අක්මුල් සොයා | Mahamegha Magazine
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා (සංක්‍ෂිප්ත චරිතාපදානය)
රට – දැය – සමයට මහෝපකාරී වන ශ්‍රේෂ්ඨ ගණයේ උතුමන් පහළ වන්නේ ඉතාමත් කලාතුරකින් නිසා එබඳු උතුමන් හඳුන්වන්නේ යුග පුරුෂයන් කියා ය. 19 වන සියවසේ මැද භාගයේ දී එබඳු ශ්‍රේෂ්ඨ ගණයේ යුග පුරුෂයෙකු පුරාකෘත පුණ්‍ය මහිමයෙන් ලක්දිව පහළ වූ අතර ඒ අන් කිසිවෙක් නොව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ය.
පින්වන්ත මා – පිය යුවළක් ලබා…
දකුණුලක මාතර සිට කොළඹට පැමිණ ගෘහභාණ්ඩ සම්පාදනයෙන් මහ ධනවතෙකු ද බෞද්ධ ප්‍රභූවරයෙකු ද වූ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා එතුමන්ගේ පියා ය. සැදැහැවත් පරිත්‍යාගශීලි උපාසිකාවක් වූ මල්ලිකා හේවාවිතාරණ මෑණියන්ගේ කුසින් 1864 සැප්තැම්බර් මස 17 දින උපන් ධර්මපාලතුමාට දොන් ඬේවිඞ් හේවාවිතාරණ ලෙස නම් තැබිණි. මේ සම්භාවනීය බෞද්ධ ප්‍රභූ කුටුම්බියේ අනුශාසකයන් වූයේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා ධර්ම – ශාස්ත්‍රීය ආලෝකය යළි පැතිර වූ පණ්ඩිත ශිරෝමණී හික්කඩුවේ සුමංගල ශ්‍රී පාදස්ථානාධිපති නාහිමිපාණෝ ය. උන්වහන්සේගේ දූරදර්ශී බුද්ධිමත් අවවාද අනුශාසනා ද සිය ආදර්ශවත් මාපිය යුවළගේ මග පෙන්වීම ද ළමා වියේ ධර්මපාලතුමා ලද ශ්‍රේෂ්ඨ දායාද විය.
වාසනාවන් කලණ මිතුරු ඇසුර…
එවකට තිබූ සමාජ පසුබිම තුළ ක්‍රිස්තියානි පාසල්වල අධ්‍යාපනය ලැබීමට දොන් ඬේවිඞ් දරුවාට ද සිදු විය. එනමුත් විද්‍යෝදය පිරිවෙනේ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයන් වහන්සේලා ඇසුරින් සිංහල – පාලි – සංස්කෘත භාෂාවන් ද ත්‍රිපිටක ධර්මය ද මැනවින් හදාරන්නට අවස්ථාව සැලසුණි. පසුකාලීන ව සිංහල දේශයත්, සම්බුද්ධ ශාසනයත් උදෙසා ඒ සා මහත් විශිෂ්ට සේවාවක් ඉටු කරන්නට ගුරු – හරුකම් ලැබුණේ ඒ තුළිනි. නිරන්තරයෙන් ම පොතපත කියවීමට දැඩි රුචිකත්වයක් දැක්වූ ඬේවිඞ් හෙවත් ධර්මපාලතුමා ඒ නිසා ම ඉංග්‍රීසි – දෙමළ – හින්දි භාෂාවන් ද ප්‍රගුණ කර ගත්තේ ය.
හෙළ බොදුනුවන් පුබුදු කළ බොදු පුනරුදය…
ධර්මපාලතුමා උපත ලබන වකවානුව වන විට ඉංග්‍රීසීන් විසින් 1815 දී ලක්දිව සපුරා යටත් කරගෙන වසර 50කට ආසන්න ය. පෘතුගීසි – ලන්දේසි – ඉංග්‍රීසි යන යටත්විජිතවාදීන්ගේ බලපෑමට වසර සිය ගණනක් නතු වීම හේතුවෙන් දේශපාලනික, ආගමික, ආර්ථික, සාමාජයීය, සදාචාර යන සෑම අංශයකින් ම සිංහලයන් මේ අවධියේ පරිහානියට පත්ව සිටියහ.
එසේ නමුදු ශ්‍රී සද්ධර්මයෙහි අකාලික සත්‍යතාවය ප්‍රකට කරමින් බුදු දහමේ යශෝකීර්තිය දසත පතුරුවමින් හෙළ – බොදුනුවන් විසින් විජයග්‍රහණය කළ සුප්‍රකට පානදුරාවාදය සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මෙරටට කැඳවන්නට සමත් විය. ඇමරිකන් ජාතික ඕල්කට්තුමාත්, රුසියන් ජාතික බ්ලැවැට්ස්කි මැතිණියත් ගාල්ල විජයානන්ද පිරිවෙනේ දී තිසරණ සරණගත උපාසක – උපාසිකාවන් වීමෙන් අනතුරුව ඇරඹි බෞද්ධ පුනරුද ව්‍යාපාරය ඬේවිඞ් හේවාවිතාරණයන්ගේ දිවියෙහි ද හැරවුම් ලක්‍ෂයක් ඇති කළේ ය. සෙන්පති ඕල්කට්තුමා පරම විඥානාර්ථ සමාගම පිහිටුවා ‘සරසවි සඳරැස’ පුවත්පත ද අරඹා බෞද්ධ ප්‍රබෝධය උදෙසා ගත් වෑයම තරුණ හේවාවිතාරණයන් තුළ පැවති ජාත්‍යාලයට ද දේශානුරාගයට ද ආගමාලයට ද නව ජීවයක් ගෙන දුනි. එම යටත්විජිත යුගයේ ලාංකිකයෙකුට ලද හැකි උසස් ම තනතුරක් වූ අධ්‍යාපන දෙපාර්තමේන්තු ලිපිකරු තනතුරෙන් ද අස් වූ හෙතෙම 1836 දී පරම විඥානාර්ථ සමාගමට බැඳුණි. එම සමාගමේ බෞද්ධ අංශයේ ප්‍රධාන ලේකම් ලෙසත්, සරසවි සඳරැස පුවත්පතේ හා බෞද්ධ යන්ත්‍රාලයේ කළමණාකරු හැටියටත්, බෞද්ධ පාඨශාලාවල කළමණාකරු හැටියටත්, බෞද්ධාරක්‍ෂක සභාවේ සහකාර ලේකම් හැටියටත් අප්‍රතිහත ධෛර්යයෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් අනුපමේය සේවාවක් සිදු කළේ ය.
අනගාරික ව රට – දැය සමයට දිවි පුදයි..
විසි එක්වෙනි වියේ දී හෙවත් 1885 දී ගෘහස්ථ ජීවිතය, සිය පරාර්ථකාමී ජාති හිතෛශී ශාසනික ප්‍රබෝධී අභිමතාර්ථයන්ට බාධාවක් බැවින්, මාපිය ආශීර්වාදය ඇතිව අනගාරික දිවියට පිවිස පාරිශුද්ධ බ්‍රහ්මචාරී දිවියක් ඇරඹීය. එතැන් පටන් ඬේවිඞ් යන පාරභාෂික බයිබල් නාමය අතැර ‘ධර්මපාල’ නම් ආර්ය නාමය භාවිත කරමින් අනගාරික ධර්මපාල නමින් කීර්ති ගුණ ඝෝෂාව දසත විහිදුවීය.
ලක්දිවින් බිහි වූ අති දක්‍ෂ කථිකයා..
මේ අවධියේ ධර්මපාලතුමන් කළ ප්‍රමුඛ කාර්යයක් වූයේ ඕල්කට්තුමා සමඟ ලක්දිව පුරා ගමන් කරමින් එතුමාගේ ව්‍යක්ත කථා සිංහලයට පරිවර්තනය කිරීම යි. එම දේශනාවන් මෙන් ම, ගම් නියම් ගම් සිසාරා සිදු කළ සංචාරයේ දී අත්දුටු සිංහල බෞද්ධ ජනයාගේ අසරණ, ශෝකී, පරාධීන ස්වභාවය ධර්මපාලතුමාගේ හද කම්පා කළේය. එමෙන් ම සිය හදෙහි ඇවිළෙමින් තිබූ දේශාභිමානී, ශාසනකාමී, අවංක හැඟීම් නව ජවයකින් පුබුදුවන්නට ද එකී අත්දැකීම් සමත් විය. සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට – දැය – සමය මුදවාගෙන ජාතිය ප්‍රකෘතිමත් කිරීමේ පරම අදිටන ධර්මපාලතුමාගේ චිත්ත සන්තානයේ මුල් බැස ගත්තේ එකල ය.
ජපන් රටට ගිය ධර්ම දූතයෝ…
ජපන් බෞද්ධයන්ගේ ගෞරවණීය ඇරයුම පිට විශේෂ ධර්මදූත ගමනක් ලෙසින් ඕල්කට්තුමා සහ අනගාරික ධර්මපාලතුමා 1889 දී ජපන් රටට ගියහ. එහි දී මිෂනාරී දුර්මත විදාරණය කරමින්, මිෂනාරී බලමුළු දෙදරවමින් දේශනාවන් පැවැත්වූ ඔවුහු ජපානයේ විශිෂ්ට බෞද්ධ පුනරුදයක් ඇති කළහ.
එකල පරම විඥානාර්ථ සමාගම මගින්, බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම පිණිස සිදු කෙරුණු මහත් කාර්යභාරයෙන් වැදගත් කොටසක් ඉටු කෙරුණේ ධර්මපාලතුමන් අතිනි. විශේෂයෙන් ම කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, පන්නිපිටිය ධර්මපාල වැනි ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාඨශාලා ලක්දිව පුරා පිහිටුවීමෙහිලා ධර්මපාලතුමාගෙන් ඉටු වූයේ පුරෝගාමී මෙහෙවරකි.
දඹදිව සම්බුද්ධ පුණ්‍ය භූමි යළි පුබුදුවයි…
අනගාරික ධර්මපාලතුමන් ශාසනික වශයෙන් කළ උදාර සේවාවෙන් වැඩි ඉඩක් වෙන් කෙරුනේ දඹදිව සම්බුද්ධ භූමීන් සුරක්‍ෂිත කරලීම පිණිස ය. 1890 දෙසැම්බර් 05 වන දින බුද්ධගයා මහ බෝමැඬ වන්දනා කරන්නට ගිය එතුමා තථාගත වජිරාසනය අභියස නළල තබා වැඳ බුද්ධගයා බෞද්ධ උරුමය සුරැකීම පිණිස දිවිහිමියෙන් කැප වීමට ස්ථිරසාර අධිෂ්ඨානයක් ඇති කර ගත්තේය. එකල බුද්ධගයාවට දානව රාක්‍ෂසයන් සේ අරක්ගෙන සිටි මහන්තාගෙන් එම ශුද්ධ භූමිය මුදාගෙන, බොදුනුවන්ගේ අයිතියට ලබා ගැනීමට, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එතුමන් සිදු කළේ දුෂ්කර, දැවැන්ත සටනකි. ඒ පිණිස බුරුම ප්‍රභූන්ගෙන් ද සහාය ලබා ගත් ධර්මපාලතුමා ඉක්බිති මෙරටට පැමිණ “සිංහලයිනි නැගිටිව්! බුද්ධගයාව බේරා ගනිව්!” යන අභීත නාදය නගමින් ගම් දනව් පුරා සැරිසරමින් හෙළ බොදුනුවන් අවදි කරවීය. එම ශ්‍රේෂ්ඨ ප්‍රයත්නය සඵල කර ගනු පිණිස, 1891 මැයි 31 වනදා, විද්‍යෝදය පිරිවෙනේදී අති ගෞරවාර්හ හික්කඩුවේ සුමංගල නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ‘මහාබෝධි සමාගම’ ඇරඹීය. ඕල්කට්තුමා විසින් දළදා වහන්සේට අපහාස වචන ප්‍රකාශ කිරීමක් මූලික කරගෙන, පරම විඥානවාදීන් කෙරෙහි කලකිරුණු ධර්මපාලතුමා ඔවුන්ගෙන් වෙන් වූයේ ද මේ සමයේ දී ය.
සම්බුදු දහමේ ගුණ සුවඳ අපරදිගට විහිදුවයි…
අනගාරික ධර්මපාතුමාගේ ව්‍යක්ත කථිකත්වයත්, ගැඹුරු ධර්ම ඥානයත් නිසා සම්බුදු දහමේ ගුණ කඳ ජාත්‍යන්තරයට විහිදී ගියේ 1893 සැප්තැම්බර් මාසයේ දී දෘෂ්ටි සම්මේලනයේ දී කළ විශිෂ්ට දේශනයෙනි.
එවකට විසිනව හැවිරිදි වියෙහි පසු වූ ධර්මපාලතුමා සම්බුද්ධ චරිතය ද චතුරාර්ය සත්‍යය ද පාදක කරගෙන එහි දී කළ මධුරතර චතුර දේශනය ලෝක විද්වතුන්ගේ ගෞරවණීය සුවිශේෂී අවධානය බුදු දහම කෙරෙහි ඇදබැඳ ගැනීමට සමත් විය.
සම්බුද්ධ භූමියට කළගුණ පුදයි…
බුද්ධගයාවෙහි පමණක් නොව සමස්ත දඹදිව ම සම්බුද්ධාලෝකය පතුරුවා හැරීමෙහි නියුක්ත වූ ධර්මපාල ශ්‍රීමතාණන් බරණැස ඉසිපතනයේ මූලගන්ධ කුටි විහාරය ද කල්කටාවේ ධර්මරාජික විහාරය ද ඉදිකරවා බුදු සසුනට පිදීය. තව ද බුද්ධගයාවේත්, මදුරාසියේත් බෞද්ධ විශ්‍රාම ශාලා ද ගොඩ නැගුවේ ය. එමෙන් ම දිල්ලිය, බොම්බාය, සාංචිය, ලක්නව් ආදී නගරවල ද මහාබෝධි මධ්‍යස්ථාන පිහිටවූ අතර එමගින් දඹදිව වන්දනාවේ යෙදෙන ලෝවාසී බෞද්ධයන්ට උදාවන්නේ මහත් සැනසිල්ලකි. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ සදහම් සන්දේශය පතුරුවා හැරීම පිණිස ධර්මදූතයන් ලෙස සාමණේරයන් වහන්සේලා පුහුණු කිරීම ද එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය ඇරඹීම ද එතුමාගේ සුවිශේෂී ශාසනික කර්තව්‍යයන් ය.
සිංහල ජාතියට පහළ වූ ඉසිවරයා…
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් සිංහල ජාතිය උදෙසා සිදු කළ මහානීය මෙහෙය නම් අධිරාජ්‍යගැති පරාධීන චින්තනයෙන් මුදවා, සිංහල ජාතියට සිය ප්‍රෞඪ ඉතිහාසයත්, අභිමානවත් හෙළ පරපුරේ යශෝරාවයත් සිහි කර දී අදීන ජාතියක් බිහි කිරීමට කළ දැවැන්ත ආකල්පමය පරිවර්තනය යි. මෙම චින්තන විප්ලවය උදෙසා එතුමන් යොදා ගත් සාධනීය ප්‍රබල ප්‍රවේශයක් වූයේ 1908 මැයි මස ආරම්භ කළ ‘සිංහල බෞද්ධයා’ සතිපතා පුවත්පත යි. එහි ප්‍රධාන කර්තෘ පදවිය හොබවමින් සිංහල බෞද්ධයාගේ භෞතික ආධ්‍යාත්මික සමෘද්ධිමත් බව පිණිස ද මෙලොව පරලොව යහපත පිණිස ද අනර්ඝ උපදේශන මාලාවක් සැපයුවේය.
ජාතිය, ශාසනය, සදාචාරය, ආර්ථිකය ආදී සියලු ම වැදගත් ක්ෂේත්‍රයන් සංවර්ධනය කොට සුරක්‍ෂිත කළ යුතු ආකාරය පිළිබඳ විශිෂ්ට දැක්මක් ධර්මපාලතුමා එළි දැක්වූයේ සිංහල – බෞද්ධයා පුවත්පතේ ‘දැනගත යුතු කරුණු’ විශේෂාංගය තුළින් ය. එමෙන් ම ඉතා හරවත් වූ එම න්‍යායන් හැකි උපරිම අයුරින් සමාජගත කිරීමට ද ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට ද අඩ සියවසක් පුරා එතුමා ඇපකැප විය.
දේශය අවදි කළ කාහල නාදය…
ජාතිය නගා සිටුවීමේ යුග මෙහෙවරේ දී ධර්මපාලතුමා භාවිත කළ අනෙක් සාධනීය ක්‍රමවේදය වූයේ ලක්දිව ගම් දනව් සිසාරා සැරිසරමින් කාහල නාදයක් බඳු සිය දේශනා චතුරත්වයෙන් සැම සිත් වසඟ කරමින් අනුශාසනා කිරීම යි. 1912 දී ඇරඹි පරාර්ථකාමී මේ සත්කාර්යය සඳහා ‘ශෝභන මාලිගාව’ නම් විශේෂිත රථය යොදා ගැනුණි. යහපත කැමති දයාබර පියෙකු සිය දරුවන්ගේ නොපනත්කම් දැක තරවටු කරන්නා සේ, තත්කාලීන සිංහල ජනයාගේ නිවට, නියාලු, බියගුලු, අලස ගති දුරලීමටත්, අභිමානවත්, සදාචාර සම්පන්න දූරදර්ශී ‘සිංහල – බෞද්ධයන්’ බිහි කිරීමටත් එතුමා තරාතිරම නොබලා වචන නමැති අසිපතින් සැමට ම පහර දුන්නේය. සැර පරුෂ වුව ද අවංක යහපත් fචිතනාවෙන් සිදු කළ එම දෙසුම් නිසා නින්දෙන් පිබිදි සිංහලයා සංකර, පරගැති සිරිත් අතහැර දමා සිංහල ඇඳුම් අඳින්නටත්, සිංහල නම් භාවිත කරන්නටත්, සිංහල බෞද්ධයන් ලෙස සිතන්නටත් හුරු පුරුදු වූහ. මෙය ධර්මපාල ශ්‍රීමතාණන් නිසා ම සිදු වූ චින්තන විප්ලවයක් බව පැවසීම අතිශයෝක්තියක් නො වේ.
ආර්ථික සමෘද්ධිය පිණිස ධර්මපාල දැක්ම…
ජාතියක් ස්වාධීන වන්නට නම්, ආර්ථික සමෘද්ධිමත් භාවය ද අත්‍යවශ්‍ය සාධකයක් බව මැනවින් පසක් කළ ධර්මපාලතුමා ශිල්පීය ඥානය ඉහළ නංවන්නට ද දේශීය කර්මාන්ත සංවර්ධනයට ද මංපෙත් විවර කළේ ය. සිංහල තරුණයන්ට ශිෂ්‍යත්ව ලබා දී ජපානයට යවා පේශ කර්මාන්තය, ගිනි පෙට්ටි කර්මාන්තය, පෝසිලේන් පිඟන් සෑදීම ආදී ශිල්පීය පුහුණුව ලබා දුන්නේය. එමතු ද නොව ඔවුන් පුහුණුව ලබා ආපසු ඒ ඒ ක්ෂේත්‍රයන්හි කර්මාන්තශාලා අරඹා ආර්ථිකය සවිමත් කරවන්නට ද කටයුතු සැලැස්වී ය.
මව්බිමෙන් සමුගෙන දඹදිව්තලය කරා…
අඩ සියවසකට ආසන්න කාලයක් රට දැය සමය නගන්නට අප්‍රතිහත ධෛර්යයෙන් දිවා රෑ නොබලා දැවැන්ත යුග මෙහෙවරක් ඉටු කළ ලක්මාතාව ජනිත කළ මේ අති ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නය 1931 දී මාතෘභූමියෙන් සමුගත්තේය. කොළඹ විද්‍යෝදය පිරිවෙනේ දී ගිහි – පැවිදි පිරිසට මෙරට දී අවසන් දේශනය පැවැත්වූ ධර්මාපලතුමා තමන් භාරයේ පැවති සියලු වත්කම් ජාතික – ශාසනික උන්නතිය පිණිස පොදු කමිටුවකට පවරා ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලබන අපේක්‍ෂාවෙන් සම්බුද්ධ භූමිය බලා පිටත්ව ගියේ ය. එම වසරේ දී ම සිරි දේවමිත්ත ධම්මපාල නමින් උතුම් පැවිදි බව ලබා, 1933 ජනවාරි දහසය දින බරණැස ඉසිපතනයේ මූලගන්ධ කුටි විහාරයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. එවකට ලක්දිව වැඩ සිටි ධර්මධර – විනයධර ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලා වසර 700කට පමණ පසු දඹදිව සිදු වූ ඒ උත්කෘෂ්ට විනය කර්මයට සහභාගී වීම පිණිස එහි වැඩම කළහ.
සත්පුරුෂයන් ලෙස කෙළෙහිගුණ දක්වමු…
ජාතිය – ශාසනය වෙනුවෙන් සිය දිවිය ම කැප කළ ඒ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ – ජාතියේ පියාණන්ගේ අනගාරික ධර්මපාලතුමාගේ උදාර ගුණ සම්පත්තිය අප නිරන්තරයෙන් සිහිපත් කළ යුතු ය. සිංහල ජාතියට පහළ වූ ඉසිවරයාට කෙළෙහිගුණ දැක්විය යුතු ය. ඒ ශ්‍රේෂ්ඨ ධර්මපාල චින්තනය හැකිතාක් සමාජගත කළ යුතු ය. ඒ දූරදර්ශී අදීන නිවහල් චින්තනය සෑම කෙනෙකු ම සෑම අංගයකින් ම ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය යුතු ය. එතුමන් බලාපොරොත්තු වූ පරිද්දෙන් ම සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් උද්දීප්තියට පත් කරවා ගෞතම සම්බුද්ධ සන්දේශය ලොව පුරා පතුරුවා හැරිය යුතු ය. අනගාරික ධර්මපාලතුමාගේ හෘදයාංගම වදන් පෙළක් වූ “සිංහල ජාතිය සුරැකේවා”, “සම්බුදු සසුන බැබළේවා” යන්න යථාර්ථයක් වන්නේ එවිට පමණි.
(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි)
බුදුවරු පහළ වූ පින්බිම සුරැකි අසිපත
අනගාරික ධර්පාල ශ්‍රීමතාණෝ…!
“සිංහලයිනි නැගිටිව්…!” යන වේගවත් ස්වරයෙන් මුළු ලක් දෙරන ම තෙදවත් කළ මහා යුග පුරුෂයාණෝ වනාහි අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ ය. සිංහලයේ අභිමානයත්, ශාසනයේ උදාරත්වයත් රකින්නට වරම් ලැබූ ශ්‍රේෂ්ඨ සිංහල වීර පුරුෂයාණෝ ද ඔහු ම ය.
බොදුනුවනට උද්යෝගයකුත්, ජාත්‍යානුරාගියාට ගෞරවයකුත්, ස්වදේශාභිමානයාට ගර්වයකුත්, දුස්සීලයාට සන්ත්‍රාසකුත්, ජාති ද්‍රෝහියාට සන්තාපයකුත්, ජාතිභෂ්ටයාට සන්තාපයකුත්, ඒ හැමටමත් ඉහළින් දුර්වාදියාට හෙණ පහරකුත් දුන් ඒ වීරයාණන්, මංගල පදයක් ලෙසින් සමස්ත ලක් දෙරණෙහි ම ගෞරවාදරයට පත් වූයේ ‘ධර්මපාල’ නම් වී ය. දේශනා කෞෂල්‍යයේ අපූර්ව විචිත්‍රත්වයෙන් දෙස් විදෙස් ජනයාගේ සිත් පැහැර ගනිමින් නිර්මල ශ්‍රී සද්ධර්මය නමැති අමා දිය දහර ලොව පුරා පතුරුවාලීමට ඔහු සැබැවින් ම දක්ෂ විය.
1893 වසරේ ඇමරිකාවේ චිකාගෝ නුවර දී පවත්වන ලද ‘ජගත් දෘෂ්ටි සම්මේලනයේ’ දී පවත්වන්නට යෙදුණු දේශනයෙන් අනතුරුව එරට වැසියන්ගේ ගෞරව සම්මානයටත්, භක්ති ප්‍රසාදයටත් එතුමන් පාත්‍ර වූයේ කොතරම් දැයි කිවහොත් ‘දෘෂ්ටි සංගම් ඉතිහාසය’ නම් ග්‍රන්ථයෙහි පළමුවැනි කාණ්ඩයේ 95 වැනි පිටෙහි, මෙසේ සඳහන් විය.
“පුළුල් වූ නළල් තලය පසු කොට පීරා හැරි කෘෂ්ණ වර්ණ වූ කෙටි කේශ කලාපය විසුරුවා, ප්‍රඥා පාටවයෙන් හෙබි දීප්තිමත් නේත්‍ර යුග්මය සභාව කෙරෙහි රැඳවීමෙන් තරංග පංක්තීන් මෙන් නැගි නැගී එන වචන මාලා අනුව සුරත ලෙලවා මේ පරිසමාප්ත බෞද්ධ නියෝජිතයා කළ, මනස්කාන්ත කථාව ඇසූ කවරෙකුට වුව ද ඔහු නියම ධර්ම ප්‍රචාරක වීර පුරුෂයෙකුගේ ප්‍රතිමූර්තියක් බව පෙනී යන්නේ ය. සමස්ත සදාචාර ලෝකයේ තථාගත ධර්මය පතුරුවා හැරීම පිළිබඳ ව පෙළගැසුණු ප්‍රබල බලමණ්ඩලයක ප්‍රභූත්වයෙහි මෙබඳු උදාර පුරුෂයෙකු සිටින බව පෙනී යාමෙන් කවරෙකුගේ වුව ද රෝමොද්ගමනය වන්නේ ය.”
මෙම සම්මේලනය නිසා ඔහුගේ ගමනට මහත් ශක්තියක් වෙමින් මේරී පෝස්ටර් මැතිණියගේ ද සහයෝගය ලැබුණි. ඇමරිකාවේ සිට ජපානය හරහා ලංකාව බලා පැමිණෙන ගමනේ දී තෝකියෝ නුවර දේශනා කිහිපයක් පවත්වන්නට විය. දේශනා කෞශල්‍ය කෙරෙහි පැහැදුණ අසභි නම් මහතෙර විසින් වසර 700ක් පැරණි බුද්ධ ප්‍රතිමාවක් ද ධර්මපාලතුමන් වෙත ලබා දෙන ලදී.
1894 අප්‍රේල් මස 17 වන දින මෙම බුද්ධ ප්‍රතිමාව බුද්ධගයා මහා විහාරයේ තැන්පත් කිරීම සඳහා වඩමවාගෙන ගියේ ය. මහත් එඩියෙන් එරෙහි වූ ‘මහන්තාගේ’ මැදිහත් වීමෙන් එය තාවකාලික ව කල් දමන්නට සිදුවිය. 1895 වසරේ පෙබරවාරි මාසයේ දී එම පිළිම වහන්සේ බුද්ධගයා මහා විහාරයේ මතු මහලේ මැද මැදිරියෙහි සිංහාසනය මත ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. ඒ අතර නොසන්සුන් වූ කූට ජටිල මහන්තාගේ මාර සෙනඟ විහාරයට කඩා පැන, අවි සරඹ පා, අරගල පිට අරගල කොට, එම බුද්ධ ප්‍රතිමාව ඔසවාගෙන ගොස් පිටතට දමා විකට හාස්‍යයෙන් මුව සරසා ගත්හ. අධිකරණ මාර්ගයට ගිය ධර්මපාලතුමා බුද්ධ ප්‍රතිමාව බුරුම ආවාසයෙහි තබන්නට අවසරය බෙංගාලයේ ආණ්ඩුකාර තැනගෙන් එම මැයි 27 වන දින ලබාගත්තේ ය. මහ බෝ මැඩ සිටි භික්ෂූන් වහන්සේලාට ද නොයෙක් තාඩන පීඩන මහන්තාගෙන් එල්ලවන්නට විය.
1894 වසරේ දී මහාබෝධි ගම ටිකාරි මහාරාජාට හිමිවූ ප්‍රදේශයක් බැවින් නන්ද කිසෝරි ලාල් මහතා ටිකාරි රාජාගේ මන්ත්‍රීන් සමඟ සාකච්ඡාකොට මහාබෝධි ගම බෞද්ධයන්ට විකුණන්නට කැමතිකරවා ගත්තේ ය. ඊට රුපියල් ලක්ෂයක් මිල නියම කරන ලදී. මෙය මිල දී ගැනීමට මුදල් සපයා ගැනීම සඳහා 1894 අගෝස්තු මස ධර්මපාලතුමා ලංකාවට පැමිණ බෞද්ධ මහජනයාගෙන් මුදල් එකතුකිරීමට පටන් ගත්තේ ය. අගෝස්තු මාසයේ පටන් දෙසැම්බර් මාසය දක්වා ලක්දිව නා නා පළාත්වල ධර්ම දේශනා පවත්වමින් රු. 38031ක් සම්මාදම් එකතුකර ගැනීමට ධර්මපාලතුමාට හැකිවිය. බුරුම රට බෞද්ධයෝ ද රු. 1000ක් එකතු කළහ.
1896 පෙබරවාරි මාසයෙහි ජපන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් ඇති වූ නඩු විභාගවලට වියදම් වීම නිසා මහාබෝධි ගම මිල දී ගැනීමේ කටයුතු ප්‍රමාද විය. ධර්මපාලතුමන්ගේ සියම් ගමනේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ මුදල සියම් රටින් ලබාදීමට රාජශක්තිය, චන්ද්‍රදත්ත, භාතරංසි යන රාජ කුමාරවරු සහ සේනාධිපති ජෙරනී යන උතුමෝ ද ඉදිරිපත් වූහ. රුපියල් ලක්ෂයක් පොරොන්දු කරවාගෙන මහාබෝධි ගම විකුණන්නේ දැයි බෙංගාලේ රජයෙන් විචාරා දේව වංශ කුමාරයා විදුලි පණිවිඩයක් එවී ය. මේ විදුලි පණිවිඩය බෞද්ධ පක්ෂයේ අභාග්‍යයට මෙන් අසන ලද්දේ බෙංගාලේ ආණ්ඩුවේ මහ ලේකම්වරයාගෙනි. ඔහු වනාහි මහන්තාගේ නීතිඥවරයාගේ පියා යි. ඒ නිසා “මහාබෝධි ගම විකුණන්නේ නැත.” කියා පිළිතුරක් යැවී ය. මෙලෙසින් යළිත් මහාබෝධි ගම මිල දී ගැනීමේ කටයුත්ත අසාර්ථක විය.
දිගින් දිගට ම පැවති බුද්ධගයා නඩුව සම්බන්ධ ඝෝෂාව මුළු දඹදිව පුරා රැව් පිළිරැව් දී පැතිර පැවතුණි. අන්තිමේ දී බෞද්ධ පක්ෂයේ වාසියට නඩුව තීන්දු විය. මහන්තාගේ පක්ෂයෙන් ඉහළ උසාවියට ඇපෑල් ගන්නා ලදී. එහි දී ද ලැබුණ තීන්දුව බෞද්ධ පක්ෂයට වාසි විය. එවිට මහන්තා කල්කටා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑල් ගන්නා ලදී. එහි දී මහ බෝ මැඩ විහාරය හින්දු කෝවිලක් නොව, බෞද්ධ විහාරයක් ම බව ප්‍රකාශ කොට තීන්දුව ලැබිණ. මෙසේ අනගාරික ධර්මපාලතුමා ගත් උත්සාහය අතරතුර පැමිණි විපත්, හිරිහැර නිසා අත්හැර දමන ලද්දේ නම් කිසි කලෙකත් ඉංග්‍රීසි ආණ්ඩුව ලවා මහාබෝධි විහාරය බෞද්ධ විහාරයක් ලෙස මෙසේ සහතික කරවාගන්නට නො ලැබෙනු ඒකාන්ත ය.
1913 දී ධර්මපාලතුමන් කල්කටාවේ සිටිය දී ලංකාවේ සිංහල මුස්ලිම් කෝලහාලය ඇතිවිය. සිංහලයන් හා මුසල්මානුවන් අතර ඇති වූ බිහිසුණු මනුෂ්‍ය මාරක මංකොල්ලය දිවයිනේ නගරයක් දනව්වක් නොහැර ප්‍රචණ්ඩ අග්නිජාලාවක් මෙන් පැතිර යන්නට වූ බැවින් ලංකාද්වීපයේ ‘මාර්ෂල් ලෝ’ නීතිය පැනවී ය. මේ අරගලයේ මූලිකයෝ යැයි සිතනු ලැබූ ලංකාවේ සිංහල ජන ප්‍රධානීහු සිරකර තබන ලදහ. බොහෝ ජන නායකයෝ මෙහි දී මිය ගියහ. ඇතැමුන් මරණයට කැපකරන ලදහ.
සිංහල බෞද්ධයන්ගේ පෙරහැරකට මුසල්මානුවන් විරුද්ධ වීම හේතුකොට ගෙන ඇවිළ ගිය මෙම සටනෙන් සිංහලයන් තුළ පැවති නිර්භීතභාවයත්, බිහිසුණු බවත් නිසා එයට හේතුව ‘සිංහල බෞද්ධයා’ නම් ප්‍රබල ජාතික පුවත්පත මගින් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා පළ කළ ලෝක ප්‍රසිද්ධ කරුණු සහ එතුමන්ගේ රුහිරු හුණු කරවන ප්‍රබල දේශනා යැයි ඉංග්‍රීසි රජය සැක කරන්නට විය. ධර්මපාලතුමන් ‘බිහිසුණු’ පුද්ගලයෙකු යැයි ද ‘රටක් නැගිටුවිය හැකි වීරයෙකැ’ යි ද ‘එම නිසා දිවයිනේ සාමයට බාධාකාරයෙකැ’ යි ද සැක කර ඉංග්‍රීසි ආණ්ඩුව විසින් එතුමන්ට ලංකාවට පැමිණෙන්නට ඉඩ නො දෙනු පිණිස 1914 ලෝක සංග්‍රාමය ආරම්භ වූ වහා ම එතුමන් ව කල්කටාවේ සිරකොට තැබූහ.
මහාබෝධි සමාගමට බලවත් අලාභ හානි විය. කාර්යාලයේ තිබුණු සියලු පොත්පත් සහ ලියකියවිලි පොලිස් අත්අඩංගුවට පත් විය. මහාබෝධි සමාගමේ සියල්ල ම තාවකාලික වශයෙන් පරම විඥානාර්ථ සමාගමට බාර වූ අතර මහාබෝධි ශාස්ත්‍ර ශාලාව ධර්මපාලතුමන්ගේ කණිටු සොහොයුරු වූ සී. ඒ. හේවාවිතාරණ මහතාගේ පෞද්ගලික පාලනයට භාර විය. ‘සිංහල බෞද්ධයා’ පුවත්පත රජයෙන් තහනම් කරන ලදී. එහි කර්තෘ ධුරය දැරූ යූ. පී. ඒකනායක මහතා බන්ධනාගාරගත කෙරිණ. එතෙක් ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණය කර බෙදාහරිමින් තිබූ මහාබෝධි යන්ත්‍රාලය වැසිණ. “ධර්මපාලතුමන්ගේ වැඩ ඉවරයැ” යි මිසදිටුවෝ උදම් ඇනූහ.
වසර සතක් සිරබත් කෑ ධර්මපාලතුමා 1916 පෙබරවාරි මස 06 වන දින ඉන්දියාවේ සිට ලෝකයා හමුවේ සන්දේශයක සටහනක් තැබී ය.
“විසිපස් වර්ෂයක් මුළුල්ලේ දිවා රාත්‍රී දෙකෙහි ම තථාගත ශාසන වර්ධනයට බොහෝ වීරියෙන් වැඩ කළෙමි. ඒ පළියට දෝ මම දැන් සිරගෙයි සිටිමි. මා මෙන් ම මුළු සිංහල වර්ගයා ම රාජපාක්ෂික ව ධර්මයට කීකරු ව ක්‍රියාකර තිබේ. ඉංග්‍රීසි ආඥා චක්‍රය සර්ව සාධාරණ බව සිංහලයන්ගේ විශ්වාසය යි. එහෙත් ඇතැම් වානර ගති ඇති අධර්මවාදී කුහක රැලක් නිසා සිංහල ජාතියට අන්තරාය විය.”
සිරි දේවමිත්ත ධර්මපාල යන නමින් පැවිදි වූ මහා වීරයාණන් අපවත් වීමට මාස 5කට පෙර මෙසේ සටහන් කළේ ය.
“මම දැන් මහලු ය. අබල දුබල ය. වැඩි කලක් ජීවත් නොවන සුලු ය. මා හෘදයාබාධයකින් පෙලෙන බැවින් කොයි මොහොතේ වුව ද මරු වසඟ විය හැක.
මා හදිසියෙන් මළහොත් මාගේ මතක ශරීරය යූ. උත්තම ස්වාමීන් වහන්සේ හා බ්‍රහ්මචාරී දේවප්‍රිය විසින්, බරණැස් නුවර සාරනාථයේ ශුද්ධ ඉසිපතනයට ගෙන ගොස් එහි දී ආර්ය බෞද්ධ චාරිත්‍රානුකූලව මගේ ශරීරය දවා, අළු මූලගන්ධ කුටි විහාරස්ථාන මධ්‍යයේ භූමිස්ථ කොට ඒ මතුපිට අඩි තුනක් උස ස්ථූපයක් ගොඩ නැංවිය යුතුයි.”
අද ද බරණැස ඉසිපතනයේ මූලගන්ධ කුටි විහාරයේ ඒ මහා වීරයාණන් වෙනුවෙන් නිර්මිත සිහිවටන කෞතුකාගාරය දක්නට ලැබේ.
නළල තබා සිත පිරි බොදු බැතියෙන් නෙතෙහි කඳුළු ද සිතෙහි ශ්‍රද්ධාව ද පිරීතිරී යන ලෙසින් ඒ උතුම් වජිරාසන පූජා භූමිය වන්දනා කරන්නට ලෝකවාසී බෞද්ධයනට වාසනාව ලැබුණේ එතුමාගේ අප්‍රතිහත ධෛර්යයට පුණ්‍යානුමෝදනා වන්නට ය.
ඒ මහා යුගපුරුෂයාණන් හට සසර දුක් නිවාලීමේ වාසනාව උදා වේවා!!!
දෙස බස රැස රැකගන්නට පිය උරුමෙන් එන – අපි ආයෙත් හොයා යමු ද අපිට උරුම තැන
පොසොන් පෝයත් ගෙවිල ගියා…. ඇසළ පෝය උදාවෙනවා… රේඩියෝ එකේ ධර්ම සාකච්ඡාවක් යනවා… මේ යුගයේ මග ඵල ලබන්න පුළුවන් ද? බැරි ද? නිවේදිකාව ටිකක් කතා කරනවා…. ස්වාමීන් වහන්සේගේ හඬ පටය ටිකක් දානවා…. ඊ ළඟට කියනවා රැඳී සිටින්න අප සමඟ ම කියලා ආයෙත් ඇඞ් එකක් යනවා….. දෙයියනේ… ධර්මදේශනාව මැද්දෙත් ඇඞ් දාන යුගයකට අපි ඇවිල්ලා…
මීට වඩා හොඳයි සල් මල් වට්ටියක් කඩාගත්තොත් ගෙනත් පූජා කරන්න කියල හිතුණ හින්දා මම වත්ත පහළ සල් ගහ පැත්තට ගියා… සල්ගහ පිරෙන්න ලස්සනට සල් මල් පිපිලා. ඒත් අනේ… අතින් කඩාගන්න පුළුවන් උසක නෑ… ඊට ගොඩක් උඩින් මල් පිපිල තියෙන්නෙ… කොහොමද දැන් ඉතින් මම මේ මල් කඩාගන්නෙ… මම ගහ යට තිබුණ අඹ කොටයක් උඩට වෙලා කල්පනා කළා… මේ ගහේ වෘක්ෂ දේවතාවෙක්වත් ඉඳලා මල් වට්ටියක් කඩලා දෙනවා නම්…
“මල් වට්ටියක් කඩලා දෙන්නම් ඔබ ආපහු ආවොත්…” ගහ මුදුනෙන් හඬක් ඇහුණා… “ආපහු එන්නෙ මොකටද…? මම මේ ඇවිත් ඉන්නෙ…” කතා කළේ වෘක්ෂ දේවතාවෙක් වෙන්න ඇති කියල හිතල මම කිව්වා…
“නෑ… මම කිව්වෙ ඔයාල දැන් ඉන්න තැනින් ආපහු හිටිය තැනට ආපහු ආවොත් කියන එකයි…”
“ඒ කතාව මට තේරෙන්නෙ නෑ… හිටිය තැන කියන්නෙ මොකක්ද…? දැන් ඉන්න තැන මොකක් ද? මට කියාදෙන්න පුළු‍වන් ද?”
“පුළුවන්… හොඳින් අහගන්න.”
භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර සල් ගස් දෙක අතරෙ උතුරු පැත්තට හිස හොවා සැතපුණා… පින්වත් සක් දෙවිඳුන්ට මෙසේ වදාළා. ‘පින්වත් දෙවිඳුනි, මගේ ශාසනය අනාගතේ සුරැකෙන්නෙ මුහුදෙන් එතෙර තියෙන ලංකාව කියන දිවයිනේ… ඔබ ඒ රට සුරකින්න ඕන” කියලා.
ඇයි දන්නව ද බුදුරජාණන් වහන්සේ සිරි සම්බුදු මුව මඬලින් අපේ රටට එබඳු අභිමානනීය සම්බුදු වදනක් වදාළේ?
මේ රටේ ජීවත් වුණේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම මිනිසුන් පිරිසයි… ඒ අය තමන් වෙනුවෙන් කර ගත යුතු දේ කර ගන්නට දැනගෙන හිටියා… ඒ විතරක් නෙවෙයි, තම අසල්වැසියා වෙනුවෙන් කළ යුතු යුතුකමක් දැනගෙන හිටියා.. එපමණක් ද නෙවෙයි, තම ගම් ප්‍රදේශය වෙනුවෙන් කළ යුතු මෙහෙවර ද පැහැර හැරියේ නෑ… එච්චර ද… නෑ… ඒ අය දැනගෙන හිටියා තමන් උපන් රට වෙනුවෙන් කළ යුතු යුතුකම මොකක් ද කියන එකත්. එච්චර ද… නෑ… තමන්ගේ ආගම වෙනුවෙන් කළ යුතු දේත් මනාව දැනගෙන හිටියා… ඒ විතරක් ද? නෑ… නූපන් අනාගත පරපුර වෙනුවෙන් පවා… තව වසර දහස් ගණනකින් උපදින පරපුර වෙනුවෙන් පවා ඉටු කළ යුතු මෙහෙවර ඉටුකරපු මේ වගේ ජාතියක් මේ මුළු‍ ලෝකයේ ම නෑ… අන්න ඒ බව බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් දැක වදාළ නිසයි සක් දෙවිඳුන්ට අර විදියට වදාළේ.
අන්න ඒ අභිමානනීය ජාතිය ඒ සම්බුදු වදන යථාර්ථයක් වෙන විදියට චිරාත් කාලයක් කටයුතු කරගෙන ආවා… ඒත් අපේ අවාසනාවට මේ රට දරුණු විදියට පර සතුරු ආක්‍රමණවලින් පහර කෑවා… අපේ අයට අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු මෙහෙවරක් තියෙනවා කියන එක ටික ටික අමතක වෙන යුගයක් ආවා… සුද්දෝ ඇවිත් අපේ දරුවන්ට මත්පැන් පුරුදු කළා… ටික ටික තමන්ගෙ මව වන් මව් රටට තමන්ගෙන් විය යුතු දෙයක් තියෙනවා කියලා අමතක වෙවී යන්න පටන් ගත්තා…
ඒ කාලයේ ජාති මාමක හිමිවරුන්ට මේ බව දැනුණා… ඒ නිසා ලිව්වා මෙහෙම.
“තමන් ලැබු දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නො කොළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි ඵලක් නැතේ”
ඒ කවි පද අහල සුළු පිරිසකට සිහිය ඉපදුණා… ඒත් ඒක වැඩිකල් තිබුණෙ නෑ… වේගයෙන් මේ රට ආයෙමත් පරිහානියට යන්ට පටන් ගත්තා.
අනගාරික ධර්මපාලතුමා මේ විපත දැකල මේ රට වටේ ම උස් හඬින් කතා කරගෙන ගියා. ඒ හඬ අහලා ආයෙත් සිහිය ඉපදුණා කීප දෙනෙකුට. ඒත් බටහිර ආක්‍රමණය එන්න එන්න ම දරුණු වුණා. මෙයාලා පහර දුන්නේ සියුම් ආයුධවලින්. මේ පහර වැදුනේ අපේ අහිංසක දරුවන්ගේ මොළයට. ඒ ප්‍රහාරවලින් අපේ දරුවන්ගේ පමණක් නෙවෙයි, දෙමව්පියන්ගෙත් මොළ සේදිලා ගියා…
මොනවද මේ අය පහර දුන්න ආයුධ…? රූපවාහිනිය නම් ආයුධයෙන් පහර දුන්නා… ක්‍ෘල ෘඪෘ කියන ආයුධයෙන් පහර දුන්නා… පරිගණක ගේම් කියන ආයුධයෙන් පහර දුන්නා… ත්‍ඵ රැල්ල කියන ආයුධයෙන් පහර දුන්නා… ස්මාට් ෆෝන් කියන ආයුධයෙන් පහර දුන්නා… රැප් රැල්ලේ ගී කියන ආයුධයෙන් පහර දුන්නා… ටැබ් කියන ආයුධයෙන් පහර දුන්නා… අන්තර්ජාලය කියන භයානක ආයුධයෙන් පහර දුන්නා… කෙලෙස් බුක් කියන ආයුධයෙන් පහර දුන්නා… මේ සියල්ලෙන් ම පහර දුන්නේ මොළයට යි.
අනේ මේ ප්‍රහාරයට මුහුණ දීපු අපේ දරුවන්ගේ මොළ සේදිලා, ඇස් නිලංකාර වෙලා ගියා. දෙමව්පියන්ට වුණෙත් ඒ ටික ම යි.
එයාලට මුලින් ම අපේ අතීතය අමතක ම වෙලා ගියා… රට දැය සමයට කිසිවක් කරනවා තියා තමන්ට තමන් කර ගත යුත්තෙ මොකක් ද කියලවත් නොතේරෙන තරමට අන්ධ වෙලා ගියා…
පංච කාම සම්පත් ටිකක් ලබාගන්න මුළු‍ ජීවිත කාලෙ ම වුණත් කැප කළාට කමක් නෑ පුතේ කියන පණිවිඩය දෙමව්පියන් දරුවන්ට දීලා තමන් වගේ දෙගුණයක් බර පොත් බෑග් එකක් පිටේ එල්ලු‍වා… ගුරුවරුත් කළේ ඉස්කෝලෙදි කරනවා වගේ තව ගුණයක් ගෙදර වැඩ දීලා ආපහු එවපු එකයි… ඉතිරි වේලාව ටියුෂන් මාස්ටර්ලා පැහැරගත්තා. ළමයින්ට ආයෙ හිතන්න වෙලාවක් ඉතිරි වුණේ ම නෑ…
ඉතිරිවෙන හැම තප්පරයක් ම අර මම කලින් කිව්ව ආයුධවල බරපතළ ප්‍රහාරයකට ලක් වුණා.
අන්තිමේ දී බිහි වුණා තමන්ගේ රට ගැන දන්නෙ නැති… ආගම ගැන දන්නෙ නැති… අසල්වැසියො ගැන දන්නෙ නැති… නෑදෑයො ගැන දන්නෙ නැති… අම්ම තාත්ත ගැනවත් දන්නෙ නැති, ඒ අය තමන් ව පුංචි කාලෙ ඉඳල හැදුවෙ කොහොමද කියලවත් දන්නෙ නැති, අඩු ම ගාණෙ තමන් කවුද, තමන් මේ රටේ සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදුණේ මොකටද කියලවත් දන්නෙ නැති… ඒත්… සහතික ගොඩාක් තියෙන… ඒත් ඒවයෙ තියෙන දැනුම නැති… තියෙන දැනුමවත් භාවිතයට ගන්න දන්නෙ නැති අරුම පුදුම පිරිසක්…”
“ඒක නම් ඇත්ත ම තමයි… ඉතින් දැන් අපි කොහොමද ආපහු අපේ අතීත මුතුන් මිත්තන් වගේ රට දැය සමය වෙනුවෙන්, නූපන් අනාගත පරපුර වෙනුවෙන් තමන්ගෙ යුතුකම වගකීම ඉටුකරන ජාතියක් බවට පත්වෙන්නෙ?”
“රට දැය සමය වෙනුවෙන් නෙමෙයි… අඩුම තරමින් තමන් වෙනුවෙන්වත් කර ගත යුතු දේ කර ගන්න නම් ගොඩක් ම මහන්සි වෙන්න වෙයි. මොකද ඔයාල දන්නෙ නැති වුණාට බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මනුස්සයෙක් වෙලා අනේ අපිට ඉපදෙන්න ලැබේවා කිය කියා ඔයාලා ජීවිත ගණනාවක් කළ පිනක ප්‍රතිඵලයක් විදියටයි ඔයාලට මේ ජීවිතය ලැබුණෙ…”
“අනේ මට කියන්න අපි කොහොමද දැන් ආපහු එන්නෙ?”
“සතියක විතර නිවාඩුවක් ගන්න… ඒ සතිය අර මම ඉස්සෙල්ලම කිව්ව මහ භයානක ආයුධ වරුසාවෙන් ගැලවෙන්න. රූපවාහිනියෙන්… ගුවන්විදුලියෙන්… දුරකථනයෙන්… මම අර කිව්ව අනිත් දේවලින්… යන්න අනුරාධපුරයට… පොළොන්නරුවට… සීගිරියට… අවුකනට… කලා වැව ගාවට… සොරබොර වැව ගාවට… අරගෙන යන්න මහාවංශය… දීප වංශය… ථූප වංශය… බෝධිවංශය… ධම්මපදය… කැකුළු හාලේ බත් ටිකක් කාලා බෙලි මල් කෝප්පයක් බීලා අන්න ඒවත් එක්ක සතියක් විතර ඇසුරු කරන්න…
ඔබට පිනක් ඉතිරි වෙලා තිබුණොත් ඔබට අහිමි කළ ඔබ ව යළි ඔබට මුණගැසේවි… අන්න එහෙම මුණගැසුනොත් එයා එක්ක යන්න මහ සෑය ළඟට… මහ බෝධින් වහන්සේ ළඟට… අන්න එතකොට මහ සෑය පිසගෙන හමා එන මඳ පවන් රැලි… ජය සිරි මහ බෝ හාමුදුරුවන් පිසගෙන හමා එන මඳ පවන් රැලි ඔබට මෙහෙම පවසාවි…
‘පින්වත් පුතේ, ඔබ මේ පින්බර රටේ ඉපදුණේ ලොකු පිනක් හින්දයි… ඔබට දැන් ඔබ ව මුණගැසුන වෙලේ ඔබට තිබෙනවා කර ගන්ට කාරියක්. ඒ තමයි ඔබගෙන් නිදහස් වන එක. ඔබ ආවේ ඒකටයි… ඒ මඟ ඔබට කියන්ටයි අර කිරි බැබළෙන සෑ රදුන් වැඩ ඉන්නෙ… අර රන්වන් පත් සැලෙන බෝ හාමුදුරුවන් වැඩ ඉන්නෙ.’
අන්න ඒ පණිවිඩය ඔබ හරියට තේරුම් ගත්ත දවසට ඔබෙන් රටට දැයට අනාගත පරපුරට ඉටුවිය යුතු දේ ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ.”
මම සල් ගහ දිහා බැලු‍වා… අතේ දුරින් කඩන්නට මේ ලස්සන සල් මල් තියෙන්නෙ… අනේ ඇත්තට ඇයි මම මේවා කලින් දැක්කෙ නැත්තෙ…!
සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ
දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම
දැයට අහිමි වන ඉපැරණි වෛද්‍ය ක්‍රම
දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය යනු ඉපැරණි සිංහලයන්ගේ සෞඛ්‍ය සංරක්ෂණයට උපකාරී වූ ප්‍රධාන චිකිත්සා ක්‍රමය යි. බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකයේ බිහිවීමටත් ප්‍රථම පළමු වරට අංග සම්පූර්ණ ආරෝග්‍ය ශාලා බිහි කොට ශල්‍යකර්ම පවා සිදු කරමින් ලෝක වෛද්‍ය ඉතිහාසයේ අති විශිෂ්ට නාමයක් සනිටුහන් කිරීමට අප මුතුන් මිත්තන්ට එදා හැකි විය. දේශීය වෛද්‍ය ක්‍රමයේ යටගියාව නිරීක්ෂණය කළහොත් ඔබ මවිත වන තොරතුරු කොතෙකුත් සොයා ගත හැකි ය. පරපුරෙන් පරපුරට ගුරු ගෝල සම්බන්ධතාවයෙන් යුතුව පවත්වා ගෙනෙන ලද එකී වෛද්‍ය ශිල්පයේ විස්මිත ශිල්ප ක්‍රම බොහෝමයක් අද වන විට වියැකී ගොස් බොහෝ කල් ය. ඉතිරිය අනාදිමත් කාලයක සිට සිංහල ජාතියෙන් ගිලිහෙමින් පවතී.
දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අදාළ වෛද්‍ය ක්‍රම බොහෝමයක් ම පවතී. එකී වෛද්‍ය ක්‍රම අතුරින් අද වන විට බොහෝ දුරට වියැකී ගොස් ඇති චිකිත්සා ක්‍රමයකි දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම.
ශ්‍රී ලංකාවේ සර්පයෝ
සර්ප විෂ වෛද්‍ය ක්‍රමය ගැන සඳහන් කරන විට ශ්‍රී ලංකාවේ සර්ප වර්ගීකරණය පිළිබඳ ව දැන සිටීම ඉතා වැදගත් වේ. ඒ අනුව සර්ප ගණන අතරින් සර්ප විශේෂ 96ක් ලංකාවේ වාසය කරති. ඉන් 45ක් ලංකාවට ආවේණික වේ. ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයන් විශේෂ 20කි. ඉන් 13ක් කරදියවාසී මුහුදු සර්පයන් වේ. ඔවුන් ගොඩබිම වෙසෙන සර්පයන්ට සාපේක්ෂ ව උග්‍ර විෂ සහිත ය.
ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයෝ
1. නාගයා
2. තිත් පොළඟා
3. වැලි පොළඟා
4. තෙල් කරවලා
5. මුදු කරවලා
6. පොළොං තෙලිස්සා
7. බඩ කහ මුහුදු නයා (වාලක්කඩියා)
මඳ විෂ සහිත සර්පයෝ
1. පලා පොළඟා
2. සියලු ම මාපිල් වර්ග (ලේ මාපිල්, නාග මාපිල්, රෑන මාපිල්, ගැරඬි මාපිල්, පඳුරු මාපිල්, කහ මාපිල්, නිදි මාපිල්)
3. පොල් මල් කරවලා (මල්සරා)
4. මූකලන් තෙලිස්සා
5. කට කළුවා
6. අහුරු කුක්කා
7. ලේ මැඩිල්ලා
8. දෙපත් නයා
නිර්විෂ සහිත සර්පයෝ
1. ඇහැටුල්ලා
2. වලකා අතුබයා
3. දුමුටු කන උල්ලා
4. පිඹුරා
5. දිය නයා
6. දිය පොලඟා
7. තුරු හාල්දණ්ඩා
8. අරණී දත් කැටියා
දේශීය වෛද්‍ය ක්‍රමයේ විෂ වර්ගීකරණය
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍ය ක්‍රමයේ නිර්මාතෘ වූ සුශ්‍රැත නැමැති ඍෂිවරයා විසින් ශල්‍ය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ව මින් වසර 5000කටත් වඩා අතීතයේ දී රචනා කරන ලද ශ්‍රේෂ්ඨ වෛද්‍ය ග්‍රන්ථයක් වූ සුශ්‍රැත සංහිතාවේ මෙසේ පෙන්වා දී තිබේ.
“අගධ තන්ත්‍රං නාම සර්ප කීට ලූතා වෘශ්චික මූසිකාදි දෂ්ඨ විෂ ව්‍යංජනාර්ථඃ විවිධ විෂ සංයෝග විෂෝප හථෝප සාමණාර්ථංච”
මීට අනුව සුශ්‍රැත ඍෂිවරයා විසින් ප්‍රධාන වශයෙන් විෂ වර්ගීකරණයේ දී ප්‍රභේද කිහිපයක් පෙන්වා දී තිබේ.
1. ජංගම විෂ
ජංගම විෂ යනු සියලු ම සර්ප, කීට, දිවි මකුළු, බලු, බළල්, වඳුරු, හිවල්, හිකනැල්, පත්තෑ, ගෝනුසු, බඹර, දෙඹර, මී මැසි, මදුරු, මත්‍ය ආදී කොට ඇති ඕනෑම සතෙකුගේ දළ, දත්, විත, බූව, තුඩ, මල, මූත්‍ර, ශුක්‍ර ආදිය තුළින් විෂ ශරීරගත වීම යි. දෂ්ට කිරීම්, සපා කෑම්, විදීම්, සීරීම්, ස්පර්ශ වීම්, ආඝ්‍රාණය කිරීම් ආදියෙන් මෙකී ජංගම විෂ සත්ව ශරීරගත වෙයි.
2. ස්ථාවර විෂ
කෘමිනාශක, වල්නාශක විස වර්ග, පාසානම් වර්ග, විෂ සහිත ගෙඩි වර්ග, නියඟලා, වච්චනාවි වැනි විෂ ඇට වර්ග, ඖෂධ සඳහා ගන්නා විෂ සහිත බෙහෙත් වර්ග මේ ස්ථාවර විෂ ගණයට අයත් වේ. (උදා – රසදිය, ගෙන්දගම්, පල්මාණික්කම්, සියලු ම පාසානම් වර්ග)
3. කෘත්‍රිම විෂ
මෙහි කෘත්‍රිම යන වචනයට අනුව ස්වභාවික නොවන යන අර්ථය ප්‍රකාශ වේ. ඒ අනුව කෘත්‍රිම ව නිෂ්පාදනය කරනු ලබන විෂ ද්‍රව්‍ය මේ යටතට ගැනේ. විශේෂයෙන් අනුන් නැසීම මෙන් ම තමන්ගේ දිවි නසා ගැනීමට ද මේවා භාවිත කරයි.
4. ඝර විෂ
මේ ඝර විෂ නිපදවනු ලබන්නේ ප්‍රාණීන්ගේ මළ, මූත්‍රා, කෙළ, නිය, දත්, ලෝම, ආර්ථව, ශුක්‍ර ආදිය උපයෝගී කොටගෙනයි. ඉනා බෙහෙත් ලෙස මෙය හඳුන්වන අතර වශීකරණ කටයුතු සඳහා මේ විෂ යොදා ගනී.
5. සංයෝජක විෂ
කෘත්‍රිම විෂ හා ඝර විෂ එක්ව ගොඩනැගුණු විෂ අවස්ථාව මෙලෙස හඳුන්වා දී තිබේ.
6. දූෂී විෂ
මෙය කිනම් හෝ විෂ වර්ගයක් සත්වයාගේ ශරීරගත වීම හේතු කොටගෙන පසුකාලීන ව ඇති වන උග්‍ර ආබාධ සහිත විෂ තත්ත්වයකි. කුමන හෝ විෂක් ශරීරගත වීමෙන් පසුව කරනු ලබන ප්‍රතිකාර සමඟ අනුමත කරන පථ්‍ය, අපථ්‍ය, විහරණ නිසි අයුරින් පරිහරණය නොකීරීම නිසා ශරීරයේ ත්‍රිදෝස (වා, පිත්, සෙම්) සප්ත ධාතු (රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර) කුපිත කරමින් විෂ ක්‍රියාවක් ඇති කරනු ලබයි ද එය දූෂි විෂ ලෙස හඳුන්වා දී තිබේ. විශේෂයෙන් සර්ප විෂ දෂ්ටයක දී නිසි ප්‍රතිකාර නොකිරීම හේතු කොටගෙන පසුකාලීන ව දරුණු අතුරු ආබාධ පැන නගී. ඒ අතර නා නා විධ කුෂ්ඨ රෝග, ඇස් පෙනීමේ දුර්වලතා, කල් පවතින හිසරදය, යටි බඩ ගිනියම් වීම, වකුගඩු දුර්වල වීම, යටි පතුල් හා නිය යට දැවිල්ල, විෂ ගඩු මතු වීම, ලිංග, යෝනි, ගුද ආදී රහස් ප්‍රදේශවල විෂ වණ හට ගැනීම, සිහි මුළාව වැනි භයානක රෝගී තත්ත්වයන් මේ නිසා හට ගනී. දේශීය සර්ප විෂ වෛද්‍ය ක්‍රමයේ දී සර්ප දෂ්ට රෝගියාට ප්‍රතිකාර කොට නැවතත් ශරීරයේ ශේෂ ව විෂක් ඉතිරි වී ඇත්නම් ඒ සඳහා විෂ විරේකය දීම නැමැති ප්‍රතිකාරය සිදු කරනු ලබන්නේ දූෂී විසෙන් වන ආබාධ වළක්වා ගැනීම සඳහා ය.
සත් වැදෑරුම් විෂ වේග ලක්ෂණ
සර්පයන් විසින් දෂ්ඨ කරනු ලබන ස්ථානයේ විෂ අසුරුසන් සියයක් (විනාඩි 2 1/2 ක) පමණ කාලයක් තිබී ජලයෙහි ලූ තෙල් බිඳක් සේ සකල ශරීරය ම ආක්‍රමණය කරමින් සප්ත ධාතූන් කරා පැමිණ රෝගියා පීඩාවට පත් කරයි.
01 වැනි අවස්ථාව
ලේ ධාතුව දූෂණය කරයි. ඒ අවස්ථාවේ දී ඇඟ සැම තැන ම කුහුඹුවන් ඇවිදින්නා සේ දැනේ. දෂ්ට ස්ථානය අතිරේක ඌෂ්ණයකින් යුක්තයි.
02 වැනි අවස්ථාව
මාංශ ධාතුව දූෂණය කරයි. එවිට දෂ්ට ස්ථානයේ ගැට හට ගනී. ඉදිමීම ද ප්‍රධාන ලක්ෂණයකි.
03 වැනි අවස්ථාව
මේද තෙල දූෂණය කරයි. උණුසුම් බව, අලස බව හා නිදිමත ඇතිවේ. දෂ්ට ස්ථානයෙන් දිය වැගිරේ.
04 වැනි අවස්ථාව
ශරීරය හැකිලෙයි. වේදනා දෙයි. මළ මූත්‍ර යාම අධික වෙයි. රස ධාතුව දූෂණය කරයි.
05 වැනි අවස්ථාව
විෂ අස්ථිවලට පැමිණේ. එවිට ඇඟ දැවිලි හට ගනී. හෘද වේදනා හට ගනී. කන් අගුල් වැටේ. හික්කාව හට ගනී.
06 වැනි අවස්ථාව
ආශ්වාස ප්‍රශ්වාස නැවතීමෙන් විෂ මූර්ජාව හට ගනී. හෘද වේදනා, හික්කා, සිහි මුළාව හට ගනී. ඇටමිදුළු දූෂණය කරයි.
07 වැනි අවස්ථාව
ශුක්‍රධාතුගත වන විෂ හේතු කොටගෙන සත්වයාගේ ප්‍රාණ වායුව නිරුද්ධ කරයි. එනම් මරණය කරා පමුණුවයි. රක්ත ධාතුව නොහොත් ලේ සම්බන්ධ හෘද වස්තුව, පෙනහලු, අක්මාව, පිලාව, පිත්තාශය, ආමාශය ආදී ඉන්ද්‍රියයන් දුර්වල වීමෙන් හිස කොටසේ ඇති මධ්‍යස්ථ ස්නායු පද්ධතියට විෂ වැදීමෙන් එකී ස්නායුවල ක්‍රියාකාරීත්වය ඇණ හිටීමෙන් හා සර්ප විෂ නිසා රක්ත ඝණ වීමෙන් සියුම් නහර පිපිරීමෙන් ජීවිත හානිය සිදු වන්නේ ය.
විශේෂයෙන් ම නාග දෂ්ඨවල දී ශරීරයේ වාතය ප්‍රධාන වශයෙන් කෝප කරයි. එනම් ස්නායු මණ්ඩලයට විෂ බලපායි. පොළොන් දෂ්ටයේ දී පිත කෝප කරන අතර අභ්‍යන්තරයේ රුධිර සෛල පුපුරා ලේ ගැලීම සිදු වෙයි. රාජීල සර්ප දෂ්ටයේ දී (මාපිල්, කරවැල්) සෙම කෝප කරන අතර ඒ හේතුවෙන් ශ්වාස නාලිකා ආදිය අවරෝධය සිදුවෙයි. වසන්තිල වර්ගයේ (මිශ්‍ර වර්ගයේ සර්පයන්) දෂ්ඨයෙන් ත්‍රි දෝෂය ම කෝප වන අතර මෙකී දෝෂ කෝප තත්ත්වය මනාව හඳුනාගෙන ඕනෑම සර්ප විෂක් දේශීය ප්‍රතිකාරයෙන් සුව කිරීමට දක්ෂ දේශීය වෛද්‍යවරයාට හැකියාව ඇත.
සර්ප විෂ නසන හෙළ වෙද ගුරුමිටු
සර්ප දෂ්ඨයක දී දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පළමුවෙන් ම කළ යුතු විශේෂ ප්‍රථමාධාර හා ප්‍රතිකාර විධි පවතී. ඌව වෙල්ලස්සේ ඉපැරණි වෙද පරපුරක් සතුව පැවති වටිනා ප්‍රතිකාර විධි කීපයක් දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ අභිලාෂයෙන් ඔබ අතට පත් කරමි.
ප්‍රථමාධාර
01. සර්ප දෂ්ඨ රෝගියා බියට පත් නො කරන්න.
02. රෝගියා පොළවට ස්පර්ශ වන සේ තබන්න.
03. රෝගියාට හොඳින් වාතාශ්‍රය ලබා දෙන්න.
04. රෝගියාට ඇවිදීමට නො දී ඔසවාගෙන යන්න.
05. දෂ්ඨ ස්ථානය පිරිසිදුව තබා ගත යුතු අතර අනවශ්‍ය ලෙස ලේ මිරිකා හැරීම, පැලීම, පිළිස්සීම් ආදිය නො කළ යුතු ය. සිසිල් ජලයෙන් එම ස්ථානය සේදීම නො කළ යුතු ය.
හස්තසාර ප්‍රතිකාර විධි
01. අවුරුදු 12න් පහළ නිරෝගී පිරිමි ළමයෙකුගේ මූත්‍රා පතක් පමණක් ගෙන රෝගියාට බීමට දෙන්න.
02. කරපිංචා කොළ, පොතු, මුල්, කුප්පමේනිය, හීං උඳුපියලිය, සස්සද සම ව ගෙන කොටා මිරිකා දෙහි ඇඹුල් මිශ්‍ර කර ගිතෙල් තේ හැන්දක් දමා බීමට දෙන්න. සියලු සර්ප විෂට අත්දුටු ප්‍රතිකාරයකි.
03. දෂ්ඨ ස්ථානය දෙහි බෑවකින් හොඳින් පිරිසිදු කර සස්සද මුල්, ඒකාවේරිය මුල්, දිවිකදුරු දලු, විෂ නීල කොළ වැනි කවර හෝ විෂ උරන ඔසුවක් ගෙන අමු කහ හා දෙහි ඇඹුල් මිශ්‍ර කර පිරිසිදු ව අඹරා දෂ්ඨ ස්ථානයේ ගල්වා ඉක්මනින් දක්ෂ වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගන්න.
ඔසු පැටළු – වෙද ගැටලු
තුටේ වඩන ඖෂධ අහපන්නේ – කටේ වටේ ඇති දේ දැනගන්නේ
පිටේ පොතුත් සහමුලයෙන් ගන්නේ – රටේ නොකිය සීනැටි සාලින්නේ
මෙසේ මෙ’කැඳ ගෙන කඳට දෙවන්නේ – තොසේ වඩන ගිතෙලුත් සමගින්නේ
විසේ සපුන් විස වැදි නරයින්නේ – කෙසේ තිබුණ විසවත් දුරු වෙන්නේ
මෙකී රහස් නාම යොදා ගුරු මුෂ්ටි වශයෙන් පවතින වටිනා ප්‍රතිකාර විධි බොහෝමයක් ඇත. ඉහත වෙද ගැටයට අනුව දත්කැටියා නැමැති ඖෂධ පැළෑටිය සහමුලින් ගෙන ලුණු හා කිරි නො දමා හීනැටි හාලින් කැඳ පිස ගිතෙල් මිශ්‍ර කර විසාතුරයාට බීමට දීම සියලු සර්ප විෂ නසනා අත්දුටු ප්‍රතිකාරයක් බව සඳහන් කළ හැකි ය.
විශේෂයෙන් ම භාග්‍යවත් වූ මහා ඍෂි තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ දේශනාවක් වූ උතුම් වූ කඳ පිරිත ප්‍රතිපත්තිගරුක ව භාවිතයට ගැනීමෙන් සියලු සර්ප විෂ සේ ම සර්පයන්ගෙන් වන හානි ද දුරුකර ගත හැකි බව අත්දුටු සත්‍යයකි.
දැයට අහිමිවන මෙවැනි ඉපැරණි දේශීය වෛද්‍ය ක්‍රම, ගුරු මුෂ්ඨි රැකීමේ ආත්මාර්ථය පසෙක තබා සිංහල ජාතියට ආවේණික වූ විස්මිත ඤාණ සම්භාරය අනාගත පරපුර උදෙසා සුරැකීමට ඇප කැප විය යුතු හොඳ ම කාලය යි මේ.
සටහන – පුලස්ති අධිකාරි
අපට හිමි වූ අපේ දරුවන්ට අහිමි වූ සොඳුරු ළමා විය
පාසැල් නිවාඩු කාලය ඇවිල්ලා… අපි හරිම ආසාවෙන් බලන් ඉන්නේ නිවාඩු කාලය එනකල්, වත්ත පහලට ගිහිල්ලා බට ගහක් දෙකක් කපාගෙන, හීනියට සුද්ධ කරලා සරුංගල් පට්ටමක් හදන්න. ඒ බට ගහෙන්ම මහත බටයක් කපාගෙන බට තුවක්කුවකුත් හදාගෙනයි ආපහු එන්නේ. හොඳට පැහුන කොහිකිරිල්ල අහුරක් කඩාගෙන ලපටි ගෙඩි ටික කටේ දාගෙන ඉතිරි ගෙඩියෙන් ගෙඩිය බට තුවක්කුවට දාලා සද්දය ඇහෙන්න වෙඩිල්ලක් තියන්න අපිට තිබුනේ පුදුම ආසාවක්.
හදාගත්ත සරුගල් පට්ටම ලස්සනට අලවලා හවසට හුළං හමන වෙලාවට වෙල් ඉපනැල්ලේ දුවලා සරුංගලය අහසට නංගුවාම දැනෙන සතුට කියාගන්න වචන නෑ. මේ වගේ ක‍්‍රියාකාරකමකින් දරුවෙකුට ලැබුන ආත්ම විශ්වාසය අද නායකත්ව පුහුණු දෙක තුනකින්වත් ඇතිකරන්න පුලූවන් වෙයිද කියන්න මම දන්නෙ නෑ.
ඒ කාලේ අපේ සෙල්ලම් බඩු වලට දෙමව්පියන්ට වියදම් කරන්න වුනේ නෑ. ඒත් අපට සෙල්ලම් බඩු වලින් නම් අඩුවක් වුනෙත් නෑ. අපිට රෙදි මහන්න කුරුම්බැට්ටි මැෂිම තිබුනා. හුළං තියෙන වෙලාවට අරගෙන දුවන්න පොල්කොළ රූං පෙත්තක් තිබුනා. හුළං නැති වෙලාවට රබර් ඇටයක් විදලා ඉරටුවක් මැදට දාලා හදපු යාන්ත‍්‍රික රූං පෙත්තකුත් තිබුනා. හිස සරසගෙන ළමා ලෝකයේ රජ වෙන්න කොස්කොළ ඔටුන්නක් තිබුනා. ගෙල සරසන්නට මයියොක්කා කොළ වලින් හදපු ලස්සන මාලයක් තිබුනා. ගහක තියෙන කොළයක් රවුම් කරලා පැත්තක් ඇගිලි දෙකින් තලලා හදාගත්ත නලාවක් තිබුනා.
අපිට කරුණාව දයාව ඉගෙන ගන්න හුරතල් සතුන් ගොඩක් හිටියා. පොල්පිත්තක් කපලා පොල් කටුවකින් අං තියපු වහුපැටියෙක් අපට හිටියා. ගොක්කොළ වලින් හදපු ගිරව් හිටියා. ගොක්කොළ නයි හිටියා.
අපිට ගමන් බිමන් යන්න අපිම නිර්මාණය කරගත්ත වාහන තිබුනා. පොල් කොට රවුම් දෙකක් කපලා පොල්කොට සුක්කානමක් හදපු අපූරු රේසින් කාර් එකක් තිබුනා. රිම් එකකුයි කෝටුකෑල්ලකුයි එකතුවෙන් හදාගත්ත අපේම වාහනයක් තිබුනා. පරණ ටයර් එකකින් හදා ගත්ත බර වාහනයකුත් තිබුනා. කොළපතකින් හදාගත්ත ලෙස්සා යන වාහනයකුත් තිබුනා.
අපි ගෙවල් හදන්නත් දක්ෂයි. ඉනි හය හතක් කපාගෙන පොල් අතු අහුරලා බිමට වියපු පොල්අත්තක් දාලා හදපු අපූරු සෙල්ලම් ගෙවල් අපට තිබුනා. ගොයම් කපලා ? තිස්සේ අම්බරුවන් යොදලා ගොයම් පාගන කාලෙට කමතට වෙලා රැුය පහන් කරන්නට පිදුරු වටකරලා මාගලක් වහලෙට දාලා හදාගත්ත ආරක්ෂක නිවහනක් තිබුනා.
වැහිපොද වැටෙනකොට මිදුල දිගේ පොඩි වතුර පාරවල් ගලද්දී කඩදාසි බෝට්ටු හදලා පාකරලා සතුටු වුනා. වැස්ස වැඩිවෙලා ඇලවල්වල වතුර පිරෙන කාලෙට ඇලට දොලට බැහැලා ඇති තරම් පීනුවා. සරමට වතුර එකතු කරලා මාලූ පැටව් අල්ලලා ටික වෙලාවක් බලලා ආයෙම වතුරට යන්න ඇරලා සතුටු වුනා. තවත් වැහැලා වෙල් යටවෙනකොට කෙහෙල්කොට පාරු හදලා ඒ මත නැගලා එතෙර මෙතෙර ගියා.
දුරුතු මාසේ හැන්දෑ යාමේ සීතල දැනෙනකොට කොළ රොඩු එකතු කරලා හදපු ගිනිගොඩ පත්තුකරලා ඒ වටේට ඉඳගෙන ගිනිතැප්පා.
අපිට රසකැවිලි ගේන්නට දෙමව්පියන්ට මුදල් වැය වුනේ නෑ. වත්තට බැස්සහම කට දම්පාට වෙන්නම කන්න මාදං ගස්වල මාදං තිබුනා. ඇඹුල් පේර තිබුනා. ඇඹිලිය පොකුරු අපි එනතුරු මග බලා හිටියා. කජු පුහුලන් වාරෙට උගුර රිදෙනකල් කජු පුහුලං කෑවා. මොර, කෝන්, හිඹුටු, වෙරලූ, පිනිජම්බු ඇති පදං තිබුනා. වැල වරකා වලින් ම බඩ පිරුන දවස් තිබුනා. පොල් ගහක් කපපු දාක අපේ ජනප‍්‍රිය ම කෑම වුනේ පොල් බොඩ. පිපාසය නිවන්න ඇතිතරම් තැඹිලි කුරුම්බා තිබුනා. අර ගිනි තපින වෙලාවට ඒ ගින්නට ම දාලා කොස් ඇට පුච්චලා කෑවා. වල් දෙල් ඇට බැදලා කෑවා.
සිංහල අවුරුදු කාලෙට කජු ගස්වල ඔන්චිල්ලා බැන්දා. උණ ගහක් කපලා උණ වෙඩි හැදුවා. එල්ලේ පිති හදලා රබර් වත්තට ගිහින් ඔට්ටපාළු බෝල හදන් ඇවිත් එල්ලේ ගැහුවා.
වෙසක් කාලෙට උණගස් බටගස් වලට ගොඩක් වැඩ තිබුනා. වල්ලාපට්ටා ගහ අපි දැනගෙන හිටියේ වෙසක් කූඩු බඳින්න පට්ටා ගන්න ගහක් විදියට. අපේම අත්වලින් බැඳිලා, අත්වලින් කොළ ඇලවිලා, වෙසක් සඳ පායනකොට ඉටිපන්දම් එළියෙන් ආලෝකමත් වෙන වෙසක් කූඩු දුටුවාම අපේ හිතට යාන්තමට නිරාමිස සතුට කියන්නේ මොකක්ද කියන එක දැනුනා. ඉටිපන්දමින් ගිනි ඇවිලිලා ඒ කූඩුවක් දෙකක් බිම වැටෙද්දි අනිත්‍ය පිළිබඳ පාඩම අපේ හිත ඇතුලට කිඳාබැස්සා.
හැන්දෑවට හෙන්දිරික්කා මල් පිපෙන වෙලාව අපි දැනන් හිටියා. වත්ත පුරාම ඇවිදලා ලස්සන වනමල් නෙලාගෙන ඇවිත් අත්තම්මා එක්ක පැයක් විතර බුද්ධ වන්දනා කරන්න අපට වෙලාව තිබුනා. වන්දනාවෙන් පස්සේ ‘අනේ පුතේ…. මගේ ඇස් දෙක දුර්වලයි නෙව. දැන්… ඔන්න ඔය පොත් වහන්සෙගෙ ඊළඟ කථාව කියවපංකො දරුවො…’ කියලා අත්තම්මා පන්සිය පණස් ජාතක පොත අපි අතේ තිබ්බේ ආත්තම්මට කතා ඉගෙන ගන්න නෙවෙයි කියන එක අපිට තේරුම් ගියේ ජාතක පොත ම දෙතුන් පාරක් කියෙව්වට පස්සේ.
මේ විදියට සුන්දරව තිබුන අපේ ළමා කාලය බටහිර තාක්ෂණය හා අධ්‍යාපන රටාවන් වෙතින් අමු අමුවේ පැහැරගත්තා. තුනේ පංතියේ ඉඳලා ටියුෂන් යන රටාවකට අපේ දරුවන් තල්ලූ වුනා. මේ විදියට සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන් ඇවිදින යන්ත‍්‍ර වගේ වුනා. හරියට බත් කටක් කන්නවත් දෙමව්පියන් එක්ක නිදහසේ ටිකක් කතා කරන්නවත් මේ දරුවන්ට වෙලාවක් ඉතුරු වෙලා තිබුනේ නෑ. ඒ දරුවන්ට තිබුන එකම විවේක කාලය ඉන්දියානු හා කොරියානු පහත් ටෙලිනාට්‍ය මාලා මගින් පැහැරගෙන තිබුනා. අවසානයේ වුනේ, කිසිදු චාරිත‍්‍ර වාරිත‍්‍රයක් දන්නේ නැති, ගුණධර්මයක් ගෑවිලා නැති, ගුරු දෙමව්පියන්ටවත් ගෞරවයක් නැති අමුතුම පිරිසක් බිහිවෙන්නට පටන් ගැනීමයි.
අනෙක් සියලූ බටහිර රටවල් මේ ක‍්‍රමයට ම දරුවන් තල්ලූ කළත් ඒ සියලූ රටවල් අසාර්ථක වෙද්දී ඒ සියල්ල පරදා පින්ලන්තය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අංක එකට පැමිණුනා. කොහොමද මෙතරම් හොඳ තැනකට ආවේ? බටහිර විද්වතෙක් ගිහින් පින්ලන්තයේ අධ්‍යාපන අමාත්‍යවරියගෙන් මේ ගැන විමසා සිටියා.
‘අපි සිසු සිසුවියන්ට ගෙදර වැඩ දෙන්නේ නෑ…’
‘මොනවා…? ගෙදර වැඩ දෙන්නේ නෑ…’
‘ඔව්… අපි දරුවන්ට ගෙදර වැඩ දෙන්නේ නෑ. අපි ඔවුන්ට වැඩිම කාලයක් ලබාදෙනවා ඔවුන්ගේ ළමා කාලය ළමයින් ලෙස ගතකරන්නට… ජීවිතය විඳින්නට…’
‘ගෙදර වැඩ දෙන්නේ නැත්නම් ඔවුන්ට දෙන්නේ ගස් නගින්න ද?’
‘ඔව්… ඔවුන්ට නිදහසේ ගස් නගින්න පුළුවන්. ඒත් ඒ ක‍්‍රියාකාරකම් වලින් ඔවුන් බොහෝ දේ ඉගෙන ගන්නා බව මා දන්නවා. ඇතැම්විට ඔවුන් එන්නේ අලූත් කෘමී සතෙක් ගැන තොරතුරුත් අරගෙන…’
‘පෙර සිසුන්ට සාපේක්ෂව දැන් සිසුන්ගේ පාසැල් කාලවේලාව කොහොමද?’
‘සඳුදට පැය තුනක් විතර… අඟහරුවාදට පැය හතරක් විතර… කොහොම වුනත් සතියට පැය විස්ස ඉක්මවන්නේ නෑ….’
‘එහෙනම් පාසැලේදි විවේක කාලයක් නැතුව ඇති….’
‘නෑ… අපි පැයක විවේක කාලයක් දෙනවා. එයත් ඇතුලූවයි පැය තුන’
‘මොනවා… එතකොට ඉගෙන ගන්න ඒ පොඩි වෙලාව ඇතිද..?’
‘හොඳටම ඇති… දරුවන්ගේ මොළයට වැඩියෙන්ම අවශ්‍ය විවේකයයි. දිගටම වැඩ වල යෙදීම අසාර්ථකයි. එහෙම ඉගැන්නුවාට ඒවා මනසේ රැඳෙන්නේත් නෑ.’
‘පින්ලන්ත සිසුන්ට තමයි පාසැල් පැමිණිය යුතු අඩුම දින ගණන තියෙන්නේ… ඒ වාගේම පාසැල් පැමිණිය යුතු වසර ගණන අඩුම රට මුළු බටහිරින්ම. ඒක තමයි අපි ලෝකයේ අධ්‍යාපනයෙන් අංක 01 ට පැමිණීමේ රහස. අපිට ක‍්‍රීඩාපිටිය නවීකරණය කරන්න හිතුනා කියමු.
කෙලින්ම ගෘහ නිර්මාණ ශිල්පීන් යන්නේ දරුවන් ලඟට’
‘මොනවා… ළමයි කියන විදියටත් වැඩ කරනවාද..?’
‘ඔව්… ළමයි කියන විදියට තමයි’
‘මොනවද ළමයින්ට වැඩිපුරම උගන්නන්නේ…?’
‘අයහපතින් වලකින්නත්…. යහපතේ හැසිරෙන්නත්… අන් අයට ගරු කරන්නත්…’
‘මොනවද ඔබ උගන්වන විෂය…?’
‘ගණිතය’
‘ඔවුන්ට කෙළි සෙල්ලම් කරන්නට ඇතිතරම් කාලය ලැබෙනකොට, යාලූවන් එක්ක සුහදව ඇසුරු කරන්න ලැබෙනකොට, මනුෂ්‍ය ගුණධර්ම වැඩෙනවා. මනුෂ්‍යයින් විදියට වැඩෙනකොට ඔවුන් සාර්ථක වෙනවා.’
‘ඔබට මොකක්ද දෙන්න තියෙන පණිවුඩය..?’
‘දරුවන්ට සෙල්ලම් කරන්නට ඉඩ දෙන්න’
කුමක්ද මේ සිදුවී ඇති පෙරලිය… මෙය පෙරදිග අපට නම් අමුත්තක් නොවේ. අපිට තිබුනේ එවැනි ළමා කාලයක් තමයි. ඒ නිසයි ඒ යුග වලදි ලොව මවිත කරවන නිර්මාණ අප අතින් බිහිවුනේ. දෙමව්පියන් අතින් දරුවන් වෙනුවෙත් ඉටුවිය යුතු යුතුකම් අතර පළමු කරුණු දෙක හැටියට භාග්‍යවතුන් වහන්සේ පවා වදාළේ පාපා නිවාරෙන්ති. කල්‍යාණේ නිවේසෙන්ති. මුලින්ම පවෙන් වලක්වා ගන්න. දෙවනුව යහපතෙහි පිහිටුවන්න යන්නයි. තුන්වෙනි කරුණ සිප්පං සික්ඛාපෙන්ති. අධ්‍යාපනය එන්නේ ඊට පසුවයි.
නැවතත් අපේ රටේ බටහිරට අත නොපා, දෙපයින් නැගී සිටීමට සවිබලසම්පන්න ජාතියක් ගොඩනැගීමට නම්, ආදරණීය අම්මේ තාත්තේ… දරුවන්ගෙන් උදුරාගත් දරුවන්ගේ ළමා ලෝකය දරුවන්ට ආපහු දෙන්න.
ලොව විශිෂ්ඨතම හෙළ ලේඛන ප‍්‍රතිභාව
පසුගිය වසරකට වැඩි කාලයක් අප විවධ මානයන් ඔස්සේ අපගේ අක්මුල් සොයා ගියා… පරපුරෙන් පරපුරට අපහට උරුම වුණ දේශීය ඥානය ගැන… අපට ම ආවේණික වූ වස විස නැති ගොවිතැන හා බැඳුන බොහෝ දේ පිළිබඳ ව… විවිධාකාරයේ විදේශ ආක‍්‍රමණවලින් වත්මන් පරපුරට එල්ලවී ඇති අභියෝගයන් පිළිබඳ ව… භාග්‍යවතුන් වහන්සේ වදාළ විස්මිත ඖෂධ පිළිබඳ ව අප කතා කළා… මෙවර අප තවත් මානයක් ඔස්සේ ඔබ ව අක්මුල් සොයා කැඳවාගෙන යන්නට අදහස් කළා..
එ් තමයි අපගේ විශිෂ්ට ලේඛන ප‍්‍රතිභාව පිළිබඳ ව… අතීතයේ සිට ම හෙළයන් තම දැනුම අන් අය වෙත ලබාදීම සදහා විවිධ ලේඛන ක‍්‍රම යොදාගෙන තියෙනවා.. දැනට සොයාගෙන ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ලෝකයේ ඉපැරණි ම ලේඛන හැකියාවන් අතර අප ප‍්‍රමුඛ ස්ථානයක සිටි බව තහවුරු වී අවසන්.
එ් අතර මුලින් ම අපට හමුවන්නේ සෙල් ලිපි යි. සෙල් ලිපි වර්ග කීපයක් තියෙනවා. එ්වා 1. ලෙන් ලිපි 2. ගිරි ලිපි 3. ටැම් ලිපි 4. පුවරු ලිපි වශයෙන් බෙදා දක්වන්නට පුළුවන්.. එ් ශෛලමය ලිපිවලට අමතරව රන් හෝ තඹ පත් ඉරුවල ලියන ලද ලිපි ලේඛනත් ඉපැරණි ඉතිහාසගත සාක්ෂි වශයෙන් අප සතුව පවතිනවා.
මේ අතරින් ලෙන් ලිපි වශයෙන් හඳුන්වන්නේ ගල් ගුහාවල ඇතුළත හෝ කටාරම් අසල ලියන ලද ලිපිවලටයි. අප රටේ එවැනි ලෙන් ලිපි බොහොමයක් දක්නට පුළුවන්. මිහින්තලේ, වෙස්සගිරිය, රිටිගල වැනි ස්ථානවලට යන ඕනෑම කෙනෙකුට අපගේ මේ අපූරු හැකියාවන් සියැසින් දැකගන්න පුළුවන්.
ගිරි ලිපි කියන්නේ ගල් මත ලියන ලද ලිපිවලටයි. භූමියෙහි මායිම් පිළිබඳ ව විස්තරත්, රාජ්‍ය පාලන ව්‍යවස්ථා වාගේ ම විවිධ පූජාවන් සිදුකරනු ලැබූ දානපතියන් පිළිබඳ විස්තරත් තමයි මේවා තුළ වැඩි වශයෙන් දකින්නට තියෙන්නේ. තෝනිගල අනුරාධපුරයේ වෙහෙරබැන්ද කුටිය වැනි තැන්වල මේ වගේ ලිපි දකින්නට පුළුවන්. සකස් කළ සෙල් කුළුණුවල එක් පැත්තක හෝ පැති කීපයක ලියන ලද ලිපි ටැම් ලිපි වශයෙන් හඳුන්වනවා. බදුලූ ටැම් ලිපියත්, අනුරාධපුරයේ මොරගොඩ ටැම් ලිපියත් මේවාට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.
සකස් කරන ලද ගල් ලෑලි මත ලියන ලිපියි පුවරු ලිපි වශයෙන් හඳුන්වන්නේ. මිහින්තලාව, ජේතවනය, වේවැල්කැටිය, පුලියම්කුලම මෙවැනි පුවරු ලිපි දකින්නට පුළුවන්.
මෙම ලිපි වගේ ම තඹ පත් ඉරුවලත්, රන් පත් ඉරුවලත් ලියැවී තිබෙන සන්නස් වැනි ලේඛන අපගේ අතීත ලේඛන හැකියාවට කදිම නිදසුන්. පල්කුඹුර සන්නස, වල්ලිපුරම් රන් සන්නස මේ සඳහා උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.
මේ ලිපි මගින් යම් පණිවුඩයක් අනාගත පරපුර වෙත නිවැරදිව ලබාදීමට අතීත හෙළයන් විසින් දක්වා තිබෙන හැකියාව ලොව වෙන කවර දේශයකටවත් දෙවැනි වන්නේ නෑ… මිහිඳු මාහිමියන් විසින් අනාගතයේ රුවන්වැලි මහා සෑය ඉදිවන ස්ථානය පිළිබඳ ව කරන ලද හෙළිදරව්ව එම ස්ථානයේ ශිලා ස්ථම්භයක සටහන් කොට, එමෙන් ම රන්පතක සටහන් කොට තම මුණුපුරෙකු වූ ගාමණී අභය නිරිඳුන් වෙත නිවැරදිව ලබාදීමට දෙවනපෑතිස් නිරිඳු විසින් ගන්නා ලද උත්සාහය කෙතරම් සාර්ථක වී ද යන්න අද ඔබ සැම දන්නා කරුණක්.
මහින්දාගමනයෙන් මාසයකට පමණ පසු දෙවනපෑතිස් රජතුමා කරවන ලද මිහින්තලාවේ අට සැට ලෙන් තුළ කොටන ලද ලිපි ලංකාවේ පැරණි ම සෙල් ලිපි වශයෙන් සැලකිය හැකි බව ඉතිහාසඥයන්ගේ මතය යි.
විහාර ආරාම කරවා සඟ සතු කර පූජා කිරීමේ දී ද එම විහාර ආරාමවලට ඉඩකඩම් වැව් අමුණු පූජා කිරීමේ දී ද එ් බැව් මතු පරපුරට තහවුරු වන්නටයි සෙල් ලිපි සහ අනෙකුත් ලිපි පිහිටුවා තියෙන්නේ. එ් වාගේ ම රජවරුන් විසින් විවිධ අණ පනත් මහජනයාගේ දැන ගැනීම පිණිස සුදුසු ස්ථානවල සෙල් ලිපි මගින් ප‍්‍රකාශයට පත් කොට තිබෙන බව දකින්ට පුළුවන්.
එ් වාගේ ම ශාසනය වෙනුවෙන් කරන ලද පුද පූජා ගැන සෙල් ලිපිවලින් ඉතා කදිමට හෙළිදරව් වනවා… පුණ්‍ය චාරිකා රචනා කිරීමේ දී ඓතිහාසික කුඩුම්බිගල වගේ ම බොහෝ ස්ථානවල මුණගැසුන ගල් ලෙන්වල කොටා ඇති අපූරු වැකියක් මතකයට එනවා. ‘‘අගත අනගත චතුදිශ ශගශ” යනු එය යි. ‘‘අතීත අනාගත වත්මන් යන තුන් කාලයට අයත් සතර දිගින් වඩින මහා සංඝයාට පූජා කරන ලදී.” යන්න එහි අරුත යි.
මේ එවැනි ප‍්‍රකට සටහන් කීපයක්.
‘‘පරුමක ගුත පුත පරුමක සුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ”
‘‘ප‍්‍රමුඛ ගුත්තගේ පුතා වන සුමනගේ ලෙණ පැමිණි නොපැමිණි සිව් දිග සංඝයාට පූජා කරන ලදී.”
‘‘මහ රජහ ගමිණි තිශහ බරිය උපශික රමදතය ලෙණෙ ශගශ”
‘‘ගාමිණී තිස්ස මහ රජුගේ භාර්යාව වූ ‘රාමදත්තා’ උපාසිකාවගේ ලෙණ සංඝයාට පුදන ලදී.”
ලෙන් පූජා කිරීම පිළිබඳ ලියැවුණු ලිපි
රැසක් පුරා විද්‍යා ගවේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඇතැම් විට භික්ෂූන් වහන්සේලා ද ගල් ලෙන් කරවා පූජා කරන ලද බවට ඉතිහාසය සාක්ෂි දරනවා. රුහුණෙහි වැලියායෙහි පිහිටුවා තිබෙන සෙල් ලිපියකින් එ් බව පැහැදිලි කර ගන්නට පුළුවන්.
‘‘පුශගුත ථේරෙන බරපිතෙ ලෙණෙ”
‘‘පුස්සගුත්ත තෙරුන් විසින් කරවන ලද ලෙණ යි.”
‘‘මිතගුත තෙරශ දිනෙ අගත අනගත චතුදිශ ශගශ”
‘‘මිත්තගුත්ත තෙරුන්ගේ දානය පැමිණි නොපැමිණි සංඝයාට දෙන ලදී.”
එ් යුගයෙන් පසුව ලේඛනය සඳහා ශාක ද්‍රව්‍ය උපයෝගී කර ගැනීමත් සමඟ ම මෙය විධිමත් ලේඛන කලාවක් වශයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. මෙහි දී ලිවීම සඳහා භාවිත කොට ඇත්තේ ප‍්‍රමිතියකට සකස් කර ගත් තල්පත්. මෙසේ තල් කොළ මත ලියු ලේඛන එකතුව පුස්කොළ පොතක් වශයෙන් හඳුන්වනු ලැබුවා. මෙහි පිටකවරය බොහෝ විට කැටයම් කපන ලද ලීයකින් සකසා වර්ණ ගන්වා අලංකාර කරන ලද අතර එය හැඳින්වුයේ පොත් කම්බාව නමින්. මේ සඳහා රිදී පිත්තල වැනි ලෝහ වර්ග යොදා ගත් අවස්ථා ද හමුවනවා. පොත ගැලවී යාම වැළැක්වීම සඳහා එ් වටා ඔතන ලද ලණුව හඳුන්වන්නේ පොත් හුය යන නමින්. මේ තල්පත් ඉරු මත ලියන උපකරණය හැඳින්වූයේ පන්හිඳ නමින්… පන්හිඳෙන් තල්පත් ඉරු මත ලියන ලද අකුරු පැහැදිලි ව දර්ශනය කර ගැනීම සඳහා පසුව කළුමැදීම කරනු ලැබුවා.
එදා මෙදාතුර ලෝකයට ආලෝකයක් වුණ වටිනා ම සටහන් පෙළ සටහන් වන්නට වාසනාව ලැබුවේ ද මේ තල්පත් ඉරු හා පුස්කොළ පොත යි… එනම් වළගම්බා රජ සමයේ දී මාතලේ අලූ විහාරයේ දී එතෙක් මුඛ පරම්පරාවෙන් දරාගෙන පැමිණි ශ‍්‍රී මුඛ බුද්ධ වචනය මුල් ම වතාවට සටහන් වූයේ ද මේ තල්පත් ඉරු මත යි.
එමෙන් ම ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරපුරක උරුමය සටහන්ව පැවති වටිනා ම ලේඛන වන දීපවංශය, මහාවංශය, ථූපවංශය වැනි ලේඛන ද මුල් වරට සටහන් වුණේ මේ තල්පත් ඉරු මත යි.
ගල් කටුවත්, මිටියත් උපයෝගී කරගෙන ආරම්භ වූ අපගේ ලේඛන කලාව ක‍්‍රම ක‍්‍රමයෙන් විකාශනය වෙමින් සංවර්ධනය වූ ආකාරය අපගේ ඉතිහාසය හැදෑරීමේ දී පැහැදිලි ව දකින්නට පුළුවන්.
මේ යුගයේ දී අපට අකුරු ලිවීම හුරු වන්නට අපූරු උපකරණයක් යොදාගෙන තිබුණා. එය හැඳින්වූයේ වැලිපිල්ල නමින්.
1940 දී ‘අපේ ගම’ කෘතිය ලියා පළ කළ වික‍්‍රමසිංහයන් සිය ජීවිතයේ හතළිස් වසරකට පමණ පෙර සිය මුල් ම අධ්‍යාපන පෙරහුරුව ලැබූ අයුරු සිහි කරන්නේ මෙලෙසින්.
‘මැදැඟිල්ල මත දබරැඟිල්ල තබාගෙන මැදැඟිල්ලෙන් වැලිපිල්ලේ ලොකු අකුරු ලියූ සැටි සිහි කරන විට මා තුළ ප‍්‍රීතිය පමණක් නොව අතීතයට එබී බලන්ට තුඩු දෙන කුතුහලයක් ද හට ගනියි…
ඇඟිල්ලෙන් ලිවීම සඳහා මුහුදු වැලි අතුරන ලද කළු පාට ඵලකයට එකල වැලිපිල්ල යයි කියන ලදී.
මුහුදු වැලි උඩ ඇඟිල්ලෙන් අකුරු ලියත් ම වැලි දෙපැත්තට වීමෙන් හෑරෙන අගලෙන් කළු පාට ලෑල්ල මතුවී පෙනෙයි. එවිට වැලිපිල්ලේ ලියන ලද අකුරු දුර සිට බලන්නෙකුට පෙනෙනුයේ සුදු සායම් ගෑ ලෑල්ලක දැලි අඟුරෙන් ලියන ලද අකුරු ලෙසිනි…
ගල්ලෑලි හා ගල්කූරු පාසලින් පැන්නූ නිසා තීන්ත පෑන් සහ ඇක්සයිස් පොත් බහුල වූ මෙකල ගම්බද ළමයකුට වුව ද වැලිපිල්ල අමතක වූ උපකරණයකැයි සිතමි…
කඩදාසියෙන් සාදන ලද කොපි පොතෙහි මා පිහාටු පෑනෙන් ලියන්ට පටන් ගත්තේ වැලිපිල්ලේ ලිවීමෙන් ටිකක් අත පුරුදු වුණු පසු ය.’
පුරාණ කාලයේ දරුවකු මූලික අධ්‍යාපනය ආරම්භ කළ සැටි ආනන්ද කේ. කුමාරස්වාමි මහතා සිය මධ්‍ය කාලීන සිංහල කලා කෘතියේ (පරිවර්තනය එච්. ඇම්. සෝමරත්න) සටහන් කර තැබූ ආකාරය පහත දැක්වෙනවා.
‘‘අකුරු උගත්තේ ගී තාලයට ශබ්ද නඟා පුන පුනා කීමෙනි. ශිෂ්‍යයා ගුරුවරයා ඉදිරියේ නැඟී සිට, වැසූ පොත නළල මත තබාගෙන, තම පාඩම කට පාඩමින් කීයේ ය. වැරැුදීමක් හෝ ඇනහිටීමක් නොමැතිව හෝඩිය කට පාඩමින් කීමට හැකි වන තාක් අන් කිසිවක් නූගන්වන ලදී. ලිවීම උගන්වන ලද්දේ මේ සවිස්තර පුන පුනා කීම හොඳ හැටි ඉගෙනගත් පසු පමණි. වැලි අතුරන ලද වැලි පිල්ල නම් වූ පටු ලෑල්ලක් මත (ලිවීමෙන්) ලිවීම ඉගෙන ගන්නා ලදී.”
මේ යුගයෙන් පසුව දරුවන්ට ලැබුණ ලිවීමේ උපකරණය ගල් ලෑල්ල යි.
කළු ලෑල්ලේ සටහන් වුණ අකුරු ගල්ලෑල්ලේ පිටපත් කර ගත් අපි එයින් පැන්සලට මාරු වී පැන්සලින් පිහාටු පෑනටත්, එතැනින් තීන්ත පෑනටත්, එතැනින් බෝල්පොයින්ට් පෑනටත්, එතැනින් යතුරු ලියනයටත්, එතැනින් කී පෑඞ් එකටත්, එතැනින් ටච් පෑඞ් එකටත් මාරු වී සිටිනවා.
එ් කවර ලේඛන කලාවක පුහුණුව ලැබුවත්, අතීත හෙළයන් විසින් අනාගත පරපුර වෙත තම දැනුම, හැකියාවන් හා යහ ගුණදම් සම්පේ‍්‍රෂණය කිරීම වෙනුවෙන් ගන්නා ලද උත්සාහය අනාගත පරපුර වෙනුවෙන් ද අඩු නැතිව උරුම කර දීමේ වගකීම අද දවසේ මාධ්‍ය හසුරුවන සියලූ දෙනා වෙත පැවරී ඇති – අත්හැර දැමිය නො හැකි කාර්යභාරය බව සිහිපත් කළ යුතුයි.
සටහන
සුදර්ශන ශී‍්‍ර විජේසිංහ
දහම් ඔසුවෙන් අමා සුව
මුළු ලෝකයට ම සාමය සතුට සැනසිල්ල නිවීම උදාකර දුන් සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල නිමා වෙමින් වෙසක් සඳ අවපසට යද්දී සිරිලකට ම සුවිශේෂී වූ උතුම් පුන් පොහොය දිනයක් උදාවෙනවා.. අනුබුදු මිහිඳු මාහිමියන් එ් සම්බුදුරජාණන් වහන්සේගේ සාමයේ සංදේශය රැගෙන මේ හෙළ දීපය ධර්මයේ ආලෝකයෙන් එ්කාලෝක කළ පොසොන් පුන් පෝය දිනයයි එ්…
පෝයෙන් පෝය ගෙවිල යනව කියන්නේ අපිට ඉතාම දුර්ලභව ලැබුණ මේ මනුස්ස ජීවිතය ගතකරන්න ලැබිල තියෙන කාලය ටිකෙන් ටික නිමා වෙමින් යනව කියන එකයි. ඉතාම දුර්ලභව ලැබුණ මේ බුද්ධ ශාසනයේ උණුසුම ලබන්නට තිබුණ කාලය නිම වෙමින් යනව කියන එකයි.
අසංබ්‍යෙය කල්ප ලක්ෂ ගණන් ඇස් ඉස් මස් ලේ දන්දෙමින් අනන්ත වූ දුකක් විඳලා පාරමී පුරණය කරගෙන බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ මිනිසුන්ට යහපත් සමාජයක් බිහි කරන හැටි කියල දීල යන්න විතරක් නෙවෙයි. මිනිසුන්ට ව්‍යාපාර සාර්ථකව දැහැමිව කරගෙන යන හැටි විතරක් කියාදෙන්නට නෙවෙයි. මිනිසුන්ට ගෘහ ජීවිතය සාර්ථක කර ගන්න විදිය විතරක් කියල දීල යන්නට නොවෙයි. පාලකයන්ට රාජ්‍ය පාලනය මනා කොට කරන ආකාරය විතරක් කියල දීල යන්නට නෙවෙයි.
සිල්පද ආරක්ෂා කරන හැටි විතරක් කියල දීල යන්නට නෙවෙයි. සිත එකඟ කරන හැටි විතරක් කියල දීල යන්නට නෙවෙයි.
බෝසතාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්න ඉස්සරත් එ් හැමදේම ලෝකයේ තිබුණා… රජවරු හොඳින් රාජ්‍ය කළා. රටවැසියන් හොඳින් ජීවිත ගත කළා. බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගන්න දවසේ මහාමායා දේවිය සිල් සමාදන් වෙලයි හිටියේ. එ් කියන්නේ සීලයත් තිබුණා… බෝසතාණන් වහන්සේ මනුලොව ඉපදුණ දා අසිත තවුසා දිවා විහරණයට දෙව්ලොව ගිහින් හිටියේ. එ් කියන්නේ ඉහළ සමාධි ඍධි බල ලෝකයේ තිබුණා.
බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එ් සියලූ දේ ආර්ය පිළිවෙතකට ගළපා දුන්නු බව ඇත්තක්. එ්ත් අපි තේරුම් ගන්න ඕනෙ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන එකේ නියම අරමුණ.
නැත්නම් අපි මේ පෝයෙන් පෝය ගෙවිල ගිහින් ජීවිත අවසන් වෙලා යද්දී බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කොට වදාළ ධර්මයේ නියම අරුත තේරුම් ගන්න අසමත් වෙලා අර මම පෙර කිවුව කාරණාවලට ම සීමා වෙලා ආයෙමත් සසරට ම වැටෙනවා.
බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ එක ම අරමුණකින්.. එ් තමයි අනවරාග‍්‍ර සසර ගමනක පැටලි පැටලී ගිය සත්වයින්ට එ් සසර ගමනින් නිදහස් වන මග කියා දීම..
මේ මුළු සසර ගමන ම හැදිලා තියෙන්නෙ දෘෂ්ටියක වැරැුද්දෙන්.. එ් දෘෂ්ටිය නිවැරදි කර ගත්ත ගමන් එයා සසරට අයිති නැති කෙනෙක් බවට පත්වෙනවා.. එ්ක තමයි සම්මා දිටිඨිය… එ්ක උපදවා ගන්න නම් සක්කාය දිට්ඨිය ප‍්‍රහාණය කර ගන්නට ම වෙනවා.
මේ ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උපමා දෙකේ අර්ථය හරියට වැටහුනොත් උන්වහන්සේ එහි වටිනාකම හමුවේ අනෙක් සියලූ දේට දී ඇති තැන හිතාගන්නට පිළිවන්..
එ්ත් අද අපි කරන්නේ එ්ක ද? එ්කේ අනිත් පැත්ත ද? කියල අපිට නැවත හැරිල බලන්නට පණිවිඩයක් දෙමිනුයි මේ වෙසක් සඳ බැසයන්නෙ.. මේ පොසොන් සඳ උදාවෙන්නේ…
භාග්‍යවතුන් වහන්සේ වදාළා ඔබේ හිසට ගිනි ගත්තා කියල හිතන්න එ් ගින්න නිවන්න ගන්න උත්සාහය පසෙක තබා ඊට වඩා වැඩි වෙර වෑයමක් ගන්න මේ සක්කාය දිට්ඨිය ප‍්‍රහාණය කර ගන්න…
භාග්‍යවතුන් වහන්සේ වදාළා ඔබ ආයුධයකින් පහර කෑවා කියන්න… ආයුධයකින් පහර කාපු කෙනෙක් එ් තුවාලය සනීප කර ගන්නට ගන්න වෑයමට වඩා වැඩි වෑයමක් මේ සක්කාය දිටිඨිය ප‍්‍රහාණය කර ගන්නට යොදවන්න.
මොන වාගේ වෑයමක් ද? දවසට උල් පහර 300 ගානේ වසර 100ක් එක දිගට විඳින දුක හරි විඳින්න කියා වදාළා මේ වෙනුවෙන්…
ඉතින් පින්වත් ඔබ සැවොම සිතන්න… මා එ් බුද්ධාවවාදය පිළිපදින කෙනෙක් ද?
මා මේ කාරණය කියන්නට අදහස් කළේ ද හේතුවක් ඇතිවයි.. අප කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ, ඍජුව ම නිවන් මග නොවන, සමාජ ජීවිතය යහපත් කර ගැනීමට අදාළ දේවල් කියා දෙනකොට බොහෝ දෙනා උනන්දු වෙනවා. එ් ගැන අහනවා. හොයනවා.. එ්ක ම ජීවිතය කරගෙන නවතිනවා… භාග්‍යවතුන් වහන්සේ වදාළ මූලික අරමුණ අමතක කරලා දානවා.. එය එසේ වුවහොත් ඔබ සසරේ පමා විය හැකියි..
අපි පසුගිය කලාපයේ දී කතා කළා භාග්‍යවතුන් වහන්සේ ගිලන් වූ ස්වාමීන් වහන්සේලා උදෙසා පනවා වදාළ බෙහෙත් වර්ග ගැන කරුණු ටිකක්. මෙවරත් අප කල්පනා කළා මහාවග්ගපාළියෙහි භේසජ්ජක්ඛන්ධකයෙහි එන එ් සම්බුදු සිරි මුව මඬලින් ම වදහළ බෙහෙත් වර්ග ගැන කියාදෙන්නට එක් අවස්ථාවක ස්වාමීන් වහන්සේනමක් සර්පයෙකු විසින් දෂ්ට කරනු ලැබුවා. මෙය භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි, ”පින්වත් මහණෙනි, මළ, මුත‍්‍ර, උණු අළු, මැටි යන යන සතර ගෙන මහා විකටය නම් බෙහෙත සාදා දෙන්න.” යැයි අනු දැන වදාළා.
මෙහි දී සර්ප දෂ්ටවලින් වැළකීම පිණිස නිතර භාවිත කරන ලෙස අනුදැන වදාළ ඛන්ධ පිරිතත් සිහියට නැගෙනවා. අප නිතර එ් ආරක්ෂක පිරිත භාවිත කරනවා නම් සර්ප දෂ්ට කිරීම්වලින් ආරක්ෂා වන්නටත් හැකියාව තියෙනවා.
තවත් විටක එක්තරා ස්වාමීන් වහන්සේනමකට දරුණු ග‍්‍රහණි රෝගයක් හටගත්තා. අනෙකුත් ස්වාමීන් වහන්සේලා මේ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළා.
”පින්වත් මහණෙනි, බත් වියළා පුළුස්සා දිය කොට පෙරා ගත් බත් කාරම පොවන්නට අනුදැන වදාරමි.” යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.
තවත් ස්වාමීන් වහන්සේනමකට පාණ්ඩු රෝගය හැදුණා. මේ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ විට ‘‘ගෝමුත‍්‍රයෙහි ලූ අරළු පොවන්නට අනුදැන වදාරමි.” යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.
සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා සුවඳ සහිත ආලේප සමෙහි ගැල්වීම සිදුකරන්නේ නැහැ. එහෙත් එක් අවස්ථාවක සමෙහි ආබාධයක් හටගත් ස්වාමීන් වහන්සේනමකට සුවඳ ආලේපයක් ගැල්වීමට අවසර දී වදාළා.
මේ හැම කරුණකින් ම ප‍්‍රකට වන්නේ උන්වහන්සේගේ මහා කරුණාවයි… අසූචි මළ මුත‍්‍ර වැනි කටුක බෙහෙත් පවා නියම කොට උත්සාහ දරන්නේ ජීවිතය ආරක්ෂා කර දීමටයි… එසේ ආරක්ෂා කර ගත් ජීවිතය තුළ එ් අමා ඔසුව ලබා දී සංසාර රෝගය සුවපත් කිරීමට ම යි.
මෙසේ මහා කරුණාවෙන් පින්වත් ස්වාමීන් වහන්සේලාට අසනීප තත්ත්වයන් සඳහා බෙහෙත් පවා පනවා වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ බෙහෙත් පැනවීමේදීත්, බෙහෙත් වැළදීමේදීත් නිවන් මගට හානිකර වන අංශු මාත‍්‍ර ඇවැතක් හෝ වන්නට ඉඩ තැබුවේ නෑ. උන්වහන්සේ සියල්ලට ම වඩා එ් අමා නිවන පිණිස වන අමා ඔසුව පිරිසිදුව ම තබාගන්නා ආකාරය මේ සිදුවීමෙන් ඔබට පැහැදිලි වේවි.
භාග්‍යවතුන් වහන්සේ සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වඩිද්දී රජගහනුවරට පැමිණුනා. එහි දී භාග්‍යවතුන් වහන්සේට උදරයේ වාතාබාධයක් හටගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා මේ උදරාබාධයට සුදුසු බෙහෙත එ් තමයි තිකුළු කැඳ කියලා. එ්ක හදන්නේ තල, සහල්, මුං කියන තුන් වර්ගය යොදාගෙන. ඉතින් චාරිකාවේ වඩින බැවින් භාග්‍යවතුන් වහන්සේට කීප වරක් මේ බෙහෙත් කැඳ සාදා දෙන්නට සිතා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ තුන් වර්ගය දායකයන්ගෙන් ඉල්ලාගත්තා. බොහෝ ම ශ‍්‍රද්ධාවෙන් එ් බෙහෙත් කැඳ පිළියෙළ කළා.
භාග්‍යවතුන් වහන්සේ දම් සභා මණ්ඩපයේ සිටිය දී ”අනුකම්පාවෙන් මේ බෙහෙත් කැඳ වළඳන සේක්වා!” කියා පිළිගැන්වුවා.
එවිට භාග්‍යවතුන් වහන්සේ, ”පින්වත් ආනන්ද, මේ කැඳ කොතැනින් ද ලැබුණේ?” කියා විමසා වදාළා.
‘‘ස්වාමීනී, මා විසින් මේ ද්‍රව්‍ය ඉල්ලාගෙන මා විසින් ම යි පිළියෙළ කළේ.”
‘‘පින්වත් ආනන්ද, මෙය නොසිදුවිය යුත්තකි. අකැප වූවෙකි. මෙයින් දුකුලා ඇවැත් තුනක් සිදු වේ.” කියා උන්වහන්සේගේ අසනීප තත්ත්වය ඉවසාගෙන එ් බෙහෙත් කැඳ වැළඳීම ප‍්‍රතික්ෂේප කළා.
‘‘පින්වත් ආනන්ද ඇවතක් නො වෙන්නට නම් පිටත තබන ලද, පිටත පිසින ලද, අන්‍යයන් විසින් පිසින ලද දෙයක් විය යුතු ය.” යැයි ද දේශනා කොට වදාළා.
සාමාන්‍ය තත්ත්වයන් යටතේ දී පනවන ලද මේ විනය ඇතැම් දුර්භික්ෂ කාලවල දී ලිහිල් කළ අයුරු ද මෙහි දී දක්නට ලැබෙනවා.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ කායික රෝගවලින් අත්මිදීම පිණිස පනවා වදාළ නොවරදින බෙහෙත් පරිහරණය කරමින් කය නිරෝගීව පවත්වා ගනිමින්, භාග්‍යවතුන් වහන්සේ මහා භයානක වූ සංසාරික රෝගයෙන් අත්මිදීම පිණිස පනවා වදාළ එ් අමා ඔසුවෙන් ද පිහිට පිළිසරණ ලබන්නට අප සැමට වාසනාව උදාවේවා!
මහාමේඝ 2016 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK
සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ
ඔබේ අදහස් අපට කියන්න. අක්මුල් සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න.
076 771 76 44
akmulsoya@gmail.com
ගෞතම නම් වූ මහා වෙදැදුරාණෝ
බක්මාසෙ පුන්සඳ මඩල අවපසට හැරිල ටික දවසක් යද්දි අපේ සිත් සතන් නව බලාපොරාත්තුවලින්, නව පැතුම්වලින් පිරිලා යනවා. කෙමෙන් කෙමෙන් වෙසක් සඳ මඬල කලාවෙන් කලාව මෝරා එද්දී සිතට නව ජීවයක් ලැබෙනවා. අනේ මේ තුන්ලොව සත්වයන්ට මහත් ආදරයෙන්, අනුකම්පාවෙන්, කරුණාවෙන් අප වෙනුවෙන් ම ලොව පහළ වූ අපගේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපත සිදුවූ දා පෑයූ පුන්සඳ මඬල නේ ද මේ උදාවන්නේ….. තුන්ලොවක් වසා පැතිර තිබු අවිද්‍යාවේ මහා ගනඳුර පළවා හැරිය මහා හිරු මඬල වූ ගෞතම සම්බුදුරජුන් එදා නේරංජරාවේ දී දස බිම්බරක් මර සෙන් පරදවා මහ පොළව ගුගුරුවා සම්බුද්ධත්වයට පත්වූදා පෑයු සඳ මඬල නේ ද මේ උදාවන්නේ… අනේ…
පන්සාලිස් වසක් තිස්සේ… සත්වගට මහා කරුණාවෙන් දහසක් සක් ලකුණින් ශෝභමානව තිබූ එ් සම්බුදු සිරිපා ඉදිමී යන තුරු පා ගමනින් දඹදිව් තලය පුරා වැඩම කොට වදාළ එ් මුනිරජාණන් වහන්සේ එ් බුදු කිස නිමවා පහන් සිළක් සේ නිවී ගිය දිනයේ දී පෑයූ පුන්සඳ මඬල නේ ද මේ උදාවන්නේ….
සිංහල බෞද්ධ අපගේ සාදරණීය නව වසර නේ ද මේ උදාවන්නේ… සිත අමුතු සතුටකින්, ප‍්‍රබෝධයකින් පිරී ගිහින්,
අක්මුල් සොයා යද්දී එ් අතීතයේ තිබූ වෙසක් අසිරියත් හිතට නැගෙනවා නිරායාසයෙන් ම වාණිජකරණයෙන් යට නො වූ සුන්දර අතීතයක සති ගණන් මහන්සි වී බට කපාගෙන ඇවිත් වෙසක් පහන් කූඩු බැන්ද හැටි… විදුලි බුබුලූ රජ නො කළ එ් කාලයේ ඉටිපන්දම් එළියෙන් එ් පහන් කූඩු දිලූන හැටි, මිදුලේ ගස් පුරා පාට පාට බකට් එළි දිලූන හැටි …
අත්තම්මා දවස ම සිල් සමාදන් වෙලා පන්සලේ ඉඳලා ඇවිත් ?ට පහන් එළියෙන් අපි වටකරගෙන පන්සිය පනස් ජාතකයේ කතා කියා දුන්න හැටි.
අනේ එ් අපේ නව වසර කොච්චර සුන්දර ද…. එ් කාලේ ආත්තම්මට ආතරයිටිස් තිබුණෙත් නෑ…. සීනි තිබුණෙත් නෑ…. ප්‍රෙෂර් තිබුණෙත් නෑ…. කොලස්ටරෝල් තිබුණෙත් නෑ…
අපි ආත්තම්මා වටකරගෙන රැ හඳපානේ එළිමහනේ හිටියා කියලා අපිට වීස් එක හැදුණෙත් නෑ… අපි බෙහෙත් පෙති බිව්වෙත් නෑ..
ඉතින් මේ වෙසක් සඳත් එක්ක මට හිතුණා අපේ අක්මුල් සොයා යන ගමන තවත් දිසාවකට හරවන්නට. ඔබ අක්මුල් සොයා සමඟ දිගට ම හිටියා නම් ඔබට මතක ඇති මා ඔබෙන් ඇසුවා මේ සිරිලකෙහි සිටින ඉසිවරුන් වන වෙදැදුරන් ගැන….
මමත් තොරතුරු සෙවුවා. ඉතින් මට නම් හමු වුණා මේ තුන්ලෝකෙට ම හිටපු හොඳ ම වෛද්‍යවරයා ආරෝග්‍ය නම් වූ පරම ලාභය ගැන නිතර කතා කරපු…. බුදුරජාණන් වහන්සේ එ් ආරෝග්‍යා පරමා ලාභා කියා හැඳින්වූයේ මේ කෙලෙස් රෝගයෙන් නිදහස් වී ලබන නිරෝගීකම ගැන වුවත් එ් සඳහා යන ගමන් මගේ දී මේ සිත කය දෙක අල්ප ආබාධවලින් යුතු නම් එය ධර්ම මාර්ගයට ඉතා පහසුවක් වග උන්වහන්සේ දේශනා කොට වදාළා.
අසනීප වූ ස්වාමීන් වහන්සේලා උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් ම කළ ප‍්‍රතිකාර හා පිරිත් බොහොමයක් අපට ශාසන ඉතිහාසය හැදෑරීමේ දී හමුවෙනවා… මහාකස්සපථේර බොජ්ඣංග පිරිත, ගිරිමානන්ද සූත‍්‍රය ආදිය භාග්‍යවතුන් වහන්සේ යම් අසනීප තත්ත්වයන් උදෙසා ධර්මයෙන් කළ ප‍්‍රතිකාරයි.
එතනින් නො නැවතුන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැක අවබෝධ කොට වදාළ බෙහෙත් වර්ග රාශියක් විවිධ රෝගාබාධ තත්ත්වයන් වෙනුවෙන් අනුදැන වදාරා තියෙනවා.
සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදු නුවණින් දැක වදාළ ප‍්‍රත්‍යක්ෂ හා නොවරදින මේ ඖෂධ පිළිබඳ ව සියලූ තතු සඳහන් වෙනවා එක්තරා පූජනීය ග‍්‍රන්ථ රත්නයක. එ් තමයි විනය පිටකයේ මහාවග්ග පාළියෙහි භේසජ්ජක්ඛන්ධකය. ඉතින් මා සිතුවා මෙවර අක්මුල් සොයා ලිපි පෙළෙහි ඉසිවරු වන් වෙදැදුරන් ගැන කතා කිරීමේ දී එය ආරම්භ කරන්නට ලොව පහළ වී වදාළ සියලූ රෝගයන්ගෙන් ම සත්වයන් හට සනාතන රැකවරණය සලසා දුන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් විවිධ රෝගාබාධයන්ගෙන් නැගී සිට සුවසේ නිවන් මඟ දියුණු කිරීමට උපකාර පිණිස අනුදැන වදාළ බෙහෙත් වර්ග පිළිබඳ ව ඔබ දැනුම්වත් කරන්නට.
මේ කාලයේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් තමයි අම්ල පිත්ත රෝගය. එහෙම නැත්නම් ගැස්ට‍්‍රයිටිස්. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින දවසක භික්ෂූන් වහන්සේලා පිරිසකට මේ පිත කිපීම නිසා ආබාධ තත්ත්වයක් මතුවුණා. අනුභව කළ ආහාර, කැඳ වර්ග උගුරට එන්න පටන් ගත්තා. ආහාර ශරීරයට
උරාගැනීම අඩු වුණා. ආහාර රුචිය අඩු වුණා. සිරුරු දුර්වර්ණ වුණා. වැහැරුනා. නහර ඉල්පුනා.
ඉතින් මේ භික්ෂුන් වහන්සේලා දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසා වදාළා .
‘‘ආනන්ද කිම ද මේ සිදු වී තිබෙන්නේ?”
එවිට පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ එ් ස්වාමීන් වහන්සේලාට ඇතිවී තිබෙන ආබාධ තත්ත්වය බුදුරජාණන් වහන්සේට සැල කොට වදාළා…
මහා කාරුණිකයාණන් වහන්සේ මෙන්න මේ බෙහෙත එ් සඳහා අනු දැන වදාළා.
– ගිතෙල්
– වෙඬරු
– තල තෙල්
– මී පැණි
– උක් සකුරු
මේ පස් වර්ගය සම ව ගෙන උදේ සහ සවස වළඳන්නට අනුදැන වදාළා. එපමණකින් නො නැවතුන මහාකාරුණිකයන් වහන්සේ මේ ගිලන් ස්වාමීන් වහන්සේලා ගැන වරින් වර සොයා බලමින් කලින් කලට වැළඳිය යුතු බෙහෙත් පන්තියක් ම නියම කොට වදාළා. එ් අතරේ දිවි ඇති තෙක් පරිභෝග කළ යුතු බෙහෙත් වර්ග මෙන් ම කලින් කලට එ් අසනීප තත්ත්වයන් උත්සන්න වන අවස්ථාවන්හි දී වැළඳිය යුතු බෙහෙත් වර්ග ද නියම කොට වදාළා.
එපමණකින් ද නො නැවතුන භාග්‍යවතුන් වහන්සේ එ් බෙහෙත් වර්ග කුඩු කර ගැනීමට, අඹරා ගැනීමට වුවමනා කරන ඇඹරුම් ගල් ආදිය තබාගෙන පරිහරණය කිරීමට ද අනුදැන වදාළා…
තවත් අවස්ථාවක එක්තරා ස්වාමීන් වහන්සේනමකට ඇස් ලෙඩක් හටගත්තා… ඇස් නො පෙනී ගියා… මල මුත‍්‍ර පහකර ගැනීමට යාමට තරම්වත් තමන්ගේ කටයුතු කර ගැනීඹට නො හැකි වුණා. මේ වෙලාවේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා එ් අසනීප ස්වාමීන් වහන්සේට කරුණාවෙන් එ් කටයුතු කර ගැනීමට උදව් වුණා.
මහා කාරුණිකයන් වහන්සේට මේ බව සැල වුණා. උන්වහන්සේ කරුණාවෙන් එ් ඇස් අසනීපයෙන් පෙළුන ස්වාමීන් වහන්සේ වෙත පැමිණ සුවදුක් විමසා සිත සුවපත් කොට මෙම බෙහෙත් නියම කළා.
කළු අඳුන්, රස අඳුන්, ගං හෝ ආදියෙහි උපදින අඳුන්, ලොහෝ අඳුන්, සුවන්ගුරු අඳුන්, පහන්සිළු දැලි අඳුන් සමඟ සඳුන්, තුවරලා, කළු අගිල්, වම්මුතු, තලිස් ආදිය ගෙන ඇසෙහි ගල්වන්නට නියම කොට වදාළා. එසේ සාදාගත් අඳුන් ඇඟිල්ලෙන් ඇසේ නො තවරන ලෙසත්, එ් සඳහා අඳුන්කූර නම් අඳුන් ඇසෙහි ගල්වන උපකරණයත් පිරිසිදු ව පාවිච්චි කරන ලෙසත් අනුදැන වදාළා… එමෙන් ම මේ බෙහෙත් අඳුන බහාලන බඳුන වන අඳුන් තුලාව පියනකින් වසා පියන ද නො වැටෙන ලෙස හුයකින් බැඳ තබාගන්නටත් අනුදැන වදාළා.
මෙම අඳුන් කුරු බිම නො වැටෙන ලෙස කොපුවකින් වසා තබන්නටත්, එ් අඳුන් කුරු හා අඳුන් තුලාව පසුම්බියක දමා එම පසුම්බියට පටියක් දමා උරහිසෙහි එල්ලා තබා ගැනීමටක් අනුදැන වදාළා..
එසේ කොට එ් පින්වත් ස්වාමීන් වහන්සේගේ ඇසේ අසනීපය සුව කර ගන්නට කරුණාවෙන් උපකාර කළ එ් මහා වෙද ඉසිවරයාණෝ මෙම උපකරණ භාවිතය අනාගත කාලයෙහි නිවන් මගෙහි දහම් ඇස පාදා ගැනීමට බාධාවක් විය හැකි බව දැන රනින්, රිදියෙන් ආදි වටිනා ද්‍රව්‍යයන්ගෙන් සාදන ලද අඳුන් කූරු හෝ අඳුන් තුලා භාවිත නො කරන ලෙසත්, සාමාන්‍ය ද්‍රව්‍යයන්ගෙන් සකස් කළ බෙහෙත් ගල්වන හා රඳවන උපකරණ පමණක් භාවිත කරන ලෙසත් උපදෙස් දී වදාළා.
ඉතින් මා කල්පනා කළා ඉදිරි අක්මුල් සොයා ලිපි කීපයකින් මේ මහා වෙද ඉසිවරයාණන් වහන්සේ විසින් මේ ආකාරයෙන් විවිධ රෝගාබාධයන් වෙනුවෙන් පෙන්වා වදාළ ප‍්‍රත්‍යක්ෂ හා නො වරදින බෙහෙත් ඖෂධ පිළිබඳ ව ඔබට හඳුන්වාදෙන්නට. මේ ඖෂධ භාවිතයට ගැනීමේ දී එ් කාලයේ මේ සඳහන් නම්වලින් හැඳින්වූ බෙහෙත් ඖෂධය මේ යුගයේ දී නිවැරදි ව සොයා ගැනීමට පළපුරුදු වෛද්‍යවරයෙකුගේ සහය ලබාගන්නට නම් සිදු වේවි…
ඉතින් ඔබ සැමට මේ ලැබුවා වූ නව වසර, නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!
මහාමේඝ 2016 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK
සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ
ඔබේ අදහස් අපට කියන්න. අක්මුල් සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න.
076 771 76 44
akmulsoya@gmail.com
ශාක ත්‍රස්තවාදයේ අඳුරු පැතිකඩ
අප ශාක ත්‍රස්තවාදයට බිලි වී ඇත
අඅපි පසුගිය කලාපයෙදි කථා කළා අපගේ අවසරය යටතේ ම අපගේ ම වතුපිටිවලට ඇවිත් අපේ ආරාධනයෙන් ම පදිංචි කරවා ගත් අදිසි ත‍්‍රස්තවාදී උවදුරකට අප හසුවී ඇති බව.
එ් වාගේ ම මේ උවදුර ඉතා ම බරපතළ තත්ත්වයකට පත්වෙන්නේ මානව පැවැත්මට ඉතා විනාශකාරී ආකාරයෙන් බලපාන කරුණු කාරණා රාශියක් මේ අදිසි සතුරන් හරහා ක‍්‍රියාත්මකව තිබීම නිසයි.
අපි ගියවර ලිපියේ කථා කළා වාසනාවේ ශාකය විදියට අපේ ගෙවතුවලට හඳුන්වා දුන් පිහිඹියා ශාකය පිළිබඳ ව…
මේකට අපේ ඇත්තන් ගොදුරු වුණේ නුවණින් සිතන්නේ නැති නිසා ම යි කියලයි මා නම් දකින්නේ…. පිහිඹියා ශාකයේ ඵල අපට ආහාරයට ගන්නත් බෑ, ඇට ආහාරයට ගන්නත් බෑ, දැවමය වශයෙන් මහ විශාල වටිනාකමකුත් නෑ… මේ කිසිවක් නැති ගහකින් අද්භූත වාසනාවක් උදා වෙයි කියලයි අපේ ඇත්තන් හිතුවේ…
ඉතින් ඇත්තටම අපිට වාසනාව ගෙනාපු ගහක් ඉස්සර හැම ගෙමිදුලක ම තිබුණා… එ්ක අයින්කරලා තමයි අපි මේක හිටවගන්න තරම් මෝඩ වුණේ…
එ් ගහ කිරි ගහක්…. ගෙඩි කුඩා කාලේ රසවත් ව්‍යංජනයක්… ඊට ටිකක් ලොකු වුණාම මැල්ලූමක්, පැහුනාම තම්බා ගත්විට බතට නො දෙවෙනි කදිම ආහාරයක්, ඉවුවොත් රස උතුරා යන රසවත් ව්‍යාංජනයක්, වේළා ගත් විට වෙනස් රසයක්, ඇට ගත්තොත් රසවත් ව ආකාර ගණනාවකට සකස් කරන්නත් පුළුවන්, කල්තබා ගන්නත් පුළුවන්, ඉදුණා ම ප‍්‍රණීත පලතුරක්.
දැවමය වශයෙන් තියෙන්නේ කිසිදු දැවයකට නො දෙවෙනි වටිනාකමක්, ශක්තියක්… ඉස්සර හැම ගෙවත්තක ම තිබුණ මේ වාසනාවේ සම්පත අහකට දාලා අපේ ඇත්තන් මේ නො පෙනෙන වාසනාවේ නාමයෙන් විනාශය රැගෙන එන පිහිඹියා හිටවා ගත්තා…
ඔබේ ගෙවත්තේ නැත්නම් දැන් ම කොස් පැළයක් රෝපණය කර ගන්න… තියෙනවා නම් තව එකක් රෝපණය කර ගන්න… කොච්චර තිබුණත් වැඩිවෙන්නේ නම් නෑ… එයයි ලාංකික අපගේ සැබෑම වාසනාවේ වෘක්ෂය…!
අපේ ම අනුවණකම අපට හරියට තේරෙන්නට නම් මේ විස්තරය බලන්න.                 කොස් ආහාරයට ගැනීමෙන් කුෂ්ට රෝග හා පරණ තුවාල සුව වන බව සඳහන්. කොස් ගසේ මතුපිට වියළී ගිය පොත්ත ඉවත් කළ පසු යට පොත්තේ සුඹුලූ සූරාගෙන තලතෙලින් මලවා බැද මෙයට ම කහ කුඩු, ඔළිඳ ඇට හා මී පැණි එක්කර අඹරා ගෑම සුදු කබර රෝගයට ද යහපත් ප‍්‍රතිඵල ගෙන දීමට සමත් වනවා.
වැල මදුළු මී පැණිවල බහා තබා උදේට හිස්බඩ කෑමට දීම කක්කල් කැස්සට ගුණදායකයි.
බඩ විරේකය අවශ්‍ය වූ විට හිස්බඩ බඩ පිරෙනතුරු වැල මදුළු කන්නට දීමෙන් බඩ විරේකය වන අතර බඩවැල් හොඳින් පිරිසුදු වනවා.
නින්ද නො යන අයට ඉතාමත් ළා කොස් දළුවලින් මාළුව උයා කන්නට දීම මෙන් ම කොස් නැටි තම්බා පානය කිරීම ගුණදායක වන බව සඳහන් වනවා.
මත් ගතියට ළපටි කොස් ගෙඩියක ඉස්ම ගෙන පොල්කිරිවලින් අනා හකුරු සමග කන්නට දීම ගුණයි.  ඕනෑම මත් ගතියකට මෙය ඔසුවක්.
කොස් කොළ හා මිනී මල් පැළෑටියේ (පස් පෙති* මුල් එකට දමා තම්බා බීම දියවැඩියාවට ඔසුවක්.
ඉදුණු කොස් කොළ තල තෙලින් බැද කෑමට ගැනීම මුත‍්‍රා රෝගවලට ගුණදායකයි. සරුවට වැඩුණු අමුකොළ සහ කොස් පොතු තැම්බූ කසාය මුත‍්‍රාගල් දියවීමට උපකාරී වෙයි.
ඉදුණු කොළ වේළා රත්වනතුරු බැද කුඩුකර කෝපි මෙන් බීමට ගැනීමත් දියවැඩියාවට යහපත් ගුණ දෙනවා.
දියවැඩියාවට අත් බෙහෙතක් –
කොස් කොළ කලං 16 යි, කොස් මුල් කලං 03 යි, කොතල හිඹුටු කලං 03 යි, වතුර කාල් 08 යි.
වතුර කාල් 08 කාලට සිඳුවා මී පැණි අනුපාන දමා බීම ගුණයි. මී පැණි වැඩි වශයෙන් ගැනීම නම් දියවැඩියාවට අගුණයි.
පැහැපත් මුහුණකට –
පැසුණු කොස් මදුළු ආහාරයට ගැනීමෙන් රුව වැඩි වැඩියෙන් ලස්සන කරගත හැකියි. සිරුරේ අධික කෙට්ටු බව නැති කිරීමට ද කොස් ආහාරයට ගැනීම ගුණදායකයි.
පැසුණු කොස් මදුළු දෙහි ඇඹුලෙන් අඹරා රාති‍්‍රයේ දී මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් බව ඇතිකර ගත හැකියි.
කොස් ඇට
x    මස් වඩවයි
x    මලබද්ධය දුරලයි
x    ජීර්ණ පද්ධතිය පිරිසිදු කරයි
x    ඇඟ සිසිල් කරයි
ඉතින් මේ මහා වාසනාවේ වෘක්ෂය පසෙක ලා කිසිදු ඵල ප‍්‍රයෝජනයක් නැති ගසක් සිටුවන්නට අපේ මනස වෙනස් කරන්නට මේ බටහිර ආක‍්‍රමණිකයන් සමත්වෙලා තිබෙනවා.
අපි පසුගිය වර කථා කළා මේ අදිසි සතුරන් කීප දෙනෙක් පිළිබඳ ව. මේ අතරින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වනවා මානව රෝග කාරක (වෛරස් බැක්ටීරීයා) නිපදවන ශාක පිළිබඳ ව.
මෙහි දී මුල් තැනට එන ශාකය නම් අප කවුරුත් දන්නවා. එ් තමයි දුම්කොළ ශාකය. එය මේ වන විට කර ඇති විනාශය අප සැවොම දන්නා දෙයක් නිසා මා එය ගැන කතා කරන්න උත්සාහ කරන්නේ නෑ.
ඔබ නො දන්නා එහෙත් ඔබ ළඟ ම ඉන්න තවත් විනාශකාරී සතුරන් කීපදෙනෙක් අද හඳන්වා දෙන්නම්. එ් තමයි,
ඇරොව්කේරියා (araukeria)
මෙය අද සුලභව ගෙවතුවල අලංකාරයට වවන විදේශිය ශාකයක්. මෙය මගින් පිළිකාකාරක ශ්වසන ආබාධ ඇතිකරන වෛරස් වසංගත රෝග කාරක හා පිරිමින් වඳ භාවයට පත් කෙරෙන ගුවනේ පාවෙන වෛරස් නිපදවා පරිසරයට මුදා හරින බව අද තහවුරු වී තිබෙනවා.
මේ අතරට සියලූ ම ඇරොව්කේරියා (araukeria) ප‍්‍රභේදත්, සයිප‍්‍රස් (Sypres) වර්ගත්, සැගෝ ෆාම් (Sago Palm) වර්ගත් අයත්.
වසර 30, 40කට පෙර අප ජන සමාජය තුළ දක්නට නො වු විරූ ලෙස මේ වනවිට ළමා පරපුර තුළ ශ්වසන රෝග බොහෝ වැඩි වී තිබෙන බව ඔබ දන්නවා. බොහොමයක් කූඩා ළමුන් ඇදුම රෝගයෙන් පීඩා විඳිනවා…. එ් වාගේ ම වැඩිහිටියන් පෙනහලූ රෝගවලින් පීඩා විඳ පෙනහලූ පිළිකාවලින් මරණයට පත්වන ප‍්‍රමාණය බෙහෙවින් ඉහළ යාමට මේ නො පෙනෙන සතුරන් ප‍්‍රබල දායකත්වයක් සපයා තිබෙනවා.
විදේශ රටවල මෙම අනතුර දැනගත් වහා ම මෙම විනාශකාරී ශාක ගලවා ගිනි තබා දමද්දී අප විහාල මුදලක් ගෙවා මේවා රැුගෙන විත් තම ගෙවතුවල සිටුවා දරුවන් මෙන් බලා ගන්නා තැනට අද පත්වෙලා ඉස්සර අපේ ගෙවත්තේ තිබුණා මිරිස් පැළ කීපයක්, කොච්චි පැළයක්, ගොටුකොළ පාත්තියක්, කතුරු මුරුංගා පැළයක්, මුරුංගා ගහක්, කරපිංචා ගහක්, රම්පෙ ගහක්, සේර පැලයක්, කහ පඳුරක්, ඉඟුරු පැළයක්,
අද මේවාට මොකද වුණේ… එ්වා අපෙන් ඈත්වෙලා ගියා. එ් වෙනුවට රූපවාහිනියෙන් දැන්වීම්වලින් අන්තර්ජාලයෙන් අපේ ඔළු ඇතුළට රිංගවපු කිසිම ඵල ප‍්‍රයෝජනයක් නැති, ලස්සන නම් ටිකක් විතරක් තියෙන, සැඟවුණ මහ අනතුරක් තියෙන ශාක ටිකක් අපේ පෝච්චිවලට, අපේ ගෙවත්තට අපි සල්ලි දීලා අරගෙන ආවා.
ඉතින් මේ අනතුර අපි හඳුනාගෙන අපි එ්කෙන් වහ වහා අත් මිදුනේ නැත්නම්… අපිට හිතකර වුණ, අපේ සෞඛ්‍යය සුරකින, අපිත් එක්ක වසර දහස් ගණනක් මිතුරුව සිටිය ගස්වැල් එක්ක නැවතත් මිතුදම ගොඩනගාගන්නට අප අසමත් වුණොත්… අපේ විනාශය වැඩි ඈතක නැහැ.
(මේ පිළිබඳ ව අපට තොරතුරු සපයා දුන් පරිසර හා මානව හිතකාමී ජාත්‍යන්තර සංවිධානයේ නිර්මාතෘ පරිසර ගවේෂක පී. එම්. එදිරිසිංහ මහතාට විශේෂ ස්තුතියක් පිරිනමමි.)
මහාමේඝ 2016 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK
සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ
ඔබේ අදහස් අපට කියන්න. අක්මුල් සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න.
076 771 76 44
akmulsoya@gmail.com