තෘන් වහන්සේ සිත ජයගත්තේ. මේ ජීවිතවල අවධානය යොමු කොට රැකගත යුතු ප්‍රධාන දෙය තමයි සිත. සෑහීමකට පත් නොවන ස්වභාවය ම ප්‍රකට වන සිතක් පහසුවෙන් දමනය කරන්නට බැහැ. එහෙත් එය කළ හැක්කේත් සිතින් ම යි. සිත ඒ අයුරින් වෙනස් කරන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව වැඩී යන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මෙනෙහි කිරීමෙන්; යෝනිසෝ මනසිකාරයෙන්…!

නිකිණි පුන් පොහෝ දිනයක භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය සිංහ තෙලක් රන් කරඬුවක බහාලූ පරිද්දෙන් හද මඬලේ සුරැකි ආනන්ද මුනිඳුන් උතුම් අරහත්වය සාක්ෂාත් කොට වදාළා. සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය දරා ගැනීමට අප උත්සාහ කළ යුත්තේ ඒ අයුරින් ම යි. ආනන්දයන් වහන්සේගේ ජීවිතය මෛත්‍රී සහගත කාය වචී මනෝ කර්මයන්ගෙන් පිරී ගත්තක්. ඒ ගුණශෝභාවන් සිහි කරමින් ඔබේ ජීවිතය ගොඩනගන්න. එවිට ඔබේ සිතේ මෙත් මුදිතා කරුණා ගුණදම් නොසිඳී පෝෂණය වෙනවා. ඒ ගුණදම් පිරුණු සිත නම් තථාගත ධර්මය රඳන්න සුදුසු රන් බඳුනක්…!

සටහන – උදුලා පද්මාවතී.

දෙව්ලොව ලොව යන්න කැමති අයට
කෙනෙක් ගතකරන ජීවිතයට සමුදුන් විට, “ඔහු මැරුණා.” කියලා කියනවා. එය උපන් සත්වයාට උරුම පොදු ධර්මතාවයක්. කර්මානුරූප බව මත එය එකිනෙකා ඉදිරියට පැමිණෙන්නේ විවිධ අයුරින්. නිරි සතුන්, ප්‍රේතයින් ඒ ඒ පාපකර්ම ගෙවා දමා ඒ ලොවින් නොපෙනී යයි. තිරිසන් සතුන්, මිනිසුන් විවිධ ආපදා ලෙඩ දුක් උවදුරුවලට ගොදුරු වී සිරුර අත්හැර දමයි. දෙවියන් බඹුන් ආයුෂ හෝ පින අවසන් වීමෙන් දෙව්ලොවින් චුත වෙයි.

දෙව්ලොව ගැන අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ පරිපූර්ණ වූ කේවල සත්පුරුෂ භූමිය කියලයි. මින් වසර 2569කට පෙර අපගේ ශාස්තෘන් වහන්සේ දිවමන්ව වැඩසිටි සොඳුරු යුගයේ බොහෝ දෙවිවරු ධර්මය අවබෝධ කළා. ඇතැම් දෙවිවරු දෙව්ලොවින් චුතව මනුලොවට පැමිණ සසර දුකින් නිදහස් වී ගියා. තවත් බොහෝ දෙනා ශාස්තෘ සම්පත්තියේ පිහිටා රැකවරණ සහිතව නැවත දෙව්ලොව ගියා.

එක්තරා දිනක දී අපගේ තිලෝගුරු මුනිරජුන්ගේ නිල්මහනෙල් මල් සුවඳ හමන සම්බුදු මුවමඬලින් බ්‍රහ්මස්වරය විහිදී ගියේ මෙසේයි.

“පින්වත් මහණෙනි, යම් දිනෙක දෙවිවරු චුතවෙන්න ආසන්න වෙත් ද නිමිති පහක් පහළ වෙයි.

දෙවිවරු පැලඳ සිටින මල් මාලා මැලවී යයි. දිව්‍ය සළුපිළි කිලිටි වී යයි. කිහිලිවලින් දාඩිය ගලයි. දිව්‍ය සිරුරේ පැහැය අඩු වී යයි. තම දිව්‍ය විමානයේ සිත නොඇලෙයි.

මෙය දකින දෙවිවරු ඔහුව නන්දන උයනට කැඳවාගෙන යයි. මෙබදු සැනසිලි වදන් පවසයි.

‘පින්වත, ඔබ සුගතියට යන්න. උතුම් ලැබීම ලබන්න. උතුම් ලැබීම ලබලා ඒකෙ හොඳින් පිහිටන්න’…”

දෙව්ලොව පින අවසන් වූ දෙවියාට දෙවිවරු එදා සුගතිය කියා පැවසුවේ මිනිස් ලොවටයි. උතුම් ලැබීම යැයි පැවසුවේ තථාගත ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති කර ගන්නා ශ්‍රද්ධා ලාභයටයි. ඒ ශ්‍රද්ධාව ඔහුගේ සිත තුළ පිහිටලා මුල් බැසගෙන ස්ථාවර වෙලා තියෙන කොට ලෝකයේ කිසිම ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයා විසින් හෝ ලෝකයේ වෙන කවුරු විසින් හෝ ඔහුගේ ඒ ශ්‍රද්ධාව නැති කරලා දාන්න බැරි නම්, එය තමා උතුම් ලැබීම ලබලා එහි ‘ඉතා හොඳින් පිහිටීම’ කියලා කියා පැවසුවේ.

ඒ වගේ ම කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය අතහරින්න. අනේක වූ පාපී අකුසල් අතහරින්න. කයෙන් වචනයෙන් බොහෝ කුසල් කරගන්න. සිතින් අප්‍රමාණ වූ මෛත්‍රී සහගත කුසල් කරන්න. මතු යහපත සලසාලන බොහෝ පින් කරන්න. දන් දෙන්න. අනිත් මිනිසුන්වත් තථාගත ධර්මය කියලා දීලා අමා නිවන් මඟෙහි සමාදන් කරවන්න. මෙබදු බොහෝ පින් කර කුසල් වඩා දෙව්ලොවට නැවතත් පැමිණෙන්න.

බලන්න, මොන තරම් සොඳුරු සත්පුරුෂ සමාගමක් ද? මොන තරම් කාරුණික අනුග්‍රහයක් ද? මඳක් සිතා බලන්න. අපේ මනුලොව මිය යන්න පණ අදින කෙනෙකුට උරුම වන ඉරණම? එනමුත් සොඳුරු සත්පුරුෂ භූමිය තුළ දෙව්ලොවින් චුතවෙන්න ආසන්න දෙවියෙකුට ලැබෙන අනුකම්පාව..!

කම් නැත. කෙසේ වුවද අපි සියලු දෙන දැන් මිනිසුන් වෙමු. සංසාර රංග මණ්ඩලයේ මනුලොව වේදිකාවේ විවිධ ජවනිකා රඟ දක්වමින් සිටිමු. පැමිණියේ කොහි සිටදැයි දැනුමක් නොමැති මුත් යම් දිනක මේ වේදිකාවෙන් බැස වෙනත් වේදිකාවකට ගොඩ විය යුතු වෙමු.

අසිරිය නම් එය නොවේ. දිව්‍ය නේත්‍රයට මනුලොව දිස් වූ ඒ උතුම් ශාස්තෘ සම්පත්තිය අපට ද ලැබී තිබීම ය. ජීවමාන බුදුරදුන් නැති වුව ද ධර්මයත්, විනයත්, පූජනීය වස්තූනුත්, ආර්ය මහා සංඝරත්නයත් තවමත් දිවමන් ව වැඩ සිටීම ය. එය සැබැවින්ම දුක් ගැහැට පිරි මේ මනුලොවින් මිදී මුළුමනින්ම පිරිපුන් සත්පුරුෂ භූමියට පියනගනු කැමැත්තවුන්ට දිව්‍ය ද්වාරය දිස්වීමක් බඳුයි.

එනමුදු ඒ දිව්‍ය ද්වාරය යාදිනියෙන්, ප්‍රාර්ථනාවෙන් විවර නොවන්නක්. තෙරුවන් සරණෙහි පිහිටා, ශාස්තෘන් වහන්සේ පුදමින්, ධාතූන් වහන්සේලාට බෝධීන් වහන්සේලාට උපස්ථාන කරමින්, තථාගත ශ්‍රී සද්ධර්මය අසා දරා නුවණින් විමසමින්, දන් දෙමින් අන් අයව ද දානයෙහි, පිනෙහි, කුසලයෙහි සමාදන් කරවමින් යමෙක් වාසය කරයි ද ඒ සොඳුරු සත්පුරුෂ භූමියේ ස්වර්ණ ද්වාරයෙහි යතුර ඔහු අතට පත්වෙනු ඇති. ශාස්තෘ සම්පත්තිය සිරසේ දරාගෙන දහම් මනසිකාරයෙන් යුතුව ශ්‍රාවක සඟරුවනට අවනතව ඔහු යන ඒ ගමන ඒකාන්තයෙන් ම අමා නිවනින් කෙළවර වන්නක් ම යි.

සැබැවින්ම ස්වල්ප වූ හෝ නුවණක් අප සතුව පවතී නම් අප කැමති විය යුත්තේ අනතුරට නොව රැකවරණයට ය. අනතුර නම් සසරේ යළි යළි ඉපිද ඉපිද යන්නට වීමයි. ආරක්ෂාව නම් ඉන් මුදවාලන ත්‍රිවිධරත්නයේ සරණ තුළ මනාව පිහිටීමයි.

අපගේ ශාස්තෘන් වහන්සේ වරක් මෙසේ වදාළ සේක.

“ලොවෙහි ප්‍රශංසාවත්, වස්තු ලාභයත්, මරණින් මතු සුගතියත් කැමති නැණවතුන් විසින් සීලය ම යි රැකිය යුත්තේ…”

ඒ වගේ ම තමන් පව් නොකරන්න පුළුවන්. නමුත් ඇසුරු කරන්නේ පව් කරන අය නම් සිල්වතා ගැනත් පාපී රාවයක් පැතිරිලා යනවා. හරියට කුණු මාළු කෑල්ලක් කොළේක

එතුවා ම ඒ කොළෙත් ගඳ ගහනවා වගේ. ඒ වගේ ම ඒ පාපී ඇසුර දිගින් දිගටම පැවැත්වුවහොත් ඒ ඇසුරෙහි භයානකකම තමයි ටික ටික තමන්ගේ ගුණත් විනාශ වෙලා අර දුස්සීල ගති තමාටත් පිහිටන්න ගැනීම. හරියට විෂ පෙවූ ඊතලයක් හොඳ ඊතල ගොඩක දාලා තිබුණොත් අනිත් ඊතලවලත් විෂ තැවරෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා පව් තවරා ගන්න තියෙන භය නිසයි නුවණැත්තෝ පාපී ඇසුර බැහැර කළ යුත්තේ කියලා. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි තමා ව ඇසුරු කරන අයව නිරයට ගෙන යන එක.

නුවණැති අයව ඇසුරු කරන්න පටන් ගත්තම ඊට වෙනස්. තමන් තුළ කුමන දුර්වලතා තිබුණත් කීර්ති රාවයක් පැතිරී යනවා, ‘මේ කෙනා යහපත් අයගේ ඇසුරේ ඉන්න කෙනෙක්’ කියලා. හරියට සමන් මල් මිටක් කොළේක ඔතලා තිබ්බම කොළෙනුත් සුවඳ හමනවා වගේ ඒ ඇසුර නිසාම ඔහුත් යහපත් ගුණදහම් ඇති කෙනෙක් බවට පත් වෙනවා.

එපමණක් නොවේ, නුවණැති සත්පුරුෂ අය තමා ව ඇසුරු කරන අයව වරදින් වළක්වනවා. අඩුපාඩු කියලා දීලා සීලයේ පිහිටවනවා. යහපතෙහි කුසලයෙහි යොදවනවා. මෙලොවත් පරලොවත් දෙලොව ම යහපතට මඟ කියා දෙනවා. නුවණැති සත්පුරුෂයන් කැමති තමා ඇසුරු කරන අය සුගතියේ යනවා දකින්නයි. දුකෙන් අතමිදෙනවා දකින්නයි. ඒ තමයි සත්පුරුෂයින්ගේ සත්පුරුෂ දහම.

ඒ නිසා ඔබත්, මේ දස දහසක් ලෝක ධාතු අභිබවා අනන්ත සක්වළ පුරාවට පැතිර ගිය සම්බුද්ධ සුගන්ධයේ මිහිර විඳගන්න. මේ සොඳුරු සම්බුදු සසුනේ සීල සුගන්ධය ගත තවරා ගන්න. දහම් මනසිකාරය නැමැති මාලා දාමයන්ගෙන් සිත සරසා ගන්න. සත්තිස් බෝධි පාක්ෂික දහම් නැමැති දහම් ඖෂධ ටික ටික නමුත් පානය කරන්න. එවිට මේ බුදු සසුනේ දී ම මඟ ඵල නිවන නම් වූ ඒ අමා ඵල රස භුක්ති විඳීමට හැකිවනු නියතයි.

සසරගත ජීවිතවලට රැකවරණය සලසන දුර්ලභ ශාස්තෘ සම්පත්තියත්, සොඳුරු සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ආශ්‍රයත් අපගේ ජීවිත තුළින් ගිලිහී නොයේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

ගිනිගෙන දැවෙන ගත සිත නිවා සිසිල් කරන සීතල වතුර මෙත් සිතයි.
ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක්කොත් අපි කියනවා, “එයා දිහා එක පාරක් බලලා මදි. තව පාරක් හැරිලා බලන්න හිතෙනවා.” කියලා. එහෙම කෙනෙක් ඇසුරු කරනකොට, රූපය ලස්සන වුණාට හිත ලස්සන නැත්නම් ඒ කෙනාව ආයේ දකින්නවත් කැමැත්තක් ඇතිවෙන්නෙ නෑ. නමුත් රූපේ කෙසේ වෙතත් ලස්සන ම ලස්සන හිතක් තියෙන කෙනෙක් කියලා දැනුණොත් අපිට ඒ කෙනාව ආයෙමත් ඇසුරු කරන්න හිතෙනවා. දන්නෙම නැතුව අපි තුළ මිත්‍රත්වයක් ගොඩනැගෙනවා.

තරහෙන් ද්වේෂයෙන් දැවෙන කෙනෙක් මුණගැහෙන්න අපි කැමති නෑ. හැබැයි දුටු පමණින් මුලු‍ හදවතින් ම හිනාවෙලා සිනහවකින් සංග්‍රහ කරන අය අපිට ප්‍රියයි. අන් අයට අපි ගැනත් එහෙම තමයි. ද්වේෂය නමැති සතුරා අප සමඟ මිතුරු වූ විට අපිට අපි ගැන තියෙන කල්පනාව අඩුයි. අන් අයගේ ප්‍රතිචාරත් අප ව මගහැර යයි. දැවෙන සිතක් නැතුව නිවෙන සිතක් ඇති කරගන්න, ද්වේෂය නමැති අති භයානක රෝගයට තුන්ලොව උතුම් ශල්‍ය වෛද්‍යවරයාණන් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතිශය ප්‍රණීත ඖෂධයක් අපිට තිළිණ කළා… හැබැයි ඒ ඖෂධය මතක් වෙන වෙලාවට ගන්න ඕන එකක් නොවෙයි. හිටගෙන ඉද්දිත්, හිඳගෙන ඉද්දිත්, ඇවිදින වෙලාවෙත්, නොනිදා සිටිද්දිත් භාවිතයට ගන්න ඕන. ඒ තමයි, සිත් ගිනි නිවන මෙත් සිත. මේ හැම මොහොතකම සියලු‍ සත්වයන් කෙරෙහි අප්‍රමාණ මෙත් සිත පවත්වන්න පුළුවන් නම් ඒ කෙනා හරියට මනුලොව ඉන්න බ්‍රහ්මරාජයෙක් වගේ.

යම් කෙනෙක් පාපී අකුසල්වලින් නිදහස් වූ සිතින් හැම දිශාවට ම මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා නම් වූ සතරබ්‍රහ්ම විහරණය පතුරුවමින් වාසය කරනවා නම්, එනම් මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරනවා, ඒ වගේ ම දෙවැනි තුන්වැනි දිශාවට, දස දිශාවට, හැම තැනටම, හැම ලොවකටම, විපුල වූ, ප්‍රමාණ රහිත වූ, අවෛරී වූ, පීඩා රහිත වූ මෙත් සිත (ඒ අයුරින් ම මුදිතාව, කරුණාව සහ උපේක්ෂාව) පතුරුවාගෙන වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා එයා මෙන්න මේ වගෙයි කියලා. සීතල වතුර තියෙන, පෑදුණු වතුර තියෙන, මිහිරි වතුර තියෙන, මඩ නැති ඉවුරක් තියෙන ලස්සන පොකුණක් තියෙනවා. කොයි දිශාවෙන් වුවත් හොඳටම පිපාසෙන් ක්ලාන්තය වූ කෙනෙක් ඇවිදින් ඒ පොකුණේ වතුර බීපුවහම පිපාසෙ නැතිවෙලා යනවා වාගේ, පෑවිල්ලෙන් ඇති වූ පීඩාව නැතිවෙලා යනවා වාගේ සතර බඹ විහරණයෙන් යුතු කෙනා ලොව ම සුවපත් කරලනවා…

දෙමාපියන්ට කියනවා බ්‍රහ්මයින් වගේ කියලා. ඒකට හේතුව, බඹලොව සිටින බ්‍රහ්මයින් මෙත් කරුණා ආදී විහරණයන්ගෙන් ම යි නිතර වාසය කරන්නේ. දෙමව්පියන් තම දරුවන් ගැනත් ඒ විහරණය නිතැතින්, නිරායාසයෙන් ම පවත්වනවා. අපිට මුණගැහෙන සමහර පුද්ගලයන් ගොඩක් සතුටින් ජීවිත ගත කරනවා වගේ පෙනුනත් ඒ අයත් සමඟ කතා කරන විට තේරෙනවා ඔවුන්ගේ ජීවිත දුකින් පිරිලා බව. මහමඟ ගමන් බිමන් යන කී දෙනෙක් නම් පීඩිත සිත්වලින් කටයුතු කරනව ද? ඒ හැමෝම ගැන අපිට හිතන්න පුළුවන් නම්, ‘සැමට සැපත ඇති සුවපත් සිත් ඇති වේවා!’ කියලා, ඒ අපේ මෙත් සිත. මේ මොහොතේ අපි යම් සැනසීමකින් හිටියත් රෝහල්වල ගිලන් ඇඳන් මත කී දෙනෙක් මාරාන්තික වේදනා සමඟ සටන් කරනව ද? සතා සිව්පාවුන් පවා බිය තැතිගැනීම්වලින් ජීවත් වෙන මේ මොහොතෙත් ‘සියලු සත්වයෝ සුවපත් වේවා!’ කියලා හිතන්න පුළුවන් නම්, ඒ තමයි මෙත් සිත…

‘මාතා යථා නියං පුත්තං – ආයුසා ඒකපුත්තමනුරක්ඛේ

ඒවම්පි සබ්බභූතේසූ – මානසං භාවයේ අපරිමාණං’

(කරණීයමෙත්ත සූත්‍රය)

එකම එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් තම දිවි දෙවෙනි කොට ඒ දරුවා ආදරයෙන් රැකබලා ගන්නවා වාගේ, සියලු‍ සත්වයන්ට එක සේ සෙනෙහසක්, කරුණාවක්, මිතුරු බවක් ඇති ලස්සන හිතක් පවත්වන්න පුළුවන් නම්, ඒ කෙනාට හතුරෝ නැති නිසා බිය තැතිගැනීම නෑ.

හිතටත් ඒකාන්ත සැපයක් ම යි. අනන්ත සසරේ මවක්, පියෙක් නොවූ කෙනෙක් නැති නිසා ම එලෙස සිතා හෝ සියලු‍ සත්වයන්ගේ යහපත කැමතිව වාසය කරයි නම්, ඒ අපේ මෙත් සිත… ගිනිගෙන දැවෙන සිතත් ගතත් දෙකම නිවා සිහිල් කරන සීතල වතුරක් මෙන් වූ මෙත් සිත… ඒ සිසිල අපිට විතරක් නෙවෙයි; වටේ ඉන්න අයටත් දැනෙනවා. හරියට මේ වගේ…

දවසක් එක්තරා ස්වාමීන් වහන්සේනමක් වනගත කුටියක වාසය කරලා වස් අවසන් වෙලා පිටතට වඩින විට කිසිවෙක් හඬන ශබ්දයක් මේ ස්වාමීන් වහන්සේට අහන්න ලැබුණා. ඒ වෘක්ෂයක වාසය කළ දෙව්දුවක්. හැඬීමට කරුණු විමසා සිටිද්දී දෙව්දුව කියා සිටියා “‍ඔබවහන්සේ මෙතනට වඩින්න කලින් මෙතන යුද පිටියක් වගේ… මේ අවට අමනුෂ්‍යයෝ බොහොමයක් සිටිනවා. මොවුන් එකිනෙකා වෛරයෙන් දැවෙනවා. අරගල කරනවා. එහෙත් ඔබවහන්සේ පැමිණ මෛත්‍රිය පැතිරවීමට පටන්ගත් විට ඒ ආනුභාවයෙන් මොවුන් සමඟි වුණා. දැන් හැමදෙනාම සාමයෙන්, සමඟියෙන්, සංසිඳීමෙන් වාසය කරනවා. මං මේ හඬන්නේ ඔබවහන්සේ පිටව ගිය විට යළිත් පෙර තත්ත්වය ම උදා වේවී යන බියෙන්.”‍ දෙව්දුව කියූ කරුණු ඇසූ ස්වාමීන් වහන්සේ දිගට ම ඒ වනයේ ම වැඩවාසය කළා. ඒ පරිසරය යහපත් ලෙස වෙනස් වුණේ මෙත් සිත නිසා ම යි.

වෛරය, තරහව, ඊර්ෂ්‍යාව තියෙන හිතකට එය ඒකාන්ත දුකක් ම යි, පීඩාවක් ම යි. ඒ කරුණුවලින් තොර සිත තමයි දුක් පීඩාවලින් තොර වෙන්නේ. ඒ කෙනා සුවසේ ජීවත් වෙනවා. යම් කෙනෙක් ළඟ දෙපැත්ත කැපෙන කඩුවක් තියෙනවා නම් යම් සතුරෙක් විත් මේ කඩුව ඇල්ලු‍වොත් එහි හානිය සිදුවන්නේ එහි අයිතිකරුවට නොවෙයි, විරුද්ධවාදියාටයි. මෙලෙස මෙත් සිත නමැති ආරක්ෂක ආයුධය භාවිත කරන කෙනා ඉදිරියට යන යම් මනුෂ්‍යයෙක් වේවා අමනුෂ්‍යයෙක් වේවා ඔහු ම යි පීඩාවට පත්වන්නේ.

මෙත්තානිසංස සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.‍ “මෛත්‍රී චිත්ත විමුක්තිය භාවිත කිරීමෙන්, සේවනය කිරීමෙන්, බහුලව ප්‍රගුණ කිරීමෙන්, නැග යා හැකි වාහනයක් සේ කිරීමෙන් එකොළොස් ආනිශංසයන් කැමති විය යුත්තේ ය. සුවසේ නිදයි. සුවසේ අවදිවෙයි. පවිටු සිහින නොදකියි. මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි. දෙවියන් විසින් රකියි. වස විස, අවි ආයුධවලින් විපත් නොවේ. සිත ඉක්මනින් සමාධිමත් වෙයි. මුහුණේ පැහැය ප්‍රසන්න වෙයි, සිහි මුළා ව කළුරිය නොකරයි. මග ඵල නොලැබුවොත් බඹ ලොව උපදී. පින්වත් මහණෙනි, යමෙක් උදෑසන, දහවල, සවස යන තුන් කාලයෙහි ම බත් හැලි සියය බැගින් දන් දෙයි ද එයින් ලැබෙන පිනට වඩා, යමෙක් උදේ සවස ගව දෙනකගේ කිරි දොවන තරම් කාලයක් මෙත් සිත වඩයි ද එයින් ලැබෙන පින මහත්ඵලයි.”

(ඔක්ඛාසත සූත්‍රය, සං. නි. 2)

භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු උපමාවලින් මෙත්සිත ගැන මෙසේ ද වදාළා. “‍තාරකාවල තිබෙන දීප්තියත්, ප්‍රභාෂ්වර බවත්, සඳේ තිබෙන ප්‍රභාෂ්වර බවින් දහසයෙන් පංගුවක් තරම්වත් වටින්නෙ නෑ වගේ…, මේ මෛත්‍රී චිත්ත විමුක්තිය අන්‍ය සියලු‍ පුණ්‍යක්‍රියා පරදවලා බබළනවා.”‍

සංයුත්ත නිකායේ කුල සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා. කාන්තාවන් පමණක් ඉන්න නිවසකින් හොරුන් පහසුවෙන් ම සොරකම් කරනවා. එහෙත් පිරිමි ඉන්න නිවසකින් හොරකම් කිරීම ලේසි නෑ වගේ, මෙත් සිත බහුල ව වඩන විට කිසිම අමනුෂ්‍ය

බලවේගයකට ළං විය නොහැකි බව.

භාග්‍යවතුන් වහන්සේ පෙර ආත්මභාවයක දී සත් වසරක් මෙත් සිත දියුණු කළ පින් බලෙන් නැසෙන වැඩෙන කල්ප සතක් පුරාවට ම මනුලොවට නොපැමිණ දෙව්ලොවත්, බඹලොවත් වාසය කළ සේක. තිස් හය වතාවක් සක් දෙව් පදවිය ද අනේකවාර සක්විති රජ පදවිය ද ලැබූ සේක.

මෙලෙසින් යම් කෙනෙක් සිහිනුවණ හොඳින් පිහිටුවා අප්‍රමාණ මෙත් සිත වඩනවා නම් ඔහු කෙලෙසුන්ගේ නැසීම දකිනවා. ඒ සිතේ සසරට බැඳ තබන බැඳීම් තුනී වෙලා යනවා. එක ම එක ප්‍රාණියෙක් කෙරෙහිවත් හිත කිලිටි කරගන්නෙ නැත්නම්, මෙත් සිත ම පතුරුවනවා නම් ඒ නිසාම ඔහු ධර්මයේ හැසිරෙන්න දක්ෂ කෙනෙක් වන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

අපිත් මෙවන් සොඳුරු මෙත් සිත අත්නොහැර පුරුදු කරමින් ලෝසත වෙත සැපය, සුවය පතමින් සුවපත් සිතින් වාසය කරමු.

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

දුදන ගති බැහැර කොට සුදන ගුණයෙන් වැ​ඩෙමු.
සොඳුරු ගුණදහම් ද උත්තම මිනිස් දහම් ද ඇතිව නැණ බලයෙන් ද ඔද වැඩුණු සාධු ජනයන්ගේ පහළ වීම ලොව අතිශයින් ම දුර්ලභ ය. එයින් වඩාත් උත්තරීතර ම මනුෂ්‍ය රත්නය අපගේ ශාස්තෘ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. දෙව් මිනිස් ලොවට සත්පුරුෂ දහම දායාද කළ අපගේ භාග්‍යවතුන් වහන්සේ, ඒ සොඳුරු දහමින් උපන් පිවිතුරු සිත් ඇති ශ්‍රාවක දරුවන්ගේ අසහාය මුනීන්ද්‍රයන් වහන්සේ වන සේක් ම ය. සාමාන්‍ය මිනිස් ගුණදහම් වඩ වඩාත් දියුණු කොට උතුම් මිනිසුන් බවට පත් වූවෝ ඒ ශ්‍රාවක දරුවෝ ය. ගුණ නැණින් පිරිපුන් දිවියක් කරා යන ගමනේ බාධක මගහැර සේවනය කළ යුතු, සේවනය නොකළ යුතු, ඇසුරු කළ යුතු, නොකළ යුතු දේවල් මෙන්ම මග නොමග හොඳින් පෙන්වා දුන්නේ අප ශාස්තෘන් වහන්සේ ය.

උන්වහන්සේ දුර්ජන අසත්පුරුෂ ඇසුරේ භයානක බව මතු කරමින් සුදන සත්පුරුෂ ඇසුරේ වටිනාකම මැනවින් පහදා දුන් සේක.

“චරඤ්චේ නාධිගච්ඡෙය්‍ය

සෙය්‍යං සදිසමත්තනෝ

ඒකචරියං දළ්හං කයිරා

නත්ථි බාලේ සහායතා”

“එක්කෝ තමන්ට වඩා උසස් කෙනෙක් ම යි ආශ්‍රයට සොයාගන්නට ඕන. එහෙමත් නැතිනම් තමන්ට සමාන ගුණධර්ම තියෙන කෙනෙක් ම යි ආශ්‍රයට සොයාගන්නට ඕන. එහෙම කෙනෙකුත් සොයා ගන්නට නැත්නම්, දැඩි අධිෂ්ඨානයකින් හුදෙකලාවේ තනියම ජීවත් වෙන්නට ඕන. අසත්පුරුෂයන් එක්ක යාළුකම් ඕන නෑ.” (ධම්ම පදය – බාල වර්ගය)

මේ බව හොඳින් හඳුනා නොගතහොත් සිදුවන අයහපත ගැනත්, සුදන ඇසුරෙන් සිදුවන යහපත ගැනත් අවබෝධයෙන් ම දැක වදාළ අප ශාස්තෘන් වහන්සේ ‘අසේවනාච බාලානං’ – බාලයන් ඇසුරු නොකිරීමත්, ‘පණ්ඩිතානං ච සේවනා’ – නුවණින් යුතු කලණමිතුරු ඇසුරත් මංගල කාරණා වශයෙන් පෙන්වා වදාළ සේක.

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු දඹදිව විසූ එක්තරා දුප්පත් මිනිසෙක් සොරුන් හා එක්ව සොරකමේ යන්නට පුරුදු විය. දිනක් ඔහු ව රාජ පුරුෂයින්ට හසුවී රාජ නියෝගයෙන් සිරගත කරන ලදී. මෙසේ වසර දොළහක් මුළුල්ලේ සිරගෙයි සිටින ඔහුට හරියාකාරයෙන් කෑමක් බීමක් නින්දක් නොමැතිව මහා දුක් විඳින්නට සිදු විය.

දිනක් පිටිසර ගම්වැසියෙක් ඒ නුවර ඇවිදගෙන යන විට සිරගෙයි වසන මේ මිනිසා දැක පැරණි යහළුවෙක් බව දැන හැඳින මහා කම්පාවට පත් විය. කඳුළු වගුරුවමින්, මහා හඬින් හඬා වැළපෙමින් “‍යහළුව, ඔබට මගෙන් උදව්වක් වුවමනාදැ?”‍ යි විමසී ය. “‍අනේ මිත්‍රය, මේ සිරගෙදර දැන් බොහෝ කාලයක් බොහෝ දුක් වින්දා. මගේ බඩ පිරෙන්න ආහාරයක් අනුභව කරලා එන්න ඇත්නම් හොඳයි.”‍ ඔහු කීය.

ඒ පිටිසර ගම්වැසි මිනිසා හරිම ලස්සනට සිතන්නට විය.

මෙලොව යම් කිසිවෙක් මනබඳින රූප සම්පත්තියකින් යුතු වුවත් ආචාරශීලී ගුණදහම් නැතිනම් ඔහුගේ රූපයෙන් කවර ප්‍රයෝජනයක් ද?

යමෙක් කරුණු තේරුම් ගන්නා කුසලතා ඇති දක්ෂයෙක් වූයේ නමුත් නොගැළපෙන වචන කියමින් අලසව නොහොබිනා කටයුතු කරත් නම් ඔහුගේ හැකියාවලින් කවර ප්‍රයෝජනයක් ද?

මහා ධනවත් කෙනෙක් නමුත් අනුන්ට කිසිවක් නොදී මසුරුව වෙසෙයි නම් ඔහුගේ වස්තුවෙන් කවර ප්‍රයෝජනයක් ද?

යම් මිතුරෙක් තම යහළුවාට කිසියම් ආපදාවක් පැමිණි කල්හි නොදැක්කා සේ මුහුණ සඟවා පලා යයි නම් ඔහුගේ මිතුරුකමින් කවර ප්‍රයෝජනයක් ද?

එසේ නම් මොහුට අවශ්‍ය ම මොහොතේ මා උපකාර කළ යුතු යි සිතා සිරගෙයි පාලකයන් වෙත ගොස් ‘පින්වත, මොහු ආහාරයක් සොයා අනුභව කොට පැමිණෙන තුරු මාව ඇපයට තබා මොහු නිදහස් කරන්නැ.’ යි ඉල්ලී ය. හෙතෙම තමාම සිරකරුගේ දම්වැල ගලවා තමා පය ලාගෙන සිරගෙට වැද තම මිතුරා ගලවා යැවී ය.

අහෝ! සිරකරු ව සිටි අසත්පුරුෂයා සියලු බන්ධනයන්ගෙන් මිදී නික්ම ගිය මුත් යළි නොපැමිණියේ ය. අරුමයකි, කෙළෙහිගුණ නොදන්නා වූ, කළ උපකාර සිහිනොකරන්නා වූ අසත්පුරුෂයන්ගේ චිත්ත ස්වභාවය දැනගැනීම දුෂ්කර ය. මුදුනේ දිය පිරී තිබෙන විල්, පොකුණු ආදියෙහි දිය යට සම විෂම තැන් නොපෙනේ ද එලෙසින් ම සිතින් එකක් සිතා වදනින් තවෙකක් කියා කයින් වෙනෙකක් කරන අසත්පුරුෂයාගේ සැබෑ තතු දත නොහැකි ය. වංචා සිත් ඇති අසත්පුරුෂයන්ගේ මේ ස්වභාවය දන්නේ පරසිත් දන්නා වූ කෙනෙක් ම ය.

පණ්ඩිතයන් ම ය. බහුශ්‍රැත නුවණැත්තන් ම ය.

මේ සිරබත් කන මිනිසා, මේ හිත හොඳ පිටිසරබද මිනිසා ද දොළොස් අවුරුද්දක් පුරා සාදුකින් පීඩිතව දුක සේ කල් ගෙවී ය. ඒ කාලය පුරා ම ඔහු කිසිවෙකුගෙන් ආහාරයක් ඉල්ලු‍වේ නැත. ඒ නුවර රජුට පුත් කුමරෙක් ඉපදීම හේතුවෙන් තම විජිතයෙහි සියලු සිර ගෙවල් වල දොරවල් හරින ලදී. සිවුපාවුන්, පක්ෂීන් පවා බන්ධනවලින් නිදහස් කෙරිණ. සිර ගෙවල් වල දොරවල් හැරිය සැණින් සිරකරුවන් එකිනෙකා පරයමින් එළියට ගොස් තම තමන් කැමති තැන්වලට ගිය අතර මේ හිත හොඳ මිනිසා සිරගෙයි ම සිටියේ ය. තමා මෙතෙක් කල් බොහෝ දුක් වින්ද නිසා දුර්වල සිරුරක් ඇති බැවින් දහවල් යන්නට ලැජ්ජා බවත්, හිරු බැස ගොස් අඳුරු වූ කල යන බවත් විමසූ අයට ඔහු කීය.

ඉක්බිති රාත්‍රී කාලයේ සිරගෙයින් නික්ම ඇතුළුනුවර තමාගේ නෑසියන් නැති බැවින් ආහාරයක් සොයමින් යන කල සොහොන් බිමට පිවිසියේ ය. ඝනාන්ධකාරයේ මළමිනී දමන අමු සොහොනකට ගොස් අලු‍ත් මළමිනියක් දැක මිනී ඇටයකින් මස් කපා වෙනත් මිනී හිස් කබලෙක් තුළ ඒ මස් දමා මිනී හිස් තුනකින් ලිපක් තනාගෙන ඒ මත මස් සහිත හිස් කබල තැබී ය. සොහොන් නිවන්නට ගෙනත් ඉතිරිව තැබූ පැන් එයට දමා දර සෑයකින් සොහොන් පෙනෙලි ගෙනත් ගිනි දැල්වීය. කොළ අතු කඩා හැඳගෙන කලින් හැඳ සිටි කිලු‍ටු කඩරෙද්ද ලිප වටා බැඳ මිනී ඇටයක් ගෙන හැඳි ගාමින් මස් උයන්නට විය.

එය දුටු ඒ අමුසොහොන අසල පුළිල ගසකට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් මිනිසා වෙත පැමිණ ඒ ගැන විමසී ය. “‍එම්බල මිනිස, මේ ඝන අඳුරින් යුතු මධ්‍යම රාත්‍රියෙහි මළමිනී කන කැනහිලු‍න්, කබරගොයින්,‍ යක්ෂ රාක්ෂයින් ගැවසෙන මේ සොහොන මැද මිනී හිස් කබලක මස් උයන්නේ කුමක් නිසා ද?”‍ ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය. “දිව්‍යපුත්‍රය, මේ යාගයකට හෝ දානයකට නොවේ. මේ ලෝකයේ සත්වයින්ට කුසගින්නට වඩා දුකක් නැත. මගේ සාදුක් නිවාගන්න මේ ආහාරය සකස් කරමි.” “‍එසේ නම් ලැජ්ජාව නිසා විලි වසා ගන්නට කොළ අතු හැඳගෙන, කලින් හැඳ සිටි කිලු‍ටු රෙදිකඩ වටේට බඳිමින් සුළං වළක්වන්නේ ඇයි?”‍ දිව්‍යපුත්‍රයා‍ යළි එසේ විමසද්දී මිනිසා පැවසුවේ මෙසේ ය.

“දිව්‍යපුත්‍රය, එසේ නම් මෙය අසන්න. සීතල සුළඟ හමන්නේ මේ ලොව යහපත් අයහපත් දෙය මිශ්‍රවයි. සුළඟට සිත් පිත් නැති හෙයින් කළ උපකාර නොදන්නා, කෙළෙහිගුණ නොදන්නා මිත්‍රද්‍රෝහී අසත්පුරුෂයාගේ සිරුර පිස හමයි. දුදන සුදන දෙපිරිසට ම සමව සිටියි. ඉදින් අසත්පුරුෂයාගේ ශරීරය පිසදා හමන සුළඟ මාගේ සිරුරෙහි හැපුනොත් ඒ ළාමක සත්වයාගේ සිරුර පිස එන සුළඟ මේ සිරුරේ වැදී මගේ කයටත්, සිතටත් දුක උපදවයි. ඒ සුළඟ පවා සැණෙකින් ජීවිතය විනාශ කරන උග්‍ර විෂක් සේ සලකා දුරු කිරීමටයි, මම මේ කිලු‍ටු රෙදිකඩ තිරයක් මෙන් වටකොට එල්වූයේ…”

“නුඹට ඒ අසත්පුරුෂයා කුමන අනර්ථයක් කළේ දැ?” යි දේවපුත්‍රයා විමසූ විට ඔහු තමන් වසර 12ක් පුරා විඳි දුක් රැස ගැන කියා සිටියේ ය. එසේම මිත්‍රද්‍රෝහී අසත්පුරුෂයින් නිසා හටගන්නා බය, අයහපත ගැන තවදුරටත් කියා සිටියේ ය.

“මේ ලෝකයේ රන් රිදී මුතු මැණික් ආදී සම්පත් පැහැර ගැනීම්, වධ බන්ධන කිරීම් ආදී ලෙස රජවරුන්ගෙන්, යුවරජවරුන්ගෙන් සිදුවෙන යම් බයක් ඇත්නම් ඒ සියල්ලම කෙළෙහිගුණ නොදන්නා වූ අසත්පුරුෂයා නිසා ම වන්නේ ය. එමෙන්ම මේ ලෝකයේ සොර සතුරන් නිසා උපදනා බය, ජලයෙන් ගින්නෙන් ඇතිවෙන බය සියල්ල කළගුණ නොදත් අසත්පුරුෂයා නිසා ම වන්නේ ය.

තවද, ප්‍රාණවධ කිරීම, අනුන් සන්තක වස්තුව උදුරා ගැනීම, පරදාර සේවනය, අනුන්ට අයහපත සදන අසභ්‍ය වචන කීම, මත්පැන් මත්ද්‍රව්‍ය පානය, රණ්ඩුසරුවල් කිරීම, කේළාම් කියා ඔවුනොවුන් බිඳවීම, තමන්ටත් අනුන්ටත් කිසි වැඩක් නැති හිස් වචන කීම, ධනය උකසට තබා සූදු කෙළියෙහි යෙදීම යනාදී සියලු අනර්ථදායක, අමනෝඥ වූ, යහපත් විපාක නැති, මතු සතර අපායට පමුණුවන, ඉවසිය නොහැකි, කෙළවරක් නැති මහා දුක් රැසක් උපදින්නේ ද ඒ සියල්ල කෙළෙහිගුණ නොදන්නා, කළ උපකාර නොදන්නා මිත්‍රද්‍රෝහී අසත්පුරුෂයා නිසා ම වන්නේ ය.

එහෙයින් ඒ අසත්පුරුෂයා අහසට පොළොව සේ දුරින් ම දුරු කළ යුත්තේ ය.”

අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ “යානි කානිචි භික්ඛවේ, භයානි උප්පජ්ජන්ති. සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ” “පින්වත් මහණෙනි, යම්කිසි බයක් උපදිනවා නම්, ඒ සෑම භයක් ම උපදින්නේ (පින්පව් නොතකන පුහුදුන්) බාලයාගෙනි, (පින්පව් දන්නා ආර්ය ශ්‍රාවක වූ) ප්‍රඥාවන්තයාගෙන් නොවෙයි.” “යේ කේචි උපද්දවා උප්පජ්ජන්ති…” යම්කිසි උවදුරක් උපදිනවා නම්…, “යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති…” යම්කිසි විපතක් උපදිනවා නම්… ඒ සෑම උපද්‍රවයක් ම, ඒ සෑම උපතක් ම හටගන්නේ බාලයාගෙනි. ප්‍රඥාවන්තයන්ගෙන් නොවේ.”

සම්බුදුරජාණන් වහන්සේ උපමාවක් ද මේ අයුරින් පෙන්වා දුන් සේක.

“සෙය්‍යථාපි භික්ඛවේ, නළාගාරෝ වා තිණාගාරො වා අග්ගිමුක්කෝ කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුස්සිතග්ගලානි පිහිතවාතපානානි.” “ පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. බට දඬුවලින් කළ ගෙයක් වේවා, තණකොල වලින් කළ ගෙයක් වේවා, ගිනි ඇවිලු‍ණු විටදී ඇතුළත පිටත සුණු පිරියම් කළ, ජනෙල් කවුළු ඇති, හොඳින් යෙදූ දොර කවුළු ඇති කූටාගාර පවා පිච්චිලා යනවා.”

“ඒවමේව ඛෝ භික්ඛවේ, යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ.”

“අන්න ඒ වගේ ම යි, යම් බයක් උපදිනවා නම් මහණෙනි, ඒ සියල්ල උපදින්නේ බාලයාගෙන්. සියලු උවදුරු, සියලු විපත් බාලයා නිසයි උපදින්නේ. ප්‍රඥාවන්තයාගෙන් නොවෙයි.”

“සප්පටිභයෝ බාලෝ, අප්පටිභයෝ පණ්ඩිතෝ.”

“බාලයා බය සහිතයි. පණ්ඩිතයා බය රහිතයි.”

“සඋපද්දවෝ බාලෝ, අනුපද්දවෝ පණ්ඩිතෝ.”

“බාලයා උවදුරු සහිතයි, පණ්ඩිතයා උවදුරු රහිතයි.”

“සඋපසග්ගෝ බාලෝ, අනුපසග්ගෝ පණ්ඩිතෝ.”

“බාලයා විපත් සහිතයි. පණ්ඩිතයා විපත් රහිතයි.”

“නත්ථි භික්ඛවේ, පණ්ඩිතතෝ භයං, නත්ථි පණ්ඩිතතෝ උපද්දවෝ, නත්ථි පණ්ඩිතතෝ උපසග්ගෝ.”

“පින්වත් මහණෙනි, පණ්ඩිතයාගෙන් බයක් ඇතිවෙන්නේ නෑ. උවදුරක් ඇතිවෙන්නේ නෑ. පණ්ඩිතයාගෙන් විපතක් ඇතිවෙන්නේ නෑ.”

ඒ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ හික්මෙන්නට ඕන අයුරුත් මැනවින් පෙන්වා දුන් සේක.

“තස්මාතිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං:” “එම නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ අයුරින් හික්මිය යුතු ය:” “යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ, තේ තයෝ ධම්මේ අභිනිවජ්ජෙත්වා, යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ, තේ තයෝ ධම්මේ සමාදාය වත්තිස්සාමා”ති.”“(බය සහිත බව, උවදුරු සහිත බව, විපත් සහිත බව යන) යම් කරුණු තුනකින් යුක්ත වූ බාලයා ගැන දැන ගත යුතු නම්, අන්න ඒ කරුණු තුන අත්හැර දමලා, (බය රහිත බව, උවදුරු රහිත බව, විපත් රහිත බව යන) යම් කරුණු තුනකින් යුක්ත වූ පණ්ඩිතයා ගැන දැන ගත යුතු නම්, අන්න ඒ කරුණු තුන සමාදන් වෙලා ඒ අනුව ජීවත් වෙනවා කියලා.” “ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බන්ති.” “පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මිය යුත්තේ.”

(අං. නි. තික නිපාතය, බාල සූත්‍රය)

එහෙයින්, සුළු කලකට ලැබුණු මනුසත් දිවිය සම්බුදු දහමෙන් පෝෂණය කරගෙන, සම්බුදු අවවාදයේ පිහිටා දුදන බාල ගති දුරු කොට, සුදන සත්පුරුෂ ගුණ ඇතිකර ගන්නට පුළු‍වන්කම ලැබුණොත් අප ශාස්තෘන් වහන්සේගේ සැබෑ ශ්‍රාවක දරුවන් වන්නට අපටත් හැකි වේවි.

ඇසුර – සද්ධර්මලංකාරය

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

ප්‍රශ්න අමතක කිරීමට සරල ක්‍රමයක්
පින්වත් යොවුන් දූ දරුවනේ,

ප්‍රශ්න අමතක කිරීමට ක්‍රමයක්…’ කියන මාතෘකාව දකිද්දී ම ඔයාලගෙ හිතට අමුතු සතුටක් එන්න ඇති ‘ඒක නම් මමත් හොයමින් හිටපු එකක්’ කියලා. ඔව්! අපි කවුරුත් කැමති නෑ ප්‍රශ්න ම මතක් කර කර ඉන්න. අපි කැමතියි ප්‍රශ්න අමතක කරලා පහසුවෙන් ඉන්න. නමුත් මේ හිතේ ස්වභාවය තමයි ප්‍රශ්න ම මතක් කර කර තැවෙන එක.

සමහරු මෙහෙමත් කියනවා. “අපිට ප්‍රශ්න විසඳගන්න බැරි වුණත් කමක් නෑ. ප්‍රශ්න අමතක කරගන්න තිබ්බා නම් ඇති” කියලා. ඉතින් මේ කියලා දෙන්නේ ප්‍රශ්න අමතක කිරීමට ක්‍රමයක් ගැනයි. වෙනදා වගේම බොහොම සෙනෙහසින් සිහිපත් කරනවා ‘වචනයක්වත් මඟ හැර ගන්නේ නැතිව අද ලිපියත් අවසානය තෙක් අවධානයෙන් කියවන්න. ඔයාලටත් ප්‍රශ්න අමතක කිරීමට ක්‍රමයක් ලැබේවි!’

ප්‍රශ්න… ප්‍රශ්න…

ජීවිතේ ගත කරද්දී මේ ගෙවුණු කාලේ ඇතුළේ ඔයාලට වැඩිපුර ම ආවේ ප්‍රශ්න ද? නැත්නම් ජීවිතේ මේ වෙනකම් ගත කරපු කාලෙත් එක්ක සසඳනකොට ප්‍රශ්න ආපු අවස්ථා තියෙන්නේ ගොඩක් අඩුවෙන් ද?

මේ ප්‍රශ්නෙට අනුව අවංකව බලද්දී ඔයාලට තේරෙනවා ඇති වැඩිපුර ම ජීවිතේ ගෙවුණේ ප්‍රශ්න වෙවී නෙවෙයි. ප්‍රශ්න කියන්නේ අවස්ථා කිහිපයක දී ආපු දේවල් විතරයි. අපි මේ වෙද්දී ජීවිතේ ගොඩාක් දේවල් කරලා තියනවා. අපි ලැබූ ජයග්‍රහණ තිබෙනවා. අපි ගියපු ලස්සන ගමන් බිමන් තිබෙනවා. අපි කරපු බොහොම වටින වැඩ තිබෙනවා. ඒ වුණාට ඔය දේවලට වඩා අපිට නිතර මතක් වෙන්නෙ ම ප්‍රශ්න.

ඒ ප්‍රශ්න මතක් වෙද්දී අපිට ම අපි ගැන කලකිරීමක් එනවා ‘මම හරි අවාසනාවන්තයි! මං හරිම කාලකන්නියි! මං කරන හැමදේම අවසානේ ප්‍රශ්නයක් වෙනවා. මගේ මේ ප්‍රශ්න කවදා ඉවර වෙයි ද?’ ඔය වගේ හිතුවිලිවලින් අපි වෙහෙසට පත් වෙනවා. මේ ගැන ඔයාලටම කොච්චර අත්දැකීම් ඇති ද! එහෙම අවස්ථාවල ඔබට වුණත් හිතිලා ඇති ‘මේ ප්‍රශ්න අමතක කරන්න ඇත්නම් මොනතරම් සහනයක් ද?’ කියලා.

එහෙම නම් ඔබටත් පටන් ගන්න වෙනවා ප්‍රශ්න අමතක කරවන පොත.

ප්‍රශ්න අමතක කරවන පොත

ඇත්තෙන්ම මොකක්ද ඔබේ ප්‍රශ්න අමතක කරවන ඔය අසිරිමත් පොත. ඒ තමයි ‘ඔබේ පින්පොත.’ ඔබ මේ වෙනකොටත් පින්පොතක් ලිවීම ආරම්භ කරලා නම් තියෙන්නේ ඔබ ගොඩක් සතුටු වෙන්න. මේ වෙද්දී පින්පොතක් ලිවීම ආරම්භ නොකළ අය අද ම පින්පොතක් ලියන්න පටන් ගන්න.

ඔබ කරන, ඔබට දැනෙන විශේෂ පින්කම් ඔබ දිනපතා ම ඒ ඔබේ පින්පොතේ පිළිවෙළකට සටහන් කරන්න. දිනය, පින්කම කරපු ස්ථානය, පින්කම කරද්දී ඇතිවුණ ලස්සන චේතනාවන්, පින්කමේ දී ඒ මොහොතේ ඇතිවුණ සැනසීම ඔබට දැනෙන විදිහට ඒ පොතේ සටහන් කරගන්න.

ඔබේ ම අත් අකුරෙන් ඔබ ම කළ පින්කම් ‘ඔබේ පින්පොතේ’ ලියන්න ඕන. සමහර පින්කම්වල මතකය අවදි කරගන්න වටින ඡායාරූප ආදිය තියෙනවා නම් ඉන් එකක් හෝ උපරිම දෙකක් ඔබ පින්කම ගැන ලියපු පිටුවේ ම පැත්තකින් අලවා තියන්න.

යම් මොහොතක ප්‍රශ්නයකින් හිත දැවෙද්දී පවා ඔබ ඒ පින්පොත අතට අරගෙන තනිවම බලන්න පටන් ගනිද්දී, ඔබ නොහිතන තරම් ඔබ ගැන ම සතුටක් ඒ පින් පොත ඔබට අරගෙන ඒවි! ප්‍රශ්න ගැන හිතද්දී දැනෙන අවාසනාවන්ත කාලකන්නි හැඟීම වෙනුවට ඔබට ඔබ ගැනම විශාල සන්තෝෂයක් ඇති වේවි! ‘මමත් හරිම ලස්සන දේවල් කරලා තියෙන කෙනෙක්නේ, මමත් හරි අපූරු දාන දීපු මනුස්සයෙක්නෙ…’ ආදී වශයෙන් ඔබට ඔබ ගැන ම දැනෙන සතුට විසින් ඔබේ ප්‍රශ්න අමතක කර දමාවි! ඒකයි මේ පොතට ප්‍රශ්න අමතක කරවන පොතක් කියලා නම් කළේ.

අමුතු පින්පොත්

ඇතැම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘මමත් කරන කරන පින්කම් ෆොටෝ ගහලා, මගේ ෆේස්බුක් එකවුන්ට් එකේ දාලා තියෙනවානේ. ඒකත් එහෙමනම් පින්පොතක්නේ’ කියලා. නෑ! එබඳු දෙයක් නෙවෙයි ඔබ ලියන පින්පොත කියන්නේ. ෆේස්බුක් පරිහරණය කරද්දී තවත් නොයෙක් වෙන වෙන අරමුණුවලට යන්න තියෙන අවස්ථාව ඕනවාටත් වැඩියි. අන්තිමේ ප්‍රශ්නයක් තියෙන වෙලාවට ඒක අමතක කරන්න කියලා ෆේස්බුක් බලන්න ගිහින් වෙන්නේ තිබුණාටත් වඩා අමතර ප්‍රශ්නයක් ඇති වෙන එකයි.

ඒ නිසා තමන් ආසාවෙන් කරපු පින්කම් තමන්ගේ ම අත් අකුරින් පොතක ලියලා සකස් කරගන්න පින්පොතක් ම ඔබ හදාගන්න. ඒක උපක්‍රමයක්, ජීවිතේ වෙහෙස දුරුකරවන, ප්‍රශ්න අමතක කරවන, නොවැදගත් දේවල් අමතක කරවන අපූරු උපක්‍රමයක්.

අම්බලට්ඨිකාවේ දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කළා “රාහුලයෙනි, ඔබ කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ යම් දෙයක් කළාට පස්සේ, ‘මම මොන වගේ දෙයක් ද කළේ?’ කියලා විමසා බලන්න. එසේ බලද්දී ඔබේ කායික වාචසික මානසික ක්‍රියා ගැන ඔබට තේරෙනවා නම් ‘මං මේ සිත කය වචනයෙන් කරපු දේවල් මටත් යහපත්, අනුන්ටත් යහපත්, දෙපාර්ශවයට ම යහපත්. මේ දේවල් කුසල්. සැප විපාක උපදවන දේවල්. නුවණැත්තෝ විසින් ගරහන්නේ නැති දේවල්’ කියලා. රාහුලයෙනි, ඔබ ඒ ගැන සිත ප්‍රීතියට පත් කරගෙන ප්‍රීතිමත් සිතින් තව තවත් දිවා රෑ කුසලයේ ම හැසිරෙන්න” කියලා.

අද යුගයට ගැළපෙන උපක්‍රමයක්…

මැනැවින් සිහිනුවණ වඩන්න පින් බලයක් තිබුණු ඒ යුගයේ පින්වන්තයෝ තමන්ගේ ජීවිතේ කරපු කියපු හිතපු හොඳ දේවල් ගැන සිහි කරමින් සතුටු විය හැකි මානසික දක්ෂතාවයක් සහිතව හිටියා. නමුත් අද අපිට ඒ දක්ෂතාවය ගොඩාක් අඩුයි. මොහොතක් හිතන්න. අපිට කරපු පින්කමක්, අහපු බණ පදයක්, කරපු හොඳ දෙයක් හිතේ රැඳෙනවාට වඩා ඉක්මනින් ම වෙන්නේ මොකක් හෝ හිත් රිදෙන වචනයක්, තමන්ට කවුරු හරි කරපු වෙනස්කමක් වගේ දෙයක් හිතේ රැඳෙන එක නේද? ඉතින් අවුරුදු ගණන් පරණ ප්‍රශ්න පවා සිහි කර කර තැවෙන ඔබ සමහර විට සතියකට කලින් කරපු පින්කමත් අමතක වෙලා නේද තැවෙමින් ඉන්නේ.

ඉතින් අපි පටන් ගමු, අපිට අපි කරපු යහපත් දේ මතක් කරවලා දෙන පොතක් හදාගැනීම අපි පටන් ගමු.

දිනපොත් හරියන්නේ නැද්ද?

බොහෝ අය පුරුදු වෙලා ඉන්නවා එදිනෙදා වෙන දේවල් ලිවීම පිණිස දිනපොතක් භාවිත කරන්න. ඔය දිනපොත අනිවාර්යෙන් හැමදාම ලියන අය ගොඩාක් අඩුයි. ඔය දිනපොතේ අනිවාර්යෙන් ම ලියන දවස් තමයි හිත පෑරුණු දවස්, හිත රිදුන දවස්, ප්‍රශ්නයකින් පීඩාවට පත් වුණ දවස්, තමන් අසාධාරණයකට ලක් වුණ දවස්. ඔය වගේ ආයේ මතක් වෙන්න ඕන නැති දේවල් තමයි බොහෝ අයගේ දිනපොත්වල පිරිලා තියෙන්නේ.

කිසිම ප්‍රශ්නයක් නැතිව සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක වුණත් අහම්බෙකට හෝ ඒ දිනපොත කියවන්න ගත්තොත් පරණ ප්‍රශ්නත් ආයේ ඇවිස්සෙන විදිහට තමයි ගොඩක් උදවිය දිනපොත් ලියන්නේ. ඒ නිසා දිනපොතයි, මේ කියන පින්පොතයි කිසිසේත් සමාන කරන්න බෑ.

තවත් පින් කරන්න ආසා හිතෙයි!

ඔය පින්පොතේ තිබෙන ඊළඟ වාසිය තමයි ‘තවත් පින් කරන්න ආසා හිතෙන එක.’ දිනෙන් දින කරපු පින්කම්වලින් පොත පිරෙද්දී, ඔබට එක පින්පොතක් ඉවර කරන්න හිතෙයි. ‘තව තියෙන්නේ පිටු කීපයයි, ඒ පිටු පිරෙන විදිහේ පින්කම් ටිකක් ඉක්මනින් කරගන්න ඕන’ කියලා හිතෙයි. කලක් යද්දී පිටු එකසිය විස්සේ, පිටු එකසිය හැටේ පොත් දෙක තුනක් පින් පොත් විදිහට ඔබ ළඟ එකතු වෙයි. ඔබට ඒ පොත් කාමරේ ඔබට පේන තැනක තියෙන එක පවා අසාමාන්‍ය විදිහේ සැනසුමක් අරගෙන එයි.

ඔව්! ඔබේ පින්පොත ඔබව පිනේ යොදවන, ඔබව පිනට කුසලයට උනන්දු කරවන අපූරු කල්‍යාණමිත්‍රයෙක් වෙයි. සුන්දර යාළුවෙක් වෙයි.

සමාජ මාධ්‍ය ආදියේ ඔබේ පින්කම් ෆොටෝ ගහලා දැමූ විට ඇතැම්මු ඕවා අනුමෝදන් වුණත්, සමහරු කරන්නේ විවේචන කරන එක. මොනතරම් හොඳ දෙයක්වත් අනුමෝදන් වෙන්න බැරි අසනීපයක් ඇතැමුන්ට තියෙනවානේ. අන්තිමේ පින්කම කරපු කෙනාට ඒ පින්කම ගැන තියෙන සතුට නැත්තටම නැතිවෙන හීන අදහස් ඔය ෆේස්බුක්, යූ ටියුබ් ආදී සාමාජ මාධ්‍යවල කමෙන්ට් අතරේ තියනවා. නමුත් ඔබේ පින්පොතට බාහිර අයගේ කමෙන්ට් වැටෙන්නේ නෑ. ඒක ඔබේ පින්පොත. හරියට එය ඔබේම ගෙවාදැමූ අතීතේ පින්කම්වල පැහැදිලි පිටපතක් වගේ. මේ කරුණු ටිකෙන්ම ඔබට තේරෙන්න ඇති පින්පොත මොන තරම් නම් සැපයක් සුවයක් උපදවනවා ද කියලා.

පින්පොත එක්ක තනි වෙන්න…

හොඳට මතක තියාගන්න. අපි පින්පොතක් ලියන්න කියන්නේ කාටවත් පෙන්නන්න නෙවෙයි. ‘මම පින්පොතක් ලියන කෙනෙක්’ කියලා අනෙක් අයට ප්‍රදර්ශනය කරන්න නෙවෙයි. පින්පොතේ ෆොටෝ ගහලා ෆේස්බුක් දාන්න නෙවෙයි.

අපි පින්පොතක් ලියන්නේ අපිට ම අමතක වෙන අපේ යහපත මතක් කරගන්නයි. අපේ ප්‍රශ්නවලින් හිත වෙහෙසට පත්වෙද්දී ‘මේ ප්‍රශ්න මැද්දෙත් නුඹ පින් කරපු කෙනෙක්’ කියලා හිතේ සතුටක් උපදවා ගන්නයි.

මම හිතනවා පින්පොත ගැන කියූ කරුණු ප්‍රමාණවත් කියලා. දැන් ඉතින් තිබෙන්නේ පටන් ගන්නයි. එසේ නම් පටන් ගන්න ‘ඔබේ පින්පොත.’

නැති දේවල් ගැන

දුක් වෙන්න පෙර

තියෙන දේවල් ගැන

සතුටු වෙන්න.

කරගන්න බැරි වුණ දේවල් ගැන

දුක් වෙන්න පෙර

කරපු දේවල් ගැන

සතුටු වෙන්න.

ඒක ජීවිතේට

විශාල පහසුවක් වෙයි!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

තමන් කරන දෙය තමන්ටයි.
ජීවිතේ කවදාම හරි දවසක නොකළ වරදකට ඔබ චෝදනා ලබලා නැති ද?

‘නොකළ දේවල් කළා’ කියලා, ‘නොකියූ දේවල් කියුවා’ කියලා චෝදනාවට ලක් නොවුණු කෙනෙක් අප අතර ඉන්නවා නම් ඒ බොහොම කලාතුරකින්. තමන්ගේ ම වහළ යටදි පවා එකිනෙකා මේ ආකාරයට අභූත චෝදනාවලට ලක් වෙනවා. එහෙම එකේ, බාහිර සමාජයේ දී එවන් චෝදනා එල්ල වීම ගැන කවර කථා ද…

ඔබට, මට වගේ ම අන් බොහෝ දෙනෙකුටත් පොදු තත්ත්වයක් තමයි මේක. ඇතැම් විට, නොකළ දෙයක් ගැන වෙන කෙනෙකුට චෝදනා කරන්නේ ඔබ හෝ මා වෙන්නත් පුළුවන්. මේ ස්වභාවය අප කාටත් අනතුරක්. යම් තොරතුරක් හරි හෝ වේවා වැරදි හෝ වේවා ඉතාමත් ම වේගයෙන් සමාජගත වන ස්වභාවයක් නූතන තාක්ෂණික භාවිතාවන් තුළ තිබෙන නිසා ම මේ අනතුර ගැන අවධානයෙන් ඉන්න එක අප කාටත් එක සේ උපකාරකයි. මොකද අන් අය සම්බන්ධයෙන් සිතන කරන කියන දෙයක් වුණත්, තමන් සිතන කරන කියන හැම දෙයක ම විපාක එන්නේ තමන් කරා ම යි…

ලාභසත්කාරයන්ට ලොබ බැඳි තීර්ථකයෝ…

අපගේ ශාස්තෘන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේ දී සැවැත්නුවර ජනගහනය කෝටි හතක්. ගිම්හානයට පළමුව එළඹෙන වසන්තයේ දී තුරුගොමුවල මල්ඵල පිරීතිරී යන්නාක් මෙන් සම්බුදු මුව මඬලින් දේශිත උත්තම සිරි සදහම් අසා දහම් ඇස උපදවාගෙන නියත ගති ඇති සත්වයන් බවට පත් වූ කෝටි පහක් වූ මගඵලලාභීන් ඒ අතර සිටියා.

ශාස්තෘන් වහන්සේ කෙරෙහි අචල පැහැදීමෙන් යුතු ඒ ජනයා ප්‍රමුඛ ව සැවැත්නුවරවාසීන් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සඟරුවනට නිති සිව්පසයෙන් ඇප උපස්ථාන කළේ ආදර ගෞරව සහිත ව ම යි. ලොවෙහි අනුත්තර වූ පින්කෙත මෙසේ බොහෝ කොට ප්‍රත්‍ය පහසුකම් ලබද්දී අන්‍ය තීර්ථකයන්ගේ ලාභයන් සිඳී ගියා. පුන්සඳ මඬලෙහි අසූචි තවරන්නට තැත් කරන්නාක් බඳු නීච උපායකින් සම්බුදුරජුන්ට ගර්හා කිරීමෙන් තමා කරා ලාභසත්කාර එළඹෙනු ඇති කියා ඔවුන් විශ්වාස කළා.

සුන්දරීගේ නොකල් සංචාර…

තීර්ථකයන් කෙරෙහි පැහැදුනු සිතින් සිටි සුන්දරී නම් අභිරූපී පරිබ්‍රාජිකාව ඔවුන් මේ උපායට නතු කරගත්තා. සරත් කාලයෙහි වලාකුළු රහිත අහසෙහි තෙදවත් ව බබළනා හිරු මඬල බඳු වූ සම්බුදුරජුන්ගේ සිරි මුව මඬලින් විහිදෙනා දම් ස්වර සවන් පුරා අසනු රිසින් ජනීජනයා දෙව්රමට එළඹ දහමින් සැනහී එයින් නික්මෙනා යම් කාලයක් වේ ද රාත්‍රිය උදා වන ඒ කාලයේ දී සුන්දරී සිත් ඇදබැඳ ගන්නා අයුරින්, ස්වකීය රූ සපුව ප්‍රකට වන අයුරින් හැඳ පැලඳ දෙව්රමට ඇතුළු වුණා…

නොකල්හී දෙව්රමට පිවිසෙන මේ අභිරූපී තුරුණු කත දකින ඇතැමුන් ඒ ගැන විමසිලිමත් වුණා. “මා එන්නේ දහම් අසන්නට නොවෙයි… ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ කුටියේ ම හිඳිමින් රාත්‍රියේ කළ යුතු උපස්ථානත් තිබෙනවා නොවැ…” ආදී වශයෙන් ඈ ඔවුනට පිළිතුරු දෙමින් තමන් සම්බුදුරජුන්ගේ කුටියේ රැය පහන් කරන බවක් ව්‍යංගයෙන් පවසා සිටියා. අලුයම හිරු නැගෙද්දී ඈ නිදිබර දෑසින්, පොඩි වී අපිළිවෙළ වී ගිය වතින් යුතුව දෙව්රමින් නික්මෙන බවත් ජනයා දුටුවා. මේ ඇසූ දුටු ඇතැමුන් එය ඇසූ දුටු පමණින් බැහැර කරන්නට ඇති බව නිසැකයි. එහෙත්… ඇතැමුන් සැකසංකා උපදවන්නට ඇති…

අභූතයෙන් නැගුණු බරපතළ චෝදනාව

දින කිහිපයක් ගත වුණාට පස්සේ තීර්ථකයන් විසින් මෙහෙයවනු ලැබූ සොරුන් විසින් සුන්දරී ඝාතනය කොට දෙව්රමෙහි වූ මල් වළට දමා සිරුර සැඟවූවා. සම්බුදුරජුන් පුදනු පිණිස ජනයා ගෙනා මල් බැහැර කළ ඒ වළෙහි සුන්දරීගේ සිරුර දින කිහිපයක් කුණු වෙන්නට හැර තීර්ථකයන් විසින් ම පසේනදී කෝසල මහරජු වෙත ගොස් තමනට අතිශය හිතවත් ව හුන් සුන්දරී පරිබ්‍රාජිකාවගේ අතුරුදන් වීම ගැනත්, සමාසන්න කාලයේ ඈ නිතර නිතර රාත්‍රිය දෙව්රමෙහි ගත කළ බවට සාක්ෂි ඇති බවත්, එනිසා ඇයගේ අතුරුදන් වීමට දෙව්රමේ සම්බන්ධයක් ඇති බවට සැක කරනා බවත් පැමිණිලි කළා. රාජ අණින් මෙහෙයවනු ලැබූ රාජ පුරුෂයන් හා එක්ව දෙව්රම් වෙහෙරෙහි කළ සෝදිස්සියේ දී අහඹු ලෙස සොයා ගත්තාක් මෙන් තීර්ථකයන් මල් වළ සාරා සුන්දරීගේ කුණු වෙමින් තිබුණු සිරුර ගොඩගත්තා…

අද වැනි වේගවත් තොරතුරු සන්නිවේදන ක්‍රමවේදයන් නොතිබුණු එදා ඒ තීර්ථකයන් ඇයගේ සිරුර ඇඳක් මත හොවා සැවැත්නුවර මහා වීදි පාසා පමණක් නොව අතුරු වීදිවලත් ගෙනයමින් “වියත් හයකුදු දුර නොබලමින් දිවා විහරණයේ යෙදෙනා ගෞතමයන්ගේ රාත්‍රි විහරණය දෙස බලව්…” යැයි මහා ඝෝෂා නගමින් සම්බුදුරජුන්ට චෝදනා කළා…

දෙදෙනෙකුගේ එක ම ඉරණම…

ඇසූ දුටු කරුණු අනුව ගළපාගෙන මේ එක් එක් කාරණාවන්ගේ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට කාට නම් බැරි ද… බෝධි මූලයේ වැඩ හිඳිමින් දස මරුන් පරදා අපගේ ශාස්තෘන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ යම් මොහොතක ද ඒ මොහොතේ සියලු කෙලෙස් සහමුලින් ම නසා අරහත්වයට පත් වූ බව නොසැලෙන ප්‍රසාදයෙන් දරාගෙන හුන් කෝටි පහක ජනයාගේ හැර අන් සිත්හි කවර කවර නම් සැකසංකා මතු වන්නට ඇති ද? වෙනෙකක් තබා, පිඬුසිඟා වඩිනා සඟරුවන් වහන්සේලාට දන්පැන් වෙනුවට නින්දා අපහාස ම නැගෙන්නට වුණා…

සැවැත්නුවර උද්ගත වූ ඒ අප්‍රසන්න වටපිටාව හමුවේ අපගේ ආනන්ද මුනිඳුන් ‘සැවැත්නුවරින් නික්ම අන් දෙසකට වැඩම කරමු’ කියා ශාස්තෘන් වහන්සේට ආරාධනා කළා. එහෙත් සම්බුදුරජුන් එය ප්‍රතික්ෂේප කොට වදාළා. චෝදනා නගන්නවුන්ට මෙසේ පිළිතුරු දෙන්නැයි ද වදාළා.

“අභූතවාදී නිරයං උපේති

– යෝ චාපි කත්වා න කරෝමීති චාහ

උභෝ’පි තේ පෙච්ච සමා භවන්ති

– නිහීනකම්මා මනුජා පරත්ථ”

“අනුන්ට අභූත චෝදනා කරන කෙනාට නිරයේ තමයි උපදින්ට වෙන්නෙ. තමන් යම් පවක් කරලා, ඒක කළේ නැතැයි කියන කෙනාත් නිරයේ ම තමයි උපදින්නේ. පහත් ක්‍රියාවලින් යුතු ඒ මිනිස්සු දෙන්න ම මැරිලා ගිය දවසක නිරයේ ඉපදීමෙන් සමාන වෙනවා.”

(ධම්මපදය – නිරය වග්ගය)

සංඝයා මේ බුද්ධ වචනයෙන් එදා චෝදනා කළවුන්ට උත්තර දුන්නා. දින කිහිපයක් ගත වෙද්දී සත්‍යය හෙළිදරව් වුණා. බීමත් වූ සොරුන් විසින් අන්‍ය තීර්ථකයන්ගේ අල්ලසින් තමන් සුන්දරී පරිබ්‍රාජිකාව මරා දෙව්රමෙහි සැඟවූ බව කියැවුණු පසුව පසේනදී කෝසල මහරජු අදාළ පිරිසට දඬුවම් පැමිණෙව්වා…

රැකීමත්, වැනසීමත් තමන් අත ම යි

සත්‍යය හෙළිදරව් වීමට පෙර පවා සම්බුදුරජුන් ගැන සැක නොකළ උදවියට නම් සිදු වුණේ යහපතක් ම යි. යම් කෙනෙක් පළමුව සැකසංකා සහිත ව හිඳ සත්‍යය දැනගත් පසුව, ‘සැක කිරීම’ නම් වූ වරදට සමාව ගත්තා නම් ඔවුන්ටත් පසුව හෝ සිදු වුණේ යහපතක් ම යි. එහෙත්… සත්‍යය හෙළිදරව් වීත් තමන් පෙර ඉපදවූ සැකසහගත සිත, ඒ අනුව කථා කළ වචන, ඒ අනුව කළ හැසිරීම් ගැන සමාව නොගත් උදවිය අද කොහේ ඇති ද… ඔවුන් නිරයේ.

ලෝකයේ පවත්නා මේ දරුණු ස්වභාවය අප තේරුම් ගත යුතුයි. කිසිවෙකු ගැන, කිසි දෙයක් ගැන විනිශ්චය කරන්නට යෑම අපට අනතුරක් වන්නට ඇති ඉඩ ම යි වැඩි. හරි ම කියා අපට ඇස්පනාපිට පෙනෙන, හැඟෙන දේවල් වුණත් හරි නොවන්නට පුළුවන් බව මේ සිදුවීමෙන් ම තේරුම් ගන්නට පුළුවන්. එනිසා, අන් අය ව මනින්න ඉක්මන් වෙන්න එපා.

ළාමක මරණයක් නොලබනු පිණිස…

මේ සසර ගමන අප යන්නේ තනිවයි. අන් අය, අන් දෙය සසර පුරුදු සමඟ අපට හමු වන ස්වභාවයක් තිබෙන මුත් සසරට වැටීම හෝ ඉන් නිදහස් වීම තිබෙන්නේ අප අත. එනිසා, අන් අය ගැන පිරිසිඳ දකින්නට නුවණක් නැති අප කළ යුත්තේ අපට නිසැක විය හැකි යම් කෙනෙක් වේ ද යම් දෙයක් වේ ද නිතින් ඒ ගැන සිත පැවැත්වීමට හුරු වීම නේ ද… ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ බව, ශ්‍රී සද්ධර්මය මැනැවින් දේශනා කරන ලද්දක් බව, ශ්‍රාවක සඟරුවන සුපටිපන්න බව ගැන ම සිත සිතා, ඒ ගැන ම කිය කියා දහවලත්, රැයත් ගෙවී යන ලෙස ජීවිතය වෙනස් කර ගත හැකි නම් අභූත චෝදනාවන් කරමින් සසර දිගු කර ගැනීමේ අනතුරින් අපි ඈත් වෙනවා…

කලණ දහම් පවසන සත්පුරුෂයන් වහන්සේ අපට සජ්ඣායනයට පහසු අයුරින් කොපමණ නම් තෙරුවන් ගුණ සමුච්චිත මනරම් අභිවන්දනා ගාථාවන් ද කවි ද දායාද කොට තිබෙනවා ද… ඉතින් භාග්‍යවතුන් වහන්සේටත්, ශ්‍රී සද්ධර්මයටත්, ශ්‍රාවක සඟරුවනටත් ස්තූති ප්‍රශංසා කරමින් අපි අපේ සිත් රැකගනිමු. සිත්හි ශ්‍රද්ධාව යනු ඍද්ධි විෂයෙහි අග පැමිණි මොග්ගල්ලාන මුනිඳුන්ටවත් රැක දිය නොහැක්කක්. එය රැක ගත යුත්තේ තම තමන් ම යි. ඒ නිසා, නොදන්නා දෙය ගැන සිත කය වචනය මෙහයවමින් කාලය නාස්ති නොකොට, තෙරුවන ගැන ම තිදොර මෙහයවමින් ගෙවනා කාලය අපි බහුල කරමු.

යම් මොහොතක බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයන් අප සිහි කරනවා ද ඒ මොහොත සිත්හි රාග, ද්වේෂ, මෝහ නොපිහිටන මොහොතක්. ඒ කියන්නේ, සුගතියෙහි සිත පිහිටි මොහොතක්. ඒ වගේ මොහොතක අප මරණයට පත් වූවත්, ඒ නම් ළාමක මරණයක් නොවෙයි…!

සටහන – උදුලා පද්මාවතී.