අපේ ආච්චිගේ ලස්සන බණ කථාව | Mahamegha Magazine

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 26
එදා ආච්චියි මායි බෝධි වන්දනාවට ගියා. ආච්චි මහත් ආදරයෙන් බෝධීන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ ආච්චි කළේ මල් ආසනවල තිබූ පරමල් අස්කොට පැන් ගෙනැවිත් මලසුන් සේදීමයි. ඊට පස්සේ ආච්චි ඉතාම ලස්සනට බෝ මළුව ඇමදුවා.

“පුතේ… මෙහෙ එන්ට. ආං අර බලන්ට… කවුදෝ මෝඩ අම්මණ්ඩි කෙනෙක් බරපතළ අකුසලයක් රැස් කරගෙන.”

“කෝ… ඒ මොකක්ද ආච්චි….”

“ආං පුතේ… අර කොඩියක ලියලා තියෙන්නේ ‘සුසිල් පුතාගේ අපල දුරුවේවා’ කියලා. අර තව එකක් ‘රංජනීගේ කේතු අපල දුරුවී රැකියාවක් ලැබේවා’ කියලා. අනේ මයෙ පුතේ… ඕවා හෙමිහිට ගලවා වීසිකර දමන්ට.”

“ඇයි ආච්චියේ එයාලා මේ වගේ දේවල් කොඩිවල ලියලා එල්ලන්නේ?”

“අන්ධබාල පෘථග්ජනකමනේ පුතේ. ත්‍රිවිධ රත්නය සරණ නොගිය ළාමක ගෑනු නොවැ. හොඳට පව් කරගෙන.

පුතේ… ගෑනු අයට බෝධිපත්‍ර ස්පර්ශ කරන්ට කැප නෑ. බෝධින් වහන්සේගේ අත්තක්වත් ස්පර්ශ කරන්ට කැප නෑ. අත තියන්ට කැප නෑ.”

“එතකොට ආච්චි…. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ නොවැ බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව ලංකාවට වැඩමුවේ. මං අසා තියෙන්නේ එහෙමයි.”

“ඒක හරි පුතේ… ඔයා අසා ඇති විදිහ හරි. නමුත් පුතේ ඒ උත්තමාවී බෝධින් වහන්සේ ස්පර්ශ කළේ නෑ…. පුතේ…. බෝධින් වහන්සේ කියන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වය කියාපාන ජීවමාන සාක්ෂිය. සංඝමිත්තා තෙරණියෝ බෝධීන් වහන්සේ ව වැඩැම්මුවේ ජීවමාන ශාස්තෘන් වහන්සේ හැටියට සලකලයි.

පුතා දන්නවැයි… ඉස්සර රහතන් වහන්සේලාගේ යුගයේ කවරදාකවත් බෝ මළුවට කුඩයක් ඉහළාගෙන ගොහින් නෑ. පාවහන් පැලඳගෙන ගොහින් නෑ. ඒකට දැන් බලන්ට එපායැ…. තිසරණ මාත්‍රයක් නැති ගෑනු මිසදිටු අන්ධ විශ්වාස කර තියාන ඇවිත් බෝ අත්ත උඩ පැනලා අල්ලාගෙන කොඩි ගැටගහලා අතාරිනවා.”

“ඇයි ආච්චි එයාලා ඒක පව් කියලා දන්නේ නැත්තේ?”

“මේකනේ පුතේ… ගෑනු ධර්මය ඉගෙන ගන්නෙ නෑ. කෙළවරක් නැතිව නැකත් පස්සේ, කේන්දර පස්සේ, දේවාල පස්සේ, අපල පස්සේ දුවනවා. ගෑනු තමයි ඉක්මනින් ම මිසදිටු ගන්නේ. ගෑනු තමා ඉක්මනින් නොමග යන්නේ.

පුතේ… ඔයැයි දන්නවා ද ‘බෝධිය’ කියන වචනයේ අරුත?”

“අනේ මට කියාදෙන්ට ආච්චියේ.”

“පුතේ ‘බෝධිය’ කියන්නේ චතුරාර්ය සත්‍යාවබෝධයට යි. අපේ භාග්‍යවතුන් වහන්සේ යම් රුක් සෙවණක වැඩ හිඳ චතුරාර්ය සත්‍ය ධර්මය කාගේවත් උදව්වක් නැතිව අවබෝධ කළා ද, එදායින් පස්සේ තමයි ඒ වෘක්ෂයටත් ‘බෝධිය’ කියා කියන්නේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ම යි, උන්වහන්සේ උපන් දවසේ ම යි බෝධින් වහන්සේ පහළ වුණේ. මේ බෝධින් වහන්සේ තමයි පුතේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජය වෘක්ෂය. ඒ නිසයි මෙයට ‘ජය ශ්‍රී මහා බෝධිය’ කියා කියන්නේ.”

“එතකොට ආච්චි බෝධියට වන්දනා කිරීමෙන් අපට ගොඩාක් පින් සිද්ධ වෙනවා ද?”

“ඔව් මයෙ පුතේ… බෝධින් වහන්සේට වන්දනා කොට, බෝධින් වහන්සේ අරමුණු කොට අප භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිකොට, බෝධින් වහන්සේට ආදර ගෞරව පූජෝපහාර පවත්වා දෙව්ලොව ගිය පිරිස ගණන් කරන්ට බැරි තරම්.

ඒ විතරක් යැ පුතේ, අපේ රටට බෝධින් වහන්සේ වැඩමවූවාට පස්සේ දඹකොළ පටුනේ හිටං අනුරාධපුරේ රජමැදුර දක්වා ම යොදුනක් ගානේ පූජෝපහාර පැවැත්තුවා. බෝධින් වහන්සේ රජ මැදුරේ මිදුලේ වඩා හිඳුවා රෝපණය කළ දවසේ අපේ දෙවනපෑතිස් රජ්ජුරුවෝ රජකොම බෝධීන් වහන්සේට භාර කොළා. තමුන් දොරටුපාල වෙස් ඇන්න සතියක් ම බෝධියට ආරස්සා මුර පූජාව පැවැත්තුවා.

මේ කාලේ ළාමක ගෑනු බල්ලෝ කපුටෝ කොඩිවල ඇඳලා අපල දුරුවේවා කියලා බෝධියේ එල්ලා ඇතිපදං නිගරු කරනවා.

පුතේ… බෝධි පූජාව මේං මෙහෙම කරන්ට. ඉස්සෙල්ලා ම අද මං කොළා වාගේ මලසුන් ගෙවල්වල පරමල් අස් කොරන්ට ඕනෑ. ඊට පස්සේ මලසුන් සෝදන්ට ඕනෑ. ඊට පස්සේ මළුව අමදින්ට ඕනෑ. ඊට පස්සේ තමුන් කැමති නම් බෝධීන් වහන්සේව පැන් කළයෙන් පැන් පහසු කොරවන්ට ඕනෑ. ඊට පස්සේ මල් මාලා ඇත්නම් පිරිමි දරුවන් ලවා පලඳවන්ට ඕනෑ. ඊට පස්සේ මල් පූජා කොරන්ට ඕනෑ. පහන් සුවඳ ආදිය පුදන්ට ඕනෑ. පැන් පාත්තරයක් පූජා කොරන්ට ඕනෑ. උදේ වරුවක නම් කිරිපිඬු, පලතුරු ආදියෙන් පුදනවා නං වඩාත් හොඳා. ඊට පස්සේ බෝධීන් වහන්සේට වන්දනා කොට හොඳට වාඩිවෙලා බුදුගුණ කියමින් වන්දනා කොරන්ට ඕනෑ. බෝධින් වහන්සේගේ ගුණ ඇතුළත් කවි මිහිරට කියමින් බෝධියට ස්තුති පූජා පවත්වන්ට ඕනෑ. ඊට පස්සේ රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍ර ආදිය මිහිරට කියා මෛත්‍රී භාවනාව කොට ඒ රැස් කළ පින දෙවියන්ටත් පුදා තමාත් අනුමෝදන් වෙන්ට ඕනෑ. ආං එහෙමයි පුතේ බෝධි පූජා කරන්නේ.”

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 25
“අනේ පුතේ, මං කල්පනා කොළේ එදා කොසොල් රජ්ජුරුවන්නේ බිසොව, මල්ලිකා දේවී දානෙ ප්‍රශ්නෙ විසඳූ අපූරුව.”

“මොකක්ද ආච්චියේ ඒ දානෙ ප්‍රශ්නෙ?”

“ඇයි පුතා දන්නෙ නැතෙයි, අසදෘශ මහා දානයක් කොසොල් රජ්ජුරුවෝ දුන්නා නොවැ.”

“අනේ මං අහලා තියෙනවා. ඒ උනාට ‘අසදෘශ’ යන වචනේ තේරුම දන්නෑ.”

“පුතේ… ‘අසදෘශ’ කියන්නේ කිසිවකට සමාන නැති කියන එක. ‘අසදෘශ මහා දානය’ කියන්නේ ‘කිසි දානයකට සම කොරන්ට බැරි දානය’ කියන එක.”

“අනේ ආච්චි, කොහොමෙයි කොසොල් රජ්ජුරුවෝ ඒ දානෙ දුන්නේ?”

“මෙහෙමයි පුතේ ඒක වුණේ. එක් කාලෙක අපගේ භාග්‍යවතුන් වහන්සේ ජනපද චාරිකාවේ වැඩලා සැවැත්නුවරට වැඩියා. එතකොට කොසොල් රජ්ජුරුවෝ රජගෙදර දානයක් සංවිධානය කොරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩමවා දානෙ දුන්නා. ඊට පස්සේ නගරවාසීන් එකතුවෙලා ඊටත් වඩා ජයට දානෙ සංවිධානය කරලා දානෙ දුන්නා. රජ්ජුරුවන්ට මේක ආරංචි වුණා. “හෑ…. එහෙම කොහොමෙයි කරන්නේ. මං නොවැ රජා… මගේ දානෙ නොවැ ජයට ම තියෙන්න ඕනැ ඒ?” කියලා පසුවදා රජගෙදරට වඩම්මලා නගරවාසීන් දුන්නාට වඩා ජයට දානෙ පූජා කර ගත්තා. නගරවාසීන් දානෙ බලන්ට ආවා. ‘හහ්… අපේ රජ්ජුරුවෝ හිතාන ඉන්නේ එයැයිට විතරයි ඔහොම දානෙ දෙන්ට ඇහැක කියා. ඔයිට වඩා හොඳ අපූරුවට දන් පැන් පුදන්ට අපටත් පුළුවනි’ කියා ඊටත් වඩා සරුවට දන් පූජා කළා.

ඉතිං පුතේ… මේ දන් පූජා කිරිල්ලෙදි රජ්ජුරුවෝ පරදිනවා. නගරවාසීන් දිනිනවා. කොසොල් රජ්ජුරුවෝ මේ ගැන මහා කණස්සල්ලෙන් හිටියා. මල්ලිකා දේවී හරි නුවණක්කාරි නොවැ පුතේ. ඈ ඇවිත් රජ්ජුරුවන්ගෙන් ඇහැව්වා.

“ඕ… මොකෝ දේවයන් වහන්ස, මේ… මහා කණගාටුවෙන් වගේ… මූණත් තඩිස්සි වෙලා.”

“මූණ තඩිස්සි නොවී තියේ යැ දේවී… බලාපන්කෝ මේ නගරවාසීන්ට වෙච්චි දේ. උන් තරඟෙට ආවේ මාත් එක්ක නොවැ. හැම දානෙදි ම උන් දිනුම්…. මං පරාදයි! හහ්….”

“නෑ… දේවයෙනි… එහෙම කොහොමෙයි. ඔයැයි කෝසලාධීශ්වර. ඔයැයිට ඇහැක් විදිහට දන් දෙන්ට ඔය කාටවත් බෑ.”

“හෝ… හෝ… ඒ කොහොමෙයි?”

“දේවයෙනි…. මං කියන්නං කරමේ… මේ මං කියන පැලෑනෙට දානෙ දුන්නොත් ආයෙ ඉතිං නගරවාසීන් ඇවිත් ඇස්ගෙඩි ලොකු කොරාන, කට බලියාගෙන බලා සිටීවි…එච්චරයි!”

“හොහ්… හොහ්…. හරි අගෙයි. ඉතිං කියන්ටකෝ අනේ.”

“මෙහෙමයි… දේවයිනි…. රාජාංගනේ මැද සල්කළණ ලීයෙන් මණ්ඩප පන්සීයක් කරවන්ට ඕනෑ. ඒ මණ්ඩප බිම නිල් මහනෙල් අතුරන්ට ඕනෑ. ඒ මත කසීසළු එලූ ආසන පනවන්ට ඕනෑ. එක එක ඇතා ව ලාස්සනට සරසාලා හිටං ඒ ඇත්තුන්නේ හොඬට සුදු කුඩයක් දීලා හිටං එක එක මණ්ඩපය අයිනේ හිටවන්ට ඕනෑ. එතකොට ඒ ඡත්‍රයෙන් තමයි උන්නාන්සේලාට හෙවණ ලැබෙන්නේ හොඳේ.

ඊට පස්සේ…. භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර සර්වාලංකාරයෙන් සැරසුනු ක්ෂත්‍රීය කන්‍යාවෝ දෙන්නා බැගින් වාඩි කරවන්ට ඕනෑ. ඈලා එතැන කරන්නේ සිව් වර්ගයෙකින් යුතු සඳුන් කල්ක අඹරා එතැන මැද තියෙන සඳුන් ඔරුවට දැමීමයි. එතකොට එතැන වාඩි වුණු තව ක්ෂත්‍රීය කන්‍යාවක් නිල් මහනෙල් මල් මිටියකින් ඒ සඳුන් ඔරුවේ සුවඳ දිය කලවම් කරමින් ඉන්ට ඕනෑ හොඳේ.

සර්වාලංකාරයෙන් සැරසුණු තව ක්ෂත්‍රීය කන්‍යාවක් තල්වැටින් පවන් සලන්ට ඕනෑ. තව ක්ෂත්‍රීය කන්‍යාවක් පැන් පෙරාගෙන විත් පාත්‍රා ආදිය සෝදන්ට පැන් දමන්ට ඕනෑ හොඳේ.

ඒ වගේ ම අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ආසනය, හේත්තුවෙන ලෑල්ල, පාපුටුව ආදී මේ සෑම එකක් ම සත්රුවන් කැටයමින් කරන්ට ඕනෑ හොඳේ” මල්ලිකා දේවීගේ මේ සැලැස්ම අසා කොසොල් රජ්ජුරුවන්ට සතුටේ බෑ.

“හරි… හරි… මල්ලිකා… අපි මේ පින්කොම හැකි තාක් ජයට සංවිධාන කොරන්ට ඕනෑ ඕං…” කියලා රජ්ජුරුවෝ මේ මහා අසදෘශ දානය ලේස්ති කොළා.

එදා මයෙ පුතේ හරි වැඩක් උනා නොවැ… ඕං දානේ උස්සවේට සරසාපු ඇත්තු හාරසිය අනූනවයක් ම ගෙන්නුවා. දැං ඇත්තු සුදු කුඩ අල්ලාන අපූරුවට ඉන්නවා. දැන් සංඝයාත් වැඩලා. එදා දානෙට අන්තිමට වැඩලා උන්නේ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේ. ඒ අන්තිම ආසනේට ඇතෙක් නෑ. රජ්ජුරුවෝ මේ වග මල්ලිකා දේවිට කීවා.

“හරි වැඬේ නොවැ මල්ලිකෝ…. පන්සියයට ගන්ට ඉන්න ඇතා හරීම දරුණු එකෙක්. අන්තිම ආසනේට යි ඕනෑ. නමුත් මේකාව මෙල්ල කොර ගන්ට බෑලු. දැන් මක්කෙයි කොරන්නේ?”

“දේවයන් වහන්ස, ඒ අන්තිම ආසනේ වැඩ ඉන්නේ කව්ද?”

“කව්ද ඉතින්… අර… අර… මේ… ළඟදි අපගේ භාග්‍යවතුන් වහන්සේ දමනය කොරලා හිටං මහණ කොළේ. ආං ඒ…. ඔව්… අපගේ අංගුලිමාල තෙරුන්නාන්සේ.”

“ආ… එහෙනම් කමෙක් නෑ. එහෙනම් ඔය ඇතා හොඳා. බලෙන් හරි ඇන්න ඇවිත් උන්නාන්සේ ළඟින් හිටවන්ට. උන්නාන්සේගේ තෙද ඇතාත් දැනගනීවි නොවැ.”

එතකොට පුතේ ඇත්ගොව්වෝ අර දරුණු ඇත්රජාව අමාරුවෙන් එක්කරගෙන ආවා. අපේ අංගුලිමාල මහරහතන් වහන්සේ ව දැක්කා විතරයි, ඇතා පොඩි දරුවෙක් වගේ උනා. කන් සෙලෙව්වේ නෑ. නගුට පිටිපස්සේ ගසාගත්තා. මුතු කුඬේ හොඬවැලට ඇන්න උන්නාන්සේ ළඟට ගොහින් ‘මීක්’ කියන්නැතිව…. එහෝම…. හිටියා.

පුතාට මතකෙයි, අපේ භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න සේරුවාවිල මංගල මහා චෛත්‍යරාජයාට මහා පලතුරු පූජාවක් කොළා. භාග්‍යවතුන් වහන්සේට කළ පූජාව දැක්ක ගමන් බුද්ධපුත්‍ර වේශයෙන් සිවුරු පොරවා ඉන්න හිස් පුද්ගලයන්ටත් සර්දා මාත්තරයක් නැති ගොබිලන්ටත් හොඳටෝම කේන්ති ගියා නොවැ. ඇති පදමට බණින්ට තියා ගත්තා. ඔච්චර මක්කට පූජා කොන්නවා ද? මිනිසුන්ට කන්ට දෙන්ට වටිනවා නොවැ” කිය කියා බැණලා අපාගත වෙන පව් රැස් කොර ගත්තා.

ආං ඒ වගේ මේ අසදෘශ මහා දානේ ගැනත් කොසොල් රජ්ජුරුවන් ළඟ හිටිය ‘කාල’ කියන ඇමැතියට හොඳටෝ ම කේන්ති ගියා. ඒකාට කටින් කියන්ට විදිහක් නෑ. හිතෙන් බණින්ට පටන් ගත්තා. ‘හහ්… රටේ විසඳන්ට පුරස්න නැතිව ද මෙච්චර ධනය නාස්ති කොරන්නේ? මේ ධනයෙන් දුප්පත් ඈයොන්ට ගෙවල් හදා දෙන්ට තිබ්බා නොවැ. අපරාදේ මේ නිකාං ධනය නාස්ති කොන්නවා. මුන්දැලාට ඔය හැටි සලකන්ට ඕනයැ’ කියලා හිත හිතා හිතෙන් බණින්ට පටන් ගත්තා.

එදා පුතේ… අපේ භාග්‍යවතුන් වහන්සේ දානයට අනුමෝදනා හැටියට වදාළේ මේ ගාථාව විතරයි.

“න වේ කදරියා දේවලෝකං වජන්ති

බාලා හවේ නප්පසංසන්ති දානං

ධීරෝ ච දානං අනුමෝදමානෝ

තේනේව සෝ හෝති සුඛී පරත්ථා’ති.

ලෝභ කෙනා නම් සැබැවින් – නැත දෙව්ලොව උපදින්නේ

ඒකාන්තයෙන් අසත්පුරුෂයා – නැත දානය පසසන්නේ

නුවණැති සත්පුරුෂයා – දානය අනුමෝදන් වන්නේ

පරලොව ගිය විට එනිසා ඔහු – දෙව් සැපයට නිති පත්වන්නේ”

ඔය ගාථාව විතරක් වදාළ භාග්‍යවතුන් වහන්සේ සංඝයා සමග විහාරයට වැඩියා. කොසොල් රජ්ජුරුවන්ට හරි දුකයි. ඇයි කෝටි පනස්හතරක ධනය වියදම් කොරලා හරිම ආසාවෙන් දානෙ පූජා කොර ගත්තේ. මෙතරම් කෙටියෙන් අනුමෝදනා කොළේ මයෙ අතින් වරදක් වුණාවත් ද කියා සිතා හැන්දෑ ජාමේ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට ගියා.

භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා. “මහරජ්ජුරුවෙනි, අද දානෙන් පස්සේ පුණ්‍යානුමෝදනා බණ කියන්ට තරම් එතන පිරිස පිරිසිදු නෑ. එතැන ඇමතිවරු දෙන්නෙක් උන්නා නොවැ. එයින් ‘ජුන්හ’ කියන ඇමතියා “හනේ රජෙක් ම මිසක් මෙහෙම දානයක් වෙන කවුරු නම් දෙයි ද! අපටත් මේ දානේ කොටස්කාරයෝ වෙන්ට ලැබුණා නොවැ. මොනතරම් වාසනාවක් ද!” කිය කියා සතුටු වුණා. නමුත් ‘කාල’ කියන ඇමතියා හිතින් බැණ බැණ උන්නා. රජතුමනි, මං බණ කිව්වා නම් ‘කාල’ ඇමතියාගේ හිස ගැලවී වැටෙනවා. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනා නොකළේ” කියා වදාළා.

බලන්ට පුතේ… දානයට ගැරහීමේ භයානකකොම. එදා සේරුවාවිල මහසෑයට කොරාපු පලතුරු පූජාව භාග්‍යවතුන් වහන්සේ උදෙසා පිදූ දානයක්. භාග්‍යවතුන් වහන්සේගේ දානයට ගැරහූ අය සේරුවිලට ගොහින් මහාසෑය වන්දනා කොට සමාව නොගත්තෝතින් පරලොව දුගතිය තමයි.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 24
“පුතේ… මෙහෙ එන්ට” කියා එදා ආච්චි මට කතා කළා. මාත් ඉතින් ආච්චි ළඟට ගිහින් වාඩිවුණා.

“පුතේ… මට කරුණක් ආරංචි වුණා. බලන්ට පුතේ… අර සිසිලියා නැන්දා…. ඔයා දන්නවා නේ කජුගෙදර වත්තේ නැන්දා…”

“ඔව්…. ආච්චි… සිසිලියා නැන්දාට මොකද වුණේ?”

“මොකද වුණේ…? ආං…. උන්දැ හොඳටෝම අසරණ වෙලා. දරුවෝ කවුරුවත් බලන්ට එන්නෑ. වැඩක් පලක් කර දෙන්ට කෙනෙක් නෑ. වත්තේ ආදායං අරං යන්ට නං එනවා ඇති… අනේ… පුතේ… මට දුක… මට හඬ හඬා දුක කීවා.

ළමයින්ට උගන්නන්ට මහන්සි ගත්තු හැටි කීවා… ෂිහ්…. කෙළෙහිගුණ නැති දරුවෝ…”

“මේ කාලේ ආච්චි ගොඩාක් අයට කෙළෙහිගුණ නෑ කියලා අපිට ස්වාමීන් වහන්සේත් කීවා”

“ඔව් පුතේ… හැබැයි මිනිස්සුන්ට වඩා බල්ලන් ළඟ කෙළෙහිගුණේ තියෙනවා කියා හිතෙන කතාවක් මතක් වුණා පුතේ.”

“අනේ ආච්චියේ… මොකක්ද ඒ කතාව? මාත් ආසයි ඒ කතාව අහන්ට.”

“පුතේ, මේක දඹදිව වුණේ. ඒ කියන්නේ ඉන්දියාවේ. ඉතිං පුතේ… ඉන්දියාවේ චන්ද්‍රභාගා කියන ගඟ අසබඩ ‘හෝම’ කියාලා බ්‍රාහ්මණ ගමක් තිබුණා. ඔය ගමේ ‘මරුත්ත’ කියලා බ්‍රාහ්මණයෙක් උන්නා. දවසක් උන්දෑ වෙළඳාමේ ගියා තක්සිලාවට. ගොහින් ආපසු එනිං ගමන රාත්තිරි අම්බලමක නැවතුනා. ඔය අම්බලමේ කුෂ්ට රෝගයක් හැදිලා මවිල් ඔක්කෝම ගැලවුණු බල්ලෙක් අසරණ වෙලා කෙඳිරි ගගා ගුලි ගැහිලා හිටියා. මේ බල්ලා දැක්කාට පස්සේ මරුත්ත බ්‍රාහ්මණයාට හරී දුකයි පුතේ.

‘මේ බල්ලාට පිහිට වෙන්ට ඕනෑ’ කියලා හිතපු බ්‍රාහ්මණයා ඖෂධ වර්ග සොයාන ඒවායේ ඉස්ම ඇන්න මෝරුත් එක්ක කලවම් කොරලා හිටං අර බල්ලාට පෙව්වා. ඒ බෙහෙත හරි ගියා. බල්ලාගේ කුෂ්ට රෝගේ සුව වෙන්ට පටන් ගත්තා. බ්‍රාහ්මණයාත් ටික දොහක් අම්බලමේ නැවතිලා ඉන්නැද්දි දිගට ම බෙහෙත දුන්නා. බලාන ඉන්නැද්දි බල්ලා සනීප වුණා. දැන් බල්ලා වෙන කොහේවත් යන්නෙ නෑ මුන්දැගේ පස්සෙ ම යි. බ්‍රාහ්මණයා ආයෙමත් හෝම ගමට යද්දි බල්ලත් උන්දෑ පස්සේ ම ගියා.

ඉතිං පුතේ…. දැන් බල්ලා වාසය කරන්නේ මරුත්ත බ්‍රාහ්මණයාගේ ගෙදර. ඒ බ්‍රාහ්මණයාගේ බිරිඳට දරුවෙක් ලැබෙන්ට උන්නා. දරුවා බිහිවෙන අවස්ථාවේ මව්කුසේ ම මැරිලා හරස් අතට හිර වුණා පුතේ. හපොයි…. මේ සංසාරේ හැටි…. දැන් අම්මාටත් අමාරුයි. හණිකට වෙද්දු ගෙන්නුවා. අර මව් කුසේ මැරිච්චි දරුවා සැත් කටුවෙන් කඩ කඩා කැබලි කොරලා එළියට ගත්තා. මේක බලා සිටිය බමුණාට ගිහි ජීවිතේ එපා ම වුණා. අම්මා සනීප වුණාට පස්සේ ගිහි ජීවිතේ අත්හැරියා. වනේට ගොහිං තාපසයෙක් වුණා. කුටියක වාසය කළා.

ටික දවසක් ගියාට පස්සේ පුතේ, අර බිරිඳ වෙන පුරුෂයෙක් එක්ක හාද වෙලා පවුල් කන්ට පටන් ගත්තා. දවසක් ඒ ස්ත්‍රිය අර පුරුෂයාට මෙහෙම කීවා “හනේ ස්වාමී…. බලන්ට මයෙ මිනිහා මාව තනි කොරලා හිටං මහණ වෙන්ට ගිය හැටි. හප්පා…. නිදකිං…. මෙහෙම මිනිස්සු…. ඔය මිනිහාගේ මහණකොම සපල වෙන්ට එපා…. ඔහොම ඉන්නවා දකින්ටවත් මං කැමැති නෑ.”

“ඔයා කැමති ඒ මිනිහා කොහොම ඉන්නවා දකින්ට ද?”

“කොහොමවත් යහතිං ඉන්නවා දකින්ට මං කැමැති නෑ.”

“ඒ කියන්නේ ඔයැයි කැමති ඒ මිනිහා මැරෙනවා දකින්ට ද?”

“මේකනේ අනේ…. ඒකා ව නිකාම් ම මැරෙනවා දකින්ට කැමැති වුණාට එහෙම දකින්ට ලැබේයැ. ආං ඔහේ ගොහින් මරා දෑවොත් නං මට පාඩුවේ නිවී සැනසිල්ලේ ඉන්ට ඇහැකි.”

“ඇත්තට ම ද අනේ ඔයා කියන්නේ?”

“හෝ… මේං… ඔයැයි හිතුවේ මං බොරු දොඩනවයි කියාලා ද? නෑ… අනේ…. ඉහ්… ඉහි… මයෙ අසරණකම ගණනකට ගන්නැතිව මාව දාලා ගිය ඔය මිනිහා පණ පිටින් ඉන්නවා දකින්ට මං නං කැමැති නෑ… අනේ මයෙ දෙයියෝ… ඕකාව හණික කම්මුතු කොරලා දාන්ට.”

පුතේ, හරි වැඩක් නොවැ ඊට පස්සේ උනේ. ඒ ගෙදර අර බල්ලා උන්නා. ඌ හොඳට අසාගෙන හිටිය දෙන්නාගේ කුමන්ත්‍රණේ. එදා පටන් බල්ලා ඒ ගෙදර නැවතුනේ නෑ. කෙළින් ම තාපසින්නාන්සේගේ කුටියට ගියා. තාපසින්නාන්සේ ව ආරස්සා කොර ගන්ට ඕනෑ ම යි කියා හිතට ගත්තා.

ඉතිං පුතේ දවසද්දා අර පුරුෂයා ස්ත්‍රියගේ උසිගැන්නීම නිසා දුනු ඊතලත් ඇන්න තාපසයා මරන්ට හිතාන වනේට ගියා. එදා තාපසයෝ ඵලවැල නෙළන්ට වනේ ඇතුළට ගොහිං. කුටියේ දොරකඩ හිටියේ බල්ලා. තාපසයන් ඵලවැල ඇන්න එන පාරේ අර පුරුෂයා දුනු ඊතල ලෑස්ති කොරාන ඉන්නවා බල්ලා දැක්කා.

දැකලා හිටං බල්ලා හොරෙන් ම ගිහිං දුන්නේ ලණුව කැපුවා. බල්ලා එළවා ගත් මිනිසා ආයෙමත් දුන්නට ලණුව දමා ගැටගැසුවා. එතකොට බල්ලා ඉදිරියට පැනලා ආයෙමත් දුන්නේ ලණු කැපුවා. එතකොට මිනිහා දුන්නත් අරං එතනින් ගියා. බල්ලා පස්සෙන් ගියා. බල්ලාට තේරුනා අද නං තමන්ගේ ස්වාමියා ව මේකා මරන්ට ම යි යන්නේ කියලා. බල්ලාගේ හිතේ වාවාගන්ට බැරි ශෝක දුකක් හටගත්තා. ඌ පැනපු ගමන් අර මිනිහාගේ දෙපා හපාගෙන හපාගෙන ගියා. මිනිහා වැටුනා. එතකොට මුහුණට පැනලා හපන්ට පටන් ගත්තා. මිනිහා අසරණව වැටිලා හිටියා. බල්ලා තාප සයින්ට ඇහෙන්ට හයියෙන් බුර බුරා හිටියා.

තාපසයාට ඈත තියා බල්ලා කෑගසනවා ඇහිලා ඉක්මනින් ආවා. තමාව මරන්ට දුනු ඊතල ඇන්න ආ මිනිසා හොඳට ම අසරණව තුවාල වෙලා වැටී ඉන්නා හැටි දැක්කා. තාපසයා ඉක්මනින් ම ඔහුව නැගිටුවා කුටියට ගෙනිච්චා. ඖෂධ කොළ කොටා ඉස්ම පොවා බෙහෙත් ගල්වා ඔහුට උපස්ථාන කොට සුවපත් කළා. ඔහු නැවත එවැනි දෙයක් කරන්ට එන්නේ නැත කියා පිං දී පිටත් වෙලා ගියා.

තාපසයාට තවත් කලකිරීම වැඩි වුණා. කසිණ භාවනා කොරලා ධ්‍යාන අභිඤ්ඤා උපදවාගෙන මරණින් මත්තේ බඹලොව උපන්නා.

බලන්ට පුතේ… බල්ලා කෙළෙහිගුණය දැක්වූ හැටි. ඒ වගේම නේ පුතේ තාපසයාත් එයැයිව මරන්ට ආපු සොරා ව සුවපත් කොරලා පිටත් කරවන්ට කොයිතරම් මෛත්‍රියෙන් වාසය කොරලා ද! ඒ නිසා පුතේ අපි කොහොම හිටියත් අපට සැබෑම යහපත සැලසෙන්නේ මේ ගුණධර්ම නිසා ම යි. ගුණධර්ම නැතිව මොනවා තිබුණත් ඵලක් නෑ පුතේ….”

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 23
ආච්චි එදා භාවනා කරලා නැගිට්ටා විතරයි. මං මේ බලා සිටියේ ආච්චි එදා මට කියපු කාරණාවක් ගැන අහන්ට යි.

“ආච්චියේ, ඔයා මට කීවා නේ ද තව්තිසා දෙවියෝ සෑම පෝය දවසක ම රැස් වෙනවා ය කියලා?”

“ඔව් පුතේ… සෑම පෝයක ම දේවසභාව රැස්වෙනවා.”

“අනේ ආච්චියේ… මං හරී ආසයි ඒ විස්තරේ අසන්ට.”

“ඒ මෙහෙමයි පුතේ…. තව්තිසාවේ තියෙනවා ‘සුධර්මා’ කියලා විශාල ශාලාවක්. ඒ ශාලාවට ‘සුධර්මා’ යන නම ලැබුණේ අපේ සක්දෙවිඳු මිනිස් ලෝකේ ඉන්නැද්දි වෙච්චි දෙයක් නිසා. ‘මඝ’ තරුණයාගේ එක බිරිඳක් සිටියා. ඇගේ නම ‘සුධර්මා’. ඉතින් ඈ මඝ තරුණයා සාලාව හදද්දී කැණිමඬල පූජා කොරලා කියා සිටියා එයැයිගේ නම දාන්ට කියලා. ඒ පින නිසා ඈත් දෙව්ලොව උපන්නා. දෙව්ලොවෙත් පහළ වූ සාලාවට ඒ නම වැටුනා. හප්පා… මයෙ පුතේ ඒක හරි පුදුම ශාලාවක්.

ඒ කියන්නේ බිම පළිඟු ගල් අතුරලා, මැණික් වැට, රන් කණු, කණු පාමුල රිදී කැටයම්, පළිඟු රූප, සත්රුවන් පරාල, රුවන් දොරටු, ඉන්ද්‍රනීල මාණික්‍ය උළු, රන් කොත්, දිග පළල යොදුන් තුන්සියයක්. වටේ යොදුන් නවසියයක වේදිකාව. උස යොදුන් පන්සීයක්.

ඉතිං පුතේ ඒ ශාලාවේ සතර දිසාවේ තියෙන්නේ සතර වරම් දෙව්රජුන්ගේ ආසන. කෝටි ලක්ෂයක් ගාන්ධර්ව දිව්‍ය සේනාව පිරිවරාගෙන ධතරාෂ්ට්‍ර දෙව්රජු ඇවිත් නැගෙනහිර පැත්තේ තියෙන ආසනේ වාඩිවෙන්නේ බටහිර බලාගෙන.

කෝටි ලක්ෂයක් කුම්භාණ්ඩ දේවතාවරු පිරිවරාගෙන ඇවිත් විරූඪක දෙව්රජු උතුරු දිග බලාන දකුණු පැත්තේ තියෙන ආසනේ වාඩිවෙනවා.

කෝටි ලක්ෂයක් නාග දේවතාවෝ පිරිවරාගෙන විරූපාක්ෂ දෙව්රජු ඇවිත් බටහිර පැත්තේ ආසනේ වාඩිවෙන්නේ නැගෙනහිර දිග බලාගෙන.

කෝටි ලක්ෂයක් යක්ෂ දේවතාවෝ පිරිවරාගෙන වෛශ්‍රවණ දෙව්රජු ඇවිත් උතුරු පැත්තේ ආසනේ වාඩිවෙන්නේ දකුණු දිග බලාගෙන.

මැද තියෙන්නේ අපේ දෙව් මහරජුන්ගේ ආසනය. උන්නාන්සේ තව්තිසා ලෝකයේ තෙතිස් දෙවියන් පිරිවරාගෙන තිස්තුන් කෝටියක දෙව්පිරිස සමඟින් ඇවිත් අසුන් ගන්නවා.

ඉතිං පුතේ ඒ පිරිවර දෙවිවරු එන්නේ පරසතු මල්, මදාරා මල් මිටි අතින් අරගෙනයි. ඒවායේ සුවඳ පන්සිය යොදුනක් පුරා පැතිරෙනවා.

පුතේ… වස් කාලෙට පුතේ තව්තිසා දෙව්ලොව තවමත් වස් තුන් මාසෙ ම උපෝසථ සිල් සමාදන් වෙනවා. ඒ කාලේ අපගේ සක් දෙව් මහා රජ්ජුරුවෝ සිල් මුදවන්ට එන්නේ පුවඟු දිවයින මහා විහාරයටයි. අනිත් දෙවිවරු ඒ ඒ තැන්වල වැඩ ඉන්න රහතුන් වහන්සේලා ළඟට ගොහින් සිල් මුදාගන්නවා.

“අනේ ආච්චියේ, පරසතු මදාරා වගේ ම තවත් මල් ජාති එහෙ තියෙනවා ද?”

“ඇයි පුතේ… කොබෝලීල මල්. ඒවාත් එහෙ තියෙනවා. පුතේ… ඔය දිව්‍ය මල් පිපුණා ම යොදුන් සිය ගණන් සුවඳ හමා යනවා. දෙවිවරුන්ගේ උත්සව කාලේ එන්නේ එතකොටයි. අපට වගේ කෙකි බැඳගෙන මල් කඩන්ට යන්ට නෑ. එතැනට ගිය ගමන් සුළං හමනවා. දෙවිවරු ගී ගයමින් මල් දිහා බලා ඉන්නවා. එතකොට මල් නටුවෙන් ගිලිහෙනවා. තව සුළඟක් හමා ඇවිත් ඒ මල් වැටෙන්ට නො දී පිළිගන්නවා. තව සුළඟක් ඇවිත් ඒ මල් ‘සුධර්මා’ දිව්‍ය ශාලාවට පා කරගෙන යනවා. ඊට කලින් තව සුළඟක් ඇවිත් ‘සුධර්මා’ ශාලාවේ තියෙන පරමල් ඉවත් කරගෙන පිරිසිදු කරගෙන යනවා. අලුත් සුවඳ මල් ශාලාවට ඇතුල් වුණා ම තව සුළඟක් ඇවිත් මල් සොලවනවා. එතකොට මල් රේණු හෙමින් හෙමින් ශාලාව පුරා පැතිරෙනවා. ඒ ශාලාවේ හරි මැද තියෙන්නේ ධර්මාසනයක්. ඒක යොදුනක විතර ප්‍රමාණයේ රුවන් ආසනයක්. ඒ ආසනයට මෙහා පැත්තෙන් තමයි සක් දෙවිඳුගේ ආසනය තියෙන්නේ. අනිත් දෙවිවරුන්ගේ ආසනවලට තියෙන්නේ මල් කෙමි.

ඉතිං පුතේ දෙවිවරු දෙව් සභාවේ අසුන් ගත් ගමන් අහසේ පාවෙන මල්වලින් වැටෙන රේණුවලින් දෙවිවරුන් ව පාට පාට වෙනවා. මල් උස්සවේ මාස හතරක් තියෙනවා.

ඒ වගේ ම පුතේ තව්තිසාවේ මාසයකට අට දවසක මහා ධර්ම සභාවක් පැවැත්වෙනවා. ඒ ධර්ම සභාවේ දී සනංකුමාර බ්‍රහ්මරාජයා බණ කියනවා. එහෙමත් නැත්නම් මහා බ්‍රහ්මරාජයා බණ කියනවා. එහෙමත් නැත්නම් සක්දෙවිඳු බණ කියනවා. එහෙමත් නැත්නම් මිනිස් ලොවින් තව්තිසාවට වැඩිය ඉර්ධිමත් භික්ෂුවක් බණ කියනවා.

ඒ වගේ ම සෑම පුරපක්ෂයක හෝ අවපක්ෂයක අටවෙනිදා සතර වරම් දෙවිවරු මනුලොව බලනවා. පොළෝ තලේ හොඳින් විමසා බලනවා. යම් ගැහැනියක් හෝ පිරිමියෙක් හෝ අවංකව ම බුද්ධ රත්නය සරණ ගොහින් නම්, අවංකව ම ධර්ම රත්නය සරණ ගොහින් නම්, අවංකව ම සරඝ රත්නය සරණ ගොහින් නම්, ඒ වග රන්පොතේ ලියාගන්නවා. පන්සිල් රකිනවා නම් ඒවාත් ලියාගන්නවා. අට්ඨාංග උපෝසථ සිල් ගන්නවා නම් ඒවාත් ලියාගන්නවා. මව්පිය උපස්ථානය, ගුරුවරුන්ට උපස්ථානය, වැඩිහිටියන්ට සැලකීම, දානාදී පින් කිරීමත් ලියාගන්නවා. ස්ථූප වන්දනා පූජා ආදියත් ලියාගන්නවා.

දෙවිවරු ඒ ලියූ රන්පොත පංචසිඛ දිව්‍ය පුත්‍රයාගේ අතට දෙනවා. එතකොට පුතේ පංචසිඛ දිව්‍ය පුත්‍රයා ඒ පොත මාතලී දේවපුත්‍රයාට දෙනවා. මාතලී දෙව්පුතු තමයි රන්පොත අපේ සක්දෙව් මහරජුට දෙන්නේ. එතකොට පුතේ තෙරුවන් සරණේ පිහිටා පින්දහම් කරන මිනිස්සු වැඩි කාලෙට රන්පොත ලොකුයි. එතකොට දෙවියන්ට හරීම සතුටුයි.

“හ… හා… හා… අගෙයි අගෙයි

අපගේ දෙව් ලොව පිරෙයි පිරෙයි

සත්පුරුෂයන්ගෙන් අපේ ලොව පිරෙයි

හ… හා… හා… අගෙයි අගෙයි

අසුර ලෝකෙ පිරිහී යයි” කිය කියා දෙවිවරු උදම් අනනවා.

නමුත් පුතේ තිසරණයේ නොපිහිටා නැකැත් කේන්දර පස්සේ ගිහින්, යකුන් යකිනියන්ගෙන් පිහිට ඉල්ල ඉල්ලා දුවන කාලෙට මිනිස්සුන්ගේ ගුණධර්ම නැතිවෙනවා. ඒ කාලෙට රන්පොත ඉතා ම කුඩයි. දෙව්ලොවට මනුලොවින් යන්නේ නැති ගානයි. ඒ කාලෙට අලුත් දෙවිවරු නැති නිසා දෙවිවරු දුක් වෙනවා.

“අනේ අපොයි දෙව් ලොව හිස් වී යනවා

අසුර ලොවේ අදමිටුවෝ උපදිනවා

පවින් පිරුණු අය ලොව බලවත් වෙනවා

අනේ මිනිස් ලොව තව පිරිහී යනවා”

ඔහොම කියමින් දුක් වෙනවා. එතකොට දෙවිවරු මනුලොව උපදින්ට භයයි. එයාලා උත්සාහ කරන්නේ දෙව්ලොව දී ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ටයි.

මේ කාලේ පුතේ, අපටත් දෙව්ලොව උපදින්ට ඇහැක් වුණොත් හොඳා නේ ද මයෙ පුතේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 22
එදා අපේ ආච්චි දවස පුරා ම වාගේ හාල් කෙටුවා. වංගෙඩියේ දමා හාල් කෙටුවට ආච්චිට කිසිම මහන්සියක් නෑ වගේ. එතකොට අපේ අම්මා එතැනට ආවා.

“හප්පේ…. අම්මාට කිසිම මහන්සියක් නෑ නේ. අද දවස ම හාල් කෙටුවා නොවැ. ඇත්තටම අම්මාට තවම හයිය තියෙනවා නේ.”

“නැත්තෙ මොකෝ දුවේ… මං මේ අත්දෙකින් මොනතරම් හාල් කොටලා ඇද්ද. අපි කුඩා සන්දියේ පාන් පිටි නෑ නොවැ. ඉතිං අපි ඉඳිආප්ප, පිට්ටු, ආප්ප ඔක්කෝම හදන්නේ මෙහෙම පිටි කොටලා තමයි. මං මොනතරම් දානෙ දීලා ඇද්ද මේ අත්දෙකින් පිටි කොටලා.”

“අනේ අම්මේ, අපට නම් බෑ නොවැ. ඔහොම අපි පිටි කෙටුවොත් අත් දෙකේ කරගැට ඒවි. කොන්දේ අමාරු හැදේවි.”

“නෑ දුවේ… මේවා නොකරන නිසා ම යි ඔයාලාට ලෙඩ වැඩි.”

එතකොට මටත් ආච්චිගෙන් ප්‍රශ්නයක් අසන්ට ඕන වුණා.

“අනේ ආච්චියේ…. එතකොට මට කියන්ට කෙනෙකුට සවිසත්තිය ලැබෙන්න එයාට සංසාරේ කළ පින් බලපානවා ද?”

ඔව් පුතේ… මං මේ වැඩ ටික ඉවර කොරලා හිටං පහළ ළිඳෙන් නාගෙන එන්නම්. දුවේ… ඔයා මට කිතුල්පිටි කැඳ ටිකක් හදා තියන්න. මං ඇවිත් මයෙ පුතාගේ දහම් ගැටලුව විසඳා දෙන්නම්කෝ.”

ඉතිං ආච්චි නාගෙන ඇවිත් හාන්සි පුටුවේ වාඩි වෙනකල් මං මගබලාගෙන හිටියා. ආච්චි ඇවිත් කිතුල්පිටි කැඳ බීලා හාන්සි පුටුවේ ඇල වුණා. මං ගිහින් ආච්චි ළඟ බිමිං වාඩි වුණා.

“මයෙ පුතා අද ඇසූ කාරණාව මොකක්ද පුතේ?”

“අනේ ආච්චි… මට දැනගන්ට ඕනෑ වුණේ කෙනෙක්ට කායික මානසික ශක්තිය පිහිටන්ට පෙර ආත්මයේ කරපු පින් ඕනෑ ද කියලයි.”

“සත්තකින් ම පුතේ… පෙර ආත්මෙක රැස් කළ පින් ඕනෑ ම යි. දැන් බලන්ට අපගේ භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ආහාර නොගෙන මොනතරම් භයානක තපස් කළා ද. ශරීරය මොනතරම් කෘශ වුණා ද. ඇස් යටට ගිලිලා ගියා. ඇඟපත නහරවැල් මතු වුණා. කුස අතගාද්දි පිට කොන්ද අසු වුණා. හප්පා ස්වල්ප දුකක් ද! ඒත් උන්නාන්සේ අපවත් වුණේ නෑ. සිතේ තැන්පත් බවේ, නුවණේ අඩුවක් වුණේ නෑ. ඒ ඉතින් පිං බලේ ම නේ පුතේ.

ඒ වගේ ම මට තවත් කතාවක් මතක් වුණා.”

“අනේ ආච්චියේ මට ඒ කතාව කියාදෙන්ට.”

“ඒ මෙහෙමයි පුතේ, ඔයැයි දන්නවා නොවැ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්ට කලිං බුදු කෙනෙක් පහළ වුණානේ. උන්නාන්සේ තමයි කාශ්‍යප සම්බුදුරජාණෝ. ඉතිං පුතේ ඒ කාශ්‍යප බුද්ධ ශාසනේ ගැන එක්තරා පුරුෂයෙක් ගොඩාක් පැහැදුනා.

ඉතිං ඔහු ඒ කාශ්‍යප බුදුරජුන්ටත්, භික්ෂු සංඝයාටත් කායික සවිබල පිහිටන විදිහේ දේවල් සොය සොයා පූජා කොළා. ඒ කියන්නේ සිවුරු, ඇඳ පුටු, පොරෝනා ආදියත්, කිරි ගිතෙල් ආදී පස්ගෝරස, නීරෝග බවට වුවමනා බෙහෙත් ඖෂධ, සීත කාලෙට ගිනි කබල් ආදී මේවා මහත් ශ්‍රද්ධාවෙන් පූජා කොරගත්තා. නිරන්තරයෙන් පන්සිල් රැක්කා.

ඉතිං පුතේ, එයැයි ඔහොම පිං කොරලා හිටං මැරිලා ගිහින් දෙව්ලොව උපන්නා. ඊටපස්සේ පුතේ, මෙයැයි දෙව්ලොවින් චුතවෙලා ආයෙමත් මනුස්ස ලෝකෙට ආවා. ඒ අපේ ධර්මාශෝක රජ්ජුරුවන්නේ කාලේ. ධර්මාශෝක රජ්ජුරුවන්නේ අගමෙහෙසියකගේ කුසේ පිළිසිඳ ගත්තේ. කුමාරයා උපන්නා. හැබැයි කුමාරයාගේ හිසේ ලෝම පිහිටා තිබුණේ අපිළිවෙළට. ඒ නිසා මේ කුමාරයාට ‘විෂමලෝම’ කුමාරයා කියා නම තිබ්බා.

මේ කුමාරයා රන්රුවක් වාගේ ලාස්සනයි පුතේ. ඒ වගේ ම ‘බුද්ධ – ධම්ම – සංඝ’ යන ත්‍රිවිධ රත්නය ‘මගේ’ කියලා දැඩිව අදහාගෙන උන්නා.

දවසක් පුතේ ධර්මාශෝක රජ්ජුරුවෝ මේ විෂමලෝම කුමාරයත්, සේනාවත් රැගෙන හිමාලෙ ගියා. ගිහින් හිමාලේ ‘චන්ද්‍රභාගා’ කියන ගංගාව ළඟට ආවා. එදා උඩහට වැහැලා.

හප්පේ… පුතේ… චන්ද්‍රභාගා ගංගාව ගලාබසිනවා මහා වේගයෙන්. වේගවත් සැඩපහර, රළගෙඩි පෙරලාගෙන පෙණ බුබුලු විහිදුවාගෙන මහා වේගයෙන් පහළට ගලනවා. ඒ මදිවට ගඟේ කිඹුල්ලු.

ධර්මාශෝක රජ්ජුරුවෝ දෑස් විදහාගෙන හිනැහීගෙන ගංගාවේ වේගයෙන් ගලාබසිනා සැඩපහර දෙස බලා උන්නා. මෙහෙම කිව්වා.

“එම්බා මිත්‍රවරුනි, බලාපල්ලා මේ ගංගාව දිහා. මේ ගංගාව සතර ගව්වක් පළලයි. ගව්වක් ජඹුරයි. මේ ගංගාවට පැන පිහිනා එතෙර යන්ට ඇහැක් වීර පුරුෂයෙක් මෙතැන ඉන්නවා ද?”

එතකොට විෂමලෝම කුමාරයා ඉදිරිපත් වුණා. ඇවිත් වන්දනා කළා.

“මහරජ්ජුරුවන් වහන්ස, රෝහිත මත්ස්‍යයෙක් වගේ මට පුළුවනි සැණෙකින් එතෙර යන්ට. ඒ විතරක් නොවේ. එසැණින් ම මෙතෙරටත් එන්ට. මට අවසර දෙනු මැනව.”

එතකොට පුතේ රජ්ජුරුවෝ ‘හොඳා එහෙනම් මට පෙන්නාපං’ කීවා. විෂමලෝම කුමාරයා යටිසළුව හිරවෙන්ට හැඳගත්තා. හිස කුඩුම්බිය ගලවා හිසකේ කරල් කොට තදට ගොතා පිට මැදට හෙලා ගත්තා. ගං ඉවුරේ සිට දහඅට රියනක් උඩට අහසට පැන්නා. දෙගව්වක් ගඟ මැදට පැන්නා. දියපහර කපාගෙන මහා තල්මසෙක් වගේ වේගයෙන් පිහිනා ගියා. එතකොට තමන්ව ගොදුරු කරගන්ට කිඹුල්ලු පන්නාගෙන ආවා. කුමාරයා යකඩ මුගුරකින් ගසා තලනවා වාගේ තමන්ගේ බාහු බලයෙන් කිඹුලන් තල තලා එතෙරට ගියා. ආයෙමත් කිඹුල්ලු තල තලා වේගයෙන් මෙතෙරට පීනා ආවා. ඒ පීනා ගිය ගමනේ දී මැරුම් කෑ කිඹුලන්ගේ ගණන එකසිය විස්සක්. කුමාරයා ඇවිත් රජ්ජුරුවන්ට වන්දනා කොට සිටගත්තා.

තම පුත් කුමාරයාගේ ශක්තිය දැකපු රජ්ජුරුවෝ භයට පත් වුණා. ‘ම්… හ්… පුතා වුණත් මේකා මහා ශක්තිවන්තයා. මාව මරවලා හිට රජකම ගන්ටත් බැරි නෑ. මේකා ව ඉක්මනින් ම මරවන්ට ඕනෑ’ කියලා සිතා ගත්තා. පාටලීපුත්‍ර නගරයට ආ ගමන් ම ඇමතිවරු ලවා විෂමලෝම කුමාරයාව සිරගත කළා. සාර මාසයක් ගත වුණා.

ඉතිං පුතේ, දවසක් රජ්ජුරුවෝ උණගස් මිටියක් ගෙන්නුවා. ඒ උණ බට ඇතුළ සුද්ද කෙරෙව්වා. ඒවායේ අස්සට යකඩ ගල්ඉනි ඇතුල් කෙරුවා. පිටතට පෙනෙන්නේ උණගස් විතරයි. රාජ නියෝගය ආවා. “එම්බා කුමාරය, තොප මේ කඩුව ගනු. අර එකට බැඳ තිබෙන උණ බට මිට වහා සතර අඟලට කපා දැමිය යුතුයි. නැත්නම් තොපගේ අවසානය යි.”

“අනේ දේවයන් වහන්ස, මං දැන් සිරගෙදර හාරමාසයක් ම කෑමක් නැතිව ඉන්නේ. අනේ මට ආහාර ටිකක් දුන මැනවි. එසේ වුණොත් මේ උණදඬු මිටිය මං සුළු මොහොතකින් කපා දමන්නම්.”

“නෑ… නෑ… තට ආහාර නම් නැත. තා කළ යුත්තේ මේ උණදඬු මිටිය කැපීම පමණයි.”

“අයියෝ… දේවයන් වහන්ස, එහෙනම් අඩු ගණනේ… අර පොකුණට බැස පැන් ටිකක් බොන්ට අවසර දුන මැනව.”

“හා… එහෙනම් පැන් බී වර” එතකොට යුද භටයෝ කුමාරයා ව පොකුණට කැඳවාගෙන ගියා. කුමාරයා පොකුණට බැස්සා. හිස සෝධා නාගත්තා. දිය යට කිමිද බඩ පුරා මඩ කෑවා. පැන් බීවා. පොකුණෙන් ගොඩට ආවා. කඩුව අතට ගත්තා. විදුලියක් වගේ හිස වටා කැරකෙව්වා. මහජනයා පුදුමයෙන් බලා සිටිද්දී ගුරුළු පැටියෙක් වගේ අසූ අට රියනක් අහසට පැන නැංගා. හැට රියනක් උසට තිබුණු උණදඬු මිටිය වේගයෙන් සතර අඟලට කපාගෙන කපාගෙන පහළට එද්දී ගල්ඉනි හිරවී ඇති තැනේ දී ‘ක්‍රීං’ හඬ දී කඩුව නැවතුනා. ඇතුළේ ගල්ඉනි ඇති බව තේරුම් ගත් කුමාරයා කඩුව බිම දමා හඬන්ට පටන් ගත්තා.

“ඇයි තොප හඬන්නේ?” කියා රාජපුරුෂයෝ ඇසුවා. “එම්බා මිනිසුනි, මෙතැන මට හිතවත් කවුරුවත් නෑ. මට වේලාසනින් කිව්වා නම් උණදඬු අස්සේ යකඩ ඉනි දමා තියෙනවා කියලා මං අඟලේ කෑලිවලට කපා දාන්නේ.”

විෂමලෝම කුමාරයාගේ ඉවසීමත්, කෝප නොවීමත්, පුරුෂ පරාක්‍රමයත් දුටු ධර්මාශෝක රජ්ජුරුවෝ හොඳට ම පැහැදුනා. එදා ම යුවරාජ තනතුර දුන්නා.

දැක්කා නේ ද පුතේ. කයේ හයියවත්, සිතේ හයියවත් අපට ඕනෑ හැටියට ගන්ට බෑ. මෙහෙමයි පුතේ…

විෂමලෝම කුමාරයාට තිබුණේ උපන්න ජාතියේ, උපන්න කුලයේ, උපන්න පළාතේ තිබුණු ශක්තියක් නොවේ. දුෂ්චරිතයෙන් උපදවාගත් බලයකුත් නොවෙයි. බොරුවෙන්, වංචාවෙන්, පාවා දීමෙන් උපදවාගත් බලයකුත් නොවෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සංඝයා උදෙසා දන් පිදූ පින් බලයත්, තමන් විසින් ආරක්ෂා කර ගත් ගුණධර්මවල බලයත් පුතේ.

යුවරාජ පදවියට පත් වුණාට පස්සේ විෂමලෝම යුවරාජයා අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාට මහත් ආදරයෙන් උපස්ථාන කළා. බොහෝ පිං රැස්කර ගත්තා. මරණින් මතු දෙව්ලොව උපන්නා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 21
එදා ආච්චි තනියම කල්පනා කර කර ඉන්නවා වගේ පෙනුනා. මාත් හෙමිහිට ආච්චි ළඟට ළං වුණා. “ආච්චි… ආච්චියේ… මොකෝ මේ ඔයා අහස පොළොව ගැටලන්ට වගේ බර කල්පනාවක?”

“නෑ… මයෙ පුතේ… මං මේ කල්පනා කොළේ අපට කල්‍යාණමිත්‍ර සත්පුරුෂ ආස්සරේ ලැබුණු නිසා වෙච්චි ලාභය ගැන. ඇයි… පුතේ දැන් නොවැ අපි දන්නේ මේ භයානක සංසාර ගමන ගැන….”

“ඒක ඇත්ත ආච්චි… අපි උනත් මේ හැටි හොඳ දේ දැනගත්තේ ආච්චි අපට කියා දුන්නු නිසා නොවැ.”

“සත්පුරුෂ ආස්සරේ ගැන කියද්දි මට ලස්සන කතාවක් මතක් වුණා පුතේ.”

“අනේ ආච්චියේ මොකක්ද ඒ ලස්සන කතාව?”

“ඒ මෙහෙමයි පුතේ, ඉස්සර අපේ ලංකාවේ රුහුණු ජනපදේ ‘වියදියා’ කියලා වැද්දෙක් උන්නා. එයැයිගේ රස්සාව තමා දඩයම. දවස ගානේ පන්සියයක් විතර සත්තු මරණවා. දවසක් මුන්දැට දඩයම් නැතුව ගියා. මුන්දැගේ මායියා එළෝළුවක් එක්ක බත් උයලා තිබ්බා. මුන්දැට බත් වළඳ දැක්ක ගමන් කේන්ති ගියා.

“නිදකිං විතරක්!… මෙච්චර මස් තියෙන ගෙයි මට කන්ට මස් නැද්ද?” කියා මන්නයක් අරං ගේ පිටිපස්සට ගියා. තණකොළ කන වස්සාගේ දිව ඇදලා කැපුවා.

“මේං මේක උයලා දිපිය” කියා මායියාට දුන්නා. උන්දැ භය වෙලා හණිකට උයලා දුන්නා. වියදියා බත් කෑවා විතරයි මුළු ශරීරය ම ගින්නෙන් පුළුස්සනවා වාගේ මහා දැවිල්ලක් හටගත්තා. එළිවෙන තුරා වේදනාවෙන් හඬ හඬා උන්නා. පහුවෙනිදා උදේ ම සේරුවිලට ගියා. මංගල වෙහෙර වන්දනා කොරලා හිටං භික්ෂූන් වහන්සේනමකට ගිහිං රාත්තිරී තමන් ව පිච්චුනා ය කියා කිව්වා. උන්නාන්සේ හඳුනාගත්තා මෙයැයි වැද්දා බව. ඉතිං ප්‍රාණඝාත කොරන්ට එපාය කියලා දේවදූත සූත්‍රයෙන් බණ කීවා. ඊට පස්සේ පින් කොරන්ට කියලා විමාන වස්තුවෙන් බණ කීවා.

ඉතිං පුතේ, එදා පටන් මුන්දැ දඩයම් ගියේ නෑ. සත්ව ඝාතනය එහෝම නැවැත්තුවා. දැන් නිතර ම බණ අහන්ට යනවා, සිල් ගන්නවා. උන්දැ යහපත් මගට ආවා.

දවසක් පුතේ මේ වැද්දා ජනයාත් සමග මුහුදට නාන්ට ගියා. මුහුදේ උන්න දිව්‍ය නාගයෙක් මුන්දැව දැක්කා. දැකලා හිටං ඇවිත් දරණවැලින් වෙලා ගත්තා. වැද්දාට තේරුනා තමුන්ව නයෙන් වෙලාගත් බව. වැද්දා කලබොල වුණේ නෑ. හණික සිහිය උපදවා ගත්තා.

‘මං ඉස්සසෙල්ලාම ඇසුවේ දේවදූත සූත්‍රය යි. ඒක අපගේ බුදුරජාණන් වහන්සේ විසින් ම වදාළ බව සත්‍යයි. බුද්ධ පුත්‍ර වූ සංඝයා වහන්සේ එය බුදුබණ ලෙසින් දරාසිටින බව සත්‍යයි. ඒ බණ මං ශ්‍රද්ධාවෙන් ඇසූ බව සත්‍යයි. මේ සත්‍යයෙන් මට අන්තරාවක් නොවේවා!’කියා අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා.

මෙයැයිගේ මේ ධර්මානුභාවය නිසා නාගරාජයාට මොහුව මරාගන්ට බැරිව ගියා. නාගරාජයා වැද්දාව අරගෙන නාග භවනට ගියා.

“මිත්‍රයා… උඹ මැරෙන්ට භය නැත්තේ ඇයි? මට ඒක පහදා දීපං” කියලා නාගරාජයා උන්දැගෙන් ඇසුවා. උන්දැට මතක දේවදූත සූත්‍රය නොවැ. උන්දැ මෙහෙම කීවා.

“මහා නාගරාජය, අපගේ සම්බුදුරජාණන් වහන්සේ තමයි සියලු රසයන්ට වඩා අග්‍ර රස ඇති ධර්මය වදාළේ. ඉතින් මටත් දේවදූතයන්ගේ බණ කියා අපූරු බණක් අහන්ට ලැබුණා. එදා පටන් මං තිවිධ රත්නය සරණ ගියා. පංච සීලයේ පිහිටියා. ඉතින් මං දැන් මක්කටෙයි භය වෙන්නේ.”

“අනේ මිත්‍රයා… මාත් ආසයි ලොව්තුරා බුදුන්නේ බණක් අසන්ට. අනේ මටත් කියාපංකෝ. මාත් මනාපයි බුදුන්නේ බණ අසන්ට.”

“නා රජ්ජුරුවන් වහන්ස, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මට පව් කියා දෙයක් වදාළා. ඒවා කොරන්ට හොඳ නෑ. බොහෝම භයානකයි. ඒ කියන්නේ මෙලොව පරලොව ගැන නොබලා කවුරුහරි ප්‍රාණඝාත කොළොත් ඒක හරීම භයානකයි. ඒ වාගෙමයි හොරකොම. වල් වලත්ත වැඩ කොරන්ට ම නාකයි. බොරු කීමත් හොඳම නෑ. සුරාපානය හරීම නරකයි.

හැබැයි සත්පුරුෂ ආස්සරේ නැතිව ඉඳන් ඔවැනි භයානක පව් කොළෝතින් ඒකුන් ගොහින් නිරයේ උපදිනවා. සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහාරෞරව, තාප, ප්‍රතාප, අවීචි කියන මහා නරකාදි අටක් තියෙනවා. පව්කාරයෝ ගොහින් ඒ අටමහා නරකයේ උපදිනවා. ගිනි ජාලාවන්ට මැදි වෙලා ලොහො දිය බිබී යමපල්ලන්නේ අටෝරාසියක් වධබන්ධනයන්ට ලක්වෙනවා.

ඒ වගේම නාරජ්ජුරුවන් වහන්ස, ඔය අට මහා නිරයේ එක් එක් නිරයට දොරටු සතර ගානේ දොරටු තිස් දෙකක් තියෙනවා. ඒ එක් එක් දොරටුව ළඟ උස්සද නිරයවල් සතරක් තියෙනවා. ඒ කියන්නේ එක නිරයකට දොරටු සතරයි. දොරටුවක් ළඟ සතර බැගින් උස්සද නිරය දහසයයි. එතකොට ඔක්කෝම උස්සද නිරය එකසිය විසි අටයි. මහා නිරය අටත් එක්ක එකසිය තිස් හයයි.

නාරජ්ජුරුවන් වහන්ස, අවීචි මහා නරකාදිය තුන්සිය දහඅට යොදුන් විශාලයි. නවසිය පනස් හතර යොදුනක වටයෙන් යුක්තයි. උස්සද නිරය සතරත් එක්ක දසදහසක් යොදුන් විශාලයි. ඔය අවීචි මහා නරකාදියේ දොරටු හතර වටා මේන්න මේ උස්සද නිරයවල් පිහිටා තියෙනවා. 1. අබ්බුද 2. නිරබ්බුද 3. අබබ 4. අටට 5. අහහ 6. කුමුද 7. සෝගන්ධික 8. උත්පල 9. පුණ්ඩරීක 10. පදුම 11. ගූථ නරකය 12. කුක්කුල නරකය 13. කටුහිඹුල් වනය 14. අසිපත්‍ර වනය 15. ඛාරෝදක වේතරණී නදිය 16. ලෝකුඹු නරකය.

නාරජ්ජුරුවෙනි, අටමහා නරකය ගැන කතා කිරීම පැත්තකින් තියමු. මේ උස්සද නිරයක උපන්නොත් ලොව්තුරා බුදුන්ට මිසක් කිසිම එර්දිමතෙකුටවත් ඒ සතුන් විඳින් දුක කියලා අවසන් කොරන්ට බෑ.

ඒ වගේම නාරජුනේ, ඔය නරකාදිවල ආයුෂ හරීම දිගායි. එකකට වැටුනොත් ඒකෙන් අනිකට වැටෙනවා. ගූථ නරකය, කුක්කුළ නරකය, හිඹුල් වනය, අසිපත් වනය, වේතරණී නදිය, ගිනිඅඟුරු පරුවතේ, සංඝාත නරකය ආදියේ දුක් මෙතෙකැයි කියා කියන්ට බෑ. ඒ නිසා මේවායේ උපදින්ට හේතුවන අකුසල් නොකරම ඉන්ට ඕනෑ.

ඒ වගේම නාරජුනේ, තිරිසන් අපායේ උපන්නත්, පෙරේත ලෝකේ උපන්නත් දුක් ම යි විඳින්ට තියෙන්නේ. ඔය කියපු කිසිම ලෝකයක සත්පුරුෂ ආස්සරයක් නෑ. අනේ නාරජුනේ මාත් මේ මනුස්ස ලෝකෙන් නිරයේ යන්ට නියමව හිටිය එකෙක්. අනේ මාව ඒ සත්පුරුෂයන් වහන්සේලා උතුම් තිසරණයේ පිහිටෙව්වා. සීලයේ පිහිටෙව්වා. දැන් මං මැරෙන්ට භය නෑ.

එතකොට පුතේ, නාරජ්ජුරුවෝ බොහෝම සතුටු වුණා. සිතූ පැතූ සම්පත් දෙන නාග මාණික්‍යයක් එයැයිගේ අතට දුන්නා. ආයෙමත් වෙරළට ගෙනැවිත් තිබ්බා. උන්දෑ එදා ම නාග මාණික්‍ය ගෙදරට දුන්නා. තමන් ගිහි ජීවිතේ අත්හැරියා. සේරුවිලට ගොහින් තමන්ට දේවදූත සූත්‍රය කියාදුන්න භික්ෂූන් වහන්සේව සොයා ගිහින් මේ හැම දෙයක් ම කිව්වා. තමන්ව පැවිදි කරන්ට කියා ඉල්ලා සිටියා.

භික්ෂූන් වහන්සේලා වියදියා ව පැවිදි කළා. වැදි තෙරුන්නාන්සේ කියලා ඒ භික්ෂුව ප්‍රසිද්ධ වුණේ. බොහෝ වීරිය අරගෙන ධර්මයේ හැසිරිලා රහතන් වහන්සේනමක් බවට පත් වුණා.

බලන්ට පුතේ, සත්පුරුෂ ආස්සරේ මොනතරම් උතුං ද. දැන් බලන්ට… අර වැද්දා වැදි ජීවිතේ ම ගෙව්වා නම් එයැයි මේ වෙද්දිත් මහානිරයක ඉපදිලා අඳෝනා නගමින් දුක් විඳිනවා නොවැ. අපගේ මහා සත්පුරුෂයන් වහන්සේ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්‍ය රසයෙන් රසවත් වූ ධර්මය වදාළා නොවැ. ඒ ධර්මය එදා බුද්ධපුත්‍රයන් වහන්සේලා කටපාඩමින් දරාගෙන හිටියේ. ඒ ධර්මය සත්පුරුෂයන් වහන්සේලාගෙන් අසන්ට තරම් අර වැද්දාත් මොකාක් හරි පිනක් කොරලා තියෙන්ට ඇති. ඉතිං පුතේ, ඒ බණ ඇසීම මොනරතම් උතුම් දෙයක් උනාද. වැද්දාට සියලු අකුසල් නසා රහත් ඵලයට පත්වෙන්ට ලැබුණා. සත්පුරුෂ ඇසුර නිසා මොනතරම් පිරිසක් දෙවියන් අතර උපන්නා ද. සාදු… සාදු… ත්‍රිවිධ රත්නයෙහි අපව සමාදන් කරවන කල්‍යාණමිත්‍ර සත්පුරුෂ ආස්සරේ උතුම් දෙයක් ම යි නේද පුතේ.”

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 20
වෙසක් පෝයට අපිට හරි සතුටුයි. අපේ ආච්චිත් වට්ටියකට ලාස්සනට පිච්චමල් සකසමින් හිටියා. මාත් හෙමිහිට ආච්චි ළඟට ගොහින් පිච්චමල් සැරසිල්ල කරන්ට එකතු වුණා.

“ආච්චියේ…. දැන් ඔන්න වෙසක් ආවානේ. ඇයි ආච්චි වෙසක් කියලා කියන්නේ? ඒ කියන්නේ වෙනසක්, වෙසක්, අලුත් දෙයක් කියන එක ද ඒ වෙසක් කියන වචනයේ තේරුම?”

එතකොට ආච්චි මං දිහා දෑස් ලොකු කොට බැලුවා. පුදුමයෙන් වගේ දත් නැති කට විදහාගෙන හිනැහුනා. “හෑ…. මයෙ පුතේ…. කවුද ඔයාට ඔය විදිහේ වැරදි අර්ථ කියාදුන්නේ? මයෙ පුතේ, අපේ සිංහල භාෂාවේ අමුතු වේෂයකටත් වෙසක් කියනවා තමයි. නමුත් මෙතනදි වෙසක් කියලා කියන්නේ වෙනසක් කියන අර්ථයෙන් නෙවෙයි පුතේ. ඒ මේ පෝය දවසේ නමයි. පුතේ…. මේ පෝයට පාළි භාෂාවෙන් කියන්නේ ‘වේසාඛ’ කියලා. සංස්කෘත භාෂාවෙන් කියන්නේ ‘වෛශාඛ’ කියලා. සිංහලෙන් කියන්නේ වෙසක් කියලා. ඒක මේ පෝයේ නම මිසක්කා වෙනසක්, අමුතු දෙයක් වැනි අරුතක් මෙතන නෑ පුතේ.”

“එතකොට ආච්චියේ, මිනිස්සු වෙසක් කාලෙට වෙසක් මූණු දාගන්නවා. ඔළුබක්කෝ නටනවා. ඇයි ආච්චියේ එහෙම කරන්නේ? වෙසක් කියන වචනේ එයාලා පටලවාගෙන නේ ද?”

“ඔව් පුතේ…. හොඳටෝම පටලවාගෙන. මෙවැනි උත්තම වූ වෙසක් පෝයට වෙස්මූණු පැලඳගැනීම මහා බරපතළ වරදක් පුතේ. ඒ වගේ ම ඒක වෙසක් පෝයට කරන නිගරුවක්! ඔළුබක්කෝ නැටීම කියන්නෙත් මහා බරපතළ අකුසලයක්. ඔය මිනිස්සු වෙසක් පෝයට නින්දා කරනවා. මේ පෝයේ ඇති උතුම්කම එයාලා දන්නෑ නොවැ.”

“ඉතින් ආච්චියේ… වෙසක් පෝය අපට මේ තරම් උතුම් වූයේ ඇයි?”

“හප්පේ…. මයෙ පුතේ…. වෙසක් පෝය තමයි අපේ සිංහල ජාතියට වාසනාව කැන්දන් ආපු පෝය. ඇයි පුතේ, වෙසක් පෝය දවසේ නොවැ අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ මනුලොව උපන්නේ. වෙසක් පෝයක ම නොවැ බුදු වුණේ. වෙසක් පෝයක ම නොවැ පිරිනිවන් පෑවේ. ඒ විතරක් යැ පුතේ, වෙසක් පෝය දවසේ තමයි අපේ සිංහල ජාතියේ ආදි පුරුෂයා වන විජය රජ්ජුරුවෝ මේ දිවයිනට ගොඩබැස්සේ. ඒ විතරක් යැ පුතේ, වෙසක් පොහෝ දවසක ම තමා අනුරාධපුරේ උඩ මළුවේ ශ්‍රී මහා බෝධිය රෝපණය කළේ. වෙසක් පොහෝ දවසක ම යි රුවන්වැලි මහා දාගැබේ ධාතු නිධන් කෙරුවේ. ඒ වගේ ම පුතේ, අතීතයේ හිටිය සිංහල රජදරුවෝ ඔටුණු පැලැන්දෙත් වෙසක් පෝයේ ම තමා.

ඉතින් පුතේ, අපේ සිංහල ජාතියේත්, ලංකාවේ පිහිටි බුදු සසුනේත් උතුම් අවස්ථා සෑම එකක් ම පාහේ සිදුවුණේ වෙසක් පෝයේ නොවැ. අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපෙට වැඩම කොළේ පොසොන් පොහොය දවසේ නොවැ. ඒ නිසා සිංහල අපට නම් පොසොන් පෝයත් වෙසක් වගේ ම වටිනවා.”

“එතකොට ආච්චියේ, අපේ පන්තියේ යාළුවෙක් කීවා බුදුරජාණන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ නොවේලු. ලංකාවෙලු. ඒක ඇත්ත ද ආච්චියේ?”

එතකොට ආයෙමත් ආච්චි දෑස් ලොකු කරලා මං දිහා බැලුවා. ආච්චිට ටිකාක් කේන්ති ගියාවත් ද. “අනේ මයෙ පුතේ…. ආයෙ නම් ඔවැනි පව්කාර කතාවලට මොහොතකටවත් සවන් දෙන්ට එපා. ඕවා ඔයාලගේ හිතේ උපදවගන්ට තියෙන පිනටත් හානි කරන මහා භයානක අදහස්. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ හෑම දෙයක් ම සිදුවුණේ ඉන්දියාවේ නොවැ පුතේ.”

“අනේ ආච්චියේ, ඒ මොනාද ආච්චි ඉන්දියාවේ සිදුවෙච්ච දේ?”

“ඒක වුණේ මෙහෙමයි පුතේ. ඕං…. අපේ මහා බෝධිසත්වයෝ පාරමී ධර්මයන් සම්පූර්ණ කොරලා හිටං තුසිත දෙව්ලොව උපන්නා නොවැ. උන්නාන්සේ තමා තුසිතයේ හිටපු රජ්ජුරුවෝ. සන්තුසිත දිව්‍යරාජයා. ඉතින් දවසක් දසදහසක් සක්වළ දෙවියෝ ඇවිදින් මේ සන්තුසිත දිව්‍යරාජයාට ආරාධනා කොළා මනුලොව වැඩලා බුදුවෙන්ට කියලා.

ඉතින් පුතේ…. උන්නාන්සේ ආරාධනාව භාරගත්තා. ඊට පස්සේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව් කියන මේ පස්මහබැලුම් බැලුවා.

ඒකෙදි පුතේ, උන්නාන්සේ ඉස්සෙල්ලාම බැලුවේ කාලයයි. ඒ කිව්වේ ගුණයෙන් නුවණින් මෝරා ගිය දෙවිමිනිසුන් ඉන්නවා ද කියලයි. බැලින්නම් හරි නොවැ. සංසාරේ බෝධිසත්වයෝ එක්ක පෙරුම් පුරාගෙන ආපු බොහෝ උදවියගේ ගුණනුවණ හොඳට මෝරාපු කාලය ඇවිල්ලා. එතකොට ඒක හරි.

ඊ ළඟට පුතේ, උන්නාන්සේ බැලුවේ උපදින්නේ කොයි ද්වීපයේ ද කියලයි. උන්නාන්සේගේ දිවැස් නුවණට පෙනී ගියේ අපේ රට නො වේ. ජම්බුද්වීපය යි. ඒ කියන්නේ ඉන්දියාව. ඒ කාලේ පුතේ අපේ රටට ලංකාදීපය කිව්වා. එදත් අදත් අපේ රට අයිති වෙන්නේ ප්‍රත්‍යන්ත දේශයට යි. ඉතින් ඕං ඉන්දියාව තමයි බුදුවරු උපදින ද්වීපය කියලා දැනගත්තා.

ඊට පස්සේ පුතේ, උන්නාන්සේ බැලුවා ඒ ජම්බුද්වීපයේ බුදුවරු උපදින දේශය, ඒ කියන්නේ පුතේ ප්‍රදේශය යි. ඕං දැක්කා මධ්‍ය දේශය.”

“මධ්‍ය දේශය කියන්නේ මොකක්ද ආච්චියේ?”

“පුතේ…. මධ්‍ය දේශයේ තමා සියලු බුදුවරු පහළ වෙන්නේ. පසේබුදුවරු පහළ වෙන්නේ. මහා ශ්‍රාවකයෝ පහළ වෙන්නේ. ඉතින් පුතේ, අපේ භාග්‍යවතුන් වහන්සේ ම යි ඒ මධ්‍ය දේශය අසවල් තැන ය කියා පෙන්නා දුන්නේ.

ඒ කියන්නේ පුතේ මෙහෙමයි. බුද්ධගයා මහබෝමැඬ පිහිටි වජිරාසන භූමිය තියෙනවා නොවැ. එතනින් නැගෙනහිරට කජංගලා නමින් නියම්ගමක් තියෙනවා. මහබෝධියෙන් ගිනිකොණට සලලවතී නමින් ගංගාවක් තියෙනවා. මහබෝධියෙන් දකුණට ශ්වේතකර්ණිකා නමින් නියම්ගමක් තියෙනවා. මහබෝධියෙන් බටහිරට ථූන නමින් බ්‍රාහ්මණ ගමකුත් තියෙනවා. මහබෝධියෙන් උතුරට උශීරද්ධ්වජ කියා පර්වතයකුත් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඕං ඔය ගම් නියම්ගම්වලින් වටවී ඇති ප්‍රදේශයට මධ්‍ය දේශය කියනවා කියලයි.

ඊට පස්සේ පුතේ, උන්නාන්සේ බැලුවේ බුදුවරු උපදින්නේ කොයි කුලේ ද කියලයි. සාමාන්‍යයෙන් බුදුකෙනෙක් උපදින්නේ කුල දෙකකින් එකකයි. එක්කෝ බ්‍රාහ්මණ කුලේ. නැත්නම් ක්ෂත්‍රිය කුලේ. ඉතින් මෙවර අපේ භාග්‍යවතුන් වහන්සේට උරුම වුණේ ක්ෂත්‍රිය කුලේ උපදින්ටයි.

ඊට පස්සේ පුතේ බැලුවේ බුදුකෙනෙක් පිළිසිඳ ගන්නා මව්කුස ඇති මෑණියෝ ඉන්නවා ද කියලයි. ඒකත් හරි. බෝධිසත්වයෝ මව්කුස පිළිසිඳ ගත්තාට පස්සේ දස මාසයකුත් සතියකට ආයුෂ තියෙන්ටත් ඕනෑ. ආං ඒ බුද්ධමාතාව කපිලවස්තුපුර ඉන්නවා දැක්කා.

ඉතින් පුතේ ඔන්න ඔය විදිහට පස්මහබැලුම් බලාලයි අපේ බෝධිසත්වයෝ මනුලොව උපන්නේ. බෝධිසත්වයන්ට වයස විසිනවය වෙද්දි නුවණ හොඳට මෝරා තිබුණා. දෙවියෝ සතර පෙර නිමිති පෙන්නුවා. එතකොට උන්නාන්සේ සංසාරේ කලකිරිලා නිවන හොයාගෙන ඇසළ පුන් පොහෝ දවසක ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන්ට පිටත් වුණා. එතකොට ම මාරයා පෙනී හිටියා නොවැ. පෙනී හිටලා කිව්වා

‘හාපෝ…. ගිහි ජීවිතය ඔහොම අත්හරිනව ද? පොඩිත්තක් ඉවසාගෙන ඉන්ට. වැඩිම වුණොත් සතිය යි. සතියකින් ඔයැයි සක්විති රජ වෙනවා ම යි’ කිව්වා.

නමුත් මයෙ පුතේ, අපේ බෝධිසත්වයෝ උන්නැහේගේ කතා ගණන් ගත්තේ නෑ. අනෝමා ගඟෙන් එතෙර වෙලා ගොහින් පැවිදි වුණා. හප්පේ…. ඊට පස්සේ නොවැ ගත්තු වෙහෙස තියෙන්නේ. ඇයි පුතේ, උන්නාන්සෙට ආලාර කාලාම, උද්දක රාමපුත්ත කියා තාපසවරුත් මුණගැසුනා. එයාලා භාවනාව ඉගැන්නුවා. නමුත් උන්නාන්සේගේ නුවණට තේරුනා තමන් හොයන්නේ ඒක නො වේ ය කියා. ඒකත් අත්හැරියා.

ඊට පස්සේ පුතේ, උන්නාන්සේ වැඩියා නොවැ නේරංජරා ගංතෙරට. එහේ තමයි තපස් කොළේ. මහා දුක් වින්දා. නොකා නොබී හිටියා. සිහිසන් නැතුව වැටුනා. එතකොට මාරයා භය වුණා. ‘මේ ඇත්තා මෙහෙම වීරිය කළෝතින් නම් බුදුවෙන්ට බැරි නැතෙයි’ කියා. ඉතින් උන්දෑ ඇවිත් පෙනී හිටියා. පෙනී හිටලා මෙහෙම කිව්වා. ‘මේ…. ශ්‍රමණයන් වහන්ස, ඔහේ ඔය වීරිය අත්හරින්ට. ඔහොම වීරිය කළොතින් මැරිලා යාවි. මට දුකායි. කොහොමත් නිවනක් හොයාගෙන වීරිය කරපු කෙනෙක් දින්නේ නෑ. ඒ නිසා ඔය අදහස අත්හැරදමන්ට’ කියා කිව්වා. උන්නාන්සේ එයැයිගේ අදහසට පසුබට වුණේ නෑ.

ඊට පස්සේ පුතේ, අද වගේ ම වෙසක් පොහෝ දවසක හැන්දෑ ජාමේ අපේ භාග්‍යවතුන් වහන්සේ නේරංජරා නදිය අසබඩ ජය සිරි මහබෝ සෙවණේ වජිරාසනය මත වාඩිවුණා නොවැ. මහා අධිෂ්ඨානයක් ගත්තා. නිවන් අවබෝධ නොකොට නැගිටින්නේ ම නෑ කියා සිතට ගත්තා. ආන්න එතකොටයි මාරයා ගැස්සුනේ. උන්දෑ කලබල වුණා. මහ භයානක හස්තිරාජයෙකුගේ පිටින් මහබෝමැඬ ඉදිරියට දුවගෙන ආවා නොවැ. දස බිම්බරක් මාර සේනාව ලවා වට කොළා නොවැ. මහා බිහිසුණු විදිහට තර්ජන ගර්ජන කරන්ට පටන් ගත්තා නොවැ.

අනේ මයෙ පුතේ…. එදා උන්නාන්සේ ළඟ ඉන්ට කොයියම් ම දෙවියෙකුටවත් බැරිව ගියා. උන්නාන්සේ තනිවුණා. එතකොට පුතේ, මාරයා මහ භයානක හඬ පතුරුවාගෙන ගල්වරුසා එව්වා. ආයුධ වරුසා එව්වා. අවීචි මහා නරකයෙන් ගිනිදැල් උඩට ඇන්න එයින් පහර දුන්නා. ඒත් අපේ භාග්‍යවතුන් වහන්සේ නොසැලී සිටියා නොවැ. බැරිම තැන මාරයා කෑගසා කීවා ‘ඒයි සිද්ධාර්ථ, ඔතනින් නැගිටපං. ඔය වජිරාසනය අයිති මටයි’ කිව්වා. එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ ඇහුවා පුතේ ‘මාරය, ඔහේ මේ වජිරාසනයට අයිතිවාසිකම් කියන්නේ මොන වගේ සාක්කි ඇතුව ද?’ කියලා.

එතකොට පුතේ, දස බිම්බරක් මාර සෙනඟ එක්පැහැර මහා හඬින් ‘ඇයි මේ අපි ඉන්නේ. අපි තමයි සාක්කි’ කිව්වා. දැන් මාරයාට හරි ආඩම්බරයි. උන්නැහේ හිතුවේ අපේ භාග්‍යවතුන් වහන්සේව නැගිටුවන්ට ඇහැක කියලයි. ඉතින් උන්නැහේ ඇහුවා ‘හරි සිද්ධාර්ථයෙනි, ඔයැයි ඔය වජිරාසනයේ වාඩිවෙන්ට තියෙන අයිතිවාසිකමට සාක්කි කෝ?’ කියලා.

අනේ මයෙ පුතේ, එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රී හස්තයේ ඇඟිලි මහපොළොවට ස්පර්ශ කරලා මිහිකතගෙනුයි ඇසුවේ ‘එම්බා මිහිකත, තී හොඳ හැටි දන්නවා නොවැ මං පාරමී ධර්ම පිරූ හැටි. දැන් ඉතින් තී තමයි මං ගැන සාක්කි දෙන්ට ඕනෑ’ කියලා. හප්පේ මයෙ පුතේ, පුදුමෙනුත් පුදුමයි නොවැ. එතකොට පුතේ, මහා මුහුදේ රළගෙඩි ඕං ඔහොම පෙරලෙන්නැහේ පෙරලි පෙරලී හිටං ගිගුම් දිදී නටන්ට පටන් ගත්තා නොවැ. ඇත්රජා කලබල වුණා. බිම වැටුනා. ඒත් එක්ක ම මාරයත් බිම වැටුනා. මාර සේනාව හිස හැරුණු අතේ පළාගියා. මාරයාට පරාජය පිළිගන්ට සිද්ධ වුණා.

ඒ වුණාට පුතේ, මාරයා මේ සත්වයා සංසාරෙන් එතෙර වෙනවාට කැමති නෑ. වැඩි කලක් නොගිහින් ඉන්දියාවෙන් බුදු සසුන අතුරුදහන් වුණා නොවැ. ලංකාවෙත් වරින් වර සාසනේ නැතිවුණා. කොටින් ම භික්ෂූන් වහන්සේනමක් දකින්ට නැති කාලයකුත් ලංකාවේ තිබ්බා. දැන් වුණත් මිනිස්සු තෙරුවන් සරණ ගොහින් පින් කර ගන්නවාට උන්නැහේගේ කැමැත්තක් නෑ නොවැ. කැමැති ම අවුල් කරන්ටයි. ඒකට පාවිච්චි වෙන්නේ මිනිස්සුන්ව ම යි. ඉතින් උන්නැහේගේ බැල්ම වැටුනහම ඒ උදවිය කියනවා බුදුවරු උපන්නේ ලංකාවේ ය කියා. රහත් වුණා ය කියනවා. මග ඵල ලැබුවා ය කියනවා. එහෙම මුළාවෙලා උඩඟු වුණාට පස්සේ නිහතමානී වෙන එක ලේසි නෑ. අන්තිමේදි ස්වල්ප පිනක්වත් කර ගන්ට තියෙන අවස්ථාව නැතුව යනවා.

ඒ නිසා මයෙ පුතේ, භාග්‍යවතුන් වහන්සේ ලංකාවේ උපන්නා ය කියන මිසදිටු කතාවලට රැවටෙන්ට එපා. ඒක හරිම භයානක මුසාවක්.”

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 19
“පුතේ… මෙහෙ එන්න මයෙ පුතේ. අද මං ඔයාලාට ලාස්සන කතාවක් කියාදෙන්නම්.”

එතකොට මායි නංගියි ආච්චි ළඟට දුවගෙන ගොහින් තුරුල් වුණා.

“පුතේ… හා… ඔයාලා දන්නවා නම් කියන්න බලන්න සත්‍යක්‍රියාව කියන්නේ මොකක්ද?”

“ආච්චියේ… සත්‍යක්‍රියාව කියන්නේ යම් දෙයක් සත්‍ය නම් ඒ සත්‍යයේ ආනුභාව බලයෙන් මෙහෙම මෙහෙම වෙන්ට කියලා වචනයෙන් අධිෂ්ඨාන කරන එක නේ ද?”

“හරියට ම හරි පුතේ… දැන් බලන්ට, අපි පිරිත් කියලා අවසානයේ දී කරන්නේ සත්‍යක්‍රියා කරන එකනේ. මේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා! කියලා කරන්නේ ඒක තමා.

අද මං ඔයාලාට කියාදෙන්ට යන්නේ එක්තරා කුමාරිකාවක් සත්‍යක්‍රියා බලයෙන් කොරාපු මහා හාස්කමක් ගැනයි.”

“අනේ ආච්චියේ… මං හරී ආසයි ඒ කතාව අහන්ට.”

“ඒක වුණේ මෙහෙමයි පුතේ. ඔයාලා දන්නවා නේ අපේ භාග්‍යවතුන් වහන්සේ දන්වැළඳුවේ ඉතා තුනී ගල් පාත්තරයක. ශෛලමය පාත්‍රාධාතූන් වහන්සේ කියලයි ඒ පාත්තරේට කීවේ.

ඔයාලා දන්නවැයි ඒ පාත්තරය අපේ භාග්‍යවතුන් වහන්සේට ලැබුණේ කොහොමද කියා?”

“අනේ ආච්චියේ, අපට භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳූ පාත්තරය ගැනත් කියාදෙන්ට.”

“ඒක උනේ මෙහෙමයි පුතේ. ඕන්න අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙලා සත්සතිය වැඩඉන්නැද්දී සත්වෙනි සතියේ වැඩ උන්නේ රාජායතන කියන කිරිපලු රුක්සෙවණේ.

ඔය කාලේ තපුස්ස – භල්ලික කියන සහෝදර වෙළෙන්දෝ දෙන්නෙක් උක්කලා ජනපදයේ හිටං කරත්ත පන්සියයක බඩු පටවාගෙන යද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට කිට්ටුවෙන් තිබුණු පාරකයි යමින් උන්නේ.

එතකොට පුතේ, මේ වෙළෙන්දන්ගේ ඤාති දේවතාවෙක් ඒ ඇත්තන්ට පෙනිලා හිට මෙහෙම කීවා.

“පින්වත්නි, ඔහේලා දන්නවැයි ආං මහා උත්තම මුනිරාජයෙක් ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙලා අසවල් කිරිපලු රුක්සෙවණේ වැඩඉන්නවා. ඔහේලා ගොහින් උන්නාන්සේට අග්ගලායි, මීපිඬුයි පිළිගන්වන්ට. පින් කර ගන්ට” කිව්වා.

එතකොට පුතේ ඒ සහෝදර වෙළෙන්දෝ දෙන්නා අග්ගලයි, මීපිඬුයි ඇන්න හනික භාග්‍යවතුන් වහන්සේ ළඟට පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොළා.

“අනේ පින්වත් මුනිරජාණන් වහන්ස, මේ අග්ගලාත් මීපිඬුත් පිළිගන්නා සේක්වා!” කිව්වා.

එතකොට පුතේ ඒ අවස්ථාවේ අපේ භාග්‍යවතුන් වහන්සේ ළඟ පාත්තරයක් තිබ්බේ නෑ. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම හිතුවා. ‘බුදුවරු අතින් දානේ පිළිගන්නේ නෑ. මං දැන් මේ දානේ පිළිගන්නේ මොකේට ද?’ කියා. හරි පුදුමයි පුතේ… භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැනගත් සැණින් සතරවරම් දෙව්මහරජවරු ඇවිත් “අනේ භාග්‍යවතුන් වහන්ස, මේ පාත්තරයෙන් අග්ගලාත් මීපිඬුත් පිළිගන්නා සේක්වා!” කියා ශෛලමය පාත්තරා සතරක් ම පූජා කොළා. එතකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ පාත්තර සතර එක් පාත්තරයක් බවට පත්වෙන්ට කියා අධිෂ්ඨාන කොළා. එතකොට තනි පාත්තරයක් පහළ වුණා. ඒ පාත්තරෙන් තමයි පළමුවෙන් ම අග්ගලයි මීපිඬුයි පිළිගත්තේ.

එදා පටන් මයෙ පුතේ, අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් සතළිස් පස් අවුරුද්ද පුරා ම දන් වළඳා වදාළේ ඔය ශෛලමය පාත්තරයෙනුයි.

ඉතින් පුතේ අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ බුද්ධ පාත්තරයට රජදරුවෝ මහා ආදරයෙන් පූජා සත්කාර කොළා.

එක්තරා කාලයක දඹදිව දේවපුත්‍ර නමින් මහා නගරයක් තිබ්බා. ඔය නගරයේ තමයි ඒ පාත්‍රා ධාතූන් වහන්සේ වැඩහිටියේ. ඉතින් පුතේ දේවපුත්‍ර නගරයේ රජ්ජුරුවෝ මුල්වෙලා “පාත්‍රමහපූජා” නමින් මහා පූජාවක් පවත්වනවා.

ඔය පාත්‍රමහපූජාවේ දී රන්රිදී මුතුමැණික් ආදී සත්රුවනින් සරසාපු අලංකාර රථයක් පිළියෙල කරනවා. ඒ රථයේ මැද රනින් කැටයම් කළ කණුවක් මුදුනේ මුතුකුඩය යට පාත්‍රා ධාතූන් වහන්සේ වඩාහිඳින්ට සලස්වනවා. ඊට පස්සේ අලංකාරව සරසාපු සුදු ඇත්තු සතර දෙනෙකු ලවා අර කරත්තේ ඇදගෙන යමින් නගරය ප්‍රදක්ෂිණා කරනවා. ඔය විදිහට සත් දවසක් මහා පෙරහර පවත්වාලා හිට අන්තිම දවසේ තුන්යම් රාත්‍රියේ ම බණක් කියවනවා.

ඉතින් පුතේ මේ අලංකාර පාත්‍රාමහා පූජෝත්සවය බලන්ට දඹදිව නොයේක් ජනපදවලින් මිනිස්සු එනවා. ඒ වගේ ම මනුස්ස වේශයෙන් දිව්‍යනාගයෝ, දිව්‍ය ගුරුලෝ, යස්සයෝ, රාස්සයෝ, සිද්ධ විද්‍යාධරයෝත් එනවා.

ඉතින් පුතේ, එදා බණ අහන්ට ඇවිත් උන්නා දෙවඟනක් වාගේ ලස්සන දැරිවියක්. එදා මනුස්ස වේශයෙන් හිටිය නාරජෙකුට යොවුන් කුමාරිව දුටු ගමන් ඈව ම සහේට ගන්ට ඕනෑ කියලා මහා ආසාවක් උපන්නා. ඉතින් මේ මිනිස් වේශයෙන් හුන් කෙනා ඈට නොයෙක් අයුරින් කරුණු කිව්වා. එතකොට ඈ “මොන කරදරයක් ද මේ…. අනේ මගේ පාඩුවේ ඉන්ට දෙන්ට. මං ඕවාට කැමති නෑ” කියා ප්‍රතිස්සේප කොළා.

හප්පෝ… එතකොට පුතේ…. මේ නාගරාජයාට හොඳටෝ ම කේන්ති ගියා. මං මේකිව මෙතැන මරනවා කියලා නාවෙස් අරගෙන කටින් භයානක විෂ දුමක් පිට කොළා. එතකොට කුමාරි දෑස් පියාගෙන තුනුරුවන්ට ජීවිතය පූජා කොරලා නයාට මෙත් සිත් පැතිරුවා.

“හෑ…. මේකිත් එතකොට මහා බලසම්පන්නයි. මොකෝවත් උනේ නෑ නොවැ” කියා නාරජ්ජුරුවෝ තවත් දරදඬු වුණා. රන් කරඬුවක පිච්චමල් මාලාවක් පුදන්නැහේ මේ රන්වන් කුමාරිගේ දෙපතුලේ පටන් ම දරණවැලින් ඔතාගත්තා නොවැ. එහෙම ඔතාගෙන කුමාරිගේ හිසට උඩින් පෙණය කොරගෙන උන්නා නොවැ.

හරිම ආශ්චරියයි මයෙ පුතේ. කුමාරි කලබොල වුණේ නෑ. තැතිගත්තේ නෑ. විලාප තිව්වේ නෑ. ධ්‍යානයකට සමවැදුනා වගේ සිත තැන්පත් කොරගෙන අහන බණ ටික අකුරක් නෑර සවන්දීගෙන උන්නා.

එළිය වැටීගෙන එද්දී මේං බණ අහන්ට ආ හැමෝම දැක්කා නොවැ මහානාගයෙක් කුමාරියක ව වෙලාන ඉන්නවා. මිනිස්සු වට වුණා. “අනේ දුවේ…. ඔයා ව මොකෝ මේ නාගරාජයෙක් වෙලාගෙන?”

“අනේ මාමණ්ඩියේ…. මේ නාගයා මට නරක යෝජනාවක් කොළා. මං ඒවාට කැමති නෑ කියලා කෙළින් ම කිව්වා. ඊට පස්සේ මට මහා විෂ දුමකින් පිම්බා. ඊට පස්සේ තමයි මාව මේ වෙලාගෙන කරදර කරන්නේ.

අනේ මං මේ කියන්නේ සත්‍යයක් ම යි. මං මනුස්ස ලෝකයේ උපන්දා සිට මේ අද වෙනකල් බාල බ්‍රහ්මචාරී ව කුමරි බඹසර රැකගෙන ම යි ඉන්නේ. මේ සත්‍යයේ බලයෙන් නාගරජ්ජුරුවෝ වහා මේ දරණවැලෙන් මාව නිදහස් කරත්වා!

ඒ වගේම මං ඉතා ම ආදර ගෞරවයෙන් බණ අසද්දී මේ නාගරජ්ජුරුවෝ මගේ සිත රාගයට පොළඹවා ගන්ට නොයේක් කරුණු කීවා. නමුත් මං මයෙ සිත කය වචනය යන තුන්දොර ම මෙයැයිගේ සරාගී කතාවට යොමු නො කොට, ආසා නො කොට ධර්මයට ම ආසා කළ බව සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!

ඒ වගේ ම තමුන්නේ වචනයට නම්මාගත නො හැකි තැනේ දී මේ නාරජ්ජුරුවෝ ක්‍රෝධයෙන් දිලිහී මා වෙත විෂ දුම් පිටකරද්දී මා තුළ මේ නාරජ්ජුරුවෝ ගැන කෝප සිතක් නූපන් බව සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!

ඒ වගේ ම මං බණ අසද්දී ධර්මය කෙරෙහි ආදර ගෞරවයෙන් යුක්තව ම බණ ඇසූ බව සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!

ඒ වගේ ම මෙවන් විෂඝෝර භයානක නාගරාජයෙක් මගේ මුළු ශරීරය ම දරණවැලින් වෙලාගෙන හිස මත පෙණය කොට මාව භය කරමින් සිටියදීත් තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි මං කිසි ම භයක් නැතිව බණ පටන්ගත් තැන් පටන් අවසන් වෙනතුරු ම අකුරෙන් අකුර පදයෙන් පදය ඉවත නොහෙළා සිත එකඟ කරගෙන ඇසූ බව සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!” යි කියලා මේ දැරිවි හඬ නගා කීවා නොවැ මයෙ පුතේ.

බලන්ට පුතේ. ඒ සත්‍යක්‍රියාව මහා හාස්කමක් නොවැ. එතකොට නාරජ්ජුරුවන්ට දරණ වෙලාගෙන ඉන්ට බැරුව ගියා. ඉක්මනින් ම වෙළුම් ලිහුවා. වෙළුම් ලිහලා තමන්ගේ ශරීරයේ පෙණ ගොබ සීයක් මවාගත්තා. ඒ පෙණගොබ මත කුමාරි ව තැබුවා. නා මෙනෙවියන් පිරිවරාගෙන ඒ දැරිවිව පැන්වලින් නාවා උදකපූජා නමින් ගෞරව දැක්වුවා.

එතකොට පුතේ, ඒ දේවපුත්‍ර නගරයේ හිටිය මිනිස්සු දහඅටකෝටියක පමණ මහා වස්තු සම්භාරයකින් මේ කුමාරිව පිදුවා. එතකොට කුමාරි මෙහෙමයි හිතුවේ. ‘මං මේ හැම එකකින් ම බේරුනේ මං ආරස්සා කොරන කුමරි බඹසර නිසා ම යි. මං මැරෙන තුරාව ම මේ බඹසර ජීවිතේ ම ගෙවන්ට ඕනෑ’ කියලා අධිෂ්ඨාන කොර ගත්තා පුතේ. ඊට පස්සේ කලක් යද්දි කුමාරි අසනීපයකින් මරණයට පත් වුණා. බලන්ට පුතේ පින්බලේ ලස්සන. ඒ දේවපුත්‍ර නගරයේ දේවපුත්‍ර රජ්ජුරුවන්නේ අගමෙහෙසියගේ කුසේ නොවැ ආයෙමත් මේ කුමාරි උපන්නේ. ඈ උපන්න දවසේ සත්රුවන් වරුසා වැස්සා. කලින් ආත්මෙටත් වඩා ලස්සනයි. දෙව්ලොවින් බිමට බැස්සා වගේ. ඇගේ ලස්සන රන්වන් පාට නිසා ම ඈට නම වැටුනේ කංචන කුමාරි කියලයි.

ඉතින් පුතේ, ඒ ආත්මෙත් මේ කුමාරි පුංචි කාලේ පටන් ම කුමරි බඹසර රැකගත්තා. යොවුන් වියේ දී රජ්ජුරුවන්ගෙන් අවසර ඇන්න ගිහි ජීවිතේ අත්හැරියා. භික්ෂුණීන් අතරට ගොහින් බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ටික කලකින් පටිසම්භිදාලාභී රහත් භික්ෂුණියක් බවට පත්වෙන්ට ලැබුණා. බුද්ධ සෑසනේ එළිය කොරලා නිවී ගියා.

බලන්ට පුතේ…. සත්‍ය වචනයේ ආනුභාව තියෙන්ට නම් ඒ කියන කරුණ සත්‍යයක් ම වෙන්ට ඕනෙ. දැන් බලන්ට ඒ කුමාරි කුඩා සන්දියේ පටන් ම බඹසර රැක්කා නොවැ. ඒක සත්‍යයක්. අච්චර බරපතළ අවස්ථාවෙත් නාරජු ගැන කෝප නො වී මෙත් සිතින් හිටියා. ඒකත් සත්‍යයක්. ධර්මයට ආදර ගෞරව දැක්වුවා. ඒකත් සත්‍යයක්. නාරජ්ජුරුවන්නේ විකාර යෝජනාවට හිත යොමු කළේ නෑ. ඒකත් සත්‍යයක්. ඒ නිසා ම නොවැ ඈ රැකුනේ. රාගයෙන් නොමගට යන එකියක් වුණා නම් නාරජ්ජුරුවන්නේ අඹුව වෙලා මුළු සංසාර ජීවිතේ ම විනාස කර ගන්නවා. මේකෙන් පුතේ අපි එක දෙයක් තේරුම් ගන්ට ඕනෑ. සත්‍යක්‍රියාවක බලය තියෙන්නේ සත්‍ය රකින කෙනෙක්ට ම යි පුතේ.”

(සද්ධර්මාලංකාරය ඇසුරිනි)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 18
මං එදා දානමය පිංකමෙන් පස්සේ ආච්චි ව මුණගැහී මේ ගැන අහන්ට ම යි උන්නේ. ඉතින් හවස් වෙලා මං ආච්චි ළඟට ගිහින් මෙහෙම ඇසුවා.

“ආච්චියේ…. ඔයාට මතකෙයි අද දානයට වැඩිය ස්වාමීන් වහන්සේ කියූ බණ ටික? එතෙන්දි උන්නාන්සේ කීවේ ‘තුන් සිත පහදා ගෙන දුන් දානේ, උන් ගිය ගිය තැන ලැබෙයි නිදානේ’ කියලා. තුන් සිත පහදාගන්ට කියලනේ. අනේ ආච්චි මොනා ද ඒ තුන් සිත?”

“හෝ… මයෙ පුතා දැන් හොඳ කල්පනාකාරයෙක් නොවැ. ඔය පුරස්නේ හරී වටිනවා පුතේ. ගොඩාක් ඈයො පින් කොළාට ඒ ගැන වගේ වගක් නෑ. නමුත් පුතේ තුන් සිත ගැන අපි දැනග්නට ඕනෑ ම යි.

ඉතින් පුතේ ඒ මෙහෙමයි. ඕං අපි අද ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කොර ගත්තා නොවැ. ඔයැයිට මතකෙයි මං කීවා අපි මේ දන් පුදන්නේ මහසඟරුවනට ය කියා?”

“හරි ආච්චි… ආච්චි අපට කියා දුන්නානේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන කියලා ම සිතන්ට කියලා. මං හිතුවෙත් එහෙම තමා.”

“ආන් හොඳා…. මයෙ පුතා හිතුවා හරි… ඉතින් අපි එහෙම හිතුවේ දන් පුදන්ට කලියෙං නොවැ. එහෙම හිතලා තමයි අපි දන් කළමනා ලේස්ති කොළේ. ඒකට කියන්නේ පූර්ව චේතනාව කියලා. දානය දෙන්ට කලිං සිත පහදවා ගන්නවා කියන්නේ එයට යි.

ඊ ළඟට පුතේ අපි බොහෝ ම ගරු සරු ඇතිව පා දෝවනය කොරලා, සුදු ඇතිරිලි එලාපු ආසනවල වඩා හිඳවලා, බොහෝ ම ගරු සරු ඇතිව දන් පිදුවා නොවැ. කිසි ලෝභකොමක් නැතිව අපි දන් දුන්නා නොවැ. ඒකට කියන්නේ මුංචන චේතනාව කියලා. ඒ කියන්නේ අපි සන්තක දේ පූජා කොරන වේලේ ඇති වූ සතුට නොවැ. ඒක දෙවෙනි සිත.”

“එතකොට ආච්චි… තුන්වෙනි සිත මොකක්ද?”

“පුතේ ඒකට කියන්නේ අපර චේතනාව කියලා. ඒ කියන්නේ දන් පූජා කොර ගත්තාට පස්සේ සිතේ උපදවා ගන්නා සංතෝෂේ. ඕං… පුතේ මට ඒක කියනකොට ම හරි අපූරු කතාවක් මතක් වුණා.”

“අනේ ආච්චියේ, අපට ඒ කතාව කියා දෙන්ට.”

“එහෙනම් මයෙ පුතා හොඳට අසාගෙන ඉන්ටකෝ. ඉතින් පුතේ ඉස්සර අනුරාධපුරේ උන්නු මිනිහෙක් රජ්ජුරුවන්නේ රාජකාරියකට මුගලයින් රට කියන පළාතේ මාළු අල්ලන උදවිය වාසය කරන කෙවුල් ගමට ගියා. ‘හා… අපේ රජ්ජුරුවන් වහන්සේගේ සේවක කෙනෙක්’ කියලා ඒ කෙවුල්ගමේ මිනිස්සු අර උන්දෑට බොහෝ ම සැලකුවා. හොඳ හැටියට රා බොන්ට දුන්නා. උන්දැත් හොඳට පදං වෙනකල් රා බීවා. කෙළි සෙල්ලම් කොළා.

පහුවෙනිදා උදේ මිනිහාට හොඳටෝම බඩගිනියි. “අනේ බොලල්ලා…. කොටාබාන්ට මක්කවත් නැද්දැයි කියා ඇසුවා. එතකොට ඒ මිනිස්සු ‘මේ අපේ රජ්ජුරුවන්නේ දූතයා නොවැ’ කියලා ඇල් හාලේ බතක් පිසලා ගිතෙල් දමා ප්‍රණීතව පිසගත් කුකුල් මස් වෑංජනයක් එක්ක බත් දුන්නා.

පුතේ… ගිතෙල් දාලා හදාපු මස් වෑංජනේ සුවඳට ඉව කොරාන එතැනට බැල්ලියක් ආවා. මේ බැල්ලී දැක්ක ගමන් අර මිනිහාට කේන්ති ගියා.

“හනේ… නිදකිං…. මං මේ බඩගින්නට බත්ගුලියක් ඇණුවා විතරයි… මේ… බැල්ලියක් ඇවිත්…!” කියා බැල්ලිට ගසන්ට වට පිට බැලුවා. අතට අහුවෙන මොකවත් නෑ. තමන් කන්ට අනාපු බත් ගුලියෙන් ගැහුවා. එතකොට ඒ බැල්ලි ඒ බත් ගුලිය මහා සතුටින් කෑවා. අර රාජ සේවකයාත් ඉතිරි බත් කන්ට ගත්තා. එතකොට උන්දැට තමන් බැල්ලිට දමා ගැසූ බත් ගුලිය ගැන මතක් වුණා.

“ඔව්… හරි අගේ ඇති මස් රසයෙන් යුතු බත් පිඬක් නොවැ මං බැල්ලිට විසික්කා කොළේ.. ඔව්… ඒකි හරි සතුටින් බත් පිඬ කෑවා…. හෝ… බොහෝ ම අගෙයි. මං ඒකෙන් කොළේ යහපත් දෙයක්” කියලා සිත පහදා ගත්තා.

ආං ඒකටයි කියන්නේ පුතේ අපර චේතනාව කියලා. දානය ගැන අර මිනිහගේ පළමු සිත පැහැදුනෙත් නෑ. දෙවෙනි සිත පැහැදුනෙත් නෑ. හැබැයි තුන්වෙනි සිත පැහැදුනා. ඒ කියන්නේ දානය දුන්නාට පස්සේ සතුටු වුණා.

ඉතින් පුතේ උන්දැ අනුරාධපුරේට හැරී එද්දී අතරමග දී සොර මුළකට අහුවෙලා මැරුම් කෑවා. ඊට පස්සේ උන්දෑ මහලවෙහෙර කියන විහාරෙ සමීප නිවසක මනුස්ස ආත්මයක් ලැබුවා. දෙමාපියෝ මේ පුත්කුමාරයාට ‘සංඝදත්ත’ කියලා නම තිබ්බා. මේ කොලු පැංචා ලොකු වෙලා මහලෙණ විහාරය කියන විහාරෙට ගොහින් පැවිදි වෙලා බුද්ධ සෑසනේට ඇතුළු වුණා.

ඉතින් පුතේ දැන් මේ සංඝදත්ත තෙරුන් බොහෝ ම හොඳින් වත්පිළිවෙත් පුරනවා. ගුණදහම් වඩනවා. කලක් ගතවෙද්දී පුතේ ලංකාවට බැමිණිටියා සාගතය ආවා. ජීවත් වෙන්ට විදිහක් නැති මිනිස්සු ගම්බිම් දාලා ගියා. උපාසකවරු සංඝදත්ත තෙරුන්ට ඔවුන් එක්ක යන්ට කතා කොළා.

“අනේ උපාසකවරුනේ… මං මේ බෝධීන් වහන්සේ, දාගැප් වහන්සේ වන්දනා කොරගෙන මට ඇහැක් විදිහට වත් පිළිවෙත් කොරාන ඉන්නම්. මට එහෙම මැරෙන එක සැපක්.”

දැන් පුතේ ගමේ කව්රුත් නෑ. හැමෝම ගියා. මේ තෙරුන්නාන්සේ විතරක් ඉතිරි වුණා. පසුවදා තෙරුන්නාන්සේ දාගැප් බෝමළු ඇමදලා වත් පිළිවෙත් කොරලා සිව්රු පොරවාගෙන පාත්තරේ අතට ඇන්න කල්පනා කොළා. සිඬු සිඟා යන්ට තැනක් නෑ. ගල්ලෙනේ දොරකඩට වෙලා හිටගෙන උන්නා.

ඉතින් පුතේ ඔය ගල්ලෙන ළඟ රුකේ වෘක්ෂ දේවතාවෙක් උන්නා. එතකොට ඒ දේවතාවා මනුස්ස වේශයක් ඇන්න මේ තෙරුන්නාන්සේ ළඟට ඇවිත් මෙහෙම කීවා.

“අනේ ස්වාමීන් වහන්ස, පිණ්ඩපාතෙට කොහේවත් වඩින්ට ඕනෑ නෑ. හැමදාම ඔය විදිහට පාත්තරයත් අරං මෙතැනට වඩින්ට. මං දන්පැන් පුදන්නම්. තමුන්නාන්සේ සුව සේ මහණදම් පුරාගන්ට. මට ඒ ඇති.”

එතකොට තෙරුන්නාන්සේ නිශ්ශබ්ද වුණා. ඉතින් පුතේ ඒ වෘක්ෂ දේවතාවා දොළොස් අවුරුද්දක් තෙරුන්නාන්සේට උපස්ථාන කළා.

දවසක් භාවනානුයෝගීව හුන් තෙරුන්නාන්සේට මෙහෙම කල්පනා වුණා. ‘දැන් සෑහෙන කලක් තිස්සේ ලංකාවාසීන් මහත් දුක සේ කෑමක් බීමක් නැතිව ඉන්නවා. දාන මාන නැතිව භික්ෂූන් වහන්සේලාත් ඒ ඒ තැන විසිර වැඩියා.නමුත් මේ දේවතාවා මට හොඳ ප්‍රණීත දානයෙන් උවටැන් කරනවා. මං ඒකාන්තයෙන් පෙර ආත්මෙක බුදු පසේබුදු මහරහත් නමකට දානාදියෙකින් උපස්ථාන කොරන්ට ඇති. නැතිනම් මට මෙහෙම පහසුවක් ලැබුණේ කොහොමෙයි.”

එදා දේවතාවා තෙරුන් ළඟට උපස්ථානයට ආවා. එතකොට තෙරුන්නාන්සේ දෙවියාගෙන් මෙහෙම ඇසුවා.

“ප්‍රිය දේවතාවෙනි, දැන් බලන්ට. ඔහේ මට බොහෝ ම ගරු සරු ඇතිව දන්පැනින් උවටැන් කොරනවා නොවැ. දේවතාවුන් වහන්සේලාට පූරුවේ උප්පැත්ති පේනවා නොවැ. මං මේ සා සැලකිලි ලබන්ට පූරුවේ ආත්මේ කළ පින මොකක්දැයි කියා මට කියන්ට ඇහැකි ද?”

“ස්වාමීන් වහන්ස, ලොව්තුරා බුදුරජාණන් වහන්සේනමකට වේවා, පසේබුදුරජාණන් වහන්සේනමකට වේවා, අර්හත් උතුමෙකුට වේවා පුදන ලද දානයේ විපාක ගැන නම් දෙවි වූ අපටවත් කියන්ට බැරිතරම් මහා අනුහස් බලයෙන් යුක්තයි. නමුත් තමුන්නාන්සේගේ කලින් ආත්මේ කළ ඉතා ම ස්වල්ප පිනක් මට පේනවා. මං ඒ ගැන කියඤ්ඤං.

ස්වාමීන් වහන්ස, තමුන්නාන්සේ කලින් ආත්මෙත් මේ ලක්දිව ම යි උපන්නේ. එතකොට මනුස්ස ආත්මයක්. අනුරාධපුරයේ උන්නේ. රාජකාරි ගමනකට තමුන්නාන්සේ කෙවුල්ගමකට ගියා. ඒ ගම්වැසියෝ ඇල්හාලේ බතුත් එක්ක ගිතෙල් මුසු කුකුල් මස් වෑංජනයකින් බත් තලියක් තමුන්ට කන්ට දුන්නා. එතකොට එතෙන්ට සාගින්නේ සිටිය බැල්ලියක් ආවා. එතකොට තමුන්ට කේන්ති ගියා.

බැල්ලි දිහා රවා බැලුවා. ‘නිදකිං… මේ බැල්ලි මක්කට ආවා ද’ කියා තමුන් කන්ට ගත් බත්ගුලියෙන් බැල්ලිට ගැහුවා නොවැ. එතකොට ඒකි මහා සතුටින් ඒ බත් පිඬ අනුභව කළා. තමුන් ඊ ළඟ බත් පිඬ අනුභව කරලා මෙහෙම හිතුවා.

‘ෂාහ්… හරීම රසයි නොවැ. මං බැල්ලිට දුන්නේ මේ වැනි රසයෙන් යුත් බත් පිඬක්. ඔව්… ඒක හොඳා. ඒ ගැන මං සතුටුයි’ කියා සතුටු වුණා. ආං ඒ අපර චේතනාව යහපත් වුණා.

ඉතින් ස්වාමීන් වහන්ස, තමුන්නාන්සේ ඒ ආත්මේ කරාපු ඔය පින තමයි මේ විපාක දුන්නේ.” කියා දේවතාවා කියපු වේලේ අර තෙරුන්නාන්සේ විස්මයෙන් ඇලලී ගියා.

“අහෝ! දානය කියන්නේ මේ තරම් ආශ්චරිය දෙයක් ද. මං මේ පූරුවේ ආත්මේ බැල්ලිකට දමා ගැසූ බත්පිඬ ගැන අපර චේතනාවෙන් සිත පහදවා ගෙන මෙහෙම විපාක ලැබුවා නම් බුදු පසේබුදු මහරහතුන්ට, සිල්වත් සඟරුවනට දුන් දානයේ විපාක කොහොම ඇද්ද…!” කියා සතුටු වෙවී සිත සමාධිගත කොට විදර්ශනා වඩා අරහත්වයට පත් වුණා.

දැක්කා ද පුතේ අපර චේතනාව මුල් වෙලා කර්ම විපාක දුන් හැටි. ඒ නිසා පුතේ දානයක දී අපි දන් දෙන්ට කලිනුත්, දන් දෙන අවස්ථාවේත්, දන් දුන්නාට පස්සෙත් කියන මේ තුන් අවස්ථාවේ ම සිත පහදා ගන්ට ඕනෑ. ඕක තමා තුන් සිත!”

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 17
එදා අපේ ආච්චි දෑස් පියාගෙන ගොඩාක් වෙලා භාවනාවෙන් උන්නා. එතකොට ආච්චිගේ මුහුණේ සතුට පිරීගිය අමුතු ම සිනාවක් දකින්ට ලැබුණා. භාවනාව අවසන් කළාට පස්සේ ආච්චි දොහොත් මුදුන් දී බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. මාත් ආච්චි ළඟට ගොහිං පැත්තකින් වාඩි උනා.

“ආච්චියේ… මේ…”

“ඇයි මයෙ පුතේ…?”

“මොකක්ද ආච්චියේ ඔයා අද කළ භාවනාව?”

“මයෙ පුතා දන්නවා නොවැ. අපගේ ශාස්තෘන් වහන්සේට ප්‍රධාන වශයෙන් බුදුගුණ නවයක් තිබුණා කියලා. මං ඒ උතුම් බුදුගුණ නවය ම එකක් ගානේ මෙනෙහි කොළා. හප්පා… හරී පුදුමයි පුතේ… ඒ බුදුගුණ සිතන්ට සිතන්ට පුදුමාකාර සන්තෝෂයක් නොවැ සිතට එන්නේ. අනේ පුතේ…. අපට මෙවන් කාලෙකත් රාග, ද්වේෂ, මෝහ නැති උතුම් සම්බුදුරජාණන් වහන්සේනමක් සරණ යන්ට ලැබුණා නොවැ කියලා. මං පුතේ මහමෙව්නාවට පිං දෙන්නේ ඒ නිසා ම යි. ඉස්සර මාත් මහා මුළාවක නොවැ උන්නෙ පුතේ. මහමෙව්නාවෙන් නිවැරදිව මේ දහම් දැනුම නොලැබුණා නං මාත් විනාසයි.”

“ඇයි ආච්චියේ එහෙම වෙන්නේ…?”

“ඇයි පුතේ… මාත් ඒ කාලේ භාවනා පංති ගියා. අභිධර්ම පංති ගියා. ඤාණ කටපාඩම් කොළා. නමුත් මේ සූත්තර දේශනා අපට දැනගන්ට පිළිවෙළක් තිබ්බෙ නෑ නොවැ. ඒ නිසා රතනත්තරේ ගැන අවබෝධයෙන් සිත පහදවා ගන්ට පිළිවෙළක් තිබුණේ නැතෙයි කියන්ට පුළුවනි.”

“ඇයි ආච්චිට භාවනා පංතිවලින් වැඩක් උනේ නැද්ද?”

“ඒක මෙහෙමනෙ පුතේ. මගේ හිත ඉක්මනට තැන්පත් වෙනවා. ඒ කාලේ අපට භාවනා ගුරුවරු කියාදුන්නේ මාර්ග-ඵල ධ්‍යාන අධිෂ්ඨාන කොරලා ගන්ට කියාලා. ඉතින් පුතේ අපිත් අධිෂ්ඨාන කොර කොර භාවනා කොළා. මායාකාරී සිතත් ඉල්ලන ඉල්ලන දේ එයැයිට ඇහැක් විදිහට මව මවා දුන්නා.”

“ඉතින් ආච්චියේ ඒ කාලෙ ආච්චිට දහම් දැනුම ලැබුණේ ම නැද්ද..?”

“ලැබිච්චි දේ පැහැදිලි නෑ මයෙ පුතේ. දැන් අපි ඉගෙන ගන්න චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය ගැන පිළිවෙළට දැනගත්තු නැති ගානයි. ඒ කාලේ අපටත් ඕනෑ කොළේ ඒ ඒ ඤාණ උපදවා ගන්ට මිසක්කා ගුණධර්ම ඇති කොරගන්ට නොවේ. මාත් හිතාන උන්නේ මගඵල ලැබුණා ය කියාලා. කලක් යනකොටයි පුතේ මට තේරුනේ මං ඉන්නේ උන්නු තැන ම යි කියාලා. සිතේ මායාවට රැවටුනා විතරයි. වෙන මොකවත් උනේ නෑ පුතේ.”

“එතකොට ආච්චියේ, දැන් කාලේ තව අලුත් දෙයක් මට අහන්ට ලැබුණා. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා වදාළේ නෑලු. ඒ කතාව වැරදිලු. ඒ අනිච්ච කියන්නේ ස්ථිර නෑ කියන එක නිසා ස්ථිර නැති බව අපි කොහොමත් දන්නවාලු. ඒ නිසා අනිච්ච නොවේලු. හරි වචනේ අනිච්ඡ ලු. කැමැත්තට අනුව නොපවතිනවාලු. එනිසාලු දුක හටගන්නේ.”

“ඉතින් පුතේ, යමක් කැමැත්තට අනුව නොපවතින්නේ ඒක අනිත්‍ය වෙන නිසා නො වේ ද? ඒක අස්ථිර නිසා නො වේ ද? අනිත්‍යයි කියන්නේ ඒකටනේ. පුතේ, අපේ බුදුරජාණන් වහන්සේ ඔය ත්‍රිලක්ෂණය ගැන මෙහෙම නොවැ වදාළේ.

“යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නං එය තමාගේ වසඟයේ පවත්වන්ට බෑ. අනාත්ම යි” කියලා. ඉතින් පුතේ බුද්ධ වචනය කණපිට හරවන්ට ලෝකයේ කාටවත් බෑ.

කවුරුහරි එහෙම දෙයක් කියාගෙන ගියොත් මාරාවේශයෙන් මුළා වෙලයි එහෙම කියන්නේ. ඔය වැරැද්ද වෙන්නේ පාලි වචනවල හැඩය අනුව කල්පනා කොරන්ට ගොහිං. අර්ථ ව්‍යඤ්ජන වරදවා ගන්නවා කියන්නේ ඕකට යි.

අයෝනිසෝ මනසිකාරයෙන් තර්ක විතර්ක කොරන්ට ගියාම මාර බලයට අහුවෙනවා. ඕවා කියන අය හරී ම මාන්නක්කාරයි පුතේ. පටිසම්භිදා ලැබුවා කියලා තවත් මුළාවෙනවා. ආයෙ කාටවත් අඩංගු නෑ. හැබැයි මාරයාට නම් අඩංගුයි. බුද්ධ සෑසනේ සුළඟවත් වැදිලා නෑ මයෙ පුතේ.”

“අනේ ආච්චි තවත් තියෙනවා. ආච්චියේ… මේ… අපි මෙතෙක් කලක් ඉගෙන ගත්තේ පටිච්ච සමුප්පාදය කියලානේ. ඒ වැරදීමක්ලු. හරි එක පටි-හි-ච්ඡ-සමුප්පාදය ලු. පටි කියන්නේ ඉනේ බඳින පටියට ලු. පටියට හිරවුණා වගේ කියලලු කියන්නේ. එහෙම නැතිව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දේ කියන එක නොවේලු.”

මං ඒක කියපු ගමන් ආච්චි කොක්හඬ තලා හිනැහුනා. “හෑ… මොකාක්… හොහ්… හෝ… අනේ පුතේ. එයාලාගේ කල්පනාව ඔය තරම් ම අවුල්වෙලා ද? අනේ මයෙ පුතේ… මේ අහගන්ට…. පටිච්චසමුප්පාදය කියන්නේ සිංහල වචනයක් නොවේ. පාළි වචනයක්. පාළියෙන් ‘පටිච්ච’ කියන්නේ ‘නිසා, උපකාරයෙන්, හේතුකොටගෙන, ඇසුරින්’ යන අරුතට යි. ‘සමුප්පාද’ කියන්නේ ‘උපදිනවා, හටගන්නවා, ඇතිවෙනවා’ කියන අරුතටයි. එතකොට පුතේ පටිච්චසමුප්පාද කියන්නේ ‘හේතු ප්‍රත්‍යයන්ගෙන් යමක් හටගන්නවා’ කියන එකට යි.”

“ඒ වගේ ම ආච්චි එයාලා කියනවා සංග වෙනවා, සං වෙනවා, සං කරනවා, සං බණ කියලා සං… සං… කියලා ගොඩාක් කියාගෙන යනවා.”

එතකොට ආච්චි ආයෙමත් කොක්හඬ තලා හිනැහුනා. “අනේ පුතේ… මං මහමෙව්නාව පැත්ත හැරිලා ආයෙ වතාවක් මේං වැන්දා. මහමෙව්නාවෙන් නිර්මල දහම් දැනුම නොලැබෙන්ට මාත් අද ඔය ගොඬේ හිටින්ට බැරි නෑ… හැබෑට පුතේ දැන් පේනවානේ මාරාවේශයේ බරපතළකොම. දවසක් පුතේ භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ ඔය මාර බන්ධනය වේපචිත්ති බන්ධනයටත් වඩා සියුම් කියලයි.”

“අනේ ඒ මොකක්ද ආච්චියේ වේපචිත්ති බන්ධනේ?”

“පුතේ, ඒක මෙහෙමයි උනේ. ඕන්න දේව අසුර යුද්ධයක් හටගත්තා. එතකොට පුතේ අපගේ සක්දෙවිඳාණෝ තව්තිසාවේ දෙව් පිරිස රැස්කොට මෙහෙම කීවා.

“පින්වත් දෙවිවරුනි, දැන් අපට දේව අසුර යුද්ධයකට මුහුණ දෙන්ට වෙලා තියෙනවා. ඔයාල මේ යුද්ධයේදි කොහොමහරි වේපචිත්ති අසුර රජ්ජුරුවන් ව අල්ලා ගන්ට ඕනෑ. අල්ලාගෙන එයැයිගේ දෑත් දෙකයි, පාද දෙකයි, බෙල්ලයි ගැටගසා මයෙ ළඟට කුදලාගෙන ගෙනෙන්ට ඕනෑ” කියලා.

එතකොට පුතේ වේපචිත්ති අසුර රජ්ජුරුවොත් අසුර සේනා රැස්කොරලා හිටං ඕක ම කීවා. එයැයි කීවේ සක්දෙවිඳුගේ දෑතයි, දෙපයයි, බෙල්ලයි අසුර බැම්මෙන් ගැටගසාගෙන අසුරපුරයට ගේන්ට කියලයි.

ඔන්න පුතේ, දැන් ඉතින් දේව අසුර යුද්ධෙ පටන් ගත්තා. එවර යුද්ධයේ දී අසුරයෝ පැරදුනා. දෙවියෝ දින්නා. ඊට පස්සෙ පුතේ දෙවිවරු අසුර රජාගේ, ඒ කීවේ වේපචිත්තිගේ අත් දෙකයි, පා දෙකයි, බෙල්ලයි කියන මේ පස්තැනින් බැඳලා තව්තිසාවට ගෙනාවා. ගෙනැවිත් සුධර්මා කියන ශාලාවේ රන්පොළොවේ බිම දෑවා. ඔය විදිහට පස් තැනකින් බැඳුම් ලැබූ වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ බන්ධනය පිටතට පේන්නේ නෑ. එයැයි ගැටගසා ඇති බවක් පිටින් දැකගන්ට නෑ. නමුත් පුතේ එයැයි ගැටගැහිලා ඉන්නේ. ඒ මෙහෙමයි. එයැයි මෙහෙම හිතනවා.

‘දෙවියෝ හොඳා. එයාලා ධාර්මිකයි. දෙව්පුරේ යහපත්. සැපයි’ කියලා. එහෙම සිතූ සැණින් වේපචිත්තිගේ බන්ධනය නොපෙනී යනවා. එතකොට එයැයිට සුධර්මා සභාවේ සුවසේ එහා මෙහා ඇවිද යන්ට පුළුවනි. දිව්‍ය ආහාරපානත් ලැබෙනවා. ඒවා අනුභව කරන්ටත් පුළුවනි.

එතකොට පුතේ, එයැයිට හිතෙන්නේ දැන් තමුන් නිදහස් වුණා ය කියලා. එතකොට එයැයි මෙහෙම හිතනවා. ‘නෑ… දෙවියෝ හොඳ නෑ. අසුරයෝ තමා හොඳ. අසුරයෝ තමයි ධාර්මික. දෙවියෝ ධාර්මික නෑ. අසුරපුරේ ඉන්න එක මට සැපයි. මං දැන් එහෙනං අසුරපුරේට යනවා’ කියා සිතූ සැණින් වේපචිත්තිගේ නිදහස නැතිවෙලා හිට අත් දෙකයි දෙපයයි බෙල්ලයි කියන පස් තැනින් සිරවෙනවා. දිව්‍ය ආහාරපාන නොපෙනී යනවා.

ඉතින් පුතේ, මේ කතාව වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට පහදා දුන්නේ මාරයාගේ බන්ධනය ඔයිටත් වඩා ගොඩාක් සියුම් කියලයි. මේ කාලේ රහත් උනාය, මගඵල ලැබුවා ය, ධ්‍යාන සමාපත්ති ඉපදුවා ය, බුදුරජාණන් වහන්සේ මෙහේ උපන්නා ය, මෙහෙ බුදු උනා ය, මෙහෙ දම්සක් දෙසුවා ය, මෙහෙ පිරිනිවන් පෑවා ය, අනිත්‍ය දුක්ඛ අනාත්මය වැරදි ය, පටිච්චසමුප්පාදය වැරදි ය කියන කාටත් වෙලා තියෙන්නේ දෑසට නොපෙනෙන වේපචිත්ති බන්ධනයට අහුවුණා වගේ වැඩක් පුතේ.

හප්පේ… ඔය පුහු මාන්නක්කාරකොමක් නැතිව, තිසරණයේ සිත පිහිටුවාගෙන භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදාගෙන සිටියාම අපට ඇති පුතේ. එයින් අපි රැකෙනවා මයෙ පුතේ.

එහෙම නොවුණොත් සැඟවුණු අරුත් මතුවුණා ය, හැබෑම දහම හමුවුණා ය, අපි සෙවූ මග ඵල හමුවුණා ය කිය කියා අනුන්ටත් ගරහාගෙන, කෙළෙහිගුණත් නසාගෙන, පිනත් නසාගෙන අපායට යන ගමනට ම එක්වේවි පුතේ. ඉන් එහා දෙයක් නෑ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ