නුවණ වැඩෙන බෝසත් කථා | Mahamegha Magazine

සෑහීමට පත් නොවූ තණ්හාව නිසා නැසී ගිය මිත්තවින්දකගේ කතාව (මිත්තවින්දක ජාතකය)
පින්වතුනේ, පින්වත් දරුවනේ,

අකීකරුකම නිසා අද පවා ගොඩාක් අයගේ ජීවිත වැනසී යනවා. මෙයත් එබඳු කතාවක්.

ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සැවැත්නුවර ජේතවනයේ. ඔය කාලේ එක්තරා තරුණයෙක් ජේතවනයට ඇවිත් ගෞතම බුදු සසුනේ උතුම් පැවිද්ද ලබා ගත්තා. ටික දවසක් ගියාට පස්සේ මේ භික්ෂුව තමන්ගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ වචනයට ඇහුම්කන් දුන්නේ නෑ. වැඩිහිටි භික්ෂූන් වහන්සේගේ වචනය ගණන් ගත්තේ නෑ. තමන්ට හිතුමනාපෙට ජීවත්වෙන්ට පටන් ගත්තා. අවවාද දෙන්ට කවුරුන් හෝ කතා කළොත් ඒ භික්ෂුවගේ ඇඟට කඩා පනිනවා.

එතකොට භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟට අකැමැත්තෙන්ම අරගෙන ගියා. භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුව අකීකරු දුර්වච කෙනෙක් ය කියා සැළකොට සිටියා. “හැබෑද භික්ෂුව… ඔබ කාගෙවත් වචන නොපිළිගන්නා දුර්වච කෙනෙක් ද?” කියා භාග්‍යවතුන් වහන්සේ අසා වදාළා. “එසේය ස්වාමීනී” කියා මොහු පිළිතුරු දුන්නා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. “භික්ෂුව… ඔබ කලින් ආත්මෙත් කාටවත් අවනත වුනේ නෑ. තමන්ගේ මතයේ ම ජීවත් වූ කෙනෙක්. නුවණැත්තන්ගේ වචනය නොඅසා කටයුතු කොට අන්තිමේදී උස්සද නිරයේ උරචක්‍ර මාලාව දමාගෙන මහා දුකකට පත්වුනා” කියා මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාළා.

“මහණෙනි, අතීතයේ තථාගත අරහත් කාශ්‍යප සම්බුදුරජුන්ගේ කාලයේ බරණැස්නුවර මිත්තවින්දක නමින් මහා ධනවත් සිටුපුත්‍රයෙක් සිටියා. මොහුගේ මව් – පිය දෙන්නා ම සෝවාන් ඵලයට පත් ආර්යශ්‍රාවකයෝ. නමුත් මොහු ශ්‍රද්ධාවක් නැති, සීලයක් නැති හිස් පුද්ගලයෙක්. දවසක් මොහුගේ මව් මොහුට කහවණු දහසක් දෙන පොරොන්දුවට වෙහෙරට ගොසින් බණ අසා එන්ට කීවා. මොහු උදේ ආහාර අනුභව කොට සවස් වන තුරු විහාරයේ දවස ගෙවා ගෙදර ගිහින් කහවණු දහස අරගෙන වෙළඳාමක් පටන් ගත්තා. ටික කලකින් කහවණු විසිදහසක් උපයා ගත්තා.

ඊට පස්සේ මොහු නැව් නැග වෙළඳාම් පිණිස විදේශ රටකට යන්ට සූදානම් වුනා. එකම පුතා නිසා සිටුපවුලේ සියලු ධනය මොහුට නිසා විදේශ ගමන් නොයන ලෙස මව් බලකර සිටියා. මවගේ වචනය නොපිළිගෙන යන්ට සූදානම් වෙද්දී “අනේ පුතේ යන්ට එපා” කියා මව් මේ පුද්ගලයාගේ අතින් ඇද්දා. එතකොට අත ගසා දමා තම මව්ට පහර දී පෙරලා දමා නැව් නැග පිටත්ව ගියා.

නැව මුහුද මැද නැවතුනා. මේ නැවේ කවුරුහරි පව්කාරයෙක් ඇති. ඒකාව සොයා ගන්ට ඕනෑ කියා නැව් කප්පිත්තා තුන්ඩු ඇද්දා. තුන් වතාවේ ම ඒ තුන්ඩුව ඇදුනේ මේ මිත්තවින්දකටයි. එතකොට නැව් කප්පිත්තා මොහුට පහුරක් දී මුහුදට බැස්සුවා. එසැණින් නැව පිටත්ව ගියා.

මොහු පහුරේ නැගී පා වෙවී යද්දී පළිඟු විමානයකට පැමිණියා. එහි විමාන ප්‍රේතියන් සතර දෙනෙක් සිටියා. ඒ ප්‍රේතියන් සතියක් සැප විඳිනවා. සතියක් දුක් විඳිනවා. මොහු ඔවුන්ගේ සැප විඳින සතියේ ඔවුන් සතර දෙනා සමඟම පවුල් කෑවා. දුක් විඳින සතිය ආවා. එතකොට මොහු පහුරේ නැග ආයෙමත් මුහුදේ පාවී ගියා.

ඊට පස්සේ මොහු රිදී විමානයකට ආවා. ඒ රිදී විමානේ ප්‍රේතියෝ අට දෙනෙක් සිටියා. මොහු ඔවුන් අටදෙනා සමඟම පවුල් කෑවා. එතනිනුත් සෑහීමකට පත් නොවී මොහු ඊළඟට මැණික් විමානයකට සේන්දු වුනා. ඒ මැණික් විමානේ ප්‍රේතියෝ දහසය දෙනෙක් උන්නා. මොහු ඒ දහසය දෙනාම සමඟ එකට ජීවත් වුනා. මොහුගේ ආශාව තව තවත් වැඩි වුනා.

ඊට පස්සේ මොහු රන් විමානයකට සේන්දු වුනා. ඒ රන් විමානේ ප්‍රේතියෝ තිස්දෙකක් ඉන්නවා. මොහු කාම උමතුවෙන් යුක්තව ඒ ප්‍රේතියෝ තිස් දෙන්නා එක්කම කාම සේවනය කළා. මොහුගේ ආශාව තවත් වැඩි වුනා. එතකොට මොහු එතැනින් නික්මිලා පහුරේ පාවී යද්දී ප්‍රාකාරයෙන් වට වී ඇති නගරයක් දැක්කා. ඒ උස්සද නිරයයි. මෙතැනත් මට ගොඩාක් ස්ත්‍රීන් ලැබේවි කියා ඉහවහා ගිය කාම උමතුවෙන් නගරයට ඇතුළු වුනා. මොහුට මේ නිරය පෙනුනේ නගරයක් වගේ.

‘හරි… මං මෙහේ රජකොම ගන්නවා’ කියා වටපිට බලද්දී එතකොට එක්තරා නිරිසතෙක් ඛුරචක්‍රයක් හිසේ වැටී මහත් දුකින් හඬ හඬා සිටියා. ඛුරචක්‍රය කියන්නේ දැලිපිහිය වගේ තියුණු වහා කැපෙන රවුම් වළල්ලක්. එය නිරිසතාගේ හිසේ තදට හිර වී තිබෙනවා. එය කර්ම විපාකය අවසන් වන තුරු ගැලවෙන්නේ නෑ. මේ නිරිසතා මරලතෝනි දෙන එක මිත්තවින්දකට ඇසුනේ මධුර වූ ගී රාවයක් ලෙසයි. මොහු දෙස බලද්දී පෙනුනේ නෙලුම් මල් මාලාවක් හිස මත පැළඳ සිටින බවයි.

එතකොට මොහු එතැනට ගියා. “ෂා! හරි අගෙයි නොවැ. මටත් ඔවැනි මාලයක් ගන්ට බැරිද!”

“මොනවා… අයියෝ මේක ඛුරචක්‍රයක්!”

“හනේ… බොරු නොකියා ඉන්ට. ඔහේ මොකෝ ඉරිසියා ද මෙවැනි ලස්සන මාලයක් මං හිස පැළඳ ඉන්නවාට?”

එතකොට නිරිසතාට මෙහෙම සිතුනා. ‘හෝ මගේ කර්ම විපාකය ඉවරයි වගේ. මොහුත් මං වගේ මව්ට පහර දීපු කෙනෙක් වෙන්ටැ. ඔව්… අනේ මං ඉක්මනින් ම දෙන්ට ඕනෑ” කියා හිස මත තිබූ ඛුරචක්‍රය අල්ලපු ගමන් ගැලවුනා.

“හා… හා… එන්න… එන්න… මේක එහෙනම් ඔයා ගන්ට” කියා මිත්තවින්දකට දෙන්ට සූදානම් වුනා. එතකොට මිත්තවින්දක හිනැහි හිනැහි හිස පාත් කළා. හිස මත තිබ්බා විතරයි “අයියෝ මේක මට එපා… අයියෝ… මේක අරගනින්” කියා කෑ ගැසුවා. කර්මවිපාකය අවසන් වූ ඒ නිරිසතා එතැනින් නොපෙනී ගියා.

එදා මහාබෝධිසත්වයෝ දේවපුත්‍රයෙක් ව ඉපදිලා කර්මානුරූපව සත්වයන් දුක් විඳින ආකාරය දකින්ට උස්සද නිරයේ නිරිසතුන් දකින්ට ගොස් සිටියා. දිව්‍ය පුත්‍රයාව දැකගත් මිත්තවින්දක හඬ හඬා මේ ගාථාව පැවසුවා.

(1)

අනේ දෙවියනේ මං ඔබතුමන් හට

– මොන වරදක් කළා ද මේ දුක දෙන්ට

මා අතින් කවර පාපය උනාට ද

– මෙලෙසින් මහා දුක් විඳ විඳ වැලපෙන්ට

අයියෝ තියුනු දැලිපිහි ඇති වළල්ල

– නොනැවතී ම මයෙ හිස මත කැරකෙනවා

ඉවසා ඉන්ට බෑ මගෙ හිස පුපුරනවා

– අවසානයක් නැති මේ දුක විඳවනවා

මිත්තවින්දකගේ මේ ගාථාව ඇසූ බෝධිසත්වයෝ මේ ගාථාවෙන් පිළිතුරු දුන්නා.

(2)

ඇයි තොප පළිඟු විමනක රිදී විමනක

– මැණික් විමනක රන් විමානෙක

විනෝද වුනා නේ කම්සුවය විඳ විඳ

– ඒවා අතැර ඇයි මේ නිරයට ආවේ

බෝධිසත්වයන්ගේ ගාථාව ඇසූ මිත්තවින්දක මේ ගාථාවෙන් පිළිතුරු දුන්නා.

(3)

අනේ දෙවියනේ මං විඳි සැපට වඩා

– විඳින්ට වැඩි සැපය මෙහි තියේවී කියලා

කාම උමතුවෙන් මගෙ සිත අන්ධ වෙලා

– ආවා නොවැ මෙහෙට මං සිත මුලාවෙලා

මා දෙස බලනු මැන විඳිනා හැටි මෙදුක

– වැඩි සැප සොයන්නට ඇවිදින් විඳින දුක

එතකොට බෝධිසත්වයෝ මේ ගාථාවලින් පිළිතුරු දුන්නා.

(4)

ගෑණු සිව් දෙනෙක් ලැබී සෑහීමට පත් නොවී –

දෙවනුව අට දෙනෙක් ලැබී සෑහීමට පත් නොවී

තෙවනුව දහසයක් ලැබී සෑහීමට පත් නොවී –

සිව්වෙනුව තිස් දෙකක් ලැබී සෑහීමට පත් නොවී

තව වැඩිපුර සැප සොයා –

දමාගත්ත නේද හිසේ ඛුරචක්‍රය

තණ්හාවෙන් වැනසුන පුරුෂයාගෙ හිස මත –

දැන් දැළිපිහි වළල්ල කැරකේ

(5)

මිත්තවින්දකය එහෙනම් අසාගන්ට මෙය –

තණ්හාවේ සීමාවක් සොයාගන්ට බෑ

එය තව තව පුළුල්ව පැතිරෙනවා –

මහ සයුර වගේ කිසිදා පුරවන්නට බෑ

දකින, අසන, සිඹිනා, රස විඳින –

පහස ලබන හැම තැන තණ්හා පැතිරෙනවා

එයට ම ගිජු වී දිගට ම යන්ට ගියොත් –

ඔහුගේ හිස මතට ඛුරචක්‍රය වැටෙනවා

බෝධිසත්වයෝ මිත්තවින්දක සමඟ කතා කරමින් සිටියදී ඒ චක්‍රය ඔහුගේ හිසමත කැරකි කැරකී පහළට බැස්සා. එතකොට ඔහුට කතා කරන්ට බැරිව ගියා. බෝධිසත්වයෝ තමන් සිටි දෙව්ලොව ගියා.

මහණෙනි, එදා මිත්තවින්දක වෙලා මහා දුක් වින්දේ මේ දුර්වච භික්ෂුව. දිව්‍ය පුත්‍රයාව සිටියේ මම යි” කියා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය නිමවා වදාළා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

වේළුක ජාතකය
වේළුක නැමැති විෂඝෝර සර්පයාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

අකීකරුකම කියන්නේ කෙනෙකුගේ ජීවිතයක ඇති ඉතා ම අවාසනාවන්ත දෙයක්. මොනතරම් යහපත් අවවාදයක් කළත් ඒ තැනැත්තා එයට ඇහුම්කම් දෙන්නේ නෑ. තමන් හිතන දේ විතරක් ම කරනවා. එබඳු අකීකරු කෙනෙකු ගැනයි මේ කථාවෙන් කියවෙන්නේ.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ. ජේතවනයේ ම එක්තරා භික්ෂුවක් හිටියා. ඉතාමත් අකීකරුයි. ඔහුට හිතෙන දේ ම යි කරන්නේ. කිසිම වැඩිහිටි භික්ෂුවකගේ යහපත් අවවාදයකට සවන් දෙන්නේ නෑ. භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගිහින් මොහුගේ අකීකරුකම ගැන සැල කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ ගැන විමසා වදාළා.

“හැබෑ ද භික්ෂුව? ඔබ කිසිම අවවාදයක් ගණන් ගන්නේ නැද්ද?”

“එහෙමයි ස්වාමීනී”

“ඔබ භික්ෂුව, පෙර ආත්මයේත් ඔය දුර්වලකමෙන් යුක්තව සිටියා. ඒ නිසා නුවණැත්තන්ගේ වචනයට ඇහුම්කම් නොදීම හේතුවෙන් භයානක සර්පයෙකුගේ දෂ්ට කිරීමකින් මැරෙන්ට සිද්ධ වුණා.”

එතකොට භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුවගේ අතීත ජීවිතය ගැන කථාව කියාදෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ඉස්සර කාලෙක බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. මහා බෝධිසත්වයෝ කසී රටේ ම මහා ධනවත් පවුලක උපන්නා. වියපත් වුණාට පස්සේ කාමයන්ගේ දොස් පෙනෙන්ට පටන් ගත්තා. මේ නිසා ගිහි ගෙදර අත්හැරියා. හිමාලයට ගිහින් ඍෂිවරයෙක් වුණා. ධ්‍යාන අභිඥා උපදවා ගත්තා. කලක් ගතවෙද්දි මේ බෝසත් ඍෂිවරයා ළඟ පන්සියයක් පමණ තවුස් පිරිසක් ඇති වුණා.

දවසක් එක්තරා විෂඝෝර සර්පයෙක් බඩගාගෙන යද්දී එක් තාපසයෙකුගේ කුටියට ආවා. තාපසයා සිතුවේ මේ ආවේ තමන්ගේ සංසාරගත පුත්‍රයෙක් කියලයි. ඌව උණපුරුකක දමා ගත්තා. ඌව ඇතිදැඩි කළා. ඒ සර්පයාත් උණපුරුකේ ම නිදන්ට පුරුදු වුණා. ඒ නිසා අනිත් තවුසන් ඒ සර්පයාට ‘වේළුක’ කියා නමක් දැම්මා. පුත්‍ර ස්නේහයෙන් මේ සතාව ඇති කරන නිසා ‘වේළුක පියා’ කියලා තාපසයාට නම වැටුනා. එතකොට බෝසත් තාපසයාට එක් තවුසෙක් භයානක සර්පයෙකු උණ පුරුකක දමාගෙන ඇතිකරනවා කියා දැනගන්ට ලැබුණා. ඔහුව කැඳවා ඒ ගැන විමසුවා.

“හැබෑ ද තාපසය…? ඔබ භයානක සර්පයෙකු උණ පුරුකක දමාගෙන ඇති කරනවා කියන්නේ…?”

“එසේ ය ආචාර්යපාදයෙනි…”

“තාපසය… ඔය සර්පයන් ව කවදාවත් විශ්වාසෙට ගන්ට එපා! මහා විපතක් වෙන්ට පුළුවනි. එනිසා වහාම ඒ සතාට කැලේට යන්ට අරින්ට…”

“අනේ… ආචාර්යතුමනි… මට ඒක කොහෙත්ම කරන්ට අමාරුයි. ඒ මගේ පුත්‍රයෙක්… එයා නැතිව මං කොහොම ඉන්ට ද…?”

“තාපසය… ඔය සර්පයා නිසා ඔබට නිකරුණේ මැරෙන්ට සිද්ධ වෙයි. නුවණින් කල්පනා කර කටයුතු කරන්ට…” කියලා අවවාද කළා. නමුත් ඒ තවුසා තම ගුරුදේව තවුසාගේ අවවාදය ගණන් ගත්තේ නෑ. සර්පයා ව දිගට ම පෝෂණය කළා.

කීප දිනකට පස්සේ සියලු තාපසවරු පලා ගෙඩි ආදිය නෙළන්ට ඈත ප්‍රදේශයට පිටත් වුණා. වේළුක පියාත් තම සර්පයා ව උණපුරුකේ නිදි කරවා පැත්තකින් තැන්පත් කර අර තාපසයින් සමඟ පිටත් වුණා. ඒ ප්‍රදේශයේ බොහෝ පලා ඵල තිබූ නිසා එහි දවස් දෙක තුනක් නැවතුනා. වේළුක පියාත් වේළුකයාට කෑම ටිකක් දෙන්ට ඕනෑ කියලා “එන්ට මාගේ පුත්‍රය… දැන් දවස් දෙක තුනකින් කෑමක් දෙන්ට බැරි වුණා නොවැ… කෝ එන්ට….” කියලා උණ පුරුකට අත දැම්මා. නිරාහාරව කෝපයෙන් සිටිය සර්පයා ඒ තාපසයාට දෂ්ට කළා. උණ පුරුකෙන් බැහැලා කැලේට ගියා. තවුසා එතැන ම මළා. බෝසත් තවුසා ඔහුගේ අවසන් කටයුතු කරවා තවුස් සමූහයා රැස් කොට මේ ගාථාව කිව්වා.

“යමෙක් යහපත පතා කෙනෙකුට

කරයි නම් අවවාද දයාවෙන්

නමුත් එය ඔහු නොම අසයි නම්

වේළුකයාගේ පියා ලෙසින්

ඔහු එයින් වැනසෙන්නේ”

කියලා අනිත් තවුසන්ට සිහිය ඉපැද්දෙව්වා. බෝසත් තවුසා මරණින් මතු බඹලොව උපන්නා.

භික්ෂුව, දැනුත් ඔබ ඒ පැරණි අකීකරුකම පවත්වනවා. පෙර ආත්මයේත් සර්පයෙකුගේ ප්‍රහාරයෙන් මියයන්ට වුණෙත් අකීකරුකම නිසයි. දැන්වත් ඒ දුර්වලකමෙන් නිදහස්වෙන්ට කියා අවවාද කළා. මහණෙනි, එතන සිටිය තාපස පිරිසs බුදු පිරිසයි. වේළුක පියා වෙලා හිටියේ මේ අකීකරු භික්ෂුවයි. ආචාර්ය ඉසිවරයා මමයි.” කියා ජාතක දේශනය වදාළා.

32. කපෝතක ජාතකය
බෝසත් පරෙවියාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල් බව හේතුවෙන් මෙවැනි බොහෝ කරදරවලට බඳුන් වෙනවා. මෙයත් එබඳු කථාවක්.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටින කාලයේ ආහාරයට අධික ලොල් බවින් යුතු භික්ෂුවක් සිටියා. මොහුගේ මේ අසාමාන්‍ය වූ ගිජුකම කැපී පෙනුනා. එතකොට භික්ෂූන් වහන්සේලා මොහුව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. මේ භික්ෂුව ආහාරයට දක්වන දැඩි ගිජුකම ගැන සැල කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ බව ඇසුවා.

“හැබෑ ද භික්ෂුව ඔබ ඔය කියන තරම් ම ආහාරයට ගිජු ද…? භික්ෂුව… ඔබ පෙර ආත්මෙකත් ඔහොම තමයි. ආහාරයට අධික ගිජුකම නිසා මරණයට පත්වෙන්ට සිදු වුණා…. නුවණැත්තා නිසා තමන්ට ඉන්ට ලැබුණු තැනත් නැති වුණා.”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවගේ අතීත කථාව අසන්ට කැමති වුණා. එය කියාදෙන මෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නම් නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයන් පරෙවි යෝනියේ උපන්නා. ඒ දවස්වල බරණැස් නුවර මිනිස්සු පින් සලකාගෙන තැන් තැන්වල දහයියා පුරවපු කූඩු හදලා කුරුල්ලන් උදෙසා එල්ලුවා. බරණැස් සිටුවරයාගේ අරක්කැමියාත් තමන්ගේ කුස්සියේ දහයියා දමාපු කූඩුවක් එල්ලලා තිබ්බා. බෝසත් පරෙවියා එතැනයි වාසය කළේ. පරෙවියා උදෙන් ම ගොදුරු සොයාගන්ට පිටත් වෙනවා. සවස් වෙද්දී කූඩුවට එනවා.

එක දවසක් කපුටෙක් ඔය කුස්සිය ළඟින් ඉගිල යද්දී පිසින ලද මස් මාංශවල සුවඳ දැනුනා. ඒ ගැන දැඩි ආශාවක් හටගත්තා. ළඟ ම අත්තක වැසුවා.

“ම්… හොඳ මනාප සුවඳක් නොවැ… මාත් මොකා…ක් හරි උපායකින් මස් මාංශ කන්ට ඕනෑ…” කියලා හිතමින් ඉන්නකොට ඒ සවස් යාමේ බෝසත් පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යනවා දැක්කා. පහුවදා පරෙවියා ගොදුරු පිණිස කුස්සියෙන් පිටතට පියඹා ගියා. එතකොට කපුටත් පරෙවියා පස්සෙන් පියාඹන්ට පටන් ගත්තා.

“හා… හා… කපුටෝ… මේ මොකෝ…? මොකෝ… මගේ පස්සෙන් එන්නේ….”

“අනේ.. ස්වාමී… නුඹවහන්සේගේ ක්‍රියාකලාපය ගැන මං ගොඩාක් පැහැදුනා. මං කැමතියි තමුන්නාන්සේට උවටැන් කරන්ට.”

“මිත්‍රය… ඔබ ගොදුරට ගන්නේ වෙන දේවල්… මං ගොදුරට ගන්නේ වෙන දේවල්… ඒ නිසා ඔය උපස්ථාන හරියන්නේ නෑ…”

“අනේ ස්වාමී…. නුඹ වහන්සේ ගොදුරු සොයා යද්දී මාත් මගේ ගොදුරු සොයාගෙන යන්නම්. ඊට පස්සේ නුඹ වහන්සේ සමඟ ම යන්නම්.”

“හොඳයි… එහෙනම් අප්‍රමාදී ව කටයුතු කරන්ට” කියලා පරෙවියා ගොදුරු සොයාගෙන ගිහින් බීජ වර්ග අනුභව කළා. කපුටා වෙනම ගිහින් ලොකු ගොම පිඬක් ඩැගැගත්තා. එහි පිරී සිටිය පණුවන් කා කුස පුරවා ගත්තා. කපුටා බෝසත් පරෙවියා ළඟට ඇවිත් අවවාද කරන්ට පටන් ගත්තා.

“ස්වාමී…. ආහාර හොයන්ට ගොහින් සෑහෙන වෙලාවක් ගියා නොවැ…. ඔහොම ගොඩාක් කන එක තමුන්නාන්සේට හොඳ නෑ…” කියලා පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යද්දී කපුටත් ඒ පස්සෙන් ම ගියා. අරක්කැමියා මේක දැක්කා.

“හා… හා…. අපේ පරෙවියාට යාළුවෙක් ලැබිලා වගෙයි” කියලා කපුටා වෙනුවෙනුත් කූඩුවක් එල්ලුවා. එදා පටන් දෙන්නාම කුස්සියේ වාසය කළා.

දවසක් සිටුතුමාට බොහෝ මස් මාංශ ලැබුණා. එදා අරක්කැමියා කුස්සියේ තැන් තැන්වල ඒවා එල්ලුවා. කපුටාට මස් දැකලා ඉවසුම් නෑ.

“හප්පේ! මං නම් වෙන කෑම හොයන්ට යන්නේ නෑ… මෙතන ම ගැවසිලා මස් ටිකක් කන්ට ඕනෑ” කියලා රෑ තිස්සේ වැතිරිලා සිටියා. උදේ පරෙවියා කපුටාට කතා කළා.

“මිත්‍ර කපුටෝ… හා… යමු යමු…”

“අනේ ස්වාමී…. තමුන්නාන්සේ යන්ට… මට බඬේ රුජාවක්….”

“බඬේ රුජාවක්…? හනේ…. මේ…. කපුටන්ට කොයින් ද බඬේ රුජා….? රෑ තුන් යාමේ එක් යාමෙක බඩගින්නට සිහි නැතිවෙනවා නොවැ…! ගිතෙල් පහන් වැටියක් ගිලපු දවසකටයි ටිකා…ක් සැනසීමක් තියෙන්නේ… නුඹ මේ ඉන්නේ මස් කන්ට ආසාවෙන් වෙන්ට ඕනෑ… යමු යමු… මිනිසුන්ගේ කෑම නුඹට හිතන්ටත් බැරි දෙයක්…. ඔහොම හිතන්ට නම් එපා…. හරි යමු…. මාත් එක්ක ගිහින් වෙනද වගේ මොනව හරි කන්ට බැරියැ…”

“අනේ ස්වාමී…. මට නම් අද යන්ට බැරියෝ….” කියල කපුටා වැතිරුනා.

“හා… ඒකට කමක් නෑ… නුඹ මේ කෑමවලට විතරක් ලෝභකම් කරන්නට එපා…” කියලා පරෙවියා ගොදුරු පිණිස පියඹා ගියා. අරක්කැමියා නොයෙක් මස් මාංශ වර්ග පිළියෙල කළා. භාජනවල රස්නෙ අඩුවෙන්න වැසුම් ඇරලා තිබ්බා. කුස්සියෙන් එළියට ඇවිත් දහඩිය පිසිමින් හිටියා.

කපුටා කූඩුවේ සිට හෙමිහිට ඔළුව උස්සා බැලුවා. කවුරුත් පේන්ට නෑ. ‘හා…! දැන් මගේ ප්‍රාර්ථනා ඉටු කර ගන්ට කාලයයි…! එතකොට මං කන්නේ පොඩි මස් කෑල්ල ද? ලොකු මස් කෑල්ල ද?

නෑ… පොඩි එකකින් බඩ පිරෙන්නේ නෑ… ලොකු මස් කුට්ටියක් ම කන්ට ඕනෑ…’ කියලා කූඩුවෙන් පහළට ආවා. මස් බඳුනේ වැහැව්වා. මස් බඳුන පෙරළුනා. අරක්කැමියා දුවගෙන ආවා.

“හප්පේ…! මේ කාක්කා අපේ සිටුතුමාට හදපු මස් ටික ගිලින්ට ඇවිත්… මං ජීවත් වෙන්නේ සිටුතුමා නිසා මිස තෝ නිසා නෙවෙයි” කියලා දොර වහලා කාක්කා ව අල්ලා ගත්තා. තටු ගැලෙව්වා.

එතැන තිබුණු අඹරපු ඉඟුරු, ලුණු, ගොරකා ඇඟේ ඉලුවා. කාක් කූඩුවට දැම්මා. කපුටා වේදනාවෙන් ගැහි ගැහී වැතිරිලා හිටියා.

බෝසත් පරෙවියා හවස ඇවිත් දුකට පත් කපුටා ව දැක්කා. “අහෝ…. මිත්‍ර… මගේ වචනය ඇසුවේ නෑ… මහා දුකකට පත් වුණා නේ ද?” කියා මේ ගාථාව කිව්වා.

“යමෙක් යහපත පතා කෙනෙකුට

කරයි නම් අවවාද දයාවෙන්

නමුත් එය ඔහු නොම අසයි නම්

පරෙවියාගේ වචන නොම ඇසූ

සතුරන් අතට පත් කපුටා වගේ

දුකින් වැතිරෙන්නේ”

කියලා “දැන් ඉතින් මෙතන වාසය කිරීම සුදුසු නෑ” කියා වෙනත් ප්‍රදේශයකට පියඹා ගියා. කපුටා එතනම මරණයට පත් වුණා. අරක්කැමියා කපුටු මළකඳ කුණු ගොඩට වීසි කළා.

භික්ෂුව, දැක්කා නේ ද ආහාරයට ලොල් වීම නිසා ඒ ආත්මයේ ඔබ මහා දුකකට පත් වුණා. මේ ආත්මෙටත් ඒ පුරුද්ද ගෙනවා. දැන්වත් මේ දුක් උපදවන ලෝභකමින් නිදහස් වෙන්ට.” කියලා චතුරාර්ය සත්‍යය දේශනා කොට වදාළා. ඒ දේශනාව අවසානයේ ඒ භික්ෂුව අනාගාමී ඵලයට පත් වුණා. “එදා මහණෙනි, කපුටා වෙලා උපන්නේ මේ භික්ෂුව. පරෙවියා ව සිටියේ මමයි” කියා මේ ජාතකය වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

31. තේලපත්ත ජාතකය
තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා අසාර්ථක වෙනවා.

එක්තරා කාලයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි සේතක නම් නියම්ගම ඇසුරු කොට වනාන්තරයක වැඩ වාසය කළා. එහි දී භාග්‍යවතුන් වහන්සේ කායානුපස්සනා භාවනාවෙන් භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතු ආකාරය මෙසේ වදාළා.

“මහණෙනි, ජනපද කල්‍යාණිය කියන්නේ ඉතාමත් ම රූප සම්පත්තියෙන් යුතු තැනැත්තියක්. ඈ නටන්ටත් ඉතාම දක්ෂයි. ගී ගයන්ටත් ඒ වගේ ම හපනියක්. නගරය මැද ඇගේ නැටුම් සංදර්ශනයක් තිබුනා. ඈ ගී ගයමින් නටනවා බලන්ට මහජනයා පොරකකා රැස් වුණා.

ඔය අතරේ රජ කෙනෙක් බන්ධනාගාරයෙන් පුරුෂයෙකුව එළියට කැඳෙව්වා. ඔහු අතට කට මට්ටමට පුරවාපු තෙල් පාත්‍රයක් දුන්නා. මෙහෙම කිව්වා. ‘එම්බල පුරුෂය, ඔය තෙල් පාත්‍රය හොඳට දෑතින් අල්ලා ගනින්. තෝ දැන් ජනපද කල්‍යාණි ගී ගයමින් නැටුම් දක්වන සංදර්ශන භූමියේ ඈ ඉදිරියෙන් සෙනඟ මැදින් යන්ට ඕනෑ. තෝ පිටුපසින් කඩුවක් ඔසොවා ගත් පුරුෂයෙක් එනවා. හැබැයි තෝ පාත්තරෙන් එක තෙල් බිංදුවක් හරි බිම වැට්ටුවොත් එතැන දී ම තොගේ හිස ගසා දමනවා.’

එතකොට මහණෙනි, ජීවත් වීමට ආසා කරන, මැරෙන්ට අකැමැති ඒ පුරුෂයා මොහොතකටවත් අසිහියෙන් ජනපද කල්‍යාණි දිහා බලන්නේ නැතුව ඉතාම කල්පනාකාරීව එතැනින් යනවා.

මහණෙනි, තෙල් පාත්‍රය කියන්නේ කායානුපස්සනා භාවනාවට යි. රජ්ජුරුවෝ කියන්නේ තමන්ගේ කර්මයට යි. කඩුව ඔසොවා ගත් පුරුෂයා කියන්නේ මාරයාට යි. ජනපද කල්‍යාණිය කියන්නේ පංච කාමයට යි. ඒ නිසා මහණෙනි, තෙල් පාත්‍රය අතට ගත් පුරුෂයා වගේ මනා සිහියෙන් යුක්තව කායානුපස්සනාවෙන් අප්‍රමාදීව ඉන්ට ඕනෑ.” එතකොට භික්ෂූන් වහන්සේලා මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ජනපද කල්‍යාණිය දෙස නොබලා ඒ පුරුෂයා තෙල් පාත්‍රය රැගෙන යාමෙන් කරන්නේ ඉතාම දුෂ්කර දෙයක්.”

“නෑ මහණෙනි, ඒක දුෂ්කර දෙයක් නොවේ. ඒක පහසු දෙයක්. මොකද කඩුවක් ඔසොවා ගත් පුරුෂයෙක් තමා පසු පසින් එනබව ඔහු දන්නා නිසා, ඒ තර්ජනය නිසා ඔහු වඩාත් සැලකිලිමත් වෙනවා. නමුත් මහණෙනි, ඉස්සර නුවණැත්තෝ තමන් ම අප්‍රමාදීව සිහි නුවණ උපදවා ගෙන ඉන්ද්‍රිය බිඳගෙන දිව්‍යරූප වැනි ස්ත්‍රී රූපය දෙසවත් නොබලා ගිහින් රාජ්‍ය ලබාගත්තා. ආන්න ඒක නම් දුෂ්කරයි.”

එතකොට භික්ෂූන් වහන්සේලා අතීතයේ වූ ඒ සිදුවීම කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“මහණෙනි, ඈත අතීත කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ බරණැස් රජ්ජුරුවන්ට පුත්‍රයන් සියයක් සිටියා. බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ බාල පුත්‍රයා වෙලා ඉපදිලා සිටියා. ඒ දවස්වල රජගෙදර පසේබුදුවරු වැඩලා දන් වළඳනවා.

දවසක් බෝසත් කුමාරයා මෙහෙම සිතුවා. මට බොහෝ සහෝදරයන් ඉන්නවා නොවැ. ඒ නිසා මේ නගරයේ කුලසන්තක රාජ්‍යය මට ලැබෙන එකක් නෑ. කෝකටත් පසේබුදුවරයන් වහන්සේලාගෙන් මේ කාරණය අසන්ට ඕනෑ. උන්වහන්සේලා අනාගතය ගැන දන්නවා නොවැ.”

දෙවෙනි දවසේ පසේබුදුවරයන් වහන්සේලා වැඩිය වේලාවේ කුමාරයා බඳුනට පැන් පෙරා ගෙන ඇවිත් උන්වහන්සේලාගේ පා දෝවනය කළා. උන්වහන්සේලා හීලට කැවිලි වළඳලා වැඩ හිටියාට පස්සේ කුමාරයා එකත්පස්ව වාඩිවෙලා තමන්ගේ අදහස ඉදිරිපත් කළා. උන්වහන්සේලා මෙහෙම වදාළා.

“කුමාරය, ඔබ මේ නගරයේ රාජ්‍යය ලබන්නේ නෑ. නමුත් මෙයින් එක්සිය විසියොදුනක් දුර ගන්ධාර රටේ තක්ෂිලා නම් නගරයක් තියෙනවා. අන්න ඒ රටට යා ගත්තොත් අදින් සත්වෙනි දවසේ ඔබට එහි රජකම ලැබෙනවා. හැබැයි කුමාරය ගමන දුෂ්කරයි. මහාවත්තනිය නැමැති වනාන්තරේ මැදින් ඇති දුෂ්කර පාරේ ගියොත් ඒ මාර්ගයේ යොදුන් සියයක් යන්ට තියෙනවා. යොදුන් පනහක දුරින් යන්ට පුළුවන් කෙළින් පාරක් තියෙනවා. අමනුෂ්‍ය කාන්තාරයක් මැදින් ඒ ගමන යන්ට තියෙන්නේ. ඒ ගමනේ අතරමග යකින්නියෝ රැකලා ඉන්නවා. ඔවුන් නොයෙක් වෙස් ගන්නවා. ලස්සන ගෙවල් මවනවා. සුවපහසු යහන් මවනවා. දිව්‍යාංගනාවෝ වගේ ලස්සන රූප මවාගෙන පාරේ යන පුරුෂයන්ට මධුර වචනයෙන් අමතනවා. “හානේ…. හරී දුකයි ඔයාලා දකිද්දී. ඔයාලට ගොඩාක් වෙහෙසයි වගේ. මෙහෙ ඇවිත් ටිකාක් ගිමන් හැරලා සිහිල් පැන් වළඳා සුවසේ යන්ට පුළුවනි නොවැ” කියලා මුළාවට පත් කරවනවා. ඔවුන්ට මුළාවන පුරුෂයන් ව වසඟ කරගෙන මරාගෙන කනවා. රූපයට ආසා අයව රූපයෙන් රවටා ගන්නවා. හඬට ආසා අයව මිහිරි ශබ්දයෙන් රවටා ගන්නවා. සුවඳට ආසා උදවියව මිහිරි සුවඳින් රවටා ගන්නවා. රසයට ආසා උදවියව ප්‍රණීත බොජුනින් රවටා ගන්නවා. පහසට ආසා උදවිය මුදුමොළොක් පහසින් රවටා ගන්නවා. ඉන්ද්‍රියයන් නොබිඳගෙන, යකින්නියන්ගේ මායාවලට හසු නොවී, ඔවුන් දෙස නොබලා, මනා සිහි නුවණින් ගමන ගියොත් මෙයින් සත්වෙනි දවසේ රජ වෙනවා ම යි.

එතකොට බෝසත් කුමාරයා මෙහෙම කිව්වා. “වේවා ස්වාමීනී, ඔබවහන්සේලාගේ අවවාද ගත් මං මොකට ද යකින්නියන් දෙස බලන්නේ?” කියලා පසේ බුදුවරයන් වහන්සේලා ලවා වැලිත්, ජලයත්, නූලුත් පිරිත් කරවාගෙන, උන්වහන්සේලාට වන්දනා කොට, දෙමාපියන්ටත් වන්දනා කොට, තමන්ගේ සේවක පුරුෂයන් ඇමතුවා. “මං තක්ෂිලාවේ රජකම ගන්ට යනවා. ඔබලා මෙහෙම ඉන්ට.” එතකොට පස් දෙනෙක් කුමාරයා සමඟ යන්ට පිටත් වුණා. “බෑ…. බෑ…. නුඹලාට මේ ගමන යන්ට අමාරුයි. නානාප්‍රකාර වෙස් අරගෙන මිනිසුන් මුළා කරවා අනුභව කරන යකින්නියන් මං යන පාරේ ඉන්නවා. මං නම් තමාව රැකගෙන යනවා.”

“අනේ නෑ දේවයනි, අපටත් පුළුවනි ස්ත්‍රී මායම්වලට මුළා නොවී ඉන්ට. ඒකුන්ගේ පැත්තවත් අපි බලන්නේ නෑ. අපිත් ඔබවහන්සේ වගේ ම ඒ ගමන එන්ට කැමැතියි.” “හොඳා…. එහෙනම් හොඳ කල්පනාවෙන් ගමනට එන්ට ඕනෑ” කියලා ඒ පස්දෙනාත් සමඟ තක්ෂිලා බලා පිටත් වුණා.

බෝසත් කුමාරයා පස්දෙනාත් සමඟ අමනුෂ්‍ය අධිගෘහිත ප්‍රදේශ මැදින් යන්ට පටන් ගත්තා. යකින්නියෝ අලංකාර නිවාස මවාගෙන මග බලමින් වාඩිවෙලා සිටියා. ඔවුන්ගේ මනමෝහනීය රූප ශෝභාව දුටු එක්කෙනෙකුගේ සිත තදින් ම ඒ කෙරෙහි ඇදී ගියා. එතකොට ඔහු එතැන නැවතුනා.

“මොකද මිත්‍රය නැවතුනේ…. හා…. යමු. මෙතැන නවතින එක හොඳ දෙයක් නොවේ.”

“අනේ දේවයිනි, මගේ පා රිදෙනවා. ඔයාලා යන්ට. මං මෙතැන ටිකාක් ගිමන් හැරලා එන්නම්”

“මේ…. මතක නැද්ද මං කියපු දේ…. ඔය ඉන්නේ මනුෂ්‍ය ස්ත්‍රීන් නොවේ. යකින්නියෝ. ඕකුන්ට අහු වෙන්ට එපා.”

“අනේ දේවයිනි, එහෙම එකක් නොවේ. මට දැන් කොහේවත් යන්ට පුළුවන් කමක් නෑ. මං ටිකාක් විවේක ගන්ට ම ඕනෑ.”

“එහෙනම් මට කරන්ට දෙයක් නෑ. තමන්ට තේරේවි.” කියල බෝධිසත්වයෝ අනික් සතර දෙනා සමඟ පිටත් වුණා. මිනිස් වෙස් ගත් යකින්නිට රැවටුනු ඒ පුරුෂයා ඔවුන්ට ගොදුරු වෙලා විනාශයට පත් වුණා.

පිරිස තව ටික දුරක් යද්දී යකින්නියෝ කලින් ම ගිහින් ශාලාවක් මවාගෙන ඉතාමත් කර්ණ රසායන කන්කළු ගී නදින් ගායනා කරමින් සිටියා. සින්දුවක් අහලම යන්ට ඕනෑ කියා එතැනත් එක්කෙනෙක් නැවතුනා. යකින්නියෝ ඔහුවත් අනුභව කළා. ඉතිරි තුන්දෙනාත් සමඟ බෝසත් කුමාරයා තව ටික දුරක් යද්දී යකින්නියන් ගිහින් සුවඳ කරඬුවල සුවඳ වර්ග පුරවා ගත් වෙළඳ සැලක් මැව්වා. ඔවුන්ට සුවඳ වර්ග ගන්ට කතා කළා. බෝසත් කුමාරයා එපා කියද්දී සුවඳ වෙළඳ සැලේ තව කෙනෙක් නැවතුනා. ඔහුත් යකින්නියන්ගේ ආහාර බවට පත් වුණා.

පස්දෙනාගෙන් දැන් දෙන්නයි ඉතිරි වුණේ. බෝසත් කුමාරයා ඒ දෙන්නාත් සමඟ දිගට ම ගියා. වේලාසනින් ගිය යකින්නියෝ ප්‍රණීත ලෙස සුවඳ හමන භෝජන ශාලාවක් මැව්වා. දුටු පමණින් කටට කෙළ උණන ආකාරයේ ප්‍රණීත ආහාර පාන පිරිලා තියෙනවා. එතකොට කෑම ටිකක් කාලා එන්නම් කියලා තව එක්කෙනෙක් නැවතුනා. යකින්නියෝ ඔහුවත් මරාගෙන අනුභව කළා. බෝසත් කුමාරයා අනිත් කෙනාත් සමඟ දිගට ම ගමන යද්දී යකින්නියෝ අලංකාර ශාලාවක් මවලා ඉතාම සුවපහසු ඇඳන් මවලා තිබ්බා. ටිකක් හාන්සිවෙලා විවේක අරගෙන යන්ට කියලා ඔවුන්ට කථා කළා. එතකොට පස්වෙනියා එතැන නතර වුණා. යකින්නියෝ ඔහුවත් මරාගෙන කෑවා.

බෝසත් කුමාරයා තනි වුණා. දැන් තනියම ගමන යනවා. එතකොට එක යකින්නියක් මෙහෙම හිතුවා. ‘මේකා මහා ඇට්ටරයෙක් නොවැ. කිසිම දේකට නම්මා ගන්ට බැහැ. මේකාව කාලා මිසක් මං නවතින්නේ නෑ’ කියලා ඉතාම අලංකාර ස්ත්‍රියකගේ රූපයක් මවාගෙන බෝසත් කුමාරයාගේ පස්සෙන් ගියා. වනාන්තරේ අවසන් වෙන්ට ආසන්නයේ වනේ වැඩ කරන මිනිස්සු ඒ ලස්සන ස්ත්‍රිය පුරුෂයා පස්සෙන් යනවා දැකලා මෙහෙම ඇහැව්වා.

“ඔයා ඉස්සරහින් ඔය යන පුරුෂයා කව්ද?”

“අයියණ්ඩි, ඒ මගේ තරුණ ස්වාමියා!” එතකොට ඒ මිනිස්සු බෝසත් කුමාරයාට මෙහෙම කිව්වා.

“පින්වත, මේ තරම් සියුමැලි, මලක් සේ මොළකැටි,රන්වන් කුමාරිකාවක් තමන්ගේ දෙමාපියන් අත්හැර ඔබ පසුපසින් එද්දී මැයව පීඩාවට පත් නොකොට මැයව ආදරයෙන් කැඳවාගෙන යනු මැනව.”

“අයියෝ… ඔබ රැවටිලා. ඕකි මගේ බිරිඳ නොවේ. ඕකි යකින්නියක්. ඕකි මං එක්ක ආපු මිනිස්සු පස්දෙනෙක් ම කෑවා”

“අනේ… බලන්ට අයියණ්ඩි. අපේ එක්කෙනා කියන කතා. පිරිමින්නේ හැටි ඔහොම තමයි. කේන්ති ගිය වෙලාවට තමන්නේ ආදර බිරිඳට පවා යකින්නි, පෙරේති කියල බණින හැටි!”

ඒ යකින්නි බෝසත් කුමාරයා පිටුපසින් යද්දී ඇතැම් වෙලාවක ගැබිණියකගේ වෙස් ගත්තා. තවත් වෙලාවක දරුවෙකු ඇකයෙන් වඩාගෙන යන ගැහැනියකගේ වෙස් ගත්තා. බෝධිසත්වයෝ තක්ෂිලාවට පැමිණියා. එවිට යකින්නි යොවුන් ස්ත්‍රියකගේ රූපය මවා ගත්තා. බෝධිසත්වයෝ නගරයේ අම්බලමක නැවතුනා. බෝසතුන්ගේ තේජසින් යකින්නිට ඇතුළට එන්ට බැරිව ගියා. යකින්නිය අම්බලමේ දොරටුවේ සිටගෙන සිටියා. ඒ වෙලාවේ තක්ෂිලාවේ රජ්ජුරුවෝ පිරිවර සමඟ උයනට යමින් සිටියා.

අම්බලමේ දොරකඩ සිටගෙන ඉන්නා අභිරූපී ස්ත්‍රිය දැකලා ඈ ගැන ආශාව ඇති වුණා. ඇය විවාහක ද අවිවාහක දැයි සොයා බලන්ට මිනිසෙක් යැව්වා. ඔහු ගිහින් යකින්නිගෙන් ඒ බව විමසුවා.

“අනේ අයියණ්ඩි, අර ශාලාවේ ඉන්නේ මගේ ස්වාමියා.” එතකොට බෝධිසත්වයෝ කෑගසා මෙහෙම කිව්වා. “ඕකි කියන්නේ බොරු. ඕකි මගේ බිරිඳ නොවේ. ඕකි මිනිස්සු පස්දෙනෙක්ව කාපු යකින්නියක්. ඕකිගේ කතාවට රැවටෙන්ට එපා”

“අනේ බලන්ට අයියණ්ඩි, අපේ එක්කෙනා මාත් එක්ක තරහා වෙලා හිතෙන හිතෙන ඒවා කියනවා.” එතකොට ඒ මිනිහා ගිහින් දෙපැත්තේ ම විස්තරේ රජ්ජුරුවන්ට කීවා. රජ්ජුරුවෝ ‘ස්වාමියා නැති බඩු රාජසන්තක වෙනවා නොවැ’ කියල යකින්නිව ගෙන්නා ගෙන ඇතා පිටේ තබාගෙන මාළිගාවට කැඳවාගෙන ගියා. එදා ම අගමෙහෙසි තනතුරු දුන්නා.

එදා රෑ යහනේ දී යකින්නි නොයෙක් පෙම්බස් දොඩමින් රජ්ජුරුවන්ව රාගයෙන් පෙළඹෙව්වා. එක්වර ම යකින්නි ඇඳේ පෙරලී හඬන්ට පටන් ගත්තා. “ඇයි මගේ සොඳුරී….. ඇයි ඔයා හඬන්නේ?”

“අනේ දේවයන් වහන්ස, මං අතරමග දී කැන්දන් ආපු එකියක්. ඔබ වහන්සේගේ අන්තඃපුර ස්ත්‍රීන් මට වෙනස්කම් කරන්ට පටන් ගනීවි. මගේ මව්පියන්ගේ විස්තර, ජාති ජම්ම අසමින් මාව පීඩාවට පත් කරාවි. අනේ මං හොදටෝ ම අසරණ වේවි. අහෝ ඔබවහන්සේ මට මුළු රාජ්‍යයට ම අධිපති බවත්, අණසක පැතිරවීමේ අවසරයත් දෙනවා නම් ඒ ස්ත්‍රීන් කෝප වෙලා වුණත් මට මුකුත් කියන එකක් නෑ.”

“සොඳුරිය, මගේ සියලු රටවැසියන්ගෙන් එහෙම වෙන්නේ නෑ නොවැ. ඒ නිසා ඔයාට මුළු රටේ ම අධිපති බවත් අණ පැතිරවීමත් දෙන්ට පුළුවන්කමක් නෑ.”

“එහෙම නම් දේවයන් වහන්ස, අඩු ගණනේ මේ මාළිගා පරිශ්‍රයේ ඇතුළු නුවර මාගේ අණසක පවත්වන්ට අවසර දෙන්ට.”

අමනුෂ්‍ය ස්පර්ශයෙන් වසඟව රාගයෙන් මුසපත්ව සිටි රජ්ජුරුවෝ යකින්නිට මුළු මාළිගා පරිශ්‍රයේ ඇතුළුනුවර තමාගේ අණසක පතුරුවන්ට අවසර දුන්නා. එදා යකින්නිය රජ්ජුරුවන්ව සතුටු කරවා නින්දට යන්ට සැලැස්සුවා. රජ්ජුරුවන්ට නින්ද ගිය පසු මධ්‍යම රාත්‍රියෙහි යකින්නී යක් පුරයට ගොහින් යක් සේනාව අරගෙන ආවා. රජ්ජුරුවන්ව පළමුවෙන් මරාගෙන කෑවා. මහ වාසල් දොරටුවේ පටන් ඇතුළු නිවසේ බල්ලන් කුකුළන් ආදී කොට ඇති සියලු සතුන්ව කා දමා ඇට ගොඩ පමණක් ඉතිරි කොට පලා ගියා.

පසුවදා මිනිස්සු මහවාසල් දොරටුව විවෘත කරන තුරු බලා සිටියා. පේන්ට කිසි කෙනෙක් නෑ. අන්තිමේදී මිනිස්සු පොරෝ, ගල් ඉනි අරගෙන ඇවිත් මහවාසල් දොර බින්දා. ඇතුළට ගිහින් බලද්දී හැම තැන ම තිබුණේ ලේ මස් සම් කිසිවක් නැති ඇටසැකිලි විතරයි! එතකොට මිනිස්සු මහත් සංවේගයට පත් වෙලා ඊයේ සිදුවීම ගැන කතා වුණා. “අම්බලමේ නවාතැන් ගත් පුරුෂයා ඇත්ත කිව්වා. ඔහු කිව්වා නොවැ ‘මේකි මගේ බිරිඳ නොවේ. යකින්නියක්’ කියලා. අපේ රජ්ජුරුවෝ ඒ ගැන කිසිවක් නොසොයා නොබලා තමන්ගේ බිරිඳ කරගෙන කර ගත් විපත!” එදා රෑ බෝධිසත්වයෝ තමන් උන් තැන පිරිත් වැලි ඉස, පිරිත් නූල් ඇදගෙන කඩුවක් අතේ තියාගෙන එළිවෙන තුරු නොනිදා අවදියෙන් සිටියා.

මිනිස්සු ගිහින් ඇටසැකිලි ඉවත් කොට මාලිගා පරිශ්‍රය පිරිසිදු කළා. සුවඳ දුම් ඇල්ලුවා. මල් ඉස්සා. ඇමතිවරු මෙහෙම කල්පනා කළා. ‘යම් පුරුෂයෙක් තමන්ගේ ඉන්ද්‍රිය සංවරය බිඳගෙන, දිව්‍ය රූප මවාගෙන පස්සෙන් ආපු යකින්නි දෙස මොහොතකටවත් බැලුවේ නැතිව සිටියා ද සැබැවින් ම ඒ තැනැත්තා අතිශය උදාර කෙනෙක්. මහත් වීර්යයෙන් නුවණින් යුතු කෙනෙක්. එබඳු පුරුෂයෙකුට රජකම දුන්නොත් මේ රට සුඛිත මුදිත කරාවි.’ ඇමැතිවරුත්, නගරවැසියෝත් ඒකච්ඡන්දයෙන් කැමති වෙලා බෝසත් කුමාරයාට තක්ෂිලාවේ රජකම ලබා දුන්නා. බෝධිසත්වයෝ තක්ෂිලාවේ රජ වෙලා සතර අගතියට නොගොස් දසරාජ ධර්මයෙන් රජ කළා.” කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළා.

කට ළඟටම පුරවා ඇති – තෙල් බඳුනක් අල්ලාගෙන

යයි නම් නොසැලී මිනිසා – නොබලා නටනා නළඟන

හැසිරේ නම් දහම් මගේ – ඒ අයුරින් සිත සුරකින

මෙතෙක් නොගිය දිසාව වෙත – ඔහු යනවා නිවන ලැබෙන

“මහණෙනි, ඔය විදියට ඉන්ද්‍රිය සංවර කර ගැනීම නිසා එදා බෝධිසත්වයෝ ඉතා දුෂ්කර දේ ජයගත්තා. ඉන්ද්‍රියයන් බිඳගත් සියලු දෙනා වැනසුනා. එදා තක්ෂිලාවේ රජකමට පත් කුමාරයා වුණේ මම යි. ඒ රජුගේ පිරිස වුණේ බුදු පිරිසයි.”

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

30. මුනික ජාතකය
මුනික ඌරාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

අපට නොතේරුනාට බොහෝ විට බොහෝ දෙනෙකුට මුහුණ දෙන්ට සිදුවන්නේ එකම විදිහේ සාංසාරික අත්දැකීම් වලටයි. වෙනත් ආත්මවල සිදු වූ කරදර ඒ ක්‍රමයටම නොවුනත් ඒ කරදර කළවුන් අතින්ම වෙනත් අයුරකින් සිදුවෙන්ට ඉඩ තියෙනවා. කලින් ආත්මේ කරදර ලැබුන අය අතින්ම මේ ආත්මයේදීත් ඔවුන්ට කරදර වෙන්ට පුළුවනි. මෙයත් එබඳු කථාවක්.

සැවැත් නුවර සිටි එක්තරා තරුණයෙක් මහත් ශ්‍රද්ධාවෙන් පැවිදි බවට පත්වුනා. ටික දවසක් යද්දි පැවිද්දෙකු විසින් කළයුතු ධර්ම ශ්‍රවණය, ධර්මය පාඩම් කිරීම, ධර්ම මනසිකාරය, වත් පිළිවෙත් ආදියට මේ භික්ෂුව කම්මැළි වුනා. දායකයින් සමග කුලුපගව වාසය කරන්ට කැමති වුනා. ඉතින් මේ භික්ෂුවට සැවැත් නුවර එක්තරා නිවසකින් විශේෂ කොට සැලකුවා. ප්‍රණීත කෑම වර්ග වෙනම හදලා දුන්නා. මේ භික්ෂුව රස රාගයට බැඳුනා. මොහු සිතුවේ ඔවුන් ඉතා ශ්‍රද්ධාවෙන් හිතවත්ව ඉන්නවා කියලයි. ඔවුන්ට තිබුනේ වෙනත් අදහසක්. දීග දීගන්ට බැරි ගෙදර කෙලීව මේ භික්ෂුවගේ කරේ එල්ලන්ටයි අදහස තිබුනේ. දවසක් ඒ ගෙදර මෑණියන් දානයෙන් පසු ගෙදර ඇති වත්කම් ගැන කියන්ට පටන් ගත්තා. දීග යන්ට බැරි දියණියත් ඇවිත් ඉඟිබිඟි පාමින් තොඳොල් වෙන්ට පටන් ගත්තා. ප්‍රමාදයෙන් වාසය කළ මේ භික්ෂුවගේ සිත නොමග ගියා. රාගයම වැළඳ ගත්තා. සිවුරු හැර යන්ට ඕනෑ කියලා තීරණය කළා. එදාම තම ආචාර්යයන් වහන්සේ මුණ ගැසී තමන්ට පැවිදි ජීවිතය ගෙනයන්ට අසීරු බවත්, තද හිසේ කැක්කුමක් ඇති බවත්, බොහෝ සෙයින් හිත විසිරෙන බවත් කියා සිටියා. ආචාර්යයන් වහන්සේ තවදුරටත් සිය ශිෂ්‍ය භික්ෂුවගෙන් විමසද්දි කිසියම් ස්ත්‍රියකගේ පෙළඹවීමකින් මොහු නොමග ගොස් ඇති බව වැටහුනා. එතකොට උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත මේ භික්ෂුව කැඳවාගෙන ගියා. භාග්‍යවතුන් වහන්සේට සියලු තොරතුරු සැළකොට සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් මෙසේ අසා වදාළා.

“හැබෑද භික්ෂුව…. සිවුරු හරින්ටමද සිතෙන්නේ?”

“එහෙමයි ස්වාමීනී.”

“මොකද එහෙම පැවිද්ද එපා වුනේ?”

“ස්වාමීනී…. ඉතින් ඒ ගෑණු ළමයා නොයෙක් කරුණු කිව්වා. එතකොට මගේ සිත අවුල් වෙලා ගියා. මට දැන් සිවුරට ආසාවක් නෑ.”

“භික්ෂුව, ඔබ දන්නවාද පෙර ආත්මේ ඒ ගෑණු ළමයා කවුද කියලා?”

“නෑ ස්වාමීනී.”

“භික්ෂුව, පෙර ආත්මේ ඔබව විනාශ කළේ ඔය ගෑණු ළමයා තමයි. ඔය ගෑණු ළමයාගේ කසාදෙ දවසේ ඔබට ඒ වෙනුවෙන් ජීවිතක්ෂයට පත්වෙලා මිනිස්සුන්ගේ ආහාරය පිණිස මඟුල් මේසයට යන්ට සිද්ධ වුනා” එතකොට භික්ෂූන් වහන්සේලාට ඒ කථාව දැනගන්ට ඕනෑ වුනා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ඈත අතීතයේ බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ එක්තරා ගමක ගොවි ගෙදරක ගවයෙක් වෙලා උපන්නා. ඔවුන් ඒ ගවයාට මහාලෝහිත කියා නම දැම්මා. ටික කලකින් ඒ ගෙදර ගව දෙනට තවත් පැටියෙක් ලැබුනා. ඔහුට චුල්ල ලෝහිත කියා නම දැම්මා. මේ සහෝදර ගවයන් දෙන්නා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ නිසා ම ඒ ගෙදරට සෑහෙන දියුණුවක් ලැබුනා. ඒ ගෙදර දියණියක් ඉන්නවා. ඒ දියණිය ඉතා ආදරයෙන් ඌරෙකුට සලකනවා. ඒ ඌරාගේ නම මුනික. හොඳට කැඳබත් ආදිය දීම නිසා ඌරා උස මහතට තරව වැඩුනා. ඒ ගෙදර ඌරාට පමණක් ආදරයෙන් කෑම බීම දෙන නිසා චුල්ල ලෝහිත ඒ ගැන සතුටු වුනේ නෑ. දවසක් ඔහු මහා ලෝහිතට මෙහෙම කිව්වා.

“බලන්ට…. මේ ගෙදර වැඩ කටයුතු ඔක්කොම කරන්නේ අපි. නමුත් අපට ලැබෙන්නේ තණකොළයි පිදුරුයි විතරයි. හප්පා…. ඒකට අර…. බලන්ට එපායැ මුනිකයාට තියෙන සැළකිළි. අර…. කෑම්බීම් ඔක්කෝම ගිහින් කවන්නේ පොවන්නේ ඒකාට නොවැ. එහෙම සැළකිළි ලබන්ට කාරණය මොකක්ද?”

“හා…. හා…. චුල්ල ලෝහිත, මේකාගේ කෑමට නම් ආසා කොරන්ට එපා. ඔය ඌරා අනුභව කරන්නේ මරණ බතයි. තව ටික දොහයි ඕකා කෑම කන්නේ. මං අසාගෙන සිටියා අර කෑම දෙන කුමාරිව සහේට ගන්ට මිනිහෙක් එනවා. එදා මඟුල් දවස. ඒ මංගල්ලෙට එන මිනිස්සුන්ගේ මඟුල් මේසෙට යවන්ට හදන්නේ ඌරා මරාපු මසින් හදන වෑංජනයි…. අපට මේවා දෑසින් දකින්ට ම ලැබේවි” කියලා මේ ගාථාව කිව්වා.

“මුනිකයා කන බොජුන් ගැන නම්

එපා ආසාවක් කරන්නට

තලු මරා අනුභව කරන්නේ

යන තුරා තමන්ගේ මරණෙට

ලැබෙන පිදුරු ටික කන්ට හෙමිහිට

මෙය දිගාසිරි ලබන කරුණය අපගේ!”

එතකොට චුල්ල ලෝහිත කාරණය තේරුම් ගත්තා. වැඩි දවසක් ගියේ නෑ. මඟුල් දිනය පැමිණියා. මිනිස්සු ආවා. මර ලතෝනි දෙන මුනිකයාගේ හඬ ඇසුනා. ඔහුගේ මස් වලින් වෑංජන් සැදී මේසයට ආවා. බෝධිසත්වයෝ චුල්ල ලෝහිතට කථා කළා. “හා…. දරුව, කෝ දැන් මුනිකයා?”

“සොයුර, මං දැක්කා මුනිකයා කෑම කාපු ඵලය. හප්පා…. මේ තණකොළ ඒ ආහාර වලට වඩා සිය දහස් ගුණයක් වටිනවා. උතුම්. නිවැරදියි. දිගාසිරි ලැබෙනවා” කියලා පිළිතුරු දුන්නා.

“පින්වත් භික්ෂුව, මේ ගෑණු ළමයා තමයි එදා ඔබ ඌරා වෙලා සිටියදී කෑම කන්ට දුන්නේ. ඇය නිසාමයි එදා මරණයට පත්වුනේ. මේ ආත්මේ ඈ ඇවිත් ඔබේ යහපත නසන්ටයි හදන්නේ” කියලා සසරේ බිහිසුණු අනතුරු දක්වමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළා. ඒ දෙසුම අවසානයේ සිවුරු හරින්ට සිටිය භික්ෂුව සෝවාන් ඵලයට පත්වුනා. “මහණෙනි, එදා මුනික නමැති ඌරා වෙලා සිටියේ ඒ ගෑණු ළමයා නිසා සිවුරු හරින්ට සිතාපු මේ භික්ෂුවයි. ගෑණු ළමයා එයාමයි. චුල්ල ලෝහිත වුනේ අපේ ආනන්දයන්. මහා ලෝහිත වුනේ මං නොවැ” කියලා භාග්‍යවතුන් වහන්සේ මේ මුනික ජාතකය වදාළා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

29. කණ්හ ජාතකය
කළු වෘෂභයාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේදී ප්‍රාතිහාර්යය පානවා කියා ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන්නා. එතකොට ඒ කාලේ ශාස්තෘවරු හැටියට ප්‍රසිද්ධව සිටි ෂඞ් ශාස්තෘවරු අපිත් ප්‍රාතිහාර්යය පාන්ට දන්නවා නොවැ කියලා ඉදිරිපත් වුනා. කිසිවක් කරගන්නට බැරිව පසුබා ගොහින් සැඟවුනා. අපගේ භාග්‍යවතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්යය දක්වා දෙව්ලොවට වැඩියා. දෙව්ලොව වස් වැසුවා. වස් පවාරණයෙන් පස්සේ සංකස්සට වැඩම කොට මහා පිරිවර සහිතව ජේතවනයට වැඩියා.

දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යය ගැන කථා කරමින් සිටියා. එතැනට වැඩිය භාග්‍යවතුන් වහන්සේ තමන් පෙර තිරිසන්ගත අවස්ථාවේ පවා ඉතා බලවත්ව වගකීම් දැරූ බව වදාළා. ඒ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම මත භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ ගව යෝනියෙහි ඉපිද සිටියා. මේ ගවයා පැටියා කාලේ එක්තරා මැහැලියකගේ ගෙදර නැවැත්තුවා. හැදූ වැඩූ කුලිය ගෙවාගන්ට බැරිවීමෙන් ඒ මැහැලියට ම වහු පැටියා සින්න වුනා. මේ ආච්චි සිය ගව පැටියාට මහත් ආදරයෙන් යුක්තයි. තමන්ගේ දරුවෙකුට වගේ කන්ට බොන්ට දී ඇතිදැඩි කළා. මේ ගවයා තද කළු පාටයි. මේ නිසා ‘ආච්චිගේ කලුවා’ කියා මේ ගවයා ප්‍රසිද්ධ වුනා. තරුණ වයසට පත්වෙද්දි මොහු මහා උස මහතකින් යුතු වෘෂභ රාජයෙකුගේ පෙනුම ඇති මහා ගවයෙක් වුනා. අනිත් ගවයන් එක්ක මොහු ඇවිදින්ට යනවා. නමුත් කිසි කලබලයක් නෑ. හරිම ශීලාචාරයි. කාටවත් හිංසා පීඩාවක් කරන්නේ නෑ. හැමෝම මේ ගවයාට ආදරෙයි. ගමේ කොලු ගැටව් මේ ගවයාගේ අං දෙකෙන් එල්ලෙනවා. කන් දෙකෙනුත් එල්ලෙනවා. බෙල්ලෙනුත් එල්ලෙනවා. පිටේ නගිනවා. වලිගයෙන් අදිනවා. කොලු ගැටවුන්ට ඕනෑ දෙයක් කරන්ට ඇරලා ආච්චිගේ කලුවා පාඩුවේ ඉන්නවා.

දවසක් බෝධිසත්වයෝ මෙහෙම කල්පනා කළා. ‘අනේ මගේ මෑණියෝ මාව හදාවඩා ගන්ට බොහෝ දුක් වින්දා. මාත් මොකාක්හරි වැඩක් පලක් කරලා මේ දිළිඳු බවින් ඈව මුදවා ගන්ට ඕනෑ’ එදා පටන් මේ ගවයා නිතරම වැඩක් පොලක් සොයමින් සිටියා. දවසක් ගැල්කරුවෙකුගේ පුතෙක් පන්සියයක් ගැල් අරගෙන වැරදි තොටුපලකින් ගොඩකරවන්ට ගොහින් ඒ ගැල් ඔක්කෝම එරුනා. ඔහුගේ ගවයන්ට ඒවා අදින්ට පුළුවන් වුනේ නෑ. ගැල් පන්සීයේම ගොන්නු එක පෙළට තබ්බවලා අදින්ට ගියත් එක ගැලක්වත් සොලවන්ට බැරිවුනා. මේ වෙලාවේ බෝසත් ගවයාත් ගමේ ගවරැල සමගින් ඒ තොටුපල අසළ ගැවසෙමින් සිටියා. ගැල්කරුවාගේ පුත්‍රයා ගවයන්ගේ සළකුණු වලින් ඔවුන් සතු දක්ෂතා හඳුනාගන්ට දන්නවා. අර ගවයන් අතරවත් අපේ ගැල අදින්ට පුළුවන් ගවයෙක් ඉන්නවාද කියලා බැලුවා. එතකොට බෝසත් ගවයාව දකින්ට ලැබුනා. ‘හප්පේ…. යාන්තම් ඇති…. අන්න…. අර ඉන්නේ…. අපූරු ආජානීය වෘෂභ රාජයෙක් නොවැ. මෙයාට නම් ගැල් පන්සීයම වුනත් ගොඩ දමන්ට ඇහැක් වේවි’ මෙහෙම හිතලා ළමයින්ට කථා කළා. “ඒයි ළමයිනේ…. කවුද මේ ගවයාගේ අයිතිකාරයා? හරි අපූරු ගවයෙක් නොවැ. මට මේ ගවයාගෙන් මගේ ගැලට උදව් ගන්ට ඕනෑ. මං ඒකට ගෙවීමක් කරනවා” එතකොට ළමයි මෙහෙම කිව්වා.

“මේ වෙලාවේ මෙතන මෙයාගේ අයිතිකාරයෝ නෑ. එක්කරගෙන ගිහින් ඕනෑ වැඩක් අරගන්ට.”

එතකොට ගැල්කරු පුත්‍රයා බෝසත් ගවයාට නාස් ලණුව දැම්මා. අරගෙන යන්ට ඇද්දා. ගල් කුලක් වගේ බෝසත් ගවයා නොසැලී සිටියා. ගැල්කරු පුත්‍රයාට ගවයාගේ අදහස තේරුනා. ඔහු මෙහෙම කිව්වා.

“ස්වාමී…. මට පිහිට වෙයං. මගේ ගැල් පන්සීය ගොඩ දැම්මොත් එක ගැලකට කහවණු දෙක ගානේ මං නුඹට කහවණු දහසක් දෙනවා. මාව විශ්වාස කරපං.”

එතකොට බෝසත් ගවයා කැමැත්තෙන්ම පිටත් වුනා. මිනිස්සු බෝසත් ගවයාව ගැලේ බැන්දා. ගවයා එක හුස්මට ගැල ගොඩට ඇදගෙන ආවා. ඔය ක්‍රමයෙන් ගැල් පන්සියයම ගොඩ ගත්තා. ගැල්කරු පුත්‍රයා ගවයා ඉදිරියට මල්ලක් ගෙනාවා. ගවයාට පෙනෙන්ට එක් ගැලකට කහවණුව බැගින් කහවණු පන්සියයක් දැම්මා. “ඕං පුතේ…. ගාණ හරි” කියලා ගවයාගේ ගෙලේ බැන්දා. ගවයාට මෙහෙම හිතුනා. ‘ආහා…. දැන් මෙහෙමද මෙයා? කලින් කතා කරපු ගාණ නොදී ඉන්ටයි යන්නේ. මට පොරොන්දු වූ ගාණ දෙනකල් මං මෙයාලට යන්ට දෙන්නේ නෑ’ කියලා ඔවුන්ට යන්ට බැරි විදිහට පාර හරස් කරගෙන සිටගත්තා. ගවයාව පාරෙන් ඉවත් කරන්ට මොනතරම් මහන්සි ගත්තත් බැරිවුනා. ගැල්කරු පුත්‍රයාට ගවයාගේ අදහස තේරුනා. අන්තිමේදී ඉතුරු කහවණු පන්සීයත් ගණන් කරලාම ගවයාට පෙන්නලා මල්ලට දැම්මා. එතකොට ගවයා පාරෙන් ඉවත් වෙලා ඔවුන්ට යන්ට ඉඩ දුන්නා. එදා බෝධිසත්වයන්ට හරි සතුටුයි. සල්ලි මල්ලත් බෙල්ලේ එල්ලාගෙන මෑණියන් ළඟට යන්ට පිටත් වුනා. ගමේ කොලු ගැටව් ගවයාව වටකර ගත්තා. “හාහා…. අද සරුයි වගේ. අපිත් බලමු ආච්චිගේ කලූට මොනවාද ලැබුනේ කියලා” ඔවුන් ළං වුනා. එතකොට ගවයා සැරෙන් පිඹලා ඔවුන්ව පළවා හැරියා. මෑණියන් ළඟට දුවගෙන ගියා.

ගැල් පන්සීයක් ම එක දිගට නොනවත්වා ඇදපු නිසා ගවයා හොඳටම හෙම්බත් වෙලා සිටියා. දෑස් රතුවෙලා තිබුනා. අධික වෙහෙසකින් යුක්ත වුනා. ආච්චි මල්ල අතට ගත්තා. “මයෙ පුතේ…. මොනාද මේ මට ගෙනාවේ…. හප්පේ… කහවණු නොවැ. කොහෙන්ද මේවා?” එතකොට පස්සෙන් දුවගෙන ආපු කොලු පැටව් විස්තර කිව්වා. මෑණියන්ට ගොඩාක් දුක හිතුනා. “අනේ මයෙ පුතේ…. උඹ වැඩපළ කරලා ගේන මුදලින් මට ජීවත් වෙලා මොකටද? අනේ… මෙහෙම දුක් විඳින්ට එපා පුතේ!” කියලා ආච්චි එදා බෝසත් ගවයාව රස්නෙ වතුරෙන් නෑව්වා. මුළු ඇඟේම තෙල් ගෑවා. පැන් පෙව්වා. කෑම කැව්වා. ආදරෙන් උපස්ථාන කළා.

පින්වත් මහණෙනි, දැන් පමණක් නොවෙයි. තථාගතයන් සමාන වගකීම් උසුලන්ට හැකි කෙනෙක් ඒ කාලේ සිටියෙත් නෑ” කියලා මෙය වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළා.

“යම් යම් තැනදි උසුලයි නම් වගකීම්

කොතරම් බරපතල නමුත් එය උසුලන්නේ ම ය

අන් ගවයන් හට නොහැකිව අසරණ වූ ඒ ගැල

තනියම උසුලා ඒ කළු ගවයා

ඉසිලුවේය වගකීම මැනවින්”

පින්වත් මහණෙනි, එදා ආච්චි වෙලා සිටියේ උප්පලවණ්ණාවෝ ය. ආච්චිගේ කලුවා වෙලා සිටියේ මමයි” කියා භාග්‍යවතුන් වහන්සේ මේ කණ්හ ජාතකය වදාළා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

28. නන්දිවිසාල ජාතකය
නන්දිවිසාල මහා වෘෂභ රාජයාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

කවුරුත් පාහේ කලබල වූ අවස්ථා වලත් වැඩිදුර නොසිතාත් නොසරුප් වදන් කථා කරන අවස්ථා දකින්ට ලැබෙනවා. නමුත් බොහෝ විට එයින් යහපතක් සිදුවන්නේ නෑ. ඕනෑතරම් පාඩු නම් සිදුවෙනවා. අනුන් හෙළා තලා කථා කිරීම නොකළ යුතු දෙයක් මයි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන කාලේ ඡබ්බග්ගිය නමින් සය දෙනෙකුගේ භික්ෂු කල්ලියක් වාසය කළා. ඔවුන් අනිත් භික්ෂූන් වහන්සේලා සමග ඉතා සුළු දෙයට පවා රණ්ඩුවට පැටලෙනවා. බැණ වදිනවා. හෙළ දැක කථා කරනවා. ඇණුම්පද කියනවා. නොයෙක් කරුණු කිය කියා ආක්‍රෝශ පරිභව කරනවා. භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා. භාග්‍යවතුන් වහන්සේ ඡබ්බග්ගිය භික්ෂූන් කැඳවා ඔවුන්ගෙන් ඒ ගැන විමසුවා. එම චෝදනාව සත්‍යයක් බව ඔවුන් පිළිගත්තා. ඔවුන්ගේ ඒ දෝෂය ගැන අප්‍රසාදය පළ කළ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“මහණෙනි…. ඵරුෂ වචන වලට තිරිසන්ගත සතුන්වත් කැමති නෑ. ඉස්සර කාලේ එක් තිරිසන්ගත සත්වයෙක් තමන්ව හෙළා දැක කථා කිරීම නිසා ඒ කෙනාව කහවණු දහසකින් පරාජයට පත් කෙරෙව්වා” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපි ඒ කථාව දැනගන්ට කැමතියි. එය අපට වදාරන සේක්වා” කියලා භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ඉතාම ඈත කාලෙක ගන්ධාර රටේ තක්ෂසිලාවෙහි ගන්ධාර නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කළා. ඒ කාලයේ බෝධිසත්වයෝ ගව යෝනියේ ඉපිද සිටියා. ඔහු වසු පැටියා කාලේ එක්තරා බ්‍රාහ්මණයෙකුට ගව දක්ෂිණාවක් හැටියට දායකයෙකු ගෙන් ඔහුව තෑගි ලැබුනා. මේ බ්‍රාහ්මණයාත් තමන් ලද වසුපැටියාව දරුවෙකුට වගේ ආදරයෙන් රැකබලා ගත්තා. මහත් දරු පෙමින් කවා පොවා නහවා ඇතිදැඩි කළා. බෝසත් ගවයාත් ක්‍රමයෙන් හැදී වැඩී මහා වෘෂභ රාජයෙක් වුනා. බ්‍රාහ්මණයා මොහුට නන්දිවිසාල කියා නම තැබුවා. දවසක් මේ ගවයා මෙහෙම කල්පනා කළා. ‘මේ බ්‍රාහ්මණයා ඉතා දුකසේ මාව ඇතිදැඩි කළා. මා සමග බර උසුලන්ට සමර්ථ වූ වෙන කිසි ගවයෙක් මේ දඹදිව නම් නෑ. ඒ නිසා මං මගේ බලපරාක්‍රම දක්වලා අපේ බ්‍රාහ්මණයාට මාව ඇතිදැඩි කළ දෙයට කිසියම් ගෙවීමක් කරන්ට ඕනෑ’ කියලා නන්දිවිසාල බ්‍රාහ්මණයාට මෙහෙම කිව්වා.

“බ්‍රාහ්මණය, ඔබ ගව සම්පත් ඇති සිටුවරයෙකු ළඟට යන්ට. ගිහින් එකට බැඳපු කරත්ත සියයක් අදින්ට පුළුවන් සවි ශක්තිය ඇති ගවයෙක් තමන්ට ඉන්න බව කියලා කහවණු දහසකින් ඔට්ටු අල්ලන්ට” ඉතින් බ්‍රාහ්මණයා නන්දිවිසාලගේ කීම අහලා සිටුවරයා ළඟට ගිහින් කථාව පටන් ගත්තා. “සිටුවරය…. මේ නගරයේ කාගේ ගවයාද මහත් ශක්ති සම්පන්න?” “බ්‍රාහ්මණය, අසවල් අසවල් අය ළඟත් මහා බලසම්පන්න ගවයන් ඉන්නවාලු. ඒ වුනත් මා ළඟ ඉන්න ගවයන් තරම් ශක්ති සම්පන්නයි කියලා මං නම් හිතන්නේ නෑ” “නෑ…. එහෙම කියන්ට එපා සිටුතුමනි, මා ළඟත් අපූරු ගවයෙක් ඉන්නවා. මගේ ගවයාට එකට බැඳපු ගැල් සියයක් අදින එක සුළු දෙයක්” “හෑ…. අනේ බ්‍රාහ්මණය, එහෙම ගවයෝ ඉන්නේ කොහේද?” “ඇයි…. මගේ ගෙදර ඉන්නවා”

“එහෙනම් ඔට්ටු අල්ලමුද?” “හරි…. මං කහවණු දහසකින් ඔට්ටු අල්ලනවා”

ඔවුන් ඔට්ටුව සඳහා දිනයක් තීන්දු කරගත්තා. වැලිගල් පුරවපු කරත්ත සියයක් එකට තිබ්බා. එකට එකක් හේත්තු කොට දෙපැත්තට ලී පතුරු බැඳ ගැටගැසුවා. යොතින් බැන්දා. බ්‍රාහ්මණයා නන්දිවිසාලව ස්නානය කෙරෙව්වා. සුවඳ කුඩු වලින් ඇඟිලි පහම හිටින්ට ඉරි ඇන්දා. මල් මාලයක් පැළැන්දුවා. මුල්ම කරත්තෙට ගැට ගැහුවා. “හා….. දැන් ඇදපිය…. කුළු හරකෝ දැන් ඇදපිය කුළු හරකෝ….” කියලා කෑගැහුවා. නන්දිවිසාලට ඒ හඬ අමුතුයි. මෙතෙක් කල් එබඳු වචනයක් බ්‍රාහ්මණයා ගෙන් අහලා නෑ. නන්දිවිසාල සිතට ගත් වීරිය එතැනම නැතිවුනා. සිත කඩාවැටුනා. සතර පාදයන්ම ගල් කණු වගේ නොසොල්වාගෙන හිටියා. සිටුවරයා එසැණින්ම කහවණු දහසක් බ්‍රාහ්මණයාගෙන් ලබාගත්තා. පරාජිත බ්‍රාහ්මණයා නිශ්ශබ්දවම ගවයාත් ලිහාගෙන ශෝකයෙන් ගෙදර ආවා. ඇඳේ වැතිරිලා සුසුම් හෙළුවා. නන්දිවිසාල ගොඩාක් වෙලා බ්‍රාහ්මණයා දෙස ඇස්පිය නොහෙළා බලා සිටියා. බ්‍රාහ්මණයා ළඟට ගිහින් මෙහෙම ඇහුවා.

“බ්‍රාහ්මණය, ඇයි මේ නිදාගෙන?”

“මොන නින්දක්ද? මං කහවණු දහසක් පරාදයි!”

“හැබෑට බ්‍රාහ්මණය, ඔබ කියපු හැටියට මං කුළු හරකෙක්ද? ඔබේ ගෙදර මෙතෙක් කල් මං ඉන්නවා. මෙතෙක් කාලෙකට මං එක මැටි වළඳක් බිඳලා තියෙනවද? කාටවත් හිංසා මාත්‍රයක් කර තියෙනවාද? නුසුදුසු තැනක මළමුත්‍රා කරලා තියෙනවාද?”

“අනේ නෑ…. මයෙ පුතේ…. නුඹ මට කවරදාකවත් අකීකරුකමක් කරලා නෑ.”

“ඒක නේන්නම්….. එහෙනම් ඇයි මට කුළු හරකාය කියලා කිව්වේ? ඔබේමයි වැරැද්ද. මගේ

වැරැද්දක් නෑ. බ්‍රාහ්මණය, අයෙමත් යන්ට. ගිහින් මේ වතාවේ කහවණු දෙදහසකින් ඔට්ටු අල්ලන්ට. හැබැයි ඕං…. මට කුළු හරකාය කියලා විතරක් කියන්ට එපා.”

එතකොට බ්‍රාහ්මණයා සිටුවරයා ළඟට ගිහින් කහවණු දෙදහසකින් ඔට්ටු ඇල්ලුවා. සිටුවරයාත් කැමති වුනා. කලින් වගේ ගැල් සියයක ගල්වැලි පුරවා පෙළට තියා එකිනෙක බැන්දා. කලින් වගේම නන්දිවිසාලව සරසාගෙන ආවා. මුල් කරත්තයේ බැන්දා. බ්‍රාහ්මණයා කරත්තේ ඉදිරිපස වාඩිවුනා. නන්දිවිසාලගේ පිට පිරිමැද්දා. “මගේ සුන්දර රජෝ…. අදින්ට මේ ගැල, මගේ සුන්දර රජෝ…. අදින්ට මේ ගැල” කිව්වා විතරයි. බෝධිසත්වයෝ එකට බැඳපු ගැල් සියයම එක හුස්මට ඇදගෙන ගිහින් මුලින් ගැල තිබුණු තැනට සියවෙනි ගැල ඇදගෙන ආවා. සියලු දෙනා මහා හඬින් ඔල්වරසන් දුන්නා. නන්දිවිසාල ගවයාට මල් ඉස්සා. පරාජිත සිටුවරයා බ්‍රාහ්මණයාට කහවණු දෙදහසක් දුන්නා. නන්දිවිසාලටත් තෑගිභෝග ලැබුනා. බෝධිසත්වයෝ නිසා බ්‍රාහ්මණයාට සෑහෙන්න වස්තුව ලැබුනා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ‘ඕමසවාදේ පාචිත්තියං’ යනුවෙන් භික්ෂූන් ඔවුනොවුන්ට හෙළා දැක කථා කිරීම වරදක් බවට ශික්ෂාපදයකුත් පණවා වදාළා. ඊටපස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළා.

“මියුරු වදන් ම ය පැවසිය යුත්තේ

නොමනා දේ කිය යුතු නැත කිසිදා

මියුරු වදන් අසනා ගවයා පවා

මහත් බරක් උසුලා යන්නේ

ධනය ඔහුට ලැබදුන්නේ මියුරු වදන් නිසා ම යි”

එදා බ්‍රාහ්මණයා වෙලා සිටියේ අපගේ ආනන්දයන් වහන්සේ. නන්දිවිසාල වෙලා සිටියේ අපගේ භාග්‍යවතුන් වහන්සේ.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

27. අභිණ්හ ජාතකය
නිතර ඇසුර ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

සාමාන්‍යයෙන් කාහටත් යාළු මිත්‍රයන් ඉන්නවා. ඇතැම් යාළුමිත්‍රකම් ඉතාමත් ලෙන්ගතුව බොහෝ කල් පවතිනවා. සමහරවිට එයට හේතුව පෙර ආත්මවල පටන් එන හිතවත් කමක් වෙන්ටත් බැරි නෑ. මේ කථාවත් එබඳු දෙයක් ගැනයි.

ඒ කාලේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කළේ සැවැත් නුවර ජේතවනයේ. ඔය කාලේ සැවැත් නුවර වයසක උපාසක මිතුරන් දෙදෙනෙක් සිටියා. එයින් එක් අයෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුනා. ජේතවනයේ වාසය කළා. දැන් මේ මහලු පැවිද්දා සැවැත් නුවර පිඬුසිඟා වඩිනවා. දානෙ පාත්‍රයත් අරගෙන කෙලින්ම යන්නේ පැරණි යහලුවාගේ ගෙදරටයි. ඒ යහළුවාත් තම හිතවත් භික්ෂුව වෙනුවෙන් මොනවාහරි දනට පිළියෙල කරනවා. ඒ මිත්‍රයා තම හිතවත් භික්ෂුවට ඒ දානෙ පිළිගන්වනවා. ඊටපස්සේ තමාත් අනුභව කරනවා. අර භික්ෂුව විහාරයට වඩිද්දි යහළුවාත් ඒ සමගම යනවා. කුටියට ගොහින් බුලත්විටක් සප්පායම් වෙනවා. හොඳටම හවස් වෙනකල් අල්ලාප සල්ලාපයේ යෙදී සිටිනවා. රෑ බෝ වේගෙන එද්දි උපාසක තම නිවසට යන්ට පිටත් වෙනවා. මහලු භික්ෂුවත් ඔහු සමග පසුගමන් ගොහින් මගට යනකල් ඇරලවනවා. මේ වයසක දෙන්නාගේ අඹ යහළුකම ගැන අනිත් භික්ෂූන්ටත් දැනගන්ට ලැබුනා. දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා මේ ගැන කථා කරමින් සිටියා. එතනට වැඩිය භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, ඔය දෙන්නාගේ යාළුකම මේ ආත්මයේ විතරක් නොවෙයි. පෙර ආත්මෙත් ඔය වගේමයි. දෙන්නට දෙන්නා වෙන් කරන්ට බෑ” එතකොට භික්ෂූන් වහන්සේලා මේ දෙන්නාගේ අපූරු හිතවත්කම ගැන පෙර ආත්මේ කථාව කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ඉතාම ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ ඇමතියෙක් වෙලා සිටියා. ඒ දවස්වල රජ්ජුරුවන්ගේ මංගල හස්ති රාජයා බැඳලා ඉන්න ශාලාවට එක් බලු පැටියෙක් එන්ට පුරුදු වුනා. ඌ ඇවිත් ඇතාට දෙන බත් වලින් වැටෙන බත්හුළු කන්ටත් පුරුදු වුනා. ටිකෙන් ටික මේ බල්ලා ඇතාට පුරුදු වුනා. පස්සේ දෙන්නට දෙන්නා ඉතාමත්ම හිතවත් වුනා. දැන් දෙන්නම අඹ යාළුවෝ. එකම බඳුනේ බත් කනවා. කලක් යනකොට දෙන්නට දෙන්නා වෙන් වී වාසය කරන්ට බැරිතරම් ළං වුනා. බල්ලා ඇත් සොඬය අරගෙන සෙල්ලම් කරනවා. මේ බලු පැටියත් ලස්සනයි. දවසක් ගමේ මිනිහෙක් ඇවිදින් ඇත්ගොව්වාට මුදල් දී අර බලුපැටියාව තමන්ගේ ගමට අරන් ගියා.

එදා පටන් තම ආදර බලුපැටියා දකින්ට නැති නිසා ඇතා වෙනස් වුනා. හැමතැනම වටපිටාවේ කැරකි කැරකී ඇතා බලුපැටියාව සෙව්වා. කොහේවත් පේන්ට නෑ. ඇතාට සාංකාව වගේ. දැන් ඇතා කන්නෙත් නෑ. බොන්නෙත් නෑ. නාන්නෙත් නෑ. හූල්ල හූල්ලා ඉන්නවා. සේවකයෝ ගිහින් රජතුමාට මේ බව සැළකළා. මේ කාරණය සොයාබලන්ට කියා රජතුමා බෝසත් ඇමතියාව යෙදෙව්වා. “පණ්ඩිතයෙනි, ගිහින්ට බලන්ට. අපේ ඇත්රජාට හොඳටම අසනීපයිලු. කෑමක් බීමක් නෑමක් නැතුව බලාගත්ත අතේ බලාන ඉන්නවාලු”

බෝසත් ඇමතියා ගිහින් ඇතාව පරීක්ෂා කළා. දැනගන්ට කිසිම රෝගාබාධයක් නෑ. ඇත් ගොව්වාට කථා කළා. “එම්බා පුරුෂය…. මේ ඇතා

රෝගාබාධයකින් පෙළෙන බවට ලකුණක් නෑ. මේ ඇතා බලවත් ශෝකයකින් ඉන්නා බව නම් පේනවා. කවුරුහරි සමග මේ ඇතා දැඩි මිත්‍රත්වයකින් සිටියාද?” “එහෙමයි හිමියනි…. බලන්ට එපායැ දෙන්නා සිටි අපූරුව. මෙහේට පුරුදු වෙලා හිටියා අපූරු බලු කුක්කෙක්. දෙන්නා හරිම විනෝදයෙන් සිටියේ. මනුස්සයෙක් ඒ බලුපැටියාව තමන්ගේ ගෙදර අරගෙන ගියා. එදා සිටන් තමයි මෙයා වෙනස් වුනේ”

“දැන් කොහේද ඒ බලු කුක්කා ඉන්නේ?” “අනේ දන්නෙ නෑ හිමියනි” බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට ගිහින් කාරණාව පැහැදිලි කොට මේ ගාථාව පැවසුවා.

“ඇත්රජා නැත බත් කන්නේ

නැත තණ කන්නේ නැත නාගන්නේ

බල්ලා සමගයි ආදරයෙන් උන්නේ

දැන් දකින්ට ඌ නොලැබෙන්නේ

ඒකයි හේ සෝකෙන් ඉන්නේ”

එතකොට රජ්ජුරුවෝ ඇමතියාගෙන් මෙහෙම ඇහුවා. “පණ්ඩිතයෙනි, දැන් අපි මොකදෑ කරන්නේ? කොහොමහරි අපේ ඇත්රජාව බේරාගන්ට ඕනෑ”

“දේවයන් වහන්ස, දැන් කරන්ට තියෙන්නේ එක දෙයයි. ‘අපගේ මංගල හස්තිරාජයාගේ ගජමිතුරා වූ බලුකුක්කාව එක්තරා මිනිසෙක් ගෙන ගොහින් තිබේ. යමෙකුගේ නිවසේ ඒ බලු පැටියා දකින්ට ලැබුනොත් ඔහුට මේ මේ දඬුවම් විඳින්ට සිදුවෙයි. එයින් බේරෙන්ට නම් වහාම බලුපැටියා කලින් සිටිය තැනට ගෙනැවිත් දැමිය යුත්තේය’ කියා අඬබෙර ගස්සවන්ට.”

එතකොට රජ්ජුරුවෝ අඬබෙර ගැස්සුවා. බලුපැටියා ගෙන ගිය මිනිසා හොඳටෝම භය වුනා. හොරෙන්ම බලු පැටියා ගෙනැවිත් ඈතින් තිබ්බා. එතකොට බලු පැටියා කන්දෙක උස්සාගෙන එක පිම්මේ ඇතාව සොයා දුවගෙන ආවා. ඇත්  සොඬ්‍ෙ බදාගෙන ලෙවකන්ට පටන් ගත්තා. ඇතාත් බලුපැටියාව සොඬෙන් අරගෙන ඇත්කුඹ මත තියාගෙන නටන්ට පටන් ගත්තා. සතුටෙන් පෙරලුනා. කඳුළු සැලුවා.

ඇත්කුඹෙන් බස්සවලා ඉස්සෙල්ලාම බල්ලාට කන්ට දුන්නා. ඊටපස්සෙයි ඇතා කෑවේ. ඇත්රජා සුවපත් වීම ගැන රජ්ජුරුවන්ට ගොඩාක් සතුටුයි. තිරිසන්ගත සත්වයන්ගේ අදහස් පවා තේරුම් ගන්ට ඇමතියා දක්ෂ වීම ගැන සතුටු වූ රජ්ජුරුවෝ ඔහුට බොහෝ තෑගිබෝග  දුන්නා.

“පින්වත් මහණෙනි, මේ දෙන්නාගේ විශ්වාසය ඔය විදිහට පෙර ආත්මේ ඉඳන් එන එකක්. එදා ඇතා වෙලා සිටියේ ඒ මහලු භික්ෂුව. බලු පැටියා වෙලා උන්නේ ඒ උපාසක. ඇමතියා වෙලා සිටියේ මමයි” කියා භාග්‍යවතුන් වහන්සේ මේ අභිණ්හ ජාතකය වදාළා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

26. මහිලාමුඛ ජාතකය
මහිලාමුඛ ඇත්රජුගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

කොයිතරම් පහසුකම් තිබුනත් යම් තැනක අර්බුදකාරී වටපිටාවක් තියෙනවා නම් එතනැට යන්ට හොඳ නෑත නැති කරදර වල පැටලෙනවාත සැකයට බඳුන් වෙනවා. මේ කථාවෙන් කියවෙන්නේ එබඳු දෙයක්.

ඒ දවස් වල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමයේ. ඒ කාලේ දේවදත්ත ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වලා අජාසත් කුමාරයාව පහදවාගෙන තිබුනා. අජාසත් කුමාරයා සෑහෙන්ට වියදම් කරවා දේවදත්ත වෙනුවෙන් ගයා ශීර්ෂයේ ලස්සන පන්සලක් කෙරෙව්වා. නොයෙක් ප්‍රණීත භෝජනයන් ගෙන් යුක්ත ආහාර බඳුන් පන්සියයක් දිනපතා එතන්ට පිටත් කළා. දේවදත්තට ලැබුණු මහත් ලාභ සත්කාර නිසා ඔහුගේ පිරිසත් වැඩිවුනා.

ඔය අතරේ රජගහ නුවර යහළුවෝ දෙදෙනෙක් පැවිදි වෙන්ට කැමැත්තෙන් සිටියා. ඔවුන්ගෙන් එක් අයෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුනා. අනෙක් කෙනා සිටියේ ගයාවේ. ඔහු දේවදත්ත භාග්‍යවතුන් වහන්සේට විරුද්ධව ගිය බව දන්නේ නෑ. ඔහු ගිහින් දේවදත්ත ළඟ පැවිදි වුනා. මේ යහළු භික්ෂූන් දෙදෙනා වරින්වර මුණගැසෙනවා.

දවසක් දේවදත්ත ළඟ ඉන්න භික්ෂුව අනිත් භික්ෂුවට මෙහෙම කිව්වා. “හනේ…. ඇවැත්නි…. දිනපතා දහඩිය වගුරුවාගෙන පිණ්ඩපාතේ කරගන්ට ඔතරම් දුක් විඳින්නේ ඇයි? බලන්ට දේවදත්ත ගැන. ගයා ශීර්ෂයේ පන්සලේ ම නැවතිලා ඉන්නවා. නිතිපතා නානාග්‍ර රසයෙන් ප්‍රතිමණ්ඩිත ප්‍රණීත භෝජන වළඳනවා නොවැ. අපිත් හරිම පහසුවෙන් ඉන්නේ. කිසි කරදරයක් නෑ. අනේ ඇවැත්නි…. මොනවාට දුක් විඳිනවාද! නිකමට වඩින්න ඒ පැත්තේ…. පාන්දරින් ගයා ශීර්ෂයට වැඩියොත් හීලෙට කැඳ වළඳින්ට පුළුවනි. ඊටපස්සේ දහඅට වැදෑරුම් රසකැවිලි වළඳින්ටත් පුළුවනි. දහවල ප්‍රණීත භෝජන වළඳින්ට පුළුවනි.”

ඉතින් ඒ භික්ෂුව තමන්ට වඩින්ට කියලා නැවත නැවතත් කියන නිසා එය ඇසූ භික්ෂුවටත් ගයා ශීර්ෂයට වඩින්ට කැමැත්ත ඇතිවුනා. දවසක් මොහු පාන්දරින් වේළුවනයෙන් පිටත් වුනා. දෙව්දත්ගේ පන්සලට ගියා. කථාව ඇත්ත. කෑම බීම පිරිලා. එදා හොඳට දන් වළඳා සවස් වෙද්දී වේළුවනයට වැඩියා. මේ භික්ෂුව ටිකෙන් ටික ගයා ශීර්ෂයට යන්ට පුරුදු වුනා. නමුත් වැඩිකල් නොයා මේ භික්ෂුව ගයා ශීර්ෂයට යන රහස් ගමන ගැන බොහෝ භික්ෂූන්ට ආරංචි වුනා. තම යහළු භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවගෙන් මේ ගැන විමසුවා. “හැබෑද ඇවත…. දේවදත්තගේ පන්සලේ පිහිටවපු දන්වැටින් ගිහින් වළඳිනවා කියන්නේ?” “හප්පේ…. කවුදෑ කිව්වේ?” “අසවල් අසවල් භික්ෂූන් දැකලා තියෙනවා නොවැ. පාන්දරින් ම මෙහෙන් යනවාලු. හවස් වෙද්දි ආපහු වඩිනවාලු” “ඇත්ත ඇවැත්නි…. මං ගයා ශීර්ෂයේ පන්සලට ගිහින් වැළඳුවා. එහේ මගේ යාළුවෙක් ඉන්නවා. ඒ නිසයි ගියේ. දේවදත්තත් සමග මගේ සම්බන්ධයක් නෑ. අනික එහේදි දේවදත්ත මට දන් බෙදුවේ නෑ. මට දන් බෙදුවේ මිනිස්සු.”

“ඈ ඇවත…. ඔබ දන්නෙ නැද්ද, දේවදත්ත භාග්‍යවතුන් වහන්සේට විරුද්ධයි. දුස්සීලයි. අජාසත් කුමාරයාව පහදවා ගත්තේ ධර්මයෙන් නොවෙයි. අධාර්මිකව උපදවා ගත්තු ලාභ සත්කාරයක් ඔහුට තියෙන්නේ…. ඔබ මේ වගේ උතුම් බුදු සසුනක පැවිදි වෙලා ආහාර වේලක් වෙනුවෙන් අසත්පුරුෂයෙකු ළඟට යන එක හරිද? යමු යමු අපි භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට යමු” කියලා අර භික්ෂුව අදිමදි කරද්දි භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා.

භාග්‍යවතුන් වහන්සේ එය දැක භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මේ භික්ෂුව අකමැත්තෙන් වගේ මෙහෙම කැඳවාගෙන එන්නේ ඇයි?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉතා ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කෙනෙක්. මේ ළඟකදී පටන් දේවදත්තගේ පන්සලට හොරෙන්ම ගොහින් ඔහු අධාර්මිකව උපදවා ගත් බොජුන් වළඳිනවා” “ඇත්තද භික්ෂුව…? දේවදත්ත අධාර්මිකව උපදවා ගත් බොජුන් ඔබ වළඳිනවාද?” “අනේ නෑ ස්වාමීනී…. දේවදත්ත මට දානෙ දුන්නේ නෑ. මට දන් බෙදුවේ මිනිස්සු. අනික මං දේවදත්තගේ මතය පිළිගත් කෙනෙකුත් නෙමෙයි.”

“ඒ වුනාට එහෙම කරන්ට එපා භික්ෂුව. ඔබ ආහාර පිණිස වුනත් එතනට ගිය එක වැරදියි. දේවදත්ත ජනයා අතර විශාල වශයෙන් අර්බුද හදනවා. එතකොට අන් අය ඔබවත් සැක කරන එක වළක්වන්ට බැහැ. ඔබ පෙර ආත්මෙත් ඔහොම තමයි. අවබෝධයකින් තොරව දැකපු දැකපු අයව ඇසුරු කරන්ට ගොහින් අමාරුවේ වැටුනා” කියා වදාළා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ යටගියාවෙහි සිදුවීම කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ඈත අතීතයේ බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ පණ්ඩිත ඇමතියෙක් වෙලා ඒ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද කළා. ඔය බරණැස් රජ්ජුරුවන්ට මහිලාමුඛ කියලා ඉතා යහපත් මංගල හස්තියෙක් හිටියා. ඒ ඇතා ඉතා කීකරුයි. ආචාර සම්පන්නයි. කාටවත්ම කරදරයක් කළේ නෑ.

දවසක් මහිලාමුඛ ඇත්රජා බැඳ සිටිය ශාලාව අයිනට සොරු රංචුවක් ආවා. ඔවුන් ඇතාට නොදුරින් වාඩිවෙලා සොරකම් කරන හැටි කථාබස් කළා. නායක සොරා අලුත් සොරුන්ට අවවාද කළා. “මේ…. ශීලාචාර ගතිගුණත් එක්ක සොරකම් කරන්ට බෑ. ඔහොම සුරතලේට බෑ. දරුණු වෙන්ට ඕනෑ. නපුරු වෙන්ට ඕනෑ. අනක් ගුණක් නැතිවෙන්ට ඕනෑ. හොරකමක් කරද්දි කිසි භයක් නැතුව ළඟට ආපු ඕනෑම එකෙක්ව මරාදාන්ට ඕනෑ. සිත සිතා හොරක්ම කරන්ට බෑ. ඕන්න මතක තියාගනිං. දැන් ඔය කරුණා දයා අතෑරපං. හොඳ හැටි නපුරු වෙයං” කියලා කිව්වා. එතන සිටිය මහිලාමුඛ ඇත්රජා හොඳට කන් යොමාගෙන අසාගෙන උන්නා. ඇතා සිතුවේ තමන්ට උපදෙස් දෙනවා කියලයි. පසුවදාත් හොරු රංචුව එතනට ම රැස්වුනා. කලින් වගේම ඔවුන් සොරකම් ගැන කථා කළා. හොරෙක් දරුණු වෙන්ට ඕනෑ කොහොමද කියලා කියාදුන්නා. ඇතා හිතුවේම තමන්ට උපදෙස් දෙනවා කියලයි. ඉතින් ඇතාත් ඒ සෑම උපදේශයක් ම සිතට ගත්තා. මීට පස්සේ නම් ඒ උපදෙස් වලට අනුවම ඉන්ට ඕනෑ කියලා හිතුවා.

පසුවදා උදේ ඇත්ගොව්වා ආවා. මෙතෙක් කලක් කාටවත් කරදරයක් නොකළ හොඳ ඇතෙක් නිසා ඇත් ගොව්වා කිසි භයක් නැතුව වෙනදා වගේම ඇතා ළඟට ගියා. ඇතා සැණෙකින් හොඬෙන් අල්ලා උස්සා ඇත් ගොව්වා පොළවේ ගසා මැරුවා. එතනට එන එන ඇත් ගොව්වාව මරාදැම්මා. දැන් ඇතාව කාටවත්ම මේච්චල් කරගන්ට බෑ. මහා දරුණු ඇතෙක් වුනා. සේවකයන් වහා ගිහින් රජ්ජුරුවන්ට දැනුම් දුන්නා.

“දේවයන් වහන්ස, අර අප ළඟ සිටිය ශාන්ත ගතිගුණ තිබුනු මහිලාමුඛ ඇත්රජා හදිසියේම පිස්සු වැටිලා. මහා භයානක තත්වයකට පත්වෙලා කාටවත් ළං වෙන්ට බෑ. ළඟට එන එන කෙනාව මරනවා.”

එතකොට රජ්ජුරුවෝ මේ ගැන වහාම සොයා බලන්ට කියලා බෝසත් ඇමතිතුමාව මහිලාමුඛ ඇත්රජා ළඟට පිටත් කළා. බෝධිසත්වයෝ එතනට ගොහින් ඉතා හොඳින් පරීක්ෂා කළා. ඇතාට රෝගයක් වැළඳුනු බවට කිසිම ලකුණක් නෑ. ‘ම්…. දැනගන්ට නම් ඇතාට කිසිම රෝගයක් නෑ. කාගෙන් හරි වැරදි උපදේශයක් ලැබී තියෙන පාටයි…. ඇතා නරක් වුනේ ඒ නිසාම වෙන්ට ඕනෑ” කියා කල්පනා කොට වටේ සිටිය ඇත්ගොව්වන් ගෙන් ඇහුවා. “මේ ඇතා බැඳලා හිටිය කිට්ටුවෙන් කවුරුහරි ඇවිත් මොනවහරි කතාබස් කළාද?” “එහෙමයි ස්වාමීනී…. කොලු රෑනක් ඇවිත් දවස් කීපයක් රෑට රෑට ඔතන වාඩි වෙලා කථා කර කර හිටියා. ඊටපස්සේ තමයි ඇතා නරක් වුනේ”

“එහෙනම් නිච්චියට ම ඒ කථා කරලා තියෙන්නේ හොරු වෙන්ට ඕනෑ. ඔවුන්ගේ කථාව අහලා තමයි ඇතාට මේ ඇබැද්දිය වුනේ” කියලා බෝසත් ඇමති රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. “දේවයන් වහන්ස, ඇතාට අසනීපයක් නෑ. හොරුන්නේ නපුරු බස් අසාගෙන ඉඳලා. තමන්ට ඒවා උගන්වනවා කියලා ඇතා රැවටිලා ඒ නිසයි නපුරු වෙලා තියෙන්නේ. දැන් කරන්ට තියෙන්නේ. සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇතාට ඇසෙන මායිමේ වාඩි කරවා යහපත් දේ අස්සවන එකයි. එතකොට හරියාවි.”

රජ්ජුරුවෝ සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ව ඇත්හලේ පැත්තකින් වාඩි කෙරෙව්වා. එතකොට ඇතාට ඇහෙන්ට ඔවුන් කථාබස් කළා. “හා…. හා…. කේන්ති ගන්ට නාකයි. කලබොල වෙන්ටත් එපා. ඉවසන්ට ඕනෑ. කරුණාවන්ත වෙන්ට ඕනෑ. තමන් ළඟට එන කෙනාට ආදරයෙන් සළකන්ට ඕනෑ. කාටවත්ම හිරිහැර කරන්ට එපා. ආයෙ වරදක් වෙන්ට තියන්නේ නෑ කියලා හොඳ හැටියට සිතට ගන්ට ඕනෑ” කියා සාකච්ඡා කළා. මහිලාමුඛ ඇතා ඉතා හොඳට සවන් දීගෙන හිටියා. මෙයාලා ඇවිත් තමන්ට උගන්වනවා කියලා හිතුවා. තමන් ශාන්ත කෙනෙකු වෙන්ට ඕනෑ කියලා දැඩිව සිතට ගත්තා. එදා පටන් ඇතා යහපත් වුනා.

රජ්ජුරුවෝ බෝසත් ඇමතියාගෙන් ඇහුවා.

“දරුව…. දැන් කොහොමද ඇතාට? කලින් වගේ ශාන්ත වුනාද?” “එහෙමයි දේවයන් වහන්ස, මෙබඳු දුෂ්ට ඇතාත් නුවණැත්තන් නිසා තමන් ළඟ තිබුනු පැරණි ගුණදහම්වල නැවත පිහිටන්ට ලැබුනා” කියා මේ ගාථාව පැවසුවා.

“සොරුන්ගේ වදන් අසා නපුරුව

තම ඇත්ගොව්වන් ද නසා

මුළාව ගිය ඇත්රජා

සිල්වතුනගෙ බස් අසා

හැම ගුණයේ පිහිටියේ උතුම් ඇතා”

“දැක්කා නේද පින්වත් භික්ෂුව…? පෙර ආත්මෙත් ඔබ දැකපු දැකපු අයව ඇසුරු කරන්ට ගියා. සිතා බැලුවේ නෑ. සොරුන්ගේ වචන අසා සොරුන් ඇසුරට වැටුනා. සිල්වතුන්ගේ වචන අසා සිල්වතුන් ඇසුරට වැටුනා. දැන්වත් සිහිමුළා නොකරගෙන සිහි නුවණින් කටයුතු කරන්ට. එදා මහිලාමුඛ ඇතා වෙලා සිටියේ දේවදත්ත ගේ පිරිසේ ඇසුරට වැටුනු මේ භික්ෂුවයි. රජ්ජුරුවෝ වෙලා සිටියේ අපගේ ආනන්දයන්. නුවණැති ඇමතියා වෙලා සිටියේ මමයි” කියා භාග්‍යවතුන් වහන්සේ මෙම මහිලාමුඛ ජාතකය වදාළා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

25. තිත්ථ ජාතකය
පැන්තොට ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

එක් එක් ජීවිත වල අප පුරුදු කරන දේවල් අපගේ සසර පුරුදු හැටියට බොහෝ කල් දිගින් දිගට පවතින්ට පුළුවනි. ධර්මය අවබෝධ කරගැනීමේදී පවා කෙනෙක් තවත් කෙනෙකුගෙන් වෙනස් වෙන්නේ ඒ සසර පුරුද්ද අනුව විය හැකියි. මේ කථාවෙන් කියවෙන්නේත් සසර පුරුද්දක් ධර්මාවබෝධයට බලපෑ ආකාරයයි.

සැවැත් නුවර රන් කැටයම්කරුවෙකුගේ පුත්‍රයෙක් සිටියා. ඔහුටත් ධර්මය අසා පැවිදි වීමේ ආසාව ඇතිවුනා. මව්පියන්ගෙන් අවසර ගත් මොහුට අපගේ සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් ලෙස පැවිදි වෙන්ට වාසනාව ලැබුනා.

මේ නවක භික්ෂුව ඉතාමත් ගුණගරුකයි. වත පිළිවෙතින් යුක්තයි. උත්සාහයෙනුත් යුක්තයි. අපගේ සාරිපුත්තයන් වහන්සේ මේ නවක භික්ෂුවට පැවිදි වූ අලුත කාහටත් දෙන මූල කර්මස්ථානය වන අසුභ භාවනාව කියාදුන්නා. ඉතින් මේ භික්ෂුවත් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ අවවාදය පිළිගෙන අසුභ භාවනාවෙහි යෙදුනා. දෙතිස් කුණුපයන් මෙනෙහි කරන්ට පටන් ගත්තා. අහෝ කිසිවක් අරමුණු කරගන්ට බෑ.

තිබුනාටත් වඩා වේගයෙන් සිත විසිරෙන්ට පටන් ගත්තා. එතකොට මේ භික්ෂුව ගිහින් අපගේ ධර්ම සේනාධිපතීන් වහන්සේට ඒ ගැන කියා හිටියා. අපගේ සාරිපුත්තයන් වහන්සේ නැවත නැවතත් අසුභ අරමුණු විස්තර කොට දුන්නා. ඒ භාවනාවෙහි ම උත්සාහවත් කළා. මේ භික්ෂුවත් එක දිගට උත්සාහ කළා. නමුත් ස්වල්ප මොහොතකටවත් අසුභ භාවනාව තුළ සිත තැන්පත් කරගන්ට බැරිවුනා.

එතකොට අපගේ සාරිපුත්තයන් වහන්සේ තම ශිෂ්‍ය භික්ෂුව කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්ට වැඩියා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් සාරිපුත්තයෙනි, භික්ෂුවක් කැඳවාගෙන ආවා නේද?”

“එහෙමයි භාග්‍යවතුන් වහන්ස, මං මේ භික්ෂු නමට භාවනාව දිගටම කියාදුන්නා. දැනට හාරමාසයක් ගතවුනා. සිතේ විසිරීම වැඩිවුනා මිසක් සිත තැන්පත් වුනේ නෑ. එතකොට ස්වාමීනී, මට සිතුනේ මේ නම භාග්‍යවතුන් වහන්සේ විසින් ම හික්මවිය යුතු කෙනෙක් වෙන්ට ඇති කියලයි. ඒ නිසයි කැඳවාගෙන ආවේ”

“සාරිපුත්තයෙනි…. ඔබ මේ ශිෂ්‍ය නමට දුන් භාවනාව කුමක්ද?”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මං දිගටම විස්තර කළේ අසුභ භාවනාවයි”

“සාරිපුත්තයෙනි, මොහුව හික්මවිය යුත්තේ ආසයානුසය ඤාණය තුළින් බලලයි. ආසයානුසය ඤාණය ශ්‍රාවක ඤාණයක් නොවෙයි. කමෙක් නෑ සාරිපුත්තයෙනි, මේ නම මෙහේ නවත්වා යන්ට. සවසට ඇවිත් එක්කරගෙන යන්ට පුළුවන් නොවැ”

අපගේ සාරිපුත්තයන් වහන්සේ තම ශිෂ්‍ය නම භාග්‍යවතුන් වහන්සේ වෙත රඳවා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිටත් වුනා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව පොරවා සිටි පාංශුකූල චීවරය වෙනුවට පොරවාගැනීමට අලුත් සිවුරකුයි අඳනයකුයි දුන්නා. භාග්‍යවතුන් වහන්සේත් සමග පිඬුසිඟා වැඩියා. සවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු නමත් කැඳවාගෙන විහාර චාරිකාවේ වැඩියා. එහි අඹ වනයක රමණීය පොකුණක් මැව්වා. ඒ පොකුණ කදිම නෙළුම් විලක්. මේ නෙළුම් විලේ විශාල නෙළුමක් මැව්වා.

“පින්වත් භික්ෂුව, දැන් ඔබ මෙතන වාඩිවෙන්ට. හොඳ හැටියට මේ නෙළුම දිහා බලාගෙන ඉන්ට ඕනෑ” කියලා අවවාද කොට ගන්ධ කුටියට වැඩියා. ඉතින් අර භික්ෂුව නෙළුම දිහාම බලාගෙන සිටිද්දි තම සිත ක්‍රම ක්‍රමයෙන් මැනවින් එකඟ වුනා. ප්‍රීතියත් සැහැල්ලුවත් ඇතිවුනා.

එතකොට අර නෙළුමේ පෙති ටිකෙන් ටික පරවෙන්ට පටන් ගත්තා. පෙති හැලෙන්ට පටන් ගත්තා. නෙළුම් රේණු හැකිලුනා. මැලවී ගියා. එතකොට ඒ භික්ෂුවට මෙහෙම හිතුනා. ‘ආහා…. මේ නෙළුම මොනතරම් ලස්සනට තිබුනාද! ටික වේලාවකින් ඒ හැම දෙයක්ම වෙනස් වුනා. මැලවී ගියා. පෙති හැලුනා. ජරාවට පත්වුනා. මේ ශරීරයත් මේ විදිහ තමයි. පෙනුමට තියෙන්නේ සුළු කාලයකටයි. කෙමෙන් කෙමෙන් ජරාවට යනවා. මේක ධර්මතාවක්’ කියලා සිතද්දී භාග්‍යවතුන් වහන්සේ ගඳ කිළියේ වැඩ සිටිමින්ම ආලෝකයක් පතුරුවා මේ ගාථාව වදාළා.

“උච්ඡින්ද සිනේහමත්තනෝ – කුමුදං සාරදිකං’ව පාණිනා

සන්තිමග්ගමේව බ්‍රෑහය – නිබ්බානං සුගතේන දේසිතං”

“සරත් කලට පිපී දිලෙන – සුදු මහනෙල් මල අතින් නෙලන සේ

හැම බැඳුම් තමා තුළ ඇති – නසා දමනු මැන මැනැවින්

සුගතයාණන් විසින් වදහළ – අම නිවන් දෙන ඒ මගෙහි

දියුණු කරගත මැනැව මැනැවින්”

මේ ගාථාව අසනවාත් සමගම ඒ භික්ෂුව පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත්වුනා. එදා දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූන් වහන්සේලා මේ අසිරිමත් සිද්ධිය ගැන කථාබස් කරමින් සිටියා.

“ඇවැත්නි, සම්බුදු නුවණ හරි අසිරිමත් නේද? අපගේ ධර්ම සේනාධිපතීන් වහන්සේ හාර මාසයක් අවවාද කරලත් ඒ භික්ෂුවට චිත්ත සමාධි මාත්‍රයක් උපදවාගන්ට බැරිවුනා. නමුත් වරුවයි ගියේ. භාග්‍යවතුන් වහන්සේ උතුම් රහත් ඵලය දක්වා හික්මවා වදාළා නොවැ. අහෝ…. බුද්ධානුභාවය නම් මහා ආශ්චර්යයක්!”

එතකොට භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩමවා වදාළා. භික්ෂූන් වහන්සේලා තමන් කථාබස් කරමින් සිටිය කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේට සැළකළා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. “පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ නමක් තමන්ගේ ඤාණ බලයක් වන ආසයානුසය ඤාණයෙන් කෙනෙකු හික්මවන එක පුදුමක් නොවෙයි. නමුත් මං පෙර ආත්මයේ පවා සත්වයන්ගේ චිත්ත ස්වභාවය හඳුනාගෙන කටයුතු කළා.”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ අතීතයේ බෝසත් අවධියේ කටයුතු කළ ආකාරය ගැන කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්දත්ත නම් රජ්ජුරු කෙනෙක් රජකම් කළා. ඒ කාලේ මහ බෝධිසත්වයෝ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ පුරෝහිත ඇමතියා හැටියට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. දවසක් රජ්ජුරුවන්ගේ මංගල අශ්වයා ස්නානය කරවන පැන් තොටෙහි බාල වර්ගයේ වල් අස්ප ගණයට අයත් වෙළඹකව නහවලා. මංගල අශ්වයා ස්නානය කරවන්නට එතනට කැඳවාගෙන ගියා. වල් අශ්වයෙකු එතැනට බැසගත් වග මංගල අශ්වයාට ඉවෙන් දැනුනා. ඔහු ඒ පැන් තොටට බසින්ට කොහෙත්ම කැමති වුනේ නෑ. අශ්වයා වතුරට බහින්නේ නැත්තේ මන්දැයි යන කරුණ සොයාගන්ට සේවකයන්ට බැරිවුනා. ඔවුන් ගිහින් රජුට දැනුම් දුන්නා. “දේවයන් වහන්ස, අද හරි වැඩක් නොවැ. අපේ මංගල අශ්වයා වතුරට බහින්නේම නෑ. මොකක්දෝ වෙනසක් වෙලා” රජ්ජුරුවෝ බෝසතුන්ව ඇමතුවා. “පණ්ඩිතයෙනි, පැන් තොට ළඟට යන්ට. ගිහින් දැනගන්ට අපේ අශ්වයාට මොකද වුනේ කියලා.”

බෝධිසත්වයෝ ගංතෙරට ගිහින් අශ්වයාව හොඳ හැටියට පරීක්ෂා කළා. දැනගන්ට නම් කිසිම රෝග ලක්ෂණයක් නෑ. වෙනත් අශ්වයෙකු වතුරට බැස්ස අඩි පාරවල් ගං ඉවුරේ තියෙනවා දකින්ට ලැබුනා. ‘ම්…. මීට කලින් වෙනත් අශ්වයෙක් වතුරට බැහැලා නාලා තියෙනවා වගේ. මේ අශ්වයා වතුරට බහින්ට පිළිකුල් කරන්නේ ඒ නිසා වෙන්ට ඕනෑ’ කියලා සිතුවා. අස් ගොව්වා කැඳවා විමසුවා. “එම්බා පුරුෂය, මේ අශ්වයා ගේන්ට කලින් මෙතන වෙනත් අශ්වයෙකුව ස්නානය කෙරෙව්වාද?” “එහෙමයි හිමියනි, එක්තරා වෙළඹකව නැහැව්වා තමයි” “ඒක තමයි…. මේ මංගල අශ්වයා තමන් ගැන තියෙන සාඩම්බරකම නිසා බාල අශ්වයෙකු ස්නානය කරවපු තැන ගැන පිළිකුළක් ඇතිවෙලා. ඒකයි මෙතනට බහින්ට අකමැති වුනේ. වෙනත් පැන් තොටකට රැගෙන යන්ට. එතකොට අශ්වයා එතැනින් වතුරට බසීවි. භවත් අස්ගොව්ව…. ගිතෙල් මීපැණි යුතු කිරිබතක් වුනත් හැමදාම වළඳන්ට ගියොත් එපා වෙනවා. මේ මඟුල් අසුත් හැමදෑම ස්නානය කරවන්නේ මෙතැන නොවැ. එනිසා අද වෙනත් තැනකට ගෙනියන්ට. එතැනින් ස්නානය කරවන්ට. එතැනින් පැන් පොවන්ට” කියලා මේ ගාථාව පැවසුවා.

“වෙන පැන් තොටකට ගෙන ගොස්

අසු නාවනු අස්ගොව්වෝ

නිතරම් කිරිබත් කෑවොත්

ඇතිවෙනවා මිනිසෙකුටත්”

මෙය තේරුම් ගත් අස්ගොව්වා මංගල අශ්වයාව වෙනත් පැන් තොටකට රැගෙන ගියා. අශ්වයා කිසි වගක් නැතුව සතුටින් වතුරට බැස්සා. පැනුත් බිව්වා. ‘අපේ පණ්ඩිතයෝ අශ්වයාගේ අදහස තේරුම් අරගෙන කටයුතු කිරීමෙන් අශ්වයා සුවපත් වුනා නොවැ’ කියා රජ්ජුරුවෝ ඔහුට තෑගිභෝග දුන්නා. ඒ කාලේ මංගල අශ්වයා වෙලා සිටියේ මා විසින් රහත් ඵලය තෙක් හික්මවන ලද මේ භික්ෂුවයි. රජ්ජුරුවෝ වෙලා සිටියේ අපගේ ආනන්දයන්. පණ්ඩිත අමාත්‍යයා වෙලා සිටියේ මං නොවැ” කියලා මේ ජාතකය වදාළා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ