ලක්දිව රහත් මුනිවරු | Mahamegha Magazine

පෙර ජීවිතයේ මුවෙකු ව ඉපිද බණ ඇසූ කුසලයෙන් අරහත්වයට පත් වූ ලක්වැසි මුනිවරයා.
ධර්මස්වාමී වූ අප භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව දෙව් මිනිසුන්ට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කළ සේක. පුරා සතලිස් පස් වසක් ම උන්වහන්සේගේ බුදු මුවින් පිට වූයේ සත්වයාව සසර සැඩ පහරින් එතෙර කරවන අමෘතය බඳු වූ ශ්‍රී සද්ධර්මය යි.

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් ඒ තථාගත ශ්‍රී සද්ධර්මය ක්ෂීණාස්‍රව මහරහතන් වහන්සේලා විසින් ද වදාරන ලද්දේය. ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසු ශිෂ්‍ය රහතන් වහන්සේලාත් ඒ දහම් සක ප්‍රවර්තනය කරමින් සිටියහ.

රහත් සඟ පරපුරෙන් පරපුරට පැමිණි ඒ තථාගත ශ්‍රී සද්ධර්මය ශාස්තෘත්වයෙන් පිදුම් ලබන්නේය. භාග්‍යවතුන් වහන්සේ වදාළේ, “ආනන්ද, මා විසින් යම් ධර්මයක් දෙසන ලද්දේ ද යම් විනයක් පනවන ලද්දේ ද මාගේ ඇවෑමෙන් පසු ශාස්තෘහු බවට පත්වන්නේ ඒ ධර්ම විනය යි.” යනුවෙනි. අපගේ ශාස්තෘන් වහන්සේගේ පුත්‍ර රත්නයක් වූ අපගේ ආදි ගුරුදේවෝත්තම මහා මහින්ද මහරහතන් වහන්සේ තම නිකෙලෙස් හදමඬලෙහි ඒ උතුම් ධර්ම විනය දරාගෙනයි මේ පුංචි ලක්දිවට වැඩම කළේ. උන්වහන්සේ ඒ උතුම් වූ ධර්ම විනය මේ ලංකාද්වීපයේ මනා කොට පිහිටුවා වදාළ සේක. මිහිඳු මහරහතන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අසා පැහැදුනු සිංහලයෝ ධර්මරාජයන් වහන්සේ සරණ ගියෝය. ඒ දහම් සවනට වැටෙත් ම ලක්වැසි මහා පින්වන්තයෝ ගිහිගෙවල් හැරදමා බුදු සසුනෙහි පැවිදි වී අමා මහ නිවන අවබෝධ කළෝය. මෙසේ සියදහස් ගණනින් ලක්දිව රහතන් වහන්සේලා ද බිහිවෙන්නට පටන් ගති. ඒ උතුම් මුනිවරු ද මේ චතුරාර්ය සත්‍යය ධර්මයම ප්‍රකාශ කළෝය.

මේ තථාගත ශ්‍රී සද්ධර්මය මහා අසිරිමත් ආනුභාව සම්පන්න වූවකි. සත්වයාට දෙව් මිනිස් සැප පමණක් නොව නිවන් සැපය පවා ලබාදෙන්නේ මේ ධර්මයෙනි. මේ ලෝකයෙහි සත්වයාට සියලු සැප ලැබෙන්නේ ධර්මයෙන් ම ය. අධර්මයෙන් නොවේ. මෙලොවත් පරලොවත් උතුම් වන්නේ ධර්මය ය. මේ ධර්මය නම් සසර සයුරෙන් එතෙර කරවන මහා නෞකාවක් වැනිය. සියලු රසයන්ට වඩා ධර්ම රසය උතුම් වන්නේය. බුදුරජුන් ජීවමාන කල මිහිරට ධර්මය කියන ශබ්දයට සවන් දෙමින් සිටි ගෙම්බෙක්, ගොපල්ලෙකුගේ කෙවිටට යටවී මරණයට පත් වී දෙව්ලොව මණ්ඩුක නම් දිව්‍ය පුත්‍රයෙකු ව ඉපිද බොහෝ සැප සම්පත් විඳින්නේය. මෙසේ ධර්මය කියන්නා වූ ශබ්ද මාත්‍රයක් අසා එපමණ කුසල් බලයෙන් දෙව්ලොව රැකවරණය ලැබෙන්නේ නම් මේ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කොතරම් නම් ආනුභාව සම්පන්න ද? මේ ලක්දිව ද තිරිසන්ගත ව ඉපිද ධර්මය දේශනා කරන ශබ්දයට පැහැදී ඒ කුසල් බලයෙන් මනුලොව ඉපිද උතුම් බුදු සසුනෙහි පිහිට ලබාගත් ලක්වැසි රහතන් වහන්සේ

නමක් ගැනයි අද සිත පහදවා ගන්නට ලැබෙන්නේ.

මේ ලක්දිව ඉතා සුන්දර වූ උදළුකුළු නම් විහාර ආරාමයක් පිහිටා තිබුණේය. ඒ විහාරයට නුදුරු වූ සමීප වනයෙහි ඌරන්, මුවන් ආදී වූ බොහෝ සිවුපාවෝ වාසය කරති. එකල ගමක වාසය කරන වැදි පුත්‍රයෙක් දඩයමක් කර ගැනීමට සිතා ඒ වනයට පිවිස දුනු හී මානාගෙන මුවන් එනු බලා හැංගී සිටියේය. එකල්හී එක් මුවෙක් තණකොළ කමින් පැන් බොනු පිණිස පැන් තොටට යමින් සිටියේය. ඒ මොහොතෙහි ම, අසල විහාරයෙහි බණ කියන ශබ්දය අසා ධර්ම දේශකයාණන් වහන්සේගේ මිහිරි ස්වරයෙහි පැහැදී කර දික්කොට උඩට එසවූ කන් ඇතිව දකුණු පය බිම නොතබා ඒ නිමිත්ත ග්‍රහණය කොට නිශ්චලව සිටියේය. එකෙණෙහි ම සැඟවී සිටි වැදි පුත්‍රයා ධර්ම දේශනා ස්වරයෙහි පැහැදී සිටි මුවාට එකම හී පහරක් විද මරණයට පත් කළේය. ඒ මුවා කාලක්‍රියා කොට එම වෙහෙරෙහි වසන අභය නම් මහ තෙරුන් වහන්සේගේ නැගණියගේ කුසේ පිළිසිඳගෙන සුදුසු කල මව්කුසින් බිහිව ක්‍රමයෙන් වැඩී සත් හැවිරිදි වයසට පැමිණියේය. එකල්හී ඒ පුත්‍රයා මව්පිය දෙදෙනාගෙන් නිතරම පැවිදි වීමට අවසර ඉල්ලයි. ඉන්පසු මව්පියන් විසින් ඔහුව අභය මහ තෙරුන් වහන්සේ සමීපයට කැඳවාගෙන යනු ලැබිණ. මහ තෙරුන් වහන්සේ නොබෝ දවසකින් කර්මස්ථාන දී ඔහුව මහණ කරවූ සේක. ඒ සාමණේරයන් වහන්සේ කලින් ජීවිතයේ මුවෙකුව ඉපිද ධර්මය ශ්‍රවණය කළ කුසලයේ ආනුභාවයෙන් කරගෙහ දී ම අරහත්වයට පත් වූ සේක. උන්වහන්සේගේ ඥාතී වූ අභය මහ තෙරුන් වහන්සේ වනාහී පංච අභිඥා පමණක් ඇති සේක. අරහත්වයට පත් නොවී වාසය කරන සේක.

එක් දවසක් සාමණේර රහතන් වහන්සේ, උපාධ්‍යායන් වහන්සේ සමීපයට එළඹුණු සේක. ඒ වෙලාවෙහි උන්වහන්සේ අත දික්කොට අත්ලෙන් සඳමඬල පිරිමදිමින් සිටි සේක. එය දුටු සාමණේරයන් වහන්සේ මහ තෙරුන් වහන්සේ අරහත්වයට පත් නොවූ බව දැන සංවේගයට පත් කිරීමට සිතා, “ඔබවහන්සේගේ ඍද්ධි මහිමය රැක තබා වදාළ යහපතැයි” කියූ සේක. අභය මහ තෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේ අරහත්වයට පත් වූ බව නොදැන ඒ වචනය මෙනෙහි නොකළ සේක. ඒ බව දැන සාමණේර රහතන් වහන්සේ ඍද්ධි බලයෙන් දහසක් සඳ මඬුලු ගෙන හැර තෙරුන් වහන්සේට දක්වා, “ස්වාමීනි, සඳ මඬුලු සියයක්, දහසක්, ලක්ෂයක් ගෙනහැර දැක්වීම බැරි දෙයක් නෙවෙයි. යම් භික්ෂුවක් එකම තෘෂ්ණාව දුරු කොට වදාළේ වේ නම් එයයි උත්තම වන්නේ.”යි කියා උපාධ්‍යායන් වහන්සේට මෙසේ අනුශාසනා කළ සේක.

“යම්කිසි පුරුෂයෙක් මුහුද දක්නා පිණිස ගොස් වෙරළේ සිට මහා සමුද්‍රය දැක ගැඹුරු ජලයෙහි තිබෙන දසවිධ රත්නයන්, කොරල් පර ආදී වූ කිසි විශේෂයක් දක්නට නිසි දිව්‍ය ඥානයක් නැතත් දුටුව දේ පමණක් ම සිතින් ගෙන ‘මහා සමුද්‍රය මම දැක්කෙමි’ යි කියා ද එපරිද්දෙන් ම මේ ශාසනයෙහි යම් භික්ෂුවක් ස්ථීරව ම නොපවතින අභිඥා බලයෙන් කෙලෙස් ප්‍රහාණය නොකොට ‘මම අරහත්වයට පත් වූයෙමි’ යි සිතන්නාහු වී නම් ඔහු තෘෂ්ණා දාසභාවයෙන් නොමිදී ම වාසය කරන්නේය. යම්කිසි භික්ෂුවක් එබඳු තෘෂ්ණාව ප්‍රහාණය කළේ නම් මාර උගුලෙන් මිදුනේය.” යැයි වදාළ සේක. මෙසේ සාමණේරයන් වහන්සේ වදාළ අනුශාසනා ධර්මය අසා අභය මහතෙරුන් වහන්සේ විදර්ශනා වඩා එදවසේ ම අරහත්වයට පත් වූ සේක.

ඉක්බිති දෙවන දවසේ අභය මහතෙරුන් වහන්සේගේ නැගණිය වන සාමණේර රහතන් වහන්සේගේ මව්වන උපාසිකාවෝ එම දෙනමට ම දානයට ආරාධනා කළෝය. එවිට මහ තෙරුන් වහන්සේ “උපාසිකාවෙනි, අද බොහෝ භික්ෂූන් දැක ඔබ විසින් සිත පහදවා ගත යුත්තේය. ඔබ විසින් දානය පිළියෙල කළ යුත්තේ දෙනමකට පමණක් ය.” යැයි වදාරා පිටත් කළහ. ඉන්පසු දානයට වැඩිය යුතු වේලාව පැමිණි පසු තිස්දහසක් පමණ භික්ෂූන් සමඟ ගමට වැඩි සේක. උපාසිකාව භික්ෂූන් වහන්සේලා දැක සහෝදරයන් වහන්සේටත්, පුත්‍රයන් වහන්සේටත් ආසන දෙකක් පැනවූවාය. ඒ ආසන දෙදෙනා වහන්සේගේ ආනුභාවයෙන් තිස්දහසක් පමණ විය. හැමදෙනා වහන්සේ ම තමන් වහන්සේට පැණවූ ආසනවල වැඩ හුන් සේක. එකල්හී දෙනමකට පමණක් සෑදූ දානය ආදී සියල්ල ම තිස්දහසක් සංඝයා වහන්සේලාට ම ප්‍රමාණවත් විය. ආහාර වළඳා අවසන් වූ පසු උපාසිකාවෝ, දුන් දනෙහි අනුසස් අසනු කැමතිව සාමණේර රහතන් වහන්සේගේ පාත්‍රය රැගෙන සිටියහ. උන්වහන්සේ මිහිරි හඬින් බණ වදාළ සේක. ඒ ධර්ම දේශනාව අවසානයෙහි මව්පිය දෙදෙනා ආදී කොට ඇති පන්සියයක් පමණ ස්ත්‍රී පුරුෂයෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඒ ධර්ම දේශනය බොහෝ දෙනාට යහපත උදා කළේය.

යමෙක් තුනුරුවන් විෂයෙහි සිත පහදවාගෙන ධර්ම ශ්‍රවණය කළේ නම් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලැබීම පුදුමයක් නොවේ. නිර්වාණ සම්පත්තිය ලැබීම පිණිස ද එය උපකාර වන්නේය. එම නිසා, “මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මය යි” යන බුදු වදන කෙතරම් සත්‍යයක් ද? ඒ ධර්මය ලෝකයාට දේශනා කළ මහා කාරුණික වූ ධර්මරාජ වූ අප මහා මුනීන්ද්‍රයාණන් වහන්සේව සරණ යන්න ලැබීම කෙතරම් නම් භාග්‍යයක් ද? ඒ බුද්ධ රත්නයට නමස්කාර වේවා! ධර්ම රත්නයට නමස්කාර වේවා! සංඝ රත්නයට නමස්කාර වේවා !

ධර්ම ශ්‍රවණානුභාවයෙන් අරහත්වයට පත්ව ලංකාවෙහි උදළුකුළු විහාරයේ වාසය කළ ඒ සාමණේර රහතන් වහන්සේට අපගේ වන්දනාව වේවා! එසේ ම, සාමණේර රහතන් වහන්සේගේ අනුශාසනාව හිස් මුදුනින් නිහතමානීව පිළිගෙන සංවේගය උපදවා අරහත්වයට පත් වූ අභය රහතන් වහන්සේටත් නමස්කාර වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

චූලනාග රහතන් වහන්සේ.
ලොවේ කිසිවෙකුට සමාන කළ නොහැකි අසම වූ වීර්යයකින් හෙබි බුද්ධ වීරයන් වහන්සේ කෙලෙස් යුද්ධය ජයගෙන අමා දම් බෙදා දුන් සේක. පුරා සතලිස් පස් වසක් දෙව් මිනිසුන්ගේ කෙලෙස් ගිනි නිවා දුන් මහා වීර වූ අප භාග්‍යවතුන් වහන්සේ අමා රොන් බෙදා දුන් බුද්ධාරවින්දය වන සේක. ඒ අමා රොන් පානය කොට සැනසීමට පත් වූවෝ නම් බුද්ධ රාජයාණන් වහන්සේගේ හද මඩලින් උපන් ඖරස පුත්‍රයන් වහන්සේලායි. තුන් ලෝකය ම සත්‍යයෙන් නැහැ වූ සච්ච ධීරයන් වහන්සේ මහා පෘථිවිය සම වූ පෘථුල ප්‍රඥාවෙන් ද මහා සයුර සම වූ බුද්ධ ප්‍රඥාවෙන් ද යුතු වන සේක. කරුණා ආකරයක් වූ මහා කාරුණිකයන් වහන්සේගේ කාරුණික නේත්‍රයට මේ සුන්දර දිවයින ද හසු වූ සේක. ඒ නිසා ම තුන්වරක් වැඩම කිරීමෙන් පූජනීයත්වයට පත් කොට, ධර්මද්වීපය වන බවට අනාගත ඤාණයෙන් බලා වදාරා සක් දෙවිඳුට භාර කළ සේක. ශක්‍රාති ශක්‍ර වූ අප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය සත්‍ය කරමින් මහා මහින්ද මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට මැනවින් බුදු සසුන පිහිට වූ සේක. උන්වහන්සේ සිංහලයන්ගේ අපා ගිනි නිවාලූ සේක. බුදුන් සරණෙහි පිහිට වූ සේක. ලක්දිව මිනිසුන්ට අමා ගුණ බෙදා දුන් ශ්වේත අරවින්දය වන සේක. මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ප්‍රඥාවත්, අනුකම්පාවත් නිසා ලක්දිව මගඵලලාභීන් බිහිවෙන්නට පටන් ගත්තේය. ලංකාද්වීපය බොහෝ සිංහල රහතන් වහන්සේලාගෙන් පිරී පැවතුණි. උන්වහන්සේලා තුළ තිබුණු අපමණ වීර්යයත්, විමුක්තියට කැපවීමත් පුදුම සහගත ය.

අප්‍රමාණ වීර්යයෙන් යුතු එක්තරා භික්ෂූන් වහන්සේනමක් සත් දින බැගින් සතර ඉරියව්වෙන් ම වාසය කළ සේක. සිව් වැනි සත් දිනෙහි විදර්ශනාව වඩා රහත්භාවයට පත් වූ සේක. එසේ ම ඛණ්ඩසේල විහාරයේ විසූ පධානීය තෙරුන්ට පධානඝරයේ හිඳ අරියවංශ සූත්‍ර දේශනාව අසමින් සිටිය දී සර්පයෙක් දෂ්ට කළේය. ඒ ගැන දැනගෙනත් ධර්ම දේශනාවට බාධාවක් වෙයි සිතා නොකියා, සිත පහදාගෙන ම ධර්මය ඇසූ සේක. තමන්වහන්සේ රැකි උතුම් ශීලය ආවර්ජනය කොට පිරිසිදු සිල් ඇත්තෙක් වෙමි යි ප්‍රීතියට පත් වූහ. ප්‍රීතිය ඉපදීමත් සමඟ ම ශරීරය පුරා විෂ ගමන් කිරීම නැවතී පොළොවට බැස්සේය. තෙරණුවෝ එතැනදී ම විදසුන් වඩා රහත් වූහ. මෙසේ අප්‍රමාණ වීර්යයෙන් යුතු ව රහත් වූ උත්තමයෝ ගණන් කළ නොහැකි තරම් ප්‍රමාණයක් මේ ලක්දිව වැඩ විසූහ. උන්වහන්සේලා ගිරිගුහාවල, ඈත වන සෙනසුන්වල කේෂර සිංහ රාජයන් බඳුව හුදෙකලාවේ ම වැඩ විසූහ. උන්වහන්සේලා සියලු සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්, කරුණාවෙන්, දයාවෙන් යුතු ව වැඩ විසූහ. තිරිසන් සහගත බැල්ලියකට කරුණාවෙන් යුතුව බඩගිනි නිවීම සඳහා දනක් දී දිට්ඨධම්මවේදනීය වශයෙන් ඒ පුණ්‍ය කර්මයේ අපමණ ඵල විපාක විඳ උතුම් අග්‍ර ඵලය වන අරහත් ඵලය ලැබූ ලක්වැසි උතුම් රහතන් වහන්සේනමක් ගැනයි අද සිත පහදවා ගන්නට ලැබෙන්නේ. එනම් චූලනාග රහතන් වහන්සේ ගැනයි.

ලංකාද්වීපයෙහි අනුරාධපුරයේ දකුණු අකුධාතූන් වහන්සේ තැන්පත් ථූපාරාම නම් වූ ආශ්චර්යයවත් දාගැබ පිහිටි විහාරයෙහි අසිග්ගාහක නම් පිරිවෙනේ උත්කෘෂ්ට පිණ්ඩපාතිකාංගය රකින චූලනාග නම් තෙරුන් වහන්සේනමක් වැඩ වසන සේක. නිරන්තරයෙන් අනුරාධපුර නුවර චන්ද්‍රවංක වීථියෙහි පිඬුසිඟා වඩින සේක. ඉක්බිති එක් දවසක් පිඬුසිඟා ගොස් නැවත විහාරයට පැමිණ වළඳා විවේකයෙන් වැඩ සිටිනා විට එක් බැල්ලියක් දරුවන් වදා බඩසයින් පීඩිත ව වෙවුලන ශරීරයෙන් යුතු ව කිසි ආහාරයක් නොලැබ උන්වහන්සේ ඉදිරියෙහි මූණ බල බලා සිටියාය. තෙරුන් වහන්සේ එපරිද්දෙන් සිටියා වූ බැල්ලිය දැක හදවත කරුණාවෙන් බර වී සිතනා සේක්, “මේ සසර දුක නුවණින් සිතනා කල ඉතා භය එළවන්නේය. දවසක් මුළුල්ලෙහි ඇවිද්දත් කුස පිරෙන ආහාරයක් නොලබන්නේය. මහජනයෝ ගල් කැට, දඬු මුඟුරුවලින් ගසා එළවති. ඒ ඒ තැන වැටෙමින් දුක් විඳිති. අකුසල විපාක නම් භයානක දෙයක් ය. අකුසල් කරන සත්ත්වයෝ මේ බැල්ලිය සේ ම දුකට පත්වන්නේය. යම් කෙනෙක් සා දුකින් පීඩිත වූ සත්ත්වයෙකුට ආහාර ටිකක් දන් දුන්නොත් ඒකාන්තයෙන් ම ත්‍රිවිධ සම්පත්තිය ම ලබන්නේය.” මෙසේ නොයෙක් කාරණා සිතා තෙරුන් වහන්සේ කරුණාවෙන් පිරුණු සිත් ඇති ව අතින් දිය යුත්තක් නොදැක මා වැළඳූ ආහාරය වී නමුත් මේ බැල්ලියට යහපත් ම යැයි සිතා එක් තැනක වැලි ඉවත් කොට ඇඟිල්ලක් මුඛයෙහි බහා වමනය කොට අහර දන් දුන් සේක. එසේ ම පැන් ගෙනවුත් දුන් සේක. ඒ බැල්ලිය බත් කා පැන් බී සතුටට පත් වී නඟුට සලමින් සාදර දක්වා තෙරුන් වහන්සේ දිහා බල බලා සිටියාය. චූලනාග තෙරුන් වහන්සේ එය දැක ප්‍රීතියෙන් පිරුණා වූ සිත් ඇති ව නිර්වාණ සම්පත්තිය ම ලැබේවා යි ප්‍රාර්ථනා කළ සේක.

එතැන් පටන් බැල්ලිය ද විහාරයට එයි. තෙරුන් වහන්සේ ද බැල්ලියට සුදුසු පරිදි බත් දෙන සේක. චූලනාග තෙරුන් වහන්සේගේ කුශල කර්මය මේ ජීවිතයේ දී ම විපාක දෙන්නට පටන් ගත්තේය. තෙරුන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් ඒ දවසේ ම සවස නොයෙක් දහස් ගණන් උපාසක උපාසිකාවන් ගිතෙල්, මී සකුරු ආදී වූ ගිලන්පස ගෙන්වා චූලනාග තෙරුන් වහන්සේ කොහිදැයි සොයමින් ඒ සියල්ල ම පිළිගැන්වීය. ඒ සියලු දේවල් නොයෙක් දහස් ගණන් භික්ෂූන් වහන්සේලාට දන් දී තමන් වහන්සේත් වැළඳූ සේක. මිනිසුන් විසින් නොයෙක් බෙහෙත් වර්ග ද පූජා කරන ලද කල්හි ඒවා ද භික්ෂූන්ට දන් දුන් සේක. එසේ ම රාත්‍රියෙහි දේවතාවෝ චන්ද්‍රවංක වීථියෙහි ඇවිද ‘චූලනාග ස්ථවිරයන් වහන්සේට හෙට දවසේ මහ දන් පවත්වාලව’යි අඬගා කීහ. සියලු මනුෂ්‍යයෝ ද, දේවතාවෝ ද නොයෙක් දාන වස්තූන් රැගෙන විහාරයට පැමිණියෝය. තෙරුන් වහන්සේ ඒ සියල්ල ම දැක විහාරයෙහි ගෙඩිය ගස්වා තුන්දහසක් පමණ භික්ෂූන් වහන්සේලාට දන් දී තමන් වහන්සේත් වැළඳූ සේක. තුන්වන දවසේ භික්ෂාව පිණිස පිටත් වූ කල්හි වහසල් දොරටුව වසන දේවතාවා උන්වහන්සේගේ පාත්‍රය ගෙන දොරටුවෙන් පිටත නොයෙක් දානෝපකරණ පිරූ ගැල් කඳවුරක් මවා දිව්‍යමය ආහාරපානවලින් චූලනාග තෙරුන් වහන්සේ ප්‍රධාන කොට භික්ෂූන් වහන්සේලාට මහ දන් පැවැත්වීය. එතැන් පටන් මනුෂ්‍යයෝ චූලනාග තෙරුන් වහන්සේ ප්‍රධාන තුන් දහසක් භික්ෂූන්ට මහ දන් පැවැත්වූහ. මෙසේ තෙරුන් වහන්සේට දෙවියන් හා මනුෂ්‍යයන් විසින් උපස්ථාන කරන ලදුව අවුරුදු තිස්දෙකක් ගෙවුණි. ප්‍රතිපත්තියෙහි මනාලෙස පිළිපන් ව සිටි උන්වහන්සේ නොබෝ කලකින් ම කෙලෙස් සතුරන් නසා රහත් බවට පැමිණි සේක.

ඉක්බිති පසු කලෙක පන්සියයක් භික්ෂූන් වහන්සේලා දඹදිව ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ වඳින්නට යනු කැමති ව එකතැනකට රැස් ව, “ඇවැත්නි, දැන් බෝධි මණ්ඩලයට යන මඟ දුර්භික්ෂ ය. සොර සතුරන් හා සිංහ ව්‍යාඝ්‍රාදී චණ්ඩ සත්ත්වයින් විසින් උපද්‍රව සහිත ය. කෙසේ යම් ද?”යි කතිකා කරමින් සිටියාහ. ඉන් සමහර තෙරුන් වහන්සේලා පැවසුවේ “චූලනාග රහතන් වහන්සේ සමඟ වඩින්නේ නම් ඒ සියලු උපද්‍රව නොවන්නේය. පිණ්ඩපාතයත් සුලබ ව ලැබෙන්නේය. චූලනාග ස්ථවිරයන් වහන්සේ මහත් පින් ඇති සේක. ආනුභාව සම්පන්න වන සේක” යනුවෙනි. එය අසා හැමදෙනා වහන්සේ ම ගොස් චූලනාග රහතන් වහන්සේට ආරාධනා කළ සේක. “ස්වාමීනී, අපි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳිනා කැමැත්තෙමු. ඔබ වහන්සේ අප හැම කැඳවා ගෙන ගොස් බෝධීන් වහන්සේ වන්දවා නැවත මෙරටට වැඩමවුව මැනවැ” යි කී සේක. උන්වහන්සේ ද එයට කැමති වී ඒ පන්සියයක් භික්ෂූන් පිරිවරා ථූපාරාම විහාරයෙහි පටන් මාවටුපටුන්ගම දක්වා සාරමාසයක් ඇතුළත දෙවියන් මනුෂ්‍යයන් කරන ලද සත්කාර සම්මාන ලබමින් වැඩි සේක. මාවටු තොටින් නැව් නැගී, සමුද්‍ර දේවතාවන් හා දිව්‍ය නාගයන් විසින් කරන ලද පූජා සත්කාර ලබමින් තුන්මසකින් ගොඩබැස එතැන් පටන් දෙවිමිනිසුන් කරන ලද සත්කාර සම්මාන ලබමින් සාරමාසයක් ඇතුළත වජිරාසන භූමියට පැමිණි සේක. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පෙරලා වඩිනා අතරමඟ දී චූලනාග ස්ථවිරයන් වහන්සේට බඩරුජාවක් ඇති වී කායික අපහසුවක් හටගත්තේය. එය දැක භික්ෂූන් වහන්සේලා වික්ෂේපයෙන් යුතු ව, “ස්වාමීනී, අප හැම ඔබ වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් ම කිසි අපහසුවක් නැතිව සැපසේ වැඩියෙමු. ඉදින් ඔබ වහන්සේට අන්තරායක් වී නම් කෙසේ අපි ප්‍රත්‍යයෙන් පීඩා නොවිඳ අපගේ රට බලා යම්දැ” යි කී සේක.

එපවත් අසා තෙරුන් වහන්සේ පවසනුයේ, “එසේ නොසිතව. මා පිරිනිවී කල්හි ආදාහන සත්කාර කොට ධාතු ගෙන පෙරහන් කඩේක බැඳ පිඬුසිඟා වඩිනා වේලෙහි ධාතු පෙරහන්කඩ කුඩයෙහි බැඳගෙන පළමුව සංඝ ස්ථවිරයන් වහන්සේ පිඬුසිඟා යන සේ සලස්වා හැමදෙනා එක් ව පිඩුසිඟා වැඩිය මැනව. එවිට හැමදෙනා වහන්සේට ම ආහාරයෙන් අපහසු නොවන්නේය” යැයි කියා පන්සියයක් භික්ෂූන් වහන්සේලාට ම අවවාද කොට පිරිනිවන් පෑ සේක. එකල්හි භික්ෂූන් වහන්සේලා ආදාහන සත්කාර කොට ධාතූන් වහන්සේලා රැගෙන නික්මුණු සේක. චූලනාග රහතන් වහන්සේ ජීවමාන කාලයෙහි මෙන් ම ප්‍රත්‍යලාභ ලැබ සුවසේ ම තමන් වහන්සේලා වසන මේ ලංකාද්වීපයට පැමිණි සේක. අහෝ! පුදුම සහගතය. බැල්ලියකට දුන්නා වූ ආහාර දානයෙහි ආනුභාවය. උන්වහන්සේ ජීවමාන කාලයෙහි මෙසේ ලෞකික, ලෝකෝත්තර සම්පත් ලබා පිරිනිවි කල්හි ද මෙබඳු ආශ්චර්යය පැවැත් වූ සේක යැයි සතුටු වී ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලා ද වීර්යය වඩා භාවනා කොට රහත් බවට පැමිණි සේක.

මෙසේ සසර කතරින් එතෙරට වැඩිය, සංසාර ඕඝය තරණය කළ සියලු කෙලෙසුන් නසා නිකෙලෙස් හද මඩලක් දරාගෙන වැඩසිටිය, පුණ්‍ය ඉර්ධියෙන් යුතු වූ, ආනුභාවසම්පන්න වූ, දිව්‍ය, මනුෂ්‍යය, නාග, ගාන්ධර්වාදීන්ගෙන් පිදුම් ලැබූ ලක්දිව වැඩ විසූ චූලනාග රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!. උන්වහන්සේගේ ආනුභාවය සිහිකොට වීර්යය වඩා නිකෙලෙස්භාවයට පත් වූ ලක්දිව වැඩ විසූ ඒ පන්සියයක් රහතන් වහන්සේලාට නමස්කාර වේවා!.

සාදු! සාදු! සාදු!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

ඇතෙකුගේ පා අතර වැඩ හිඳ රහත් වූ තිස්සනාග රහතන් වහන්​සේ
මහා අනුකම්පාවෙන් යුතු වූ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට සසර දුකින් නිදහස් වීම පිණිස ධර්මය දේශනා කොට වදාළ සේක. උන්වහන්සේගේ අනුකම්පාව කොතරම් ද යත් යම් කෙනෙකුට ධර්මය අවබෝධ කිරීමට හේතු සම්පත් තිබේ ද යොදුන් සිය ගණන් දුර සිටිය ද සිරිපා ගමනින් වඩින සේක. එක් වේලක් පමණක් වළඳන උන්වහන්සේ එක පිට්ටුවක්, කැඳ ටිකක් එසේම අනුන් ඉඳුල් කරපු බත් ටිකක් පිළිගෙන වළඳා ඒ ඒ පුද්ගලයන් කෙරෙහි අනුකම්පාවෙන් දවස ගත කරන සේක. මෙතරම් අනුකම්පාව දක්වන වෙනත් ශාස්තෘවරයෙක් තුන් ලෝකයෙහි ම නැත්තේ ය. එපමණක් නොව උන්වහන්සේගේ මහා අනුකම්පාව මේ පුංචි දිවයිනට ද ලැබුණි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ තුන් වරක් මේ ලක්දිවට වැඩම කොට අනාගතයේ බුදු සසුන පිහිටන්නට සුදුසු දීපයක් බවට පත් කළ සේක. බුද්ධ වචනය සත්‍ය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ මහා මහින්ද මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට සම්බුද්ධ ශාසනය මැනවින් පිහිටවාලූ සේක. එම නිසාම සිංහලයන්ට උතුම් තෙරුවනේ පිහිටන්නටත්, මහා සෑ – බෝධීන් වහන්සේලා වඳිමින් පින් කරගන්නටත්, කුසල් අකුසල් ගැන දැනගන්නටත් අවස්ථාව ලැබුණි. මේ ත්‍රිපිටක බුද්ධවචනය ලක්දිවට දායාද කළේ මිහිඳු මහරහතන් වහන්සේ ම ය. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුසසුන දායාද නොකරන්නට සිංහල ජාතිය මහා අවාසනාවන්ත ජාතියක් වනු නොඅනුමාන ය. සිංහලයෝ මිහිඳු මහරහතන් වහන්සේට සදා ණයගැත්තෝය.

සුගති රැකවරණයත්, මගඵල අමා නිවනත් දායාද කළ අපගේ ආදී ගුරුදේවයන් වහන්සේට කෘතගුණ සලකා කෙසේ නම් අවසන් කරන්නට ද? මහා වීර්යවන්තයන් බිහි වූයේ, මහා ඍද්ධිමතුන් බිහි වූයේ, සීලවන්තයන් බිහි වූයේ, නිකෙලෙස් මුනිවරු බිහි වූයේ මේ පුංචි සුන්දර දිවයිනේ ය. දිවි පරදුවට තබා දන්දෙන උවසු උවැසියෝ මේ ලක්දිව පුරා සිටියෝ ය. සිංහල රහත් මුනිවරුන්ගේ ගුණ සුවඳ ලක්දිව සිසාරා විහිද ගියේ ය. පින්වන්ත සිංහලයන්ගේ මුවින් නිතරම අරහත් මුනිවරුන්ගේ ගුණ වරුණ ඇසෙන්නට විණි. ගිහි ගෙදර අඹු දරුවන් පෝෂණය කරමින් රන් රිදී මිල මුදල් පරිහරණය කරමින් ජීවිතය ගත කළ බොහෝ දෙනා, සසරේ භයානක බව බුදු බණ පදයන් තුළින් ඇසෙද්දී අලුයම දැමූ කෙළ පිඩක් සේ ඒ සියල්ල අතහැර බුදු සසුනේ පැවිදි වී පිළිවෙත් පුරමින් උත්තමාර්ථයට පත් වුහ. සුකුමාල ජීවිත ගත කළ සිංහල රාජ කුමාරයන් හා සිටුකුමාරයන් පවා ඒ සියලු සැප සම්පත් අතහැර මේ අති නිර්මල බුදු සසුනේ පැවිදි විය. ශ්‍රමණයන් වහන්සේලා බවට පත්වූහ. ඒ භික්ෂුන් වහන්සේලා මහා ගිනි අව්වේ තමන් වහන්සේලාගේ ශරීරයෙන් දහඩිය ගලද්දී කෙලෙස් නසන්නට බවුන් වැඩුවේ නිරයේ තිබෙන මහා ගිනි කඳ සිහි කරමින් ය. රාත්‍රී කාලයේ එළිමහනේ ගල් ගැසෙන සීතලේ කෙලෙස් නසන්නට උන්වහන්සේලා වීර්යය කළේ ලෝකාන්තරික නරකයේ ඇති ශරීරය පුපුරා යන සීතල මෙනෙහි කරමිනි. ඇත්තෙන් ඒ භික්ෂූන් වහන්සේලා අව්ව, වැස්ස, සීතල, උණුසුම, දුහුවිල්ලක් තරමින්වත් ගණන් නොගත්හ. උන්වහන්සේලාගේ මූලික ප්‍රශ්නය වූයේ ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ගමන ය. ඒ නිසා ම සීල, සමාධි, ප්‍රඥා වඩා, බට පතුරුවලින් කරපු ගෙයක් සුනුවිසුනු කරන මහා හස්තිරාජයෙක් සේ මේ සසරට ඇද බැඳ තබන සියලු කෙලෙස් සුනුවිසුනු කොට නිකෙලෙස් මුනිවරු බවට පත්ව සසර ගමන අවසන් කළ සේක. නිකෙලෙස් බවට පත් වීම යනු මහා අසිරිමත් දෙයකි. තුන් ලෝකය සිසාරා රැව් පිළිරැව් දෙන ගුණ ඝෝෂාවකි. මෙසේ අසිරිමත් ලෙස කෙලෙස් සිඳලූ උතුම් මුනිවරයෙක් ගැනයි අද සිත පහදවා ගන්න ලැබෙන්නේ. උන්වහන්සේ ලක්දිව පහළ වුණු තිස්සනාග රහතන් වහන්සේයි.

ලංකාද්වීපයේ රුහුණු ජනපදයෙහි ‘කෙළෙඹිය’ නම් විහාරයක් පිහිටා තිබුණේය. ඒ විහාරයෙහි මහත් වු ශ්‍රද්ධා ඇති තිස්සනාග නම් මහා තෙරුන් වහන්සේනමක් ප්‍රධානව වසන සේක. උන්වහන්සේ එක් දිනක් අමර ලෙන වසන සිව්පිළිසිඹියා පත් තිස්ස මහරහතන් වහන්සේ සමීපයට ගොස් පත්කඩය එළා වැඳ එකත්පස්ව වාඩිවුණ සේක. නේවාසික තෙරුන් වහන්සේලා ද පැමිණ මිහිරි වූ පිළිසඳර බස් කථා කොට එක් පැත්තකින් වාඩි වී උන් සේක. එවිට තිස්ස මහරහතන් වහන්සේ අවවාද වශයෙන් කියනුයේ, “ඇවැත්නි, සැදැහැයෙන් මහණ වූ ඔබවහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව වාසය කළ යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව සිහිනුවණින් වාසය කළ යුතුයි. ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරගත යුතුයි. මිථ්‍යා ආජීවයෙන් දුරුව කෙලෙස් තවන වීර්යය නමැති සම්පත්තියෙන් වාසය කළ යුත්තේය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්පසය නුවණින් යුතුව පරිභෝග කරමින් ප්‍රත්‍යය සංනිශ්‍රිත සීලයෙන් වාසය කළ යුතු වන්නේ ය. මෙසේ චතුපාරිශුද්ධ සීලයෙහි පිහිටා පිරිසිදු සිල් ඇතිව වාසය කරන භාවනානුයෝගයෙන් වීර්යය කරන්නාහට මාර්ග ඵල ලැබීම වහාම සිද්ධ වන්නේය. එබැවින් පළමුකොට සිල් පිරිසිදු කරගත යුතුයි.” මෙසේ අවවාද කොට සිල් රැකීමෙහි උනන්දුව ඇති කරමින් ආනිශංස වශයෙන් උන්වහන්සේ මෙසේ වදාළ සේක. “ඇවැත්නි, මේ බුද්ධ ශාසනයෙහි ශ්‍රද්ධාවෙන් මහණ වූ කුලපුත්‍රයන්ට සීලයට වඩා පිහිටක් නැත. පංච මහා ගංගාවන්ගේ ජලයෙන් පවා සත්වයන්ගේ කෙලෙස් නමැති මල සෝදා ශුද්ධ කළ නොහැක්කේ ය. එසේ ශුද්ධ කළ නොහැකි රාග ද්වේෂ මෝහාදී කෙලෙස් මල සීල නමැති ජලයෙන් පිරිසිදු කරන්නේ ය. දස දිසාවේම ඒකාකාරයෙන් පැතිරෙන යම් සුගන්ධයක් ඇත්ද ඒ සීල සුගන්ධය යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සීලය නම් දෙව්ලොවට යන ඉණිමගක් වැනි ය. නිවන්පුරයට පිවිසෙන දොරටුවක් වැනි ය. සූසැට ආභරණවලින් සැරසුණ රජවරුන්ට වඩා සීල නමැති ආභරණයෙන් සැරසුණා වූ ශ්‍රමණයන් වහන්සේ බබළන්නේය. සිල්වත් භික්ෂූන්ගේ ශරීර ගන්ධය පවා දෙවියන්ට ප්‍රිය උපදවන්නේය. සිල්වතුන් විෂයෙහි කරන ලද ස්වල්පමාත්‍ර වූ කුසලය වී නමුත් මහත් විපාක දෙන්නේ ය. එබැවින් සිල්වත් භික්ෂූන් වහන්සේලා ශ්‍රද්ධාවන්තයන් විසින් කරන ලද පූජා සත්කාර ලබන්නට සුදුසු වන සේක. සිල්වත් භික්ෂූන් කැමැති නම් දිව්‍ය මනුෂ්‍ය සම්පත්තිය පමණක් නොව අතිශාන්ත නිර්වාණ සම්පත්තිය ද ලබන්නේය.” මෙසේ සීලයෙහි අනුසස් වදාරා සතිපට්ඨාන සූත්‍රය දේශනා කොට අවවාද කළ සේක.

ඉක්බිති තිස්ස නාග මහතෙරුන් වහන්සේ අමරලෙන වසන තිස්ස මහරහතන් වහන්සේ වැඳ අවසර ගෙන තමන් වහන්සේ වසන විහාරයට නික්මුණ සේක. එකල්හි අතර මග වන මාර්ගයෙහි පැමිණෙද්දී ඉතා කර්කෂ වූ චණ්ඩ, පරුෂ, මිනී මරන මත් ඇතෙක් මාර්ගය අවුරා ඉදිරියට පැමිණ සිටගත්තේය.

එකෙණෙහි ම මහත් වූ වර්ෂාවක් ද ඇදහැළන්නට පටන් ගත්තේ ය. තෙරුන් වහන්සේ ඒ ඇතා කෙරෙහි මෙත් පතුරුවන්නට විය. මෛත්‍රිය නමැති ආයුධයෙන් පහර ලැබූ ඇතා මද සිඳී දමනයට පත් වී තෙරුන් වහන්සේ සමීපයට පැමිණ සිටගත්තේ ය. එකල්හී උන්වහන්සේ ඇත් රජුගේ කකුල් සතර අතර පලඟක් බැඳ වැඩ හුන් සේක. ඒ අවස්ථාවේ දී ම තිස්ස මහරහතන් වහන්සේ ලබා දුන් අවවාදය සිහි විය. මහා වැසි වසිමින් තිබිය දී තමන් වහන්සේගේ දෑස් පියාගත් තිස්සනාග තෙරුන් වහන්සේ තමන් පැවිදි උපසම්පදා වූ දා පටන් මේ දක්වා සීලයෙහි පිරිසිදු බව දැක හටගත් ප්‍රීතියෙන් යුතුව සතර සතිපට්ඨාන සුත්‍රය මෙනෙහි කොට විදර්ශනා වඩා මහපොළව ගුගුරුවමින් අරහත්වයට පත් වූ සේක. මහා අසිරියෙකි. ඇත් රජුගේ පා අතර වැඩ හිඳිමින් සියලු කෙලෙස් නසාලූ සේක. ඇත් රාජයා වනය දෙවනත් කරමින් කුංචනාද කළේ ය. වන දේවතාවෝ සාධුකාර දුන්හ. එකෙණෙහි ම ඇතු වට කොට හාත්පස අහසින් මල් වැසි ඇද හැළෙන්නට විය. යක්ෂ නාගාදීහු අවුත් අනේකප්‍රකාර සුවඳමල්, සුවඳ සුණු දීප ධූපාදීන්ගෙන් පුද පූජා පැවැත්වූහ. වන ළැහැබේ වසන සියලු දේවතාවෝ දිව්‍යමය පුෂ්පාදීන්ගෙන් උපමා විෂයාතික්‍රාන්ත වූ පූජා සිදු කළහ. ඉක්බිති තිස්සනාග රහතන් වහන්සේ ඇතුටත්, දෙවියන්ටත්, පැමිණි යක්ෂ නාග සමූහයාටත් ධර්මය දේශනා කළ සේක. ඒ අසා ඇත් රජා රහතන් වහන්සේ කෙරෙහි ප්‍රසන්නව උන්වහන්සේගේ වෙන් වීම ඉවසාගත නොහැකිව තිස්සනාග රහතන් වහන්සේ සමග ම ‘වියොලක’ නම් විහාරයට ගොස් තිස් අවුරුද්දක් මුළුල්ලෙහි උපස්ථාන කරමින් එහි ම විසී ය.

ඉක්බිති තෙරුන් වහන්සේ එම විහාරස්ථානයේ දී ම පිරිනිවන් පෑ සේක. මනුෂ්‍යයෝ උන්වහන්සේගේ ශ්‍රී ශරීරය මහත් වූ පුජා සත්කාරයෙන් කුළු ගෙයක තැන්පත් කොට කෙළෙඹිය විහාරයට ගෙනවුත් සත් දවසක් මුළුල්ලෙහි පූජා සත්කාර කළහ. ඇත් රජ ද ඒ මිනිසුන් සමඟ පූජා සත්කාර කොට ‘වියොලක’ නම් විහාරයට නැවත ඇවිත් භික්ෂූන් සමීපයෙහි මල් ආදිය පුදමින් වාසය කොට ආයු කෙළවර තව්තිසා දෙව්ලොව උපන්නේ ය.

එම ඇත් රජුගේ ඒ සද්දන්ත ශරීරය භික්ෂුවක් අරහත්වයට පත්වීමට සෙවණ දුන් කුටියක් බඳු විය. එම නිසා ඒ තිරිසන්ගත සත්වයා දෙව්ලොව ඉපිද දෙව් සැප විඳීම අරුමයක් නොවේ. මෙසේ ඇද හැළෙන මහා වර්ෂාවක් මධ්‍යයේ ඇතෙකුගේ පා සතරක් අතර හිඳ කෙලෙස් වැස්සෙන් කිසිදා නොතෙමෙන ජීවිතයක් ඇති කරගත්, වන දෙවියන් පවා සාධුකාර පැවැත්වූ, යක්ෂ හා නාගයින්ගේ පුද පූජාවන් ලැබූ, මෛත්‍රිය නමැති ආයුධයෙන් ඇතෙක් දමනය කොට සුගති රැකවරණය සලසාලූ ලක්වැසි ජනයාට පින්කෙතක් බඳු පිරිනිවන් පා වදාළ අපගේ සිංහල රහතන් වහන්සේනමක් වන තිස්සනාග රහතන් වහන්සේට නමස්කාර වේවා…!

සාදු! සාදු! සාදු!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

ආරඤ්ඤක අභය රහතන් වහන්සේ
සියලු ලෝක සත්වයනට හිතසුව පිණිස පහළ වුණු මහා කාරුණික වූ අපගේ ශාස්තෘ වූ ලෝකනාථයන් වහන්සේ මේ ලංකාද්වීපයෙහි දරුණු යකුන් ගිරි දිවයිනට පිටත් කරවා සත්පුරුෂ මනුෂ්‍යයන් හට වාසභූමි වන අයුරින් ලංකාව පිළියෙල කළ සේක. දෙවෙනි වර නාගදීපයට වැඩමවීමෙන් නාගයින් හට මෙලොව පරලොව හිතසුව පිණිස ධර්මය දේශනා කළ සේක. තෙවැනි වර මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් කැලණියට වැඩම කළ සේක. අප භාග්‍යවතුන් වහන්සේ තුන් වරක් වැඩමවා වදාළ කාරණය නිසාවෙන් මේ ලංකාද්වීපය අති පවිත්‍ර වූ භූමියක් බවට පත් වන්නේ ය. අනන්ත අප්‍රමාණ වූ අවබෝධ ඥානයකින් යුක්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයෙහි අනාගතේ සම්බුදු සසුන පිහිට වන බව දැන ලංකාවෙහි යහපත උදෙසා මෙසේ වැඩම කළ සේක. නිමල ගුණයෙන් යුතු මිහිඳු රහතන් වහන්සේ බුදුරජුන්ගේ වචනය ඒකාන්තයෙන් ම සත්‍යයක් බවට පසක් කරමින් අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා දෙසිය තිස් හය වන වර්ෂයේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක ලංකා ධරණීතලයට වැඩම කළ සේක.

අපගේ අනුබුදු මිහිඳු රහතන් වහන්සේ සිය නිකෙලෙස් හදමඬලේ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය දරාගෙන ලක්දිවට වැඩම කළ සේක. උන්වහන්සේගේ නිකෙලෙස් හදමඬලේ දරාගෙන වැඩි උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් ලක්වැසි පුණ්‍යවන්තයෝ රහතන් වහන්සේලා බවට පත් වූ සේක. දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය ලක්වැසියන් බිහි කළ සේක. මේ ලක්දිව දහම් සුවඳ හමන ධර්මද්වීපයක් බවට පත් කළෝ ය. ලක්දිව සසුන් කෙත වැපිරූ සේක. කසාවතින් බැබළී ගිය සේක. කසාවතක් දරාගෙන පාත්‍රය අතට ගෙන බිමට යොමු කළ නෙත්වලින් යුතුව ගෙයක් ගෙයක් ගානේ පිඬු සිඟා වඩින සන්සුන් ඉඳුරන් ඇති උතුම් සිංහල රහත් මුනිවරුන්ගෙන් එකල ලංකාද්වීපය පිරී පැවතුණි. ලක්දිව පහළ වූ මුනිවරු නිකෙලෙස් හදමඬලේ දරාගෙන සිටි අමෘතය නමැති ශ්‍රී සද්ධර්මය සිංහල ජනතාවට බෙදමින් ගම් දනව් සිසාරා පා ගමනින් වැඩි සේක. සත්පුරුෂ බවේ සමාදන් කළ සේක. වරදින් නැඟී සිටින්නට උපකාර වූ සේක. තමන්ට අයහපත කරන මනුෂ්‍යයාට පවා කරුණාව දක්වමින් සත්පුරුෂ බවේ පිහිටුවා මේ භයංකර සසරින් එතෙර වීමට මග කියා දුන් සේක. මෙසේ අපමණ ගුණයෙන් යුතුව වැඩ සිටි උතුම් සත්පුරුෂයාණන් වහන්සේනමක් වන ලක්දිව පහළ වුණු සිංහල රහතන් වහන්සේනමක් ගැන යි අද සිත පහදවා ගන්නට ලැබෙන්නේ. ඒ ආරඤ්ඤක අභය රහතන් වහන්සේ යි.

මේ ලංකාද්වීපයේ ‘මහතලා’ නම් විහාරයේ ත්‍රිපිටකධාරී අභය නම් මහ තෙරුන් වහන්සේනමක් වැඩ වාසය කළේ ය. පසුව අභය තෙරුන් වහන්සේ එම ග්‍රාමාන්ත සේනාසනය අත්හැර කරන ලද කුටියක වාසය කළේ ය. එසේ හෙයින් උන්වහන්සේ ‘ආරඤ්ඤක රහතන් වහන්සේ’ යැයි ප්‍රසිද්ධ වූ සේක. එකල එක් උපාසකයෙක් මහ තෙරුන් වහන්සේගෙන් බණ අසා පැහැදී දොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි සිව්පස දානයෙන් උපස්ථාන කරන්නේ ය. මෙසේ උපස්ථාන කරන ඒ උපාසකයා සෑම අවුරුද්දක ම සිවුර සඳහා වස්ත්‍ර දන් සෙයි. එය දන්නා ‘හරන්තික’ නම් සොරෙක් රාත්‍රී කාලයෙහි ගොස් දුන් දුන් වස්ත්‍ර සොරකම් කොට රැගෙන පලා යන්නේ ය. තෙරුන් වහන්සේ දිරූ සිවුරු ම පොරවාගෙන සිටි සේක. ඒ උපාසකයා එය දැක නැවතත් සිවුරු පිණිස වස්ත්‍ර දන් දී සිතනුයේ ‘මා විසින් අපේ ආර්යයන් වහන්සේට සිවුරු පිණිස බොහෝ දෙන ලදී. ඉන් සිවුරක් කොට පොරවන බව මම තාම දැක නැත්තෙමි. මෙසේ වන්නට කාරණාව කුමක්දැයි පරීක්ෂා කළ මැනවැ’ යි සිතා රාත්‍රියෙහි ආසන්න ස්ථානයක සැඟවී සිටියේ ය.

එකල හරන්තිකයා අලු‍ත් වස්ත්‍ර දුන් බව දැන රාත්‍රියෙහි විහාරයට අවුත් වස්ත්‍ර තිබූ තැනින් අරගෙන නැවතත් සැක නැතිව එම මගින් ම එමින් සිටියේ ය. එකල උපාසක, බඩු සමඟ හොරා දැක අල්ලාගෙන “මෙතෙක් කල් මා තෙරුන් වහන්සේට දුන් වස්ත්‍ර ගත්තේ බොල තෝ නොවේ දැ?” යි අසා අතින් පයින් තලා, දුර්වල කොට අමු සොහොනකට ඇදගෙන ගොස් මළමිනියක් යටිකුරු කොට ඔහුගේ පිටේ උඩුකුරු කොට හොවා ලිහා ගත නොහැකි පරිදි දැඩි කොට බැඳ ගමට අවුත් කියනුයේ, “පින්වත් ගම්වැසියනි, මාගේ වචනය අසව්. අද රාත්‍රී එක් අමනුෂ්‍යයෙක් එයි. නුඹලාට මහා විනාශයක් කරන්නේ ය. එබැවින් කල් තබා ගෙවල්වලට ගොස් දොරවල් වසාගෙන හිඳිව්. ඒ යක්ෂයා ‘මම අසුවලා වෙමි, අසුවලාගේ නෑයා ය, මිත්‍රයා ය’ ආදිය කියා කතා කරන්නේ නමුදු ඔහු හා සමඟ කතා නොකරව.’ යි කියා නිවසට ගියේ ය. ඔහුගේ බස් අසා ගම්වැසි මනුෂ්‍යයෝ බයින් තැතිගෙන වේලාසනින් ම ගෙවල්වලට ගොස් දොර වසාගෙන සිටියහ. රාත්‍රියෙහි සොරාට මළමිනිය මුදාගත නොහැකි වූයේ එය සමඟ ම තමන්ගේ දොරකඩට ගොස් බිරිඳ ඇමතී ය. ‘මම හරන්තික වෙමි’ යි කී ය. එසේ කීව ද ඔහුගේ බිරිඳ තව තවත් බිය වී කතා නොකොට සිටියා ය. නොයෙක් කාරණා කීවත් දොර ඇරගත නොහැකි වූ විට තමාගේ දෙමාපියන්ගේ ද සෙසු නෑයන්ගේ ද යහළු මිත්‍රයන්ගේ ද ගෙවලවලට වෙන වෙනම ගොස් එසේ දොර අරවා ගන්නට නොහැකි විය. ගිය ගිය තැන මිනිස්සු අමනුෂ්‍යයා ඇවිත් යැයි බියෙන් දොරවල් විවෘත නොකළහ. මෙසේ හරන්තික සොරා කිසිම පිහිටක් නැතිව සිට ‘තෙරුන් වහන්සේ සමීපයට ම යමි’ යි සිතා විහාරයට ම ගොස් “ස්වාමීනි, මේ දාසයාට ඔබ වහන්සේ ම පිහිට වන්න. මේ මළසිරුර මුදවා මා සුවපත් කළ මැනවැ” යි කීහ. මහතෙරුන් වහන්සේ ඔහු දැක අනුකම්පා උපදවා වහා නිදහස් කොට කරුණාවෙන් යුතුව උණු පැනින් නහවා ශරීරයේ තෙල් ගල්වා පහර දුන් තැන් තවමින් සිටියේ ය. සොරාට බැට දුන් උපාසක සොරා කොහි ගියේ දැයි සොයමින් විහාරයට ආයේ ය. සොරාගේ පිට තෙල් ගා තවමින් සිටි උන්වහන්සේ දැක කියනුයේ “ස්වාමීනි, ඔය සොරෙකි. උපකාර නොකළ මැනව. ස්වාමීනි, යම් සත්පුරුෂයෙක් අසත්පුරුෂයෙකුට කවර නම් උපකාරයක් කළේ වී නමුත් එය සිහි නොකරයි. එසේ හෙයින් සොරා සමඟ යහළුකමක් නැත. කමින් බොමින් එකට නිදමින් සිටියත් සොරා තමන්ගේ ස්වභාවය අත් නොහරී. සොරා කටින් එකක් කියයි. වෙනෙකක් කරයි. වංචා සිත් ඇති සොරා ඉඩක් ලැබුණු විගස උපකාර කළවුන්ගේ වස්තුව ද සොරකම් කරයි. මව්පියෝ ද නෑයෝ ද මිතුරෝ ද සොරා දැක දුරින් ම දුරු කරත්. සොරා සමඟ එක් වීම සැක කරති.” යි මෙසේ සොරුන්ගේ නුගුණ ප්‍රකාශ කොට කියා, “ස්වාමීනි, මෙබඳු අනුන්ගෙ වස්තුව පැහැර ගන්නා මිත්‍රද්‍රෝහියාට උපකාර නොකරනු මැනවි. පලවා හරිනු මැනවැ” යි කීවේ ය. “උපාසකය, යම් බල්ලෙක් යමෙකුගේ පාදය සපා කෑවත් ඔහු බල්ලාගෙ පාදය සපා නොකයි. මෙසේ ම අසත්පුරුෂයා කවර තරම් අපරාධයක් කළ ද සත්පුරුෂයා නපුරක් නොසිතා යහපත ම කිරීම බුදු පසේබුදු මහරහත් උත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද්දේ ය. මේ ලෝකයෙහි යම්කිසි උතුමෙක් කෙළෙහිගුණ නොදන්නා අසත්පුරුෂයන් කෙරෙහි මෛත්‍රී නොකරන්නාහු වී නම් ඔහු කවුරුන්ට මෛත්‍රී කරත්දැ? අසත්පුරුෂයින්ට මෛත්‍රී කිරීම සත්පුරුෂයන්ගෙ ස්වභාව ධර්මයක් ම ය. කිසියම් කෙනෙක් අසත්පුරුෂයන්ට මෛත්‍රී කරන්නාහු වී නම් එය ම උතුම් වූ මෛත්‍රිය යි. පින්වත් උපාසකය, මොහු හට සොරකම් කරන ද්‍රෝහියා යැයි නොසිතා මෛත්‍රී කරව. මොහු තමන් කළ සොරකමෙහි විපාක මෙම ජීවිතයේ දී ම ලද්දේ වේ දැ” යි වදාරා උපාසකයාණන්ට අවවාද කොට පිටත් කළ සේක.

එයින් කිහිප දවසක් ගිය කල හරන්තිකයා සුවපත් ව අභය රහතන් වහන්සේ කරා පැමිණ වැඳ “ඔබ වහන්සේ නිසා වෙනස් ජීවිතයක් ලැබුවෙමි. නැවත ගිහිගෙයි වැසිය නොහැක්කෙමි. මෙතෙක් කල් සොරකම් කොට රැස්වුණු අකුසල් කර්මය ගෙවි යන පරිද්දෙන් තවත් මා කෙරෙහි අනුකම්පා උපදවා මහණ කොට වදාළ මැනවැ” යි ඉල්ලා සිටියේ ය. ඒ අසා කරුණා පාර්ශව වූ තෙරුන් වහන්සේ ඔහුව මහණ කොට උපසම්පදා කරවූ සේක. එතැන් පටන් උන්වහන්සේ වත පිළිවෙතෙහි යෙදී අප්‍රමාදී ව භාවනා කොට නොබෝ කලකින් ම රහත්ව ‘හරන්තික රහතන් වහන්සේ’ යැයි ප්‍රසිද්ධ වූ සේක. අහෝ…! බුදු සසුන ආශ්චර්යය වූ සේක. මෙසේ වැරදි මග ගිය, නොයෙක් අකුසල් කිරීමෙහි යෙදී සිටි සොරෙකුට පවා පිහිට පිළිසරණ ලැබුණි. තථාගතයන් වහන්සේගේ ධර්මය තුළින් සියලු කෙලෙස් නසා, සියලු පව් බැහැර කරවූ සේක. ඒ තථාගත ශ්‍රී සද්ධර්මය හදවතේ දරාගෙන අප්‍රමාණ කරුණාවෙන් යුතුව දයාවෙන් හා අනුකම්පාවෙන් ආරඤ්ඤක අභය රහතන් වහන්සේ වැඩ විසූ සේක. උන්වහන්සේගේ හදමඬලින් පැන නැගුණු මෛත්‍රී නමැති සිසිල් දිය දහරාවෙන් තෙමී ගිය තෙරහුගේ පවා සසර දුක්ගිනි නිවුණු සේක. මෙසේ ලංකාද්වීපය එළිය කරමින් වැඩ සිටි උන්වහන්සේ ආයු ඇති තාක් වැඩහිඳ පිරිනිවන් පෑ සේක.

අසත්පුරුෂයන්ට පවා මෛත්‍රී කරන පරම දයාවෙන් යුතුව වැඩ විසූ, ත්‍රිපිටකධාරී වූ, බුදුරජුන්ගේ හදමඬලින් උපන් ඖරස පුත්‍ර රත්නයක් වන, ලංකාද්වීපය සුවඳ කළ පුෂ්පයක් බඳු වූ, ලක්දිව පහළ වුණු මුනිවරයෙක් වන ආරඤ්ඤක රහතන් වහන්සේට නමස්කාර වේවා! උන්වහන්සේගේ ඇසුරේ වාසය කළ, සියලු වරදින් මිදී සසර දුක් ගිනි නිවා ගත් හරන්තික රහතන් වහන්සේට ද නමස්කාර වේවා…!

සාදු! සාදු! සාදු!

ථේරපුත්තාභය මහරහතන් වහන්සේ
මහා කාරුණික වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ තුන් වරක් ලංකාදීපයට වැඩම කිරීමෙන් අනාගතයෙහි බුදු සසුන පිහිටන මේ දීපය සුපූජනීයත්වයට පත් කළ සේක. ලෝක සත්වයාට බොහෝ කල් හිතසුව පිණිස කටයුතු සලසා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු 236 දී තුන්වන ධර්ම සංගායනාව මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. එහි දී උතුම් සංඝරත්නය විසින් ලෝකනාථ මුනිදාණන්ගේ ඖරස පුත්‍ර වූ අපගේ මහා නුවණැති මහින්ද මහරහතන් වහන්සේට ලක්දිවට වඩින්නට නියම කළා. ඉන් පසු උන්වහන්සේ ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි සිංහලයින් පහදවනු පිණිස සුදුසු කාලයේ දී ලංකාවට වැඩම කළ සේක. ඒ අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුතුව ධර්මය දේශනා කළ සේක. මේ දිවයිනට පිළිසරණ වූ උන්වහන්සේ සද්ධර්ම මාර්ගයෙහි බැසගන්ට කටයුතු කොට වදාළා. මෙසේ ක්‍රමක්‍රමයෙන් මේ සිංහලදීපයෙහි මගඵල ලාභීන් බිහිවෙන්නට පටන් ගත්තා. බොහෝ පින් තිබූ මිනිසුන් ගිහි ගෙවල් හැර දමා උතුම් බුදු සසුනේ පැවිදි වී පිළිවෙත් පුරා මහරහතන් වහන්සේලා බවට පත් වී උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස පැවැත්වූ සේක. ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරමින් මතු සඟ පරපුරට දායාද කළ සේක. ලංකාදීපය කසාවතින් බැබළවූ සේක.

උතුම් සිංහල මහරහතන් වහන්සේලාගෙන් පිරී පැවතුන මේ දීපයට වරින් වර මිසදිටු ගත් දෙමළ රජවරුන්ගේ ආක්‍රමණවලට මුහුණ දෙන්නට සිදු වුණා. අටලෝ දහමින් කම්පා නොවන උන්වහන්සේලා දෙමළුන් විසින් දාගැබ්වලට, බෝධීන් වහන්සේලාට කරන විනාශයන් දකිමින් කම්පා නොවී උපේක්ෂාවෙන් යුතුව වැඩ සිටියා. ලංකාදීපයේ පරසතුරු කටුකොහොල් ඉවත් කරලා බුදු සසුන බබුළුවන දුටුගැමුණු නමින් මහා පින්වන්ත රජෙක් පහළ වුණා. දස මහා යෝධයන් පිරිවර කොට සිටි දුටුගැමුණු මහරජතුමා දෙමළුන් පරාජයට පත් කරමින් බුදු සසුන බැබළෙව්වා. එදා දුටුගැමුණු මහරජතුමාත් සමග එක්වී නොපැරදෙන මහා යුද්ධ විසි අටක් කරමින් යම් මහා යෝධයෙක් ජීවිත පරිත්‍යාගයෙන් වෙන් නොවී එකට සිටියා ද පසුව තනිවම කෙලෙස් සතුරන් සමග යුද්ධ කරමින් ජය ලබාගත්, ලංකාවේ පහළ වුණු යෝධ සිංහල මහරහතන් වහන්සේනමක් ගැනයි අද ඔබට සිත පහදවා ගන්නට ලැබෙන්නේ. එනම් ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගැනයි.

උන්වහන්සේ කාශ්‍යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා කාලයෙහි එක්තරා පුරුෂයෙක්ව ඉපිද වැඩිවිය පැමිණ කටයුතු දන්නා අවස්ථාවේ විහාරයට ගොස් බණ අසා බුදු සසුනෙහි පැහැදී සංඝයා වහන්සේට ආරාධනා කොට මහා දානයක් දුන්නා. එතැන් පටන් අවුරුදු විසිදහසක් මුළුල්ලෙහි ක්ෂීර පායාස දානය දී අනිකුත් බොහෝ පින්කම් කොට දෙව්ලොව ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දිව්‍ය සැප සම්පත් අනුභව කළා. ගෞතම බුදුරජුන් පිරිනිවීමෙන් පසු මේ ලංකාදීපයේහි රුහුණු රට කොටගල නම් පර්වත සමීපයේහි කැතිගම රෝහණ නම් ඉසුරුමත් පවුල්කාරයෙකුට දාව පුත්‍රයෙක් ව උපන්නා. ඔහුට ගෝඨාභය රජ්ජුරුවන්ගේ නමින් ‘අභය’ කියලා නම තැබුවා. වයස අවුරුදු දහය දොලහ වෙද්දී ඒ දරුවා මහා බලසම්පන්න වුණා. හතරපස් දෙනෙකුට ඔසවන්ට බැරි ගල් අරගෙන පන්දු ක්‍රීඩාවේ යෙදෙනවා වගේ සෙල්ලම් කරමින් ඒ ගල් වීසි කළා. අවුරුදු දහසය වෙද්දී ඔහුගේ පියා ඔහුට ලොකු මුගුරක් සාදවලා දුන්නා. ඒ විශාල මුගුරෙන් තල් ගස්, පොල් ගස්වල කඳට ගහලා බිම හෙළනවා. ඒ නිසා ම, ‘අභය යෝධයා’ කියා ප්‍රසිද්ධ වුණා. අභය යෝධයාගේ පියා මහාසුම්ම මහරහතන් වහන්සේගෙන් බණ අසා ගිහි ගෙයි කලකිරී බුදු සසුනේ පැවිදි වුණා. ‘මාගේ පුතණුවන් අස්ථානයේ නොනසිත්වා’ යි සිතා කැඳවාගෙන ගොස් ඔහුව ද මහණ කළා. නොබෝ දවසකින් ම පියාණන් රහත් භාවයට පත් වුණා. එසේ හෙයින් උන්වහන්සේගේ පුත් වූ අභය සාමණේරයන් ‘ථේරපුත්තාභය’ නමින් ප්‍රසිද්ධ වුණා.

මේ කාලය වන විට දෙමළුන් ලංකාද්වීපයේ බෝධීන් වහන්සේලා කපා දමනවා. දාගැබ් පිළිම ආදිය සිඳ බිඳ නසනවා. සංඝයා වහන්සේලා ව පීඩාවට පත් කරනවා. ලැව්ගිනි ගත් වනාන්තරයක් සෙයින් මුළු ලංකාද්වීපයම ‘දෙමළ ගිනි’ ගෙන දැවී යමිනුයි තිබුණේ. ගම් සියල්ල නැසී නොගම්ව ගියා. මේ විනාශය දුටු ථේරපුත්තාභය සාමණේරයන් වහන්සේ මෙසේ සිතූ සේක. ‘අප බුදුහු දීපංකර බුදුන් සමයෙහි තමන් වහන්සේට හස්තප්‍රාප්තව තිබූ නිර්වාණ සම්පත්තිය හැර සසර දුක් ගන්නා සියලු සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් සසරට වැද පාරමී දම් පුරා ලොව්තුරා බුදු ව සූවිසි අසංඛ්‍යෙයක් සත්වයන් සසර දුකෙන් නිදහස් කළ සේක. එසේ ම මම ද දුටුගැමුණු රජ්ජුරුවන්ට සහාය දී දෙමළ කසල හැර බුද්ධ ශාසනය ආරක්ෂා කොට දැන් සේ ම මහණ වී අත්‍යයන්ත නිර්මල ශීලයෙහි පිහිටා නිර්වාණ සම්පත්තිය සිද්ධ කොට ගනිමි.’ මෙසේ සිතා සිවුරු හැර ගෝඨයිම්බර යෝධයාගේ සහය ඇතිව රජ්ජුරුවන් ළඟට ගොස් පෙනී සිටියා. රජතුමා බොහෝ සතුටුව ඉන්ට සිටින්නට තැන් සලස්වා තමන් සමීපයෙහි තබා ගත්තා. පසුව දුටුගැමුණු රජතුමා හා එක්ව ගොස් මහ මුගුරක් ගෙන දෙමළුන් සමග සටන් කරමින් ඔවුන්ව පරාජය කොට මුළු ලක්දිව එක්සේසත් කොට දී ලෝ සසුන් බබුළුවා අනුරාධපුරයේ විසුවා. පසුව රජ්ජුරුවන් විසින් දස මහා යෝධයන්ට තනතුරු දෙන දවසේ මෙකී ථේරපුත්තාභය යෝධයාණෝ තනතුරු භාර ගත්තේ නැහැ. “කුමක් පිණිස නොගන්නේ දැ?”යි විචාල කල්හි “දේවයන් වහන්ස, යුද්ධයක් තියෙනවා නොවැ.” කියලා පිළිතුරු දුන්නා. “රාජ්‍යය එක්සේසත් කරන්ට යුද්ධයක් කළාට පස්සේ තවත් තියෙන යුද්ධය කුමක් ද?” “දේවයන් වහන්ස, ජය ගන්ට ඉතා අසීරු වූ මේ කෙලෙස් සතුරන් එක්ක තියෙන යුද්ධෙත් කරන්නට ඕනෑ. කෙලෙස් සතුරන් හා සමාන සතුරු කෙනෙක් නැත. ඒ සතුරන් පරදවන්ට පැවිදි වීමට අවසර දුන මැනවැ”යි කියා රජ්ජුරුවන්ගෙන් අවසර ඉල්ලාගෙන පැවිදි බව ලබා අප්‍රමාදීව සමථ විදර්ශනා වඩා සිව් පිළිසිඹියාපත් රහත් බවට පැමිණ පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරාගත් සේක. ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගිහි කාලයේ මුගුරක් ගෙන සතුරන් නසා දැම්මාටත් වඩා වැඩි වේගයෙන් පිරූ පින් ඇති උන්වහන්සේ ප්‍රඥාව නමැති මහ මුගුර ගෙන කෙලෙස් සතුරන් නසා දැමූ සේක. මේ ලක්දිව හිරු සඳු සේ ප්‍රසිද්ධ වූ සේක.

අපගේ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ මාරාන්තික රෝගයකින් ගිලන් බවට පත් වුණා. රජ්ජුරුවන්ව දෝලාවක සතපවාගෙන මහසෑය ළඟට වඩමවාගෙන විත් දෝලාවෙන් ම මහසෑය පැදකුණු කළා. පසුව දකුණු දොරටුව අසල බිම අතුරන ලද සයනයක සැතපෙව්වා. අපගේ රජ්ජුරුවන්ගේ අසනීප තත්ත්වය ගැන අසන්ට ඒ ඒ රටෙන් වැඩිය භික්ෂූන් වහන්සේලාගේ ගණන අනූහය කෝටියක් වුණා. රජතුමා එතැන වැඩ නොසිටින ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගැන සිතුවා. ‘මං එදා නොපැරදෙන මහා යුද්ධ විසි අටක් කරද්දී යම් මහා යෝධයෙක් වෙන් නොවී මාත් සමග ජීවිත පරිත්‍යාගයෙන් එකට සිටියා ද මරණය සමග යුද්ධ කරන වෙලාවේ මං පරදින බව දැකලා වෙන්ට ඇති දැන් අපගේ ථේරපුත්තාභය තෙරුන් වහන්සේ මං ළඟට එන්නේ නැත්තේ.’ කිරිඳි ඔය ඉස්මත්තේ පංජලී පර්වතයේ වැඩ සිටි ථේරපුත්තාභය රහතන් වහන්සේ රජ්ජුරුවෝ සිතපු අදහස දැකලා පන්සියයක් රහතන් වහන්සේලා සමග ඉර්ධි බලයෙන් අහසින් ඇවිත් අපගේ දුටුගැමුණු රජතුමාව වටකරගෙන සිට ගත්තා. උන්වහන්සේව දැකලා මහත් සතුටට පත් රජතුමා තමන් ඉදිරියේම වඩා හිඳුවාගෙන “ස්වාමීනී, ඒ කාලයේ යුද්ධෙට ගිහින් අපි හැමෝම එකට යුද්ධ කළා. දැන් මං තනියම මාරයා සමග යුද්ධයක යෙදිලා ඉන්නවා. මාරයා නැමැති සතුරාව පරාජය කරන්ට බැරි බව පේනවා.” යැයි කියා සිටියා. එතකොට ථේරපුත්තාභය මහරහතන් වහන්සේ මෙහෙම වදාළා.

“මහ රජ්ජුරුවෙනි, භය වෙන්ට එපා! කෙලෙස් සතුරන් පරදවන්නේ නැතුව මාරයා නැමැති සතුරාව පරදවන්ට බැහැ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයන්ට අයිති හැම දෙයක්මත් තමාගේ වසඟයේ පවත්වන්ට බැහැ බිඳිලා යනවා. අපගේ ශාස්තෘන් වහන්සේ සියලු සංස්කාරයන් අනිත්‍යයයි කියා වදාළේ මේ නිසයි. ලැජ්ජා භය කිසිවක් නැති මේ අනිත්‍ය ස්වභාවය බුදුරජාණන් වහන්සේ වෙතත් පැමිණුනා නොවැ. ඒ නිසා මේ සංස්කාරයන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියා සිතනු මැනව. ඔබතුමා මේ මනුලොව සිටිය දී බොහෝ පින් කර ගත්තා. ඔබතුමා විසින් ලංකා රාජ්‍යය එක් ඡත්‍රයක් යටතට ගත්තේ බුද්ධ ශාසනය බැබළවීම පිණිස ම යි. මහා පුණ්‍යවන්තයාණෙනි, රජ වූ දවසේ ඔබ විසින් කරන ලද පින් සිහි කළ මැනව. එහි සැප විපාක ඔබතුමාට වහා ම ලැබේවි.” මහරහතන් වහන්සේගේ වචනය අහලා රජතුමා ඉතාමත් සතුටු සිතකින් යුක්ත වුණා. “ස්වාමීනී, ඔබ වහන්සේ මට මේ මාරයා සමග වන යුද්ධයේදීත් බොහෝ උපකාර වුණා” කියලා උන්වහන්සේට පැවසුවා. සතුටින් සිටින දුටුගැමුණු රජතුමා පින්පොත ගෙන්වාගෙන එය කියවන්න කිව්වා. එය අසාගෙන සිටි රජතුමා මෙහෙම කිව්වා. “ඉසුරු සම්පත් මත පිහිටාගෙන කළ පින්කම්වලට වඩා මා ඉතා දුකට පත් වී සිටි අවස්ථාවේ දිවි පරදුවට තබා පූජා කර ගත් දාන දෙක නම් මතක් වෙද්දි හිත පිනා යනවා.” එය ඇසූ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ‘ඒ දාන දෙක ගැන ම හිත පහදවන්ට ඕනෑ ය’ යන අදහසින් දුෂ්කර අවස්ථාවේ දුන් දානය ගැන ම වර්ණනා කළා. මෙසේ වදාළ ථේරපුත්තාභය රහතන් වහන්සේ රජ්ජුරුවන්ගේ සිත සතුටට පත් කළා. ඉන් පසුව සංඝයා වහන්සේලා සූත්‍ර සජ්ඣායනා කරන්ට පටන් ගත්තා. දේවතාවෝ දෙව්ලෝක හයෙන් ම දිව්‍ය රථ එවා තිබුණා. සෑම දිව්‍ය ලෝකයකින් ම කතා කරන්නට පටන් ගත්තා. ඉන් පසු රජතුමා ථේරපුත්තාභය මහරහතන් වහන්සේගෙන් මෙය ඇසුවා. “ස්වාමීනී, කොයි දිව්‍ය ලෝකය ද වඩාත් මනරම්?” “රජ්ජුරුවෙනි, සත්පුරුෂයන්ගේ සම්මතය අනුව තුසිත දෙව්ලොව තමයි මනරම්. අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේත් වැඩ ඉන්නේ තුසිත පුරයේ නොවැ.” අපගේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේගේ වචනය ඇසූ දුටුගැමුණු රජතුමා මහාථූපය දෙස බලාගෙන වැතිරී සිටිය දී ම දෑස් පියාගත්තා. මිනිස් ලොවෙන් චුත වූ කෙණෙහි ම තුසිත දෙව්ලොවින් පැමිණි දිව්‍ය රථයෙහි ඕපපාතිකව දෙව් රජෙක්ව උපන්නා.

මෙසේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ අවසාන මොහොතේදීත් දුටුගැමුණු මහරජතුමාට බොහෝ උපකාරී වුණා. උන්වහන්සේ ගිහි කාලයේදීත්, පැවිදි වූ පසුත් සසුන බබුළුවන්ට බොහෝ ඇප කැප වුණා. “යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන් පරදවා ජයගත්තත් ඒක නියම ජයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් කෙලෙස් යුද්ධයෙන් ජයග්‍රහණය කළොත් ඒකාන්තයෙන්ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වඩා උත්තම කෙනෙක් වෙනවා” යන උතුම් බුද්ධ වචනය සත්‍ය කරමින් උන්වහන්සේ කෙලෙස් යුද්ධය ජයගත් සේක. මොහඳුර නසා අරහත් ඵලය නමැති ප්‍රඥා ප්‍රදීපය දල්වාගෙන වැඩ සිටි එබඳු මහෝත්තම රහතන් වහන්සේලා පවා ලෝක සත්වයාගේ අවිදු අඳුර නසන මහා ප්‍රදීපයක් බඳුව වැඩ සිට මරණය නමැති දරුණු සැඩ සුළඟින් පහර වැදී නිවී ගිය සේක. අපගේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ද තමන්ගේ ආයු ඇති පරිදි වැඩහිඳ පිරිනිවන් පා වදාළ සේක. ලක්දිව සුවඳවත් කළ මහා පුෂ්පයක් බඳු වූ, ක්ලේශ යුද්ධ භූමියෙහි ප්‍රඥාව නමැති ආයුධය ගත් මහා යෝධයෙක් සේ සියලු ක්ලේශයන් නැසූ, ලංකා ජනයාට කුසල් නමැති බිජුවට වපුරා මහත්ඵල මහානිශංස කරන සරු කෙතක් බඳු වූ අප ශාස්තෘන් වහන්සේගේ හදමඩලින් උපන් පුත්‍රයෙක් වන ලක්දිව පහළ වුණු සිංහල මහරහතන් වහන්සේනමක් වන අපගේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේට නමස්කාර වේවා…!

සාධු ! සාධු ! සාධු !

සටහන – මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

පූවපබ්බතවාසී තිස්ස රහතන් වහන්සේ
පංච නේත්‍රයෙන් හෙබියා වූ අප භාග්‍යවතුන් වහන්සේ සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අනාගතයේ ලංකාද්වීපයේ පිහිටන බව අනාගත ඤාණයෙන් බලා වදාළ සේක. එමෙන්ම අතිශයින් දයා කරුණා ඇති, මහා කාරුණික වූ, ලොව එළිය කරන පහනක් බඳු වූ බුදුරජාණන් වහන්සේ ඉතා සුන්දර මෙලක්දිවට තුන් වරක් වැඩි සේක. අප භාග්‍යවතුන් වහන්සේ තුන් වරක් වැඩමවා වදාළ කාරණය නිසාවෙන් මේ ලංකාද්වීපය සුපූජනීය වන්නේය. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසු බුදු සසුන පැතිරවීම පිණිස රටවල් නවයකට රහතන් වහන්සේලා පිටත් කොට යවන ලදී. එකල අපගේ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේ උපසම්පදාව ලබා දොළොස් අවුරුද්දකි. උන්වහන්සේගේ උපාධ්‍යාය වූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසිනුත් උතුම් සංඝ රත්නය විසිනුත් උන්වහන්සේට නියම කරනු ලැබුවේ ලංකාවට වඩින්ටයි. ලංකාද්වීපයට වඩින්නට සුදුසු කල්හි සක් දෙව් රජුන් අපගේ උත්තම වූ මිහිඳු මහරහතන් වහන්සේ වෙත පැමිණියේය. “ලක්දිව් වැසියන් සම්බුදු සසුන කෙරෙහි පහදවන්නට ලංකාවට වඩින්ට ස්වාමීනී, අපගේ සම්බුදුරජාණන් වහන්සේත් ලංකාවෙහි බුදු සසුන ඔබවහන්සේ විසින් පිහිටුවන බවට පිරිනිවන් පානා අවස්ථාවේදී අපට වදාළ සේක. අපිත් ඔබවහන්සේලාට උපකාරී වන්නෙමු” යනුවෙන් කියා සිටියේය.

උතුම් බුද්ධ වචනය සත්‍ය කරමින් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවා වදාළ සේක. මේ දිවයිනට පිළිසරණ වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන් කථා කළ දීප භාෂාවෙන් ධර්මයෙහි අරුත් වදාළ සේක. සද්ධර්ම මාර්ගයෙහි බැසගන්ට කටයුතු කොට වදාළ සේක. ලක්වැසි සිංහල ජනතාවට දහම් අමා පැන් පොවා වදාළ සේක. පළමුවෙන්ම මේ ලක්දිව පහළ වුණු සිංහල රහතන් වහන්සේ වන්නේ මහා අරිට්ඨ මහා අමාත්‍යතුමා ඇතුලු සහෝදරයන් පනස් පස් දෙනා ය. සසරේ රැස්කළ පිනෙන් මහා ප්‍රඥාවන්ත වූ ඒ සියලු දෙනා ම පැවිද්ද පිණිස කෙස් රැවුල් බා අවසන් වෙනවාත් සමග ම උතුම් අරහත්වයට පත්වූහ. මෙයින් ආරම්භ වූ සිංහල රහත් සඟ පරපුර ලක්වාසී මහජනයාට අනුකම්පා පිණිස ගම් දනව් සිසාරා අමා දහම් බෙරය වයමින් සිංහලයින්ට සුගති රැකවරණය සලසමින් මනුෂ්‍යයින්ට පින් කෙතක් වෙමින් සම්බුද්ධ ශාසනය බැබළවීය. මේ සියලු යහපත සිංහල ජාතියට උදාවූයේ සිංහලයින්ගේ මුල් ගුරු දෙවිඳු වූ මිහිඳු මහරහතන් වහන්සේ නිසයි. මුළු සිංහල ජාතිය ම උන්වහන්සේට ණයගැති වෙනවා පමණක් නොව කෙළෙහිගුණ දක්වා ද අවසන් කළ නොහැක. මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ද බොහෝ රහතන් වහන්සේලා, මගඵලලාභීන් ලංකාවෙහි වැඩසිටියහ. පෙර කළ පින් ඇති උන්වහන්සේලා ලක්වැසි මිනිසුන්ට බොහෝ යහපත සලසා පහන් සිලක් නිවෙනා ලෙස පිරිනිවුණ සේක. මෙසේ පිරූ පින් ඇති ලක්වැසි උතුම් රහතන් වහන්සේ නමක් පිළිබඳවයි අද ඔබට සිත පහදවාගන්නට ලැබෙන්නේ. එනම්, පූවපබ්බතවාසී තිස්ස රහතන් වහන්සේ යි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර මේ මහාභද්‍ර කල්පයේ බුද්ධත්වයට පත් වූ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක් දනව්වැසි පුරුෂයෙක්, හිරියල් සුණු විකුණමින් ගම් නියම්ගම් රාජධානි ආදියෙහි ඇවිදිමින් ගොස් එක් පිටිසර ගමකට පැමිණියේය. එකල්හි ඒ ගම යෞවන ස්ත්‍රියක් එය දැක මිලට ගෙන ඒ වෙළෙන්දා ආහාරයක් නොලත් බව දැන සුවඳ ගිතෙල් මුසු ඇල් හාලේ බත් සමග මොණර මස් කෑමට දුන්නේය. එකෙණෙහි ම එක් බල්ලෙක් වෙව්ලමින් බඩසයින් පීඩිතව කෙළ වගුරුවමින් ඔහු ඉදිරියට ආයේය. එකල ඒ වෙළෙන්දා කරුණාවෙන් කම්පිත වූ සිත් ඇතිව මොණර මස් සමග ගිතෙල් මුසු මහත් බත් පිඬක් දුන්නේය. ඒ බත අනුභව කොට සතුටුව නගුට වනමින් වෙළෙන්දාගේ මුහුණ බල බලා සිටියේය. මේ දැක වෙළෙන්දා සතුටුව සොම්නසින් පිරී ප්‍රාර්ථනා කරනුයේ, ‘මේ මා කළා වූ පුණ්‍ය කර්මයෙන් ජාතියක් ජාතියක් පාසා සුවඳ ගිතෙල් මුසු මොණර මස් හා ඇල්හාලේ බත් ලැබේවා! මේ පිනෙන් අවසානයේදී අමා මහ නිවන් දකිම්වා!’ ඒ වෙළඳ පුත්‍රයා ජීවිතාවසානයේ දෙව්ලොව උපන්නේය. එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි අපමණ දිව්‍ය සම්පත් අනුභව කොට එයින් චුතව මිනිස් ලොව පන්සිය වරක් ඉපදී මොණර මස් හා ගිතෙල් සමග ඇල්හාලේ බත් නොඅඩුව ලැබුවේය. ඉක්බිති අප ගෞතම බුදුරජුන් පිරිනිවන් පෑ පසු ලක්දිව මහවැලි ගඟ අසල පූගලු නම් ගම එක්තරා ගෙදරක උපන්නේය. දෙමව්පියෝ ඔහුව ‘තිස්ස’ යයි නම් කළහ. හෙතෙම යෞවන අවස්ථාවට පැමිණි කල්හි ගිහිගෙයි ආදීනව හා පැවිද්දේ අනුසස් අසා සියලු ම සම්පත් හැර දමා පූගලූ විහාරයට ගොස් මහණ වී උපසම්දා විය.

තිස්ස තෙරුන් වහන්සේ රෑ දවල් අප්‍රමාදීව වීර්යය වඩා නොබෝ කලකින් ම උතුම් වූ රහත් බවට පැමිණ මුළු ලොවට අග්‍ර පින් කෙතක් වූහ. මහා පුණ්‍ය ඉර්ධියකින් හා නුවණින් යුතු වූහ. බුදුන් වදාළ ත්‍රිපිටක ධර්මය ඉගෙන නිමවා ‘පූවපබ්බතවාසී තිස්ස රහතන් වහන්සේ’ යයි මුළු ලක්දිව ප්‍රසිද්ධ වූ සේක. උන්වහන්සේගේ පාත්‍රය යම්කිසි ඉසුරුමත් කෙනෙක් හෝ දිළින්දෙක් ගන්නේ වී නමුත් සුවඳ ගිතෙල් මුසු මොණර මස් සමග රත් ඇල්හාලේ බත් ම පුරවා දෙති. මෙසේ හැට අවුරුද්දක් ඉක්ම ගියේය. එක් ඇමතියෙක් සිතනුයේ ‘මේ තෙරුන් වහන්සේට හැම දවසේ ම සුවඳ ගිතෙල් මුසු මොණර මස් හා ඇල්හාලේ බත් ම ලැබෙයි’ යි බොහෝ දෙනා කියති. මා විසින් මෙය පරීක්ෂා කළ යුතුයි’ සිතා තමාගේ ගෙදරට ගොස් බිරිඳ අමතා “සොඳුරී හෙට දවසේ මම පූගලුවාසී තිස්ස තෙරුන්ට දනක් දෙන්ට කැමතියි. තෙරුන් වහන්සේ පැමිණි කල්හී නිවුඩු සහලෙන් කුඩු මුසු කැඳක් පිස වළඳවා වේලාව සමීප වූ කල්හි පලා මාළුවක් හා කාඩි ඇඹුල් දෙවැනි කොට නිවුඩු හාලේ ම බත් දෙන්නැ” යි කියා රැය පහන් වූ විට විහාරයට ගොස් තෙරුන්ට “ස්වාමීනී, අද අපට අනුග්‍රහ කළ මැනව” යි ආරාධනා කොට අන් තැනකට ගියේය.

ඉක්බිති ඔහුගේ ගෙදර අධිගෘහිත දෙවියා මේ කථාබහ අසා ‘මොවුහු තෙරුන් වහන්සේගේ පුණ්‍ය ඍද්ධිය ගැන නොදන්නේයැ’ යි සිතා ඒ ගෙදර සිටි මහලු මිනිසෙකුගේ වෙස් ගෙන ඇල් සහල්, මොණර මස් හා ගිතෙල් කළයක් ද රැගෙන ගෙදරට පැමිණ අමාතය්‍යාගේ භාර්යාවට දුන්නේය. ඇය විසින් ‘කොහෙන් ගෙන එන ලද්දේ දැ’ යි ඇසූ කල්හි මහලු මිනිසා වෙසින් සිටින දේවතාවා මෙසේ කීවේය. “මෑණියනි, අමාත්‍ය පුත්‍රයා අතරමග මා දැක ‘පින්වත, අද පූගලූවාසී තිස්ස හිමියන්ට දනට ආරාධනා කරන ලදී. මේ දානෝපකරණ ගෙන ගොස් අපගේ ගෙදරට දී මෙයින් බත් පිස ව්‍යඤ්ජන සහිතව තෙරුන් වළඳවන්න යැයි කියන්න’ යැයි මට පැවසුවේය.” මෙසේ කියා මඳ දුරක් ගොස් අතුරුදහන් විය. ඇය ඒ කථාව අසා මස් සහිත බත් පිළියෙල කොට තෙරුන් වහන්සේ පැමිණි කල්හි පාත්‍රය ගෙන වඩාහිඳුවා සුවඳ ගිතෙල් හා මොණර මසින් යුක්ත වූ සුවඳ ඇල්හාලේ බත වැළඳවූහ. තෙරුන් වහන්සේ වළඳා විහාරයට වැඩි සේක. ඉන් පසු ඇමතියා පැමිණ භාර්යාවගෙන් තෙරුන්ට දානය දුන්නේ දැයි විචාළේය. එකල භාර්යාව “ඔබ එවූ දානෝපකරණයන්ගෙන් ඇල් හාලේ බත් පිස සුවඳ ගිතෙල් හා මොණර මස් සහිතව තෙරුන් වහන්සේ වැළඳවීමි” යි කී කල්හි “සොඳුර, මා එවූ උපකරණයක් නැත. ඒවා රැගෙන ආවේ කවුරුදැ” යි විචාළේය. ඒ මහලු මිනිසාගෙන් ද ඇසූ කල්හි ‘එසේ වූ දෙයක් මා ගෙනායේ නැතැ’යි කී කල්හි මේ නම් ඒ තෙරුන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් දෙවියෙකු විසින් කළ දෙයක් ම යැයි සිතා බුදු සසුනෙහි පැහැද එතැන් පටන් තම ශක්ති පමණින් මහදන් පවත්වා දානපතියෙක් විය.

පූවපබ්බතවාසී තිස්ස රහතන් වහන්සේ ජීවිතාන්තය දක්වා පින් බලයෙන් ලබන ලද එබඳු ආහාරය ම අනුභව කොට පිරිනිවෙන්නට සුදුසු කල් දැනගත් පසු විහාරයෙහි සංඝයා රැස්කරන ගෙඩිය ගස්වා තමන් වහන්සේ පිරිනිවන් පානා බව කී සේක. එකල භික්ෂූන් වහන්සේලා “ස්වාමීනී, නුඹවහන්සේ මහා පිනැති සේක. නුඹවහන්සේගේ පින මුළු ලංකාවෙහි ම ප්‍රකට ය. අතීතයෙහිදී කරන ලද කවර නම් පින්කමක බලයෙන් මේ විපාක ලැබීදැ” යි විචාලහ. එය අසා තෙරුන් වහන්සේ තමා විසින් කාශ්‍යප බුදුන් සමයෙහි බල්ලාට බත් දුන් පින ප්‍රකාශ කොට කළ ප්‍රාර්ථනාව ද පැවසුවේය. “එබැවින් පිනැත්තවුන් තුන් සිත පහදවා තමන් කළ පින් බලයෙන් ලබන්නා වූ පුණ්‍ය විපාකය මනුෂ්‍යයන් විසින් තබා මාරයා විසිනුත් වැළැක්විය නොහැකිය. දැනුදු යම් කෙනෙක් කම්පල අදහා තුන් සිත පහදවා යම් ආහාරයක් දුන්නාහු වී නම් ඔහු මා සේ ම දිව්‍ය සම්පත්තිය, මනුෂ්‍ය සම්පත්තිය, නිවන් සම්පත්තිය යන ත්‍රිවිධ සම්පත්තිය ම සැපසේ ලබන්නේය.” මෙසේ තෙරුන් වහන්සේ භික්ෂු සංඝයා මධ්‍යයෙහි පූර්වජන්මයෙහි කළ පින ද ප්‍රකාශ කොට දක්වා අවවාද කොට පහන් සිලක් නිවෙනා ලෙස පිරිනිවුණ සේක. රහතන් වහන්සේ වදාළ ධර්ම කථාව අසා මහජනයෝ දානාදී වූ පින්කම් කොට බොහෝ දෙන දෙව්ලොව උපන්හ.

මෙසේ ස්වල්ප වූ දානයෙන් පවා ශ්‍රද්ධාවන්තයෝ ඉතා අද්භූත වූ ආශ්චර්යවත් වූ අපමණ විපාක ලබන්නාහ. බොහෝ දන් පින් කළා වූ අය විසින් ලබන පුණ්‍ය විපාකය බුදු කෙනෙකුට මිස කාට නම් කිව හැකි ද? ඒ නිසා සසරෙන් එතෙරට වැඩි ඒ මුනිවරු උදෙසා යමෙක් බත් හැන්දක් බෙදුවා ද, පැන් පොදක් පූජා කරගත්තා ද, දැක සිත පහදවාගෙන වන්දනා කළා ද, අපමණ පින් රැස්වන්නේය. අදට ද උන්වහන්සේලා සිහිකොට පහන් සිතක් ඇති කරගෙන උන්වහන්සේලාගේ ශ්‍රී නාමය උදෙසා පහනක් දැල්වුවත්, මලක් පිදුවත්, සුවඳ ස්වල්පයක් පිදුවත් බොහෝ පින් රැස්වන්නේය. ඒ නිකෙලෙස් මුනිවරු වැළඳූ අමා මහ නිවන් නමැති බොජුන් අපට ද වළඳන්ට වාසනාව ලැබේවා! මහා පුණ්‍ය ඍද්ධියකින් යුතු වූ බුදුරජාණන් වහන්සේගේ හද මඬලින් උපන් පුත්‍ර රත්නයක් වූ ලංකාවෙහි වාසය කළ පූවපබ්බතවාසී තිස්ස රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

සද්ධර්මාලංකාරය ඇසුරිනි.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

සෝණ රහතන් වහන්සේ
[fusion_builder_container hundred_percent=”no” equal_height_columns=”no” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” background_position=”center center” background_repeat=”no-repeat” fade=”no” background_parallax=”none” parallax_speed=”0.3″ video_aspect_ratio=”16:9″ video_loop=”yes” video_mute=”yes” border_style=”solid” flex_column_spacing=”0px” type=”legacy”][fusion_builder_row][fusion_builder_column type=”1_1″ type=”1_1″ background_position=”left top” background_color=”” border_color=”” border_style=”solid” border_position=”all” spacing=”yes” background_image=”” background_repeat=”no-repeat” padding_top=”” padding_right=”” padding_bottom=”” padding_left=”” margin_top=”0px” margin_bottom=”0px” class=”” id=”” animation_type=”” animation_speed=”0.3″ animation_direction=”left” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” center_content=”no” last=”true” min_height=”” hover_type=”none” link=”” first=”true”][fusion_text]

අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී සති හතක්; එනම් දවස් හතලිස් නවයක් විමුක්ති සුවය විඳිමින් ගත කළ සේක. උන්වහන්සේ ගත කළ ඒ සති හතෙන් පස්වෙනි සතියෙහි අජපාල නුගරුක් සෙවණෙහි වැඩ සිටිද්දී මෙසේ සිතූ සේක.

‘ගුරුවරයෙක් නැතිව සිටීම දුකකි. මා යම් කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කළ යුතු නම් එබඳු කෙනෙක් ලෝකයේ සිටිත් ද?’

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සකල ලොව සිසාරා මාගේ සීලයට, සමාධියට, ප්‍රඥාවට විමුක්තියට වඩා වැඩි කෙනෙක් සිටිත්දැයි නුවණින් බැලූ ‍සේක. බුදුරජාණන් වහන්සේගේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්තියට වඩා වැඩි කෙනෙක්වත් සමාන කෙනෙක්වත් මේ දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයෙහි නැත්තේ ය. ‘එසේ නම් ඒ අමා නිවන ලැබ දුන් ධර්මයට ගරු කරමින් සත්කාර කරමින් ගරුකොට තබා ගනිමි.’ යි උන්වහන්සේ සිතූ සේක.

එකෙණෙහි ම සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය දැන උන්වහන්සේ ඉදිරියෙහි පහළ විය. දණ මඬල බිම තබා වන්දනා කරමින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය.

“එය එසේ ම ය භාග්‍යවතුන් වහන්ස. එය එසේ ම ය සුගතයන් වහන්ස. අතීතයේ වැඩ සිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ධර්මයට ම සත්කාර කොට ගරු කොට වාසය කළ සේක. අනාගතයේ පහළ වන්නා වූ සම්බුදුවරු ද ධර්මය ම ගුරු තනතුරෙහි තබාගෙන වාසය කරන්නාහු ය. එහෙයින් මෙකල පහළ වූ අරහත් සම්මා සම්බුදු වූ අප භාග්‍යවතුන් වහන්සේ ද අවබෝධ කරන ලද උතුම් ශ්‍රී සද්ධර්මයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරනා සේක.”

මෙසේ අප භාග්‍යවතුන් වහන්සේ අජපාල නුගරුක් සෙවණේ දී උතුම් ධර්මය ආචාර්ය තනතුරෙහි තබා ගත් සේක. මෙසේ ධර්මය ගුරු තනතුරෙහි තබා ගත් අප භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකයේ ම ගුරුවරයා වන සේක. දෙවි මිනිසුන්ට යා යුතු – නොයා යුතු මග කියා දෙන සේක. ගුරු ඇසුරේ වටිනාකම නොයෙක් අයුරින් වදාරන සේක.

සාමාන්‍ය ලෝකයේ නොයෙක් ගුරුවරු මුණගැසේ. එහෙත් ශ්‍රේෂ්ඨ ගුරුවරු බිහිවන්නේ බුදු සසුනක පමණි. මේ ලංකාදීපයට ශාස්තෘන් වහන්සේනමක් බඳු, ලක්දිව එකලු කළ හිරු මඬල වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපගේ ආදි ගුරුදේවෝත්තමයාණන් වහන්සේ වන සේක. මුල් ගුරු දෙවිඳු වන සේක. උන්වහන්සේ බුදු සසුන් දායාදය ලබා දී ගුරුවරයාට සත්කාර කරමින් ගෞරව කරමින් ධර්මය ඉගෙන ගන්නා ආකාරය කියා දුන් සේක. මෙසේ ගුරු ඇසුරේ වාසය කරමින් ධර්මය ඉගෙන ගනිමින් මගඵල ලැබූ උතුම් භික්ෂූන් වහන්සේලාගෙන් ලක්දිව පිරී පැවතුණි. උන්වහන්සේලා තම ගුරුවරයාට ජීවිතය පූජා කොට වාසය කළෝ ය. මෙසේ ලක්දිව පතළ වුණ සිංහල මහරහතන් වහන්සේලා අතරින් උතුම් ගුරුවරයෙක් මුණගැසිී ඒ ගුරු ඇසුරේ වාසය කොට තම ජීවිතය අරහත්වය කරා ගෙන ගිය උතුම් මහරතන් වහන්සේනමක් ගැනයි අද සිත පහදවා ගන්නට ලැබෙන්නේ. උන්වහන්සේ ‘සෝණ’ මහරහතන් වහන්සේ යි.

මේ ලංකාදීපයේ දුර්භික්ෂ කාලයක එක්තරා මහල්ලෙක් තවත් කුඩා දරුවෙකු සමග තැන් තැන්වල ඇවිදිමින් කෑම ටිකක් සොයාගෙන ජීවත් විය. ඒ කුඩා දරුවා ‘සෝණ’ නම් විය. එක් දවසක් මේ දෙදෙනා ඇවිදිමින් මහා විහාරයට පැමිණියෝ ය. ඔවුන් දෙදෙනා දුටු එක් මහරහතන් වහන්සේනමක් සෝණ නමැති කුඩා දරුවාගෙන් “මහල්ලා අත්හැර පැවිදි නොවන්නේ කුමක් හෙයින්දැ?” යි ඇසූහ. “අනාථ වුණු මා වැනි කෙනෙක් පැවිදි කරන්නේ කවරෙක්දැ?” යි සෝණයන් කී විට මහරහතන් වහන්සේ මොහු අනාගතයේ දී ශාසනයෙහි සැලකිය යුත්තෙක් වන්නේ යැයි දැක ඔහු මහල්ලාගෙන් වෙන් කොට කරුණාවෙන් පැවිදි කරවූහ. මනා සේ ධර්මය ඉගැන්වීම ද කළහ. පසු කාලයක මහතෙරුන් වහන්සේට බුදුරජුන්ගේ උප්පත්ති ස්ථානය ආදී සතර ස්ථාන වැඳීමට සිතක් පහළ විය. උන්වහන්සේ සෝණ සාමණේරයන් අමතා “පිණ්ඩපාතය කොට වළඳා මෙහි ම වාසය කරන්න. මම දඹදිව ගොස් සතර ස්ථානයන් වැඳ නැවත එන්නෙමි.” යි කියා කීහ. ඒ සාමණේරනම “මාගේ ජීවිතය ඇතිතාක් මම ඔබවහන්සේ අත් නොහරින්නෙමි.” යි කීය. ඉක්බිති මහතෙරුන් වහන්සේ ඒ සාමණේරනමත්, තව භික්ෂූන් වහන්සේලා කීපනමකුත් කැටිව තවලම්කාරයන් සමූහයක් සමග ගමනට පිටත් වූහ. මෙසේ ගමන් කරද්දී මහ වනය මැද දී තෙරුන් වහන්සේට වාත රෝගයක් උපන්නේ ය. එය මාරාන්තික විය. එවිට තෙරනම ඉතිරි භික්ෂූන්ට කථා කොට “මම දැන් මරණයට පත් වන්නෙමි. ඔබ වහන්සේලා වැඩිය මැනව. සැමදෙනා විපතට පත් වීමෙන් කම් නැතැ” යි කිීහ. ඒ සියලු භික්ෂූන් වහන්සේලා නික්ම ගිය නමුත් සෝණ සාමණේරයන් නොගියේ ය. තෙරුන් විසින් පිටත් කරන ලද නමුත් “ඔබ වහන්සේ මාගේ ගුරුවරයා ය. ඔබ වහන්සේ ජීවත් ව සිටින තුරු මම නොයමි”යි සාමණේරයෝ පැවසූහ. මහරහතන් වහන්සේ පිරිනිවියේ ය. සාමණේරයන් වහන්සේ දර එකතුකොට දේහය තැන්පත් කළේ ය. මෙකරුණ නිසා සක් දෙවිඳුගේ ආසනය සෙලවෙන්නට විය. ශක්‍ර දෙව් රජ අප්‍රකට වේශයකින් අවුත් සාමණේරනමගෙන් තොරතුරු විචාරා සෝණ සාමණේරයන් සමග එක් වී ශරීර පූජාව කොට දේහය දැවී ය.

ඉක්බිති සෝණ සාමණේරයන් ව උතුරු දඹදිවට ගෙන ගොස් මහා විහාරයක මහත් ඍද්ධි ඇති මහ තෙරුන් වහන්සේනමක් වෙත නවත්වා “මේ භික්ෂූන් වෙතින් ධර්මය ඉගෙන තමාගේ කටයුතු කර ගත මැනවැ.” යි කියා ගියේ ය. සෝණ සාමණේරයන් මහ තෙරුන් වෙතින් ත්‍රිපිටකය ඉගෙන උපසම්පදාව ලබා පූජ්‍ය ස්ථානයන් වැඳ මහ තෙරුන් වහන්සේගෙන් අවසර ගෙන හෙළදිවට වඩින්නට පිටත් විය. මහා කොට්ටිදේව නම් තැනට පැමිණි විට සෝණ තෙරුන් වහන්සේට එක් දහම් පදයක සැකයක් උපන්නේ ය. හෙතෙම නැවත හැරී ගොස් මධ්‍යම රාත්‍රී කාලයෙහි විහාරයට පැමිණ මහ තෙරුන්ගේ කුටියේ දොරට තට්ටු කළේ ය. මහ තෙරුන් විසින් කුමකට ආවෙහි දැයි විචාරන ලද්දේ “ස්වාමීනී, මට එක් දෙයක සැකයක් උපන්නේ ය. එහෙයින් ආවෙමි. එය මට විස්තර කළ මැනවැ.” යි කීය. “ඇවැත් සෝණය ඔබ විසින් සිතන ලද්දේ එහි නියම අර්ථය යි” යැයි තෙරනම කීහ. හෙතෙම එය අසාගෙන ලංකාදීපයට අවුත් බොහෝ දහස් ගණන් භික්ෂූන්ට ධර්මය උගන්වා පාලි අර්ථ කියා දීම කළේ ය.

අප්‍රමාදීව වාසය කරමින් දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරුණේ ය. පසු වර්ෂයේ දී සියලු කෙලෙසුන් නසා රහත් බවට පත් විය. සෝණ මහරහතන් වහන්සේ වස් තුන් මාසයේ ප්‍රථම භාගයේ දී පුවඟු දිවයිනෙහි ද මධ්‍යම යාමයේ මහා විහාරයෙහි ද පශ්චිම යාමයෙහි දී සෑගිරියෙහි ද එක් රැයක දී තුන්පොළක දහම් දෙසූහ. පවාරණය කරන දිනයේ උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක.

“බුදුරජුන් දෙසූ නවාංග ශාස්තෘ ශාසනය යම් පමණ ද ඒ සියල්ල මා විසින් ඉගෙන ගෙන ප්‍රකාශ කරන ලදී. මහාර්ෂීන් වහන්සේගේ ශාසනයෙහි හැම දහම් සුවයක් ම මා විසින් අනුභව කරන ලදී. මම සත්කාරය නොකැමති වෙමි. මම යුගන්ධරයට යන්නෙමි.”

මෙසේ කියා සෝණ මහරහතන් වහන්සේ අහසට පැන නැගී යුගන්ධර පර්වතයට ගොස් පිරිනිවන් පෑහ. ඉක්බිති ආචාර්ය මහ තෙරුන් වහන්සේ දිවැසින් බලා යුගන්ධර පර්වතයට වැඩියහ. ශක්‍ර දේවේන්ද්‍රයා ද ‘සෝණ මහරහතන් වහන්සේ පිරිනිවියේ ය, පූජා පවත්වන්නෙමි’ යි සිතා පැමිණියේ ය. එහි දිව්‍යමය පූජා ද ආර්යයන්ගේ පූජා ද විය. මෙසේ ආචාර්යවරයෙකු විසින් සත්කාර කරන ලදී.

මෙසේ ගුරුවරයා අත් නොහැර වාසය කළ සෝණ මහරහතන් වහන්සේ ගුරු භක්තිය නිසා සසර දුකින් එතෙරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ “මේ ලොවේ සිටිනා නුවණැති කෙනා සද්ධර්මය ඉගෙන ගනී නම් තමන්ට ඒ ධර්මය කියා දුන් ගුරුවරයා දෙවියන් විසින් සක් දෙවිඳු පුදනවා වාගේ පුදන්නේ ය. බොහෝ දහම් දැනුමින් යුතු ඒ ගුරුවරයා පහන් සිතින් යුතුව ධර්මය මතුකර දෙන්නේ ය.” කියා වදාළ සේක.

ශ්‍රේෂ්ඨ, සත්පුරුෂ වූ ගුරුවරුන් ලැබ – ආචාර්යයන් වහන්සේලාට දිවි පුදා ඇසුරු කොට ගුරු ගෞරවය නිසා සක් දෙවිඳුන්ගේ ආසනය පවා සොලවාලූ, ලක්දිව පහළ වුණු, පිරිනිවන් පා වදාළ අපගේ සෝණ මහරහතන් වහන්සේට නමස්කාර වේවා…!

සාදු! සාදු!! සාදු!!!

(සීහළ වත්ථු ග්‍රන්ථය ඇසුරින්)

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි.

[/fusion_text][/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]

දාඨාසේන රහතන් වහන්සේ
අපගේ භාග්‍යවතුන් වහන්සේ පරම පාරිශුද්ධත්වයට පත් වූයේ තමන් වහන්සේ තුළ පැවති රාගාදී කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසයි. අසමසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝක සත්වයාගේ හිත සුව පිණිස කළ යුතු වූ සියලු බුද්ධ කෘත්‍යයන් ඉතා මැනවින් සම්පූර්ණ කොට වදාරා කුසිනාරා නුවර උපවර්තන සාල වනෝද්‍යානයේ දී සල් ගස් අතරේ පනවන ලද සයනයෙහි සැතපී සිටිය දී සක් දෙවිඳු හට මෙසේ වදාළ සේක.

“දේවේන්ද්‍රය, මාගේ බුද්ධ ශාසනය පිහිටන්නේ ලංකාද්වීපයේ ය. එනිසා විජය කුමාරයා ඇතුළු පිරිසත්, ලංකාද්වීපයත් හොඳින් රකින්නට ඕනෑ.”

මහා කාරුණිකයන් වහන්සේගේ සම්බුද්ධ වචනය සැබෑ වන දවස ළඟා විණි. මුටසීව රජ්ජුරුවන්ගේ පුත් දේවානම්පියතිස්ස කුමරු ලංකාවේ රජ බවට පත් විය. ලංකාව කෙරෙහි හිතානුකම්පිත වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා අවස්ථාවේ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේ ගැන ද වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා දෙසිය තිස්හය වන වර්ෂයේ, ලංකාවට ශාස්තෘන් වහන්සේ බඳු අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ සේක. ඉන් පසු සිංහලයන්ගේ ස්වර්ණමය යුගය උදා විය. අධර්මයෙන් මුදවා ධර්මයට මිනිසුන් පමුණුවාලීමේ දී ඒ අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වූ සේක. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස ලංකාද්වීපයෙහි බැබළවූ සේක. ලංකාවට මහත් පිහිටක් ලබා දුන් මහා සඟ පිරිවරකින් යුක්ත වූ සේක. සිංහලදීපය රහතන් වහන්සේලාගෙන් පිරී පැවතිණ.

පසු කාලවල දී පිටදේශවලින් පැමිණි ආක්‍රමණිකයන් මේ සුන්දර දිවයින අල්ලා ගන්නට නොයෙකුත් උත්සාහ දරා ඇත. නමුත් බුද්ධානුභාවය නිසා ම මේ දිවයිනේ සම්බුදු සසුනත්, සිංහල ජාතියත් බේරාගන්ට ශ්‍රේෂ්ඨ උත්තමයෝ පහළ වන්නාහු ය. එළාර නම් සොළී රජෙක් මේ ලංකා රාජ්‍යය අල්ලාගෙන රජකම් කළේ ය. දුටුගැමුණු මහ රජතුමා මහා යුද්ධයක් කොට එළාර රජ්ජුරුවන් ව පරාජය කොට සිංහලද්වීපයත්, බුදු සසුනත් බේරා ගත්තේ ය. එහි දී දුටුගැමුණු රජුට උපකාර වූ දසමහ යෝධයන් හැරුණු කොට තවත් එකොළොස්වෙනි යෝධයෙකුත් සිටියේ ය. ඔහු, දාඨාසේන නම් විය. හේ ලංකාවෙහි බුද්ධ ශාසනය රැක ගැනීම පිණිස සියල්ලන් හා එක්ව කළ සටනින් ජය ලැබුවා පමණක් නොව හුදෙකලාවේ කෙලෙස් සටනින් ද ජය ලැබුවේ ය. නිකෙලෙස් මුනිවරයෙක් බවට පත් විය. අද අපට හිත පහදවා ගන්නට ලැබෙන්නේ හෙළදිව උපන් දාඨාසේන නම් මහරහතන් වහන්සේ ගැනයි.

උන්වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බොහෝ සම්පත් ඇති පවුලක ඉපදී කටයුතු දන්නා වයසට පැමිණි පසු බුදුරදුන්ගෙන් බණ අසා සර්වඥ ශාසනය කෙරෙහි පැහැදී ශ්‍රද්ධාවන්ත ව වාසය කළ අයෙකි. මහා සංඝරත්නය උදෙසා විසිදහසක් අවුරුදු මුළුල්ලෙහි උපකරණ සහිත වූ ක්ෂීරපායාසයෙන් ලහබත් තබා දන් දුන්නේ ය. එපමණකුත් නොව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව්පස දානය දෙමින් – අනෙකුත් බොහෝ කුසල් කෙරෙමින් දිවි ඇති තෙක් පංච සීලය ආරක්ෂා කොට කලුරිය කොට නිදා පිබිදියාක් මෙන් දෙව්ලොව ඉපිද බොහෝ කාලයක් නොයෙකුත් දිව්‍ය සැප සම්පත් අනුභව කළේ ය. ගෞතම බුදුරදුන් පිරිනිවන් පෑවාට පසු ව දෙව්ලොවින් චුත ව ලංකාද්වීපයෙහි රුහුණු රට තුබුබන්න නම් ගම බොහෝ සම්පත් ඇති කුල ගෙයක හේ ඉපදුණේ ය. දෙමව්පියෝ ඔහුට දාඨාසේන යන නම තැබූහ. ඒ දාඨාසේනයා ක්‍රමයෙන් වැඩී සොළොස් හැවිරිදි කල දුටු දුටුවන් පිනවන රූප සෞන්දර්යයකින් යුක්ත විය. මහත් වූ ඇත් බල ඇත්තේ ය. දවසක් තමාගේ බලය විමසනු පිණිස ගිරිහල් නම් පර්වතයට නැගී තලවැල් කපා ගෙනවුත් ගැට ලණුවක් වියාගෙන බලසම්පන්න පුරුෂයන් දහසකටත් ඔසවාලිය නොහැකි මහ ගල් එක තැන රැස් කොට ඉන් එක් එක් ගලක් ගැට ලණුවෙහි තබා දෙකෙළවර අල්වාගෙන ඉස වට කරකවා පර්වතයෙන් එලිපිටට හෙළන්නේ ය. මෙසේ තමාගේ බල පරීක්ෂා කොට දෙමව්පියන් ළඟට ගොස් සාදර සිතින් වැඳ කියනුයේ “මව්පියනි, අප බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුදු බවට පත්ව ලෝක සත්වයාට පිළිසරණ වූ සේක. මේ ලංකාද්වීපයට ද වැඩම කොට වදාළ සේක. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු ලංකාද්වීපයේ බුදු සසුන පිහිටියේ ය. ඒ සංඝයා වහන්සේලා ද මුළු ලොවට සැපත සාදන සේක. නමුත් දෙමළුන් විසින් මේ සම්බුද්ධ ශාසනයට නිගරු කරමින් දාගැබ් බෝ මළු විනාශ කරමින් භික්ෂු භික්ෂුණීන්ට හිරිහැර කරමින් මහා විනාශයක් කරන්නේ ය. මා වැනි ශ්‍රද්ධාවන්ත, බලසම්පන්න පුරුෂයෙක් මෙසේ බලා සිටීම යුතු නොවෙයි. ශ්‍රද්ධාවන්ත රජ දරුවන්ට සේවය කොට සර්වඥ ශාසනය ආරක්ෂා කිරීමට යන්නෙමි. එයට අවසර දෙනු මැනව.”

මෙසේ කියා අවසර ගෙන කාවන්තිස්ස රජු සමීපයට ගොස් තමන් ව හඳුන්වා දුන්නේ ය. මහ රජු ඔහුගේ බල පරීක්ෂා කොට අවශ්‍ය සියලු පහසුකම් සලසා සේවය කරන සේ නියෝග කළේ ය. දුටුගැමුණු රජතුමා සහ දස මහ යෝධයන් සමඟ එක්ව දෙමළුන් පරාජය කොට ලංකාදීප රාජ්‍යය ඒකඡත්‍ර කරවී ය.

රජ්ජුරුවෝ ඔටුනු පැලඳ දාඨාසේනයන්ට ද බොහෝ සැප සම්පත් දුන්නේ ය. ඔහු ද බොහෝ පින් දහම් කරමින්, කුසල් සම්භාරයක් රැස් කෙරෙමින් වාසය කෙරෙති. දාඨාසේනයන්ට වෛරී වූ එක් සේවකයෙක් රජතුමා ළඟට ගොස් කේළාම් කියා රජු ඔහු කෙරෙහි බිඳවී ය. රජතුමා දාඨාසේනයන්ට කිපී “ඔහු අල්වා මරව” යි අමාත්‍යන්ට අණ කළේ ය. එක් බලවත් ඇතකුට යගදාවක් දී දාඨාසේනයන් එන පෙරමඟ නවත්වා සේනාවෝ සැඟවී සිටියහ. එකල්හි දාඨාසේන තෙමේ වැවට ගොස් එන අතර ඒ රා බී මත්ව යගදාවක් ඇරගෙන සිටියා වූ ඇතු දැක රජ්ජුරුවන් කළ නියෝග අසා යානාවෙන් බැස ඇතු ඉදිරියට ගියේ ය. ඔහු දැක ඇතා මහත් කොට හඬ නගා ඉදිරියට දිවගෙන ආවේ ය. එකල්හි දාඨාසේනයෝ ඇතුගේ දෙදළ අල්වාගෙන සොලවා සොඬින් අල්වා ඉස වට කරකවා පොළවේ ගැසූහ. ඒ දැක සැඟවී සිටි සේනාවෝ හිස් ලූ ලූ අත දිව ගියහ. දාඨාසේනයෝ එතන්හි සිට ම සිතන්නාහු, ‘රජ්ජුරුවන් වහන්සේට මා අතින් අපරාධයක් කළ නොහැකි ය. සමීපයටත් යා නොහැකි ය. මේ ලත් අවසරයෙන් මට ම පිහිටක් සාදාගත යුත්තේ ය. මාගේ ශරීර බලයට සිතූ දෙයක් සිද්ධ කළ හැකි ය. මේ බල සෙනඟ මරා රාජ්‍යය වුවත් ගත හැකි ය. එසේ වුවත් රජ්ජුරුවන් වහන්සේ මට බොහෝ සැප සම්පත් දී මා රක්ෂා කළේ ය. තුනුරුවන් කෙරෙහි අති ප්‍රසන්න ය. බුද්ධ ශාසනයට බොහෝ උපකාරී සේක. එසේ හෙයින් රජ්ජුරුවන්ට අපරාධයක් කිරීම යෝග්‍ය නො වේ. එසේ ක්‍රෝධයෙන් කෙනෙකු නැසීම නුවණැත්තන් විසින් නොකළ මනා දෙයකි. සතර අපායේ හෙළන්නේ ය. එනිසා අකුසල් නැමති සේනාව සමඟ යුද්ධ කොට කෙලෙස් සතුරා නසා සසර දුකෙන් මිදෙන්නට පිහිටක් සොයාගත මැනව.’ මෙසේ සිතා ඔහු මහණ වන්නට නික්මුණේ ය.

මෙසේ නොයෙක් කාරණා සලකා සසර කලකිරී දාඨාසේනයන් සියලු සැප සම්පත් හා සියලු ඤාති වර්ගයා කෙරෙහි ඇති ආලය අත්හැර හුදෙකලා ව ම ‘මහදැල්’ නම් මාළු අල්ලන ගම්මානයකට ගියේ ය. ඒ ගම ශක්ති සම්පන්න වූ මහදැල් නම් වූ කෙවුලෙක් මහත් දිග දඬු ඔරුවක් මුහුදට ගෙන ගොස් වැලි පුරවා කර තබාගෙන අවුත් මහ බෝ මළුවක ලන්නේ ය. එපරිද්දෙන් ම පැන් පුරවා ගෙනවුත් බෝධිය ස්නානය කරවන්නේ ය. දාඨාසේනයෝ ඒ දවස ම බෝධි මළුවේ දී ඒ කෙවුලා දුටහ. ඔවුනොවුන් හඳුනාගෙන නම් ගොත් විචාරා පිළිසඳර කථා කොට දාඨාසේන නම් බලසම්පන්න යෝධයාණන් බව දැන නිවසට කැඳවාගෙන ගොස් සත්කාර සම්මාන කොට ශක්තිය පරීක්ෂා කිරීමට කැමති බව කීවේ ය. එබස් අසා දාඨාසේනයෝ සාල් නැලි සතක බත් පිසවා අමු දිවුල් ගෙන්වාගෙන කොටා බත් සමඟ එකට අනා පිඬු සතරක් සාදා ගේ මැද ඉඳ ඔහු කැඳවා “මා ‘මරමි’ සිතා ම මගේ බෙල්ල තරයේ දෑතින් මිරිකා අල්වාගත මැනව.” යි කීහ. ඔහු එපරිද්දෙන් ම බෙල්ල තර කොට අල්වාගත් කල්හි දාඨාසේනයෝ බත් පිඬක් ගෙන ගිලූහ. කෙවුලු යෝධයා ඇල්වූ ගැන්ම දරා ගත නොහැකි ව අත ගැලවී ගේ දොරකඩ වැටිණි. මෙසේ තුන් වතාවක් ම පරීක්ෂා කළේ ය. අවසාන වර මහ මිදුල මැද ඇද වැටුණේ ය. මෙසේ බල විමසා දාඨාසේනයන් ළඟට ගොස් “නුඹ වැනි යෝධයෙක් ලංකාද්වීපයේ තබා ජම්බුද්වීපයේවත් නැතැ”යි වැඳ සමා කර ගත්තේ ය.

ඉක්බිති දාඨාසේනයෝ ඔහුට කියනුයේ, “මම දඹදිව් යනු කැමැත්තෙමි. මට සම්බානක් දෙනු මැනව.”යි කියා ඉල්ලා ගත්තේ ය. එක් පයක් ගොඩ ඇන අනෙක් පයින් සම්බාන දැමූ වේගයෙන් සුළං ගෙන එක දවසින් ම නාග දිවයින නාග නම් තොටට ගොස් එතැන් සිට ගොළු මුහුදට පැන පීනාගෙන පනස් පස් යොදුනක් දුර ගෙවා සොලී රට කාවීර පටුනෙන් ගොඩනැංගේ ය.

එකල්හි එහි මනුෂ්‍යයෝ දාඨාසේනයන් දැක මුහුද පීනාගෙන පැමිණි අකාරය අසා විස්මයට පත් ව බොහෝ සත්කාර සම්මාන කළාහු ය. එවිට දාඨාසේනයන් රහතන් වහන්සේලා කොහි වසන සේක්දැ යි ඔවුන්ගෙන් අසා මීට දොළොස් යොදුනක් පමණ තැන ‘තක්ක’ නම් නුවර සමීපයෙහි විහාරයක බව අසා එහි ගොස් මනුෂ්‍යයන්ගෙන් ඇසුවේ ය. ඒ මිනිසුන් පවසා සිටියේ හිමාල පර්වතයෙහි ‘අන්වත්තිය’ නම් වූ විහාරයෙහි බොහෝ දෙව් මිනිසුන්ට සැප සලසන්නා වූ රහතන් වහන්සේලා වාසය කරන බවත්, ඒ සියලු රහතන් වහන්සේලාට ප්‍රධාන ව වරුණ නම් රහතන් වහන්සේනමක් වැඩ සිටින බවත් ය. දාඨාසේනයෝ ඒ කියන කාරණා අසා ඒ විහාරයට ගොස් වරුණ මහරහතන් වහන්සේ මුණගැසී වන්දනා කොට සියලු විස්තර ප්‍රකාශ කළෝ ය. මහ තෙරුන් වහන්සේ ඔහුගේ කෙස් රැවුල් බා පැවිදි කොට උපසම්පදා කරවා භාවනාවන් ඉගැන්වූ සේක.

බවුන් වඩන දාඨාසේනයන් වහන්සේට සමාධි මාත්‍රයක්වත් ඇති නො වේ. ඉන් පසු උපාධ්‍යායන් වහන්සේ ළඟට ගොස් වැඳ, “ස්වාමීනි, මාගේ සිත එකඟ නොවේ.”යි පැවසුවේ ය. මහ තෙරුන් වහන්සේ සිතනුයේ, ‘මේ සේනාසනයේ කිසිම අඩුවක් නැත. සියලු සේනාසන අංගවලින් යුක්ත ය. එහෙත් මොහුගේ සිත එකඟ නොවෙයි.’ බොහෝ භික්ෂූන් මේ විහාරයේ වාසය කරන බව දැන, “එසේ නම් ඇවැත්නි මීට හැට යොදුනකින් මත්තෙහි ථෙරම්බලක නම් විහාරයක් ඇත. ඒ විහාරය සක්දෙව් රජ විසින් මවන ලද්දේ ය. එක් වයසක තෙරුන් වහන්සේනමක් හා සාමණේරනමක් වාසය කරන්නේ ය. ඉදින් තමන්ට පහසු නම් ඒ විහාරයට ගොස් සැප සේ වාසය කොට තමන්ගේ අදහස මුදුන්පත් කර ගනු මැනව.”යි වදාළ සේක. දාඨාසේනයන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ වැඳ පා සිවුරු ගෙන සැට යොදුන් මග ගෙවා විහාරය සමීපයට පැමිණියේ ය. විහාරය පර්වතයක් මුදුනෙහි පිහිටි හෙයින් උඩට නැග ගත නොහැකිව සිටියේ ය. ඒ විහාරයේ නේවාසික මහ තෙරුන් එය දැක සාමණේරයන් වහන්සේ කැඳවා ඒ බව දැනුම් දුන් පසු උන්වහන්සේ ඍද්ධියෙන් දාඨාසේනයන් වහන්සේ කඳු මුදුනට නංවා විහාරයේ නවතින්නට සැලැස්වූ සේක. නමුත් එම විහාරයේ දී ද සිත එකඟ නොවෙයි. මේ බව ඒ විහාරයේ මහ තෙරුන්ට දැන් වූ පසු, “ලෝහකූට පර්වත විහාරය මීට පසලොස් යොදුනක් ගිය තැන පිහිටා ඇත. එම විහාරය දෙවියන් විසින් මවන ලද්දේ ය. නිරන්තරයෙන් දේවතාවෝ ඇමදීම් ආදියෙන් වත් පිළිවෙත් සිදු කොට ආරක්ෂා කරයි. පෘතග්ජනයන්ට විහාරයෙහි වාසය කිරීමට නොහැකි ය. ඉදින් දෙවියන්ගේ සිත් පහදවාගෙන වාසය කිරීමට හැකි නම් එහි ගොස් සැප සේ විසුව මැනව.

ඇවැත්නි ඒ විහාරය කෙළවර පිහිටියා වූ මහා වෘක්ෂයක එක් අත්තක් සුළඟින් පහතට නැමෙයි. එතනට ගොස් ඒ අත්ත අල්ලාගෙන පර්වත මුදුනෙහි ඇති විහාරයට නැගී වාසය කළ මැනව.”යි කී සේක.

මෙසේ මහ තෙරුන් වහන්සේගේ වචනය පිළිගෙන වැඳ පා සිවුරු තැන්පත් කොට ගල් තලයක් මත බද්ධ පර්යංකයෙන් වැඩ හිඳ, ‘යම් තාක් මාගේ සිත කාමාදී ආශ්‍රවයන්ගෙන් නොමිදේ ද ඒ තාක් මම මෙතනින් නොනැගිටිමි’යි අධිෂ්ඨාන කළ සේක. මෙසේ පළමු දවස ඉක්ම ගිය සේක. එසේ දෙවන, තුන්වන දවස ද ඉක්ම ගිය පසු හතරවන දවස පර්වතවාසී දෙවියන් එක වර සාධුකාර දෙවමින් සිව්පිළිසිඹියා පත් මහරහත් බවට පත් වූ සේක. ඉක්බිති දාඨාසේන මහරහතන් වහන්සේ එතැනින් ම පොළොවෙහි කිමිද තමන් වහන්සේගේ උපාධ්‍යාය වූ මහා වරුණ මහ තෙරුන් වහන්සේගේ ශ්‍රී පාද මූලයෙන් උඩ නැගී වැඳ පිළිසඳර කතා කොට වැඳ අවසර ගෙන හංස රාජයෙකු සේ අහසට පැන එම විහාරයට ම අවුත් බොහෝ කාලයක් වාසය කළේ ය.

උන්වහන්සේ පිරිනිවන් පානා දවස පර්වත මුදුනෙහි කාලඝෝෂා කළ සේක. එම මොහොතෙහි ම තිස් දහසක් රහතන් වහන්සේලා රැස්වූ සේක. එකල්හි ඒ රහතන් වහන්සේලා මධ්‍යයෙහි දාඨාසේන මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ මේ පූර්ව චරිතාපදානය ගෙනහැර දක්වා පර්වත දේවතාවන් හඬවමින් එතැන්හි ම පිරිනිවන් පා වදාළ සේක. මෙසේ සිංහල ජාතියේ ඉපදුණු, මහා සූර වීර බල ඇති, බුදු සසුන බේරා ගැනීමට දිවි දුන් වීර පුරුෂයෙකුගේ ජීවිත කථාව මහා අසිරිමත් ලෙස අවසන් වුණි. අමෘතය දන් දෙන අප භාග්‍යවතුන් වහන්සේ වදාළේ, “තමන් ව ජය ගැනීමයි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල්වලින් ජය ගත්තත් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. තමා ව දමනය කරගෙන නිතර ම ඉන්ද්‍රිය සංවරයකින් සිටින පුද්ගලයාටයි ජයග්‍රහණය ලැබෙන්නේ. එබඳු පුද්ගලයෙකුගේ ජයග්‍රහණය දෙවියෙකුටවත්, ගාන්ධර්වයෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත්, මාරයෙකුටවත් වළක්වන්න බෑ.” යනුවෙනි.

මෙසේ තමා ව ජය ගත්, දමනයට පත් වූ මහා හස්ති රාජයෙකු බඳු, යෝධ වීරියකින් යුතු, සසරින් එතෙරට වැඩිය නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටිය දාඨාසේන නම් මහරහතන් වහන්සේට නමස්කාර වේවා!

සාදු! සාදු!! සාදු!!!

– සද්ධර්මාලංකාරය ඇසුරෙනි –

ලක්දිව රහත් මුනිවරු – 9
චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ

මේ ශ්‍රී ලංකාදීපය අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා පහස ලබන්නට තරම් කොතරම් නම් වාසනාවන්ත ද? මීට අවුරුදු දෙදහස් ගණනකට පෙර තුන් වරක් මේ ලක්දිවට සම්බුදුරජුන් වැඩිය මොහොතේ මේ මුළු දිවයින ම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් විහිදෙන රන්වන් රශ්මියෙන් කොතරම් නම් අපූරුවට බබළන්නට ඇති ද? භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාසනය අනාගතේ මේ පුංචි දිවයිනේ පිහිටන බව අනාගත ඤාණයෙන් බලා වදාරා ලක්දිව කෙරෙහි හිතානුකම්පී වූ අපගේ බුදුරජාණන් වහන්සේ විසින් පිරිනිවන් පානා මොහොතෙහි සල් රුක් සෙවණෙහි සැතපී සිට මිහිඳු මහරහතන් වහන්සේ ගැන අනාවැකියක් වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ බුද්ධ වචනය සැබෑ කරමින් ලංකාවට ශාස්තෘන් වහන්සේනමක් බඳු අප මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවෙහි යහපත උදෙසා වැඩම කොට බුදු සසුන බැබළවූ සේක.

දඹදිව බුදුරජුන් වැඩ සිටි කාලයේ කසාවතින් බැබළුණේ යම් සේ ද ලංකාදීපය ද එසෙයින් ම කසාය වස්ත්‍රයෙන් බැබළුණේ ය. නොයෙක් සිය දහස් ගණන් මඟ ඵලලාභී උවසු උවැසියන් ද නිකෙලෙස් මුනිවර මුනිවරියන්ගෙන් ද අඩුවක් නො වී ය. එකල ලංකාවේ සිටි පින්වන්තයෝ ගෙවල් දොරවල් හරකා බාන අතහැර බුදු සසුනේ මහණ වී සසරින් එතෙර වූ සේක. උන්වහන්සේලා තුළ තුබූ ඒ අනන්ත, අප්‍රමාණ, ශ්‍රේෂ්ඨ ගුණ කඳ අද අපට සිතින් සිතා ගන්නවත් බැරි තරම් ය. ඒ රහතන් වහන්සේලා තුළ තිබූ නොඇලීම, අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටු වීම, දයාව, අනුකම්පාව, කරුණාව සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය එකකි.

අටලෝ දහමින් කම්පා නොවන පිවිතුරු හදමඬලක් දරා වැඩ සිටි ඒ උත්තම මුනිවරු ගැන හිත පහදවා ගන්නට ලැබුණොත් බොහෝ කලක් හිත සුව පිණිස, සැපය පිණිස පවතිනු ඇත. ඉතින් අද අපි හිත පහදවා ගන්නේ ලංකාවේ වැඩ විසූ උත්තම අරහත් මුනිවරයෙක් ගැනයි. ඒ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ යි.

උන්වහන්සේ විහාර මහා දේවියගේ සොහොයුරෙකි. කාවන්තිස්ස රජතුමා අප මුනිරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලළාට ධාතූන් වහන්සේ නිධන් කොට, සේරුවිල මංගල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ගොඩනැංවීමේ දී ඒ කටයුතුවලට අනුශාසනා කළේ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ යි.

උන්වහන්සේ අරහත්වයට පත් වූ ආකාරය හරිම අපූරු සිදුවීමකි. මේ ලක්දිව රුහුණු ජනපදයෙහි එක්තරා ගමක නකුල නම් උපාසකයෙක් වාසය කළේ ය. හේ බොහෝ දුප්පත් ව තමාගේ අඹු දරුවන් රක්ෂා කළේ ය. ඔහුගේ දියණියක් කහවණු දොළසකට ණයගැති ව මාගම එක් කුලගෙයක වැඩ කරයි. නකුල උපාසක තමන්ගේ දුව බේරා ගැනීමට බොහොම මහන්සියෙන් බැලමෙහෙ කොට කහවණු දොළසක් සොයාගෙන මාගමට යන අතරමග චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ දැක සිතණුයේ, ‘තවම පෙරවරු කාලය ඉක්ම ගොස් නැත. සමීපයෙහි ගමකුත් නැත.

තෙරුන් වහන්සේට දානය නොලැබුණොත් ඒක හොඳ දෙයක් නෙවෙයි. කුමක් කරම්දැ’යි සිතන විට එකෙණෙහි ම එක් මිනිසෙක් බත් මුලක් අරගෙන එතැනින් ගියේ ය. උපාසකයා ඔහු දැක සතුටුව, “මිත්‍රය, ඔය බත් මුල මට දෙන්න මේ කහවණුව රැගෙන” යයි කී ය. ඔහු එය නොදෙන බව පැවසීය. නැවතත් එය කහවණු දෙකකට ඉල්ලීය. ඔහු නොදුන්නේ ය. ඔහු එසේත් නොදෙන හෙයින් ක්‍රමයෙන් මිල වැඩි කොට කහවණු දොළස ම ගෙවා බත් මුල මිල දී ගත්තේ ය. බත් මුල රැගෙන තෙරුන් වහන්සේ සමීපයට පැමිණි කල්හි පසඟ පිහිටුවා වැඳ පාත්‍රය ගෙන බත් බහා තෙරුන් වහන්සේට පිළිගැන්වූහ. තෙරුන් වහන්සේ පාත්‍රය පිළිගත් කල්හි ඒ ආහාරය මිල දී ගත් ආකාරය අසා තෙරුන් වහන්සේ සිතණුයේ, ‘මේ උපාසකයා මහත් ශ්‍රද්ධාවෙන් දුන්නා වූ දානය කෙලෙස් සහිතව වළඳා ප්‍රත්‍යය උපකාරයක් කළ නොහැකියි’. මෙසේ සිතා එක් ගසක් මුලට ගොස් පාත්‍රය එක් පසෙක තබාගෙන තමන් වහන්සේට ම අවවාද කරන සේක.

‘මේ උපාසකයා මගේ දෙමාපියන් ද නො වේ, සහෝදර සහෝදරියක් ද නො වේ, ලේ ඥාතියෙක් ද නො වේ, අඩුම තරමින් කලින් දැකපු මිතුරෙක් ද නො වේ. ඒ වුණත් මම සිල්වත්, ගුණවත් යැයි සිතා මෙසේ මහත් උත්සාහයෙන් දානය දුන්නේ ය. ඔහු හට වැඩි ආනිශංසයක් ලබා දීමට නම් කෙලෙස් රහිතව මේ දානය වැළඳිය යුතුයි. මාගේ ජීවිතය ගියත් මේ දානය රාග, ද්වේෂ, මෝහ සහිතව නොවළඳන්නෙමි’ යි අධිෂ්ඨාන කොට විදසුන් වඩා රහත් බවට පැමිණ එම දානය වැළඳූ සේක. ඉන් පසු උන්වහන්සේ විහාරයට වැඩම කොට සිදු වූ සියල්ල අනික් භික්ෂූන් වහන්සේලාට විස්තර වශයෙන් වදාරා, “යම් දවසක මම් පිරිනිවන් පාන්නේ ද එකල්හි මා සැතපුණා වූ කුළුගෙය සෙසු අය විසින් ඔසවන කල්හි නො එසවේවා! යම් දවසක ඒ දානය දුන් උපාසකයා ඇවිත් ඔසවන කල්හි එසවේවා!” යි කියා අධිෂ්ඨාන කළහ. නකුල උපාසකතුමා තම දියණිය බැහැ දැක සිදු වූ සියල්ල විස්තර කොට කීය. එම දියණිය ද ඉතා සතුටුව ඒ පින අනුමෝදන් විය.

එක් උපාසිකාවක් ඒ තෙරුන් වහන්සේට දොළොස් අවුරුද්දක් පිණ්ඩපාතයෙන් උපස්ථාන කළා ය. එක් දිනක් ඒ ගමෙහි ගින්නක් හටගෙන සියලු ගෙවල් දැවී ගියහ. අන් අයගේ හිතවත් භික්ෂූන් වැඩම කොට “කිමෙක්ද උපාසිකාවෙනි, යම් කිසි බඩුවක් බේරා ගත හැකි වී ද?” යනාදිය කතාබස් කළහ. චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් එසේ විචාරීමට නොපැමිණි සේක. පසුදා පිඬු පිණිස හැසිරෙන වේලාවට එහි වැඩම කළ පසු ඒ උපාසිකාව දැවී ඉතිරි වී ගිය බිත්තියක් අද්දර උන්වහන්සේ හිඳුවා දානය පිළියෙළ කොට පූජා කළා ය. තෙරුන් වහන්සේ දන් වළඳා කිසිවක් නොකියා ගිය විට අසල්වැසි මිනිස්සු “අපේ උපාසක අම්මාගේ තෙරුන් වහන්සේ දන් වළඳන වේලාවට ම ආයේ ය” යැයි කීහ. එවිට උපාසිකාව “තොපගේ භික්ෂූන් තොපට යහපත් වෙති. මාගේ තෙරුන් වහන්සේ මට හොඳ ය” යැයි කීවා ය. උන්වහන්සේගේ නොඇලුණු ගුණයත්, උපාසිකාවගේ නොබැඳීමත් කොතරම් නම් සුන්දර ද?

‘මධු අංගන’ නම් ගමෙහි එක්තරා දෙමළ දොරටු පාලකයෙක් වාසය කළේ ය. ඔහු උදෑසනින් ම බිලී පිත්තක් රැගෙන ගොස් මාළු බායි. ඒවා තුන් කොටසකට බෙදා එක් කොටසකින් සහල් ද තව කොටසකින් දී කිරි ද ගෙන ඉතිරි කොටස අහර පිණිස ගනී. මෙසේ පනස් වසරක් ඉක්ම ගියේ ය. ඔහු වියපත් ව නොනැගිටින ස්වභාවයට පත් විය. ඒ කාලයෙහි චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් ගිරි විහාරයේ වාසය කරන්නේ ය. ‘මේ මිනිසා මා බලා සිටිය දී ම විනාශයට පත් නොවේවා!’ යි සිතා ඔහුගේ ගෙදරට වැඩියහ. ඔහුගේ බිරිඳ තෙරුන් වැඩම කළ බව සැමියාට දැන්වුව කල්හි “මම කවදාවත් උන්වහන්සේ මුණගැසී නැත. දැන් මා මුණගැසීමට පැමිණියේ කවර ගුණයක් නිසා ද? උන්වහන්සේට යන්නැයි කියන්න” යැයි පැවසී ය. එය තෙරුන් වහන්සේට පැවසූ පසු උන්වහන්සේ ඔහුගේ කාය බලය ගැන විමසූහ. “ස්වාමිනී, දුර්වල ය” යි ඕ පැවසුවා ය. තෙරණුවෝ ගේ තුළට පිවිස “සිහි උපදවා සිල් ගන්නැ”යි කීහ. “එසේ ය ස්වාමීනී, සිල් දෙනු මැනවැ”යි කීය.

තෙරුන් වහන්සේ තිසරණය සමාදන් කරවා පන්සිල් දීමට සැරසුණා පමණි. ඔහුගේ දිව පණ නැති විය. තෙරණුවෝ එයත් සෑහේ යැයි පිටත්ව ගියහ. එම දොරටු පාලකයා කළුරිය කොට චාතුම්මහාරාජිකයෙහි උපන්නේ ය. උපන් ඇසිල්ලේ ම කුමන පිනක් කොට දෙව් සැප ලැබුණිදැයි බලන්නේ තෙරුන් වහන්සේ නිසා බව දැන දෙව්ලොවින් අවුත් තෙරුන් වැඳ සක්මන කෙළවර සිටියේ ය. කවරෙක්දැයි ඇසූ කල, “ස්වාමිනී, මම දෙමළ දොරටුපල්ලා වෙමි”යි කීය. “කොහිද උපන්නේ?” “ස්වාමීනී, චාතුම්මහාරාජිකයෙහි ය. ආර්යන් වහන්සේ මට පන්සිල් ද දුන්නේ නම් ඉහළ දෙව්ලොවක උපදින්නෙමි.” “මා කුමක් කරන්න ද? දරුව, නුඹට ගැනීමට නොහැකි විය” යයි උන්වහන්සේ කීහ. එම දෙවියා තෙරුන් වැඳ දෙව්ලොවට ගියේ ය. උන්වහන්සේ තුළ තිබුණ කරුණාව, අනුකම්පාව කොතරම් නම් පුදුම සහගත ද? නිරයේ ගොස් අප්‍රමාණ දුක් පීඩාවකට පත් වන්නට සිටි මිනිසා අපමණ සැපයක් චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් නිසා ලබා ගත්තේ ය.

එකල චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරනම පන්සීයක් භික්ෂූන් සමඟ රුහුණු ජනපදයේ එක්තරා මාර්ගයක වඩින්නේ ය. ඒ මාර්ගයේ මඩ වගුරක එක්තරා විශාල ගොනෙක් වැටී පණ අදිමින් සිටිනු දැක්කේ ය. ඒ ගොනා එතැන වැටී ජීවත් ව සිටිය දී ම හම ගලවාගෙන ගොස් තිබිණි. බල්ලන් ගොනා ව වට කරගෙන සිටියහ. කුරා කුහුඹුවෝ ද උගේ ඇඟට නැගී කමින් සිටියහ.

උන්වහන්සේ ඒ ගොනා දැක කරුණා උපදවා පාත්‍රවලින් ජලය ගෙනවිත් පෙවී ය. ඌ ඒ පැන් බී ස්වල්ප ආස්වාදයක් ලැබී ය. තෙරුන් වහන්සේ ඒ ගොනා ඉදිරියෙන් වාඩි වී මහා සතිපට්ඨාන සූත්‍රය දෙසා තිසරණය දුනි. සිල්පද කියන විට ගොනා කළුරිය කළේ ය. තෙරුන් වහන්සේ කෙරෙහි ගොනාගේ සිත පැහැදී තිබිණි. ඒ නිසා තව්තිසා දෙව්ලොව තිස් යොදුන් විමනක උපන්නේ ය. හෙතෙම පෙර ජාතිය බලා තෙරුන්ට කෘතඥතාවය පෙන්වීම පිණිස මධ්‍යම රාත්‍රියේ දී දෙවඟනන් දහසක් පිරිවරාගෙන විමානය සමඟ අවුත් තෙරුන්ගේ පා වැඳ එක් පසෙක සිටියේ ය. තෙරුන් වහන්සේ “ඔබ කවරෙක් දැ?” යි ඇසී ය. ඒ දේව පුත්‍රයා තමන්ගේ පෙර ජාතිය විස්තර කොට කීය.

“ස්වාමීනී, මම පෙර තිරිසන් අපායේ ඉපදුණු මහාදත්ත නමැති ගොනෙක් වීමි. එක් දවසක් සහලින් පිරවූ කරත්තයක් දක්කමින් එද්දී ගැඹුරු මඩ වළක එරුණි. මම උත්සාහය යොදා සය වරක් කරත්තය ඇද්දත් ගොඩට ගන්නට බැරි වුණි. සත්වෙනි වාරයේ දී වේගයෙන් අදිද්දී මගේ පපුව පැළී ගියේ ය. ලේ වමාරා එතැන ම වැටුණි. ඒ අසත්පුරුෂ ගැල්කරුවා මා එතැන ම හැර දමා අන් ගොනෙකු යොදාගෙන යන්නට ගියේ ය. පින්වත් ස්වාමීන් වහන්සේ මෙවැනි විපතට පත් මා දැක අනුකම්පාවෙන් සතිපට්ඨාන සූත්‍රය දෙසා සරණ සිල් දුන්හ. සිල් දෙන විට මම මරණයට පත් වීමි. සිල් දෙන තුරු සිටියා නම් මට ‘යාම’ දෙව්ලොව උපදින්නට ඉඩ තිබුණි. දෙව්ලොවට ගියත් මාගේ පූර්ව නාමය විනාශ නො වී ය. දෙව් රජ සහිත දෙවියෝ මා ‘මහාදත්ත’ යයි හඳුනා ගනිත්. ගොනෙක් ව සිටි මම ඉතා දරුණු දුකකට පත් වීමි. ඔබ වහන්සේ මට සූත්‍රයක් දෙසා තිසරණය දුන්හ.

ධර්මය කනට වැටුණු පමණින් මෙවැනි ඵලයක් ලදිමි. මෙවැනි සම්පතකට පැමිණියෙමි. යම් ස්ත්‍රී පුරුෂ කෙනෙක් බුදු සසුන ඇසුරු කරත් නම් ඔවුන්ට ලැබෙන සැපය විස්තර කළ නොහැක. දැන් මට සරණ සිල් දී ඒ සූත්‍රය ම දෙසනු මැනවි. ඒ දහම් නැවට නංවා මා සසර සයුරෙන් එතෙර කරනු මැනවැ” යි ආයාචනා කළේ ය. තෙරනම සරණ සිල් දී ඒ සූත්‍රය දේශනා කරන විට සංසාරයෙහි නොඇලුණු මහාදත්ත නම් දේව පුත්‍රයා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. එම දේව පුත්‍රයා බුද්ධ පුත්‍රයන් සමීපයෙහි දහම් ඇස ලබා පා ළඟ හිස තබා වැන්දේ ය. දහසක් දෙවඟනන් හා සෝවාන් ඵලයෙහි පිහිටි හෙතෙම දෙව්ලොවට ගියේ ය.

මෙසේ උන්වහන්සේ බොහෝ ලක්දිව මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට ද යහපත උදා කළ සේක. මේ අනිත්‍ය ධර්මයේ ස්වභාවයෙන් මේ ලෝකයේ කිසිවෙකුටත් බේරෙන්නට නොහැකි ය. උන්වහන්සේගේ ද ආයුෂ අවසන් වී ඇති බව වැටහිණි. පිරිනිවන් පාන්නට මොහොතකට මත්තෙන් කලින් අධිෂ්ඨානය සිහි කොට පහනක් නිවෙනා ලෙස පිරිනිවනට පත් වුණි. එකල්හි මහජනයා එක්රැස්ව උන්වහන්සේ ආදාහනය කරම්හ යි එම කුළු ගෙය සරසා මහත් පූජා සත්කාර කොට ඔසවන්නට උත්සාහ කළහ. මිනිසුන් සියයක් දෙනා රැස්ව ද ඔසවන්නට නොහැකි විය. එය කාවන්තිස්ස රජතුමාට දන්වනු ලැබිණ. රජතුමා ද මහ සෙනඟ පිරිවරා අවුත් ඔසවන්නට බැරි වූ තැන භික්ෂූන් වහන්සේලාගෙන් කාරණාව විමසූහ. චුල්ල පිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේ පිරිනිවෙන්නට කලින් වදාළ පරිද්දෙන් උන්වහන්සේලා රජ්ජුරුවන්ට කී සේක. එපවත් අසා රජතුමා, “රහත් වීමට යම් දානයක් මුල් වූවා ද ඒ දානය දුන් නකුල උපාසක කැඳවා මේ කුළු ගෙය අල්ලවන්න” යි කීය.

ඒ උපාසකයා අතින් ඇල්වූ සැණින් ම කුළුගෙය අහසින් ම ගොස් දර සෑය මත්තෙහි තැන්පත් විය. එකෙණෙහි ම සිව් කොණින් ගිනිදැල් මතු වී ආදාහනය සිදු විය. මේ ආශ්චර්යය දුටු රජතුමා ඒ නකුල උපාසකයාට බොහෝ සම්පත් දී ඔහු වසන ගම ද බත් ගම් කොට දුන්හ. ඒ උපාසකයා ද එතැන් පටන් බොහෝ පින් දහම් කොට දෙව්ලොව ගියේ ය.

මෙසේ දෙව් මිනිස් ලෝකයා හට පින් රැස්කර ගැනීම පිණිස හේතු වූ, අනුත්තර පින් කෙතක් වූ, මේ ලක්දිව වැඩ විසූ නිකෙලෙස් ගුණයෙන් ශෝභමාන වූ අපගේ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේට නමස්කාර වේවා!

සාදු! සාදු!! සාදු!!!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි

ලක්දිව රහත් මුනිවරු – 8
කාළකන්දරවාසී ඵුස්සදේව මහරහතන් වහන්සේ

අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් නව වැනි මාසයේ දුරුතු පුර පසළොස්වක පොහොය දවසේ මේ ලංකාදීපය නම් වූ පුංචි දිවයිනට වැඩම කළ සේක. එසේ වැඩම කොට මහියංගණය සෑය පිහිටා ඇති ස්ථානයේ වැඩ හිඳිමින් බුදු සසුනට විරුද්ධ ගති ඇති යක් පිරිස ගිරි දිවයිනට පලවා හැරිය සේක. ලංකාදීපය වනාහී අනාගතයේ ගෞතම බුදු සසුන බබළන තැන යැයි අප භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් දන්නා ලද්දේ ය. එදා අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් ලක්දිව දරුණු යකුන් වෙනත් තැනකට පිටත් කරවා සත්පුරුෂ මනුෂ්‍යයන් හට වාසභූමි වන ආකාරයට ලංකාව පිළියෙල කරවා වදාළ සේක. නැවතත් ශ්‍රී සම්බුද්ධත්වයෙන් වසර පහක් ගිය තැන නාගයන් දමනය කිරීම පිණිස නාගදීපයටත්, අට වසරක් ගිය තැන පන්සියයක් රහතන් වහන්සේලා පිරිවර කොටගෙන කැලණියටත් වැඩම කොට වදාළහ.

මෙසේ අනන්ත අප්‍රමාණ වූ අවබෝධ ඤාණයකින් යුක්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලංකාදීපයට අනාගතයෙහි උදාවන යහපත අනාගත ඤාණයෙන් බලා වදාරා ලක්දිවට තුන් වරක් වැඩි සේක. අතිශයින් ම දයා කරුණා ඇති මහා කාරුණික වූ, ලොව එළිය කරන පහනක් බඳු වූ බුදුරජාණන් වහන්සේ ඉතා සුන්දර වූ ලක්දිවට තුන් වරක් වැඩමවා වදාළ කාරණය නිසාවෙන් මේ භූමිය බුද්ධ පාරිභෝග වස්තුවක් බවට පත්විණි. ලංකාව කෙරෙහි හිතානුකම්පී වූ අපගේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන වදාළහ. ඒ බුද්ධ වචනය සැබෑ කරමින් අප භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් දෙසිය තිස් හයවෙනි වර්ෂයේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ සේක. බුදු සසුන පිහිටවූ සේක. මේ පුංචි දිවයිනේ ධර්මය බැබළවූ සේක. නොයෙක් සිය, දහස්, ලක්ෂ ගණනින් සිංහල රහතන් වහන්සේලා බිහිවන්නට විය. ලංකාව පුරා සුදෝ සුදු පාටින් බබළන දාගැබ්, සිලි සිලි ගා සුළඟින් ලෙලදෙන බෝධීන් වහන්සේලා, කසාවත් පොරවා ගත් භික්ෂු භික්ෂුණීන්, දන් පැන් පුදන පින් දහම් කරන උවසු උවැසියන් සුලභව ම දකින්නට ලැබුණි. එම පින්වන්ත යුගයේ අතිශයින් ම පින් තිබුණු උත්තමයෝ පහළ වී සිටියහ. එනම් ගිහි ගෙවල් හැරදමා මේ උතුම් බුදු සසුන තුළ මහණදම් පුරා නිකෙලෙස් බවට පත් වුණු උතුමන් ය. උන්වහන්සේලා ගැන අසා සිත පහදවා ගන්නට ලැබීමත් වාසනාවක් වන්නේ ය. උන්වහන්සේලා තුළ තිබුණු කරුණාව, මෛත්‍රීය, දයාව, අනුකම්පාව සාමාන්‍ය මනුෂ්‍යයාට වඩා ශ්‍රේෂ්ඨ ය. අද අපි සිත පහදවාගන්නේ මෙසේ උතුම් මෛත්‍රියෙන් හා ඉන්ද්‍රිය දමනයෙන් යුතු වූ ශ්‍රේෂ්ඨ මුනිවරයෙකු ගැනයි. ඒ, ලංකාද්වීපයේ වැඩ සිටි කාළකන්දරවාසී ඵුස්සදේව මහරහතන් වහන්සේ ගැනයි.

උන්වහන්සේ සද්ධාතිස්ස රජුගේ සොහොයුරියකගේ පුතෙකි. ගිහිගෙදර වාසය කරන කාලයෙහි තමන්ගේ දේවිය වූ සුමනා දේවිය සමඟ ගිරිගමට පැමිණ ඇත්කුස විහාරයට (හත්ථිකුච්ඡි විහාරය) ගොස් මහා දන් දී චෛත්‍යයට පූජා පවත්වා භික්ෂු සංඝයා කෙරෙහි සිත පහදවාගෙන බුදු සසුනෙහි පැහැද පැවිදි වෙනු කැමතිව අවසර ගෙන ඒ විහාරයේ විසූ මහාදේව තෙරුන් සමීපයේ පැවිදි විය. උන්වහන්සේ උපසම්පදා කළ තෙරනම රහත් බව ලැබීමට හේතු සම්පත් ඇති බව දැක කමටහන් කියා දී යම් ලෙණක ආවාසිකයකු ඇත්නම් එහි වාසය කරවයි කියා පිටත් කළේ ය. උන්වහන්සේ උපාධ්‍යායන් වැඳ එයින් නික්ම චාරිකාවේ හැසිරෙන්නේ කාළකන්දර ගමෙහි ගං තෙර පිහිටි මයිල ගසක් මුල වැලි ගොඩක එක් රැයක් විසූහ. ඒ ගසට අධිගෘහිත දේවතාවා පසුදා තෙරුන්ට මුව දෝනා පැන් හා දැහැටි දඬු දී “කාළකන්දර ගමෙහි පිණ්ඩපාතය වඩිනු මැනවැ”යි පවසා සිටියේ ය. උන්වහන්සේ මුහුණ කට සෝදා එම ගමෙහි පිඬු පිණිස හැසිරුණහ. එම දේවපුත්‍රයා කලින් ම ඒ ගමට ගොස් ‘ඵුස්සදේව තෙරනම පිඬු පිණිස වඩින්නේ ය. කැඳ බත් ආදිය පිළියෙල කොට පූජා කොට පින් කර ගනිව්’ යැයි මහ හඬින් පවසා දැනුම් දුන්නේය. ඒ ගමේ මිනිස්සු දන් පැන් පූජා කොට තෙරුන් වහන්සේ කැමති කරවාගෙන එම ගඟ සමීපයෙහි විහාරයක් ගොඩ නංවා තෙරුන් එහි වාසය කරවූහ. එම විහාරය කාළකන්දර විහාරය නමින් ප්‍රසිද්ධ විය.

එතැන් පටන් උන්වහන්සේ ගමට පිඬු පිණිස වඩින විට එය දකින කුඹුරු සී සාන මිනිස්සු ගොනුන් අතහැර තෙරුන් වැඳීමට මග දෙපසට එති. ගොන්නු ඒ කාලයේ දී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සතුටු සිතින් යුක්තව තෙරුන් කෙරෙහි සිත් පහදවාගෙන සිටි බැවින් මරණින් මත්තෙහි තව්තිසා දෙව්ලොව උපන්හ. ඉක්බිති එසේ උපන් පෙර ගොන්නු ව සිටි දේව පුත්‍රයෝ පන්සිය දෙනෙක් සුධර්මා සභාවෙහි රැස්ව සක්දෙවිඳු ඉදිරියේ ඵුස්සදේව තෙරුන්ගේ ගුණ වර්ණනා කළෝය. “සිල්වත්, ගුණවත්, මෛත්‍රී විහරණ ඇති, වත්පිළිවෙත්හි යෙදුණු ඵුස්සදේව නැමැති භාවනානුයෝගී තෙරනමක් පන්සියයක් භික්ෂුන්ට අවවාද දෙමින් කාළකන්දර විහාරයෙහි වාසය කරයි. උන්වහන්සේ අඩු ආශා ඇත්තේ ය, ධුතාංග දරන්නේ ය, සියලු සත්වයන්ට අනුකම්පා ඇති විවේකයෙහි ඇලුණු, ධ්‍යාන වඩන, මනා සිහි නුවණින් යුතු, ශාන්ත සිත් ඇති ව සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් වාසය කරන්නේ ය. පෙර ජීවිතේ ගොනුන් ව ඉපිද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවාගෙන දෙව්ලොව උපන්නෙමු. මිනිසුන් ගැන කවර කථා ද? ඒ සිල්වත්, මනා සංවර ඇති තෙරනම දෙව් මිනිස් බොහෝ දෙනෙකුට ද මෘග පක්ෂීන්ට ද සැප එළවන්නෙකි.”

තව්තිසා වැසි දෙවියෝ මෙසේ තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමති ව දෙව් රජුට යාඥා කළහ. සක් දෙවිඳු එය පිළිගෙන කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එකත්පසෙක සිට “ස්වාමීනී, තව්තිසා වැසි දෙවිවරු ඔබවහන්සේ දැකීමට කැමති වෙති. එබැවින් දෙව්ලොවට වඩිනු මැනවැ.”යි යාඥා කළේය. “දේවේන්ද්‍රය, මම තවම සේඛ භික්ෂුවක්මි. යම් ඍද්ධියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ ඍද්ධිය මට නැතැ”යි උන්වහන්සේ කීහ. “ස්වාමීනී, මම එය දනිමි. මම ඔබවහන්සේ ඔසවාගෙන යන්නෙමි. ඉවසුව මැනවැ”යි සක් දෙවිඳු කීය. තෙරුන් නිශ්ශබ්ද වූ විට හේ උන්වහන්සේ වැඩ හුන් ගලත් සමඟ ඔසවාගෙන ගියේ ය. ඔසවන කෙණෙහි ම ‘දෙවඟනන් නොදකිත්වා’ යන අදහසින් තෙරනම ඇස් පියා ගත්තේ ය.

දෙව් රජු එම ගල්තලාවත් සමඟ ම සුධර්මා දිව්‍ය සභාවෙහි තැබී ය. සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසින් පිරිවරා ඉඳ ගත්හ. තෙරනම සංයුත්ත නිකායේ මහා වර්ගය කට පාඩමින් කීහ. එම දේශනාව අවසානයේ දී තෙරනම “දේවරාජයෙනි, මා මිනිස් ලොවට ගෙන යනු මැනවි. පිණ්ඩපාත කාලය වන්නේ ය.” යි කීය. සක් දෙවිඳු “යහපතැ”යි කියා ගල්තලාව සමඟ ම තෙරුන් ගෙනවුත් කාළකන්දර විහාරයෙහි තැබී ය. මින් පෙර සංයුත්ත නිකායේ මහා වර්ගය කියා අවසන් වන විට යාම තුනකින් නිමාවට යයි. එබැවින් දෙව්ලොවදීත් ඒ වර්ගය කියා අවසන් වන විට මිනිස් ලොව උදෑසන බත් කාලය යි උන්වහන්සේ දැකගත්හ. සක් දෙව් රජු මේ ආකාරයෙන් ම සය වරක් තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්ම ශ්‍රවණය කළේ ය.

ඵුස්සදේව තෙරුන් වහන්සේ එක් දිනක් බෝ මළුව හැමැද බුදු ගුණ සිහිකරමින් ඇදිලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියහ. මාරයා එය දැක තෙරුන් වික්ෂේප කිරීම පිණිස මහා සුළඟක් මවා බෝ මළුවෙහි කසළ ගෙනවුත් දමා ගියේ ය. නැවත බෝ මළුව නැමැද බුදු ගුණ සිහි කරමින් සිටින අතර මාරයා වඳුරෙක් වී ඒ ඒ අතට පනිමින් මළුව කැත කළේ ය. නැවතත් මළුව හැමැද බුදු ගුණ සිහි කරමින් සිටින අතර මහලු ගවයෙකු වෙසින් අවුත් බෝ මළුවෙහි ඇවිදිමින් පාගා අවුල් කළේ ය. එවිට තෙරනම මේ මාරයා යැයි දැනගෙන “පාපිෂ්ඨය, මම මනා සේ හැමදි බෝ මළුව දැක සිත පහදා ගත්තෙමි. තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහි දැ?”යි ඇසීය. මාරයා ‘තෙරුන් විසින් මා දැනගන්නා ලදැ’යි දැක බිය වෙමින් පෙනී සිටියේ ය. ඵුස්සදේව තෙරනම ඉදිරියෙහි සිටි මාරයා දැක “ඔබට බුද්ධ රූපය මවන්නට පුළුවන් දැ?”යි අසා “මම එය දකිනු කැමැත්තෙමි” යි කීය. එම අභියෝගය පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස ලකුණින් යුතු බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියෙහි සිටියේ ය. ඉක්බිති තෙරනම බුද්ධ රූපය දැක ඇඳිලි බැඳගෙන ලොමුඩැහැගත් සිරුරින් යුතුව, කඳුළු පිරුණු ඇස් ඇතිව, පැහැදීමෙන් යුතුව දීපංකර පාද මූලයේ පටන් බෝසත් සිරිත මෙනෙහි කොට බුදු ගුණ සිහි කළහ. දෙතිස් මහා පුරුෂ ලකුණු කෙරෙහි සිත පහදවාගෙන සිහිකොට, ‘ඒ සියල්ල අද නොදක්නා ලැබෙත්. සියල්ල අද අදෘෂ්‍යමාන ය.’ යි මාරයා විසින් නිර්මිත රූපය දුටු තෙරනම මෙසේ විදසුත් වඩා රහත් බවට පැමිණියහ. මාරයා එය දැනගෙන ‘තෙරුන් විසින් මට වංචා කරන ලදැ’යි දොම්නස් ව එතැන ම අන්තර්දහන විය. තෙරනම රහත් වී යැයි දැන සක් දෙවිඳු ‘ස්වාමීනී, දෙව්ලොවට වඩිමු’ යැයි ආරාධනා කළේය. තෙරනම යහපතැයි එය පිළිගෙන තම ඉර්ධියෙන් එහි ගොස් දහම් දෙසා තම විහාරයට පැමිණියේ ය.

ඉක්බිති එක්තරා නා රජෙක් තෙරුන් වෙත ගොස් පන්සියයක් භික්ෂූන් සමඟ දානය පිළිගන්නා ලෙස තෙරුන්ගෙන් ඉල්ලී ය. තෙරනම නිශ්ශබ්ද වීමෙන් එය පිළිගත්තේ ය. එදවසේ ම තම්බසුමන තෙරනම පන්සියයක් භික්ෂූන් සමඟ ඵුස්සදේව තෙරුන් වැඳීම සඳහා පැමිණියේ ය. උන්වහන්සේ තෙරුන් වැඳ “ස්වාමීනී, පිණ්ඩපාතයට සුදුසු කාලය යි” කීය. “නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි” යි තෙරුන් වහන්සේ කී කල්හි තම්බසුමන තෙරනම එකඟ විය. ඉක්බිති නා රජ ගොස් “ස්වාමීනී, පිඬු සඳහා වැඩීමට යෝග්‍ය කාලය යැ”යි දැන්වීය. අනතුරුව ඵුස්සදේව තෙරුන් ප්‍රමුඛ දහස්නමක් භික්ෂූහු නා රජුගේ විමානය සමීපයෙහි ගං ඉවුරෙහි සිටගත්හ. නා රජු සිය පිරිස සමඟ අවුත් මහ තෙරුන්ගේ පාත්‍රය ගෙන දිව්‍යාහාරයෙන් පුරවා තෙරුන්ට දුණි. දිව්‍ය සළු දෙකක් ද පාමුල තැබී ය. තෙරනම ඒ පිණ්ඩපාතයත්, සළු දෙකත් අන්‍ය භික්ෂුනමකට දුනි. නා රජ නැවත දන් පාත්‍රයක් හා සළු දෙකක් දුනි. තෙරනම එය දෙවෙනි භික්ෂුවට දුනි. මෙසේ දහසක් පමණ වූ භික්ෂූන්ට දන් දෙන අතර තම්බසුමන තෙරුන්ගේ ශිෂ්‍ය වූ දෙනමක් ඒවා ගන්ට නොකැමති වූහ. නා රජු එය දැක එතැනට අවුත් නොගැනීමට කාරණය විචාළේ ය. “අපි තමන්ට ලැබෙන දෙය පමණක් ගන්නෙමු” යි ඔවුහු කීහ. නා රජ “යහපතැ”යි කියා වස්ත්‍ර යුගල දෙකක් ඒ දෙනමගේ පාමුල තැබී ය. එහි තැබූ කෙණෙහි ම ඒ යුගල දෙක යුගල සතරක් විය. එය දැක භික්ෂූහු විස්මයට පත්වූහ. නා රජ නොසතුටු වී ඒ භික්ෂූන්ට සංවේග උපදවනු පිණිස ඵුස්සදේව තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මෙසේ කීය.

“කාළකන්දර විහාරයේ වසන ඵුස්සදේව මහතෙරුන්ගේ පින නිසා මම ආහාරත්, වස්ත්‍රත් දෙමි. තෙරනම පිළිගෙන දහස් නමට ම දෙයි. තෙරුන් වහන්සේ පෙර ජාතිවල මෙවැනි පින් කරන ලදී. ඒ පින ඔබට නැත. ඒ තෙරනම මෛත්‍රී විහරණ ඇත්තේ ය, රහත් ය, ආශාව නැත්තෙකි. ඒ ගුණ ඔබට නැත. මේ වනයේ දරුණු වූ, නිතර ලේ මස් අනුභව කරන, එකිනෙකාට හිරිහැර කරන සත්වයෝ ඇත්තාහ. ඔවුහු ද තෙරුන්ගේ මෛත්‍රී බලයෙන් හිංසා සිත් දුරුකොට සැප ලැබූහ. යක්ෂයෝ ද නාගයෝ ද දෙවියෝ ද ඵුස්සදේවයන් වහන්සේට ප්‍රිය කළත් ඔබ ව ප්‍රිය කරන්නේ නැත. එබැවින් නුවණැත්තනි, මෙය පිළිගත මැනව.” සංවේගයට පත් ඒ භික්ෂුහූ දානත්, වස්ත්‍රත් පිළිගත්හ.

මෙසේ ඵුස්සදේව මහරහතන් වහන්සේ සියලු සත්වයන්ට ම ප්‍රිය වූහ. අනේක අප්‍රමාණ ගුණයන්ගෙන් යුතු ඒ මහරහතන් වහන්සේ දෙවියන්, මිනිසුන්, යක්ෂයින්, නාගයින්, භූතයින් හා තිරිසන්ගත ප්‍රාණීන් ද හඬවමින් සුදුසු කාලයෙහි පිරිනිවන් පා වදාළ සේක. සියලු සත්වයන්ට ම සිහි කළත් සැප එළවන, මාරයා රවටා අනන්ත ආකාසය බඳු බුදු ගුණ සිහි කොට නිකෙලෙස් බවට පත්, බුද්ධ වචනය හදවතෙහි දරා වැඩ සිටි, දිනූ ඉඳුරන් ඇති, ගෙවෙන සෑම තත්පරයක් ම මෛත්‍රී විහරණයෙන් වාසය කළ, පිරිනිවී වදාළ මේ ලක්දිව විසූ කාළකන්දරවාසී ඵුස්සදේව මහරහතන් වහන්සේට අපගේ වන්දනාව වේවා…!

(සීහලවත්ථු සහ අට්ඨකථා ඇසුරිනි)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි