Dhamma | Mahamegha Magazine

සිවුරු හැර ගිහි වීම ගැන ප්‍රශ්නය
“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේගේ මේ බුදු සසුන ඉතා මහත් ය. ඉතා සාරවත් ය. ඉතා උතුම් ය. ඉතා ශ්‍රේෂ්ඨ ය. ප්‍රවර ය. අනුපම ය. පිරිසිදු ය. නිර්මල ය. ඉතා සුදු පැහැ ගත්තේ ය. වරදින් තොර වූයේ ය. එනිසාවෙන් හුදෙක් ගිහියෙකු වූ පමණින් කෙනෙකු මෙවන් බුදු සසුනක පැවිදි කරන්නට නොවටියි. ගිහි ව සිටිය දී ම එක්තරා මාර්ගඵලයකට හික්මවා යම් කලෙක ගිහි ගෙය සිහි කොට සිවුරු හැර නොයන ස්වභාවයට පත්වෙයි ද, එකල්හී පමණක් පැවිදි කළ යුත්තේ ය. එයට කාරණය කුමක් ද යත්, මේ ඇතැම් අනුවණ දුර්ජන කෙනෙක් මෙබඳු බුදු සසුනෙහි පැවිදි ව පිළිවෙත් පිරීමෙහි උත්සාහවත් වීම වෙනුවට ආපසු හැරී ලාමක වූ ගිහි බවට වැටෙන්නාහු නම්, ඔවුන් සිවුරු හැර යළිත් ගිහි ජීවිතය කරා යෑම හේතුවෙන් මහාජනතාව මෙසේ පවසා සිටින්නේ ය.

‘භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ බුද්ධ ශාසනය ඒකාන්තයෙන් තුච්ඡ වූ දෙයක් වන්නේ ය. මේ උදවිය යමක් නිසා ප්‍රතිපත්තිය අත්හැර නැවත හැරී ගෙදර ආවා නොවැ’ යි. මෙහි ඇති කරුණ මෙය යි.”

“මහරජාණෙනි, එය මෙබඳු දෙයකි. යම් සේ ඉතා පිරිසිදු, අති නිර්මල, සීතල දියදහරින් පිරී ගිය මහා විලක් ඇත්තේ ය. එකල්හී කිලිටි වූ, දුහුවිලි, මඩ ආදියෙන් තැවරී ගිය සිරුරක් ඇති පුද්ගලයෙක් එම විල කරා එයි. එහි ඇති පිරිසිදු ජලයෙන් ස්නානය නොකරයි. කිලිටි වී ගිය සිරුරෙන් ම ආපසු හැරී යයි. මහරජාණෙනි, එහිලා බුද්ධිමත් මිනිසුන් විසින් ගැරහිය යුත්තේ කිලිටි සිරුරෙන් ම හැරී ගිය පුද්ගලයාට ද? නැතහොත් පවිත්‍ර වූ ජලය පිරී ගිය විලට ද?”

“ස්වාමීනී, නුවණැති ජනතාව විසින් ගැරහිය යුත්තේ කිලිටි ලෙස ම ගොස්, කිලිටි ලෙසින් ම පැමිණි පුද්ගලයාට යි. ‘මොහු විලට ත් ගියා නොවැ. එහෙත් ස්නානය නොකොට ගිය කිලුටින් ම ආපසු හැරී ආවා නොවැ’ කියා ය. කිම? ස්වාමීනී, ස්නානය කරනු නොකැමති මේ පුද්ගලයා ව ඒ ජලාශය තමන් ම ඇවිත් නහවන්නේ ද? ජලාශයේ ඇති කවර දෝෂයක් ද?”

“මහරජාණෙනි, එසෙයින් ම තථාගතයන් වහන්සේ විසින් උත්තම වූ විමුක්තිය නම් වූ පවිත්‍ර දිය දහරින් පිරිපුන් ශ්‍රී සද්ධර්ම ජලාශයක් මවන ලද්දේ ය. ඒ ‘ක්ලේශ මලකඩින් කිලිටි වී ගිය, චේතනා සහිත බුද්ධිමත් සත්වයෝ සිටිත් ද, ඔවුහු සද්ධර්ම ජලාශයෙහි ස්නානය කොට සකල ක්ලේශයන් පහකොට දමන්නාහු ය’ කියා ය.

ඉදින් මහරජාණෙනි, යම් කිසිවෙක් එම ශ්‍රී සද්ධර්ම ජලාශය වෙත ගොස් ස්නානය නොකොට කෙලෙස් සහිත ව ම සිවුරු හැර යළි ලාමක ගිහි බවට වැටෙයි නම් නුවණැති ජනයා ගරහන්නේ ඔහුට ම ය. ‘මේ උතුම් බුදු සසුනෙහි පැවිදි ව එයින් කිසි පිහිටක් නොලැබ මොහු සිවුරු හැර ලාමක වූ ගිහි ජීවිතය කරා ආවා නොවැ’ කියා ය. කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නොයෙදුණු තැනැත්තෙකුට බුදු සසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක් ද?

මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් දරුණු රෝගාබාධයකින් යුක්ත වූයේ වෙයි. රෝග හටගැනීමෙහි හේතු දැනීමෙහිලා ඉතා දක්ෂ වූ, ඉතා ප්‍රතිඵල සහිත ව රෝගීන් සුවපත් කරන, නිවැරදි ප්‍රතිකාර බල ඇති වෛද්‍යවරයෙකු දැක ඔහු කරා ගෙන යයි. එහෙත් එම වෛද්‍යවරයාගේ පිළියම් ඔහු නොපිළිපදියි. ගිය රෝගයෙන් යුක්ත ව ආපසු හැරී යයි. මහරජාණෙනි, ජනයා ගැරහිය යුත්තේ කාට ද? රෝගියාට ද? වෛද්‍යවරයාට ද?”

“ස්වාමීනී, නුවණැති ජනයා ගරහන්නේ රෝගියාට ය. ‘මෙවැනි වූ රෝග හටගන්නා හේතු දැනීමෙහි දක්ෂ වූ, ප්‍රතිඵල සහිත ව රෝගීන් සුවපත් කරන, නිවැරදි ප්‍රතිකාර බල ඇති වෛද්‍යවරයෙකු දැක ත්, ඔහු ළඟට ත් ගොස්, ප්‍රතිකාර නොගෙන ම රෝගය සහිත ව ආපසු හැරී ආවා නොවැ’ යි. කිම? මේ තැනැත්තා ප්‍රතිකාර නොකරගන්නා හෙයින් වෛද්‍යවරයා තෙමේ ම ප්‍රතිකාර කරවන්න ද? වෛද්‍යවරයාගේ කවර දෝෂයක් ද?

එසෙයින් ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේ බුදු සසුන නැමැති රන් බඳුනෙහි අමෘතය නම් මහානීය ඖෂධ රත්නයක් බහා ලූ සේක. එය සියළු කෙලෙස් රෝග සංසිඳවීමෙහිලා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. කෙලෙස් රෝගයෙන් පීඩිත ව සිට ප්‍රතිකාර සොය සොයා සිටි බුද්ධිමත් ජන කෙනෙක් සිටිත් ද, ඔවුහු ඒ අමා ඔසු පානය කොට සකල ක්ලේශ රොගාබාධයන් සංසිඳුවාගෙන සුවපත් වන්නාහු ය. ඉදින් යම් කෙනෙක් ඒ අමා ඔසු නොවළඳා, ක්ලේශ රෝගාබාධයෙන් යුතුව ම, සිවුරු හැර ලාමක ගිහි බවට වැටෙත් නම්, එහිලා නුවණැති මිනිස්සු ඔවුන්ට ගරහති. ‘මොහු බුදු සසුනෙහි පැවිදි වී එහි කිසි පිහිටක් නොලැබ ලාමක වූ ගිහි ජීවිතය කරා හැරී ආවා නොවැ’ යි. කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නොයෙදුණු තැනැත්තෙකුට බුදු සසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක් ද?

මහරජාණෙනි, යම් සේ කුසගින්නෙන් බලවත් ව පීඩාවට පත් පුරුෂයෙක් මහා පින්වතෙකු විසින් ප්‍රණීත ආහාරපාන දෙනු ලබන දන්සැලක් වෙත පැමිණෙයි. එහෙත් ඔහු ඒ දන්සැලෙන් බත් අනුභව නොකොට කුසගිනි පීඩාවෙන් ම ආපසු හැරී යයි. මහරජාණෙනි, එවිට ජනයා ගැරහිය යුත්තේ කාටද? කුසගින්නෙන් පීඩා විඳින පුරුෂයාට ද? ප්‍රණීත බොජුන් දෙන දන්සැලට ද?”

“ස්වාමීනී, ජනයා ගැරහිය යුත්තේ කුසගිනි ඇති පුරුෂයාට යි. දන්සැලට නම් නොවෙයි. ‘මේ බඩගිනි පීඩා ඇති තැනැත්තා දන්සැලකට ත් ගියා නොවැ. එහෙත් දන්සැලෙන් බත් ලැබී ත්, අනුභව නොකොට ම ආපසු හැරී ආවා නොවැ’ යි. කිම? බත් නොකන්නා වූ මොහුගේ මුඛයට භෝජනය තෙමේ ම පිවිසෙන්නේ ද? භෝජනයේ ඇති කවර දෝෂයක් ද?”

“එසෙයින් ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේ බුදු සසුන නම් වූ රන් බඳුනෙහි පරම උත්තම වූ, ප්‍රවර වූ, ශාන්ත වූ, සුන්දර වූ, ප්‍රණීත වූ, අමා වූ, ප්‍රවර මධුරත්වයෙන් පිරී ගිය කායගතාසති භාවනාව නම් වූ අමා බොජුන් තබා වදාළ සේක. කෙලෙස් බඩගින්නෙන් පීඩිත ඇතුළාන්තයක් ඇති, තණ්හාවෙන් පරිපීඩිත සිත් ඇති, එයින් බේරීමට සිතුවිලි සිත සිතා සිටි බුද්ධිමත් ජන කෙනෙක් වෙත් ද, ඔවුහු මේ මධුර භෝජනය වළඳා කාම – රූප – අරූප යන භවත්‍රය කෙරෙහි ම ඇති සියළු තණ්හා පහ කරන්නාහු යැයි කියා ය එය තබා වදාරණ ලද්දේ.

ඉදින් යමෙක් ඒ මධුර වූ කායගතාසති භෝජනය නොවළඳා, තෘෂ්ණාවට ම වසඟ ව සිට, සිව්පසයට ලොල් ව සිට, සිවුරු හැර ලාමක වූ ගිහි ජීවිතය කරා හැරී ගියේ වෙයි ද, එවිට ජනයා ගරහන්නේ ඔහුට ම ය. ‘මොහු බුදු සසුනෙහි පැවිදි වී එහි කිසි පිහිටක් නොලැබ ලාමක වූ ගිහි ජීවිතය කරා හැරී ආවා නොවැ’ යි. කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නොයෙදුණු තැනැත්තෙකුට බුදු සසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක් ද?

මහරජාණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ එක්තරා මාර්ගඵලයක හික්ම වූ ගිහියෙකු පමණක් පැවිදි කරන සේක් නම්, කෙලෙස් ප්‍රහාණය පිණිස මේ පැවිද්ද නොවන්නේ ය. පිරිසිදු බව පිණිස ද නොවන්නේ ය. පැවිදි වීමෙන් අමුතුවෙන් කළ යුතු දෙයක් නැත්තේ ය.

මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් නොයෙක් සිය ගණන් කර්මාන්ත ජනයා ලවා ජලාශයක් කණවයි. යළි පිරිසට මෙසේ අනුශාසනා කරයි. ‘පින්වත්නි, ඔබ කිසි කෙනෙක් දුහුවිලි, මඩ ආදී අපිරිසිදු දේ සහිත ව මේ පොකුණට නොබසිත්වා! සිරුරෙහි ඇති දූවිලි, මඩ ආදි සෝදා පිරිසිදු කොට, නිර්මල ව, ඔප දැමූ සිරුරු ඇති ව පමණක් මේ ජලාශයට බසිත්වා!’ යි. කිම? මහරජාණෙනි, ඔවුන්ගේ සිරුරු වල දුහුවිලි, මඩ ආදිය පහව ගොස් ඇත්නම්, පිරිසිදු නම්, නිර්මල නම්, ඔප දැමූ කය ඇත්නම්, ජලාශයෙහි ඇති ජලයෙන් ඒ ජනයා හට කවර නම් ප්‍රයෝජනයක් ඇත්තේ ද?”

“නැහැ ස්වාමීනී, යම් කරුණක් උදෙසා ඒ ජලාශය වෙත යා යුත්තේ ද, ඔවුන් විසින් එය වෙන තැනකදී ම කරන ලද්දේ ය. ඔවුන්ට ඒ ජලාශයෙන් ඇති ඵලය කිම?”

“එසෙයින් මහරජාණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ එක්තරා මාර්ගඵලයක හික්ම වූ ගිහියෙකු පමණක් පැවිදි කරන සේක් නම්, කරගත යුතු දේ ඔවුන් විසින් එහිදී කරන ලද්දේ ය. ඔවුන් හට පැවිදි වීමෙන් කවර ඵලයක් ද?

මහරජාණෙනි, ස්වභාවයෙන් ම ඍෂිවරයෙකු වැනි, අසන ලද නොයෙක් මන්ත්‍රපද ඇති, නිසැක ලෙස රෝගෝත්පත්ති දැනීමෙහි දක්ෂ වූ, සාර්ථක ප්‍රතිඵල ලබා දෙන, බලසම්පන්න ප්‍රතිකාර ඇති, අතිදක්ෂ වෛද්‍යවරයෙක් සකල රෝග සමනය කරන්නා වූ විස්මිත බෙහෙතක් උපදවා ජනයා රැස් කොට මෙසේ කියයි. ‘පින්වත්නි, කිසිකෙනෙක් රෝග පීඩා සහිත ව මා වෙත නොපැමිණෙත්වා! ව්‍යාධි රහිත වූ, නීරෝග වූවෝ පමණක් මා වෙතට පැමිණෙත්වා!’ යි.

කිම? මහරජාණෙනි, ව්‍යාධි රහිත වූ, නීරෝග වූ, පිරිපුන් වූ, ඔද වැඩී ගිය සිත් ඇත්තවුන් හට ඒ වෛද්‍යවරයාගෙන් ප්‍රයෝජනයක් තිබෙයි ද?”

“නැහැ ස්වාමීනී. යම් කරුණක් උදෙසා වෛද්‍යවරයෙකු සොයා යා යුතු නම්, එකරුණ ඔවුන් විසින් වෙන තැනකදී ම කරන ලද්දේ ය. ඔවුන්ට ඖෂධ සෙවීමෙහි අවශ්‍යතාවයක් නැත්තේ ය.

“එසෙයින් ම මහරජාණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ එක්තරා මාර්ගඵලයක හික්ම වූ ගිහියෙකු පමණක් පැවිදි කරන සේක් නම්, කරගත යුතු දේ ඔවුන් විසින් එහිදී කරන ලද්දේ ය. ඔවුන් හට පැවිදි වීමෙන් කවර ඵලයක් ද?

මහරජාණෙනි, යම් සේ එක්තරා පුරුෂයෙක් ප්‍රණීත සූප ව්‍යංජන සහිත ව නොයෙක් සිය ගණන් බත් සැළි පිසවා මනා ව පිළියෙල කොට පිරිස කැඳවා මෙසේ කියයි. ‘පින්වත්නි, කිසිවෙක් බඩගින්නෙන් පෙළෙත් නම් ඔවුහු මාගේ මේ බත් අනුභව කරන්නට නොපැමිණෙත්වා! මනාකොට කා බී සිටින, තෘප්තිමත් වූ, සෑහීමට පත් වූ, මැනැවින් අනුභව කළ පිරීගිය කුස ඇති අය පමණක් මාගේ බතට පැමිණෙත්වා!’ යි.

මහරජාණෙනි, හොඳට බත් කා, මැනැවින් අනුභව කොට, තෘප්තිමත් ව, පිරී ගිය කුස ඇති ව සිටින අයට ඒ දන්සැලෙහි ඇති භෝජනයෙන් කවර ප්‍රයෝජනයක් ද?”

“නැහැ ස්වාමීනී, යම් අර්ථයක් පිණිස දන්සැලක් කරා යා යුතු නම් ඒ අර්ථය වෙනත් තැනකදී ම ඔවුන් විසින් කරන ලද්දේ ය. ඔවුන් හට දන්සැලක් සෙවීමෙහි ඵලයක් තිබේ ද?”

“එසෙයින් ම මහරජාණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ එක්තරා මාර්ගඵලයක හික්ම වූ ගිහියෙකු පමණක් පැවිදි කරන සේක් නම්, කරගත යුතු දේ ඔවුන් විසින් එහිදී කරන ලද්දේ ය. ඔවුන් හට පැවිදි වීමෙන් කවර ඵලයක් ද?

මහරජාණෙනි, එනමුදු යම් කෙනෙක් බුදු සසුනෙහි පැවිදි ව සිට සිවුරු හැර යළි ගිහි බවට පත් වෙත් ද, ඔවුහු බුද්ධ ශාසනයට ම පමණක් හිමි වූ, අතුල්‍ය වූ ගුණ පසක් දක්වති. ඒ කවර පසක් ද යත්;

1. පැවිදි ජීවිතයේ ඇති මහා උදාරත්වය දක්වති.

2. පැවිදි ජීවිතයේ ඇති පාරිශුද්ධ නිර්මල භාවය දක්වති.

3. පාපී පුද්ගලයන් හා නිර්මල පැවිදි ජීවිතය එක් නොවන බව දක්වති.

4. ඔවුන් හට ධර්මාවබෝධයෙහි ඇති දුෂ්කරභාවය දක්වති.

5. පැවිදි ජීවිතය බොහෝ සෙයින් ඉන්ද්‍රිය සංවරයෙන් ආරක්ෂා කරගත යුතු දෙයක් බව දක්වති.

1. පැවිදී ජීවිතයේ ඇති මහා උදාරත්වය කෙසේ දක්වත් ද?

මහරජාණෙනි, යම් සේ නීච කුලයක උපන්, ධනහීන පුරුෂයෙක් සිටියි. විද්‍යා – ශිල්ප ශාස්ත්‍රාදියෙහි කිසිදු විශේෂ හැකියාවක් නැති, හීන බුද්ධි ඇති ඔහු මහා රාජ්‍යයක අධිපති බව ලබයි. එහෙත් ඉතා සුළු කලකින් ඔහු පිරිවර සහිත සකල සම්පත්තියෙන් පිරිහෙන්නේ ය. වැටෙන්නේ ය. නැසෙන්නේ ය. ඒ යස ඉසුරු මහා ධන සම්පත් ඔහුට දරා සිටිය නොහැක්කේ ය. ඒ මක් නිසා ද යත්, රාජ්‍ය ශ්‍රී සම්පත්තියෙහි ඇති මහා උදාරත්වය නිසා ය.

එසෙයින් ම මහරජාණෙනි, කුසල් උපදවා ගැනීමෙහි හැකියාවක් නැති, අකුසල් නැසීමෙහි හැකියාවක් නැති, පෙර ආත්ම භාවයන්හි කළ පින් නැති, පිරිහී ගිය නුවණ ඇති, යම්කිසි කෙනෙක් උතුම් බුදු සසුනෙහි පැවිදි වෙත් ද, ඔවුහු මාර්ගඵල ශ්‍රමණ ඵලයන්ට හිමිකම් ලැබෙන අයුරු වූ උතුම් පැවිදි ජීවිතයක් දරා සිටින්නට අසමර්ථ වෙති. වැඩි කලක් නොයා ම ශ්‍රමණ ගුණයන්ගෙන් පිරිහී, නැසී, ලාමක වූ ගිහි බව කරා යන්නාහු ය. මාර්ගඵල සහිත නිර්මල බුදු සසුන දරා සිටින්නට අසමර්ථ වෙති. ඒ මක් නිසා ද යත්, බුද්ධ ශාසන භූමියෙහි ඇති මහා උදාරත්වය නිසා ය. එසේ පැවිදි ජීවිතයේ ඇති මහා උදාරත්වය දක්වති.

2. පැවිදි ජීවිතයේ ඇති පාරිශුද්ධ නිර්මල භාවය කෙසේ දක්වත් ද?

මහරජාණෙනි, නෙළුම් පෙත්තෙහි දිය බිඳු විසිර යයි. බැහැරට යයි. රූරා වැටෙයි. නොරැඳෙයි. නෙළුම් පෙත්තෙහි නොපිහිටයි. ඒ මක් නිසා ද යත්, නෙළුමෙහි ඇති නිර්මල පිරිසිදු බව නිසා ය.

එසෙයින් ම මහරජාණෙනි, කපටි වූ, ඇති ස්වභාවය සඟවන, මායා ඇති, වංක, කෛරාටික, විෂම දෘෂ්ටිගත යම්කිසි කෙනෙක් තථාගත සසුනෙහි පැවිදි වෙති. ඔවුහු ඉතා පාරිශුද්ධ වූ, නිර්මල වූ, අලාමක වූ, උත්තම වූ, බුදු සසුනෙහි සීල – සමාධි – ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙහි හික්මී රැඳී සිටින්නට අසමත් වෙති. නොබෝ කලකින් පිළිවෙතින් බැහැරට විසිර ගොස්, නැසී ගොස්, වැනසී ගොස්, ධර්ම විනයෙහි පිහිටා සිටිය නොහැකි ව, කැරකී වැටී ලාමක වූ ගිහි බවට පත්වෙති. ඒ මක් නිසා ද යත්, ජින ශාසනයෙහි ඇති පාරිශුද්ධ නිර්මල බව නිසා ය. මෙසේ ඔවුහු පැවිදි බව තුළ ඇති පාරිශුද්ධ නිර්මල බව දක්වති.

3. පාපී පුද්ගලයන් හා නිර්මල පැවිද්ද එක් නොවන බව කෙසේ දක්වත් ද?

මහරජාණෙනි, යම් සේ මහා සමුද්‍රය මළකුණු හා එක් ව වාසය නොකරයි ද, මහරජාණෙනි, මහා සමුද්‍රයෙහි යම් මළකුණක් ඇත්තේ නම් එය වහා ම වෙරළට පමුණුවයි. ගොඩබිමට නගාලයි. ඒ මක් නිසා ද යත්, මහා සමුද්‍රය තිමිර, පිංගල ආදී මහා සත්වයන් හට වාස භවනය වන බැවිනි.

එසෙයින් ම මහරජාණෙනි, පාපී වූ, ඉන්ද්‍රිය සංවරයෙන් තොර වූ, පවට ලැජ්ජා නැත්තා වූ, ශ්‍රමණ ගුණ නොපුරන්නා වූ, දුර්ජන වූ මනුෂ්‍යයෝ ද බුදු සසුනෙහි පැවිදි වෙති. ඔවුහු වැඩිකල් නොයා ම නිර්මල වූ, ක්ෂීණාශ්‍රව වූ, රහතුන් වන මහා සත්වයන්ගේ වාස භවන වූ බුදු සසුනෙහි වසනු නොහැකි ව එයින් බැහැරට නික්ම යති. උතුමන් හා එක් නොවී ලාමක වූ ගිහි බවට පෙරලා වැටෙති. ඒ මක් නිසා ද යත්, පවිටු පුද්ගලයන් හා බුදු සසුන එක් ව වාසය කිරීමක් නැති නිසා ය. මෙසේ ඔවුහු පවිටු පුද්ගලයන් හා නිර්මල පැවිද්ද එක් නොවන බව දක්වති.

4. ධර්මය අවබෝධ කිරීමෙහි දුෂ්කර බව කෙසේ දක්වත් ද?

මහරජාණෙනි, යම් සේ ධනුශ්ශිල්පයෙහි අදක්ෂ වූ, නුපුහුණු වූ, ශිල්පය නොවැටහෙන, ප්‍රඥා රහිත වූවෝ සිටිත් ද, ඔවුහු විදුලි කොටන එළියෙන් දුන්න නගාගෙන ඊතලය ඇද අශ්වලෝමයෙහි අග ඇති ඉලක්කය විදගන්නට නොහැකි ව පලා යන්නාහු ය. ඒ මක් නිසා ද යත්, අශ්ව ලෝමයෙහි අග වූ, ඉතා සියුම් වූ, ඉතා මෘදු වූ ඉලක්කයට එල්ල කරගැනීමට අසීරු නිසා ය.

එසෙයින් ම මහරජාණෙනි, ප්‍රඥා රහිත වූ, ජඩ වූ, කෙළතොළු වූ, මෝඩ වූ, කරුණු වටහා ගැනීමෙහි ඉතා ප්‍රමාද වූ, මනුෂ්‍යයෝ බුදු සසුනෙහි පැවිදි වෙති. ඔවුහු අතිශයින් ම මෘදු, සියුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත නොහැකි ව බුදු සසුනෙහි ගුණධර්ම වැඩීමට අසමත් ව පලා යති. සිවුරු හැර ලාමක ගිහි බවට පත්වෙති. ඒ මක් නිසා ද යත්, චතුරාර්ය සත්‍ය ධර්මයෙහි ඇති අතිශයින් ම මෘදු වූ, සියුම් වූ, අවබෝධයෙහිලා ඇති දුෂ්කරත්වය නිසා ය. ධර්මාවබෝධයෙහි ඇති දුෂ්කරත්වය මෙසේ දක්වති.

5. පැවිදි ජීවිතය බොහෝ සේ ඉන්ද්‍රිය සංවරයෙන් ආරක්ෂා විය යුතු බව කෙසේ දක්වත් ද?

මහරජාණෙනි, කිසියම් පුරුෂයෙක් මහත් වූ යුද්ධ භූමියකට පැමිණෙන්නේ ය. සතුරු සේනාව විසින් හාත්පස දිශා අනුදිශා වටකොට ගන්නා ලද්දේ ය. ආයුධ අත් ඇති ව පැමිණෙන ජනයා දැක භීතියට පත් වන ඔහු පසු බසියි. ඉදිරියට නොගොස් ආපස්සට හැරී පලා යයි. ඒ මක් නිසා ද යත්, නොයෙක් අයුරින් ඇති යුද්ධය ඉදිරියෙහි ආරක්ෂාවට ඇති භය නිසා ය.

එසෙයින් ම මහරජාණෙනි, පවිටු ගති ඇති, අසංවර වූ ඉන්ද්‍රිය ඇති, පවට ලැජ්ජා නැති, ශ්‍රමණ ධර්මය නොපුරන, ඉවසීමක් නැති, වහා කම්පා වෙන, පවිටු සිත් ඇති, අනුවණ මනුෂ්‍යයෝ බුදු සසුනෙහි පැවිදි වෙති. ඔවුහු නොයෙක් අයුරින් ඇති ශික්ෂා පද අනුව ආරක්ෂා වෙන්නට නොහැකි වෙති. ලාමක හැඟීම් දරාගත නොහැකි ව පිළිවෙතින් බැහැරට පලා ගොස් වැඩිකල් නොයා ලාමක වූ ගිහි බවට වැටෙති. ඒ මක් නිසා ද යත්, බොහෝ ඉන්ද්‍රිය සංවරයෙන් පැවිද්ද ආරක්ෂා කරගත යුතු නිසා ය. මෙසේ මහරජාණෙනි, පැවිදි ජීවිතය බොහෝ සෙයින් ඉන්ද්‍රිය සංවරයෙන් රැකගත යුතු බව දක්වති.

මහරජාණෙනි, ගොඩබිම හටගන්නා උතුම් දෑසමන් මල් පඳුරෙහි පවා පණුවන් විසින් විදින ලද පුෂ්පයෝ වෙති. එහි පණුවන් විදීමෙන් හැකිලී ගිය මල් පොහොට්ටු ඇද්ද, ඒවා නොපිපී තිබිය දී ම බිම වැටෙයි. නරක් වූ මල් පොහොට්ටු බිම වැටී ගිය පමණකින් ඒ සුවඳ හම දෑසමන් මල් පඳුරට ගැරහීම නොහොබියි. එහි මනාව පිපී තිබෙන දෑසමන් මල් ඇද්ද, ඒවායෙහි සොඳුරු සුවඳ දිශා අනුදිශාවෙහි පැතිර යන්නේ ය.

එසෙයින් ම මහරජාණෙනි, යම් කෙනෙක් තථාගත සසුනෙහි පැවිදි ව සිට සිවුරු හැර ලාමක ගිහි බවට වැටෙත් ද, ඔවුහු ජින ශාසනය නම් දෑසමන් මල් පඳුරෙහි පණුවන් විදින ලද මල් පොහොට්ටු වැනි ය. පැහැයෙන් ද, සුවඳින් ද තොර වූ, පැහැපත් වීමට නොහැකි වූ, පිපීමට අයෝග්‍ය වූ මල් පොහොට්ටු වැනි ය. එබඳු වූවන් ලාමක ගිහි බවට පත් වූ පමණින් බුදු සසුනට ගැරහීම නොහොබියි. මේ ජිනවර සසුනෙහි නිවන් සාරයෙහි සුපිහිටි භික්ෂූහු ද සිටිති. නිවන් මගෙහි පිළිවෙත් පුරන්නා වූ, සසුන් ඵලයන්හි අපේක්ෂාවෙන් සිටින්නා වූ භික්ෂූහු ද සිටිති. ඔවුහු දෙවියන් සහිත ලෝකයා උතුම් ගුණ නැණ සීල සුගන්ධයෙන් සුවඳවත් කරති.

මහරජාණෙනි, නීරෝග වූ, ඉතා සුවඳැති, රත් හැල් කුඹුරෙහි පවා ‘කාරම්භක’ නම් වල් හැල් හටගෙන ඵල නූපදවා ම විනාශයට පත්වෙති. එසේ වල් ගොයම් ඵල නූපදවා නැසී ගිය පමණකින් සුවඳවත් රත් හැල් කෙතට නින්දා කිරීම නොහොබියි.

එසෙයින් ම මහරජාණෙනි, යම් කෙනෙක් බුදු සසුනෙහි පැවිදි ව සිට ලාමක ගිහි බවට පත්වෙත් ද, ඔවුහු සුවඳවත් රත් හැල් කෙතෙහි හටගත් කාරම්භක නම් වල් ගොයම බඳු වෙති. ජින ශාසනයෙහි නොවැඩී, පිහිටක් නොලැබ, විපුලත්වයට පත් නොවී, අතරමගදී ම, සිවුරු හැර ලාමක ගිහි බවට පත්වෙති. ඔවුන් ගිහි බවට පත්වීම හේතුවෙන් බුදු සසුනට නින්දා කිරීම නොහොබියි. යම් මේ භික්ෂූහු ධර්ම විනය තුළ මැනැවින් පිහිටා සිටිත් ද, පිළිවෙතෙහි හැසිරෙත් ද, ඔවුහු උතුම් මාර්ගඵලාවබෝධය සාක්ෂාත් කරන්නට සුදුසුකම් ලබන්නාහු ය.

මහරජාණෙනි, කැමති දෙයක් දෙන්නා වූ චින්තා මාණික්‍ය රත්නය උපදින තැන ම කර්කශ වූ රළු පරොළු කැට කැබිලිති උපදියි. ඒ මාණික්‍ය රත්නය උපදින තැන කර්කශ ගල් පතුරු තිබෙන පමණින් ඒ මාණික්‍ය රත්නය නින්දා ලැබිය යුතු නොවෙයි. එහි පිරිසිදු ව බබලන යම් චින්තා මාණික්‍ය රත්නයක් ඇද්ද, එය ජනයා හට සතුට උපදවා දෙයි.

එසෙයින් ම මහරජාණෙනි, යම් කෙනෙක් ජින ශාසනයෙහි පැවිදි ව ලාමක වූ ගිහි බවට වැටෙත් ද, ඔවුහු බුදු සසුනෙහි උපන් කර්කශ, රළු පරොළු ගල් පතුරු බඳු ය. ඔවුන්ගේ ලාමක ගිහි බවට පත්වීම නිසාවෙන් බුදු සසුන නින්දා ලැබිය යුතු නොවෙයි. එහි යම් මේ භික්ෂූහු ධර්ම විනය තුළ මැනැවින් පිහිටා සිටිත් ද, පිළිවෙතෙහි හැසිරෙත් ද, ඔවුහු දෙව් මිනිසුන්ට උතුම් සතුට උපදවන්නාහු ය.

මහරජාණෙනි, ජාතිමත් රත්සඳුන් හරෙහි පවා ඇතැම් කොටස් කුණුවන්නේ වෙයි. සුවඳ රහිත වූයේ වෙයි. එපමණකින් ජාතිමත් සඳුන් හර නින්දා ලැබිය යුතු නොවෙයි.

එසෙයින් ම මහරජාණෙනි, යම් කෙනෙක් බුදු සසුනෙහි පැවිදි ව සිවුරු හැර ලාමක ගිහි බවට හැරී යත් නම්, ඔවුහු බුදු සසුන නම් ජාතිමත් සඳුන් හරෙහි තිබෙන්නා වූ ඉවත දැමිය යුතු කුණු වූ කොටස් බඳු ය. ඔවුන්ගේ ලාමක වූ ගිහි බවට පත් වීම හේතුවෙන් බුදු සසුන නින්දා ලැබිය යුතු නම් නොවෙයි. එහි යම් මේ භික්ෂූහු ධර්ම විනය තුළ මැනැවින් පිහිටා සිටිත් ද, පිළිවෙතෙහි හැසිරෙත් ද, ඔවුහු දෙවියන් සහිත ලෝකය උත්තම සීල ගුණ නැණ සඳුන් සුවඳින් සුවඳවත් කරති.”

“යහපති ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ඒ ඒ දෙයට ගැලපෙන කරුණු වලින්, ඒ ඒ දෙයට සමාන කරුණු දක්වමින් ඉතා යහපත් අයුරින් ධර්මය මතු කරන ලද්දේ ය. ශ්‍රේෂ්ඨ වූ බුදු සසුන පරිදීපනය කරන ලද්දේ ය. ලාමක ගිහි බවට පත්වන උදවිය පවා බුද්ධ ශාසනයෙහි ඇති ශ්‍රේෂ්ඨ භාවය පෙන්වන අයුරු වදාළ ආකාරය ඉතා මැනැවි.”

මිළිඳු රාජ ප්‍රශ්නය – සිවුරු හැර ගිහිවීම ගැන පස්වෙනි ප්‍රශ්නය යි.

සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

සිහින දැකීම පිළිබඳ ප්‍රශ්නය
“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මේ ලෝකයෙහි ස්ත්‍රී පුරුෂයෝ යහපත් වූ ත්, පවිටු වූ ත්, පෙර දුටුවා වූ ත්, නොදුටුවා වූ ත්, පෙර කරන ලද්දා වූ ත්, නොකරන ලද්දා වූ ත්, රැකවරණ සැප ඇත්තා වූ ත්, භය ජනක වූ ත්, ඉතා දුරින් සිදුවන දෙයක් ලෙසිනුත්, සමීපයෙහි සිදුවන දෙයක් ලෙසිනුත්, නොයෙක් දහස් ගණන් වර්ණ ඇති සිහින දකිති. ස්වාමීනී, මේ සිහින යනු මොනවා ද? මේ සිහින දකින්නේ කවුද?”

“මහරජාණෙනි, යම් අරමුණක් සිත ඉදිරියට පැමිණෙයි නම් මේ සිහිනය යනු ඒ නිමිත්තයි. මහරජාණෙනි, මේ සය දෙනා සිහින දකිති.

1. වාතය කිපීමෙන් පුද්ගලයෙක් සිහින දකියි.

2. පිත කිපීමෙන් පුද්ගලයෙක් සිහින දකියි.

3. සෙම කිපීමෙන් පුද්ගලයෙක් සිහින දකියි.

4. දෙවියන්ගේ කරුණු දැක්වීමක් වශයෙන් පුද්ගලයෙක් සිහින දකියි.

5. සිත, කය, වචනයෙන් පුරුදු කළ දේ තුළින් පුද්ගලයෙක් සිහින දකියි.

6. ඉදිරියට සිදුවන්නට යන දේ ගැන පෙරනිමිති වශයෙන් පුද්ගලයෙක් සිහින දකියි.

මහරජාණෙනි, එහිදී ඉදිරියට සිදුවන්නට යන දේ ගැන පුද්ගලයෙක් සිහින දකියි නම් එම සිහින පමණක් ඇත්ත බවට පත්වෙයි. අනිත් සිහින මිථ්‍යාවකි.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, යමෙක් පෙරනිමිති වශයෙන් සිහින දකියි නම්, කිම? ඔහුගේ සිත තෙමේ ම ගොස් ඒ සිහිනයට අදාළ නිමිත්ත සොයා ගන්නේ ද? නැත්නම් ඒ නිමිත්ත හෝ සිත ඉදිරියට පැමිණෙන්නේ ද? අන්‍ය වූ කෙනෙක් පැමිණ ඔහුට සිහින වේශයෙන් එය දැනුම් දෙන්නේ ද?”

“මහරජාණෙනි, ඔහුගේ සිත තෙමේ ම ගොස් ඒ සිහිනයට අදාළ නිමිත්ත නොසොයයි. අන්‍ය වූ කෙනෙක් ඇවිදිනුත් නිදා සිටි ඔහුට ඒ නිමිත්ත දැනුම් නොදෙයි. එසේ නමුත් ඒ සිහිනයට අදාළ නිමිත්ත ම තමාගේ සිත ඉදිරියට පැමිණෙයි.

මහරජාණෙනි, කන්නාඩිය තමන් ම කොහේවත් ගිහින් එයට අවශ්‍ය ඡායාවන් නොසොයයි. අන්‍යයෝ කිසිවෙක් ඡායාවන් ගෙනැවිත් ඒ කැඩපතෙහි නොඅලවයි. යම් කලෙක කොතැනකින් හෝ ඡායාවක් පැමිණ කන්නාඩිය ඉදිරියෙහි පෙනී සිටියි ද, එවිට එය කන්නාඩියෙහි දිස්වෙයි.

එසෙයින් ම මහරජාණෙනි, ඔහුගේ සිත තෙමේ ම ගොස් ඒ සිහිනයට අදාළ නිමිත්ත නොසොයයි. අන්‍ය වූ කෙනෙක් ඇවිදිනුත් නිදා සිටි ඔහුට ඒ නිමිත්ත දැනුම් නොදෙයි. එසේ නමුත් ඒ සිහිනයට අදාළ නිමිත්ත ම තමාගේ සිත ඉදිරියට පැමිණෙයි.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, යම් ඒ සිතක් සිහින දකියි ද, මෙබඳු රැකවරණ සැප ඇති විපාකයක් හෝ බිය ගෙන දෙන විපාකයක් හෝ වන්නේ ය කියා ඒ සිත දන්නවා ද?”

“නැත මහරජාණෙනි. මෙබඳු රැකවරණ සැප ඇති විපාකයක් හෝ බිය ගෙන දෙන විපාකයක් හෝ වන්නේ ය කියා ඒ සිත නොදනියි.

මහරජාණෙනි, පෙරනිමිති වශයෙන් සිහිනයක් දුටු කල්හී ඔහු එය අන්‍ය වූ ස්වප්න ශාස්ත්‍රය දත් කෙනෙකුට පවසයි. එවිට ඒ තැනැත්තා ඒ සිහිනයෙහි අරුත් තෝරා බේරා දෙයි.”

“එසේ නම් ස්වාමීනී, මට තවත් කරුණක් දක්වා වදාළ මැනැව.”

“මහරජාණෙනි, යම් සේ තමාට සිදුවන ලාභ අලාභ ගැන වේවා, යස අයස ගැන වේවා, නින්දා ප්‍රශංසා ගැන වේවා, සැප දුක් ගැන වේවා ලකුණු වශයෙන් කෙනෙකුගේ ශරීරයෙහි තල කැලැල්, ලප, ඉනිගැට, දද ආදිය හටගන්නේ ය. මහරජාණෙනි, ඒ තල කැලැල් ලප සටහන් ආදියෙහි සිරුරෙහි උපදින්නේ ‘අපි මෙබඳු වූ අර්ථයක් සදා දෙන්නෙමු’ යි සළකා ගෙන ද?”

“නැහැ ස්වාමිනී. සිරුරෙහි ඒ ඒ තැන ලප, කැලැල් ආදිය හටගත් විට, ඒ ලප කැලැල් ආදී සටහන් දැක නිමිත්ත පාඨකයන්ට කියයි. එවිට ඔවුහු මේ ලකුණුවල ඵල විපාක මේවා යැයි තෝරා දෙති.”

“එසෙයින් ම මහරජාණෙනි, මෙබඳු රැකවරණ සැප ඇති විපාකයක් හෝ බිය ගෙන දෙන විපාකයක් හෝ වන්නේ ය කියා ඒ සිත නොදනියි. මහරජාණෙනි, පෙරනිමිති වශයෙන් සිහිනයක් දුටු කල්හී ඔහු එය අන්‍ය වූ ස්වප්න ශාස්ත්‍රය දත් කෙනෙකුට පවසයි. එවිට ඒ තැනැත්තා ඒ සිහිනයෙහි අරුත් තෝරා බේරා දෙයි.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, යමෙක් සිහින දකියි නම්, ඔහු සිහින දකින්නේ නිදා සිටිද්දී ද? නැතිනම් අවදි ව සිටිද්දී ද?”

“මහරජාණෙනි, යමෙක් සිහින දකියි නම්, ඔහු ගැඹුරු නින්දේ සිටිද්දී එය නොදකියි. අවදි ව සිටිද්දී ත් එය නොදකියි. එසේ නමුත් සාමාන්‍ය නින්දකට පත් ව සිට, අරමුණක් නොගෙන සිටින අවස්ථාවට පත් නොවී සිටියදී, ඒ අතර අවස්ථාවෙහි සිහින දකියි.

මහරජාණෙනි, ගැඹුරු නින්දෙහි සිටින අවස්ථාවෙහි සිත බාහිර අරමුණක් නොගෙන පවතියි. එවිට අරමුණක් නොගත් සිත බාහිර අරමුණක් නොපවත්වයි. බාහිර අරමුණක් නොපවත්වන සිතට සැප දුක් නොදැනෙයි. එසේ සැප දුක් නොදැනෙන ගැඹුරු නින්දට සිත පත්වන අවස්ථාවේදී සිහින නොපෙනෙයි. සැප දුක් දැනෙන අවස්ථාවට සිත පත්වන කල්හී සිහින දකියි.

මහරජාණෙනි, ඝනාන්ධකාරයෙහි කිසි ආලෝකයක් නැති තැනක ඉතා පිරිසිදු, පැහැදිලි, කන්නාඩියක් තිබුණත් ඡායාව නොපෙනෙයි. එසෙයින් ම මහරජාණෙනි, ගැඹුරු නින්දේ දී සිත බාහිර අරමුණක් නොපත්වන හෙයින් තිබෙන්නා වූ ම සිරුර පිළිබඳ ව වත් අරමුණු නොකරයි. බාහිර අරමුණක් නොපවත්වන සිතට සිහින දර්ශනය නොවෙයි. මහරජාණෙනි, කන්නාඩිය යම් සේ ද ශරීරය එසේ දත යුත්තේ ය. අන්ධකාරය යම් සේ ද නින්ද එසේ දත යුත්තේ ය. ආලෝකය යම් සේ ද සිත එසේ දත යුත්තේ ය.

මහරජාණෙනි, යම් සේ මීදුමෙන් වැසී ගිය කල්හී සූර්යාලෝකය නොපෙනෙයි ද, තිබෙන්නා වූ ම සූර්ය රශ්මිය නොපවත්වයි ද, සූර්ය රශ්මිය නොපවත්වන කල්හී ආලෝකය නොපවතියි ද, එසෙයින් ම මහරජාණෙනි, ගැඹුරු නින්දේ දී සිත බාහිර අරමුණක් නොපත්වන හෙයින් තිබෙන්නා වූ ම සිරුර පිළිබඳ ව වත් අරමුණු නොකරයි. බාහිර අරමුණක් නොපවත්වන සිතට සිහින දර්ශනය නොවෙයි. මහරජාණෙනි, හිරු මඬල යම් සේ ද ශරීරය එසේ දත යුත්තේ ය. මීදුමෙන් වැසී යාම යම් සේ ද, නින්ද එසේ දත යුත්තේ ය. හිරු රැස් යම් සේ ද, සිත එසේ දත යුත්තේ ය.

මහරජාණෙනි, සිරුර තිබුණ ත් සිත බාහිර අරමුණක නොපවත්වන දෙදෙනෙක් සිටිති. එනම් ගැඹුරු නින්දට බැසගෙන සිත බාහිර අරමුණක් නොපවත්වන අවස්ථාවෙහි ශරීරය පිළිබඳ ව සිතට අරමුණු නොවෙයි. ඒ පළමුවැන්නායි. නිරෝධ සමාපත්තියට සමවැදී සිටින අවස්ථාවෙහිදී ද තිබෙන්නා වූ ම ශරීරය සිතට අරමුණු නොවෙයි. මේ දෙවැන්නායි.

මහරජාණෙනි, නිදිවරා සිටින අවස්ථාවෙහි සිත අරමුණු ලොල් ව තිබෙයි. අරමුණට විවෘත ව තිබෙයි. ප්‍රකට ව තිබෙයි. නිබඳ ව එක් අරමුණක නොසිටියි. මෙබඳු අවස්ථාවෙහි සිටින තැනැත්තාගේ සිතට සිහින දර්ශනය නොවෙයි. මහරජාණෙනි, රහස් රකිනු කැමති පුරුෂයෝ රහස් හෙලිකරන, ප්‍රකට කරන, විශ්වාස ක්‍රියා නැති, රහස් ක්‍රියා නොරකින, කෙනෙකු යම් සේ දුරු කරත් ද, එසෙයින් ම මහරජාණෙනි, නිදි වර්ජිත ව සිටින පුද්ගලයාගේ සිතට දිව්‍ය වූ කාරණාවක් වත් දර්ශනය නොවෙයි. එහෙයින් නිදිවරා සිටින පුද්ගලයා සිහින නොදකියි. මහරජාණෙනි, බිඳී ගිය ආජීව පාරිශුද්ධිය ඇති, සිඳී ගිය ආචාර ඇති, පවිටු මිතුරන් ඇති, දුස්සීල, කුසීත, හීන වීරියෙන් යුතු භික්ෂුවගේ සිතට සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත කුසල ධර්මයෝ යම් සේ නොපැමිණෙත් ද, එසෙයින් ම මහරජාණෙනි, නිදිවරා සිටින පුද්ගලයාගේ සිතට දිව්‍ය කාරණය ද නොපැමිණෙයි. එහෙයින් නිදිවරා සිටින පුද්ගලයා සිහින නොදකියි.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, නින්දෙහි පටන් ගැනීමක්, මැදක්, අගක් වශයෙන් තිබෙනවා ද?”

“එසේ ය, මහරජාණෙනි, නින්දෙහි ආරම්භයකුත්, මැදකුත්, අගකුත් ඇත්තේ ය.”

“ස්වාමීනී, නින්දෙහි ඇති ආරම්භය කුමක් ද? මැද කුමක් ද? අග කුමක් ද?”

“මහරජාණෙනි, නින්දට වන් පුද්ගලයාගේ කයෙහි යම් අප්‍රාණික බවක් වෙළී යයි ද, හාත්පසින් වෙළී යයි ද, ශක්තිය අඩුවෙයි ද, කය අකර්මණ්‍ය බවට පත්වෙයි ද, මෙය නින්දෙහි ආරම්භය යි.

මහරජාණෙනි, වහා අවදිවන සුළු නින්දට වැටෙන එනම්, වඳුරු නින්දෙන් පෙළෙන ලද්දේ, එයින් ගැවසුණු සිතින් යුතුව නින්දට පත් වී සිටියි ද, මෙය නින්දෙහි මැද අවස්ථාවයි. අරමුණු නොගන්නා අවස්ථාවට පත්වීම සොයමින් සිටින සිත නින්දෙහි මැද අවස්ථාවට පැමිණෙයි. මහරජාණෙනි, වහා අවදිවනසුළු වදුරු නින්දෙන් යුතුව සිත පවත්වන අවස්ථාවෙහි සිහින දර්ශනය වෙයි.

මහරජාණෙනි, හික්මෙන්නා වූ යම්කිසිවෙක් සමාහිත සිතින් යුතුව, දහමෙහි පිහිටා, අචල බුද්ධියෙන් යුතුව, බාහිර පුද පූජාදී ශබ්ද නැති වනයක් මැදට ගොස් සියුම් අර්ථ විමසයි. ඔහු එහිදී ත් තද නින්දකට නොබැසගනියි. සමාහිත සිතින් යුතුව, ඒකාග්‍ර සිතින් යුතුව සියුම් අර්ථ විමසයි.

එසෙයින් මහරජාණෙනි, නිදිවරන තැනැත්තා නින්දට පත් නොවී සිටින කෙනෙකි. එනමුත් නින්දෙහි මැද අවස්ථාවට පැමිණි තැනැත්තා වහා අවදිවනසුළු නින්දකට වැටී ඇති හෙයින් ඒ අවස්ථාවෙහි ඔහුගේ සිතට සිහින දර්ශනය වෙයි. මහරජාණෙනි, පුද පූජා ශබ්ද යම් සේ ද නිදිවරා සිටීම එසේ දත යුත්තේ ය. හුදෙකලා වනය යම් සේ ද, වහා අවදිවන සුළු වඳුරු නින්ද එසේ දත යුත්තේ ය. එසේ නිදි වැළකීමෙන් යුක්ත ව ගැඹුරු නින්දට ද නොපැමිණ වහා අවදිවන සුළු නින්දට බැසගෙන සිටින අවස්ථාවෙහි පුද්ගලයා සිහින දකියි.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ඉතා යහපති. මම මෙය ඒ අයුරින් ම පිළිගනිමි.”

සිහින දැකීම පිළිබඳ පස් වෙනි ප්‍රශ්නය යි.

සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකට නූපදින බව ගැන ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකට නූපදින බව ගැන ප්‍රශ්නය.

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය.

‘මහණෙනි, එක් ලෝකධාතුවක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පෙර පසු නොවී එක්වර උපදින්නාහු ය යන යමක් ඇද්ද, එය සිදු නොවන දෙයකි. එබඳු දෙයකට අවකාශ නැත. එබඳු දෙයක් ලොවෙහි දකින්නට නොලැබෙන්නේ ය’ යනුවෙනි.

ස්වාමීනී, නාගසේනයන් වහන්ස, සියළු තථාගතයන් වහන්සේලා ම සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් දෙසන සේක. වදාරණ කල්හි ත් චතුරාර්ය සත්‍ය ධර්මය වදාරණ සේක. හික්මවන කල්හි ත් සීල – සමාධි – ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මන සේක. අනුශාසනා කරන කල්හි ත් අප්‍රමාදී ප්‍රතිපත්තියෙහිලා අනුශාසනා කරන සේක.

ඉදින් ස්වාමීනී, නාගසේනයන් වහන්ස, සියළුම තථාගතයන් වහන්සේලාගේ දේශනාව ද එකක් ම නම්, ධර්ම කථාව ද එකක් ම නම්, ශික්ෂාව ද එකක් ම නම්, අනුශාසනාව ද එකක් ම නම්, කවර කරුණක් නිසාවෙන් තථාගතයන් වහන්සේලා දෙනමක් එක්වර නූපදින්නාහු ද? එක ම බුදුවරයන් වහන්සේ නමකගේ පහළ වීමෙන් මේ ලෝක ධාතුව ඒ තාක් ආලෝකවත් වූයේ වේ ද, ඉදින් දෙවෙනි බුදුවරයන් වහන්සේ නමකුත් පහළ වෙත් නම්, දෙනමක් වූ බුදුවරයන් වහන්සේලාගේ ප්‍රභාවෙන් මේ ලෝක ධාතුව අතිශයින් ම බලවත් ව බබලන්නේ ම ය. තථාගතයන් වහන්සේලා දෙනමක් අවවාද කරන කල්හී සුවසේ අවවාද කරන්නාහු ය. අනුශාසනා කරන කල්හී සුවසේ අනුශාසනා කරන්නාහු ය.

ස්වාමීනී, මෙකරුණ පිළිබඳ ව මා තුළ ඇති සැකය දුරු වන්නේ යම් අයුරකින් නම්, එහිලා මා හට කරුණක් වදාළ මැනැව.”

“මහරජාණෙනි, මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරා සිටිය හැක්කේ එක් බුදුවරයන් වහන්සේ නමක් පමණි. එක ම තථාගතයන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය පමණක් දරා සිටියි. ඉදින්, එක්වර ම අන්‍ය වූ දෙවැනි බුදුවරයන් වහන්සේ නමකුත් උපදින සේක් නම්, එය මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරාගත නොහැකි වනු ඇත. සැළී යනු ඇත. කම්පා වනු ඇත. යටට නැමෙනු ඇත. උඩට නැගෙනු ඇත. විසිරෙනු ඇත. නැසෙනු ඇත. වැනසෙනු ඇත. යහපත් අයුරින් පවත්වා ගත නොහැකි වනු ඇත්තේ ය.

මහරජාණෙනි, එය මෙබඳු දෙයකි. එක් පුරුෂයෙකු පමණක් උසුලාගෙන එතෙර වනු හැකි කුඩා නැවක් ඇත්තේ ය. එක් පුරුෂයෙක් එයට නැගගත් කල්හී ඒ නැවට සමබර ලෙස උසුලා ගත හැක්කේ ය. එකල්හී අර නැග ගත් පුරුෂයාට ම සමාන වූ ආයුෂ ඇති, වර්ණ ඇති, වයස ඇති, කෘශ – ස්ථුලතා ඇති, සියළු අඟපසඟින් එක සමාන වූ අන්‍ය පුරුෂයෙක් පැමිණෙන්නේ නම්, ඔහු ත් එම නැවට ම ගොඩවන්නේ නම්, කිම? මහරජාණෙනි, එකල්හී ඒ නැවට පුරුෂයන් දෙදෙනාම උසුලාගන්නට හැකිවන්නේ ද?”

“බැහැ ස්වාමීනී. එසේ වුවහොත් ඒ නැව සැලෙනු ඇත. කම්පා වෙනු ඇත. නැමෙනු ඇත. යටට නැමෙනු ඇත. උඩට නැගෙනු ඇත. විසිරෙනු ඇත. නැසෙනු ඇත. වැනසෙනු ඇත. යහපත් ලෙස පවත්වමින් යාගත නොහැකි වනු ඇත. ජලයෙහි ගිලෙනු ඇත.”

“මහරජාණෙනි, මෙය ද එබඳු දෙයකි. මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරා සිටිය හැක්කේ එක් බුදුවරයන් වහන්සේ නමක් පමණි. එක ම තථාගතයන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය පමණක් දරා සිටියි. ඉදින් එක්වර ම අන්‍ය වූ දෙවැනි බුදුවරයන් වහන්සේ නමකුත් උපදින සේක් නම් එය මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරාගත නොහැකි වනු ඇත. සැළී යනු ඇත. කම්පා වනු ඇත. යටට නැමෙනු ඇත. උඩට නැගෙනු ඇත. විසිරෙනු ඇත. නැසෙනු ඇත. වැනසෙනු ඇත. යහපත් අයුරින් පවත්වා ගත නොහැකි වනු ඇත්තේ ය.

තව ද මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් හැකි තාක් භෝජනය පිළිගනිමින්, උගුර දක්වා පිරී යන තෙක් අනුභව කරන්නේ ය. හේ එයින් සම්පූර්ණයෙන් ම තෘප්තියට පත් වෙයි. සෑහීමට පත් වෙයි. පරිපූර්ණ බවට පත්වෙයි. තවදුරටත් කුසෙහි ඉඩකඩ නැති බවට පත්වෙයි. එයින් ම වෙහෙසට ද පත්වෙයි. සුවසේ සිරුර හැරවිය නොහැකි ව දණ්ඩක් මෙන් වෙයි. ඒ පුරුෂයා යළිත් ඒ මොහොතේ ම එබඳු ම බොජුන් ප්‍රමාණයක් අනුභව කරන්නේ නම්, කිම? මහරජාණෙනි, ඒ පුරුෂයා සුවපත් වන්නේ ද?”

“නැහැ ස්වාමීනී. ඔහු ඒ මොහොතේ ම තව එක් වරක් අනුභව කළහොත් මරණයට පත්වෙනු ඇත.”

“එසෙයින් ම මහරජාණෙනි, මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරා සිටිය හැක්කේ එක් බුදුවරයන් වහන්සේ නමක් පමණි. එක ම තථාගතයන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය පමණක් දරා සිටියි. ඉදින් එක්වර ම අන්‍ය වූ දෙවැනි බුදුවරයන් වහන්සේ නමකුත් උපදින සේක් නම් එය මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරාගත නොහැකි වනු ඇත. සැළී යනු ඇත. කම්පා වනු ඇත. යටට නැමෙනු ඇත. උඩට නැගෙනු ඇත. විසිරෙනු ඇත. නැසෙනු ඇත. වැනසෙනු ඇත. යහපත් අයුරින් පවත්වා ගත නොහැකි වනු ඇත්තේ ය.”

“කිම? ස්වාමීනී, නාගසේනයන් වහන්ස, බුදුකෙනෙකු තුළ ඇති ගුණ ධර්මයන්හි අධිකත්වය හේතුවෙන් ද පෘථිවිය සැලෙන්නේ?”

“මහරජාණෙනි, මෙහි මාණික්‍ය රත්නයන්ගෙන් මුවවිට පුරවන ලද කරත්ත දෙකක් තිබේ යැයි සිතමු. ඉදින් එක් කරත්තයකින් සියළු මාණික්‍ය රත්නයන් ගෙන අනිත් කරත්තයෙහි පුරවන්නේ නම්, කිම? මහරජාණෙනි, කරත්ත දෙකකට උසුලාගත හැකි ඒ බර තනි කරත්තයකට උසුලාගත හැක්කේ ද?”

“නැහැ ස්වාමීනී. එසේ වුවහොත් රථ නාභිය හෝ පැලෙන්නේ ය. අර හෝ බිඳී යන්නේ ය. රථ රෝදය හෝ ගැලවෙන්නේ ය. කඩඇණය හෝ බිඳී යන්නේ ය.”

“කිම? මහරජාණෙනි, ඒ කරත්තය බිඳී යන්නේ අධික ලෙස පටවන ලද මාණික්‍ය රත්නයන්ගේ බර නිසා නොවේ ද?”

“එසේ ය, ස්වාමීනී. එසෙයින් ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේ නමකගේ ගුණධර්මයන්ගේ අධිකත්වය හේතුවෙන් මහපොළොව සැලෙයි. මහරජාණෙනි, මේ කාරණය අප විසින් පවසන ලද්දේ සම්මා සම්බුදුවරුන්ගේ ගුණධර්ම බලය පෙන්වා දීම පිණිස යි. යම් කරුණක් නිසා සම්මා සම්බුදුවරයන් වහන්සේලා දෙනමක් එක්වර නූපදින සේක් ද යන්න පිළිබඳ ව තවත් අන්‍ය වූ සුන්දරතර කාරණයක් ඇසුව මැනැව.

මහරජාණෙනි, සම්මාසම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකවර උපදින සේක් නම් උන්වහන්සේලාගේ ශ්‍රාවක පිරිස් අතර ‘අර ඔබගේ බුදුරජහු ය. මේ අපගේ බුදුරජහු ය’ වශයෙන් වාද විවාද හටගන්නේ ය. දෙපක්ෂයකට බෙදී යන්නාහු ය.

මහරජාණෙනි, බලසම්පන්න වූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පිරිස් අතර පවා ‘ඒ තොපගේ ඇමතිතුමා ය. මේ අපගේ ඇමතිතුමා ය’ වශයෙන් වාද විවාද හටගන්නේ ය. දෙපක්ෂයකට බෙදී යන්නාහු ය.

එසෙයින් ම මහරජාණෙනි, සම්මාසම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකවර උපදින සේක් නම් උන්වහන්සේලාගේ ශ්‍රාවක පිරිස් අතර ‘අර ඔබගේ බුදුරජහු ය. මේ අපගේ බුදුරජහු ය’ වශයෙන් වාද විවාද හටගන්නේ ය. දෙපක්ෂයකට බෙදී යන්නාහු ය. යම් කරුණක් නිසාවෙන් සම්මාසම්බුදුවරයන් වහන්සේලා දෙනමක් එක්වර නූපදින සේක් නම්, මෙය ද එක් කරුණකි.

මහරජාණෙනි, යම් කරුණක් නිසා සම්මා සම්බුදුවරයන් වහන්සේලා දෙනමක් එක්වර නූපදින සේක් ද යන්න පිළිබඳ ව තවත් අන්‍ය වූ සුන්දරතර කාරණයක් ඇසුව මැනැව.

ඉදින් මහරජාණෙනි, සම්මා සම්බුදුවරු දෙනමක් එක්වර උපදින සේක් නම්, ‘බුදුරජාණෝ අග්‍ර වන සේක’ යන බුද්ධ වචනයක් ඇද්ද, එය බොරුවක් වෙයි. ‘බුදුරජාණෝ ජ්‍යෙෂ්ඨ වන සේක’ යන බුද්ධ වචනයක් ඇද්ද, එය ත් බොරුවක් වෙයි. ‘බුදුරජාණෝ ශ්‍රේෂ්ඨ වන සේක’ යන බුද්ධ වචනයක් ඇද්ද, එය ත් බොරුවක් වෙයි.

මහරජාණෙනි, බුදුරජාණෝ විශිෂ්ට වන සේක. බුදුරජාණෝ උත්තම වන සේක. බුදුරජාණෝ පරම උත්තම වන සේක. බුදුරජාණෝ අසම වන සේක. බුදුරජාණෝ අසමසම වන සේක. බුදුරජාණෝ අප්ප්‍රතිම වන සේක. බුදුරජාණෝ අප්ප්‍රතිභාග වන සේක. බුදුරජාණෝ අප්ප්‍රතිපුද්ගල වන සේක යන යම් වචනයක් ඇද්ද, එය බොරුවක් වෙයි.

මහරජාණෙනි, යම් කරුණක් නිසා සම්මා සම්බුදුවරු දෙනමක් එක්වර නූපදින සේක් නම් මේ කාරණය ත් එහිලා අර්ථ වශයෙන් ගත මැනැව.

එසේ වුව ද මහරජාණෙනි, එක ම බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ලෝකයෙහි එක්වරකට පහළ වෙති යන මෙකරුණ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාගේ ස්වභාවික වූ ත්, ප්‍රකෘති වූ ත් ධර්මතාවකි. ඒ කවර කරුණක් නිසා ද යත්, සර්වඥ බුදුවරයන් වහන්සේලාගේ ගුණය අතිශයින් ම මහත් බැවිනි.

මහරජාණෙනි, ලෝකයෙහි අන්‍ය වූ සුවිශාල දෙයක් ඇත්නම්, එය ද ඇත්තේ එකක් වශයෙනි. මහරජාණෙනි, පෘථිවිය යනු ඉතා මහත් දෙයකි. එය ද එකකි. සාගරය යනු සුවිශාල දෙයකි. එය ද එකකි. සිනේරු පර්වතය යනු සුවිශාල දෙයකි. එය ද එකකි. ආකාශය යනු සුවිශාල දෙයකි. එය ද එකකි. සක් දෙවිඳු යනු සුවිශාල චරිතයකි. එය ද එකකි. මාරයා යනු සුවිශාල චරිතයකි. එය ද එකකි. මහා බ්‍රහ්මයා යනු සුවිශාල චරිතයකි. එය ද එකකි. තථාගත අරහත් සම්මා සම්බුදුරජුන් යනු අතිශයින් ම සුවිශාල වූ, සකල ගුණධර්ම රත්නයන්ගෙන් පිරිපුන් වූ අසිරිමත් චරිතයකි. එය ලෝකයෙහි එක ම එකකි. යම් තැනක ඒ සුවිශාල පෘථිවිය ආදිය හටගන්නේ ද, එහිලා එබඳු වූ තවත් දෙයක් හටගැනීමට එතැන අවකාශ නැත්තේ ය.

එහෙයින් මහරජාණෙනි, එකම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ලෝකයෙහි පහළ වන සේක.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ඉතා මැනැවින් පවසන ලද්දේ ය. සොඳුරු උපමාවන්ගෙන් මේ ප්‍රශ්නය විසඳන ලද්දේ ය. නුවණින් අදක්ෂ වූ කෙනෙකුන් පවා මෙම සොඳුරු ධර්ම විග්‍රහය අසා සතුටු වන්නේ ය. මා වැනි මහා නුවණැතියෙක් ගැන කවර කථා ද? යහපති, ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මම ඒ අයුරින් ම මෙකරුණ පිළිගනිමි.”

බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකට නූපදින බව ගැන පළමු වෙනි ප්‍රශ්නය යි.

(මිළිඳු රාජ ප්‍රශ්නය – පූජ්‍ය කිරිබත්​ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ)